SINHALA TIPITAKA

AN 07-03


Listen Later

AN 07-03-01. සාරන්‍දද අපරිහානිය සූත්‍රය
AN 07-03-02. වස්සකාර /වජ්ජි අපරිහානිය සූත්‍රය
AN 07-03-03. පඨම සත්තක භික්ඛු අපරිහානිය සූත්‍රය
AN 07-03-04. දුතිය භික්ඛු අපරිහානිය සූත්‍රය
AN 07-03-05.  තතිය භික්ඛු අපරිහානිය සූත්‍රය
AN 07-03-06. බොජ්ඣඞ්ග සුත්‍රය 
AN 07-03-07. සඤ්ඤා සුත්‍රය
AN 07-03-08.  සෙඛ පරිහානිය ධම්ම සූත්‍රය
AN 07-03-09. උපාසක පරිහානිය ධම්ම සූත්‍රය
AN 07-03-10. විපත්ති / උපාසක පරාභව ධම්ම සූත්‍රය
AN 07-03-11. පරාභව/ උපාසක විපත්ති ධම්ම සූත්‍රය

AN 07-03-01. සාරන්‍දද අපරිහානිය සූත්‍රය

[සාරන්දදෙ චෙතියෙ යනු මෙසේ නම් ඇති විහාරයෙහියි, තථාගතයන් වහන්සේ එළැඹි කල්හි එහි සාරන්දද යක්ෂයාගේ නිවාස ස්ථානය චෛත්‍යයක් වූයේය, ඉක්බිති මෙහි භාග්‍යවතුන් වහන්සේට වෙහෙරක් කරවූහ. එය සාරන්දද චෙතියයි ප්‍රසිද්ධියට ගියේය.]

1. “මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර සමීපයෙහි වූ සාරන්‍දද නම් චෛත්‍ය ස්ථානයෙහි වැඩවාසය කරණ සේක. එකල්හි බොහෝ ලිච්ඡවිවරු භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පසෙක සිටියහ. එසේ සිටියාවූ ඒ ලිච්ඡවිවරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ලිච්ඡවීනි, තොපට සප්ත අපරිහානීය ධර්මයන් දේශනා කරන්නෙමි.
එය අසව්. මනාකොට මතකයේ තබා ගනිව්. දේශනා කරන්නෙමි.” යි (වදාළ සේක.)
“එසේය, ස්වාමීනි,” යි ඒ ලිච්ඡවිවරු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“ලිච්ඡවීනි, සප්ත අපරිහානිය ධර්මයෝ කවරහුද?
(1). තොප නිතර නිතර රැස්වෙත්ද, රැස්වීම් නීති පතා ඇත්තෝද, ලිච්ඡවීනි, තොපගේ අභිවෘද්ධියම සිදු වේ.. පිරිහීමක් නොවේ.

(2). “තොප සමගිව රැස්වෙත්ද, සමගිව නැගිටිත්ද, සමගිව කටයුතු දේ කෙරෙද්ද ලිච්ඡවීනි, වජ්ජීන්ගේ තොපගේ අභිවෘද්ධියම සිදු වේ.. පිරිහීමක් නොවේ.

සමග්ගා යනාදියෙහි රැස්වීම් දන්වන බෙර හඬ නික්මුණු විට අද අපට වැඩක් ඇත. මඞගල්‍යයක් ඇතැයි වියවුල් බවක් කරමින් සමඟියෙන් රැස් නොවෙත් නමි, බෙරහඬ අසාම බුදිනු ලබන්නෝ ද සැරසෙන්නාහු ද ඇඳුම් අඳින්නාහු ද අඩක් අනුභව කළෝ ද අඩක් සැරසුණාහු ද ඇඳුම් හඳිමින්ම රැස්වන්නාහු සමගියෙන් රැස්වෙති නමි, රැස් වූවාහු සිතා මතා කළයුත්ත කොට එක්ව නොනැඟිටින්නාහු සමඟියෙන් නොනැඟීසිටිත් නමි, මෙසේ නැගිටි කල්හිද, යමෙක් පළමුව යත්ද ඔවුන්ට මෙසේ අදහස් වෙයි. “අප විසින් බැහැර කථාම අසන ලදි. දැන් තීරණාත්මක කථාව වන්නේය”.

එක්ව නැඟී සිටින්නාහු වනාහි සමඟියෙන් නැඟී සිටිත් නමි, තවද අසුවල් තැන ගම්සීමාව හෝ නියම්ගම් සීමාව වියවුල්ය, සොරු හෝ නැඟී සිටියාහුයි අසා කවරෙක් ගොස් සතුරන් මැඬීම කරන්නේදැයි කී කල්හි පළමුව මමයි පළමුව මමයි කියා යන්නාහු ද සමඟියෙන් නැඟී සිටිත් නමි. කෙනෙකුගේ කටයුත්තක් ඇතිවිට සෙස්සෝ පුතුන් සොහොයුරන් යවා ඔහුගේ කටයුත්තට උදවුවන්නාහු ද අසවලාගේ ගෙට යන්න අසවලාගේ ගෙට යන්නැයි නොකියා සියල්ලෝ එක්ව ආගන්තුක රජවරුනට සලකන්නාහුද එකෙකුට මඟුලක් හෝ අසනීපයක් හෝ එබඳු වෙන යම්කිසි සුවදුක් ඇතිවිට සියල්ලෝ එහි සහාය බවට යන්නාහු ද සමඟියෙන් වජ්ජීන්ගේ කටයුතු කරත් නමි.]

(3). “ලිච්ඡවීනි,
නොපැණවූ නීති අන පනත් නොපණවද්ද,
පැවූදේ නොසිඳිද්ද,
පණවන ලද පුරාණ වජ්ජි ධර්මයන් සමාදන්ව වෙසෙද්ද,
ලිච්ඡවීනි, තොපගේ අභිවෘද්ධියම සිදු වේ..
පිරිහීමක් නොවේ.

(4). “ලිච්ඡවීනි,
වැඩි මහලු, වෘද්ධ මහල්ලන්ට සත්කාර කෙරෙද්ද,
ගරු කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද,
ඔවුන්ගේ මතය අවවාද ඇසිය යුතුයැයි සිතද්ද,
ලිච්ඡවීනි, තොපගේ අභිවෘද්ධිය වෙයි.
පිරිහීමක් නොවේ.

(5). “ලිච්ඡවීනි,
කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට
බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවද්ද
ලිච්ඡවීනි,තොපගේ අභිවෘද්ධියම සිදු වේ..
පිරිහීමක් නොවේ.  

(6). “ ලිච්ඡවීනි,
තොප රාජ්‍යය තුල අභ්‍යන්තරවූද,
රාජ්‍යයට පිටින් බාහිරවූද,
චෛත්‍යයයන්ට සත්කාර කෙරෙද්ද,
ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද,
පුදද්ද, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙළද්ද,
ලිච්ඡවීනි, තොපගේ අභිවෘද්ධියම සිදු වේ..
පිරිහීමක් නොවේ.

(7). “ලිච්ඡවීනි,
රහතුන් වහන්සේලා විජිතයට පැමිණියාහුද,
පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුද
ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන්නේද,
ලිච්ඡවීනි, තොපගේ අභිවෘද්ධියම සිදු වේ.. පිරිහීමක් නොවේ.

“ ලිච්ඡවීනි,
මේ සප්ත අපරිහාණීය ධර්මයෝ තොප පිලිපදීත්ද,
මේ සප්ත අපරිහාණීය ධර්මයන්හි තොප යෙදෙනු පෙණෙද්ද,
ලිච්ඡවීනි, තොපගේ අභිවෘද්ධියම සිදු වේ..
පිරිහීමක් නොවේ.”

AN 07-03-02. වස්සකාර සුත්‍රය
  / වජ්ජිඅපරිහානිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජිකුළු පව්වෙහි වැඩ වාසය කරණ සේක. එකල්හි විදේහරට අජාසත් නම් මගධ රජ වජ්ජින්ට විරුද්ධව යුද්‍ධ කොට වජ්ජිරට අල්ලා ගන්නට කැමතිවූයේ නිතර මෙසේ පැවසීය.

“මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි” යනුයි.

[ආභියාතුකාමො යනු මැඬ පැවැත්වීම සඳහා යනු කැමැත්තේයි: වජ්ජි යනු වජ්ජිරට ලිච්චවි රජවරුයි. එවං මහිද්ධිකො යනු මෙබඳු වූ මහත් රාජ සෘද්ධියකින් යුක්තවූයේයි, එයින් මොවුන්ගේ සමඟිබව කියයි, එවං මහානුභාවො යනු මෙබඳු වූ මහත් රාජානුභාවයකින් යුක්ත වූයේයි. එයින් මොවුන්ගේ හස්ති ශිල්පාදියෙහි කළ පුහුණුව කියයි. “යම්සේ නම් සියුම් යතුරු සිදුරෙන් ඊතලයෙන් ඊතලය නොවළහා යවන්නහුද එසේ මේ ලිච්ඡවි කුමාරවරු ඒකාන්තයෙන්ම හික්මුණහ. මනාව හික්මුණහ”යි එහෙයින් කියන ලදි. උච්ඡෙච්ඡාමි යනු සිඳින්නෙමියි, විනාස්සෙසාමි යනු නොපෙනෙන බවට යවන්නෙමියි, අනයව්‍යසනං යනු අවැඩ ද ඥාති විනාශය ද යනුයි, ආපාදෙස්සාමි යනු පමුණුවන්නෙමියි,]

ඉක්බිති අජාසත් මගධ රජ මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා ඇමතුවේය.
‘බ්‍රාහ්මණය, නුඹ . භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳුව. නීරෝගීබව, ආබාධ නැති බව, අඩුපාඩු, සැප විහරණ විචාරව. ‘ස්වාමීනි, විදේහ රට වැසි දේවියගේ පුත් අජාසත් නම් මගධ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් හිසින් වඳියි. නීරෝගී බව, ආබාධ නැති බව, අඩුපාඩු, සැප විහරණයන් විචාරන්නේය’ යනුයි.

මෙසේද කියව.
‘ස්වාමීනි, අජාසත් රජ වජ්ජින්ට විරුද්‍ධව යුද්‍ධයට යනු කැමැත්තේ හෙතෙම මෙසේ කීය. “මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි” යනුයි.

‘යම් සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරත්ද, එය මනාව ඉගෙණ ගෙන අවුත් මට දන්වව. තථාගතයන් වහන්සේ සිදු නොවන්නක් දේශනා නොකරයි.’ යනුයි.

“එසේය ස්වාමීනි’ යි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා අජාසත් රජුට පිළිවදන් දී අස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු පිළිසඳර කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය.

“භවත් ගෞතමයන් වහන්ස, විදේහරට වැසි දේවියගේ පුත් අජාසත් නම් මගධ රජ තෙම භවත් ගෞතමයන් වහන්සේගේ පාදයන් හිසින් වඳියි. ‘සුළු ආබාධ, සුළු අසනීප, අඩුපාඩු, සැප විහරණ විචාරයි.’ මෙසේද කියයි. “භවත් ගෞතමයන් වහන්ස, වජ්ජින්ට විරුද්‍ධව යුද්‍ධයට යනු කැමැත්තේ හෙතෙම මෙසේ කීයේය. “මෙසේ මහර්ධිය ඇති, මහානුභාව ඇති වජ්ජින් මම විනාශ කරන්නෙමි. සිඳ දමන්නෙමි. මුලිනුපුටන්නෙමි. වජ්ජින්ට ව්‍යසන, විපත්ති පමුණුවන්නෙමි” යනුයි.

“එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් භාග්‍යවතුන් වහන්සේ පිටුපසින්, භාග්‍යවතුන් වහන්සේට පවන් සලමින් සිටියේ වෙයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ ඇමතූසේක.

(1).“ ආනන්‍දය,
වජ්ජීහු නිතර නිතර එක්රැස් වන්නේද?
රැස්වීම බහුලකොට කරන්නේදැයි තොප අසන ලද්දේද?” යනුයි.

“ස්වාමීනි, වජ්ජීහු නිතර එක්රැස් වූවාහු එක්රැස්වීම බහුලකොට ඇත්තාහුයයි අසන ලදී”
“ආනන්‍දය, වජ්ජීහු රැස්වීම බහුලකොට ඇත්තාහු, නිතර රැස්වූවෝ වන්නාහුද වජ්ජීන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.

(2). “ආනන්‍දය,
වජ්ජීහු සමගිව රැස්වෙද්ද, සමගිව විසිර යත්ද,
සමගිව කටයුතු දේ කෙරේදැයි අසන ලද්දේද?” යනුයි.
“ස්වාමීනි, වජ්ජීහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගිටිත්ද, සමගිව කටයුතු කෙරෙත්දැයි අසනලදී.” “ආනන්‍දය, වජ්ජීහු සමගිව රැස්වෙත්ද, සමගිව නැගිටිත්ද, සමගිව කටයුතු කෙරෙත්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.

(3). “කිමෙක්ද? ආනන්‍දය, වජ්ජීහු නොපැනවූවක් නොපණවද්ද,
පැනවූදේ නොසිඳිද්ද,
යම්සේ පනවන ලද පුරාණ වජ්ජි ධර්‍මයන් සමාදන්ව වෙසේදැයි අසන ලද්දේද?” යනුයි.
“ස්වාමීනි,
වජ්ජීහු නොපැනවූවක් නොපණවත්, පැනවූදේ නොසිඳිත්, යම්සේ පනවන ලද පුරාණ වජ්ජි ධර්‍මයන් සමාදන්ව වෙසෙත්යයි අසන ලදී.”
“ආනන්‍දය, වජ්ජීහු නොපැණවූවක් නොපණවද්ද, පැනවූදේ නොසිඳිද්ද, යම්සේ පනවන ලද පුරාණ වජ්ජි ධර්‍මයන් සමාදන්ව වෙසෙද්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.

(4). “ ආනන්‍දය,
වජ්ජීහු වෘද්ධවූ මහලු වූවන්ට සත්කාර කෙරෙත්ද, ගරුකාර කෙරෙත්ද, බහුමාන කෙරෙත්ද, පුදත්ද, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතත්දැයි අසන ලද්දේද?” යනුයි.
“ස්වාමීනි,
වජ්ජීහු වෘද්ධවූ මහලු වූවන්ට සත්කාර කෙරෙත්, ගරුකාර කෙරෙත්, බහුමාන කෙරෙත්, පුදත්, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතත්යයි අසන ලදී.”
“ආනන්‍දය, වජ්ජීහු වෘද්ධවූ මහලු වූවන්ට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඔවුන්ගේද ඇසිය යුත්තක් ඇතැයි සිතද්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි..

(5). “ ආනන්‍දය, වජ්ජීහු කුලස්ත්‍රීහු කුලකුමාරීහු ඇද්ද, ඔවුන් හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවද්දැයි අසනලද්දේද?” යනුයි.
“ස්වාමීනි,
වජ්ජීහු කුලස්ත්‍රීහු කුලකුමාරීහුනට හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය කරවතියි නොඅසන ලදී.”
“ආනන්‍දය, වජ්ජීහු කුලස්ත්‍රීහු කුලකුමාරීහුනට හිංසාකොට බලහත්කාරයෙන් ගෙන වාසය නොකරවත්ද වජ්ජීන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි..

“ ආනන්‍දය, වජ්ජීහු සිය රාජ්‍ය තුල වුද, බාහිරවූද, චෛත්‍යයනට , සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙළද්දැයි අසන ලද්දේද,” යනුයි.
“ස්වාමීනි,
වජ්ජීහු ඔවුන්ගේ යම් ඒ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙත්, ගරුකාර කෙරෙත්, බහුමාන කෙරෙත්, පුදත්, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙලත්යයි අසන ලදී.”
“ආනන්‍දය, වජ්ජීහු ඔවුන්ගේ අභ්‍යන්තරවූද, බාහිරවූද, වජ්ජිචෛත්‍යයෝ ඇද්ද, ඒවාට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද, ඒවාට පෙර දුන්, පෙර කළ, පුද.නොපිරිහෙළද්ද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.

“ ආනන්‍දය, වජ්ජීහු වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුදැයි ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේදැයි අසනලද්දේද?” යනුයි.

“ස්වාමීනි, වජ්ජීහු වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුය. ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේයයි අසන ලදී.”

“ආනන්‍දය, වජ්ජීහු වජ්ජින්ගේ රහතුන් වහන්සේලා කෙරෙහි කවර හෙයකින් නොපැමිණි රහත්හු විජිතයට පැමිණියාහුද, පැමිණි රහත්හු විජිතයෙහි පහසුවෙන් වාසය කරන්නාහුදැයි ධාර්මික ආරක්‍ෂාව මනාකොට පිහිටුවන ලද්දේ වේද, වජ්ජීන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි. පිරිහීමක් නොවේ.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා ඇමතූ සේක.

‘බ්‍රාහ්මණය,
මම එක්තරා කාලයක විශාලා නුවර ආසන්නයෙහි වූ සාරන්දද නම් චෛත්‍ය ස්ථානයෙහි විසීමි. එහිදී මම වජ්ජීන්ට මේ අපරිහානිය ධර්මයන් දේශනා කළෙමි. බ්‍රාහ්මණය යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්මයෝ වජ්ජීන් කෙරෙහි පිහිටත්ද, මේ අපරිහානිය ධර්‍මයන් කෙරෙහි වජ්ජීහු ගරුකොට සලකද්ද, බ්‍රාහ්මණය, වජ්ජීන්ගේ අභිවෘද්‍ධිය ම සිද්ධ වේ. පිරිහීමක් නොවේ.”

“මෙසේ දේශනාකළ කල්හි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
“භවත් ගෞතමයන් වහන්ස, එකක් නමුදු මේ අපරිහානිය ධර්‍මයකින් යුක්තවූ වජ්ජීන්ගේ අභිවෘද්‍ධියම බලාපොරොත්තු විය යුතුය. පිරිහීමක් නොවේ. අපරිහානිය ධර්ම සතින්ම යුක්ත නම් කියනුම කවරේද?

“භවත් ගෞතමයන් වහන්ස, විදේහ දේවියගේ පුත්‍රවූ අජාසත් නම් මගධ රජු විසින් චාටු බස් කියා පෙළඹවීමෙන් හෝ ඔවුනොවුන් බිඳවීමකින් හෝ මිස වජ්ජීන් සමග යුද නොකට යුතුය. භවත් ගෞතමයන් වහන්ස, දැන් අපි යන්නෙමු. බොහෝ වැඩ, බොහෝ කටයුතු දේ ඇත.”

“බ්‍රාහ්මණය, ඔබ එයට දැන් කාලය දැනගත්තෙහිය.”
ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව අනුමෝදන්ව හුනස්නෙන් නැගිට පිටව ගියේය.”

AN 07-03-03. පඨම භික්ඛු අපරිහානිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
“මහණෙනි,
තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි.
එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.”
“එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

“මහණෙනි, සප්ත අපරිහානිය ධර්‍මයෝ කවරහුද?

මහණෙනි,
යම්තාක් භික්‍ෂූහු රැස්වීම් බහුලකොට ඇත්තාහු රැස්වෙද්ද
මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.

[අභිණ්හං යනු මෙය වජ්ජි සප්තකයෙහි කියන ලද්දට සමානමැයි, මෙහි ද නිතර රැස්නොවන්නාහු ඒ ඒ පෙදෙස්වලින් පැමිණි පණිවිඩ (තොරතුරු) නොඅසත්. එයින් අසුවල් විහාර සීමාව අවුල්ය, පෙහෙවස් පවුරුණු සිටියේය. අසුවල් තැන භික්ෂුහු වෙදකම් දූතකම් ආදිය කරති. විඤ්ඤත්ති බහුලව (සිවුරු පිරිකර ආදිය සඳහා හැඟවීම් කරමින්) මල්දීම් ආදියෙන් දිවිගෙවති යනාදිය නොදනිත්. ඒ පවිටු භික්ෂුහු ද සංඝයා ප්‍රමාදයෙහි යෙදුනෝයි දැන මුළුමුළුව සසුන පිරිහෙලත්. නිතර රැස්වන්නාහු ඒ ඒ පුවත් අසත්. එමගින් භික්ෂු සංඝයා යවා සීමාව සෘජු කරති. පොහෝ පවුරුණු පවත්වති. වැරදි දිවි පැවතුම් ඇත්තන් වැඩි තැන්වලට අරියවංසය දන්නවුන් යවා අරියවංසය කියවති. පවිටු භික්ෂූන්ට විනයධරයන් ලවා නිග්‍රහ කරවති. පවිටු භික්ෂුහු ද සංඝයා අප්‍රමාදයයි දැන අපට වග බැඳ ගෙන හැසිරෙන්නට නොහැකැයි වෙන්ව යති. මෙසේ මෙහි වැඩ අවැඩ දතයුතුය.]

“මහණෙනි,
යම්තාක් භික්‍ෂූහු සමගිව රැස්වෙද්ද,
සමගිව නැගීසිටිද්ද, සමගිව සංඝයා පිළිබඳ කටයුතු කෙරෙද්ද,
මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.
පිරිහීමක් නොවේ.

[සමග්ගා යනාදියෙහි චෛත්‍ය පිළිදැගුම් කිරීම සඳහා හෝ බෝධිඝර උපොසථාගාර වැසීම සඳහා හෝ කතිකාවතක් හෝ තබනු කැමැත්තෙන් සංඝයා රැස්වේවායි බෙරය හෝ තැටිය ගැසූ පමණින් මට සිවුරු වැඩක් ඇත. මගේ පාත්‍රය පිසිය යුතුය, මට නවකම් ඇතැයි වික්ෂෙප කරන්නේ සමඟියෙන් රැස් නොවෙති නමි. ඒ සියලු කටයුතු තබා මම පළමුව මම පළමුවයයි එක්විටම රැස්වන්නාහු සිතාමතා කටයුතු කොට නොනැගිටින්නාහු සමඟිව නැඟී නොසිටිත් නමි. මෙසේ නැඟී සිටියවුන් අතුරින් යමෙක් පළමුව යත්ද ඔවුනට අප විසින් බැහැරි කථාවම අසන ලදි. දැන් විනිශ්චය කථාව වන්නේයයි මෙසේ අදහස් වෙයි. එකවිටම නැගීසිටින්නාහු වනාහි සමඟියෙන් නැඟීසිටිත් නමි. තවද අසුවල් තැන විහාර සීමාව අවුල්ය, පොහෝ පවුරුණු නැවතිණ. අසුවල් තැන වෙදකම් ආදිය කරන පවිටු භික්ෂූහු වැඩියයි දැන කවරෙක් ගොස් ඔවුනට කරන්නේදැයි කීකල්හි මම පළමුව මම පළමුවයි කියා යන්නාහු ද සමඟියෙන් නැඟී සිටිත් නමි .

“මහණෙනි,
භික්‍ෂුහු නොපැණවූවක් නොපණවද්ද, පැණවූදේ නොබිඳිද්ද,
පණවන ලද ශික්‍ෂා පදයන් සමාදන්ව සිටිද්ද,
මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.
පිරිහීමක් නොවේ.

අපඤ්ඤත්තං යනාදියෙහි අලුත් අදැහැමි කතිකාවතක් හෝ ශික්ෂා පදයක් හෝ පිළිගන්නාහු නොපැනවූවක් පනවත් නමි. පුරාණ සත්ථත කථාවස්තුවෙහි සැවතෙහි භික්ෂුහු මෙනි. ධර්‍මවිරෝධී විනය විරෝධී සසුනක් මතුකොට දක්වන්නාහු පැනවුණු දේ සිඳිත් නමි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී අවුරුදු සියයක් ගියකල විශාලාවෙහි වජ්ජිපුත්තක භික්ෂූන් මෙන් කුඩා අනුකුඩා ඇවැත් දැන දැන ඉක්මවන්නාහු පැනවුණු සිකපදයන්ට අනුව සමාදන්ව නොපවතිත් නමි. අස්සජී පුනබ්බසුකයන් මෙනි. එසේ නොකරන්නාහු නොපැනවූවක් නොපනවත්, පැනවූවක් නොසිඳිත්. පැනවුණු සිකපද අනුව සමාදන්ව පවතිත් නමි. ආයුෂ්මත් උපසේන මෙනි, ආයුෂ්මත් යස කාකණ්ඩපුත්ත මෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප මෙනි. වුද්ධියෙව යනු ශීලාදිගුණයෙන් අභිවෘද්ධියක්මය, පරිහානියක් නොවේ.

“මහණෙනි,
භික්‍ෂුහු පැවිදිව බොහෝකල්වූ, බොහෝ වස් පිරුනාවු, සඞ්ඝ පීතෘවරු, සඞ්ඝ නායකවරුනට සත්කාර කෙරෙද්ද, ගරුකාර කෙරෙද්ද, බහුමාන කෙරෙද්ද, පුදද්ද? උන්වහන්සේලාගෙන් ඇසිය යුත්තක් ඇතැයි සිතත්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි. පිරිහීමක් නොවේ.

[අභිණ්හං යනු මෙය වජ්ජි සප්තකයෙහි කියන ලද්දට සමානමැයි, මෙහි ද නිතර රැස්නොවන්නාහු ඒ ඒ පෙදෙස්වලින් පැමිණි පණිවිඩ (තොරතුරු) නොඅසත්. එයින් අසුවල් විහාර සීමාව අවුල්ය, පෙහෙවස් පවුරුණු සිටියේය. අසුවල් තැන භික්ෂුහු වෙදකම් දූතකම් ආදිය කරති. විඤ්ඤත්ති බහුලව (සිවුරු පිරිකර ආදිය සඳහා හැඟවීම් කරමින්) මල්දීම් ආදියෙන් දිවිගෙවති යනාදිය නොදනිත්. ඒ පවිටු භික්ෂුහු ද සංඝයා ප්‍රමාදයෙහි යෙදුනෝයි දැන මුළුමුළුව සසුන පිරිහෙලත්. නිතර රැස්වන්නාහු ඒ ඒ පුවත් අසත්. එමගින් භික්ෂු සංඝයා යවා සීමාව සෘජු කරති. පොහෝ පවුරුණු පවත්වති. වැරදි දිවි පැවතුම් ඇත්තන් වැඩි තැන්වලට අරියවංසය දන්නවුන් යවා අරියවංසය කියවති. පවිටු භික්ෂූන්ට විනයධරයන් ලවා නිග්‍රහ කරවති. පවිටු භික්ෂුහු ද සංඝයා අප්‍රමාදයයි දැන අපට වග බැඳ ගෙන හැසිරෙන්නට නොහැකැයි වෙන්ව යති. මෙසේ මෙහි වැඩ අවැඩ දතයුතුය.]

“මහණෙනි,
භික්‍ෂුහු උපන්නාවූ, නැවත භවයක් ඇතිකරන්නාවූ තෘෂ්ණාවට වසඟ නොවෙද්ද,
මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි. පිරිහීමක් නොවේ.

[සමග්ගා යනාදියෙහි චෛත්‍ය පිළිදැගුම් කිරීම සඳහා හෝ බෝධිඝර උපොසථාගාර වැසීම සඳහා හෝ කතිකාවතක් හෝ තබනු කැමැත්තෙන් සංඝයා රැස්වේවායි බෙරය හෝ තැටිය ගැසූ පමණින් මට සිවුරු වැඩක් ඇත. මගේ පාත්‍රය පිසිය යුතුය, මට නවකම් ඇතැයි වික්ෂෙප කරන්නේ සමඟියෙන් රැස් නොවෙති නමි. ඒ සියලු කටයුතු තබා මම පළමුව මම පළමුවයයි එක්විටම රැස්වන්නාහු සිතාමතා කටයුතු කොට නොනැගිටින්නාහු සමඟිව නැඟී නොසිටිත් නමි. මෙසේ නැඟී සිටියවුන් අතුරින් යමෙක් පළමුව යත්ද ඔවුනට අප විසින් බැහැරි කථාවම අසන ලදි. දැන් විනිශ්චය කථාව වන්නේයයි මෙසේ අදහස් වෙයි. එකවිටම නැගීසිටින්නාහු වනාහි සමඟියෙන් නැඟීසිටිත් නමි. තවද අසුවල් තැන විහාර සීමාව අවුල්ය, පොහෝ පවුරුණු නැවතිණ. අසුවල් තැන වෙදකම් ආදිය කරන පවිටු භික්ෂූහු වැඩියයි දැන කවරෙක් ගොස් ඔවුනට කරන්නේදැයි කීකල්හි මම පළමුව මම පළමුවයි කියා යන්නාහු ද සමඟියෙන් නැඟී සිටිත් නමි.]

“මහණෙනි,
යම්තාක් වනාහි භික්‍ෂුහු අරණ්‍ය සේනාසනයන්හි බලාපොරොත්තුව ඇතිකර ගනිද්ද, මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂූහු වෙන් වෙන්ව කිමෙක්ද නොපැමිණියාවූ ප්‍රියශීලී සබ්‍රම්සරුන් පැමිණෙන්නාහුද, පැමිණියාවූ ප්‍රියශීලී සබ්‍රම්සරුන් සැපසේ වෙසෙන්නාහුදැයි සිහිය පිහිටුවද්ද, මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය බලාපොරොත්තු විය යුතුයි. පිරිහීමක් නොවේ.

ආගන්තුකයකු දැක මේ පිරිවෙනට යව අර පිරිවෙණට යව අප කවුදැයි නොකියා සියල්ලෝ වත් කරන්නාහු ද සිඳුණු පාසිවුරු ඇත්තකු දැක ඔහුට පිඬු හැසිරීමේ වතින් පාසිවුරු සොයන්නාහු ද ගිලනකුට ගිලන් බෙහෙත් සොයන්නාහු ද ගිලනෙකි. අනාථයෙකි. අසුවල් පිරිවෙණට යවයි නොකියා තම තමන්ගේ පිරිවෙණෙහි පිළිදැගුම් කරන්නාහු ද කිසියම් ඇදෙමින් පවත්නා බාධකයක් ඇතිවිට නුවණැති භික්ෂුවකට සංග්‍රහ කොට එය ඔහු ලවා ඉවත් කරවන්නාහු ද සමඟියෙන් සංඝ කටයුතු කරත් නමි.
අපඤ්ඤත්තං යනාදියෙහි අලුත් අදැහැමි කතිකාවතක් හෝ ශික්ෂා පදයක් හෝ පිළිගන්නාහු නොපැනවූවක් පනවත් නමි. පුරාණ සත්ථත කථාවස්තුවෙහි සැවතෙහි භික්ෂුහු මෙනි. ධර්‍මවිරෝධී විනය විරෝධී සසුනක් මතුකොට දක්වන්නාහු පැනවුණු දේ සිඳිත් නමි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී අවුරුදු සියයක් ගියකල විශාලාවෙහි වජ්ජිපුත්තක භික්ෂූන් මෙන් කුඩා අනුකුඩා ඇවැත් දැන දැන ඉක්මවන්නාහු පැනවුණු සිකපදයන්ට අනුව සමාදන්ව නොපවතිත් නමි. අස්සජී පුනබ්බසුකයන් මෙනි. එසේ නොකරන්නාහු නොපැනවූවක් නොපනවත්, පැනවූවක් නොසිඳිත්. පැනවුණු සිකපද අනුව සමාදන්ව පවතිත් නමි. ආයුෂ්මත් උපසේන මෙනි, ආයුෂ්මත් යස කාකණ්ඩපුත්ත මෙනි, ආයුෂ්මත් මහාකාශ්‍යප මෙනි. වුද්ධියෙව යනු ශීලාදිගුණයෙන් අභිවෘද්ධියක්මය, පරිහානියක් නොවේ.

“මහණෙනි,
යම්තාක් මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද,
භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙන බව පෙණෙද්ද,
මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.. පිරිහීමක්නම් නොවේ.

AN 07-03-04. දුතිය භික්ඛු අපරිහානිය සූත්‍රය.

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි. එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.”
— “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

“ඒ අපරිහානිය ධර්‍ම සත කවරේද?
මහණෙනි, භික්‍ෂූහු කර්මාරාම කටයුතු පතන්නෝ වෙද්ද,
කර්මාරාම අනුයුක්ත කටයුතුවලම ඇලී ගැලී නොසිටිද,
භස්සාරාම (නිතර දෙඩීමෙහි කැමැත්ත) නොවෙද්ද,
නිද්‍රාවෙහි ඇළුනෝ නොවෙද්ද,
සමූහයෙහි ඇළුනෝ නොවෙද්ද,

[න කම්මාරාමා යනු යමෙක් දිනයක සිවුරුකම් කාබහන දියපෙරන පෙරහන හැමදීම පාසෝදන පුවරුව ආදිය නොකරත්ද ඔවුන් සඳහා මේ ප්‍රතික්ෂෙපයයි. යම් භික්ෂුවක් ඒවා කරන වේලාවෙහිම ඒවා කරයිද උදෙසන වේලෙහි උදෙසයිද උගන්නා වේලාවෙහි උගනියිද සෑමිඳුල් වත්වේලාවෙහි සෑමිඳුලෙහි වත්කරයිද මෙනෙහි කරන වේලෙහි මෙනෙහි කරයිද හෙතෙම න කම්මාරාම නමි.

යමෙක් ගැහැණුන් වැණීම පිරිමින් වැණීම ආදි වශයෙන් අල්ලාප සල්ලාපයෙහි යෙදෙමින්ම රෑ දහවල ගෙවයිද මෙබඳු වූ අරුත්සුන් කථාවෙහි සීමා නොදන්නේ වේද, මෙතෙම භස්සාරාමො නමි. යමෙක් වනාහි රෑදහවල්හිදු ධර්‍මය කියයිද පැන විසඳයි ද මෙතෙම අරුත්සුන් කතා නැත්තේම අරුත්සුන් කථාවෙහි සීමාදැන කරන්නේම වෙයි. කුමක්හෙයින්ද යත්? “මහණෙනි රැස්වූ ඔබ විසින් දෙකක් කළයුතුය. දැහැමි කතාව හෝ උතුම් වූ නිහඬ බව යනුවෙනි (සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං ධම්මී වා කථා අරියො වා තුණ්හීභාවො) යි කී බැවිනි.

යමෙක් සිටියේද යන්නේද හුන්නේද නිදියන්නේද ථීනමිද්ධයෙන් මඬනා ලද්දේ නිදන්නේමය. මෙතෙම නිද්දාරාමො නමි. යමෙකුගේ වනාහි භෞතික ශරීරයෙහි ගිලන්බවින් සිත භවංගයෙහි බැස ගනියිද මෙතෙම නිද්දාරාම නොවේ. එහෙයින් කියන ලදි. “අභිජානාමහං අග්ගිවෙස්සන ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාත පටික්කන්තො චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා” යනුවෙනි.

යමෙක් එකෙකුට දෙවැන්නෙක් ද දෙදෙනාට තෙවැන්නෙක් ද තිදෙනාට සිවුවැන්නෙක් දැයි මෙසේ එකට ඇසුරුකොට වසයිද හුදෙකාව ආස්වාදයක් නොලබයිද මෙතෙම සඞ්ගණිකාරාමො නමි. යමෙක් සිවුඉරියව්වල තනිවම ආස්වාදය ලබයිද මෙතෙම සඞ්ගණිකාරාමවූයේ නොවේ.

තමන් වෙත) නොපවත්නා සම්භාවනය (ගරුකොට සැලකීම) කැමැත්තෙන් යුක්ත වූ දුසිල්වත්හු පාපිච්ඡා නම් වෙති. යමෙකුන්ගේ පවිටු මිතුරෝ සිවුඉරියව්හි එක්ව නතුවීමෙන් පාපයට උදව් කරන්නෝම වෙත්ද එයට නැඹුරුවීමෙන් යොමුවීමෙන් එදෙසට බරවීමෙන් පාපයන් දෙසට ඇලවූවාහු වෙත්ද ඔවුහු පාපමිත්තා පාපසහායා පාපසම්පවංකා නම් වෙති.

ඔරමත්තකෙන යනු ඉතා සුළු පමණකින් අඩු පමණකින් යනුයි, අන්තරා යනු රහත්බවට නොපැමිණම ඒ අතරතුරයි, වොසානං යනු සම්පූර්‍ණයෙන් නිමාවට ගියබවයි. මෙපමණක් ඇතැයි අවසන් කිරීමයි. ශීලපාරිසුද්ධි ධ්‍යාන විදර්‍ශනා දක්වා සෝවාන්බව ආදීන් අතුරෙන් එක්තරා එකක් පමණකින් අවසානයට නොපැමිණෙත්ද එතෙක් භික්ෂූන්ගේ අභිවෘද්ධියම අපේක්ෂා කළ යුතුය පරිහානිය නොවේය යන මෙය කියන ලදි.]

පවිටු අදහස් ඇත්තෝ නොවෙත්ද,
පවිටු අදහස්වල වසඟයට නොගියාහු නොවෙද්ද,
(පවිටුවූවෝ) නොවෙද්ද,
පාප මිත්‍රයන් ඇසුරු නොකරන්නේද,
පාපසහායක යන් නැත්තේද,
පාපවංකවූවෝ ස්වල්ප මාත්‍රවුද විශේෂාධිගමයකින් අඩාලකිරීමට නොපැමිණෙද්ද,
මහණෙනි, භික්‍ෂූන්ගේඅභිවෘද්ධිය සිදු වෙයි. පිරිහීමක් නොවේ.

“මහණෙනි,
මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා තිබෙද්ද,
භික්‍ෂූහු මේ සප්ත අපරිහානිය ධර්මයන් භික්‍ෂූන් කෙරෙහි තිබෙනු පෙණෙද්ද,
මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.. පිරිහීමක් නොවේ.

AN 07-03-05. තතිය භික්ඛු අපරිහානිය සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
“මහණෙනි,
තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි.
එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.”
“එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

“මහණෙනි,
ඒ ධර්‍ම සත කවරේද?
මහණෙනි

  1. භික්‍ෂූහු ශ්‍රද්ධා ව ඇත්තෝ වෙද්ද,
  2. පවට ලජ්ජා ඇත්තෝ වෙද්ද,
  3. පවට බිය ඇත්තෝ වෙද්ද,
  4. (බහුශ්‍රුත) බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෝ වෙද්ද,
  5. පටන්ගත් වීර්‍ය්‍ය ඇත්තෝ වෙද්ද,
  6. සතිය ඇත්තෝ වෙද්ද,
  7. නුවණැත්තෝ වෙද්ද,
  8. “මහණෙනි, භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.. පිරිහීම නොවේ.
    මහණෙනි, මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා ඇද්ද, මේ සප්ත අපරිහානිය ධර්මයන් කෙරෙහි භික්‍ෂූන් පිහිටා ඇතැයි පෙණෙද්ද, භික්‍ෂූන්ගේ අඅභිවෘද්ධිය සිදු වෙයි. පිරිහීමක් නොවේ.

    [අනිච්ච සඤ්ඤාදයො යනු අනිච්චානු පස්සනාදීන්ගෙන් යුක්ත වූ සංඥාවයි.]

    AN 07-03-06. චතුත්‍ථ භික්ඛු අපරිහානිය සූත්‍රය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
    “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි.
    එය මනාකොට අසව්.
    සිහිකරව්. දේශනා කරන්නෙමි.”
    “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ.
    භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

    “ඒ සත කවරේද?

    1. සති (සිහිය) සම්බොධ්‍යඞ්ගය වඩද්ද,
    2. ධර්‍මවිචය (ධර්මය විමසීම) සම්බොධ්‍යඞ්ගය වඩද්ද,
    3. වීර්ය සම්බොධ්‍යඞ්ගය වඩද්ද,
    4. ප්‍රීති සම්බොධ්‍යඞ්ගය වඩද්ද,
    5. ප්‍රශ්‍රබ්ධි (සන්සිඳීම) සම්බොධ්‍යඞ්ගය වඩද්ද,
    6. සමාධි (එකඟකම) සම්බොධ්‍යඞ්ගය වඩද්ද,
    7. උපේක්‍ෂා (මැදහත්කම) සම්බොධ්‍යඞ්ගය වඩද්ද,
    8. “මහණෙනි,
      එසේ සප්ත බෝජ්ජංග ධර්මයන් වඩන භික්‍ෂූවගේ අභිවෘද්ධිය සිදු වෙයි..
      පිරිහීමක් නම් නොවේ.

      මහණෙනි, මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා ඇද්ද,
      මේ සප්ත අපරිහානිය ධර්මයන් කෙරෙහි භික්‍ෂූන් පිහිටා ඇතැයි පෙණෙත්ද ,
      භික්‍ෂූවගේ අභිවෘද්ධිය සිදු වෙයි. පිරිහීමක් නම් නොවේ.

      AN 07-03-07. පඤ්චම භික්ඛු අපරිහානිය සූත්‍රය

      මා විසින් මෙසේ අසන ලදී.
      එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ආසන්නයෙහිවූ ගිජුකුළු පව්වෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.

      “මහණෙනි, තොපට සප්ත අපරිහානිය ධර්මයන් දේශනා කරන්නෙමි.
      එය මනාකොට අසව්. සිහිකරව්. දේශනා කරන්නෙමි.”
      “එසේය ස්වාමීනි” යි ඒ භික්‍ෂූහු පිළිවදන් දුන්හ.
      භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.

      “ඒ සත කවරේද?

      1. අනිත්‍ය සංඥාව වඩද්ද,
      2. අනත්ත සංඥාව වඩද්ද,
      3. අශුභ (පිළිකුල්) සංඥාව වඩද්ද,
      4. ආදීනව (දොස්) සංඥාව වඩද්ද,
      5. ප්‍රහාණ (ගෙවීම) සංඥාව වඩද්ද,
      6. විරාග (නොඇලීම) සංඥාව වඩද්ද,
      7. නිරෝධ (නිවීමේ) සංඥාව වඩද්ද,
      8. ඉහත රුපහ KLIK කර භාවනා ගැන කියවන්න

        “මහණෙනි,
        මේ බෝධි අංග වඩා ගන්නට මේ සත් සංඥා වඩන
        භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි.. පිරිහීමක් නම් නොවේ.

        මහණෙනි,
        මේ සප්ත අපරිහානිය ධර්‍මයෝ භික්‍ෂූන් කෙරෙහි පිහිටා ඇද්ද,
        මේ සප්ත අපරිහානිය ධර්මයන් කෙරෙහි භික්‍ෂූන් පිහිටා ඇතැයි පෙණෙද්ද,
        භික්‍ෂූන්ගේ අභිවෘද්ධිය සිදු වෙයි. පිරිහීමක් නම් නොවේ.

        AN 07-03-08. සෙඛපරිහානිය ධම්ම සූත්‍රය

        “මහණෙනි,
        ධර්මයෝ සතක් ශෛක්‍ෂ
        භික්‍ෂුවකගේ පිරිහීම පිණිස වෙති.

        “ඒ කවර සතක්ද යත්,

        1. කුමක් හෝ වැඩක යෙදී සිටීම,
        2. නිතර කතාවෙහි දෙඩීමෙහි කැමැත්ත,
        3. සමූහයා සග්ග එක්ව ඉන්නට කැමැත්ත,
        4. පංච ඉන්‍ද්‍රියයන් සංවර කර නොගැනීම ,
        5. කෑමෙහි පීමෙහි භෝජනයෙහි පමණ නොදැනීම,
        6. සංඝයා කල යුතු සංඝ කටයුතු වත නොකරයිද,,,
        7. ජේෂ්ස්ඨ (වැඩිමහළු), ආචාරි උපාධ්‍යායන් ට නොසලකයිද
        8. මේ සප්ත ධර්මයෝ ශෛක්‍ෂ භික්‍ෂුවගේ පිරිහීම පිණිස පවතිත්.

          “මහණෙනි,
          මේ ධර්මයෝ සත ශෛක්‍ෂ භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස වෙති.

          “ඒ කවර සතක්ද යත්,.

          1. ලෞකීය් වැඩවලම යෙදී නොසිටීම,
          2. නිතර දෙඩීමෙහි නොඇලීම,
          3. සමූහයෙහි නොඇලීම,
          4. ඇස් ආදී ඉන්‍ද්‍රියයන්හි වසන ලද දොරවල් ඇති බව,
          5. භෝජනයෙහි පමණ දැනීම,
          6. සංඝයා කෙරෙහි සංඝ කටයුතු ඇද්ද, එහිදී ශෛක්‍ෂ භික්‍ෂුවයයි සිතා නොබලද්ද,
          7. සංඝයා කෙරෙහි ස්ථවිර (වැඩිමහළු)වූද, චිරරාත්‍රඥ (බොහෝකල් දන්නා)වූද, පැවිදිව බොහෝ කල්වූද (ශාසනික) බර උසුලන්නාවූද, ඔවුහු එයින් ප්‍රකට වෙත්යයි තමා වෙනස් ආකාරයකට නොපැමිණේද, මහණෙනි, මේ ධර්මයෝ සත්දෙන ශෛක්‍ෂ භික්‍ෂුවගේ නොපිරිහීම පිණිස වෙති.
          8. [උපන්නා වූ සංඝ කටයුතු එතෙර කිරීමෙන් බර උසුලත්නුයි භාරවාහිනො නමි, 
            තෙ තෙන පඤ්ඤායිස්සන්ති යනු ඒ තෙරවරු තමන්ගේ තෙරබවට අනුරූප වූ කටයුත්තෙන් ප්‍රකටවෙත්. 
            වොයොජං ආපජ්ජති යනු ප්‍රයෝගයට පැමිණයි, තෙමේ ඒ කටයුතු කිරිමට සුදුසු වෙයි.]

            AN 07-03-09. උපාසක පරිහානිය ධම්ම සූත්‍රය

            “මහණෙනි,
            මේ ධර්මයෝ සත උපාසකයාගේ පිරිහීම පිණිස පවතිත්.

            “කවර සතක්ද යත්?

            1. භික්‍ෂූන් දකින්නට නොයාද,
            2. බණ ඇසීමට පමා වේද,
            3. අධිශීලයෙන් (ඉහළ සිල් වලින්) නොහික්මේද,
            4. අප්‍රසාදය, අමනාප ගතිය බහුලද,
            5. භික්‍ෂූන් වහන්සේලාගේ වැරදි සොයමින්.
              දොස් කීමේ අදහසින් බණ අසයිද,
            6. මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් සොයාද,
            7. ඒ බාහිර අයට මුලින් දී, පසුව භික්‍ෂූන්ට දේද,
            8. මහණෙනි, මේ ධර්මයෝ සත උපාසකයකුගේ පිරිහීම පිණිස පවතිත්.

              “මහණෙනි,
              මේ ධර්මයෝ සත උපාසකයකුගේ නොපිරිහීම පිණිස පවතිත්.

              “කවර සතක්ද යත්?

              1. භික්‍ෂූන්ගේ දැකීම ප්‍රියවේ ද,
              2. බණ ඇසීමට පමා නොවේද,
              3. අධිශීලයෙන් (ඉහළ සිල් වලින්) හික්මේද,
              4. අප්‍රසාද බහුල වූයේ නොවේද,
              5. භික්‍ෂූන් වහන්සේලාගේ . දොස් නොසොයා බණ අසයිද,
              6. මේ ශාසනයෙන් පිටත දන් දීමට සුදුස්සන් නොසොයාද,
              7. ඒ බාහිරකයන්ට පෙර භික්‍ෂූන්ට දානය දේද,
              8. මහණෙනි,
                මේ ධර්මයෝ සත උපාසකයාගේ නොපිරිහීම පිණිස පවතිත්.

                [ භික්ඛුදස්සනං හාපෙති යනු භික්ෂු සංඝයා දැකීම සඳහා යාම හීන කරයි, 
                අධිසීලෙ යනු පන්සිල් දසසිල් සංඛ්‍යාත වූ උතුම් ශීලයෙහියි, 
                ඉතො බහිද්ධා යනු මේ සසුනින් බැහැරිවූවෝයි, ද
                ක්ඛිණෙය්‍යං ගවෙසති යනු දෙය්‍යධර්‍මය පිළිගන්නවුන් සොයයි. 
                තත්‍ථ ච පුබ්බකාරං කරොති යනු බැහැරි තොටුවන්ට දී පසුව භික්ෂූන්ට දෙයි, ]

                AN 07-03-10. උපාසක පරාභව ධම්ම සූත්‍රය

                “යම් උපාසකයෙක්

                1. භික්‍ෂුන් දැකීමට යාමට අකමැති වේද ,
                2. බණ අසන්නට යාම අඩු කෙරේද,
                3. අට සිල්, දසසිල් ආදී උත්තම ශීලයන්හි නොහික්මේද,
                4. භික්‍ෂූන් කෙරෙහි නොපැහැදේද,
                5. ගර්හා කරණ සිත් ඇතිව, සිදුරු සොයමින්, බණ අසත්ද,
                6. යමේ ශාසනයෙන් පිටත දක්‍ෂිණාර්‍හයක්හු සොයාද,
                7. ඒ බාහිරකයන්ට දී, පසුව භික්‍ෂූන්ට දේද,
                8. මේ සප්ත ධර්මයන් සේවනය කරන්නාවූ උපාසකයා සද්ධර්මයෙන් පිරිහෙයි.

                  “යම් උපාසකයෙක්

                  1. භික්‍ෂුන් දැකීමට යාම ප්‍රිය කරත්ද ,
                  2. බණ අසන්නට යාම ප්‍රිය කරත්ද,
                  3. උත්තම ශීලයෙහි හික්මේද,
                  4. භික්‍ෂූන් කෙරෙහි පැහැදීම වැඩේද,
                  5. දෝෂාරෝපණය නොකරණ සිත් ඇතිව , බණ අසත්ද,
                  6. මේ ශාසනයෙන් පිට දක්‍ෂිණාර්‍හයක්හු නොසොයාද,
                  7. මේ ශාසනයෙහි භික්ෂුනට පූර්‍ව සත්කාරයකෙරේද,,
                  8. මේ සප්ත අපරිහානිය ධර්මයන් සේවනය කරන්නාවූ උපාසකයා සද්ධර්මයෙන් නොපිරිහෙයි.

                    [ගිහි දායකයකු සංඝ සමාජය කෙරෙහි අහිතකර ලෙස කටයුතු කළ හොත් ඔහුට පත්තනික්ඛුඡ්ඡන කර්මයෙන් දඬුවම් කළ හැකි බව භික්ෂූන් වහන්සේට අනුදැන වදාළහ. එවැනි කර්මයක් පැනවීමට හැකි අවස්ථා 08 ක් බුදුන්වහන්සේ දේශනා කොට ඇත. එනම්,

                    1. භික්ෂුන්ගේ අලාභය පිණිස කටයුතු කිරීම.
                    2. භික්ෂුන්ගේ අනර්ථය පිණිස කටයුතු කිරීම.
                    3. භික්ෂුන්ගේ ආවාසය පිණිස කටයුතු කිරීම.
                    4. භික්ෂුන්ට ආක්‍රෝෂ පරිභව කිරීම.
                    5. මහණුන්, මහණුන් හා බිඳවීම.
                    6. බුදුන් වහන්සේගේ අගුණ කීම.
                    7. ධර්මයේ අගුණ කීම.
                    8. සංඝයාගේ අගුණ කීම.]
                    9. AN 07-03-11. උපාසක විපත්ති ධම්ම සූත්‍රය

                      “මහණෙනි,
                      උපාසකයාගේ අභිවෘද්‍ධිය පිණිස කරුණු සතක් වෙත්.
                      උපාසකයාට විපත්තිය පිණිස කරුණු සතක් වෙති.
                      මහණෙනි, උපාසකයාට සම්පත්ති කරුණු සතක් වෙති.
                      මහණෙනි, උපාසකයාට පිරිහීම් සතක් වෙති.
                      මහණෙනි, උපාසකයාට වැඩීම් සතක් වෙති.

                      “ උපාසකයාට අභිවෘද්‍ධි කරුණු සත මෙසේ වෙත්.

                      “ කවර සතක්ද යත්?

                      1. භික්‍ෂූන්ගේ දර්‍ශනය අඩු නොකරයි.
                      2. බණ ඇසීමට ප්‍රමාද නොවෙයි.
                      3. අධිශීලයෙහි හික්මෙයි.
                      4. පැහැදීම බහුලකොට ඇත්තේ වෙයි.
                      5. භික්‍ෂූන් කෙරෙහි දොස් නොසොයන අදහසින් සිදුරු නොසොයන අදහසින් බණ අසයි.
                      6. මේ ශාසනයෙන් පිටත දන්දීමට සුදුස්සන් නොසොයයි.
                      7. මේ ශාසනයෙහි භික්‍ෂූන්ට පූර්‍ව සත්කාරය කෙරෙයි.
                      8. මහණෙනි, මේ උපාසකයාට අභිවෘද්‍ධි කරුණු වෙත්.

                        උපාසකයාට විපත්ති කරුණු සත කෙසේද යත්:-
                        යම් උපාසකයෙක්

                        1. “භික්‍ෂුන් දැකීමට යාම ප්‍රිය නොකරයිද,
                        2. බණ අසන්නට යාම ප්‍රිය නොකරයිද,
                        3. නොවළක්වාද, උත්තම ශීලයෙහි හික්මේද,
                        4. භික්‍ෂූන් කෙරෙහි පැහැදීම වැඩේද,
                        5. දෝෂාරෝපණය නොකරණ සිතින් , බණ අසයිද,
                        6. මේ ශාසනයෙන් පිට දක්‍ෂිණාර්‍හයක්හු නොසොයාද,
                        7. මේ ශාසනයෙහි පූර්‍ව සත්කාරය කෙරේද,,
                        8. මේ සප්ත අපරිහානිය ධර්මයන් සේවනය කරන්නාවූ
                          උපාසකයා සද්ධර්මයෙන් නොපිරිහෙයි.


                          ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ
                          මහත්මා ලියා ලන්කාදීප පුවත්පතේ පලකල ලිපියක්
                          පහත අඩංගු කරමු.

                          බුදුන් වහන්සේගේ සමකාලීන ශාස්තෘෘන් වහන්සේ කෙනෙක් වූ ජෛන ආගමේ 24 වන ශාස්තෘෘන් වහන්සේ වූ මහා වීර තුමන් මියගිය පසු ඔහුගේ අනුගාමිකයන් අතර නොයෙකුත් මතභේද සහ අර්බුද මතු වීම හේතුවෙන් එහි සංවිධානාත්මක ස්ථරය බිඳ වැටෙමින් පැවතුනි. එය දුටු බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ආනන්ද හිමියන් කනස්සල්ලට පත්ව බුදුන් වහන්සේගෙන් අසා සිටියේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව අපගේ ශාසනයේ ද ඒ ආකාරයේ නොසන්සුන්තාවන් සහ බිඳ වැටීම් සිදු වේ ද යන්නයි. බුදුන් වහන්සේ වදාරන ලද්දේ භික්ෂූන් වහන්සේ විනය ආරක්ෂා කරන තාක් උන්වහන්සේගේ ශාසනයේ පිරිහීම් හෝ බිඳ වැටීම් සිදු නොවන බවය. “විනයෝ නාම සාසනස්ස ආයු” වශයෙන් දෙවැනි ධර්ම සංගායනාවේ දී ප්‍රකාශ වූයේ ශාසනයේ ආයුෂ තීරණය වන්නේ විනයේ පැවැත්ම ඇති තාක් යනුවෙනි.

                          රාග, ද්වේශ, මෝහ යන අන්ධකාරයන්ගෙන් පෙළෙන ජනතාව ජීවත් වන ලෝකය සැමදා පවතිනුයේ අවුල් ජාලයක් ලෙසිනි. වරක් බුදුන් වහන්සේ වෙත සපැමිණි දෙවියෙක් මෙසේ ප්‍රශ්න කළහ.

                          “අන්තො ජටා බහි ජටා – ජටාය ජටිතො පජා
                          තංතං ගොතම පුජ්ජති – බෙ ඉමං විජටයෙ ජටා”

                          එහි තේරුම නම්, ඇතුළත් අවුල් ය, පිටතත් අවුල් ය, බැලු බැලූ අත අවුල් ජාලයකි. අවුල්වලින් තොර සැනසුමක් ඇත්තේ කොතැන ද යන්නයි.

                          කලින් කල ලොව තුළ ශාස්තෘෘන් වහන්සේ බිහි වන්නේ ද, උන්වහන්සේලාට අනුගාමිකයන් ඇති වන්නේ ද මෙම අවුල නිසාවෙනි. මුල් කාලයේ මිනිස්සු සිය බුද්ධිමය විඤ්ඤාණයට ග්‍රහණය කරගත හැකි ආකාරයේ ඉගැන්වීම් පිළිබඳ විශ්වාසය තබා කටයුතු කළහ. මහා භාරතයේ බුදුන්වහන්සේ පහළ වනවිට එහි දෙසැටක් මිථ්‍යා දෘෂ්ටික ආගම් පැවතියේ ඒ නිසාවෙනි. එකල මහා භාරතය “දිට්ටි ගහනං – දෘෂ්ටි කන්තාරං” යනුවෙන් හැඳින්වූයේ සත්‍ය සොයා විවිධ මාර්ග අනුගමනය කළ ජන කොටස්වලින් පිරී පැවතුණ නිසා ය. එහෙත් බුදුන්වහන්සේගේ ධර්මයත් සමග ඒකාලෝක වූ මහා භාරතය තුළ අති මහත් ජන කොට්ඨාසයක් බෞද්ධ දර්ශනය අනුගමනය කිරීමට පටන් ගත්හ. එසේ ඇති වූ බුදුන්වහන්සේගේ අනුගාමික සංඝ ශාසනය කලින් කල සංවිධානාත්මකව ශක්තිමත් වෙමින් ද, කලින් කල පිරිහීමට පත් වෙමින් ද පැවත ආ බවට ඉතිහාසයේ සාක්ෂි ඕනෑ තරම් පවතී.

                          බුදුන්වහන්සේගෙන් පසු ලෝකය තුළ රාග, ද්වේශ, මෝහ ගින්නෙන් දැවෙන අනන්ත අප්‍රමාණ මනුෂ්‍යයන් කෙරෙහි අසීමිත වූ කරුණා ගුණයෙන් යුතු ව බුදුන්වහන්සේ සංඝ ශාසනය ස්ථාපනය කොට පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය සියලු‍ ශික්ෂාපද පනවන්නට යෙදුණි. බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් පසු පළමු වසර 20 තුළ විනය ශික්ෂා නොපැනවූ අතර සංඝ සමාජය සුරක්ෂිත වීම පිණිස ඕවාද ප්‍රාතිමෝක්‍ෂය ප්‍රමාණවත් කොට සැලකූහ. එය ධම්ම පදයේ 183, 184 සහ 185 ගාථාවල අන්තර්ගතය. සුධින්න නම් භික්ෂුවකගේ සිද්ධියකින් ආරම්භ වී වරින් වර බුදුන්වහන්සේ භික්ෂූන් වෙනුවෙන් ශික්ෂා පද 227 ක් ද, භික්ෂුණීන් වෙනුවෙන් ශික්ෂා පද 311 ක් ද පැනවූහ.

                          බුදුන්වහන්සේ ජීවමානව වැඩසිටි කල ද අසමගි වූ භික්ෂූන්වහන්සේ නිසා ශාසනයට අපකීර්තියක් ඇති වූ අවස්ථා තිබුණි. කොසඹෑ නුවර ඝෝෂිතාරාමයේ භික්ෂූන් නොවටිනා කාරණයක් සම්බන්ධයෙන් දෙපිලකට බෙදී ඇති කර ගත් ආරවුල විසඳීමට බුදුන්වහන්සේට ද නොහැකි විය. අවසානයේ බුදුන්වහන්සේ ඉන් පිටත්ව පාරිල්‍යෙය වනයේ වැඩසිටි සමයේ අසමගි භික්ෂූන් කෙරෙහි අපැහැදුන දායකයෝ ඝෝෂිතාරාමයේ භික්ෂූන්ට දානය පිරිනැමීමෙන් වැළකී සිටියහ. එවිට එම භික්ෂූන් බුදුන්වහන්සේ අබියසට පැමිණ සමාව අයැද නැවතත් ඝෝෂිතාරාමයට වැඩම කරවා ගැනීමට කටයුතු කළහ.

                          දෙව්දත් තෙරගේ අනුගාමික සාති භික්ෂුව බුදුන්වහන්සේගේ ධර්මය විකෘති කරමින් ගමින් ගමට ගොස් දේශනා කළේ බුදුන් වැඩසිටි දෙව්රම් වෙහෙරේ සිටමය. එමෙන්ම ගිහි කල සිය මස්සිනා වූ දෙව්දත් භික්ෂුව බුදුන්වහන්සේගේ දිවි තොර කරවීමට තෙවරක්ම උත්සාහ කොට බුදුන්ගේ ලේ සොලවා ආනන්තරීය පාප කර්මය සිදුකොට අපාගත විය.

                          බුද්ධ පරිනිර්වාණයත් සමගම සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය හේතුවෙන් මාස 03 ක කාලයක් තුළ පළමු ධර්ම සංගායනාව පවත්වා සංඝ ශාසනය පාරිශුද්ධත්වයට පත් කිරීම සිදු විය. එහි දී තීරණය වූයේ ධර්මයට කලින් විනය කරුණු සංගායනා කළ යුතු බව ය. ඊට හේතු වූයේ බෞද්ධ සාසනය පවතිනුයේ බෞද්ධ විනය පවත්වාගෙන ගියහොත් පමණක් වන නිසාවෙනි.

                          ඉන් පසුව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසු කාලාශෝක රජුගේ අනුග්‍රහය ඇතිව විශාලා මහනුවර වාලු‍කාරාමයේ 700 ක් මහ රහතන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් දෙවැනි ධර්ම සංගායනාව පවත්වා වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය හැර දමා සංඝ ශාසනය පරිශෝධනය කොට බෞද්ධ පුනර්ජීවයක් ඇති කළ අතර එහි දී දුසිල්වත් භික්ෂූහු 10,000 ක් ශාසනයෙන් නෙරපා දමනු ලැබූහ. ඉන් පසුව අශෝක අධිරාජයාගේ කාලයේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අශෝකාරාමයේ දී 3 වැනි ධර්ම සංගායනාව පවත්වා දුසිල්වත් භික්ෂූන් 60,000ක් ශාසනයෙන් නෙරපනු ලැබූහ.

                          මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් පසු ලංකාවේ ස්ථාපනය වූ සංඝ ශාසනය අනුරපුර වලගම්බා රජු සමයේ දී අසමගිකාරී තත්ත්වයකට පත්ව ශාසනය නිකාය වශයෙන් බෙදීම ආරම්භ විය. ඊට හේතුව වූයේ සතර දිගින් වඩිනා මහා සංඝයා වෙනුවෙන් පූජා කළ යුතු සාංඝික දේපළක් වූ අභයගිරි විහාරය මහා තිස්ස හිමියන්ට පෞද්ගලිකව පූජා කිරීම ය.

                          මජ්ජිම නිකායේ උපරිපන්නාසකේ, විභංග වග්ගයේ, දණ්ඩක විභංඝ සූත්‍රයේ සඳහන් පරිදි වරක් මහා ප්‍රජාපතී ගෝතමී භික්ෂුණිය බුදුන්ට සළුවක් පූජා කළ අවස්ථාවේ උන්වහන්සේ අනුදැන වදාළේ එය බුදුන්ට නොව මහා සංඝයාට පූජා කරන ලෙසය. එහිදී බුදුරජාණන් වහන්සේ සාංගීකව මහා සංඝයාට පූජා කිරීමේ වටිනාකම පෙන්වා ඇත. කෙසේ වුවද ඉහත විස්තර කළ පරිදි ඇති වූ සංඝ විභේදනය පොලොන්නරු යුගයේ පරාක්‍රමබාහු රජු දවස ඔහුගේ බිසවුන්ගේ අනුග්‍රහයෙන් මහා කාශ්‍යප තෙරුන්ගේ මූලිකත්වයෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ධර්ම සංගායනාවක් පවත්වා නිකාය භේදය තුරන්කොට සංඝ සමගිය ඇති කරන ලදී. පසු කාලයේ දඹදෙණි යුගයේ දී ද දඹදෙණි කතිකාවත මගින් ශාසන ප්‍රතිශෝධන ඇති කරන්නට විය.

                          වර්තමානයේ ද බුද්ධ ශාසනයේ පැවැත්ම පිළිබඳ විශාල ලෙස මතභේදවලට ලක් වන දෑ සිදු වෙමින් පැවතීම ලෝකවාසී බෞද්ධයන්ගේ මහත් වූ කනස්සල්ලට හේතුවක් වී ඇත. ලෝකය පුරා දේශ සීමා, ජාතිකත්ව, භාෂාමය ප්‍රතිපත්ති, ආගමික මතිමතාන්තර යනාදිය මුල් කරගෙන තැනින් තැන ගැටුම් ඇති වීම මානව ඉතිහාසය පුරාවට දක්නට ලැබුණි. ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ හිටපු මහාචාර්ය ආර්නෝල්ඩ් ටොයින්බි පවසා ඇත්තේ මානව ඉතිහාසය තුළ ලෝකයේ කොතැනක හෝ යුද ගැටුමක් නොමැතිව ලෝකය පැවති දීර්ඝතම කාල සීමාව අවුරුදු 14ක් තරම් සුළු කාලයක් වූ බවය. එකම ආගම තුළ වුව ද සුළු සුළු කරුණු මුල් කොටගෙන බෙදී පවතින නිකාය හේතුවෙන් ලෝකය තුළ නිරන්තරයෙන්ම ගැටුම් නිර්මාණය විය. එහෙත් බෞද්ධ දර්ශනය යනු එයට හාත්පසින් වෙනස් වූ ගැඹුරු යථාර්ථවාදී දර්ශනයක් මත පදනම් වූවකි. අවිහිංසාව, කරුණාව, දයාව, අනුකම්පාව වැනි ගුණාංගවලින් උතුරා ගිය හදවත් ඇති දැහැමි මිනිසුන් නිර්මාණය කිරීම මගින් මනුෂ්‍යයන්ට පමණක් නොව සතා-සිව්පාවා, ගහ-කොළ යනාදී සියල්ලටම නිසි ලෙස ආරක්ෂාව සහ රැකවරණය ලැබීමේ ක්‍රමවේදය ඒ තුළ ඇතුළත්ය.

                          එකී උත්තුංග අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් උත්තරීතර වූ පාරිශුද්ධ සංඝ ශාසනයේ පැවැත්ම අත්‍යවශ්‍යය. ලොවක් කම්පිත කළ කාලිංග දේශය ලෙයින් තෙත් කළ කුරිරු සහ දැඩි චිත්ත සන්තානයක් පැවති චණ්ඩාශෝක වැනි රජකුගේ සිත සන්සුන්කොට මහා කාරුණික පාලකයකු කිරීමේ හැකියාව සංඝ ශාසනයේ සුසිල්වත් වූ අවුරුදු 08 ක් වයසැති කුඩා සාමණේර නමක් වූ නිග්‍රෝධ හිමියන් තුළ පැවතීම තුළින් ප්‍රකටව පෙනී යන කරුණ වන්නේ බෞද්ධ භික්ෂුවකගේ ශීලය අනාගත ලෝකයේ ගමන් මග වෙනස් කිරීමට හැකි ප්‍රබල සාධකයක් වූ බවය. එම කුඩා සාමණේර නම නොසිටින්නට ධර්මාශෝක කෙනෙක් බිහි නොවන අතර අනුබුදු මිහිඳු හිමි නමක් සහ සංඝමිත්තා මහ තෙරණින් වහන්සේ නමක් ලොවට බිහි නොවන්නට ඉඩ තිබුණි. එසේ වූයේ නම් ලාංකේය අපට ධර්මාලෝකය දර්ශනය නොවීමට ඉඩ තිබුණි.

                          අනුරපුර සමයේ කාලිංග මාඝ ආක්‍රමණයේ පටන් චෝළයන් ද, ද්‍රවිඩයන් ද, යුරෝපීය පෘතුගීසි, ඕලන්ද සහ ඉංග්‍රීසීන් ද වරින් වර මෙරට ආක්‍රමණය කොට බෞද්ධ වෙහෙර විහාරස්ථාන විනාශ කරමින් සංඝ ශාසනයත්, බෞද්ධ දර්ශනයත් මේ පොළොවෙන් මකා දැමීමට කොතෙකුත් නම් වෙහෙසක් දරා ඇත. එහෙත් මහාවංශයේ සඳහන් පරිදි බුදුන්වහන්සේ පිරිනිවන් මංචකයේ වැඩ සිටිමින් මහා බ්‍රහ්මයාට ද වදාරා ඇත්තේ උන්වහන්සේගේ ශාසනය දීර්ඝතම කාලයක් පවතිනුයේ ලංකාද්වීපයේ බව ය. එය යථාර්ථයක් වෙමින් ජාතියට ආගමට එරෙහිව පැන නැගුණු සියලු‍ බලවේග මැඩපවත්වමින් සංඝ සමාජයත් නිර්මල බෞද්ධ දර්ශනයත් අද දක්වාම රට තුළ ජීවමානව ඇත.

                          එහෙත් මෙරට සංඝ ශාසනය පිළිබඳව දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් බරපතළ චෝදනා එල්ල වෙමින් පැවතීම අතිශය කනගාටුදායක තත්ත්වයකි. බෞද්ධයන් අන්‍යාගම්වලට හරවා ගන්නා බවට එලෙසින්ම චෝදනා එල්ල වෙමින් පවතී. නොයෙකුත් තෑගි බෝග දෙමින් දුප්පත් අසරණ බෞද්ධ ජනතාව එම ව්‍යාපෘතිවල ගොදුරු බවට පත් වෙමින් සිටිති. අනෙක් අතට ගමේ ජනතාවත් පන්සලත් අතර ඓතිහාසික වශයෙන් පවත්වා ගෙන ආ සමීප සම්බන්ධතාව බිඳ වැටීම හේතුවෙන් මෙවැනි සමාජ විපර්යාස සිදුවන බව ද සමහරුන්ගේ මතයයි. ඒ සඳහා අණපනත් නීති රීති ගෙන ඒමට ද කටයුතු කර ඇති මෙම වකවානුවේ නීතිය මගින් පමණක් මෙවැනි ප්‍රශ්න විසඳාගත හැකි ද යන්න පිළිබඳව ප්‍රඥා සම්පන්න බෞද්ධයන් කල්පනා කළ යුතු ය.

                          මෙම වකවානුවේ පැවිද්දන්ගේ මෙන්ම ගිහියන්ගේ ද විනය පිරිහීම පිළිබඳ කතිකාවතක් රට තුළ පවතින බව උදේ හවා නිරන්තරයෙන් සවනට වැකෙන ධර්ම දේශනා ඇතුළු බොහෝ මාධ්‍ය ප්‍රචාර තුළින් අසා දැකගත හැකි ය. බෞද්ධ දර්ශනය යනු සමාජය තුළ ප්‍රතිරූප ගොඩනැගීම සඳහා වූ පිරුවටයක් නොව ප්‍රතිපත්ති තුළින් ආදර්ශවත් ලෙස ප්‍රඥා සම්පන්න භාවය වර්ධනය කර විමුක්තිය කරා ළඟා වීමට ඇති මාර්ගයකි. ඒ සඳහා සිව්වනක් පිරිස අවශ්‍ය බව පිළිගත යුතු ය. බුදුන් වහන්සේ බුදු වූ මොහොතේ පවා මාරයා පැමිණ ආරාධනා කළේ උන්වහන්සේට පිරිනිවන් පාන ලෙස ය. එහෙත් උන්වහන්සේ මාරයාට පිළිතුරු දුන්නේ වියත්, විනීත, බහුශ්‍රැත, විශාරද, ධර්මධර, ධර්මානුධම්ම පටිපත්තියන්හි ප්‍රගුණ වූ භික්ෂු-භික්ෂුණී, උපාසක-උපාසිකා සිව්වනක් පිරිසක් නිර්මාණය කරන තෙක් උන්වහන්සේ පිරිනිවන් නොපාන බව ය. ථෙරවාදී බුදු දහමෙන් පෝෂිත මෙරට තුළ භික්ෂුණී ශාසනය පිළිබඳ මතභේදකාරී තත්ත්වයක් පැවතිය ද අනෙකුත් තුන් පිරිස අප සමාජය තුළ විශාල මෙහෙයක් ඉටු කරමින් සිටින බව පැහැදිලි ය.

                          බෞද්ධ සමාජ සංස්ථාව බිඳ වැටෙමින් පැවති අවධියක අසරණ සරණ සරණංකර හිමිපාණන් තායිලන්තයට ගොස් යළිත් වරක් උපසම්පදාව මෙරටට ගෙන එමින් සංඝ සමාජය පෝෂණ කරවූහ. අනගාරික ධර්මපාලතුමන් ද, පානදුරාවාදයේ නියමුවන් වූ මිගෙට්ටුවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල වැනි නාහිමියෝද, සාසන අභිවෘද්ධිය සඳහා මහත් සේ කැපකිරීම් කළහ. එහෙත් වර්තමානයේ දී මෙරට පවතින අවස්ථාවාදී කුහක දේශපාලන බලවේග හේතුවෙන් සංඝ සමාජය පිළිබඳ ගිහි ආකල්ප එන්න එන්නම වෙනස් වෙමින් පවතී. බල තෘෂ්ණාවෙන් පෙළෙන පාලකයන් සිය බලය රඳවා තබා ගැනීම පිණිස හෝ බලය අල්ලා ගැනීම පිණිස හෝ සමහර භික්ෂූන් වහන්සේට කාසි-පනම්, යාන-වාහන, ඉඩකඩම්, රට සවාරි යනාදී අල්ලස් ලබා දෙමින් තමන් වෙත නතු කර ගැනීම හරහා සංඝ සමාජයේ පැහැදිලි බෙදීමක් සිදුකොට ඇත. සංඝ සමාජයේ ශක්තිය පවතිනුයේ ස්වාධීන ලෙස බුදුන්ගේ ධර්මය අනුගමනය කරමින් ඔවුන් දැහැමි මගක ගමන් කරවීමට හුරු පුරුදු කිරීම මතය.

                          ලොව අන් රටවල මෙන්ම මෙරට ද වෘත්තීය සමිති ආරම්භ වූවේ සේවක අයිතීන් ආරක්ෂා කිරීමේ සද්භාවමය චේතනාවෙනි. අද ඒවා පවතිනුයේ යම් යම් දේශපාලන පක්ෂවල අතකොළු ලෙසින් පමණි. ඒවායේ නායකයන්ට ලැබෙන යම් යම් ලාභ ප්‍රයෝජන ලබා ගනිමින් පක්ෂවලට මුක්කු ගැසීමේ කාර්යය මිස අව්‍යාජ ලෙස සේවකයන්ගේ අයිතීන් සුරක්ෂිත කිරීමේ සමිතියක් ඇත්තේදැයි සැක සහිත ය. දේශපාලනඥය‍න්ගේ අභිමතාර්ථය භික්ෂු සමාජය ද එම තත්ත්වයටම පත් කර ගැනීම ය.

                          එහෙත් වර්තමානයේ සිව් පසය සහ ලාභ සත්කාර වෙනුවෙන් ශාසනය භාර සහ ශාසනය රකින මහානායක හිමිවරුන්ට පවා අභියෝග කරමින් ශාසනයට හානිකර ලෙස සමහර භික්ෂූන් කටයුතු කිරීම නිසා ගිහි පාර්ශ්වයේ ද බොහෝ ඇත්තෝ මේ වනවිට ශාසනය පිළිබඳව කලකිරීමට පත්ව සිටිති. යම් යම් දෑ ගිහියන් විසින් සිදු කරනු ලබන නිසා භික්ෂූන්ට ද එය කැප යැයි සිතමින් තර්ක කරන භික්ෂූහු ද සිටිති. එහෙත් භික්ෂු සමාජයේ සහ ගිහි සමාජයේ වෙනස අපි හරියාකාර ලෙස තේරුම් ගත යුතු ව ඇත.

                          ලංකාවේ මිනිසුන් ඕනෑ තරම් මිනී මරා ඇත. එය සදහටම සිදු වෙමින් පවතී. එහෙත් 1959 බණ්ඩාරනායක මහතාට වෙඩි තැබුවේ භික්ෂුවක් වීම නිසා මුළු මහත් සංඝ සමාජයම පීඩාවට පත් විය. කාලයක් යන තෙක් බොහෝ භික්ෂූන්ට දානය නොලැබුණි. දුම්රියේ, බස් රියේ ආසනත් නොලැබුණි. එම අවාසනාවන්ත තත්ත්වය ඇති වූයේ භික්ෂුවක් විසින් බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම නිසාවෙනි.

                          අංගුත්තර නිකායේ තෘතීක භාගයේ අනාගත භය සූත්‍රයේ දී බුදුන්වහන්සේ දේශනාකොට ඇත්තේ කෙදිනක හෝ සංඝ ශාසනය පිරිහෙන්නේ ශාසනය තුළ සිටින සංඝයා වහන්සේම නිසා බව ය. එහි සඳහන් පරිදි එයට හේතු 06 ක් බලපායි.
                          1 භික්ෂූන් උපසම්පදා ශීලය නොරැකීම.
                          2 භික්ෂූන් ධර්මය ගවේෂණය නොකිරීම.
                          3 භික්ෂූන්ට සිව්පසය බහුල වීම.
                          4 භික්ෂූන් රාජ්‍ය තන්ත්‍රයට සහභාගී වීම.
                          5 භික්ෂූන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීම. (සුඛෝපභෝගී ලෙස සිවුරු, පිණ්ඩපාත, සේනාසන හා ගිලානුප්‍රත්‍ය ආදී සිව්පසේ බලාපොරොත්තු වීම.)

                          6. ගැඹුරු දහම් ඉගෙන නොගනිමින් ධර්මය නිසි ලෙස අවබෝධ කර ගැනීමට කටයුතු නොකිරීම.

                          කූටදන්ත සූත්‍රයේ සඳහන් පරිදි භික්ෂූන් වහන්සේ දෙතිස් තිරිසන් කතාවෙන් වැළකී සැදැහැයෙන් දෙන බොජුන් වැළඳිය යුතු වේ. දෙතිස් තිරිසන් කතා යන්නට රාජ කතා, වීර කතා, චෝර කතා යනාදිය ඇතුළත්ය.
                          ඒ පිළිබඳ තවත් උදාහරණයක් මහා සුපින ජාතකයේ සඳහන් ය. කොසොල් රජු ද දුටු සිහින 16න් එක් සිහිනයක් වූයේ ලක්ෂයක් වටිනා සඳුන් හරයක් කුණු මොරට විකිණීමය. එම සිහිනයේ තේරුම පැහැදිලි කරමින් බුදුන් දේශනා කළේ;

                          “මහ රජ අනාගතයේ සිව්පසය කෙරෙහි ලොල් වන්නා වූ භික්ෂූන් බොහෝ වන්නාහුය. මා විසින් අල්පේච්ඡතාව පිළිබඳව දේශනා කරන ලද ධර්මය ඔවුන් වෙනත් අයුරකින් දේශනා කරනු ලබයි. නිර්වාණය මුල්කොට ගෙන ධර්මය දේශනා නොකරමින් සමහර භික්ෂූන් වීදි මධ්‍යයෙහි හතරමං හන්දිවල, වාහල්කඩවල සිට කහවනු ලබා ගැනීමේ අරමුණින් දහම් දෙසති. එහි කෙළවර ශාසනය පිරිහී යාමය”.

                          කොසොල් රජු දුටු සිහින අතරින් තවත් එක් සිහිනයක් වූයේ ලබු කබල් දියේ ගිලෙද්දී ඝන රන් තහඩු දිය මත පාවීම ය. එහි අර්ථය ලෙස දැක්වූවේ අනාගතයේ බුද්ධිමතුන්ට නිසි තැන නොලැබී ඔවුන් අහු-මුළුවලට තල්ලු‍ වී යද්දී නූගත් මෝඩයන්ට උසස් තනතුරු ලැබී ඉතා උද්දච්ච ලෙස මදයෙන් මානයෙන් පිරී ජනතාවට හිංසාකාරී ලෙස කටයුතු කරන බවය.
                          සුනිල් එදිරිසිංහයන් විසින් ගයනු ලබන,

                          “සිප් කිරි පෙවු මූසිලයන් උඩු මහලේ
                          අපෙ ගුරුතුමා යයි තවමත් ඉස්කෝලේ”

                          යන ගීතයෙන් පැහැදිලි වන්නේ එම අනර්ථකාරී යුගය මේ වන විටත් උදා වී හමාර බවයි.

                          සද්ධම්ම ප්‍රතිරූපක සූත්‍රයේ දී බුදුන්වහන්සේ දේශනා කරන ලද්දේ බුද්ධ ශාසනය කවදා හෝ විනාශ වන්නේ බාහිර බලවේගයකින් නොව ශාසනය තුළින් බිහි වන්නා වූ අලජ්ජි භික්ෂූන් නිසාවෙන් බවයි. ඉතාමත් ශක්තිමත් යකඩයක් කවදා හෝ විනාශ වන්නේ බාහිර බලවේගයක් නිසා නොව ඒ තුළින්ම හට ගන්නා මලකඩ තුළින්මය යන උපහැරණය ද ගෙන පෑවේය.

                          සංයුක්ත නිකායේ “ආණි” සූත්‍රයේ සඳහන්ව ඇත්තේ අනාගතයේ ශාසනය පිරිහෙන කාලයේ දී නිවන ගැන නිවැරදි අවබෝධයක් නැති භික්ෂූන් නිසි ධර්මයක් දේශනා නොකොට උන්වහන්සේගේ ධර්මය විකෘති කොට දේශනා කිරීමට පෙළඹෙන බවයි. යමකු ධර්මය වැරදි ලෙස වටහා ගැනීමේ භයානක බව උන්වහන්සේ අලගද්දුපම සූත්‍රයේ දී පැහැදිලි කොට ඇත. එය සර්පයකුගේ වලිගයෙන් අල්ලා ගැනීමකට උන්වහන්සේ සමාන කොට ඇත.

                          බුදුන්වහන්සේ භික්ෂූන්ට අනුදැන වදාළේ “සුඤ්ඤා පරප්පවාදා සීහනාදං නදථ” යනුවෙනි. එනම් පරප්‍රවාද සුන් කරමින් සිංහයන් මෙන් බුදුන් වදාළ චතුරාර්ය සත්‍ය දේශනාව සිදු කරන ලෙස ය.

                          භික්ෂූන් කෙරෙහි ගිහියන් (උපාසක-උපාසිකාවන්) ගරු බුහුමන් දැක්විය යුතු ආකාරයත්, සිව්පසේ සැපයිය යුතු ආකාරයත් ගැන බොහොමයක් දේශනාවන්හි දී ගිහියන්ට අසන්නට ලැබේ. එහෙත් දායකයන්ට පවතින ධර්ම විනය පිළිබඳ අවබෝධයේ ප්‍රමාණයට ඔවුන් භික්ෂූන් වහන්සේගෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද යන්න ප්‍රසිද්ධියේ කිසිවෙක් කතා නොකරති. සෑම අහුමුල්ලකදීම ඒ පිළිබඳ විවේචන කරන බව අපි දනිමු. ප්‍රසිද්ධියේ කතා නොකරන්නේ බෞද්ධයාගේ හදවත් තුළ ශාසනය කෙරෙහි පවතින ගෞරවයත්, ශ්‍රද්ධාවත් නිසා ය.

                          ගිහි දායකයකු සංඝ සමාජය කෙරෙහි අහිතකර ලෙස කටයුතු කළ හොත් ඔහුට පත්තනික්ඛුඡ්ඡන කර්මයෙන් දඬුවම් කළ හැකි බව භික්ෂූන් වහන්සේට අනුදැන වදාළහ. එවැනි කර්මයක් පැනවීමට හැකි අවස්ථා 08 ක් බුදුන්වහන්සේ දේශනා කොට ඇත. එනම්,

                          1 භික්ෂුන්ගේ අලාභය පිණිස කටයුතු කිරීම.
                          2 භික්ෂුන්ගේ අනර්ථය පිණිස කටයුතු කිරීම.
                          3 භික්ෂුන්ගේ ආවාසය පිණිස කටයුතු කිරීම.
                          4 භික්ෂුන්ට ආක්‍රෝෂ පරිභව කිරීම.
                          5 මහණුන්, මහණුන් හා බිඳවීම.
                          6 බුදුන් කෙරෙහි අගුණ කීම.
                          7 දහම් කෙරෙහි අගුණ කීම.
                          8 සඟු‍න් කෙරෙහි අගුණ කීම.

                          මෙහි දී බුදුන්වහන්සේ අන්තවාදී ප්‍රතිපත්ති අනුගමනය නොකළහ. ශාසනයේ පැවැත්ම සඳහා අවශ්‍ය මධ්‍යම ප්‍රතිපදාව මත භික්ෂුන් වහන්සේ ද ශාසනයට අහිතකර ලෙස හැසිරේ නම් එම භික්ෂුන් වහන්සේට එරෙහිව අප්‍රසාදය පළ කළ යුතු අවස්ථා 08 ක් ගිහියන්ට පෙන්වා දී ඇත. අප්පසප්පසාද සූත්‍රයේ දී උන්වහන්සේ එම අවස්ථා 08 පහත පරිදි දක්වා ඇත.

                          1 ගිහියන්ගේ අලාභය පිණිස කටයුතු කිරීම.
                          2 ගිහියන්ගේ අනර්ථය පිණිස කටයුතු කිරීම.
                          3 ගිහියන්ගේ ආවාසය පිණිස කටයුතු කිරීම.
                          4 ගිහියන්ට ආක්‍රෝෂ පරිභව කිරීම.
                          5 බුදුන් කෙරෙහි අගුණ කීම.
                          6 දහම් කෙරෙහි අගුණ කීම.
                          7 සඟු‍න් කෙරෙහි අගුණ කීම.
                          8 අගෝචර ලෙස හැසිරීම.

                          ඉහත සඳහන් වැරදි 08 න් යම් වරදක් සිදු කරනු ලබන භික්ෂුවකට එරෙහිව අනුසාමය (විරෝධය) පළ කිරීමේ අයිතිය බුදුන්වහන්සේ ගිහියන්ට අනුශාසනා කර ඇත්තේ ශාසන විනාශය සිදුවීම වැළැක්වීමට ගිහියන්ගේ දායකත්වය අවශ්‍ය වන නිසා ය. එය ගිහියන්ගේ යුතුකමකි. ගිහියන් ඒ පිළිබඳ නිරන්තරයෙන් කතාබහ නොකිරීම නිසා ගිහියාට ඒ පිළිබඳ අවබෝධයක් නැතැයි යන මතයේ භික්ෂූන් නොසිටිය යුතු ය. එසේ වුවහොත් සිදු වන්නේ ශාසන පිරිහීම ඉක්මන් වීමය. ගිහියන් භික්ෂූන්ට සිව්පසය සැපයීම මෙන්ම ශාසන පරිහානිය වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීම ද ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් අත්‍යවශ්‍ය ය. විශේෂයෙන්ම පෙර රජ දරුවන් දෙවැනි සහ තුන්වැනි සංගායනා මගින් දුසිල්වත් භික්ෂූන් ශාසනයෙන් නෙරපා දමා ශාසනය පවිත්‍ර කිරීමේ මහඟු‍ යුතුකම ඉටු කළේ ද එම නිසාමය.

                          මෙහි දී සැලකිය යුතු වඩාත් සුවිශේෂී කරුණ වන්නේ ශාසන අනර්ථය ඇති කරමින් කටයුතු කරන භික්ෂූන් ඇත්තේ අතලොස්සක් බවය. භික්ෂූන් දේශපාලනයට ඇද දැමූ පාලකයෝ ද මෙම සාහසික අපරාධයේ වගඋත්තරකරුවෝය. ශාසනය රකින මහා නායක හිමිපාණන්ට පවා අවනත නොවන නොහික්මුණු භික්ෂූන් දූෂිත දේශපාලනඥයන්ගේ අනුග්‍රහය ද ලබමින් බුද්ධ ශාසනයටත්, සිංහල ජාතියටත් කරනු ලබන අපරාධය නැවැත්වීමට භික්ෂු සමාජය මෙන්ම ගිහි සමාජය ද වගකීම බාරගත යුතු ය. ඇෆ්ගනිස්ථානය, බංගලාදේශය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ඉන්දියාව වැනි රටවල බුද්ධ ශාසනය අතුරුදන් වීම පිළිබඳව අප කම්පාවට පත් වී සුසුම් හෙළුවත්, මෙරට බුද්ධ සාසනය අතුරුදන් වුවහොත් ඒ වෙනුවෙන් සුසුම් හෙළීමට කිසිවකු හෝ සිටී ද යන්න සැක සහිත ය.

                          සාසනික හා ජාතික වශයෙන් වැදගත් වන්නාවූ කාරණා සම්බන්ධව භික්ෂු සමාජය දේශපාලනික වශයෙන් බෙදී මත දෙකක් දරන්නේ නම් ඉන් සාසනයටත් ජාතියටත් අත්වන සුගතියක් නැත. සියලු භික්ෂූන් වහන්සේ එකම මතයක් දරන විටක දී පමණක් භික්ෂු සමාජයේ ශක්තිය ලෝකයාට දැකගත හැකි ය.

                          දීඝ නිකායේ සීලක්ඛන්ද වග්ගයේ කේවඩ්ඩ සූත්‍රයේ සඳහන් වන්නේ භික්ෂුවක් කුමන හෝ හේතුවක් නිසා වත් රජකුගේ, කුමාරයකුගේ හෝ ගෘහපතියකුගේ පණිවිඩකාරයෙක් හෝ නියෝජිතයෙක් නොවිය යුතු බව ය. ගිහියා බලාපොරොත්තු වන සංඝ සමාජය කුමක් දැයි යන්න සමස්ත භික්ෂු සමාජයටම අවබෝධයක් තිබේ. අද සමහර පන්සල්වල දායක සභා මෙන්ම බෞද්ධ ආයතනවල නායකත්වය ගෙන සිටින්නෝ දුසිරිතෙන් පිරුණු කූට ව්‍යාපාරිකයෝ හෝ ජාවාරම්කරුවෝ වැන්නෝය. ඒ තුළින් ද සැබෑ බෞද්ධ උපාසක උපාසිකාවෝ දැඩි කලකිරීමට පත් වී සිටිති.

                          එහෙත් ශාසනය රැකෙනුයේ දූෂිත කූට ව්‍යාපාරිකයන්ගේ මුදල් බලය හෝ දේශපාලන බලය මත නොව අසරණ දුගී දුප්පත් බෞද්ධ උපාසක උපාසිකාවන්ගේ ශ්‍රද්ධාවන්ත භාවය නිසා බව යමකු වටහා නොගන්නේ නම් එය බරපතළ ඛේදවාචකයකි. බෞද්ධ උපාසක උපාසිකාවන් ප්‍රාර්ථනා කරන භික්ෂු සමාජය කුමක් ද යන්න පිළිබඳව අමුතුවෙන් කරුණු කාරණා ඉදිරිපත් කිරීම අනවශ්‍යය.

                          දීඝ නිකායේ උදුම්බරික සූත්‍රයේ බුදුන්වහන්සේ පහත පරිදි දේශනා කොට ඇත.
                          බුද්ධෝ සො භගවා බෝදාය ධම්මං දෙසෙති.
                          සත්‍යාවබෝධය කළ බුදුරජාණෝ අන් අයගේ සත්‍යාවබෝධය පිණිස දහම් දෙසයි.
                          දන්තො සො භගවා දමථාය ධම්මං දෙසෙති.
                          ඉන්ද්‍රිය දමනය කළ බුදුරජාණෝ අන් අයගේ ඉන්ද්‍රිය දමනය පිණිස දහම් දෙසයි.
                          සන්තෝ සො භගවා සමථාය ධම්මං දෙසෙති.
                          ශාන්ත වූ බුදුරජාණෝ අන් අයගේ ශාන්තිය පිණිස දහම් දෙසයි.
                          තිණ්ණො සො භගවා තරණාය ධම්මං දෙසෙති.
                          ඕඝතරණය කළ බුදුරජාණෝ අන් අයගේ ඕඝතරණය පිණිස දහම් දෙසති.
                          පරිනිබ්බුතො සො භගවා පරිනිබ්බානාය ධම්මං දෙසෙති.
                          කෙලෙස් පිරිනිවීම කළ බුදුරජාණෝ අන් අයගෙ කෙලෙස් පිරිනිවීම පිණිස දහම් දෙසති.

                          ගිහි සමාජය බුදුන්වහන්සේගේ හෝ රහතන් වහන්සේලාගේ තරමට ආදර්ශවත් සංඝ සමාජයක් වර්තමානයේ බලාපොරොත්තු නොවුණත් ධර්ම විනයෙහි පිහිටුවා කටයුතු කරන සංඝ සමාජයක් ප්‍රාර්ථනා කරයි. එහෙත් වර්තමානයේ රට මුහුණපා ඇති අභියෝග හමුවේ, විශේෂයෙන් බහුජාතික ආක්‍රමණ හේතුවෙන් ශ්‍රී ලාංකිකයනට රට අහිමි වෙමින් යන මොහොතක භික්ෂූන් වහන්සේලාට පැවරී ඇති ඓතිහාසික කාර්යභාර්ය සමග ලෝකෝත්තර සුවය සඳහා වෙන් කළ හැකි කාලය අල්ප බවද පිළිගත යුතුව ඇත.         

                          (ඡායාරූප අන්තර්ජාලය ඇසුරිනි)

                          ජනාධිපති නීතිඥ
                          ආචාර්ය විජයදාස රාජපක්ෂ
                          ලියා ඇත

                          ...more
                          View all episodesView all episodes
                          Download on the App Store

                          SINHALA TIPITAKABy