AN 09-02-01. සාරීපුත්ත සීහනාද සූත්‍රය
AN 09-02-02. සඋපාදිසෙස සූත්‍රය
AN 09-02-03. කොට්ඨිත – ශාරීපුත්ත සූත්‍රය
AN 09-02-04. සමිද්ධි සාරීපුත්ත සූත්‍රය
AN 09-02-05. ගණ්ඩොපම සූත්‍රය
AN 09-02-06. නවසඤ්ඤා සූත්‍රය
AN 09-02-07. නවඞ්ගකුල සූත්‍රය
AN 09-02-08. නවඞ්ගුපොසථසුත්තං
AN 09-02-09. පච්ඡානුතාපීනී සූත්‍රය
AN 09-02-10. වෙලාම සූත්‍රය
AN 09-02-01. සාරීපුත්ත සීහනාද සූත්‍රය
[සුත්‍ර විවරණය 26:37 කාල දැක්මේ සිට ඇරඹෙන බව සලකන්න. slide the red marker to right]
“භාග්‍යවතුන් වහන්සේ එක් කලෙක සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වැසූ සේක.
ඒ කාලයෙහි දිනෙක සැරියුත් මහ තෙරහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මේ කාරණය කීහ.
“ස්වාමිනි, මා සැවැත්නුවර වස් වැසුවෙමි.
ස්වාමීනි, මම දැන් ජනපද චාරිකාවෙහි යන්නට කැමැත්තෙමි.” –
“සාරීපුත්තයෙනි, දැන් ඊට කාලයයි ඔබ දන්නෙහිය.”
ඉක්බිති සැරියුත් තෙරහු උන් තැනින් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණුකොට, පිටව ගියහ.
සැරියුත් තෙරුන් වහන්සේ ගිය නොබෝ වේලාවකින් එක් භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ මෙසේ කීය.
“ස්වාමීනි, සැරියුත් තෙර මගේ ඇඟේ හැපී 1846 එයට කමාව නොගෙන, වරද නිදොස් නොකොට චාරිකාවෙහි ගියේය.” යි කීයේය. එවිට භාග්‍යවතුන් වහන්සේ තවත් භික්ෂුවක් අමතා සාරිපුත්ත ස්වාමින් වහන්සේ කැඳවා ගෙන එන ලෙස දැන්වූ සේක.
[1846:-ආයස්මා මං භන්තෙ යනු ඒ භික්ෂුව මහත් පිරිවරින් යන්නාවූ තෙරුන් දැක මේ භික්ෂුහු තථාගතයන් වහන්සේ අත්හැර සැරියුත් තෙරුන් පිරිවරා නික්මුණාහුය. මොහුගේ යාම නවත්වන්නෙමැයි නිකරුණෙහි කෝප බැඳ මෙසේ කීවේය. එහි ආසජ්ජා යනු ගටායි, අප්පටිනිස්සජ්ජ යනු ක්ෂමා නොකොට වරද නොදෙසායි, කවර කරුණක හෙතෙම ආඝාත බැන්දේද යත්? බුදුන්වහන්සේ වැඳ නැඟිට යන්නාවූ තෙරුන්ගේ සිවුරු කොණ ඔහුගේ සිරුර පැහැසීය. සුළඟ වැදුනේයයිද කියත්. මෙපමණකින් වෛර බැඳ මහත් පිරිවරින් යන තෙරුන් දැක ඊර්ෂ්‍යා කරනු ලබන්නේ මොහුගේ ගමන සිඳින්නෙමැයි මෙසේ කීවේය. එහි ත්වං භික්ඛු යනු ශාස්තෘන් වහන්සේ එම භික්ෂුවගේ වචනය අසා සාරිපුත්රතෙමේ ඒ භික්ෂුවට නොපැහැරියයි කීවිට ස්වාමීනි නුඹවහන්සේ තමන්ගේ අග්රශ්රාවකයාගේ පැත්ත ගනිති මගේ පැත්ත නොවේයයි මා කෙරෙහි සිත දූෂ්‍ය කොට අපායෙහි උපදින්නේයයි දැන සැරියුත් තෙරුන් කැඳවා මෙකරුණ විමසන්නෙමැයි එක් භික්ෂුවක අමතා කැඳවා එන සේ කී සේක.]
ඒ දැනගත් මහ මුගලන් තෙරද, අනඳ තෙරද, විහාරයෙන් විහාරයට, ගොස්
‘ඇවැත්නි, එව. ඇවැත්නි, එව,
දැන් සැරියුත් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි සිංහ නාද පවත්වන්නේය’1847
යි කියමින් සෙසු සංඝයා මේ ධර්ම සභාවට එක් කළහ.
[1847:- සීහනාදං යනු ශ්‍රේෂ්ඨ නාදයයි, ප්රමුඛනාදයයි, අනෙකෙකුට පැවැත්විය නොහැකි නාදයයි. මෙසේ මහතෙරවරුන් දෙදෙනා විසින් සැළකරනලද භික්ෂුසඞ්ඝයා රාත්රිස්ථාන දිවාස්ථානයන් අතහැර ශාස්තෲන් සමීපයට ගියේය. ඛියන ධම්මං යනු කථා ධර්මයයි,]
ඉක්බිති සැරියුත් තෙරහු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක පැත්තක හුන්හ.
එක පැත්තක හුන් සැරියුත් තෙරුන්ට, භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළහ.
“සාරීපුත්තයෙනි, මෙම භික්ෂුව ඔබට මෙසේ දෝශාරෝපනය කරයි..
කෙසේද? ඔබ ඔහුගේ ඇඟේ හැපී, එයට සමාව නොගෙනම , චාරිකාවෙහි ගියේය’ කියායි.”
(1).“ස්වාමීනි, යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද එබඳු භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගමන යාම සිදු විය හැක.
ස්වාමිනි මම පිබිදුනු මොහොතේ සිට නින්දට පත්වන තුරු
කායානුපස්සනාවෙන් කය පිලිබඳ යොමු කල සතියෙන්ම ඉන්නෙමි.
එසේ නොබිඳුණු සතියෙන් ඉන්නා මගෙන් එවැනි දෝෂයක් විය නොහැක.
[1848:- කායානුපස්සනාව : ….. ඉරියාපථ භාවනාව යනු ඇවිදීම, හිඳීම, සයනය, ආහාර ගැනීම, වැසිකිළි කැසිකිළි යෑම ආදී සියලු ක්‍රියා සිහියෙන් යුතුව කිරීමය. එනම් යෝනිසෝ මනසිකාරයෙන් සිදුකිරීම වන්නේය. මෙම ‘ඉරියාපථ’, එනම් ඉරියව් වල පැවැත්ම පිළිබඳ සතිය යොමු කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සත්ව පුද්ගල ආත්ම වශයෙන් තමා යැයි සිතින් අල්වා ගත් අල්වා ගැනීම මිථ්‍යාවක් හා මුලාවක් යන දෘෂ්ටිය ප්රහාණය කිරීමය. පුද්ගලයා විසින් ඇති කරගන්නා වූ අවිද්‍යාව නිසා සත්ව පුද්ගල සංඥාව මුල්කරගෙන “මම”, “මාගේ” යැයි දෘෂ්ටියක බැසගෙන වාසය කරයි. එම අවිද්‍යා සහගත සංඥාව නිසා මම යැයි පුද්ගලයෙකු ඇත. මම යැයි පුද්ගලයෙකු ගමන් කරයි. ආදී වශයෙන් දෘෂ්ටියක් සැකසී ඇත. මෙම ඉරියාපථ කොටස මනාකොට ප්‍රගුණ කරන ලද යෝගියාට වැටහෙනුයේ මම හිඳිමි, වශයෙන් හෝ මම ගමන් කරමි යන්න වායෝ ධාතුවෙහි පැතිරීම මුල්කරගෙන සිදු වූ ක්‍රියාවක් මිස, ගමන් ගන්නා හෝ සිටින සත්වයකු පුද්ගලයකු ලෙස ගත නොහැකි බව අවබෝධයට පැමිණීමය. මේ ආකාරයෙන් ඉඳීම්, හිටීම්, ගමන් කිරීම්, සයනය, ආදී සතර ඉරියව් කෙරෙහිම යෝනිසෝ මණසිකාරය දියුණු කිරීම ඉරියාපථ භාවනාව යැයි දත යුතු ය…..]
ස්වාමීනි,
මිනිසුන් මේ මහ පොළොවෙහි පවිත්‍ර දෙයද දමත්. අපවිත්‍ර දෙයද දමත්. අසූචිද දමත්. මූත්‍රද දමත්. කෙළද දමත්. සැරවද දමත්. ලෙයද දමත්. එනමුත් එයින් පොළොව පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. ඒ පිළිකුල් නොකරයි. 1849
ස්වාමීනි,
එමෙන් මමද ඒ මහ පොලොව මෙන් මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, සිතින් යුක්තව සියලු සත්වයන් කෙරෙහි අවිහිංසා, අවෛරී සිතින් වාසය කරමි.
[1849:- ගුථගතං යනු ගූථයම (අසූචිය) ගූථගතං නමි. සෙසු තැන්හි ද ක්‍රමයමයි, පඨවිසමෙන යනු නොකිපෙන දූෂ්‍ය නොවන අර්ත්ථයෙන් පොළව සම වූයෙනි, පොළොව මාමත පිරිසුදු දේ හෙළතියි සොම්නස් නොවෙයි, අපිරිසුදු දෑ හෙළතියි දොම්නස් ද නොවේ. මගේ සිත ද එසේයයි දක්වයි. විපුලෙන යනු නොමඳ දෙයිනි, මහග්ගතෙන යනු මහත්බවට ගිය දෙයිනි, අප්පමාණෙන යනු වැඩුණු පමණිනි, අවෙරෙන යනු අකුසල වෛර පුද්ගල වෛර රහිත වූවෙනි, අව්යාපජ්ඣෙන යනු නිදුකිනි, පහවූ දොම්නසිනි, සො ඉධ යනු ඒ නොඑළඹසිටි කායානුපස්සනා සතිපට්ඨාන ඇති භික්ෂුව මෙසේ කරන්නේය. මාවැන්නෙක් කෙසේ මෙබඳු දෙයක් කරයිද ස්වාමීනියි පළමු සිංහනාදය නැඟීය.]
(2) “ස්වාමීනි, යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද
එබඳු එළඹ භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගිය ගමන යාම සිදුවිය හැක.
ස්වාමිනි මම පිබිදුනු මොහොතේ සිට නින්දට පත්වන තුරු කායානුපස්සනාවෙන් කය පිලිබඳ යොමු කල සතියෙන්ම ඉන්නෙමි. එසේ නොබිඳුණු සතියෙන් ඉන්නා මගෙන් එවැනි දෝෂයක් විය නොහැක.
ස්වාමීනි, මිනිසුන් ජලයෙහි පවිත්‍ර දෙයද සෝදත්. අපවිත්‍ර දෙයද සෝදත්. අසූචිද සෝදත්. මූත්‍රද සෝදත්. කෙළද සෝදත්. ලෙයද සෝදත්. එයින් ජලය පීඩාවට පත් නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, ජලය හා සමවු සිතින් යුක්තව වාසය කරමි.
(3). “ස්වාමීනි, යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද එබඳු එළඹ භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගිය ගමන යාම සිදුවිය හැක. ස්වාමිනි මම පිබිදුනු මොහොතේ සිට නින්දට පත්වන තුරු කායානුපස්සනාවෙන් කය පිලිබඳ යොමු කල සතියෙන්ම ඉන්නෙමි. එසේ නොබිඳුණු සතියෙන් ඉන්නා මගෙන් එවැනි දෝෂයක් විය නොහැක.
“ස්වාමීනි, යම්සේ ගින්න පවිත්‍ර දෙයද දවයි. අපවිත්‍ර දෙයද දවයි. අසූචිද දවයි. මූත්‍රද දවයි. කෙළද දවයි. සැරවද දවයි. ලෙයද දවයි. එයින් ගින්න පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, ගින්න හා සමවු සිතින් යුක්තව වාසය කරමි.
(4). “ස්වාමීනි, යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද එබඳු එළඹ භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගිය ගමන යාම සිදුවිය හැක. ස්වාමිනි මම පිබිදුනු මොහොතේ සිට නින්දට පත්වන තුරු කායානුපස්සනාවෙන් කය පිලිබඳ යොමු කල සතියෙන්ම ඉන්නෙමි. එසේ නොබිඳුණු සතියෙන් ඉන්නා මගෙන් එවැනි දෝෂයක් විය නොහැක.
“ස්වාමීනි, මිනිසුන් සුළඟට පවිත්‍ර දෙයද හමයි. අපවිත්‍ර දෙයද දමයි. අසූචියෙහි දුරඝන්දයද හමයි. මූත්රයෙහිද හමයි. කෙළෙහිද දුඝන්ධය ද හමයි. සැරවයෙහි දුඝන්ධය ද හමයි. ලෙයෙහි දුඝන්ධය ද හමයි. එයින් වාතය පීඩාවට පත් නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොකරයි.
ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, වාතය හා සමවු සිතින් යුක්තව වාසය කරමි.
(5). “ස්වාමීනි, යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද එබඳු එළඹ භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගිය ගමන යාම සිදුවිය හැක. ස්වාමිනි මම පිබිදුනු මොහොතේ සිට නින්දට පත්වන තුරු කායානුපස්සනාවෙන් කය පිලිබඳ යොමු කල සතියෙන්ම ඉන්නෙමි. එසේ නොබිඳුණු සතියෙන් ඉන්නා මගෙන් එවැනි දෝෂයක් විය නොහැක.
“ස්වාමීනි, යම්සේ දූවිලි පිස දමන රෙදි කඩ1850 පවිත්‍ර දෙයද පිස දමයි. අපවිත්‍ර දෙයද පිස දමයි. අසූචිද පිස දමයි. මූත්‍රද පිස දමයි. කෙළද පිස දමයි. සැරවද පිස දමයි. ලෙයද පිස දමයි. එයින් දූවිලි පිස දමන රෙදි කඩ පීඩා නොවෙයි. ලජ්ජා නොවෙයි. පිළිකුල් නොවෙයි. ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, දූවිලි පිස දමන රෙදි කඩ හා සමවු සිතින් යුක්තව වාසය කරමි.
[1850:- ජොහරණං යනු රජකුල ආදීන්ගේ මුස්නෙන් නොහමදිත්. රෙදි කඩකින් පිසිත්. එයට මේ නමයි. කළොපිහත්ථො යනු පැසක් ගත් අත් ඇත්තේ හෝ පිරිසිදු අත් ඇත්තේයි,
නන්තකවාසී යනු කෙළවර සිඳුණු රෙදිකඩක් අඳින්නාවූයි.
සූරතො යනු පිරිසුදු සිල් ඇත්තේයි, සුරත බවින් යුක්ත වූයේයි,
සුදන්තො යනු මනාව දමනයට හික්මුනේයි,
න කිඤ්චි හිංසති යනු අං ආදිය ගන්නකු ද පිට පිරිමදින්නකු ද (යනාදී) කිසිවකු නොවෙහෙසවයි.
උසභච්ඡින්නවිසාණසමෙන යනු සිඳින ලද අං ඇති ගොනුගේ සිතට සමාන වූයි,]
(6). “ස්වාමීනි, යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද එබඳු එළඹ භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගිය ගමන යාම සිදුවිය හැක. ස්වාමිනි මම පිබිදුනු මොහොතේ සිට නින්දට පත්වන තුරු කායානුපස්සනාවෙන් කය පිලිබඳ යොමු කල සතියෙන්ම ඉන්නෙමි. එසේ නොබිඳුණු සතියෙන් ඉන්නා මගෙන් එවැනි දෝෂයක් විය නොහැක.
“ස්වාමීනි, කිලිටි රෙදි කඩක් හැඳගත්, හිඟන දරුවෙක් හෝ දැරියක්, කෑමට යමක් ඉල්ලා ගන්නට ගෙන් ගෙට යන්නේ ඉතා යටහත් පහත් සිත ඇතිකරගෙනය.,
ස්වාමීනි, එමෙන් මමද මහත්වූ, මහත් බවට පැමිණි, අපමණවූ, අවෛරීවූ, පීඩා රහිත, සිඟන දරුවෙකුගේ සිතක් බඳු සිතින් යුක්තව වාසය කරමි.
(7).“ස්වාමීනි, යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද එබඳු එළඹ භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගිය ගමන යාම සිදුවිය හැක. ස්වාමිනි මම පිබිදුනු මොහොතේ සිට නින්දට පත්වන තුරු කායානුපස්සනාවෙන් කය පිලිබඳ යොමු කල සතියෙන්ම ඉන්නෙමි. එසේ නොබිඳුණු සතියෙන් ඉන්නා මගෙන් එවැනි දෝෂයක් විය නොහැක.
“ස්වාමීනි, අං සිඳිනු ලැබූ, කීකරු, හොඳින් දැමුණු, හොඳින් හික්මුණු, ගවයෙක් වීථියෙන් වීථියක, හන්දියෙන් හන්දියකට, ඇවිදින්නේ පයින් හෝ, අඟින් හෝ, කිසිවකුට හිංසා නොකරයි,
ස්වාමීනි, එමෙන් මම මහත්වූ, මහත් බවට ගිය, අපමණවූ, අවෛරීවූ, හිංසා රහිත, අං සිඳිනු ලැබූ, කීකරු ගවයෙකුගේ බඳු සිතින් යුක්තව වාසය කරමි.
(8).“ස්වාමීනි, යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද එබඳු එළඹ භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගිය ගමන යාම සිදුවිය හැක.
ස්වාමිනි මම පිබිදුනු මොහොතේ සිට නින්දට පත්වන තුරු කායානුපස්සනාවෙන් කය පිලිබඳ යොමු කල සතියෙන්ම ඉන්නෙමි. එසේ නොබිඳුණු සතියෙන් ඉන්නා මගෙන් එවැනි දෝෂයක් විය නොහැක.
“ස්වාමීනි, සිය කය හැඩ ලෙස සරසන, නිතිපතා ස්නානය කරන, තරුනියක් හෝ තරුණයෙක් අල්ලා යමෙක් මැරුණු නයි කුණක් හෝ, බලු කුණක් හෝ, මිනිස් කුණක් හෝ, ඔහුගේ හෝ ඇයගේ බෙල්ලේ එල්ලුවහොත් ඇය හෝ ඔහු මහත් සේ පීඩාවට පත් වන්නේය, ලජ්ජා වන්නේය, පිළිකුල් කරන්නේය,
ස්වාමීනි, එමෙන් මම මේ ඔසවා ගෙන සිටින මේ කුණු කය කරණ කොට පීඩා වෙමි. ලජ්ජා වෙමි. පිළිකුල් කරමි.
ස්වාමීනි, යමෙකුට ඒකාන්තයෙන් කයෙහි කය ගැන සතිය එළඹ නොසිටියේද, ඒ භික්ෂුව එබඳු එළඹ භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගිය ගමන යාම සිදුවිය හැක.
(9). “ස්වාමිනි! යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද එබඳු භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගමන යාම විය හැක. ස්වාමිනි මම පිබිදුනු මොහොතේ සිට නින්දට පත්වන තුරු කායානුපස්සනාවෙන් කය පිලිබඳ යොමු කල සතියෙන්ම ඉන්නෙමි. එසේ නොබිඳුණු සතියෙන් ඉන්නා මගෙන් එවැනි දෝෂයක් විය නොහැක.
“ස්වාමිනි, පුරුෂයෙක් කුඩා සිදුරු ඇති, මහ සිදුරු ඇති, උඩින් වැගිරෙන, වටින් කාන්දු වී වැගිරෙන මේද තෙල් තලියක් ඔසවාගෙන යන්නේ කෙතරම් පරීක්ෂාවෙන්ද, ස්වාමීනි, මම කුඩා සිදුරු ඇති, මහ සිදුරු ඇති, උඩින් වැගිරෙන, වටින් වැගිරෙන මේ කය පරීක්ෂාවෙන් පරිහරණය කරමි.
ස්වාමිනි, යමකු සිය කයෙහි කය පිළිබඳ සතිය නොපවත්වයිද එබඳු භික්ෂුවක් එසේ අන් භික්ෂුවකගේ ඇඟේ හැපී ඒ වරද නොදැන සමාව නොගෙන ගමන යාම විය හැක.” යැයි කීහ.
[1851:-මෙදකථාලිකං යනු ඝාතකයන් විසින් යුෂ නික්මෙනු සඳහා තැනින් තැන කළ හිල් ඇති සැළියයි,
පරිහරෙය්ය යනු මස් පුරවා ඔසවාගෙන යන්නේය,
ජිද්දාචඡිද්දං යනු ලොකු කුඩා සිදුරුවලින් යුක්ත වූයි,
උග්ඝරන්තං පග්ඝරන්තං යනු අධොමුඛයන්ගෙන් (යටිමුවෙන්) නික්මෙන යුෂයි,
මෙසේ ඔහුගේ සියල් සිරුර යුෂයෙන් වැකුණක් වන්නේය,
ඡිද්දාචජිද්දං යනු නවවැදෑරුම් වණමුවවලින් ලොකු-කුඩා සිදුරුයි,
මෙසේ මෙහි අටවැනි නවවැනි අංග දෙකින් තෙරණුවෝ තමනට සිරුරෙහි ඡන්දරාගය නැතිබව කීහ.]
ඉක්බිති ඒ චෝදක භික්ෂුව හුන් තැනින් නැගිට, සිවුර ඒකාංශකොට සකසා, භාග්‍යවතුන් වහන්සේගේ දෙපා මුල හිස තබා, බිම් වැතිර, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. 1852
“ස්වාමීනි, මෝඩවූ මම , මුළාවූ මම, අකුසල් සිතින් මේ සාරිපුත්ත ස්වාමින්වහන්සේට අසත්‍ය කරුණු කියා චෝදනා කලෙමි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ වූ මගේ වරද, වරද ලෙස පිළිගන්නා සේක්වා.”
[1852:- අථ ඛො සො භික්ඛු යනු මෙසේ තෙරුන් විසින් කරුණු නවයකින් සිංහනාදය කළ විට ඉක්බිති ඒ භික්ෂුවයි, අච්චයො යනු අපරාධයයි, මං අච්චගමා යනු මා ඉක්මවා යටපත් කොට පැවැතියේයි, පතිගණ්හාතු යනු ක්ෂමා කෙරේවායි, ආයතිං සංවරාය යනු අනාගතයෙහි සංවරවීම සඳහායි, යළි මෙබඳු අපරාධයක් නොකරනු සඳහායි, තග්ඝ යනු ඒකාන්තයෙනි, යථාධම්මං පටිකරොසි යනු යම්සේ ධර්මය පිහිටියේද එසේම කරව. ක්ෂමා කළේයයි කියන ලද්දේ වෙයි. තං තෙ මයං පටිගණ්හාම යනු ඒ ඔබගේ අපරාධය අපි ඉවසමු, වුද්ධිහෙසා භික්ඛුං අරියස්ස විනයෙ යනු මහණ, මේ ආර්‍ය්‍ය විනයෙහි – භාග්‍යවත් බුදුරදුන්ගේ සසුනෙහි අභිවෘද්ධිය නම් කවරේද යත්? වරද වරද ලෙස දැක ධර්මයට අනුව පිළියම් කොට අනාගතයෙහි සංවරයට එළඹීමයි. දේශනාව පුද්ගලාධිෂ්ඨානව පවත්වන සේක් යමෙක් වරද වරද ලෙස දැක ධර්මයට අනුව පිළියම් කරයිද අනාගතයෙහි සංවරයට පැමිණේදැයි දෙසූ සේක.
“මහණ, නුඹ අඥානයෙකු අන්ධ බාලයෙකු ලෙස, මුළාවූ , අකුසල්වූ සිතින් මහා වරදක් කළෙහිය.
ඔබ ශාරීපුත්‍රයන්ට අසත්‍යවූ, හිස්වූ, සිදුනොවූවක් ගැන බොරුවෙන් දොස් නැඟූයෙහිය.
භික්‍ෂුවෙනි, ඔබ වරද, වරද වශයෙන් පිළිගන්නා බව කියා කමාව ඉල්ලන නිසා,
මින් පසු සාසන ප්‍රතිපදාවේ සංවරයෙන් යුතුව හැසිරෙන සේ ඔබට කමා කරමු.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැරියුත් තෙරුන්ට මෙසේ වදාළ සේක.
“සාරීපුත්තයෙනි, මේ හිස් මහනාගේ හිස සත් කඩකට පැලෙන්ට මත්තෙන් ඔහුට ක්ෂමා කරව.” 1853
“ස්වාමීනි, ඉදින් භික්ශුව ‘මට කමාකරවා’ යි කියයි නම් මම ඒ ඇවැත්හට ක්ෂමා වෙමි” යි කීය.
[1853:- ඵලති යනු ඉදින් තෙරණුවෝ ක්ෂමා නොකරත්ද, එහිදීම එම භික්ෂුවගේ හිස සත් කඩකට පැලෙන්නේය එබැවින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සචෙ මං සො යනු ඉදින් මේ භික්ෂුව මට ක්ෂමා කරවයි මෙසේ කියයි. ඛමතු ච මෙ සො යනු මේ ආයුෂ්මත්තෙමේ ද මට ක්ෂමා වේවායි මෙසේ තෙරණුවෝ ඔහුගේ වරද පිළිගෙන තෙමේත් ඔහු ශාස්තෲන් වහන්සේ සමීපයෙහි ක්ෂමා කරවූහ. චෝදක භික්ෂුව සාරිපුත්ත හිම්යන්ගෙන් සමාව ඉල්ලීම කරන තුරු සැරියුත් හිමියන්ට ඔහුට සමාව දීම කල නොහැක බව අටුවාව කියයි. ]
සාරිපුත්ත චරිතාභිවාදනය කියවන්න CLICK ABOVE
AN 09-02-02. සඋපාදිසෙස සූත්‍රය.
1855:Saupādisesa – Sa = with; upadi = aggregates (mind and body); sesa = remaining. … Commentarial interpretations, Nibbāna, experienced by Sotāpannas, Sakadāgāmis, and Anāgāmis, is saupādisesa-nibbānadhātu … Nibbāna of the Arahats is also saupādisesa-nibbānadhātu as they have the body still remaining.
වරක් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවාගෙන පාත්‍ර සිව්රු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩි සේක. ‘සැවතට පිඬු පිණිස යාමට තවම කල් වැඩිය. මම අන්‍ය තීර්ත්ථක පිරිවැජියන්ගේ අරමකට ගොස් මද වෙලාවක් ඔවුන් හා ගත කරන්නේ නම් යෙහෙකැ’1854 යි සිතා තීර්ත්ථක පිරිවැජියකුගේ ආරාමයකට ගොස්, ඒ පිරිවැජියන් සමග සතුටුවිය යුතු, සිහි කටයුතු, කථා කොට නිමවා එක් පසෙක හුන් සේක.
[1854:- භාග්‍යවතුන් වහන්සේද , රහතුන් වහන්සේලාද අනෙකුත් සංඝයා වහන්සේද සිරිතක් ලෙස මෙසේ අන්‍ය ලබ්ධීන් අදහන අන්‍ය ආගමිකයන් සිටිනා තැන්වලට ගොස් ඔවුන් හා සතුටු සාමිචි කතාවේ යෙදීම එදා කෙරුනේ, ආගමික සහජීවනය හා මිත්‍රත්වය පැවැත්වීම පිණිසය. ඒ හමුවීම් වලදී කිසිවිටෙක ඔවුන්ගේ ඉගැන්වීම්වල අඩු පාඩු, ගුණ දොස් කීම් නොකෙරුණි. ඔවුනගේ ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස මේ සද්ධර්මයේ කොටසක් කීවත් ඔවුනට්ට තම ආගම් ඇත හැර මේ ආගමට එන්න යයි කීමක් නොවුනි.]
එකල්හි එතැන උන්නාවූ, එතැන රැස්වූ, ඒ අන්යතීර්ත්ථක පිරිවැජියන් අතර මේ අතුරු කථාව ඇති විය.
‘ඇවැත්නි, යම් කිසිවෙක් සවුපාදිශෙෂව 1855 (කෙළෙස් ඉතිරි කොට) කළුරිය කෙරෙයිද, ඒ සියලුදෙන නරකයෙන් නොමිදුනහ. තිරිසන් යෝනියෙන් නොමිදුනහ. ප්‍රෙත විෂයයෙන් නොමිදුනහ. දුර්ගතිවූ, නපුරු සේ ඇදවැටෙන අපාය දුකින් නොමිදුනහ’ කියායි.
[1855:- ස උපාදිස්සෙං යනු උපාදාන ඉතිරි වීය, උපාදාන සහිතවූ යනුයි, අනුපාදිසෙසං යනු උපාදාන ඉතිරියක් නැතිවූයි, නොගැනීමයි. මත්තසොකාරී යනු පමණට කරන්නායි, සම්පූර්ණ කොට නොකරන්නායි.
සඋපදීශේෂ = ස + උපධි +සේස = ලෙස ඛණ්ඩ කෙරේ.
“කිසි උපධියක් ඉතිරි නොවන ලෙස” එහි අර්ථය දැක්වේ.
කාමූපාදානය – දිට්ඨූපාදානය – සීලබ්බතූපාදානය – අත්තවාදූපාදානය යි උපදාන සතරෙකි.
සංයුක්ත නිකායේ , නිදාන වග්ගයේ, අභිසමය සංයුක්තයේ, මහා වග්ගයේ සම්මසන සුත්‍රයේ උපධිය මෙසේ දැක්වේ.
උපධිය තෘෂ්ණාව නිදාන කොට ඇත්තේ ය. තෘෂ්ණාව සමුදය කොට ඇත්තේ ය. තෘෂ්ණාව ජාති කොට ඇත්තේ ය. තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තේ ය. තෘෂ්ණාව ඇති කල්හි උපධි වෙයි. තෘෂ්ණාව නැති කල්හි උපධි නොවේ’. මේ අන්‍ය ලබ්ධිකයන් උපධි ලෙස කීවේ පොදුව ගත් ක්ලේශයන් බව සමහර අනුවර්තනයන්හි සඳහන්වේ.]
එවිට ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ, ඒ අන්‍ය තීර්ත්ථක පිරිවැජියන්ගේ කථාවට එකඟව කිසිත් නොවදාළේය. එය ප්රතික්ෂෙප කිරීමද නොකළ සේක. අනුමතද නොකොට , ප්රතික්ෂෙපද නොකොට, හුනස්නෙන් නැගිට, බුදුන් වහන්සේ ගෙන් මේ භාෂිතයේ අර්ත්ථය දැනගන්නෙමැයි එතනින් නික්ම වැඩි සේක.
ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සැවැත්නුවර පිඬු පිණිස හැසිරී, පිණ්ඩපාතයෙන් පසු දානය වැළඳීමෙන් පසුව, භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය සිදුවූ ආකාරයද පිරිවැඩියන් ගේ මතය ….
“,යම් කිසිවෙක් සවුපාදිශෙෂව (කෙළෙස් ඉතිරිව තිබියදී) කළුරිය කෙරෙයිද, ඒ සියලුදෙන නරකයෙන් නොමිදුනහ. තිරිසන් යෝනියෙන් නොමිදුනහ. ප්‍රෙත විෂයයෙන් නොමිදුනහ. දුර්ගතිවූ, නපුරු සේ ඇදවැටෙන අපාය දුකින් නොමිදුනාහ’ යන බවය.
“ශාරීපුත්‍රය,
බාලවූ, අව්‍යක්තවූ,ඒ අන්‍ය තීර්ත්ථක පිරිවැජියෝ ඒ කාරණය කෙසේ දැන ගන්නද?
ඔවුන් කවරහු සවුපාදිශෙෂය හෝ සවුපාදිශෙෂය කුමක්ද කියාද,
අනුපාදිශෙෂය හෝ අනුපාදිශෙෂය කවරක් කියාද දන්නෝද?
“ශාරීපුත්‍රය,
පුද්ගලයෝ නවදෙනෙක් සවුපාදිශෙෂව කළුරිය කරන්නෝ වෙති.
ඔවුන් නිරයෙන් වැළකුණාහු වෙති. තිරිසන් යෝනියෙන් වැළකුණාහු වෙති. ප්‍රේත විෂයෙන් වැළකුනාහු වෙති. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහු වෙති.
“ඒ නවදෙන කවරහුද?
(1) ශාරීපුත්‍රය, යමෙක් ශීලයෙන් සම්පූර්ණ වුයේද, සමාධිය සම්පූර්ණ වූවේද, එනමුත් ප්‍රඥාව සම්පූර්ණ කර නොගත්තේ වුවද, ඒ පුද්ගලයා මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්ෂය කිරීමෙන් අන්තරා පරිනිබ්බායී1857 වෙයි.
[1857:- අන්තරාපරිනිබ්බායී
(1). මහණෙනි, මහණකු මෙසේ පිළිපන්නේ වෙයි:
‘මට අතීත භවයෙහි නිර්වර්තක කර්මයෙක් නොවී නම්, මට වර්තමානයෙහි මෙ අත්බැව් නොවන්නේය. මෙ අත්බැව්හිදු මට අනාගත භවනිර්‍වර්‍තක කර්ම නොවන්නේ නම් අනායෙහිදු මට ආත්මභාවයෙක් නොවන්නේය. යමෙක් ඇත්ද, යමෙක් පහළවීද, එ ප්‍රත්‍යුත්පන්න ස්කන්ධය (ඡන්දරාග ප්‍රහාණයෙන්) හැරලමි’ යි විදර්ශනෝපේක්ෂාව ලබයි. හේ අතීත පඤ්චස්කන්ධභවයෙහි (තෘෂ්ණාදෘෂ්ටි විසින්) නොඇලෙයි. අනාගත පඤ්චස්කන්ධභවයෙහි ද නොඇලෙයි. මත්තෙහි ශාන්ත නිර්වාණපදය ඇතැ’යි විදර්ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මනාකොට දක්නේය. (ඇතැම් කෙලෙසුන් නොපැහු බැවින්) ඔහුගේ එ හැම නිවන් පියද සර්වාකාරයෙන්ම සාක්‍ෂාත්කෘත නොවේ. ඔහුගේ මානානුසයද සර්වාකාරයෙන්ම ප්‍රහීණ නොවේ. සර්වාකාරයෙන්ම භවරාගානුසය ප්‍රහීණ නොවේ. සර්වාකාරයෙන්ම අවිද්‍යානුශය ප්‍රහීණ නොවෙයි. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරා පරිනිබ්බායී වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් මුළුල්ලෙහි තැවුනු යකබලක් තළනු ලබත්ම පතුරු උපදවා නිවෙන්නේ යම්සේද, මහණෙනි, එපරිද්දෙන් මෙසෙයින් පිළිපන්නේ වෙයි: අතීත භවයෙහි උපන් කර්මයෙක් නොවී නම්, දැන් මාගේ මේ ආත්මභාවය නොවන්නේ ය. මෙකල්හි මාගේ කර්මයෙක් නොවේ නම්, අනාගතාත්මභාවයෙක් නොවන්නේය. යම් ප්‍රත්‍යුපන්න පඤ්චස්කන්ධයෙක් ඇත්නම්, යම් වර්තමාන පඤ්චස්කන්ධයෙක් පාළවී නම්, එය (ඡන්දරාග ප්‍රහාණයෙන්) දුරලමි යි විදර්ශනෝපේක්ෂාව ලබයි. හේ අතීත පඤ්චස්කන්ධයෙහි නො ඇලෙයි, අනාගත පඤ්චස්කන්ධයෙහි දු නො ඇලෙයි. මත්තෙහි ශාන්ත වූ නිර්වාණපදය ඇතැයි විදර්ශනා සහිත මාර්‍ගප්‍රඥායෙන් මොනොවට දක්නේ ය. ඔහු විසින් එ ශාන්ත නිර්‍වාණපදයත් සර්වාකාරයෙන්ම සාක්‍ෂාත්කෘත නො වෙයි. ඔහුට සර්වාකාරයෙන්ම මානානුශය ප්‍රහීණ නොවෙයි. සර්වප්‍රකාරයෙන්ම භවරාගානුසය ප්‍රහීණ නොවෙයි. සර්වප්රකාරයෙන් ම අවිද්‍යානුශය ප්‍රහීණ නොවෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
(2) තවද මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්මභවය නො වී නම් වර්තමාන පඤ්චස්කන්ධය නොවන්නේ ය. මෙ කල්හි මට අනාගතකර්‍මභවයෙක් නො වේ නම්, මාගේ අනාගත පඤ්චස්කන්ධ සංඛ්‍යාත විපාකභවය නො වන්නේ ය. යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්‍තමානස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී ද, එය (ඡන්‍දරාගප්‍රහාණයෙන්) දුරලමි යි විදර්ශනා උපේක්ෂාව ලබයි. හෙ අතීත කර්මභවයෙහි නො ඇලෙයි. අනාගත භවයෙහිදු නො ඇලෙයි. මතුයෙහි ශාන්ත වූ නිර්වාණපදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. ඔහු විසින් එ ශාන්තනිර්‍වාණපදය සර්වප්රකාරයෙන් ම සාක්ෂාත් නො කෙළේ වෙයි. සර්වප්රකාරයෙන් ම ඔහුගේ මානානුශය අප්‍රහීණ වෙයි. ඔහුගේ භවරාගානුශය සර්වප්රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. ඔහුගේ අවිද්‍යානුශය සර්වප්රකාරයෙන් ම අප්‍රහීණ වෙයි. හේ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි..
මහණෙනි, යම්පරිදි දවසක් මුළුල්ලෙහි තැවුනු යකබල තළනු ලබන කල්හි පතුරු ඉපද නැඟී නිවී යේ ද, -එපරිදි ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, මට මේ වර්තමාන පඤ්චස්කන්ධය නොවන්නේ ය … හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
(3). ) මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්‍මභවයෙක් නො වී නම්, මෙ වර්තමාන පස්කඳ නොවන්නේ ය. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.
…. මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද නැගී පොළෝතලය නො ඇක්ම නිවේ ද, මහණෙනි. එපරිදි ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්මභවය නො වී නම්, මෙ පඤ්චස්කන්ධ ආත්මභාවය නොවන්නේ ය … හෙ පඤ්චඕරම්භාගීය සංයෝජනයන්ගේ පරික්‍ෂයයෙන් අන්තරාපරිනිබ්බායී වෙයි.]
ශාරීපුත්‍රය, මේ පළමුවෙනි පුද්ගලයා සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
(2) “ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි.
ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සම්පූර්ණ වුයේද, සමාධිය සම්පූර්ණ වූවේද, එනමුත් ප්‍රඥාව සම්පූර්ණ කර නොගත්තේ වුවද, ඒ පුද්ගලයා මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්ෂය කිරීමෙන් උපහච්ච පරිනිබ්බායී1858 වෙයි. .
ශාරීපුත්‍රය, මේ දෙවෙනි පුද්ගලයාද සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
[1858:- මත්තසොකාරී : මද වශයෙන් පමණක්, න පරිපුරිකාරි =සම්පුර්ණකර නොගත්තේ ලෙස දැක්වේ.]
තවද මහණෙනි. මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්තමාන මෙ පඤ්ච ස්කන්ධාත්මභාවය නොවන්නේය.
…හෙ පඤ්චඕරම්භාගීය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් උපහච්ච පරිනිබ්බායී වෙයි….
මහණෙනි, යම්සේ දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද අහසට නැග පොළෝතලය ඇක්ම නිවේ නම්, -……මහණෙනි, එ සෙයින් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මට අතීත කර්‍මභවයෙක් නොවී නම්, වර්තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය … හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් උපහච්ච පරිනිබ්බායී වෙයි.]
(3). “ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි.
ඇතැම් පුද්ගලයෙක් ශීලයන් සම්පූර්ණ වූවේද, සමාධිය සම්පූර්ණ කලේද, ප්‍රඥාව සම්පූර්ණ කරණ ස්වභාව නොවේද, ඒ පුද්ගලයා සුළු බැඳුම් පහ (පඤ්චොරම්භාගීය සංයෝජන යන්) ක්ෂය කිරීමෙන් අසංඛාර පරිනිබ්බායී 1859 වෙයි.
ශාරීපුත්‍රය, මේ තුන්වෙනි පුද්ගලයා සවුපාදිශෙෂව කළුරිය කරන්නාහ, නිරයෙන් වැළකුණහ. තිරිසන් යෝනියෙන් වැළකුණහ. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
[1859:- අසංඛාර පරිනිබ්බායී
……..(5). තවද මහණෙනි, මෙසස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි:
මට අතීත කර්‍මභවයෙක් නො වී නම්, වර්තමාන මෙ පඤ්චස්කන්‍ධාත්මභාවය නොවන්නේ ය …
හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වෙයි….
මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනුලබත් ම පතුරු ඉපද අහසට නැගී කුඩා තණපිඩෙක වේවයි, දැවපිඩෙක වේවයි හෙයි. එ එහි ගිනි ද දනවන්නේ ය, දුම් ද දනවන්නේ ය, ගිනිත් දනවා දුමත් දනවා එ මැ කුඩා තණපිඩ හෝ දැවපිඩ ඇවිළගෙණ අනාහාරව නිවීයේ නම්, -….. මහණෙනි. එ සෙයින් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි … හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් අසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.]
(4). “ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි.
ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සම්පූර්ණ වුයේද, සමාධිය සම්පූර්ණ වූවේද, එනමුත් ප්‍රඥාව සම්පූර්ණ කර නොගත්තේ වුවද, ඒ පුද්ගලයා මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්ෂය කිරීමෙන් සසංඛාර පරිනිබ්බායී1860 වෙයි.
ශාරීපුත්‍රය, මේ සතරවෙනි පුද්ගල තෙම සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහුය. තිරිසන් යෝනියෙන් වැළකුණාහුය. ප්‍රේත විෂයෙන් වැළකුනාහුය. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහුය.
[1860:- සසඞ්ඛාර පරිනිබ්බායී
……(6) තවද මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි … හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් සසඞ්ඛාර පරිනිබ්බායී වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබලක් තළනුලබත් ම පතුරු ඉපිද අහසට නැගී මහතණරොදෙක හෝ දැවපිඩෙක හෝ හේ නම් ඒ එහි ගිනි ද දනවයි, දුම් ද දනවයි, ගිනිත් දනවා දුමත් දනවා ඒ මහතණපිඩ හෝ දැවපිඩ හෝ දවා අනාහාරව නිවීයෙයි,-මහණෙනි, එ පරිදි ම මහණ මෙසේ පිළිපදනේ වෙයි: මට අතීත කර්මභවය නො වී නම්, වර්තමාන පඤ්චස්කන්ධය නො වන්නේ … හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වෙයි.]
(5). “ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි.
ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සම්පූර්ණ වුයේද, සමාධිය සම්පූර්ණ වූවේද, එනමුත් ප්‍රඥාව සම්පූර්ණ කර නොගත්තේ වුවද, ඒ පුද්ගලයා මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්ෂය කිරීමෙන් උද්ධංසොතවූයේ1861 අකනිට්ඨාගාමී වෙයි.
ශාරීපුත්‍රය, මේ පස්වෙනි පුද්ගලයා සවුපාදිශෙෂව කළුරිය කරන්නාහ, නිරයෙන් වැළකුණාහ. තිරිසන් යෝනියෙන් වැළකුණාහ. ප්‍රේත විෂයෙන් වැළකුනාහ. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහ. නපුරුසේ ඇදවැටෙන අපායෙන් මිදුනේය.
[1861:- උද්ධංසොත
(7).තවද මහණෙනි, මෙ සස්නෙහි මහණ මෙසේ පිළිපන්නේ වෙයි: මාගේ අතීත කර්මභවය නො වී නම්, මට වර්තමාන පඤ්චස්කන්ධය නොවන්නේ ය. මට දැන් කර්‍මභවයෙක් නො වන්නේ නම්, අනාගත විපාකභවයෙක් නො වන්නේ ය. යම් වර්තමාන ස්කන්‍ධපඤ්චකයෙක් ඇත්ද, යම් වර්තමාන ස්කන්‍ධපඤ්චකයෙක් පාළ වී ද, එ හැරලමියි විදර්ශනෝපේක්ෂාව ලබයි. හෙ අතීතභවයෙහි නො ඇලෙයි, අනාගතභවයෙහි දු නො ඇලෙයි. මෙයින් මත්තෙහි ශාන්ත නිර්වාණ පදය ඇතැයි සම්‍යක් ප්‍රඥායෙන් දක්නේ ය. එ ද ඔහු විසින් සර්වප්රකාරයෙන් ම සාක්‍ෂාත්කෘත නො වෙයි. සර්වප්රකාරයෙන් ම ඔහුගේ මානානුශය ද ප්‍රහීණ නො වෙයි. භවරාගානුශය සර්වප්රකාරයෙන් ම ප්‍රහීණ නො වේ. අවිද්‍යානුශය සර්වප්රකාරයෙන් ම ප්‍රහීණ නො වේ. හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි.
මහණෙනි, යම්පරිදි දවසක් තැවුනු යකබල තළනු ලබත්ම පතුරු ඉපිද අහසට නැගී මහතණපිඩෙක හෝ දැවපිඩෙක හේ නම්, ඒ එහි ගිනිද උපදවන්නේ ය, දුම්ද උපදවන්නේ ය, ගිනිත් උපදවා දුමත් උපදවා ඒ තණපිඩ හෝ දැවපිඩ හෝ දවා (නො රැකි) වල ද දවන්නේය, උයන්ළැව්ද දවන්නේය, (නොරැකි) වලද දවා උයන්ළැව්ද දවා නිල්තණපිටියකට හෝ පත්ථාන්තයකට හෝ ශෛලාන්තයකට හෝ උදකාන්තයකට හෝ රමණී බිම්කඩකට හෝ පැමිණ අනාහාරව නිවීයෙයිද,-
මහණෙනි. එපරිද්දෙන් ම මහණ මෙසේ පිළිපන්නේ වෙයි:
මට අතීත කර්මභවය නො වී නම්, වර්තමාන විපාකභවය නො වන්නේ ය … හෙ පඤ්චෝරම්භාගීය සංයෝජනයන්ගේ පරික්ෂයෙන් උද්ධංසෝත අකනිට්ඨගාමීවෙයි.]
(6). “ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි.
ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සම්පූර්ණ වුයේද, සමාධිය සම්පූර්ණ වූවේද, එනමුත් ප්‍රඥාව සම්පූර්ණ කර නොගත්තේ වුවද, ඒ පුද්ගලයා මෑත බැඳුම් පහෙන් (පඤ්චොරම්භාගීය සංයෝජනයන්) ක්ෂය කිරීමෙන් කැමැත්ත , අමනාපය , මුලාව ක්ෂය කිරීමෙන් සකෘදාගාමී වෙයි.1862 එක් වරක් පමණක් මේ ලෝකයට ඇවිත්, දුක් කෙළවර කරන්නෙක් වෙයි.
ශාරීපුත්‍රය, මේ සයවෙනි පුද්ගලයාද සවුපාදිශෙෂව කළුරිය කරන්නාහු, නිරයෙන් වැළකුණාහ. තිරිසන් යෝනියෙන් වැළකුණාහ. ප්‍රේත විෂයෙන් වැළකුනාහ.
[1862:- සෝවාන් වූ ආර්යශ්‍රාවක ඒ ආසනයෙහි මැ හිඳැ හෝ පසු කලෙකැ හෝ තමා සතන්හි පවත්නා කාමරාග ව්‍යාපාද තුනී කැරැ ගැන්ම සඳහා දෙවන ලෝකෝත්තර ඥානය ලබා ගැන්ම සඳහා යළි උත්සාහ කරයි. හේ පෙර කී සේ ම විදර්ශනා වඩන්නේ පරිකර්ම උපචාර අනුලෝම ගොත්‍රභූන්ට අනතුරුවැ දුඃඛ සත්‍යය දන්මින් සමුදය සංඛ්‍යාත තෘෂ්ණාව දුරුකරමින් නිරෝධ සංඛ්‍යාත නිර්වාණය සාක්ෂාත් කරමින් මාර්ග සංඛ්‍යාත ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩීම් වශයෙන් සකෘදාගාමි මාර්ගය ලබන්නේ ය. මෙහි චතුස්සත්‍ය කෘත්‍ය පෙරට වඩා විශද බව දත යුතු යි. මෙහි ගොත්රභූ වොදානය යි කියනු ලැබේ. එයට ඉක්බිති ඵල සිත් දෙකක් හෝ තුනක් හෝ ඉපිද භවාඞ්ග වැ ප්රත්යවෙක්ෂා ජවන් වන්නේ ය. විස්තර යට කී පරිදි යි. සකෘදාගාමි මාර්ගයෙන් එක ක්ලේශයෙකුදු මූලොච්ඡින්න නො වේ. එහෙත් කාමරාග ව්‍යාපාද තුනී වෙයි. මෝහය ද තුනී වෙයි. “රාග දෝස මොහානං තනුකරත්තා” යනු එහෙයින් කියන ලදි. සකෘදාගාමි යන්නෙහි අර්ථය වරක් එන්නේ යනුයි. පස්වැන්නාගේ වශයෙන් නම් ලැබිණ. විස්තර යට කියන ලදි. මෙහි දු මාර්ග, ඵල, නිර්වාණ, ප්‍රහීණ ක්ලේශ, ශේෂ ක්ලේශ, ප්රත්යවෙක්ෂා කිරීම් වශයෙන් ප්රත්යවෙක්ෂා ඥාන පසෙකි. ]
(7). “ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි.
ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සම්පූර්ණ වුයේද, සමාධිය සම්පූර්ණ වූවේද, එනමුත් ප්‍රඥාව සම්පූර්ණ කර නොගත්තේ වුවද, ඒ පුද්ගලයා තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් එකබීජ1863 වෙයි. එකම මිනිස් බවක ඉපිද දුක් කෙළවර කෙරෙයි.
ශාරීපුත්‍රය, මේ සත්වෙනි පුද්ගලයාද සවුපාදිශෙෂව කළුරිය කරන්නාහ, නිරයෙන් වැළකුණාහ. තිරිසන් යෝනියෙන් වැළකුණාහ. ප්‍රේත විෂයෙන් වැළකුනාහ. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහ.
(8). “ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි.
ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සම්පූර්ණ වුයේද, සමාධිය සම්පූර්ණ වූවේද, ප්‍රඥාව සෑහෙන පමණ සම්පූර්ණ කරණ ලද්දේද, ඒ පුද්ගලයා තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් කොලංකොල1863 වෙයි.
අත්බැව් දෙවරක හෝ තුන්වරෙක සසර ඇවිද සසර හැසිර දුක් කෙළවර කරන්නේය.
[1863:- සෝවාන් පුද්ගලයා එකබීජි, කොලංකොල, සත්තක්ඛත්තු පරමය යි ත්‍රිවිධ වේ. එක් වරක් මතු උපදින්නේ එක බීජි ය. සත්වන වර දක්වා උපදින්නේ සත්තක්ඛත්තු පරමය. මේ දෑ තුරේ උපදින්නේ කොලංකොල ය. මේ උපැද්ම ද කාමභවය ගෙනැ කියනු ලැබේ.
මන්දප්රාඥයාගේ වශයෙන් පරිකර්ම උපචාර අනුලෝම ගොත්‍රභූන්ට අනතුරු වැ මාර්ගය ලබා ඵල සිත් දෙකක් උපදී. තීක්ෂණ ප්රාඥයාගේ වශයෙන් උපචාර අනුලෝම ගොත්‍රභූන්ට අනතුරු වැ මාර්ගය ලබා ඵල සිත් තුනෙක උපදී. ගිනි ඉවත් කළ තැන දිය වත්කොට නිවීම මෙනි. මාර්ගයට අනතුරු ඵල. ඇසින් දුටු දේ වුව ද නැවැත සිහි කිරීම මෙනි ප්රත්යවෙක්ෂා.]
ශාරීපුත්‍රය, මේ අටවෙනි පුද්ගලයාද සවුපාදිශෙෂව කළුරිය කරන්නාහ, නිරයෙන් වැළකුණාහ. තිරිසන් යෝනියෙන් වැළකුණාහ. ප්‍රේත විෂයෙන් වැළකුනාහ. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණහ.
(9). “ශාරීපුත්‍රය, නැවතද අනිකක් කියමි.
ඇතැම් පුද්ගලයෙක් ශීලයෙන් සම්පූර්ණ වේද, සමාධිය සෑහෙන පමණ සම්පූර්ණ කරණ සුළු වූයේද, ප්‍රඥාව සෑහෙන පමණ සම්පූර්ණ කරණ සුළු වූයේද, ඒ පුද්ගලයා තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සත්තක්ඛත්තු පරම1864 වෙයි. සත්වරක් පරම කොට, දිව්‍යය, මනුෂ්‍ය දෙගතියෙහි ඇවිද හැසිර දුක් කෙළවර කරයි.
[1864:- සත්තක්ඛත්තු පරම :
ඇතැම් පුද්ගලයෙක් සක්කායදිට්ඨි, විචිකිච්ඡා සීලබ්බතපරාමාස යන සංයෝජන තුන ක්ෂය කිරීමෙන් ආර්‍ය්‍ය මාර්ග සංඛ්‍යාත ශ්‍රෝතසට පැමිණියේද, මතු අපායෙහි උපදනා ස්වභාවය නැත්තේද, නිවනට පැමිණීම නියතවේ, මතු මාර්ගත්‍රයෙන් ඒකාන්තයෙන් චතුස්සත්‍යාවබෝධය කරන්නේ වේ , ඒ පුද්ගලයා දෙව්ලොවද මිනිස්ලොවද සත් වරක් ඉපදීම් වශයෙන් ඔබ මොබ ගොස් දුක් කෙළවර කෙරේ. මේ පුද්ගලයා සත්තක්ඛත්තු පරමය යි කියනු ලැබේ ය යනු එහි තේරුමයි.
සෝවාන් පුද්ගලයන් අතර දෙව්ලොව ම පිළිවෙළින් සත් වර ඉපිද සත් වන ජාතියේ දී රහත්ව පිරිනිවන් පාන්නෝ ද වෙති. මිනිස් ලොව ම පිළිවෙළින් සත් වර ඉපිද සත් වන ජාතියේ දී රහත් ව පිරිනිවන් පාන්නාහු ද වෙති. දිව්‍යලෝක මනුෂ්‍යලෝක දෙක්හි කලවමට සත්වර ඉපිද සත්වන ජාතියෙහි රහත් වන්නාහු ද වෙති. ඉහත දැක්වූ පාඨයෙන් ගෙන ඇත්තේ දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙක්හි මිශ්‍රක වශයෙන් ඉපිද සත්වන ජාතියේ රහත් වන තැනැත්තාය යි පුග්ගල පඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ. “දෙවෙ ච මනුස්සෙ ච සත්තක්ඛත්තුං” යන්නෙහි අදහස දිව්‍යලෝකයෙහි හෝ මනුෂ්‍යලෝකයෙහි හෝ ඒ දෙක්හි කලවමට ඉපදීමය කියා ගැනීමත් නිවැරදියයි සිතමි. ඇතැම් ආචාර්‍ය්‍යවරයෝ සෝවාන් පුද්ගලයාට දෙව් ලොව ඕපපාතික ප්රතිසන්ධි සතක් ද මිනිස් ලොව ගර්භප්රති සන්ධි සතක් දැ යි ප්රතිසන්ධි තුදුසක් ඇත්තේ ය යි ගනිති. සම්මෝහවිනෝදනි අටුවාවෙහි –
“සත්තමෙ භවෙ සබ්බාකාරෙන පමාදවිහාරිනො’පි විපස්සනාඤාණං පරිපාකං ගච්ඡති. අප්පමත්තකෙ’ පි ආරම්මණෙ නිබ්බින්දිත්වා නිබ්බුතිං පාපුණාති. සචේහිස්ස සත්තමෙ භවෙ නිද්දං වා ඔක්කමන්තස්ස පරම්මුඛං වා ගච්ඡන්තස්ස පච්ඡතො ඨත්වා තිඛිණෙන අසිනා කොචිදෙව සීසං පාතෙය්ය, උදකෙ ඔසාදෙත්වා මාරෙය්ය, අසනී වා පනස්ස සීසෙ පතෙය්‍ය, එවරූපෙ’පි කාලෙ සප්පටිසන්ධිකා කාලකිරියා නාම න හොති, අරහත්තං පත්වාව පරිනිබ්බාති.” යි අටවන වරක් නූපදීම තරයේ ම කියා තිබේ. සෝවාන් පුද්ගලයා සත් වරට වඩා නූපදින්නේ කාම ලෝකයෙහි ය රූපාරූප ලෝකවල වනාහි සත්වරට වඩා ද උපදින්නේ ය. කාමලෝකයෙහි සත්වරට වඩා නූපදීම සෝවාන් මාර්ගයාගේ ආනුභාවයෙන් සිදු වන්නකි. රූපාරූප ලෝකවල වඩා ඉපදීම ධ්‍යානානුභාවයෙන් සිදු වන්නකි. සෝවාන් පුද්ගලයන් අතර සංසාර වෘත්තියට වඩා ඇලුම් කරන පුද්ගලයෝ ද වෙති. ඔවුහු දිව්‍යලෝකයෙන් දිව්‍යලෝකයට ඉහළට ඉපද ගොස් ධ්‍යාන උපදවා බ්‍රහ්මලෝකයට පැමිණ එහි ද පිළිවෙලින් ඉහළ ඉහළ ලෝකවල උපදිමින් අකනිට්ඨය දක්වා ගොස් එහි දී පිරිනිවන් පාන්නාහ.
අනේපිඬු මහා සිටුහුය, විශාඛා මහා උපාසිකාවය, චූලරථ, මහාරථ දිව්‍ය පුත්‍රයෝ ය. අනේකවර්ණ දේව පුත්‍රයා ය, සක්දෙව් රජය, නාගදත්ත දේව පුත්‍රයාය යනාදීහු පිළිවෙලින් දිව්‍යලෝක බ්‍රහ්මලෝකවල ඉපද ගොස් අකනිට්ඨයේ පිරිනිවන් පාන්නාහ යි පුද්ගලපඤ්ඤත්ති අටුවාවෙහි කියා තිබේ. සෝවාන් පුද්ගලයාගේ භවයෙහි සත් වරකට වඩා නූපදීම දක්වා ඇත්තේ සෝවාන් මාර්ගයාගේ ශක්තිය දැක්වීම් වශයෙනි. සෝවාන් පුද්ගලයාට ධ්‍යාන උපදවා ගත නො හැකි වී නම් හේ සත් ජාතියකට වජා නූපදනේය.]
ශාරීපුත්‍රය, මේ නවවෙනි පුද්ගලයා සවුපාදිශෙෂව කළුරිය කරන්නාහ, නිරයෙන් වැළකුණාහ. තිරිසන් යෝනියෙන් වැළකුණාහ. ප්‍රේත විෂයෙන් වැළකුනාහ. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායයෙන් වැළකුණාහ.
“ශාරීපුත්‍රය,
බාලවූ, අව්‍යක්තවූ, අන්යතීර්ත්ථක පිරිවැජියෝ කෙසේනම් සවුපාදිශෙෂය හෝ සවුපාදිශෙෂයයි දනිද්ද, අනුපාදිශෙෂය හෝ අනුපාදිශෙෂයයි දනිද්ද?.
ශාරීපුත්‍රය, මෙසේ මා දැන් වදාළ නවආකාර පුද්ගලයෝ සවුපාදිශෙෂවූවාහ,. ඔවුහු නරකයෙන් මිදුනාහ. තිරිසන් යෝනියෙන් මිදුනාහ. ප්‍රෙත විෂයයෙන් මිදුනාහ. දුර්ගතිවූ, නපුරුසේ ඇදවැටෙන අපායෙන් මිදුනාහ.
“ශාරීපුත්‍රය,
මේ ධර්මපරියාය මින් පෙර භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයන්ට, උපාසිකාවන්ට, දේශනා නොකලෙමි.
මා මේ ධර්මය පෙර දේශනා නොකළේ මන්ද යත්?
සාරිපුත්ත මේ ධර්මපරියාය අසා ඔවුන් අප්‍රමාදවීම දුරලතැයි, පමාද වෙත් යයි වැටහුන නිසාය.
කෙසේ වුවත් අද මේ ධර්මය තොපගේ ප්‍රශ්නයට පිළිතුරු පිනිසම දේශනා කරන ලද්දෙමි.” යි වදාළ සේක.1865
[1865:- න තාවායං සාරිපුත්ත ධම්මපරියායො පටිභාසි යනු, භාග්‍යවතුන් වහන්සේට නොවැටහෙන්නක් නම් නැත. “එතෙක් මේ ධර්මක්රමය මම නොකීවෙමි” යන අරුත්ය.
මා ඉමං ධම්මපරියායං සුත්වා පමාදං ආහරිංසු යනු මේ නව ස්වාභාවයන්ගෙන් එකකට පත් භික්ෂුව අපි සතර අපායෙන් මිදුනාහු වෙමුයි ඉන් මත්තෙහි රහත්බව සඳහා කල යුතු වීර්‍ය්‍ය නොකරමින් ප්‍රමාදයට පැමිණියාහුය,
පඤ්ඤාධිප්පායෙන භාසිතො යනු ඔහු විසින් අසන ලද ප්‍රශ්නයට පිළිතුරු පිණිස කියන ලදැයි දක්වයි,
මෙම නවවැදෑරුම් පුද්ගලයන්ගේ භවයන්හි ඡන්දරාගය දුරුකිරීම සඳහා එයම අර්‍ත්‍ථොත්පත්ති කොට “යම්සේ මහණෙනි සුළු වූ ද අසූවිය දුගඳ වේද එපරිද්දෙන්ම මහණෙනි, මම අල්පමාත්‍ර වූද භවය යටත් පිරිසෙයින් අසුරු සණක් ගසන කාලයකුදු නොවණමි.” යන මෙම සූත්‍රාන්තය දෙසූසේක.
හුදෙක් මේ පුද්ගලයන් නව දෙනාගේ පමණක් ගතිය ක්‍රමවත් වූයේ නොවේ. යම් කුලයන්ගේ තිසරණය, පන්සිල් එක්ලහබතක්, එක් පක්ෂයක බතක්, එක් වස්වසන්නන්ට දෙන බතක්, එක් පොකුණක්. එක් ආවාසයක්, යන මෙබඳු වූ අඛණ්ඩව කෙරෙන පින් ඇත්තේද ඔවුන්ගේ ගතිය ද ක්‍රමවත් වූයේය. මන්ද යත් ඒ කුලයෝද සෝවාන් වූවන්ට සමාන වෙති.]
AN 09-02-03. මහා කොට්ඨිත – ශාරීපුත්ත සූත්‍රය
පුජ්‍ය පානදුරේ චන්දරතන හිමි කල දේශනාවක්
දිනක් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ, ශාරීපුත්ත ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ සතුටුවියයුතු , සිහි කටයුතු කථා කොට නිමවා එකත්පසෙක හිඳ මේ කාරණය කී සේක.
(1) “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
මේ ජීවිතයෙහි ඔබ විඳිය යුතු කර්ම විපාක,
මේ භවයේ ඇති නොවී, මතු භවයකදී ලැබීම1866 පිණිස
මේ සාසනයේ මහණදම් පුරන්නේද?”
“ඇවැත්නි, එය එසේ නොවේමැයි.”
[1866:- යන කම්මං දිට්ඨධම්මවෙදනීයං, තං මෙ කම්මං සම්පරායවෙදනීයං සම්පරායවෙදනීයං යනු දෙවැනි අත් බවෙහි විපාක දෙන කර්මයයි, එනම් දුතිය අත්තභාවේ විපාක නියත කම්ම ]
(2) “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
මතු භවයකදී විපාක දෙන සුළු කර්මයන්
මට මේ ජීවිතයෙහිදී විඳ ඉවර කල හැකි වේවායි සිතා,
ඒ පිණිස භාග්‍යවතුන් වහන්සේගේ සාසනයේ මහණදම් පුරන්නේද?” –
“ඇවැත්නි, නැත. එසේ නොවේමැයි.”
දුක්ඛවෙදනීයං—->සුඛවෙදනීයං
(3). “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
සැප විඳීම් ඇති කර්මයන්, මට දුක්ඛ වින්දනය ඇති කර්මයන්,
වේවායි පතා ඒ පිණිස මහණදම් පුරන්නේද?” 1867 –
“ඇවැත්නි, එය එසේ නොවේමැයි.”
[1867:- සුඛ වෙදනීයං —-> දුක්ඛ වෙදනීයං]
(4). “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
යම් කර්මයක විපාකය දුක් සහිත වේද, ඒ කර්මය මට සැප
සුඛ වින්දනය ඇති කර්ම විපාකයක් 1868 වේවායි
පතා ඒ පිණිස මහණදම් පුරන්නේද?”
“ඇවැත්නි, එය එසේ නොවේමැයි.”
(5). “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
යම් කර්මයක් පැසී විපාක දේද,
ඒ කර්මය මට නො පැසීම විපාක දේවා”යි පතා ඒ
පිණිස මහණදම් පුරාද?”
“ඇවැත්නි, එය එසේ නොවේමැයි.”
(6). “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
යම් කර්මයක් නො පැසී විඳුවාද,
ඒ කර්මය මට පැසී විඳුවන්නක් වේවායි මේ පිණිස
භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?”
“ඇවැත්නි, එය එසේ නොවේමැයි.”
(7). “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
යම් කර්මයක් බොහෝ විඳිය යුතුද,
ඒ කර්මය මට ටිකක් විඳුවන්නක් වේවායි
මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” –
“ඇවැත්නි, එය එසේ නොවේමැයි.”
(8). “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
යම් කර්මයක් ටිකක් විඳුවන්නක් වේද,
ඒ කර්මය මට බොහෝ විඳුවන්නක් වේවායි
මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” –
“ඇවැත්නි, එය එසේ නොවේමැයි.”
(9). “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
යම් කර්මයක් විඳිය යුතුද,
ඒ කර්මය මට නොවිඳිය යුත්තක් වේවායි
මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?”
“ඇවැත්නි, එය එසේ නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
යම් කර්මයක් නොවිඳින්නක් වේද,
ඒ කර්මය මට විඳින්නක් වේවායි
මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” –
“ඇවැත්නි, එය එසේ නොවේමැයි.”
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
යම් කර්මයක් (මේ ආත්මයෙහිම විඳිය යුතුද),
ඒ කර්මය මට පරලෙව්හිදී විඳිය යුතු වේවායි
මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?”
මෙසේ විචාරනු ලබන්නේ, ‘ඇවැත්නි, මේ කාරණය නොවේ’ යයි කියන්නෙහිය.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද?
යම් කර්මයක් පරලොවදී විඳිය යුතු වේද, ඒ කර්මය මට මේ ආත්මයෙහි විඳිය යුතු වේවායි මේ කාරණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාදැ?” යි විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය.
“ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්මයක් සැප විඳුවාද, ඒ කර්මය මට සැප විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” – “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.” මේ කාරණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාදැ?” යි විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය. “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්මයක් පැසී විඳුවාද, ඒ කර්මය මට නො පැසී විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” – “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.” මේ කාරණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාදැ?” යි විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය. “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්මයක් බොහෝ විඳිය යුතුද, ඒ කර්මය මට ටිකක් විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” – “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.” මේ කාරණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාදැ?” යි විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය. “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කිමෙක්ද? යම් කර්මයක් ටිකක් විඳුවන්නක් වේද, ඒ කර්මය මට බොහෝ විඳුවන්නක් වේවායි මේ පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?” – “ඇවැත්නි, මේ කාරණය නොවේමැයි.” මේ කාරණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාදැ?” යි විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය. යම් කර්මයක් විඳිය යුතු වේද, ඒ කර්මය මට නොවිඳින්නක් වේවායි මේ කාරණය පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාදැ?” යි විචාරණු ලබන්නේම “ඇවැත්නි, ඒ කාරණය නොවේය” යි කියන්නෙහිය. යම් කර්මයක් නොවිඳින්නක් වේද, මට ඒ කර්මය විඳිය යුත්තක් වේවායි ඇවැත්නි, එසේනම් කුමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද?”
“ඇවැත්නි, නොදන්නා ලද, ඉටා නොගන්නා ලද, නොපැමිණෙන ලද, ප්රත්යක්ෂ නොකරන ලද, අවබෝධය නොකරන ලද යමක් වන්නේද, එය දැන ගැනීම පිණිස, (එය) දැකීම පිණිස, (එයට) පැමිණීම පිණිස, (එය) ප්රත්යක්ෂ කිරීම පිණිස, එය අවබෝධ කිරීම පිණිස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරයි. යමක් දැනගැනීම පිණිස, (යමක්) දැකීම පිණිස, (යමකට) පැමිණීම පිණිස, යමක් ප්රත්යක්ෂ කිරීම පිණිස, (යමක) අවබෝධය පිණිස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරාද, නොපැමිණියාවූ, ප්රත්යක්ෂ නොකරණ ලද්දාවූ, අවබෝධ නොකරණ ලද්දාවූ, කුමක් නම් වන්නේද?
“ඇවැත්නි, මේ දුකයයි නොදන්නා ලද්දේ, බැස නොගන්නා ලද්දේ, නො පැමිණෙන ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ, අවබෝධ නොරන ලද්දේ වේද, එය දැන ගැනීම පිණිස, (එය) දැකීම පිණිස, (එයට) පැමිණීම පිණිස, (එය) ප්රත්යක්ෂ කිරීම පිණිස, එය අවබෝධ කිරීම පිණිස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරයි.
“ඇවැත්නි, මේ දුක්ඛ සමුදයයයි නොදන්නා ලද්දේ, බැස නොගන්නා ලද්දේ, නො පැමිණෙන ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ, අවබෝධ නොරන ලද්දේ වේද, එය දැන ගැනීම පිණිස, (එය) දැකීම පිණිස, (එයට) පැමිණීම පිණිස, (එය) ප්රත්යක්ෂ කිරීම පිණිස, එය අවබෝධ කිරීම පිණිස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරයි.
“ඇවැත්නි, මේ දුක්ඛ නිරෝධයයයි නොදන්නා ලද්දේ, බැස නොගන්නා ලද්දේ, නො පැමිණෙන ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ, අවබෝධ නොරන ලද්දේ වේද, එය දැන ගැනීම පිණිස, (එය) දැකීම පිණිස, (එයට) පැමිණීම පිණිස, (එය) ප්රත්යක්ෂ කිරීම පිණිස, එය අවබෝධ කිරීම පිණිස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරයි.
“ඇවැත්නි, මේ දුක්ඛ නිරෝධ ගාමිණී ප්‍රතිපදාවයයි නොදන්නා ලද්දේ, බැස නොගන්නා ලද්දේ, නො පැමිණෙන ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ, අවබෝධ නොරන ලද්දේ වේද, එය දැන ගැනීම පිණිස, (එය) දැකීම පිණිස, (එයට) පැමිණීම පිණිස, (එය) ප්රත්යක්ෂ කිරීම පිණිස, එය අවබෝධ කිරීම පිණිස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරයි.
“ඇවැත්නි, මෙය නොදන්නා ලද්දේ, බැස නොගන්නා ලද්දේ, නො පැමිණෙන ලද්දේ, ප්රත්යක්ෂ නොකරන ලද්දේ, අවබෝධ නොරන ලද්දේ වේද, එය දැන ගැනීම පිණිස, (එය) දැකීම පිණිස, (එයට) පැමිණීම පිණිස, (එය) ප්රත්යක්ෂ කිරීම පිණිස, එය අවබෝධ කිරීම පිණිස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි මහණදම් පුරයි.
දිට්ඨධම්මවෙදනීයං යනු මෙම ආත්මභවයෙහිදීම විපාකදෙන කර්මයයි, සුඛවෙදනියං යනු සුව වේදනා දෙන කර්මයයි, දුක්ඛවෙදනියං යනු දුක් වේදනා දනවන කර්මයයි, පරිපක්කවෙදනියං යනු ලැබූ විපාක වාරයයි, අපරිපක්කවෙදනියං යනු නොලද විපාක වාරයයි, බහුවෙදනියං යනු බොහෝ විපාක දෙන්නාවූයි, අප්පවෙදනියං යනු බොහෝ විපාක නොදෙන්නා වූයි, අවෙදනියං යනු විපාක වේදනාව නොදෙන්නාවූයි, මේ සූත්‍රයෙහි සසර හා නිවන කියනලදි.
AN 09-02-04. සමිද්ධි සාරීපුත්ත සූත්‍රය
“ඉක්බිත්තෙන් ආයුෂ්මත් සමිද්ධි ස්ථවිරයන් වහන්සේ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වෙත. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට වැඳ නමස්කාර කොට , එකත්පසෙක උන්හ. එකත්පසෙක උන්නාවූ සමිද්ධි ස්ථවිරයන් වහන්සේට, ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මේ කාරණය වදාළ සේක.
“සමිද්ධිය,
කුමන ආරම්මනයක් නිසා මනුෂ්‍යයාට සිතුවිලි උපදිත්ද?”
“ස්වාමීන් වහන්ස, සිතට නාම රූප ගොදුරුවීම හේතුකොට ගෙනය.”
කිමාරම්මණා, සමිද්ධි, පුරිසස්ස සඞ්කප්පවිතක්කා උප්පජ්ජන්තී’’ති…? ‘නාමරූපාරම්මණා, භන්තෙ..]
“සමිද්ධිය, ඔවුහු වනාහි කොතැන්හි නොයෙක් ආකාර බවට යෙත්ද?”
“ස්වාමීන් වහන්ස, (ඇස්, කන් ආදී) ධාතූන් කෙරෙහිය.”
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් උපත කොට ඇත්තාහුද?”
“ස්වාමීන් වහන්ස, ස්පර්ශය උපත කොට ඇත්තාහුය.”
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් රැස්කිරීම කොට ඇත්තාහුද?”
“ස්වාමීන් වහන්ස, විඳීම රැස් කිරීම කොට ඇත්තාහුය.”
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?”
“ස්වාමීන් වහන්ස, හිත එකඟකම මුල් කොට ඇත්තාහුය.”
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් නම් නායක කොට ඇත්තාහුද?”
“ස්වාමීන් වහන්ස, සිහිය නායක කොට ඇත්තාහුය.”
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් වැදගත් කොට ඇත්තාහුද?”
“ස්වාමීන් වහන්ස, (මාර්ග) ප්‍රඥාව වැදගත් කොට ඇත්තාහුය.”
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් සාරකොට ඇත්තාහුද?”
“ස්වාමීන් වහන්ස, මිදීම සාරකොට ඇත්තාහුය.”
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමකට බැස ගැනීම කොට ඇත්තාහුද?”
“ස්වාමීන් වහන්ස, නිවණට බැස ගැනීම් කොට ඇත්තාහුය.”
“සමිද්ධිය, පුරුෂයාගේ අදහස් උදහස් කුමක් අරමුණු කොට උපදිත්ද?” මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, සිත් හා රූප ගොදුර කොට ඇත්තාහුය” යි කීයෙහිය. “සමිද්ධිය, ඔවුහු වනාහි කොතැන්හි නොයෙක් ආකාර බවට යෙත්දැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, (ඇස්, කන් ආදී) ධාතූන් කෙරෙහිය” යි කීයෙහිය.
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් උපත කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, ස්පර්ශය උපත කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් රැස්කිරීම කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, විඳීම රැස් කිරීම කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් මුල් කොට ඇත්තාහුද?” මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, සමාධිය මුල් කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් නායක බැව් කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, සිහිය නායක කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් වැදගත් කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, ප්‍රඥාව වැදගත් කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් සාරකොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, මිදීම සාරකොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්ධිය, ඔවුහු වනාහි කුමක් බැස ගැනීම කොට ඇත්තාහුදැ” යි මෙසේ විචාරණ ලද්දේ වන්නේම, “ස්වාමීන් වහන්ස, නිවණට බැස ගැනීම් කොට ඇත්තාහුය” යි කීයෙහිය.
“සමිද්ධිය, ඉතා මැනව. සමිද්ධිය, නුඹ ප්රශ්නය විචාරණ ලද්දේ විසඳුයෙහි මැනව. ඒ විසඳිම කරණකොට නහමක් සිතාවා.”
සිවුවැන්නෙහි සමිද්ධි යනු ආත්මභාව සමෘද්ධවීම නිසා මෙසේ ලබන ලද නම ඇති, තෙරුන් සමග වෙසෙන තෙරනමකි. කිමාරම්මණා යනු කවර ප්රත්යයෝද? සඞ්කප්පවිතක්කා යනු සංකල්ප වූ විතර්කයෝයි, නාමරූපාරම්මණා යනු නාමරූප ප්‍රත්‍යයෝයි, මෙයින් අරූපස්කන්ධ සතර ද මහාභූතයන්ගේ උපාදාය රූප ද විතර්කයන්ගේ ප්‍රත්‍යය යි දක්වයි, ක්ව නාතත්තං ගච්ඡන්ති යනු කවර තැනක විවිධ ස්වභාවය ඇති බවට – විවිධත්වයට යත්ද? ධාතුසු යනු රූප ධාතු ආදීන්හි රූපවිර්තය එකෙකි ශබ්දවිතර්කාදීහු (එයින්) වෙනස් වූවෝය. ඵස්සසමුදයා යනු එක්ව යෙදුනු ස්පර්ශ ප්රත්යයෙනි, වෙදනාසමොසරණා යනු තුන්වේදනා එක්වීමයි, පෙමණකින් කුශල අකුශල මිශ්රකයෝ කියනලදය. සමාධිපමුඛා යනාදීහු ක්ෂයවීමේ පක්ෂයෙහි වූවෝයි දතයුත්තාහ. එහි පෙරදැරිවීමේ අරුතින් හෝ දෙටුවීමේ අරුතින් සමාධිය ප්රමුඛවූයේ මොවුන්ගේනුයි සමාධිපමුඛා නමි. ජ්‍යෙෂ්ඨ කාරණය යන අර්ත්ථයෙන් සිහිය අධිපතිවූවෝ මොවුන්ගේනුයි සතාධිපතෙය්යා නමි. ශ්‍රේෂ්ඨ වූ මාර්ගප්රඥාව මොවුන්ගේනුයි පඤ්ඤුත්තරා නමි. ඵලවිමුක්තියට පැමිණ හරයට පැමිණියාහු වෙත්නුයි විමුත්තිසාරා නමි. අරමුණු වශයෙන් අමා නිවනට බැස එහි පිහිටියාහුයි අමතොගධා නමි, තෙන ච මා මඤ්ඤී යනු එම විසඳීමෙන් මම අගසවු විසින් ප්‍රශ්න ඇසූවිට විසඳීමියි මානයක් හෝ ගර්වයක් නොකළේය
AN 09-02-05. ගණ්ඩොපම සූත්‍රය
“මහණෙනි, යම්සේ නොයෙක් වර්ෂ ගණන් ඇති, ගණ්ඩයක් (ගඩගෙඩියක්) වේද, එහි නොබිඳුණු නවමුඛ ඇති, වණමුඛ නවයක් වන්නාහුද, එයින් යම් කිසිවක් වැගිරෙන්නේ නම්, අසූචියක්ම වැගිරෙන්නේය. දුර්‍ගන්ධයක්ම වැගිරෙන්නේමය. පිළිකුල් කටයුත්තක් වැගිරෙන්නේමය. යම් කිසිවක් වෑස්සීම වන්නේ නම්, අසූචියක්ම වෑස්සෙන්නේය. දුර්‍ගන්ධයක්ම වෑස්සෙන්නේය. පිළිකුල් කටයුත්තක්ම වෑස්සෙන්නේය. මහණෙනි, ගණ්ඩය යනු, මේ චාතුර්මහාභූතික ශරීරයටම හටගැනීම ඇත්තාවූ, මවුපියන්ගේ ශුක්‍ර ශෝණිතයෙන් හට ගැනීම් ඇත්තාවු, බත්කොමුවලින් වැඩීම ඇත්තාවූ, අනිත්‍යවූ, ඇඟ ඉලීමය, පිරිමැදීමය, බිඳීමය, වීවංසනය යන මෙය ස්වභාව කොට ඇති මේ චාතුර්මහාභූතික ශරීරයට කියන නමෙකි.
මේ සිරුරෙහි, නවහි සොතෙහි ඇස් සිදුරු දෙකින්, කන් සිදුරු දෙකින්, නාස්පුඩු දෙකෙන්, කට, මළපහ මග සහ මුත්‍රා මගින්, අසූචි සවතී මුළු ලොවෙහිම පතළ, නොයෙක් ලෙසින්, ඉතාම පිළිකුල්, දුගඳ හමන අපිරිසිදු දෙයම ගලා බසියි. වැගිරෙයි. අගිල්, සඳුන් වැනි සුවඳ හමන දෙයක් හෝ මුතු, මැණික්, රන් රිදී ආදී අන්කිසි වෙනත් දෙයකින් නොවේ. සබ්බදා ඒවා හැමවිටම, රැයද, දවාලෙහිද උදයෙහිද, සවස්කලද (නැවතී) සිටින විටද, ගමන්කරන විට (සිදුවෙයි) අපිරිසිදු යැයි කියන්නේ කුමක් නිසාද? අක්ඛිමහා අක්ඛිගූථකො ඒවා අතර, ඇස් සිදුරු දෙකෙන් ඉවත හළ හමෙහි මස මෙන් (කබ), කන්සිදුරුවලින්, බැඳුණු කුණු තට්ටුවක් මෙන් වූ (කලාඳුරු) කණ්ණගූථකො, නාස්පුඩුවලින් සැරව බඳු, සිංඝාණිකා (සොටු) ද ගලයි. මුඛෙන ච වම කුමක් වමනය කරයිද? එකදා පිත්තං යම්විටක පිත කෝප වූ කල – වෙනස්කම් (සිරුරේ) ඇතිවෙයි. එය වමනය යැයි අදහස් කෙරේ. සෙම්හඤ්ව පිත පමණක් නොවේ, සෙම සිරුරෙහි, පාත්‍රයක් පිරෙන තරමට ඇත. ඒ සෙමද එක්විටක (වැඩියෙන්) වැගිරෙන ‘වමන’ සොබාවට පත්වෙයි. එහි පැහැය ආදිය විසුද්ධිමග්ගයෙහි සඳහන් පරිදි දතයුතුය. සෙම්හඤ්ච යන තන්හි ච අකුරෙන් සෙමද ලේ ආදී වෙනත් අපිරිසිදු දියර සොබාවයෙන් යුතු දේවල් ඇතුළත් වෙයි. මෙසේ දොරටු සතකින් අපිරිසිදු දේ පිටවන අයුරු දක්වා, සුදුසු කාලය හා පුද්ගල ලෙසින් දැන භාග්‍යවතුන් වහන්සේ දොරටු දෙකක් වෙනම වචනයකින් සඳහන් නොකොට, වෙනත් අයුරින්, මුළු සිරුරෙහිම අපිරිසිදු දේ ගලන සැටි කායම්හා සෙදජල්ලිකා යැයි වදාළහ. එහි සෙදජල්ලිකා දහඩිය ද ලුණු රස මුසු ඇලෙන සුළු අපිරිසිදු තට්ටුවක් මෙන් මේ සිරුරෙහි සවති සබ්බදා යන මෙම වචන සමඟ එක්විය යුතුය.
“ඔහුගේ නව වණ මුඛ වෙති. නව අභෙදන මුඛ වෙති. එයින් යම් කිසිවක් වැගිරෙන්නේ නම්, අසූචියක්ම වැගිරෙන්නේය. දුර්‍ගන්ධයක්ම වැගිරෙන්නේමය. පිළිකුල් කටයුත්තක් වැගිරෙන්නේමය. යම් කිසිවක් වෑස්සීම වන්නේ නම්, අසූචියක්ම වෑස්සෙන්නේය. දුර්‍ගන්ධයක්ම වෑස්සෙන්නේය. පිළිකුල් කටයුත්තක්ම වෑස්සෙන්නේය. මහණෙනි, එහෙයින් මේ ශරීරයෙහි කළකිරෙවු” යනුයි.
ස්වැන්නෙහි අවුරුදු තුනහතරක් වස්සගණ නමි. මොහුට නොයෙක් වර්ෂගණයෝ උපන්නාහුයි අනෙකවස්සගණිකො නමි. තස්සස්සු යනු ඔහුට වන්නාහුය, අභෙදනමුබානි යනු කිසිවකු විසින් බිඳ කරන ලද දේ නොව හුදෙක් කර්මයෙන්ම හටගත් වණමුඛයෝයි, ජෙගුච්ඡියඤ්ඤෙව යනු පිළිකුල් කටයුත්තක්මය, පිළිකුලක්මය, චාතුම්මහාභූතිකස්ස යනු සතර මහා භූතයන්ගෙන් නිමවුණු, ඔදනකුම්මාසුපච්චයස්ස යනු බතින් මෙන්ම කොමුයෙන් රැස්වූ, වැඩුණුයි, අනිච්චුච්ඡාදන පරිමද්දන භෙදන විද්ධංසනධම්මස්ස යනු වී නැතිවීමේ අර්ත්ථයෙන් අනිත්‍ය ස්වභාවය ඇති දුගඳ නසනු සඳහා නොයෙක් විලවුන්වලින් ඇතිල්ලීමේ ස්වභාවය ඇති අඟපසඟවල ආබාධ දුරුකරනු සඳහා පිරිමැදීමෙන් පිරිමදින ස්වභාවය ඇති, කුඩාකල හෝ කළවාවල (ඇකයෙහි) නිදිකරවා කුසතුළ විසීමෙන් නොමනාව පිහිටි ඒ ඒ අඟපසඟ සකසනු සඳහා අඳුන් පෙළීම් ආදී වශයෙන් පිරිමඬනා ස්වභාවය ඇති, මෙසේ පරිහරණය කරන ලද්දේ වුව ද බිඳීම් විනාශවීම් ස්වභාවය ඇත්තාගේයි. බිඳෙන විසිරෙන ස්වභාවය ඇත්තාගේ යන අර්ත්ථයයි. මෙහි ද අනිත්‍ය පදයෙන් මෙන්ම භෙදනවිද්ධංසන පදයන්ගෙන් ද ඔහුගේ බැසයාම (විනාශවිම) කියනලදි. සෙසු පදවලින් හටගැනීමයි, නිබ්බින්දථ යනු උකටලී වෙමු. මේ ශරීරය අත්හරිවුයි දක්වයි. මෙසේ මේ සූත්‍රයෙහි බලවත් විදර්ශනාව කියන ලදි. සවැන්න කියනලද ක්‍රමය ඇත්තේමය. මෙහි ප්‍රඥා ශීර්ෂයෙන් ඥානයම කියන ලදි.
AN 09-02-06. නවසඤ්ඤා සූත්‍රය
6. නවසඤ්ඤා සූත්‍රය
“මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.
“ඒ නවය කවරහුද යත්? අසුභ සංඥාවය, මරණ සංඥාවය, ආහාරයෙහි ප්‍රතිකූල සංඥාවය, සියලු ලෝකයෙහි නොඇලෙන සංඥාවය, අනිත්‍ය සංඥාවය, අනිත්‍යයෙහි දුඃඛ සංඥාවය, දුක්ඛයෙහි අනාත්ම සංඥාවය, පහාණ සංඥාවය, විරාග සංඥාවය යනුයි.
“මහණෙනි, මේ නව සංඥාවෝ වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, මහත් ඵල වෙති, මහානිසංස වෙති, නිවණට බැස ගත්තාහු වෙති, නිවණ අවසන්කොට ඇත්තාහු වෙති.
AN 09-02-07. නවඞ්ගකුල සූත්‍රය
මහණෙනි, නව අඟින් සමන්වාගත පෙහෙවස් වුසූයේ මහත්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාද්‍යුතික වෙයි. මහාවිස්ඵාර වෙයි. මහණෙනි, කෙසේ වුසූ නවඟින් සමන්වාගත උපෝසථය මහත්ඵල, මහා නෘශංස, මහාද්‍යුතික, මහාවිස්ඵාර වේය යත්:
(1). මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙසේ නුවණින් සිතයි: “යවදිව් රහත්හු පණිවා හැර පණිවායෙන් වැළැකියාහු බහාතැබූ දඬු ඇත්තාහු බහාතැබූ අවි ඇත්තාහු ලජ්ජාවත් වූවාහු දයාවට පැමිණියාහු සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී ව විහරණ කරත්: අද මමත් මේ රෑත් මේ දාවලත් පණිවා හැර පියා පණිවායෙන් වැළැකියෙම් බැහූ දඬු ඇතියෙම් බැහූ අවි ඇතියෙම් ලදැතියෙම් දයාවට පැමිණියෙම් සර්‍වප්‍රාණීන් කෙරේ හිතානුකම්පී වූයෙම් විහරණ කරමි. මෙ කරුණෙනුදු රහතුනට අනුක්‍රියා කරමි. මා විසින් උපෝසථය ද වුසූයේ වෙයි. මේ පළමු අඟින් සමන්වාගත වෙයි.
(2). “රහත්හු යව්දිව් අයිනාදන් හැර පියා අයිනාදනින් වැළැකියාහු දුන් දෑ ගන්නා සුල්ලහු දුන් දෑ කැමැතිවන්නාහු නොසොර පිවිතුරු සිතින් වෙසෙත්. අද මමත් මේ රෑත් මේ දාවලත් අයිනාදන් හැරපියා … මා විසින් පෙහෙවස් ද වුසූයේ වෙයි. මේ දෙවන අඟින් සමන්වාගත වූයේ වෙයි.
(3). “රහත්හු යව්දිව් අබ්රම්සර හැර පියා බ්‍රහ්මචාරී වූවාහු ගැමිදම් වූ මෙවුන් දමින් වැළැකියාහු ආරාචාරී වූවාහු වෙත්. දැන් මම ද … මා විසින් පෙහෙවස් වුසූයේත් වන්නේය. මේ තෙවන අඟින් සමන්වාගත වෙයි.
(4). ‘රහත්හු යව්දිව් මුසවා හැර පියා මුසවායෙන් වැළැකියාහු සත්‍යවාදී වූවාහු සත්යසන්ධ වූවාහු ස්ථිර කථා ඇත්තාහු හැදැහිය හැකි තෙපුල් ඇත්තාහු ලොවට අවිසංවාදක වූවාහු වෙත්. දැන් මම ද … වුසුයේ වෙයි. මේ සිවුවන අඟින් සමන්වාගත වෙයි.
(5).රහත්හු යව්දිව් මදපමා දෙකට කරුණු වූ රහමෙර හැර පියා මද පමා දෙකට කරුණු වූ රහමෙරින් වැළැකියාහු වෙත්. අද මම ද … වුසූයේ වෙයි. මේ පස්වන අඟින් සමන්වාගත වෙයි.
(6). යව්දිව් රහත්හු ඒකභක්තික වූවාහු රාත්‍රි භෝජනයෙන් වැළැකියාහු විකල් බොජුනින් දුරුවූවාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සවන අඟින් සමන්වාගත වෙයි.
(7).රහත්හු යව්දිව් නැටුම් ගැයුම් වැයුම් විසුළු දස්න මල්ගඳ විලවුන් දැරුම් සිරුර උනුතැන් පිරවීම් සිරුරු සැරසුම් යන කරුණින් වැළකියාහු වෙත්. මම ද අද … වුසුයේ වෙයි. මේ සත්වන අඟින් සමන්වාගත වෙයි.
(8). යව්දිව් රහත්හු උසසුන් මහසුන් හැරපියා උසසුන් මහස්නෙන් වැළැකියාහු මැස්සෙක හෝ තණ ඇතිරියෙක හෝ නීචශය්‍යා කරත්. මම ද අද … වුසුයේ වෙයි. මේ අටවැනි කරුණින් සමන්වාගත වෙයි.
(9) මහණෙනි, මෙ සස්නෙහි අරීසවු මෙත්සහගිය සිතින් එක් දිගක් පැතිර වාසය කරයි. එපරිදි ම දෙවන … එපරිදි ම තෙවන … එපරිදිම සතරවන … මෙසේ උඩ යට සරස හැම තන්හි සර්වාත්ම භාවයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහද්ගත වූ අප්‍රමාණ වූ අවෛර වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පැතිර වෙසෙයි.
මහණෙනි, මෙසේ වුසූ නවඟින් යුත් පෙහෙවස මහප්ඵල වෙයි. මහානිසංස වෙයි. මහාජුතික වෙයි. මහාවිප්ඵාර වේය යි.
මහණෙනි, කරුණු නවයෙකින් සමන්වාගත කුල (පෙර) නො එළැඹ ම හෝ එළැඹෙනුවට නුසුදුසු ය, එළැඹ හෝ හිඳුමට නුසුදුසු ය, කවර නවයෙකින යත්:
මනා අයුරින් හුනස්නෙන් නැගිට පෙරගමන් නො කරත්. මනා අයුරින් නො වඳිත්. මැනැවින් අසුන් නො දෙත්. ඔහට සතු දෑ සඟවත්. බොහෝ ඇත ද මදක් දෙත්. පිණී දෑ ඇත ද රූක්ෂයක් ම දෙත්. සකසා නොව නො සකසා දෙත්. ධර්ම ශ්‍රවණයට ළඟ නො හිඳිත්. භාෂිතයාගේ අර්‍ත්‍ථරස විඳිමින් සතුටු නො වෙත්. මහණෙනි, මේ නව කරුණින් සමන්වාගත කුලය (පෙර) නො එළැඹ හෝ එළැඹීමට නුසුදුසුය. එළැඹ හෝ හිඳිනට නුසුදුසු ය.
මහණෙනි කරුණු නවයෙකින් සමන්වාගත කුලය (පෙර) එළැඹ හෝ එළැඹීමට සුදුසු ය. එළැඹ හෝ හිඳිනට සුදුසු ය. කවර නවයෙකින යත්:
මැනැවින් හුනස්නෙන් නැගී පෙරගමන් කරත්. මැනැවින් අභිවාදනා කෙරෙත්, මැනැවින් අසුන් දෙත්, ඔහුට ඇති දෑ නො සඟවත්, බොහෝ ඇතිවත් බොහෝ කොට දෙත්. පිණී දෑ ඇතිවත් පිණී දෑ ම දෙත්. සකස් කොට දෙත් නො සකසා නො දෙත්, දහම්ඇසීමට ළඟ හිඳිත්, භාෂිතයාගේ රසවිඳිමින් සතුටු වෙත්.
මහණෙනි, මේ නව කරුණින්, සමන්වාගත කුලය නො එළැඹ හෝ එළැඹුමට සුදුසු ය. එළැඹ හිඳිනට හෝ සුදුසු යි.
සත්වැන්නෙහි න මනාපෙන පච්චුට්ඨෙන්ති මනවැඩීමෙන් මන බඳනා අයුරින් අසුනෙන් නැඟිට පෙරගමන් නොකරත්, න මනාපෙන අභිවාදෙන්ති පසඟ පිහිටුවීමෙන් නොවඳිත්, අසක්කච්චං දෙන්ති යනු අගෞරවයෙන් දෙත්, නො සක්කච්චං යනු සියතින් නොදෙත්, න උපනිසීදන්ති ධම්මසවණාය යනු දහම් අසන්නෙමුයි සමීපයෙහි නොහිඳිත්, න රසීයන්ති යනු සතුටු නොවෙත්. කළය මතුපිට වත්කළ දිය මෙන් පෙරලී යයි.
AN 09-02-08. නවඞ්ගුපොසථ සූත්‍රය
8. නවඞ්ගුපොසථසුත්තං
“මහණෙනි, අඞ්ග නවයකින් යුක්තවූ පෙහෙවස වැස නිමවන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ නම් අඞ්ග නවයකින් යුතුව වැස නිමවන ලද පෙහෙවස තෙමේ මහත් ඵල වෙයිද, මහානිසංස වෙයිද, මහා බැබලීම් ඇති වෙයිද, මහත් පැතිරීම් ඇති වෙයිද?
“මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මෙසේ කල්පනා කෙරෙයි. කෙසේද? දිවිහිම් කොට රහත්හු ප්‍රාණාතිපාතය හැර, ප්රාණාතිපාතයෙන් වැළකුණහු, බහාපියන ලද දඬුවම් ඇතියහු, බහාපියන ලද ආයුධ ඇතියහු, ලජ්ජා ඇතියහු, කරුණාවට පැමිණියහු, සියලු සත්ත්වයන් කෙරෙහි හිතානුකම්පීව වාසය කෙරෙත්ද, අද මමද මේ රාත්‍රි කාලයද, මේ දවස මුලුල්ලද, ප්‍රාණාතිපාතය හැර, ප්රාණාතිපාතයෙන් වැළකුණේ, බහාපියන ලද දඬු ඇත්තේ, බහාපියන ලද ආයුධ ඇත්තේ, ලජ්ජා ඇත්තේ, කරුණාවට පැමිණියේ, වාසය කරමි කියායි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්‍රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ පළමුවෙනි අඞ්ගයෙන් යුක්තවූයේ වෙයි.
“දිවිහිම් කොට රහතුන් වහන්සේලා අදින්නාදානය (-නුදුන්දේ ගැන්ම) හැර, නුදුන් දෙය ගැන්මෙන් වැළකුණාහු, දුන් දේ ගැනුම් සුළු වූවාහු, දුන් දේ කැමතිවන සුළු වූවාහු, සොර නොවූ, පවිත්‍රවූ ආත්මයෙන් යුක්තව, වෙසෙත්ද, අද මමද මේ රාත්‍රි කාලයද, මේ දහවල් කාලයද, නුදුන් දේ ගැනීමෙන් දුරුව, නුදුන් දේ ගැනීමෙන් වැළකුණේ, දෙන දෙයට කැමතිවන සුළු වූයේ, සොර නොවූ, පවිත්‍රවූ, ආත්මයෙන් යුක්තව වසමි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්‍රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ දෙවෙනි අඞ්ගයෙන් යුක්තවූයේ වෙයි.
“දිවිහිම් කොට රහතුන් වහන්සේලා අශ්රේෂ්ඨචර්ය්යාව හැර, ශ්‍රේෂ්ඨචර්‍ය්‍යා ඇත්තාහු, ආරාචාරීවූවෝ, ග්‍රාමධර්‍ම සංඛ්‍යාත මෙවුන්දමින් වැලකුණාහු වෙත්ද, මමද අද මේ රාත්‍රි කාලයද, මේ දවස මුලුල්ලෙහිද, අශ්රේෂ්ඨචර්ය්යාව හැර, බ්‍රහ්මචාරීවූයේ, ආරාචාරීවූයේ, (දුරාචාර නැත්තේ) ග්‍රාමධර්‍ම සංඛ්‍යාත මෙවුන්දමින් වැලකුණේ වෙමි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්‍රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ තුන්වෙනි අඞ්ගයෙන්ද යුක්තවූයේ වෙයි.
“දිවිහිම් කොට රහතුන් වහන්සේලා බොරුකීම හැර, බොරුකීමෙන් වැළකුණාහු, සත්යවාදීවූවෝ, සත්‍යයෙන් සත්‍යය ගැලපිම් ඇත්තෝ, ස්ථිරවූ, ඇදහිය යුතුවූවාහු, ලෝකයාට බොරු නොකියන්නෝ වෙත්ද, මමද අද මේ රාත්රියද, මේ දහවලද, මුසාවාදය හැර දමා, මුසාවාදයෙන් වැළකුණේ, සත්‍යවාදී වූයේ, සත්‍යයෙන් සත්‍යය ගැලපීම් ඇත්තේ, ස්ථිරවූයේ, ඇදහියයුතු වචන ඇත්තේ, ලෝකයාට බොරුකාර නොවූයේ වෙයි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්‍රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ සතරවෙනි කාරණයෙන්ද යුක්තවූයේ වෙයි.
“දිවිහිම් කොට රහතුන් වහන්සේලා ප්‍රමාදයට කරුණුවූ, රහමෙර මද්‍රව්‍ය පානය හැර දමා, ප්‍රමාදයට කරුණුවූ, රහමෙර මද්‍රව්‍ය පානයෙන් වැළකුණාහු වෙත්ද, අද මමද මේ රාත්‍රියෙහි, මේ දහවල්හිද, ප්‍රමාදයට කරුණුවූ, රහමෙර මද්‍රව්‍ය පානය හැර දමා, ප්‍රමාදයට කරුණුවූ, රහමෙර මද්‍රව්‍ය පානයෙන් වැළකුණේවෙමි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්‍රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ පස්වෙනි කාරණයෙන්ද යුක්තවූයේ වෙයි.
“දිවිහිම් කොට රහතුන් වහන්සේලා එකභක්තික (එක වේලේ වළඳන අහරකිස) වූවාහු, රාතුි භෝජනයෙන් වැළකුණාහු, විකාල භෝජනයෙන් (නොකල්හි වැළඳීමෙන්) වැළකුණාහු වෙත්ද, අද මමද මේ රාත්‍රියෙහි, මේ දහවල්හිද, එක භක්තික වූයේ, රාත්‍රි භෝජනයෙහි වැළකුෙණ්, විකල් බොජුනේන් වැළකුනේ වෙමි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්‍රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ සයවෙනි කාරණයෙන්ද යුක්තවූයේ වෙයි.
“දිවිහිම් කොට රහතුන් වහන්සේලා නැටීම, ගැයීම, වැයීම, විහුළු දර්ශනය, මල් ගඳ විලවුන් දැරීම, මණ්ඩණාය (සැරසීම) අලඞ්කාරය, යන මෙයින් වැලකුණාහු වෙත්ද, මමද අද මේ රාත්‍රියෙහි, මේ දවස්හිද, නැටීම, ගැයීම, වැයීම, විහුළු දර්ශනය, මල් ගඳ විලවුන් දැරීම, සැරසීම, අලඞ්කාරය, යන මෙයින් වැලකුණේ වෙමි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්‍රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ සත්වෙනි කාරණයෙන්ද යුක්තවූයේ වෙයි.
“දිවිහිම් කොට රහතුන් වහන්සේලා උසසුන් හා මහසුන් හැර උසසුන් හා මහාසුනෙන් වැලකුණාහු, නීච සෙය්යාව, (පහත්වූ අසුන්හි සයනය) කෙරෙත්ද, මැස්සක හෝ තණ ඇතිරියක හෝ හොවිතිද, මමද අද මේ රාත්‍රියෙහි, මේ දවස්හිද, උසසුන් හා මහසුන් හැර උසසුන් හා මහාසුනෙන් වැලකුණේ, නීච සෙය්යාව (පහත්වූ අසුන්හි සයනය) කෙරෙමි, මැස්සක හෝ තණ ඇතිරියක හොවිමි. මේ කාරණයෙන්ද රහතුන් වහන්සේලාට අනුව (ක්‍රියා) කරමි. මා විසින්ද පෙහෙවස් වැස නිමවන ලද්දේ වන්නේය’ යි මේ අටවෙනි කාරණයෙන්ද යුක්තවූයේ වෙයි.
“මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙම, එක් දිශාවක්ද, එසේම, දෙවෙනිවූද, තෙවෙනිවූද, සිවුවෙනිවූද දිශාවන්ද, මෛත්‍රී සහගත සිතින් පැතිරී වෙසේද, මෙසේ උඩ යට සරස සෑම තන්හි සියල්ල ඇත්තාවූ ලෝකයා මහත්වූ, මහත්ගතවූ, අප්‍රමාණවූ, අවෛරීවූ, අව්‍යාපාදවූ මෛත්‍රී සහගත සිතින් පැතිරී වාසය කෙරේද, මේ නවවෙනි අඞ්ගයෙන් (කාරණයෙන්) යුක්තවූයේ වෙයි.
“මහණෙනි, අඞ්ග නවයකින් යුක්තවූ පෙහෙවස වැස නිමවන ලද්දේ මහත් ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි.”
අටවැන්නෙහි වෙනෙය්‍ය (හික්මවිය හැකි) ජනයන්ගේ අදහස් වශයෙන් මෛත්‍රි භාවනාව බහා නවඞ්ගසමන්තාගත යයි කියනලදි.
AN 09-02-09. පච්ඡානුතාපීනී සූත්‍රය
9. පච්ඡානුතාපීනී සූත්‍රය
“මහණෙනි, මේ රාත්‍රියෙහි බොහෝ දේවතාවෝ මා කරා පැමිණ මෙසේ කීවාහුය. “ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. කථාද නොකෙළෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය.”
“මහණෙනි, අන්‍යවූත් බොහෝ දේවතාවෝද මා කරා පැමිණ මේ කාරණය කීවාහුය. “ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. නොම වැන්දෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. “ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. ආසන නුදුන්නෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. අසුන් දුන්නෙමු. ශක්ති පමණින් බෙදා නුදුන්නෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. ශක්ති පමණින්, බල පරිද්දෙන්, සංවිභාග (බෙදා දීම) කෙළෙමු. බණ ඇසීම පිණිස ළඟ නූන්නෙමු. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. බණ ඇසීම පිණිස ළඟ උන්නෙමු. නමනලද කන් ඇත්තෝව (කන් නමාගෙන) ධර්මය නොඇසූයෙමු. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. නමන ලද කන් අත්තෝව ධර්මය ඇසූම්හ. අසාගෙන සිටි ධර්මය නොදැරූම්හ. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. අසා ධර්මය නොදැරූම්හ. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. ධර්මය අසා දරා ගැනුම්හ. අසා දරා ගන්නා ලද ධර්මයන්ගේ අර්ත්ථය නැවත පරීක්ෂා නොකෙළෙම්හ. ස්වාමීන් වහන්ස, ඒ අපි නොපිරුහුන් කර්මාන්ත ඇත්තියෝ විපිළිසර වුවාහු, පසුතැවිලි ඇතිවූවාහු, පහත් ලෝකයකට පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, අප කරා පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ පැමිණියාහුය. ස්වාමීන් වහන්ස, ඒ අපි ගෙවල් පිහිටෙවුවෙමු. දරාගන්නා ලද ධර්මයන්ගේ අර්ත්ථය නැවත පරික්ෂා කෙළෙම්හ. අර්ත්ථය දැනගෙනථ ධර්මය දැනගෙන, ධර්මානුධර්මයෙන් (යුක්තව) පිළිපැද්දෙමු. ස්වාමීන් වහන්ස, පිරිපුන් නොවූ කර්මාන්ත ඇති විපිළිසරවූ, පසුතැවිළි ඇතිවූ, ඒ අපි ලාමක කයට, පහත් ලොවකට, පැමිණියෝ වෙමු.”
“මහණෙනි, අන්‍යවූද බොහෝ දේවතාවෝ මා කරා පැමිණ මෙසේ කීවාහුය. “ස්වාමීන් වහන්ස, පෙර මනුෂ්‍යවූ පැවිද්දෝ අප කරා පැමිණියාහුය. ස්වාමීනි, ඒ අපි (දැක) හුනස්නෙන් නැගිටුම්හ. වැනදෙමු, අසුන් දුන්නෙමු. ශක්ති පමණින්, බල පමණින්, (සීලවන්තයන්ට) බෙදා වැළඳවූයෙමු. ධර්මශ්රවණය පිණිස වෙත උන්නෙමු. නමන ලද කන් ඇතුව ධර්මය ඇසූම්හ. ධර්මය අසා දරා ගතුම්හ. දරාගත් ධර්මයන්ගේ අර්ත්ථය නැවත පරීක්ෂා කෙළෙම්හ. අර්‍ත්‍ථයත් දැන, ධර්මයත් දැන, ධර්මානුධර්මයන්ට අනුව පිළිපැදුම්හ. ස්වාමීනි, පරිපූර්ණ කර්මාන්ත ඇති, විපිළිසර නොවු, පසුතැවිළි නොවූ, ඒ අපි ප්‍රණීතවූ කයකට, උසස් ලෝකයකට පැමිණියෙමු.
“මහණෙනි, මේ රුක්මුල් ශූන්‍යාගාරයන්හි ධ්‍යාන වඩවු. ඒ පූරිමික දේවතාවුන් මෙන් පමා නොවවු. පසුව විපිළිසර නොවවු.”
නවවැන්නෙහි විප්පටිසාරිනියො යනු විපිළිසර බවට, වියවුල් බවට පැමිණියෙමු. හීනං කායං යනු මත්තෙහි දෙව්ලොව ගෙන යට පහත්යයි කියනු ලැබේ. නො ච ඛො යථාසත්ති යථාබලං සංවිභජිම්හ යනු තමන්ගේ ශක්තියට ද බලයට ද අනුරූප ලෙසින් සිල්වතුන් කොටස් කොට නොවැළදීමු.
AN 09-02-10. වෙලාම සූත්‍රය
“ඉක්බිති, අනේපිඬු ගෘහපති තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක උන්නේය. එකත්පසෙ උන්නාවූ, අනේපිඬු ගෘහපතියන්ට, භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළ සේක.“ගෘහපතිය, තොපගේ කුලයෙහි (ගෙදර) දන් දෙනු ලැබේද?” “ස්වාමීන් වහන්ස, මා විසින් කුලයෙහි දන් දෙනු ලැබෙති. හෙද වනාහි, කාඩි දෙවෙනි කොට ඇති, කුඩු හාලේ බත්ය.” “ගෘහපතිය, රූක්ෂව (කටුකව) හෝ දානය දෙයිද, ප්රණීතව හෝ දෙයිද, එය නොසකස්කොට දෙයිද, අචිත්තීකෘතව (අගෞරවයෙන්) දෙයිද, සියතින් නොදෙයිද, (ඇණවීමෙන්) දෙයිද, අහක දමන ලද්දක් මෙන් දෙයිද, කම්පල නොඅදහා දෙයිද, යම් යම් තැනක ඒ දානයාගේ විපාකය නිපදවයිද, (එසේ කල්හි) උදාරවූ බොජුන් වැළඳීම පිණිස සිත නොනැමෙයි. උදාරවූ වස්ත්‍ර පරිභෝගය පිණිස සිත නොනැමෙයි. උදාරවූ යාන පරිභෝගය පිණිස සිත නොනැමෙයි. උදාරවූ පස්කම් පරිභෝගය පිණිස සිත නොනැමෙයි. ඔහුගේ යම් ඒ පුත්‍රයෝ හෝ වෙත්ද, අඹුවෝ හෝ වෙත්ද, දාසයෝ හෝ වෙත්ද, මෙහෙකරුවෝ හෝ වෙත්ද, කම්කරුවෝ හෝ වෙත්ද, ඔවුහුද (කියන වදන්) නොඅසත් නොහොත් කීකරු නොවෙත්. (දැනගැනීම පිණිස) කන් යොමා නොසිටිත්. දැන ගැනීම පිණිස සිත පිහිටුවා නොතබත්. ඊට හේතු කවරේද? ගෘහපතිය, මෙසේ මෙය වනාහි, නොසකස් කොට කරණ ලද කර්මයන්ගේ විපාකය වෙයි.“ගෘහපතිය, රූක්ෂව (කටුකව) හෝ දන් දෙයිද, ප්රණීතව හෝ දෙයිද, සකස්කොට දෙයිද, චිත්තීකෘතව ගෞරවයෙන් දෙයිද, සියතින් දෙයිද, අහක දමන ලද්දක් සේ නොදෙයිද, කම්පල අදහා දෙයිද, යම් යම් තැනක ඒ ඒ දානයාගේ විපාකය නිපදීද, උදාරවූ බොජුන් වැළඳීම පිණිස සිත (එසේ කල්හි) උදාරවූ යාන පරිභෝගය පිණිස නැමෙයි. උදාරවූ පස්කම් පරිභෝගය පිණිස නැමෙයි. උදාරවූ වස්ත්‍ර පරිභෝගය පිණිස, සිත නැමෙයි. ඔහුගේ යම් ඒ පුත්‍රයෝ හෝ වෙත්ද, දාරයෝ (අඹුවෝ) හෝ වෙත්ද, දාසයෝ හෝ වෙත්ද, මෙහෙකරුවෝ හෝ වෙත්ද, කම්කරුවෝ හෝ වෙත්ද, ඔවුහුද කීකරු වෙත්. කන් යොමා තබත්. දැන ගැනීම පිණිස සිත එළවා තබත්. ඊට හේතු කවරේද? ගෘහපතිය, මෙසේ මෙය වනාහි, සකස් කොට කරණ ලද කර්මයන්ගේ විපාකය වෙයි.”“එකල්හි පෙර වේලාම නම් බ්‍රාහ්මණයෙක් විය. හෙතෙම මෙබඳුවූ මහත් දානයක් දුන්නේය. රිදියෙන් පිරුණු රන්තලි අසූහාර දාහක් දුන්නේය. රනින් පිරුණු රිදීතලි අසූහාර දාහක් දුන්නේය. අමුරන් පිරුණු කස්තලි අසූහාර දාහක් දුන්නේය. ස්වර්ණාලංකාර ඇති, ස්වර්ණද්වජ ඇති, රන් දැලින් ගැවසුනාවූ ඇතුන් අසූ හාර දාහක් දුන්නේය. සිංහ සම් පිරිවරණ ලද, ව්යාඝ්ර සමින් පිරවරණ ලද, (අවුරණ ලද) දිවිසමින් අවුරණ ලද, පඬුවන් කම්බිලිවලින් අවුරණ ලද, රුවනින් අලංකාර කරණ ලද, ස්වර්ණධජ ඇති, රන් දැලින් ගැවසී ගත්තාවූ, සුවාසූ දහස් රථ දුන්නේය. දුහුල් සංදර්ශන ඇති, රිදීමය කිරි බඳුන් ඇති, සුවාසූ දහසක් දෙනුන් දුන්නේය. පැළඳගත් මිණි කොඬොල් ඇති, සුවාසූ දහසක් කන්‍යාවන් දුන්නේය. කොඳු පලසින් අතුරණ ලද්දාවූද, මෘදු සුදු එළු ලොම් ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, ඝනපුප් ඇතිරියෙන් අතුරණ ලද්දාවූද, කෙහෙල් මුවන්ගේ සමින් කරණ ලද, උතුම්වූ පසතුරුණින් අතුරණ ලද, උඩුවියන් සහිතවූ, දෙපසින් තබන ලද රතු කොට්ට ඇති, සුවාසූ දහසක් පර්‍ය්‍යඞ්කයන් දුන්නේය. සියුම් කොමුය, සියුම් කෝසෙය්යය, සියුම් කම්බිලිය, සියුම් කපුය, යන මොවුන් පිළිබඳ වස්ත්‍ර කෝටිසහස්ර යන් දුන්නේය. ආහාරය, පානවර්ගය, ඛාදයය, භොජ්‍යය, ලෙය්‍යය, පෙය්‍යය, යන මොවුන් ගැන කියනුම කවරේද? (එය) ගලා බසින්නාවූ ගඟක් මෙන් හඟිම්ය යනුයි.“ගෘහපතිය, තට ඔහු පිළිබඳ මෙවැනි අදහසක් වන්නේය. (එනම්) ‘ඒ කාලයෙහි ඒකාන්තයෙක් වේලාම බ්‍රාහ්මණයා අනිකෙක් වූයේය කියායි. හෙතෙම ඒ මහා දානය දුන්නේය’ යි. ගෘහපතිය, මේ කාරණය මෙසේ නොදත යුතුය. මම ඒ කාලයෙහි වේලාම බ්‍රාහ්මණයා වීමි. මම ඒ මහා දානය දුන්නෙමි. ගෘහපතිය, ඒ දානයෙහි වනාහි කිසියම් දක්ෂිණාර්හයෙක් නොවූයේය. කිසිවෙක් ඒ දක්ෂිණාව විශොධනය, (පිරිසිදු බව) නොකරයි.“ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක දෘෂ්ටිසම්පන්නයෙක් (සෝවාන්වූවෙකු) වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් දෘෂ්ටිසම්පන්න (සෝවාන්) පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් සකෘදාගාමී පුද්ගලයෙක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සියයක් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් රහතුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් තථාගතවූ, අර්හත්වූ සම්‍යක් සම්බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් බුද්ධ ප්රමුඛ භික්ෂු සංඝයා වළඳවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් සතර දිගින් වඩින සංඝයා උදෙසා විහාරයක් කරවන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමකේ පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්මයද, සංඝයාද, සරණකොට යන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන ශික්ෂා පදයන් සමාදන් වන්නේ, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේය. යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් දෑඟුලෙන් ගෙන ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, මෙය එයට වඩා මහත් ඵලතරය.“ගෘහපතිය, වේලාම බ්‍රාහ්මණතෙම යම් ඒ මහා දානයක් දුන්නේද, යමෙක් එක් සෝවාන් පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සියගනන් සෝවාන් පුද්ගලයන් වළඳවන්නේද, යමෙක් එක් සකෘදාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සකෘදාගාමී පුද්ගලයන් සිය ගණන් වළඳවන්නේද, යමෙක් එක් අනාගාමී පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් අනාගාමී පුද්ගලයන් සිය ගණනක් වළඳවන්නේද, යමෙක් එක් රහත් පුද්ගලයෙකු වළඳවන්නේද, යමෙක් සිය ගණන් රහත් පුද්ගලයන් වළඳවන්නේද, යමෙක් එක් පසේ බුදුන් වහන්සේ නමක් වළඳවන්නේද, යමෙක් සිය ගණන් පසේ බුදුන් වහන්සේලා වළඳවන්නේද, යමෙක් තථාගතවූ, අර්හත්වූ සම්බුදුන් වහන්සේලා වළඳවන්නේද, යමෙක් බුදු පාමොක් බික් සඟන වළඳවන්නේද, යමෙක් සිවු දිගින් වඩින මහා සංඝයා වහන්සේ උදෙසා විහාරයක් කරවන්නේද, යමෙක් පහන් සිත් ඇතිව, බුදුන්ද, ධර්මයද, සංඝයාද, සරණකොට යන්නේද, යමෙක් පහන් සිත් ඇතිව ප්‍රාණඝාතයෙන් වැළකීම, නුදුන් දෙය ගැනීමෙන් වැළකීම, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකිම, බොරු කීමෙන් වැළකීම, පමාවට කරුණුවූ රහමෙර මත් ද්‍රව්‍ය පානයෙන් වැළකීම, යන යන මේ සික පද සමාදන් වන්නේද, යමෙක් යටත් පිරිසෙයින් සුවඳ පිඩක් ඉසීම් පමණකුදු මෙත් සිත වඩන්නේද, යමෙක් අසුරු සණක් ගසන පමණ කාලයකුදු අනිත්‍ය සංඥාව වඩන්නේද, මෙය එයට වඩා අතිශයින් මහත්ඵල වන්නේයයි වදාළ සේක.
[මෙහි අපි නු තෙ ගහපති කුලෙ දානං දීයති යනු භාග්‍යවතුන් වහන්සේ මෙය භික්ෂු සංඝයාට දෙන දානය සඳහා නොවිමසන සේක. සිටුවරයාගේ නිවසෙහි භික්ෂු සංඝයාට නිබඳව ප්‍රණීත දානය දෙනු ලැබේ. එය ශාස්තෲන් වහන්සේ නොදන්නා සේක් නොවෙති. ලෞකික මහජනයාට දෙනු ලබන දානයක් ඇත. එය රළු වෙයි. සිටුවරයාගේ සිත නොපිණවෙයි. එය අසමැයි අසයි, කණාජකං යනු සහල් පොත්තෙන් සෑදු බතයි, සහල් පොතුවලින්ද සුන්සහලින්ද පිසූ බතයි, බිලඞ්ගදූතියං යනු කැඳ දෙවැනි කොට ඇත්තේයි. අසක්කච්චං දෙති යනු සත්කාර නොකොට දෙයි, අගෞරවයෙන් දක්ෂිණෙය්ය පුද්ගලයා කෙරෙහි අගෞරවයෙන් දෙයි, අසහත්ථා දෙති යනු සියතින් නොදී අනුන් අතින් දෙවීමයි. ඇණවීම් පමණම කරයි යන අරුත්ය, අපවිද්ධං දෙති යනු නිරතුරුව නොදෙයි, අවුරුද්දකට වරක් ඇතිවන යමක් මෙන් වෙයි. අනාගමනදිට්ඨිකො දෙති යනු කර්මඵල අදහා නොදෙයි,
යත්ථ යත්ථ යනු ත්‍රිවිධ කුලසම්පදාවන්හි යම් යම් කුලයකයි,
න උළාරාය භත්තභොගාය යනාදියෙහි නොයෙක් අග්‍ර රසය ඇති පැරණි හැල් බොජුන එළවූ කල්හි සිත නොනැමෙයි, ලෙඩ වැඩි කරන මෙය ඉවත් කරව’යි කියා යම්කිසි එළවළුවක් සමඟ සුන් සහල්බත් අමෘතයක් මෙන් සතුටින් වළඳයි, කසීසළු ආදී උතුම් වස්ත්‍ර එළවූ විට මේවා ඉවත් කරවූ හිඳින්නහුගේ ඇඟ වසන්නටවත් නොහැකි වෙයි, ඇඟෙහි මනාව දරා නොසිටියි, කියා පොල්සුඹුලෙන් කළ රෙදි මුල් පොතු සමාන වූ රළු වස්ත්‍ර මේවා හඳින තැනැත්තා හැඳි බවද දනියි. වැසියයුතු දෙය ද වසයියි (කියමින්) ඇල්මෙන් හඳියි. ඇත්යාන අස්යාන ගිය යාන රන්සිවි ගෙවල් ආදිය එළවූ කල්හි සෙලවෙන නොසෙල්වෙන මේවා ඉවත් කරවු. මෙහි හිඳීමට ද නොහැකැයි කියා දිරාපත් රියක් එළවූ විට මෙය නොසෙල්වෙයි. මෙහි හිඳීම සැපයයි කියා එය ඉවසයි. න උළාරෙසු පඤ්චසු කාමගුණෙසු යනු අබරණින් සැරසුණු රූමත් කතුන් දැක මොවුහු කනු කැමති යකින්නන් යයි සිතමි. මොවුන්ගෙන් කවර වැඩෙක්දැයි කැමැති පරිද්දෙන්ම කල්යවයි, න සුස්සුසං යනු ඇසීමට කැමති නොවෙති. නොඅදහත් යනු ද අරුත්ය. න සොතං ඔදහන්ති යනු කියනලද දෙය ඇසීම සඳහා ශ්‍රොත ප්‍රසාදය යොමු නොකරත්, සක්කච්චං යනාදිය කියන ලද්දට විරුද්ධ නයින් දතයුතුය.
වෙලාමො යනු ජාති ගෝත්රරූප භොග ශ්‍රද්ධා ප්‍රඥාදියෙන් සීමා ඉක්මවන්නාවූ උතුම් ගුණයන්ගෙන් යුක්ත බැවින් මෙසේ ලබන ලද නම් ඇත්තේයි, සො එවරූපං දානං අදාසි මහාදානං යන මෙහි මේ පිළිවෙල කථාවයි. හෙතෙම අතීතයෙහි බරණැස පුරෝහිත ගෙයක පිළිසිඳ ගත්තේය. ඔහුට වෙලාම කුමරුයි නම් කළාහුය. හෙතෙම සොළොස් කාලයෙහි බරණැස රජකුමරු සමග සිප් සතර හැදෑරීම සඳහා තක්සලාවට ගියේය. ඒ දෙදෙනාම දිසාපාමොක් ඇදුරු සමීපයෙහි ශිල්ප උගත්හ. ඔවුහු යම්සේ ද එසේ දඹදිව අනෙක් අසූසාර දහසක් රජකුමරුවෝ ද උගත්ත. බෝසත් තෙමේ තමන් උගත් උගත් දෙයට උපදේශක ආචාර්ය්යවරයා වී අසූහාර දහසක් කුමරුවන් හික්මවයි. තෙමේත් සොළොස් වසකින් උගතයුතු ශිල්පය තෙමසකින් උගත්තේය. ඇදුරු තෙමේ වෙලාම කුමරුට ශිල්පය ප්රගුණයයි දැන “දරුවනි, වෙලාම තෙමේ මා දත් සියල්ල දනියි. නුඹලා සියල්ලෝම සමගිව ගොස් ඔහු සමීපයෙහි සිල්ප උගනිවුයයි අසුසාර දහසක් කුමරුන් බෝසතුන්ට පාවා දුන්නේය.
බෝසත් තෙමේ ඇඳුරුතුමන් වැඳ අසූහාර දහසක් කුමරුන් පිරිවර ඇතිව නික්ම එක් සමීප නුවරකට පැමිණ ඒ නුවර හිමි රජකුමරු උගන්වා ඔහුට ශිල්පය ප්‍රගුණවූ විට ඔහු එහිම නැවැත්වීය. මේ ක්‍රමයෙන් අසූසාරදහසක් නගරයන්ට ගොස් අසූහාර දහසක් රජකුමරුන්ට ශිල්ප ප්‍රගුණ කරවා ඒ ඒ නුවරෙහි ඒ ඒ කුමරු නවත්වා බරණැස රජකුමරු රැගෙන බරණැසට ආවේය. එහි බරණැස රජකුමරු අවසන් කළ ශිල්ප ඇත්තේ රාජ්‍යයෙහි අභිෂෙක කළාහුය. බෝසතුන්ට පුරෝහිත තනතුර දුන්නාහ. ඒ අසූසාර දහසක් රජ කුමරුවෝ ස්වකීය රාජ්‍යයන්හි අභිෂේකයට පත්ව අවුරුදු පතා බරණැස් රජුගේ උවටැනට එයි. ඔවුහු රජු දැක වේලාම සමීපයට ගොස් “ඇඳුරුතුමනි, අපි රාජ්‍යයන්හි පිහිටියෙමු. යමෙකුගෙන් වැඩක් ඇත්නම් කියනු මැනවැයි කියා යති. ඔවුන් යන එන කල්හි ගැල්රියවලට දෙනුන් ගවයන් කුකුළන් ඌරන් ආදීන් බලයෙන් ගන්නාවූ ඔවුන්ගෙන් ජනපදය බෙහෙවින් උවදුරට පත්වෙයි. මහජනයා රැස්ව රජ මිදුලෙහි හඬයි.
රජතෙමේ වෙලාම කැඳවා ඇඳුරුතුමනි, ජනපදය උවදුරට පත්ව ඇත. රජවරු යන එන කල්හි මහත් කලබලයක් කරති. මිනිස්සු දැරීමට නොහැකි වෙති. ජනපද පෙළීම සංසිඳීම සඳහා එක් උපායක් කරනු මැනවැයි කීවේය. “යහපත, මහරජතුමනි, උපායක් කරන්නෙම් නුඹවහන්සේට යම් පමණ ජනපදයකින් වැඩක් වේද, එය වෙන්කොට ගනු මැනවැ”යි කීවේය. රජතෙමේ එසේ කළේය. වෙලාම තෙමේ අසූසාරදහසක් රජවරුන්ට ජනපදයන් විචාරා සක්නැඹෙහි අර මෙන් රජුගේ ජනපදයෙහි තහවුරු කරවූයේය. එතැන් පටන් ඒ රජවරු යන්නෝ ද එන්නෝ ද තමතමන්ගේ දනවුවලින්ම සංචාරය කරති. අපගේ ජනපදය (යන හැඟීමෙන්) කොල්ලකෑමක් නොකරති. රාජ ගෞරවයෙන් රජුගේ ජනපදය ද නොපෙළත්. ජනපදයෝ මනාව පිහිටියාහු නිහඬ නිරවුල් බවට පත්වූහ. සියලු රජවරු තුටු පහටු වූවාහු ඇඳුරුතුමනි, යම්යම් දෙයකින් ඔබට වැඩක් වේද එය අපට කියනු මැනවැයි පැවරූහ.
වෙලාම තෙමේ හිසෙහි නහා තමන්ගේ ඇතුළු නිවස්නෙහි සත්රුවනින් පිරුණු කාමරවල දොරටු විවර කරවා සත්වැනි කුලපරපුර දක්වා රැස්කළ ධනය බලා අය වැය සලකා මවිසින් සියලු දඹදිව සොලවා දානයක් දීමට වටීයයි රජුට දන්වා ගංගා තෙරෙහි දොළොස් යොදුනක් වූ උදුන් පෙළක් තනවා ඒ ඒ තන්හි ගිතෙල් මී පැණි තෙල් තල සහල් ආදිය තැබීම සඳහා කොටු ගෙවල් පිහිටුවා මේ මේ තැන මෙපමණ මෙපමණ දෙනා සංවිධාන කරවු. මිනිසුන්ට ලැබිය යුතු යම් කිසිවක් ඇත්නම් එයින් එකක් හෝ නැති කල්හි මට දන්වවුයි මිනිසුන් යොදවා අසුවල් දිනයෙහි සිට වෙලාම බමුණාගේ දානය වළඳත්වායි නුවර බෙර හසුරුවා දාන කටයුතු නිමවිණැයි දානයෙහි යෙදවූවන් විසින් සැළකල කල්හි දහසක් අගනා වස්ත්‍රයක් හැඳ පන්සියයක් අගනා වස්ත්‍රයක් එකාංශ කොට සියලු අබරණින් සැරසුණේ දානය විමසනු සඳහා පළිඟුවන් දියෙන් රං කෙණ්ඩිය පුරවා මෙලොව ඉදින් මේ දානය පිළිගැනීමට සුදුසු වූ දක්ෂිණාර්භ පුද්ගලයෝ වෙත්ද මේ දිය නික්ම පොළව (පිළි) ගනීවා! ඉදින් නැත්නම් එසේම තිබේවායි සත්‍යක්‍රියා කොට කෙණ්ඩිය යටිකුරු කළේය. දිය ඩඹරයකින් ගත්තාක් මෙන් විය. බෝසත්තෙමේ ඒකාන්තයෙන්ම දඹදිව හිස්ය. දානය පිළිගැනීමට සුදුසු සුදුසු එක් පුද්ගලයෙකුදු නැතැයි විපිළිසර නොවී ඉදින් දායකයාගේ වශයෙන් මේ දානය පිරිසුදු වන්නේ නම් දිය නික්ම පොළවට ගනීවායි සිතුවේය. පළිඟුවැටියක් සමාන දිය නික්ම පොළවට (උරා) ගත්තේය. දැන් දානය දෙමැයි දන්හලට ගොස් දානය බලා කැඳ වේලෙහි කැඳ, කෑයුතු වේලෙහි කෑම බිදිය යුතු වේලෙහි බොජුන් දෙවීය. මේ අයුරින්ම දිනපතා දන් දෙනු ලැබේ.
ඒ දන්හලෙහි මෙනම් දෙය ඇත මෙනම් දෙය නැතැයි කිවයුත්තක් නැත. මේ දානය මෙපමණකින් නිමාවට නොවන්නේයයි රත්රන් ගෙන්වා රන් පාත්‍රයක් කරවා අසූසාර දහසක් රන් පාත්‍ර සඳහා අසූහාර දහසක් රජවරුනට හසුනක් යැවීය. රජවරු අපි බොහෝ කලකින් ආචාර්‍ය්‍යයන් විසින් අනුග්‍රහ කරන ලද්දමෝයි සියල්ල සපයා යැව්වාහුය. දානය දෙනුලබමින්ම සත් අවුරුදු සත් මසක් ඉක්මණි. ඉක්බිති බමුණුතෙමේ අමුරන් කොටස් කොට දන් දෙමැයි මහත් තැනක දානය පිළියෙල කර වූයේය. පිළියෙල කරවා අසූසාරදහසක් රන් පාත්‍ර ආදිකොට කෙළවරෙහි පටන් දුන්නේය.
මෙ හි රූපියපුරානි යනු රිදී කට්ඨි රිදීඵාල රිදී මාසක (යන මුදල් ප්‍රමාණ) යන්ගෙන් පිරුණා වූයි, පාත්‍ර කුඩා යයි නොසැලකිය යුතුය. එක් කිරියක් පමණ බිම් පෙදෙසක පාත්‍ර සතරක්ම තැබවූහ. පාත්‍රයෙහි මුදුන නවරත්නය, මුවවිට පටන් අට රුවන්ය. මුවවිටෙහි සදෙනකු යෙදූ ආජඤ්ඤ රථයක් වටා ගමන් කරයි. දෙනු ලබන්නේ පාත්‍රයෙහි පිට කෙළවරින් වර්ග වශයෙන් ප්‍රතිග්‍රාහකයන් තබා පළමුව පාත්‍රයෙහි බහාලූ දෙය දී පසුව පාත්‍රය සන්ධි (මූට්ටු) වලින් බිඳ (කොටස් කොට) ඒවාද දුන්නේය. මෙසේ අසූසාර දහසක් පාත්‍ර දුන්නේය. රූපියපාත්ර ආදියෙහි ද මේ ක්‍රමයමයි. මෙහි ද සුවණ්ණපුරානි යනු රන්කට්ඨි රන්ඵාල රන් මාසකයන්ගෙන් පිරුණාවූයි, හිරඤ්ඤපූරානි යනු සත්වැදෑරුම් උතුම් රුවනින් පිරුණාවූයි, සොවණ්ණාලඞ්කාරානි යනු රන් අබරණයි, කංසුපධාරණානි යනු රිදියෙන් කළ කිරිදෙන දෙනුන්ය. ඒ දෙනුන්ගේ අං රන්කොපුවකින් වටකරන ලද්දේ විය. ගෙලෙහි සමන්මල් දමක් පැළඳවූහ. සතර පයෙහි නූපුරය. පිටෙහි පෙරවූ උතුම් දුහුල් සළුවකි. ගෙලෙහි රන් සීනුවක් බැන්දවූහ. වත්ථකොටිසහස්සානි යනු ලෝකව්යවහාරයෙන් වස්ත්‍ර යුගල විස්සක් එක් කෝටියකි. මෙහි වනාහි සළු දහය බැගිනැයි කියනලදි. බොමසුඛුමානං යනාදියෙහි හණරෙදි ආදියෙහි යම් යම් සියුම් දෙයක් වේද එයම දුන්නේය. යම් මේ ස්ත්‍රී දානය වෘෂභ දානය, මද්‍ය දානය, උත්සව දානයයි කියනලද අදාන සංඛ්‍යාත යමක් වේද ඒවාද මේ වේලාමගේ දානමුඛයෙහි මෙනම් දෙය නැතැයි කීම වැලැක්වීම සඳහා දුන්නේය. නජ්ජො මඤ්ඤෙ විස්සන්දන්ති යනු නදීන් මෙන් ගලායති.
මෙයින් මෙපමණකින් ශාස්තෲන් වහන්සේ වේලාමගේ දානය පවසා “ගෘහපතිය මේ මහාදානය වෙනෙකෙක් නොදුනේය. මම දුන්නෙමි. මෙබඳු වූ දානයක් දෙන්නා වූ ද මම පිළිගැනීමට සුදුසු පුද්ගලයෙක් නොලැබීමි. ඔබ මා වැනි බුදුකෙනකු ලොව දක්නට ලැබෙනවිට දානය දෙමින් කුමහෙයින් සිතන්නෙහිදැයි සිටාණන්ට දෙසුම වඩමින් සියා ඛො පන තෙ යනාදිය වදාළ සේක. එකල්හි යම් රූපවෙදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණයෝ වූවාහුද ඒවා නිරුද්ධ වුවෝ නොවෙත්ද? කුමක් හෙයින් මම එකල්හි වෙලාම බ්‍රාහ්මණයායි කීවේද? ප්‍රවේණියෙන් නොසිඳුණු බැවිනි. නිරුද්ධ වන්නාවූ ඒ රූපාදිය මොවුනට ප්රත්යයදී (හේතුවී) නිරුද්ධ වූහ. අපරාපරව නොසිඳුණු ප්‍රවෙණිය ගෙන එසේ කීවේය. න තං කොචි දක්ඛිණං සොධෙති යනු කිසියම් මහණෙක් හෝ බමුණෙක් හෝ දෙවියෙක් හෝ මරුවෙක් හෝ නැඟිට ඒ දානය පිරිසුදු කරතැයි කිවයුත්තෙක් නොවීය. ඒ දක්ෂිණාව පිරිසුදු කරන්නේ උපරිම කෙළවරින් බුදුරජාණන් වහන්සේ අවම කෙළවරින් දම් සෙනෙවි සැරියුත් තෙරුන් සමාන ශ්‍රාවකයෙක් පිරිසිදු කරන්නේය.
දිට්ඨිසම්පන්නං යනු දර්ශනයෙන් යුත් සෝවාන් වූවහුයි,
ඉදං තතො මහප්ඵලතරං යනු මේ සෝවාන් තැනැත්තාට දුන් දානය ලෞකික මහජනයාට සත් අවුරුදු සත්මසක් මෙපමණ රන්රුවන් පරිත්‍යාග කරමින් දුන් දානයට වඩා මහත්ඵලය.
යො ච සතං දිට්ඨිසම්පන්නානං යනු මෙහි එක් සකෘදාගාමියකුට එකසිය එකක් සෝවාන් වූවන් වශයෙන් කොට සෝවාන් ගණන දතයුතුය. මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි යටින් යටින් පැමිණි තැනැත්තාගෙන් අනතුරු අනතුරු එන්නා සියගුණයක් කොට පුද්ගල සංඛ්‍යාව දතයුතුයි.
බුද්ධපමුඛං යනු මෙහි සම්මා සම්බුදුන් වහන්සේ සඞ්ඝස්ථවිරයන් කොට හුන්නාවූ සඞ්ඝයා බුද්ධ ප්රමුඛ සංඝයායි දතයුතුය. චාතුද්දිසං සඞ්ඝං උද්දිස්ස යනු මෙහි සිවුදිගට අයත් සඞ්ඝයා උදෙසා කළ විහාරය නම් යම්තැනක චෛත්‍යයක් පිහිටියේ වේද ධර්මශ්රවණය කරනු ලැබේද සිවුදිගින් භික්ෂූන් පැමිණ නොවිමසාම පාදොවා යතුරෙන් දොර හැර සෙනසුන පිළිදැඟුම් කොට වැස පහසු පරිද්දෙන් යත්ද එය යටත් පිරිසෙයින් සිවුරියන් පන්සලක් වේවා සිවුදිගින් වඩින සංඝයා උදෙසා කළ විහාර යයි කියනු ලැබේ.
සරණං ගච්ඡෙය්ය යනු මෙහි මාර්ගයෙන් පැමිණි නොපෙරළෙන සරණය අදහස් කරන ලදි. සමහරු තමන් පවරා දුන් බැවින් සරණයාම එයින් මහත්ඵලතරයයි කීවාහුය. සික්ඛාපදං සමාදියෙය්ය යනු පන්සිල් ගන්නහුය, ශීලයද (සෝවාන් ආදී) මාර්ගයෙන් පැමිණි නොපෙරලෙන ශීලයම කියනලදි. අන්‍යයෝ වනාහි සියලු සතුන්ට අභයදානය දුන් බැවින් ශීලය ඊට වඩා මහත්ඵලතරයයි කීවාහුයි කියනලදි. ගන්ධූහනමත්තං යනු සුවඳ සලකා බැලීම් මාත්‍රයකි. දෙඇඟිල්ලෙන් සුවඳ පිඬක් ගෙන සිඹ බැලීම් මාත්‍රයකි. ඇතැම්හු වනාහි ගද්දූහනමත්තංයි පෙළ කියා දෙනගෙන් එක් වරක් තන අදින පමණකැයි අර්ත්ථය කියත්. මෙත්තචිත්තං යනු සියලු සතුන්ට හිතවත්බව පතුරවා සිතයි. එයද අර්පණා වශයෙන්ම ගන්නා ලදි. අනිච්චසඤ්ඤං යනු මාර්ගයට අනන්තර (අනතුරු) ප්‍රත්‍යය භාවයෙන් මුදුන්පත් බලවත් විදර්ශනාවයි,
උපමා වශයෙන් මේ දානාදී වූ පින්කම් මෙසේ දතයුතුය. ඉදින් දඹදිව බෙරතලයක් මෙන් සමතලා කොට කෙළවරෙහි පටන් පර්‍ය්‍යංක අතුරා ආර්‍ය්‍ය පුද්ගලයන් හිඳුවා එහි සෝවාන් වූවන්ගේ පේලි දහයක් ද සකෘදාගාමීන්ගේ පේලි පහක් ද අනාගාමීන්ගේ පේලි දෙකහමාරක් ද ක්ෂීණාශ්රවයන්ගේ පේලි එකහමාරක් ද පසේ බුදුවරුන්ගේ එක් පෙලක් ද වන්නේ නම් සම්මා සම්බුදුන් වහන්සේ එකළාම වෙති. එපමණ දෙනෙකුට දුන් දානයෙන් සම්මා සම්බුදුන් වහන්සේට දුන් දානයම මහත්ඵල වෙයි. සෙස්ස වනාහි,
විහාරදානය, වැඳීම, ශික්ෂාව, මෛත්‍රී භාවනාව (යන මේවා) ක්ෂය වශයෙන් භාවනා වඩන්නාගේ සොළොස් කලාවෙන් එක්කලාවක් නොඅඟියි.
එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා වේලෙහි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය උතුම්යයි වදාළ සේක. සෙස්ස සියලු තැන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
.”