SINHALA TIPITAKA

AN 06-04


Listen Later

AN 06-04-01. සෙඛපරිහානධම්ම සූත්‍රය
AN 06-04-02. පඨම අපරිහානියධම්ම සූත්‍රය
AN 06-04-03. දුතිය අපරිහානිය සූත්‍රය
AN 06-04-04. තිස්සබ්‍රහ්ම සූත්‍රය
AN 06-04-05. විජ්ජාභාගිය ධම්ම සූත්‍රය
AN 06-04-06. විවාද මූලක ධම්ම සූත්‍රය
AN 06-04-07. නන්‍දමාතු දක්ඛිණ සූත්‍රය
AN 06-04-08. අත්තකාර පරකාර සූත්‍රය
AN 06-04-09. කම්මනිදාන සූත්‍රය
AN 06-04-10. කිම්බිල පඤ්හ සූත්‍රය
1AN 06-04-11. දාරුක්ඛන්‍ධාධි මුච්චන සූත්‍රය
AN 06-04-12. (නාගිත) යසසමාගම සූත්‍රය

AN 06-04-01. සෙඛ පරිහාන ධම්ම සූත්‍රය

 [1300:- සෙක්ඛස්ස යනු සත්වැදෑරුම් ශෛක්ෂයාගේ පිරිහීමට, එනම් ශාසන ඵල නොලැබීමට මුල් වන කාරනාය.,]

මහණෙනි,
කරුණු සයක් නිසා ශෛක්‍ෂ භික්‍ෂුවකගේ පිරිහීම වේ.
“කිනම් සයක්ද යත් ?

  1. නුසුදුසු කර්‍මාන්තයන්හි නිරතවීම,
  2. කථාව බහුල බව,
  3. නින්දෙහි ඇලුන බව,
  4. පිරිසෙහි සමාගමෙහි ඇලුන බව,
  5. ඉන්‍ද්‍රියය සංවරය නැති බව ,
  6. ආහාරයෙහි පමණ නොදන්නා බව”
    යන සයයි.”
  7. “මහණෙනි,
    මේ කරුණු සය ශෛක්‍ෂ භික්‍ෂුවගේ පිරිහීම පිණිස පවතිත්

    [1301:- මේ කාරනා සය ඕනෑම අඥාන බෞධයෙකුට පවා වටහා ගත හැකි සරල කාරනාය. ගිහියෙක් සිය පවුල් බන්ධනයන් හැර කෙස් රවුල් කපා කසාය වස්ත්‍රයක් හැඳ මේ සසුනට ඇතුල්වන්නේ අන් කිසිම බලාපොරොත්තුවකින් නොව මේ සංසාර වලල්ලෙන් ගැලවීමටය. ඒ හැර අන් බලාපොරොත්තුවක් ඇත්නම් ඔහු මේ සසුනෙහි ඉඳීම සුදුසු නොවේ. අද සිංහල බෞද්ධයා මේ ගැන චෝදනා ලැබිය යුතුය. ඔහු භික්ෂුවකගේ වගකීම වරදවා වටහා ගැනීම නිසා භික්ෂුව දායකයාගේ සතුට පිණිස හැසිරිය යුතුය යන වෙළඳ වාණිජ ආකල්ප ගරු කරමින් භික්ෂුන් හැසිරෙ. එනිසා ගිහියෝ සාසන පරිහානියට වගකිව යුතුය.
    මේ දැක්වූ සය දුශ්ට ලක්ඛනයන්ම භික්ෂුවගේ යුතුකම් ලෙස සලකා ඔවුන් දෙපිරිසම සාසනය ප්‍රපාතයට ඇද දමා ඇත. මරනයට, මතක බණට, පින් ගන්නට දානය දෙන්නට පමණක් භික්ෂුන් සොයන ගිහියන් නිසා අද ලංකාවේ ආර්ය සංඝයා නැත්තටම නැතිවී ගොස්ය. හින්දු පුසාරින්, කතෝලික පාදිලි උන්නාන්සේලා, මුස්ලිම් ලේබ්බෙවරුන් කරන දෙයට වඩා වැඩි දෙයක් අපටද කරන්නට නැතැයි අදහාගෙන රක්සාවක් කරනවාසේ මහනකු ලෙස චරිත රඟපෑමක යෙදේ. නොයෙක් නොයෙක් භික්ෂුන් සාසනය වනසනවාය , සද්ධර්මය විකෘති කරනවාය, ලංකාවේ බුදුන් උපන්නාය කියනවාය, අභිධර්මයට බනිනවාය කියමින් වාද විවාද කරනවා වෙනුවට භාග්‍යවතුන් වහන්සේ දේසනා කල ධර්මය අනුව හැසිරීමට දැන් කාලයයි. ]

    AN 06-04-02. පඨම අපරිහානියධම්ම සූත්‍රය

    “මහණෙනි,
    කරුණු සයක් නිසා ශෛක්‍ෂ භික්‍ෂුව නොපිරිහේ..
    “කිනම් සයක්ද යත් ?

    • ශාස්තෲන් කෙරෙහි ගෞරවය ඇති බව,
    • ධර්මය කෙරෙහි ගෞරව ඇති බව,
    • සංඝයා කෙරෙහි ගෞරව ඇති බව,
    • ශික්‍ෂාවන් කෙරෙහි ගෞරව ඇති බව,
    • අප්‍රමාදය
    • පටිසන්ථාරගාරවතාවය 1305
      යන සයයි.
    • “මහණෙනි,
      මේ කරුණු සය ඇති නම් ශෛක්‍ෂ භික්‍ෂුව නොපිරිහේ.

      සත්‍ථුගාරවතා යනු ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගරු කිරීමයි, 
      ධම්මගාරවතා යනු නවලොවුතුරු දහම්හි ගෞරවයයි, සෝවාන් මාර්ගය සකෘදාගාමීමාර්ගය අනාගාමීමාර්ගය අරහත්මාර්ගය යන ආර්‍ය්‍යමාර්ග සතරය, සෝවාන්ඵලය සකෘදාගාමීඵලය අනාගාමීඵලය, අර්හත්ඵලය යන ආර්‍ය්‍ය ඵල සතරය, නිර්වාණ ධාතුවය යන ධර්ම නවය නවලෝකෝත්තර ධර්ම නම් වේ. ලෝකෝත්තර ධර්මයෝ ය යන්නෙහි තේරුම සත්ත්වයන් ලෝකයෙන් එතෙර කරවන්නාවූ ද ලෝකය ඉක්මවා සිටින්නා වූ ද ධර්මයෝය යනුයි. නවලෝකෝත්තර ධර්මයන් අතුරෙන් ආර්‍ය්‍යමාර්ග සතර හා ආර්‍ය්‍ය ඵල සතර පිළිවෙත් පිරීමෙන් තම තමන් කෙරෙහි වෙන වෙනම උපදවා ගත යුතු ධර්මයෝ ය. නිර්වාණය ලෝකෝත්තර ඥානවලින් ප්‍රත්‍යක්ෂ කර ගත යුතු ධර්මයෙකි. පර්‍ය්‍යාප්ති ධර්මය අසා බලා දැරිය යුතු ධර්මයෙකි.
      සඞ්ඝගාරවතා යනු සඝයා කෙරෙහි ගෞරවයයි, 
      සික්ඛාගාරවතා යනු ත්‍රිවිධ ශික්ෂාවෙහි ගරුකිරීමයි, 
      අප්පමාදගාරවතා යනු අප්‍රමායෙහි ගරුකිරීමයි, 
      පටිසන්ථාරගාරවතා යනු දෙආකාරයකින් යුතු එනම්, ආමිෂ වශයෙන් හා ප්‍රතිපත්ති පිරීම් වශයෙන් දෙවැදෑරුම් වු පිළිසඳරයයි,
      ගාථාවෙහි ශාස්තෲන් වහන්සේ මොහුට ගරුවන්නේනුයි සත්‍ථුගරු නමි,
      ධර්‍මය මොහුට ගරු වන්නේනුයි ධම්මගරු නමි, 
      තිබ්බගාරවො යනු බහුල ගෞරවයයි,
      පිළිසඳරෙහි ගෞරවය ඇත්තේ මොහුටනුයි පටිසන්ථාරගාරවො නමි,

      AN 06-04-03. දුතිය අපරිහානිය ධම්ම සූත්‍රය

      “ඉක්බිති එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රිය ඉක්ම ගිය කල්හි දිදුලන වර්‍ණයෙන් යුක්තව, මුළු ජේතවනාරාමය බබුලුවා, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ. එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

      “ස්වාමීනි,
      ධර්ම සයක් භික්‍ෂුවහට නොපිරිහීම පිණිස පවතිත්.
      “කිනම් සයක්ද යත් ?

      1. ශාස්තෲන් කෙරෙහි ගෞරවය ඇති බව,
      2. ධර්මයෙහි ගෞරව ඇති බව,
      3. සංඝයා කෙරෙහි ගෞරව ඇති බව,
      4. ශික්‍ෂාවන් කෙරෙහි ගෞරව ඇති බව,
      5. පවට බිය ඇති බව,
      6. අකුසලයට ලැජ්ජාව ඇති බව,
        යන සයයි.
      7. [සත්ථු ගාරවතා, ධම්ම ගාරවතා, සඞ්ඝ ගාරවතා, සික්ඛා ගාරවතා, හිරි ගාරවතා, ඔත්තප්ප ගාරවතා

        “ස්වාමීනි, මේ ධර්ම සය භික්‍ෂුවට නොපිරිහී පැවැත්ම පිණිස පවතිත්.”
        ඒ දේවතාවා කීය
        භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව ඒ පිළිගත් සේක.

        “. ‘ශාස්තෲන් වහන්සේ යහපත්ව අනුදන්වූසේක.’ යි දත් ඒ දේවතාවා,
        ‘ශාස්තාෘන් වහන්සේ මගේ වචන පිළිගත්සේකැ’ යි
        භාග්‍යවතුන් වහන්සේ,වැඳ, ප්‍රදක්‍ෂිණාකොට එහිම අතුරුදන් වූහ.

        ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රිය ඇවෑමෙන් භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.
        “මහණෙනි, මේ රාත්‍රියෙහි එක්තරා දේවතාවෙක් රාත්‍රිය ඉක්ම ගිය පසු යහපත් වර්‍ණ ඇතිව, මුළු ජේතවනාරාමය ආලෝකකොට, මා වෙත පැමිණ, මා වැඳ, එකත්පසෙක සිට ඒ දේවතාවා මට මේ කරුණු සය මහණකු හට නොපිරිහීම පිණිස පවතිය යැයි කීවේය.
        “කිනම් සයක්ද යත් ?…

        මහණෙනි!
        “ශාස්තෲන් කෙරෙහි ගෞරවය ඇතිව වසව්.,
        ධර්මයෙහි ගෞරවය ඇතිව වසව්.,
        සංඝයා කෙරෙහි ගෞරවය ඇතිව වසව්.,
        ශික්‍ෂාව කෙරෙහි ගෞරවය ඇතිව වසව්.,
        පවට බිය ඇතිව වසව්.,
        අකුසලයට ලැජ්ජාව ඇතිවව්.
        ,

        ..යි වදාළසේක.”

        AN 06-04-04. තිස්සබ්‍රහ්ම සූත්‍රය

        “එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහ සිටුහු විසින් කරවා පූජා කරණ ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති හුදකලාව වෙසෙන ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ගේ සිතට මෙසේ සිතිවිල්ලක් පහළවිය.

        “යලි කිසිදා අපායට නොවැටෙන ස්වභාවය ඇති,
        සුගතියම නියත අරමුණ කොට ඇති,
        නිර්‍වාණය පිහිටකොට ඇති, මාර් ග ඵලය වන
        සෝවාන් ඵලයට පත් දෙවියෙකුට තමන්
        සෝවාන් ඵලයට තමන් පත්වූයෙම්” යයි ඤාණයක් වේද” කියායි.

        ඒ කාලයෙහි තිස්ස නම් භික්ෂුවක් කළුරියකොට,
        බ්‍රහ්ම ලෝකයක පහල විය. එහිදී, ඔහු මහත් ඎද්‍ධි ඇති, මහත් ආනුභාව ඇති, තිස්ස බ්‍රහ්මයායයි සෙස්සෝ දනිත්.

        ඉක්බිති ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිරයෝ, යම්සේ බලවත් පුරුෂයෙක් හකුළුවන ලද අත දික් කරන්නේ කෙතරම් සැනින්ද, දික් කරණ ලද අත හකුළුවන්නේ කෙතරම් සැනින්ද, එසේ සැනින් ජේතවනයෙහි අතුරුදහන්ව, ඒ බ්‍රහ්මලෝකයෙහි පහළවිය.

        තිස්ස බ්‍රහ්ම තෙමේ, දුර සිටම එන ආයුෂ්මත් මහ මුගලන් තෙරුන් දැක්කේය. දැක ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්ට,
        ‘නිදුකාණනි, මුගලන් ස්ථවිරයෙනි,
        වඩින්න, නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි,
        යහපත් පැමිණීමක් වේවා.
        නිදුකාණෙනි, මුගලන් ස්ථවිරයෙනි, මේ අස්නක් පැණවීමිය’ යි කීයේය.

        ආයුෂ්මත් මහ මුගලන් ස්ථවිර තෙමේ පැනවූ අස්නෙහි හිඳගත්තේය. තිස්ස බ්‍රහ්ම තෙමේද ආයුෂ්මත් මහ මුගලන් තෙරෙුන්ට වැඳ එකත්පසෙක සිටි තිස්ස බ්‍රහ්මයාගෙන් මහ මුගලන් ස්ථවිරයෝ මෙසේ ඇසුහ.
        “තිස්සය! , කවර දෙවි කෙනෙකුන්ට තමා සෝවාන්වූවෙමු”යයි, දැනීමක් ඤාණයක් වේද?” කියා ඇසු සේක.

        (i). “නිදුකාණෙනි,
        සෝවාන්වූ චාතුර්මහාරාජික දෙවියන්ට අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, ඤාණය ඇත.” යි හේ පිළිතුරු දින.

        “තිස්සය, චාතුර්මහාරාජිකයේ සියලු දෙවියන්ටම අපායට නොවැටෙන, සුගති නියතවූ, නිර්‍වාණය පිහිටකොට ඇති, සෝවාන්වූවෙමුයයි, යන මේ ඤාණයෙන් යුක්තද ?”.
        “නිදුකාණෙනි, නැත!
        චාතුර්මහාරාජිකයේ සියලු දෙවියන්ට මෙසේ නුවණක් නැත. චාතුර්මහාරාජිකයෙහි යම් දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන් පිළිගත් ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට තමන් සෝවාන්ය”යි නුවණක් නොවේ.

        (ii).“තිස්සය, චාතුර්මහාරාජික දෙවියන්ට පමණක් තමන් සෝවාන් වූ කල,තමා සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණ වේද,
        නැතිනම් තව්තිසා වැසි දෙවියන්ට…. තමන් , සෝවාන් වෙමුයයි, මෙබඳු නුවණක් වේද……
        (iii). යාම දෙවියන්ට ………..
        (iv). තුසිත යේ දෙවියන්ට….
        (v). නිර් මානරති යේ දෙවියන්ට….
        (vi). පරනිර් මාන වසවර් ති දෙවියන්ට…
        “නිදුකාණෙනි, නැත.
        පරනිර් මාන වසවර් තියේ සියලු දෙවියන්ට මෙසේ නුවණක් නැත.

        ‘නිදුකාණෙනි,
        පරනිර්මාන වසවරතියේ යම් දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ධර්මයෙහි ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, සංඝයා කෙරෙහි ශ්‍රද්‍ධාවෙන් යුක්ත නොවූවාහුද, ආර්‍ය්‍යයන් පිළිගත් ශීලයෙන් යුක්ත නොවූවාහුද, ඔවුන්ට තමන් සෝවාන්ය”යි මෙබඳු නුවණක් නොවේ.”යි තිස්ස බ්‍රග්මයා පිළිතුරු දුන්නේය.“

        මහ මුගලන් ස්ථවිරයන් වහන්සේ තිස්ස බ්‍රාහ්මණයාගේ වචනයට සතුටුව එය පිළිගෙන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුලූ අත දික් කරන්නේද, දික්කල අත හකුළුවන්නේද, එසේ සැනින්ම බ්‍රහ්ම ලෝකයෙහි අතුරුදහන්ව, ජේතවනයෙහි පෙනී සිටි සේක.”

         [තිස්සො නාම භික්ඛු යනු තෙරුන්ගේම සද්ධි විහාරිකයෙකි, මහිද්ධිකො මහානුභාවො යනු සමෘද්ධවීමේ අර්‍ත්‍ථයෙන් මහත් සෘද්ධිය ඇත්තේ මොහුටනුයි මහිද්ධිකො නමි, පැතිරීමේ අරුතින් මහත් ආනුභාවය ඇත්තේ මොහුටනුයි මහානුභාවො නමි. 
        චිරස්සං ඛො මාරිස මොග්ගල්ලාන ඉමං පරියායමකාසි 
        යනු ලෝකයෙහි ප්‍රකෘතියෙන්ම මෙබඳු වූ ප්‍රිය ගෙන දෙන වචනයක් වෙයි, ලෝවැසියෝ “බොහෝ කලකින් ආවාවූද, නොආවිරූවූද පැමිණි හිතවතකු දැක පින්වත, කොහි සිට ආවෙහිද? පින්වත් බොහෝ කලකින් ආවෙහිය, කෙසේ ඔබට මෙහි එන මග වැටහුනේද? කිම මංමුළාවූයෙහිද” ආදිය කියත්. මෙතෙම වනාහි පැමිණි විරූ බැවින් මෙසේ කීවේය. තෙරණුවෝ කලින් කලට බ්‍රහ්මලෝකයට යත්මය, එහි පරියායමකාසි යනු වාරයක්, අවස්ථාවක් කළේය, යදිදං ඉධාගමනා යනු මෙහි පැමිණීම සඳහා මේ යම් වාරයක් වේද එය බොහෝ කලකින් කළේයයි කියන ලද්දේ වෙයි, ඉදමාසනං පඤ්ඤත්තං යනු මහත් වටිනා බ්‍රහ්මපර්‍ය්‍යඞ්කය පනවා මෙසේ කීවේය. අවෙච්චප්පසාදෙන යනු අවබෝධ කළ නොසැලෙන මාර්‍ගප්‍රසාදයෙනි, මේ සූත්‍රයෙහි සෝවාන් මග නුවණ කියන ලදි.]

        AN 06-04-05. විජ්ජාභාගිය ධම්ම සූත්‍රය

        [ඡයිමෙ , භික්ඛවෙ, ධම්මා විජ්ජාභාගියා.
        කතමෙ ඡ? අනිච්චසඤ්ඤා, අනිච්චෙ දුක්ඛසඤ්ඤා, දුක්ඛෙ අනත්තසඤ්ඤා, පහානසඤ්ඤා, විරාගසඤ්ඤා, නිරොධසඤ්ඤා – ඉමෙ ඛො, භික්ඛවෙ, ඡ ධම්මා විජ්ජාභාගියා’’ති. පඤ්චමං]

        “මහණෙනි,
        අවිද්‍යාව දුරු කර ගැනීමට, විද්‍යාව පහල කර ගැනීමට භාවනාවෙන් වැඩිය යුතු, සංඥා සයකි.
        “කිනම් සංඥා සයක්ද යත් ?

        (i). අනිත්‍ය (අනිච්ච) සඤ්ඤාව,

        (ii). අනිච්චෙ දුක්ඛ සඤ්ඤාව,

        [ කතමඤ්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං? ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, සොක පරිදේව දුක්ඛදොමනස්සුපායාසා පි දුක්ඛා, අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛා, යං පිච්ඡං න ලභති තං පි දුක්ඛං, සඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.

        කෙටි අදහස:- මහණෙනි! ආර්ය පුද්ගලයා විසින් අවබෝධ කළ යුතු – අවබෝධ කරන ලද ඒකාන්ත සත්‍ය වූ දුක කවරේ ද? ඉපදීමත් දුකකි. ජරාව හෙවත් දිරායාම ද දුකකි. මරණය ද දුකකි. සෝකය, ඇඬීම්ය, කයේ උපදින දුකය, සිතේ උපදින දුකය, සිත වෙහෙසීම ය. යන මොහු ද දුක් ය. අප්‍රියයන් හා එක්වීම ද දුකකි. ප්‍රියයන් කෙරෙන් වෙන්වීම ද දුකකි. තමා කැමැති දෙය නො ලැබේ නම් එයද දුකකි. සංක්ෂේපයෙන් කොටින් ම උපාදානස්කන්ධයෝ පස් දෙන ම දුක් වන්නෝ ය.]

        (iii).දුක්ඛෙ අනත්ත සඤ්ඤාව,

        (iv).පහාන සඤ්ඤාව,
        (v).විරාග සඤ්ඤාව,
        (vi). නිරොධ සඤ්ඤාව ය.

        මහණෙනි,
        මේ විද්‍යාව ඇති කරණ භාවනා සයය..

        විජ්ජාභාගියා යනු විද්‍යාවට අයත් කොටස්ය, අනිච්ච සඤ්ඤා යනු අනිත්‍යානු පස්සනාඥානයෙහි යොදන සංඥාවයි. අනිච්චෙ දුක්ඛසඤ්ඤා යනු දුක්ඛානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි, දුක්ඛෙ අනත්තසඤ්ඤා යනු අනත්තානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි.  පහානසඤ්ඤා යනු පහානානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි,  විරාගසඤ්ඤා යනු විරාගානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි. නිරොධසඤ්ඤා යනු නිරොධානුපස්සනා ඥානයෙහි උපන් සංඥාවයි

        AN 06-04-06. විවාද මූලක ධම්ම සූත්‍රය

        පුජ්‍ය වරකාපැලහේනේ සුගතඥාන හිමි

        “මහණෙනි,
        මේ විවාදයනට මුල්වන හේතුවන කාරනා සයක් වෙත්.
        “කිනම් සයක්ද යත් ?

        (i). මහණෙනි, යමෙක් ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, මහණෙනි, යම් ඒ භික්‍ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, හෙතෙම ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ශික්‍ෂාපද සම්පූර්‍ණකොට නොරකින්නෙක් වේ.

        “මහණෙනි, යම් ඒ භික්‍ෂු නමක් ක්‍රොධ කරන්නේ වේද, බද්‍ධ වෛර ඇත්තේ වේද, හෙතෙම)සස’ ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයිද හෙතෙම යම් විවාදයක් බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ත්‍ථය පිණිස, අහිත පිණිස, දෙවි මිනිසුන්ට දුක් පිණිස සංඝයා අතරෙහි විවාද උපදවයි.

        “මහණෙනි, තොප විසින් මෙබඳු විවාදයකට මුල් කරුණු ඇතුලත හෝ පිටත දක්නහුද, මහණෙනි, එහිදී තොප විසින් ඒ පවිටු විවාදයට මුල් කරුණු නැතිකිරීම පිණිස වෑයම් කරව්. මහණෙනි, ඉදින් තොප විසින් මෙබඳු විවාදයන්ට මුල්වූ කරුණු ඇතුළත හෝ පිටත හෝ නොදක්නහු නම්, මහණෙනි, තොප විසින් එහිදී ඒ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස පිළිපදිව්. මෙසේ මේ ලාමක විවාදයට මුල ප්‍රහීණවීම වේ. මෙසේ මේ ලාමක විවාදයට මුල මතු නොවීම පිණිස වේ.

        “නැවතද මහණතෙම ගුණමකු වේද, යුග ග්‍රාහයෙන් යුක්තද, ශාස්තෲන් වහන්සේ කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. ධර්මයෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහිද ගරු නැතිව, යටහත් නැතිව වාසය කරයි.

        “නැවතද මහණතෙම ඊර්‍ෂ්‍යාකරයිද, මසුරුවේද, කෛරාටිකවේද, මායාවෙන් යුක්තද, පවිටු අදහස් ඇත්තේද, අයහපත් දෘෂ්ටි ඇත්තේද, තම අදහසම අල්වා ගත්තේ වේද, දුරු නොකරන්නේද, බැහැරලීමට නොකැමැති වේද, හෙතෙම ශික්‍ෂාපද සම්පූර්‍ණකොට නොරකින්නෙක් වේ.

         විවාදමූලානි යනු විවාදයට මුල් වූ කරුණුයි. 
        කොධනො යනු කිපෙන ලක්‍ෂණ ඇති ක්‍රොධයෙන් යුක්තවූයේයි, 
        උපනාහී යනු වෛරය අත්නොහරින ලක්ෂණය ඇති උපනාහයෙන් යුක්තවූයේයි. 
        අහිතාය දුක්ඛාය දෙවමනුස්සානං යනු භික්ෂූන් දෙදෙනකුගේ විවාදය කෙසේ දෙව්මිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතියේද? කොසම්බක්ඛන්ධකයෙහි මෙන් භික්ෂුන් දෙදෙනකු විවාදයට එළැඹුණු විට ඔවුන්ගේ ඇතැවැස්සෝ විවාද කරති, ඔවුන්ගේ අවවාද ගන්නා වූ භික්ෂුණී සංඝයා විවාද කරයි, ඉක්බිති ඔවුන්ගේ උපස්ථායකයෝ විවාද කරත්, ඉක්බිති මිනිසුන්ගේ ආරක්‍ෂක දෙවිවරු දෙකොටසක් වෙති, එහි ධර්‍මවාදීන්ගේ ආරක්‍ෂක දෙවියෝ ධර්‍මවාදීහු වෙත්, අධර්‍මවාදීන්ගේ ආරක්‍ෂක දෙවිවරු අධර්‍මවාදීහු වෙත්. එයින් ආරක්ෂක දෙවිවරුන්ගේ මිත්‍ර වූ බුමාටු දෙවියෝ බිඳත්, මෙසේ පිළිවෙලින් බඹ ලොව දක්වා ආර්‍ය්‍යශ්‍රාවකයන් හැර සියලු දෙවිමිනිස්සු දෙකොටසක් වෙති, ධර්‍මවාදීන්ගෙන් අධර්‍මවාදීහුම බොහෝ වෙත්. ඉක්බිති බොහෝ දෙනකු විසින් යමක් ගන්නා ලද්දේ වෙයිද එතැනට යති, ධර්‍මය අතහැර බොහෝ දෙනෙක් අධර්‍මය ගනිති, ඔවුහු අධර්‍මය පෙරදැරි කොට වසන්නාහු අපායෙහි උපදිති, මෙසේ භික්ෂූන් දෙදෙනෙකුගේ විවාදය දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පවතියි, අජ්ඣත්තං වා යනු නුඹලාගේ ඇතුළත පිරිසේයි, බහිද්ධා යනු අනුන්ගේ පිරිසේයි,
        මක්ඛී යනු අනුන්ගේ ගුණ මකන ලක්‍ෂණය ඇති මකුබවින් යුක්තවූයේයි, පළාසී යනු වියගහ ගැනීම (බර කරට ගැනීම) ලක්ෂණය කොට ඇති පළාසයෙන් (කුඩුකේඩුකමින්) යුක්ත වූයේයි, ඉස්සූකී යනු අනුනට කෙරෙන සත්කාර ආදියෙහි නොඉවසීම ලක්ෂණ කොට ඇති ඊර්‍ෂ්‍යාවෙන් යුක්තවූයේයි, මච්ඡරී යනු ආවාස මසුරුකම් ආදියෙන් යුක්තවූයේයි, සඨො යනු කෛරාටිකයායි, මායාවි යනු කළගුණ වසන්නායි, පාපිච්ඡො යනු නොමැති සම්භාවනයක් (ගරු කිරීමක්) කැමතිවන්නේයි, දුසිල්වත් වූයේයි, මිච්ඡාදිට්ඨි යනු නාස්තිකවාද දරන්නේ අහේතුවාද දරන්නේ අකිරියවාද දරන්නේයි, සන්දිට්ඨිපරාමාසි යනු තමා දිටු දෙයම අල්වාගන්නේයි, ආධානගාහී යනු දැඩිසේ අල්වා ගැනීම් ඇත්තේයි, දුප්පටිනිස්සග්ගී යනු අල්වාගත් දෙය අතහැරීමට නොහැක්කේ වෙයි. මේ සූත්‍රයෙහි සසරම කියන ලදි.

        AN 06-04-07. නන්‍දමාතු දක්ඛිණා සූත්‍රය

        එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු මහ සිටුහු විසින් කරවා පූජාකළ ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

        එකල්හි වෙළුකණඨකී නන්‍ද මාතා උපාසිකාව සැරියුත් මුගලන් ප්‍රධාන භික්‍ෂු සංඝයා පිණිස අඞ්ග සයකින් යුත් දානයක් පිළියෙළ කරයි. භාග්‍යවතුන් වහන්සේ මිනිස් ඇස ඉක්මවා සිටි පිරිසිදුවූ දිවැසින් වෙළුකණඨකී නන්‍ද මාතාව ගේ එම කාර්යය්. දැක භික්‍ෂූන් ආමන්ත්‍රණය කළ සේක.

        “මහණෙනි, වෙළුකණඨකී නන්‍ද මාතාවවූ උපාසිකා තොමෝ සැරියුත් මුගලන් දෙනම ප්‍රධාන භික්‍ෂු සංඝයා කෙරෙහි අඞ්ග සයකින් සම්පුර්ණවූ දානයක් සකස් කරයි.

        මහණෙනි,
        දානයක් කෙසේ නම් අඞ්ග සයකින් සම්පුර්ණ වේද ?

        මහණෙනි,
        දානයක් එසේ සම්පුර්ණ වීමට
        දායකයා කෙරෙහි අඞ්ග තුනක් වෙත්.
        ප්‍රතිග්‍රාහකයන්ට අඞ්ග තුනක් වෙත්.

        දායකයාගේ අඞ්ග තුන කවරේද යත් ?
        (i). “ දානයට පූර්‍වයෙන්ද සතුටු සිත් ඇත්තේ වේද,
        (ii). දානය දෙමින් සිත පහදවන්නෙහිද,
        (iii). දානය දුන් පසුද මතක් කර සතුටු සිත් ඇත්තේද,
        මේ දායකයාගේ අඞ්ග තුනයි.

        ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුන කවරේද ?
        මහණෙනි, ප්‍රතිග්‍රාහකයා
        (iii). රාගය පහකළ හෝ , රාගය පහකරන්නට පටන් ගත්තවුවෙක්ද,
        (iii). දෝසය පහකළ හෝ දෝසය පහකරන්නට පටන් ගත්තවුවෙක්ද
        (iii). මෝහය පහකළ හෝ , මුළාව පහකරන්නට පටන් ගත්තවුවෙක්ද, මේ ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුන වෙත්.

        මේ දායකයාගේ අඞ්ග තුනද,
        ප්‍රතිග්‍රාහකයන්ගේ අඞ්ග තුනද වෙත්.

        මහණෙනි, මෙසේ දෙන්නාවූ ලබන්නාවූ දානය අඞ්ග සයකින් යුක්ත වේ.

        “මහණෙනි, මෙසේ අඞ්ග හයකින් යුත් දානයාගේ මෙලොව සැප ගෙන දෙන, මතු සැප පිණිස පවතින, සැප විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවතින, මෙපමණ පින් රැස්වීමක්, මෙපමණ කුසල් රැස්වීමක්, යහපත් බවට, කාන්ත බවට, මන මැඩීමට හිත පිණිස, සැප පිණිස පවතිත්යයි පිනේ ප්‍රමාණයක් කිරීමට පහසු නොවේ. තවද, ගණන්කළ නොහැකි, ප්‍රමාණකළ නොහැකි මහත් පින් රාශියකැයි ගණනට යයි.

        “මහණෙනි, යම්සේ මහා සමුද්‍රයෙහි මෙපමණ දිය ලාස් ගණනකැයි කියාද, මෙපමණ දිය ලාස් සියයකැයිද, මෙපමණ දිය ලාස් දහසකැයිද, මෙපමණ දිය ලාස් ලක්‍ෂයකැයිද, දියෙහි ප්‍රමාණයක් කිරීමට නොහැකි වේ. තවද, ගණන් කළ නොහැකි, ප්‍රමාණ කළ නොහැකි මහ දිය රාශියකැයි ගණනට යයි. මහණෙනි, එසේම මෙසේ අඞ්ග සයකින් යුත් දානයාගේ මෙලොව සැප ගෙන දෙන, මතු සැප පිණිස පවතින සැප විපාක ඇති, ස්වර්‍ගය පිණිස පවතින මෙපමණ පින් රැස්වීමක්, මෙපමණ කුසල් රැස්වීමක්, යහපත් බවට, කාන්ත බවට, මන වැඩීමට හිත පිණිස, සැප පිණිස පවතිත්යයි පිනේ ප්‍රමාණයක් කිරීමට පහසු නොවේ. තවද, ගණන්කළ නොහැකි, ප්‍රමාණ කළ නොහැකි මහත් පින් රාශියකැයි ගණනට යාය” යි. වදාළ සේක.

        “දීමෙන් පූර්‍වයෙහිම සතුටු සිත් ඇත්තේද, දෙන්නේ සිත පහදවන්නේද, දී සතුටු සිත් ඇතිවේද, මෝ තොමෝ යාග සංඛ්‍යාත දානයාගේ පරිපූර්‍ණතා වන්නීය.

        “පහවූ රාගය ඇති, පහවූ ද්වේෂය ඇති, පහවූ මෝහය ඇති, ආශ්‍රව රහිතවූ, ශීලයෙන් සංයතවූ බ්‍රහ්මචාරීහු යාග සංඛ්‍යාත දානයට සම්පූර්‍ණවූ ක්‍ෂෙත්‍රය වෙත්.

        “පිදියයුතු හෙයින් යාගයයි කියනලද මේ පරිත්‍යාගය තෙම තමා කෙරෙන්ද, අනුන් කෙරෙන්ද, මහත්ඵල වෙයි. තමා විසින්ම අත් පා ධොවනය කොට දී, ස්වහස්තයෙන් මෙසේ ධාරණ ප්‍රඥා ඇති, රත්නත්‍රයෙහි ගුණ අදහන්නාවූ පණ්ඩිත තෙම ලාභ මාත්සර්‍ය්‍යාදියෙන් මිදුන සිතින් පුදා නිදුක්වූ, මහත් සැප සොම්නස් ඇති දිව්‍යලෝකයේ උපදින්නේය.

        වෙළුකණ්ඩකී යනු වෙළුකණ්ඩක නම් නුවර වැසියෙකි, ජළඞ්ගසමන්නාගතං යනු ගුණාංග සයකින් යුක්තවූයි, දක්ඛිණං පතිට්ඨාපෙති යනු දානයක් දෙයි, පුබ්බෙව දානා සුමනො යනු දානයක් දෙමැයි මසක අඩමසක පටන් සොම්නසට පත්වූයේ වෙයි, මෙහි මුල්ම චෙතනාව දෙමැයි සිත පහළවන කාලයේ සිට මෙයින් හටගත් දෙයින් දානය දෙමැයි කුඹුර ගැන සිතීම ආදි කොට සිතන්නාට ලැබෙයි, දදං චිත්තං පසාදෙති යනු මෙසේ කියන ලද මුඤ්චන චෙතනාව දන්දෙන අවස්ථාවෙහිම ලැබෙයි, දත්වා අත්තමනො හොති යනු මේ අපර චේතනාව මතුමත්තෙහි සිහිකරන්නට ලැබෙයි, වීතරාගා යනු පහවූ රාග ඇත්තාහු, පහවූ ආශ්‍රව ඇත්තාහුයි, රාගවිනයාය වා පටිපන්නා යනු රාගය දුරු කරන පිළිවෙතට පිළිපන්නාවූයි, මේ වනාහි උත්කෘෂ්ට දේශනාවයි, හුදෙක් ක්ෂීණාශ්‍රවයන්ට පමණක් නොව අනාගාමි සකෘදාගාමි සෝවාන් බවට පත්වූවන්ට ද යටත් පිරිසෙයින් එදවස පැවිදි වූ භාණ්ඩ පිළිගන්නා හෙරණකුට වුව ද දුන් දානය ගුණාංග සයෙන් යුක්තවූයේ වෙයි, හෙතෙමේ ද සෝවාන් මාර්‍ගය සඳහාම පැවිදිවූයේයි,

        යඤ්ඤස්ස සම්පදා යනු දානය පිරිපුන් බවයි. සඤ්ඤතා යනු සීල සංවරයෙන් සන්සුන් වීමයි, සයං ආචමයිත්වාන යනු තමාම අත්පා දොවා මුව (කට) සෝදායි, සෙහි පාණීහි යනු තම අත්වලිනි, සකෙහි යනු ද පාඨයි, සද්ධො යනු තෙරුවන ගුණය අදහන්නේයි, මුත්තෙන චෙතසා යනු ලාභයෙහි මසුරුබව ආදියෙන් මිදුනු සිතෙනි, අව්‍යාපජ්ඣං සුඛං ලොකං යනු නිදුක් වූ මහත් සුව සොම්නස ඇති දෙව්ලොවයි

        AN 06-04-08. අත්තකාර පරකාර සූත්‍රය

        ඉක්බිති නාම ගොත්‍ර වශයෙන් අප්‍රසිද්‍ධ බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග (කථාවෙන්) සතුටුවූයේය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්‍රාහ්මණතෙම භාග්‍යවතුන් වහන්සේට, “භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි තමාගේ වැඩ කරන්නෙක් නැත. අනුන්ගේ වැඩ කරන්නෙක් නැතැයි. මෙසේ කියන්නෙක්මි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි” යි කීයේය.

        “මෙසේ කියන්නාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ බමුණකු නොදුටුයෙමි. නොඇසුයෙමි. තෙමේ ඉදිරියට යද්දී, තෙමේ ආපසු එද්දී, තමාගේ වැඩ කරන්නෙක් නැත, අනුන්ගේ වැඩ කරන්නෙක් නැතැයි කෙසේ නම් මෙසේ කියයිද, බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? ප්‍රථමාරම්භ වීර්‍ය්‍යයක් ඇත්තේද ?” “පින්වතුන් වහන්ස, එසේය.”

        “පටන්ගත් වීර්‍ය්‍ය ඇති පුද්ගලයන් දකින්ට ලැබෙත්දැ” යි ඇසීය. “පින්වත, එසේය”

        “බමුණ, යම් හෙයකින් පටන්ගත් වීර්‍ය්‍ය ඇති කල්හි වෑයම ඇති පුරුෂයන් පෙනෙත්ද, ඒ තෙමේ සත්ත්‍වයන් අතර තමාගේ වැඩ කරන්නෙකි. අනුන්ගේ වැඩ කරන්නෙකි.

        “බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? පටන්ගත් වීර්‍ය්‍යයට වඩා යම් වීර්‍ය්‍යයෙන්ම නික්ම වෙන ස්වභාවයක් ඇද්ද ? එසේය, පින්වත.”

        “නික්මෙන ස්වභාවයක් ඇති කල්හි නික්මෙන සත්ත්‍වයෝ පෙනෙත්ද ?” “එසේය, ස්වාමීනි.” “බමුණ යම් හෙයකින් නික්මෙන ස්වභාවයක් ඇති කල්හි නික්මෙන සත්ත්‍වයෝ පෙනෙද්ද, මේ තෙමේ සත්ත්‍වයන් අතර තමාගේ වැඩ කරන්නෙකි. අනුන්ගේ වැඩ කරන්නෙකි.

        “බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? සොයන වීර්‍ය්‍යයට වඩා යම් වීර්‍ය්‍යයෙන්ම නික්මෙන ස්වභාවයක් ඇද්ද එසේය, පින්වත.”

        “බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? බලවත් වීර්‍ය්‍යයට වඩා යම් වීර්‍ය්‍යයෙන්ම නික්මෙන ස්වභාවයක් ඇද්ද එසේය, පින්වත.”

        “බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? ස්ථිර වීර්‍ය්‍යයෙන් නික්මෙන ස්වභාවයක් ඇද්ද එසේය, පින්වත.”

        “බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? උපක්‍රම ස්වභාවයට වඩා යම් ඒ වීර්‍ය්‍යයෙන්ම නික්මෙන ස්වභාවයක් ඇද්ද එසේය, පින්වත.”

        “මම මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටියක් ඇත්තාවූ බමුණකු නොදුටුවෙමි. නොඇසුවෙමි. කෙසේ නම් තෙමේ ඉදිරියට යන්නේද, ආපසු එන්නේද, කෙසේ බොහෝ වැඩ කරන්නෙක්ද නැත්තේයයි කෙසේ කියන්නේද ?

        “භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”

        අටවැන්නෙහි අද්දසං වා අස්සොසිං වා යනු ඇස්හැර නොදුටුවෙමි, අසුවල් නම් තැන වෙසේයයි නොඇසීමි, කියන්නාගේ හෝ වචනය නොඇසීමි, කථං හි නාම යනු කවර නම් කරුණෙන්ද යනුයි, ආරම්භධාතු යනු පටන් ගැනීම් වශයෙන් පැවති වීර්යයයි, නික්ඛමධාතු යනු කුසීත බවින් නික්මෙන ස්වභාවය ඇති වීර්යයි, පරක්කමධාතු යනු පරාක්‍රම ස්වභාවයයි, ථාමධාතු යනු සවිමත් ස්වභාවයයි, ඨිතිධාතු යනු ස්ථිරව සිටීමේ (පවත්වා ගැනීමේ) ස්වභාවයයි, උපක්කමධාතු යනු උපක්‍රම ස්වභාවයයි, මේ සියල්ලම ඒ ඒ ආකාරයෙන් පැවති වීර්යයේ නම්ය.

        AN 06-04-09. කම්මනිදාන සූත්‍රය

        “මහණෙනි, කර්‍ම රැස්වීම පිණිස මේ හේතු තුනක් වෙත්.

        “කිනම් තුනක්ද යත් ? කර්‍ම රැස්වීම පිණිස ලෝභය හේතුවක් වෙයි. කර්‍ම රැස්වීම පිණිස ද්වේෂය නිදානයක් වෙයි. කර්‍ම රැස්වීම පිණිස මෝහය නිදානයක් වෙයි. මහණෙනි, ලෝභයෙන් අලෝභය පහළ නොවේ. මහණෙනි, තවද ලෝභයෙන් ලෝභයම පහළ වෙයි. මහණෙනි, ද්වේෂයෙන් අෙවෂය පහළ නොවේ. මහණෙනි, තවද ද්වේෂයෙන් ද්වේෂයම පහළ වෙයි. මහණෙනි, මෝහයෙන් අමෝහය පහළ නොවේ. මහණෙනි, නැවතද මෝහයෙන් මෝහයම පහළ වේ.

        “මහණෙනි, ලෝභයෙන් කළ කර්ර්‍මයෙන්, ද්වේෂයෙන් කළ කර්මයෙන්, මෝහයෙන් කළ කර්මයෙන් දෙවියෝ නූපදිත්. මනුෂ්‍යයෝ නූපදිත්. අන් යම්කිසි කාම ස්වර්‍ගවලද නූපදිත්. මහණෙනි, තවද ලෝභයෙන් කල කර්මයෙන්, ද්වේෂයෙන් කළ කර්මයෙන්, මෝහයෙන් කළ කර්මයෙන් නරකයෙහි උපදී. ප්‍රේත ලෝකයෙහි උපදී. යම් අන් කිසි දුගතිවල උපදී. මහණෙනි, කර්ම රැස්වීමට මේ නිදාන තුනයි.

        “මහණෙනි, කර්‍ම රැස්වීම පිණිස මේ හේතු තුනක් වෙත්.

        “කිනම් හේතු තුනක්ද යත් ? කර්ම රැස්වීම පිණිස අලෝභය හේතුවක් වෙයි. කර්මය රැස්වීම පිණිස අෙවෂය නිදානයක් වෙයි. කර්මය රැස්වීම පිණිස අමෝහය නිදානයක් වෙයි. මහණෙනි, අලෝභයෙන් ලෝභය පහළ නොවේ. මහණෙනි, අලෝභයෙන් අලෝභයම පහළ වෙයි. මහණෙනි, අෙවෂයෙන් අෙවෂයම පහළ නොවෙයි. මහණෙනි, අෙවෂයෙන් අෙවෂයම පහළ වෙයි. මහණෙනි, අමෝහයෙන් මෝහය පහළ නොවෙයි. මහණෙනි, අමෝහයෙන් අමෝහයම පහළ වෙයි.

        “මහණෙනි, තවද අලෝභයෙන් උපන් කර්‍මයෙන්, අවෂයෙන් උපන් කර්‍මයෙන්, අමෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ උපදිත්. මනුෂ්‍යයෝ උපදිත්. අන් කිසියම් සුගතීන්හි උපදියි. මහණෙනි, කර්‍ම රැස්වීමට මේ නිදාන තුනයි.”

        නවවැන්නෙහි කම්මානං යනු සංසාරගාමී කර්‍මයන්ගේයි, සමුදයාය යනු පිඬුකිරීම සඳහායි, නිදානං යනු ප්‍රත්‍යයයි, ලොභජෙන යනු ලොබින් හට ගැනීමෙනි, න පඤ්ඤායන්ති යනු මෙබඳු වූ කර්‍මයෙන් උපන්නෝයි නොදක්නා ලැබෙත්, යහපත් පැත්තෙහි කම්මානං යනු නිර්‍වාණගාමී කර්‍මයන්ගේයි, මෙසේ මේ සූත්‍රයෙහි සසර හා නිවන කියන ලදි

        AN 06-04-10. කිම්බිල පඤ්හ සූත්‍රය

        “මා විසින් මෙසේ අසන ලදී.
        එක් කාලයෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නුවර මිදෙල්ල වනයෙහි වාසය කල සේක. ඉක්බිති කිම්බිල ස්ථවිරයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය.

        “ස්වාමීනි,
        භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසු ශ්‍රී සද්‍ධර්‍මය බොහෝ කල් නොපවත්නේනම්ද
        ඊට හේතු කවරේද,
        ඊට ප්‍රත්‍යය කවරේද ?

        “කිම්බිලය,
        තථාගතයන් පිරිනිවන් පෑ පසු භික්‍ෂූහු. භික්‍ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ශාස්තාෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. ධර්‍මයෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කෙරෙත්. සංඝයා කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. ශික්‍ෂා කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. අප්‍රමාදයෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. පිළිසඳර කථාවෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්.

        “කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු යම් කරුණකින් සද්‍ධර්‍මය බොහෝ කල් නොපවතින්නේ වේද, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යය.

        “කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු භික්‍ෂූහු. භික්‍ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ශාස්තාෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. ධර්‍මයෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. සංඝයා කෙරෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. ශික්‍ෂා කෙරෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. අප්‍රමාදයෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. පිළිසඳර කථාවෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්.

        “කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු යම් කරුණකින් සද්‍ධර්‍මය බොහෝ කල් පවත්නේ වේද, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යය.

        AN 06-04-11. දාරුක්ඛන්‍ධාධි මුච්චන සූත්‍රය

        “මා විසින් මෙසේ අසන ලදී.
        එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක.
        එකල්හි දිනක් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ පෙරවරුවේ හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන භික්‍ෂූන් පිරිසක් සමග ගිජුකුළු පව්වෙන් බසින්නේ එක්තරා තැනක මහත් විසාල දැව කඳක් දුටුයේය. දැක භික්‍ෂූන්ට කථා කළහ.

        “ඇවැත්නි, මේ විසාල දැව කඳ පෙනේද ?”
        “ඇවැත්නි, එසේය.”

        ” ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ පොළොවම යයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ ජලයමයයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ ගින්නම යයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ වාතයමයයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ යහපත්යයි පෙන්වයි. ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ අයහපත්යයි පෙන්වයි.

        “ඊට හේතු කවරේද ? ඇවැත්නි, යමක් ඇසුරුකොට ඎර්ධි ඇති සිත වසඟ කෙරෙත්. භික්‍ෂුතෙම යම් අශුභයක් නිසා මේ දර කඳ අශුභයයි සිතුවේද, මේ දරකඳෙහි ඒ අශුභ ගතිය ඇත. එහෙයිනි.”

        [ චෙතොචසිප්පත්තො යනු සිතේ වශීබවට පත් වූයේයි, පඨවීතෙව අධිමුච්චෙය්‍ය යනු තදබව පඨවි ධාතුව යැයි සලකන්නේය, යං නිස්සාය යනු පවත්නා දැඩි බව ඇති යම් පඨවි ධාතුවක් නිසා මේ දැව කඳ පඨවි ධාතුවමැයි සලකන්නේය, ඒ පෘථිවිධාතුව මෙහි ඇතැයි මේ ආකාරයෙන් සෙසු පදයෝ ද දතයුත්තාහ. යම්සේ එහි දැඩි බව ඇති පෘථිවි ධාතුව ඇත්ද එසේ යුෂ (ද්‍රව) ආකාරය ඇති ආපො ධාතුව උෂ්ණාකාර වූ තෙජො ධාතුව, පැතිරීම් ආකාර ඇති වායොධාතුව රතු පැහැති සාරයෙහි නෙළුම් මලක් පැහැය ඇති සුභ ධාතුවද කුණු වූ සුණෙහි මෙන්ම ඵළයෙහි හා වියලි පොතුවල ද අසුභ ධාතුව එය ඇසුරු කොටම මේ දැවකඳ අසුභ යයි සලකන්නේය, මේ සූත්‍රයෙහි මිශ්‍රක විහාරය නම්වූ දෙය කියන ලදි.]

        AN 06-04-12. (නාගිත) යසසමාගම සූත්‍රය.

        “මා විසින් මෙසේ අසන ලදී.
        එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයක් සමග කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නේ ඉච්ඡානඞ්ගල නම් කොසොල් රටවාසීන්ගේ බමුණුගමට වැඩි සේක. භාග්‍යවතුන් වහන්සේ එහි ඉච්ඡානඞ්ගල වන ලැහැබෙහි වාසය කරණ සේක.“

        ඉච්ඡානඞ්ගල වාසී බමුණු ගෘහපතියෝ ශාක්‍යපුත්‍රවූ, ශාක්‍ය තුලයෙන් මහණවූ, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ ඉච්ඡානඞ්ගලයට වැඩියේ ඉච්ඡානඞ්ගල ගමෙහි ඉච්ඡානඞ්ගල වන ලැහැබෙහි වාසය කෙරෙත්යයි ඇසුහ. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ යහපත් කීර්ති රාවයක් පැන නැංගේය. උන්වහන්සේ දෙවියන් සහිත, මරුන් සහිත, රහතන්ගේ දැක්ම සුදුසු වන්නේය කියායි.ඉක්බිති ඉච්ඡානඞ්ගලිකවූ බමුණු ගැහැවියෝ ඒ රාත්‍රිය ඇවෑමෙන් බොහෝ කෑ යුතු, බුදිය යුතු දෑ රැගෙන ඉච්ඡානඞ්ගල වන ලැහැබට , පැමිණ, උස් හඬ, මහ හඬ ඇතිව දොරටුවෙන් පිට පියස්ස යට සිටියාහුය.

        ඒ කාලයෙහි ආයුෂ්මත් නාගිත ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකයා විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිත තෙරුන්ට, “නාගිතය, මසුන් අල්ලන කේවට්ටයින්ගේ වැනි ඒ උස් හඬ, මහ හඬ කුමක්දැ” යි ඇසූ සේක.
        “ස්වාමීනි, මේ ඉච්ඡානඞ්ගලයෙහි බ්‍රාහ්මණ ගෘහපතියෝ භාග්‍යවතුන් වහන්සේටද, භික්‍ෂු සංඝයාටද, බොහෝ අනුභව කළ යුතු, බුදිය යුතු දේ රැගෙන දොරටුවෙන් පිට පියස්ස යට සිටියාහුය.”

        “නාගිතය, යසස සමග මම එක්වීමක් නැත. මා සමග යසස එක්වන්නේත් නැත. නාගිතය, යම් කෙනෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සැපය, උසස් විවේක සැපය, සන්සුන් සැපය, නිවන් සැපය, පහසුවෙන් නොලබන්නේද, නිදුකින් නොලබන්නේද, මම ඒ යම් නෛෂ්ක්‍රම්‍ය සැපයක්, උසස් විවේක සැපයක්, සන්සුන් සැපයක්, නිවන් සැපයක් පහසුවෙන් ලබන්නේ වෙමි. නිදුකින් ලබන්නේ වෙමි. හෙතෙම ඒ (ලෝකයා විසින් දෙන) අපවිත්‍ර, නිදිබර ලාභ සත්කාර කීර්ති සැපය ඉවසන්නේය” යි වදාළ සේක.

        “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් යමකින් යමකින්ම කල්ගත කරන්නේද, බමුණු ගෘහපතියෝද, නියම්ගම් දනවු වැස්සෝද ඊට නැමුනාහු වෙත්. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් ඉවසාවා. සුගතයන් වහන්සේ ඉවසාවා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට දැන් පිළිගැනීමට කල්ය

        .‘ස්වාමීනි, යම් සේ ලොකු වැසි බින්දු ඇති වර්ෂාව වසින කල්හි බෑවුම අනුව ජලය යත්ද, ස්වාමීනි, එසේම යමකින් යමකින්ම භාග්‍යවතුන් වහන්සේ යැපෙයිද. බමුණු ගෘහපතියෝද, නියම්ගම් දනවු වැස්සෝද ඊට නැමුනාහුම වෙත්.

        ඊට හේතු කවරේද, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශීලයෙන් ප්‍රකටවීම එසේමය. නාගිතය, යසස සමග මම එක්වීමක් නැත මා සමග යසස එක්වන්නෙත් නැත. නාගිතය, යම් කෙනෙක් මේ නෛෂ්ක්‍රම්‍ය සැපය, උසස් විවේක සැපය, සන්සුන් සැපය, නිවන් සැපය පහසුවෙන් නොලබන්නේද, දුකින් ලබන්නේද, මම ඒ යම් නෛෂ්ක්‍රම්‍ය සැපයක්, උසස් විවේක සැපයක්, සන්සුන් සැපයක්, නිවන් සැපයක් පහසුවෙන් ලබන්නේ වෙමි. නිදුකින් ලබන්නේ වෙමි. හෙතෙම ඒ (ලෝකය විසින් දෙන) අපවිත්‍ර. නිදිබර ලාභ සත්කාර කීර්ති සැපය ඉවසන්නේය” යි වදාළ සේක. නාගිතය,

        මම ගමෙහි වාසය කරණ සමාධිගත සිත් ඇතිව සිටින භික්‍ෂුවක් දකිමි. නාගිතය, දැන් මේ ආයුෂ්මතුන් ආරාමයෙහි සිටින්නෙක් හෝ සාමණේර නමක් හෝ නැගිටුවන්නේය. ඒ සමාධියෙන් ඔහු මුදවන්නේයයි ඒ මට මෙසේ සිතක් වෙයි. නාගිතය, ඒ කාරණයෙන් මම ඒ භික්‍ෂුවගේ අරණ්‍යවාසය කැමති නොවෙමි.“නාගිතය, අරණ්‍යවාසීවූ, අරණ්‍යයෙහි නිදීමෙන් සිටි භික්‍ෂුවක් දකිමි. නාගිතය, දැන් මේ ආයුෂ්මත් තෙමේ, ‘මේ නිදි ක්ලාන්ත ගතිය දුරුකොට අරණ්‍යය යන හැඟීමම, එකඟ බවම මෙනෙහි කරන්නේය’ යි ඒ මට මේ සිත වේ.

        නාගිතය, ඒ කාරණයෙන් ඒ මහණහට අරණ්‍යයෙහි වාසයෙන් සතුටුවෙමි. නාගිතය, මම මේ ලොවෙහි අරණ්‍යවාසීවූ, අරණ්‍ය යෙහි සිත එකඟනොව සිටියාවූ භික්‍ෂුවක් දකිමි. නාගිතය, ‘ඒ මට දැන් මේ ආයුෂ්මත්තෙමේ එකඟනොවූ සිත එකඟ කරන්නේය. එකඟවූ සිත ආරක්‍ෂා කරන්නේය’ යි මෙසේ සිතක් වෙයි. නාගිතය, ඒ කරණකොට ගෙන මම ඒ මහණහට අරණ්‍යයෙහි විසීමෙන් සතුටුවෙමි. නාගිතය, මෙහි මම අරණ්‍යවාසීවූ, අරණ්‍යයෙහි සිත එකඟකර සිටි භික්‍ෂුවක් දකිමි. නාගිතය, දැන් මේ ආයුෂ්මත් තෙමේ, ‘කෙලෙසුන්ගෙන් නොමිදුනු සිත, කෙලෙසුන්ගෙන් මුදන්නේය. මිදුනු සිත රකින්නේය’ යි මෙබඳු සිතක් වෙයි. නාගිතය, ඒ කරණකොටගෙන මම ඒ භික්‍ෂුවගේ අරණ්‍ය වාසයෙන් සතුටුවෙමි.

        “නාගිතය, මම මෙහි ගමෙහි වාසයකරණ, සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩු ලබන්නාවූ භික්‍ෂුවක් දකිමි. හෙතෙම ඒ ලාභ, සත්කාර, කීර්ති, බලාපොරොත්තුවෙමින් විවේකය අත්හරියි. අරණ්‍යයෙහි වනයෙහිවූ ඈත සෙනසුන් අත්හරියි. ගම් නියම්ගම් රාජධානිවලට බැස වාසය කරයි. නාගිතය, මම ඒ භික්‍ෂුවගේ ගමෙහි වාසය කිරීමෙන් සතුටු නොවෙමි. නාගිතය, මෙහි අරණ්‍යයෙහිවූ, සිවුරු, පිණ්ඩපාත, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් බඩු ලබන්නාවූ භික්‍ෂුවක් දකිමි. හෙතෙම ඒ ලාභ, සත්කාර, කීර්තියට, සතුටුවී විවේකය අත් නොහරියි. අරණ්‍යයෙහි (වනයෙහි) පිහිටි ඈත සෙනසුන් අත් නොහරියි. නාගිතය, ඒ හේතුවෙන් මම ඒ භික්‍ෂුවගේ අරණ්‍යයෙහි විසීමෙන් සතුටුවෙමි. නාගිතය, යම් කාලයෙක්හි මම දීර්‍ඝ මාර්‍ගයට බැස්සේ ඉදිරිපිටින් හෝ පසුපසින් හෝ කිසිවෙකු නොදක්නේ නම් නාගිතය, ඒ කාලයෙහි මට යටත් පිරිසෙයින් මළ මූත්‍ර පහ කිරීමට පවා පහසුය” යි වදාළ සේක

        [ගාමන්තවිහාරිං යනු ග්‍රාමාන්ත සෙනසුන් වැසිවූයි, සමාහිතං නිසින්නං යනු ඒ ග්‍රාමාන්ත සෙනසුනෙහි සමාධිය නංවා හුන්නාවූයි, ඉදානිමං යනු දැන් මෙයයි, සමාධිම්භා චාචෙස්සති යනු සමාධියෙන් නැඟී සිටින්නේය, න අත්තමනො හොමි යනු ස්වකීය මනස ඇත්තේ නොවෙමි, පචලායමානං යනු නිදන්නාවූයි, එකත්තං යනු එකස්වභාවයයි, එකඟ බවට පත්වූයි, අරණ්‍ය සංඥාවම සිතෙහි කරන්නේ යයි අරුත්ය, අනුරඛිස්සති යනු අනුග්‍රහ කරන්නේය, අවිමුත්තං වා චිත්තං විමොචෙස්සති යනු අන්කල්හි නොමිදුනු සිත දැන් පස් විමුක්තීන්ගෙන් මුදන්නේය, රිඤ්චති යනු අත්හරියි දුරු කරයි, පටිපණාමෙත්වා යනු ඉවත්කොට දුරුකොටයි, උච්චාරපස්සාවකම්මාය යනු මළමූ පහකිරීම සඳහාය, මෙයින් මෙපමණ තැනකින් ශාස්තෲන් වහන්සේ විසින් අරණ්‍ය සේනාසනයේ ගුණය කියන ලදි, සුත්‍රයේ පළමු කොටසෙහි යමක් කිවයුතුද එය යට කියන ලද්දේමය.]


        ...more
        View all episodesView all episodes
        Download on the App Store

        SINHALA TIPITAKABy