Sign up to save your podcasts
Or

මේ පරිස වග්ගයේ සඳහන් වන සුත්‍ර භික්ෂු සංඝයාට අවවාද පිණිස කල ඒවාය. අද මෙන්ම එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවසත්, සමහර මහණුන් සසුන් ගතවීමේ පරමාර්ථය ටික කලකින් අමතක කොට ශ්‍රමණබව ජීවනෝපායක් ලෙස සැලකුහ. ශ්‍රමණ ප්‍රතිපදාවේ නොයෙදී දායකයන් දෙන ආහාර ගැනීමට වඩා ගිණියම් වනතුරු රත් කල යකඩ ගුලි ගිලීම හොඳයැයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ නිසාය. මේ නොසුදුසු පැවැත්ම වෙන් වෙන්ව දක්වා ඒ වැරදි දුරලා යහ මගට ගන්නට මේ සුත්‍ර වලින් උත්සාහ කෙරේ.එදා සිට අද දක්වා මේ සසුනට කෙරෙන චෝදනාවක් නම් මහණුන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී පිරිසක් බවය. ඒ නිසා හෝ අන් කරුණු නිසා බොහෝ ථෙරවාදය ඇති රටවල භික්ෂුන් උත්තම පුජ්‍යභාවය වෙනුවට පුජක කම කරන්නට වෙනස් වූ බවක් පෙනේ. ආදාහන උත්සව, මතක බණ, මලවුන්ට පිං පිණිස දාන උත්සව වලට යාම මිස සසර කෙටිකර ගන්නට තමන් කල යුතු වෑයම ගිලිහී ගිය බව පෙනේ. සංඝයා යනු පිරිසකි. මේ වග්ගයේ අනෙක් සුත්‍රවලින්, එක්ව සමුහයක් වශයෙන් ජීවත්වීමේදී ඔවුනොවුන්ට ආධාර උපකාර කරමින් කිරි හා වතුර සේ එක්ව සුහදව ඉන්නට සංඝයාට අවවාද කෙරේ.
AN 02-05-01 උත්තාන පරිස සූත්‍රය.
AN 02-05-02 වග්ගාපරිස සූත්‍රය.
AN 02-05-03 අග්ගවතිපරිස සූත්‍රය.
AN 02-05-04 .අරිය සූත්‍රය.
AN 02-05-05. කසට සූත්‍රය.
AN 02-05-06. උක්තා සූත්‍රය.
AN 02-05-07. ආමිසගරු සූත්‍රය.
AN 02-05-08 . විසමපරිස සූත්‍රය.
AN 02-05-09 .අධම්මික සූත්‍රය.
AN 02-05-10 ධම්මිය සූත්‍රය.
“මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i) බාල සිත් ඇති බාල මහණ පිරිසද,
(ii) පණ්ඩිත මහණ පිරිසද (යන දෙකයි).
(i). “මහණෙනි,
බාල මහණ පිරිස කවරුන්ද?
“මහණෙනි,
යම් භික්‍ෂූහු අසංවරද, උඩඟුද, මානයෙන් ඉදිමුනාහුද,
නිතර දොඩමළුද, කතාවේ සීමාවක් නොදනීද,
සතියෙන් හා සම්පජන්ඥයෙන් තොරද,
චපල සිත් එක්ලස් කරගන්නට අදක්ෂව
මුටඨස්සතියෙන් ජීවත්වේද ,
ඉන්ද්‍රිය සංවරයෙන් තොරද,
මහණෙනි, මේ බාල සිත් ඇති
පිරිසයයි කියනු ලැබේ.
(ii). “මහණෙනි,
පණ්ඩිත මහණ පිරිස කවූරුන්ද?
“මහණෙනි,
යම් භික්‍ෂූවක් උඩඟු නොවේද, හිස් මාන නැත්තේද , චපල සිත් සමාහිත කරගත්තේද, නිතොර දොඩමලු නැත්තේද, නිෂ්ඵල කථාවෙන් තොරවේද, සියලු කල සති සම්පජන්ඥයෙන් ඉන්නේද, පසිඳුරන් සංවරකර ගත්තේද, එවන් මහනුන් පණ්ඩිත මහනුන් ලෙස ගනු වටී.
“මහණෙනි,
මේ මහණ පිරිස් දෙක වෙති.
මහණෙනි, මේ දෙපිරිසෙන් පණ්ඩිත මහණ පිරිසම ශ්‍රේෂ්ඨ වේ.
[279:- උත්තානා යනු ප්‍රකටවූ නොවැසුණු යනුයි. ගම්භීරා යනු සැඟවුණු, වැසුණුයි. උද්ධතා යනු (නොසන්සුන් බවින්) උඩඟුබවින් යුක්තවූයි. උන්නළා යනු නැඟුණු උඩඟුබව ඇතියි. නැඟී සිටි හිස්මානය ඇත්තාහුයයි කියන ලද්දේවෙයි. චපලා යනු පාසිවුරු සැරසීම් ආදියෙන් ඇතිවූ චපල බවින් යුක්ත යනුයි. මුඛරා යනු දොඩමලුවූ රළු වචන ඇත්තාවූයි. විකිණ්ණ වාචා යනු අසංවර වචන ඇත්තාවූයි. දවසකුදුවුවත් නිසරුවචන කියන්නාවූයි. මුටඨස්සති යනු මුළාවූ සිහි ඇත්තාවූයි. අසම්පජානා යනු නුවණ නැත්තාවූයි. අසමාහිතා සිත එකඟකිරීම් පමණකුදු නොලැබුවාහුයි. පාකතින්‍ද්‍රියා යනු ස්වභාවයෙන්ම පිහිටි විවෘතවූ නොරක්නාලද ඉඳුරන්ගෙන් යුක්තවූවෝයි. යහපත් අංශය කියනලද්දට විරුද්ධලෙසින් දතයුතුය
““මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i) ව්‍යාග්රී , අසමගිව ඉන්නා මහණ පිරිසද,
(ii) සාමග්‍රී, සමගියෙන් ඉන්නා මහණ පිරිසද
යන දෙපිරිසයි.
(i).“මහණෙනි,
ව්ර්‍යාගවූ අසමගි පිරිස කවරීද?
“මහණෙනි,
නිතර වාද විවාද කරමින්, එකිනෙකා හා අමනාප වී, එකිනෙකාට බැන ගනිමින්, තරහව අමනාපය ඇතිව, එකිනෙකාගෙන් වෙන් වෙන්ව ඉන්නේ නම් එබඳු මහනුන් වෙන්වු අසමගි මහනුන් පිරිස ලෙස කියමු.
[280:- භණ්ඩන ජාතා යනු කොලාහලයක මුල් කොටස භන්ඩනයයි කියනුලැබේ. ඔවුනට එය හටගත්තේනුයි භණ්ඩන ජාතා නමි. අපි නුඹලාට දඬුවම් දෙවන්නෙමු. බඳවන්නෙමුයි ආදි වචන පැවැත්වීමෙන් හටගත් කලහ ඇත්තෝයි. මෙය වූකලි ගිහියන් වීෂයෙහි ක්‍රමයයි. පැවිද්දෝ වනාහි ඇවැත් ඉක්මවීම් පිළිබඳ වචන කියන්නාහු කලහ ජාතා නම් වෙත්.
විවාදාපන්නා යනු විරුද්ධවාදයට පිළිපන්නාහුයි. මුඛසත්තීහි විතුදන්තා යනු ගුණයන් සිඳින අරුතින් නපුරුවචන මුඛසත්තියි කියනු ලැබෙයි. ඒ නපුරු වචනයනගේන් විදින්නාහුයි. අනින්නාහුයි. අසුවල් මහනා ත්‍රිපිටකය විකෘති කරන්නේය. ධර්මය අධර්මය කරන්නේය. ආදී වචන දොසාරෝපණ අද බොහෝ විට ඇසේ. මේ කසා වත දරන්නට ආ සැවොම එකම පරමාරර්යෙන් සිව්රට ආ නිසා වරද ඇත්තෝ නොවැරද කර ගත යුතුය. තුන් කල් දන්නා භාග්‍යවතුන් වහන්සේ මේ සියලු ආබාධ සංසිඳවනු පිණිස පිළිවෙත් වදාළ සේක. ඒ අනුව ක්‍රියා කිරීම මිස අසමගිය සුදුසු නොවේ. ]
(ii).“මහණෙනි,
සාමග්‍රී මහන පිරිස කවරීද?
“මහණෙනි,
භික්‍ෂූහු සමගි ව , එක්ව සතුටු ව ඉන්නේද, විරුද්‍ධ වාද නොකරන්නාහු, කිරි හා ජලය මෙන් එක් ව ඉන්නේද , ඔවුනොවුන් සමග ප්‍රිය වචනයෙන් කතා කරමින්, ප්‍රිය ඇස්වලින් බලමින් මෛත්‍රී සිතින් යුතුව, වාසය කෙරෙත්ද,
මහණෙනි, මේ සාමග්‍රී මහණ පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, මේ වනාහි මහණ පිරිස් දෙදෙන වෙති.
මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් මේ සමගි මහන පිරිසම ශ්‍රේෂ්ඨය.”
[281:- සමග්ගා යනු එකම විනය කර්‍මය එකම උදෙසීම, සමානශික්‍ෂාපද යන මේවා කිරීමෙන් මගියෙන් යුක්තවූයි.
පියචක්‍ඛුහි යනු මෛත්‍රී සහගත ඇස්වලින් බලමිනි.යන අර්ථයි.]
“ඒකෝ ධම්මේ භික්ඛවේ, ලෝකේ උප්පජ්ජමානෝ උපපජ්ජති බහුජන හිතාය, බහුජන සුඛාය, බහුනෝ ජනස්ස අත්ථාය හිතාය සුඛාය දේවමනුස්සානං. කතමෝ ඒකෝ ධම්මෝ? සංඝසාමග්ගී. සංඝෙ ඛෝ පන භික්ඛවේ, සමග්ගේ න චේව අඤ්ඤමඤ්ඤං භණ්ඩනානි හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිහාසා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරික්ඛේපා හොන්ති, න ච අඤ්ඤමඤ්ඤං පරිච්චජනා හොන්ති. තත්ථ අප්පසන්නා චේව පසීදන්ති පසන්නානඤ්ච භීය්‍යෝ භාවෝ හෝති.” (ඉතිවුත්තක පාළි)
“මහණෙනි, එක් ධර්මයක් ලෝකයෙහි උපදිනුයේ බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස බොහෝ ජනයා හට දෙවි මිනිසුන්හට අර්ථය පිණිස හිතය පිණිස උපදී. කවර එක් ධර්මයක් ද? සංඝ සාමග්‍රියය.
මහණෙනි, සංඝයා සමගි කල්හි ඔවුනොවුන් අතර වාද විවාදයෝ නොවෙති. ඔවුනොවුන් අතර නුඹලාට මෙසේ මෙසේ කරමුය යන තර්ජනයෝ ද ඇති නොවෙති. ඔවුනොවුන් අතර බැණ ගැනීම් ද නොවෙති. ඒ ඒ අය උත්ක්ෂේපණීය කර්‍මාදියෙන් බැහැර කිරීම් ද සිදු නොවෙති. ඒ සංඝසාමග්‍රිය නිසා සස්නෙහි නො පැහැදුණෝ ද පහදිති. පැහැදුණවුන්ගේ පැහැදීමද දියුණු වේය” යනු ඉහත දැක් වූ පාඨයේ තේරුම ය.
මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ පැවිද්දන්ගේ අන්‍යොන්‍ය සමගිය ඔවුන්ටත් දෙවියන් සහිත ලෝකයාටත් ඉමහත් සැපයක් යහපතක් බවය. ඔවුනොවුන් බැණ ගැනීම් ඇන කොටා ගැනීම් මිනිස් ගති නොව තිරිසන් ගති ය. ලෝකයෙහි විනීත ශුද්ධ පුද්ගල කොටසක් ලෙස සැලකෙන පැවිද්දන් අතර ඒ තිරිසන් ගති පහත් ගති ඇති වෙනවා නම් එය ඉතා අමනෝඥය. පැවිද්දන් භේද වී වෙසෙනවා නම් ඔවුන් අතර බැණීම්, තර්ජනය කිරීම්, එකිනෙකාට පහර දීම්, ඔවුනොවුන්ගේ අගුණ පැතිරවීම්, ඔවුනොවුන්ට ආපත්ති ආදියෙන් චෝදනා කිරීම්, දුබලයන් පන්සල්වලින් නෙරපා දැමීම්, දුබලයන් ගේ පන්සල් අල්ලා ගැනීම්, නඩු කීම්, නඩු කියවීම් යන මේ පැවිද්දන්ට අයෝග්‍ය වූ පහත් ක්‍රියා සිදු වන්නේ ය. ඇතැමෙක් අනුන්ට අලාභ හානි කිරීමෙන් හා කරවීමෙන් ද අනුන් අයත් දේ අල්ලා ගැනීමෙන් ද, නඩු කීමෙන් හා නඩු කියවීමෙන් ද පාරාජිකාවට පැමිණ භික්ෂූත්වයෙන් ද පහවන්නාහ. පැවිද්දන් ඔවුනොවුන් කෝලාහල කරනු දක්නා ගිහියෝ “මොවුන් ළඟ කිසි ගුණයක් නැත. අපට තරමටවත් ගුණයක් මොවුන්ට නැත. මොවුන් ඇසුරු කිරීමෙන් මොවුනට දන් දීමෙන් අපට ඇති යහපතක් නැත ය” කියා පැවිද්දන් වර්ජනය කරන්නාහ. පහත් කොට සිතන්නාහ. එය පැවිද්දනට කොතරම් ලජ්ජාවට කරුණක් ද? යම් විහාරයක භික්ෂූහු එකිනෙකා භේද ව ඔවුනොවුන්ට වෛර කෙරෙමින් වෙසෙත් නම්, ඒ භික්ෂූන්ට දවසෙහි වැඩි කාලයක ඇති වන්නේ ද්වේෂ සහගත සිත් ය. ඒවා පව් සිත් ය. පැවිදි වන්නේ පවින් වැළකී විසීමටත් ගිහි ව ඉන්නවාට වඩා පින් සිදු කර ගැනීමටත් ය. යමකු පැවිද්දෙහි සිට දවසෙන් වැඩි වේලාවක් පව් රැස් කරනවා නම් එය ඉතා පහත් ක්‍රියාවෙකි. නිතර ද්වේෂයෙන් වෙසෙන තැනැත්තාට මරණ මොහොතෙහි දී එය අමතක කර දැමීම පහසු නො වන්නේ ය…. MORE]
“මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i). බාල අනග්ගහිත මහණ පිරිසද,
(ii). උත්තම හෙවත් අග්ගහිත භික්ෂු පිරිසද යන
දෙපිරිසය.
(i). බාල, නිකෘෂ්ට අනග්ගහිත282 මහණ පිරිස කවුරුන්ද?
“මහණෙනි,
යම් ස්ථවිර භික්‍ෂු පිරිසක් තමන් බොහෝ වස් විසුවෝය, සාසනයේ පැරැන්නෝය කියා ජේෂ්ඨ භාවය පිණිස පිළිපන්නාහු, තමන් ද සිය ශිෂ්‍යයෝද පසුගාමී කරන්නෝය. හුදෙකලාව වත් පිළිවෙත් කිරීමට මැලිවන්නෝ වේ. තමන් නොලත් (මාර් ග) ඵල ලබන්නට වීර්ය කිරීම අතපසු කරන්නෝය. වීර්ය නොකරන්නොවන්නොය. ඔවුනගේ ශිෂ්‍යයෝද එසේම ඔතැනි වන්නෝය.”
මෙබදු භික්ෂු පිරිස අනග්ගහිත මහණ පිරිස වේ.
[282:- දිට්ඨානුගතින් ආපජ්ජති ලෙස මනොරථ පුරණිය දක්වන්නේ තමන්ගේ වැරදි දිට්ඨියක් නොව තමන් දුටු පිළිවෙල අනුව කිරීමය. එනම් සිය ගුරු ආචාර්ය උපාධ්‍යයන් පෙර කල කී දේ තමා දැක්ක ලෙස ඇසු ලෙස අනුගමනය කිරීමය. ධර්ම විනයට අනුව මේ කිරීම් කීම් සුදුසුදැයි නොසොයා නොබලා කිරීම නිසා ධර්ම විනය සසුනෙන් ඈත්වේ.]
(ii). “අග්ගහිත මහණ පිරිස කවුරුන්ද?,
මහණෙනි, ස්ථවිර භික්‍ෂූහු ප්‍රත්‍ය බාහුල්‍යයෙහි නොඇලී ශික්‍ෂා ගරුකරමින්, ප්‍රතිපත්ති පුරයිද, සමාජ ශීලී බව දුරලා හුදෙකලාව භාවනා වඩත්ද, පසුබැසීම් නම් පඤ්චනීවරණ ධර්‍මයන් හරණට වීර්‍ය්‍ය ඇත්තේද, නිර්‍වාණ ධර්‍මයෙහි පූර්‍වඞ්ගම සිත් පිහිටවූවෝ වෙත්ද, ඔවුහු නොලැබූ ගුණයන් ලැබීම පිණිසද, අවබෝධ නොකරණලද ධර්‍මයන් අවබෝධ කිරීම පිණිසද, ප්‍රත්‍යක්‍ෂ නොකරණලද ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂකිරීම පිණිසද වීර්‍ය්‍යය කරති. සිය ආචාර්යයන් උපාධ්යායයන් එසේ නොකලාය කියා තමන් ඒ වැරදි මග නොයති.
ඔවුනගේ ශිෂ්‍යය, පශ්චිම භික්ෂු සමූහයාද ප්‍රත්‍ය බාහුල්‍යයෙහි නොඇලේ. සාසන ප්‍රතිපදාව ලිහිල් කොට නොගනී., පසු බැසීම් නම් පංච නීවරණ ධර්‍ම පූරණයන් මැඩලා නිර්‍වාණය සාක්ෂාත් කරන්නට අරඹන ලද වීර්ය අත් නොහරී. පෙර නොපැමිණෙන ලද ඵලයන්ට පැමිණීම පිණිස හා අවබෝධ නොකළ ඵල විශේෂයන්ගේ අවබෝධය පිණිසද, ප්‍රත්‍යක්‍ෂ කළ ධර්‍මයන් ප්‍රත්‍යක්‍ෂ කිරීම පිණිසද, (කායික, චෛතසික) වීර්‍ය්‍යය වඩයි. මහණෙනි, මේ අග්‍රවතී මහණ පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, මේද මහණ පිරිස් දෙකකි.
මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් අග්‍රවතී මහන පිරිසම උතුම් ය.”
[283:- මනෝරථ පුරණිය:- අග්ගවතී යනු උත්තම පුද්ගලබව ඇත්තෝයි. අග්‍රවූ හෙවත් උත්තමවූ පිළිවෙතින් යුක්තවූවෝයි. එයින් වෙනස්වූවෝ අනග්ගවතී නමි. බාහුලිකා යනු සිවුරු ආදිය බොහෝ ඇතිබවට පිළිපන්නෝයි. සසුන ලිහිල්ලෙස ගනිත්නුයි සාථලිකා නමි. ඔක්කමනෙ පුබ්බ්ංගමා යනු මෙහි ඉවත්වයාමේ අරුතින් පංචනීවරණ ඔක්කමනයයි කියනුලැබේ. එහෙයින් පංචනීවරණ පිරීමෙහි පෙරටුවෝයි කියනලද්දේවෙයි. පවිවෙකෙ යනු උපධිචිවෙකයෙහියි, නිවනෙහියි. නික්‍ඛිත්තධුරා යනු ත්‍රිවිධ විවේකයෙහිම ඉවතදැමූ වගකීම් ඇත්තෝ, බහාතැබූ වගකීම් ඇත්තෝයි. නවිරියං ආරභන්ති යනු ද්විවිධ වීර්යයම නොකරත්. අප්පතතස්ස පත්තියා පෙර නොපත් ධ්‍යානවිදර්‍ශනා මාර්‍ගඵල විශේෂයකට පැමිණීම සඳහායි. ඉතිරි පදදෙක එහිම පර්‍ය්‍යාය වචනයි. පච්ඡිමා ජනතා යනු සද්ධිවිහාරික අනෙතවාසික ජනයායි. දිට්ටානුගතිං ආපජ්ජති යනු ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් විසින් කරනලද දෙය අනුකරණය කරමින් දෘෂ්ටියට, ඔවුන්ගේ පැවැත්ම අනුගතවීමයි. සෙස්ස කියනලද්දට විරුද්ධ ක්‍රමයෙන්ම දතයුතුයි.]
“මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i) තවමත් අනාර්‍ය්‍ය (පෘථග්ජන) මහණ පිරිසද,
(ii) ආර්‍ය්‍යය මහන පිරිස
යන දෙපිරිසයි.)
(i). “අනාර්‍ය්‍ය (පෘථග්ජන) පිරිස කවරීද?
මහණෙනි, යම් පිරිසෙක භික්‍ෂූහු
මේ දුක්ඛය යැයි ඇතිසැටියෙන් නොදනිත්ද,
මේ දුක්ඛය ඇති වීමට හේතුවයැ යි ඇතිසැටියෙන් නොදනිත්ද,
මේ දුක්ඛය නැතිවීමයයි ඇති සැටියෙන් නොදනිත්ද,
මේ දුක් නිරුද්‍ධ කිරීමට පමුණුවන පිළිවෙත යයි ඇතිසැටියෙන් නොදනිත්ද,
මහණෙනි, මේ ආර්‍ය්‍ය නොවූ මහණ පිරිසයයි කියනු ලැබේ.
(ii). “ආර්‍ය්‍ය පිරිස කවරීද?
මහණෙනි, යම් පිරිසෙක්හි භික්‍ෂූහු තුමූ මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනිත්ද, මේ දුක් උපදින හේතුවයයි තතුසේ දනිත්ද, මේ දුක් නැති කිරීමයයි තතුසේ දනිත්ද, මේ දුක් නැති කිරීමේ පිළිවෙතයයි තතුසේ දනිත්ද, මහණෙනි, මේ ආර්‍ය්‍යය මහණ පිරිසයයි කියනු ලැබේ.284
“මහණෙනි, මේද මහණ පිරිස් දෙකකි.
මහණෙනි, මේ දෙපිරිස දෙක අතුරෙන් ආර්‍ය්‍ය පිරිස භික්ෂූ පිරිසම උත්තම වේ.
[284:- ඉදං දුක්‍ඛන්ති යථාභූතං නප්පජාන්නති යනු තෘෂ්ණාව හැර ත්‍රෛභූමික පංච ස්කන්‍ධය දු:ඛසත්‍යය නම් වෙති’යි. මෙපමණක්ම දුකය. ඉන්මත්තෙහි දුකක් නැතැයි යථා ස්වභාවය වශයෙන් නොදනිත්. සියලුතන්හි මේ ක්‍රමයයි. සෙසු පදයන්හි වනාහි ඒ දුක මතුකරවන්නාවූ මුල් තෘෂ්ණාව සමුදය නමි. ඒ තෘෂ්ණාවගේ – ඒ සත්‍ය දෙකේම සම්පූර්‍ණ විනාශය, නොඉපදවීම දු:ඛ නිරෝධය නමි. ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගය දු:ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව නමැයි මෙසේ මේ සූත්‍රයෙහි චතුරාර්ය සත්‍යයෙන් සතර මාර්‍ගද සතර ඵලද කියලදී.]
“මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i) රොඩු සිත් ඇති නිසරු මහණ පිරිසද,
(ii) සාර සිත් ඇති සරු මහණ පිරිස
යන දෙපිරිසයි.
(i). “රොඩු වැනි නිස්සාර මහණ පිරිස කවරීද? 285
මහණෙනි,
යම් භික්‍ෂූහු පිරිසෙක්හි මහනුන්
ඡන්‍දයෙන් අගතියට යෙත්ද,286
දෝෂයෙන් අගතියට යෙත්ද,
මෝහයෙන් අගතියට යෙත්ද,
භයින් අගතියට යෙත්ද,
මහණෙනි,
මේ සතර ආකාරයෙන් අගතියට යන්නට සංස්ඛාර රැස්කරන භික්ෂු පිරිස
කසට (හිස්) පිරිස යයි කියනු ලැබේ.
[285:- පරිසක සටො යනු කිළිටි පිරිස, නිසරු (රොඩු) පිරිස, හිස් පිරිස යන අරුත්ය.
[286:- චන්දයෙන් අගතියට යාම යනු සියල්ලෝම සිය සංස්ඛාර නිසා මතු භවයක් ලැබීමයි. මේ “චන්දය” බොහෝ සේ වටහා ගන්නට අසීරු එකකි. එය වටහාගැනීම යම්තම්න්වත් කරගත හැකිනම් එය ඔබේ සංසරණය අඩු කර ගන්නට දැඩි සේ උපකාර වේ.]
පුජ්‍ය මැල්සිරිපුර කුසලධම්ම හිමි කල කෙටි තේරුම්කිරීම අසන්න
(ii). සාර මහණ පිරිස කවරීද?
“මහණෙනි, භික්‍ෂූහු ඡන්‍දයෙන් අගතියට නොයත්ද, දෝෂයෙන් අගතියට නොයත්ද, මෝහයෙන් අගතියට නොයත්ද, භයෙන් අගතියට නොයත්ද, මහණෙනි, මේ ප්‍රසන්නවූ සාරවූ මහණ පිරිසය යි කියනු ලැබේ.
“මහණෙනි, මේද මහණ පිරිස් දෙකකි.
මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් ආර්‍ය්‍ය මහන පිරිසම අග්‍රය. උතුම්ය .
[286:- පරිස මණේඩා යනු පහන් පිරිස, සරු පිරිස යන අරුත්ය.
ඡන්‍ද්‍රගතිං ගච්ඡන්ති යනු ඡන්‍දයෙන් අගතියට යත්, නොකළයුත්තක් කරති යන අරුත්ය. සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි. මේ සතර අගතියට යෑම් භාණ්ඩ බෙදීමෙහිදීද අධිකරණයෙහිදීද ලැබෙයි. එහි භාණ්ඩ බෙදීමේදී තමන්ට භාර වූවාවු භික්‍ෂූන්ට (තමන්) නොකැමති භාණ්ඩයක් ලැබුණුවිට එය මාරුකොට (තමන්ට) කැමති දෙයක් දෙන්නා ඡන්‍දාගතියට යයි නම් වෙයි. තමන්ට භාර නොවූවන්ට කැමති බඩුවක් ලැබුණුවිට එය මාරුකොට නොකැමති දෙයක් දෙන්නා දොසාගතියට යයි නමි. බෙදියයුතු භාන්ඩයන්ද ලහ බෙදා නැවත්වූ තැනද නොදන්නා මෝහයෙන් අගතියටයයි නමි. කට හැකරවූවන් හා රජුන් ඇසුරු කරන්නවුන් අතුරෙන් මොවුහු නොකැමති භාණ්ඩයක් දුන කල්හි මට අනර්‍ත්‍ථයක් කෙරෙත්යයි බියෙන් මාරුකොට කැමති දෙයක් දෙන්නා බියෙන් අගතියට යයි නමි. යමෙක් එසේ නොයන්නේද සියල්ලනට සමව ප්‍රාමාණිකවී මැදහත්ව යමක් යමෙකුට පැමිණෙයිද එයම ඔහුට දෙයි. මෙතෙමේ සතරාකාරවූම අගතියට නොයයි නමි. අධිකරණයෙහිදී වනාහි තමන්ට භාරවූවහුගේ ගරු ඇවත ලුහු ඇවතකැයි කියන්නේ ඡන්‍දයෙන් අගතියට යයි නමි. අනිකකුගේ ලුහු ඇවත ගරු ඇවතකැයි කොට කියන්නේ දේවෂයෙන් අගතියට යයි නමි. ඇවතින් නැඟී සිටියවුන් පිළිබඳව සමුච්චයක්‍ඛන්‍ධකය (චුල්ලවග්ගයේ තෙවැනි කොටස) ද නොදන්නේ මුළාවෙන් අගතියට යයිනමි. දොඩමළුවූවහුගේ හෝ රජුන් විසින් පුදනලද්දහුගේ ගරුක ඇවතක්කොට කියන්නාවූ මට මෙතෙම නපුරක් කරන්නේයයි ගරුකවුවද ලුහු ඇවතක්කොටම කියන්නේ බියෙන් අගතියට යයිනමි. යමෙක් වනාහි සියල්ලන්ට සිදුවූ පරිද්දෙන්ම කියයිද මෙතෙම සිවුවැදැරුම් අගති ගමනට නොයයි නමි.]
“මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i) නොහික්මුණ-උක්කාචිත මහණ පිරිසද,
(ii) ධර්මයේ හික්මුණ සුවිනීතවූ මහණ පිරිසද
යන දෙපිරිස වෙත්.
(i). නොහික්මෙන මහණ පිරිස කවුරුන්ද යත්
” සමහර මහනුන් හුදෙකලාව භාවනාවේ යෙදීමට නොව, සභාශීලී ව හිඳ කතා කරමින් සිටින්නට ප්‍රිය කරයි. කථා කරන්නේද විමුක්ති දායක කතා නොව තිරස්චින කතාමය.287 ඔව්හු ධර්මය සමහර විට අසන මුත්, ධර්මය තේරුම් ගත නොහැකිය., දැන ගත්මුත් ඒ අනුව පිළිනොපදින නොහික්මෙන පිරිසක්ය.
මහණෙනි, මේ භික්ෂූහු විසින් කිසි කලෙක තථාගතයන් වහන්සේ විසින් දේශනා කරණ ලද ගැඹුරු අර්ත්‍ථ ඇත්තාවූ, ලෝකෝත්තරාර්‍ථ දක්වන්නාවූ, ශුන්‍යතා ප්‍රතිසංයුක්තවූ ධර්මයෝ නොඅසත්, කන් යොමු නොකරත්, දැනගැණීම පිණිස සිත එළවා නොතබත්, ඒ ධර්මයන් ඉගෙණ ගතයුතුය, පුහුණු කළ යුතුයයි නොහඟියි., ඒ මහනුන් නොහික්මෙන288 මහණ පිරිසට ගැනේ.
[287:-ඔක්කාචිත විනීත යනු සිතින් හා වචනයෙන් අසංවර බවය.
පුරාජෙරු කයිවාරු , පුරසාරම් කතා කීම, තමාටවත් අසන්නාටවත් යහපතක් නොවන අරත ශුන්‍ය හිස් කතා කිරීම් පුරුද්දට ගිය මනුෂ්‍යයයාය. තමාගේ කට හඬට කැමති නිසා ඔහු එසේ දොඩවනවාය කියා අසන්නාට සිතේ.]
[288:- හික්මීම යනු නිර්වාන ගාමිණි ප්‍රතිපදාව පිරීමයි. සාසන බ්‍රහ්මචරියාවේ හැසිරීම යනුද මේ හික්මීමය. යම් භික්ෂුවක් ධර්ම විනය නොඅසත්ද, හැදෑරීමට කැමැත්තක් නොවේද, ඔහු නොහික්මෙන්නෙක් සේ දැක්වේ.]
සද්ධර්මය කිසියම් කවියෙක් කවි කොට ලියයිද, ගායකයෙක් සංගීත ස්වර යොදා ගයයිද, එවිට මේ භික්ෂුව එය අසන්නට සිත් යොමයි. කන් යොමු කරයි. ඒ පද වටහාගන්නට තැත් කරයි. එබඳු කාව්‍යමය දේ ධර්මය වේයැයි මේ කවි ධර්මයට වඩා අගනේය යැයි සිතයි. ඒ ධර්මයන් ඉගෙණගත යුතුයයි ප්‍රගුණ කටයුතුය’ යි හගිත්.
[මනෝරථ පුරණි අටුවාවේ ශුන්‍යතා පටිසන්යුක්ත ගැන වෙන දේශනා ගැන මෙහිදී සඳහන් කර ඇතත් ශුන්යතාවය ගැන එසේ විශේෂත්වයක් දක්වන්නට හේතුවක් නොපෙනේ. මන්දයත් මේ මහණහු චතුරාර්ය සතවයවත් නොදන්නා හෙයිනි.]
” ඔවුහු ඒ ධර්‍මය ප්‍රගුණකොට,
‘කෙසේද, මේ කෙසේ සිදුවන්නේද?”
” මෙහි අර්ත්‍ථය කවරේදැ?’ යි ඔවුනොවුන්ගෙන් නොවිචාරත්.
සාකච්චා නොකරයි., නොවැටහෙන කාරනා වටහා නොගනී.
මහණෙනි,
මේ මහණ පිරිස දුර්විනීතවූ ධරමාවබෝධයෙන් හීන
නොහික්මුමෙන පිරිසයයි කියනු ලැබේ.
(ii). ධර්මයේ හික්මුණ සුවිනීතවූ
මහණ පිරිස කවුරුන්ද ?
“ මහණෙනි, මේ ශාසනයෙහි යම් භික්‍ෂූහු, කවීන් විසින් කරණලද, කවීන් කියවන, විසිතුරු විස්තර විසිතුරු පද වචනාදිය ඇත්තාවූ, කවි ගී සින්දු ආදිය සසුනෙන් බාහිර යමෙක් කීවත්, මේ සසුනෙම තවත් ශ්‍රාවකයෙකු කීවත් ඒ අසන්නට කන් යොමු නොකරයි. නමුත් තථාගතයන් දේසනා කල ගාම්භීර ධර්මය අනෙකෙකු සජ්ජායනා කරයිද, දේශනා කරයිද, සාකච්චා කරයිද, ඒ අසන්නට කන් යොමයි. ඒ ගැන සිතන්නට සිත් නමයි. මේ ගාම්භීර ධර්මය අවබෝධ කරගත යුතු යැයි සිතයි.
ඒ ධර්මය හදාරා “මේ කෙසේ වේද? “එයට හේතු වන්නේ කුමක්ද ?” මෙහි අර්ථය කෙසේද?” ආදී ලෙස එකිනෙකා හා සාකච්චා කරයි. තිරස්චින කතාවෙහි නොයෙදී මෙසේ ධර්මයම සාකච්චා කරමින් ධර්මය වටහා ගනී.
“මහණෙනි, මේ පිරිස පිළිවිසීමෙන් හික්මුනාවූ, මහණ, පිරිස යයි කියනු ලැබේ.
“මහණෙනි, මේද මහණ පිරිස් දෙකකි.
මේ පිරිස් දෙක අතුරෙන් පිළිවිසීමෙන් හික්මුනාවූ, සුවිනීතවූ පිරිස අග්‍රවේ. උතුම් වේ,”
නොපටිපුච්ඡා විනීතා යනු විමස විමසා විනීත නොවුවෝයි.
ගම්භීරා යනු සල්ලසූත්‍ර වැනි පෙළ වශයෙන් ගැඹුරුවූයි. ගම්භීරත්‍ථා මහාවේදල්ල සූත්‍රය වැනි අර්‍ත්‍ථ වශයෙන් ගැඹුරුවුයි. ලොකුත්තරා යනු ලෝකෝත්තර අර්ථ ප්‍රකට කරන්නාවූයි.
සුඤ්ඤතා පටිසංයුත්තා යනු සඤ්ඤාසංඛාත සංයුත්තය වැනි ශුන්‍යවූ ධම්මාත්‍රයම ප්‍රකාශ කරන්නාවූයි.
න අඤ්ඤාචිත්තං උපට්ඨාපෙන්ති යනු දැන ගැනීම සඳහා සිත නොඑළවත්.
නිදත් හෝ සිත වෙනතකට යොමු වූවාහු හෝ වෙත්.
උග්ගභෙතබ්බං පරියාපුණිතබ්බං යනු උගතයුතුදේද පුහුණු කළයුතුදේද යනුයි.
කවිකතා යනු කවීන් විසින් කරනලදැයි සෙස්ස එහිම පර්‍ය්‍යාය වචනයි.
චිත්තක්‍ඛරා යනු විසිතුරුවූ අකුරුයි. සෙස්ස එහිම පර්යාය වචනයි.
බාහිරකා යනු සසුනින් පිටත වූවෝයි. සාවකභාසිතා යනු ඔවුනොවුන්ගේ ශ්‍රාවකයන් විසින් කියනලද්දාවූයි. සුස්සුසන්ති යනු අක්‍ෂරවිචිත්‍රත්වය නිසා හෝ ස්වර සම්පත්තිය (මිහිර ස්වර) නිසා සතුටු සිතැතිව අසත්.
න චෙච අඤ්ඤමඤ්ඤං පටිපුච්ඡන්ති යනු අර්‍ත්‍ථය හෝ අනුසන්‍ධි (ගැලපීම) හෝ මුල අග (ගැලපීම) හෝ නොවිමසත්
පටිවිචරන්ති යනු ඇසීම (විමසීම) සඳහා චාරිකාවෙහි නොයත්. ඉදං කථං යනු මේ ව්‍යංජනය කෙසේ නැංවිය යුතුද කුමකට නැංවියයුතුද යනුයි. ඉමස්සක්‍චන්‍ථො යනු මේ ප්‍රකාශයේ අර්‍ත්‍ථය කුමක්ද? අනුසන්‍ධිය කුමක්ද? මුලඅග කුමක්ද යනුයි. අවිවටං යනු වැසුණුයි. නවිවරන්ති යනු නොඅරිත්. අනුත්තානීකතං යනු නොපැහැදිලිවූයි. කඞ්ඛාඨානීයෙසු යනු සැකයට හේතුවූ තැන්හියි. යහපත් අංශය කියනලද්දට විරුද්ධ නයින් දතයුතුය.
“මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i) සිවුපසය පමණක් ගරු කොට ඇති
දහම ගරුකොට නැත්තාවූ මහණ පිරිසද,
(ii). ආමිෂය (සිවුපසය) ගරු නොකරන මුත්,
දහමට ගරු කරන මහණ පිරිස යන
දෙපිරිස වෙත්.
(i) සිවුපසය පමණක් ගරු කොට ඇති
දහම් ගරුකොට නැත්තාවූ මහණ පිරිස කවුරුන්ද?
“ මහණෙනි,
යම් භික්‍ෂූන ගිහි දායකාදීන්ට ඇසෙන සේ ඔවුන් ඉදිරියේ,
‘අසවල් ස්වාමින් වහන්සේ (විස්කම්භන, සමුච්ඡෙද යන) දෙකොටසින් මිදුනේය,
අසවල් ස්වාමින් වහන්සේ ප්‍රඥාවෙන් විමුක්තය,
අසුවලා කයින් ධ්‍යාන ස්පර්‍ශකොට, නිවන් ප්‍රත්‍යක්‍ෂ කෙළේය.
අසුවලා මාර්‍ග දෘෂ්ටියට පැමිණියේය.
අසුවලා ශ්‍රද්ධාව නිසා මිදුනේය.
අසුවලා ධර්මය අනුව සිහිකරන ස්වභාවය.
අසුවලා ශ්‍රද්‍ධානුසාරීය. අසුවලා සිල්වත්ය.
අසුවලා කල්‍යාණ ස්වභාව ඇත්තේය.
අසුවල් මහණහු ලාමක ස්වභාව ඇත්තේය.
අසුවල් මහණා දුශ්ශීලයයි ” කියමින් ඔවුහු අනුන්ගේ ඒ ගුණාගුණ කීමෙන් තමන් සිවුපසය ලබත්.
ඔවුහු ඒ ලාභයනට තෘෂ්ණාවෙන් ඊටම ගැටගැසෙති.
ඉන් මූර්ඡාවී ඒවායේ , ගැලී සිටිති.
ඒ ආමිස ප්‍රත්යය් ලැබීමේ ආදීනව (වරද) නොදක්නෝය.
ඡන්‍දරාගය දුරු කොට, විරාග නිස්සරණ වඩන ප්‍රඥාවෙන් තොරව, (සිවුපසය) පරිභෝග කෙරෙත්.
මහණෙනි, මේ ආමිසය ගරුකොට ඉන්සනා දහම් ගරුකොට නැත්තාවූ පිරිස යයි කියනු ලැබේ.
(ii). “සිවුපසය නොව ,
ධර්මය ගරුකොට ඇත්තාවූ, පිරිස කවරීද?
මහණෙනි, යම් භික්‍ෂූහු ගිහී දායකයන් ඉදිරියෙහි එකිනෙකාගේ ගුණ නොකියන්නේ, අසවල් ස්වාමින් වහන්සේ (විස්කම්භන, සමුච්ඡේද යන) දෙකොටසින් විමුක්තය. අසවල් ස්වාමින් වහන්සේ ප්‍රඥාවෙන් විමුක්තය. අසවල් ස්වාමින් වහන්සේ කයින් ධ්‍යාන ස්පර්‍ශකොට පසුව නිවන් පසක් කෙළේය. අසවල් ස්වාමින් වහන්සේ මාර්‍ගදෘෂ්ටියට පැමිණියේය. අසවල් ස්වාමින් වහන්සේ ශ්‍රද්‍ධාවිමුක්තය. අසවල් ස්වාමින් වහන්සේ ධර්‍මානුසාරීය. අසවල් ස්වාමින් වහන්සේ ශ්‍රද්‍ධානුසාරීය, අසවල් ස්වාමින් වහන්සේ සිල්වත්ය. යහපත් ස්වභාව ඇත්තේය. ලෙස අන් ශ්‍රමණයන්ගේ මාර්ගඵල ගැන උසස් ඥාන ගැන කියමින් දායකයන්ගෙන් තමන්ට ආමිස ලාභ නොපතයි.
අසවල් මහණහු දුශ්ශීලය. පාප ස්වභාව ඇත්තේයයි නොකියත්, ඔවුහු තුමූ සිවුපසය ලැබීමෙහි (තෘෂ්ණාවෙහි) ගැට ගැසුනාහු, මුසපත් නොවූවාහුය, ගැලී නොසිටියාහුය, ආදීනව දක්නාසුලු වූහ, නිස්සරණ ප්‍රඥාවෙන් යුක්තවූහ, තමන් ලබන සිවුපසය පරිභෝග කරත්.
මහණෙනි, මේ සද්ධර්මය ගරු කරන්නාවූ, ආමිෂය ගරු නොකරන්නාවූ මහණ පිරිසයයි කියනු ලැබේ.
මහණෙනි, මේද මහණ පිරිස් දෙකකි.
“මහණෙනි,
මේ පිරිස් දෙක අතුරෙන් සද්ධර්මය ගරුකරන්නාවූ, ආමිෂය ගරු නොකරන්නාවූ, පිරිසම අග්‍රවේ.
[ආමිසගරූ යනු සිවුපසය ගරුකොට ගත් ලෝකෝත්තර ධර්‍මය පහත්වශයෙන් ගත් පිරිසයි.
සද්ධම්මගරූ යනු නවලොවුතුරා දහම ගරු කොට සිවුපසය ලුහුකොට ගෙන සිටි පිරිසයි.
උභතොභාගවිමුතේතා යනු අංශදෙකින්ම මිදුණු තැනැත්තායි.
පඤ්ඤා විමුතතො යනු ප්‍රඥාවෙන් විමුක්තියට පත් ශූෂ්ක විදර්‍ශක රහතන්වහන්සේයි.
කායසක්‍ඛි යනු ප්‍රඥාවෙන් විමුක්තියට පත් ශුෂ්ක විදර්‍ශක රහතන්වහන්සේයි.
කායසක්‍ඛි යනු ශරීරයෙන් ධ්‍යානස්පර්‍ශය විඳ පසුව නිරොධ සංඛ්‍යාත නිවන පසක්කොට සිටියේයි.
දිට්ඨප්පත්තො යනු දෘෂ්ටි අන්තයට පැමිණියි. මේ දෙකම තැන්සයක ලබත්. සද්ධාධිවිමුත්තො යනු අදහමින් (විශ්වාස කරමින්) විමුක්තියට පත්වූයි. මෙයද තැන් සයක ලැබෙයි. ධර්‍මය සිහිකරන්නෙනුයි ධම්මානුසාරී නම් වේ. ශ්‍රද්ධාව සිහි කරන්නේනුයි සද්ධානුසාරී නමි. මේ දෙකම පළමුමාර්‍ගය හා එක්ව පවතින්නේයි. කල්‍යාණ ධම්මො යනු සුන්දර ධර්‍මයයි. දුස්සීලො පාපධම්මො යනු සිල් නැත්තේ පවිටු දහම් ඇත්තේයි මෙය කෙසේ ගනිත්ද?
සියලුදෙනා එකම වැනිවූවිට සිල්වතුන් කෙරෙහි දැඩි ගෞරවයක් වෙතැයි හඟිමින් ගනිති. තෙ තෙන ලාහං ලභන්ති යනු ඒ භික්‍ෂූහු ඇතමුන්ගේ ගුණද ඇතැමුන්ගේ අගුණද කියා සිවුපසය ලබත්. ගථිතා යනු තෘෂ්ණාවෙන් ගැට ගැසුණාවූයි. මුච්ඡිතා යනු තෘෂ්ණා වශයෙන්ම සිහි මුළාවූයි. අජෙක්‍ධාපන්නා යනු අදහසෙහි ගිලී නිමාවට පමුණුවා සිටියෝයි. ආදීනව දස්සවිනො යනු ප්‍රත්‍යවෙක්‍ෂා නොකළ පරිභොගයෙහි ආදීනව නොදක්නාහුයි. අනිස්සරණපඤ්ඤා යනු සිවුපසයෙහි ඡන්‍දරාගය ඉවතට අදින්නාවූ නිස්සරණ ප්‍රඥාවෙන් තොර වූවෝයි. මේ අර්‍ත්‍ථය මෙයයයි නොදන්නාහුයි. පරිභුඤ්ජන්ති යනු ඡන්‍දරාගය ඇත්තෝ වී අනුභව කරති.
යහපත් අංශයෙහි උභතොභාග විමුත්තො යන ආදියෙහි ආර්‍ය්‍ය පුද්ගලයන් සත් දෙනාගේම මේ සැකෙවින් කළ ප්‍රකාශනයයි. එක් භික්‍ෂුවක් ප්‍රඥාධුරයෙන් ඇලී සිටියේ අෂ්ටසමාපත්තීන් උපදවා සෝවාන් මගට පැමිණෙයි. හෙතෙම එකෙණෙහි ධම්මානුසාරි නම් වෙයි. සෝවාන්ඵලාදී සයතන්හි කායසක්‍කි නම් වෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි උභතොභාග විමුත්ත නම් වෙයි. සමාපත්තීන්ගෙන් විෂ්කම්භක විමුක්තියෙන්ද මාර්‍ගයෙන් සමුචේඡද විමුක්තියෙන්ද දෙවරක් හේ දෙගුණයකින් විමුක්තියට පත්වූයේ යන අර්‍ත්‍ථයි. අන් තැනැත්තේ ප්‍රඥාධුරයෙහි නිරතවූයේ සමවත් උපදවීමට අසමත් වෙමින් ශුෂ්කවිදර්ශකයෙක්ම වී සෝවාන් මගට පැමිණෙයි. හෙතෙම එකෙණෙහි ධම්මානුසාරී නම් වෙයි. සොතාපත්ති ඵලාදී සය තැන්හි දිට්ඨප්පත්ත නම්වෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි පඤ්ඤාවිමුත්ත නම් වෙයි. අනෙකෙක් ශ්‍රද්ධා ධුරයෙහි නිරතවූයේ අටසමවත් උපදවා සෝවාන් මගට පැමිණියි.
හෙතෙම එකෙණෙහිද සද්ධානුසාරී නම්වෙයි. සෝවාන් ඵලාදී සය තැන්හි කායසක්‍ඛිනම් වෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි උභතොභාග විමුත්ත නම් වෙයි. අනෙකෙක් ශ්‍රද්ධාධුරයෙහි නිරතවූයේ සමවත් උපදවීමට නොහැක්කේ ශුෂ්කවිදර්‍ශකයෙක්මවී සෝවාන් මගට පැමිණෙයි. හෙතෙම එකෙණෙහි සද්ධානුසාරී නම් වෙයි. සෝවාන් ඵලාදී සය තැන්හි සද්ධාවිමුත්ත නම් වෙයි. අරහත් ඵලක්‍ෂණයෙහි පඤ්ඤාවිමුත්ත නම්වෙයි.
“මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i) විසමවූ (දුසිල්) මහණ පිරිසද,
(ii) සමවූ (සිල්වත් ) මහණ පිරිස
යන දෙපිරිසය.
(i). “මහණෙනි, දුසිල් මහන පිරිස කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි යම් මහණුන් නොපැනවූ නීති විනයට ඇතුල් කරන්නට කියයිද, පනවා ඇති විනය නීති ලිහිල් කල යුතු යයි වෙනස් කල යුතු යයි කියත්ද මේ මහණ පිරිස දුෂි මහන පිරිසක්යැයි කිව යුතුය.
මේ පිරිස විෂම බැවින් අධර්මයෝ ධර්මය යයි මිනිසුන් පවසත්. ධර්‍මයෝ නොපවතිත්. විනයට විරුද්ධ කාරනා පවතිත්. විනය නොපවතිත්.
(ii). “සිල්වත් මහණ පිරිස කවරීද?
“මේ ශාසනයෙහි යම් භික්ෂු පිරිසක් ධර්ම විනයෙහි පනවා ඇති විනය පෙල පවත්වයිද, අධර්මයෝ නොපවත්ද, විනය පවත්වයිද, එසේ වූ කල අවිනය ඇති නොවෙති. ධර්මය බැබලෙත්, අධර්ම කර්මයෝ නොබැබලෙත්, විනය කර්මයෝ බැබලෙත්, විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්,
මහණෙනි, මේ සිල්වත් මහණ පිරිසයයි කියනු ලැබේ.
මහණෙනි, පිරිස සිල්වත් බැවින් සත් ධර්මයෝ පවතිත්. අධර්ම නොපවතිත්. විනය කර්මයෝ පවතිත්. අවිනය කර්මයෝ නොපවතිත්. ධර්ම කර්මයෝ බැබලෙත්. අධර්ම කර්මයෝ නොබැබලෙත්. විනය කර්මයෝ බැබලෙත්. විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්.
“මහණෙනි, මේද මහණ පිරිස් දෙකකි.
මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් සිල්වත් මහන පිරිසම අග්‍රය. ශ්‍රේෂ්ඨය”
[ විසමා යනු පැකිලීම් සහිතය යන අරුතින් විසමවූයි. සමා යනු නොපැකිලෙන අරුතින් සමවූයි. අධම්මකම්මානි යනු ධර්‍මවිරෝධී කටයුතුයි. අචිනය කම්මානි යනු විනය විරෝධී කටයුතුයි.]
“මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i) ධර්මයට අනුව නොපිළිපදින මහණ පිරිසද,
(ii) ධර්මයට අනුව පිළිපදින මහණ පිරිසද,
යන දෙපිරිස වෙත්.
(i) “මහණෙනි,
ධර්මයට අනුව නොපිළිපදින
අධාර්මික පිරිස කවරීද?
“මහණෙනි, මේ ශාසනයෙහි යම් මහණුන් නොපැනවූ නීති විනයට ඇතුල් කරන්නට කියයිද, පනවා ඇති විනය නීති ලිහිල් කල යුතු යයි වෙනස් කල යුතු යයි කියත්ද මේ මහණ පිරිස දුෂිල් මහන පිරිසක්යැයි කිව යුතුය.

(ii)“මහණෙනි,
ධර්මයට අනුව පිළිපදින
ධාර්මික පිරිස කවරීද?
මේ ශාසනයෙහි යම් පිරිසක් පවතින ධර්ම කර්මයෝ පවත්වයිද, අධර්ම කර්මයෝ නොපවත්වයිද, පවතින විනය කර්මයෝ පවත්වයිද, අවිනය කර්මයෝ නොපවත්වයිද, එවිට ධර්ම කර්මයෝ බැබලෙත්ද, අධර්ම කර්මයෝ නොබැබලෙත්ද, විනය කර්මයෝ බැබලෙත්ද, විනය විරුද්ධ කර්මයෝ නොබැබලෙත්ද,
මහණෙනි, මේ සම පිරිසයයි කියනු ලැබේ. .
“මහණෙනි, මේද මහණ පිරිස් දෙකක්වේ.
මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් ධාර්මික පිරිසම අග්‍රවේ.”
“මහණෙනි,
මහනුන් පිරිස් දෙකකි.
කවර දෙපිරිසක්ද යත්:
(i) අධර්මය දේසනා කරන මහණ පිරිසද,
(ii) ධර්මය දේසනා කරන මහණ පිරිස
(යන දෙක) වෙත්.
(i) “මහණෙනි,
අධර්මය දේසනා කරන පිරිස කවරීද?
මහණෙනි,
යම් මහනුන් පිරිසක් භික්‍ෂූහු විනයෙහි අධිකරණ ගොනුවට අයත් කාරනාවක් මතුව ආවිට ඒ කාරණය මෙසේ විනිශ්චය කලයුතු යයි ඔවුනොවුන් හා එකඟ නොවේ. ඒ ගැන සාකච්චා කොට විනිශ්චයකට නොඑයි.
ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ විවාද ආදී විනිශ්චය කළ යුතු කරුණක් ගනිත්ද, ඔවුහු ඒ අධිකරණය ගෙණ එකිනෙකාට ඒ බව නොමදන්වත්ද, දැන්වීම සඳහා රැස් නොවෙත්ද, නොදක්වත්ද, දැක්වීමට නොඑළඹෙත්ද, ඔවුහු තුමූ අසඤ්ඤත්තිය (නොදැන්වීම) බලය කොට ගත්තාහු, නොදැක්වීම බලය කොට ගත්තාහු, විවාදය අත්හැරීමට අදහස් නැත්තාහු, ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන, ඒ දෘෂ්ටිය සිතෙහි ඇතුල්කොට (මෙසේ) ප්‍රකාශ කෙරෙත්ද, ‘මේ (අපගේ වචනය)ම සත්‍යය, මෙයින් අන්‍යවූ වචන තුච්ඡය’ යි කියායි. මහණෙනි, මෙබඳුවූ පිරිස අධර්මවාදී පිරිසයයි කියනු ලැබේ.
(ii). “ ධර්‍මවාදී පිරිස කවරීද?”
යම් භික්‍ෂූහු ධාර්මිකවූ හෝ අධාර්මිකවූ හෝ (විවාද ආදී) අධිකරණයක් ගනිත්ද, ඔවුහු තුමූ මේ අධිකරණය ගෙණ එකිනෙකාට මේ ගැණ දන්වත්ද, දැන්වීම පිණිස රැස්වෙත්ද, දක්වත්ද, දැක්වීම පිණිස පැමිණෙත්ද, ඔවුහු තුමූ දැන්වීම් බලය කොට ඇත්තාහු, දැක්වීම බලය කොට ඇත්තාහු, බැහැරලීමෙහි අදහස් ඇත්තාහු, ඒ අධිකරණයම ශක්තියෙන් අල්වාගෙන, ඒ හැඟීම් (සිතෙහි) ඇතුල්කොට මෙසේ ප්‍රකාශ නොකෙරෙත්ද, (කෙසේද?) ‘මේ අපගේ වචනයම සත්‍යය, අන්‍යයන්ගේ වචන තුච්ඡය’ යි කියායි. මහණෙනි, මෙබඳු පිරිස ධර්‍මවාදී පිරිසයයි කියනු ලැබේ.
“මහණෙනි, මේ පිරිස්හු දෙදෙනෙක් වෙත්.
මහණෙනි, මේ පිරිස් දෙක අතුරෙන් යම් මේ ධර්‍මවාදී පිරිසක් වේද, මේ පිරිස අග්‍රය”
[මෙහි අධිකරණං යනු සතරාකාරවූ විවාදාධිකරණාදිය, අනුවාදඅධිකරණය, ආපත්ති අධිකරණ, කිච්චාධිකරණ, යි.
ආදියන්ති යනු ගනිත්. සඤ්ඤපෙන්ති යනු දන්වත්. න ච සඤ්ඤත්තිං උපගච්ඡන්ති යනු දැන්වීම සඳහා නොරැස්වෙති. න ච නිජ්ක්‍ධාපෙන්ති යනු සලකා නොබලත්. න ච නිජක්‍ධත්තිං උපගච්ඡන්ති යනු ඔවුනොවුන් සලකා බැලීම සඳහා නොරැස්වෙති. අසඤ්ඤත්තිබලා යනු නොදැන්වීමම ඔවුන්ගේ බලයනුයි අසඤ්ඤත්ති බල නමි. අප්පටි නිස්සග්ගමන්තිනො යනු ‘ඉදින් අපවිසින් ගන්නා ලද අධිකරණය ධාර්මික වන්නේ නම් ගන්නෙමු. ඉදින් අධාර්මික නම් අත්හරින්නෙමු’යි යමෙකුට මෙබඳු අදහසක් වේද ඔවුහු පටිනිස්සග්ගමන්තිනො (අත්හැරීමට කථාකරන්නාහු) නම්වෙත්. මොවුහු වනාහි එසේ මන්ත්‍රණය නොකරත්නුයි අප්පටිනිස්සග්ගමන්තිනො නම් වෙත්. ථාමසා පරාමස්ස අභිනිවිස්ස යනු දෘෂ්ටි බලයෙන්ද දෘෂ්ටිගැනීමෙන්ද (ඊට) බැස යනුයි. ඉදමෙව සච්චං යනු මේ අපගේ වචනයම සත්‍යයයි. මොඝමඤ්ඤං යනු අන් අයගේ වචනය නිසරුය, හිස්ය යනුයි. යහපත් අංශය පැහැදිලි අරුත් ඇත්තේමය.]
§1. නොගැඹුරු (ප්‍රකට) පිරිස – උත්තානාච පරිසා
මේ සසුනෙහි පැවිදිව සිටින වික්‍ෂිප්ත සිත් ඇති, උස්ව නැඟුණුමානය ඇති , චපල ,රළුවදන් ඇති, ප්‍රලාප පවසන, මුළාවු සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව නැති, එනිසාම සමාධිගත සිතක් නැති එකඟ වූ සිත් නැති භ්‍රාන්ත සිත් ඇති, සංවර නොකළ නිසා ප්‍රකෘති ඉඳුරන් ඇති භික්‍ෂූහු ප්‍රකට නොගැඹුරු පිරිස වෙති.
§2. ගැඹුරු (අප්‍රකට ) පිරිස – ගම්භීරා ච පරිසා
වික්‍ෂිප්ත නොවු සිත් ඇති, උස්ව නැගි මානය නැති, චපල නොවු, මිහිරි වදන් ඇති, සංවර වදන් ඇති, හිස්වදන් නොපවසන, එළඹ සිටි සිහි ඇති, සම්‍යක් ප්‍රඥාව ඇති, සමාධිගත සිතැති, එකඟ වූ සිතැති, සංවර කළ ඉදුරන් ඇති භික්‍ෂූහු අප්‍රකට ගැඹුරු පිරිස වේ.
§3. බෙදුණූ (ව්‍යග්‍ර) පිරිස – වග්ගා ච පරිසා
ඇතැම් භික්‍ෂූහු වාග් ප්‍රයෝගයෙන් ගැටෙමින්, කලහ කරමින්, විරුද්ධ මතවාද දරමින්, ඔවුනොවුන් කට නැමැති ආයුධයෙන් පහරදී ගනිමින් (භණ්ඩන ජාතා කලහජාතා විවාදාපන්නා අඤ්ඤ මඤ්ඤං මුඛසන්තීහි විතුදන්තා ) වෙසෙති. ඔවුන් අසමගි බෙදුනු පිරිස වේ.
§4. සමඟි (සමග්‍ර) පිරිස – සමග්ගා ච පරිසා
ඇතැම් භික්‍ෂූ පිරිසක් සමඟිව, සතුටු වෙමින් විවාද නොකරමින්, කිරි හා දියමෙන් සැසැදෙමින්, ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇසින් බලමින් වෙසෙත්ද ඒ සමගි පිරිස නම් වේ. (සමග්ගා සම්මෝදමානා අවිවදමානා ඛීරොදකීභූතා . අඤ්ඤමඤ්ඤං පියචක්ඛුහී සම්පස්සන්නා)
§5. අනග්ගවතී (උතුම් පුද්ගලයන් නැති) පිරිස අනග්ගවතී ච පරිසා
ඇතැම් භික්‍ෂූ පිරිසක් සිවුරු, පාත්‍රා ආදි පිරිකර බොහෝ රැස්කර ගෙන සසුන ලිහිල් කොටගෙන, තමා පිරිහවන පංච නීවරණ ධර්මයන්ට වහල්ව , උතුම් විවේකය නම් වූ නිවණ පිළිබඳ බහා තැබූ වීර්ය ඇතිව ( නිවණ පිළිබඳව සිතක්වත් නූපදවා) නොලැබූ ධ්‍යාන විදර්ශනා මාර්ග හා ඵල ලැබීමට උත්සාහ නොගනිමින්, ප්‍රත්‍යක්‍ෂ නොකළ ධර්ම ප්‍රත්‍යක්‍ෂ කර ගැනීමට උත්සාහ නොගෙන නිෂ්කාරණව පසුවෙති. ඔවුන්ගේ ශිෂ්‍ය හිමිවරුද පශ්චිම දායක කාරකාදීහුද දිට්ඨානුගතියට ගොස් එලෙසින්ම සසුන දූෂණය කරති. මේ අනග්ගවතී පිරිස නම් වේ.
§6. අග්ගවතී (උතුම් පුද්ගලයන් ඇති) පිරිස අග්ගවතීච පරිසා
ඇතැම් භික්‍ෂු පිරිසක් බහුභාණ්ඩික නොවී (පිරිකර ගොඩගසාගෙන නොගෙන) සසුන ලිහිල් කොට නොගෙන, පංච නීවරණ දුරු කිරීමෙහි ම නියැලෙමින්, උතුම් විවේකයෙහි නිතර යෙදෙමින් නොපැමිණි ධර්ම ප්‍රතිලාභය පිණිස වෙර වඩමින්, ප්‍රත්‍යක්‍ෂ නොකළ ධ්‍යාන විදර්ශනා මඟ ඵල වඩමින් සිටිත්ද ඔවුන්ගේ ශිෂ්‍යයෝත් පශ්චිම ජනතාවත් ඒ මඟ යති. අනුකරණය කරති. (දිට්ඨා නුගතිං ආපජ්ජති) මේ අග්ගවතී පිරිස නම් වේ.
§7. අනාර්ය ශ්‍රාවක පිරිස –
අනරියාච පරිසා
ඇතැම් භික්‍ෂු පිරිසක් තෘෂ්ණාව හැර මේ පංචස්කන්ධය දුක කැයි තත්වූ පරිද්දෙන් නොදනීද තණ්හාව දුක ඇති කරන හේතුව යැයි නොදනිත් ද තණ්හාව සමුච්ඡේද කිරීමෙන් දුක නිරෝධවන බව තත්වූ පරිදි නොදනිත් ද ආර්ය අෂ්ඨාංගික මාර්ගය දුක නැති කරන මාර්ගය බව තත්වාකාරයෙන් නොදනිත් ද ඒ පුහුදුන් (චතුරාර්ය සත්‍යාවබෝධය නොලත්) පිරිස අනාර්ය නම් වේ.
§8. ආර්ය ශ්‍රාවක පිරිස –
අරියා ච පරිසා
දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව යථාභූත ඤාණදර්ශනයෙන් දුටු භික්‍ෂු පිරිස ආර්ය ශ්‍රාවක පිරිස නම් වේ. සෝවාන් මාර්ගයේ සිට එන මාර්ගස්ථ හා ඵලස්ථ පුද්ගලයෝ අට දෙන මිට අයත් වේ. ඔවුහු සේඛ (සෝවාන් මාර්ගස්ථයාගේ සිට අර්හත් මාර්ගස්ථයා දක්වා) පුද්ගලයෝ සතක්ද අසේඛ පුද්ගලයෙක් (අර්හත් ඵලස්ථ) දැයි ප්‍රභේද කෙරෙති.
§9. කසළ පිරිස –
පරිසකසටො
යම් භික්ෂු පිරිසක් ඡන්දයෙන් , ද්වේෂයෙන්, මෝහයෙන් හා භයින් යන සතර අගතියෙන් අගතියට යන්නේ ද ඔවුහු කසළ පිරිස නම් වේ.
§10. නිකසළ පිරිස –
පරිසමණ්ඩො
සතර අගතියෙන් අගතිගාමී නොවී සමානාත්මතාවයෙන් කටයුතු කරන භික්‍ෂූ පිරිස නිකසළ පිරිස නම් වේ. තමායට පි‍්‍රය අපි‍්‍රය සැමට ම පක්‍ෂ කුල ජාති භේද නොසළකා එක හා සමානව සැලකීම මෙම පිරිසේ ඇති විශේෂ ලක්‍ෂණයයි.
§11. අවිනීත වූ විමසා නොහික්මුණු පිරිස –
ඔක්කාචිත විනීතා පරිසා නො පටිපුච්ඡාවිනීතා
තථාගතයන් වහන්සේ දෙසු සූත්‍රධර්ම ඇසීමට නොකැමැති, ඇසීමට කන් යොමු නොකරන, එහි අර්ථ විවරණ දැන ගැනීමට සිත් නොඑළවන, ඒ ධර්මය උගත යුතු පුහුණු කළ යුතු දේ ලෙස නොගන්නා, එනමුත් වෙනත් කවීන් විසින් කරන ලද, කවීන්ට හිත වු විසිතුරු අකුරු ඇති විසිතුරු ව්‍යඤ්ජන ඇති බුදු සසුනින් බැහැර වු ශ්‍රාවක දේශිත සූත්‍ර ගායනා ඇසීමට කැමති වන, ඒ සඳහා කන් යොමුකරන, ඇසීමට සිත් එළවන සහ ඒ ගායනාවන් උගත යුතු පුන පුනා පුහුණු කළ යුතු සේ සිතන භික්‍ෂු පිරිස අවිනීත වූ නොවිමසා හික්මුණු පිරිස වේ. ඔවුහු තථාගත දේශිත ධර්මය පිළිබඳව අරුත් නොවිමසති. ගැට මුසු තැන් නිරාකරණය නොකරගනිති. සැක විමසා දුරු නොකරති.
§12. විනීත වූ විමසා හික්මුණු පිරිස –
පටිපුචාඡාවිනීතා පරිසා නො ඔක්කාචිතවිනීතා
කවීන් විසින් කරන ලද කවින්ට හිත වූ, විසිතුරු අකුරු ඇති, විසිතුරු ව්‍යාඤ්ජන ඇති, සසුනින් බැහැර වු ශ්‍රාවක දේශිත සූත්‍රාන්ත නොඅසන, ඒවා ඇසීමට නො කැමති (කවිකතා කාවය්‍යො චිත්තඛරා චිත්ත ඛ්‍යඤ්ජනා බාහිරකා සාවක භාසිතා, තෙසු භඤ්ඤමානෙසු න සුස්සන්ති) ඒවා පුහුණු නොකර ඇතැම් භික්‍ෂූ පිරිසක් තථාගතයන් වහන්සේ දෙසන ලද පාළියෙන් ගැඹුරු වූ ගැඹුරු අර්ථ ඇති, ලෝකෝත්තර වූ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත වූ සූත්‍රාන්ත දෙසනු ලබන කල්හි ඒවා ඇසීමට කැමති වෙති. (තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතාපටිසඤ්ක්‍දුත්තා , තෙසු භඤ්ඤමානෙසු සුස්සූසන්ති) කන් යොමු කරති. (සොතං ඔදහන්ති) දැන ගැනීමට සිත් එළවති. (අඤ්ඤා චිත්තං උපට්ඨපෙන්ති) ඒ ධර්මය උගත යුතු පුහුණු කළ යුතු දෙයක් ලෙස සිතත්. මෙහි අර්ථය කිම , මෙය මෙසේ වන්නේ කෙසේ දැයි බුද්ධ වචනයේ සැකමුසු තැන් විමසා ගනිති. සැඳුණු අර්ථ විවරණය කර ගනිති. (අනුත්තානීකතඤ්ච උත්තානීකරොන්ති) මේ විනීත වූ විමසා හික්මුණු පිරිසයි.
§13. සිවුපස (ආමිසය) ගරුකරන සදහම් ගරු නොකරන පිරිස
ආමිසගරු පරිසා නො සද්ධම්ම ගරු
මේ සසුනේ ඇතැම් භික්‍ෂූහු සුදුවත් හඳිනා ගිහියන් වෙත ගොස් අසවල් භික්‍ෂුව උභතොභාග විමුක්තිය අසවල් භික්‍ෂුව ප්‍රඥා විමුක්තය, අසවල් භික්‍ෂුව සකෘදාගාමීය ආදි වශයෙන් ද අසවල් භික්‍ෂුව දුශ්ශීලයයිද කියති. එසේ කීමෙන් සිවුපස ලාභයට ඔවුහු හිමිකාරයෝ වෙති. ඒ සිවුපසය ලබා ගැනීමට ම එහි ආදීනව නොදැක මුසපත්ව ක්‍රියා කරමින් ඒ ආමිසයත් පරිභෝග කරන්නෝ සදහම් ගරු නොකරන, ආමිසය ගරු කරන පිරිස නම් වෙති.
§14. සදහම් ගරු කරන ආමිස ගරු නොකරන පිරිස
සද්ධම්ම ගරූ පරිසා නො ආමිස ගරූ
ගිහියන් වෙත ගොස් මඟඵල ලැබු භික්‍ෂූන් පිළිබදව හෝ දුසිල් භික්‍ෂුන් පිළිබඳව කිසිත් ගුණදොස් නොපවසන භික්‍ෂූ පිරිසක්ද වෙති. ඔවුහු ගිහියන් වෙතින් සිවුපසය ලබා, එහි මුසපත් නොවී එහි නොගැලුනාහු ආදීනව දකිමින් නිසරණ ප්‍රඥාවෙන් සිවුපසය පරිභෝග කරති. (තං ලාභම්පි ලභිත්වා අගථිතා අමුච්ඡිතා අනජ්ඣොපන්නා ආදීනවදස්සාවිනො නිස්සරණ පඤ්ඤා පරිභුඤ්ජන්ති) මොවුහු සදහම් ගරු කරන ආමිසය ගරු නොකරන පිරිස වෙති.
§15.විෂම පිරිසම (විසමාච පරිසා )
යම් භික්ෂූ පිරිසක් වත අධර්ම, අවිනය කර්ම ඇත්තේද ඒවාම දීප්තිමත් වේද විනය හා ධර්ම කර්ම නොමැත්තේද ඒ විෂම පිරිස නම් වේ.
§16. සම පිරිස (සමාච පරිසා )
යම් පිරිසක් වෙත ධර්මකර්ම , විනයකර්ම ඇත්තේද අධර්මකර්ම හා අවිනය කර්ම නොමැත්තේද ඒ සමපිරිසයි. ඔවුන් අතර දීප්තිමත් වනුයේ ධර්මානුකූල විනය කර්මයි.
§17.අධාර්මික පිරිස (අධම්මිකාච පරිසා)
ඉහත කී විෂම පිරිසට සමාන වේ.
§18.ධාර්මික පිරිස (ධම්මිකාච පරිසා )
ඉහත කී සම පිරිසට සමාන වේ.
§19.අධර්මවාදි පිරිස(අධම්මවාදීනිච පරිසා )
මේ සසුනෙහි ඇතැම් භික්‍ෂූ පිරිසක් දැහැමි වූ හෝ අදැහැමි වූ අධිකරණයක් ගෙන එය ඔවුනොවුන් නොහඟවා හෙළි නොකර, අයුක්ති දුරුකිරීමට මන්ත්‍රණය නොකර, එය දැඩිව පිළිගෙන, “ මෙයම සත්‍යය, සෙස්ස බොරුය “ යි (ඉදමෙව සච්චං මොසමඤ්න්ති ) පවසති. මේ අධර්මවාදි පිරිසයි.
§20.ධර්මවාදි පිරිස (ධම්මවාදීනිච පරිසා )
දැහැමි හෝ නොදැහැමි අධිකරණයක් ඔවුනොවුන් හඟවා, දන්වා, දක්වා අධර්මය දුරලීමට බැහැර කිරීමට එන ඇතැම් භික්‍ෂු පිරිසක් “ මෙයම සත්‍යය, සෙස්ස බොරුයැ”යි දැඩිව නොගෙන ක්‍රියා කරති. නම්‍යශීලි එම භික්‍ෂූනු ධාර්මික වූ ධර්මවාදි පිරිස නම් වෙති. ඉහත දැක්වූ පිරිස් අතුරින් ගැඹුරු (සමග්ග) සමඟි, අග්ගවතී, ආර්යශ්‍රාවක, නිකසළ, විනීත වූ විමසා හික්මුණු, සදහම් ගරු කරන ආමිසගරු නොකරන, සම, ධාර්මික හා ධර්මවාදි යන පිරිස් දහය ශ්‍රේෂ්ඨ වේ. අග්‍රවේ. අපද ඔවුන් අනුකරණය කළ යුතුවේ.
By මේ පරිස වග්ගයේ සඳහන් වන සුත්‍ර භික්ෂු සංඝයාට අවවාද පිණිස කල ඒවාය. අද මෙන්ම එදා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි දවසත්, සමහර මහණුන් සසුන් ගතවීමේ පරමාර්ථය ටික කලකින් අමතක කොට ශ්‍රමණබව ජීවනෝපායක් ලෙස සැලකුහ. ශ්‍රමණ ප්‍රතිපදාවේ නොයෙදී දායකයන් දෙන ආහාර ගැනීමට වඩා ගිණියම් වනතුරු රත් කල යකඩ ගුලි ගිලීම හොඳයැයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ ඒ නිසාය. මේ නොසුදුසු පැවැත්ම වෙන් වෙන්ව දක්වා ඒ වැරදි දුරලා යහ මගට ගන්නට මේ සුත්‍ර වලින් උත්සාහ කෙරේ.එදා සිට අද දක්වා මේ සසුනට කෙරෙන චෝදනාවක් නම් මහණුන් තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව ගැන පමණක් සිතන ආත්මාර්ථකාමී පිරිසක් බවය. ඒ නිසා හෝ අන් කරුණු නිසා බොහෝ ථෙරවාදය ඇති රටවල භික්ෂුන් උත්තම පුජ්‍යභාවය වෙනුවට පුජක කම කරන්නට වෙනස් වූ බවක් පෙනේ. ආදාහන උත්සව, මතක බණ, මලවුන්ට පිං පිණිස දාන උත්සව වලට යාම මිස සසර කෙටිකර ගන්නට තමන් කල යුතු වෑයම ගිලිහී ගිය බව පෙනේ. සංඝයා යනු පිරිසකි. මේ වග්ගයේ අනෙක් සුත්‍රවලින්, එක්ව සමුහයක් වශයෙන් ජීවත්වීමේදී ඔවුනොවුන්ට ආධාර උපකාර කරමින් කිරි හා වතුර සේ එක්ව සුහදව ඉන්නට සංඝයාට අවවාද කෙරේ.