SINHALA TIPITAKA

SN 02-06-01


Listen Later

SN 02-06-01-01. දාරුණ සූත්‍රය
SN 02-06-01-02. බාළිස සූත්‍රය
SN 02-06-01-03. කුම්ම සූත්‍රය
SN 02-06-01-04. දීඝ ලෝමී සූත්‍රය
SN 02-06-01-05. පුනේළක සූත්‍රය
SN 02-06-01-06. අසනි සූත්‍රය
SN 02-06-01-07. දිද්ධ සූත්‍රය
SN 02-06-01-08. සිගාල සූත්‍රය
SN 02-06-01-09. වේරම්බ සූත්‍රය
SN 02-06-01-10. සගාථ සූත්‍රය

මේ සාසනයට යමෙක් ඇතුලත් වන්නේ එකම එක පරමාරතයක් පිණිසය. ඒ නම් සසර ගමන නවත්වා ගෙන දුකින් ගැලවීමටය. අද මෙන් එදා බුදුන් දවසද, වෙනත් බාල නිහීන අරමුණු ඇතිව චීවර දරන්නෝ වුහ. මේ චීවර ධාරීහුන්ගෙන් සමහරු මිනිසුන් දෙන පිණ්ඩපාතය පිණිස සිවුරු පොරවා ගත්හ. සමහරු තමනට ගරු සැළකිලි ලැබේයයි බලාපොරොත්තුවෙන් සිවුරු පොරවා ගත්හ. සමහරු වෙනත් හීන බලාපොරොත්තු ඇතිව මහන වුහ. අද ලකාවේ සිංහල මිනිස්සු මහන වන්නේ, නිකම්ම ඉඳ දායකයන්ගේ පිහිටෙන් විශ්ව විද්‍යාලයකට ගොස් උපාධියක් ගෙන, පසුව උපැවිදි වී දරු පවුලක් හදන්නටය. සමහරක් දෙනා, තමන්ට වෙනම නිකායක් හදාගෙන් ලොකු හාමුරුවෝ වෙන්නට සිව්රු දරති ආණ්ඩුවේ රේඩියෝවෙන් ඔවුනට නොයෙක් අභූත පට්ටම් දෙනු ඇසිය හැක, සද්ධර්ම චක්‍රවරති, සාසන සෝබන, සාසන ශෝධක ආදී අනේක පට්ටම් දෙති. ඒවා අසන මුග්ධ ගිහියෝ අනේ මේ නම් රහතුන් වහන්සේ කෙනෙක් යයි සිතා ගෙවල් දොරවල් විකුණා හෝ මේ දුර්ජනයන්ගේ දායක කමට පොර බඳිති.
යකඩයේ උපන් මල නිසාම යකඩය දිරා වැනසී යන්නා සේ මේ චීවර ධාරීහු අධර්මය ධර්මය යයි කියමින් ධර්මයද සසුනද වනසති. මේ සුත්‍ර කාණ්ඩයේ ඇත්තේ ශ්‍රමනයකු කල යුතු දේ ගැන භාග්‍යවතුන් වහන්සේ දුන් එකම උපදේසයයි.

SN 02-06-01-01. දාරුණ සූත්‍රය


මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි, කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

මහණෙනි,
ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා දරුණුය.
කටුක ඵල ඇති කරවන්නේය.. ඵරුෂය.
රහත් ඵලාවබෝධයට මග වසන්නේය.
නැති කලයුතු “මම”යා පෝෂණය කරන්නේය.
මහණෙනි, ඒ නිසා මෙසේ හික්මිය යුත්තේය.
(කෙසේද?)

ඇතිවන ලාභ සත්කාර ස්තුති ප්‍රශංසා. නිසා දුරු
සන්තානයේ ඇතිවන උද්දාමය දුරු කරන්නෙමු.
උපන්නාවූ, ලාභ සත්කාර ස්තුති ප්‍රශංසාවලින්
ඇතිවන ප්‍රමෝදය නිසා අපගේ කුසල් සිත මැඩ නොගනිමු.

මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”

(පළමුවෙනි දාරුණ සූත්‍රය නිමි.)

[දාරුණෝ” යනු තද වූ දරුණු වූ යනුයි. “ලාභසක්කාර සිලොකො” මෙහි “ලාභය” නම් සිවුපස ලාභයයි. “සත්කාරය” නම් මනාසේ සකස් කළ, මනාව පිළියෙල කළ ලාභයයි. “සිලොක” යනු කීර්ති ඝෝෂාවයි. “කටුකො” යනු තියුණුය. “ඵරුසො” යනු කර්කෂය. “අන්තරායිකො” යනු අන්තරායක් කරයි.

SN 02-06-01-02. බාළිස සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුක ඵල නපුරුය. ඵරුෂය,
රහත් ඵලාවබොධයට අනතුරු වන්නේය.
මහණෙනි,
බිලීබාන්නෙක් ඇමක් ඇමිණූ බිලිය ගැඹුරුව, මුහුදෙහි දමන්නේ, ඒ බිලිය දුටු මාලුවෙක් ඇම ගිලින්නේය. මෙසේ ඒ බිලී බාන්නාගේ බිලිය ගිලු මාලුවා දුකට විනාශයට පැමිණිනේ. ඒ සතාට බිලී බාන්නාට කැමැත්තක් කළ හැකිවෙයි.

“මහණෙනි,
බිලීබාන්නා යනු පවිටුවූ, මාරයාට කියන නාමයකි.
බිළිය හෝ ඇම යන මේ වචනය ලාභ සත්කාර ස්තුති ප්‍රශංසාවන්ට කියන නාමයකි.

යම්කිසි මහණෙක් තමාට වෙන උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රස විඳියිද,ඒවාට ආශා කෙරෙයිද? මහණෙනි, ඒ මහණ තෙම මාරයාගේ බිළිය ගිලින ලද්දේ දුකට පැමිණියේය’යි කියාද, විනාශයට පැමිණියේය’යි කියාද, මාරයාහට කැමැත්තක් කළ හැකි වූයේයයි කියාද කියනු ලැබේ.

මහණෙනි,
ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය.
කෙසේද යත්: මේ උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා
නිසා සන්තාණයේ කැමැත්ත, උද්දාමයක් , මානයක් ඇති කර නොගනිමි.
මේ උපදින ආසාව, කැමැත්තද ඇතිව නැතිවන චිත්ත ස්වභාවයක් පමණය.
උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවා”යි
කියාය්., මහණෙනි. තොප විසින් මෙසේ හික්මිය යුතුයි.”

(දෙවෙනි බාළිස සූත්‍රය නිමි.)

[ සූත්‍රයේ “බාළිසිකො” යනු බිලීපිත්තක් ගෙන හැසිරෙන මසුන් මරන්නායි. “ආමිසගතං” යනු ආහාරමය ඇමයි. “ආමිස චක්ඛු” යනු ආහාරයේම පැවති ඇසේ දර්ශනය ඇති තැනැත්තා. “ආමිස චක්ඛු” නම් වේ. “ගිළ බළසො” යනු ගිලින ලද බිලිය ඇති යනුයි. “අනයං අපන්නො” යනු දුකට පැමිණියේ යනුයි. “ව්‍යසනං ආපන්නො” යනු ව්‍යසනයට පැමිණියේ යනුයි. “යථාකාම කරණීයො” යනු කැමති පරිදි රිසි සේ යනුයි. යම්සේ බිලීබාන්නා කැමති වේ. ඒ අයුරින් ඔහුට කළහැකි වේ. “යථාකාම කරණීයො මාරස්ස” යනු ක්ලේශ මාරයාට රිසි දේ කළ හැකි වේ. නිරයට හෝ ප්‍රේත යෝනියට හෝ තිරිසන් යෝනියට හෝ කැමති තැනකට පමුණුවන්නේය.]

SN 02-06-01-03. කුම්ම සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි,
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය,
කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට

අනතුරු කරන්නේය.

මහණෙනි, පෙරවූ දෙයක් කියමි.
එක්තරා මුහුදක මහත්වූ කැසුබු කුලයක් බොහෝ කාලයක පටන් වාසය කරන්නේය. “මහණෙනි, ඉක්බිති එක්තරා කැස්බෙක් වනාහි එක්තරා කැස්බෙකුට මෙය කීයේය. ‘දරුව, කැස්බ, නුඹ ඒ ප්‍රදේශයට නොයවයි’ කියායි. මහණෙනි, ඒ කැසුබු තෙම අවවාදය නොතකා ඒ ප්‍රදේශයට ගියේය. ඒ මේ කැස්බාට වැද්දෙක් ඇවුලුම් බිලියකින් ඔහු අල්ලා ගත්තේය.

“මහණෙනි,
ඉක්බිති ඒ කැසුබුතෙම ඒ අවවාද කළ කැස්බා යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. මහණෙනි, ඒ අවවාද දුන් කැසුබුවා එන්නාවූ ඒ විදුම් කෑ කැසුබුවා දුරදීම දුටුවේය. දැක ඒ විදුම් කෑ කැස්බාහට මෙය කීයේය, ‘දරුව, කැස්බා, කිමෙක්ද? නුඹ ඒ ප්‍රදේශයට නොගියෙහිද?’ ‘කැසුබු පියාණෙනි, මම වනාහි ඒ ප්‍රදේශයට ගියෙමි.’ ‘දරුව, කැස්බ, කිමෙක්ද? (නුඹට) වනාහි ඇවුලුම් බිලියකින් පහර දෙනු ලැබුයෙහිද?’ ‘කැසුබු පියාණෙනි, මම වනාහි ඇවුලුම් බිලියකින් පහර දෙනු ලැබූවෙමි. මාගේ පසුපස මා අනුව ගමන් කරන්නාවූ, මේ නූලක්ද ඇත්තේය.’ ‘එසේනම් කැසුබු දරුව තුවාල කරන ලද්දේය. එසේනම් නසන ලද්දේය. දරුව, කැස්බ, මේ වැද්දා විසින් තාගේ පිය වරුද, සීයා වරුද දුකට පත්කරනු ලැබූහ. විනාශයට පත්කරනු ලැබූහ. දරුව කැසිබුව, නුඹ දැන් යව. දැන් නුඹ අපගේ නොවේයයි කීවේය.’

“මහණෙනි,
වැද්දා යන මේ වචනය වනාහි පවිටුවූ, මාරයාහට කියන නාමයකි. මහණෙනි, ඇවුලුම් බිලිය යන මේ වචනය වනාහි ලාභ සත්කාර ස්තුති ප්‍රශංසාවට කියන නාමයකි. මහණෙනි, නූල යන මේ වචනය වනාහි ආශාවට කියන නාමයකි. යම්කිසි මහණෙක් තෙම වනාහි උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා රස විඳියි. ආශා කෙරෙයි.

“මහණෙනි, මේ මහණතෙම (පවිටු මාරයාගේ) ඇවුලුම් බිලියට ගිජුව දුකට පැමිණියේය. විනාශයට පැමිණියේයයි කියාද, පවිටු මාරයාහට කැමැත්තක් කළ හැකි වූයේයයි කියාද, කියනු ලැබේ. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.

(තුන්වෙනි කුම්ම සූත්‍රය නිමි.)

[සූත්‍රයේ “මහාකුම්ම කුලං” මහත් වූ ඇටකැස්බෑ කුලයක් යනුයි. “අගමාසි” යනු ඒකාන්තයෙන් මෙහි කිසියම් කෑයුතු දෙයක් ඇතැයි, ඒ පිළිබඳ මසුරුකමින් මට එය නැතිවේය යන සංඥාවෙන් ගියේය යනුයි. “පපතාය” යනු වැටුණේය යනුයි. දිගු රැහැනකින් බැඳි යකඩ කොපුවක දණ්ඩක් ඇතුලු කර තනාගත් මුදුනෙහි හිලක් යෙදූ ගල් කඩුව-යකඩ කටුව, යමකට වේගයෙන් වැටී පිට පැත්තෙහි ඇලුණු මොහොතේ දණ්ඩක් නික්මී රැහැණින් එකට බැඳී යයි. “සො කුම්මො” යනු ඒ ළදරු කැස්බෑවාය. “යෙන සො කුම්මො” යනු ජලයේ ශබ්දය අසා සැක සහිත තැනක් වන්නේ යැයි නැවතී සිටි තමාට යහපත කැමති කැස්බෑවාය. “තදානි ත්‍වං අම්හාකං” යනු දැන් නුඹ අපගේ සතුරන් අතට ගියේය. අපට අයත් නොවේ යන අර්ථයි. මෙසේ ඔවුහු කථාකරමින් සිටියදීම නැවේ සිටි වැද්දා රැහැන ඇද, කැස්බෑවා ගෙන කැමති දෙයක් කළේය.]

SN 02-06-01-04. දීඝ ලෝමී සූත්‍රය



මා විසින් මෙසේ අසනලදී.
එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි,
ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නපුරු ආදීනව ගෙනෙන්නේය , කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, යම්සේ වනාහි දික් ලොම් ඇති එලුදෙනක් කටු ලැහැබකට පිවිසෙන්නේ වේද, ඕ ඒ ඒ තැන ලැගෙන්නීය. ඒ ඒ තැන රැඳෙන්නීය. ඒ ඒ තැන බැඳෙන්නීය, ඒ ඒ තැන විනාශයට පැමිණෙන්නීය.

“මහණෙනි, එසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කළ කුසල් සිත් ඇත්තේ පෙරවරු (උදේට) කාලයෙහි හැඳ පොරවා පාත්‍රය ගෙන කුඩා ගමකට හෝ මහ ගමකට හෝ පිඬු පිණිස යන්නේද, හෙතෙම ඒ ඒ තැන, ලැගෙයි. ඒ ඒ තැන රැඳෙයි. ඒ ඒ තැන්හිදී විනාශයට පැමිණෙයි.

“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(සතරවෙනි දීඝ ලෝමී සූත්‍රය නිමි.)

SN 02-06-01-05. පුනේළක සූත්‍රය



SN 02-06-01-05. පුනේළක සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි, වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’ යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

‘මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, යම්සේ වනාහි අසූචි අනුභව කරන්නාවූ, අභ්‍යන්තරයෙහි අසූචි පිරුණාවූ, ගූථයෙන් පිරුණාවූ, අසූචියෙහි ජීවත්වන පණුවෙක් උගේ ඉදිරියෙහිද මහත්වූ අසූචි ගොඩක් වෙයි. ඒ අසූචි අනුභව කොට ජීවත්වෙන පණුවා මම වනාහි අසූචි අනුභව කරන්නෙක්මි. අභ්‍යන්තරයෙහි අසූචියෙන් පිරුණෙක්මි. ගූථයෙන් පිරුණේ වෙමි. මාගේ ඉදිරියෙහිද මේ මහත්වූ අසූචි ගොඩක් ඇත්තේයයි කියමින් අනෙක් පණුවන් පහත් කොට හඟියි.

“මහණෙනි, එසේම වනාහි මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කළ කුසල් සිත් ඇත්තේ පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පොරවා පාත්‍රය ගෙන කුඩා ගමකට හෝ මහා ගමකට හෝ පිඬු පිණිස යන්නේය. හෙතෙම එහිදී ඇතිතාක් වළඳන ලද්දේද වෙයි. හෙට පිණිස ආරාධනා කරන ලද්දේදවෙයි. ඔහුගේ පාත්‍රයද පිරුණේ වෙයි. හෙතෙම ආරාමයට ගොස්, භික්ෂු සංඝයා මැද පුරසාරම් දොඩයි. (කෙසේද?) ‘ඇතිතාක් වැළඳුයේ වෙමි. හෙට දවස පිණිසද ආරාධනා කරනු ලැබුයේ වෙමි. මාගේ මේ පාත්‍රයද පිරුණේ වෙයි. මම චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකර ලබන්නෙක් වෙමි. මේ අන්‍ය භික්ෂූහු වනාහි ස්වල්ප පින් ඇත්තෝය. අල්පෙශාක්‍යයෝය. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස සහ බෙහෙත් පිරිකරද නොලබන්නෝය’ කියායි. හෙතෙම ඒ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද කුසල් සිත් ඇත්තේ අන්‍යවූ සිල්වත් භික්ෂූන් පහත්කොට හඟියි.

“මහණෙනි, එය වනාහි ඒ මෝඩ පුරුෂයාට දීර්ඝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස හේතුවෙයි. මහණෙකි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල්සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.

සූත්‍රයේ – “එළකා” යනු අශූචි කා ජීවත්වන සත්තුය. “ගූථාදී” යනු අශූචි කන යනුයි. “ගූථ පුරා” යනු ඇතුල අශූචියෙන් බරවූ යනුයි. “පුණ්ණා ගූථස්ස” යනු මෙය මුල්පදයේම අර්ථය දැක්වීමකි. “අතිමඤ්ඤෙය්‍ය” යනු පසුපාදයෙන් බිම හිඳ, පෙර පාදයෙන් අශූචි මතුපිටට නැඟ සිටගෙන – “මම වනාහී අශූචිවලින් පිරුණේයැ”යි කියමින් සෙසු පණුවන් ඉක්මවා සිතයි. “පිණ්ඩපාතො චස්ස පූරො” යනු ඔහුගේ පාත්‍රය පිරි ප්‍රණීත පිණ්ඩපාතය ලැබුණේ වෙයි.

SN 02-06-01-06. අසනි සූත්‍රය

(පස්වෙනි පුනේළක සූත්‍රය නිමි.)
SN 02-06-01-06. අසනි සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, හෙනසැරය කාහට වදීවාද? නො පැමිණෙන ලද රහත් ඵලය ඇති ඒ ශෛක්ෂ පුද්ගලයාහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පැමිණේවා.

මහණෙනි, හෙන සැරය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවට නමකි. මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(හයවෙනි අසනි සූත්‍රය නිමි.)

සයවන සූත්‍රයේ “කං භික්ඛවෙ! අසනි විචක්කං” යනු “මහණෙනි! කවර පුද්ගලයෙක් මත වැටී මඩිමින් විනාශවන හෙනගුලිය එන්නේද?” යනුයි. “අප්පත්ත මානස” යනු රහත්බව අවබෝධ නොකළ යනුයි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ සත්ත්වයන්ගේ දුක්සහගත කාමයේ ආදීනව දැක්වීමට පමණක්ම මෙය නොදෙසූහ. හෙනගුලියක් හිසමත වැටුනහුගේ එක් ආත්මභාවයක් පමණක් විනාශ වේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදියේ ඇලුණු සිත් ඇත්තා නිරයාදියෙහි ආත්මභාව ගණනාවක් අනන්ත දුක් විඳියි.

SN 02-06-01-07. දිද්ධ සූත්‍රය


SN 02-06-01-07. දිද්ධ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, විසපෙවූ, හීයෙන් කාහට විදේවාද? නොපැමිණෙන ලද රහත් බැව් ඇත්තාවූ ඒ ශෛක්ෂයාහට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පැමිණේවා. මහණෙනි, විස පෙවූ හීය යනු ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට නමකි.

“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අතිඋතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නො කෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.”

(හත්වෙනි දිද්ධ සූත්‍රය නිමි.)

සූත්‍රයේ “දිද්ධගතෙන” යනු විෂ පොවන ලද යනුයි. “විසල්ලෙන” යනු විෂ ආලේප කරන ලද හුලෙන්. සැතෙන්. ආයුධයෙන් යන අර්ථයි.

SN 02-06-01-08. සිගාල සූත්‍රය


SN 02-06-01-08. සිගාල සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන්වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, තෙපි රෑ එළිවෙන ජාමයෙහි හූ කියන්නාවූ ජර සිවලෙකුගේ ශබ්දයක් ඇසුවාහුද?”

“එසේය ස්වාමීනි.”

“මහණෙනි, මේ ජරසිගාලතෙම වනාහි මුළු ශරීරයෙහි ලොම් හැලී වණ සෑදෙන රෝගයක් “උක්කන්තක” නම් රෝගයෙන් ස්පර්ශ කරන ලද්දේ, බෙනයට ගියේද සතුටු නොවෙයි. රුක්මුලට ගියේද සතුටු නොවෙයි. එළිමහන් තැනකට ගියේද සතුටු නොවෙයි. යම් යම් තැනකට යයිද, යම් යම් තැනෙක සිටියිද, යම් යම් තැනෙක හිඳියිද, යම් යම් තැනෙක හොවියිද (දිගාවෙයිද) ඒ ඒ තැන විනාශයට පැමිණෙයි.

“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශකරන ලද කුසල් සිත් ඇත්තේ ශූන්‍යාගාරයට ගියේද සතුටු නොවෙයි. රුක්මුලට ගියේද සතුටු නොවෙයි. එළිමහන් තැනට ගියේද සතුටු නොවෙයි. යම් යම් තැනක යයිද, යම් යම් තැනෙක සිටියිද, යම් යම් තැනක හිඳියිද, යම් යම් තැනෙක නිදයිද, ඒ ඒ තැන විනාශයට පැමිණෙයි.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරුකරන්නෙමු. ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.

(අටවෙනි සිගාල සූත්‍රය නිමි.)

[ටවන සූත්‍රයේ “සිගාලො” යනු ජරාවට පත් සිවලාය. යම්සේ රන්වන් වූ ශරීරයත් කුණු ශරීරයක්ම වේ. එකෙණෙහිම ගත්තා වූ මුත්‍ර පවා “කුණු වූ මුත්‍ර” නම් වේ. මෙලෙස එදිනම උපන් සිවලාත් “මහළු වූ සිවලෙකි”යි දැක්විණි. “උක්කණ්ටකෙන නාම” එනම් ඇති රෝගයෙන්. එය ශීත කාලයේ සෑදෙන්නකි. එය වැළඳුණු විට මුලු ශරීරයේම ලෝම හැලෙයි. සිරුරේ ලොම් නැතුව හාත්පස ස්පර්ශ කරයි. සුලං වැදී තුවාල වේදනා දෙයි. පිස්සු බල්ලෙකු විසින් හපා කන ලද මිනිසෙකු මෙන් ස්ථිර නොවූයේ, එහෙ-මෙහෙ හැසිරේ. මෙම රෝගය උපන් කල්හි මෙසේ කැරකීම හා ඇවිදීම ඇතිවේ. අසුවල් තැන සැපක් ඇතිවේයැයි නොවැටහේ.

SN 02-06-01-09. වේරම්බ සූත්‍රය


SN 02-06-01-09. වේරම්බ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය.

“මහණෙනි, ඉහළ ආකාශයෙහි “වේරම්බ” නම් වාතයෝ හමත්. ඒ ඉහළ ආකාශයෙහි යම් පක්ෂියෙක් යයිද, ඔහු මේ “වේරම්බ” වාතයෝ වීසි කෙරෙති. “වේරම්බ” වාතයෙන් විසිකරන ලද ඒ පක්ෂියාගේ පාදයෝ අන් දිසාවකට යෙති. පියාපත් අන් දිශාවකට යෙති. හිස අන් දිශාවකට යයි. කය අන් දිසාවකට යයි.

“මහණෙනි, එසේම මේ ශාසනයෙහි ඇතැම් භික්ෂුවක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවෙන් මඩනා ලද්දේ විනාශ කරන ලද කුසල් සිත් ඇත්තේ පෙරවරු (උදේ) කාලයෙහි හැඳ පාත්‍ර සිවුරු ගෙන, නොරක්නා ලද්දාවූම කයින්ද, නොරක්නා ලද වචනයෙන්ද, නොරක්නා ලද සිතින්ද, එළඹ නොසිටියාවූ, සිහියෙන්ද, සංවර නොකරන ලද ඉන්ද්‍රියයන්ගෙන්ද, යුක්තව ගමට හෝ නියම් ගමට හෝ පිඬු පිණිස පිවිසෙයි. ඒ මහණතෙම එහිදී නපුරු කොට හඳින ලද හෝ නපුරුකොට පොරොවන ලද හෝ ස්ත්‍රියක් දකියි. නපුරු කොට අඳින ලද හෝ නපුරු කොට පොරොවන ලද හෝ ස්ත්‍රියක් දුටු ඔහුගේ සිත රාගය තෙමේ විනාශ කරයි. හෙතෙම රාගයෙන් විනාශකළ සිත හේතුකොට ගෙන ශික්ෂාව ප්‍රතික්ෂෙප කොට ගිහිවෙයි. “වෙරම්බ” වාතයෙන් විසිකරන ලද පක්ෂියාගේ මෙන් ඒ ඔහුගේ සිවුරු අන් කෙනෙක් ගෙන යත්. අන් කෙනෙක් පාත්‍රය ගෙන යත්. අන් කෙනෙක් නිසීදනය (හිඳිනාකඩ) ගෙන යත්. අන් කෙනෙක් ඉදිකටු ගුලාව ගෙන යත්.

“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබොධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි.’ මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි.

(නවවෙනි වේරම්බ සූත්‍රය නිමි.)

[නවවන සූත්‍රයේ “වෙරම්බ වාතා” යනු එනම් වූ නම් ඇති මහ සුලඟයි. මේ සුලඟ කවර තැනක හමන්නේද? යම්තැනකදී සතරමහා දිවයින් උපුල්පතක් මෙන් පෙනෙන්නේද (ඉහල අහසේ) එබඳු තැන මේ සුලඟ හමයි. “යො පක්ඛී ගච්ඡති” යනු අලුතින් වැසි වැටුණු කල්හි නද දෙමින් සුලං කුරුල්ලෝ එහි පියඹා යති. එනිසා මෙය කියන ලදී. “අරක්ඛිතෙනෙව කායෙන” යනාදියෙහි අත්පාවලින් ක්‍රීඩාකරන – කොඳු ඇට නවන ස්වභාවය, “කය නොරැකීම” නම් වේ. නානාප්‍රකාර අසභ්‍ය වදන් කථාකිරීම “වචන නොරැකීම” නම් වේ. කාම විතර්කාදිය විතර්කනය කිරීම “සිත නොරැකීම” නම් වේ. “අනුපට්ඨිතාය සතියා” යනු කායගතාසතිය නොපිහිටුවාය.

SN 02-06-01-10. සගාථ සූත්‍රය


SN 02-06-01-10. සගාථ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, මම මේ ශාසනයෙහි සත්කාරයෙන් මඩනාලද විනාශ කරන ලද කුසල් සිත් ඇති, ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ, ඇතැම් පුද්ගලයකු දකිමි.

“මහණෙනි, මම මේ ශාසනයෙහි අසත්කාරයෙන් මඩනා ලද්දාවූ, විනාශ කළ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ ඇතැම් පුද්ගලයකු දකිමි. මහණෙනි, මම මේ ශාසනයෙහි සත්කාරයෙන්ද, අසත්කාරයෙන්ද යන ඒ දෙකින්ම මඩනා ලද්දාවූ, විනාශ කළ කුසල් සිත් ඇති, කය බිඳීමෙන් මරණින් මතු, සැප නැත්තාවූ, නපුරු ගති ඇත්තාවූ, නපුරු වැටීම් ඇත්තාවූ, නිරයෙහි උපන්නාවූ ඇතැම් පුද්ගලයකු දකිමි.

“මහණෙනි, මෙසේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දරුණුය, කටුකය, ඵරුෂය, අති උතුම් රහත් ඵලාවබෝධයට අනතුරු කරන්නේය. මහණෙනි, ඒ නිසා මෙහිදී මෙසේ හික්මිය යුතු වන්නේය. (කෙසේද?) ‘උපන්නාවූ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා දුරු කරන්නෙමු. උපන්නාවූ, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අපගේ කුසල් සිත විනාශ නොකෙරේවායි. මහණෙනි, තොප විසින් මෙසේ වනාහි හික්මිය යුතුයි. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළසේක. මෙය දේශනා කොට, ඊට අනතුරුව මේ ගාථා දෙකද වදාළසේක.

“අර්හත් ඵල සමාධියෙන් යුක්තව වාසය කරන්නාවූ යමෙකුගේ සත්කාර කිරීමෙන්ද, සත්කාර නොකිරීමෙන්ද යන දෙයාකාරයෙන්ම සමාධිය කම්පා නොවේද?”

“නිතර සමාධියෙන් යුක්තවූ මාර්ගඥානයෙන් හා විදර්ශනා ඥානයෙන් යුක්තවූ සතර උපාදානයන්ගේ ක්ෂය කිරීමයයි කියන ලද නිර්වාණයෙහි ඇලුණාවූ ඔහු සත්පුරුෂයයි කීහු.”

(දසවෙනි සගාථ සූත්‍රය නිමි.)

[දසවන සූත්‍රයේ “අසක්කාරෙන චූභයං” යනු අසක්කාරෙන ච උභයෙන සත්කාර කිරීමෙන්ද අසත්කාර කිරීමෙන්ද යනුයි. “සමාධී” යනු අර්හත්ඵල සමාධියයි. ඔහු එයින් කම්පා නොවේ. “අප්පමාණ විහාරිතො” යනු අප්‍රමාණ වූ ඵලසමාධියෙන් යුක්තව වාසය කරන්නාටය. “සාතතිකං” යනු නිතර ක්‍රියාකරන්නාය. “සුඛුමදිට්ඨි විපස්සකං” යනු අර්හත් මාර්ග දෘෂ්ටියෙන්, සූක්‍ෂම දෘෂ්ටියෙන් ඵල සමාපත්තිය සඳහා විදර්ශනාව වඩා, විදර්ශනාවට පැමිණි බැවින්. “උපාදානක්‍ඛයාරාමං” යනු උපාදානක්‍ෂය නම් වූ නිවනෙහි ඇලුණු යනුයි. “ආහු සප්පුරිසො ඉතී” යනු සත්පුරුෂයෙක් යැයි කියති]

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy