මහා කස්සප මහ රහතුන් වහන්සේ මේ සාසනයේ පීතෘන් ලෙස සැලකේ. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු සංගායනාවක් පවත්වා සාසනය පවිත්‍ර කොට අද වෙන තෙක් නිර්මලව පවත්වාගන්නට වැඩ පිළිවෙල සකස් කල මේ මහා සංඝ පීතෘවරයා ගැන ඇති සුත්‍ර එකතුවක් මෙසේ සංයුක්තය ලෙස සංයුක්ත පිටකයේ අඩංගු කොට ඇත. මහා කස්සප චරිතොපදානය කියවන්න LINK
SN 02-05-01 සන්තුට්ඨි සූත්‍රය
SN 02-05-02 අනොත්තාපී සූත්‍රය
SN 02-05-03 චන්දූපමා සූත්‍රය
SN 02-05-04 කුලුපග සූත්‍රය
SN 02-05-05 ජිණ්ණ සූත්‍රය
SN 02-05-06 පඨම ඕවාද සූත්‍රය
SN 02-05-07 දුතිය ඕවාද සූත්‍රය
SN 02-05-08 තතිය ඕවාද සූත්‍රය
SN 02-05-09 ඣානාභිඤ්ඤා සූත්‍රය
SN 02-05-10 උපස්සය සූත්‍රය
SN 02-05-11 චීවර සූත්‍රය
SN 02-05-12 පරම්මරණ සූත්‍රය
SN 02-05-13 සද්ධම්මප්පතිරූපක සූත්‍රය
SN 02-05-01. සන්තුට්ඨි සූත්‍රය
[සන්තුට්ඨායං, භික්ඛවෙ, කස්සපො ඉතරීතරෙන පිණ්ඩපාතෙන,… මෙහි “සන්තුට්ඨාය” යනු මොහු ලද දෙයින් සතුටු වී සිටින්නෙකි. හින්ගලයෙන් සන්තුට්ඨිය කියන්නේ සන්තොසය කියන්නේ පිනා යාමය. උද්දාමයට පත්වීමය. පාලියෙන් සන්තුට්ටිය සන්තෝස කියන්නේ ” ලද දෙයින් සෑහීමට පත්වීමය.
කෙනෙක් ගිහි ගෙයින් පිටව සසුන් ගතවී භික්ෂුවක් ලෙස ජීවත්වන විමේදී බොහෝ දේ පරිභෝග නොකරයි. පරික්කාර, පිරිකරය කියන ආහාරය, බොන දේය වස්ත්‍රය, සෙනසුනය, බෙහෙත් හේත් ලෙස දන්නා සිව් පසය පමණක් ලබයි. ඉන් යැපෙයි. මේ සිව්පසය මේ සිව් පසය මේ කුණු ශරීරය පවත්වාගන යාම පිණිසය. ඒ පවත්වාගන්නේ මේ සසරෙන් ගැලවෙන ප්‍රතිපදාව පිරීමටය. යන කාරණය අමතක නොකළ යුතුය. පිළිවෙත් පිරීමට අලුත් නිසා තවම සිත් බාලය. නොදියුණුය. ගිහි කල සේම දැන්ද මට අනෙකාට වඩා රස ගුණ ඇති ආහාර ලැබේ නම් හොඳය ආදී ලෙස සිතයි. මේ සිව් පසය පරිභෝග කරමින් ලබන සැපය සතුට නිශ්ෆ්ලය. ඒ සිව්පසය නිසා සිතේ ඇතිවන ස්වභාවය පමණක් වැදගත්ය කියා නොදකින මිනිසා අති මහත් නපුරක්ම කර ගනී.]
§ 1. මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන්වහන්සේ මෙම සුත්‍ර ධර්මය වදාළසේක.
§ 2. “මහණෙනි,
මහා කස්සපයෝ ලැබුණු ඕනෑම සිවුරකින් සතුටු වන්නෙක්ය. ලැබුණු ඕනෑම සිවුරකින් සතුටු වීමෙහි ගුණ කියන්නේය. සිවුරු උදෙසා අනවශ්‍ය ලෙස සෙවීම් හි නොයෙදෙයි. සිව්රු සොයන්නට නොවෙහෙසෙයි. කැමති සිවුරක් නොලැබුනැයි නොතැවෙයි. ලැබුවාවූ සිවුර තමාට ප්‍රිය නම්, ඊට කැමැත්තෙන් සිවුරු තෘෂ්ණාවෙන් නොබැඳී මූර්ඡා නොවී තෘෂ්ණාවට යට නොවී, එහිද ආදීනව දකිමින් සසරින් නික්මෙන , නුවණින් යුක්තවම පරිභොග කරන්නෙක්ය.
[චීවරයෙහි සතුටුවීම් තුනකි. යථාලාභ සතෝෂය, යථාබල සන්තෝෂය, යථා සාරුප්‍ය සන්තෝෂය යනුවෙනි.
පිණ්ඩපාතාදියේත් මේ ක්‍රමය ම දතයුතුයි.
මේ එහි ප්‍රභේද විස්තර කිරීමයි. –
මේ සසුනෙහි භික්ෂුවක් යහපත් හෝ අයහපත් සිවුරක් ලබයි. උන්වහන්සේ ඉන් සතුටු වෙති. අනිකක් නොපතති. ලැබුනත් නොගනිති. මෙය යථාලාභ සතෝෂය නම් වේ. තවද ස්වභාවයෙන් ම දුර්වල හෝ ලෙඩ රෝගාබාධ නිසා දිරාගිය ශරීර ඇති භික්ෂුවක් බර වූ සිවුරක් ලැබ, එය පොරවනුයේ අධික වෙහෙසට පත්වේ. උන්වහන්සේගේ සබ්රහ්මචාරී (එක්ව මහණදම් පුරණ) භික්ෂූන් සමග එය හුවමාරු කරගෙන සැහැල්ලු සිවුරක් ලබාගෙන පොරවමින් ඉන් සතුටට පත්වෙති. මෙය උන්වහන්සේ චීවර විෂයෙහි යථාබල සතෝෂයයි. නව භික්ෂුවක් ප්‍රණත වූ ඉතා උසස් චීවරයක් ලබන්නේය. උන්වහන්සේ පට සිවුරු ආදී අන්‍ය මහා අනර්ඝ සිවුරු බහුලව ලැබ, මෙය පැවිදි වී බොහෝ කල්ගත වූ ස්ථවිර භික්ෂූන්ටම සුදුසුය. මෙය බහුශ්‍රැත භික්ෂූන්ට සුදුසුය. මෙය රෝගී භික්ෂූන්ට සුදුසුය. මෙය අල්ප වූ ලැබීම් ඇති භික්ෂූන්ට සුදුසු යැයි ලද සිවුරු මේ භික්ෂූන්ට දී, ඔවුන්ගෙන් ලැබුණු පරණ සිවුරක් හෝ කසල ගොඩවල් ආදියෙන් රෙදිකඩක් අහුලාගෙන ඉන් සිවුරක් මසාගෙන හෝ සතුටු වෙමින් පොරවන සේක. මෙය චීවර විෂයෙහි “යථා සාරුප්‍ය සන්තෝෂය”යි.] “ඉතරීතරෙන” යනු මහත් වූ සියුම් රූක්ෂ වූ ප්රණිත වූ ස්ථිර වූ දිරාගිය යන එක් දෙයකින් නොව යම්සේ ලැබේ ද ඒ ඕනෑම චීවරයකින් සතුටට පත්වේ යන අර්ථයයි.]
§ 3. “මහණෙනි,
ලැබෙන කිසියම්ම පිණ්ඩපාතයකින් සතුටුවන මේ මහා කස්සපයෝ, එහි ගුණ කියන්නේය. ප්‍රනීත පිණ්ඩපාතය සොයමින් තමනට ප්‍රියවූ දානය පුජා කරන ගෙවලට පමණක් නොයයි. නොලද්දාවූ, පිණ්ඩපාතය ගැන නොතැවෙයි, ලද්දාවූ පිණ්ඩපාතය ගැන ලෝභ සිත් නැත්තේ, තණ්හාවෙන් කැමැත්තෙන් මුළා නොවේ, තණ්හාවෙන් යට නොවූයේ ආහාරයේ ආදීනව දක්නේ, සසරින් එතරවීමේ නුවණින් යුක්තව ලද දේ වළඳයි.
[භික්ෂුවක් රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ පිණ්ඩපාතයක් ලබයි. උන්වහන්සේ ඉන් යැපෙමින් සතුටුව අනික් ආහාරයක් නොපතති. ලැබුනත් අනුභව නොකරති. මෙය පිණ්ඩපාත විෂයෙහි “යථාලාභ සන්තෝෂය” නම් වේ. යමෙක් තමාට ස්වභාවයෙන්ම විරුද්ධ වූ, තම රෝගාබාධයන්ට විරුද්ධ වූ පිණ්ඩපාතයක් ලබයි. එය වැළඳුවහොත් උන්වහන්සේට අපහසුවක් වෙති. එනිසා උන්වහන්සේ එම පිණ්ඩපාතය සබ්‍රහ්මචාරි භික්ෂුවකට දී, උන්වහන්සේන්ගෙන් ලද කැපවූ ආහාරයක් වළඳා සතුටින් වෙසෙති. මෙය පිණ්ඩපාත විෂයෙහි “යථාබල සන්තෝෂය” නම් වේ. තව භික්ෂුවක් බොහෝ ප්රණිත වූ පිණ්ඩපාතයක් ලබයි. උන්වහන්සේ එය චිරරාත්‍රඥ, අල්ප ලැබීම් ඇති, ගිලන් වූ භික්ෂූන්ට පිරිනමා ඔවුන්ගෙන් ලද දෙයක් හෝ නැවත පිඬු පිණිස හැසිර ලද මිශ්රාහාරයක් හෝ සතුටින් වළඳති. මෙය උන්වහන්සේගේ පිණ්ඩපාත විෂයෙහි “යථා සාරුප්‍ය සන්තෝෂය”යි.
§ 4. “මහණෙනි,
ලැබෙන කිසියම්ම සේනාසනයකින්, සතුටුවන, මේ මහා කස්සපයෝ එහි ගුණ කියයි. තමනට ප්‍රිය සේනාසන සොයමින් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමක් නොකරයි. නොලද්දාවූ සේනාසන ගැන නොතැවෙයි. ලද්දාවූ සේනාසන ගැන ලෝභ නොකරයි. කැමැත්තෙන් තණ්හාවෙන් මුළා නොවේ, තණ්හාවෙන් යට නොවේ. ලද දෙයෙහිද ආදීනව (දොස්) දක්නේ, සසරින් එතර වීමේ අදිටනින් යුක්තව එය පරිභෝග කරයි.
[භික්ෂුවක් තමනට රිසි හෝ නොරිසි සෙනසුනක් ලබයි. උන්වහන්සේ ඉන් සතුටු වී, සොම්නස්-දොම්නස් නූපදවා තණ ඇතිරියක් හෝ ලැබ, ලද පමණින් තුටු වී එහි සැතපෙති. මෙය සේනාසන විෂයෙහි යථාලාභ සන්තෝෂයයි. යමෙක් තම තමාට හෝ තම රෝගාබාධයන්ට ස්වභාවයෙන් ම විරුද්ධ වූ සෙනසුනක් ලැබ, එහි විසීම අපහසු හෙයින්, සබ්‍රහ්මචාරි හිමි නමක සමග එය හුවමාරු කරගෙන සතුටින් වෙසෙයි. මෙය සේනාසන විෂයෙහි යථාබල සන්තෝෂය නම් වේ. තවත් ඉතා පුණ්‍යවන්ත වූ භික්ෂුවක් ලෙන්, මණ්ඩප, කූටාගාරාදී බොහෝ උසස් සෙනසුන් ලබයි. උන්වහන්සේ එම සෙනසුන් ඉහත පැවසූ ලෙස ම චිරරාත්රභූ, බහුශ්‍රැත, ගිලන්වූ, අල්ප ලැබීම් ඇති භික්ෂූන්ට පිරිනමා තමාට ලැබුණු වෙනත් තැනක සතුටින් වෙසෙති. මෙය සෙනසුන් විෂයෙහි යථා සාරුප්‍ය සතෝෂයයි. යම් භික්ෂුවක් “සෙනසුන් නම් ප්‍රමාදවීමට ස්ථාන වේ. යම්තැනක වැඩහිඳීමෙන් ථිනමිද්ධය බැසගනීද නින්දෙන් නැගිටිනවිට පාප සිතුවිලි, විතර්කාදිය පහළවේ”යැයි සළකා එබඳු උසස් සෙනසුන් ලැබුනත් නොපිළිගනියි. උන්වහන්සේ එබඳු සෙනසුන් හැරදමා අභ්‍යවකාශයෙහි රුක්මුල් ආදියෙහි වෙසෙමින් තුටුවෙති. මෙය ද සෙනසුන් විෂයෙහි යථා සාරුප්‍ය සන්තෝෂයකි.]
§ 5. “මහණෙනි,
ලැබෙන යම්ම ගිලන්පස බෙහෙත් පිරිකරයෙන්, සතුටුවන, මේ මහා කස්සපයෝ (එහි) ගුණ කියන්නේය. ගිලන්පස බෙහෙත් පිරිකර හේතුවෙන් නුසුදුසුවූ, අයොග්‍ය සෙවීම් නොකරයි. නොලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැන නොතැවෙයි. ලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැන ලෝභ නොකරයි. තණ්හාවෙන් මුළා නොවෙයි, තණ්හාවෙන් යට නොවූයේ ආදීනව දක්නේ, සසරින් එතර වීමේ නුවණින් යුක්තවූ ඒ පරිභෝග කරයි.
[මේ සසුනෙහි භික්ෂුවක් රූක්ෂ වූ හෝ ප්‍රණීත වූ හෝ බෙහෙත් ආදියක් ලැබ, ඉන් පමණක් සතුටු වේද-වෙනත් කිසිවක් නොපතත් ද ලැබුනත් නොගනිත් ද එය ගිලානප්‍රත්‍ය විෂයෙහි “යථාලාභ සතෝෂය”යි. යම් භික්ෂුවකට තෙල් අවශ්‍ය වූ විට උසස් තෙල් ලැබේ. උන්වහන්සේ එය අනිකුත් සුදුසු භික්ෂූන්ට දී ඔවුන්ගෙන් ලද තෙලක් හෝ නැවත සොයාගොස් ලැබූ තෙලකින් හෝ බෙහෙත් කර, ඉන් සතුටට පත්වෙති. මෙය ගිලානප්‍රත්‍ය විෂයෙහි “යථාබල සන්තෝෂය” නම් වේ. වෙනත් මහපින් ඇති භික්ෂුවක් බොහෝ තෙල්, මීපැණි ආදිය සහිත මිහිරි බෙහෙත් ලබයි. ඒවා ගිලන් වූ අනෙකුත් භික්ෂූන්ට පිරිනමා, ඔවුන් දෙන යමකින් යැපෙමින් සතුටු වේ. යම් භික්ෂුවක් වෙත එක් බඳුනක අරළු හා මුත්‍ර – ද “එක් චතුමධුරයක්” ද තබා “ස්වාමීනි! මින් කැමති බෙහෙතක් ගන්න”යි ආරාධනා කල කල්හි; උන්වහන්සේ, “වෙනත් බෙහෙත්වලින් ද මෙම රෝගය සන්සිඳේ. මේ මුත්‍ර හරීටකයම බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලදහ”යි සිතා චතුමධුර ප්‍රතිෂ්ප කර – මුත්‍ර හරීටකයම (මුත්‍ර හා අරළු බෙහෙතම) ගන්නා සේක. ඉන් සතටට පත්වෙති. මෙය ගිලන්පස විෂයෙහි යථාසරුප්ය සතෝෂයයි. මෙසේ විස්තර කළ ත්‍රිවිධ සතෝෂයන් සඳහා, “මහණෙනි! මේ කාශ්‍යප තෙරුන් වහන්සේ, තමාට ලැබුණු සිවුපසයෙන්ම තුටුවෙති. ඕනෑම දෙයකින් තුටුවෙති. ලද සිවුරු ආදියකින් ම තුටුවෙමින් පොරවති” යන්න දේශනා කළ ස්ක.]
§6. “මහණෙනි,
එනිසා තොපද , මේ මහා කස්සප තෙරුන් ආදර්ශයට ගෙන මෙසේ පැවතිය යුතුයි.
කෙසේද යත් ?
“ලැබුණු සිවුරකින් සතුටු වන්නෙමු. ලැබුණු ඒ සිවුරකින් සතුටුවීමෙහි ගුණ කියන්නෝ වෙමු. සිවුරු සොයා නුසුදුසුවූ, නුසුදුසු සෙවීම නොකරමු. සිවුරු නොලැබීම නිසා නොතැවෙන්නෙමු. සිවුරු ලැබීම නිසා තණ්හාවෙන් එහි නොබැඳී මුර්ඡා නොවී නොගිලී, ආදීනව දකිමින් සසරින් එතරවන නුවණින් යුක්තව ලත් සිවුර පරිභෝග කරන්නෙමු.
§ 7. ලැබුණු යම් පිණ්ඩපාතයකින් යැපෙමු. ලැබෙන යම්කිසි පිණ්ඩපාතයකින් සතුටු වෙමු, එහි ගුණ කියමු. පිණ්ඩපාත සොයමින් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීම්ට නොයමු. නොලද්දාවූ, පිණ්ඩපාතය ගැණ නොතැවෙමු. ලද්දාවූ පිණ්ඩපාතයෙහි ලෝභ ඇත්තෝ නොවෙමු, ඒ කෙරෙහි කැමැත්තෙන් තණ්හාවෙන් මුළා නොවෙමු, තණ්හාවෙන් යට නොවී එහි ආදීනව දකිමු, සසරින් එතර වීමේ අධිෂ්ඨානයෙන් යුක්තව එය වළඳින්නෙමු.
[වණ්ණවාදිනී” යනු ඇතමෙක් සතුටට පත්වන මුත් සන්තෝෂ ගුණ නොපවසති. ඇතමෙක් සතුටට පත් නොවනුයේ නමුත් සතුටුවීමේ ගුණ පවසති. තව ඇතමෙක් සතුටට පත්වීමක් නැත. සතුටුවීමෙහි ගුණද නොකියති. ඇතමෙක් සතෝෂ වෙති. එහි ගුණ ද නිති පවසති. මේ සිවුවැනිව දැක්වූ ගණයට අප කාශ්‍යප රහතන් වහන්සේ ද අයත් වන බව දැක්වීමට, “ලැබෙන ඕනෑම සිවුරකින් සතුටුවීමේ ගුණ පවසන” යන්න දේශනා කරන ලද සේක. “අනෙසනං” යනු දූතයන් යැවීම්, ගමනා ගමනයන්හි යෙදීම් ආදී නානාවිධ වූ ප්‍රභේද සහිත වූ නුසුදුසු ජීවිකා වෘත්තීන්හි නියැලි යනුයි.]
§ 8. “මහණෙනි,
තොපද ලැබුණු යම්ම සේනාසනයකින් සතුටුව, (එහි) ගුණ කියන්නෝ වෙමු. සේනාසන හේතුවෙන් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීමක් නොකරමු. නොලද්දාවූ, සේනාසනය ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ සේනාසනයෙහි ලෝභ නොකරමු. අධිකවූ තණ්හාවෙන් මුළා නොවමු, තණ්හාවෙන් යට නොවී ආදීනව දකිමින් සසරින් එතරවීමේ නුවණින් යුක්තවූවෝ පරිභෝග කරන්නෙමු. (වළඳන්නෙමු.)
[අලද්ධා” යනු නොලැබ යනුයි. ඇතමෙක්, “කෙසේ හෝ සිවුරු ආදිය ලබාගන්නෙමි”යි පින්වත් භික්ෂූන් සමග එක්ව සිටිමින්ම, කුහකකම් කරනුයේ තැතිගනිති. ආශාවෙන් පීඩිත වෙති. මෙම කාශ්‍යප මහරහතන් වහන්සේ එසේ නොලබන සේක්, එනිසාම තැති නොගනිති යන අර්ථයි. “ලදධා” යනු ධර්මානුකූලව ලැබ ගෙනයි. “අගථිතො” යනු ලෝභාදී ගිජුකම් දුරුකළ බවයි. “අමුච්ඡිතො” යනු අපමණ තණ්හාවෙන් මුලාවීමට නොපැමිණි යනුයි. “අනජ්ඣා පන්නො” යනු තණ්හාවෙන් නො මඩන ලද, නොවෙලන ලද්දේ යනුයි. “ආදීනව දස්සාවී” යනු නුසුදුසු ජීවිකාවට පැමිණීමෙහිද ගිජු වූ පරිභෝගයන්හි ද ආදීනව දකිනුයේය. “නිස්සරණපඤ්ඤා” යනු ‘යම්තාක් සීතල නැසීමට’ ආදී වශයෙන් කියන ලද යනුයි. නික්ම යෑම ම විශේෂයෙන් දැන ගනිමින් සිවුපස පරිභෝජනය කරයි යන අර්ථයි.]
§9. “ලැබුණු යම්කිසි ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වෙමු. ඒ ලත් දෙයෙහි ගුණ කියමු. ගිලන්පස බෙහෙත් පිරිකර සොයමින් නුසුදුසුවූ, අයෝග්‍ය සෙවීම් නොකරමු. නොලද්දාවූ, ගිලන්පස බෙහෙත් පිරිකර ගැණ නොතැවෙන්නෙමු. ලද්දාවූ ගිලන්පස බෙහෙත් පිරිකරයෙහි ලෝභය හරිමු, අධිකවූ තණ්හාවෙන් මුළා නොවී, තණ්හාවෙන් යට නොවී, ලත් පිරිකරෙහි ආදීනව දකිමින්, සසරින් එතරවීමේ කැමැත්තෙන් යුක්තව, මේ කුණු කය එතුවක් කලක් පවත්වා ගනු පිණිස පරිභෝග කරන්නෙමු. වළඳන්නෙමු.”
[“ඉතරීතරෙන පිණ්ඩපාතෙන” යනාදියෙහි ද “යම් සේ ලැබූ පිණ්ඩපාතයකින්, සෙනසුනක්, ගිලන්පස බෙහෙත් ආදියකින්” යන අර්ථයි. මෙසේ අර්ථ ගලපා දතයුතුයි.]
“මහණෙනි, තොප මෙසේ හික්මිය යුතුයි.
මහණෙනි,
මම නුඹලාට කස්සපයන් හා සමාන වීම පිණිස අවවාද කරන්නෙමි.
යමෙක් කස්සපයන් අනුගමනය කරත්ද සමානවේද, එසේ අවවාද කරන ලද්දාවූ තොප විසිනුදු එසේ වීම සඳහා පිළිපැදිය යුතුයි..
[“කස්සපෙන වා හි වො භික්ඛවේ! ඔවදිස්සාමි” යනු යම්සේ මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ සිවුපස විෂයෙහි ත්‍රිවිධ සතෝෂයෙන් සතුටුවූ සේක්ද “නුඹලා ද එසේ වව්” යනුවෙන් අවවාද දෙන සේක්, “කාශ්‍යප තෙරුන් විසින් දුන් අවවාද” නම් වේ. “යො වා පනස්ස කස්සපාදිසො” යනු මෙපමණකින් කාශ්‍යප තෙරුන් හා සමාන වූ “මහා කාශ්‍යප තෙරුන් මෙන් සිවුපසයෙහි ත්‍රිවිධ සතෝෂයෙන් සතුටු වේනම්”, “නුඹලා ද එසේ විය යුතුයි” යනුවෙන් අවවාද කරන සේක් කාශ්‍යප තෙරුන් හා සමවීමට අවවාද කරන සේක. “තථත්තාය පටිපජ්ජිතබ්බං” යනු “සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙම සත්තුට්ඨි සූත්‍රයෙහි දේශනා කළ, “කෙලෙස් ලියාලන ප්‍රතිපත්තිය පැවසීම” නම් වූ භාරධූර කටයුත්තකි. අපද මේ ප්‍රතිපත්ති සම්පූර්ණ කිරීම, මහත්ම භාරධූර කාර්යයක් ඉටුකිරීමකි. පැමිණියා වූ මේ භාරධූර කාර්යය පිළිගත යුතුය.” මෙලෙස සිතා “මා විසින් දේශනා කරන ලද පරිද්දෙන් තථබව සඳහා (සත්‍යවබෝධය පිණිස) නුඹලා විසින් මෙලෙස පිළිපැදිය යුතුයැ”යි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.]
(පළමුවෙනි සන්තුට්ඨි සූත්‍රය නිමි.)
SN 02-05-02. අනොත්තාපී සූත්‍රය
[මෙම සූත්‍රයේ – “අනොතාපී, අනොත්තාපී” යනු යම් වීර්යයකින් කෙලෙස් තවයිද ඉන් තොරවූ කෙනෙක් යනුයි. “අනොත්තාපී” යනු බිය නැතිකමයි. කෙලෙස් ඉපදවීමට ද කුසල් නූපදවීමට ද බියක් නැත.]
§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ශාරිපුත්‍රයන් වහන්සේද, බරණැස් නුවර ‘මිගදාය’ නම් ඉසිපතනාරාමයෙහි වාසය කළහ.
§ 2. දිනක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකස්ථානයෙන් නැගී ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වැඩ හුන් තැනට පැමිණ සතුටුවිය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා, එක් පැත්තක හිඳ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට මෙසේ කීයේය.
“ඇවැත් කස්සපයිනි,
කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්නම්,
පව් කරන්නට ලජ්ජා භය නැත්නම්
ඒ මහනා කිසිදා නිවන් අවබෝධ කර නොගනී.
උතුම් රහත් බව නොලබයි.
කෙළෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා,
පාපයට භය ඇත්තා,
ධර්මය අවබෝධ කර ගනියි.
නිර්වාණයට ලංවෙයි.
[“සම්බොධාය” යනු මනාව අවබෝධ කරගැනීම සඳහාය. “නිබ්බාණාය” යනු නිර්වාණය සාක්ෂාත් කරගැනීමටය.
“අනුත්තරස්ස යෝගකෙඛමස්ස” යනු රහතන් වහන්සේය.
එහි අනුත්තර වූ (අතිඋතුම් වූ), සතර යෝගයන්හි නිර්භය වූ යනු අර්ථයි.]
§ 3. “ඇවැත්නි,
කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තා, පාපයට බිය නැත්තා
මක් නිසා ධර්මය අවබෝධය නොකරයිද ,
නිවන් පසක් නොකරන්නේද?
ඇවැත්නි,
කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තා පාපයට භය ඇත්තා ,
ධර්මාවබෝධය කරන්නේද?,
නිවන් ලැබීමට සුදුසු වන්නේද?,
රහත් බව ලැබීම පිණිස සුදුසු වන්නේද?
මහණකු තමා හට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නේ නම් එය තමාගේ අනර්ථය පිණිස වන්නේය’යි දැන, දැක, ඒ අකුසල සිත් ඉපදීම වැලැක්වීම පිණිස වීර්‍ය්‍යය කරයිද,තමාහට උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොකරන්නේ නම්, එය මට අනර්ථය පිණිස වන්නේයයි, දැක ඒ උපන් අකුසල ධර්ම නැති කරන්නට වීර්‍ය්‍යය කරයිද“මට නූපන්නාවූ, කුශල ධර්මයෝ නූපදින්නාහු, අනර්ථය පිණිස වන්නේය”යි, ඒ නුපන් කුසල වඩාගන්නට වීර්නොය වැඩය් ද, මට උපන්නාවූ, කුසල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවත්නාහුයයි. ඒ තමාගේ කුසල සිත් රැක ගන්නට වීර්‍ය්‍යය කෙරෙයිද,
ඇවැත්නි,
මෙසේවූ මහණා කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තෙකි.§ 5. “මහණෙනි,
කෙබඳු නම් මහණෙකු
පවට භය නැත්තේ වේද?
ඇවැත්නි,
මහණකු තමා හට පෙර නොවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ
උපදින්නේ නම් එය තමාගේ අනර්ථය පිණිස වන්නේය’යි
දැන, දැක, භය නොවෙයිද?
තමනට උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ
ප්‍රහීණ නොවන්නේ නම්,ඒ තමනට අනර්ථය පිණිස
පවත්නාහුයයි භය නොවෙයිද
තමාට නූපන්නාවූ කුශලධර්‍මයෝ උපදින්නේ නම්,
ඒ තමන්ගේ අනර්ථය පිණිස වන්යනේය යැයි භය නොවෙයිද?
ඇවැත්නි, මෙසේ වූ සිත් ඇති ශ්රමනයා පවට භය නැත්තෙකි.
ඔහු මේ සසුනේ ඵලයක් නොලබයි.අකුසල සිත්හි ඉපදීම වැලැක්වීම පිණිස වීර්‍ය්‍ය කරන
මහණෙකු නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ
උපදින්නේ නම්, ඒ අනර්ථය පිණිස වන්නේය” යැයි , භය නොවෙයිද?මට උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ
ප්‍රහීණ නොවන්නේ නම් ,
එය මට අනර්ථය පිණිස වේ.”යයි භය නොවෙයිදමට නූපන්නාවූ කුශලධර්‍මයෝ උපදින්නේ නැති නම්,
එය අනර්ථය පිණිස පවතින්නාහුයයි භය නොවෙයිද?‘මට උපන්නාවූ, කුශල ධර්මයෝ නැති වන්නාහු නම් ,
ඒ මට අනර්ථය පිණිස පවතින්නේය” යයි. භය නොවෙයිද
ඇවැත්නි, මෙසේවූ ශ්‍රමණයා පවට භය නැත්තෙකි.§ 6. ඇවැත්නි,
මෙසේ කෙලෙස් තවන වීර්‍ය්‍යය නැත්තාවූ,
භය නැත්තාවූ මහණහු ධර්මාවබෝධය නොකරයි.
නිවන් ලැබීමට අසමත් වන්නේය.
අති උතුම් රහත් බව නොලබන්නේය.
§7. “ඇවැත්නි,
කෙළෙස් තවන වීර්‍ය්‍යය
නැත්තේ කෙසේද?
මහණකු ‘ නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ උපදින්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි දැක දැකද ඒ නුපන් අකුලසල හට නො ගන්නනට වීර්‍ය්‍යය නොකරයිද,‘ උපන්නාවූ ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නේ නම් , ඒ තමනට අනර්ථය පිණිස වේය”යි දැනද ඒ උපන් අකුසල් ප්‍රහීන කරන්නට, වීර්‍ය්‍යය නොකරයිද,“නූපන්නාවූ, කුශල ධර්මයෝ වඩාගනු පිණිස වන්නට වීර්‍ය්‍යය නොකරයිද“උපන්නාවූ, කුශල ධර්මයෝ නැති වන්නාහු නම් , ඒ තමනට අනර්ථය පිණිස වේ”යයි. දැනද සන්තානයේ ඇතිවුන කුසල ධර්ම රැක ගන්නට වීර්‍ය්‍යය නොකෙරෙයිද
ඇවැත්නි, මෙසේ වූ මිනිසා වනාහි කෙලෙස් තවන වීර්ය්යයෙන්වූ තොර වූවෙකි.“ඇවැත්නි, කෙසේ නම් භය ඇත්තේ වේද?
මහණකු ‘මට නූපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ2529 උපදින්නාහු අනර්ථය පිණිස පවතින්නාහුයයි භය වෙයිද,‘උපන්නාවූ, ලාමකවූ, අකුශල ධර්මයෝ ප්‍රහීණ නොවන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි, භය වෙයිද“නූපන්නාවූ, කුශල ධර්මයෝ2530 නූපදින්නාහු අනර්ථය පිණිස පවතින්නාහුයයි භය වෙයිද‘උපන්නාවූ, කුශල ධර්මයෝ නිරුද්ධ (නැති) වන්නාහු, අනර්ථය පිණිස පවතින්නාහුයයි’ භය වෙයිද.
ඇවැත්නි, මෙසේ කෙනෙකු භය ඇත්තේ වෙයි.
ඇවැත්නි, මෙසේ වුවෙකු කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇත්තේ, පව්කිරීමට භය වෙයි.
ධර්මාවබෝධය කරයි. නිර්වාණය පිණිස සුදුසු වූයේ වෙයි. අති උතුම් රහත් බව ලැබීමට සුදුසු වෙයි.[2529:-අනුප්පන්නා” යනාදියෙහි – යමෙක් පෙර නොලැබූ විරූ සිවුරු ආදී ප්‍රත්‍යයක් හෝ උපස්ථායක, සද්ධිවිහාරික, අත්වාසිකයන්ගේ සිත් අලවන වෙනත් වස්තුවක් හෝ ලැබ, එය ‘හොඳයි-සැපයි’ යනුවෙන් අඥානකමින් ගන්නාට සහ තම නොවිඳින ලද වෙනත් සුභ අරමුණක් පිළිබඳ අනුවණකමින් සිහිකරන්නාට ලෝභාදී පවිටුධර්ම උපදියි. “එබඳු ධර්ම නූපදී” යැයි අර්ථ දතයුතුයි. අන් අයුරකින් – අග මුලක් නැති සසරෙහි නූපන් අකුසල් සහගත පවිටු සිතක් නම් නැත. පෙර විඳින ලද වස්තුවෙහි ද කරුණා කළයුතු අරමුණෙහි ද, යමෙකුට ස්වභාව බුද්ධියෙන් හෝ උදෙසීම-විචාරීම ආදියෙන් හෝ පර්යාප්ති-නවකර්ම නුවණින් මෙනෙහි කිරීම් ආදියෙන් හෝ වෙනත් දෙයකින් පෙර නූපදින ලද පාපී අදහස්, පසුව එබඳු වූ ප්රත්යයකින් වහා උපදියි. මෙය ද “නූපන් ධර්ම උපදවමින් අනර්ථය පිණිස පවතින්නේය”යි දතයුතුයි. “ඒ වස්තු ආරම්මණයන් හි ම නැවත නැවත උපදිමින් ප්‍රහීණ නොවී පවතී” යන අදහසයි. “ඒවා ඉපදී ප්‍රහීන නොවී අනර්ථය පිණිස ම පවතින්ය.” යනුවෙන් දතයුතුයි. මේ දැක්වූයේ සංක්ෂිප්ත විස්තරයයි. සවිස්තරව උපනුපන් භේදයන්ද ප්රහාණප්රහාණ නියමයන්ද යන සියල්ල විශුද්ධි මාර්ගයේ ඥාණදස්සන විශුද්ධි නිර්දේශයේ පැවසූ පරිදි දතයුතුයි.]
[2530:– අනුප්පන්නා මෙ කුසලා ධම්මා” යනු සීල, සමාධි, ඵල සංඛ්‍යාත වූ නිවැරදි ධර්ම නොලැබූවත් යනුයි. “උප්පන්නා” යනු ඒවාම ලැබුවාහුය. “තිරුජ්ඣමාතා අනත්ථාය සංවත්තෙය්යුං” යනු ඒ සීලාදී ධර්ම පිරිහීම් වශයෙන් නැවත නූපදින්නේ, නිරුද්ධ වනුයේ අනර්ථය පිණිස පවතීයැයි දතයුතුයි. මෙහිද ලෞකික ධර්මයන්ගේ පිරිහීමක් මිස ලෝකෝත්තර ධර්මයන් පිරිහීමක් නොමැති බව දතයුතුයි. උපන් කුසල් දහම්වල පැවතීමෙන් සම්මා විරියෙහි (යහපත් වීර්යයෙහි) පිහිටීම් වශයෙන් දේශනාව කරන ලදී. දෙවැනි මාර්ගය වහා නූපදින කල්හි, පළමු මාර්ගය නිරුද්ධ වනුයේ එය අනර්ථය-අයහපත පිණිස පවතින්නේය” යන මේ අර්ථය ගතයුතුයි. මෙලෙස මෙම සූත්‍රයෙහි සතර සම්‍යක් ප්‍රධන් වීර්යයෝ පූර්වභාග විදර්ශනා දේශනා කරන ලදැයි දතයුතුයි.]
SN 02-05-03. චන්දූපමා සූත්‍රය2531
[2531:-කුලයන් කරා එළඹීම” (කුලූප බව) යනු බුදු දහමේ භික්ෂූන් වහන්සේලා දායක පවුල් ආශ්‍රිතව කටයුතු කිරීමේදී හා පිඬු සිඟා වැඩීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවකි. මෙහිදී අභිමානයෙන් තොරව, චන්ද්‍රයා මෙන්, අලුත් අයෙකු ලෙස නිවාස කරා එළඹිය යුතු බවට මහා කාශ්‍යප තෙරුන් වහන්සේලා අනුදැන වදාරා ඇත. අද අපි අපේ දරුවන් කැටුව පන්සලට ගොස් හාමුදුරුවන් වන්දනා කරන්නට ආවාස ගෙට ගියවිට හාමුදුරුවෝ ටොපි සීන බූක ආදිය දරුවන දී ඔලුව අතගා සුරතල් කරයි. වඩා ගනියි. මේ කයිරාටික හැසිරීම් සම්පුර්ණයෙන්ම භික්ෂුවකට අකැපය. මේ වයින් තාත්තලාගේ අම්මලා ගේ හිත්වල හාමුදුරුවන් “හරි හොඳය” කියා හැගීමක් ඇති කර ගන්නට තැත් කරන්නේ වෙන වෙන දෙයට දායකයන්ගෙන් මුදල් හදල, උපකාර බලාපොරොත්තුවෙන් බව බොහෝ මුග්ධ බෞද්ධයෝ නොදනිති. භික්ෂුවක් කුලගේවල් සමග ගිහියන් සමග එකමුතුවීම නොහොබිනා දෙයකි]
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි,
කයින්ද ඈත්ව සිතින්ද ඈත්ව කුලයන්හි නොඇලුණු අමුත්තෙක් අලුත් කෙනෙක් මෙන් , සැර වැර පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව2532 කුලයන් කරා එළඹෙව්. මහණෙනි, යම් පුරුෂයෙක් තමා කයින්ද ගිහියන්ගෙන් ඈත්ව, සිතින්ද ගිහියන්ගෙන් ඈත්ව. ගරාවැටුණ ළිඳක් හෝ ප්රපාතයක් හෝ ඉවුර සිඳීගිය ගඟක් හෝ දෙස බලන කෙනෙක් මෙන් පැවතිය යුතුය,
“මහණෙනි, එසේම කයද ඈත් කොට සිතද ඈත් කොට කුලයන්හි නිතර අලුත් කෙනෙක්ව2533 , හැඩි දැඩි පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව, කුලයන් කරා එළඹෙව්. මහණෙනි, කස්සප භික්ෂුව කයද ඈත්කොට සිතද ඈත්කොට කුලයන්හි නිතර අලුත් කෙනෙකු මෙන් සැර වැර පැවතුම් නැතිව චන්ද්‍රයා හා සමානව කුලයන් කරා එළඹෙයි.
[2532:- “චන්දූපමා” යනු සඳ මෙන් වී යනුයි. කිම පරිමණ්ඩල වශයෙන්ද? නැත.
චන්ද්‍රයා අහස් තලයට නැගෙන කල්හි කිසිවකු සමග එක්ව විසීමක්, සෙනෙහසක්, ආලයක්, ප්‍රාර්ථනාවක් හෝ නැත. මැඩගෙන (පාගාගෙන) පිවිසීමක් නොකරයි. එනමුත් ලෝකයාට ප්‍රිය වෙමින්ම උදාවේ. “නුඹලා ද මෙසේම කිසිවකු සමග එක්ව විසීම් ආදියක් නොකර, මහජනයාට ප්‍රිය මනාපව සඳ මෙන් ක්ෂත්රියාදී සිවු කුලයන් වෙත එළඹෙවු” යන අර්ථයයි. තවද චන්ද්‍රයා අන්ධකාරය දුරු කරයි. ආලෝකය පතුරුවයි. එලෙසින්ම කෙලෙස් අඳුර දුරුකිරීමෙන් හා ඥාණාලෝකය පැතිරවීමෙන් සඳ මෙන් විසිය යුතුයි. මෙලෙස මෙහි අර්ථ දතයුතුයි.
[2533:-“නිච්චනවක” යනු නිතර නවකයෙක්ව යනුයි. ආගන්තුකයෙක් හා සමානව යන අර්ථයි. ආගන්තුකයා පිළිවෙලින් පැමිණි ගෙයක වෙසෙනුයේ, ගෘහ ස්වමීවරුන් විසින් දකින ලදුව – “අපගේ දරුවෝ, සෝයුරෝ අපගෙන් වෙන් වූහ. මොහුද ඔවුන් මෙන් හැසිරෙයි.” යනුවෙන් අනුකම්පා කරමින් – ඔහුට නිදාගැනීමට දී ආහාරපානද දෙති. අහර වළඳා අවසන ආගන්තුකයා “නුඹලාගේ මේ ආහාර භාජනය ගන්න”යි පවසා වැළඳූ භාජන දී නිහඬව බැහැරව යයි. ඔවුන් සමග එක්ව විසීම් ආදියක් නොකරයි. කළයුතු කාය විධානයක් නොකරයි.
“නුඹලා විසින් ද මහණෙනි!, පිළිවෙලින් පැමිණි ගෘහයට පිවිස තොපගේ යම් හැසිරීමකින් පැහැදුණු මිනිසුන් දුන් දෙයක් වේ නම් එය පිලිගෙන – ඔවුන් හා කිසි කථාබහක් නොකර – කළයුතු අන් කිසිදු කටයුත්තක නොයෙදී නිවසින් නික්මෙවු” යනුවෙන් භික්ෂූන්ට අවවාද දුන්හ.
මෙහිදී නිත්‍ය නවකයාගේ ස්වභාවය මැනවින් දැක්වීමට
“දෙසොයුරු පැවිදි කථාව” (දෙවභාතික වත්ථු) කිවයුතුයි.
දෙවභාතික වත්ථුව
වසාළ නගර” නම් ගමින් සොහොයුරෝ දෙදෙනෙක් නික්ම අවුත් පන්සලෙහි පැවිදි වූහ. ඒ දෙදෙන චූලනාග තෙරුන් ය, මහානාග තෙරුන් යැයි ප්‍රසිද්ධ වූහ. ඒ දෙදෙන සිතුල්පවුවෙහි වෙසෙමින්, භාවනා කර – වසර තිහකට පසු රහත්ඵලය ලබා ගත්හ. “මව දකිමු”යි තම මැණියන් බැලීම සඳහා අවුත් වසාළ නගර විහාරයේ වාසය කර, දෙවැනි දින මව සිටින ගමට පිඬු පිණිස, දෙදෙනා වහන්සේ ම වැඩම කළහ. මවු ද ඉතා සැදැහැයෙන් විශාල කැඳ හැන්දක් ගෙන වැඩිමල් තෙරුන්ගේ පාත්‍රයට බෙදන්නී, තෙරුන්ගේ මුහුණු බලා උපන් දරු සෙනෙහස ඇතී, “දරුව! නුඹ මගේ පුතු වූ මහානාග නේද?”යි ඇසුවාය. තෙරුන් වහන්සේ, “උපාසිකාවනි! පසුපස සිටින තෙරුන්ගෙන් විමසනු මැනවි”යි පවසා විහාරයට ම වැඩම කළහ. දෙවැනි තෙරුන්ට ද එලෙසින්ම කැඳ බෙදු මෑණියෝ, “දරුව! නුඹ මගේ පුතු වූ චූලනාග නේද?”යි විමසුවාය. “කිම උපාසිකාවනි! මුලින් සිටි තෙරුගෙන් නොවිමසුවෙහි ද?”යි පවසා උන්වහන්සේ විහාරයට වැඩම කළහ. මෙලෙස තම වැදූ මව සමගවත් ආගිය තොරතුරු කථාකිරීමක්, එක්ව විසීමක් නොමැති භික්ෂුව “නිත්‍ය නවකයා” නම් වේ.
“අප්ගබ්භා” යනු ප්රගර්භ නොවූ යනුයි. ගැටීම් නැති. අටස්ථානයක කයින් ගැටීම ද සිවුතැනක වචනයෙන් ගැටීම නොයෙක් තැන්හි මනසින් ගැටීමද දුරුකළ. අටතැනක කයින් ගැටීම නම් – “සංඝ, ගණ, පුද්ගල, භෝජන ශාලා, ගිනිහල්ගෙය, නානතොට, පිඬු පිණිස යන මාර්ගය, ඇතුල් ගමට පිවිසීම යන තැන්වලදී කයින් නුසුදුසු දේ කිරීමයි.”
ඒ කෙසේද?
ඇතැම් භික්ෂුවක් විහාරයේ සඟ මැද අත්දෙක ගොතාගෙන වාඩිවී සිටියි. පයින් පය ගටාගෙන හිඳියි. මේ ආදී ලෙසයි. මෙසේම සමූහයක් මැදදීද සිවු පිරිසෙහි සමාගමයකදීද සූත්‍ර පිටකාදියක් උගන්නා පිරිස් එකතුවීමකදී ද අයෝග්‍ය හැසිරීම් දැක්වීමයි. වෘද්ධතර භික්ෂූන් කෙරෙහි ද එලෙස හැසිරීම. වැඩිමහල් භික්ෂූන්ට දානශාලාවේදී ආසන නොදෙයි. නවකයන්ට ආසන පැමිණීම වලක්වයි. ගිනිහල් ගෙයිද මෙලෙසම හැසිරේ. වැඩිහිටි භික්ෂූන් නොවිමසා, ගිනිදැල්වීම් ආදිය කරයි. නානතොටේදී “මේ සාමණේරයෙකි. මේ වෘද්ධ හිමිනමකි” ආදී ලෙස ප්‍රමාණ නොකර-ආගත පටිපාටියෙන් දියනෑ යුතුයැයි බුදුහු වදාරා ඇත. එම නියමය කඩකරමින් පසුවී පැමිණ, දියට බැසීමාදියෙන් වෘද්ධ, සාමණේර හිමිවරුන්ට බාධා කරයි. පිඬු පිණිස යන මාර්ගයේ දී අග්‍ර ආසන, අග්‍ර දිය, අග්‍ර පිණ්ඩපාත ආදිය ලබාගැනීමට අතින් ගටමින් පිළිවෙල ඉක්මවා ඉදිරියට යයි. ඇතුළු ගමට හෝ ඇතුළු ගෙට පිවිසීමේදී වැඩිමහලු භික්ෂූන්ට පෙරින් ගොස් පිවිසෙයි. ළදරු භික්ෂූන් සමග කයින් ක්‍රීඩා ආදිය කරයි. මෙලෙසින් කයින් වැරදි හැසිරීම් දැක්වීමයි.
සිවුතැනක වචනයෙන් ගැටීම”නම් – සංඝ, ගණ, පුද්ගල හා ඇතුළුගමට – ඇතුළුගෙට පිවිසීමේදී නුසුදුසු වචන පැවසීමයි. ඒ කෙසේද? මේ සසුනෙහි ඇතැම් භික්ෂුවක් වැඩිහිටි අවසරයක් නැතිව සඟමැද බණ කියයි. එලෙසින් ම අවසරයක් නොමැතිව ගණයා මැදද පුද්ගලයන් සමීපයේද සිදුකරයි. තවද මිනිසුන් ප්‍රශ්න විමසූ විට වැඩිහිටි අවසරයක් නොගෙන, ඒවා විසඳයි. ඇතුළු ගමේදී පිඬු පිණිස යමින් ම “අසුවල් ගෙදරින් කුමක් ලැබේද?” “කෑ දෑද? නැතිනම් කෑයුතු වැළඳිය යුතු දෙයක්ද?” “මට දෙන්නේ මොනවාද?” “කිම අද කමුද?” “වළඳමුද?” “කිම අද බොන්නෙහිද?” ආදිය කියයි. මෙලෙස වචනයෙන් නුසුදුසු හැසිරීම් දක්වයි.]
“මහණෙනි,
තොප මේ ගැන කෙසේ සිතන්නහුද?
කෙබඳු මහණකු කුලයන් කරා එළඹෙන්නට සුදුසු වෙයිද?”
“ස්වාමීනි,
අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තාහුය. ස්වාමීනි, මේ වචනයාගේ අර්ථය භාග්‍යවතුන් වහන්සේටම වැටහේ නම් ඒ මැනවි. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි.” කීහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී හස්තය ඔසවා අහසෙහි අත්ල සෙලවූසේක.
“මහණෙනි, යම්සේ මේ අත්ල අහසෙහි නොරඳාද, අවකාශය අල්ලා නොගනීද, අහසේ නොබැඳේද, මහණෙනි, මෙසේම කුලයන්ට එළඹෙන තොපගේ සිත කුලයන්හි නොරඳවව්, අල්ලා නොගනිව්, කුලයන්, ගිහියන් සමග බැඳීම නොකරව්.!
‘ලාභ කැමැත්තෝ ලාභ ලබත්වා,
පින් කැමැත්තෝ පින් කෙරෙත්වායි,’
තමහට ලැබෙන දෙයින්ම සතුටු වව්,
එසේම අනුන්ගේ ලාභය ගැනද සතුටු වව්,
මහණෙනි, එවැනි මහණා කුලයන් කරා එළඹෙන්නට සුදුසුය.
[ජරූදපානං” යනු දිරාගිය ළිඳයි. “පබ්බත විසමං” යනු විෂම වූ පර්වතයයි. වැටෙන තැනයි. “නදී විදුග්ගං” යනු ගගෙහි ගමනට අපහසු තැනයි. වැවේ සිදුණු තැනක්. “අපකස්සෙව කායං” යනු ඒ ඒ තැන්වල යමෙක් ක්රීඩාදියේ නියුක්තව, කය ඉවත් නොකරම, හුදකලාව බරපතල කම් ගැන නොසිතා, ආධාරක දෙයක් නො අල්වාම සිත ද ඉවතට නොගෙන – මෙහි වැටී අත්පා බිඳීම් ආදී දුකට පත්වේ. මෙසේ තැති නොගෙන – ආදීනව නොසළකා සතුටුවෙමින් ඒ දෙස එබී බලයි. ඔහු එහි වැටී අත්පා බිඳීම් ආදී අනර්ථයට-දුකට පත්වේ. යමෙක් ජලයෙන් ප්‍රයෝජනයක් ඇතිව ළිඳ වෙත ගොස් කය බැහැර කර, සිත එක්තැන් කරගෙන, ආදීනව බැරෑරුම්ව සළකා බලමින්, ආධාරක උපකරණ අල්වාගෙන, සිතද බැහැරකර, තැතිගැනීම් සහිතව බලයි. ඔහු ළිඳට නොවැටෙයි. රිසිසේ ළිඳ බලා, සුවසේ තමා කැමති තැනකට යයි.]
[එවමෙව ඛො” යනු මෙහි උපමා සන්සන්දනයයි. සතර කුලයන්, දිරාගිය ළිඳ මෙනි. යෝගාවචර භික්ෂුව, ළිඳ බැලීමට පැමිණි පුරුෂයා මෙනි. ඉවත් නොකළ කය ඇතිව, ඉවත් නොකළ සිත් ඇතිව ළිඳ බලන පුරුෂයා එහි වැටෙන්නාක් මෙන් නොරකින ලද කය හා සිත් ඇතිව කුලයන් වෙත එළඹෙන භික්ෂුවද කුලයන්හි ඇලේ. බැඳේ. ඉන්පසු නානාප්‍රකාර සිල් නම් වූ පාබිඳීම් ආදී අනර්ථයට ළිඳට වැටුණු මිනිසා මෙන්ම පත්වේ. බැහැර කළ කය-සිත් ඇති නුවණැති පුරුෂයා ළිඳට නොවැටෙන්නාක් මෙන් ආරක්ෂා කරන ලද කය-සිත හා වචන ඇති මනාව පිහිට වූ සිත ඇති නුවණැති භික්ෂුව සිහි ඇතිව ම කුලයන් වෙත එළඹෙයි. කුලයන් කෙරෙහි නො ඇලෙයි. නොබැඳෙයි. නොවැටී සුවසේ තමා කැමති තැනට ගිය නුවණැති පුරුෂයා මෙන් එම භික්ෂුවගේද සීල නමැති පාද නොබිඳුණේය. ශ්‍රද්ධාව නැමති අත් නොබිඳුණේය. සමාධිය නැමති කුස නො බිඳුණේය. ඤාණය (ප්‍රඥාව) නැමති හිස නොබිඳුණේය. රාග නැමති හුන්, කටු ආදියෙන් බාධාවක් නොවූයේය. තමා රිසි තැනකට සුවසේ ගියාක් මෙන් භික්ෂුව ද කුලයන් නිසා චීවරාදී සිවුපසය ලබාගෙන, කමටහන් වඩා සංස්කාර ස්වභාවය මෙනෙහිකර, රහත්ඵලය සාක්ෂාත් කරගෙන – ලොවුතුරු සුවයෙන් සුවපත් වූයේ, තමාට අභිමත වූ පෙර නොගිය විරූ ක්ෂේමභූමියක් වූ “නිර්වාණය” නම් දිශාව බලා යන්නේය.
දැන් හීනවූ අදහස් ඇති වැරදි දේට පිළිපන් යමෙක් මෙසේ කියන්නේය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ “ත්‍රිවිධ වූ ගැටීම් දුරලා නිත්‍ය නවකයකු ලෙස චන්ද්‍රයා මෙන් කුලයන් වෙත එළඹවු”යි වදාරන සේක් භික්ෂූන් වහන්සේලා නුසුදුසු තැන්හි වාසය කරවන සේක. නොඉවසිය හැකි බරක් පටවන සේක. මෙලෙස කිරීමට හෝ කරවීම ඉතා අසීරුය” යනුවෙනි. එබඳු වාදයන් (අදහස්) සිඳදමමින්, “එලෙස ජීවත්විය හැකියැ”යි තහවුරු කරමින් “එසේ ජීවත්වන භික්ෂූහු වෙති”යි උදාහරණ දක්වන සේක “කස්සපො භික්ඛවෙ”….. යනාදිය දෙසූහ.
ආකාසෙ පාණිං චාලෙසි” යනු නිල් අහසේ, එකට වෙලී පවතින විදුලිය දෙකක් සැරිසරන්නාක් මෙන් යටින් ද උඩින් ද දෙපැත්තෙන් ද අත සැරිසැරුවේය යනුයි. (අත එහෙ මෙහෙ විහිදවූ සේක.) මෙයද ත්‍රිපිටක බුද්ධ වචනයෙහි අසම්භින්න වූ පදයකි. “අත්තමනෝ” යනු සතුටු සිත් ඇති, පිනාගිය සිත් ඇති යනුයි. දොම්නසින් පැහැරගත් මනසක් නොමැතිවයි.
කස්සපස්ස භික්ඛවෙ” යන මෙහිද පෙර පැවසූ ලෙස ම අන්‍යයන්ගේ වාද සිඳ දමමින් “මෙබඳු භික්ෂූහු ඇත”යි දැක්වීමට වදාළ සේක.
පසන්නාකාරං කරෙය්යුං” යනු චීවරාදී ප්‍රත්‍යයන් දෙන්නාහු නම් යනුයි. “තථාත්තාය පටිපජ්ජෙය්‍යුං” යනු සීලය පැමිණි තැන්හි සීලය සම්පූර්ණ කරමින්, සමාධි විදර්ශනා මාර්ගඵල පැමිණි තැන්හි ඒ ඒ දෙය සම්පාදනය කරමින්, ඒ සඳහාම පිළිපදින්නාහු නම් යනුයි. “අනුද්දයං” යනු ආරක්ෂා කරන බවයි. “අනුකම්පං” යනු මුදුසිත් ඇති බවයි. මේ පද දෙකම කරුණාවට ම යෙදුණු සමාන වදන් වේ. “කස්සපො භික්ඛවෙ” යන මෙහිද පෙර කියන ලද පරිදිම පරවාදයන් බිඳලමින් “මෙබඳු භික්ෂූහු ඇත”යි දැක්වීමට දෙසන ලද සේක. “කස්සපෙන වා” යන මෙහි සඳ උපමාව ආදී විස්තර මුලින් පවසා ඇති අයුරින්ම දතයුතුයි.
[නොයෙක් තැන්හි මනසින් ගැටීම නම් ඒ ඒ තැන ඉහත කී අයුරින් කාය-වාග් වැරදි හැසිරීම් ආදියට නොපැමිණි නමුත් මනසින් ම කාමවිතර්කාදිය සිතයි. තවද දුසිල්ව හිඳගෙන, “ජනයා මා සි තෙකු ලෙස දැනගනිත්වා!”යි මෙසේ පවතින පවිටු සිත, ස්වභාවය මනසින් ගැටීම නම් වේ. “මේ දැක්වූ සියලුම ආකාරයේ ගැටීම්වලින් දුරවූයේ. ඒවායෙහි නොයෙදී – නොගැටී කුලයන් වෙත පැමිණෙවු” යන අර්ථයයි.]
මහණෙනි,
කුලයන් කරා එළඹුනාවූ විටදී, කස්සපගේ සිත කුලයන්හි නොරැඳෙයි. අල්ලා නොගනියි. නොබැඳෙයි.
‘ලාභ කැමැත්තෝ ලාභ ලබත්වා, පින් කැමැත්තෝ පින් කෙරෙත්වායි’ තමහට ලැබෙන ලාභයෙන් සතුටු වෙයි. එසේ අනුන්ට ලැබෙන ලාභයෙන් සතුටු වෙයි. මහණෙනි, එවැනිවූ භික්ෂුව කුලයන් කරා එළඹෙන්නට සුදුසු වෙයි.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද?
කෙබඳු ස්වභාව ඇත්තාවූ භික්ෂුවගේ ධර්මදේශනාව පිරිසිදු නොවේද?
කෙබඳු ස්වභාව ඇත්තාවූ භික්ෂුවගේ ධර්මදේශනාව පිරිසිදු වේද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භග්‍යවතුන්වහන්සේ මුල්කොට ඇත්තෝය. භග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තෝය. භග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තෝය. ස්වාමීනි, මේ වචනයේ අදහස භාග්‍යවතුන් වහන්සේම කියා දෙන සේක් නම් (භාග්‍යවතුන් වහන්සේටම වැටහෙනසේක් නම්) ඉතා හොඳයයි” කීවාහුය.
“මහණෙනි,
එසේ වීනම් අසව්. මනාකොට මෙනෙහි කරව්.
කියන්නෙමියි” වදාළසේක.
“එසේය ස්වාමීනියි,” කියා ඒ භික්ෂූහු උත්තර දුන්හ.
(එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළසේක.
“මහණෙනි,
මහණෙක් මෙවැනි සිතින් යුක්තව ධර්මය දේශනා කෙරේද?
(කෙසේද?)
‘මොවුහු මාගේ ධර්මය අසත් නම්, යෙහෙකි.
අසා ධර්මයෙහි පැහැදෙත් නම් යෙහෙකි,
පැහැදී මටද පැහැදෙන්නේ නම් ඉතා හොඳය’ කියායි.
මහණෙනි, මෙවැනි භික්ෂුවගේ ධර්මදේශනාව පිරිසිදු නොවේ..
ඔහුගේ දේශනාව අපිරිසිදුය
අතිපුජ්‍ය මාහෝ සුමේධ මහා ස්වාමින් වහන්සේ
මහණෙනි,
මෙවැනි සිතින් යුක්තව ධර්මය දේශනා කල යුතුය
(කෙසේද?)
භාග්‍යවතුන් වහන්සේ විසින්
ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය.
තම තමා තුලින්ම දැක්ක යුත්තේය.
කල් නොගොසින්ම ප්‍රතිඵල දෙන්නේය.
එව, බලවයි කීමට සුදුසුය.
තමාගේ සන්තානයෙහි එළවා ගැනීමට
හෙවත් තම තමන් විසින්ම එළඹීමට සුදුසුය.
නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේය.
මොවුහු මාගේ ධර්මය අසත් නම්,
අසා ධර්මය දැනගනිත් නම්, දැන ගෙන,
ඒ අයුරු පිළිපදිත් නම් ඉතා හොඳය කියායි.
මෙසේ ධර්මයෙහි යහපත් බව දක්වා ධර්මය දේශනා කෙරෙයි.
කරුණාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි.
දයාව නිසා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි.
අනුකම්පාව උපදවා අනුන්ට ධර්මය දේශනා කෙරෙයි.
මහණෙනි, මෙවැනි භික්ෂුවගේ ධර්ම දේශනාව පිරිසිදුය.
“මහණෙනි,
කස්සප තෙරණුවෝ මෙවැනි සිතින් ධර්මය දේශනා කරයි.
කෙසේද?
භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධර්මය මනාකොට දේශනා කරන ලද්දේය. තමා විසින්ම දැක්ක යුත්තේය. කල් නොගොසින්ම විපාක දෙන්නේය. එව, බලවයි කීමට සුදුසුය. තමාගේ සන්තානයෙහි එළවා ගැනීමට හෙවත් තම තමන් විසින්ම එළඹීමට සුදුසුය. නුවණ ඇත්තන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුත්තේය. මොවුහු ධර්මය අසත් නම්, අසා ධර්මය දැන ගනිත් නම්, දැනගෙන, ඒ අයුරු පිළිපදිත් නම් හොඳය කියායි,
මෙසේ ධර්මයෙහි, යහපත් බව නිසා ධර්මය දේශනා කෙරෙයි.
කරුණාව නිසා ධර්මය දේශනා කරයි.
දයාව නිසා අනුන්ට ධර්මය දේශනා කරයි.
අනුකම්පාව උපදවා අනුන්ට ධර්මය දේශනා කරයි.
මහණෙනි,
තොපට කස්සපයන් හා සමාන වීමට අවවාද කරමු.
[“අපකස්සෙව කායං අපකස්සෙව චිත්තං” යනු ඉහත කී එක්ව විසීම් ආදිය නොකිරීමෙන් කය ද සිත ද ඉවතට ඇද-පහකර යන අර්ථයි.
(i). යම් භික්ෂුවක් අරණ්‍යයෙහි නොවෙසෙයි. කාම විතර්කාදිය කල්පනා කරයි. මේ භික්ෂුව කය හා සිත ඉවත් නොකර ම වෙසෙයි.
(ii).යම් භික්ෂුවක් වන අරණ්‍යයෙහි වෙසෙයි. කාමවිතර්කාදිය කල්පනා කරයි. මේ භික්ෂුව කය පමණක් ඉවත්කර වෙසෙයි. සිත ඉවත් නොකරයි.
(iii).යම් භික්ෂුවක් ගමේ පන්සලේ වෙසෙමින් කාමාදී විතර්ක නොසිතයි.
මේ භික්ෂුව සිත ඉවත් කර, කය ඉවත් නොකර වෙසෙයි.
(iv).යම් භික්ෂුවක් අරණ්‍යයෙහි වෙසෙමින් කාමවිතර්කාදිය ද පහළ කර නොගනියි.
මේ භික්ෂුව කය, සිත දෙක ම ඉවත්කර වෙසෙන උතුම් භික්ෂුවයි.
“මෙලෙස වී කුලයන් වෙත යායුතුයි” යන අර්ථය දක්වමින්, “කය හා සිත ඉවත් කරවූයේම” යනුවෙන් දෙසූ සේක. යමෙක් කස්සපයන් හා සමාන වන්නේද, එසේ අවවාද කරන ලද්දාවූ තොප විසින් එසේ වනු සඳහා පිළිපැදිය යුත්තේය. මහණෙනි, (මම) තොපට කස්සපයන් හා සමාන වීමට අවවාද කරන්නෙමි. යමෙක් කස්සපයන් හා සමාන වන්නේද, අවවාද කරන ලද්දාවූ තොප විසින් එසේ වනු සඳහා පිළිපැදිය යුත්තේය.]
(තුන්වෙනි චන්දූපමා සූත්‍රය නිමි.)
SN 02-05-04. කුලුපග සූත්‍රය
[“කුලූපගො” යන කුල ගෙවල්වලට ගිහියන් වසන තැනකට යන්නාය. දාන ආරාධනාවකට, පාන්සකුල යකට, බණකට පැවිද්දෝ ගිහියන් ඉන්නා තැනකට යයි. එසේ යන පැවිද්දන් සිය චීවරයේ ගෞරවය රැකෙන අයරින් හැසිරෙම ගැන මේ සුත්‍රයේ කියැවේ.]
§1. මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
§2. “මහණෙනි, කුමක් සිතන්නහුද?
කෙබඳු භික්ෂුවක් කුල ගෙවලට එළඹෙන්නට සුදුසු වේද?
කෙබඳු භික්ෂුවක් කුල ගෙවලට එළඹෙන්නට නුසුදුසු වේද?”
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තේය. භාග්‍යවතුන් වහන්සේ පමුණු වන්නා කොට ඇත්තෝය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කොට ඇත්තෝය. ස්වාමීනි, මේ වචනයේ අදහස භාග්‍යවතුන් වහන්සේම කියා දෙන සේක්නම් ඉතා හොඳයයි” කීවාහුය.
§3. “මහණෙනි,
එසේ නම් අසව්. මනාකොට සිත්හි දරව්. කියන්නෙමියි” වදාළසේක. “එසේය ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
“මහණෙනි,
මෙවැනි සිත් ඇත්තාවූ යම්කිසි මහණෙක් කුලගෙවලට එළඹෙයිද,
(කෙබඳු සිත් ඇත්තාවූදයත්)
‘මටම දෙත්වා ! නොදීම නොකෙරෙත්වා.
මට බොහෝ කොටම දෙත්වා!
ස්වල්ප කොට නොව බොහෝකොට දෙත්වා.
මට ප්‍රණීත කොටම දෙත්වා.
අප්‍රණීත දානය නො දෙත්වා.
මට ඉක්මන් කොටම දෙත්වා.
ප්‍රමාද නොකොට දෙත්වා.
මට සකස්කොටම දෙත්වා.
සකස් නොකොට නොදෙත්වා.
[“දෙන්තුයෙව මෙ” යනු මා හටම දෙත්වා යනුයි. “සන්දීයති” යනු කරදරයට පත්වෙයි. පෙළයි. සෙසු පදයන්ගේ අර්ථ කියන ලද පරිදිම දතයුතුයි.]
§4. “මහණෙනි,
එවැනි සිත් ඇත්තාවූ මහණකු, කුලගෙයකට එළඹෙන විට ඒ හිහියෝ මහණහට, ඒ සිතන ආකාරයට නොදෙත්ද, ඔහු චිත්ත පීඩාවට පත්වෙයි. ඔහු ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. ස්වල්පයක් දෙත්ද, බොහෝකොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණහු පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. අප්‍රණීත කොට දෙත්ද, ප්‍රණීත කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. ප්‍රමාදව දෙත්ද, ශීඝ්‍රව නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි. සකස් නොකොට දෙත්ද, සකස්කොට නොදෙත්ද, ඒ හේතුවෙන් මහණතෙම පීඩාවට පත්වෙයි. හෙතෙම ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳියි.
මහණෙනි, මෙවැනි භික්ෂුව කුලගෙවලට එළඹීමට සුදුසු නොවෙයි.
§ 5. “මහණෙනි,
මෙබඳු සිත් ඇත්තාවූ, මහණෙකු කුල ගෙවලට එළඹෙයිද,
(කෙබඳු සිත් ඇත්තාවූදයත්)
මටම දෙත්වා. නොදීම නොකෙරෙත්වා.
මට බොහෝකොටම දෙත්වා. ස්වල්පයක් නොදෙත්වා,
මට ප්රණීතකොටම දෙත්වා. අප්රණීතදේ නොදෙත්වා.
මට ඉක්මන්කොටම දෙත්වා. ප්‍රමාදකොට නොදෙත්වා.
මට සකස්කොටම දෙත්වා. සකස් නොකොට නොදෙත්වා
යන මෙය අන්‍ය කුල ගෙවලින් කෙසේ ලබන්නාහුද” කියායි.
මහණෙනි,
එවැනි සිත් ඇත්තාවූ මහණා කුලගෙවලට එළඹෙන්නාවූ විට,
මහණහට ඉදින් රිසි දේ නොලබත්ද,
ඒ හේතුවෙන් ඔහු පීඩාවට පත් නොවෙයි.
දුකක් දොම්නසක් නොවිඳියි.
ස්වල්පයක් ලබත්ද, බොහෝ නොලබත්ද,
ඉන් ඔහු පීඩාවට පත් නොවෙයි.
දුකක් දොම්නසක් නොවිඳියි.
අප්‍රණීත දානයක් ලබත්ද,
ඉන්ද ඔහු පීඩාවට පත් නොවෙයි.
දුකක් දොම්නසක් නොවිඳියි.
ප්‍රමාදව ලබත්ද, සැනෙකින් නොලබත්ද,
ඉන්ද ඔහු පීඩාවට පත් නොවෙයි.
දුකක් දොම්නසක් නොවිඳියි.
සකස් නොකොට දෙත්ද, සකස් කොට නොදෙත්ද,
ඒ හේතුවෙන්ද ඔහු පීඩාවට පත් නොවෙයි.
දුකක් දොම්නසක් නොවිඳියි.
මහණෙනි,
මෙවැනි භික්ෂුව කුල ගෙවලට එළඹෙන්නට සුදුසු වෙයි.
§ 6. “මහණෙනි,
කස්සප තෙරුන්මෙ වැනි සිත් ඇතිව කුල ගෙවලට එළඹෙයි.
කෙබඳු සිත් ඇත්තේද යත්:- මටම දෙත්වා. නොදීම නොකෙරෙත්වා. මට බොහෝ කොටම දෙත්වා. ස්වල්පකොට නොදෙත්වා. මට ප්‍රණීත කොටම දෙත්වා. අප්‍රණීත කොට නොදෙත්වා. මට ඉක්මන් කොටම දෙත්වා. ප්‍රමාදකොට නොදෙත්වා. මට සකස් කොටම දෙත්වා. සකස් නොකොට නොදෙත්වා යන මෙය අන්‍යවූ කුල ගෙවලින් කෙසේ ලබන්නාහුද’ කියායි.
මහණෙනි,
මෙවැනි සිත් ඇතිව, කුල ගෙවලට එළඹෙන්නාවූ, කස්සප හට
ඉදින් නොදෙත්ද, ඒ හේතුවෙන් කස්සපයෝ පීඩාවට පත් නොවෙයි.
දුකක් දොම්නසක් නොවිඳියි.
ස්වල්පයක් දෙත්ද, බොහෝකොට නොදෙත්ද,
ඒ නිසා කාශ්‍යපයෝ පීඩාවට පත් නොවෙයි.
ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි.
අප්‍රණීත දේ නොලබ්කොත්ටද, පීඩාවට පත් නොවෙයි.
දුකක් දොම්නසක් නොවිඳියි.
ප්‍රමාදව දෙත්ද, ශීඝ්‍රව නොදෙත්ද,
කස්සප තෙම පීඩාවට පත් නොවෙයි.,
දුකක් දොම්නසක් නොවිඳියි.
සකස් නොකොට දෙත්ද, සකස් කොට නොදෙත්ද,
ඒ හේතුවෙන් කස්සප පීඩාවට පත් නොවෙයි.
ඒ හේතුවෙන් දුකක් දොම්නසක් නොවිඳියි.
මහණෙනි,
කස්සප හා සමාන වීමට (මම) තොපට අවවාද කරන්නෙමි.
යමෙක් කස්සප හා සමාන වූයේද අවවාද කරන ලද්දාවූ තොප විසින් එසේ වනු සඳහා පිළිපැදිය යුතුයි.
(හතරවෙනි කුලුපග සූත්‍රය නිමි.)
SN 02-05-05 . ජිණ්ණ සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම් වේළුවනයෙහි (හුන වනයෙහි) වසන සේක. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප ස්වාමින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හුන්නේය. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
“කස්සපය නුඹ දැන් මහළු වූයෙහිය. ජරාවට පත්වූ යේය.
නුඹට මේ හණින් කළාවූ, පැරණිවූ පාංශුකූල සිවුරු බරවෙත්.
කස්සපය, ඒ නිසා නුඹ ගෘහපතියන්ගේ සිවුරුද දරව.
ආරාධනාකොට දෙන දානයද වළඳව.
මාගේ සමීපයෙහිද වාසය කරව” කියායි.
[ “ජිණ්ණො” යනු ස්ථවිර වූ, මහලු වූ යනුයි.
“ගරුකානි” යනු ඒ සිවුර ශාස්තෘන්වහන්සේ වෙතින් ලැබූ කාලයේ පටන්, සිදුණු ඉරුණු තැන් නූලෙන් මැසීමෙන් ද නොයෙක් සිය ගණන් අණ්ඩ දැමීමෙන්ද බර වූවක් බවට පත්විය. “නිබ්බිසනාති” යනු පෙර භාග්‍යවතුන් වහන්සේ විසින් හැඳ පොරවා බැහැර කළ බැවින් මෙනමින් හැඳින්විණි. “තස්මා” යනු යම්හෙයකින් නුඹ ජරාවට පත්වූයේ ද ගරුකටයුතු පාංශුකූලික පැවිද්දෙක් වූයේ ද එනිසාය. “ගහපතිකානි” යනු “පාංශුකුලිකාංගය හැරදමා ගහපතියන් විසින් දුන් සිවුරු දරන්න” යන අදහසයි. “නිමන්තණෙසු” යනු” “පිණ්ඩපාතිකංගය හැරදමා සළාක බත් ආදියෙන් ආරාධිත දානය වළඳන්න” යන අදහසයි. “මමඤ්ඤච සන්තිකෙ” යනු “ආරණ්‍යයේ ම විසීම අත්හැර ගම් සෙනසුන්හි ම වෙසෙන්න” යන අදහසයි.]
§ 2. “ස්වාමීනි,
මම බොහෝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍ය වාසයේද, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේද වීමි. පිණ්ඩපාතිකද, පිණ්ඩපාතිකයෙහි ගුණ කියන්නේද වීමි. පාංසුකූලිකද, පාංසුකූලිකයෙහි ගුණ කියන්නේද වීමි. තේචීවරිකද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. අල්පෙච්ඡද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. ලද දෙයින් සතුටු වූයේද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වූයෙමි. අතිශය විවේකයෙන් යුක්තවූයේද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. බොහෝ දෙනා සමග හෝ ගැටුනේ බොහෝ දෙනා සමග නොගැටීමෙහි ගුණ කියන්නේද වූයෙමියි කීය.
“කස්සපය,
නුඹ කිනම් අර්ථයක් දකිමින් දීර්ඝකාලයක් මුළුල්ලෙහි
වන වාසයේත්, ආරණ්‍යක භාවයෙහිත් ගුණ කියන්නේද? 21පිණ්ඩපාතිකත්, පිණ්ඩපාතයෙහි ගුණ කියන්නේද? 22පාංසුකූලික වීමේත්ත්, පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නේද? තේචීවරිකත්, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේද? අල්පෙච්ඡත්, අල්පෙච්ඡභාවයෙහි ගුණ කියන්නේද? ලද දෙයින් සතුටු වූයේත්, ලද දෙයින් සතුටු වීමෙහි ගුණ කියන්නේද? අතිශය විවේකයෙන් යුක්තව ඉන්නේ,
අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද?
[මේ අතිශය විවේක භාවය යනු “ධ්‍යාන සුඛය” යි.නො ගැටුනේත්, නොගැටීමෙහි ගුණ කියන්නේද?
[නොගැටීම : ව්‍යාපාදයෙන් තොරව උපේක්ක්හාවෙන් ලෝකය දැකීමයි]පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේත්, පටන් ගන්නා ලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේද?”අරණ්‍යය’ හෝ ‘ආරඤ්ඤ’ යන්නෙන් වනය හෙවත් කැළෑව යන අර්ථය කියවේ. …
අරඤ්ඤායතනය යනු වනයෙහි වූ සේනාසනය යි. මෙය ‘ආරණ්යාරාමය’ ‘ආරණ්යායතනය’ ලෙස ද හැඳින්විය හැකිය. වනයෙහි නිතර වාසය කරන වනවාසී භික්ෂුව අරණ්‍යවාසී, ආරණ්‍යවාසී හෝ ආරඤ්ඤාධිවාසී ලෙස හැඳින්වේ. ‘අරණ විහාර’ හෝ ‘අරණ විහාරාංගය’ යනු නිකෙලෙස්ව විසීමේ පිළිවෙත යි.“දාය” යනුද ආරණ්‍යයට නමකි.චූල ගෝසිංග සූත්‍ර අටුවාවට අනුව ගෝසිංග සාලවන දාය යනු ගෝසිංග සාල වන ආරණ්‍යය වේ. යටත් පිරිසෙයින් කුඩා වන රොදක හෝ කුටි ආදිය ඉදිකරගෙන භික්ෂූන් වාසය කරන්නේ නම් එම ස්ථානය ආරණ්‍යය හැටියට හැඳින්වීමට සාමාන්‍යයෙන් මහජානතාව පෙළඹෙති. එහෙත් ‘ආරණ්‍යය’ යන්න හඳුනා ගැනීමට නිශ්චිත ශාස්ත්‍රීය අර්ථ කථනයක් අවශ්‍ය වේ. විනය, සූත්‍ර හා අභිධර්ම යන කොටස් තුනෙහි ම ‘ආරණ්‍යය’ යන්නට අර්ථකථන සපයා ඇත.
ඒ අනුව විනයෙහි දක්වන්නේ,
රජතුමා සේනාපතියකු සේනාපති තනතුරෙහි තමා විසින්ම තබා, රාජ උපස්ථාන ආදිය මගින් තමාගේ සිත සතුටුකරන එම සෙන්පතියාගේ එම තනතුර වෙනත් අයෙකුට දේනම්; රජු නුසුදුසු ක්‍රියාවක් කරන්නේ නොවේද? මෙසේ ම භාග්‍යවතුන් වහන්සේ ම මහා කාශ්‍යප තෙරුන්ට පෙරගමන් කරනු වස් තුන් ගවුවක් මග ගෙවා ගොස් රජගහ නුවරට ද නාලන්දාවටද අතර වූ බහුපුත්තක නම් රුක්මුල හුන් සේක්, ත්‍රිවිධ අවවාදයගෙන් ම ඕවාද පටිග්ගහණ උපසම්පදාව ලබාදී, උන්වහන්සේ සමග තම සිවුර හුවමාරු කරගෙන පැවිදි වූ දින පටන් ම කාශ්‍යප තෙරුන් ආරණ්‍යයෙහි වාසය කරන ධුතාංගධාරී තනතුරට පත්කළ සේක. මහකසුප් තෙරණුවෝ මේ දක්වා බුදුසිත නොරිදවමින් කළයුතු වතාවත් නිසිපරිදි ඉටු කරද්දී ම නැවත භාග්‍යවතුන් වහන්සේ විසින් උන්වහන්සේට, පාංශුකූලිකංගය හැරදමා ගහපති සිවුරු පිළිගැනීම් ආදියට යොමුකරවන සේක. මෙය අයුක්තියක්, නුසුදුසු ක්‍රියාවක් නොවන්නේද? නැත. එය අයුක්තියක් ඉටුකිරීමක් නොවේ. කුමක් නිසාද? තමන්වහන්සේගේ ම අදහසක් වන බැවිනි. ශාස්තෘන් වහන්සේ ධුතාංග ආදිය අත්හැරීමට – ඉවත දැමීමට නො කැමති සේක. “යම්සේ නොගටන ලද බෙර ආදිය ශබ්ද පිට නොකරයිද එලෙසින්ම නොගටන ලද මෙබඳු උතුම් පුද්ගලයෝ සිංහනාද නොකරති”යි කාශ්‍යප තෙරුන්ගේ සිංහනාදය අසනු රිසි වූ බැවින් මෙලෙස වදාළහ. “ඨපෙත්වා ගාමඤ්ච ගාමූපචාරඤ්ච අවසේසං අරඤ්ඤං නාම” යනුවෙනි. එනම් ගම හා ග්රාමූපචාරය හැර ඉන් ඔබ්බෙහි වූ සියලු වනය ආරණ්‍යය වේ යනුවෙනි.
අභිධර්මයේ දක්වන්නේ,
“නික්ඛමිත්වා බහිඉන්දඛීලං සබ්බමේතං අරඤ්ඤං”
මීට අනුව බාහිර ඉන්ද්‍රඛීලය හැර ඊට ඔබ්බෙහි වූ සියලු වනය ආරණ්‍යය ලෙස සැලකේ.
සූත්‍ර සාහිත්‍යයේ දක්වන්නේ,
“පඤ්චධනු සතිකං පච්ඡිමන්ති අරඤ්ඤකංග නිප්ඵාදකං සේනාසනං වුත්තං” ලෙසය.
මෙයින් කියවෙන්නේ ආරණ්‍යය සඳහා යෝග්‍ය සේනාසනය ග්රාමෝපචාරයේ සිට දුනු පන්සියයකින් එහා වනය හැටියට ය. දුන්න යනු නව වියතකි. වියතට අඟල් දොළොසකි. මෙය මැනිය යුත්තේ වැට පවුරු ආදියෙන් වට කළ ගමේ ඉන්ද්‍රඛීලයේ සිට ආරණ්‍යයේ සීමට දක්වා ය. ආරණ්‍යයෙහි ආරම්භක සීමාවක් නොමැති නම් සියල්ලටම ඉදිරියේ ඇති සේනාසනය හෝ සන්නිපාත ශාලාව හෝ වන්දනීය ස්ථානය දක්වා මැනිය යුතුය.
ආරණ්‍යය පිළිබඳව මෙබඳු අර්ථකථන ඉදිරිපත් වූයේ බුද්ධ කාලයේ ද ආරණ්‍ය වාසය ප්‍රිය කළ භික්ෂූන් බහුලව සිටි බැවිනි. එහෙත් ග්රාමවාසී හා ආරණ්‍යයවාසී හෙවත් වනවාසී හැටියට පැහැදිළි බෙදීමක් එකල පැවති බවට තොරතුරු විරළ ය. විශේෂයෙන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ කේන්ද්‍ර කොට ගෙන මෙම ආරණ්‍යක භික්ෂු පිරිස කටයුතු කර ඇති බව පෙනේ. කස්සප සංයුක්තයේ එක් තැනකදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පවසන්නේ උන්වහන්සේ දීර්ඝ කාලයත් ආරණ්‍යයෙහිම වැඩ වාසය කළ බවයි. එසේම ආරණ්‍ය වාසයේම ගුණ කියනසුළු බවයි.නමුත් උන්වහන්සේලා ස්වකීය ජීවිතය වනගත පරිසරයක ගෙවා දමන හුදු ආරණ්යවාසීන්ම නොවූහ. ධර්ම විනය පිළිබඳ මනා පටුත්වයකින් හෙබි ශාසන භාරධාරී භික්ෂූන් වහන්සේලා ඒ අතර විරළ නොවූහ. ප්‍රථම ධර්ම සංගායනාව වැනි සුවිශේෂී ශාස්ත්‍රීය මෙහෙවරක මූලිකත්වය ගෙන ක්‍රියාකිරීමට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඒකමතිකව සංඝ සම්මතයෙන් තෝරා ගැනීමෙන් මේ බව පැහැදිළි වේ.
බුදුරදුන් පවා විටින් විට ආරණ්‍යවාසී වූ බව ත්‍රිපිටක සාහිත්‍යයෙන් පැහැදිළි වේ.
දිනක් බුදුරදුන් හමුවට පැමිණි කොසොල් මහ රජතුමා බුදුරදුන්ගේ පා මුල හිසින් වැටී, බුදුරදුන්ගේ සිරි පතුල් මුවින් සිඹිමින්, දෙඅතින් පිරිමදිමින් බුදුරදුන්ට උදාර ගෞරවයක් කළේ ය. එවිට බුදුරදුහු කුමක් නිසා තමන් වහන්සේ කෙරෙහි මෙබඳු උදාර ගෞරවයක් දක්වන්නේ දැයි කොසොල් රජුගෙන් විමසූහ. එවිට බුදුරදුන්ට මෙබඳු ගෞරවයක් දැක්වීමේ එක් කරුණක් හැටියට කොසොල් රජු පවසන්නේ බුදුරදුන් බොහෝකල් ආරණ්‍ය ප්‍රාන්ත වන සෙනසුන්වල වැඩ වාසය කිරීම යි.
බුදුරදුන් එක් අවස්ථාවකදී මෙතෙක් ශාසනයේ පහළ නොවූ එහෙත් අනාගතයෙහි පහළ වන කරුණු කිහිපයක් අනාගත භය වශයෙන් පෙන්වා ඇත. මෙතෙක් පහළ නොවූ යන්නෙන් පැහැදිළි වන්නේ, මේ තත්වය බුදුරදුන් පෙන්වා වදාළේ ප්‍රථම බෝධි සමයේදී ම බවයි. ශාසනය පහළ වී කල්ගතවන විට ආසවට්ඨානීය ධර්ම පහළ වන විට මේ තත්වය උද්ගත වන බව තථාගතයන් වහන්සේ ප්‍රකට කළසේක. එබැවින් මෙම අනතුරු ඇගවීම තුළින් එම තත්වය කිසියම් ප්‍රමාණයකට හෝ මැඩ පවත්වා ගැනීමටද උත්සහවත් වූහ. අනාගතයේදී භික්ෂූන්,
පාංසුකූල සිවුරු හැරදමා වටිනා රෙදිවලින් නිම කළ සිනිඳු සුවපහසු සිවුරුවලට කැමති වනු ඇත. අකැප ලෙසින් සිවුරු ලබා ගැනීමට ද පෙළඹෙනු ඇත.
ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනයන්හි වාසය හැර දමා, ගම් නියම්ගම් රාජධානි ආදියෙහි වාසය කිරීමට කැමති වනු ඇත.
පිණ්ඩපාතයෙන් දිවි රැක ගැනීම හැරපියා, අකැප ලෙසින් ආහාර සෙවීමට පෙළඹෙනු ඇත. ආහර රැස්කර තබාගෙන ප්‍රයෝජනයට ගැනීම හෙවත් සන්නිධිකත පරිභෝජනයට පෙළඹෙනු ඇත.
රුක්මුල්හි සිත් අලවා වාසය කිරීමට අකමැති වනු ඇත.
විවේක විහරණය හැර දමා, භික්ඛුණී සාමණේර හා ආරාමිකයන් සමඟ බොහෝ වේලා කථාබස් කරමින් සිටීමට පෙළඹෙනු ඇත.
එසේම භික්ෂූන් ආරණ්‍යගත විය යුත්තේ කවර අරමුණකින්ද යන්නත් බුදුරදුන් පැහැදිළි කර ඇත. නමුත් එහි සඳහන් වන අන්දමට ඇතැමුන්, කරුණු පිළිබඳ ව නිසි අවබෝධයෙන් තොරව මුළාවෙන් යුක්තව ආරණ්‍යගත වේ.
පවිටු අදහස්වලින් යුක්තව අනුන් රැවටීමේ චේතනාවෙන්,
එහි සිව්පස සත්කාර බොහෝ වේ යැයි ආරණ්‍යගත වේ. උමතු බැවින් හෝ සිත දුර්වල වීමෙන් ආරණ්‍යගත වේ. බුදුරදුන් හා බුද්ධ ශ්‍රාවකයන් විසින් මෙය වර්ණනා කරන ලද්දේ යැයි ආරණ්‍යගත වේ. අල්පෙච්ඡ බව නිසා, සිව්පසය ලද පමණින් සතුටුවීම නිසා, සැහැල්ලු පැවැත්ම නිසා, විවේක විහරණයෙහි ඇල්ම නිසා, සරළ දැහැමි දිවි පෙවෙතෙහි ඇල්ම නිසා, ආරණ්‍යගත වේ.මේ අනුව ආරණ්‍යක භික්ෂු ජීවිතය ඉතා උසස් ආගමික ප්‍රගුණ කිරීම් සඳහා මාධ්‍යයක් වූ බවට මූලික දේශනාවන් පරීක්ෂා කිරීමෙන් පැහැදිළි වේ.
බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ද ක්‍රියාත්මක වූ මේ ආරණ්‍යයක සම්ප්රදාය ධර්මාශෝක යුගයේ ද සක්‍රිය ව පැවතුනි. තෙවන ධර්ම සංගායනාව සදහා ඒ වන විට ආරණ්‍යගතව හුදකලාව සිටි මොග්ගලී පුත්ත තිස්ස තෙරුන් වහන්සේ වැඩමවන ලද බව සමන්තපාසාදිකා විනයාර්ථකථාව පවසයි.
ලක්දිව ආරණ්‍යක සම්ප්රදාය
ලංකාවට බුදු දහම ගෙන ඒමේ ධර්මධූත මෙහෙවර මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු ධර්මධූත කණ්ඩායමෙන් ඉටු වූයේ ක්‍රි:පූ: 03 වන සියවසයේ මැද භාගයේ බව සම්මත පිළිගැනීම යි. එකල පටන්ම ආරණ්‍යක සම්ප්රදායක් ලංකාවේ ක්‍රියාත්මක විය. දේවානම්පියතිස්ස රජතුමා ඇතුලු පිරිසට මිහිඳු හිමියන් හා ධර්මධූත කණ්ඩායම අඹතලා පව්වේදී සම්මුඛ විය. එහිදී බණ අසා රජතුමා ඇතුළු පිරිස තිසරණගත බෞද්ධයන් බවට පත්වූහ. ඉන් අනතුරුව රජතුමා මේ රාජකීය ධර්මධූත පිරිසට අනුරාධපුර අගනුවරට වඩින ලෙස ආරාධනා කළේ ය. එහෙත් මිහිඳු හිමියන් අනුරාධපුර අගනුවරට සැතපුම් 08ක් පමණ ඈතින් ඝණ වනාන්තරයක් ව පැවති මිහින්තලා පර්වතයෙහිම වැඩ සිටීමට කැමැත්ත පල කළහ.
අනුරාධපුරය යුගයේද මේ ආරණ්‍යවාසී පරපුර අවිච්ඡින්නව පැවති බව පෙනේ. ථූපාරාමයේ පැවිදි වූ සහෝදර භික්ෂූන් දෙනමකගෙන් එකනමක් පාචීනඛණ්ඩරාජි ආරණ්‍යයේ වැඩ සිටීම හා ඊට සම්බන්ධ රසවත් තකා පුවතකින් මේ බව අණාවරණය වේ. ක්‍රි:පූ: 03 වන සියවසට අයත් රිටිගලින් හමු වූ සෙල්ලිපියක එම යුගයේ පටන් එහි ආරණ්‍ය සේනාසනයක් පැවති බවත් සූරතිස්ස රජු විසින් එම ස්ථානය දියුණු කළ බවටත් තොරතුරු හමුවේ.
මෙසේ දිගින් දිගටම ලංකාවේ ආරණ්‍යවාසී සඟ පරපුරක් පැවත ආ බව පෙනේ. 06 වෙනි පරාක්‍රමබාහු රජුගේ බෑණනුවන් වූ සිරිවර්ධන සෙනෙවි තුමා රජුගේ අණින් කටුපුළු නුවර බලකොටුවක් ඉදිකළ අතර ඒ බලකොටුව ශ්‍රීවර්ධන පුර නම් විය.එම නගරයට යාබඳ ඔහු විසින් ඉතා ශාස්ත්‍රානුකූලව ආරණ්‍ය සේනාසනයක් ඉදිකළ අතර එම සේනාසනය සඳහා භික්ෂූන් වැඩමවා ගත්තේ යාපහු නුවර වළස්ගල අස්ගිරි ආරණ්‍ය සේනාසනයෙනි. මෙසේ ක්‍රි:ව: 1312 වෙසක් මස මැදි පෝය දින අද පවත්නා අස්ගිරි මහා විහාරය එදා සඟසතුකොට පූජා කළේ සකලාංග සම්පූර්ණ ආරණ්‍ය සේනාසනයක් හැටියට ය. මින් පසුව අස්ගිරි ආරණ්‍යය කේන්ද්‍ර කොටගෙන ලංකාවේ නොයෙක් පළාත්වල ආරණ්‍ය සේනාසන ඉදිවිය.
රාමඤ්ඤ නිකාය හා ආරණ්‍යක සම්ප්රදාය
බුරුමයේ දී මෙන්ඩුං මහරජුගේ දායකත්වයෙන් 1861 ජුනි 12 දින රාමඤ්ඤ රට මණ්ඩලේ නුවර මහාවිසුථාරාමස්ථ විසුංග්රාම සීමාවේ දී ඤෙය්යධම්මාධි මුනිවර ඤාණකිත්තිස්සිරිපවර ධම්මසේනාධිපති මහාධම්ම රාජාධිගුරු සංඝරාජයාණන් වහන්සේ උපාධ්‍යාය කොට හැත්තෑ හයක් වූ ගන පූරක සංඝයා මධ්‍යයේ උපසම්පදා භූමියට පත්ව ලංකාවට වැඩමවීමෙන් පසු දැඩි විනයානුකූල ශික්ෂණයකින් හෙබි නව භික්ෂු වංශයක් පිහිටුවීම සඳහා ස්ථීරව අධිෂ්ඨාන කළහ. මේ සඳහා සහාය කොට ගත්තේ බුරුමයේ රාමඤ්ඤ රටේ දී උපසම්පදාව ලැබ ලංකාවට වැඩම කර සිටි ධුතංගධාරී ආරණ්‍යවාසී පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද මාහිමිපාණන් වහන්සේ හා සියම් රටේ ධම්මයුක්තික නිකායේ උපසම්පදා වී ලංකාවට පැමිණ මාතළේ කූඹියන්ගොඩ ආරණ්‍යවාසීව ධුතාංගධාරීව වැඩ සිටි වරාපිටියේ සුමිත්ත මාහිමිපාණන් වහන්සේ යන දෙනමයි.
මෙසේ රාමඤ්ඤ නිකාය බිහි කිරීමට මුල් වූ නාහිමිවරු තිදෙනාගෙන් දෙදෙනෙක්ම ආරණ්‍යවාසී භික්ෂූන් ය. පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමියෝ රාමඤ්ඤ නිකාය ඇති වීමටත් පෙර පටන් ම ආරණ්‍යවාසීව සිටි යතිවරයෙකි. උන්වහන්සේ උපසම්පදාවෙන් පසු ලංකාවට වැඩමවා කිරින්ද පුවක්ගහමඩිත්ත ආරණ්‍ය සේනාසනය, තඹගල්ලෑල්ල ආරණ්‍ය සේනාසනය, නාරන්දෙණිය ඊරියතොට ආරණ්‍ය සේනාසනය යන ස්ථානවල භාවනා වඩමින් ධුතාංගධාරීව කල් ගෙවූහ. උන්වහන්සේ අනුමාත්‍ර ශික්ෂාපද පිළිබඳ ව පවා ඉතා සැළකිල්ලෙන් ක්‍රියා කර ඇති බව පෙනේ.තවද උන්වහන්සේ ධුතාංගධාරී යතිවරයෙක් හැටියට ද සම්භාවනාවට පාත්‍ර වූහ.
ස්‍යාම නිකායික උල්පතගම බුද්ධරක්ඛිත නාහිමියන් ආචාර්යය කොට 1844 දී පැවිදි භූමියට පත් වැලිගමුවේ අත්ථදස්සි හිමියෝ 1847 දී මල්වතු මහා විහාරයෙන් උපසම්පදාව ලබා තුම්පනේ කැන්දගහමඩිත්ත ආරණ්‍යය, ගල්ලැන්ගොල්ල ආරණ්‍යය, ලුණුකැටියාමඩිත්ත ආරණ්‍යය, කොස්සවකන්ද ආරණ්‍යය, සතර කොරළේ අළුලෙන ආරණ්‍යය, දුම්බර ගව්ඇළේ ආරණ්‍යය ආදී ස්ථානවල භාවනානුයෝගීව වැඩ විසූහ. සංවිධානාත්මක වැඩපිළිවෙලක් නැතිව එහෙත් වන සෙනසුන්වල යෝග භාවනා වඩමින් සිටි මුන්වහන්සේට ශිෂ්‍යයෝ බොහෝ වූහ. ගල්ලැන්ගොල්ලේ වනවාස සමාගම නමින් ප්‍රසිද්ධියට පත් මේ භික්ෂු පිරිස සත් කෝරළය, සතර කෝරළය, තුම්පනේ, උඩු නුවර, යටි නුවර, දුම්බර හා අනුරාධපුර යන ප්‍රදේශයන්හි ව්‍යාප්තව වනගතව භාවනා වැඩූහ.මේ පිරිස අභිනවයෙන් ඇති වූ රාමඤ්ඤ නිකායට ඇතුළත් වීම 1867 පොසොන් පොහේ දින ගම්පොල මහවැලි නදී උදකුක්ඛේප සීමාවේදී සිදු කළ උපසම්පදා විනය කර්මයේ දී සිදු විය. එදින වැලගමුවේ අත්ථදස්සි හිමියෝ දළ්හීකර්මෝපසම්පදාව ලැබූ අතර උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිස පහළොස් දෙනෙක් පමණ අභිනවයෙන් උපසම්පදා භූමියට පත්වූහ.
අනුරාධපුර හුරුලු පළාතේ හඳගල වනවාසයේ සිටි ස්‍යාම නිකායික පුලියම්කුලමේ දීපංකර, වඳුරැස්සේ රතනජෝති හා රේවත යන හිමිවරු ද නැවත උපසම්පදාව ලබා මේ අභිනව භික්ෂු වංශයට ඇතුලත් වූහ. සත් කෝරළයේ නාකැළේ ආරණ්‍ය සේනාසනයේ විසූ ස්‍යාම නිකායික මණ්ඩාපොල රතනපාල, කැකුණවල ධම්මරක්ඛිත යන භික්ෂූන් ද සිය උපසම්පදා ව්‍යවහාරය අතහැර නැවත රාමඤ්ඤ නිකායෙන් උපසම්පදාව ලබා ගත් අතර ඒ හේතුවෙන් සත් කෝරළයේ අභිනව ආරණ්‍ය සේනාසන කිහිපයක් ද ඇති විය.මෙසේ ආරම්භක යුගයේ රාමඤ්ඤ නිකාය මුළුමුනින්ම පාහේ ක්‍රියාත්මක වූයේ වනවාසී භික්ෂු සම්ප්රදායක් හැටියට ය. ඒනිසා බොහෝ දෙනා එකල මේ භික්ෂු වංශය හැඳින්වූයේ වනවාසී සමාගම යනුවෙනි.
දෙල්දූව කේන්ද්‍රකොටගත් ආරණ්‍යක සම්ප්රදාය.
කෙසේ වෙතත් පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය ධුතාංගධාරී රංසෑගොඩ සුමන හිමියෝ දිවි හිමියෙන්ම ආරණ්‍යවාසී වූහ. ශ්‍රී ලංකාවේ නුවර යුගයේ ශාසන පරිහානියෙන් පසු නැවත පැහැදිළි ආරණ්‍යක භික්ෂු සංස්ථාවක් ඇති වන්නේ පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමියන් හා තත් ශිෂ්‍ය රංසෑගොඩ සුමන ස්වාමීන් වහන්සේගෙනි. මීට පෙර ශ්‍යාම නිකායික ඇතැම් භික්ෂූන් වනවාසීව සිටි නමුත් එය දිගටම පවත්වාගෙන යාම සඳහා උන්වහන්සේලා අතර නිසි සංවිධානයක් නොපැවතුනි. එසේ ම එකී වනවාසී භික්ෂූන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙක් රාමඤ්ඤ නිකායට ඇතුළත් වූහ. නමුත් පුවක්දණ්ඩාවේ පඤ්ඤානන්ද හිමියන්ගෙන් හා රංසෑගොඩ සුමන හිමියන්ගෙන් ඇරඹි ආරණ්‍යයක භික්ෂු පරම්පරාව අඛණ්ඩව දෙල්දූව කේන්ද්‍ර කොටගෙන අප්රකටව ආරණ්‍ය සේනාසනවල වැඩ සිටියහ. සුමන මාහිමිපාණන්ගෙන් පසු ධුතංගධාරී හැරමල්ගොඩ සීලාලංකාර, ධුතංගධාරී මගලේගොඩ මේධානන්ද, කැකුණේවෙල ඉන්දගුත්ත හා ධුතංගධාරී පිළිකොත්තුවේ ඤාණවිලාස යන හිමිවරු ස්වකීය ශිෂ්‍ය පිරිස සමඟ මේ ආරණ්‍යක ප්‍රතිපදාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන ගියහ. උන්වහන්සේලාට ස්වාධීනව උපසම්පදා විනය කර්මය සිදු කර ගැනීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් අවකාශ සළසා දී ඇති අතර රජයේ භික්ෂු ලියාපදිංචි කටයුතු සියල්ල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අති පූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ යටතේ ම සිදු වේ. වර්තමානයේ මේ සඟ පිරිසේ නායකත්වය රාජකීය පණ්ඩිත, කිරින්දේ චන්දසුමන හිමියෝ උසුලති. පිරිවෙන් අධ්‍යාපනය නොලබා ආරණ්‍ය සේනාසනය තුළදී ආරණ්‍යක සම්ප්‍රදායට අනුව ආරණ්‍යවාසී භික්ෂූහු සාමණේරාදීන්ට ඉගැන්වීමෙහි නිරතව සිටිති. දෙල්දූව කේන්ද්‍ර කොටගත් ආරණ්‍ය සේනාසන හා යෝගාශ්‍රම 10 ක් පමණ දැනට ක්‍රියාත්මක වේ. අවුරුදු 150කට වඩා ඈත ඉතිහාසයක් කරා දිව යන ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන පැරණිතම ආරණ්‍ය සේනාසන පද්ධතිය ලෙස මෙය හැඳින්විය හැක. එහෙත් මෙම ආයතන පද්ධතිය ලංකාවේ එතරම් ප්රසිද්ධිකයකට පත් වී නැත.
ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව
1951 ජූනි 18 වන දිනයෝගාංකුර කුල දරුවන් ප්රවෘජා භූමියට පත් කිරීමෙන්ශ්රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථා නමින් අභිනව ආරණ්‍යක භික්ෂු සංවිධානයක් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඇති වීම විශේෂ සිද්ධියකි. රාජකීය පණ්ඩිත කඩවැද්දුවේ ජිනවංශ නාහිමියන්ගේ හා රාජකීය පණ්ඩිත මාතර ඤාණාරාම නාහිමියන්ගේ නායකත්වය හා මාර්ගෝපදේශකත්වය යටතේ මෙම වැඩපිළිවෙල ආරම්භ වී ඇත. ප්‍රතිපත්ති ශාසනය නගා සිටුවීමේ දෘඪතර අදහසින් මේ මහා යතිවරු දෙදෙන එක් වී අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන ගියහ. මුන්වහන්සේලා දෙනමගේ මාර්ගෝපදේශකත්වය හා නායකත්වය මෙහි දියුණුවට බෙහෙවින් ආදාළ විය.
මේ වන විට ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාව සතු ආරණ්‍ය සේනාසන, යෝගාශ්‍රම, භාවනා මධ්‍යස්ථාන සංඛ්‍යාව 200කට ආසන්න ය. සඟ පිරිස දහස ඉක්මවා සිටී. මේ සියලු දෙනා වහන්සේම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ යටතේ රජයේ භික්ෂු ලියාපදිංචි ආදී කටයුතු සිදුකර ගනිති.
රාමඤ්ඤ නිකාය අනුබද්ධ සෙසු ආරණ්‍යක සම්ප්රදායයන්
රාමඤ්ඤ මහා නිකායේ පැරණි ස්වාධීන ආරණ්‍ය සමූහයට හෝ ශ්‍රී කළ්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් නොවන, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රධාන උපසම්පදා විනය කර්මයේ දී ස්වකීය ශිෂ්‍යයන් උපසම්පදා කරගන්නා තවත් ආරණ්‍ය සේනාසන කිහිපයක් ඇත. අම්පාරේ බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, කෑගල්ලේ, දේවාලේගම පහන්කණුව ආරණ්‍ය සේනාසනය, අම්පාරේ සුමංගල ආරණ්‍ය සේනාසනය ආදිය උදාහරණ ලෙස දැක්විය හැකිය.
පූජ්‍ය අක්මීමන ධම්මපාල මහා ස්ථවිරයන්ගේ ලිපියක් ඇසුරිනි.
“උත්තිට්ඨෙ නප්පමජ්ජෙය්ය ධම්මං සුචරිතං චරේ,
ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච.
ධම්මං චරේ සුචරිතං න නං දුච්චරිතං චරේ,
ධම්මචාරී සුඛං සේති අස්මිං ලෝකේ පරම්හි ච.”
(ධම්මපද ලෝකවග්ග)
තේරුම :-
“පිඬු සිඟා යෑම හැර ප්‍රණීත භෝජන සොයමින් පිණ්ඩපාත වත අමතක නොකළ යුතු ය. නො මනා ලෙස ආහාර සෙවීම හැර පිඬු සිඟා ගැනීම වූ සුචරිතයෙහි හැසිරිය යුතු ය. එසේ ධර්මයෙහි හැසිරෙන පැවිද්දා මෙලොව පරලොව දෙක්හි ම සුව සේ වෙසෙන්නේ ය.”
ගණිකා නිවාසාදි නුසුදුසු තැන්වල පිඬු පිණිස නො හැසිර පිණ්ඩපාත වත මැනවින් පිරිය යුතු ය. එය නො මනා පරිදි නො කළ යුතු ය. පිණ්ඩචාරිකාව නමැති ධර්මයෙහි හැසිරෙන පැවිද්දා මෙලොව ද පරලොව ද සුවසේ වෙසෙන්නේ ය.”
ඒ දේශනාව අසා සුදොවුන් රජතුමා සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. ලොවුතුරා බුදුවරයන් වහන්සේලා ගේ පිළිවෙත වන පිඬු සිඟා ජීවත් වීම බුද්ධපුත්‍ර වූ පැවිද්දන්ට උරුම ය. පිණ්ඩපාතයෙන් ජීවත් වීමේ අනුසස් බොහෝ ය. ගිහියන් විහාරයට ගෙනැවිත් දෙන ආහාරයෙන් ජීවත් වන පැවිද්දාට ඒ බත් ටික නිසා නිතර ම ගිහියන් කියන පරිදි ඔවුනට යටත් ව වාසය කරන්නට සිදුවේ. ඔවුන් කියන දෙය යුක්තිය වුවත් අයුක්තිය වුවත් ඔවුන්ගේ දානය බලන පැවිද්දාට පිළිගන්නට සිදු වේ. ඔවුන් කියන නො මනා දේ පවා කරන්නට සිදු වේ. එසේ නොකළ හොත් ඒ භෝජනය නො ලැබී යන්නේ ය. එපමණක් නොව ඔවුහු “අපෙන් ජීවත් වන්නෝ ය” කියා පැවිද්දන් පහත් කොට ද සිතති. පිණ්ඩපාතයෙන් ජීවත්වන තැනැත්තා හට ආහාරය නිසා ගිහියන්ට යටත් වන්නට සිදු නොවේ. පිණ්ඩපාතයෙන් ජීවත් වන පැවිද්දාට ආහාරය ලැබීමට නියමිත තැනක් නැත. එක් ගෙයකින් නො ලැබෙතොත් අනික් ගෙයකට යා හැකි ය. එක් ගමකින් නො ලැබෙතොත් අනික් ගමකට යා හැකි ය. ඒ නිසා පිණ්ඩපාතික භික්ෂුවට ගිහියන්ට යටත් නොවී ආත්ම ගෞරවය රැක ගෙන විසිය හැකි ය. පිණ්ඩපාතය දුන් ගිහියෝ ඒ නිසා පැවිද්දා කෙරෙහි බල පවත්වන්නට ද නො එති.
කොතරම් දිළිඳු ගෙයක වුවද වේලක් ඇර වේලක් වත් ආහාර පිසීම කරති. පිඬු සිඟා පැමිණි පැවිද්දකුට එයින් බත් සැන්දක් දීමෙන් ඔවුන්ට පාඩුවක් ද නො දැනේ. එබැවින් අන් පිනක් කර ගත නො හෙන බොහෝ දෙනාට පිඬු සිඟා යන පැවිද්දන් නිසා පින් සිදු කර ගත හැකිය. පිඬු පිණිස යන පැවිද්දන් හට තමන්ට පිසූ බත් සැළියෙන් බත් සැන්දක් දීමේ කුශලයෙන් දෙව්ලොව උපන්නෝ බොහෝ ය. එබැවින් පිඬු පිණිස ගම්වල හැසිරීම මහජනයාට මහත් යහපතක් සිදු කිරීමකි. බුද්ධාදී මහෝත්තමයන් පිඬු සිඟා වැඩියේ ජීවත්වීමේ ක්‍රමයක් නැති නිසා නොව පරානුග්රහය පිණිස ය. උන් වහන්සේලා අනුව යම් පැවිද්දෙක් “බොහෝ ජනයා පින් සිදු කර ගෙන සගමොක් සැප ලබත්වා, දුකින් මිදෙත්වා” යන මෛත්‍රී අධ්‍යාශය – කරුණාධ්‍යාශය පෙර දැරි කර ගෙන පිඬු සිඟා යන්නේ නම්, ඒ පැවිද්දාට එයින් සිදුවන්නේ පියවරක් පාසා පින් ය. මහන්සි වී පිඬු සිඟා ගෙන ආ පැවිද්දාට එයින් කොටසක් බුද්ධපූජා කිරීමෙන් ද, තවත් පැවිද්දන් ඇති නම් ඔවුනට දීමෙන් ද, බොහෝ පින් සිදු කර ගත හැකි ය. දුගියකුට මගියකුට – තිරිසන් සතකුට ඒවායින් දීමෙන් ද බොහෝ පින් සිදු කර ගත හැකිය. බොහෝ පින් සිදු කර ගත හැකි උසස් පැවිදි ජීවිතයක් පැවැත්වීමට හේතු වන පිණ්ඩපාතයෙන් ජීවත් වීම පහත් දෙයකැ යි නො සිතිය යුතු ය. මහබෝසත් මහාජනක රජතුමා රජ ව සිට ම මෙසේ කල්පනා කළේ ය.
“කදා පත්තං ගහෙත්වාන මුණ්ඩෝ සංඝාටිපාරුතෝ
පිණ්ඩිකාය චරිස්සාමි තං කුදාස්සු භවිස්සති.
කදා සත්තාහ සම්මේඝෙ ඔවට්ටෝ අල්ලචීවරෝ
පිණ්ඩිකාය චරිස්සාමි තං කුදාස්සු භවිස්සති.”
(මහාජනක ජාතක) තේරුම :-
“මම මුඩු කළ හිස ඇති ව සඟළ සිවුරු පොරවන ලදු ව පාත්‍රය ගෙන කවදා පිඬු සිඟා යම් ද?
එය මට කවදා සිදුවන්නේ ද?
මම සත් දිනක් මුළුල්ලෙහි වස්නා මහ වැස්සෙහි තෙමුණු සිවුරු ඇති ව කවදා පිඬු සිඟා ඇවිදින්නෙම් ද? එය මට කවදා සිදු වන්නේ ද?”
රජුන් පවා මෙසේ පිඬු සිඟා යෑම පැතුයේ එහි බොහෝ ගුණ ඇති නිසා ය
එහි අනුසස් විසුද්ධිමග්ගයෙහි ද මෙසේ දක්වා තිබේ.
“පිණ්ඩියාලෝපසන්තුට්ඨෝ අපරායත්තජීවිකෝ,
පහීණාහාරලෝලුප්පෝ හෝති චාතුද්දිසෝ යති.
“විනෝදයති කෝසජ්ජං ආජීවස්ස විසුජ්ඣති,
තස්මාහි නාතිමඤ්ඤෙය්ය භික්ඛාචරිය සුමේධසෝ.”
තේරුම:
“පිණ්ඩපාත භෝජනයෙන් සතුටු වන්නා වූ අනුන් අයත් නොවන දිවි පෙවෙතක් ඇත්තා වූ ආහාර තණ්හාව දුරු කළා වූ පැවිදි තෙමේ කා කෙරෙහිවත් බැඳීමක් නැති බැවින් පැකිළීමක් නැති ව සතර දිශාවෙහි හැසිරෙන්නේ වේ.
පිණ්ඩපාතයෙන් ජීවත් වන පැවිද්දා හට අලස බව ද දුරු වේ. ආජීවය ද පිරිසිදු වේ. එබැවින් නුවණැත්තේ, පිණ්ඩපාතික වත පහත් කොට නො සිතන්නේ ය.”
පිණ්ඩපාතය පිණිස නො යා යුතු තැන්.
“නව හි භික්ඛවේ, අංගේහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං. කතමේහි නවහි?”
“න මනාපේන පච්චුට්ඨෙන්ති, න මනාපේන අභිවාදෙන්ති, න මනාපේන ආසනං දෙන්ති, සන්තමස්ස නිගූහන්ති, බහුකම්පි ථෝකං දෙන්ති, පණීතම්පි ලූඛං දෙන්ති, අසක්කච්චං දෙන්ති නෝ සක්කච්චං, න උපනිසීදන්ති ධම්මසවණාය, භාසිතස්ස න රසී යන්ති. ඉමේහි ඛෝ භික්ඛවේ, නවහි අංගේහි සමන්නාගතං කුලං අනුපගන්ත්වා වා නාලං උපගන්තුං උපගන්ත්වා වා නාලං උපනිසීදිතුං.”
(අංගුත්තර නවක නිපාත)
තේරුම :-
“මහණෙනි, මේ අංග නවයෙන් යුක්ත වන කුලයට නො ගියේ නම් යෑමට නුසුදුසු ය. ගියේ නම් වැද හිඳ ගැනීමට නුසුදුසු ය. කවර අංග නවයකින් ද යත්? පැවිද්දකු ගිය කල්හි කැමැත්තෙන් හුනස්නෙන් නො නැගිටිත් ද, කැමැත්තෙන් නො වඳිත්ද, කැමැත්තෙන් හිඳීමට අසුනක් නො දෙත් ද, පැවිද්දාහට ඇති දෙය සඟවා ද, බොහෝ තිබිය දී බළලකුට කපුටකුට දෙන්නාක් මෙන් ස්වල්පයක් දෙත් ද, ප්‍රණීත දෑ තිබිය දී රූක්ෂ දෙයක් දෙත් ද, දෙන දෙය නො මනා ලෙස අනාදරයෙන් අගෞරවයෙන් දෙත් ද, දහම් ඇසීමට එළඹ නො හිඳිත් ද, දහම් දෙසූ කල්හි සතුටු නො වෙත් ද, මහණෙනි, මේ අංග නවයෙන් යුක්ත කුලයට නොගියේ නම් යෑම නුසුදුසු ය. ගියේ නම් වැද හිඳගැනීමට නුසුදුසු ය.
පරෙස්සම් විය යුත්තක්.
“අස්සද්ධේසු මිච්ඡාදිට්ඨිකුලේසු සක්කච්චං පණීතභෝජනං ලභිත්වා අනුපපරික්ඛිත්වා නේව අත්තනා භුඤ්ජිතබ්බං. න පරේසං දාතබ්බං. විස මිස්සම්පි හි කත්වා තානි කුලානි පිණ්ඩපාතං දෙන්ති, යම්පි ආභිදෝසිකං භත්තං වා ඛජ්ජකං වා තතෝ ලභති තම්පි න පරිභුඤ්ජිතබ්බං. අපිහිත වත්ථුම්හි සප්පවිච්ඡකාදි අධිසයිතං ඡඩ්ඩනීයධම්මං තානි කුලානි දෙන්ති. ගන්ධහලිද්දාදි මක්ඛිතෝපි තතෝ පිණ්ඩපාතෝ න ගහේතබ්බෝ සරීරේ රෝගට්ඨානානි පුඤ්ජිත්වා ඨපිත භත්තම්පිහි තානි දාතබ්බං මඤ්ඤන්ති”
(පාලිමුත්තක විනය විනිච්ඡය 389)
තේරුම :
ශ්‍රද්ධාව නැති මිසදිටු ගෙවලින් ප්‍රණීත භෝජන ලැබ, නො පිරික්සා තමා විසින් නො වැළඳිය යුතු ය. අනුන්ට ද නො දිය යුතු ය. ඒ ගෙවල අය සමහරවිට විෂමිශ්ර භෝජන ද දෙති. ඒ තැන්වලින් රැයක් ඉක්ම යෑමෙන් සිසිල් වූ බත් හෝ කැවිලි ලද හොත් එද නො වැළඳිය යුතු ය. ඒ අය සමහර විට නො වසා තැබීමෙන් පත්තෑ ගෝණුසු ආදි විෂ සතුන් වැටී සිටීමෙන් අහක දැමිය යුතු ආහාර දෙති. සුවඳ වර්ග හා කහ තැවරී ඇති ආහාරයක් ඒ තැනකින් දුන හොත් නො පිළිගත යුතු ය. ඔවුහු සමහර විට ශරීරයේ රෝගස්ථාන පිස ඇති බත් පැවිද්දන් හට දෙන්නට සිතති.
§ 3. “ස්වාමීනි,
මම වනාහි අර්ථ දෙකක් දකිමින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකද, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. පිණ්ඩපාතිකද,……. පිණ්ඩපාතයෙහි ගුණ කියන්නේද වූයෙමි. පාංසුකූලිකද, පාංසුකූලික භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. තේචීවරිකද, තේචිවරිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. අල්පෙච්ඡද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. ලද දෙයින් සතුටු වූයේද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වූයෙමි. අතිශය විවේක ස්වභාවයෙන් යුක්ත වූයේද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. නොගැටුනේද, නොගැටීමෙහි ගුණ කියන්නේද වූයෙමි. පටන් ගන්නා ලද, වීර්‍ය්‍යය ඇත්තේද, පටන් ගන්නා ලද, වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේද වූයෙමි.
මේ ආත්මභාවයෙහි සැප විහරණය දකිමින්ද, අනාගත පරම්පරාවට අනුකම්පා කරමින්ද, අනාගත පරම්පරා තොමෝ දෘෂ්ට්යානුගතියට පැමිණෙන්නී නම් ඉතා හොඳය කියායි. පෙර බුද්ධානු බුද්ධශ්‍රාවකයෝ වූවාහුද, ඔවුහු දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ආරණ්යකයෝද, ආරණ්‍යක භාවයේ ගුණ කියන්නෝද වූහ. පිණ්ඩපාතිකයෝදත පිණ්ඩපාතයෙහි ගුණ කියන්නෝද වූහ. පාංසුකූලිකයෝද පාංසුකූලික භාවයෙහි ගුණ කියන්නෝද වූහ. තේචීවරිකයෝද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නෝද වූහ. අල්පෙච්ඡයෝද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නෝද වූහ. ලද දෙයින් සතුටු වූවෝද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නෝද වූහ. අතිශය විවේක ස්වභාවයෙන් යුක්තවූවෝද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නෝද වූහ. නොගැටුනෝද, නොගැටීමෙහි ගුණ කියන්නෝද වූහ. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තෝද, පටන් ගන්නා ලද, වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නෝද වූහ. ඒ බුද්ධානු බුද්ධ ශ්‍රාවකයෝ ඒ සඳහා පිළිපදින්නාහුය. ඒ බුද්ධානු බුද්ධ ශ්‍රාවකයන්ට ඒ පිළිපැදීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය.
§ 4. “ස්වාමීනි,
මම මේ අර්ථ දෙක දකිමින් බොහෝ කාලයක් මුළුල්ලෙහි ආරණ්‍යකද, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. පිණ්ඩපාතිකද, පිණ්ඩපාතයෙහි ගුණ කියන්නේද වූයෙමි. පාංසුකූලිකද, පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. තේචීවරිකද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේද වූයෙමි. අල්පෙච්ඡද, අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. ලද දෙයින් සතුටුවූයේද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේද වූයෙමි. අතිශය විවේක ස්වභාවයෙන් යුක්තවූයේද, අතිශය විවේක ස්වභාවයෙහි ගුණ කියන්නේද වූයෙමි. නොගැටුනේද, නොගැටීමෙහි ගුණ කියන්නේද වූයෙමි. පටන් ගන්නා ලද වීර්‍ය්‍යය ඇත්තේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේද වූයෙමි.” “යහපති, යහපති කස්සපය. කස්සපය, නුඹ වනාහි බොහෝදෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ට අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස, පිළිපන්නෙහිය. කස්සපය, එහෙයින් මෙහිදී නුඹ හණින් කළ දිරූ, පාංසුකූල චීවරද, දරව. පිණ්ඩපාතයෙහිද හැසිරෙව ආරණ්‍යයෙහිද වාසය කරවයි” (වදාළසේක.)
දිටඨධම්ම සුඛ විහාර” නම් වූ මෙලොවදී ලබන සැප විහරණය නම් අරණ්යවාසීහුම ලබති. ග්‍රාමවාසීහු නොලබති. ගමෙහි වසන භික්ෂුවට දරුවන්ගේ ශබ්ද ඇසේ. නුසුදුසු රූප දකියි. නුසුදුසු ශබ්ද ඇසෙයි. එයින් උන්වහන්සේට ගිහිගේ පිළිබඳ ඇලීමක්, ආශාවක් උපදියි. ආරණ්‍යවාසී භික්ෂුව ගවුවක් හෝ අඩයොදුනක් දුර ගම ඉක්මවා කැළයට ඇතුළු වී වාසය කරයි. කොටි- ව්‍යාඝ්‍රාදී සතුන්ගේ ශබ්ද පමණක්ම අසයි. ඒවා ඇසීමෙන් අමානුෂික වූ බියක් උපදියි. ඒ සඳහා මෙය කියන ලදී.
(පස්වෙනි ජිණ්ණ සූත්‍රය නිමි.)
§1. මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුනවනයෙහි) වාසය කරනසේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප මහ තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
§ 2. “කස්සපය, මේ භික්ෂූන්හට අවවාදකරව.
කස්සපය, මේ භික්ෂූන්හට ධර්මය දේශනා කරව.
කස්සපය ඔබ හෝ භික්ෂූන්හට අවවාද කරන්නෙමි. නුඹ හෝ කරව.
මම හෝ භික්ෂූන්ට දැහැමි කථාවක් (ධර්මදේශනා) කරන්නෙමි.
නුඹ හෝ කරවයි” කියායි.
ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, මෙකල ඉන්නා භික්ෂූහු දුර්වචවූවාහු (අවවාද කිරීමට අපහසුවූවෝය) දුර්වච බව ඇති කරන කරුණුවලින් යුක්තව අනුශාසනාව ගෞරවයෙන් නොපිළිගන්නෝව වෙසෙත්.
[දුර්වච (Durvacha) යනු අනුන්ගේ යහපත් අවවාද නොපිළිගන්නා, අකීකරු, සහ පහසුවෙන් උපදෙස් දිය නොහැකි (අවවාද කරන විට විරුද්ධවාදීකම් කරන) පුද්ගලයන් හැඳින්වීමට භාවිත කරන පාලි සහ සිංහල වචනයකි। මෙහි ප්‍රතිවිරුද්ධ අදහස සුවච (අවවාද පිළිගන්නා / කීකරු) යන්නය.]
“ස්වාමීනි, මම මේ ශාසනයෙහි, ‘මහණ, එව. කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩි වේලා ධර්මදේශනා කරන්නේ දැයි?” කියා ශ්‍රැතයෙන් (උගත්කමින්) ඔවුනොවුන් අබිබවා (යටත්කොට) වාද කරන්නාවූ, ආනන්ද තෙරුන්ගේ ශිෂ්‍යයෙකුවූ “භණ්ඩු” නම් භික්ෂුවක්ද, අනුරුද්ධ තෙරුන්ගේ ශිෂ්‍යයෙකුවූ, “ආභිඤ්ජික” නම් භික්ෂුවක්ද දැක්කෙමියි කීය.
ඉක්බිති, භාග්‍යවතුන් වහන්සේ වහා එක්තරා භික්ෂුවකට කථාකළසේක. “මහණ, නුඹ මෙහි එව. ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන්ලා කැඳවනසේකැයි, මාගේ වචනයෙන් ආනන්දයන්ගේ ශිෂ්‍ය “භණ්ඩු” නම් භික්ෂුවද, අනුරුද්ධයන්ගේ ශිෂ්‍ය “අභිඤ්ජික” නම් භික්ෂුවද කැඳවයි” වදාළසේක. “එසේය ස්වාමීනියි” කියා ඒ මහණ තෙම වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තරදී, ඒ භික්ෂූන් යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ඒ භික්ෂූන්ට ‘ශාස්තෲන් වහන්සේ ආයුෂ්මතුන් කැඳවන සේකැයි’ කීය. “ඇවැත්නි, එසේයයි” කියා ඒ භික්ෂූන් දෙනම ඒ භික්ෂුවට පිළිතුරුදී, භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ඒ භික්ෂූන්ට වනාහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළේය.
§ “මහණෙනි,
තොපි වනාහි උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකරන්නාහුය යනු සැබෑද?
(කෙසේද?)
‘මහණ එව කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද?
කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද?
කවරෙක් ඉතා වැඩි කාලයක් ධර්මදේශනා කරන්නේද?’ කියායි.”
“එසේය. ස්වාමීනි,”
“මහණෙනි, කිමෙක්ද මා විසින් තොපට මෙසේ ධර්මය දේශනා කළබව දන්නහුද?
‘එව මහණෙනි, තොපි, උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකරව්
(කෙසේද?)
‘එව මහණ, කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද?
කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද?
කවරෙක් ඉතා වැඩිකාලයක් ධර්ම දේශනා කරන්නේද? කියායි.”
“ස්වාමීනි, එසේ නොවේමය”
“මහණෙනි, ඉඳින් තොපි (මා විසින්) මෙසේ ධර්මය දේශනාකළ බව නොදන්නාහු නම්, හිස් පුරුෂයිනි, තොපි කුමක් නිසා කුමක් දන්නාහු, කුමක් දක්නාහු, මෙසේ මනාකොට දේශනා කරනලද, ශාසනයෙහි (ධර්ම විනයෙහි) පැවිදිවී උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකරන්නහුද?
(කෙසේද?)
‘එව මහණ, කවරෙක් ඉතා බොහෝකොට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා හොඳට ධර්මදේශනා කරන්නේද? කවරෙක් ඉතා වැඩිකාලයක් ධර්මදේශනා කරන්නේද?’ කියායි.”
§ ඉක්බිති, ඒ භික්ෂු දෙනම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා දෙක ළඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවාහුය.
“ස්වාමීනි, වරද නොදත්, බාලයකුසේ, මුළාවූවෙකුසේ, අදක්ෂයකුසේ අප පමණ ඉක්මවා ගියෙමු. ඒ අපි මෙසේ මනාකොට දේශනා කරනලද, ශාසනයෙහි පැවිදිවූවාහු, උගත්කමින් ඔවුනොවුන් අභිබවා වාදකෙළෙමු. ස්වාමීනි, මත්තෙහි සංවරය පිණිස භාග්‍යවතුන් වහන්සේ ඒ අපගේ වරද වරද වශයෙන් පිළිගන්නා සේක්වා.”
§ “මහණෙනි, එසේනම් යම්හෙයකින් වරද වරද වශයෙන් දැක, ධර්මානුකූලව පිළියම් කරව්ද, අපි තොපගේ ඒ වරද පිළිගනිමු. මහණෙනි, යමෙක් වරද වරද වශයෙන් දැක, ධර්මානුරූපව පිළියම් කෙරෙයිද, මත්තෙහි සංවරයෙහි පිහිටයිද, මෙය ආර්‍ය්‍ය විනයෙහි වැඩීම වන්නේය.
(හයවෙනි ඕවාද සූත්‍රය නිමි)
SN 02-05-07 දුතිය ඕවාද සූත්‍රය
§ 1. මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක.
§ 2. ඉක්බිති, ආයුෂ්මත් මහා කස්සප ස්මථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. “කස්සපය භික්ෂූන්හට අවවාද කරව, කස්සපය භික්ෂූන්හට ධර්මදේශනා කරව, කස්සපය, මම හෝ භික්ෂූන්හට අවවාද කරන්නෙමි. නුඹ හෝ කරව, මම හෝ භික්ෂූන්හට දැහැමි කථාවක් (ධර්මදේශනාවක්) කරන්නෙමි. නුඹ හෝ කරවයි” කියායි. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූන් වනාහි දුර්වච වූවාහු දුර්වචබව ඇතිකරණ කරුණුවලින් යුක්තවූවාහු නොඉවසන්නාහු, අනුශාසනාව ගෞරවයෙන් නො පිළිගන්නාහුය.
“ස්වාමීනි,
යමෙකු කුශල ධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේද,
අකුශලධර්මයන්හි, හිරිය නැත්තේද,
අකුශල ධර්මයන්හි ඔත්තප්පය නැත්තේද,
කුශල ධර්මයන් පිණිස වීර්‍ය්‍යය නැත්තේද,
කුශලධර්මයන්හි ප්‍රඥාව නැත්තේද,
ඔහුට රැය හෝ දවස වේවා
කුශල ධර්මයන්හි හානියම වේ..
වෘද්ධිය (වැඩීම) සිදු නොවේ.
ස්වාමීනි, අවපක්ෂයෙහි චන්ද්‍රයා රැය වේවා,දහවල හෝ වේවා,
වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් සහ
ආරෝහපරිණාහ සම්පත්තියෙන් පිරිහේ.
ස්වාමීනි,
යමෙකුට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේද,
කුශල ධර්මයන්හි හිරි නැත්තේද,
කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේද,
කුශල ධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේද,
කුශලධර්මයන්හි ප්‍රඥාව නැත්තේද,
ඔහුට රැයක් හෝ දහවල දෙකෙහිම
කුශලධර්මයන්හි හානියම සිදුවේ.
වැඩීමක් . වෘද්ධියක් නොවේ.
[කුශලධර්මයන්හි ශ්‍රද්ධාව යනු යහපත් හා කුසල ක්‍රියා කෙරෙහි ඇති නොසැලෙන විශ්වාසය, පැහැදීම සහ කැමැත්තයි. එය යහපතට යොමු වන සිතක මූලික පදනම වන අතර, එය ලෞකික හා ලෝකෝත්තර දියුණුව සඳහා අත්‍යවශ්‍ය ගුණාංගයකි.
“ස්වාමීනි,
අශ්රද්ධාවත් පුද්ගලයා යනු පරිහානියමැයි.
පාපයට ලජ්ජානැති පුද්ගලයා යනු පරිහානියමැයි.
පාපයට භය නැති පුරිස පුද්ගලයා යනු පරිහානිය මැයි.
කුසීත පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි.
ප්‍රඥාව නැති පුද්ගලයා යනු පරිහානිය මැයි.
ක්‍රොධකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි.
ස්වාමීනි, වෛරකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි.
ස්වාමීනි, අවවාද කරන්නාවූ කල්යාණමිත්රයෝ නැත යනු පරිහානියමැයි.
ස්වාමීනි,
යම් කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේද, අකුශල ධර්මයන්හි, ලජ්ජාව (හිරි) ඇත්තේවේද අකුශලධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේවේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවද? ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි වෘද්ධියම (වැඩීමම) වේ.. හානියක් නම් නොවේ. ස්වාමීනි, යම්සේ වනාහි පුර පක්ෂයෙහි චන්ද්‍රයාට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් සහ ආරෝහ පරිණාහ (උස්මහත්) සම්පත්තියෙන්ද වැඬේමය.
“ස්වාමීනි, එසේම යම් කිසිවෙකුහට කුශල ධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේ වේද, කුශල ධර්මයන්හි ලජ්ජාව (හිරි) ඇත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේ වේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද, කුශල ධර්මයන්හි ප්‍රඥාව ඇත්තේ වේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි වෘද්ධියම කැමැති විය යුත්තේය. හානිය කැමැති නොවිය යුත්තේය.
“ස්වාමීනි, ශ්රද්ධාවත් පුරුෂ පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, පාපයට ලජ්ජා ඇති පුරිස පුද්ගලයා යනු දියුණුව මැයි. ස්වාමීනි, පාපයට භය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, ප්‍රඥාව ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, ක්‍රොධ නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, වෛර නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. ස්වාමීනි, මොහුට අවවාදකරන කල්යාණමිත්රයෝ ඇත යනු දියුණුවමැයි.”
යහපති! යහපති!, කස්සපය, කස්සපය,
යම්කිසිවෙකුහට කුශල ධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේද, අකුශල ධර්මයන්හි ලජ්ජාව (හිරි) නැත්තේද, අකුශල ධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේද, කුශල ධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේද, කුශල ධර්මයන්හි ප්‍රඥාව නැත්තේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි හානියම වේ. වෘද්ධිය (වැඩීම) සිදු නොවේ.
. කස්සපය, යම්සේ වනාහි අවපක්ෂයෙහි චන්ද්රයාහට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණේද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන්, සහ ආරොහපරිණාහ සම්පත්තියෙන්ද, පිරිහේමය. කස්සපය, එසේම වනාහි යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව නැත්තේවේද. කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) නැත්තේවේද, කුශලධර්මයන්හි භය (ඔත්තප්ප) නැත්තේවේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය නැත්තේවේද, කුශල කර්මයන්හි ප්‍රඥාව නැත්තේවේද. ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි හානියම කැමැති විය යුත්තේය. වෘද්ධිය (වැඩීම) කැමැති නොවිය යුත්තේය.
“කස්සපය, අශ්රද්ධාවත් පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, පාපයට ලජ්ජා නැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, පාපයට භය නැති පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, කුසීත පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, ප්රඥාවනැති, පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, ක්‍රොධකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, වෛරකරන පුරිස පුද්ගලයා යනු පරිහානියමැයි. කස්සපය, මොහුට අවවාද කරන්නාවූ කල්‍යාණ මිත්‍රයෝ නැත යනු පරිහානියමැයි. කස්සපය, යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේ වේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) ඇත්තේවේද? කුශල ධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේවේද? කුශලධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද, කුශලධර්මයන්හි ප්‍රඥාව ඇත්තේ වේද, ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශලධර්මයන්හි වෘද්ධියම (වැඩීමම) කැමැතිවිය යුත්තේය. හානිය කැමති නොවිය යුත්තේය.
“කස්සපය, යම්සේ වනාහි පුරපක්ෂයෙහි චන්ද්රයාහට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, (එය) වර්ණයෙන්, මණ්ඩලයෙන්, ආලෝකයෙන් සහ ආරොහපරිණාහ සම්පත්තියෙන්ද වැඬේමය. කස්සපය, එසේම වනාහි යම්කිසිවෙකුහට කුශලධර්මයන්හි ශ්‍රද්ධාව ඇත්තේ වේද, කුශලධර්මයන්හි ලජ්ජාව (හිරි) ඇත්තේවේද, කුශල ධර්මයන්හි භය (ඔත්තප්ප) ඇත්තේවේද, කුශලධර්මයන්හි වීර්‍ය්‍යය ඇත්තේවේද, කුශලධර්මයන්හි ප්‍රඥාව ඇත්තේවේද ඔහුට යම් රැයක් හෝ දවසක් හෝ පැමිණෙත්ද, කුශල ධර්මයන්හි වෘද්ධියම කැමැතිවිය යුත්තේය. හානිය කැමැති නොවිය යුත්තේය.
“කස්සපය, ශ්රද්ධාවත් පුරුෂ පුද්ගලයා යනු දියුණුව මැයි. කස්සපය, පාපයට ලජ්ජාව ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, පාපයට භය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇති පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, ප්‍රඥාව ඇති, පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, ක්‍රොධ නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, වෛර නොකරන පුරිස පුද්ගලයා යනු දියුණුවමැයි. කස්සපය, මොහුට අවවාද කරන කල්‍යාණ මිත්‍රයෝ ඇත යනු දියුණුවමැයි.
(හත්වෙනි ඕවාද සූත්‍රය නිමි.) –
SN 02-05-08 . තතිය ඕවාද සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති ආයුෂ්මත් මහා කස්සපතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් හට භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. “කස්සපය භික්ෂූන්හට අවවාද කරව. කස්සපය භික්ෂූන්හට ධර්මය දේශනා කරව. කස්සපය, මම හෝ භික්ෂූන්හට අවවාද කරන්නෙමි. නුඹ හෝ කරව. මම හෝ භික්ෂූන්හට දැහැමි කථාවක් (ධර්මදේශනාවක්) කරන්නෙමි. නුඹ හෝ කරවයි” කියායි. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් භික්ෂූහු වනාහි දුර්වචවූවාහු දුර්වච බව ඇතිකරන කරුණුවලින් යුක්ත වූවාහු. නොඉවසන්නාහු, අනුශාසනාව ගෞරවයෙන් නොපිළිගන්නාහුය.”
කස්සපය, එසේමය පෙර ස්ථවිර භික්ෂූහු වනාහි ආරණ්යකයෝද, ආරණ්‍යකත්වයෙහි ගුණ කියන්නෝද වූවාහුය. පිණ්ඩපාතිකයෝද, පිණ්ඩපාතයෙහි ගුණකියන්නෝද වූවාහුය. පාංසුකූලිකයෝද, පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නෝද වූවාහුය. තේචීවරිකයෝද, තේචීවරිකත්වයෙහි ගුණ කියන්නෝද වූවාහුය. අල්පෙච්ඡයෝද, අල්පෙච්ඡභාවයෙහි ගුණ කියන්නෝද වූවාහුය. ලද දෙයින් සතුටුවූවෝද, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නෝද, වූවාහුය. විවේකයෙන් යුක්තවූවෝද, විවේකයෙන් යුක්තවීමෙහි ගුණ කියන්නෝද වූවාහුය. පිරිස් හා නොගැටීමෙන් යුක්තවූවෝද, පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නෝද, වූවාහුය. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තෝද, පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නෝද, වූවාහුය. එහිදී යම් භික්ෂුවක් ආරණ්‍යකත්, ආරණ්‍යකත්වයෙහි ගුණ කියන්නේත් වේද, පිණ්ඩපාතිකත්, පිණ්ඩපාතිකත්වයෙහි ගුණ කියන්නේත්වේද, පාංසුකූලිකත් පාංසුකූලිකත්වයෙහි ගුණකියන්නේත්වේද, තේචීවරිකත් තේචීවරිකත්වයෙහි ගුණකියන්නේත් වේද, අල්පෙච්ඡත් අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නේත් වේද, ලදදෙයින් සතුටුවූයේත්, ලදදෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේද අතිශය විවේකයෙන් යුක්තවූයේත්, අතිශය විවේකයෙන් යුක්තවීමෙහි ගුණ කියන්නේත් වේද, පිරිස් හා නොගැටීමෙන් යුක්තවූයේත්, පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නේත් වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේත්, පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේත් වේද, ඒ මහණහට ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නිමන්ත්‍රණය කෙරෙති. (ආසනය දෙති) (කෙසේද?) ‘මහණ, (මෙහි) එන්න මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණතෙම භද්‍රය (යහපත්ය.) මේ මහණ තෙම ශික්ෂාකාමීවේ. මහණ, මෙහි එන්න. මේ ආසනයෙහි හිඳගන්න’ කියායි.”
“කස්සපය, එකල්හි නවක භික්ෂූන්ට මෙසේ සිතෙයි. යම් ඒ භික්ෂුවක් වනාහි ආරණ්‍යකත් ආරණ්‍යකත්වයෙහි ගුණ කියන්නේත් වේද, පිණ්ඩපාතිකත්, පිණ්ඩපාතිකත්වයෙහි ගුණ කියන්නේත් වේද, පාංසුකූලිකත් පාංසුකූලිකත්වයෙහි ගුණකියන්නේත් වේද, තේචීවරිකත් තේචීවරිකත්වයෙහි ගුණ කියන්නේත් වේද, අල්පෙච්ඡත් අල්පෙච්ඡභාවයෙහි ගුණකියන්නේත් වේද, ලද දෙයින් සතුටුවූයේත්, ලද දෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නේත් වේද, අතිශය විවේකයෙන් යුක්තවූයේත්, අතිශය විවේකයෙන් යුක්තවීමෙහි ගුණ කියන්නේත් වේද, පිරිස් හා නොගැටීමෙන් යුක්තවූයේත්, පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නේත් වේද, පටන්ගන්නාලද වීර්‍ය්‍යය ඇත්තේත්, පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නේත් වේද, ඒ මහණහට ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නිමන්ත්‍රණය කෙරෙති. (ආසනය දෙති.) (කෙසේද?) ‘මහණ, (මෙහි) එන්න. මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණතෙම භද්‍රය (යහපත්ය.) මේ මහණ තෙම ශික්ෂාකාමීවේ. මහණ, මෙහි එන්න. මේ ආසනයෙහි හිඳගන්න” කියායි. ඔවුහු ඒ සඳහා පිළිපදිති. ඔවුන්ට ඒ පිළිපැදීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත, සැප පිණිස වෙයි.
“කස්සපය, දැන් වනාහි ස්ථවිර භික්ෂූහු, ආරණ්‍යක වන්නෝත්, ආරණ්‍යක භාවයෙහි ගුණ කියන්නෝත් නො වෙති. පිණ්ඩපාතික වන්නෝත් පිණ්ඩපාතිකත්වයෙහි ගුණ කියන්නෝත් නො වෙති. පංසුකූලික වන්නෝත් පාංසුකූලිකත්වයෙහි ගුණ කියන්නෝත් නො වෙති. තේචීවරික වන්නෝත් තේචීවරිකත්වයෙහි ගුණ කියන්නෝත් නො වෙති. අල්පෙච්ඡ වන්නෝත් අල්පෙච්ඡ භාවයෙහි ගුණ කියන්නෝත් නො වෙති. ලදදෙයින් සතුටු වන්නෝත් ලදදෙයින් සතුටුවීමෙහි ගුණ කියන්නෝත් නො වෙති. අතිශය විවේකයෙන් යුක්ත වන්නෝත් අතිශය විවේකයෙන් යුක්ත වීමෙහි ගුණ කියන්නෝත් නො වෙති. පිරිස් හා ගැටීමෙන් යුක්ත වන්නෝත් පිරිස් හා නොගැටීමෙහි ගුණ කියන්නෝත් නො වෙති. පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙන් යුක්ත වන්නෝත් පටන්ගන්නාලද වීර්‍ය්‍යයෙහි ගුණ කියන්නෝත් නො වෙති. එහිදී යම් භික්ෂුවක් ප්‍රසිද්ධ වූයේත්, කීර්තියෙන් යුක්ත වූයේත්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලැබීමෙන් යුක්තවූයේත් වේද, ඔහුට ස්ථවිර භික්ෂූහු ආසනයෙන් නිමන්ත්‍රණය කෙරෙත්. (ස්ථවිර භික්ෂූහු ඔහුට ආසනයෙහි වාඩිවීමට ආරාධනා කෙරෙති) (කෙසේද?) ‘මහණ, එන්න. මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණතෙම ඒකාන්තයෙන් යහපත් (භද්‍ර) දැකුම් ඇත්තේය. ඒ මහණතෙම ඒකාන්තයෙන් සබ්‍රහ්ම චාරීන්ට කැමැත්තේය. එන්න මහණ මේ ආසනයෙහි හිඳගන්න කියායි”
කස්සපය, එහිදී, නවක භික්ෂූන්ට මෙසේ සිතෙයි. යම් ඒ භික්ෂුවක් වනාහි ප්‍රසිද්ධ වූයේත්, කීර්තියෙන් යුක්තවූයේත්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලැබීමෙන් යුක්තවූයේත් වේද, ඔහුට ස්ථවිර භික්ෂූහු ආසනයෙහි වාඩිවීමට ආරාධනා කෙරෙති (කෙසේද?) ‘මහණ, එන්න. මේ මහණතෙම කිනම් ඇත්තේද? මේ මහණ තෙම ඒකාන්තයෙන් යහපත් (භද්‍ර) දැකුම් ඇත්තේය. මේ මහණතෙම ඒකාන්තයෙන් සබ්‍රහ්මචාරීන්ට කැමැත්තේය. එන්න මහණ, මේ ආසනයෙහි හිඳගන්න කියායි.’ ඔවුහු ඒ ලාභසත්කාර ඉපැද්දීම සඳහා පිළිපදිති. ඔවුන්ට ඒ පිළිපැදීම බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත සැප පිණිස නොවෙයි.
“කස්සපය, යම් හෙයකින් ඒගැන මනාකොට කියන්නේ (මෙසේ) කියන්නේය. (කෙසේද?) ‘බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් (සිව්පසය කෙරෙහිවූ අධික ලෝභකමින්) උපදෘතවූවාහුය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී අභිභවනයෙන් (අධික ප්‍රාර්ථනාවෙන්) අභිභවනය (යුක්ත) වූවාහුය, කියායි. කස්සපය, ඒගැන මනාකොට කියන තැනැත්තේ මෙසේ කියන්නේය. (කෙසේද?) ‘බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී උපද්‍රවයෙන් (සිව්පසය කෙරෙහිවූ අධික ලෝභකමින්) උපදෘතවූවාහුය. බ්‍රහ්මචාරීහු බ්‍රහ්මචාරී අභිභවනයෙන් (සිව්පසය කෙරෙහිවූ අධික ප්රාර්ථනාවෙහි.) අභිභවනය (අධිකසේ ප්‍රාර්ථනා කරන්නෝ) වූවාහුය, කියායි.”
(අටවෙනි ඕවාද සූත්‍රය නිමි.)-
SN 02-05-09 . ඣානාභිඤ්ඤා සූත්‍රය
ඣානාභිඤ්ඤා සූත්‍රය- මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ විතර්ක රහිතවූ, විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමතිවෙම්ද ඒතාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසයකරමි. සිහියෙන් යුක්තවූයේ කයින් වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වනද්ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්තවූයේ කයින් විඳියි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වනද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සැපය නැති කිරීමෙන් දුක් නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ද්ධ්‍යානයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ ගැටීම් සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නො කිරීමෙන් ‘ආකාසය අනන්තයයි’ ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම් තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ ගැටීම් සංඥාවන් නැතිකිරීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි’ ආකාසානඤ්චායතනයට පැමිණ, වාසය කරයි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, ‘විඤ්ඤාණය’ අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, ‘විඤ්ඤාණය අනන්තයයි’ විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි.
“මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝ සේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳහිරු දෙදෙන අතගාමි. පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරයි.) දක්වයි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම් මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි. පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරයි.
මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් පිරිසුදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමය වූද, මනුෂ්‍යමය වූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් පිරිසුදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසයි.
මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිත යයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනිමි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිත යයි දනිමි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිතයයි දනිමි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනිමි. (ක්ලෙශයන්ගෙන්) මිදුණු සිත (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිත යයි දනිමි. (ක්ලෙශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලෙශයන්ගෙන්) නොමිදුණු සිතයයි දනිමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික සිත ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිතයයි දනියි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි. (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිත (ක්ලෙශයන්ගෙන්) මිදුනු සිතයයි දනියි. (ක්ලෙශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලෙශයන්ගෙන්) නොමිදුනු සිතයයි දනියි.
මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරමි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශ වෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්ම භාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිත වූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහි කරමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරයි. (හේ කෙසේද?) ‘එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේ වීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේ වීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේ වීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේ වීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේ වීමි. මෙබඳු ආහාර ඇත්තේ වීමි. මෙබඳු සැප දුක් වින්දේ වීමි. මෙබඳු ආයුෂ ඇත්තේ වීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්ම භාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරයි.
මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුත වන්නා වූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යා දෘෂ්ටිගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද?
මහණෙනි, මහාකස්සප තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකියි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන් හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද? දැනගනිමි. මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන්වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටී. දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනිමි.
මහණෙනි මම ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියදත අර්හත් ඵල සමාධියද, පඤ්ඤාවිමුත්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේම දැන ප්රත්යක්ෂ කොට, ඊට පැමිණ, වාසය කරමි. මහණෙනි, කස්සපතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද (අර්හත් ඵල සමාධියද) පඤ්ඤාවිමුත්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂ කොට, ඊට පැමිණ වාසය කරයි.
(නවවෙනි ඣානාභිඤ්ඤා සූත්‍රය නිමි.)
SN 02-05-10. උපස්සය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් මහා කස්සපතෙමේ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.
ඉක්බිති ආයුෂ්මත් ආනන්දතෙම පාත්‍ර සිවුරු ගෙන ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට මෙය කීයේය. “ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, එක්තරා භික්ෂුණී ආරාමයක් යම්තැනෙක්හිද, එතැන්හි යමුයි” කියායි. “ඇවැත් ආනන්දය, තෙපි යව්. තොපට බොහෝ කටයුතු ඇත්තේයයි” කීයේය. දෙවෙනුවත් ආයුෂ්මත් ආනන්දතෙම ආයුෂ්මත් මහාකස්සප තෙරුන්හට මෙය කීයේය. “ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, එක්තරා භික්ෂුණී ආරාමයක් යම්තැනෙක්හිද එතැන්හි යමුයි” කියායි. “ඇවැත් ආනන්දය ඔබ යන්න. ඔබට බොහෝ කෘත්‍යය ඇත්තේය. බොහෝ කටයුතු ඇත්තේයයි” කීයේය.
තෙවනුවත් ආයුෂ්මත් ආනන්දතෙම ආයුෂ්මත් මහා කස්සප තෙරුන්හට මෙය කීයේය. “ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, එක්තරා භික්ෂුණී ආරාමයක් යම් තැනෙක්හිද එතැන්හි යමුයි” කියායි.
ඉක්බිති ආයුෂ්මත් කස්සප ස්ථවිරතෙම පෙරවරු කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ආනන්ද තෙරුන් පසු ගමන්කරන ශ්රමණයකුකොට, එක්තරා භික්ෂුණී ආරාමයක් යම්තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, පණවනලද ආසනයෙහි වැඩහුන්නේය. ඉක්බිති බොහෝ භික්ෂුණීහු ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියාහුය. පැමිණ, ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරයන්ට වැඳ, එක්පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුණීන්ට ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම දැහැමි කථාවෙන් කරුණු දැක්විය. (එහි) සමාදන් කරවිය. තියුණු කරවිය. ප්‍රසන්න කරවිය. ඉක්බිති, ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම ඒ භික්ෂුණීන්ට දැහැමි කථාවෙන් කරුණු දක්වා, (එහි) සමාදන් කරවා, තියුණු කරවා, ප්‍රසන්න කරවා හුනස්නෙන් නැගිට වැඩියේය.
ඉක්බිති ථුල්ලතිස්සා නම් භික්ෂුණිය නොසතුටුවූවා, නොසතුටු වචනයක් කීවාය. (එනම්:-) “කිමෙක්ද? මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේගේ සමීපයෙහි ධර්මය දේශනා කළයුතුයයි හඟිනසේක්ද? යම්සේ ඉදිකටු වෙළෙන්දෙක් ඉදිකටු සාදන්නාගේ සමීපයෙහි ඉදිකටු විකිණිය යුතුයයි හඟින්නේ වේද, එසේම මහාකස්සප ආර්‍ය්‍යයන් වහන්සේ, පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේගේ සමීපයෙහි ධර්මය දේශනා කළයුතුයයි හඟිනසේක්ය කියායි.
ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම කියන්නාවූ ථුල්ලතිස්සා භික්ෂුණියගේ මේ වචනය ඇසූයේය. ඉක්බිති ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ආනන්දය, කිමෙක්ද? මම ඉදිකටු වෙළෙන්දෙක්ද? නුඹ ඉදිකටු සාදන්නෙක්ද? නැතහොත් මා ඉදිකටු සාදන්නෙක්ද? නුඹ ඉදිකටු වෙළෙන්දෙක්ද?” කියායි. “ස්වාමීනි කස්සපයන් වහන්ස, සමාවන සේක්වා. ස්ත්‍රිය අඥානයයි” කීයේය. “ඇවැත් ආනන්දය, නුඹ සිටින්න. නුඹ ගැන සංඝතෙමේ මත්තෙහි පරීක්ෂා නොකෙරේවා.
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියේදී, ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාරසහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමියි’ භික්ෂු සංඝයාට දැක්වූයෙහිද?
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසයකෙරෙයි’ කියා ‘ස්වාමීනි, ඒ එසේ නොවේමය.’ ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී, භික්ෂු සංඝයාට ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් කාමයන්ගෙන් වෙන්ව (සියලු) අකුශලය ධර්මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කරමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක්කල් කැමැති වෙයිද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශලධර්‍මයන්ගෙන් වෙන්වම විතර්ක සහිතවූ විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමද්ධ්‍යානයට පැමිණ, වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබූයෙහිද, ‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, හිතේ එකඟබව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි.”
‘මහණෙනි, ආනන්ද තෙමේ යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟබව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි. ‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, හිතේ එකඟබව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇතිකරන්නාවූ, හිතේ එකඟබව ඇතිකරන්නාවූ, විතර්ක රහිතවූ, විචාර රහිතවූ සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි’ කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබූයෙහිද, ‘මහණෙනි, මම යම්තාක්කල් කැමති වෙම්ද, ඒ තාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරමි. සිහියෙන් යුක්ත වූයේ, කයින් සැප වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේයයි, ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ, වාසය කරමි. මහණෙනි, ඇවැත් ආනන්ද තෙමේද යම් තාක් කල් කැමති වෙයිද, ඒ තාක් ප්‍රීතිය ඉක්ම වීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්ත වූයේ කයින් සැප වින්දේය. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණය ඇත්තේයයි, ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වන ද්ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි’ කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි. ‘මහණෙනි, මම යම්තාක්කල් කැමති වෙම්ද ඒ තාක් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරමි. සිහියෙන් යුක්ත වූයේ කයින් වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ කයින් සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමති වෙයිද ඒ තාක් ප්‍රීතිය ඉක්ම වීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරයි. සිහියෙන් යුක්ත වූයේ කයින් සැප වින්දේය. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ, වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද, ‘මහණෙනි, මම යම්තාක් කල් කැමති වෙම්ද ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, ආනන්දය, යම්තාක් කල් කැමැති වෙයිද, ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙමිද ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, කස්සප තෙමේ යම්තාක් කල් කැමැති වෙයිද ඒ තාක් සැපය නැති කිරීමෙන්, දුක නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැපනැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුයෙමි.’ ”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද, ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒ තාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ (ගැටීම්) සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.’
‘මහණෙනි, ඇවැත් ආනන්දතෙමේ යම්තාක් කල් කැමැති වෙයිද ඒ තාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ (ගැටීම්) සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ‘ආකාසය අනන්තයයි. ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි. ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් පටිඝ (ගැටීම්) සංඥාවන් නැති කිරීමෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.”
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ ගැටීම් සංඥාවන් නැති කිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් “ආකාසය අනන්තයයි” ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි’ කියායි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක්කල් කැමැතිවෙම්ද ඒ තාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි. මහණෙනි, කස්සපතෙමේද යම්තාක් කල් කැමැති වෙයිද ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත්, ආනන්දය ඒ කිමැයි සිතන්නෙහිද නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිද භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද.
‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ, වාසය කරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක්කල් කැමැතිවෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ, වාසය කෙරෙයි කියා දක්වනු ලැබීමි.’ ”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාස්ඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැතිවෙයිද ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කෙරෙමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කෙරේය කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්රකටබවට, මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාමි, පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරයි) දක්වයි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණියා ගොතා) හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම්, කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාමි, පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි.
‘මහණෙනි, කස්සප තෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරයි) දක්වයි. (කෙසේද?) එකෙක්ව බොහෝ වෙයි. බොහෝසේව එකෙක් වෙයි. ප්‍රකට බවට, මුවහබවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම්, කරයි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරයි. පක්ෂියෙකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යයි. මේ මහත් ඍද්ධි ඇති, මහත් අනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගායි, පිරිමදියි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟකෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? ‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසුදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ, දිව කණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද ළඟවූද, ශබ්ද අසමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසුදුවූ, මිනිස්කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමය වූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසුදුවූ, මිනිස්කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද, ශබ්ද අසමි.
‘මහණෙනි, කස්සපතෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසුදුවූ, මිනිස්කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද ශබ්ද අසයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද?
නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද?
මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි.
(කෙසේද?)
රාග සහිත සිත රාග සහිත සිතයයි දනිමි.
රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි.
දෝස සහිත සිත දොස සහිත සිතයයි දනිමි.
දොස රහිත සිත දොස රහිත සිතයයි දනිමි.
මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි.
මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි.
හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනිමි.
විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි.
මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි.
මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි.
කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි.
ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි.
සමාධි ගතවූ සිත සමාධි ගතවූ සිතයයි දනිමි.
සමාධි ගතනොවූ සිත සමාධි ගතනොවූ සිතයයි දනිමි.
(ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනිමි.
(ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දනිමි.’
‘මහණෙනි, ආනන්ද තෙමේද, යම්තාක් කල් කැමැතිවෙයිද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනියි. සමාධි ගතවූ සිත සමාධි ගතවූ සිතයයි දනියි. සමාධි ගතනොවූ සිත සමාධි ගතනොවූ සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දැන ගනියි. කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිත යයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනිමි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධිගතවූ සිත සමාධි ගතවූ සිතයයි දනිමි. සමාධි ගතනොවූ සිත සමාධි ගතනොවූ සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දනිමි. දැනගතිමි.
මහණෙනි, කස්සප තෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනියි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනියි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනියි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනියි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනියි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනියි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනියි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනියි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනියි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනියි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනියි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනියි. ලෞකික සිත් අතුරෙන් උසස්වූ සිත අනුත්තර සිතයයි දනියි. සමාධි ගතවූ සිත සමාධිගතවූ සිතයයි දනියි. සමාධි ගතනොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනියි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දැනගනියි. කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද? මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරමි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද. නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක්සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද, යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහි කරයි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද, අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳපිළිවෙළ සිහිකෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක්කල් කැමැති වෙම්ද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහිකරමි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.
‘මහණෙනි, කාශ්‍යප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසය කළ තැන් සිහි කරයි. (හේ කෙසේද?) එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්ද, නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු ගෝත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එැතනින් චුතව මේ මනුෂ්‍යාත්ම භාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳපිළිවෙළ සිහිකෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂුසංඝයාට දක්වනු ලැබුයෙහිද?
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුත වන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්හට දොස්කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.
‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගතිමි.
‘මහණෙනි, ආනන්ද තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකියි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.’
‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනියි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිද භික්ෂුසංඝයාට දක්වනු ලැබුවෙමි.
‘මහණෙනි, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද’
‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගතිමි.
‘මහණෙනි, කස්සප තෙමේද යම්තාක් කල් කැමැති වෙයිද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත්ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද’ කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකියි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන් පහවූ, නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.’
‘මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්තවූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ටි ඇත්තාහු සම්‍යක්දෘෂ්ටි කර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයයි මෙසේ පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි, දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ, (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ, (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැන ගතියි කියා දක්වනු ලැබුවෙමි,”
“ඇවැත් ආනන්දය, ඒ කිමැයි සිතන්නෙහිද? නුඹ භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදු භික්ෂු සංඝයාට දක්වනු ලැබුයෙහිද ‘මහණෙනි, මම ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්ද, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද, (අර්හත් ඵල සමාධියද) පඤ්ඤවිමුත්තියද, මේ ආත්මයෙහිදී තෙමේ ම දැන, ප්‍රත්‍ය කොට, ඊට පැමිණ වාසය කරමි.
‘මහණෙනි, ආනන්දතෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද, පඤ්ඤා විමුක්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේ ම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ස්වාමීනි, එය එසේ නොවේමය. ඇවැත්නි, මම වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහිදී භික්ෂු සංඝයාට දක්වනු ලැබුවෙමි.’
‘මහණෙනි, මම ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුක්තියද, තෙමේ ම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කියා දක්වනු ලැබුවෙමි.’
‘මහණෙනි, කස්සප තෙමේද ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂය කිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුත්තියද, පඤ්ඤා විමුත්තියද (අර්හත් ඵල ප්‍රඥාවද) මේ ආත්මයෙහිදී තෙමේ ම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කෙරෙයි කියා දක්වනු ලැබුවෙමි.”
“ඇවත, යමෙක් මාගේ ෂට් අභිඥාවන් වැසිය යුතුයයි හඟින්නේවේ නම්, හෙතෙම හත්රියන් හෝ හත් රියන් හමාරක් හෝ වූ, ඇතෙකු තල්පතකින් වැසිය යුතුයයි හඟින්නෙකු වැනිය.
ථුල්ලතිස්සා මෙහෙණද බ්‍රහ්මචරියාවෙන් (ශාසනයෙන්) චුතවූවාය.”
(දසවෙනි උපස්සය සූත්‍රය නිමි.)
SN 02-05-11. චීවර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ඇවැත් මහා කස්සපතෙම රජගහනුවර කලන්දකනිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරනසේක. එකල්හි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම මහත්වූ භික්ෂු සංඝයා හා සමග ‘දක්ෂිණගිරියෙහි’ චාරිකාවෙහි හැසිරෙයි. එසමයෙහි වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ගේ බෙහෙවින් ළදරුවූ, තිසක් පමණ ශිෂ්‍ය භික්ෂූහු ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහිවූවාහු වෙති.
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවීරතෙම “දක්ෂිණ ගිරියෙහි” කැමතිතාක් චාරිකාවෙහි හැසිර, රජගහනුවර වේළුවන නම් “කලන්දක නිවාපය” යම් තැනෙක්හිද, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරතෙම යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරයන් වහන්සේ මෙය කීයේය.
“ඇවැත් ආනන්දයෙනි, කිනම් අර්ථයක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි ‘තිකභෝජනය’ (ගණ භොජන ශික්ෂාපදය) පණවන ලදද?
“ස්වාමීනි, කරුණු තුනක් නිසා භාග්‍යවතුන් වහන්සේ විසින් කුලයන්හි ‘තිකභෝජනය’ පණවනලදී. (එනම්:-) දුශ්ශීල පුද්ගලයන්හට නිග්රහකිරීම පිණිසද, සිල්වත් භික්ෂූන්ගේ පාසුවිහරණය පිණිසත්, පාප අදහස් ඇත්තෝ පක්ෂයක් ගෙන සංඝයා භෙද නොකෙරෙත්වා කියාද කුලයන් කෙරෙහි අනුකම්පාව නිසාද යන කරුණු තුනය. ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, මේ තෙවැදැරුම් අර්ථය නිසා භාග්‍යවතුන්වහන්සේ කුලයන්හි ‘තිකභෝජනය’ පණවන ලදී” “ඇවැත් ආනන්දයිනි, එසේ තිබියදී නුඹ කවර කාරණයක් නිසා, මේ ඉන්ද්රිය සංවරයක් නැත්තාවූ, භෝජනයෙහි ප්‍රමාණය නොදන්නාවූ, නිදිවර්ජිත කිරීමෙහි නොයෙදුනාවූ’ අලුත් මහණුන් හා සමග චාරිකාවෙහි හැසිරෙයිද? බෝගපැල විනාශ කරමින් ඇවිදින්නෙහියයි හඟිමි. කුලයන් නසමින් ඇවිදින්නෙහියයි හඟිමි. ඇවැත් ආනන්දයිනි, තොපගේ මේ අලුත් පිළිවෙළින් තොපගේ පිරිස විනාශ වන්නීය. තොපගේ පිරිස බිඳෙන්නීය. මේ* කුමාර (ළදරු) තෙමේ තමාගේ ප්‍රමාණය නොදන්නේයයි කීය.”
“ස්වාමීනි, කස්සප ස්ථවිරයන් වහන්ස, මාගේ හිසකෙස් ද පැසීගොස්ය. එතකුදු වුවත් අපි අද දක්වාත් ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේගේ ළදරුවා කියා ආමන්ත්රණයකිරීමෙන් නොමිදෙමුයි කීයේය.”
“එය එසේමය. ඇවැත් ආනන්දය, නුඹ මේ ඉන්ද්රිය සංවරයක් නැත්තාවූ භෝජනයෙහි ප්‍රමාණය නොදන්නාවූ, නිදි වර්ජිත කිරීමෙහි නොයෙදුනාවූ, අලුත් මහණුන් හා සමග චාරිකාවෙහි හැසිරෙහිය. ධාන්‍ය පැල විනාශ කරමින් හැසිරෙහියයි හඟිමි. කුලයන් විනාශකරමින් හැසිරෙහියයි හඟිමි.
මහා කස්සප ස්ථවිරයන් වහන්සේ වයස්ගතවූ පසුත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට දරුවා කියා කථා කරති.
ඇවැත් ආනන්දය, නුඹගේ මේ අලුත් පිලිවෙළින් පිරිස බිඳෙයි ඇවැත් ආනන්දය, නුඹගේ පිරිස විනාශ වෙයි. මේ කුමාරයා (ළදරුවා) තමාගේ ප්‍රමාණය නොදන්නේයයි කීය.
මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ විසින් පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේ කුමාර වාදයෙන් නින්දා කරනු ලැබුවේයයි ථුල්ලනන්දා නම් භික්ෂුණිය ඇසුවාය. ඉක්බිති එයින් නොසතුටු සිත් ඇත්තාවූ, ථුල්ල නන්දා භික්ෂුණිය නොසතුටු වචනයක් නිකුත්කළාය. (එනම්:) කිමෙක්ද? මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පෙර අන්‍ය තීර්ථකව විසුවාවූ මහා කස්සප ආර්‍ය්‍යයන් වහන්සේ පණ්ඩිත භික්ෂුවක්වූ, ආනන්ද ආර්‍ය්‍යයන් වහන්සේ කුමාර වාදයෙන් නින්දා කළයුත්තෙකැයි හඟින්නේද?” කියායි.
ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ථුල්ල නන්දා භික්ෂුණිය විසින් කියනලද මේ වචනය ඇසූහ. ඉක්බිති ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්හට මෙය කීයේය. “ඇවැත් ආනන්දයිනි, ථුල්ලනන්දා භික්ෂුණිය විසින් ඉක්මන්වී, කරුණු නොසලකා වචනයක් කියනලදී. ඇවැත්නි, මම වනාහි යම් තැනක පටන් හිසකෙස් දැලිරවුල් බාවා, (බැහැර කරවා) කසාවත් හැඳ, අගාර නම් ලත් ගිහිගෙයින් නික්ම, අනගාරිය නම් ලත් ශාසනයෙහි පැවිදිවූයේ වෙම්ද, (එතැන් පටන් මම) ඒ භාග්‍යවත්වූ, අර්හත්වූ, සම්මා සම්බුදුන් හැර, අන්‍ය ශාස්තෘවරයකු දැක්වීමට නොදනිමි. ඇවැත්නි, පෙර ගිහිගෙයි වාසය කරන්නාවූ මට මේ සිත ඇතිවූයේය. ‘ගිහිගෙයි විසීම් අවහිරය. රජස් (දූවිලි) උපදනා තැනකි. පැවිදිවීම අබ්භොකාස්ථානයයි. (එළිමහන් තැනයි.) ගිහිගෙයි වසන්නන් විසින් ඒකාන්තයෙන් සම්පූර්ණවූ, ඒකාන්තයෙන් පිරිසිදුවූ, සෝදනලද හක්ගෙඩියක් මෙන් පිරිසිදුවූ මේ බ්‍රහ්ම චරියාවෙහි හැසිරෙන්නට පහසු නොවේ. මම කෙස් රවුළු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙන් නික්ම, අනගාරිකව, පැවිදි වන්නෙම් නම් ඉතා හොඳය කියායි. ඇවැත්නි, පසුව ඒ මම කපනලද රෙදි කැබලිවලින් දෙපට සිවුරක් කොට ලෝකයෙහි යම් රහත්හු වෙත්ද, ඒ රහතුන් උදෙසා කෙස් රවුළු කපා හැර, කසාවත් හැඳ, ගිහිගෙයින් නික්මී, අනගාරිකව පැවිදිවූයෙමි. ඒ මම මෙසේ පැවිදිව දීර්ඝ මාර්ගයට පිළිපන්නේ, රජගහනුවරටද, නාලන්දාවටද අතරෙහිවූ බහුපුත්තචෙතිය නම් ස්ථානයෙහි වැඩහුන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දැක්කෙමි. දැක, මට මේ සිත පහළවිය.
‘ඉදින් මම ශාස්තෲවරයෙකු දක්නෙම් නම් එය මේ භාග්‍යවතුන් වහන්සේම දැක්මය. ඉදින් මම සම්‍යක් ප්රතිපත්තියෙහි ගමන් කළ කෙනෙකු දැක්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේම දැක්මය. ඉදින් මම සියල්ල අවබෝධ කළ කෙනෙකු දක්නෙම් නම් ඒ භාග්‍යවතුන් වහන්සේම දැක්මය’ කියායි. ඇවැත්නි, ඒ මම වනාහි එහිදීම භාග්‍යවතුන් වහන්සේගේ සිරි පා දෙක ළඟ වැටී, භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. ‘ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲන් වහන්සේ වනසේක. මම (ඔබවහන්සේගේ) ශ්‍රාවකයෙක් වෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මාගේ ශාස්තෲන්වහන්සේ වනසේක. මම (ඔබවහන්සේගේ) ශ්‍රාවකයෙක් වෙමි.’ ඇවැත්නි, මෙසේ කී කල්හි මට භාග්‍යවතුන් වහන්සේ මෙය කීසේක. ‘කස්සපය, යමෙක් වනාහි මෙසේ මුළුහිතින්ම යුක්තවූ, ශ්රාවකයෙකුහට නොදැන දනිමියි කියයි නම්, නොදැක දක්නෙමියි කියයි නම් ඔහුගේ හිසද පැලෙන්නේය. කස්සපය, මම වනාහි දැනම දනිමියි කියමි. දැකම දකිමියි කියමි. එහෙයින් කස්සපය, මෙහිදී නුඹ විසින් මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) ස්ථවිර භික්ෂූන් කෙරෙහිද නවක භික්ෂූන් කෙරෙහිද, මද්ධ්‍යම භික්ෂූන් කෙරෙහිද, මාගේ තියුණුවූ හිරි ඔතප් (ලජ්ජා භය) දෙක එළඹ සිටියේ වන්නේය කියායි. කස්සපය, නුඹ මෙසේ හික්මිය යුතුයි. කස්සපය, මෙහිදී නුඹ මෙසේ හික්මිය යුතුයි. (කෙසේද?) කුශලින් යුක්තවූ, යම්කිසි ධර්මයක් අසම්ද, ඒ සියල්ල අර්ථ සහිත කොට, මෙනෙහිකොට, මුළුසිතින් එක්තැන් කොට, යොමුකරනලද කන් ඇතිව, ධර්මය අසන්නෙමියි කියායි. කස්සපය, නුඹ මෙසේ හික්මිය යුතුයි. කස්සපය, මෙහිදී නුඹ මෙසේ හික්මිය යුතුයි.
(කෙසේද?)
මාගේ සොම්නස් සහගත කායගතාසතිය අත්නොහරින්නේයයි කියායි.
කස්සපය, නුඹ මෙසේ හික්මිය යුතුයි.
“ඇවත, ඊටපසු භාග්‍යවතුන් වහන්සේ මේ අවවාදයෙන් මට අවවාද කොට, හුනස්නෙන් නැඟිට වැඩිසේක.
“ඇවත, මම වනාහි සත් දිනක් පමණක් නය සහිත “රට්ඨපිණ්ඩය” (රටවැසියන් දෙන පිණ්ඩපාතය) අනුභව කෙළෙමි. ඉක්බිති අටවැනිදා රහත්ඵලයට පත්වීමි. ඉක්බිති ඇවත, භාග්‍යවතුන් වහන්සේ මගින් ඉවත්වී, යම් තැනෙක්හි එක්තරා රුක්මුලක් වූයේද එතැනට වැඩිසේක. ඇවත, අනතුරුව මම කඩකොට කපනලද රෙදි කැබලිවලින් කළ දෙපොට සිවුර සතරට නවා ආසනයක් පනවා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයෙමි. ‘ස්වාමීනි, මෙහි භාග්‍යවතුන් වහන්සේ වැඩසිටිනසේක්වා. එය මට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස, සැප පිණිස වන්නේය’ කියායි. ඇවත, භාග්‍යවතුන් වහන්සේ පණවනලද ආසනයෙහි වැඩහුන්සේක. ඇවත, වැඩහුන්නාවූ, භාග්‍යවතුන් වහන්සේ මට මෙසේ වදාළේය.
‘කස්සපය, තාගේ කැපූ රෙදිකැබලිවලින් කළ (පට පිලෝතිකය) දෙපොට සිවුර මෘදුය’ කියායි. ‘ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ මට අනුකම්පාකොට කැපූ රෙදි කැබලිවලින් කළ දෙපොට සිවුර පිළිගන්නා සේක්වායි’ කීයෙමි. කස්සපය, නුඹ හණ නූලින් කරනලද, (පාවිච්චිකිරීමෙන්) පරණවූ මාගේ පාංසුකූල චීවරය වනාහි දරන්නෙහිද? ‘ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේගේ හණනූලින් කරනලද, (පාවිච්චි කිරීමෙන්) පරණවූ පාංසුකූල චීවරය දරන්නෙමි ඇවත, යම් ඒ පුද්ගලයෙක් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන්ද මුඛයෙන්ද පහළවූ, ධර්මයෙන් උපන්නාවූ, ධර්මයෙන් නිර්මිතවූ, ධර්මයට දායාදකොට ඇත්තාවූ, පුත්‍රතෙම හන නූලෙන් කරනලද (පාවිච්චිකිරීමෙන්) පරණවූ පාංසුකූල සිවුර පිළිගත්තේයයි මනාකොට කියන්නේ නම් භාග්‍යවතුන් වහන්සේගේ ලයෙන් මුඛයෙන්ද පහළවූ, ධර්මයෙන් උපන්නාවූ, ධර්මයෙන් නිර්මිතවූ, ධර්මයට දායාදවූ, හණ නූලෙන් කරනලද, (පාවිච්චි කිරීමෙන්) පරණවූ පාංසුකූල සිවුර පිළිගත් පුත්‍රයාය යන මෙය මටම කියයුතු වන්නේය.”
“ඇවත, මම වනාහි යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් කාමයන්ගෙන් වෙන්වම (සියලු) අකුශල ධර්මයන් වෙන්වම විතර්ක සහිතවූ විචාර රහිතවූ විතර්කයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒ තාක් විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් සිතේ පැහැදීම ඇති කරන්නාවූ, හිතේ එකඟ බව ඇති කරන්නාවූ, විතර්ක රහිතවූ විචාර රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැතිවෙම්ද, ඒතාක් කල් ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්ෂා ඇත්තේ වාසය කරමි. සිහියෙන් යුක්තවූයේ කයින් වින්දේමි. යම් ධ්‍යානයක් උපෙක්ෂා ඇත්තේ සිහියෙන් යුක්තවූයේ සැප විහරණ ඇත්තේයයි ආර්‍ය්‍යයෝ කියත්ද ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසයකරමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සැපය නැතිකිරීමෙන්, දුක නැතිකිරීමෙන්, කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන්, දුක් නැත්තාවූ, සැප නැත්තාවූ, උපෙක්ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසිදු බැව් ඇති සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරමි”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන්, පටිඝ (ගැටීම්) සංඥාවන් නැතිකිරීමෙන්, නානත්ත සංඥාවන් මෙනෙහි නොකිරීමෙන්, “ආකාසය අනන්තයයි” ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා “විඤ්ඤාණය අනන්තයයි” විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා, නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් සියලු ආකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා, සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරමි.’
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නොයෙක් ආකාරවූ, ඍද්ධිවිධි වෙන් වෙන් කොට (අනුභව කරමි) දක්වමි.
(කෙසේද?)
එකෙක්ව බොහෝ වෙමි. බොහෝසේව එකෙක් වෙමි. ප්‍රකට බවට, මුවහ බවට, අහසෙහි මෙන් බිත්තිය විනිවිද, පවුර විනිවිද, පර්වතය විනිවිද, නොහැපෙමින් යමි. දියෙහි මෙන් පොළොවෙහි කිමිදීම්, මතුවීම් කරමි. පොළොවෙහි මෙන් දියෙහි දිය නොබිඳ ගමන් කරමි. පක්ෂියකු මෙන් අහසෙහිද පර්‍ය්‍යංකයෙන් (අරමිණිය ගොතා) හිඳගෙනම යමි. මේ මහත් ඍද්ධි ඇති, මහත් ආනුභාව ඇති, සඳ හිරු දෙදෙන අතගාමි. පිරිමදිමි. බඹලොව තෙක් ශරීරයෙන් වසඟ කරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් කණ ඉක්මවා පැවැත්තාවූ, දිවකණින් දිව්‍යමයවූද, මනුෂ්‍යමයවූද, දුරවූද, ළඟවූද ශබ්ද අසමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් අන්‍ය සත්වයින්ගේ, අන්‍ය පුද්ගලයින්ගේ සිත තමාගේ සිතින් පිරිසිඳ දනිමි. (කෙසේද?) රාග සහිත සිත රාග සහිත සිතයයි දනිමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දනිමි. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතයයි දනිමි. ද්වේෂ රහිත සිත ද්වේෂ රහිත සිතයයි දනිමි. මෝහ සහිත සිත මෝහ සහිත සිතයයි දනිමි. මෝහ රහිත සිත මෝහ රහිත සිතයයි දනිමි. හැකුළුණු සිත හැකුළුණු සිතයයි දනිමි. විසුරුණු සිත විසුරුණු සිතයයි දනිමි. මහත් බවට ගිය සිත මහත් බවට ගිය සිතයයි දනිමි. මහත් බවට නොගිය සිත මහත් බවට නොගිය සිතයයි දනිමි. කාම සහිත සිත කාම සහිත සිතයයි දනිමි. ලෞකික සිත් අතුරෙන් උසස්ම සිත අනුත්තර සිතයයි දනිමි. සමාධිගතවූ සිත සමාධිගතවූ සිතයයි දනිමි. සමාධිගත නොවූ සිත සමාධිගත නොවූ සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) මිදුනු සිත (ක්ලේශයන්ගෙන්) මිදුනු සිතයයි දනිමි. (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිත (ක්ලේශයන්ගෙන්) නොමිදුනු සිතයයි දැනගනිමි.
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් නානාප්‍රකාරවූ පෙර වාසයකළ තැන් සිහි කරමි. හේ කෙසේද? එක් ජාතියක්ද, ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති හතරක්ද, ජාති පහක්ද, ජාති දහයක්ද, ජාති විස්සක්ද, ජාති තිහක්ද, ජාති හතළිහක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද, ජාති දහසක්ද, ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවෙන) කල්පයන්දත නොයෙක් විවර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත, විවර්ත කල්පයන්ද අසවල් තැන උපන්නෙමි. එහි මෙනම් ඇත්තේවීමි. මෙබඳු ගොත්‍ර ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු දුක් සැප වින්දෙමි. ඒ මම එයින් චුතව අසවල් තැන උපන්නෙමි. එතැන්හිද මෙසේ නම් ඇත්තේවීමි. මෙබඳු (ශරීර) වර්ණ ඇත්තේවීමි. මෙබඳු ආහාර ඇත්තේවීමි. මෙබඳු සැප දුක් වින්දේවීමි. මෙබඳු ආයුෂ ඇත්තේවීමි. ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍යාත්මභාවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිතවූ, උදෙසීම් සහිතවූ, නානාප්‍රකාරවූ, පෙර විසූ කඳ පිළිවෙළ සිහිකරමි.”
“ඇවත, මම යම්තාක් කල් කැමැති වෙම්ද, ඒතාක් පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටියාවූ දිවැසින් චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීරා) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය අනුව මිය පරලොව ගියාවූ සත්වයන් දකිමි. (කෙසේද?) ඒකාන්තයෙන් මේ පින්වත් සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්තවූවාහු, වාක් දුශ්චරිතයෙන් යුක්තවූවාහු, මනෝ දුශ්චරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ටි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ටි ක්‍රියා අනුමත කළාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු, සැපයෙන්පහවූ නපුරුගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද.
මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාක් සුචරිතයෙන් යුක්තවූවාහු, මනෝ සුචරිතයෙන් යුක්තවූවාහු, ආර්‍ය්‍යයන්හට දොස් නොකීවාහු, සම්‍යක් දෘෂ්ටි ඇත්තාහු, සම්‍යක් දෘෂ්ටිකර්ම සමාදන් වූවාහුය. (එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහු”යයි, පිරිසිදුවූ, මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නාවූද, උපදින්නාවූද, හීන (ලාමක) වූද, ප්‍රණීත (උසස්) වූද, මනාවූ (ශරීර) වර්ණ ඇත්තාවූද, මනාවූ (ශරීර) වර්ණ නැත්තාවූද, යහපත් ගති ඇත්තාවූද, යහපත් ගති නැත්තාවූද, කර්මය පරිදි මිය පරලොව ගියාවූ සත්වයන් දැනගනිමි.
“ඇවත්නි, ආශ්‍රවයන් (කෙලෙස්) ක්ෂයකිරීමෙන්, ආශ්‍රව රහිතවූ, චේතෝ විමුක්තියද (අර්හත්ඵල සමාධියද), පඤ්ඤා විමුක්තියද (අර්හත්ඵල ප්‍රඥාවද), මේ ආත්මයෙහිදී තෙමේම දැන, ප්රත්යක්ෂකොට, ඊට පැමිණ වාසය කරමි.
“ඇවත, යමෙක් මාගේ ෂට්අභිඥාවන් වැසිය යුතුයයි හඟින්නේවේද, හෙතෙම හත්රියන් හෝ හත්රියන් හමාරක් හෝ වූ ඇතෙකු තල්පතකින් වැසිය යුතුයයි හඟින්නෙකු වැනිය. ථුල්ලනන්දා භික්ෂුණියද බ්‍රහ්මචරියාවෙන් (ශාසනයෙන්) චුතවූවාය.
(එකොළොස්වෙනි චීවර සූත්‍රය නිමි.)
මොහු පැවිදි වූ අයුරුත් දිගුමගට පැමිණි අයුරුත් වටහා ගැනීමට පළමු අභිනීහාර අවස්ථාවේ සිට මේ පිළිවෙල කථාව දතයුතු වේ.
අතීතයේ කල්ප ලක්ෂ ගණනකට පෙර පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සේක. ඒ හංසවතී නුවර ඇසුරුකර කේෂ්ම භූමියක් වූ මිගදායෙහි වැඩවාසය කරන කාලයෙහි වේදේහ නම් අසූ කෙළක් ධනය ඇති සිටුපුතෙක් උදෑසනම රසවත් භෝජන වළඳා, පෝය අටසිල් සමාදන්ව, ගඳමල් ආදිය ගෙන විහාරයට ගොස් බුදුන්ට පුදා වැඳ එකත්පසෙක සිටියේය. එකෙණෙහි ශාස්තෘන් වහන්සේගේ තෙවැනි ශ්‍රාවක වූ මහා නිසභ නම් තෙරුන් වහන්සේ “මහණෙනි! මගේ ශ්‍රාවක භික්ෂූන්ගෙන් ධුතාංගධාරී භික්ෂුන්ගේ අග්‍රයට නිසභ තෙරහු පත්කරමි”යි අගතනතුරෙහි තැබූ සේක. මෙය දුටු උපාසකතුමා බෙහෙවින් ප්‍රසන්නව ධර්මකථාව අවසන, මහජනයා නැගිට ගිය කල්හි බුදුරජාණන් වහන්සේට වැඳ, “ස්වාමීනි! හෙට මගේ දානය ඉවසා වදාරන මැනවි”යි ආරාධනා කළේය. බුදුපියාණෝ, “උපාසකය! භික්ෂු සංඝයා ඉතා විශාලය”යි වදාළහ. එවිට උපාසකයා “ස්වමීනි! බුදුරජාණන් වහන්ස! කොපමණ ප්‍රමාණයක් වේද?”යි විමසීය. “භික්ෂුහු හැටඅට ලක්ෂයක් පමණ වැඩවෙසෙති.” “ස්වාමීනි! එක් සාමනේර නමක්වත් විහාරයේ ඉතිරි නොකර දානය සඳහා වැඩමවන්න”යි නැවතද ආරාධනා කළේය. බුදුහු එය ඉවසූ බැව් දැන තම ගෙදරට ගොස් මහාදානයක් පිළියෙල කරවා, දෙවැනි දින බුදුරදුන්ට කාලය දැන්වීය. බුදුපියාණන් වහන්සේ පාසිවුරු ගෙන මහා භික්ෂු සංඝයා විසින් පිරිවරන ලදුව, උපාසකයාගේ නිවසෙහි පැනවූ අසුන්වල වැඩසිටියහ. පරිභෝගය සඳහා දියවත් කිරිම අවසන් වූ කල්හි, කැඳබත් ආදිය පිළිගනුවනුයේ වැළඳවීම කළේය. උපාසකයා ද බුදුපියාණන් සමීපයේ ම හුන්නේය
මේ අතර මහා නිසභ තෙරහු පිඬු පිණිස හැසිරෙන සේක්, ඒ වීථියටම වැඩිසේක. උන්වහන්සේ දුටු උපාසකයා නැගිට ගොස් තෙරුන්ට වැඳ, “ස්වාමීනි! අපට පාත්‍රය දෙනු මැනව”යි කීවේය. තෙරණුවෝ පාත්‍රය දුන්හ. “ස්වාමීනි! මෙහි පිවිසෙන සේක්වා. ශාස්තෘන් වහන්සේ ද මෙහි වැඩ වෙසෙති”යි උපාසකයා පැවසූ කල්හි, “උපාසකය!, එය සුදුසු නොවේ” යැයි තෙරුන්වහන්සේ පැවසූහ. උපාසකයා තෙරුන්ගේ පාත්‍රය පුරවා බැහැරට ගෙනවුත් තෙරුන්ටම පිළිගැන්වීය. නැවත තෙරුන් අනුවම පසුගමන් කර නැවතුණි. නැවතත් බුදුපියාණන් වහන්සේ වෙත ගොස්, “ස්වාමීනි! මහා නිසභ තෙරණුවෝ, “ශාස්තෘන් වහන්සේ ගෙයි වැඩ සිටිති”යි මා පැවසූ කල්හි, ඇතුලට පිවිසීමට අකමැති වූහ. උන්වහන්සේට ඉතා වැඩි ගුණයක් පවතින්නේ ද?”යි ප්‍රශ්න කළේය. බුදුවරු නම් ගුණයන්ගේ මසුරුකම් කරන්නෝ නොවෙති. අනුන් ගුණ නොමකති. බුදුපියාණන් වහන්සේ “උපාසකය! අපි භික්ෂාවේ පැමිණීම බලමින් ගෙයි වෙසෙමු. ඒ නිසභ තෙරහු එසේ නොසිට, භික්ෂාව සොයා ගනියි. අපි ගම් සෙනසුන්හි වසමු. උන්වහන්සේ ආරණ්‍යයෙහිම වෙසෙති. අපි ආවරණය වූ ස්ථානයක ම වසමු. උන්වහන්සේ එළිමහනෙහිම වෙසෙති. මෙලෙස උන්වහන්සේගේ ගුණ ඉතා විශාලය”යැයි ගුණ සමූහය මහමුහුද පුරවන්නාක් මෙන් වදාළහ
ස්වභාවයෙන් දැල්වුණු පහණට තෙල් දැමුවාක් වැනි මේ දේශනාව ඇසූ උපාසකයා ද බෙහෙවින් ප්‍රසන්න වූයේ “මට වෙනත් සැපතකින් කවර ප්‍රයෝජනයක් ද? අනාගතයේ එක් බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි ධුතාංගධාරීන් අතරින් අග තනතුර සඳහා ප්‍රාර්ථනා කරන්නෙමි”යි සිතා නැවතද බුදුරදුන්ට ආරාධනා කොට සත්දිනක් ම මහදන් පැවැත්වීය. අවසන් දින හැටඅට ලක්ෂයක් භික්ෂූන්ට තුන්සිවුරු පූජාවක් ද පවත්වා, බුදුපියාණන්ට වැඳ,
“ස්වාමීනි! මවිසින් සත්දිනක් මහදන් පැවැත්වූයේ මෙත් සහගත වූය කාය-වාග්-මනෝ කර්ම ඇතිවමය. මේ උතුම් මහා පින්කමෙන් මම දිව්‍ය, ශක්‍ර, බ්‍රහ්මාදී සැපතක් නොපතමි. මේ උතුම් පුණ්‍ය මහිමයේ බලයෙන්, අනාගත බුදුවරයන් වහන්සේ නමකගේ සසුනෙහි නිසභ තෙරුන් මෙන් තෙලෙස් ධුතාංගධාරීන් අතර අගතනතුරට පත්වේවා!යි ප්‍රාර්ථනා කළේය.
බුදුරජාණනන් වහන්සේද මොහු විසින් මහත් වූ තනතුරක් ප්‍රාර්ථනා කරන ලදී. එය ඉටුවේද? නොවන්ද? විමසා බලන සේක්, එය ඉටුවන බව දුටුසේක. “නුඹ විසින් ඉතා ප්‍රිය වූ තනතුරක් පතන ලදී. අනාගතයේ කල්ප ලක්ෂයක් ඉක්ම ගිය කල්හි, ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොව පහළවෙති. නුඹ වහන්සේගේ තෙවැනි ශ්රාවකයා වූ මහා කාශ්‍යප තෙරුන් නමින් ප්‍රකට වන්නේය” යනුවෙන් පැවසූ බුදුවදන් ඇසූ උපාසකයා, “බුදුවරු ලඟ කථා දෙකක් නම් නැත”යි සිතා දෙවැනි දින සිටම එම තනතුර ලැබුවාක් මෙන් ප්‍රීති වුයේය. ඔහු ආයු කෙළවර දක්වා සීලාදිය රක්ෂාකොට, කළුරිය කිරීමෙන් පසු දෙලොව උපනේය.
එතැන් සිට දිව්‍ය, මනුෂ්‍ය සැපසම්පත් විඳිමින් සසර සැරිසරන කල්හි, මින් කල්ප අනූඑකකට පෙර පහළ වූ විපස්සී සම්මා සම්බුදුපියාණන් වහන්සේ බන්ධුමතී නුවර නිසා ක්ෂේමභූමියක් වූ මිගදායෙහි වැඩවසන සමයෙහි දෙව්ලොවින් චුතව එක් දුක්පත් බමුණු ගෙදරක උපන්ය. එසමයෙහි බුදුපියාණන් වහන්සේ සත්වැනි වසරෙහි ධර්මදේශනා කරන සේක් මහාකෝළාහලයක් ඇතිවිය. දෙවියෝ මුළු දඹදිවට ම “ශාස්තෘන් වහන්සේ ධර්මදේශනා කරන සේක”යි දැනුම් දෙති. මේ දුක්පත් බමුණාද එපුවත අසා බණ ඇසීමට යාමට කැමති විය. නමුත් ඔහුට හා බැමිණියට හැඳගෙන පිටතට යා හැකි එකම සලුවක් පමණක් ඇත. පොරවාගෙන යෑමටද ඇත්තේ එකම සලුවකි. එනිසා මුලුනුවර මොහු “ඒකසාටක බමුණා” යැයි ප්‍රසිද්ධ විය. බමුණන්ගේ කිසියම් රැස්වීමක්-උත්සවයක් වේනම් බැමිණිය ගෙදර නවතා බමුණා පමණක් ඒ සඳහා යයි. බැමිණියන්ගේ එක්වීමක්-උත්සවයක් ඇතිවූ කල්හි බමුණා ගෙදර නැවතී බැමිණිය පමණක් යයි. මෙදින බණ ඇසීමට යාමට රිසි වූ බමුණා, “පින්වතිය! කිම නුඹ රාත්‍රී බණ ඇසීමට යන්නීද? නැතිනම් දහවල් බණ ඇසීමට යන්නීද?”යි බැමිණියගෙන් විමසුවේය. “අපි ස්ත්‍රීහුය. එනිසා රෑ බණ ඇසීමට යා නොහැක. දවල් ම බණ ඇසීමට යමි”යි බැමිණිය කීවාය. ඇය බමුණා ගෙදර නවතා වස්ත්‍රය හැඳ-පොරවා ගෙන දහවල් බණ ඇසීමට උපාසිකාවන් සමග ගොස් එකත්පසෙක සිට බණ අසා උපාසිකාවන් සමග ම පැමිණියාය. ඉන්පසු බමුණාද බැමිණිය ගෙදර නවතා, වස්ත්‍රය හැඳ පොරවාගෙන විහාරයට ගියේය.
එවිට බුදුපියාණන් වහන්සේ පිරිස් මැද අලංකාර වූ ධර්මාසනයක හිඳ, විසිතුරු විජිනිපතක් ගෙන; අහස්ගඟට බස්වන්නාක් මෙන් ද මහමෙර මතට නැගී සාගරය මඩින්නාක් මෙන් ද ධර්මකථාව පවත්වන සේක. පිරිස් කෙළවර හිඳ බණ අසන්නා වූ බමුණාට රාත්‍රී ප්‍රථම යාමයේදී මුළු සිරුරම පිනායමින් පස්වනක් ප්‍රීතිය පහළවිය. ඔහු පොරවාගෙන සිටි වස්ත්‍ර රැගෙන “මෙය බුදුන්ට පුදමි”යි සිතීය. එවිට ඔහුට ආදීනව දහසක් දක්වමින් මසුරුකම පහළවිය. “බැමිණියටත් මටත් ඇත්තේ එකම වස්ත්‍රයකි. අනික් කිසිම පොරවාගෙන යෑමට වස්ත්‍රයක් නැත. මෙය නොමැතිව ගෙයින් පිටව යා නොහැක.” මෙලෙස කල්පනා වූ වහාම දීමේ කැමැත්ත ඉවත් විය,
ඔහුට ප්‍රථම යාමය ඉක්මගිය කල්හි මධ්‍යම යාමයෙහිදී ද එවැනිම වූ මහා ප්‍රීතියක් ඇතිවිය. පෙර වස්ත්‍රය පූජාකිරීමේ සිත ඇතිවුවත් නැවතත් පෙරසේ මසුරුකම මතුවිය. මෙලෙස ධර්මශ්රවණය කරන ඔහුට පශ්චිම යාමයේදී ද මහත් වූ පස්වනක් ප්‍රීතියක් ඇතිවිය. ඔහු වහා නැගිට “එතෙරවීම හෝ මරණය හෝ වේවා! එය පසුව දැනගනිමි” යි වස්ත්‍රය රැගෙන වහා ගොස් බුදුපියාණන් වහන්සේ පාමුල තැබුවේය. ඉන්පසු වම් අත හකුලා දකුණු අතින් තෙවරක් අපොලසන් දී “මම දිනුවා”යි තෙවරක් ම මහහඬින් කෑගැසීය.
මේ වෙලාවෙහි බන්ධුම රජු ධර්මාසනයට පසුපසින් තිරයෙන් පිටුපස හිඳ බණ අසයි. රජතුමාට නම් “මම දිනුවා” යන අනුන්ගේ වදන් අප්‍රියම වේ. ඔහු පුරුෂයෙක් යවා, “යව! කුමක් නිසා මෙසේ ප්රීතිවෙත්දැයි මොහුගෙන් අසා දැනගෙන එව”යි කීවේය. ඔහු බමුණා ලඟට ගොස් ප්‍රීතිවීමට හේතු විචාළේය. “වෙනත් පුද්ගලයෝ ඇත් යානාදියකට නැගී කඩු හා පලිහ ආදිය ගෙන සතුරුසේනා ජයගනිති. එය ආශ්චර්යයක් නොවේ. මගේ පසුපසින් දිවඑන්නා වූ කුළු ගොනෙකුට මුගුරකින් පහරදී, හිස බිඳ ඌ පලවා හරින්නාක් මෙන් මසුරු සිත මැඩ පවත්වා පෙර වූ එකම වස්ත්‍රය බුදුරදුන්ට පිදුවෙමි. මම ඒ මසුරු සිත ජයගත්තෙමි”යි බමුණා කීවේ.
රාජ පුරුෂයා මේ පුවත රජුට දැන්වීය. රජතුමා “කොළ! අප දසබලයන් වහන්සේට සුදුසු වූ දෙය නොදනිමු. බමුණාම එය දනියි” පවසා ඔහු වෙත අගනා වස්ත්‍ර යුගලයක් යැවීය. බමුණා එය දැක මෙසේ සිතීය. “පෙර නිශ්ශබ්දව සිටි මාහට කිසිවක් නුදුන් මොහු දැන් බුදුගුණ පවසත්දී මාහැඟි වස්ත්‍ර යුගලයක් දෙයි. බුදු ගුණ නිසා උපන් මේ පරිත්‍යාගයෙන් මට කවර ප්‍රයෝජනයක්ද?”යි පවසා එම වස්ත්‍ර යුගලයද බුදුරදුන්ට පිදුවේය. රජු බමුණා කල ක්‍රියාව දැන නැවතත් වස්ත්‍ර යුගලක් එවීය. ඔහු එයද බුදුරදුන්ටම පිදුවේය. රජු මෙලෙස තවත් වස්ත්‍ර යුගලක් වශයෙන් වස්ත්‍ර දෙතිස් යුගලක් බමුණා වෙත එවීය..
එවිට බමුණා මෙය වඩ වඩා ගැනීමක් වන්නේ යැයි සිතා තමාටත්, බැමිණියටත් ප්‍රමාණවත් වූ වස්ත්‍ර දෙකක් ගෙන ඉතිරි යුගල තිහම බුදුරදුන්ට පිදුවේ. එතැන් පටන් ශාස්තෘන් වහන්සේ ඉතා විශ්වාස අයෙකු විය.
රජු, එක් සීත කාලයක බුදුරදුන් සමීපයේ හිඳිමින් බණ අසන ඔහු දැක ලක්ෂයක් අගනා තමා පොරවාගෙන සිටි රතු කම්බිලිය දී, “මෙතැන් පටන් මෙය පොරවාගෙන බණ අසව”යි කීවේය. බමුණා “මේ කුණු ශරීරය, මේ උතුම් වූ කම්බලියෙන් වැසීමෙන් කවර ප්‍රයෝජනයක්ද?” යි සිතා තථාගතයන් වහන්සේගේ ගඳකිළිය ඇතුලෙහි ඇඳමත්තෙහි වියනක් කොට බැඳ පූජා කළේය.
දිනක් රජු උදෑසන ම විහාරයට පැමිණ, ගඳකිළියට පිවිස බුදුරජාණන් වහන්සේ සමීපයේ ම හිඳ පිළිසඳර කථාවෙහි නියුතු විය. මේ වේලාවෙහි සවණක් ගණ බුදුරැස් මාලාවෝ විහිද ගොස් කම්බිලියෙහි වදී. කම්බිලිය අතිශයින් බබලයි. රජු උඩ බලා කම්බිලිය හඳුනාගෙන, “ස්වමීනි! මගේ මේ කම්බිලිය මම සාටක බමුණාට දුනෙමි”යි කීවේය. “මහරජ! නුඹ විසින් බමුණා පිදුවේ. බමුණා විසින් මා පුදන ලදී” යි බුදුපියාණෝ දේශනා කළ සේක. රජතුමා “බමුණා විසින් ඉතා සුදුසු වූවක්ම කරන ලදී. අප මෙන් නොවේ” යැයි පැහැදී මිනිසුන්ට උපකාර වන වස්තු සියල්ල, අට, අට බැගින් වනසේ “සබ්බට්ඨක” නම් වූ මහාදානයක් බමුණාට පවත්වා, ඔහු පුරෝහිත තනතුරෙහි තැබුවේය. බමුණාද අට්ඨ අට්ඨක නම් හැටඅටක්ම වේයැයි සළාක බත් හැටඅටක් පිහිටුවා නිති දන්දෙමින් සිල් රැක ආයු කෙළවර ඉන් චුතව දෙව්ලොව උපන්නේය.
නැවත ඉන් චුතව මේ මහා භද්‍ර කල්පයේ කෝණාගමන හා කාශ්‍යප යන බුදුවරයන් වහන්සේලාගේ කාලය අතර බරණැස සිටුගෙයක උපන්නේය. වැඩිවිය පැමිණ ගිහිගෙයි වසන ඔහු දිනක් දිවා සුඛවිහරණය සඳහා කැළයේ සක්මන් කරන අවස්ථාවෙහි පසේ බුදුවරයන් වහන්සේ නමක් නදීතෙර හිඳ සිවුරක් මසනු දුටුවේය. පසුපසින් එන සුලඟ නිසා එය මැසීමට නොහැකිව හැකිලීමට සැරසෙනු දුටු සිටුතුමා, “ස්වාමීනි! කවර හෙයින් හකුළා තබන්නේන්ද?”යි විමසූ විට “පසුපසින් එන සුලඟ නිසා සිවුර මැසීම අපහසුයැ”යි පැවසූ සේක. එවිට සිටුතුමා “මෙයින් හොඳ සිවුරක් මසාගන්නා සේක්වා!”යි වටිනා වස්ත්‍රයක් පූජාකර “මාහට උපනුපන් ආත්ම භාවයන්හි කිසිදු පිරිහීමක් නොවේවා!”යි පැතුවේය.
දිනක් ඔහු ගෙදර සිටිනවිටදී තම නැගණිය හා බිරිඳ කලහ කරමින් සිටි අවස්ථාවක පසේබුදුපියාණන් වහන්සේ පිඬු සිඟා වැඩි සේක.
උන්වහන්සේන්ගේ පාත්‍රය ගත් නැගණිය එය ආහාරවලින් පුරවා පූජාකොට, ඔහුගේ භාර්යාව නිසා “මෙබඳු බාලයන්ගේ ඇසුර යොදුන් සීයකින් දුරු කෙරේවා!”යි ප්‍රාර්ථනා කළාය. ඔහුගේ භාර්යාව, ඇගේ ප්‍රාර්ථනාව අසා වහා දිව අවුත්, පාත්‍රය නැවත ගෙන “මෙය නොවළඳන සේක්වා!”යි කියා ආහාර ඉවතලා, පාත්‍රයෙහි මඩ පුරවා දුන්නාය. නැගණිය එය දැක, “එම්බා මෝඩ ස්ත්‍රිය! මා හට අක්‍රෝශ කරව. පහර දෙව. මෙසේ දෙයාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරා පුරන ලද පාරමීදම් ඇත්තහුගේ පාත්‍රයෙන් බත් ඉවතලා මඩ පුරවා දීම නම් සුදුසු නොවේ”යැයි කීවාය. එවිට ඔහුගේ බිරියට නුවණැස පහළ විය. ඇය “ස්වාමීනි! මදක් සිටින්න”යි පවසා මඩ ඉවතලා, පාත්‍රය සෝදා, සුවඳ කුඩු තවරා, සුවඳදුම් දී, ප්‍රණීත චතුමධුරයන්ගෙන් එය පුරවා, ඒ මත පියුගැබක වර්ණය ඇති ගිතෙල් වත්කර සැදැහැයෙන් පූජා කරන්නේ, පාත්‍රය බුදුරදුන්ගේ හස්තයෙහි තබා “මේ පිණ්ඩපාත ආහාරයේ යම් ආලෝකයක්-ප්රභාවක් වේද එබඳු වූම ප්රභාවක් මාගේ ශරීරයේද වේවා!”යි පැතුවාය. පසේබුදුරජානෝ පින් අනුමෝදන් කළ සේක් අහසට පැන නැගී වැඩි සේක.ඒ අඹුසැමි දෙදෙන ආයු ඇති තෙක් කුසල් දහම් සිදුකර – දෙව්ලොව ඉපිද නැවත ඉන් චුත වූවාහු දෙදෙන ම අසූකෙලක් ධන ඇති බරණැස් සිටු පවුල් දෙකක උපන්හ. වැඩිවිය පැමිණි ඔවුහු දෙදෙන ම මාපිය අනුමැතියෙන් විවාහ විය. ස්ත්‍රියගේ පෙර භවයේ කළ පාපකර්මය මතුවෙමින්, පතිකුලයට පිවිසි කෙණෙහිම ස්වාමියාගේ ගෙදර එළිපත්තෙහි සිට මුලු ගෙදරම විවෘත කළ වැසිකිළිවලක් මෙන් දුගඳින් පිරී ගියේය. “මේ කාගේ ගඳක්ද?”යි අසා “සිටුදුවගේ ගඳකි”යි යන පිළිතුරින් කිපී “වහා මැය ඉවත් කරමු. දුරුකරවු”යි පැවසුවේය. මෙනිසා ඇය විවාහ වී පැමිණි දිනම තම නිවසට යෑමට සිදුවිය.
මෙලෙස සත්වරක් ම ඇය සැමියන් විසින් පිටමං කරන ලදී “මම සත් තැනකින්ම පිටමං කරන ලද්දීය. මගේ දිවියෙන් ඇති ප්‍රයෝජනය. කුමක්ද?”යි ආභරණ සියල්ල එක්රැස් කර, රියනක් දික්වූ රියනක් පළල වූ සතර අඟලක් උස්වූ රන් ගඩොලක් කරවූවාය. පසුව එම ගඩොලද රන්සිරියල් පිඬක් ද උපුල්මල් මිටි අටක්ද ගත් අත් ඇත්තේ කසුප් බුදුරදුන්ගේ චෛත්‍ය කරන තැනට පිවිසියාය. එකෙණෙහි එක් ගඩොල් පේලියක් වටකරගෙන එන වඩුවානන්ට එම පේලියෙහි කළයක් පමණ ප්‍රමාණයක අඩුවක් විය. වහා සිටුදුව ඉදිරිපත්ව වඩුවාට මෙසේ කීවාය. “මේ ගඩොල මෙතැන තබන්න” යනුවෙනි. සතුටට පත් වඩුවා “එසේය! නැගණියනි. නුඹ නියම වේලාවට පැමිණියෙහිය. නුඹම ඔය රන්ගඩොල තබව”යි කීවේය. ඇය එතැනට නැගී තෙලින් රත්සිරියල් කුඩු කලවම් කර යෙදූ බදාමයෙන් ගඩොල එම හිස්තැනෙහි තබා ඒ මත උපුල්මල් මිටි අට පුජාකර වැඳගෙන “උපනුපන් ආත්මභාවයෙහි මගේ කයින් සඳුන් සුවඳද මුවින් උපුල්මල් සුවඳ ද හමත්වා!” යි පැතුවාය. එසේ පතා සෑය වැඳ පැදකුණු කර නිවසට ම ගියාය.
මේ උතුම් පින්කම කළ කෙණෙහි ම සිටු පුතණුවන්ට තමා සමග විවාහ වී සිටි මැය පිළිබඳව සිහිපත් විය. නගරයේ ද මෙවේලෙහිම නැකැත් කෙළියට දැනුම්දීමක් විය. ඔහු සේවකයන් කැඳවා “මෙහි රැගෙන ආ සිටුදුව වසන්නී කොතැනද?”යි ඇසුවේය. “ස්වස්වාමිපුත්රය! ඇය තම නිවසෙහි වසන්නීය”යැයි පැවසූ විට, සිටුපුතා “වහා ඇය කැඳවන්න. ඇයත් සමග නැකැත් ක්‍රීඩා කරන්නෙමු”යි පැවසීය. සේවකයෝ ගොස් සිටුදුවට වැඳ සිටි කල්හි “දරුවනි! කුමක් නිසා පැමිණියේද?” ඇසුවාය. සිටුපුතාගේ කැඳවීම ඇයට දැනුම් දුන් කල්හි, “දරුවනි, මවිසින් සියළු ආභරණ සෑයට පුදන ලදී. මාහට ආභරණ නැත”යි පැවසුවාය. ඇයගේ ප්‍රකාශය සිටුපුතාට දැනුම් දුන් කල්හි, “ඇය කැඳවාගෙන එවු. ආභරණ දෙන්නෙමි”යි පැවසීය. සේවකකාරකාදීහු වහා ගොස් ඇය නැවතත් කැඳවාගෙන ආහ. ඇය එම සිටුගෙදරට පිවිසි කල්හිම මුළු ගෙයම සඳුන් සුවඳින් ද නිලුපුල් සුවඳින් ද පිරී ගියේය.
සිටුපුතා “පෙරදී නුඹගේ සිරුරින් මහා දුගඳක් හැමීය. දැන් නුඹගේ සිරුරින් සඳුන් සුවඳ හමයි. මුවින් උපුල්මල් සුවඳ හමයි. මෙයට කරුණු කිම්ද?” යි ඇගෙන් ඇසුවේය. ඇය මුල සිට ම තමා කළ ක්‍රියාව සිටුපුතාට කීවාය. සිටුපුතා “මෙබඳු වූ බුදුසසුන ඒකාන්තයෙන් සසරින් නික්මීම සලසා දෙන්නකි”යි පැහැදී යොදුනක් වූ රන්සෑය කම්බිලි සැට්ටයකින් වටකර ඒ ඒ තැන රිය සකක් පමණ රන් පියුම්වලින් අලංකාර කළේය. එම පියුම්වලින් දොළොසක් අත් එල්බෙයි.
ඔහු මෙසේ පින්දහම් කර, ආයු පමණින් පරලොව ගොස් ඉන් චුතවී බරණැස් නුවරින් යොදුනක් පමණ තැන්හි ඇමති පවුලක උපන්නේය. සිටුදුව දෙලොවින් චුතවූවා එනුවරම රජගෙදර වැඩිමහල් දියණිය ලෙස උපන්නීය.
ඔවුහු වැඩිවියට පත් කල්හි කුමරා වසන ගමෙහි නැකැත් කෙළියට කල් දැන්වීය. ඔහු තම මවු වෙත ගොස් “අම්මේ! මට සලුවක් දෙන්න. නැකැත් ක්‍රීඩාවෙහි යෙදෙන්නෙමි”යි කීවේය. මව පිරිසිදු වස්ත්‍රයක් දුන්නාය. “අම්මේ! මෙය ගොරෝසු සලුවකි”යි පුතු කීවේය. මව තව වස්ත්‍රයක් දුන්නීය. එයද ප්‍රතිෂ්ප විය. තව සිනිදුම වස්ත්‍රයක් දුන් විටද එයද ප්‍රතික්ෂේප විය. මෙවිට මව “දරුව! යම්ගෙයක මා උපන්නී නම් එහි මීට වඩා සිනිඳු වස්ත්‍රයක් ලැබීමට මා පින්කර නැත”යි කීවාය. මවගේ වදන් ඇසූ පුතු, “අම්මේ! එබඳු වස්ත්‍ර ලබන තැනකට යෙමි”යි කියූවිට මෑණියෝ “පුත! නුඹට අද ම බරණැස් නුවර රජකම ලැබේවා’යි මම පතන්නෙමි”යි කීවාය. ඔහු සතුටු සිතින් මවුට වැඳ “මෑණියනි! යමි”යි කියා “පුත! යන්න”යි අවසරය ලබාගෙන, ගෙදරින් පිටවිය. ඔහු “යන්නේ කොතැනද? එහෙ මෙහෙ යම්ද? ගෙදර සිටිම්ද?” ආදී ලෙස විතර්ක කරනුයේ පූර්වකෘත පුණ්යබලයේ මෙහෙයවීමෙන් බරණැසටම පැමිණවූයේය. බරණැස් නුවරට ගොස් මගුල් උයනට පිවිස රාජකීය ගල්තලාවෙහි හිස පටන් පොරවාගෙන නිදාගත්තේය. එදින බරණැස් රජු කළුරිය කිරීමෙන් උදාවූ සත්වැනි දිනයයි.
ඇමතිවරු රජුගේ ශරීරය ආදාහනය කර – සියලු කටයුතු නිමවා; හිඳ සාකච්ඡා කළහ. “රජුට එක් දුවක්ම සිටී. පුත්තු නැත. රජකු නැති රාජ්‍යය නොපවතී. රජවන්නේ කවුද?” “කිම නුඹද?” “කිම නුඹද?” යනුවෙන් කථාකරන්නා වූ ඇමතිවරුන්ට පෙරවි බමුණා මෙසේ කීවේය. “බොහෝ කොට විමසීමෙන් ප්‍රයෝජනයක් නැත. රාජ රථය පිටත්කර හරිමු”යි යනුවෙනි. සියලු දෙන සුදු සෛන්ධව අසුන් යෙදු පංචවිධ කකුධ භාණ්ඩ-සේසත් ආදියෙන් අලංකෘත රථය සරසා එය තනිවම පිටකර හැර, පසුපසින් සංගීත තූර්යභාණ්ඩ ඔසවාගෙන ගියහ. රථය නැගෙනහිර දොරටුවෙන් පිටත්ව උයන දෙසට හැරුණේය. සෙසු ඇමතිවරු “රථය පුරුදු පරිදිම උයනට යන්නේය. එනිසා එය නවත්වමු”යි කීහ. නමුත් පුරෝහිතයා “නවත්වන්න එපා!”යි කීවේය. රථය උයනට පිවිස කුමරු වටා පැදකුණු කර, ඔහු නංවාගැනීමට සූදානම්ව මෙන් සිටියේය. එතැනට පිවිසි පුරෝහිතතුමා කුමරුගේ පොරවාගෙන සිටි පොරෝනාව ඔසවා, පාතලය බලා, “නවතින්න. මේ දිවයිනද දෙදහසක් දිවයින් පිරිවර කරගත් සතරමහා ද්වීපයටම එකම රජුවීමට මොහු සුදුසුයැ”යි ප්‍රීතියෙන් පවසා, “වහා නැවත තූර්ය භාණ්ඩ නාදකරමු” “නැවත ද නාද කරමු”යි කියා තෙවරක් ම තූර්යනාද පැවැත්වීය.
එවිට කුමරු මුව විවෘත කර බලනුයේ “කුමක් නිසා මෙහි ආවේද?”යි පිරිසගෙන් ඇසීය. “දේවයන් වහන්ස! නුඹට රාජ්‍ය පැමිණියේය.” පිරිස කී බස් අසා “නුඹලාගේ රජු කොහි ගියේද?”යි විමසීය. “ස්වාමීනි! දෙව්ලොව ගියේය. “අදට කෙතෙක් දවස් ඉක්ම ගියේද?” “ස්වාමීනි! අද සත්වැනි දවස වේ.” “රජුට පුතෙක් හෝ දුවෙක් හෝ නොසිටියේද?” “දේවයන් වහන්ස! දුවක් පමණක් ඇත. පුතෙකු නැත”යි කී බස් පිළිගෙන “එසේනම් රාජ්‍යය කරමි”යි පැවසුවේය. ඔවුහු එකෙණෙහි ම අභිෂේක මංගල්‍යයක් කරවා, රජදුව සර්ව ආභරණයන්ගෙන් සරසා ගෙනවුත් පාවාදී කුමරු අභිෂේක කළහ.
කරන ලද අභිෂේකෙ ඇති ඔහුට ලක්ෂයක් අගනා වස්ත්‍ර එළවූහ. ඔහු “දරුව! මේ මොනවාද?” යි ඇසීය. “දේවයන් වහන්ස! හඳින වස්ත්‍රයය.” එවිට රජතුමා “දරුව! මේවා අතිශයින් රළු වේ.”යැයි පැවසූ විට “දේවයන් වහන්ස! මිනිසුන් පරිභෝග කරන වත්ර අතර මීට වඩා සිනිඳු වස්ත්‍ර නොමැත”යි සේවකයා කීවේය. “නුඹලාගේ රජතුමා පෙරවූයේ මෙබඳු වස්ත්‍රද?” “එසේය ස්වමීනි!” “නුඹලාගේ රජතුමා පින්වතෙකියි නොසිතමි. රන් කෙණ්ඩියක් ගෙනෙවු. වස්ත්‍ර ලබනෙමි”යි කියූ රජතුමා රන් කෙන්ඩියක් ගෙනැවිත් දුන් කල්හි, එය රැගෙන නැගිට මුව සහ අත්සෝදා පවිත්‍රව, අතින් දියගෙන පෙරදිග දිශාවට ඉස්සේය. එවිට ඝන මහපොළව බිඳගෙන කල්ප වෘක්ෂ අටක් පැන නැංගේය. නැවත දියගෙන දකුණට, බටහිරට, උතුරට යන දිවුදිශාවන්ටම ඉසින ලදී. සියලු දිශාවන්හි අට, අට බැගින් කල්ප වෘක්ෂයෝ දෙතිසක් පහළ වූහ. රජු එක් දිව්‍ය වස්ත්‍රයක් හැඳ, එකක් පොරවාගෙන, “නන්ද රජුගේ විජිතයේ නූල් කටින ස්ත්‍රීහු නොසිටිත්වා!”යි අණබෙර හසුරුවන දැනුම් දෙවා, සෙස්සත් නංවා අලංකාරව සැරසූ ඇතෙකු පිට නැගී නුවරට පිවිස රජ මාලිගාවට පිවිස මහත් රජසිරි වින්දේය
මෙසේ කල්ගතවන විට රජදේවිය, රජුගේ සම්පත් ශ්‍රී විභූතිය දැක “අනේ! තපස්වී කෙනෙකැ”යි කරුණා ඇතිබවක් දැක්වූවාය. “දේවීණි! මේ කිමෙක්ද?” යි ඇසූවිට “දේවයන් වහන්ස! නුඹවහන්සේන්ගේ සම්පත් ඉතා මහත්ය. අතීතයේදී බුදුවරුනට සිත් පහදවා උතුම් පින්කම් නොකළාහුද? දැන් අනාගතය සඳහා පින්දහම් නොකරනෙහිද?”යි කීවාය. එබස් ඇසූ රජු “කාහට දෙමුද? සිල්වතෙක් නැත.” “දේවයන් වහන්ස! මේ ජම්බුද්වීපය රහතුන්ගෙන් ශුන්‍ය නොවේ. එනිසා නුඹවහන්සේ දානය පිළියෙල කරන්න. මම රහතුන්ට ආරාධනා කරමි”යි දේවිය කීවාය. රජු දෙවැනි දින නැගෙනහිර දොර සමීපයේ දන්හලෙහි දානය පිළියෙල කරවීය. දේවිය උදේම නැගිට අටසිල් සමාදන්ව, ප්‍රසාද මතුයෙහි හිඳ පෙරදිග බලාගෙන වැඳහෙව “ඉදින් මේ දිශාවෙහි රහතන් වහන්සේලා වෙත් නම් අපගේ භික්ෂාව පිළිගැනීමට වඩිත්වා!”යි කීවාය. එම දෙස රහතන් වහන්සේලා නොම විසූහ. පිළියෙල කළ දානය දුගී මගී යාචකාදීන්ට පිරිනැමූහ.
දෙවන දින දකුණු ද්වාරයේ එලෙසම දානය පිළියෙල කරවා ආරාධනා කළාය. තෙවන දින බටහිර දෙස ද සිවුවන දින උතුරු දෙසද ඒ ලෙසින්ම දන් පිළියෙල කරවා ආරාධනා කළාය. සිවුවැනි දින දේවිය ආරාධනා කළ කල්හි හිමවත වාසය කළ, පදුමවතියගේ පුතුන් වූ පන්සීයක් පසේ බුදුවරුන්ගෙන් ප්‍රධාන වූ මහාපදුම පසේ බුදුපියාණෝ, තම සොයුරු පසේ බුදුවරු ඇමතූහ. “නිදුකාණනි! නන්ද රජු නුඹවහන්සේලාට දන් පිණිස ආරාධනා කරයි. එම ඇරයුම පිළිගන්නා සේක්වා!” යනුවෙනි. උන්වහන්සේලා එම ඇරයුම පිළිගෙන, එදින අනෝතප්ත විලින් මුව සෝදාගෙන, අහසින් අවුත් උතුරු ද්වාරයෙහි බැස දන්හලෙහි වැඩසිටියහ. මිනිස්සු පැමිණ “දේවයන් වහන්ස! පන්සීයක් පසේබුදුවරු වැඩිසේක”යි රජුට දැන්වූහ.
රජු, දේවිය සමග ගොස් වැඳ පාත්රාගෙන පසේ බුදුවරු ප්‍රාසාදයට වැඩම කරවාගෙන අවුත් මහදන් දී අවසන, රජු ප්‍රධාන පසේ බුදුවරයන් වහන්සේ සමීපයේද අගබිසවු අවසන් පසේබුදුවරයන් වහන්සේ සමීපයේද හිඳගෙන පාමුල වැඳවැටී – “ආර්යයන් වහන්සේලා සිවුපසය නොලැබීමෙන් ක්ලාන්ත නොවීම පිණිසත්, අපිට පිනින් නොපිරිහී සිටීම සඳහාත්, අපගේ දිවි ඇතිතෙක් මෙනුවරම වසන බවට ප්‍රතිඥා දෙත්වා!”යි අයැද සිට, ප්‍රතිඥා ගෙන මගුල් උයනෙහි පන්සීයක් සක්මන් මලුද පන්සල්ද කරවා, සියලු ආකාරයෙන්ම නිවාසාදිය සපයා එහි වාසය කරවූහ.
මෙලෙස කල් ගතවනවිට රජුගේ රාජ්‍යයේ ප්‍රත්‍යන්ත ජනපදයක කැරැල්ලක් ඇතිවිය. රජතුමා “මම ප්‍රත්‍යන්තයේ කැරැල්ල සංසිඳවීමට යමි. නුඹ පසේබුදුවරුන්ට අප්‍රමාදීව සත්කාර කරව”යි දේවියට අවවාද දී සේනාව පිරිවරාගෙන ගියේය. ඔහු ඒමට පෙරම පසේ බුදුවරුන්ගේ ආයු සංස්කාරය නිමාවිය. මහාපදුම බුදුපියාණන් වහන්සේ තුන්යම් රාත්‍රියෙහිම ධ්‍යාන ක්‍රීඩාවෙහි යෙදී සිටි සේක්, එළිය වැටෙන අවස්ථාවෙහි සක්මන්දි පිහිටාධාර වූ ඵලකය ම ආධාර කරගෙන සිටිසේක් අනුපදිසේස නිර්වාණ ධාතුවෙන් පිරිණිවියහ. මේ ක්‍රමයෙන් සෙසු පසේබුදුවරු ද පිරිනිවියහ.
ඊට පසුදින දේවිය උයනට අවුත් පසේ බුදුවරු වැඩසිටින තැන් නැමදීම් ආදිය කරවා, මල් විසුරුවා, සුවඳදුම් දී උන්වහන්සේල්ලාගේ පැමිණීම අපේක්ෂිතව හුන්නී පමාවන හෙයින් පුරුෂයකු කැඳවා, “දරුව! යන්න. ආර්යයන් වහන්සේලාට අපහසුවක් වීද?”යි දැනගෙන එව”යි කියා ඔහු වැඩහිඳින කුටි වෙත යැවීය. ඔහු එහි ගොස් මහාපදුම පසේ බුදුන් වැඩහිඳින කුටියෙහි දොර හැර බලා, එහි නොදැක සක්මන් කරන තැනට ගොස් එල්ඹෙන ඵලකය ආධාර කරගෙන සිටිනු දැක, “උන්වහන්සේ වැඳ, “ස්වාමීනි! දැන් කාලයයි” පැවසීය. පිරිණිවි සිරුර කුමක් පවසන්ද? ඔහු “බුදුන් නිදාසිටී”යැයි සිතා ලගට ගොස් පිටිපය අතින් පිරිමැද එහි සීතල බැවිනුත් – තද බැවිනුත් පිරිනිවි බව දැන රජ ගෙදරට දිව ගියේය. “දරුව! පසේබුදුවරු කොහිද?” විචාළ රජ දේවියට “දේවයනි, උන්වහන්සේලා පිරිනිවියහ”යි පුරුෂයා කීවේය.
එය ඇසූ දේවිය හඬන්නී – වැලපෙන්නී නුවරුන් සමග නික්ම අවුත් රජඋයනට පිවිස ආගමික උත්සවයක් කරවා, සියලු පසේස්බුදුවරුන්ගේ සිරුරු ආදාහනය කරවා, සියලුම ධාතු පිහිටුවා චෛත්‍යයක් කරවූවාය.
රජු ප්‍රත්‍යන්ත ජනපදය සාමයෙහි පවත්වා නුවරට පැමිණෙන කල්හි පෙරගමන් පැමිණි දේවියගෙන්, “කිම සොඳුර! පසේ බුදුවරු කෙරෙහි අප්‍රමාදීව උපස්ථාන කළහිද? උන්වහන්සේලා නිරෝගීව සිටිත්ද?”යි විමසුවේය. ඇය “දේවයන් වහන්ස! උන්වහන්සේලා පිරිනිවියහ”යි පැවසුවාය. එබස් ඇසූ රජතුමා “මෙබඳු වූ මහ පඬිවරුන්ටත් මරණය පැමිණේ. අපට කවර නම් වූ මිදීමක්ද?”යි සිතා නුවරම නොගොස් ම, තම වැඩිමල් පුතු කැඳවා, රාජ්‍ය පවරා දී තෙමේම මහළු පැවිද්දෙන් පැවිදි විය. දේවින්ද “මොහු පැවිදි වූ කළ මා කුමක් කරද?යි පවසා ඒ උයනෙහි දී ම පැවිදි වූවාය. දෙදෙනම ධ්‍යාන වඩා ආයු කෙළවර බඹලොව උපන්හ.
ඔවුහු එහි ම වෙසෙමින් සිට, අපගේ බුදුරජාණන් වහන්සේ ලොව පහල වී උතුම් දම් පැවතුම් සුතුර දෙසා පිළිවෙලින් රජගහනුවරට වැඩම කළ සේක් වේළුවනාරාමයෙහි වැඩවෙසෙන කාලයෙහි; “පිප්ඵලී” නමින් මගධරට මහාතිත්ථ බමුණුගම කපිල බමුණාගේ භාර්යා කුස ද “භද්දකාපිලානි” නමින් මදුරට සාගල නම් නුවර කෝසියගොත්ත බමුණුගේ භාර්යා කුස පිළිසිඳගෙන බිහිව වැඩිවියට පත්වූහ. පිප්ඵලී කුමරුට විසි හවුරුද්දක් හා කාපිලානියට දාසය හවුරුද්දක් වූ කාලයෙහි, පිප්ඵලි කුමරුගේ දෙමාපියෝ “පුත! නුඹ නිසි වයසට පත්වූයෙහිය. කුලවංසය පිහිටුවීමට කටයුතු කරව!”යි කීහ. මෙසේ අතිශයින් කරදර කළහ. තරුණයා, “මගේ කණට ඇසෙන සේ මෙබඳු අමිහිරි කථා නො පවසන්න. නුඹ දෙදෙනා ජීවත්වන තෙක් මම මනාව සළකන්නෙමි. ඉන්පසු ගිහිගේ හැර පැවිදි වෙමි”යි කීවේය. දෙමාපියෝ දින කිහිපයකට පසුව නැවත ඇවිටිලි කළහ. ඔහුද පෙරසේම එය ප්‍රතිකේෂ්ප කළේය. නැවත කියූවත් ප්‍රතිකේෂ්ප විය. ඉන්පසු මව නිතරම ඒ පිළිබඳව ගතු කීමට පටන් ගත්තේය.
තරුණයා, “මගේ මවුට මෙය අවබෝධ කරවමි”යි, රන්කරුවෙකුට රන් ආලේපිත කහවනු දහසක් දී එක් ස්ත්‍රී රූපයක් කරවා – එහි මැදීම්, ගැටීම් නිමවූ කල්හි රතු වස්ත්‍රයක් හන්දවා – වර්ණවත් මලින් ද නානාවිධ වූ අලංකාරයගෙන්ද සරසවා, මවු කැඳවා “මෑණියනි! මෙබඳු කාන්තාවක් ලැබේ නම් ඇය හා විවාහ වී ගෙයි වසමි. නොලැබේ නම් පැවිදි වෙමි” යි කීවේය.
නුවණැති බැමිණිය මෙසේ සිතුවාය. “මගේ පුතා පින්වතෙකි. දුන් දානවලිනුත්, කරන ලද ප්‍රාර්ථනා වලිනුත් පින්දහම් කරන ලද්දේ තනිවම නොවේ. ඒකාන්තයෙන් මොහු සමග පින්කළ තැනැත්තිය රන්රුවක් හා සමාන විය යුතුමය.” බමුණන් අට දෙනෙකු කැඳවා ඔවුන් රිසිසේ සන්තෝෂ කරවා, රන්රුව රථයකට නංවා, “යමු! දරුවනි! යම්තැනක අපට ජාති ගෝත්රාදියෙන් සමාන පවුලක මෙබඳු දැරියක් ඇතිනම් සොයමු. මේ රන් රුවම නුඹලාට ත්‍යාගයක් කොට දෙමි”යි කුමරියක් සෙවීමෙහි යෙදවූවාය.
ඔවුහු “අප දැන් කොතැනක යමුද?” සාකච්ඡා කරන්නේ, “මදුරට නම් ස්ත්රීන්ට ආකාරයකි. එහි යමු”යි මදුරට සාගල නුවරට ගියහ. එහි එක් නානතොටක රන්රුව තබා තුමූ සැගවී හුන්හ. එවිට කාපිලානියගේ කිරිමව, ඇය නහවා සරසා ශ්‍රී යහන් ගබඩාවේ නිදිකරවා, තමා දිය නෑමට එන්නී මේ රුව දුටුවාය. “ආර්යදුව, මා පසුපස මෙහි නැවත පැමිණියා විය යුතුයැ”යි යන සිතෙන්, තර්ජනය කරන්නී – “අකීකරු තැනැත්තිය! නුඹ මෙහි කුමට ආවෙහිද?”යි ගැසීමට අත ඔසවා “වහා ගෙදර යව!”යි වැරෙන් කම්මුලට ගැසුවාය. ඇගේ අත ගලක ගැසුවාක් මෙන් කම්පා විය. පුදුම වූ ඈ මදක් ඉවත්ව බලන්නේ මහත් වූ ගෙල දැක “මෙය ආර්ය දුවයැ”යි මට සිතුණු නමුත් මෙහි මගේ ආර්ය දුවගේ යැයි පැවසීමට සුදුසු වස්ත්‍රයක් වත් නැතැයි කීවාය.
අවට සැඟවී සිටි බමුණෝ රැස්ව – ඇය පිරිවරාගෙන “මේ රුව නුඹගේ ස්වාමිදුව වැනිද?”යි ඇසූහ. එවිට කිරිමව, “මේ කිමිද? මීට වඩා සියදහස් ගුණයකින් මගේ ආර්ය දුව ශෝභාමත් වන්නීය. රූප සම්පන්නය. දොළොස්රියන් ගැබෙක හුන්නී පහන් නොදල්වාම සිය සිරුරේ ශෝභාවෙන් අඳුර දුරු කරන්නීය”යි කීවාය. “එසේනම් ඒ නිවසට යමු” යි පුදපූජා ගෙන රන්රුව ද රථයට නංවාගෙන, කෝසිය ගොන්තගේ ගෙදරට ගොස් ද්වාරයේ සිට පැමිණි බව දන්වා යැවුහ.
බමුණා පිළිසඳර කථාකර, “කොහි සිට ආවෙහිද?” ඇසුවේය. “මගධරට මහාතිත්ථ ගමෙහි කපිල බමුණාගේ ගෙදර සිටයැ”යි කීහ. “කුමක් නිසා මෙහි ආවෙහිද?” “මෙනම් කරුණක් නිසායැ”යි කාරණය දැන්වීය. “දරුවනි! යහපති. සම වූ ජාති ගෝත්‍ර සම්පත් ඇති අපි බමුණෝ වෙමු. දැරිය දෙන්නෙමි”යි ත්‍යාගය ගත්තේය
ඔවුහු කපිල බමුණාට, “දැරියක් ලද්දෙමු. කළයුත්තක් කරන්න”යි හසුනක් යැවූහ. ඔහු හසුන අසා සතුටුව පිප්ඵලි මානවකට ඒ බව දැන්වීය. මානවකයා, “මම නොලැබේ යැයි සිතුවෙමි. මොවුහු දැරියක් ලැබුණු බව කියති. ඇයට මා පැතීමේ අනර්ථ බව දන්වා යවමි”යි රහසිගතව ලිපියක් ලියුවේය. “භද්‍රාවනි! ඔබ තමාට දෑගොල කුත් සමාන වූ තරුණයකු ලබත්වා! මම ගිහිගෙන් නික්ම පැවිදිවෙමි. පසුව විපිළිසර නොවනු මැනවි”යි යනුවෙන් ලියා ඇය වෙත යැවීය. භද්‍රාව ද අසුවලා මාහට යෝජනා කරන ලදැයි දැන රහසිගත වූවා, ලිපියක ලියුවාය. “ආර්ය පුත්‍රය! තමාට දෑකුලගොත් සමාන වූ සුදුසු තරුණියක් ලබත්වා! මම ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි. පසුව විපිළිසර නොවනු මැනවි”යි ලියා පිප්ඵලි තරුණයාට යැවුවාය. ලියුම්කරුවෝ දෙදෙන අතරමගදී හමුවූහ. “මේ කාගේ ලියුමක්ද?” “කාපිලානියගෙන් පිප්ඵලිට යැවෙන්නකි.” “මේ කාගේ ලියුමක්ද?” “පිප්ඵලිගෙන් කාපිලානියට යැවෙන්නකි.” එසේ නම් ලිපි දෙක බලමුයි. බලා “දරුවන් වැඩ බලවු!”යි කියා- එම ලිපි දෙක ඉරා විසිකර, වෙනත් ලිපි දෙකක් ලියා දෙතැනට යැවූහ. මෙලෙස ඔවුන්ගේ නොකැමැත්තෙන්ම එක්වීම සිදුවිය.
විවාහ වූ දිනම පිප්ඵලිද කාපිලානියද මල්දම් දෙකක් ගෙතූහ. ඒවා සයනය මැදින් තබා, රාත්‍රී අහරගෙන, දෙදෙනම “ඇඳට යන්නෙමු”යි පැමිණ තරුණයා දකුණුපසින් ඇඳට නැගේය. භදාව වම්පසින් නැගුණි. මෙසේ කීවාය. “යමෙකුගේ පැත්තෙහි මල්දම මැල වූයේ ද එම සංඥාවෙන් ඔහුට හෝ ඇයට ‘රාග සිතක් පහලවියැ’යි දැනගන්නෙමු. මේ මල්දම නො අල්වමු”යි කීවාය. ඔවුහු “තම ශරීර ඔවුනොවුන් හා ගැටෙති’යි බියෙන් රාත්‍රියෙහි නොනිදාම පහන් කරති. දාවලට ද රාග සිතක් හෝ පහළ නොවෙති. මේ දෙදෙනම ලෞකික ආමිෂයන්හි නොඇලී මෙසේ මවුපියවරු ජීවත්ව සිටින තාක් ‘පවුල’ පිළිබඳව නොවිමසා සිට ඔවුහු මියගිය පසුව තම සම්පත් පිළිබඳව සොයා බැලූහ. විමසූහ. කුමරුගේ සම්පත් ඉතා මහත්ය. එක්දිනක් ශරීරයේ ගා අත්හැර දමන රන් චූර්ණයම මගධ නැළියෙන් දොළොස් ගුණයක් පමණ වේ. යන්ත්‍ර බැඳි වැව් පොකුණු ආදිය සැටකි. කෘෂිකර්මාන්තයෝ දොළොස් යොදුනක් පුරා පැතිර ඇත. අනුරපුරය හා සමාන වූ දාසගම් දාහතරකි. යුධ කරන ඇත්තු තුදුසකි. යුධ අශ්වයෝ තුදුසකි. යුධ රථ තුදුසකි.
එක්දිනක් ඔහු අලංකාරව සැරසූ අසකු පිට නැගී, ජනයා පිරිවරාගෙන කෘෂිකර්මාන්ත කරන තැනට ගොස්, කුඹුරු කෙළවර සිටියේය. නගුලෙන් සිඳින ලද භූමියෙන් නැගුණා වූ ගැඩිවිල් ආදී පණු ජාතීහු කපුටා ආදී කුරුල්ලන් විසින් කනු දුටුවේය. “දරුවනි! මේ කුරුල්ලෝ කුමක් කත්ද?”, “ස්වාමීනි! ගැඩවිල්ලෝය.”මොවුන් කරන පාපය කාහට අයත් වේද?” “ස්වාමීනි! නුඹවහන්සේටම අයිති වේ.” එවිට තරුණයා මෙලෙස සිතුවේය. “ඉදින් මොවුහු කරන ලද පවු මා හටම වේනම් අසූහත් කෙළක් වූ ධනයෙන් මට කවර ප්‍රයෝජනයක්ද? දොළොස් යොදුන් කර්මාන්තයෙන් කවර වැඩක්ද? යන්ත්‍ර බැඳි තඩාග සැටෙන් කවර වැඩක්ද? දාසගම්වලින් කවර ප්‍රයෝජනයක්ද? මේ සියලු සම්පත් කපිලානියට ම පවරා මම පැවිදි වන්නෙමි. ගිහිගෙන් නික්මෙමි”යි. යනුවෙනි.
කාපිලානිය ද මේ මොහොතෙහි නිවසේ මැද මිදුලෙහි තල කළ තුනක් අතුරා – කිරිමවුවරු පිරිවරාගෙන හුන්, තලවල සිටින පණුවන් කන කපුටන් දැක “මෑණියනි! මොවුහු කුමක් කක්ද?”, “ස්වාමි දුවණියනි! පණුවන්ය.” “මොවුන් කරන්නා වූ මේ පාපය කාහට අයත් වේද?” “ස්වාමි දුවණියනි! නුඹටම අයත්වේ” යැයි පැවසූ වදන් අසා “මට රියන් හතරක වස්ත්‍රයක් ද නැළියක් පමණ බත් ද ලැබීම සුදුසුය. මෙපමණ ජනයා විසින් කරන අකුසල් මාහට වේනම් ආත්ම භාව දාහකින්වත් සසර පැවැත්ම නිමකර, හිස එසවීමට මට නොහැකි වේ. මේ සියලුම සම්පත් ආර්ය පුත්‍රයාටම පවරා දී ගිහිගෙන් නික්ම පැවිදි වන්නෙමි.”
මෙවැනිම සිතකින් නිවසට පැමිණි තරුණයා දියනා උතුම් පහයට නැගී, මහත් අනර්ඝ පළඟක හු න්‍ය. ඔහුට යෝග්‍ය වූ භෝජනයක් (සක්විති රජකුට සුදුසු වූ) පිළිගැන්විණි. අඹුසැමි යුවලම ආහාර කිස නිමවා රහසිගත තැනක හුන්හ.
ඉන්පසු තරුණයා “භද්‍රාවෙනි, භද්‍රාවෙනි ! නුඹ මේ ගෙදරට එනවිට කොපමණ ධනයක් රැගෙන ආවේද?”යි ඇසීය. “ආර්ය පුත්‍රය! පනස් පන්දාහක් කරත්තවලින් ධනය රැගෙන ආවෙමි.” “භද්‍රාවෙනි. එම සියලුම ධනයත්, මේ ගෙදර ඇති අසූකෙළක් ධනයත්, යන්ත්‍ර බැඳි සැටක් තඩාගාදී සියලුම සම්පත් නුඹට ම පවරා දෙමි.” තරුණයා කීවේය. “ආර්ය පුත්‍රය! නුඹ ඉන්පසු කුමක් කරන්නේද?” “මම පැවිදි වන්නෙමි”, “ආර්ය පුත්‍රය! මමද නුඹගේ පැමිණීම බලමින් ම මෙහි සිටියෙමි. මමද පැවිදි වන්නෙමි.” මෙසේ ඔවුනොවුන්ට ගිනිගත් කොළසෙවිලි කළා වූ ශාලාවක් මෙන් ත්‍රිවිධ භවයෝ වැටහුනහ. ඒ දෙදෙන වෙළඳසැළකින් කහපැහැති වස්ත්‍ර ද මැටි පාත්‍රා ද ගෙන්වාගෙන, ඔවුනොවුන්ගේ කෙස් බැහැර කරවාගෙන, “ලොව යම් රහත් කෙනෙක් වේනම් ඔවුන් උදෙසා අපගේ පැවිද්ද වේවා!” යි පවසා පැවිදි වූහ. පසුම්බිවල පාත්‍රා දමාගෙන – උරයේ එල්ලාගෙන ප්‍රාසාදයෙන් බැස ගියහ. ගෙදර දැසිකම්කරු කිසිවෙක් ඔවුහු හඳුනා නොගත්හ.
ඔවුහු ඒ බමුණු ගමින් නික්ම දාසගම් දොරින් යනකල්හි පැවැත්ම, විලාශ හා අකාරාදියෙන් දාසගම් වැසියෝ ඒ දෙදෙනා හඳුනාගත්හ. ඒ දෙදෙන පාමුල හඩාවැටෙමින් “ආර්යයෙනි! කිම අපි අනාථ කරවුද?”යි ඇසූහ. “අපි ත්‍රිවිධ භවයම ගිනිගත් කොළසෙවිලි කළ ශාලාවක් මෙන් වැටහී පැවිදි වූයෙමු. ඉදින් නුඹලාගෙන් එක් එක් පුද්ගලයා දාස බවින් මුදවත් නම්, වර්ෂ සීයකුත් ප්‍රමාණවත් නොවේ. නුඹලා ම නුඹලාගේ හිස් සෝදාගෙන දාසකමින් නිදහස් වී ජීවත් වෙවු”යි කියා ඔවුහු හඬද්දී ම පිටත්ව ගියහ.
තෙරුන් වහන්සේ මුලින් ම ගමන් කරමින් පසුපස හැරී බලා මෙසේ සිතුවේය. “මේ භද්රකාපිලානිය, මුළු දඹදිවට ම අගනා ස්ත්‍රියකි. ඇය මා පසුපස පැමිණීම සුදුසු දෙයක් නොවේ. ඇතමෙක් මෙසේ සිතීමටද පුළුවන. “මේ දෙදෙනා පැවිදි වූවත් වෙන්වීමට නොහැකිව නුසුදුසු හැසිරීමක් කරති” යනුවෙන්. ඇතැම්හු මනස දූෂණය කරගෙන ආපාගාමී වෙති. මැය අත්හැර මම තනිව ම යාම සුදුසුය”
ඉදිරියෙන්ම වැඩමකරන තෙරණුවෝ දෙමං සන්ධියකට පැමිණ ඒ මැද නැවතුනහ. භද්‍රාවද පසුපසින් පැමිණ, උන්වහන්සේට වැඳ පසෙකින් සිටියාය. ඉක්බිති ඇයට “භද්‍රාවනි! නුඹ වැනි ස්ත්‍රියක් මා පසුපස එනු දැක, මේ දෙදෙන පැවිදි වුවත් වෙන්වීමට නොහැක්කෝ වෙති” සිතා අප කෙරේ සිත් දූෂිත කරගෙන මහජනයා අපාය පුරවන්නෝ වෙති. මේ පාරවල් දෙකකි. එකකින් ඔබ යනු මැනවි. අනිකින් මම යමියි පැවසූ සේක. භද්‍රාවද “ආර්ය පුත්‍රය! එසේය. පැවිද්දන්ට ස්ත්රියනම් කිලුටකි. පැවිදිවීත් වෙන් නොවෙති”යි ජනයා අපගේ දොස් දකිති. නුඹවහසේ එක් පාරක යන්න. දැන් අපි වෙන්වෙමු”යි තෙවරක්ම පැදකුණු කොට, සිවුතැනක හිඳ පසඟ පිහිටුවා වැඳ, තෙරුන්ගේ දසනිය එක්වී බබලන ඇඟිලි සහිත පාදෙක අල්ලාගෙන – “කල්ප ලක්ෂයක් පමණ වූ දීර්ඝ සංසාරයේ කරන ලද මිත්‍ර කථාබස් ඇති අපගේ සබඳතාව, අදින් පසු බිඳී යයි. නුඹවහන්සේ ‘දක්ඛිණ ජාතික’ නම් වේ. එනිසා නුඹ දකුණු දෙස පාරෙන් යනු මැනවි. මා මාතුගාම නම් වේ. මාහට වම්පස මාර්ගය සුදුසුය”යි මෙසේ පවසා වම් පැත්තෙහි මාර්ගයට බැස ගියාය. ඔවුන්ගේ වෙන්වන වේලාවෙහිදී මේ මහපොළව, “මම සක්වල ගල, මහමෙර ආදිය දරාසිටීමට සමත් වුවත් නුඹලාගේ ගුණමහිමය දරාගැනීමට නොහැකෙමි”යි පවසන්නාක් මෙන් මහහඬින් කම්පා විය. අහස හෙන හඬ දෙමින් සුලං හැමීය. සක්වල පර්වතය ද මහත් නාද පැවැත්වූයේය.
සම්මා සම්බුදුරජාණන් වහන්සේ වේළුවන මහා විහාරයේ ගඳකිළියෙහි වැඩහුන් සේක්, පොළව කම්පාවන ශබ්දය අසා, “කුමක් නිසා පොළව කම්පාවීද?”යි සිහිපත් කර බලන සේක්, “පිප්ඵලි මාණවකයාද භද්රකාපිලානිය ද මා උදෙසා අපමණ සැපසම්පත් හැරදමා පැවිදි වූවාහුය. ඔවුන්ගේ වෙන්වීමේදී දෙදෙනාගේම ගුණ බලයෙන් මහපොළව කම්පිත විය. මා විසිනුදු මොවුන්ට සංග්‍රහ කිරීම සුදුසුය.” යනුවෙන් සිතා වදාරා, ගඳකිළියෙන් නික්ම තමන් වහන්සේ ම පාසිවුරු ගෙන අසූමහා ශ්රාවකාදීන්ගෙන් කිසිවකු නො අමතා, තුන්ගවුවක් පමණ පෙරගමන් කළ සේක. රජගහටද නාලන්දාවටද අතර වූ බහුපුත්තක නම් නුග ගස මුල පළක් බැඳගෙන වැඩහුන් සේක. එසේ වැඩහිඳි සේක්, වෙනත් පාංශු කුලිකාදීන් මෙන් නොව බුද්ධවේෂය ගෙන අසූරියනක් දුර උතුම් බුදුරැස් විහිදුවමින් වැඩහුන් සේක.
මෙලෙස ඒ මොහොතෙහි ඡත්රමය කුඩ, කරත්ත රෝද, කූටාගාර යනාදී ප්‍රමාණවලින් බුදුරැස් දසදිග්හි පැතිරුණාහුය. ඔබනොබ ගමන් කළාහුය. සඳ දාහක් හිරු දාහක් උදාවූ කලක් මෙන් ඒ වනාන්තරය එකම ආලෝකයකින් බැබලුණි. දෙතිස් මහා පුරිස් ලකුණින් හෙබියා වූ බුදුසිරුර අහසේ බබලන තරු සමූහයක් මෙන්ද වනයේ දියපොකුණුවල මැනවින් පිපි නෙලුම්, මානෙල් ආදී පියුම් මෙන්ද බැබලුණි. ශෝභාමත් විය. සාමාන්‍යයෙන් නුගරුකෙහි කඳ සුදුපාට වේ. පත්‍ර නිල්පාට වේ. ගෙඩි රතුපාට වේ. එදින කඳ සහිත සීයක් අතු ඇති නුගරුක රන්වන් පැහැයෙන් බැබලුණි.
මෙසේ මෙම “අද්ධානමග්ග පටිපන්නො” යන පදයාගේ අර්ථ පවසා, දැන් “යම්සේ මෙම කාශ්‍යප තෙරුන් පැවිදි වීද? යම්සේ දිගු මාවතකට එළඹියේ ද?” යන මෙම අර්ථය පහදා දීම සඳහා අභිනීහාරයේ පටන් අනුපිළිවෙල කථාව මෙලෙස දතයුතු වේ.
අන්තරාච රාජගහං අන්තරාච නාලන්දං” යනු රජගහටද නාලන්දාවටද අතර යනුයි. “සත්ථාරඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යං” යනු ඉදින් මම ශාස්තෘන් වහන්සේ දකින්නෙම් නම්, මේ බුද්ධත්වයට පත්වූම භාග්‍යවතුන් වහන්සේ දකින්නෙමි. මෙයින් බැහැර වූ අනික් ශාස්තෘවරයෙක් සිටිය නොහැක. “සුගතඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යං” යනු ඉදින් මම මනා ප්‍රතිපත්තියෙන් මැනවින් ගමන්කළ නිසා සුගත නම් වන සුගතයන් වහන්සේ බලන්නෙම් නම් මේ භාග්‍යවතුන් වහන්සේ බැලිය යුතුයි. මෙයින් වෙනත් සුගතයන් වහන්සේ කෙනෙක් මට නැත. “සම්මා සම්බුද්ධඤ්ච වතාහං පස්සෙය්යං භගවන්තමෙව පස්සෙය්යං” යනු ඉදින් මම යහපත්ව තමාම සත්‍ය අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධ නම් වූ බුදුරදුන් දකින්නේ නම්, මේ භාග්‍යවතුන් වහන්සේ දැකිය යුතු වේ. මේ හැර වෙනත් සම්මා සම්බුදුවරයෙක් මාහට නොමැත. මෙහි අර්ථ මෙසේ දතයුතුයි. මෙලෙස රුව දැකීමෙන්ම “මේ භාග්‍යවතුන් වහන්සේමය. මේ ශාස්තෘන් වහන්සේය. මේ සුගතයන් වහන්සේ ය. මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේමය” යනුවෙන් ඇවැත්නි නිසැකව මාහට එය වැටහුනේය. අවබෝධ විය යන අදහසයි. “සත්ථා මෙ භන්තෙ” මෙම ප්‍රකාශය සූත්‍රයේ දෙවරක් දැක්වුනත් එය තුන්වරක්ම පැවසූ බව සිතාගත යුතුයි. මෙයින් උන්වහන්සේ තෙවරක්ම මෙලෙස “සිය ශ්රාවකත්වය” ප්‍රකාශ කළ බව “ඇවැත්නි” යන්නෙන් දක්වයි.
“අජානංයෙව” යනු නොදනේමය. දෙවන පදයෙහිද මෙම ක්‍රමයමයි. “මුද්ධාපි තස්ස විපතෙය්ය” යනු අන්යයයෙකුට තමා නොදන්නේම දන්නෙමියි ප්‍රතිඥා දෙන බාහිර සමයක ශාස්තෘවරයාටය. “මෙලෙස මුලු හිතින්ම ප්‍රසන්න වූ සිතැති ශ්රාවකයා මෙලෙස අතිශය යටහත් ගෞරව දැක්වීම් කරන්නේ නම් එකෙණෙහි එම ශාස්තෘවරයාගේ හිස, නටුයෙන් ගිලිහුණු තල්ගෙඩියක් මෙන් බෙල්ලෙන් ගිලිහී වැටෙන්නේය. සත්කඩකට පැලෙන්නේය.” යන අර්ථයි. මෙලෙස පැවසූයේ ඇයි? ඉදින් මහාකාශ්‍යප තෙරුන් වහන්සේ දැක්වූ මේ සිත් පැහැදවීමෙන් – මේ අතිශය ගෞරවාදර දැක්වීමෙන් ඉදින් මහමුහුදක් මවන්නේ නම් රත්වූ කබලෙහි දැමූ දිය මෙන් වහා වේලීමට යන්නේය. ඉදින් සක්වලක් මවන්නේ නම් කපුටු තුඩින් පහරදුන් පිටි මිටක් මෙන් සුණුවිසුණු වී යන්නේය. ඉදින් මහපොළවක් මවන්නේ නම් සුලඟින් ගසාගෙන යන අළුමිටක් මෙන් විසිරෙන්නේය. මෙබඳු වූ තෙරුන්ගේ ගෞරව දැක්වීම නිසා ශාස්තෘන් වහන්සේගේ රන්වන් පා මතුපිට එක් රෝමකූපයක්වත් කඩා බිඳ දැමීමට නොහැකි විය. මහාකාශ්‍යප තෙරුන් පසෙක සිටිත්වා. එවැනි මහතෙරවරු දහසකගේ, ලක්ෂයකගේ වුවත් ගෞරව දැක්වීම් ආදියෙන් දසබලයන් වහන්සේගේ පා මතුපිට ඇති රෝමයක්වත් සෙලවීමට හෝ පාංශුකූල සිවුරෙහි අංශුමාත්රයක් සෙලවීමට හෝ සමත් නොවේ. ශාස්තෘන් වහන්සේ මෙලෙසින් අතිශය මහානුභාව සම්පන්න වෙති.
“තස්මාතීහ තෙ කස්සප” යනු යම් හෙයකින් මම දැනගෙනම දනිමියි පවසමි. දකිමින්ම දකිමියි පවසමි. එනිසා කාශ්‍යපය! නුඹ විසින් මෙලෙස හික්මිය යුතුය. “නිබ්බං” යනු ඝන වූ තියුණු වූ මහත් වූ යනුයි. “හිරොත්තප්පං” යනු පාපයට ඇති ලජ්ජාවද බියද යන දෙකයි. “පච්චුපට්ඨිතං භවිස්සති” පළමුවම එළඹ සිටියේ වේ. “යමෙක් වනාහී මහතෙරවරුන් කෙරෙහි ලැජ්ජා බිය උපදවා එළඹෙයිද, තෙරවරුද ලජ්ජා සහිතව, බිය සහිත ඔහු වෙත එළඹයි” යන අර්ථයයි. මෙය මෙහි ඇති ආනිසංසයයි. “කුසලු පසංහිතං” යනු කුසල් ආශ්‍රය කළ යනුයි. “අට්ඨිකත්වා” යනු තමා විසින් ඒ ධර්මයෙන් අර්ථයක්-යහපතක් කොට යනුයි. ඒ ධර්මය හෝ එයින් මට වැඩක් ඇතැයි අර්ථවත් දෙයක් කොට. “මනසිකත්වා” යනු සිතේ තබාගෙනයි. “සබ්බ චෙතසො සමන්නා හරිත්වා” යනු සිතේ මදක්වත් පිටත නික්මීමට නොදෙමින්ය. සියලු අයුරින්ම එක්තැන් වූ සිතින් සිත එක් අරමුණක පිහිටුවා. “ඔහිත සොතො” යනු පිහිටවූ- යොමු කළ කන් ඇතිව යනුයි. ඤාණය නම් වූ කණද පැහැදීම නම් වූ කණ ද යොමුකර – මවිසින් දෙසූ ධර්මය සකසාම අසන්නෙමි” යනුවෙන් නුඹලා හික්මිය යුතුයි. “සාතසහගතා ච මෙ කායගතාසති” යනු අසූහයේ මෙන්ම ආනාපාන සතියේ ද ප්‍රථම ධ්‍යාන වශයෙන් සැපෙන් යුක්ත වූ කායගතා සතියයි. මෙසේ දෙන ලද මේ අවවාද තුනම තෙරුන් වහන්සේගේ පැවිද්ද ද උපසම්පදාව ද විය.
“සාණෝ” යනු කෙලෙස් සහිතව, ණය සහිත වී යනුයි. “රට්ඨ පිණ්ඩං භුඤ්ජි” යනු ශ්‍රද්ධාවෙන් දෙන ලද්ද අනුභව කළෙමි යනුයි. පරිභෝග කිරීම් හතරකි. ථෙය්‍ය පරිභෝගය, ඉණ පරිභෝගය, දායජ්ජ පරිභෝගය, සාමි පරිභෝගය යනුවෙනි. එහි දුස්සීලයාගේ අනුභව කිරීමද පරිභෝගය ද (සඟ මැද හිඳ) ථෙය්‍ය පරිභෝගය නම් වේ. කුමක් නිසාද? ඔහුට සිවුපසයෙහි හිමිකමක් නොමැති බැවිනි. සිල්වතාගේ ප්රත්යවේක්ෂා නොකර පරිභෝග කිරිම, ඉණ පරිභෝගය නම් වේ. සප්ත සේඛ පුද්ගලයන්ගේ සිවුපස පරිභෝජනය දායජ පරිභෝග නම් වේ. රහතන් වහන්සේගේ පරිභෝගය, සාමි පරිභෝග නම් වේ. මෙලෙස රහතන් වහන්සේ ස්වාමියකුව-ණය නැතුව වළඳන්නේ වේ. තෙරුන්වහන්සේ තමා පුහුදුන්ව සිටියදී වැළඳු ආහාරය “ඉණ පරිභෝගය” ලෙස හඳුන්වමින් මෙසේ දෙසූහ. “අට්ඨමියා අඤ්ඤං උදපාදි” යනු අටවැනි දින අර්හත්ඵලයට පත්විය.
අථඛො භගවා මග්ගා ඔක්කම්ම” යනු මාර්ගයෙන් ඉවත්ව යනුයි. පළමුව භාග්‍යවතුන් වහන්සේ හා සමාගමය එදිනම සිදුවිය. රහත්වීම පසුව සිදුවිය. දේශනාවාරයේ මෙසේ පැමිණි බැවින් රහත්වීම පළමුව දක්වන ලදී. කුමක් නිසා බුදුපියාණන් වහන්සේ මාර්ගයෙන් ඉවත්වූ සේක්ද? උන්වහන්සේ මෙබඳු සිතක් පහළවූ බැවිනි. “මෙම භික්ෂුව උපතින්ම ආරඤ්ඤිකංගය සමාදන් වූවෙක්, උපතින්ම පාශුකූලිකයෙක්, උපතින්ම ඒකාසනිකංගය සමාදන් වූවෙක් කරනෙමි”යි යනුවෙන් සිතා මාර්ගයෙන් ඉවත්වූ සේක.
මුදුකා ඛො ත්යායං” යනු (මුදුකා ඛො තෙ අයං) නුඹගේ මේ සිවුර මෘදුය යනුයි. මේ වචනය භාග්‍යවතුන් වහන්සේ නෙලුම් මල් පැහැයෙන් යුතු අතින් සිවුරෙහි අගින් අග පිරිමදිමින් වදාළහ. කුමක් නිසාද? තෙරුන් සමග සිවුරු හුවමාරු කරගනු කැමැත්තෙනි. කුමක් නිසා හුවමාරු කරගැනීමට කැමැත්තක් දැක්වූයේද? තෙරුන් වහන්සේ, කියූ ස්ථානයෙහි තබනු රිසියෙනි. (ශාසනභාරධාරීත්වය පවරණු සඳහායි.) තෙරුන් වහන්සේ කියූ ලෙසම, සිවුරක හෝ පාත්‍රයක ගුණ කී කල්හි “නුඹ මෙය ගන්න”යි යනාදී වදන් පැවසීම චාරිත්‍රයක් මය. එනිසා “පතිගණ්හාතු මෙ භන්තෙ භගවා”යි දෙසූහ. “ධාරෙස්සසි පන මෙ ත්වං කසසප! සාණානි පංසුකූලානි නිබ්බසරානි” යනු කාශ්‍යපය! නුඹ මේ පරිභෝගයෙන් දිරාගිය, පාංශුකූල සිවුර පෙරවීමට හැකියැයි කියයි. එය කාය බලය නිසා නොව ප්‍රතිපත්ති පූරණය සඳහා ම මෙලෙස කියන ලදී. මෙය මෙහි අදහසයි. පුණ්ණා නම් දාසිය විසින් පොරවා අමුසොහොනේ අත්හැර දැමූ මේ සිවුර ඒ සොහොනට පිවිස තිඹක් පමණ පණුවන්ගෙන් ගැවසී තිබියදී ඒ පණුවන් ඉවත්කර මහා ආර්යවංශයෙහි පිහිටා සිට මම පිළිගත්තෙමි. ඒ මම මේ සිවුර ගත් දිනයේ දස දහසක් සක්වල, මහපොලව මහහඬින් නද දෙමින් කම්පා විය. අහසෙහි සුළං හැමීය. සක්වල දේවතාවෝ සාධුකාර දුන්හ. මේ සිවුර ගන්නා වූ භික්ෂුව විසින් උපතින්ම පාංශුකුලිකයෙක්, උපතින් ම ආරඤ්ඤිකයෙක්, උපතින්ම එක් ආසනයක හිඳිනෙක්, උපතින්ම පිඬු පිණිස හැසිරෙන්නක් වීමට සුදුසුය. නුඹ මෙසේ මේ සිවුරට යෝග්‍ය වූ දෙය සිදුකිරීමෙහි සමත්කම් ඇත්තෙකි. තෙරුන් ද තමා ඇතුන් පහකගේ බල දරන්නේ නමුත් ඒ පිළිබඳව තර්ක නොකරම “මම ඒ ප්‍රතිපත්ති පුරනෙමි”යි උත්සාහයෙන් සුගත සිවුරට යෝග්‍ය වූවක්ම කරනු කැමති ව “ධාසෙසාහං භන්තෙ” යනාදිය පැවසීය. “පටිපජ්ජිං” යනු පිළිගන්නෙමි යනුයි.
මෙසේ මේ සිවුරු හුවමාරුව සිදුකර; තෙරුන් මෙතෙක් පෙරවූ සිවුර බුදුපියාණන් වහන්සේ පෙර වූහ. බුදුපියාණන්ගේ සිවුර තෙරුන් පෙරවීය. එසමයේ මහපොළව ජලය සීමා කරගෙන මහහඬින් කම්පා විය.
භගවතො පුත්තො” යනාදියෙහි, තෙරුන් වහන්සේ වනාහී බුදුරජාණන් වහන්සේ නිසාම ආර්ය ජාතියෙහි උපන්නාහයි. “භගවතො පුත්තො” නම් වේ. හදවතේ තිබී මුවින් නික්මුණු අවවාද වශයෙන් පැවිදි උපසම්පදා දෙකෙහි පිහිටි බැවින් – “ඔරසො මුබතො ජාතො” නම් වේ. අවවාද ධර්මතා වශයෙන් උපන් බැවින්, අවවාද ධර්මයෙන් නිර්මිත වූ බැවින් – “ධම්මජෝ ධම්ම නිම්මිතො” නම් වේ. අවවාද ධර්ම දායාදයට නව ලෝකෝත්තර ධර්ම දායාදයටම සුදුසු වේයි “ධම්මදායාදො” නම් වේ. “පටිග්ගහෙතා සාණානි පාංසුකූලානි” යනු ශාස්තෘන් වහන්සේ පෙරවූ පංශුකූල සිවුර පෙරවීම සඳහා පිළිගත් යනුයි.
සම්මාවදමානො වදෙය්ය” යම් අයෙක් භාග්‍යවතුන් වහන්සේගේ “පුතෙකැ”යි යනාදී ගුණයන්ගෙන් යුක්තයැයි කියන්නේ නම් එය මා සඳහාම කියන්නකි. එය සත්‍ය ප්‍රකාශයකි.
මෙපමණකින් කාශ්‍යප තෙරණුවන්ගේ පැවිද්ද පිරිසිදු කරන ලදී. මෙහි අදහස මෙසේ දතයුතුයි. “ඇවැත්නි! යමෙකුට උපාධ්යායවරයෙක් හෝ ආචාර්යවරයෙක් සිටින බවක් නොපැණවේ ද, ඔහු ආචාර්ය උපාධ්යායවරයකු නොමැතිව, නාවන ලද මුණ්ඩකයකුව, තමාම පොරවාගත් කසාවත් ඇතිව, අන්‍ය තීර්ථක පක්ෂ ගත්තෙකුව යන චෝදනා සහිත වූවකුට මෙසේ ලොවුතුරු බුදුරජාණන් වහන්සේගේ තුන්ගවුවක් පමණ පෙරගමන් කිරීම කෙසේ ලැබුණේද? කයින් කය සිවුරු හුවමාරුව කෙසේ ලැබුණේද? මෙනිසා ථුල්ලනන්දා භික්ෂුණියගේ වචනය දුර්භාෂිතයකි. – නපුරු කීමකි”
.මෙසේ පැවිද්ද පිරිසිදු කරවා, දැන් ෂඩ් අභිඥා වශයෙන් සිංහනාද පැවැත්වීමට “අහං ඛො ආවුසො” යනාදිය දෙසූහ. සෙසු පදයන්ගේ අර්ථ පෙර සේම දතයුතුයි.
SN 02-05-12. පරම්මරණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේද බරණැස්නුවර මිගදායෙහි ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. ඉක්බිති, ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන සවස් කාලයෙහි භාවනා ස්ථානයෙහි නැඟී සිටියේ, ආයුෂ්මත් මහාකස්සප ස්ථවිරයන වහන්සේ වෙත පැමිණ, සතුටු විය යුතු සිහිකටයුතු කථා කොට නිමවා, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවු ආයුෂ්මත් ශාරිපුත්‍රයෝ ආයුෂ්මත් මහා කස්සප ස්ථවිරයන්හට මෙසේ කීයේය.
“ඇවැත්නි! කස්සපය, කිමෙක්ද?
සත්වයා මරණින් පසු සිටීද?
ඇවත්නි, සත්වයා මරණින් පසුවෙයි කියා භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණලදී.
කිමෙක්ද ඇවත, සත්වයා මරණින් පසු නොවෙයිද?
සත්වයා මරණින් පසු නොවෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.
කිමෙක්ද? ඇවත සත්වයා මරණින් පසු වන්නේත්, නොවන්නේත් වෙයිද?
ඇවත, සත්වයා මරණින් පසු වන්නේත්, නොවන්නේත් වෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.
කිමෙක්ද ඇවත? සත්වයා මරණින් පසු නොවන්නේත්, නොවනු නොවන්නේත් වෙයිද?
ඇවැත්නි , සත්වයා මරණින් පසු සත්වයෙක් නොවන්නේත්, නොවනු නොවන්නේත් වෙයි යන මෙයද භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.
ඇවැත්නි, කුමක් හෙයින් මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදද?
ඇවත, මෙය වනාහි අර්ථ සහිතවූවක් නොවන්නේය.
මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට පූර්වභාග ප්‍රතිපදාවක් නොවන්නේය.
එසේම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිර්වාණය පිණිසද නොවන්නේය.
ඒ නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් නොවදාරණ ලදී.”
“ඇවැත්නි,
එසේනම් කුමක් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදද?
ඇවැත්නි, මෙය වනාහි දුකයයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
මෙය දුක්ඛ සමුදයයි (දුක් ඇතිවීමේ හේතුවයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
මෙය දුක්ඛ නිරෝධයයි (දුක් නැතිවීමයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
මෙය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයයි (දුක් නැතිකිරීමට ගමන්කළයුතු මාර්ගයයි) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.
ඇවැත්නි, මෙය කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදද?
ඇවැත්නි, මෙය වනාහි අර්ථසහිත වන්නේය.
මාර්ග බ්‍රහ්මචර්‍ය්‍යාවට පූර්වභාග ප්‍රතිපදාව වන්නේය.
එසේම කලකිරීම පිණිසද, නොඇලීම පිණිසද, නිරෝධය පිණිසද, සංසිඳීම පිණිසද, දැනගැනීම පිණිසද, අවබෝධය පිණිසද, නිර්වාණය පිණිසද, වන්නේය.
ඒ නිසා එය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.”
(දොළොස්වෙනි පරම්මරණ සූත්‍රය නිමි.),
[දොළොස්වන සූත්‍රයේ – “තථාගතො” යනු සත්ත්වයායි. “න හෙතං ආවුසො අත්ථ සංහිතං” යනු ඇවැත්නි මේ දෘෂ්ටිය අර්ථයෙන් යුක්ත වූවක් නොවේ. “තාදිබ්රහ්මචරියකං” යනු මාර්ග බ්‍රහ්ම චර්යාවට මුල්වූවක්, පූර්වභාග ප්රතිපදාවක්වත් නොවේ. “එතං ආදි බ්‍රහ්මචරියකං” යනු මෙය මාර්ග බ්‍රහ්මචර්යාවට මූලික වූ ප්‍රතිපදාවකි.]
SN 02-05-13 සද්ධම්ම පතිරූපක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණසේක.
ඉක්බිති, ආයුෂ්මත් මහා කස්සප තවිරයන්තෙ වහන්මසේ භාග්‍යවතුන් වහන්සේ වෙතපැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි,
පෙරදී ශික්ෂාපදයෝ ඉතා ස්වල්ප විය.
එනමුත් බොහෝ භික්ෂූහු රහත් බැව්හි පිහිටියාහුය,
ඊට හේතු කවරේද? ප්‍රත්‍යය කවරේද?
ස්වාමීනි,
දැන් ශික්ෂාපදයෝ බොහෝ වේය.
නමුත් ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටියාහුය,
ඊට හේතුව කවරේද, ප්‍රත්‍යය කවරේද?”
‘කස්සපය,
මෙය වනාහි මෙසේ වෙයි. සත්වයන් ගුණයෙන් පිරිහෙන කල්හි සද්ධර්මය අන්තර්ධාන වන කල්හි ශික්ෂාපද ඉතා බොහෝ වෙත්. ඉතා ස්වල්පවූ භික්ෂූහු රහත්බැව්හි පිහිටත්.
“කස්සපය, යම්තාක් ලෝකයෙහි “සද්ධර්ම ප්රතිරූපකයන් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) නූපදීද, ඒතාක් සද්ධර්මය අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් ලෝකයෙහි සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) උපදීද, එකල්හි සද්ධර්මය අන්තර්ධානය වෙයි.
කස්සපය,
යම්තාක්කල් ජාතරූප ප්‍රතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි නූපදීද, ඒතාක්කල් ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධාන නොවේ. කස්සපය, යම් තැනක පටන් ජාතරූප පතිරූපකයක් (පෙනුමෙන් රත්රන් වැන්නක්) ලෝකයෙහි උපදීද, අනතුරුව ජාතරූපයාගේ (රත්රනයේ) අන්තර්ධානය වෙයි. කස්සපය, මෙසේම වනාහි යම්තාක්කල් සද්ධර්ම ප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි නූපදීද? ඒතාක්කල් සද්ධර්මයාගේ අන්තර්ධානය නොවේ. කස්සපය, යම්තැනක පටන් සද්ධර්මප්‍රතිරූපකයක් (පෙනුමෙන් සද්ධර්මය වැන්නක්) ලෝකයෙහි උපදීද, එකල්හි සද්ධර්මයාගේ අන්තර්ධානය වෙයි.
“කස්සපය, පඨවීධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකරයි. අපොධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. තේජෝධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. වායෝ ධාතුව සද්ධර්මය අන්තර්ධාන නොකෙරෙයි. එතකුදුවුවත් මේ ශාසනයෙහිම ඒ සද්ධර්මය අන්තර්ධාන කරන්නාවූ මෝඩ (හිස්) පුරුෂයෝ උපදිති. කස්සපය, යම්සේ වනාහි නැවක් බඩු පිරවීමෙන්ම කිඳෙයිද, කස්සපය සද්ධර්මය වනාහි එසේ පර්‍ය්‍යාප්ති ප්‍රතිපත්ති පිරීමෙන් අන්තර්ධාන නොවේ.
කස්සපය, සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස අන්තර්ධානවීම පිණිස පවත්නාවූ මේ ධර්මයෝ පස්දෙනෙක් වෙත්.
කවර පසක්ද?
කස්සපය, මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවෝ ශාස්තෲන් කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද,ධර්මය කෙරෙහි ගෞරව නැතිව යටහත් පහත් පැවතුම් නැතිව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද, සමාධිය කෙරෙහි ගෞරව නැතිව, යටහත් පහත් පැවැතුම් නැතිව වාසය කෙරෙත්ද,
කස්සපය මේ කරුණු පස සද්ධර්මය පිරිහෙන්නාවූ සද්ධර්මයාගේ නැතිවීම පිණිස,
අන්තර්ධානවීම පිණිස පවත්නා කරුණු වෙත්.“කස්සපය,
සද්ධර්මයාගේ පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස,
අන්තර්ධාන නොවීම පිණිස කරුණු පසක් වෙත්.
කවර පසක්ද?
කස්සපය,
මේ ශාසනයෙහි භික්ෂු, භික්ෂූණී, උපාසක, උපාසිකාවෝ
ශාස්තෲන්වහන්සේ කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් ඇතිව වාසය කෙරෙත්ද, ධර්මය කෙරෙහි ගෞරව සහිතව යටහත් පහත් පැවතුම් සහිතව වාසය කෙරෙත්ද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද, ශික්ෂාව කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙද්ද සමාධිය කෙරෙහි ගෞරව සහිතව, යටහත් පහත් පැවැතුම් සහිතව වාසය කෙරෙත්ද,
මේ සාසනයේ චිරස්ත්තිය පිණිස ඒ හේතු වේ.කස්සපය මේ ධර්මයෝ පස්දෙන වනාහි සද්ධර්මයාගේ පැවැත්ම පිණිස,
නැති නොවීම පිණිස, අන්තර්ධාන නොවීම පිණිස පවත්නාහුය.
(දහතුන්වෙනි සද්ධම්මපතිරූපක සූත්‍රය නිමි
[“අඤ්ඤාය සණ්ඨහිංසු” යනු රහත්බවෙහි පිහිටියහ යනුයි. “සද්ධම්ම පතිරූපකං” යනු සද්ධර්ම ප්‍රතිරූපක දෙකකි. අධිගම සද්ධර්ම ප්‍රතිරූපකය සහ පර්යාප්ති සද්ධර්ම ප්‍රතිරූපකය යන දෙකයි. එහි
ඔභාසෙ චෙව ඥාණෙච පීතියාච විකම්පති
පස්සද්ධියා සුඛෙචෙව යෙහි චිත්තං පවෙදති
අධිමොක්ඛෙ ච පග්ගාහෙ උපට්ඨා නෙ විකම්පති
උපෙක්ඛා වජ්ජනෙ චෙව උපෙක්ඛාය නිකන්තියා
ඉමානි දසඨානානි පඤ්ඤා යස්සපරීචිතා
ස තත්ථ කුසලො හොති නච සම්මොහං ගච්ඡති
ආලෝකයෙහිද ඤාණයෙහි ද ප්‍රීතියෙහිද විශේෂයෙන් කම්පා වෙයි.
ශාන්ත බවෙහි ද සැපයෙහි ද යමෙකුගේ සිත කම්පාවෙයි.”
සිතේ ස්ථිරත්වයෙහිද උත්සාහයෙහිද උපස්ථානයෙහිද කම්පා වේ.
උපේක්ෂා ආවර්ජනයෙහි මෙන් ම උපේක්ෂාවෙහිද බලවත් ආශා ඇතිව”
යමෙකුගේ ප්‍රඥාව මේ දසතැන්හි පුරුදු කරන ලද ද
ඔහුට ඉන් කුසලයක්ම (දියුණුවක්ම) වේ. මුලාවට පත් නොවේ.”
ම විදර්ශනා ඤාණයේ කිලුටු ඇතිවීම -හටගැනීම “අධිගම සද්ධර්ම ප්‍රතිරූපය” නම් වේ. ත්‍රිවිධ සංගායනාවන්හි නොනගන ලද ධාතුකථා, ආරම්මණ කථා, අසුභ කථා, ඤාණවත්ථු කථා, විජ්ජාකදම්බක යන කථාවස්තු පහද වෙනත් (අභයගිරිකාදී) සමයන්හි වූ ගුල්හවිනය, ගුල්හ වෙස්සන්තර, ගුල්හ මහෝසධ, වණ්ණ පිටක ය, අංගුලිමාල පිටකය, රට්ඨපාල ගජ්ජිතය, ආළවක ගජ්ජිතය, වෙතුල්ල (වේදල්ල) පිටකය යන බුදුවදන් නො වූ කොටස් පර්යාප්ති සද්ධර්ම ප්‍රතිරූපක නම් වේ.
ජාතරූප පතිරූපකං” යනු රන්රසය විඳින ලද (ආලේප කරන ලද) පිත්තල වූ රන්වන් ආභරණවල ඇතිවීමයි. උත්සව කාලයේදී මිනිස්සු “ආභරණාදී භාණ්ඩ ගනෙමු”යි වෙළඳසැල්වලට යති. ඔවුන්ට වෙළඳසැල් හිමියෝ මෙසේ කියති. “ඉදින් ඔබලාට ආභරණ අවශ්‍ය නම් මේවා ගන්න. මෙම ආභරණ ඝන වූයේත්, වර්ණවත් වූයේත් වේ. වටිනාකම අඩුවේ.” ඔවුහු එය අසා කරුණු සලකා බලා මෙසේ කැමති වෙති. “අලංකාර වූ අඩු මිලට ගතහැකි වූ මේ ආභරණ පැළඳ නැකැත් ක්‍රීඩා කළ හැකිය” යනුවෙන් සිතා ඒවා ගෙන යති. නොවිකිණිය හැකි (වැඩිමිල) රන්බඩු සඟවා තබන ලද්දේම වේ. මෙසේ ඒ රන් ආභරණ වැනි වූම ආභරණ ඇතිවූ කල්හි, එම රන් ආභරණ අතුරුදහන් වීම සිදුවේ.
“අථ සද්ධම්මස්ස අන්තරධානං හොති” යනු අධිගම සද්ධර්මයයි.
ප්‍රතිපත්ති සද්ධර්මය හා පර්යාප්ති සද්ධර්මය යනු ත්‍රිවිධ සද්ධර්මයන්ගේ ම අතුරුදහන් වීම සිදුවේ.
රථම සම්බෝධියෙහි (බුද්ධත්වයට පත්වූ අලුත) භික්ෂුන් සිවුපිළිසිඹියාපත් වූහ. ඉක්බිති කල්ගත වනවිට සිවුපිළිසිඹියාපත් වීමට නොහැකිව ෂඩ් අභිඤ්ඤා ඇත්තෝ වූහ. ඒ සඳහා ද අසමත් වූ පසුකාලීන භික්ෂූහු ත්‍රිවිද්‍යා උපදවාගත්හ. දිගුකලකට පසු ඊට ද අසමත් වූ බැවින් ආසවක්ඛය ඤාණය පමණක්ම ලබාගැනීමට දක්ෂ වූහ. එයද නොහැකි වූ කාලයෙහි අනාගාමී ඵලය පමණක් විය. අනාගාමී වීමට නොහැකි වූ විට සකදාගාමී ඵලයට පත්වූහ. ඊටද අසමත් වූවෝ සෝවාන් ඵලයට පත්වූහ. කාලයක් යනවිට සෝවාන් වීමටද නොහැකි වේ. ඉන්පසුව විදර්ශනාව, මෙම කෙලෙස් ධර්මයන්ගෙන් කිලුටුවීමෙන් පටන්ගත් තැනම නතරවේද එකල්හි අධිගම සද්ධර්මය අතුරුදහන් වූයේ වේ.
රථම බෝධියෙහි සිටි භික්ෂුහු සිවුපිළිසිඹියාපත් වීමට සුදුසු වූ පිළිවෙත් සම්පූර්ණ කළහ. කල් ගතවනවිට ඊට අසමත් වූ භික්ෂූහු ෂඩ් අභිඥාවන් සඳහා ද එයද නොහැකි වූ විට ත්‍රිවිද්‍යාව සඳහාද පිළිවෙත් පිරූහ. එයටද අසමත් වූ විට අර්හත් ඵලය සඳහා පමණක් ගැලපෙන පිළිවෙත් පිරූහ. පසුව අනාගාමී ඵලයට යෝග්‍ය පිළිවෙත් පිරූහ. එයට අසමත් වූ කල්හි සකදාගාමී ඵලයට ද ඉන්පසුව සෝවාන් ඵලයට ද යෝග්‍ය වූ පිළිවෙත් සම්පූර්ණ කළහ. යම්කලෙක සෝවාන් වන පිළිවෙත් පිරීමටද නොහැකි වූයේද එවිට ශීල පාරිශුද්ධිය පමණක් ම පවතින්ය. මෙවිට ප්‍රතිපත්ති සද්ධර්මය අතුරුදහන් වූයේ වේ.
යම්තාක් කල් ත්‍රිපිටක බුද්ධවචනය පවතින්ද ඒතාක් කල් බුදුසසුන අතුරුදහන් වූයේ යැයි පැවසීම නුසුදුසුය. ත්‍රිපිටකය තිබියේවා. අභිධර්ම පිටකය අතුරුදහන්ව සෙසු දෙපිටකය පවතියිද සසුන අතුරුදහන් වීයැයි නොකිව යුතුයි. විනය පිටකය පමණක් තිබියදීත් එසේ කිව නොහැක. එහිද ඛන්ධක-පරිවාර දෙක අතුරුදහන්ව උභතො විභංගය පමණක් ඉතිරි වූ විටද, මහාවිනය අතුරුදහන්ව ප්රාතිමෝක්ෂය පමණක් පවත්නා විට ද සසුන අතුරුදහන් වූයේයැ”යි පැවසීම නුසුදුසුය.
යම්කලෙක උභය ප්රාතිමෝක්ෂය අතුරුදහන් වන්නේද එකල්හි පර්යාප්ති සද්ධර්මය අතුරුදහන් වේ. එය අතුරුදහන් වූ කල්හි ම සසුන අතුරුදහන් වූයේ වේ. පර්යාප්තිය අතුරුදහන් වීමේ හේතුවෙන් අධිගමය අතුරුදහන් වේ. ප්‍රතිපත්තිය අතුරුදහන් වීමෙන් අධිගමය අතුරුදහන් වේ. කුමන කරුණක් නිසාද?අධිගමය වනාහී පර්යාප්තියටද ප්‍රතිපත්තියට ද හේතු වූ බැවිනි. ප්‍රතිපත්තිය අධිගමයට ද හේතුවේ. මෙසේ ප්රතිපත්තියද පර්යාප්තියේ ම ප්‍රමාණය වේයැයි දතයුතුයි.
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි “කපිල” නම් අනාරාධිත භික්ෂුවක් “ප්රාතිමෝක්ෂය දේශනා කරමි”යි විජිනිපත ගෙන අසුනේ හුන්නාහු නොවෙත්ද? පිරිසේ වූවෙක් “මෙහි පැවැත්මක් ඇද්ද?”යි විචාළවිට ඔහුට බිය වූ භික්ෂුව “යමක් ප්රාතිමෝක්ෂයේ පවතී ද ඒවා අපි ළඟ පවතිමු”යි නොපවසා “නොපවතිමු”යි කීවේය. උන්වහන්සේ විජිනිපත තබා අසුනින් නැගිට ගියේය. එනිසා එම සම්මා සම්බුදුරජුන්ගේ සසුන පසුබැස්සේය. පසුබැස පිරිහීගිය නමුත් ඒකාන්තයෙන්ම පර්යාප්තිය ප්‍රමාණවත් වේ. “මහාතඩාගයක ස්ථිර වූ ඉවුරු ඇති කල්හි ජලය නොසිටී යැයි නොකිව යුතුයි. ජලය ඇති කල්හි පියුම් ආදී මල් නොපිපේ යැයි නොකිව යුතුයි.
මේ ලෙසින් ම මහා තඩාගයේ ස්ථිර වූ ඉවුර, ත්‍රිපිටක බුදුවදනට සමානය. එය පවතින කල්හි මහා තඩාගයේ ජලය හා සමාන වූ පිළිවෙත් පුරන කුලපුත්තු නැතැයි නොකිව යුතුයි. ඔවුහු සිටින කල්හි මහා තඩාගයේ පියුම් පිපෙන්නාක් මෙන් සෝවාන් ආදී මාර්ගඵල ලද ආර්යයෝ නැතැයි නොකිව යුතුයි. මෙලෙස ඒකාන්ත වූ පර්යාප්තියට ම මෙය ප්‍රමාණවත් වේ.
“පඨවිධාතු” යනු දෙලක්ෂ හතලිස් නහුතයකටත් වඩා ඝන වූ මහපොළවයි. “ආපො ධාතු” යනු පෘථිවියේ සිට සුභකිණ්ණ බ්‍රහ්ම ලෝකය දක්වා නැගෙන කල්පය විනාශ කරන ජලයයි. “තෙජො ධාතු” යනු පොළව පටන් ආභස්සර බඹලොව දක්වා නැගෙන කල්ප විනාශ කරන ගින්නයි. “වායො ධාතු” යනු පොළවේ සිට වේහප්ඵල බඹලොව දක්වා කල්පය විනාශ කරන වායුවයි. මේවා එකකින්වත් ශාස්තෘ ශාසනය (බුදුසසුන) වැනසිය නොහැක. අතුරුදහන් කළ නොහැක. එනිසා මෙසේ වදාළහ. “ඉධෙව තෙ උප්පජ්ජන්ති” යනු ලෝභයෙන්ම ඉපදී ලෝභයම කාදමන මලකඩ මෙන්, මොවුහු මගේ සසුනෙහි ම උපදිති යනුයි. “මොඝ පුරිසා” යනු හිස් පුරුෂයෝය.
“ආදිකෙනෙව ඔපිලවතී” මෙහි “ආදිකෙන” යනු දැඩිව ගැනීමෙන්ය. අල්ලා ගැනීමෙන්ය. “ඔපිලවතී” යනු කිමිදෙයි යනුයි. මෙය කියන ලදී. ජලයේ හැසිරෙන නැව වැඩිපුර බඩු පටවනුයේ නම් ගිලෙයි. කිමිදෙයි. එලෙසින්ම පර්යාප්ති ආදිය පිරිහී යාමෙන් සද්ධර්මයේ අතුරුදහන් වීමක් සිදු නොවේ. පර්යාප්තිය පිරිහීමෙන් ප්‍රතිපත්තිය පිරිහේ. ප්‍රතිපත්තිය පිරිහීමෙන් අධිගමය පිරිහේ. පර්යාප්තිය පුරන්නා වූ පර්යාප්තිධර පුද්ගලයෝ ප්‍රතිපත්තිය ම පුරවති. ප්‍රතිපත්තිය සම්පූර්ණ කරන්නෝ අධිගමය සම්පූර්ණ කරති. මෙසේ නවසඳක් මෙන් පර්යාප්ති ආදියෙන් වැඩෙන්නා වූ මගේ සසුන වර්ධනය වන්නේ ම යැයි දක්වයි.
දැන් යම් කරුණකින් සද්ධර්මය අතුරුදහන් නොවී පවතිද්ද, ස්ථිරව පවතිද්ද එය දක්වන සේක්, “පඤ්චඛො” යනාදිය දෙසූහ. එහි “ඔක්කමණියා” යනු ඉවත්වීමට, පිරිහීමට, පහතට යෑමට යන අර්ථයි. “සත්ථරි අගාරවා” යනාදියෙහි “අගාරවා” යනු ගෞරව රහිතවය. “අප්පතිස්සා” යනු අකීකරුව, පහත් පැවතුම් ඇතිව යනුයි.
එහි යමෙක් චෛත්යංගණයට නැගෙමින් කුඩ පාවහන් රැගෙන ම යයි ද අනිකකු දෙස බලාගෙන කථාකරමින් ම යයිද මෙය ශාස්තෘන් වහන්සේට කරන අගෞරවයකි.
යමෙක් ධර්මශ්රවණය සඳහා ඝෝෂා කළ කල්හි ළදරු සාමණේරවරු පිරිවරාගෙන හිඳීම හෝ වෙනත් නව කර්මාන්තාදියෙහි නියුක්තව හිඳියිද බණ අසන පිරිස් කෙළවර හිඳියි ද එතැනට ගොස් නිදාගනියි ද වික්ෂිප්ත වූ සිත් ඇතිව සිටියිද බණ අසන අන්‍යයන් සමග කථාකරයි ද මෙම අකීකරු ක්‍රියාවන් ධර්මයට කළ අගෞරව නම් වේ.
යමෙක් තෙරවරුන්ට උපස්ථාන කිරීමට ගොස් නොවැඳ හිඳියි. අත්බැඳගෙන හිඳියි. රෙදි බැඳගෙන හිඳියි. අන්‍යයන්ටද අත්පා වලින් කුකුස් ඇතිකරයි. වැඩිහිටියන් සමීපයේදී අනාරාධිතව කථා කරයි. මෙය “සංඝ අගෞරවය” නම් වේ.
ත්‍රිවිධ ශික්ෂා සම්පූර්ණ නොකිරීම “ශික්ෂා අගෞරවය” නම් වේ. අෂ්ට සමාපත්තී නූපදවීම හා ඊට උත්සාහ නොකිරීම සමාධියට කරන ලද අගෞරවයකි. මේ දැක්වූ විවරණයන්හි යහපත් පැත්ත මෙම පදයන්ගේ අර්ථ විරුද්ධ අතට පෙරලීමෙන් ම දතයුතුයි.