SINHALA TIPITAKA

SN 02-04-01


Listen Later

මේ ධර්ම විනයේ ඇත්තේ බිහිසුණු දුක් පීඩා ඇති මේ මැරෙන උපදින සංසාර වළල්ලෙන් ගැලවී සැනසීම ලබන්නට අප කල යුතු දේය. අනුගමනය කලයුතු ක්‍රමවේදය ය. කුසගිනි නැති සතෙකුට් මොන තරම් ප්‍රනීත කෑමක් ලැබුනත් කන්නට හිතන්නේ නැත. ඒ බඩගිනි නැති නිසාය. සංසාරය කුමක්දැයි නොදන්නා යලි ඉපදෙන බව විස්වාස නොකරන මුග්ධ මනුෂ්‍යා නොදන්නා සසරකින් ගැලවෙන්නට හිතන්නේ නැත. මේ අනමතග්ග වග්ගයේ සුත්‍ර වල ඇත්තේ සසර ඇති අමිහිරි බව. අප විඳින දුක් ගැන කියාදී “සංසාර බය”ක් ඇතිකරවන්නටය. පහත ඇති පුජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමිකල දේසනාව පළමුව අසා මේ වග්ගයේ සුත්‍ර කියවා මේ සසරේ භය දැක ඉන් ගැලවෙන්නට වෙර දරත්වා!!

SN 02-04-01-01 තිණකට්ඨ සූත්‍ර.
SN 02-04-01-02 පඨවි සූත්‍රය
SN 02-04-01-03 අස්සු සූත්‍රය
SN 02-04-01-04 ඛීර සූත්‍රය
SN 02-04-01-05 පබ්බත සූත්‍රය
SN 02-04-01-06 සාසප සූත්‍රය
SN 02-04-01-07 සාවක සූත්‍රය
SN 02-04-01-08 ගංගා සූත්‍රය
SN 02-04-01-09 දණ්ඩ සූත්‍රය
SN 02-04-01-10 පුග්ගල සූත්‍රය

SN 02-04-01 පඨම වග්ගය

SN 02-04-01-01 තිණකට්ඨ සූත්‍ර

මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන්වහන්සේ මෙම සුත්‍ර ධර්මය වදාළසේක.

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසී තණ්හාවෙන් බැඳී
සසර එහෙ මෙහෙ සැරිසරන්නාවූ සත්වයන්ගේ
සංසාරයේ අගක් කෙළවරක් නොපෙනෙන්නේය.
මුලක් පටන් ගත් තැනක් නොපෙනෙන්නේය.

“මහණෙනි,
යම් මිනිසෙක් මේ දඹදිව ඇති යම්තාක් තණ, ලී දඬු, අතු සහ කොළ, සියල්ල කපා එක් තැනකට, රැස්කොට සතරඟුල් සතරඟුල් කෑලිවලට කපා ‘මේ මාගේ මවය., මේ මාගේ මවුගේ මවය’යි කියා වෙන් වෙන්කොට ලේබල් ගසා තබන්නේද. මහණෙනි, ඒ පුරුෂයාගේ මවුගේ නමින් නම් කල ලී කෑලි අවසන් නොවෙත්. එහෙත් මේ දඹදිව තණ, ලී දඬු, අතු, කොළ, කෙළවර වන්නේය. අවසාන වන්නේය.
ඊට හේතුව කවරේද?

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසුනු තණ්හාවෙන් බැඳුණු සසර ඇවිදින්නාවූ, සසර සැරිසරන්නාවූ සත්වයාගේ මේ සංසාරයේ අන්තිම කෙළවරක් ඔහුට දැක්ක නොහැක, පූර්ව කෙළවරක්ද ඔහු නොදකී.

මහණෙනි, මෙසේ තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී සොහොන් බිම පුරවන ලදී.

‘මහණෙනි,
මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමම සුදුසුය.
නො ඇලීමට සුදුසුමය.
ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(පළමුවෙනි තිණකට්ඨ සූත්‍රය නිමි.)

ආදීනව දැකීම් වශයෙන්, කාමයන් කෙරෙන් හා භවයන් කෙරෙන් නික්මීම් වශයෙන් උපදනා වූ සම්බෝධියට නැමුණු – බරවුණු අලෝභ ප්‍රධාන කුශල චිත්තය නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවය. මෙහි නික්මීම යනු ඇල්ම ගරු කොට බැහැර කිරීමය. තමා හෝ කාමයන් ගෙන් හා භවයන් ගෙන් ඈත් වීමය. ආලය අත හැරීම් මාත්‍රය ම කාමයන් බැහැර කිරීමය. කාමයන්ගෙන් බැහැර වීම ද වේ. චරියා පිටක අටුවාවෙහි මහාබෝධි පාරමිතා ව පමණක් දැක්වීම් වශයෙන්,
“කරුණුපාය කොසල්ල පරිග්ගහිතො ආදීනව දස්සන පුබ්බංගමො කාමභවෙහි නික්ඛමණ චිත්තුප්පාදො නෙක්ඛම්ම පාරමිතා.”
යනු කීහ. කරුණාවෙන් හා උපා දන්නා නුවණින් හාත්පසින් ගන්නා ලද – ආරක්ෂා කරන ලද ආදීනවය දැකීම් පෙරටු කොට ඇත්තා වූ කාමයන් කෙරෙන් හා භවයෙන් නික්මෙන්නා වූ චිත්තෝත්පාදය නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවය යනු එහි තේරුමයි. LINK

අනමතග්ගො” යනු නොදත් අග ඇති යනුයි. (අනු + අමතග්ග = අනමතග්ග) වර්ෂ සීයක්, දාහක් ඤාණයෙන් ලුහුබැඳ ගියත් සසර කෙළවරක් අන්තිමවන දිනක් , අගක් දැනගත නොහැක. එහෙන්, මෙහෙන් හෝ අගක්-මුලක් දැනගත නොහැකි ‘සීමා රහිත පූර්ව හා අපර කෙළවර ඇති’ යන අර්ථයි. “සංසාරො” යනු ස්කන්ධාදියේ නොසිඳීමෙන් පවත්නා පිළිවෙලයි.

 “පුබ්බා කොටි න පඤ්ඤායති” යනු පූර්ව සීමාව නොපෙනේ යනුයි. යම් අගක පූර්ව කෙළවර නොපෙනේද පසුවද ඒ අගම නොපෙනේ. සත්වයෝ මධ්‍යයෙහිම හැසිරෙති. “පරියාදානං ගච්ඡෙය්‍ය” මේ උපමාව කුඩා බැවින් කියන ලදී. වෙනත් සමයන්හි අර්ථය කුඩා වී උපමාව මහත් වේ. “මේ ගොනා ඇතා මෙනි” “මේ ඌරා ගොනා මෙනි” “මේ වැව සමුද්‍රය මෙනි” මෙම උපමා කී කල්හි ඒවා එකම ප්‍රමාණ නොවේ. බුදුසමයෙහි උපමාව කුඩාවේ. අර්ථය ඉතා මහත්ය. පෙළෙහි එක් ජම්බුද්වීපයක් ගන්නා ලදී. මෙබඳු ජම්බුද්වීප සීයක්, දාහක්, ලක්‍ෂයක් වුවත් ගෙන ඒවායේ ඇති තෘණ ආදී සියල්ල විනාශ කළත් පුරුෂයාගේ මව, මවුවරු නොවෙති. (මාතු මාතරෝ) “දුක්ඛං පච්චනුභූතං” යනු නුඹලා විසින් දුක් විඳින ලදී. “තිබ්බං” යනු තියුණු දුකටම තවත් වදනකි. “බ්‍යසතං” යනු ඥාති ව්‍යසන වශයෙන් නන්වැදෑරුම් වේ. “කටසී” යනු සොහොන්බිමයි. නැතිනම් මහ පොළවමයි. එය නැවත නැවත මැරෙනවුන්ගේ ශරීර දැමීමෙන්ම වැඩෙන්නකි. “අලමෙව” යනු සුදුසුමය.

සංස්කාර නම් ලෞකික කුශල කර්ම හා අකුශල කර්මය; හෙවත් ලෞකික කුශලාකුශල සිත්හි යෙදෙන චේතනා චෛතසික්යි. ශංඛාර ශබ්දයෙහි නොයෙක් අර්ථ ඇත්තේය. ඒ බොහෝ අර්ථ අතුරින් මෙහි දැක්වෙන්නේ  පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර, ආනෙඤ්ජාභිසංඛාර යන තුනයි. පුඤ්ඤාභිසංඛාර නම් කාමාවචර කුශල චේතනා අට ද, රූපාවචර කුශල චේතනා පස ද යන තෙලෙස් කුශල චේතනා ය. අපුඤ්ඤාභිසංඛාර නම් අකුශල චේතනා දොළොස ය. ආනෙඤ්ජාභිසංඛාර නම් අරූපාවචර කුශල චේතනා සතරය.

මෙය ම කායසංඛාර, වචීසංඛාර, මනොසංඛාර යයි තුන් කොටසකට බෙදේ. කායද්වාරයෙහි පැවැති කුශලා කුශල චේතනා කායසංඛාරය – එනම් කාමාවචර කුසල චේතනා අට ද අකුසල චේතනා දොළොස ද යන කුසලාකුසල විස්ස ය. වාග් ද්වාරයෙහි පැවති කුශලාකුශල චේතනා වචී සංඛාරය. එනම් යට දැක්වුණු විස්සම ය. මනොද්වාරයෙහි පැවැති කුශලාකුශල චේතනා මනොසංඛාරය. එනම් කාමාවචර කුශල චේතනා අට ද, අකුශල චේතනා දොළොස ද, රූපාවචර අරූපාවචර කුසල චේතනා නවය ද යන එකුන් තිස් චේතනා යි.

චේතනාව කර්මය යි කියනු ලැබේ. එය ම මෙහි සංස්කාර යයි කියන ලද්දේ ය. මතු විපාක ලැබෙන පරිදි සංස්කරණය කැරෙන බැවිනි. “කම්මං ඛෙත්තං” – කර්මය කුඹුර ය. එය සකස් වුණු පමණින් රෝපිත බීජයෙන් ඉෂ්ට හෝ අනිෂ්ට ඵල ලැබේ.

SN 02-04-01-02 පඨවි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම සුත්‍ර ධර්මය වදාළසේක.

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී,
ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ට
සංසාරය අග කෙළවරක් නැත්තේය.
අග කෙළවරක් නොදක්නේය.
මුල් කොනත් නොපෙනෙන්නේය.

“මහණෙනි,
යම් පුරුෂයෙක් මේ මුළු මහත් පොළොවේ පස් එක් කොට ගෙන ඩෙබර ඇට ඩෙබර ඇට පමණට ගුළිකොට,
“මේ මාගේ පියාය, මේ ඔහුගේ පියායයි”
කියා එක් තැනක තබන්නේද , මහණෙනි, ඒ පුරුෂයාගේ සසරේ පියවරු කෙළවර නොවන්නේය. එහෙත් මේ මහ පොළොවේ පස් කෙළවර වන්නේය. අවසාන වන්නේය.
ඊට හේතුව කවරේද?

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, සසරේ එහෙ මෙහෙ ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරයේ අගක් නොපෙනේ. පටන් ගත තැනක් නොපෙනේ. එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් කල්ප ගණනක් දුක්ම අනුභව කරන ලදී. දැඩි දුක්ම අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී.

“මහණෙනි,
මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය.
නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(දෙවෙනි පඨවි ධාතු සූත්‍රය නිමි.)

අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාර වන්නේ කෙසේ ද? 
පැවැත්මට හෝ නිපැත්මට උපකාර වන ධර්ම ප්‍රත්‍යය බව යට කියන ලදි. මෙහි අවිද්‍යාව සංස්කාරයන්ට උපකාර වන්නේ පැවැත්මට ය. නිපැත්මට නො වේ. අවිද්‍යායෙන් සංස්කාර උපදින්නේය යි අර්ථ නො ගත යුතු. අවිද්‍යාව ඇති බව හේතු කොටැ ගෙන සත්ත්‍වයන් විසින් කරනු ලබන යහපත හේ අයහපත සංස්කාර හෙවත් කර්ම වන්නේය යි අර්ථ ගත යුතු. ව්‍යතිරෙක ක්‍රමය බලනු. අවිද්‍යාව නැත්නම් සංස්කාර ද නො වන්නේ ය. රහතන්ට අවිද්‍යාව නැත. එ බැවින් රහතන් විසින් කරනු ලබන යහපත වේවා, අයහපත වේවා, සංස්කාර හෙවත් කර්ම නො වන්නේ ය. එබැවින් ම එය ක්‍රියා යයි කියනු ලැබේ.

අවිද්‍යාව එකාන්ත අකුශලයෙක. සංස්කාර කුශල වූයේ ද ඇත. අකුශල වූයේ ද ඇත. අවිද්‍යායෙන් අපුඤ්ඤාභිසංඛාර සංඛ්‍යාත අකුසල වේවා, කොසඹ බීජයෙන් කොසොඹ පැල හටගනීවා, අවිද්‍යායෙන් පුඤ්ඤාභිසංඛාර ආනෙඤ්ජාභිසංඛාර සංඛ්‍යාත කුසල කෙසේ වන්නේ ද? කොසොඹ බීජයෙන් උක් හෝ මුද්‍රික හෝ හටගත හැකි ද? යනු ප්‍රශ්නයෙකි. ඵලය හේතුවට සමාන ම විය යුතුය යන නියමයෙක් ලෝකයෙහි නැත. හේතුවට විරුද්ධ වූ ද අවිරුද්ධ වූ ද සමාන වූ ද අසමාන වූ ද ඵල ඇත්තේ ය. ගො ලෝමයෙන් කුසතණ නැගෙ යි. කොසොඹ බීජයෙන් කොසොඹ පැල හට ගනියි. එමෙන් අවිද්‍යා ප්‍රත්‍යයයෙන් කුශලාකුශල වන්නේ ය යි දතයුතු.

අවිද්‍යාව ප්‍රහීන නො වීම හේතු කොට ගෙනැ ජාති ජරා මරණාදි අනේකවිධ ආදීනවයෙන් යුක්ත වූ පුණ්‍ය ඵලය යි කියන ලද දෙව්මිනිස් ආදි සුඛ සම්මත දුක, දුක වශයෙන් නො දැන එය ලබා ගැන්ම සඳහා දෙවඟනක් දැකැ ඇය ලබාගන්නට මරු ප්‍රපාතයට නඟින කාමුක පුරුෂයකු සේ සත්ත්‍වයා පුඤ්ඤාභිසංඛාර රැස් කරන්නේ ය. එසේ ම සුඛ සම්මත වූ ඒ පුණ්‍යඵල අවසානයෙහි විපරිනාම දුක් සහිත බව හෝ අල්පාස්වාද බව හෝ නො දැන දිලියෙන පහන් සිල්ලට පනින පලඟැටියා සේ ද මී වැකුණු කඩු මූණත ලෝනා පුරුෂයා සේ ද පුඤ්ඤාභිසංඛාර රැස් කරන්නේය.

මතු විපාක දෙන කාමසේවනාදියෙහි ආදීනව නො දැනැ සැපයෙක යන සංඥායෙන් ද ක්ලේශයන්ගෙන් අභිභූත බැවින් ද අශුචි ගෙනැ කෙළනා කොලුවකු සේ විස කා මැරෙනු කැමති පුරුෂයකු සේ අපුඤ්ඤාභිසංඛාර රැස් කරන්නේය.

අරූප විපාකයෙහි සංඛාර විපරිනාම දුක නො දැනැ ප්‍රේත පුර මාර්ගයට බැස ගත් මංමුළා වූවකු සේ ආනෙඤ්ජාභිසංඛාර රැස් කරන්නේය.

මෙසේ අවිද්‍යාව ඇති බව හේතු කොටැ ගෙනැ කුසල් ද අකුසල් ද වන බව දත යුතු. අවිද්‍යාව සංඛාරයන්ට පට්ඨාන නයෙන් කෙසේ කෙසේ ප්‍රත්‍යය වන්නේ ද යනු මතු දක්වනු ලැබේ.

SN 02-04-01-03 අස්සු සූත්‍රය

අතිපුජ්‍ය නාරද මහා ස්වාමීන්වහන්සේ කල දේශනාව ක්

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම සුත්‍ර ධර්මය දේශනා කර වදාළසේක.

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳීර්‍ සසර ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරයේ කෙළවරක් දකින්නට නැත්තේය මුල් කොනත් නොපෙනෙන්නේය.

“මහණෙනි,
තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි දුක් අනුභව කරන ලදී.
මහණෙනි, කුමක් සිතන්නහුද?
මේ දීර්ඝ කාලයෙහි සසර ඇවිදින කල්හි සැරිසරන කල්හි අමනාප ඇත්තවූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූ වැළපෙන්නාවූ තොපගෙන් ගැලු කඳුලු එක් කළහොත් සතර මහා සාගරයෙහි ජලයට වැඩිවේද? අඩු වේද?”

“ස්වාමීනි,
අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන පරිදි ධර්මය දනිමු.
ස්වාමීනි, සසර ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් සහ මනාපවූවන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූ වැළපෙන්නාවූ අපගේ ගැලු කඳුලුම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.

“මහණෙනි,
යහපති! යහපති!! මහණෙනි, තොප මා විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දැනගැනීම යහපත්ය. මහණෙනි, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ මේ දීර්ඝ කාලයෙහි අමනාපවූවන් හා සමග එක්වීමෙන් හා මනාපවූවන් ගෙන් වෙන්වීමෙන්ද, හඬන්නාවූ, වැළපෙන්නාවූ තොපගේ ගැලු කඳුලුම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.

“මහණෙනි,
තොප විසින් සසර මුළුල්ලෙහි මවගේ මරණයෙන්වූ දුක් විඳින ලදී. මවගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අප්‍රියවුන් හා එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ කඳුලුම සතර මහා සාගරයෙහි දියට වඩා අධික වේමය.

“මහණෙනි,
තොප විසින් සසර මුළුල්ලෙහි පියාගේ මරණයෙන් වූ දුක් විඳින ලදී. පියාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද වැළපෙන්නාවූද, තොපගේ කඳුලුම සතර මහා සාගරයෙහි දියට වඩා අධික වේමය.

“මහණෙනි, තොප විසින් බොහෝ කලක් මුළුල්ලෙහි සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරයාගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන් හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ කඳුලුම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. .

‘මහණෙනි,
බොහෝ කලක් සසර පුරා සහෝදරියන්ගේ මරණයෙන්වූ දුක විඳින ලදී. සහෝදරියගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන් ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ තොපගේ කඳුලුම සතර මහා සාගරයෙහි දියට වඩා අධික වේමය.

“මහණෙනි,
බොහෝ කලක් මුළුල්ලෙහි පුත්‍රයන්ගේ මරණයෙන්වූ දුක් විඳින ලදී. පුත්‍රයාගේ මරණයෙන්වූ දුක් විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ කඳුලුම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. .

“මහණෙනි,
බොහෝ කලක් මුළුල්ලෙහි දු වරුන්ගේ මරණයෙන් දුක් විඳින ලදී. දුවරුන්ගේ මරණයෙන්වූ දුක් විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ කඳුලුම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.

“මහණෙනි,
බොහෝ කලක් මුළුල්ලෙහි නෑයන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. නෑයන්ගේ මරණයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ කඳුලුම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. .

“මහණෙනි, බොහෝකලක් මුළුල්ලෙහි වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින ලදී. වස්තූන්ගේ විනාශයෙන්වූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන්, වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද, තොපගේ කඳුලුම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය. .

“මහණෙනි,
බොහෝ කලක් මුළුල්ලෙහි රෝගයන් වැළඳීම නිසාවූ කායික මානසික දුක් විඳින ලදී. රෝගයන් නිසාවූ දුක විඳින්නාවූ, අමනාපයන් හා සමග එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, හඬන්නාවූද, වැළපෙන්නාවූද තොපගේ කඳුලුම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි දිය අධික නොවේමය.
ඊට හේතුව කවරේද?

මහණෙනි,
අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී.

මහණෙනි,
සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමම සුදුසුය.
නො ඇලීමම සුදුසුමය.
ඔවුන්ගෙන් මිදීමම සුදුසුමය.

(තුන්වෙනි අස්සු සූත්‍රය නිමි.)

[“කන්දනත්තානං” යනු හඬන්නවුන්ගේය. “පස්සන්දං” යනු ගලායමින් පවතින යනුයි. “චතුසු මහා සමුද්දෙසු” යනු මහමෙරෙහි රශ්මියෙන් සීමාකළ සිවු සයුරෙහි. එහි පෙරදිග ප්‍රදේශය රිදීමය වේ. දකුණු ප්‍රදේශය මාණික්‍යමය වේ. බටහිර ප්‍රදේශය ස්ඵටිකමය වේ. උතුරු ප්‍රදේශය රන්මය වේ. පෙරදිගින් හා දකුණු දිගින් නික්මුණු රිදී -මැණික් රශ්මීහු එක්වී මහමුහුද මතුපිටින් ගොස් සක්වල ගලෙහි හැපී සිටිති. දකුණු -බටහිර ප්‍රදේශවලින් නික්මුණු මැණික්-ස්ඵටික රශ්මීහු ද බටහිර උතුරු ප්‍රදේශවලින් නික්මුණු ස්ඵටික – රන් රශ්මීහු ද උතුරු – පෙරදිග ප්‍රදේශවලින් නික්මුණු රන්රිදී රශ්මීහු ද එකට එකතුවී මහමුහුද මතුපිටින් ගොස් සක්වල ගලෙහි හැපී සිටිති. ඒ රශ්මීන්ගේ අතරෙහි මහා සමුද්‍රය වේ. ඒ සඳහා “සිවුමහා සයුරුවල” යනුවෙන් කියන ලදී. “ඥාති බ්‍යසනං” යනාදියෙහි ව්‍යසනය යනු වි+අසතං විනාශය – විපත යන අර්ථයි. ඥාතීන්ගේ විනාශය “ඤාතිබ්‍යසනං”. භෝගයන්ගේ විනාශය “භොගබ්‍යසනං” නම් වේ. රෝගය වනාහී තමාම “නිරෝගී බව නැතිකරයි. විනාශ කරයි” යන අර්ථයෙන් ව්‍යසනයකි. රෝගයේ ම විනාශය “රොග බ්‍යසනං” නම් වේ.]

SN 02-04-01-04 ඛීර සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම සුත්‍ර ධර්මය වදාළසේක.

මහණෙනි,
අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද, අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී.

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසී, තණ්හාවෙන් බැඳී,
මේ සසර ගමන් කරන්නාවූ, සැරිසරන්නාවූ,
සත්වයන්ගේ මේ සංසාරයේ අගක් (කෙළවර) නොපෙනෙන්නේය.
මුල් කොනක් නොපෙනෙන්නේය.

” මහණෙනි, ඒ කුමකැයි සිතන්නහුද?
මේ දීර්ඝ කාලයක් තුළ සසර ඇවිදින ලද හැසිරෙන ලද, තොප විසින් පානය කරන ලද මව් කිරි, සතර මහා සාගරයෙහි ඇති දිය කඳ යන දෙකින් කුමක් වැඩිද?

“ස්වාමීනි,
අපි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද පරිදි ධර්මය දනිමු, ස්වාමීනි, අප විසින් මේ දීර්ඝ කාලය තුළ ඇවිදින ලද හැසිරෙන ලද පානය කරන ලද මව් කිරම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.”

“මහණෙනි, යහපති! යහපති!!
මහණෙනි, මා විසින් දේශනා කරන ලද ධර්මය තොපි එසේ දන්නහුය. මහණෙනි, මේ දීර්ඝ කාලයෙහි සසර ඇවිදින ලද හැසිරෙන ලද තොප විසින් පානය කරන ලද, මව් කිරම ඉතා අධිකවේ. සතර මහා සාගරයෙහි ජලය අධික නොවේමය.
ඊට හේතුව කවරේද?

මහණෙනි,
අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ සංසාරයේ පටන්ගත් දිනක්, පටන් ගත් තැනක් දැකිය නොහැක. අගක් කෙළවරක් නිම වෙන දිනක් නොපෙනේ.එහෙයින්. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී.

මහණෙනි,
මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය.
නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(සතරවෙනි ඛීර සූත්‍රය නිමි.)

[“මාතුථඤ්ඤං” යනු එකම නම් ඇති මිනිස් මවුන්ගේ කිරිය. ගැඩවිල්, කුහුඹු ආදීන්ගේ ද මත්ස්‍ය කැසුබු ආදීන්ගේ ද පක්ෂීන්ගේ ද උපදින කාලයේ ඒ මවුන්ට කිරි නැත. එළු, ගව, මී ආදීන්ගේ උපත් කාලයෙහි ම මවුට කිරි ඇත. මිනිසුන්ගේත් එසේමය. එහි එළු ආදී ආත්මවල දී ද මිනිසුන් අතර දී “දේවී”, “සුමනා”, “තිස්සා” යන මේ නොයෙක් නොයෙක් නම් ඇත්තියන්ගේ කුසෙහි උපන් කාලයන් ද අත්හැර, “තිස්සා” යන එකම නම් ඇති මෑණි කෙනෙකුගේ කුසෙහි උපන් කාලයේ බොනලද කිරි ප්‍රමාණය සිවුමහා සයුරේ දියටත් වඩා වැඩියයි දතයුතුයි.]

SN 02-04-01-05 පබ්බත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක.

එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, කල්පය කොතරම් දීර්ඝ කාලයක්ද?”

“මහණ,
කල්පය වනාහි ඉතා දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් අවුරුදු සියයක්ය කියා හෝ මෙතෙක් අවුරුදු දහසක්ය කියා හෝ මෙතෙක් අවුරුදු ලක්ෂයක්ය හෝ කියා ගණන් කිරීමට නොහැක.

“ස්වාමීනි, උපමාවක් මගින් දැක්විය හැක්කේද?”
“මහණ, හැකියයි” භාග්‍යවතුන්වහන්සේ වදාළසේක.

“මහණ, දිගින් යොදුනක් ඇති, පුළුලින් යොදුනක් ඇති, උසින් යොදුනක් ඇති, පලුදු රහිතවූ, සිදුරු රහිතවූ, ඒක ඝනවූ, මහා ගල් පර්වතයක් වේයයි සිතනු , ඒ ගල් පර්වතය පුරුෂයෙක් අවුරුදු සියයකට එක් වරක් කසී සලුවකින් පිරිමදින්නේය,

මහණ, මේ ආකාරයෙන් ඒ මහා ගල් පර්වතය කසී සළුවෙන් පිරිමැදීම නිසා කවදා හෝ කාලකට පසුව ගෙවී යන්නේය. නැතිවී යන්නේය. එමතුදු කල්පය කෙළවර නොවන්නේය. “මහණ, කල්පය යන කාලය මෙසේ දීර්ඝය.

“මහණ! මෙසේ දීර්ඝවූ කල්පයන්ගෙන් නොයෙක් කල්පයන්හි තොප සසර සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප දහස්ගණන් සැරිසරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂගණන් සැරිසරන ලද්දේය.
ඊට හේතුව කවරේද?

මහණ,
අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු,සසර ඇවිදින්නාවූ, සසර සැරිසරන්නාවූ සත්වයන් මේ සංසාරය නොදක්නා ලද, අගක් නොදනියි. නොදනියි. මුල් කොනත් නොදකියි, නොදනියි.
එහෙයින්. මහණෙනි, මෙසේ තොප විසින් දුක්ම අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිමම තර කරන ලදී.

(පස්වෙනි පබ්බත සූත්‍රය නිමි)

[“සක්කාපන භන්තෙ” යනු ඒ භික්ෂුව මෙසේ සිතුවේය යනුයි. ශාස්තෘන් වහන්සේ “පහසු නොවේ. පහසු නොවේ” යැයි දේශනා කරමින් ම කථාව නොසිඳින සේක. “මෙයට උපමාවක් කිරීමට හැකිද?”යි එනිසා අසන ලදී. “කාසිකෙන” යනු කපුපුළුන් තුනක් එකට ගෙන කඨින ලද නූලෙන් වියූ ඉතා සියුම් වස්ත්‍රයෙන්. ඉන් පිරිමැදි කල්හි කොපමණ ප්‍රමාණයක් ක්‍ෂය වන්නේ ද? අබ ඇටයක් පමණ.

SN 02-04-01-06 සාසප සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි, කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. ඒ ජික්ෂුන් අතර වූ එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේට වැඳ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, කල්පය යනු කොපමණ දීර්ඝද?”
“මහණ, කල්පය වනාහි ඉතා දීර්ඝය. එය මෙතෙක් අවුරුදුය කියා හෝ මෙතෙක් වර්ෂ සියයක්ය කියා හෝ මෙතෙක් වර්ෂ දහසක්ය කියා හෝ මෙතෙක් වර්ෂ ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”

“ස්වාමීනි, උපමාවක් මගින් දැනුවත් කිරීමට හැක්කේද?”

“මහණ, හැක්කේය!” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
මහණ, දිගින් යොදුනක් ඇත්තාවූ, පුළුලින් යොදුනක් ඇත්තාවූ, උසින් යොදුනක් ඇත්තාවූ අබ පිරවූ, කොත ගසන ලද්දාවූ, (මුදුන් කරන ලද්දාවූ,) යකඩින් කරන ලද ප්‍රාකාරයෙන් යුක්තවූ, නගරයක් වේද, ඉක්බිති පුරුෂයෙක් අවුරුදු සියයකට සියයකට වරක් එක්එක් අබ ඇටය පිටට දමන්නේ වේද, මහණ, මේ ක්‍රමයෙන් ඒ මහා අබ ගොඩ වහා කෙළවරවීමට, අවසාන වීමට යන්නේය, කල්පය කෙළවර නොවන්නේමය.

“මහණ, කල්පය වනාහි මෙසේ දීර්ඝය. මහණ, මෙසේ දීර්ඝවූ, කල්පයන්ට වනාහි නොයෙක් කල්පයන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප සියගණන් අදහස් කරන ලද්දේය. නොයෙක් කල්ප ලක්ෂ ගණන් අදහස්කරන ලද්දේය. ඊට හේතුව කවරේද?

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නා ලද අග ඇත්තේ වේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තරකරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(හයවෙනි සාසප සූත්‍රය නිමි.)

[ “ආයසං නගරං” යනු යකඩින් කළ පවුරකින් වටකළ නුවරකි. එහි ඇතුලත යකඩින් කළ, එක් බිමක පිහිටි ප්‍රසාදවලින් ගැවසී ගත්තේ යැයි නොසැලකිය යුතුයි.]

SN 02-04-01-07 සාවක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. දිනක් බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් පැමිණියේය. තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීහ.

“ස්වාමීනි,
කොපමණ බහුලවූ කල්පයෝ වනාහි අතීත වූවාහුද, ඉක්ම ගියාහුද?”

“මහණෙනි,
බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ ඉකුත්වූ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”

“ස්වාමීනි,
උපමාවක් මගින් දේශනා කිරීමට හැක්කේද?”

“මහණෙනි, හැකියයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“මහණෙනි, මේ ශාසනයෙහි අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත් වන්නාවූ, ශ්‍රාවකයෝ සතර දෙනෙක් ඇත්තාහුය. ඒ ශ්‍රාවකයෝ දිනපතා කල්ප ලක්ෂයක් කල්ප ලක්ෂයක් බැගින් සිහි කරන්නාහුය. මහණෙනි, ඒ ශ්‍රාවකයන් විසින් කල්පයෝ සිහිනොකරන ලද්දාහුම වූවාහුය. ඉක්බිති, ඒ අවුරුදු සියයක් ආයුෂ ඇත්තාවූ, අවුරුදු සියයක් ජීවත්වන්නාවූ, ඒ ශ්‍රාවකයෝ සතරදෙන අවුරුදු සියයක්, අවුරුදු සියයක්හුගේ ඇවෑමෙන් කාලක්‍රියා කරන්නාහුය.

“මහණෙනි, මෙසේ වනාහි බොහෝ කල්පයෝ අතීත වූවාහුය. ඉක්ම ගියාහුය. ඒ කල්පයන් මෙතෙක් කල්පය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ. ඊට හේතුව කවරේද?

“අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ සංසාරයේ පටන්ගත් දිනක්, පටන් ගත් තැනක් දැකිය නොහැක. අගක් කෙළවරක් නිම වෙන දිනක් නොපෙනේ.එහෙයින්. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී.

මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය.
නො ඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(හත්වෙනි සාවක සූත්‍රය නිමි.)

[ “අනුස්සරෙය්‍යුං” යනු එක් අයෙක් කල්ප ලක්‍ෂ ගණනක් සිහිකළ කල්හි, වෙන අයෙක් ඔහු සිටින සිට තවත් කල්ප ලක්‍ෂයක් ද, එතැන් සිට තව අයෙක් කල්ප ලක්ෂයක් ද එසේම තව අයෙක් කල්ප ලක්‍ෂයක් ද යන ක්‍රමයෙන් සිවු දෙනෙක් සාර ලක්‍ෂයක් කල්පයන් පිළිබඳව සිහිපත් කරන්නේය යනුයි.]

SN 02-04-01-08 ගංගා සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි (හුන වනයෙහි) වාසය කරන සේක. ඉක්බිති එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේය.

“භවත් ගෞතමයෙනි,
කොපමණ තරමක් , කල්පයෝ අතීතයේ වූවේද, ඉක්ම ගියාහුද?

“බමුණ, බොහෝ කල්පයෝ අතීතයේ වූවාහුය. ඉක්ම ගියාහුය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.”

“භවත් ගෞතමයිනි,
උපමාවක් මගින්කීමට හැක්කේද?”
“බමුණ, හැකිය”යි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.
“බමුණ, මේ ගංගා නදිය යම් තැනෙකින් පටන් ගනීද, යම් තැනකින් මහමුහුදට වැටෙයිද, මේ අතර වැලි තලවල කෙතරම් , ඒ වැල්ලේ මෙතෙක් වැලිකැට ගණනක්ය කියා හෝ, මෙතෙක් වැලි ඇට සිය ගණනක්ය කියා හෝ, මෙතෙක් වැලිඇට දහස් ගණනක්ය කියා හෝ, මෙතෙක් වැලිඇට ලක්ෂ ගණනක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.

බමුණ, අතීතවූ, ඉක්ම ගියාවූ, කල්පයන් ගනන ඊට වඩා වැඩිය. ඔවුහු මෙතෙක් කල්පයන්ය කියා හෝ, මෙතෙක් කල්ප සියයක්ය කියා හෝ, මෙතෙක් කල්ප දහසක්ය කියා හෝ, මෙතෙක් කල්ප ලක්ෂයක්ය කියා හෝ ගණන් කිරීමට පහසු නොවේ.
ඊට හේතු කවරේද?

“බමුණ,
අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ සංසාරයේ පටන්ගත් දිනක්, පටන් ගත් තැනක් දැකිය නොහැක. අගක් කෙළවරක් නිම වෙන දිනක් නොපෙනේ.එහෙයින්. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී.

“බමුණ,
මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය.
නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

මෙසේ දේශනා කළ කල්හි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.

“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපත.
යටිකුරු කළ භාජනයක් උඩුකුරු කරන්නේද,
(තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද,
මංමුළාවූවෙකුට මග හෝ කියන්නේද,
(ගණ අඳුරෙහි) ඇස් ඇත්තෝ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද,
එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී.

ස්වාමීනි, ඒ ධර්මය ඇසූ මම භාග්‍යවතුන්වහන්සේ සරණකොට යමි. ධර්මයද, සංඝයාද සරණකොට යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම්කොට සරණ ගිය උපාසකයකු කොට මා සලකන සේක්වා.”

(අට වෙනි ගංගා සූත්‍රය නිමි.)

[ “යා එතස්මිං අන්තරෙ වාලිකා” යනු යම් මේ දෙක අතර දිගින් පන්සීයක් යොදුන් අතරමග වූ වැලිය.]

SN 02-04-01-09 දණ්ඩ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම සුත්‍ර ධර්මය වදාළසේක.

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ සංසාරයේ පටන්ගත් දිනක්, පටන් ගත් තැනක් දැකිය නොහැක. අගක් කෙළවරක් නිම වෙන දිනක් නොපෙනේ.එහෙයින්. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී.

මහණෙනි,
ඈත අහසට වීසිකරනලද දණ්ඩක් විටෙක මුලින් බිම වදින්නේය, වරෙක මැදින් බිම වදින්නේය, වරෙක අගින් බිම වදින්නේය, එසේම මහණෙනි, අවිද්‍යාවෙන් වටකරන ලද්දාවූ, තණ්හාවෙන් බඳින ලද්දාවූ, සසර ඇවිදවන්නාවූ, සසර සැරිසරන්නාවූ සත්වයෝ වරෙක මේ ලෝකයෙන් පරලෝකයට යෙති. වරෙක පරලෝකයෙන් මේ ලෝකයට එති.
ඊට හේතු කවරේද?

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ සංසාරයේ පටන්ගත් දිනක්, පටන් ගත් තැනක් දැකිය නොහැක. අගක් කෙළවරක් නිම වෙන දිනක් නොපෙනේ.එහෙයින්. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී.

මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය.
නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.”

(නවවෙනි දණ්ඩ සූත්‍රය නිමි.) [.

SN 02-04-01-10 පුග්ගල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවරවූ ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කරනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙම සුත්‍ර ධර්මය දේශනා කළසේක.

“මහණෙනි,
අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුනු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ සත්වයන්ගේ සංසාරයේ පටන්ගත් දිනක්, පටන් ගත් තැනක් දැකිය නොහැක. අගක් කෙළවරක් නිම වෙන දිනක් නොපෙනේ.එහෙයින්. මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී

. මහණෙනි, මෙසේ කල්පයක් ඇවිදින්නාවූ, හැසිරෙන්නාවූ, එක් පුද්ගලයෙකුගේ මහත්වූ ඇටසැකිල්ල, ඇට ගොඩ, ඇට රාශිය, ඉදින් එකතුකරන්නෙම් වන්නේ නම් එකතු කරන ලද්දද විනාශ නොකරන්නේ නම් මේ වේපූල්ල පර්වතය යම්පමණද එපමණ වන්නේය. ඊට හේතු කවරේද?

“මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු, ඇවිදින්නාවූ, සැරිසරන්නාවූ, සත්වයන්ගේ මේ සංසාරය නොදක්නාලද අග ඇත්තේවේද, මුල් කොනත් නොදකියිද, එහෙයිනි, මහණෙනි, මෙසේ තොප විසින් දුක් අනුභව කරන ලදී. දැඩි දුක් අනුභව කරන ලදී. ව්‍යසන අනුභව කරන ලදී. සොහොන් බිම තර කරන ලදී. මහණෙනි, මේ සියලු සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුමය. නොඇලීමට සුදුසුමය. ඔවුන්ගෙන් මිදීමට සුදුසුමය.

“භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාරා,
ඊට අනතුරුව මේ ගාථාවන් දේශනා කළසේක.

එක කල්පයක එක පුද්ගලයෙකුගේ ඇටගොඩ
‘වේපුල්ල’ පර්වතයක් හා සමාන වන්නේය
යන මෙය මහර්ෂීවූ භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණලදී.

එසේ කියනලද මහා වේපුල්ල පර්වතය වනාහි
මගධරට වැස්සන්ගේ (අගනුවර)
ගිරිබ්බජයෙහිවූ ගිජ්ඣකූට පර්වතයට
උතුරෙන් පිහිටියේය.

යම් හෙයකින් දුක්ඛ සත්‍යයද, දුක්ඛ සමුදය සත්‍යයද,
දුක්ඛ නිරෝධ සත්‍යයද, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා
සත්‍යය නම්වූ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයද යන
චතුරාර්‍ය්‍ය සත්‍යයන් සම්‍යක් ප්‍රඥාවෙන් දකියිද,

ඔහු උඩත්පිරිසෙයින් සත්වරක් සසර ගමන්කොට,
සියලු සංයෝජනයන් (බැඳුම්) කෙළවර කිරීමෙන්
දුක් කෙළවර කරයි.

(දසවෙනි පුග්ගල සූත්‍රය නිමි.)

[රයේ – “අට්ඨිකංකළො” යනාදියෙහි තුන් පදයම “රාශි” යන්නට යෙදුණු සමාන වදන්ය. මේ සත්ත්වයන්ගේ ඇට සහිතව උපදින කාලයට වඩා ඇට නැතිව උපදින කාලයම ඉතා වැඩි වේ. ගැඩිවිල් ආදී ප්‍රාණීන් ලෙස උපන්විට ඔවුන්ට ඇට නැත. මත්ස්‍ය, කැසබු ආදී වූ සත්ත්වයන්ගේ ඇට බොහෝය. එනිසා මෙකී ඇට නැති ආත්මභාවත් ඇට බොහෝ ඇති ආත්මභාවත් අත්හැර, මධ්‍යම ප්‍රමාණ වූ අල්ප ඇට ඇති කාලය ම මෙම සූත්‍රයේ දී අදහස් කළ යුතුයි. “උත්තරො ගිජ්ඣකූටස්ස” යනු ගිජුකුළු පවුවෙහි උතුරු දෙස සිටියේ. “මගධානං පරිබ්බජෙ” යනු මගධ රටේ ගිරිබ්බජ නම් පුරාණ රාජධානියේය. පර්වත බෑවුමෙහි (පරික්‍ෂේපයෙහි) පිහිටියේය යන අර්ථයි. මෙහි ඉතිරි පද සියලෙහි අර්ථ ඉතා ප්‍රකටය.]

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy