SINHALA TIPITAKA

AN 02-17


Listen Later

සාවජ‍්ජාති  සදොසා . අනවජ‍්ජාති  නිද‍්දොසා . දුක‍්ඛුද්‍රයාති  දුක‍්ඛවඩ‍්ඪිකා . සුඛුද්‍රියාති  සුඛවඩ‍්ඪිකා. 
සබ්‍යාබජ‍්ඣාති  සදුක‍්ඛා . අබ්‍යාබජ‍්ඣාති  නිද‍්දුක‍්ඛා . එත‍්තාවතා  වට‍්ටවිවට‍්ටමෙව  කථිතං.

සාවජ්ජා යනු දොස් ලබන්නා වූවෝයි. අනවඡ්ඡා යනු දොස් නොලබන්නා වූවෝයි.
දුබුද්දයා යනු දුක් වඩවන්නාවූයි. සුඛුද්දයා යනු සුව වඩවන්නාවූයි. 
සව්‍යාපජ්ක්‍ධා යනු දුක් සහිතවූවෝයි. අච්‍යාපජක්‍ධා යනු දුක්රහිතවූවෝයි.
මෙපමණකින් වර්‍ත විවර්‍තයන්ම කියනලදී

මේ වග්ගයේ ඇත්තේ කෝධ , මක්ඛ, ඉරිසියාව, මායා, ලජ්ජා බය යන පස් ආකාරයක අකුසල ධර්ම ද ඊට ප්‍රති පක්ෂ කුසල ධර්මද කුසල් – අකුසල් ලෙස, වැරදි නිවැරදි ලෙස මතු දුක්පිනිස- මතු සැප පිණිස බලපාන බව දැක්වීමය

  1. කොධ අකුසල සූත්‍රය.
  2. මක්ඛ අකුසල සූත්‍රය.
  3. ඉස්සා අකුසල සූත්‍රය
  4. මායා අකුසල සූත්‍රය.
  5. අහිරිකා අකුසල සූත්‍රය.
  6. අක්කොධ කුසල සූත්‍රය.
  7. අමක්ඛ කුසල සූත්‍රය.
  8. අනිස්සා කුසල සූත්‍රය.
  9. අමායා කුසල සූත්‍රය.
  10. හිරි කුසල සූත්‍රය.
  11. සාවජ්ජකොධ සූත්‍රය.
  12. සාවජ්ජ මක්ඛ සූත්‍රය.
  13. සාවජ්ජඉස්සා සූත්‍රය.
  14. සාවජ්ජ මායා සූත්‍රය.
  15. සාවජ්ජ අහිරික සූත්‍රය.
  16. අනවජ්ජ අක්කොධ සූත්‍රය.
  17. අනවජ්ජ අමක්ඛ සූත්‍රය.
  18. අනවජ්ජ අනිස්සා සූත්‍රය.
  19. අනවජ්ජ අමායා සූත්‍රය.
  20. අනවජ්ජ හිරි සූත්‍රය.
  21. ක්‍රොධ දුක්ඛුද්‍රය සූත්‍රය.
  22. මක්ඛ දුක්ඛුද්‍ර සූත්‍රය.
  23. ඉස්සා දුක්ඛුද්‍රය සූත්‍රය.
  24. මායා දුක්ඛුද්‍රය සූත්‍රය.
  25. අහිරික දුක්ඛුද්‍රය සූත්‍රය.
  26. අක්කෝධ සුඛුද්‍රය සූත්‍රය
  27. අමක්ඛ සුඛුද්‍රය සූත්‍රය
  28. අනිස්සා සුඛුද්‍රය සූත්‍රය.
  29. අමායා සුඛුද්‍රය සූත්‍රය.
  30. හිරි සුඛුද්‍රය සූත්‍රය.
  31. දුක්ඛ විපාක කොධ සූත්‍රය.
  32. දුක්ඛ විපාක මක්ඛ සූත්‍රය.
  33. දුක්ඛ විපාක ඉස්සා සූත්‍රය.
  34. දුක්ඛ විපාක මායා සූත්‍රය.
  35. දුක්ඛ විපාක අහිරික සූත්‍රය
  36. සුඛවිපාක අක්කොධ සූත්‍රය.
  37. සුඛවිපාක අමක්ඛ සූත්‍රය.
  38. සුඛවිපාක අනිස්සා සූත්‍රය.
  39. සුඛවිපාක අමායා සූත්‍රය.
  40. සුඛවිපාක හිරි සූත්‍රය.
  41. සව්‍යාපජ්ඣ කොධ සූත්‍රය
  42. සව්‍යාපජ්ඣ මක්ඛ සූත්‍රය.
  43. සව්‍යාපජ්ඣ ඉස්සා සූත්‍රය
  44. සව්‍යාපජ්ඣ මායා සූත්‍රය.
  45. සව්‍යාපජ්ඣ අහිරික සූත්‍රය.
  46. අව්‍යාපජ්ඣ අක්කොධ සූත්‍රය.
  47. අව්‍යාපජ්ඣ අමක්ඛ සූත්‍රය.
  48. අව්‍යාපජ්ඣ අනිස්සා සූත්‍රය.
  49. අව්‍යාපජ්ඣ අමායා සූත්‍රය.
  50. අව්‍යාපජ්ඣ හිරි සූත්‍රය.
  51. සියලු පව් නොකරන්න. කුසලයෙහි යෙදෙන්න. තම සිත දමනය කරන්න. එය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනයයි. පාපය නම් අපායාදී දුගතීන්හි දුක්විඳීමට සිදුවන ක්‍රියාය. සිත කය වචනයෙන් එබඳු පාප ක්‍රියාවන්ගෙන් වැළකිය යුතු ය. පාපයෙන් වැළකීම පමණක් නිවනට හේතු නොවේ. නිවනට හේතුවන්නේ කුසල් කිරීමයි. කුසලයෙහි යෙදීමයි. සමහරදෙනා පාපයෙන් වැළකී සිටින අතර කුසල් නොකරයි. මේ දෙකම සිදුවිය යුතුය. බුදු සමය අක්‍රීයව අවබෝධ කළ හැක්කක් නොවේ. සක්‍රීයව කළ යුත්තකි. එබැවින් කුසල් කිරීමට නම් කුසලය යනු කුමක්දැයි පළමුව හඳුනා ගත යුතුය.

    AN 02-17-01 කොධ අකුසල සූත්‍රය.

    “මහණෙනි,
    දොස් සහිත වූ, දුක් වඩවන්නාවූ
    අකුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    කවර දෙකක්ද යත්:

    “ක්‍රෝධයද,
    බද්ධ වෛරයද (උපනාහ )
    යන මේ දෙකයි.

    “මහණෙනි,
    මේ දෙකම දොස් සහිත වූ,
    දුක් වඩවන්නාවූ
    අකුසල ධර්‍මයෝ වෙත්.”

    [කෝධ
    අනුන්ට බණින තර්ජනය කරන අත්පා ආදියෙන් පහර දෙන අනුන් මරණ අන්සතු වස්තුව විනාශ කරන සමහරවිට තමාගේ වස්තුව වුව ද විනාශ කරන තමාගේ ජීවිතය වුව ද නසන රෞද්‍ර‍ වූ විරුද්ධ ස්වභාවය ක්‍රෝධය ය. බලවත් ක්‍රෝධය පුද්ගලයා උමතු කරයි. ක්‍රෝධයෙන් උමතු වූ පුද්ගලයා සමහරවිට තමා ගේ බඩු ද බිම ගසා පොඩි කර විනාශ කරයි. සමහරවිට ගිනි තබා විනාශ කරයි. තමාගේ අඹුදරුවන්ට තර්ජනය කරයි. පහර දෙයි. සමහරවිට මරා දමයි. එසේ කොට තමාගේ ජීවිතය ද නසා ගනියි. අන්‍යයන්ට අපරාධ කිරීම ගැන කියනුම කිම? මේ ක්‍රෝධය ලෝකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. ක්‍රෝධය හටගත් පුද්ගල තෙමේ මව්පියන්ට ද අපරාධ කරයි. සහෝදර සහෝදරියන්ට ද අපරාධ කරයි. පැවිද්දන්ට ද අපරාධ කරයි. ගරු කළ යුතු වූ අපරාධ කිරීමට නුසුදුසු වූ අන් ගුණවතුන්ට ද අපරාධ කරයි. එයින් ඔහු ආ ගිය තැන ගැරහුම් ලබයි. දඬුවම් ද ලබයි. ක්‍රෝධය මෙසේ ලෝකවද්‍ය වශයෙන් මහාසාවද්‍ය වේ. කෝප වූ පුද්ගලයා සමහර විට මවුපියන් මරා කල්පයක් අපායෙහි පැසෙයි. එබැවින් ක්‍රෝධය විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍ය වේ. ක්‍රෝධයෙන් වන පව්වල විපාකය නැති කර ගැනීම අපහසුය.

    උපනාහ:
    ගිනිදැල් විහිදුවමින් පැවති ගිනි අඟුරු අලුයෙන් යට වූ විට කලක් නිසල ව පවතී. එමෙන් පටන් ගැන්මේ දී ක්‍රියාකාරිත්වයෙන් පැවති ක්‍රෝධය එහි අධික වේගයෙන් සන්සිඳී අලුයෙන් යට වූ ගිනි අඟුර මෙන් සිත්සතන්හි යට වී පවතී. එය අප්‍ර‍කට ය. ඒ තත්ත්වයට පැමිණි ක්‍රෝධය උපනාහ නම් වේ. වෛරය යනු ද එයට නමෙකි. වෛරය ලෙහෙසියෙන් නො සන්සිඳෙන දීර්ඝ කාලයක් පවතින ක්ලේශයෙකි. සමහරවිට එය එක් ජාතියකදී කෙළවර නොවී කාළි යකින්නගේ වෛරය මෙන් ද, දෙවිදත්ගේ වෛරය මෙන් ද භවාන්තරයට ද යන්නේ ය. වෛරය නිසා බෝසතාණන්ට අපරාධ කොට දෙවිදත් බොහෝ වාර ගණනක් අවීචියෙහි උපන් බව ජාතක කථාවල සඳහන් ව ඇත්තේය.

    න හි වේරේන වේරානි -සම්මන්තීධ කුදාචනං,
    අවේරේන ච සම්මන්ති – එස ධම්මෝ සනන්තනෝ

    (ධම්මපද යමක වග්ග)

    කෙළ සෙම් සොටු මළ මුත්‍රයෙන් අපවිත්‍ර‍ වූ තැනක් ඒවායින්ම සෝදා පිරිසිදු නො කළ හැකි ය. පිරිසිදු කරන්නටය කියා ඒවායින් සේදුවහොත් ස්ථානය වඩාත් අපවිත්‍ර‍ වන්නේය. වඩා දුගඳ වන්නේය. බණින්නහුට පෙරළා බැණීමෙන්, පහර දෙන්නහුට පෙරළා පහර දීමෙන් වෛරදය නො සන්සිඳේ. එයින් වෛරය වඩාත් දියුණුවේ. පිරිසිදු දියෙන් සේදීමෙන් අපවිත්‍ර‍ ස්ථාන පිරිසිදු වන්නාක් මෙන් ක්ෂාන්ති මෛත්‍රි ආදි අවෛරයෙන් ම වෛරය දුරු වේ. මේ බුද්ධාදි මහෝත්තමයන් ගිය පෞරාණික මාර්ගය යයන ඉහත දැක්වූ ගාථාවේ අදහසය.]

    AN 02-17-02 මක්ඛ අකුසල සූත්‍රය.

    “මහණෙනි,
    දොස් සහිත වූ, දුක් වඩවන්නාවූ
    අකුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    මොනවාද යත්:

    “ගුණමකුවීමද,
    යුගග්‍රාහයද
    යන මේ දෙකයි.

    “මහණෙනි,
    මේ දෙක දොස් සහිත වූ,
    දුක් වඩවන්නාවූ
    අකුසල ධර්‍මයෝ ධර්‍මයෝ වෙත්.”

    [මක්ඛ
    මාපියන් විසින් ගුරුන් විසින් නෑයන් මිතුරන් විසින් කළ උපකාර වලින් දියුණුවී, මා මාගේ වීර්‍ය්‍යයෙන් ම දියුණු වූවා මිස මට කවුරුන් වත් කළ දෙයක් නැත. කාගෙන්වත් මට උවමනාවක් ද නැත කියා කළ ගුණ අවලංගු කරන ස්වභාවය මක්ඛ නම් වේ. ගුණමකු බවය යනු ද එයට නමෙකි. එය දෝෂයේ ම ආකාර විශේෂයකි.

    අනිකකුගෙන් උපකාර ලබා ගත්තා වූ හෝ ලබමින් සිටින්නා වූ හෝ ඇතැමෙක් යම්කිසි කරුණකින් කෝප වූ විට, මට ඔබ කළ දෙයක් නැත, ඔබෙන් මට වුවමනාවකුත් නැත, කියා ගුණ අවලංගු කරයි. ජීවත්වීමට පවා ක්‍ර‍මයක් නොමැතිව අසරණ ව සිටි ඇතැම් අසත්පුරුෂයෙක් යම්කිසි කාරුණකියකුගේ උපකාරයෙන් දියුණු වූ පසු උසස් තත්ත්වයට පැමිණි පසු උපකාර කළ සත්පුරුෂයා හමු වී ඒ ගැන කථා කළ හොත් ඔබෙන් ලත් සතයකුදු මා වෙත නැත. මා දියුණු වී සිටින්නේ කාගේවත් උදව්වකින් නොව මාගේ උත්සාහයෙනැයි කියා කළ ගුණ අවලංගු කරයි. ඇතැම් පාපී ශ්‍ර‍මණයෝ ද සාමණේර කාලයේ පටන් සිවුපසය සපයා දෙමින් ලෙඩ දුකට පිහිට වෙමින් අධ්‍යාපනයක් ලබා දෙමින් උපකාර කළ ගුරුවරුන්ගේ ගුණ අමතක කරති. ගුරුවරුන්ගේ උපකාරයෙන් දියුණු වී, මහජනයාගෙන් පුද සත්කාර ලබන, උසස් අයගෙන් සැලකිලි ලබන තත්ත්වයට පැමිණි පසු මා මේ තත්ත්වයට පැමිණියේ කාගේවත් උපකාරයකින් නොව මාගේ නුවණින් මාගේ උත්සාහයෙනැයි කියමින් කළගුණ නසති. මෙසේ කළගුණ අවලංගු කර ගුණ කළ අයගේ සිත් රිදවීම මත් අසත්පුරුෂ කමෙකි. මහත් පාපයෙකි. එහි විපාක වශයෙන් ඇතැම්හු මෙලොවදී ම නැවත පිරිහීමට පත් වෙති, ඇතැම්හු නපුරු රෝග වැළඳී බෝකල් දුක් විඳ ධනයත් අවසන් කර ගෙන මිය යති. මෙහි සත්‍යතාව ලෝකය දෙස විමසිල්ලෙන් බලන්නවුන්ට තේරුම් ගත හැකි වනු ඇත.]

    AN 02-17-03 ඉස්සාකුසල සූත්‍රය.

    “මහණෙනි,
    දොස් ලබන්නා වූ, දුක් වඩවන්නාවූ
    අකුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    මොනවාද යත්:

    ඊර්‍ෂ්‍යාවද,
    මසුරු බවද

    යන දෙකයි.

    “මහණෙනි,
    මේ අකුසල ධර්‍මයෝ දෙකද දොස් සහිත වූ, දුක් වඩවන්නාවූ. අකුසල ධර්‍මයෝ වෙත්.”

    [ඊර්‍ෂ්‍යාව:
    තමන්ට නොව අනුන්ට ඇති සම්පත් දැක අහෝ මට මේවා නැත කියා වන අසතුට නොමනාපය ඉච්චා / ඉස්සා ලෙස ධර්මයේ දැක්වේ, හින්ගලයෙන් ඉරිසියාව කියා කියන්ත් ඊර්ෂ්‍යාව කියා ලියන්නෙත් මෙයමය.

    අන්‍යයන්ට ඇඳුම් පැලඳුම් ගෙවල් වතු කුඹුරු තනතුරු ආදිය තිබීම නො ඉවසන්නාවූද, අන්‍යයන් පූජා සත්කාර ගරු බුහුමන් කීර්ති ප්‍ර‍ශංසා ලැබීම නො ඉවසන්නා වූ ද ස්වභාවය ඉස්සා නම් වේ. ඊර්‍ෂ්‍යා නම් ද වේ. ඊර්‍ෂ්‍යාව ඇතියහුගේ කැමැත්ත අනුන්ගේ සම්පත්තිය නැති කිරීමට ය. එසේ නො කළ හැකි කල්හි එහි දොසක් බලා සැනසෙයි. ඔහු අනුන්ගේ ලස්සන ඇඳුමෙහි දොසක් දකී. ලස්සන සිරුරෙහි දොසක් දකී. අන්‍ය වස්තූන් හි ද එසේ ම දොස් බලා ඒවායේ දොස් ගැන කථා කොට සැනසෙයි. ඔහු අනුන්ගේ ගෙය අනුන්ගේ වාහනය අනුන්ගේ වත්ත කුඹුර අනුන්ගේ රැකියාව තනතුර කවදා හෝ නැති වේ දෝ යි බලා සිටී. නැති වූ විටෙක ඉමහත් සතුටක් ලබයි. මේ ඊර්‍ෂ්‍යාව බෙහෙවින් ඇති වන්නේ ගිහියන්ට ගිහියන් ගැනත් පැවිද්දන්ට පැවිද්දන් ගැනත් ය. පැවිද්දකු ලාභ සත්කාර කීර්ති ප්‍ර‍ශංසා ලබන කල්හි තවත් පැවිද්දකුට ඒ ගැන ඊර්‍ෂ්‍යාව ඇති වේ. ගිහියකුට ඒ ගැන එතරම් ඊර්‍ෂ්‍යාවක් ඇති නො වේ. මෙය ඇති තැනැත්තාට නො දැනෙන ක්ලේශයෙකි. එබැවින් බොහෝ දෙනා තමන් කාටවත් ඊර්‍ෂ්‍යා නො කරන බවත් තමාට අන්‍යයන් ඊර්‍ෂ්‍යා කරන බවත් කියති. ඊර්‍ෂ්‍යාව මිනිසුන්ට පමණක් නොව තිරිසනුන්ටත් ඇති බව පෙනේ. ප්‍රාණ ඝාතකයාට මස් ලැබේ. සොරාට ධනය ලැබේ. මිථ්‍යාචාරයෙහි යෙදෙන්නාට සුවයක් ලැබේ. බොරු කියන්නාටත් එයින් ප්‍රයෝජන ලැබේ. සුරා පානය කරන්නහුට ද ඉන් සුවයක් ලැබේ. ඊර්‍ෂ්‍යා කරන්නහුට ඉන් වන යහපතක් නො පෙනේ. එබැවින් ඊර්‍ෂ්‍යාව ඉතාම ලාමක පාපයෙකැයි ද කිය යුතුය.

    “මච්ඡරිය” 
    තමාගේ දෙය අනුන්ට හිමි වීමටත් එයින් අනුන්ට සුළු ප්‍රයෝජනයක් වුව ලැබෙනවාටත් විරුද්ධ ස්වභාවය “මච්ඡරිය” නම් වේ. මාත්සර්‍ය්‍ය නම් ද, මසුරු බව නම් ද වේ. මසුරු තැනැත්තේ තමාගේ දෙය අනුන්ට දෙනු තබා අනුන් දකිනවාට ද නො කැමැත්තේ ය. දුටහොත් අනුන් ඉල්ලතියි යන බියෙන් ඔහු නිතර ම තමාගේ සම්පත්තිය සඟවයි. මසුරා ය, ලෝභියා ය යන දෙදෙනා ම නො දෙති. මසුරා නො දෙන්නේ මසුරු බව නිසා ය. ලෝභියා නො දෙන්නේ ලෝභය නිසා ය. මාත්සර්‍ය්‍යය එක් ක්ලේශයෙකි. ලෝභය එයට වෙනස් අන්‍ය ක්ලේශයෙකි. මේ දෙක කිසි කලෙක එක් ව එක සිතක ඇති නොවේ.

    අධික මසුරුකම් ඇත්තේ අනුන් දෙනවාට ද නො කැමති ය. ඔහු අනුන් කරන දීම් ද වළක්වයි. අනුන්ගේ දීම් වළක්වන මහ මසුරුකම ‘කදරිය’ නම් වේ. කදරිය නම් වූ මහ මසුරුකම් ඇතියෝ දෙන අයටත් දොස් කියති. අනුන්ගේ දීම් වළක්වන තැනැත්තේ ප්‍ර‍තිග්‍රාහකයාගේ ලාභය නැති කරයි. දායකයා ලබන පින ද නැති කරයි. දීම වැළැක්වීම දෙදෙනකුට අන්තරාය කිරීමකි. එබැවින් එය මහ පාපයකි. එය කරන්නෝ මරණින් මතු නරකයෙහි හෝ ප්‍රේත ව හෝ උපදිති.

    න වේ කදරියා දේවලෝකං වජන්ති
    බාලා හවෙ නප්පසංසන්ති දානං
    ධීරෝ ච දානං අනුමෝදමානෝ
    තේනේව සෝ හෝති සුඛී පරත්ථ.(ධම්මපද – ලෝකවග්ග)

    තද මසුරෝ දෙව් ලොවට නො යෙත්.
    බාලයෝ දීමට නො පසසන්නාහ.
    නුවණැත්තේ ම දීම අනුමෝදන් වන්නේ
    එයින් ම ඔහු පරලොව සැප ඇත්තේ වන්නේ ය – යනු එහි තේරුම ය.

    පඤ්ච මච්ඡරියානි ආවාස මච්ඡරියං කුල මච්ඡරියං ලාභ මච්ඡරියං වණ්ණ මච්ඡරියං ධම්ම මච්ඡරියං, යනුවෙන් මච්ඡරිය පසක් දක්වා ඇත්තේ ය. වාසස්ථානය පිළිබඳ මසුරු බව ආවාස මච්ඡරිය නම් වේ. ප්‍ර‍ත්‍යය පහසුව ඇත්තා වූ සුවසේ විසිය හැකි ආවාසයක පන්සලක සංඝාරාමයක වෙසෙන භික්ෂුවක් ඒ ස්ථානයට වතින් සම්පූර්ණ අන්‍ය සිල්වත් භික්ෂූන් ගේ පැමිණීමට නො කැමති වේ නම් පැමිණියාහු ද වහා ආපසු යත්වා යි සිතා නම් ඒ ආවාස මච්ඡරිය ය. ස්ථානය දූෂණය කරන කෝලාහල කරන දුශ්ශීල භික්ෂූන් ගේ පැමිණීම නො ඉවසීම පැමිණියාහු ද වහා යත්වායි සිතීම, එබඳු භික්ෂූන් ස්ථානයෙන් බැහැර කිරීම ආවාස මච්ඡරිය නො වේ. ආවාසයට පැමිණෙන අන්‍ය භික්ෂූන්ට කරදර කරන බණින ධම්මික නමැති භික්ෂුව ජාති භූමියේ ආවාස සතකින්ම නෙරපන ලදුව අන්තිමට වාසස්ථානයක් නොමැති ව පිහිට සොයා බුදුරදුන් වෙත පැමිණි බව අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් වේ. එබඳු භික්ෂූන් ආවාසවලින් බැහැර කිරීම සුදුසුය.

    තමාගේ දායක පවුල්වලට නෑ පවුල්වලට අන්‍ය භික්ෂූන් ගේ පැමිණීම නො කැමති බව කුලමච්ඡරිය ය. මිනිසුන්ගේ ප්‍ර‍සාදය නැති වන පරිදි හැසිරෙන පාප භික්ෂූන්ගේ පැමිණීම නො කැමති වීම කුල මච්ඡරිය නො වේ. අන් භික්ෂූන්ට පැහැදී ඔවුන්ටත් සලකන්නට පටන් ගත හොත් තමාට පාඩුවක් වේ යයි සිතා ගුණවත් භික්ෂූන් ගේ පැමිණීම නො ඉවසීම ආවාස මච්ඡරියය.

    අන්‍යයන් සිවුපසය ලබනවාට නො කැමති බව ලාභ මච්ඡරිය ය. යම් භික්ෂුවක් තමන්ට ලැබෙන ප්‍ර‍ත්‍යය ඥාති මිත්‍ර‍ ගිහියන්ට දී කුල දූෂණය කෙරේ නම් නො මනා ලෙස පරිභෝග කොට ප්‍ර‍ත්‍යය විනාශ කෙරේ නම් තමාට වැඩි හරිය කුණු වී යන්නට දිරා යන්නට හරිනවා මිස ප්‍රයෝජනය ඇතියකුට නො දේ නම් ඒ භික්ෂුවට මේවා නො ලැබී අන් සිල්වත් භික්ෂුවකට ලැබේ නම් යහපතැයි සිතීම ලාභ මච්ඡරිය නො වේ.

    ශරීර වර්ණය හා ගුණ වර්ණය පිළිබඳ මසුරු බව වණ්ණ මච්ඡරිය වේ. ශරීර වර්ණ හෙවත් රූප ශෝභාව පිළිබඳ මසුරු තැනැත්තේ අන්‍යයන්ගේ රූප ශෝභාව කියනු ඇසීමට නො කැමති වේ. තෙමේ ද නො කියයි. ගුණ වර්ණයට මසුරු තැනැත්තේ අනුන්ගේ ශීලාදි ගුණ ගැන කියනු ඇසීමට නො කැමති වේ.

    තමා දත් ධර්මය අන්‍ය භික්ෂූන් දැන ගන්නවාට නො කැමති බව ධර්ම මච්ඡරිය නම් වේ. පර්යාප්ති ධර්මය, ප්‍ර‍තිවේධ ධර්මය යි ධර්මය දෙ පරිදි වේ. ප්‍ර‍තිවේධ ධර්මය යනු මාර්ගඵල නිර්වාණයෝ ය. ඒවා ඇත්තේ ආර්‍ය්‍යයන්ට ය. ආර්‍ය්‍යයන්ට ඒවා ගැන මසුරු බවක් නැත. ඔවුහු තමන් ප්‍ර‍තිවේධ කර ඇති ධර්මය ලොව සැම දෙන ම ප්‍ර‍තිවේධ කරනවාට කැමැත්තෝ ය. ඇතැම් පෘථග්ජන භික්ෂූහු තමන් දැන සිටින ගැඹුරු ධර්මය අන් භික්ෂූන් දැන ගන්නවාට අකමැති ය. ඔවුහු ඒ ධර්ම අන් භික්ෂූන් ඇසුව ද නො කියති. එය ධම්ම මච්ඡරිය ය. තමාට වන වාසි අවාසි අනුව කලින් කල එක එක අතට හැරෙන කලකට පැවිදි වන කලකට ගිහි වන කලකට තාපස වන කලකට ක්‍රිස්තියානි වන ලාමක පුද්ගලයෝ වෙති. එබඳු ලාමක පුද්ගලයන් සියුම් වූ ගැඹුරු වූ ධර්මය උගතහොත් ඒ ධර්ම තමාට වාසි වන පරිදි තමා කැමති පරිදි තේරුම් කොට අවුල් කරන්නාහ. එබන්දන්ට ධර්ම නො දීම ධම්ම මච්ඡරිය නො වේ. ඇතැම් පාපී පුද්ගලයෝ සියුම් වූ ගැඹුරු වූ ධර්මයන් උගෙන ඒ මගින් තමන්ට නැත්තා වූ ලෝකෝත්තර ගුණ ප්‍ර‍කාශ කොට නැසෙන්නාහ. එවැනි අයට ඔවුන්ගේ යහපත සලකා ධර්මය නො දීමත් ධම්ම මච්ඡරිය නො වේ. ඇතැම්හු ධර්මය අවුල් කිරීම අවලංගු කිරීම පිණිස ම ධර්මය දැන ගැනීමට උත්සාහ කරති. ඔවුන්ට ධර්මය නො දීම ද ධම්ම මච්ඡරිය නො වේ. බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝකයා ගේ යහපත පිණිස සෑම දෙනාට ම දැන ගැනීම පිණිස දේශනය කර ඇති ධර්මය හැකි තාක් ලෝකයෙහි පැතිරවිය යුතුය. එය සැඟවීම ඉතා ලාමක ය. එබැවින් :-

    ඉමේසං කෝ පඤ්චන්නං මච්ඡරියානං එතං පතිකුට්ඨං යදිදං ධම්මමච්ඡරියං යනු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. මච්ඡරියේ විපාක දම්සඟුණු අටුවාවෙහි මෙසේ දක්වා ඇත. ආවාස මච්ඡරියෙන් යක්ෂයකු හෝ ප්‍රේතයකු හෝ වී, ඒ ආවාසයේ කසළ හිස තබා ගෙන හැසිරෙන්නේ ය. කුල මච්ඡරියෙන් තමාගේ දායකයන් නෑයන් අන්‍යයන්ට සත්කාර කරනු දක්නා කල්හි සිත උණු වී ලේ වමනය, ලේ පාචනය වන්නේ ය. ලාභ මච්ඡරියෙන් සංඝයාගේ ගණයාගේ ලාභයත් පුද්ගලික දේවල් මෙන් පරිභෝග කොට යක්ෂයකු හෝ ප්‍රේතයකු හෝ පිඹුරකු හෝ වන්නේ ය. වණ්ණ මච්ඡරියෙන් උපනුපන් තැන විරූප ව උපදී. ධම්ම මච්ඡරියෙන් උපනුපන් ජාතිවල මෝඩයෙක් වේ.

    තවත් ක්‍ර‍මයක් මෙසේ ය. ආවාස මච්ඡරියෙන් ලොහොකුඹු නරකයෙහි උපදී. කුල මච්ඡරියෙන් අල්පලාභී වේ. ලාභ මච්ඡරියෙන් ගූථ නරකයෙහි උපදී. වණ්ණ මච්ඡරියෙන් උපනුපන් තැන විරූප වේ. ධම්ම මච්ඡරියෙන් කුක්කුල නරකයෙහි උපදී.
    (අත්ථසාළිනි 315)

    AN 02-17-04 මායා අකුසල සූත්‍රය.

    “මහණෙනි,
    දොස් සහිත වූ, දුක් වඩවන්නාවූ
    අකුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    මොනවාද යත්:

    මායාවද,
    කෛරාටික බව (සාඨෙය්‍ය බව)ද
    යන මේ දෙකයි.

    “මහණෙනි,
    මේ දොස් සහිත වූ,
    දුක් වඩවන්නාවූ අකුසල ධර්‍මයෝ වෙත්.”

    [මායා:
    පව්කම් කොට ඒවා සඟවන ස්වභාවය මායා නම්වේ.
    ඇතැම්හු තුමූ ම අනුන්ගේ බඩු සොරකම් කර හිමියා වෙත ගොස් ශෝකය පළ කෙරෙති. නැති වූ බඩු සෙවීමට සහාය වෙති. මේ මායාවය. ඇතැම් පැවිද්දෝ ද තමන් කරන ලද වරද වසා ගැනීම සඳහා මහත් සංවරයක් දක්වති. වත් පිළිවෙත් කරති. මල් පහන් පුදති. ඒවායේ ආදීනව කියා දහම් දෙසති. අන්‍යයන් වරද කිරීම ගැන ශෝකය පළ කරති. බුදු සසුන බබලවන්නට සිල්වතුන් ඇති කරන්නට කථා කරති. මේ මායා කාරයන්ගේ ස්වභාවයය. මායාවට බොහෝ දෙනා රැවටෙන්නාහ.

    මායාකාර මායාකාර තවුසකු ගැන ඇති ජාතක කථාවක් මෙසේය:-

    අතීතයේ එක් ගමක් ඇසුරු කරමින් කූට තවුසෙක් විසීය. ඔහුගේ ඉරියව් දැක ඔහු කෙරෙහි පැහැදුණු ගම් වැසියෙක් ඔහුට වනයෙහි පන්සලක් සාදා දී එහි වාසය කරවා තමාගේ ගෙහි ම ඔහුට ප්‍ර‍ණීත භෝජනයෙන් උපස්ථාන කෙළේය. මේ වැසියා කූට තාපසයා මහ සිල්වතෙකැයි සිතා තමා වෙත තුබූ රන්කාසි සියයක් ආරක්ෂාව සඳහා කූට තවුසාගේ අසපුවට ගෙන ගොස් පොළොවෙහි වළලා “ස්වාමීනි, මෙය බලාගන්නය”යි කීය. “පින්වත, පැවිද්දන්ට මෙවැනි කරුණු කීම නුසුදුසු ය. අපට අන් සතු වස්තුවෙහි ලෝභයක් නැතය”යි තවුසා කීය. ගම් වැසියා “එසේය ස්වාමීනි” යි කියා ඔහුගේ කීම විශ්වාස කොට පෙරළා ගියේය. දින කීපයකට පසු කූට තවුසා “මට වූයේ ගජ වාසියෙක, මේ මුදල මටසැපසේ ජීවත් වන්නට සෑහෙන්නේ ය” යි බිම කැණ රන්කාසි සියය ගෙන වනයේ අන් තැනක සඟවා එදින පන්සලට වී සිට පසු දින ගම් වැසියාගේ නිවසට ගොස් ඔහු පිළියෙල කර තුබූ ප්‍ර‍ණීත භෝජනය බඩ පුරා වළඳා දායකයාට කථා කොට, “පින්වත, අප ඔබ නිසා බෝ කලක් වාසය කර ඇත්තේ ය. වැඩි කල් එක් තැන විසීම පැවිද්දන්ට නුසුදුසු ය. එසේ විසීමෙන් ගිහියන් හා බන්ධනයක් වන්නේ ය. එය පැවිද්දට කිලුටෙක. එබැවින් මම අන් තැනකට යෙමි”යි කීය. ගම් වැසියා නො යන ලෙස නැවත නැවත යාච්ඤා කළ නමුත් තවුසා එය ප්‍ර‍තික්ෂේප කෙළේය. එකල්හි ගම්වැසියා තවුසා පිටත් කොට ගම් දොර දක්වා පසු ගමන් කොට පෙරළා ආයේය. කූට තවුසා මඳක් දුර ගොස් ගම්වැසියා වැඩි දුරටත් රවටන්නට සිතා ජටාවෙහි තණපටක් රඳවා ගෙන ඒ නිවසට නැවත ද ආයේ ය. ගම්වැසියා තවුසා දැක “ස්වාමීනි, කුමට පෙරළා වැඩම කළ සේක්දැ”යි ඇසූ කල්හි “පින්වත, ඔබගේ නිවසේ පියැස්සෙන් එක් තණපතක් මාගේ ජටාවෙහි රැඳී තිබුණේ ය. සුළු වූ ද අන් සතු දෙයක් ගෙන යාම පැවිද්දන්ට නුසුදුසු බැවින් එය ගෙන ආමි”යි කීය. ගම්වැසියා “ස්වාමීනි, තණපත විසි කර යනු මැනවැ”යි කියා මාගේ තාපසයන් වහන්සේ තණපතක් පමණ වූද, අන්සතු වස්තුවක් නො ගනිතියි වඩාත් පැහැදී වැඳ තවුසා පිටත් කෙළේය.

    බෝසතාණන් වහන්සේ බඩු සෙවීම පිණිස ප්‍ර‍ත්‍යන්තයට ගියාහු එදින ඒ ගෙයි නවාතැන් ගෙන සිටියහ. උන්වහන්සේ ඒ ක්‍රියාව දැක සැක සිතී “යහළුව, ඔබ මේ තවුසා වෙත කිසි ධනයක් තබා ඇත්තේ දැ”යි අසා එසේය යි කී කල්හි වහා ගොස් විමසන්නය යි කීහ. ගම්වැසියා වහා ගොස් බලා රන් කාසි සියය නො දැක වහා අවුත් ඒ බව බෝසතාණන්ට කීය. එකල්හි බෝසතාණෝ “ඔබගේ මුදල් ගත්තේ අනිකකු නොව මේ කූට තවුසා ම ය. වහා ගොස් ඔහු අල්ලා ගෙනෙවු”ය යි ගම්වැසියන් කැඳවා ගෙන ලුහුබැඳ ගොස් තවුසා අල්ලා තවුසාට අතින් පයින් තළා රන් කාසි ලබා ගත්හ. බෝසතාණෝ මතු එබඳු පව්කම් නො කරන ලෙස අවවාද කොට තාපසයා පිටත් කළහ. මායා කාරයෝ ඒ කූට තවුසා වැන්නෝය.]

    [ ලාභ සත්කාරාශාවෙන් තමා තුළ නැති ගුණ ඇති ලෙස හැඟවීම සාඨෙය්‍ය නම් වේ. දුශ්ශීලව හිඳ සිල්වතකු බව හඟවන ස්වභාවය, ගමෙහි වෙසෙමින් ආරණ්‍යකයකු ලෙස හඟවන ස්වභාවය, ශ්‍ර‍ද්ධාව නැති ව ශ්‍ර‍ද්ධාව ඇතියකු ලෙස හඟවන ස්වභාවය, උගතකු නොවී උගතකු ලෙස හඟවන ස්වභාවය, පෘථග්ජනව සිට ආර්‍ය්‍යයකු ලෙස හඟවන ස්වභාවය සාඨෙය්‍ය නම් ක්ලේශය ය. මායා සාඨෙය්‍ය යන මේ දෙක තරමක් එකිනෙකට සමාන ය. ධ්‍යානාභිඥා මාර්ග ඵල යන මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන්තමා කෙරෙහි නැතිව ඇතය යි පැවසීම ඉතා ම නපුරු පාපයෙකි.

    සදේවකෙ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්‍ර‍හ්මකේ සස්සමණ-බ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අයං අග්ගෝ මහා චෝරෝ යෝ අසන්තං අභූතං උත්තරී මනුස්සධම්මං උල්ලපති.
    (පාරාජිකා පාලිය)

    මහණෙනි, යමෙක් තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය ඇතැයි පවසා නම් හෙතෙමේ දෙවියන් සහිත මාරයන් සහිත බ්‍ර‍හ්මයන් සහිත ලෝකයෙහි ශ්‍ර‍මණබ්‍රාහ්මණයින් සහිත දෙව් මිනිසුන් සහිත සත්ත්ව සමූහයෙහි අග්‍ර‍ වූ මහා චෞරයාය යනු එහි තේරුම 

    AN 02-17-05 අහිරිකා අකුසල සූත්‍රය.

    මහණෙනි!
    දොස් සහිත වූ, දුක් වඩවන්නාවූ
    අකුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    මොනවාද යත්:

    “පාපයට ලජ්ජා නැති බවද,
    පාපයට භය නැති බවද
    යන මේ දෙදෙනයි.

    “මහණෙනි,
    මේ දෙකම දොස් සහිත වූ, දුක් වඩවන්නාවූ
    අකුසල ධර්‍මයෝ වෙත්.

    [වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරාධිපති
    මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි

    අභිධර්මයෙහි දී අකුසල ගණයෙහි එන සිතිවිලි දා හතරක් ගැන සඳහන් වෙනවා. එයින් ප්‍රබල අකුසල සිතිවිලි දෙකක් ලෙස අහිරික හා අනොත්තප්ප යන සිතිවිලි දෙක පෙන්වා දෙන්නට පුළුවනි. ‘අහිරික’ කියලා කියන්නේ ලජ්ජාවක් නැහැ කියන අදහසයි. මොනවාට ද? ලජ්ජාවක් නැත්තේ පහත් ලාමක පවිටු වැඩවල යෙදීමට යි. මේ අහිරිතකය හෙවත් ලජ්ජා නැතිකම තිබේ නම් ඕනම අකුසලයක් කරන්නට සිතට බලපෑමක් ඇති වෙනවා. අනිත් සිතිවිල්ල වන ‘අනොත්තප්ප’ කියලා කියන්නේ ලාමක පහත් පවිටු වැඩ කරන්නට සිතේ කිසිදු බියක් නැති ස්වභාවය යි. පළඟැටියා ගින්නට බියක් නො ගෙන ගින්න හා ගැටෙනවා වගෙයි. හැබැයි, මේ අහිංසක පළඟැටියා ඒ ගින්නෙන් ම විනාශ වෙලා යනවා. ඒ ආකාරයෙන් ම පවට බියක් නොදක්වා ක්‍රියා කරන තැනැත්තා ඒ පාපයෙහි ගැලිලා අවසානයේ දී නොයෙකුත් විපත්තිකර තත්ත්වයන්ට මෙලොව හා පරලොව වශයෙන් ගොදුරු වෙලා මහත් දුක්කන්දරාවක් උරුම කර ගන්නවා. මෙම සිතිවිලි දෙකෙහි ම විරුද්ධ පාර්ශ්වයක් ද තිබෙනවා. ඒකට කියනවා හිරි හා ඔත්තප්ප කියා. ඒ සිතිවිලි දෙක අපට දැක ගන්නට පුළුවන් වන්නේ අභිධර්මයෙහි එ න පරිදි පස්විසි ශෝභන චෛතසිකයන්හි දී යි. ඒ සියල්ල කුසල සිතිවිලි යි. මෙහි දී ‘හිරි’ කියා සඳහන් වන්නේ ලාමක පහත් පවිටු වැඩ කිරීමට ඇති ලජ්ජාව යි. මෙය උපමා කරන්නේ වැදගත් පවුල් පසුබිමක හැදුණු වැඩුණු කුල කාන්තාවකට යි. ඊළඟ සිතිවිල්ල ඔත්තප්ප යන්නෙහි ප්‍රතිවිරුද්ධ ‘අනොත්තප්ප’ යන්නයි. අනොත්තප්ප කියා කියන්නේ පවිටු ලාමක වැඩ කිරීමට තිබෙන බියවන ස්වභාවය යි. හරියට වෙසඟනක් මෙන් උපමා කෙරෙනවා. වෙසඟනක සමාජයට බියසුලු බවක් දක්වනවා. තමන් නීතියේ රැහැනට අසුවෙයි කියා රහසිගතව ජීවත් වන්නට හැම විටම සූදානම් වෙනවා. මෙම ‘හිරි ඔත්තප්ප’ යන සිතිවිලි දෙක ගත්තහම ‘හිරි’ නම් සිතිවිල්ල පුද්ගලයාගේ සිත ඇතුළතින් එහෙම නැතිනම් හෘදය සාක්ෂියෙන් හට ගන්නා ස්වභාවයක් දරනවා. ‘ඔත්තප්ප’ සිතිවිල්ල බාහිර වශයෙන් සමාජයෙන් එල්ල වන චෝදනා මත බලපවත්වන ස්වභාවයක් දරනවා. මේ නිසා හිරි ‘අත්තාධිපතෙය්‍ය’ ලෙසත් ‘ඔත්තප්ප’ බාහිරින් එල්ල වන්නක් නිසා ‘ලෝකාධිපතෙය්‍ය’ ලෙසත් ධර්මයෙහි විස්තර වෙනවා. මෙම ලෝකයේ පවත්නා තාක් නීති රීති හා සදාචාරාත්මක සම්ප්‍රදායයන් ගොඩනැගෙන්නේ හිරි ඔත්තප්ප යන සිතිවිලි දෙක පදනම් කරගෙන බවයි. බුදුදහමෙන් විස්තර වන්නේ ලෝක පාලකධර්ම වශයෙනුයි.

    හිරි ඔතප්
    අපේ බුදුරජාණන් වහන්සේ විසින් ‘හිරොත්තප්ප’ නමින් සූත්‍රයක් දේශනා කර තිබෙනවා. මේ සූත්‍ර දේශනාවට අනුව හිරි ඔතප් නොමැති පුද්ගලයාට කිසිදු දිනෙක සසරින් එතර විය නො හැකි බව පැහැදිලිව ප්‍රකාශ කරනවා. එය උන්වහන්සේ එම සූත්‍ර දේශනාවේ දී පියවරෙන් පියවර පැහැදිලි කර දී තිබෙනවා. මෙයින් පැහැදිලි වන්නේ මෙම හිරි, ඔතප් චෛතසික දෙක පුද්ගලයාගේ සසර ගමන කෙරෙහි කෙතරම් බලපෑමක් ඇති කරනවා ද කියන කාරණය යි. ඒ නිසා ම අභිධර්මයෙහි දී සියලු අකුසල සිත්හි යෙදෙන ප්‍රධාන චෛතසික හතර අතර මෙම අහිරික, අනොත්තප්ප යන දෙක ද දොළොසක් වන අකුසල සිත්හි යෙදෙන බව පැහැදිලි කර දී තිබෙනවා.
    මී ළඟට අප බුදුරජාණන් වහන්සේගේ මෙම සූත්‍ර දේශනාවෙන් හිරි ඔතප් චෛතසික දෙක නොමැති වූ විට එය නිවන් මඟ අවුරාලන ආකාරය විස්තර කර ඇති ආකාරය විමසා බලමු.

    චිත්ත සමාධිය
    මෙම සමාධිය යනුවෙන් අදහස් කරන්නේ කුසල පක්ෂයෙහි සිත් පිළිබඳ ඒකාග්‍රතාව යි. එය විස්තර වශයෙන් ගත්තහම සමාධානය යන අර්ථයෙන් සමාධිය විස්තර වෙනවා. ඒ අනුව සමාධානය වන්නේ සිත හා සිතින් බැඳුණු සිතිවිලි විවිධ අරමුණු කරා යාමට ඉඩ නො දී එක අරමුණෙක පිහිටුවා ගැනීම යි. ඉතින් මේ කුසල පක්ෂයෙහි චිත්තේකග්‍රතාව නැති වුවහොත් සිදු වන්නේ ඒ නිසා ම, යථාභූත ඥානය හෙවත් ඇති දේ ඒ ආකාරයෙන් ම දක්නා ඥානය අහිමි වෙනවා. මෙය ඇත්ත ඇති හැටියෙන් දක්නා නුවණට යථාභූත ඥානදර්ශනය යනුවෙන් ප්‍රකාශ කෙරෙනවා. මෙම ඥානදර්ශනය නම් ඇත්ත ඇති හැටියෙන් දැකීම යි. ඒ තත්ත්වයට පත්වන පුද්ගලයා ආර්ය මාර්ගයට පිවිසි අයෙකුම වෙන්නටත් ඕන බව විසුද්ධි මාර්ගයෙහි ප්‍රකාශ වෙනවා. මෙසේ මාර්ගඵල ලාභියෙකුට විනා පුහුදුන් අයෙකුට මෙම යථාභූත ඥානය පහළ වන්නේ නැහැ. මෙසේ යථාභූත ඥානය පහළ නො වූ අයට සියලු සංස්කාර ධර්මතාවන් පිළිබඳ භයක් ඇති කර ගන්නා ඥානය හෙවත් ‘නිබ්බිදා විරාගය’ ඇති වෙනවා. මෙය සමහර ධර්ම ග්‍රන්ථවල තරුණ විදර්ශනාව ලෙස හැඳින්වෙනවා. එනම් විදර්ශනාඥානය විකසිත වීමට ආරම්භ වන තරුණ අවස්ථාවයි. එය නිබ්බිදා විරාගය ලෙස මේ ‘හිරෝත්තප්ප’ සූත්‍රයෙහි සඳහන් වෙනවා.

    අහිරික, අනොත්තප්ප
    අහිරික, අනොත්තප්ප චෛතසික දෙක ප්‍රබල වූ විට ඒ පුද්ගලයාගෙන් ඉන්ද්‍රිය සංවරයක් ඇති නොවන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරනවා. මෙහි දී ඉන්ද්‍රිය සංවරය කියා කියන්නෙ අපේ ඇස, කන, නාසය ආදී මෙම බාහිර අරමුණු ලබා ගන්නා මාර්ග පහයි. ලජ්ජා බිය නැති වූ පුද්ගලයා මෙම ඉන්ද්‍රිය පාලනයක් ගැන සිත යොමු කරන්නේ නැහැ. ඒ නිසා තම ඉන්ද්‍රියයන් පිනවීම අරමුණු කොට ඕනම ලාමක ක්‍රියාවක් කරන්නට පෙළඹෙනවා. අප ජීවත් වෙන මේ සමාජය තුළ ඕන තරම් මෙයට නිදසුන් ලබා ගන්නට පුළුවන්. දිනපතා පුවත්පත්, රූපවාහිනි නාලිකා ආදිය බලන විට මේ සමාජයේ විවිධ දුරාචාර, බලාපචාරවලට හේතු වී තිබෙන්නේ මේ ඉන්ද්‍රිය පිනවීම ලජ්ජා බියෙන් තොරව කරන්නට යාමේ ප්‍රතිඵලයක් නිසයි. එවිට ඒ සමාජයමත් දූෂිත බවට පත් වෙනවා. අපකීර්තිය බහුල වෙනවා. ශිෂ්ට සමාජයෙන් නොයෙක් රැවුම් ගෙරවුම්වලට ලක්වීම නොවැළැක්විය හැකි යි. කිසියම් පුද්ගලයෙක් ඉන්ද්‍රිය සංවරය ඇතිව තම ජීවිකාව ගත කරනවා යන්නෙහි අදහස වන්නේ ඒ අය සමාජයේ සම්භාවනා ලබන ශික්ෂණයක් හෙවත් ශීලයක් ඇති චරිතවත් අයෙකු බවයි. ඉතින් ඉන්ද්‍රිය සංවරය ගිලිහුණු සැණින් ඒ පුද්ගලයා ශීලයෙන් පිරිහුණු අයෙකු බවට පත් වෙනවා. ශීලයෙන් ගිලිහුණා යන්නෙහි තේරුමත් ඒ පුද්ගලයා කෙරෙන් සමාධියත් ගිලහුණා යන්නයි. සීලයක් නොමැති තැන සමාධියක් ඇති නොවේ. බුදුරජාණන් වහන්සේ විසින් ‘ජටා’ සූත්‍රයේ දී පැහැදිලිව ප්‍රකාශ කරන්නේ ‘සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤං ච භාවයං’ යනුවෙන් සීලයෙහි පිහිටීම සිත වැඩි දියුණු කිරීමේ පදනම බව, මෙම ශීලය පිළිබඳ පැහැදිලි විස්තරයක් විසුද්ධි මාර්ගයෙන් අපට බලා තේරුම් ගන්නට පුළුවන්. කොහොමත් සාමාන්‍ය අර්ථයෙන් ගත්විට ශීලය කියා කියන්නේ හික්මීම යි. ඉතින් ලජ්ජා බය දෙක නැතිනම් ඉන්ද්‍රිය සංවරය ගිලිහීම තුළින් ඔහු සමාජයේ අශීලාචාරවත් අයෙකු බවට පත් වීම නො වැළැක්විය හැකියි. ඒ නිසා ම ඔහු වෙතින් චිත්ත සමාධිය දුරස්ථ වෙනවා. ශීලය හැම විටම චිත්තේකාග්‍රතාව වැඩීමට අවශ්‍ය වෙන නිසයි. සසර මග කෙළවර කර ගැනීමේ අරමුණෙන් සිල් පුරන භික්ෂුවක් වේ නම් උන්වහන්සේ පාංසුකුලිකාංගාදී 14 වන ධුතාංග සමාධානය වැදගත් වෙනවා. මේ අතර භික්ෂු භික්ෂුණීන්ට, සාමණේරයන්ට, සාමණේරීන්ට, උපාසකයන්ට හා උපාසිකාවන්ට වශයෙන් මේ ධුතාංග ප්‍රභේද වෙනවා. කෙසේ වුවත් අපි යම් භික්ෂුවක් පාංසුකුලිකාංගය සමාදන් වන්නේ නම් උන්වහන්සේ ඊට අදාළ වන වස්ත්‍ර 23ක් පමණ ධර්මයෙහි සඳහන් බැවින් එම වස්ත්‍රයක් සොයා ගෙන එය ද කැබලි වශයෙන් ඉරා කිසිදු වටිනාකමක් නැති කොට සිවුරක් ලෙස පරිභෝග කරනවා. බොහෝ විට බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමයෙහි මළකුණු ඔතා අමුසොහොනෙහි දමා ගොස් ඇත. මළකුණු හා පණුවන් තැවරුණු වස්ත්‍ර, කසළ ගොඩවල් ආදියෙහි දැමූ වස්ත්‍ර, ස්ත්‍රීන්ගේ ගැබ්මල පිස දමා ඉවත් කරන ලද වස්ත්‍ර වැනි රෙදි මෙම සිවුරු කර ගැනීම සඳහා යොදා ගෙන තිබෙනවා. ඇත්තෙන් ම මෙයින් සිදු වන්නේ භික්ෂුව අල්පේච්ඡතා ගුණයෙන් ශක්තිමත් වීමයි. එම භික්ෂුව විවිධ අය විසින් පූජා කරන ලද වස්ත්‍ර හෝ සිවුරු දරන්නෙක් නොවෙයි. මෙවැනි ධුතාංග සමාදානයෙන් සිදු වන්නේ භික්ෂුවගේ ශීලය වඩාත් ඔපවත් වීමයි. ඒ වගේ ම අනෙකුත් භික්ෂුණීන්, උපාසක උපාසිකාවන් වූව ද මෙසේ ධුතාංග සමාදන් වන විට ඒ අයගේ ශීලය ද ඔපවත් වෙනවා. එවිට සමාධිය මැනවින් පිහිටනවා. සිල්වත් නො වුණහොත් සමාධිය පිහිටන්නේ නැහැ.

    විදර්ශනා ප්‍රඥාව
    මෙම ඉහත අවස්ථාව නොමැති වූ විට සිදු වන්නේ අර්හත්වයට පත් වීමට නොහැකි වීමයි. එනම් විදර්ශනා ප්‍රඥාව සපුරා නොගැනීම යි. මේ ආකාරයෙන් බලන විට මෙම හිරි ඔතප් ඇති පුද්ගලයා ක්‍රමානුකූලව මෙම පියවර හත පසු කර අර්හත්වයට පත්වෙන බව බුදුරජාණන් වහන්සේ අපට පැහිදිලි කරනවා. එනම් හිරි ඔතප් නිසා ඉන්ද්‍රිය සංවරයත්, එයින් ශීලයත් ආරක්ෂා වී සමාධියත් ඇති වී ඒ නිසා ම යථාභූතඥානය පහළ වී ඒ මගින් නිබ්බිදා විරාගය හෙවත් විදර්ශනාව විකසිත වී නිබ්බිදා විරාගය ඇති වී මෙන් විමුක්ති ඥාන දර්ශනය හෙවත් අර්හත්වය, සම්පූර්ණ වෙනවා. එය උපමාවකින් පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් දක්වනවා. එනම් කිසියම් ගසක් මැරුණට පස්සේ එහි කොළ අතු වියළි යනවා. ඊට පස්සේ ගහේ පොත්ත, ඒ ය ට සිවිය, අරටුවත් වියළී යනවා. ඒ ආකාරයෙන් හිරි ඔතප් නැති තැනැත්තා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ තමන්ගේ උතුම් මිනිස් දිවිය විනාශ කර ගත් හෙවත් මරණයට පත් කර ගත්තා හා සමානය. එනම් ඒ ජීවිතයෙන් තමාටවත් සමාජයටවත් කිසිදු පළක් වන්නේ නැහැ. සිදු වන්නේ නපුරක් අයහපතක් ම පමණක්මයි.

    AN 02-17-06 අක්කොධ කුසල සූත්‍රය.


    “මහණෙනි,
    දොස් රහිත වූ, දෙලොව සුව වඩවන්නාවූ
    එලොව මෙලොව දුක් ගෙන නොදෙන්නාවූ
    තවත් කුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    කවර දෙකක්ද යත්:

    අක්‍රෝධයද,
    බද්ධ වෛර නොකිරීමද
    යන මේ දෙදෙනයි.

    “මහණෙනි,
    මේ දෙක දෙලොව සුව වඩවන්නාවූ
    කුසල ධර්‍මයෝ වෙත්.”

    [අක්කොධය යනු ක්‍රෝධයෙන් තොර වීමය. තොර කල යුත්තේ ඇතිවුණු දෙයකි. ඇතිවෙන්නට නොදී සිත රැක ගත්කල නැති කලයුතු දෙයක් ඇති නොවේ. කෝධය මහා රුක්ෂ ගසක් නම් එය ඇති වන්නේ නුරුස්නාව යන ලපටි පලයෙන් බව දන්නා නැණවතා නුරුස්නාව ඇති වෙනවා දැනුනු කල එය නැති කර ගනී. එවිට ඔහුට ක්‍රෝධය නැතිකිරීමක් අවශ්‍යවන්නේ නැත. මේ පිණිස සතියෙන් ජීවත් වීම , යෝනිසෝ මනසිකාරයෙන් සිතීම , තිලක්ඛනයෙන් ලෝකය අවබෝධ කර ගැනීම මහෝපකාරී වෙයි.]

    [බද්ධ වෛරය (උපනාහ) යනු සිත තුළ දැඩි ලෙස අල්ලාගෙන, කාලයක් තිස්සේ පැසවමින් පවතින, භවයක් පාසා පතාගෙන එන ඉතා දරුණු වෛරී සහගත සිතුවිල්ලයි. කෝපය තාවකාලික වුවත්, බද්ධ වෛරය මියගියද සිතේ රැඳී පවතින අතර, එය සන්සුන් සිතක් ඇතුළේ සැඟවී තිබිය හැකි දරුණු මානසික තත්ත්වයකි,

    AN 02-17-07 අමක්ඛ කුසල සූත්‍රය.

    “මහණෙනි,
    දොස් රහිත වූ, දෙලොව සුව වඩන්නාවූ
    එලොව මෙලොව දුක් ගෙන නොදෙන්නාවූ
    තවත් කුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    කවර දෙකක්ද යත්:

    “ගුණමකු නොවීමද,
    අයුග්‍රාහයද
    යන මේ දෙදෙනයි.

    “මහණෙනි,
    මේ දෙක දෙලොව සුව වඩවන්නාවූ
    කුසල ධර්‍මයෝ වෙත්.”.”

    [මක්ඛය සෑම සත්වයකුටම ඇති අකුසලයකි. එහි වර්ගය කුමක් වුවත් මම අරයාට වඩා ….ය, අරයා තරම්….. නැත, අරයා වගේමය… ආදී ලෙස අනුන් හා සසඳමින් මනිමින් නැති “මම”ක් මේ සරීරෙ ඉන්නවාය කියා සිතමින්, අදහමින් ඒ අනුව ජීවිතය ගෙවන සත්වයා මෙලොව නොයෙක් දක් ඒ නිසා තාම සාදා ගනියි. මේ අත්තවාදය නිසා මැරෙමින් ඉපිදමින් සසරේම එක එක රුපවලට මාරුවෙමින් නොනැවතී ඔහේ යයි. සසරින් නොමිදේ.]

    AN 02-17-08 අනිස්සා කුසල සූත්‍රය.

    “මහණෙනි,
    දොස් රහිත වූ, දෙලොව සුව වඩන්නාවූ
    එලොව මෙලොව දුක් ගෙන නොදෙන්නාවූ
    තවත් කුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    කවර දෙකක්ද යත්:

    “ඊර්‍ෂ්‍යයා නොකිරීමද,
    නොමසුරු බවද “
    යන මේ දෙදෙනයි.

    “මහණෙනි,
    මේ දෙක දෙලොව සුව වඩවන්නාවූ
    කුසල ධර්‍මයෝ වෙත්.”

    [මේ මනුෂ්‍යයාට මට වඩා සම්පත් ලැබෙන්නේ, ඔහු පෙර භවයකදී හෝ දැන් කරන කුසල නිසාය. ඔහුට ඊර්ෂ්‍යා කරමින් මම යලිත් අකුසල කරනු වෙනුවට ඔහුගේ සම්පත් ලැබුනේ පෙර භවහි ලෝභ මසුරු සිත් දුරු කරගෙන තමන් සතු ලොකු හෝ කුඩා දේ නැති බැරි උනාට, තැනගෙන් යැපෙන ශ්‍රමණ යනට,දැසි දසනට, යපුල්ලනට දී කරගත් පින් නිසා බව දැනගෙන ඊට අනුමෝදන් වී අහෝ ඔහුගේ කුසලය මමද අනුමෝදන් වෙමි. ඔහුට වඩ වඩා සම්පත් ලැබේවා!”යි පතමින් තමන්ද පින් කිරීමම, කුසලයන්හි යෙදීමම වඩා ප්‍රඥා ගෝචර නොවේද?]

    AN 02-17-09 අමායා කුසල සූත්‍රය.

    “මහණෙනි,
    දොස් රහිත වූ, දෙලොව සුව වඩන්නාවූ
    එලොව මෙලොව දුක් ගෙන නොදෙන්නාවූ
    තවත් කුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    කවර දෙකක්ද යත්:

    මායා රහිත බවද,
    කෛරාටික නැති බවද
    යන මේ දෙකයි.

    “මහණෙනි,
    මේ දෙක දෙලොව සුව වඩවන්නාවූ
    කුසල ධර්‍මයෝ වෙත්.”

    [ සට කපට කමින් , අනුන් රවටමින් රැස් කරන දේ ඵල කිසිවක් වැඩි කලක් ඉතිරි නොවේ. වැඩි කලක් ඒ සට කපටකම් වලට මිනිසුන් නොරැවටෙයි. වැඩි කල් නොගොස් ආණ්ඩුවේ නීතිවලට අසුවී සිපිරි ගෙයි දුක් විඳින්නට වෙයි. මරණින් මතු අපා ගතවී කල්ප ගැන කාලයක් නිරා දුක් විඳින්නට වෙයි. ඥානවන්තයා දහමින් අවංකව කර්මාන්තයක යෙදී යමක් උපයා ගනී. ඉන් තම්ද යපෙපින් හැකි පමණින් දන් දී පින් කරගනී.]

    AN 02-17-10 හිරි කුසල සූත්‍රය.

    පූජ්‍ය ලබුනෝරුවේ ධම්මවිහාරී ස්වාමින්වහන්සේ

    “මහණෙනි,
    දොස් රහිත වූ, දෙලොව සුව වඩන්නාවූ
    එලොව මෙලොව දුක් ගෙන නොදෙන්නාවූ
    තවත් කුසල ධර්‍මයෝ දෙකක් වෙත්.
    කවර දෙකක්ද යත්:

    “(පාපයට) ලජ්ජාවද,
    (පාපයට) භයද යන
    මේ දෙකයි.”

    “මහණෙනි,
    මේ දෙක දෙලොව සුව වඩවන්නාවූ
    කුසල ධර්‍මයෝ වෙත්.”

    AN 02-17-11 සාවජ්ජ කොධ සූත්‍රය.

    [අනවජ්ජ යනු වැරදි නැති යනුය. සාවජ්ජ යනු වැරදි ඒවා බවය. ලෝකයේ දැන උගත් පණ්ඩිතයෝ වැරදි ලෙස දකින දේ බොහෝ විට මේ ගොන්නට වැටේ. ධර්මයේ මේ ඉතා පාහසුවෙන් තේරුම් කර ඇත්තේ තමාට හෝ අනුන්ට අයහපතක් වෙන කය ක්‍රියා වචී ක්‍රියා සාවජ්ජ බවය.]

    ” මහණෙනි!
    ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
    වැරදි ක්‍රියායයි හෙලා දකින ධර්ම දෙකක් ඇත.”

    “ඒ කවර දෙකක්ද යත්:
    “ක්‍රෝධයද,
    බද්ධ වෛරය
    යන මේ අකුසල දෙකයි.

    “මහණෙනි!
    මේ අකුසල දෙක ද
    ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
    වැරදි ක්‍රියායයි හෙලා දකින ධර්ම වෙත්.”

    [පැල්මඩුල්ල ඓතිහාසික ශ්‍රී සුදර්ශන ධර්මශාලා
    පුරාණ විහාර භාරකාර,
    අධ්‍යාපනවේදී
    ගලගම කුසලධම්ම හිමි ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ වප් පුර අටවක පෝදා,
    2021 ‍ඔක්තෝබර් 13 බදාදා බුදු සරණ ට ලියු ලිපිය

    කෝපයක් ඇති වූ කල එය ඉක්මනින් හෝ ටික කලක් ගත වන විට හෝ නිවී යා හැකි ය. එසේ සිත වෙනස් නොවුණොත් එය වෛරයක් බවට හැරේ. වෛරය යනු සිතේ අල්ලා හිටින දෙයකි. බද්ධ වෛරය යනු භවයක් පාසා ගෙන යන වෛරය යි. මේ දෙකම ආරම්භ වන්නේ කෝපයෙනි.ජීවිතය විනාශ කරන්නට තරම් හේතු වන සිතිවිලි අතර තරහව ප්‍රධානයි. තමන්ට විතරක් නොවෙයි, එය සමාජයීය වශයෙනුත් ඇති කරන්නේ අහිතකර බලපෑමක්. එම ආවේගකාරී හැඟීම් ඇති වූ වහාම පාලනය කර ගත යුතු වන්නේ ඒ නිසයි. තරහ සිතිවිලි පාලනය කර ගැනීමට සම්බුදු දහමෙහි එන ඉගැන්වීම් ඉතා සුවිශේෂී යි. වචනයට සීමා නොකොට ජීවිතයට ප්‍රායෝගික ව ගළපාගත හැකියි.

    සිතිවිලි හඳුනාගැනීම

    • තරහව පාලනය කර ගන්නට නම්, පළමුව තමන්ගේ සිතිවිලි හඳුනාගත යුතුයි. මට මේ ඇවිත් තියෙන්නේ තරහක් ද? ද්වේෂ සිතක් ද? යන්න පළමුව දැන ගන්න.
    • ඉන්පසු එහි ආදීනව, ඵල විපාක ගැන අවබෝධයක් ඇති කරගන්න. (සදෝස චිත්තංති පජානාති)
    • ඒ අනුව, තරහ නැති කර ගැනීම සඳහා සිතේ කැමැත්තක් ඇති කරන්න ගන්න (ඡන්දං ජනේති)
    • ඒ සඳහා වෑයම් කරන්න (වායමතී)
    • වීර්යය ආරම්භ කරන්න (විරියං ආරභතී)
    • නෑ මං කේන්ති ගන්නෙ නෑ යනුවෙන් සිත තද කර ගන්න (චිත්තං පග්ගන්හාති)
    • කෝපය හෙවත් තරහව ආකාර දෙකකි.
      ඒ සාමාන්‍ය කෝපය සහ ක්ෂණික කෝපය යි.
      කෝපය පදනම් කරගෙන ඇති වන්නේ වෛරය යි.
      වෛරය ද ආකාර 2කි. සාමාන්‍ය වෛරය සහ බද්ධ වෛරය යනුවෙනි.

      කෝපයක් ඇති වූ කල එය ඉක්මනින් හෝ ටික කලක් ගත වන විට හෝ නිවී යා හැකි ය. එසේ සිත වෙනස් නොවුණොත් එය වෛරයක් බවට හැරේ. වෛරය යනු සිතේ අල්ලා හිටින දෙයකි. බද්ධ වෛරය යනු භවයක් පාසා ගෙන යන වෛරය යි. මේ දෙකම ආරම්භ වන්නේ කෝපයෙනි.

      තරහ දුරු කර ගන්නා ආකාරය පිළිබඳ ව අංගුත්තර නිකායේ එන ආඝාතපටිවිනය සූත්‍රය තුළ විස්තර කෙරේ. ආඝාතය යනු කෝපය යි. පටිවිනය යනු දුරු කිරීම යි. ඒ අනුව ආඝාතය හෙවත් තරහව පුද්ගලයා ඇති කර ගන්නා ආකාර පිළිබඳ ව පළමුව දක්වයි. එනම් යමෙක් මට අනර්ථයක්, අයහපතක් කළා යැයි කෝපය ඇතිකර ගනී. යමෙක් මට අනර්ථයක් කරනවා යැයි වර්තමානය පිළිබඳ කෝපය ඇතිකර ගනී. එසේම අනාගතයේ දී අනර්ථයක් කරන්නේ යැයි සිතා කෝපය ඇතිකර ගනී. මීට අමතර ව තමන්ගේ මිතුරාට සහෘදයාට අහිතක් කළේ යැයි ද තරහව ඇතිකර ගනී.

      මේ අනුව කරුණු 4ක් පදනම් කරගෙන තමන් තුළ ගොඩ නැගුනු ද්වේෂය දුරු කර ගන්නා අන්දම ආකාර පහකින් මෙසේ දක්වයි.

      • ඔහු, ඇය කෙරෙහි කරුණාව ඇති කර ගන්න.
      • ඒ පුද්ගලයා පිළිබඳ මැදහත් සිතින් සිතන්න. (නිදසුනක් ලෙස ඔබ පිළිබඳ ව වැරැදි දෙයක් ඔබේ හිතවතකු විසින් ඔබේ ප්‍රධානියාට පවසා ඇතැයි සිතමු. එවිට ඔබ තුළ තදබල කෝපයක් හට ගැනීම සාමාන්‍ය දෙයකි. එහෙත් මේ විදිහෙ යටිකූට්ටු වැඩ කිරීම, කේලාම් කීම මනුෂ්‍ය ස්වභාවයක්. ඒක ඒ මනුෂ්‍යයාගේ දුර්වල කමක්. ඒ නිසා මං ඒ ගැන කලබල වෙන්න ඕන නෑ යනුවෙන් මැදහත් සිතින් සිතීමට පුරුදු පුහුණු විය යුතු ය.)
      • යම් පුද්ගලයකු ඔබ තුළ තරහක් ඇති කළේ නම්, ඒ පුද්ගලයා සහ එම කාරණය පිළිබඳ මෙනෙහි කිරීමෙන් වැළකී හිඳීන්න. බොහෝ විට අප කරන්නේ ඒ ගැන සිත සිතා හීල්ලීම, හිතවතුන්ට පවසමින් කෝපය තව තවත් වර්ධනය කර ගැනීම ආදිය යි. එහෙත් ඔබට ඒ පුද්ගලයා පිළිබඳ යළි යළිත් මෙනෙහි වන්නේ නම්, සහ ඒ හැම විටම කෝපය අලුත් වන්නේ නම් ඔබ කළ යුත්තේ ඒ පුද්ගලයාට මෛත්‍රී කිරීම යි. කරුණාවක් ඇති කර ගැනීම යි. උපේක්ෂාව ඇති කර ගැනීම යි.
      • එය ඒ පුද්ගලයාගේ කර්ම ස්වභාවය යැයි සිතා අනුකම්පා කිරීම යි.
      • මේ ආකාරයට කටයුතු කරන විට ඔබ තුළ තරහ හට ගැනීම, කෙන්තිය හටගැනීම වැළකී යයි.

        අං.නි. සත්තක නිපාතයේ කොධන සූත්‍රයේ දක්වන පරිදි කේන්තිය, කෝපය නිසා ඇතිවන ආදීනව හතකි. “සත්තිමෙ භික්ඛවෙ, ධම්මා සපත්තකන්තා සපත්තකරණා කොධනං ආගච්ඡන්ති ඉත්ථිං වා පුරිසං වා. කතමෙ සත්ත.

        ඉධ භික්ඛවෙ, සපත්තො සපත්තස්ස එවං ඉච්ඡති. අහො වතායං දුබ්බණ්ණො අස්සාති. තං කිස්ස හේතු. න භික්ඛවෙ, සපත්තො සපත්තස්ස වණ්ණවතාය නන්දති… (අං.නි. සත්තක නිපාත, දුතිය පණ්ණාසක, අබ්‍යාකතවග්ග, කොධන සුත්ත, (බු. ජ. මු.), 418). එනම්,

        • හොඳීන් පිරිසුදුව සහ හොඳීන් ඇඳ පැළඳ සිටිය ද පුද්ගලයා අප්‍රසන්න බවයි.
        • සිනිඳු සහ සැප පහසු සෝපාවක සයනය කළ ද පුද්ගලයා වේදනාවෙන් පෙළෙයි.
        • හොඳ සඳහා නරක සහ නරක සඳහා හොඳ වරද්දා ගනිමින් සැලකිල්ලෙන් සහ සිහිකල්පනාවෙන් කටයුතු නොකර හානිය සහ දුක්විඳීම ඇතිවන දේ කරයි.
        • මහන්සි වී උපයා ගත් ධනය නැති කර ගනී. නීතිය ඉදිරියේ වරදකරුවකු බවට පත්වීමට ද ඉඩ ඇත.
        • ක්‍රියාශූර ව ලබා ගත් කීර්තිය සහ යසස අහිමිකර ගැනේ.
        • නෑදෑයින් සහ පවුලේ උදවිය ඒ පුද්ගලයාමඟ හරිති, ඔහුගෙන් ඈත් වෙති.
        • අයහපත් ප්‍රතිඵල ගෙන දෙන කය, වචනය සහ සිත මඟින් අකුසල ක්‍රියා කෝප වූ පුද්ගලයා කරන හෙයින් මරණයෙන් මතු දුගතියක ඉපදෙයි.
        • යථෝක්ත කරුණු හත යම් පුද්ගලයකුගේ, සතුරන්ගේ සතුටට හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. එබැවින් කෝප වූවකු සමඟ කෝප නොවිය යුතු බව ද වැඩිදුරටත් එම දේශනාවේ දී පැහැදිලි කරයි

          AN 02-17-12 සාවජ්ජ මක්ඛ සූත්‍රය

          ” මහණෙනි!
          ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
          වැරදි ක්‍රියායයි හෙලා දකින ධර්ම දෙකක් ඇත.”

          “ඒ කවර දෙකක්ද යත්:
          ගුණමකු වීමද,
          තමන් උසස් කොට සිතන බවද,
          යන මේ අකුසල දෙකයි.

          “මහණෙනි!
          මේ අකුසල දෙක ද
          ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
          වැරදි ක්‍රියායයි හෙලා දකින ධර්ම වෙත්.”

          AN 02-17-13 සාවජ්ජ ඉස්සා සූත්‍රය.

          ” මහණෙනි!
          ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
          වැරදි ක්‍රියායයි හෙලා දකින
          තවත් අකුසල ධර්ම දෙකක් ඇත.”

          “ඒ කවර දෙකක්ද යත්:
          “ඊර්ෂ්යාවද,
          මසුරු බවද,
          යන මේ අකුසල දෙකයි.

          “මහණෙනි!
          මේ ඊර්ෂ්යාවද,මසුරු බවද, යනඅකුසල දෙක ද
          ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
          වැරදි ක්‍රියායයි හෙලා දකින ධර්ම වෙත්.

          AN 02-17-14 සාවජ්ජ මායා සූත්‍රය.

          ” මහණෙනි!
          ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
          වැරදි ක්‍රියායයි හෙලා දකින ධර්ම දෙකක් ඇත.”

          “ඒ කවර දෙකක්ද යත්:
          මායාවද,
          කෛරාටික බව
          ද,
          යන මේ අකුසල දෙකයි.

          “මහණෙනි!
          මායාවද, කෛරාටික බවද
          යන මේ අකුසල දෙක ද
          ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
          වැරදි ක්‍රියායයි හෙලා දකින ධර්ම වෙත්.”

          AN 02-17-15 සාවජ්ජ අහිරික සූත්‍රය..

          ” මහණෙනි!
          ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
          වැරදි ක්‍රියායයි හෙලා දකින ධර්ම දෙකක් ඇත.”

          “ඒ කවර දෙකක්ද යත්:
          “(පාපයට) ලජ්ජා නැති බවද,
          (පාපයට) භය නැති බවද,
          යන මේ අකුසල දෙකයි.

          “මහණෙනි!
          මේ අකුසල දෙක ද
          ලෝකයේ දැන උගත් පණ්ඩිතයන්
          වැරදි ක්‍රියායයි හෙලා දකින ධර්ම වෙත්.”

          AN 02-17-16 අනවජ්ජ අක්කොධ සූත්‍රය.

          “මහණෙනි,
          නිවැරදිවුත් දොස් නොලබන ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවර දෙකක්ද යත්:

          ක්‍රෝධ නොකිරීමද,
          බද්ධ වෛර නොකිරීම
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ ධර්මයෝ දෙක
          නිවැරදිවුත් දොස් නොලබන නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.”

          රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති,
          දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, අග්ග මහා පණ්ඩිත
          පල්ලත්තර සුමනජෝති නා හිමි

          ඔබ ඔබේ නිවසෙහි එහාට මෙහාට වේගයෙන් යන අවස්ථාවක ඔබේ පය ඔබම තියාපු මේසයක හෝ පුටුවක හෝ වෙනත් අවයවයක හෝ හැපෙයි. එවිට ඔබට මහත් වේදනාවක් ඇතිවෙයි. ඒනිසා ඇතිවන තරහ හෙවත් ක්‍රෝධය අස්ථාන ක්‍රෝධයයි. සමහරවිට ඔබ ඔබටම බැණගන්න, දොස් කියා ගන්න තරම් ඔබ දරුණු වේ. ඇතැම් අනුවණයන් එබඳු අවස්ථාවල අඹු දරුවන්ට මාපියාදීන්ට පවා බණිමින් පහර දෙමින් තම සිත සනසා ගන්න උත්සාහ කරනව

          කොධං වධිත්වානතදාචි සොචති
          මක්ඛප්පහානං ඉසයො වණ්ණයන්ති
          සබ්බේසං වුත්තං ඵරුසං චමෙථ
          එකං ඛන්තිං උත්තම මාහු සන්තො

          යම් කෙනෙක් ක්‍රෝධය නසල කිසියම් දවසක ශෝක නොකෙරෙයි. එසේම කිසිවෙක් ගුණමකු කම නමැති මක්ඛය නසල බුද්ධිමතුන්ගේ පැසසුමට භාජන වෙති. එමෙන්ම හැමදෙනාගෙන්ම අසන්නට ලැබෙන ඵරුෂ බස් හැකිතාක් ඉවසන්න. මේ කියන ක්‍රෝධය, මකු බව, ඵරුෂ බස, යන මේවා ඉවසීම උතුම් ඉවසීම හෙවත් ක්‍ෂාන්තිය යයි සත්පුරුෂයෝ කියති යන්නයි මේ ගාථාවේ අදහස. ක්‍රෝධය උපදින්නේ තමාට අපි‍්‍රය අරමුණ සිත ගැටීමෙනි. එයට අප පටිඝය කියල කියනව. අපි‍්‍රය අරමුණු නම් ඇස, කණ, නාසය, දිව, ශරීරය, සිත කියන ඉඳුරන්ගෙන් ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අපි‍්‍රය අරමුණ යි. සිත අපි‍්‍රය අරමුණක් සමඟ ගැටුණාම සිතේ ඇතිවන රළු බව, පරුෂ බව, තද බව ක්‍රෝධයයි. එවිට සිත චණ්ඩ බවට පත්වේ. අනතුරුව ඒ චණ්ඩ වූ සිතේ ප්‍රමාණයට එම සිත ඉපදීමට හේතු වූ වස්තුවෙන් හෝ පුද්ගලයාගෙන් පළිගැනීමට සේ පෙළඹේ.

          කිසියම් පුද්ගලයෙක් හෝ සත්වයෙක් මට පෙර අනර්ථයක් නොකෙළසා දැනුදු කරයි. මතු ද කෙරේ. එසේම මාගේ අසවල් සතුරාට යහපතක් පෙර කෙළේ ය. දැනුදු කරයි, මතුද කරන්නේය යන නව ආකාරයෙන් අපේ සිත්වල ක්‍රෝධය උපදින බව බුද්ධදේශනාවයි. මේ නව විධ ආඝාත වස්තුවලට අමතර ව ද අපේ සිත්වල ක්‍රෝධය උපදියි. මේ අස්ථාන ක්‍රෝධයත් එක් වූ විට එය දශවිධ වේ. කිසිම සතුරු කිසිවක් නොමැතිව ඉබේම ඇතැම්විට අපේ සිතේ ක්‍රෝධය උපදින කොතෙකුත් අවස්ථා තිබේ. ඔබ ඔබේ නිවසෙහි එහාට මෙහාට වේගයෙන් යන අවස්ථාවක ඔබේ පය ඔබම තියාපු මේසයක හෝ පුටුවක හෝ වෙනත් අවයවයක හෝ හැපෙයි. එවිට ඔබට මහත් වේදනාවක් ඇතිවෙයි. ඒනිසා ඇතිවන තරහ හෙවත් ක්‍රෝධය අස්ථාන ක්‍රෝධයයි. සමහරවිට ඔබ ඔබටම බැණගන්න, දොස් කියා ගන්න තරම් ඔබ දරුණු වේ. ඇතැම් අනුවණයන් එබඳු අවස්ථාවල අඹු දරුවන්ට මාපියාදීන්ට පවා බණිමින් පහර දෙමින් තම සිත සනසා ගන්න උත්සාහ කරනව. සමහරවිට එම ද්‍රව්‍ය කඩා බිඳ දමන අනුවණයෝ ද සිටිති. අද අප රටේ අනුවණ බොහෝ දෙනා ස්වභාව ධර්මයට අකාලයේ අනුව වැස්සක් වැටුණත් වැස්ස සමඟ ක්‍රෝධ කරනව. පෑව්වත් ක්‍රෝධ කරනව. බණිනව. එයටත් වඩා විහිළුව අද ස්වභාව ධර්මයට අනුව සිදුවන කවර දෙයකට හෝ රජයට හෝ ජනපතිට හෝ මැති ඇමැතිවරුන්ට හෝ බැණවැදීමයි. මේ රටේ සිදුවන ස්වභාවික විපත්වලටත් පොදු ජනයා කරන වැරදිවලටත් විශේෂයෙන් තමන් අනුමත නොකරන යම් සිද්ධියක් වේ නම් ඒ සියල්ලටම වගකිය යුත්තන් සේ සලකා බැණ වදින්නේ පාලකයන්ට ය. මෙසේ කී නොකී බොහෝ සිද්ධිවලට වගකිය යුත්තේ අන්‍යයන් බව සිතා අප ඇතිකරගන්නා ක්‍රෝධය බොහෝවිට අස්ථාන ක්‍රෝධයයි.

          අද සමස්ත ලෝකයාම පෙළන අසාධ්‍ය රෝගයන් බවට ක්‍රෝධය පත්ව තිබේ. රටක් තවත් රටක් දිසාව බලන්නේත්, මිනිසුන් සෙසු මිනිසුන් දිශාව බලන්නේත් ක්‍රෝධයෙනි. මේ ක්‍රෝධය නිසා කුලල්කා ගනිති. නිලධාරීහු කුළල් කා ගනිති. එකරටක සිටින ඒ ඒ ජාතීහු කුලල් කා ගනිති. මාපියෝ, අඹු සැමියෝ, මාපිය දූ දරුවෝ, ස්වාමි සේවකයෝ ආදී හැම දෙනාම ප්‍රමුඛත්වය දී ඇත්තේ ක්‍රෝධයටයි. මේ අනුවනයෝ ක්‍රෝධය නිසා පළිගන්නට පෙළඹී අනුන් නැසීමට කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වැය කරමින් නිෂ්පාදනය කරන්නේ මිනිසා, සත්වයා ජීවත් කරවීමට අවශ්‍ය දෙය නොවේ. ඒ ඒ රටවල වාසය කරන ජනතාව බුරුතු පිටින් කලණයෙන් මරා දැමීමට උපයෝගී කරගත හැකි අවි ආයුධයි. වසවිසයි.

          ක්‍රෝධය යටපත් කිරීම අතිශය දුෂ්කර කාර්යයකි. නිර්වාණමාර්ගඥානයේ දී එය ප්‍රකාශ වන්නේ සකෘදගාමි ඤාණයෙන් එහි ඇති ඕලාරක තත්ත්වය අඩු වී අනාගාමි මාර්ගඥානයෙනි. “අක්කෝධෙන ජිනෙ කෝධං” යන බුදුන්ගේ දෙසුම අනුව ක්‍රෝධය දිනිය යුත්තේ ක්‍රෝධ නොකිරීමෙනි. ක්‍රෝධ කිරීම වසල ධර්මයක් හෙවත් පහත්ම පහත් අයගේ ගතියක් බව වසල සූත්‍රයේ දී බුදුරදුන් දේශනා කර තිබේ. දස පාරමිතාවෙන් සවන පාරමිතාව ක්‍ෂාන්ති පාරමිතාවයි. බුදුබව ලබන්න පෙරුම් පුරණ බෝසතුන් වහන්සේ විසින් මෙම ඉවසීමේ ගුණ ධර්මය පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කළ යුතු නම් ක්‍රෝධය හෙවත් අන්‍යයන්ගේ ඇණුම් බැණුම් ආදිය ඉවසිය යුතුයි. බුදු පසේ බුදු රහත් යන බෝධිත්‍රයෙන් කවර හෝ බෝධියකට පැමිණ නිවන් අවබෝධ කරන්නට උත්සාහ දරන යෝගාවචරයා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව අපරාධ ඉවසීමෙන් මෙම පාරමිතාව සම්පූර්ණ කළ යුතුයි. ඉවසීම හෙවත් ක්‍ෂාන්ති ගුණය යෝගාවචරයාගේ බලයක් හෙවත් ශක්තියක් වශයෙන් “ඛන්ති බලං” යන්නෙන් (අංගුත්තර නිකාය) බුදුන් දේශනා කර තිබේ. ඉවසීමේ ශක්තියෙන් සතුරන් දමනය කළ හැකි බව එයින් කියයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ දිනක් පිණ්ඩපාතේ වැඩියහ.එක්තරා මිසදිටු බමුණෙක් උන්වහන්සේ ඉවසන කෙනෙකැයි අසා තිබුණි. සැරියුත් හාමුදුරුවො මඟ වඩිනව දුටු සේ උන්වහන්සේ ළඟට කිට්ටු වී කම්මුලට පහරක් ගැසීය. පහර කෑ සැරියුත් හාමුදුරුවෝ කිසිවක් නොකියා බිම බලාගෙන ඉදිරියට වැඩියහ. එකී සිටි බෞද්ධ පිරිසක් අපේ හාමුදුරුවෝ කිසිවක් නොකියා බිම බලාගෙන ඉදිරියට වැඩියහ. එකී සිටි බෞද්ධ පිරිසක් අපේ හාමුදුරුවන්ට පහර දුන්නේ ඇයිදැයි අසමින් බමුණාට පහර දෙන්නට සූදානම් වන විට සැරියුත් හාමුදුරුවෝ, පින්වත්නි, යි කියා බෞද්ධ පිරිස අමතා ඒ බමුණා පහර ගැසුවේ මටයි. ඔහුගෙන් පළිගන්නවා නම් මමයි පලිගත යුත්තේ. ඔබලා නොවෙයි කීවිට ඔවුහු බැහැරව ගියහ. මෙය බලා සිටි මිසදිටු බමුණා උන්වහන්සේ සමීපයට දිව ගොස් වැඳ වැටී සමාව ගෙන උන්වහන්සේ නිවසට වඩමවා ගෙන ගොස් වඩා හිඳුවා දන් පිළිගන්වා උපාසකයකු වූ බව අපේ බණ පොතේ සඳහන් වේ. බලන්න ඉවසීමේ බලය.

          ක්‍ෂාන්තිය යන්නට අර්ථ සපයන අටුවාචාරීන් වහන්සේලා පැහැදිලි කර තිබේ. ක්‍ෂාන්තිය නම්, ක්‍ෂමාකිරීම, ඉවසීම, නොසැඬ බව, කුඩුකේඩුකම, සිතේ නොසතුටු ගතිය යන ස්වභාවයන් ඉවසීමකි. මෙ බඳු චිත්ත ශක්තිය හෙවත් ඉවසීම පරම තපසක් බව බුදුන් දක්වා ඇත්තේ “ඛන්ති පරමං තපොතිතික්ඛා” යනුවෙනි. ක්‍ෂාන්තිය හෙවත් ඉවසීම ක්‍රෝධය යටපත් කර ගැනීම දිනීමට අසීරු යුද්ධයක් දිනීම වැනියයි බුදුන් වහන්සේ වදාළේ කුද්ධං අප්පටි කුජ්ඛන්තො යුද්ධං ජයහි දුජ්ජයං” යනුවෙනි. එනම් තමාට ක්‍රෝධ කරන්නාට පෙරලා ක්‍රෝධ නොකිරීම දිනිය නොහැකි යුද්ධයක් දිනීම වැනියි යනු එහි අදහසයි. එමනිසා තමාට ක්‍රෝධ කරන්නහුට පෙරළා ක්‍රෝධ කිරීම පාපයක් වශයෙන් සලකන ලෙසට උන්වහන්සේ අපට අවවාද කළසේක. පුද්ගලයාගේ අභිවෘද්ධියට හේතු වන අර්ථයන්(ස්වාර්ය) උතුම් අර්ථයක් බවත් එසේම අර්ථයන් අතුරෙන් ක්‍ෂාන්තියට වඩා උතුම් අර්ථයක් හෙවත් අභිවෘද්ධියක් නැතැයි ද වදාළ බුදුරජාණන් වහන්සේ මෙසේ ද වදාරා තිබේ.

          යොහවෙ බලවා සන්තො
          දුබ් බලස්ස තිතික්ඛති
          තමෙම පරමං ඛන්තිං
          නිච්චං ඛමති දුබ්බලො

          හැම අතින් ම අතිශයින් බලවත් පුද්ගලයෙක් දුබලයා විසින් තමාට කිසියම් අපරාධයක් කළ විට එය ඉවසීම හෙවත් එකට එක නොකිරීම හෝ දුබලයාට සමාව දීම විශිෂ්ටතම ඉවසීමයයි වදාළහ.

          බුදු දහමේ උගන් වන්නේ ‘සබ්බෙ සත්තා භවන්තු සුඛී, තත්තා’යනුවෙනි. එහෙයින් ඉවසීමට ආගමක් අනවශ්‍ය බව සිතන්න. ක්‍රෝධය හැම සත්වයාටම තිබෙන අති දුබලකමකි. තිරිසනාට ක්‍රෝධයක් ඇති වූ විට එය යටපත් කරන හැටි ඉවසන හැටි ඔහු නොදනී. එසේ මනුෂ්‍යයන් වන අපි ක්‍රෝධයත් ඉවසීමෙන් හඳුනන්නෙමු. ශාන්තියක් හඳුනන්නෙමු. ඉවසීමෙන් සැනසීම ලැබේ යන උතුම් සිංහල කියමන මෙනෙහි කොට හා ධර්මානුකූලව සිතා ක්‍රෝධ ගින්න නිවාලන්නට උත්සාහ කිරීම සත්පුරුෂ ගතියයි. ‘අක්කොධෙන ජිනෙ කොධං’ යයි වදාළේ ක්‍රෝධ කරන්නා ක්‍රෝධ නොකිරීමෙන් හෙවත් ඉවසීමෙන් දිනාගත යුතුයි.

          ක්‍රෝධ සිතත් උපන්විට ඔබ හොඳට සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. බුදුන් වදාළා කෙනෙකුට පහර දීම හරියට දෙකොණ ගිනිගත් දර කැබැල්ලකින් පහර දීමක් බඳුය කියල. එහි තේරුම දෙකොණ ගිනිගත් දර කඩක් අනෙකාට පහර දෙන්නට තමන් අතට ගන්නවිට පළමුව තමාගේ අත දැවේ. අනතුරුවයි සතුරා දැවන්නේ. එමෙන්ම අසූචි වැගුණ දර කැබැල්ලකින් පහර දීමත් එවැනියි, එසේත් නැත්නම් තමා මේ පහර දෙන්නේ පෙර ආත්ම ගණනක් තමාට මාපිය වූ හෝ සහෝදර සහෝදරියන් වූ හෝ වෙනත් ඥාති හිතවතෙක් වූ හෝ කෙනකුට නොවේදැයි සිතන කොට ඔබේ ක්‍රෝධය යටපත් වේ. එකම සසර සයුරේ ගිලී සිටින අප නිතරම ඉවසීමෙන් යුතුව සහෝදර ප්‍රේමයෙන් ජාති කුල, ආගම් භේද පෞද්ගලික කරුණු වශයෙන් සලකා මනුෂ්‍යයෝ වශයෙන් පොදුවේ අප හැමෝම එකම මිනිස් කොටසක් බව සිතා බුදුන් විසින් ‘චත්තාරො වණ්ණා සම සමා’ යි වදාළ පරිදි සිතා සමඟියෙන් සමාදානයෙන් කටයුතු කරන්නේ නම් මිනිස් දහමට ප්‍රමුඛත්වය දුන් මිනිසුන් හැටියට ලෝකයාගේ ප්‍රශංසාවට ඔබත් මමත් හැමෝමත් ලක්වනු ඇත.

          AN 02-17-17 අනවජ්ජ අමක්ඛ සූත්‍රය..

          “මහණෙනි,
          නිවැරදිවුත් දොස් නොලබන්නාවුත් ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවර දෙකක්ද යත්:

          ගුණමකු නොවීමද,
          තමන් උසස් කොට නොසිතීමද,
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ ධර්මයෝ දෙක
          නිවැරදිවුත් දොස් නොලබන නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.”

          [රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
          දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
          ආචාර්ය
          ඕමල්පේ සෝභිත නා හිමි

          මේ ලෝකයේ මිනිසා තිරිසන් සතුන්ගෙන් වෙන්කොට දැක්විය හැකි සුවිශේෂීම සාධකය වන්නේ උත්තුංග වූ සදාචාර හා අධ්‍යාත්මික ගුණයයි.
          ‘මනස්ස උස්සන්නත්තා මනුස්සා’
          මනං උස්සතීති මනුස්සෝ’ ආදි වශයෙන් මනසේ උසස් බව නිසා මනුෂ්‍යයා වන්නේ ය. මනුෂ්‍යයාට ඇති මානව ධර්ම අතර ඉතා උසස්, වැදගත් මනුෂ්‍ය ධර්මය කළගුණ සැලකීමයි. කෘතවේදී බවයි. එය උතුම් මිනිස් ගුණධර්මයක් බව බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළහ. තමන් වහන්සේගේ සම්බුද්ධ චරිතාදර්ශයෙන් එය ප්‍රායෝගිකවම පෙන්වා වදාළහ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කල් අප්‍රමාණ වෙහෙස විඳ පාරමී දම් පුරා ලැබූ උත්තරීතර පදවිය, ශ්‍රී සම්බෝධිය ලද පසු උන්වහන්සේ ක්‍රියා කළේ උණගසක ස්වරූපයෙනි. කොතරම් උසට වැඩුණත් උණ ගසේ දල්ලෙහි ස්වභාවය බිමට නැමී තිබීමය. උන්වහන්සේ ද උතුම් සම්බුදු පදවිය ලද පසු පහළ බැලූ සේක. උද්දාමයට පත් නොවී මේ අති දුෂ්කර ගමනේ දී තමන් වහන්සේට උදව් කළේ කවුදැයි විමසා බැලු සේක. සජීවි ,අජීවි මිත්‍රයන් අතර ආසන්නවම උන්වහන්සේට උදව් කළේ අජීවි වෘක්ෂයකි. ශ්‍රී සම්බෝධිය ලබන්නට තමන් වහන්සේට සෙවණ දුන් ඇසතු වෘක්ෂයට, ‘දුතියංච අනිම්මිසං’ දෙවන සතියේදී අනිමිස ලෝචන පූජාවෙන් කළගුණ දක්වමින් මුළු ලෝකයටම ඒ ආදර්ශ සම්පන්න පාඩම කියා දුන් සේක. ඉන්පසු ගුරුවරුන් ගැන, යහළු මිත්‍රයන් ගැන කල්පනා කළහ. පස්වග තවුසන් සොයා උන්වහන්සේ බරණැස ඉසිපතනාරාමයට වැඩම කළහ.

          කෘතගුණ, කෘතඥතාව කියන්නේ අප අතර තිබිය යුතු ගුණ යහපත්කම් අතර ප්‍රධානතම ගුණාංගයකි.
          එහෙත්, “කතඤ්ඤු කතවේදී පුග්ගලෝ දුල්ලභො ලෝකස්මිං’ කළගුණ දන්නා, කළගුණ සලකන මිනිසුන් මේ ලෝකයෙහි ඉතා දුර්ලභ ය. උසස් ගුණධර්ම ගැන සිතන, බුද්ධිමත්ව කල්පනා කරන, මනුෂ්‍ය ධර්ම සහිත පුද්ගලයන් අඩුය. බොහෝ දුරාචාර නිතර ඇස ගැටේ. අම්මට තාත්තට නොසලකන, ගුරුවරුන්ට ගරු නොකරන, යහළු මිත්‍රයන් නොසලකා හරින බොහෝ අය වෙත්. තමන්ට උදවු උපකාර කරන අයට ආරක්ෂාව සපයන අයට, කෙටියෙන් කියනවා නම් රජයට පවා සැලකීම අත්‍යවශ්‍යය. රජයට සලකනවා කියන්නේ එක් පැත්තකින් රාජ්‍ය නීතියට ගරු කිරීමය. තමන්ට නියමිත බදු මුදල්, ගෙවීම ‘රාජබලි’ ආගන්තුක සත්කාරය ‘අතිතිබලි’ ,ඥාතීන්ට සැලකීම ‘ඥාතිබලි’ ආදි වෙසෙස් ගුණධර්ම පුරුදු පුහුණු කළ යුතුමය. තවත් පැත්තකින් සැලකීම යනු දුබල වු විට රැක ගැනීමය. එහෙත් ඇතැම් පිරිසකට තමන්ට යම් තැනකට එන්නට අතදුන් අය, උදවු උපකාර කළ අය ඉහළට ආ සැනින් අමතක ය. සරලම උදාහරණය වැඩිහිටි නිවාසයන් හි දුකසේ කල් ගෙවන මවුපියන් ය.අත පය නොකඩා, කවා පොවා ආදරයෙන් ඇති දැඩි කළ, ශිල්ප දැනුම දී සමාජයේ වඩාත් ඉහළින් ජීවත් වෙන්නට දරුවන් වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැපකළ මවුපියවරු එහි අපමණ වෙති. එහෙත් අබල දුබල වු දා ඒ අම්මා, තාත්තා බරක් ලෙස සලකමින් ඔවුන් නොසිටිය යුතු තැනෙක සිරකර අසරණ කරන්නට තරම් අකෘතඥ දරුවන් අප අතර සුලභ ය. ගහකොළ වනසා දමමින්, බොහෝ අපවිත්‍ර දෑ පරිසරයට මුදා හරිමින්, සත්ත්ව ඝාතන කරමින් තමන් ගැන පමණක් සිතන, පරිසරය වෙනුවෙන්, සොබාදහම වෙනුවෙන් කෘතවේදි නොවන පිරිස් අපමණ ය. එහෙත් බෞද්ධයකු ගේ ස්වරූපය විය යුතු කෘතඥතාවයයි. සිතින්, කයින්, වචනයෙන් යන තුන් දොරින්ම ඒ බව විද්‍යමාන විය යුතු ය. එහිදී පහසුම දෙය වන්නේත්, මුල්තැනට එන්නේත් කෘතඥතාව වචනයෙන් පළ කිරීම ය.

          බෞද්ධ පරිසරයක් ඔස්සේ සංස්කෘතිය ගොඩනඟාගත් ජපානයේ දි අපූර්ව දර්ශනයක් දුටුවෙමි. සාමාන්‍යයෙන් මාර්ගයේ ඇති කහ ඉරකින් පාර මාරුවන මගියා පවා තමන් වෙනුවෙන් වාහනය නවතා ඉඩදුන් කවරෙකුට වුව ආපසු හැරී සිය හිසනමා ආචාර කිරීම ඔවුන්ගේ සිරිතකි. කහ ඉර අසල වාහන නවතා මගියාට ඉඩ දීම නීතියකි. එහෙත් නීතයට ගරු කළ පුද්ගලයාට පවා හිස නමා ආචාර කරන්නට තරම් ආචාරශීලිත්වයක්, කෘතවේදි බවක් ඔවුන් සතු ය. එය මොන තරම් සිත් ඇදගන්නා, සිතට සතුට ගෙන එන දර්ශනයක් ද? ඒ ගෞරවය, කෘතවේදී බව ලබන්නාට දැනෙන පහන් සිතිවිලි තවත් නීතිගරුක වන්නට, අනුන් වෙනුවෙන් උදවු උපකාර කරන්නට උත්තේජනයක්, පෙළඹවීමක් ම වන්නේ ය. සමහර අය වචනයෙන් කෘතවේදී බව පළකරන්නට මැළිවෙති. එහෙත් සිතින් ඒබව පළකරති. එහෙත් එය ලෝකයට නොපෙනේ. අදාළ පුද්ගලයාට නොදැනේ.

          උදව්වක දී, උපකාරයක දී ‘ස්තුතියි’ කියන වචනය පළ නොකිරීම වරදකි. සුළු උපකාරයක දී වුව කෘතවේදි බව පළ කරමින් අපගේ බාල පරපුරට ආදර්ශයක් වීම කළ යුතුම ය. අද බොහෝ විට පාසලක, අධ්‍යාපන ආයතනයකදී පවා දරුවෙකුට ත්‍යාගයක්, සහතික පත්‍රයක් පිරිනමන අවස්ථාවක පිරිනමන්නා වෙත යාන්තමට හෝ දරුවන්ගේ හිස නැමෙන්නේ නැත. ‘ස්තුතියි’ කියන වචනය කියැවෙන්නේ නැත. එයින් ගම්‍ය වන්නේ අපේ සදාචාර පරිහානියයි.

          භික්ෂු සමාජයේ දී කෘතවේදී බව නිරන්තරයෙන් දැකිය හැකි ය.කෙනෙක් වන්දනා කළ මොහොතක පවා ‘සුවපත් වේවා’ යි ප්‍රකාශ කරන්නේ කෘතවේදී බව පළකිරීමටය. යම් පූජාවක් කළ විට පින් ලැබේවායි ප්‍රාර්ථනා කරන්නේ කෘතඥතාව පළ කිරීමටය.

          පැවිදි සමාජයෙහි පමණක් නොව ලාංකීය ගිහි සමාජයෙහිත් ඒ අගනා ගුණධර්ම වර්ධනය කරගත යුතුවේ. අම්මා, තාත්තා බොහෝ දුක් මහන්සි වි සරිකරන බත්පතෙන් පළමු බත් පිඬ මුවට ගන්නට පෙර මගේ අම්මට තාත්තට පින් සිදුවේවායි කියන්නට දරුවන්ට හුරු පුරුදු කළ යුතුය. ඒ තැන සිට කෘතවේදි බව ඉගැන්විය යුතු ය. නැතිනම් අනාගත සමාජය තුළින් මේ වටිනා ගුණධර්ම දුරු වී යාම වැළැක්විය නොහැකි ය. අද ද අප එවැනි බොහෝ දේ අත් විඳිමු. දුම්රියක දී බස්රියක දී ගැබිනි මවකට වුව අසුනක්, පිරිනැමුවේ නම් ස්තුතියි කියන වචනය හෝ සමහර මව්වරුන්ගේ මුවින් පිට නොවේ. බසයෙන් බැස යන මොහොතේ පිරිනැමූ ආසනය ආපසු බාර ගන්නා ලෙසට දැන්වීමට හෝ සමහර අයට හැඟීමක් නොවේ. ඇයගේ කුසෙන් බිහිවන දරුවාට ඇය ආදර්ශවත් මවක් වන්නී කෙලෙසද? මේ දොස් නැඟීමක් නොවේ. මනුෂ්‍ය ධර්මයත් හුරු පුරුදු කරනු පිණිස, සාමජය තුළ ඇසෙන දකින දේ පිළිබදව කළ දැන්වීමකි. තමන් පිළිබඳව ගැඹුරින් සිතාබලා ස්වයං විවේචනාත්මකව දුර්වලතා හඳුනාගෙන ඉතා ඉක්මනින් නිවැරැදි විය යුතුව තිබේ. අපගේ බාල පරපුරට ඒ ආදර්ශය දිය යුතුව තිබේ. ගුරු, මවුපියවරු මෙය හොඳින් අවබෝධ කොට දරුවන්ට ඒ ගුණධර්ම පුරුදු පුහුණූු කළ යුතුවේ. මේ වැදගත් සිරිත ජාතික චරිතාවලියට වහාම ඇතුළත් කරගත යුතුව තිබේ. අපගේ බොදු හැදියාව සිතින් සේ ම කයින්, වචනයෙන්ද ලෝකයට පෙන්විය යුතුවේ. එවිට ලෝකයේ ගෞරවය නිතැතින්ම අප වෙත හිමිවනු ඇත.

          AN 02-17-18 අනවජ්ජ අනිස්සා සූත්‍රය.

          ““මහණෙනි,
          නිවැරදිවුත් දොස් නොලබන්නාවුත් ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවර දෙකක්ද යත්:

          “ඊර්‍ෂ්‍යා නොකිරීමද,
          නොමසුරු බවද,
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ ධර්මයෝ දෙක
          නිවැරදිවුත් දොස් නොලබන නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.”

          [සැවැත් නුවර විසූ එක් පුරුෂයකුට මත්තාය, තිස්සාය කියා භාර්‍ය්‍යාවෝ දෙදෙනෙක් වූහ. ඔවුන් අතුරෙන් මත්තා අශ්‍ර‍ද්ධාවත් වූ නපුරු වූ ඊර්‍ෂ්‍යා කරන්නා වූ තැනැත්තියකි. තිස්සා කරුණාවත් වූ සාමකාමී තැනැත්තියකි. ඕතොමෝ දිනපතා භික්ෂූන් සතර නමකට දන් දෙන්නීය. සැමියා ද තිස්සාවගේ ගුණවත් බව නිසා ඈට වඩා ඇලුම් කරන්නේය. මත්තා ඇයට ඊර්‍ෂ්‍යා කරන්නීය. කිසි පිනකුදු නොකරන්නීය. ඕ තොමෝ පසු කාලයේ දී කාලක්‍රියා කොට ඊර්‍ෂ්‍යා කිරීම වූ පාපයෙන් ප්‍රේත ව උපන්නීය. ඕතොමෝ තමා කළ කර්මානුරූප වශයෙන් දුක් පසක් විඳින්නීය. එක් දවසක් ඒ ප්‍රේතිය සවස් කාලයේ ගෙයි පිටිපස තිස්සා නමින් සිටියදී ඇය ඉදිරියේ පෙනී සිටියාය. තිස්සා ඇය දැක “තී කවරියක්දැ”යි විචාළාය. එකල්හි ප්‍රේතිය මත්තා බව කීය. ඉක්බිති ඔවුන් අතර මතු දක්වන පරිදි කථාවක් වූයේ ය.

          තිස්සා : “තී මිනිස් ලොවදී කිනම් පාපයක් කෙළෙහි ද? කිනම් පාපකර්මයක විපාකයෙන් ප්‍රේතව උපන්නෙහි ද?
          මත්තා : මම චණ්ඩ වූ පරුෂ වූ ඊර්‍ෂ්‍යා කරන්නා වූ මසුරු වූ තැනැත්තියක් වීමි. ඒ මම නොමනා වචන කියා ප්‍රේත ලෝකයට පැමිණියෙමි.

          තිස්සා : තිගේ ශරීරය සෑම තැන ම ධූලි තැවරී තිබෙන්නේ කුමක් නිසා ද?
          මත්තා : එක් දවසක් තී නා පිරිසිදු ව මට වඩා හොඳින් සැරසී මා බලා සිටියදී සැමියා හා බොහෝ වේලාවක් කථා කරමින් සිටියෙහි ය. එය ඉවසිය නොහැකි මම ගෙය හැමද එකතු කර තුබූ කසල ගොඩ ගෙන තිසේ හිස මත හෙලූයෙමි. දැන් මගේ ශරීරයෙහි ධූලි තැවරී තිබෙන්නේ ඒ නිසාය.

          තිස්සා : ඒ බව මම දනිමි. අනිකකුදු දනු කැමැත්තෙමි. තිගේ ඇඟ කසන්නේ කවර හේතුවකින් ද?
          මත්තා : එක් දවසක් අපි දෙදෙනා බෙහෙත් ගෙනෙනු පිණිස වනයට ගියෙමු. එදා කහඹිලියා ගෙඩි ගෙන වුත් තිගේ සයනයෙහි රහසින් විසුරුවා ලීමි. ඒ පාපයෙන් දැන් මාගේ ඇඟ කසන්නේය.

          තිස්සා : එය ද මම දනිමි. අනිකකුදු අසනු කැමැත්තෙමි. එද කියනු මැනවි. නුඹට හඳින වස්ත්‍ර‍ නැත්තේ කුමන පාපයකින් ද?
          මත්තා : එක් දවසක් නුඹ සැමියා සමග මඟුල් ගෙයකට යන්නට සූදානම් ව සිටියාය. එදා මම නුඹේ ඇඳුම් සොරා ගතිමි. මට දැන් වස්ත්‍ර‍ නැත්තේ ඒ පාපයෙනි.

          තිස්සා : එය ද මම දනිමි. අනිකකුදු අසනු කැමැත්තෙමි. තිගේ ශරීරයෙන් අසූචි ගඳ හමන්නේ කවර පාපයකින් ද?
          මත්තා : මම එක් දවසක් තිගේ මල් හා සුවඳ ද විලවුන් ද ගෙන අසූචි වළක බහාලීමි. මගේ ශරීරයෙන් අසූචි ගඳ හමන්නේ ඒ පාපයෙනි.

          තිස්සා : එසේ කළ බව මම දනිමි. අනිකකුදු කියනු මැනව. තී මෙපමණ දිළිඳු වූයේ කවර හේතුවකින් ද?
          මත්තා : අප දෙදෙනාට ම වස්තුව සම ව තිබුණේ වී නමුත් මම කිසි පිනක් නො කෙළෙමි. දිළිඳු වූයේ එහෙයිනි.

          තිස්සා : තිට මා දෙන්නේ කුමක්ද? තිට දුකින් මිදෙනු පිණිස මා කරන්නේ කුමක්ද? කළ යුත්තක් ඇත්නම් කියව. කියන දෙයක් මම කරන්නෙමි.
          මත්තා : භික්ෂූන් වහන්සේ අටනමකට දන් දී මට පින් දුන මැනව. එයින් මට සැප අත් වන්නේය.

          තිස්සා ඇය සුවපත් කරවනු කැමැත්තී ප්‍රේතියගේ කීම පරිදි භික්ෂූන් වහන්සේලා අටනමකට දන් දී සිවුරු ද පුදා ඇයට පින් පැමිණවූවාය. ඒ පින් අනුමෝදන් වීමෙන් ප්‍රේතිය සුවපත් වූවා ය.

          පරහට ඊර්‍ෂ්‍යා කරන්නා වූ අසත්පුරුෂයන්හට මරණින් මතු මත්තාවට මෙන් ප්‍රේත ව උපදින්නට හෝ නරකයෙහි හෝ තිරිසන් යෝනියෙහි හෝ ඉපද බොහෝ කල් දුක් වන්නට සිදුවන්නේ ය. ඔවුහු මිනිස් ලොව උපන්නාහු ද ඒ හේතුවෙන් සැමට ම යටත්ව විසිය යුතු කිසිදු ආනුභාවයක් නැත්තා වූ යාචකයන් දාසයන් වැනි පුද්ගලයෝ වෙති. අන්‍යයන් විසින් නො සලකනු ලබන්නෝ වෙති. දිළිඳු වෙති. විරූප වෙති.

          මෙසේ බොහෝ ආදීනව ඇත්තා වූ මේ ඊර්‍ෂ්‍යාව නැමැති පාප ධර්මයට සිත් සතන්හි උපදින්නට නො දී නුවණැත්තෝ තම තමා ගේ සිත ආරක්ෂා කරත්වා! හදිසියෙන් සිත් සතන්හි ඊර්‍ෂ්‍යාව පහළ වූයේ ද එය ප්‍ර‍කාශ නො කොට පරපීඩනාදියෙන් ක්‍රියාවෙහි නො යොදවා වහා ම සිතින් බැහැර කොට සිත ශුද්ධ කර ගනිත්වා!

          AN 02-17-19 අනවජ්ජ අමායා සූත්‍රය.

          “මහණෙනි,
          නිවැරදිවුද ලෝකයාගේ දොස් නොලබ්න්වුද
          ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවර දෙකක්ද යත්:

          මායා රහිත බවද,
          කෛරාටික නැති බවද
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.”

          අනවජ්ජ හිරි සූත්‍රය.

          AN 02-17-20 අනවජ්ජ හිරි සූත්‍රය.

          “මහණෙනි,
          නිවැරදිවුද ලෝකයාගේ දොස් නොලබ්න්වුද
          ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවර දෙකක්ද යත්:

          “(පාපයට) ලජ්ජාවද,
          (පාපයට) භය ද

          යන මේ දෙක දේව යි.

          “මහණෙනි,
          නිරවද්‍ය ධර්‍මයෝ වෙත්.”

          හිරීමතා ච දුජ්ජීවං නිච්චං සුචිගවෙසිනා
          අලීනෙනාපගබ්භෙන සුද්ධාජීවෙන පස්සතා.

          පාපයෙහි හිරි ඔතප් ඇති, පිරිසිදු කායකාර්‍මාදිය සතතයෙන් සොයන සුලු වූ, ප්‍රගල්භ රහිත (බුහුටි නොවූ), (අනෙස්නෙන් දුරු වූ බැවින්) පිරිසිදු ආජීව ඇති, එය ම සරු කොට දක්නා මහණහු විසින් ජීවත් වීම දුකසේ කටයුතු ය (රූක්‍ෂ ජීවිකායෙන් ජීවත් විය යුතු ය.) “සුජීවන්ති” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ දෙව්රම වැඩසිටියදී සැරියුත් හිමිගේ සද්ධිවිහාරිකයකු වූ ථුල්ල සාරික නම් භික්ෂුවක් නිමිතිකරගෙන දේශනා කළහ.

          මේ භික්ෂුව දිනක් රෝගියකුට වෙදකම් කොට ප්‍රණීත ආහාර ලබා ඒ ආහාර සැරියුත් තෙරුන්ට පුදා නිතර මෙබඳු ආහාර ගෙන එන්නෙමියි පැවසිය. සැරියුත් තෙරුන් ඔහුගේ වචනය අසා නිහඩවුයේ ඉවත්ව ගියහ. ථුල්ලසාරික භික්ෂුව විහාරයට ගොස් තමන් රෝගියකුට වෙදකම් කළ බවත් එතැනින් ප්‍රණිත ආහාර ලද බවත් එය සැරියුත් හිමියන්ට පිඳු බවත් උන්වහන්සේ එය පිළිනොගෙන කිසිත් නොකියා ඉවතට ගිය බවත් බුදුහිමියන්ට පැහැදිළි කළහ. බුදුරජාණන් වහන්සේ මහණෙනි ලජ්ජා නැති තැනැත්තා ගසා කා ඇවිදින කපුටෙක් මෙය. විසි එක් ආකාර අනේසන වස්තු සෙවීමෙන් සිට සුවසේ ජීවත් වේ. හිරි ඔතප් සහිත තැනැත්තා දුකසේ ජිවත් වේයි පවසා මේ ගාථාව දේශනා කළහ.

          නුගුණම අනුන්ගේ කියමින් හුඹස් කතා
          කපුටෙකු මෙන් ගසා කන ගෙමිදුලක් පතා
          ආජීවයෙන් කිලුටුව මිල මුදල් පතා
          නිවසන අයට පහසුය “මහණකම” ඉතා

          ලජ්ජා බය ඇතිව පව්කමකින් තොරව
          පිරිසිදු ආජීවයෙන් දහමට බරව
          නිවසක මහණහට, සුපසන් සංවරව
          දුකකිය මහණකම රැකගැනුමද තිරව

          ලජ්ජා බිය නැති ගසාකැමේ දක්ෂ කපුටෙකු ඇතිවු අනුන්ගේ ගුණමකාලන සුලු ගෙන් ගෙට දුවයන සුළුවු බුහුටිවූ කිළිටි දිවි පැවතුම් ඇත්තා විසින් ජීවත්වීම සුවකළ හැකිය. ලජ්ජා භය ඇති නිතර පවිත්‍රවු කාය කර්මාදිය සේවනය කරන සුළු දිවි පැවැත්මේ නො ඇළුනාවු බුහුටි නොවු පිරිසිදු ජිවිතා වෘත්ති ඇති එම දිවිය සාර ලෙස දකින තැනැත්තා විසින් ජීවත් විම පහසු නොවේ.

          එහි අහිරිකෙන යනු සිඳුන ලජ්ජා බිය ඇති, මෙබඳු මව් නොවන අයට මව වශයෙන්ද පියා නොවන අයට පියා මෙන්ද අමතා නළවා මේ ආදී න්‍යායෙන් ඒක්විධි අනේසනයන් හි පිහිටි ආහාර සෙවීමේ යෙදී සුවසේ ජීවත් වීමට හැකිය. කාක සූරෙන යනු දක්‍ෂ කපුටෙක් යම්සේ ගෙවල් වල බත් මාලු ආදිය ගණු කැමත්තේ බිත්ති ආදියේ වාඩිවී තමා දෙස බලනසේ අනෙක් අරමුණකින් සිටින සේ නිදාගෙන සිටින සේ දක්වා ගෙයි මිනිසුන්ගේ ප්‍රමාදයක් සලකා පැන සෝ – සෝ යයි කෑගසන විටද භාජනයෙන් කෑම සුරාගෙන පලායයි.

          මෙලෙසට ලජ්ජා නැති මහණ ද භික්ෂූන් සමග ගමට පිවිස කැඳ බත් ආදිය සොයයි. එහිදී භික්ෂුහු පිඬු පිණිස හැසිර යැපීම් පමණක් ගෙන ගොස් ප්‍රත්‍ය වේක්ෂා කරමින් කැඳ බී. කර්මස්ථාන මෙනෙහි කරත්. ධර්මය සජ්ඣායනා කරත් ආසන ශාලා අමදිත් මේ ලජ්ජා නැති තැනැත්තා කිසිවක් නොකර ගමට අභිමුඛවම සිටියි. එම භික්ෂුව මෙය බලන්නැයි බලන්නේ නමුදු නොබලන්නාසේ නිදා ගත්සේ සිට ගණ්ඨිය ලෙහන ලෙස සිවුර හදන ලෙස දක්වා මට අසවල් කාර්යය ඇතැයි කියමින් අසුනෙන් නැගිට ගමට පිවිස උදේම වෙන්කරන ලද නිවෙස්ලින් වෙනත් නිවෙස්වලට එළඹී ගෙවල මිනිස්සු තරමක් දොර පලුව වසා දොරළග වාඩිවී අඬමින් සිටින විටද, එක් අතකින් කවුළුවට පාවි ඇතුළතට පිවිසේ. අනතුරුව ඔහු දැක අකමැත්තෙන්ම අසුනක වාඩි කරවා කැඳබත් ආදී යමක් තිබේද? එය දෙති. ඔහු දුන්නක් වළදා අවශේෂය පාත්‍රයේ තබාගෙන එයි මොහු කාකසුර නම් මෙබඳු තැනැත්තා විසින් ලජ්ජා නොමැතිවම සුවසේ ජීවත් වේ යන අර්ථයි.

          ධංසිනාති යනු අසුවල් තෙරුන් අල්පේච්ඡයි ආදීය කියනවිට ඇයි අපි අල්පේච්ඡ නොවේද? ආදී වශයෙන් අන්අයගේ ගුණ මකාලීමට පෙළඹේ. මෙබඳු වචන අසා මොහුද අල්පේච්ඡා තාදී ගුණවලින් යුතු යයි සිතමින් මිනිසුන් විසින් දියයුතුයයි සිතති. ඔහු එතැන් සිට නැණවත් පුද්ගලයින්ගේ සිත සතුටු නොකිරීමට නොහැකිවන්නේ ලාභයෙන් ද පරිහාණියට පත්වේ.

          මෙසේ අලජ්‍ජි පුද්ගලයා තමන්ගේ ද අනුන් ගේ ද ලාභය විනාශකරයි. පක්ඛන්දිනා යනු පැනගිය පුද්ගලයායි. පක්ඛන්දවාරී පුද්ගලයා අනුන්ගේ කටයුතු තමන්ගේ කටයුතු ලෙස පෙන්වමින් අළුයම භික්ෂූන් නැගිට චෛත්‍ය මිදුල් ආදිය හැමද කර්මස්ථාන මෙනෙහි කරමින් මනසිකාරයෙන් ස්වල්ප වේලාවක් ගතකොට ගමට පිවිසෙන විට, තෙමේ මුහුණ සෝදා රන්වන් කොට රතු ගොකළ පොරවා ඇසේ අඳුන් හිසෙහි තෙල් ගා ආදී ආත්ම භාවය මණ්ඩනය කොට ගෙන වත්පුරන ආකාරයක් දැක්වීම සඳහා ඉදල් පහර දෙකතුනක් ගසා පියා ගදොරට පිවිසෙන තැනට පිවිසියේ වෙයි.

          මිනිස්සු උදේම චෛත්‍යය වඳිමුයි මල් පුජා කරමුයි පැමිණි අය මේ ක්‍රියාව දැක මේ විහාරයේ පිරිසිදු කිරිම මේ තරුණ භික්ෂුව නිසාම සිඳු වේයි මොහු වෙන් නොවේවායි පවසා ඔහුටම දියයුතුයයි සිතති. මෙබඳු පනින අයටද ජීවත්වීම පහසුය. පගඛහ නම් කායික බුහුටි සුර මිනිසුන් රැවටීම සඳහා ස්ථානෝචිතව සංකිලියන ජීවිතට මෙලෙස දිවි ගෙවා ජීවත්වන පුද්ගලයා කිළිටි වී ගත කරන එම ජිවිතය ජිවිතයක් වේ. පව්කාර ජීවිතයක් මේ යන අර්ථයි. හිරිමතාච යනු හිරි ඔතප් යුත් පුද්ගලයා විසින් දුකසේ ජීවත්විය යුතුය. ඔහු අම්මා නොවන අයට අම්මා සමානයයි අදිය නොකියා අසාර්මික ප්‍රත්‍යයන් අසුචි සේ සිතා පිළිකුල් කරන්නේ දැහැමින් සෙමෙන් සොයන්නේ ගෙපිළිවෙලින් පිඬුසිඟා ගොස් ජීවිතය ගතකරන්නේ රුක්‍ෂ ජිවිතයක් ගත කරයි යන අර්ථයි. සුචිගවෙසි නම් පිරිසිදු කායකර්මාදි සොයන්නේ. අලීනෙනා – යනු ජීවිත වෘත්තියෙහි නො ඇලී සුද්ධාජීවෙන පස්සනා එබඳු පුද්ගලයා සුද්ධා ජීව නම් වේ. මෙබඳු පිරිසිදු දිවිගෙවීම සාරවශයෙන් බලන්නේ රළු දිවියක් ලෙස දුජ්‍ජීව නම් වේ. දේශනය අවසානයේ බොහෝදෙන සෝවාන් ආදී මාර්ග ඵලයන්ට පැමිණියහ.

          AN 02-17-21 ක්‍රොධ දුක්ඛුද්‍රය සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “ක්‍රෝධයද,
          බද්ධ වෛරයද

          යන මේ දෙදෙනයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.”

          [ ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු නියුතු
          අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
          මහාචාර්ය තුඹුල්ලේ සීලක්ඛන්ධ හිමි

          අපේ සිතට බලවත් ලෙස වද දෙන සිතට පවිටු අදහස් ගලා එන මෙම පාප ළාමක චෛතසිකය බුදුදහමේ ‘කොධන” සූත්‍රයෙන් මැනවින් විස්තර වෙනවා. ක්‍රෝධය යන වචනයේ තේරුම් වෛරය, ද්වේෂය, ප්‍රතිඝය යන වදන් රාශියකින්මත් හඳුන්වා දෙන්නට පුළුවනි. මෙම චෛතසිකය නිරන්තරයෙන්ම අපේ සිතට වද දෙනවා. ඒ විතරකුත් නොවෙයි අපේ සසර දිග් කරනවා.

          බුදුරජාණන් වහන්සේ මෙම වෛරය නැත්නම් ක්‍රෝධය පිළිබද එහි යම් යම් සිතිවිලි නිර්මාණය කරන ආකාරය පිළිබඳ ඉතා වැදගත් අදහස් රාශියක් අපට පෙන්වා දී තිබෙනවා. මෙම වෛරී පුද්ගලයාට වෛරී සිතිවිල්ලක් ඇති වුණාම ඔහුට හෝ ඇයට පි‍්‍රය මනාප ඔහුට හොඳයි කියා සිතෙන කරුණු හතක් පිළිබඳ අපට පෙන්වා දී තිබෙන ආකාරය දැන් අපි විමසා බලමු.

          ක්‍රෝධයෙන් පෙළෙන අයගේ හිත වැඩ කරන හැටි

          වෛරක්කාරයා තමන්ට හතුරු යැයි සිතෙන අය ගැන මෙන්න මේ ආකාරයෙන් හිතනවා. ඔහු තම සතුරාගේ සිරුර වර්ණවත්ව පැහැපත්ව කාගේත් සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙන් පවතිනවට කැමැත්තක් දක්වන්නේ නැහැ. හතුරා විරූප වෙන තරමටයි කැමැත්ත, මෙහි විපාකය ඔහුම හෝ ඇයම අත්විඳිනවා. ඒ අනුව ඔහු හෝ ඇය ස්වභාවයෙන්ම කොතරම් හොඳට නාගෙන සුදු වර්ණ හෝ වෙනත් විසිතුරු වර්ණ රෙදිපිළි ඇන්දත් හොඳ පාට වර්ග, සුවඳ වර්ග, ආලේප කළත් හිතේ හෝ ශරීරයේ ප්‍රසන්න බවක් වෙනත් අයෙකුට පෙනෙන්නේ නැහැ. මේකයි ස්වභාවය. මේ තත්ත්වය නිර්මාණය කරලා තිබෙන්නේ වෙන කවරෙකු විසින් වත් නොවේ. ඔහුගේ ක්‍රෝධ සහිත සිතිවිලි නිසාය. ඔහුට ලැබෙන විපාකයි ඒ.

          වෛරක්කාරයා තමන්ට හතුරු යැයි සිතෙන අය ගැන මෙන්න මේ ආකාරයෙන් හිතනවා. ඔහු තම සතුරාගේ සිරුර වර්ණවත්ව පැහැපත්ව කාගේත් සිත් ඇද බැඳ ගන්නා ආකාරයෙන් පවතිනවට කැමැත්තක් දක්වන්නේ නැහැ. හතුරා විරූප වෙන තරමටයි කැමැත්ත, මෙහි විපාකය ඔහුම හෝ ඇයම අත්විඳිනවා. ඒ අනුව ඔහු හෝ ඇය ස්වභාවයෙන්ම කොතරම් හොඳට නාගෙන සුදු වර්ණ හෝ වෙනත් විසිතුරු වර්ණ රෙදිපිළි ඇන්දත් හොඳ පාට වර්ග, සුවඳ වර්ග, ආලේප කළත් හිතේ හෝ ශරීරයේ ප්‍රසන්න බවක් වෙනත් අයෙකුට පෙනෙන්නේ නැහැ. මේකයි ස්වභාවය. මේ තත්ත්වය නිර්මාණය කරලා තිබෙන්නේ වෙන කවරෙකු විසින් වත් නොවේ. ඔහුගේ ක්‍රෝධ සහිත සිතිවිලි නිසාය. ඔහුට ලැබෙන විපාකයි ඒ.

          දෙවනුව තමන්ට නින්ද යන්නේ නැතිනම් ඔහු හිතනවා. මගේ අසවල් හතුරාට හොඳට නින්ද යනවාද කියලා. මොකද? තමන්ගේ හතුරාගේ සුව නින්ද ඔහු කෙසේවත් පි‍්‍රය කරන්නේ නැහැ. මෙම සිතිවිල්ලට හේතුව ඔහුගේ ක්‍රෝධ සහිත ගතිය යි. ක්‍රෝධයෙන් පෙළෙන තැනැත්තාට බොහොම සුවපහසු උඩුවියන්, පාවාඩ ඇතිව ගන ලෝම සහිත අගනා ඇතිරිල්ලක නිදා ගන්නට සැලැස්සුවත් ඔහුට එහි සුවසේ නින්ද යන්නෙත් නැහැ. එය එහෙම වෙන්නේ අනිකක් නිසා නොව ඔහුගේ සිතේ පවතින ඇවිස්සුණු හෙවත් විසිරුණු ස්වභාවයයි.

          තෙවනුව තම හතුරා පිළිබඳව නිරන්තරයෙන් වෛරීව ක්‍රියා කරන පුරුෂයා හෝ ස්ත්‍රිය හතුරාට ලැබෙන සැප සම්පත් ගැන පසු තැවිල්ලට පත් වෙනවාය .අහෝ! මගේ හතුරාට ලැබෙන මේ සැප සම්පත් වෙන කාට ලැබුණත් කමක් නැහැ. මොහුට නොලැබී කියා නිතර හිතනවා. මේ තැනැත්තාට මෙහිදී ඇතිවන තත්ත්වය ඉතාමත් අහිතකර වෙනවා. මොකද? ඔහුට හොඳ දේ හැම විටම නරක විදියටයි පෙනෙන්නේ. යහපත් දේ අයහපත් විදියටයි දැනෙන්නේ. සද්පුරුෂයා අසද්පුරුෂයෙකු කොට ඔහුට වැටහෙනවා . මිතුරා හතුරෙක් ලෙස පෙනෙනවා. අපේ සමාජයේ එවැනි අය අපට බොහොමයක් දකින්නටත් ලැබෙනවා. ඒ විතරක් නොවෙයි තමන්ගේ ස්වභාවය ගැන තම සිත ක්‍රියා කරන ආකාරය පිළිබඳව මේ ආකාරයෙන් තමන්ටම හිතා ගන්නටත් පුළුවන්. ඒ නිසා තමන් තුළ මේ ගති ලක්ෂණ තියෙනවා නම් ඒවායින් ඉවත් වෙන්නට යොමු වෙන්නට ඕන. මේ සම්බුදුදහම “ඒහිපස්සික” ගුණයෙන් යුක්ත වන බව තමන් නිතර නිතර හිතට ගැනීම බොහොම වටිනවා.

          සිව්වෙනුව තමන්ගේ හතුරා පිළිබඳව වෛරී තැනැත්තා හෝ තැනැත්ති හිතන මතන තවත් ආකාරයක් තිබෙනවා. ඒ තාම තමන්ගේ හතුරාට ලැබෙන යම් යම් භවභෝග සම්පත් ගැන කිසිසේත් රුචි නොවෙනවා පමණක් නොව මෙම භවභෝග විනාශ වෙනාව නම් හොඳයි කියා අතිශයින් සතුටට පත් වෙනවා. නිදසුනක් වශයෙන් යම් හෙයකින් සශ්‍රීකව සස්‍ය හෝ භෝග වැඩුණු පැහුණු හතුරාගේ කුඹුරක් හෝ හේනක් දුටුවහම අනේ. මොහුගේ කුඹුර හෝ හේන ජල ගැලීමකින් හෝ වෙනත් උවදුරකින් විනාශ වෙනවා නම් කොච්චර හොඳද? කියා ප්‍රාර්ථනා කරනවා . එම සස්‍ය දකින හැම විටම ඔහු හෝ ඇය මහත් අසහනයට, වේදනාවට පත් වෙනවා. මේ ආකාරයෙන් ඔහුගේ හෝ ඇයගේ වෛරී සිතිවිලි නිරන්තරයෙන් ක්‍රියා කරනවා. ඔහුගේ හෝ ඇයගේ මේ වෛරී සිතිවිලි නිසා ඔහුට හෝ ඇයට නින්ද යන්නෙත් නැහැ. කෑම බීම පිළිබඳ රුචියකුත් නැහැ. නිරන්තරයෙන් අසහනකාරි බවක් සිතට දැනෙනවා. මේ නිසා අවසානයේ දී කුමක් ද සිදුවන්නේ ? ඒ තැනැත්තා හෝ තැනැත්ති හරිහම්බ කළ ධනය, වස්තුව පමණක් නොවෙයි මහන්සියෙන් දහඩිය වගුරුවා දෑතේ වීර්යයෙන් රැස්කළ කිසිදු අධාර්මික බවක් නොමැතිව හරිහම්බ කළ සස්‍ය හෝ ධනය වස්තුව රජයේ භාණ්ඩාගාරයට හෝ කිසිදු හේතුවකින් තොරව පවරා ගන්නටත් පුළුවනි. එසේත් නැතිනම් ස්වාභාවික විපතකින් විනාශවෙලා යන්නටත් පුළුවනි. මෙයින් අදහස් කරන්නේ මේ ක්‍රෝධ සිතිවිලි නිසා මිනිස් සන්තානයේ හටගත් ද්වේෂ සහගත පවිටු අදහස් තමන්ටම අවසානයේ අහිතකරව පවතින අයුරු අපට දැකබලා ගන්නටත් පුළුවනි.

          පස්වෙනුව තමන්ගේ හතුරාගේ උගත්කම හරි, බලවත්කම හරි, පවුල් පසුබිම හරි, පෙනුම නිසා හෝ වෙන යම් කරුණක් නිසා සමාජය තුළ කිසියම් කීර්තියක් යසසක් පැතිරී තියෙනවා නම් එයට ද ක්‍රෝධ සිතිවිලිවලින් තෙරපෙන වෛරී පුද්ගලයාගේ සිතේ බලවත් අකමැත්තක් හට ගන්නවා. සමහර විට ඔහු එවැනි අවස්ථාවල එම කීර්තිය අකාමකා දමන්නට නොයෙක් උපක්‍රම යොදන්නටත් පෙලඹවෙනවා . මේ නිසා මෙලොවදීම ඔහුට විපාක විඳින්නට සිදු වෙනවා. ඒක තමා මෙම වෛරී තැනැත්තා හෝ තැනැත්ති කොහොම හරි ඉතා ස්වල්ප වූ හෝ යසසක් කීර්තියක් ඇතිව සිටියා නම් එයිනුත් ඔහු හෝ ඇය පිරිහී යනවා.

          සය වෙනුව තමන්ගේ හතුරු පුරුෂයෙකුට හෝ කාන්තාවකට මිතුරු පිරිස් ඇතිවෙනවාට මෙම පුරුෂයා හෝ කාන්තාව කිසිසේත් රුචියක් දක්වන්නේ නැහැ. නිතරම ප්‍රාර්ථනා කරන්නේ තමා වගේ සමාජයේ අනිකුත් බොහෝ දෙනා තම හතුරාට වෛරයෙන්, ක්‍රෝධයෙන් පසුවෙනවා නම් තමා හොඳ කියා. මේ නිසා තම හතුරා මොන ක්‍රමයෙන් හරි ඔහුගේ හෝ ඇයගේ විරද්ධකාරයන්ගෙන් පහර කනවාට , හිංසා පීඩාවන්ට ලක් වෙනවාට වඩ වඩාත් කැමැත්තක් දක්වනවා. මේ නිසා මෙලොව වශයෙන්ම මේ ක්‍රෝධයෙන් පෙළෙන වෛරී සිතිවිලි ඇති ස්ත්‍රිය හෝ පුරුෂයා තමන්ට යම් පමණකට හෝ සමාජයේ හිතවත්කමක් ඇති රුචියක් ඇතිව යම් සුළු හෝ පිරිසක් හිටියා නම් මේ තත්ත්වය යටතේ තවදුරටත් ඒ ඒ අය අතර පවා ඒ තත්වයෙන් සිටිය නොහී තම ඤාතිමිත්‍රාදීන්ගෙන්ද තවදුරටත් ඇත් වෙනවා. තමන්ගේ විපතකදී පවා අනේ අපොයි කියා දුක් වෙන, කනගාටු වෙන කෙනෙක්වත් නැතිව යනවා තමන් තනි වෙනවා.

          අවසාන වශයෙන් අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වෛරීව, ක්‍රෝධයෙන් තෙරපි තෙරපි කාලය ගත කරන අය සිතන තවත් දෙයක් ලෙස ඒ අයට මෙහෙම සිතනවා වෙන්නට පුළුවන්. ඒක තමා හතුරු තැනැත්තා හෝ තැනැත්තිය මැරුණට පස්සේ අපායේ වැටිලා අප්‍රමාණ දුක් විඳ විඳ ඉන්නවා නම් ඒකම ප්‍රාර්ථනා කරනවා. මෙහි අදහස තමා මෙලොව ජීවත් වෙන කාලයේ පමණක් නොව මැරුණට පස්සෙත් තමන්ගේ හතුරු අය පිළිබඳ ඇති කරගන්නා ක්‍රෝධ සහගත අවැඩකාරී සිතිවිලි ඒ තැනැත්තාට කොපමණ දුරට බලපවතිනවා ද කියන එකයි අප මෙහිදී තේරුම් ගන්නට අවශ්‍ය වෙන්නේ. තමන්ට සෙයින් ලැබෙන අනර්ථකාරි ප්‍රතිඵලය තමා අනිවාර්යෙන් මෙලොව ජීවත් වන කාලයේදීත් පරලොව දීත් අනන්ත අප්‍රමාණ දුක් ගොඩක් විඳිමින් කල් ගත කරන්නට තමන්ට සිදු වෙනවා කියන මේ කාරණ ය. මෙහි එන මේ අදහස්වලින් ධර්මානුකූලව මෙම ක්‍රෝධයේ හැටි විස්තර වෙනවා.

          ක්‍රෝධය .තමන්ටම විපාක ගෙන දෙයි.

          ක්‍රෝධය, ද්වේෂය, වෛරය කියන මේ සිතිවිලි මොන තරම් අවැඩක් ජීවිතයට ඇති කරනවාද කියලා අපට දැන් තේරුම් ගන්නට පුළුවනි. ඒ විතරක් නොවෙයි ඒ පුරුෂයාගේ හෝ ස්ත්‍රියගේ රුව නපුරු පෙනුමක් ගෙන දෙනවා. කවර ආකාරයෙන් සැරසුනත් ප්‍රසන්න බවක් නැහැ. සමාජයේ පිළිකුලට පත් වෙනවා. කයින් වචනයෙන් තම ක්‍රෝධය ප්‍රකාශ කිරීම නිසා කිසිවක් උපයා සපයා ගැනීමේ ශක්තියක් ද නැතිව යනවා. අපකීර්තියට පත් වෙනවා. තම නෑ හිතමිතුරන්ගෙන් ඈත්වෙනවා. එවැනි අයට හොඳ නරක යහපත අයහපත හඳුනා ගැනීමේ ශක්තියක් නැහැ. ලජ්ජාවක්, බියක් ඔවුන්ට දැනෙන්නේ නැහැ. මේනිසා සමාජයෙන් හැම විටම ඈත්වෙනවා. තනි වෙනවා. ඔහුට හෝ ඇයට තමන්ගේ වචන පිළිබඳ ශාරිරික ක්‍රියාකාරකම් පිළිබඳ සිහියෙන් හරි අසිහියෙන් හරි බොහෝ පහත් වැඩ කරනවා. බොහොම අසැබි වදන් කියනවා . මේ නිසා ඔහුගේ හෝ ඇයගේ පවුල්වල සාමාජිකයන්ට පවා මහත් ලජ්ජාවක් දැනෙනවා. ඔවුන්ගේ දරුවන්ට පවා සමාජයට මුහුණ දීමට බරපතළ අපහසුතාවක් දැනෙනවා.

          දරුවන්ගෙන් දෙමාපියන් ඝාතනයට ලක්වෙන අවස්ථා

          මේ කිපීම කොතරමි. දැඩිද කිවහොත් තමන්ගේ අතින්ම අම්මා, තාත්තා මරා දැමෙනවා. තම සහෝදර සහෝදරියන් පවා අමු අමුවේ මරා දමන අවස්ථා ඇති වෙනවා. අද අප දිනපතා කියවන බොහෝ පුවත්පත් දිහා බලනවිට මේවාට කොතෙකුත් නිදසුන් තිබෙනවා. මේ කෝපය, ක්‍රෝධය කොපමණ දරුණු ආකාරයෙන් ක්‍රියා කරනවාද කියතොත් අවසානයේදී තමන්ට වෙඩි තබාගෙන, පිහියකින් ඇන ගෙන හෝ වස විස පානය කරලා හරි, බෙල්ලේ වැලලා ගෙන හරි තමන්ගේ ජීවිතයත් විනාශ කර ගන්නවා. දැනට තිබෙන සොයා ගැනීම් අනුව ලංකාව සමස්ත ලෝකයේම සිය දිවි නසා ගන්නා ජනතාව සිටින රටවල අතර යම් ස්ථානයකට පැමිණ තිබීමෙන් කියන්නට වෙන්නේ මේ රටේ කොච්චර බණ කීවත්, මේ ආකාරයේ ධර්ම පති‍්‍රකා දහම් පොත පත, පුවත්පත් ලියා ජනතාවට දැන ගන්නට සැලැස්සුවත් සිය දිවි නසා ගන්නා අය අතරට පැමිණ තිබෙනවා කියන මේ කාරණය නම් මේ බෞද්ධ රටටත් මහත් ලැජ්ජාවක් .ක්‍රෝධයෙන් වෛරයෙන් ජීවත්වන්නවුන් මුළුමහත් සමාජයටම පිළිකුලක් නොවන්නේද? මේ සිතිවිල්ලට ඇති විසඳුම කුමක්ද කියලාත් බුදුහාමුදුරුවෝ අපට පෙන්වා දී තිබෙනවා. ක්‍රෝධය සංසිඳවන හැටි බුදුදහමෙන්

          මෙහි පළමු හේතුව තමා තමන්ගේම මරණය පවා ඇති කරන මේ සිතිවිල්ලේ ස්වභාවය තේරුම් නොගැනීම, එහෙම නම් ඒ සිතිවිල්ල සිඳ බිද දැමිය යුතු වෙනවා. ඒකට කළ යුතු වෙන්නේ පළමු වෙන්ම මෙහි ස්වභාවය තේරුම් ගැනීමට තම ප්‍රඥාව හෙවත් නුවණ වැඩි දියුණු කර ගන්නට ඕන. තම ඉන්ද්‍රියන්ගේ ස්වභාවය හා එම ඉන්ද්‍රියයන් දමනය කර ගැනීමේ උත්සාහයක යෙදෙන්නට ඕන. ඒ සඳහා වීර්යය වැඩිය යුතු වෙනවා. කල්‍යාණ මිත්‍රයෙකුගේ උපදෙස් අනුව කටයුතු කර තම චරිත ලක්ෂණවලට අනුව කර්මස්ථාන ලබා ගෙන සිත ප්‍රසන්නභාවයට පත් කර ගෙන විදර්ශනා භාවනාවට හෝ වෙන්නට ඕන. මේ හැමවිටම කල්‍යාණ මිත්‍රයෙකුගේ අනුශාසනාව ඉතා වැදගත් වෙනවා. කියා තමන් තේරුම් ගන්නා තත්ත්වයට මනස දියුණු කර ගැනීමේ බරපතළ උත්සාහයක නිරත වෙන්නට සිදු වෙනවා.

          AN 02-17-22 මක්ඛ දුක්ඛුද්‍රය සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “ගුණමකුවීමද,
          තමන් උසස් යැයි සිතන බවද
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.”

          AN 02-17-23 ඉස්සා දුක්ඛුද්‍රය සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “ඊර්‍ෂ්‍යයාවද,
          මසුරු බවද
          යන මේ දෙදෙනයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.”

          AN 02-17-24 මායා දුක්ඛුද්‍රය සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          මායාවද,
          කෛරාටික බව
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.”

          AN 02-17-25 අහිරික දුක්ඛුද්‍රය සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “(පාපයට) ලජ්ජා නැති බවද,
          (පාපයට) භය නැති බවද
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.”

          AN 02-17-26 අක්කෝධ සුඛුද්‍රය සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          “ක්‍රෝධ නොකිරීමද,
          බද්ධ වෛරය නැති කිරීම

          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි, සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-27 අමක්ඛ සුඛුද්‍රය සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          “ගුණමකු නොවීමද,
          තමන් උසස් කොට නොසිතීම
          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි, සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-28 අනිස්සා සුඛුද්‍රය සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          “ඊර්‍ෂ්‍යයා නොකිරීමද,
          නොමසුරු බවද,

          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි, සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-29 අමායා සුඛුද්‍රය සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          “මායා රහිත බවද,
          කෛරාටික නැති බවද
          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          සසර පුරා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-30 හිරි සුඛුද්‍රය සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          “(පාපයට) ලජ්ජාවද,
          (පාපයට) භය
          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          දිගු සසර සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-31 දුක්ඛ විපාක කොධ සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “ක්‍රෝධයද,
          බද්ධ වෛරයද

          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.

          AN 02-17-32 දුක්ඛ විපාක මක්ඛ සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “ක්‍රෝධයද,
          බද්ධ වෛරයද

          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්

          .දුක්ඛ විපාක මක්ඛ සූත්‍රය.

          “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,

          “ගුණමකු වීමද, තමන් උතුම්කොට සිතන බවද යන මේ දෙදෙනයි.”

          “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.”.

          AN 02-17-33 දුක්ඛ විපාක ඉස්සා සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “ක්‍රෝධයද,
          බද්ධ වෛරයද

          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්

          .දුක්ඛ විපාක ඉස්සා සූත්‍රය.

          “මහණෙනි, දුක් විපාක ඇති මේ ධර්මයෝ දෙදෙනෙක් වෙත්. කවර දෙදෙනෙක්ද යත්,

          “ඊර්‍ෂ්‍යයාවද, මසුරු බවද යන මේ දෙදෙනයි.”

          “මහණෙනි, මේ දෙදෙන වනාහි, දුක් විපාක ඇති ධර්මයෝ වෙත්.”

          [තව ද පඤ්ච මච්ජරිය (මසුරු) ධර්මය අතුරින් ආවාස මච්ජරිය (තමා වාසය කරන තැන කෙරෙහි මසුරු වීම) හේතුවෙන් යක්ෂයෙක් හෝ ප්‍රේතයෙක් හෝ වී එම ආවාසයා ගේ ම කසල හිසින් ගෙන හැසිරෙන්නෙක් වේ.

          කුල මච්ජරිය (කුලය කෙරෙහි මසුරුකම) හේතුවෙන් ඒ කුලයේ මිනිසුන් විසින් අන්‍යයන්ට දානමානාදිය දෙන කල්හි දැක “ ඒකාන්තයෙන් ම දැන් මේ කුලය මා කෙරෙහි බිඳෙන්නේ යැ යි ” සිතනුයේ ලේ හෝ මුඛයෙන් නික්මෙත්. කුසවිරේකයක් හෝ වෙයි. බඩවැල හෝ කැඩි කැඩී නික්මෙත්. ලාභ මසුරු කමින් සංඝයා ගේ හෝ ගණයා ගේ සන්තක ලාභයෙ හි මසුරු බව කොට, පුද්ගලික පරිභෝගයක් මෙන් පරිභෝග කොට යක්ෂයෙක් වී හෝ ප්‍රේතයෙක් වී හෝ මහා පිඹුරෙක් වී උපදිත්.

          ශරීර වර්ණය හෝ ගුණ වර්ණය හෝ පරියාප්ති ධර්මය පිළිබඳව හෝ මසුරු වී තමා ගේ ම ගුණ කියයි. අන්‍යයන් ගේ ගුණ කියන කල්හි ඔවුන් ගේ කුමන ගුණයක් දැ යි කියන යම් යම් දෝෂ කියෙනුයේ ද, පරියාප්ති ධර්මය ද කිසිවක් (ඇසුවොත්) කියා නොදන්නේ වේ ද හෙතෙම දුර්වර්ණ වී ද දිශා විදිශා ආදී ව්‍යවහාර මාත්‍රය පවා නො දන්නා ජාතිවලම උපදියි.

          තව ද ආවාස මසුරු බව හේතුවෙන් ලෝහ ගෙයෙහි පැසෙන්නට වේ. කුලය කෙරෙහි මසුරු බව හේතුවෙන් අල්ප ලාභ ඇත්තෙක් වේ. ලාභය කෙරෙහි මසුරු බව හේතුවෙන් ගූථ නිරයෙහි උපදියි.

          වණ්ණ මච්ජරිය හේතුවෙන් භවයෙහි උපන්නාහුට වර්ණයක් නම් නො වේ. ධර්ම මච්ජරිය හේතුවෙන් කුක්කුළ නිරයෙහි උපදියි යැ යි අත්ථසාලින නම් ධර්ම සංඝණිප්පකරනට්ඨ කථාවේ 317 පිටෙහි දක්වා ඇත.

          පව්කළ සත්වයෝ ඉහත කී සතර අපායෙහි ඉපිද අපමණ දුක් විඳ යම් හෙයකින් පසු කලෙක මිනිසත් බවත් ලද හොත් මෙහිදී ද නිවන් දැක පිරිනිවන් පාන තුරුම අඳුරු විපාක ගෙන දෙනු ලැබේ. මනු ලොවදී එසේ කර්ම විපාක දෙන්නට යෙදුන කථා කිහිපයක් මෙහි දක්වන්නෙමි. මේවා හොඳින් දැන ඉගෙන සියළු සත්වයෝම පාපයෙන් මිදෙත්වා. කුසල ධර්මයන්හි අප්‍රමාද වෙත්වා. – රේරුකානේ ලොකු ස්වාමින්වහන්සේ ලියු කරම විපාක ග්‍රන්ථ රත්නයෙන්-

          AN 02-17-34 දුක්ඛ විපාක මායා සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “ක්‍රෝධයද,
          බද්ධ වෛරයද

          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්,”

          AN 02-17-35 දුක්ඛ විපාක අහිරික සූත්‍රය.

          “මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “(පාපයට) ලජ්ජා නැති බවද,
          (පාපයට) භය නැති බවද
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.”

          AN 02-17-36 සුඛවිපාක අක්කොධ සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          “අක්‍රෝධයද,
          බද්ධ වෛරනොකිරීමද
          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          දිගු සසර සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්..”

          AN 02-17-37 සුඛවිපාක අමක්ඛ සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          ගුණමකු නොවීමද,
          තමන් උසස් කෝට නොසිතන බවද
          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          දිගු සසර සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-38 සුඛවිපාක අනිස්සා සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          “ඊර්‍ෂ්‍යයා නොකිරීමද,
          නොමසුරු බවද

          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          දිගු සසර සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-39 සුඛවිපාක අමායා සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          මායා රහිත බවද,
          කෛරාටික නැති බවද

          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          දිගු සසර සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-40 සුඛවිපාක හිරි සූත්‍රය.

          .”මහණෙනි,
          උපතක් පාසා සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ දෙකක් වෙත්.
          ඒ කවරේද යත්,

          “(පාපයට) ලජ්ජාවද,
          (පාපයට) භය
          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          දිගු සසර සැප වඩවන්නාවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-41 සව්‍යාපජ්ඣ කොධ සූත්‍රය.

          මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          ක්‍රෝධයද,
          බද්ධ වෛරය
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.”

          AN 02-17-42 සව්‍යාපජ්ඣ මක්ඛ සූත්‍රය.

          මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          ගුණමකු වීමද,
          තමන් උසස්කොට සිතන බවද
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්. ”

          AN 02-17-43 සව්‍යාපජ්ඣ ඉස්සා සූත්‍රය.

          මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “ඊර්‍ෂ්‍යයාවද,
          මසුරු බවද

          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.

          AN 02-17-44 සව්‍යාපජ්ඣ මායා සූත්‍රය.

          මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          මායාවද,
          කෛරාටික බව
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.”

          AN 02-17-45 සව්‍යාපජ්ඣ අහිරික සූත්‍රය.

          මහණෙනි,
          සසර දුක් වඩවන්නාවූ ධර්‍මයෝ දෙකක් වෙත්.
          කවරේද යත්:

          “(පාපයට) ලජ්ජා නැති බවද,
          (පාපයට) භය නැති බවද
          යන මේ දෙකයි.

          “මහණෙනි,
          මේ දෙක වනාහි දිගු සසර
          මහා දුක් වඩවන්නාවූ ධර්‍මයෝ වෙත්.”

          AN 02-17-46 අව්‍යාපජ්ඣ අක්කොධ සූත්‍රය.

          “මහණෙනි,
          දුක් නොලැබෙන ජීවිතයට හේතුවන
          කුසල් ධර්මයෝ දෙකක් ඇත.
          කවර දෙකක්ද යත්,

          “ක්‍රෝධ නැති බවද ,
          බද්ධ වෛර නැති බවද
          යන මේ දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          ව්‍යාපාධ (දුක්) රහිතවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-47 අව්‍යාපජ්ඣ අමක්ඛ සූත්‍රය.

          “මහණෙනි,
          දුක් නොලැබෙන ජීවිතයට හේතුවන
          කුසල් ධර්මයෝ දෙකක් ඇත.
          කවර දෙකක්ද යත්,

          “ගුණමකු නොවීමද,
          තමන් උසස් කොට නොසිතන බවද
          යන දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          ව්‍යාපාධ (දුක්) රහිතවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-48 අව්‍යාපජ්ඣ අනිස්සා සූත්‍රය.

          “මහණෙනි,
          දුක් නොලැබෙන ජීවිතයට හේතුවන
          කුසල් ධර්මයෝ දෙකක් ඇත.
          කවර දෙකක්ද යත්,

          ඊර්‍ෂ්‍යයාව නැති බවද,
          මසුරු බව නැති බව ද

          යන දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          ව්‍යාපාධ (දුක්) රහිතවූ
          කුසල ධර්මයෝ වෙත්.

          AN 02-17-49 අව්‍යාපජ්ඣ අමායා සූත්‍රය.

          “මහණෙනි,
          දුක් නොලැබෙන ජීවිතයට හේතුවන
          කුසල් ධර්මයෝ දෙකක් ඇත.
          කවර දෙකක්ද යත්,

          මායා රහිත බවද,
          කෛරාටික නැති බවද
          යන දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          ව්‍යාපාධ (දුක්) රහිතවූ
          කුසල ධර්මයෝ වෙත්.”

          AN 02-17-50 අව්‍යාපජ්ඣ හිරි සූත්‍රය.

          “මහණෙනි,
          දුක් නොලැබෙන ජීවිතයට හේතුවන
          කුසල් ධර්මයෝ දෙකක් ඇත.
          කවර දෙකක්ද යත්,

          පාපයට ලජ්ජාවද,
          පාපයට භයද

          යන දෙකයි.”

          “මහණෙනි,
          මේ දෙක වනාහි,
          ව්‍යාපාධ (දුක්) රහිතවූ
          කුසල ධර්මයෝ වෙත්.

          ...more
          View all episodesView all episodes
          Download on the App Store

          SINHALA TIPITAKABy