SINHALA TIPITAKA

AN 02-08


Listen Later

අකුසල හා අකුසල මුල

තීනිමානි භික්ඛවේ, අකුසල මූලානි ලොභො අකුසල මූලං, දොසො අකුසල මූලං, මොහො අකුසල මූලං” යනුවෙන් වදාළ පරිදි ලෝභය ය, දෝෂය ය, මෝහය යන මේ ධර්මයෝ අකුශල මූලයෝ ය. 

ගස්වලට නො සැලී පිහිටීමට මුල් උපකාර වන්නාක් මෙන් අකුශල ක්‍රියා කරන්නා වූ චිත්ත චෛතසිකයන් හට ලෝභාදීහු මූල භාවයෙන් උපකාර වෙති. ඒ බැවින් ඒවාට අකුශල මූලයෝ යයි කියනු ලැබේ. අකුශල් මුල් තුනෙන් වියුක්ත අකුශලයක් නැත්තේය. එක අකුශල් සිතක ඒ තුනමද නොලැබේ. සමහර අකුශල සිතකට එයින් එක් මූලයක් ඇත්තේ ය. සමහරකට දෙකක් ඇත්තේය. යම් කිසි සිතක් එයින් එකකින් හෝ දෙකකින් හෝ යුක්ත වේනම් එය අකුශල සිතකි. ලෝභාදියෙන් යුක්ත බව, අකුශල චිත්තය අකුශල චේතනාව හැඳින ගැනීමට ලකුණකි.

ලෝභය යනු රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍ෂ්ටව්‍ය ධර්ම සංඛ්‍යාත අරමුණු සයට ඇලුම් කරන ස්වභාවයය. තවත් ක්‍ර‍මයකින් කියත හොත් අඹු දරු ආදීන් කෙරෙහි හා වතු කුඹුරු ගෙවල් ඇඳුම් පැළඳුම් ආහාර පාන මිල මුදල් ආදි හොඳය යි සලකන වස්තූන් කෙරෙහි ඇලීමය. ලෝභය, ආරම්මණය යි කියනු ලබන ලෝභනීය වස්තු කෙරෙහි හා ගුණයන් කෙරෙහි ඇලෙන්නා වූ ආකාරයෙන් එකක් වුවද, පවත්නා ආකාරයෙන් අනේක ප්‍ර‍කාර වේ. අනේකප්‍ර‍කාරයෙන් ඇති වන්නා වූ ලෝභයන්ට ව්‍යවහාර කරන නාමයෝ ද බොහෝ ය. නො ලැබූ වස්තු සම්බන්ධයෙන් හා නො ලැබූ සැප සම්බන්ධයෙන් ද, නො කළ ක්‍රියා සම්බන්ධයෙන් ද, ඇති කර නො ගත් ගුණාදිය සම්බන්ධයෙන් ද, පවත්නා ලෝභයට බොහෝ සෙයින් ඕනෑකමය ආශාවය යන වචන පාවිච්චි කරති. ගන්න ඕනෑය, දෙන්න ඕනෑය යනාදි තන්හි “ඕනෑය, යන වචනයෙන් කියවෙන අර්ථය ලෝභය නො වේ. අඹු දරුවන් සම්බන්ධයෙන් නෑ මිතුරු ආදීන් සම්බන්ධයෙන් පවත්නා වූ ලෝභයට ආලය, ආදරය, ප්‍රේමය, ස්නේහය යන වචන ව්‍යවහාර කරති. සමහර විට ඒ අර්ථය ප්‍ර‍කාශ කරනු පිණිස මෛත්‍රියය, කරුණාවය යන වචන ද ධර්ම විභාග නොදන්නෝ පාවිච්චි කරති. විෂම රස විඳීමේ ලෝභයට රාගය, සල්ලාලකමය, ප්‍රීති වීමය යන වචන පාවිච්චි කරති. ඒවා පිළිබඳ අධික තෘෂ්ණාවට කැතකම යයි කියති. ලැබූ වස්තුව පිළිබඳ ආශාවට තෘෂ්ණාවය, ලෝභ කමය, කැත කමය, කුණු කමය යන වචන කියති. ලෝභය යන අර්ථය දීම සඳහා භාවිත කරන තවත් බොහෝ වචනද ඇත්තේ ය.

ඇතැම් පුද්ගලයන් හා ඇතැම් වස්තූන් ද ඇතැම් ගුණ හා ක්‍රියා ද නුරුස්නා ස්වභාව, ඒවාට විරුද්ධ ස්වභාව දෝෂ නම් වූ අකුසල මූලයයි. එය ද අනේකාකාරයෙන් පවත්නා ධර්මයෙකි. නො සතුට, අකැමැත්ත, නුරුස්නා බව, කණගාටුව, එදිරිය, තරහව, වෛරය, ක්‍රෝධය, පිළිකුල, භය, යන මේවා දෝෂය සඳහා භාවිතා කරන වචන සමහරෙකි.

මේ දෝෂය බලයෙන් තමාට සමවූ හෝ තමාට වඩා දුබල වූ හෝ කෙනකු සම්බන්ධයෙන් උපදනා කල්හි විරුද්ධව ඉදිරිපත් වන්නා වූ ආකාරයෙන් උපදී, ඒ දෝෂයට ‍ක්‍රෝධය යයි කියනු ලැබේ. තමාට වඩා බලවත් වූ හෝ ප්‍ර‍තික්‍රියාවක් කිරීමට තමා සමත් නො වන්නා වූ හෝ කෙනකු සම්බන්ධයෙන් එය උපදනා කල්හි, ඒ පුද්ගලයා කෙරෙන් ඈත් වන්නා වූ පසු බසින්නා වූ ආකාරයෙන් උපදී. එයට බිය යයි කියනු ලැබේ. දීර්ඝ කාලයක් නැවත නැවතත් උපදිමින් පවත්නා දෝෂයට වෛරය යි කියනු ලැබේ. යම් කිසි පුද්ගලයකු ගේ වස්තුවක අශෝභනත්වය ලාමකත්වය නිසා උපදනා දෝෂයට පිළිකුලය යි කියනු ලැබේ.

ඒ ඒ වස්තූන්ගේ හා කරුණුවල ඇති සැටිය වරදවා ගන්නා වූ ස්වභාවය, මෝහ නම් වූ අකුශල මූලය ය. මුළාව ය, නො දැනීමය, වැරදීමය, මෝඩ කමය යනාදිය එයට ව්‍යවහාර කරන නාමයෝ ය. ලෝභ දෝෂ මෝහ ය මොවුහු පාපයන්ට මුල්වුවාහු පමණක් නොව තුමූ ද පාපයෝ වෙති. ලෝභයෙන් බොහෝ සෙයින් සත්ත්වයා තිරිසන් බවට හා ප්‍රේත බවට පමුණුවනු ලැබේ. ඇතැම්හු වස්තුවට හා අඹු දරු ආදීන්ට ලෝභ කොට ඒ වස්තුව සමීපයේ පුද්ගලයන් සමීපයේ ප්‍රේතව උපදිති. මීයන් වද නයින් වද ගැරඬින් වද උපදිති. සමහර විට උකුණු මකුණු ආදීන්ව ද උපදිති. දෝෂය නිසා නරකයෙහි ද, යක්‍ෂව ද, නපුරු සතුන්ව ද උපදිති. මෝහය සකලානර්ථයන්ට ම හේතු වන පාපයකි. දෙලෝ වැඩ කැමැත්තෝ මේ පව් මුල් තුන තුනී කර ගැනීමටවත් උත්සාහ කෙරෙත්වා!

මේ සනිමිත්ත වග්ගයේ සුත්‍ර වල මේ අකුසල ධර්මයන් සන්තානයේ ඇතිවීමට නිමිති , නිධාන, හේතු, ගැනද අකුසල ධර්මයන් සමග ඇතිවන වෙනත් ධර්මයන් ගැනද ඉතා කෙටියෙන් දක්වා ඇත.

AN 02-08-01 සනිමිත්ත සූත්‍රය.
AN 02-08-02. සනිදාන සූත්‍රය.
AN 02-08-03. සහේතුක සූත්‍රය.
AN 02-08-04. සසංඛාර සූත්‍රය.
AN 02-08-05. සපච්චය සූත්‍රය.
AN 02-08-06. සරූප සූත්‍රය.
AN 02-08-07. සවේදනා සූත්‍රය.
AN 02-08-08. සසඤ්ඤා සූත්‍රය.
AN 02-08-09. සවිඤ්ඤාණ සූත්‍රය.
AN 02-08-10. සංඛතාරම්මණ සූත්‍රය.

AN 02-08-01 සනිමිත්ත සූත්‍රය.

[නිමිත්ත මෙහි කරුණු ලෙස දක්වා සනිමිත්ත කරුණු සහිතව ලෙස දක්වා ඇත. මේ වග්ගයේ සියලුම සුත්‍රවල දැක්වෙන්නේ සියලු අකුසල ධර්මයන් ඉබේ ඇති වෙනවා නොව නිමිති, හේතු, කාරනා, නිධාන සහිතව ඇති වෙන බවය.]

“මහණෙනි,
ලාමක අකුසල ධර්‍මයෝ කරුණු සහිතවම උපදිත්.
කරුණු රහිතව නූපදිත්.
එම කාරණා දුරුකිරීමෙන්
ලාමකවූ අකුශල ධර්‍මයෝ නූපදිත්.”

AN 02-08-02. සනිදාන සූත්‍රය.

“මහණෙනි,
ලාමකවූ අකුසල ධර්‍මයෝ නිදාන සහිතවම උපදිත්.
නිදාන රහිතව නූපදිත්

ඒ නිදාන දුරුකිරීමෙන්
ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “

AN 02-08-03. සහේතුක සූත්‍රය.

“මහණෙනි,
ලාමකවූ අකුසල ධර්‍මයෝ හේතු සහිතවම උපදිත්,
හේතු රහිතව නූපදිත්
ඒ හේතු දුරුකිරීමෙන්
ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “

AN 02-08-04. සසංඛාර සූත්‍රය.

“මහණෙනි,
ලාමකවූ අකුසල ධර්‍මයෝ සංස්කාර සහිතවම උපදිත්.
සංස්කාර රහිතව නූපදිත්.
ඒ සංස්කාරයාගේම දුරුකිරීමෙන්
ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්. “

AN 02-08-05. සපච්චය සූත්‍රය.

“මහණෙනි,
ලාමකවූ අකුසල ධර්‍මයෝ ප්‍රත්‍යය සහිතවම උපදිත්.
ප්‍රත්‍යය රහිතව නූපදිත්.

ප්‍රත්‍යය දුරුකිරීමෙන් ඒ ලාමකවූ
අකුසල ධර්‍මයෝ නූපදිත්. “

AN 02-08-06. සරූප සූත්‍රය.

“මහණෙනි,
ලාමකවූ අකුසල ධර්‍මයෝ රූප නිසාම උපදිත්.
රූප රහිතව නූපදිත්.

ඒ කාරණය දුරුකිරීමෙන්
ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”

[රූප යනු ඇසට ගැටෙන රූප පමණක් නොව පසිඳුරනට ගැටෙන වර්ණ රුප, ශබ්ද රුප, ඝන්ධ රුප, රස රුප, පොට්ටබ්භ රූප යන පස් වැදෑරුම් රූපමය. සැබවින්ම රූපය මෙසේ අකුසල සාදන්නේ නැති මුත්, ඒ රුප නිසා සන්තානයේ ඇතිවන ඇල්ම හා ගැටීම අකුසල ධර්ම වලට හේතු වේ. අකුසල ඇති නොවීමට ඇස කණ වසා අඳ බිහිරි අය ලෙස ඉන්නවා නොව ඒ රූප රුප බවත්, ඒවා නිසා සන්තානයේ උපදින සංකප්ප (සිතුවිලි) නිසා මේ මතු විපාක දෙන අකුසල ධර්ම ඉපිදෙන බවත් අවබෝධකරගෙන රූප දකින විට ඒ දෙස ඇත්ත ඇති සැටියෙන් එනම් අනිච්ච , දුක්ඛ, අනාත්ම ලෙස දකිමින් ඉන්නවා නම් මේ ලාමක අකුසල් සිතේ ඇති නොවේ. ]

AN 02-08-07. සවේදනා සූත්‍රය.

“මහණෙනි,
ලාමකවූ අකුසල ධර්‍මයෝ විඳීම් සහිතවම උපදිත්.
වින්දන රහිතව නූපදිත්.

වින්දනයන් දුරුකිරීමෙන්
ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”

[වේදනා” ලෙස සැම දේශකයෙක්ම කියන්නේ වින්දන ගැනයි. වින්දන තුන් ආකාරයක වේ, සුඛ, දුක්ඛ, අසුක්ඛ- අදුක්ඛ ලෙසය. සුඛ වේදනාවලින් ඇලීම, තෘෂ්ණාවද, දුක්ඛ වේදනාවලින් දෝස සිතිවිලිද හටගනී. මේ වින්දන දෙක නිසා ඇතිවන සිතිවිලි අකුසල මුල එනම් ලෝභ , දෝස, මෝහ තුනෙන් එකකට හෝ බොහෝවිට දෙකකට අයත් වේ. තුන්වන වින්දනය ලෙස උපේක්ඛා වින්දනය ගත්විට ඒ නිසා අකුසල ඇති නොවේ. එහෙයින් ඥාණවන්තයා කල යුත්තේ සෑම අරමුනකම උපේක්ඛාව ඇති කර ගැනීමය. ඒ පිණිස නොයෙක් ක්‍රමෝපායන් අපේ සාස්තෘන් වහන්සේ උගන්වා ඇත.]

AN 02-08-08. සසඤ්ඤා සූත්‍රය.

“මහණෙනි,
ලාමකවූ අකුසල ධර්‍මයෝ සංඥා සහිතවම උපදිත්.
සංඥා රහිතව නූපදිත්.

සංඥාවන් දුරුකිරීමෙන්
ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”

[අරමුණු දකිනා සත්වයා ඒ අරමුණෙහි සංඥාව ගනී. සංඥාව කියන්නේ කුමක්ද යත්:-
සෑම ධර්මයක ම සෑම වස්තුවක ම ඒ ඒ ධර්මය ඒ ඒ වස්තුව අන්‍ය ධර්ම අන්‍ය වස්තූන්ගෙන් වෙන් කොට හැඳින ගැනීමට උපකාර වූ එක්තරා ස්වභාවයක් ඇත්තේය. එය ද ඒ ඒ ධර්මයන්ගේ ඒ ඒ වස්තූන්ගේ ගුණයෙකි. සිතින් අරමුණක් ගන්නා කල්හි එය සමග ම එය හා මිශ්‍ර‍ව ආරම්මණයාගේ ගුණයක් වූ හැඳින ගැනීමට උපකාර වන ස්වභාව ගැනුමක්ද වේ. ඒ ස්වභාවයට සංඥා චෛතසිකය යි කියනු ලැබේ. හැඳින ගැනීමට උපකාර වන ස්වභාවය නැති අරමුණක් නැතිවාක් මෙන්ම සංඥාව හා අමිශ්‍ර‍ සිතක්ද නැත. සිතින් අරමුණු ගැනීමක් වෙතොත් ඒ සමග ම ආරම්මණයාගේ ලක්ෂණය ගැනීමද ඒකාන්තයෙන් සිදුවේ. එය නැතිව සිතක් නූපදිය හැකි ය. එබැවින් සඤ්ඤාව සර්වචිත්ත සාධාරණය. යම් කිසි අරමුණක් පිළිබඳව ප්‍ර‍ථමයෙන් ඇතිවන්නා වූ සංඥාව මතු ඒ අරමුණ හැඳින ගැනීමට උපකාර වේ. ඒ අරමුණ පසු කාලයේ නැවත නැවත සිතින් ගැනීමේ දී ඒ සිත් සමග උපදනා සංඥාව පළමු සංඥාව අනුවම උපදී. එබැවින් සංඥාව මතු හැඳින ගැනීමට සලකුණු කරන ධර්මයකැයි ද පෙර කරන ලද සලකුණෙන් අරමුණ හැඳින ගන්නා ධර්මයකැයි ද කියනු ලැබේ. සංඥාව සැම කල්හි ම ඇති සැටියට ම ඇති වන්නක් නො වේ. නොයෙක් විට එය වැරදි ලෙස ද ඇති වේ. තිරිසනුන්ට ගොවිපළවල තිබෙන රූපයන් පිළිබඳව (පඹයන් පිළිබඳව) ඇතිවන මනුෂ්‍ය සංඥාව බඳු සංඥාවෝ වැරදි ලෙස උපදනා සංඥාවෝය. වැරදි ලෙසින් හෝ ඇති සැටියෙන් ම හෝ ඇතිවන්නා වූ කවර සංඥාවක් වුවත් නැවත නැවත ඇතිවීමෙන් බලවත් වී අමතක නො වන සංඥාවක් බවට පැමිණේ. වැරදි සංඥාවක් වුව ද, නැවත නැවත ඇති වීමෙන් බලවත් වූ කල්හි අත හැරීමට දුෂ්කර තැනට පැමිණේ. සංඥා විඥාන දෙක මඳක් ඔවුනොවුන්ට සමාන ධර්ම දෙකකි. ආරම්මණය ගැනීම විඥානය යි ද ආරම්මණයා ගේ ආකාරය ගැනීම සංඥාව යි ද ගත් කල්හි එහි වෙනස පෙනෙනවා ඇත. ඒ වැරදි සංඥාවන් නොගැනීමට යෝනිසෝ මනසිකාරය පුරුදු කල යුතුය.]

AN 02-08-09. සවිඤ්ඤාණ සූත්‍රය.

“මහණෙනි,
ලාමකවූ අකුසල ධර්‍මයෝ විඤ්ඤාණ සහිතවම උපදිත්.
විඤ්ඤාණ රහිතව නූපදිත්.

විඤ්ඤාණය දුරුකිරීමෙන්
ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නූපදිත්.”

[ විපාක සිත්හි චිත්ත චෛතසික සම්ප්‍රයුක්ත වැම ඇත්තේය. එහෙත් මෙහි විඥාන යනුවෙන් චිත්ත පමණක්ම ගත යුතුය. චෛතසික කොටස නාමරූප යන තන්හි නාම යන්නෙන් දැක්වේ. “සංඛාර පච්චයා විඤ්ඤාණං” යි කී තන්හි ද විඤ්ඤාණ යන්නෙන් කියවුණේ චිත්තය පමණෙකි. චිත්ත චෛතසික එක්වැ යෙදුණද ඔවුන්ගේ සූක්‍ෂම භේදය නිතර සිත්හි තබාගත යුතු යි. “අවිජ්ජා” යි කීයේ මෝහ චෛතසිකය යි. සංඛාරයි කීයේ චේතනා චෛතසිකය යි. විඤ්ඤාණ යි කීයේ චිත්තය යි. චෛතසිකයෙන් තොර වැ චිත්තය පමණෙක් කිසි විටෙක පහළ වේ ද? නැත. විඤ්ඤාණ වත් ම නාම රූප සළායතන ඵස්ස වේදනා ද වන්නේ ය. එහෙත් විඤ්ඤාණ නැත්නම් චෛතසික කැල ම නැත. එ බැවින් “සංඛාර පච්චයා විඤ්ඤාණං” යි පළමු කොටැ කියන ලදි.]

AN 02-08-10. සංඛතාරම්මණ සූත්‍රය.

“මහණෙනි,
ලාමකවූ අකුසල ධර්‍මයෝ සංඛතාරම්මණ සහිතවම
(ප්‍රත්‍යයෙන් නිපන් සංඛත ධර්‍මයන් අරමුණුකොට)ම උපදිත්.

අසංඛතාරම්මණ සහිතව
(අසංඛතවූ නිර්‍වාණය අරමුණුකොට) නූපදිත්.

ඒ සංඛත ධර්‍ම දුරුකිරීමෙන්
මෙසේ ඒ ලාමකවූ අකුසල ධර්‍මයෝ නොවෙත්.”

[සංඛත යනු වෙනස්කල, සකස් කල ස්වභාවයට අයත් දේය. ලෝකයේ ඇති සියල් දේ මිනිසුන් විසින් සකස් කර වෙනක්ස කර ඇත. අපි ආරම්මණ ලෙස ගන්නේ සැබෑ දේ නොව එසේ වෙනස් කල දේ නිසා., තිලක්ෂණ දකින්නට ඒ අවහිර කරයි. ඉහත අඩංගු කල උඩඊරියගම ධම්මජීව හිමි කල මේ සුත්‍ර ධර්ම විවරණ දේසනාව කිහිපවරක් අසා ඔබ මේ වැදගත් කාරණය වටහාගන්නේනම් එය ඔබේ ගමනට මහත් ආලෝකයක් වනු ඇත.]


...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy