Sign up to save your podcasts
Or

සත්වයා සසර දුවවන්නේ කාමය, රාගය, ආසාව, කැමැත්ත,තන්හාව, සෙනෙහස ආදරය, ආලය ආදී නොයෙක් නම් වලින් හඳුන්වන එකම ධරමයක් නිසාය. මේ කාම රාගය සසර දුවවන්නට ඉන්ධනය වේ. පංච කාමයන් කෙරෙහි ඇති තන්හාව නිසාම අපි මැරි මැරී යලි යලි ඉපිදෙමු. මේ රාග පෙය්යාලයේ ඇති සුත්‍ර දහයෙන් කියවෙන්නේ කාමය මනාකොට අවබෝධ කරගත්තොත් මේ සසර පුරා දුවන දිවීම තරමකට හෝ අඩු කරගත හැකි බවය.
මේ අවබෝධය ඇති කර ගැනීම
අභිඤ්ඤා ලෙස,
පරිඤ්ඤා ලෙස,
පරික්ඛන ලෙස
පහාන කරන අරමුනින්
රාගක්ඛය කිරීමේ
විනාශ කිරීමේ
විරාගය ඇතිවෙන සේ
නිරෝධ කරනු පිණිස,
අත්හැර දැමීම පිණිස,
පටිනිස්සග්ගය පිණිස
දෝස දකින ලෙස
දොස පිරිසින්දිමින්
දකින්නට ක්‍රම වේදය මෙහි කියැවේ.
[රාගස්ස භික්‍ඛවෙ අභිඤ්ඤාය යනු පංච කාමගුණික රාගය මනාව දැනගනු සඳහායි. ප්‍රත්‍යවේක්‍ෂා කිරීම පිණිසයි. ප්‍රත්‍යාවේක්ෂ කිරීම පිණිසයි.]
පුජ්‍යපාද හේන්පිටගෙදර ඥාණසීහ මහා ස්වාමින්වහන්සේ
“මහණෙනි,
රාගය මනාව දැන හැඳිනීම පිණිස
දහම් දෙකක් වැඩිය යුතුය.
“කවර දෙකක්ද යත්,
සිත්හි එකඟබව (සමාධිය) ද,
විදර්‍ශනාවද
යන දෙකයි.
“මහණෙනි, රාගය මනාව හැඳින දැන ගැනීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
[විදර්ශනාව : අනිත්‍ය, දුක්ඛ. අනාත්ම වශයෙන් විවිධාකාරයෙන් සංස්කාර ධර්මයන් දැකීම කොට ඇති භාවනාවයි.]
වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන්
රාජමහා විහාරාධිපති
තුඹුල්ලේ සීලක්ඛන්ධ නා හිමි
‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සරල අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි. පුහුදුන් සිත නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ සැප අත්පත් කරගැනීමේ ක්‍රියාවලියෙහි යෙදීමටයි. ඉතින් අප මේ සැප ළඟා කර ගැනුමට යොදා ගන්නා ඇස, කන, නාසය, දිව හා ශරීරය ඉන්ද්‍රිය පහක් ධර්මයෙහි උගන්වනවා. මේ ඉන්ද්‍රිය පහ නිරන්තරයෙන් උත්සාහවත් වන්නේ මේ අරමුණු පිටුපස හඹා යන්නටයි.
‘කාම’ යන්න බුදුදහමෙහි නිතර භාවිත වන වචනයකි. එහි සාමාන්‍ය සරළ අදහස වන්නේ කැමැත්ත යන්නයි. ධර්මයෙහි උගන්වන පරිදි මොකක්ද? මේ කැමැත්ත. සසර දිගු කිරීමට හේතුවන පස්කම් සැප පිළිබඳ කැමැත්තය. කම් සැප ලෙස ධර්මයෙහි විස්තරවන කරුණු පහක් පෙන්වා දෙන්නට පුළුවනි. ඒවානම් රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ යන පහයි.
මිනිස් සිත ඒ අරමුණු කෙරෙහි හඹා යා නොදී පාලනය කර ගැනීම තුළින් තමයි මේ කාමය පාලනය කර ගත හැකි වන්නේ. ඒවා පාලනය කර ගැනුමට හේතු වන සිතිවිලි දෙකක් ‘හිරි’ හා ‘ඔත්තප්ප’ ලෙස ධර්මයෙහි පෙන්වා දී තිබෙනවා. සත්ත්වයාගේ ප්‍රතිසන්ධිය හෙවත් නැවත උපත ලබාදීමට හේතු වන්නේ කාම සිතිවිලි එකතුවීමයි. කාම සිතිවිලි නිසා අප විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් සියල්ලටම කෙටියෙන් විස්තරයක් ලබා දෙනවා නම් ඒවා ‘කුසල’ හා ‘අකුසල’ කර්ම ලෙස පෙන්වා දෙන්නට පුළුවනි. ඒ ආකාරයෙන් බලනවිට කාටද? මේ කුසල සිතිවිලි ඇතිවන්නේ. පුහුදුන් එනම් කෙලෙස් සහිත සත්වයාටයි. බුදු පසේ බුදු, මහරහත් උත්තමයන්ට මේ කුසල හෝ අකුසල සිත් පහළ නොවන නිසා උන්වහන්සේලා අතින් සිදුවන්නේ හුදෙක් ක්‍රියාවන් සමුදායක් පමණයි.
කාමයන් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර රාශියක් ම පවතිනවා. අද අපි විස්තර කර දෙන්නට අපේක්ෂා කරන්නේ ‘කාමාධිවචන’ නමැති සූත්‍රධර්මයයි. උන්වහන්සේ මේ සූත්‍රය දේශනා කර වදාරන්නේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන අවස්ථාවකයි. එහිදී උන්වහන්සේ පෙන්වා දී තිබෙනවා කාමය යන්නට ම දිය හැකි තවත් වචන කීපයක්. එයින් පළමුවැන්න ලෙස පෙන්වා දෙන්නේ ‘දුක්ඛ’ යන්නයි. දුකෙහි අවසානයක් දකින්නට නම් දුක ඇතිවීමට හේතුව කුමක්ද? යන්න පිළිබඳ මනා විමසීමකින් යුක්තව සිහියෙන් ක්‍රියා කළ යුතු වෙනවා. එහෙම වුණොත් ඔහුට වැටහෙනවා මේ දුක ඇති වන්නේ තම සිතේ දැවෙන පංචකාම වස්තු පිළිබඳ ඇලීම නිසා බව. ඉතින් ඒ සඳහා මනා සිහිය පවත්වා ගැනීම අවශ්‍ය වෙනවා. එවිටයි දුක වටහා ගත හැකි වන්නේ. ඔහුට මේ තත්ත්වයෙන් අතමිදෙන්නට නම් කල්‍යාණ මිත්‍රයෙකුගේ පිහිට පතන්නට අවශ්‍ය වෙනවා. එහෙත් තම චිත්ත සන්තානයෙහි බලපවත්නා කාමෝන්මාද ස්වභාවය මෙයට අවස්ථාව සලසා දෙන්නේ නැහැ. මේ නිසා සදාකාලිකව දුක් විඳිනවා ‘කාම’ යනු භය ලෙසත් සඳහන් වෙනවා. එයින් අදහස් කරන්නේ ‘කාම’ යන වචනයට ‘භය’ යන අරුත දෙනවා කියන එකයි. ජීවිතයේ අප නිරන්තරයෙන්ම මේ භය අත්විඳිනවා. නිතරම අප භයෙන් ජීවත් වෙනවා. තිරිසන් ගත සුනඛයෙක්, නරියෙක්, අලියෙක්, සර්පයෙක් වැනි සතෙක් ගැන මොහොතකට සිතා බලන්න. මේ තිරිසන් සත්ත්වයෝ කොතරම් භයෙන්ද ජීවත් වන්නේ කියලා. මොකක්ද? මේ භය තමන්ගේ ජීවිතයට තර්ජනයක්, විපතක් කරදරයක් වේ දෝ කියන භය, මේ නිසා සර්පයා පවා වෙනත් ප්‍රාණියෙක් දැක්ක විගස ඒ සතාගෙන් බේරී යන්න උත්සාහ කරනවා. එසේ බැරි වෙයි කියලා සිතන කොට ඒ සර්පයා තමන්ට භය ගෙන දෙන ප්‍රාණියාට දෂ්ට කරනවා. ඉතින් මිනිසාත් එහෙම තමා. ඔහුට බුද්ධිය තිබෙන නිසා හුරු පුරුදු මිනිසුන් දුටුවිට භයක් ඇති කරගත්තේ නැතත් නුහුරු නුපුරුදු පරිසරයක මිනිසෙකු දුටුවිට ඒ මනුස්සයාගෙන් අපට විපතක් වේද? කියා වරෙක තැති ගන්නවා. මේ තමා හැම පුහුදුන් සත්වයෙකුගේම ස්වභාවය. එනම් සියලු භය දුරු කළ උත්තමයා යන්නයි.
ඒ වගේ ම කාම යන්නට යෙදෙන තවත් අර්ථයක් ලෙස බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. රෝග යන්න. මෙය ව්‍යසනයක් ලෙසයි විස්තර වන්නේ. කාම යන්නත් එක් ආකාරයක රෝගයක්. ඇයි? එය රෝගයක් වන්නේ මේ නිසා පුද්ගලයා කායික හා මානසික වශයෙන් මහත් පීඩාවකට ගොදුරු වෙනවා. එපමණක් ම නොවෙයි කාමය නිසා ඇතිවන අරමුණු සම්පූර්ණ කර ගන්නට අපහසු වූ විට ඒ තුළින් සත්වයා නිරන්තරයෙන් තැවීමකට පත් වෙනවා. මේ තැවීම නිසාම රෝග පීඩාවන්ට ගොදුරු වෙනවා. ධර්මයෙහි විස්තර වන ආකාරයට මේක ‘ඕඝය’ ක් ඉතින් ඕඝයක් හෙවත් සැඩ පහරක් වන මේ කාමය සත්ත්වයා දුකට ඇද ගෙන තල්ලුකර ගෙන යනවා. ඒ නිසා දුක් සහිත තත්ත්වයක් ලෙස රෝග පීඩා හඳුන්වා දෙන්නට පුළුවනි. කාමයට ධර්මයෙහි භාවිත වන තවත් වචනයක් ලෙස ‘සල්ල’ යන වචනය පෙන්වා දී තිබෙනවා. සල්ල යන්නෙහි අර්ථය වන්නේ ‘උල’ යන්නයි. තවත් ආකාරයකින් ප්‍රකාශ කරනවා නම් කටුව, විදිනය, වේදනා සහගත කාවැදීම යන අර්ථ ලබා දෙනවා. බුදුදහමට අනුව චිත්ත සන්තානයෙහි ඇතිවන කාවදින නිරන්තරයෙන් බලපාන රාග, දෝෂ, මෝහ, මාන, දිට්ඨි යන ධර්මතා මේ වචනයෙන් අදහස් වේ. මේ එක් එකක් ගෙන බලනවිට ඒ හැම එකකින්ම අපේ චිත්ත සන්තානය පලුදු වෙනවා. මේවා සිත සිදුරු කරන සිතිවිලි. ඒ විතරක් නොවේ පුහුදුන් සිතේ නලියන මේ සිතිවිලි ක්‍රියාත්මක වීමෙන් තම සිත පලුදු වෙනවා පමණක් නොව ඕනෑම සමාජයක ජීවත් වන විට සමාජයේ අනිකුත් බොහෝ දෙනාට වධයක් පිණිස හිංසාවක් පීඩාවක් පිණිස හේතු වෙනවා. මේ සියල්ල ම මීළඟට කාම යන්නට යෙදෙන තවත් අර්ථයක් ප්‍රකාශ කරන වචනයක් ලෙස මෙම සූත්‍රයෙන් පෙන්වා දෙනව ‘සග‘ යන්න මේ සග යන්නෙන් අදහස් කරන්නේ ඇලෙන, ගැලෙන හෙවත් ලගින ස්වභාවයයි. ඇලෙන ලගින ගතිය නිසා සිදු වන්නේ වෙන් කළ නොහැකිව බැඳී පැවතීමයි. අපේ සිත්වල බලපවත්නා විවිධ කාම සිතිවිලිවල ස්වභාවයම ඇලෙන, ලගින ගතියයි. එයින් ඉවත් වීම, වෙන්වීම හරිම දුෂ්කර වැඩක්. අද අප ජීවත්වන මේ සමාජයේ සිය දිවි නසා ගැනීම්වල ස්වභාවය හා හේතු යුක්ති සළකා බැලුවහොත් මේ තත්ත්වය අපට මැනවින් වැටහෙනවා. හොර මැර තක්කඩිකම්වලට, මත්ද්‍රව්‍යයන්ට, මත්වතුරට ඇලෙන, ඇබ්බැහි වූවන් ගැන විමසා බැලුවත් මේ තත්ත්වයෙහි වෙනසක් දකින්නට පුළුවන්කමක් නැහැ. මේ ඇලෙන ලගින ස්වභාවය නිසා කාම සිතිවිලි මිනිස් සිතට වධ දෙනවා.
‘කාම’ යන්නට තවත් යෙදෙන වචනයක් ලෙස ‘කාමාධිවචන’ සූත්‍රයෙහි කියවෙනවා. ‘පධ¢ක’ යන්න. සාමාන්‍ය අර්ථය වශයෙන් ගත්තහම ‘පධ¢ක’ යන වචනයේ තේරුම වන්නේ ‘මඩ’ යන අදහසයි. ඉතින් කාමය මඩ යන අර්ථයෙන් මෙහිදී සටහන් වන්නේ මේ කාමයෙහි ගති ලක්ෂණ ස්වභාවය අනුවයි. මඩෙහි ස්වභාවයන් කිහිපයක් වෙනවා. ඇලෙන, තැවරෙන ගතිය එක ලක්ෂණයක්. එමෙන්ම එරෙන ගතිය තවත් සභාවභාවයක්, වැගිරෙන ගතිය තවත් ස්වභාවයක්. පැල්ලම් සහිත ගතිය වැනි තවත් ස්වභාවයන් තිබෙනවා. ඊටත් වඩා මඩේ එ වරුණ විට නැගිට ගැනීමත් දුෂ්කර වෙනවා. එරිලා මිය යන්ටත් පුළුවනි. මේ නිසා මේ තත්ත්වය පවතින ස්වභාවයක් ලෙස කාමයන් පිළිබඳ වුවද සැලකීමට පුළුවනි.
අවසාන වශයෙන් ‘කාම’ යන්නට අර්ථයක් දෙනු ලබන්නේ එය ගර්භයට හෙවත් දරු ගැබකට සමාන කරලයි. ගර්භාෂය නිරන්තරයෙන්ම විවිධ අපද්‍රව්‍යයන්ගෙන් පිරුණු දුර්ගන්ධය නිකුත් කරන අපිරිසුදු ස්ථානයකි. කාමාසක්ත පුද්ගලයා නිරන්තරයෙන්ම ජීවත් වන්නේ එවැනි අපිරිසුදු ගැබකයි. එනම් ඔහුගේ හෝ දිවිපැවැත්ම නිරන්තරයෙන් අපිරිසුදු පිළිකුල් සහගත වන ආකාරය මෙයින් ප්‍රකාශ වෙනවා.
මේ ආකාරයෙන් කාමරාගයෙන් බැඳී, වෙලී ජීවත් වන අය මෙලොවත් පරලොවත් දුකෙන් (දුක්ඛ) පෙළෙනවා. භයෙන් (භය) ජීවත් වෙනවා. රෝග පීඩාවන්ගෙන් (රෝග) ද නිරතුරුව ම පෙළෙනවා. මෙලොව උපත ලබනවා වගේම පරලොවත් උපත ලබනවා. දුක් විඳිනවා. නිරන්තරයෙන් තමන්ට උල්වලින් කටුවලින් (සල්ල) අණිනවා වැනි වේදනාවන්ගෙන් පෙළෙනවා. මේ නිසා කාමය දුරලීමේ ශක්තිය තමන් තුළ ඇති කරගැනීමේ උත්සාහයක යෙදීමේ අවශ්‍යතාවය බුදුරජාණන් වහන්සේ මෙහිදී පැහැදදිලි කර දී තිබෙනවා.
[පරිඤ්ඤාය යනු (මනාව) හාත්පසින් දැනගැනීම සඳහායි]
පුජ්‍යපාද මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන්වහන්සේ
“මහණෙනි,
රාගය පිරිසිදුව දැනගැනීම පිණිස
දහම් දෙකක් වැඩිය යුතු වෙත්.
“කවර දෙකක්ද යත්,
සමාධියද,
විදර්‍ශණාවද වෙත්.
“මහණෙනි,
රාගයාගේ පිරිසිදුව දැනගැනීම පිණිස
මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
“මහණෙනි,
රාගයාගේ ගෙවී යාම පිණිස
ධර්ම දෙකක් වැඩිය යුතු වෙත්.
“කවර දෙකක්ද යත්,
සමාධියද,
විදර්‍ශණාව ද
ලෙසිනි..
“මහණෙනි,
රාගයා ගෙවා දැමීම පිණිස
මේ ධර්ම දෙක වැඩිය යුතුය.
කොළඹ විජේරාම මාවතේ,
ජාත්‍යන්තර විපස්සනා
භාවනා මධ්‍යස්ථානාධිපති
උඩුදුම්බර කාශ්‍යප හිමි
තියුණු ප්‍රඥාවක් ඇති කර ගැනීම සඳහා භාවිත කළ හැකි ක්‍රමවේදයක් අංගුත්තර නිකායේ, ඡක්ක නිපාතයේ, නිබ්බේධික සූත්‍රයෙන් විස්තර කෙරේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද යම් ධර්මයක් තිබේ නම්, සෑම විටම එම ධර්මය තුළින් අතිදීර්ඝ භයානක සංසාර එක ජීවිතයක් උරුම වී ඇති සත්ත්ව සන්තානය තුළ ඇති ගැටලු විසඳාගැනීම සඳහා භාවිත කළ යුතු ඉතා ප්‍රායෝගික ක්‍රමවේදයන් සාකච්ඡා කෙරේ.
ගැටලුවත්, එම ගැටලුවට හේතුවත්, එය නැති කිරීමත් නැති කරන මාර්ගයත් මොනවට පැහැදිලි කරන ධර්මය ඉතා දුස්සීලකම් කරන්නට පෙළඹෙන, විෂම සිතිවිලි ඇති සන්තානයක් ජීවිත අවබෝධය සහිත ඉතා සාන්ත තත්ත්වයකට පත් කරයි. ජීවිතයේ සත්‍ය තත්වය ඇති සැටියෙන් අවබෝධ වන විට විෂම සිතිවිලි ඉවත් වන්නේ, ලෝභ ද්වේෂ මෝහ ඇතිවන්නට, තදින් අල්වා ගන්නට ලොවෙහි සාරවත් යමක් නැති බව තේරුම් ගන්නා බැවිනි.
මෙම නිබ්බේධික සූත්‍රය තුළින් ද ඉතා තියුණු ආකාරයකින් අප ජීවිත තුළ ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් අවබෝධ කරගන්නා ක්‍රම වේදයක් විස්තර කර ඇත. ජීවිතයට අතිශයින් ම සම්බන්ධ කරුණු හයත්, හය ආකාරයකින් විවිධ වශයෙන් බෙදා දක්වන මෙම සූත්‍ර ධර්මය එම කරුණු තුළින් ජීවිතය විනිවිද දකින්නට මඟ සලසයි. කාමය, වේදනාව, සංඥාව, ආශ්‍රව, කර්මය සහ දුක යන අපේ ජීවිතයට අතිශයින්ම සම්බන්ධ ඉතාම වැදගත් ධර්මතාවයන් හයක් පිළිබඳව මෙසේ හය ආකාරයකින් මෙම සූත්‍ර ධර්මය තියුණු නුවණක් ඇති කර ගැනීම පිළිබඳව ධර්ම පරියාය නමින් හඳුන්වයි.
නිබ්බේධික ධර්ම පරියාය යනු එයයි.
ඒ ධර්මතාවයන්හි සැබෑ ස්වරූපයත්, ඒවා උපදින්නට හේතු වෙන නිධාන කාරණාවත්, එහි විවිධත්වයත්, ඒ වගේම ඒ තුළින් උපදින විපාකත්, එහි නිරෝධයත්, නිරෝධ ගාමිධෑ පටිපදාවත් යන ආකාර හයකින් ඉහත සඳහන් සෑම ධර්මතාවයක් පිළිබඳව ම විස්තර කර ඇත.මෙම සූත්‍ර ධර්මයේ කාමයන් පිළිබඳව අර්ථ දැක්වීම වශයෙන් අප මාතෘකා කරන ලද ගාථා ධර්මය සඳහන් කර ඇත.බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැදෑරීමෙන් අපේ සංකල්ප කොයිතරම් නම් වෙනස් වෙනවාද යන්න මේ ගාථා ධර්මය හැදෑරීමෙන් ම මොනවට පැහැදිලි වේ.
කාමයන් යනු රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ශ කාම, ලෙස පස් ආකාරයකට බෙදා වෙන් කරන අතර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදී නොයෙකුත් යහපත් ලෙස දැනෙන ප්‍රිය වූ, සිත් අලවන්නා වූ, ලොවෙහි විසිතුරු අරමුණු ඇත් ද, ඒවා කාමයන් නොවන බවත්, ඒවා පිළිබඳව පුරුෂයා තුළ කල්පනා වශයෙන් උපන්නාවූ රාගය ම කාමය බවත්, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යනු කාම ගුණයන් බවත් ගාථා ධර්මය තුළින් විස්තර කෙරේ. මෙයින් පිළිබිඹු වන්නේ බාහිර ලෝකයේ වෙනස්වීම් කඩා වැටීම් නිසා ගිනි ගන්නා ආකාරයට අපට දැනෙන අප සන්තානය දැවිලි තැවිලි වෙහෙස සහිත ගිනි ගැනීමට හේතුව ඇත්තේ බාහිර ලෝකය තුළ නොව අප සන්තානයන් තුළම බවයි. රූප කාම, ශබ්ද කාම, ගන්ධ කාම, රස කාම, ස්පර්ශ කාමය යනු එකිනෙකට වෙනස් වූ කාමයන් ලෙස මෙම සූත්‍ර ධර්මය තුළින් හඳුන්වනු ලබන අතර මෙම වර්ගීකරණයම කාමයන්හි විවිධත්වය ලෙස ද හඳුන්වයි. කාමයන්හි විපාක පහත ආකාරයට මෙම සූත්‍ර ධර්මයේ හඳුන්වා දී ඇත.
‘කතමො ච, භික්ඛවෙ, කාමානං විපාකො? යං ඛො, භික්ඛවෙ, කාමයමානො ඹඹතජ්ජං තජ්ජං අත්තභාවං අභිනිබ්බත්තෙති පුඤ්ඤභාගියං වා අපුඤ්ඤභාගියං වා, අයං වුච්චති, භික්ඛවෙ, කාමානං විපාකො මෙහි තේරුම වන්නේ –
(යමක් කැමතිවනු ලබන්නේ, පින් පක්‍ෂයෙහි වූ හෝ, පව් පක්‍ෂයෙහි වූ හෝ, එයින් උපදනා ආත්ම භාවය උපදවයි. මහණෙනි, කාමයන්ගේ විපාකය මේ යැයි කියනු ලැබේ.)
කාමයන්ගේ නිධාන සම්භවය එනම් උත්පත්ති කාර්ණාව ස්පර්ශය බවත් කාමයන්හි නිරෝධය ස්පර්ශ නිරෝධය බවත් එසේ නිරෝධය උපදවා ගැනීම සඳහා කළ යුත්ත එනම් අවශ්‍ය කරන ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයම බවත් කාමයන් වර්ගීකරණ නිමාකරමින් අවසානයේ දක්වා ඇත. ඉන් පසුව සඳහන් කර ඇත්තේ “මහණෙනි, යම් කලක ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ කාමයන් දනියි ද, මෙසේ කාමයන්ගේ පසුබිමෙහි සම්භවය දනියි ද, මෙසේ කාමයන්ගේ විවිධත්වය දනියි ද, මෙසේ කාමයන්ගේ විපාකය දනියි ද, මෙසේ කාමයන්ගේ නිරෝධය දනියි ද, මෙසේ කාමයන් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව දනියි ද, හේ විනිවිද වැටහෙන නුවණින් යුතුව කාමයන් නිරුද්ධ වන්නා වූ බඹසර දන්නේ ය”යනුවෙනි.
මෙහි දනීද, දනීද ලෙස සඳහන් කර ඇත්තේ පොත්පත්වලින් කරුණු දැන ගැනීම පමණක් නොවන බව අප තරයේ වටහා ගත යුතුය. ගින්නක් දකින කල්හි ගින්නට හේතුව අපේ සිතට නිරායාසයෙන් නැගී එන අතර එය නිවා දැමිය හැකි බවත් නිවාදැමීමට කළයුතු ක්‍රියාවන් මොනවාද යන්නත් එම ක්‍ෂණයේදීම අපට වැටහේ.
එසේ වන්නේ ගින්දර පිළිබඳව අප දන්නා කරුණු අප මනසින් වේගයෙන් නැඟෙන ආකාරයට සකස් වී ඇති බැවිනි. මෙසේ වන්නේ එම ක්‍රියාවලිය පිළිබඳව දිගු කාලයක් ආශ්‍රය කර තිබීමෙනි. කාමයන් සහ කාමයන් නිරෝධ වීමේ ක්‍රියා ක්‍රියාවලිය ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කිරීමෙන් අප සන්තාන තුළ සිදුවන බව ටිකෙන් ටික අත්දැකීමකට ලක් කර ගැනීමට එනම්, මනසින් ද දැකීමට පුරුදු පුහුණු වීමෙන් ඉහත සඳහන් කළ ගින්දර සන්තතිය පිළිබඳ මානසිකත්වය වැනි මානසිකත්වයක් කාමයන් පිළිබඳව ද ඇති කරගත හැකි බව වටහා ගත යුතු ය.
එනම්, ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවිත කරමින් කාමයන් අඩුකර ගැනීම සහ නැති කර ගැනීම දෛනික ජීවිතයේ දී අත්දැකීමක් කරගත යුතුව ඇත. පොතපතින් පමණක් දැන ගන්නා කරුණු වැදගත් වන්නේ අන් අයට කියා දීමට හැකි බැවිනි. තමන්ට ප්‍රයෝජනයක් ගැනීමට නම් ඒවා තමන් තුළ ක්‍රියාත්මක වන ධර්මතා සමඟ සසඳමින් එම ක්‍රියාවලීන් අත්දැකිය යුතුව තිබේ.
මේ ආකාරයටම වේදනාව ඉපදීමට හේතු වන කාරණාවන්, එහි විවිධත්වය, එහි විපාකය, එහි නිරෝධය සහ නිරෝධගාමිණී පටිපදාව, මීළඟට විස්තර කර තිබේ.
සංඥාව, සංඥාව ඉපදීමට හේතු වන කාරණාව, එහි විවිධත්වය, එහි විපාකය එහි නිරෝධය සහ නිරෝධගාමිධෑ පටිපදාව, ආශ්‍රව, හේතු වන කාරණාවන්, එහි විවිධත්වය, එහි විපාකය, එහි නිරෝධය සහ නිරෝධගාමිණී පටිපදාව, කර්මය, කර්ම හේතු පත්ති කාරණාව, එහි විවිධත්වය, එහි විපාකය, එහි නිරෝධය, නිරෝධ ගාමිණී ප්‍රතිපදාව, දුක, දුකට හේතු වන කාරණාව, එහි විවිධත්වය, එහි විපාකය, නිරෝධය හා නිරෝධගාමිණී පටිපදාව, යන කරුණු ඉහත ආකාරයට ම සවිස්තරව දක්වා ඇත. මෙම කරුණු ඉතාම සවිස්තරව දැන ගැනීම මේ ජීවිතයත්, පරලොව ජීවිතයත් යහපත් කරගන්නට විශාලම හේතුවක් වන බව ඉතාම පැහැදිලි වේ. මන්දයත් ජීවිතයට අදාළ සියලු කරුණු මෙම ධර්මතා හය තුළ අඩංගු වන බැවිනි.
ජීවිතය තේරුම් ගැනීමට නම් ධර්ම ශ්‍රවණය කර, එම ධර්ම කරුණු හොඳීන්ම මතක තබාගෙන, ඒවා පිළිවෙළින් තමන්ගේ මනසින් නැගී එන ආකාරයට සකසාගෙන, මනසින් එම ධර්මතා වලට අදාළ ක්‍රියාවලීන් අත්දැකිය යුතුය.
එසේ දකින්නට අවශ්‍ය කරන මූලික සුදුසුකම් වන, සීලාදී ගුණ ධර්ම වර්ධනය කර ගනිමින්, චිත්ත ප්‍රමෝදය උපදවා කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධි, ඇති කර ගනිමින්, මනා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කර ගත යුතු වේ. ජීවිතයේ දුක් නැති කර ගැනීමට නම් සත්‍ය අවබෝධ තර ගත යුතු අතර, ඒ සඳහා ධර්මයේ සඳහන් ව ඇති ක්‍රම වේදයන් භාවිත කළ යුතුව ඇත. සසර ජීවිතයේ කෙදිනක හෝ දුක් නැති කර ගැනීම සඳහා මෙවැනි වැඩ පිළිවෙළක් පිළිපැදිය යුතුවම ඇති බැවින් තවත් ප්‍රමාද නොවී ලද අවස්ථාවේ දී ම සිදු කිරීම පඥා ගෝචර වේ.
පහානාය යනු දුරුකරනු සඳහායි. ඛයාය වයාය යනු ක්‍ෂයට හා විනාශයට යාම සඳහායි.
“මහණෙනි,
රාගයෙන් පිරිසිදුව දුරුකිරීම පිණිස
දහම් දෙකක් වැඩිය යුතු වෙත්.
“කවර දෙකක්ද යත්,
සමාධියද,
විදර්‍ශණාවද වෙත්.
“මහණෙනි,
රාගයාගේ දුරුකිරීම පිණිස මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
විරාගය යනු කාමයන්හි නොඇලීම සඳහායි
“මහණෙනි,
රාගය නැතිවීම පිණිස දහම් දෙකක් වැඩිය යුතු වෙත්.
“කවර දෙකක්ද යත්,
සමාධියද,
විදර්‍ශණාවද
වෙත්.
“මහණෙනි,
රාගය නැතිවීම පිණිස
මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
[කාමයන් ගේ ආදීනව
භාර්යාවෝ ය, දූ දරුවෝ ය, සහෝදර සහෝදරියෝ ය, ඥාති මිත්‍රයෝය, ආහාරපාන වස්ත්‍රාභරණයෝ ය, යාන වාහන හා නොයෙක් ආකාර පරිභෝග භාණ්ඩයෝ ය, ගී නැටුම් – ගැයුම් හා නොයෙක් ආකාර ක්‍රීඩාවෝ ය, රන් රිදී මුතු මැණික් හා මිල මුදල් ය යන මේ ආදි සත්ත්වයන් ඇලුම් කරන සොයන යමක් වේ නම්, ඒ සියල්ලට ම ‘කාමය’ යි කියනු ලැබේ. ඒ සියල්ල රූප – ශබ්ද – ගන්ධ – රස – ස්ප්‍රෂ්ටව්‍ය යන පසට ඇතුළු කොට ‘පඤ්චකාමය’ යි කියනු ලැබේ. එක් අතෙකින් මේ පඤ්ච කාමය ඉතා ආස්වාදනීය දෙයකි. තවත් අතෙකින් ඒ පඤ්චකාමය සත්ත්වයන්ට ඇති මහත් ම නපුරද වේ.
සසර කලකිරී මහත් පරිත්‍යාගයන් කොට බුදු සස්නෙහි පැවිදි වන කුලපුත්‍රයන්ට පසු කලකදී ශාසනයෙන් බැහැර වීමට හේතු වන්නේ ද, පැවිදි ව සිට ගෙන නොයෙකුත් දුෂ්ප්‍රතිපත්වලට යෙදෙන්නට හේතු වන්නේ ද මේ පඤ්ච කාමය ම ය. වරක් පඤ්ච කාමාශාව දුරු කොට පැවිදි වුව ද සිහියෙන් යුක්ත නො වන කාමයන් ගේ ආදීනවය නැවත නැවත සිහි නො කරන පැවිද්දන්ට අත්හළ කාමය ගැන නැවත ආශාව ඇති වී සිවුරු හැර යන්නට සිදුවිය හැකි ය. ශාසනය තුළ සිට ගෙන දුෂ්ප්‍රතිපත්තියෙහි යෙදෙන්නට ද සිදු විය හැකි ය. එසේ නො වනු පිණිස පැවිද්දන් විසින් කාමයන් ගේ ආදීනවය හොඳින් දැන ගත යුතු ය. වරින් වර එය සිහි කළ යුතු ය. කාමයන් ගේ ආදීනවය තථාගතයන් වහන්සේ මෙසේ වදාරා ඇත්තේ ය.
“අප්පස්සාදා කමා වුත්තා මයා
බහුදුක්ඛා බහූපායාසා
ආදීනවෝ එත්ථ භීය්‍යො.”
අට්ඨිකංකලූපමා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහූපායාසා, මංසපේසූපමා කාමා -පෙ- තිණුක්කූපමා කාමා -පෙ- අංගාරකාසූපමා කාමා -පෙ- සුපිනකූපමා කාමා -පෙ- යාචිතකූපමා කාමා -පෙ- රුක්ඛඵලූපමා කාමා -පෙ- අසිසූනුපමා කාමා -පෙ- සත්තිසූලූපමා කාමා -පෙ- සප්පිරූපමා කාමා වුත්තා මයා බහු දුක්ඛා බහූපායාසා ආදීනවෝ එත්ථ භීය්‍යෝ”
(මජ්ඣිමනිකාය අලගද්දූපම සුත්ත)
මේ පාඨයෙහි උපමා දශයකින් මෙසේ කාමයන් ගේ ආදීනවය දක්වා තිබේ.
අට්ඨිකංකලූපමා කාමා.
‘කාමයෝ ලේ මස් නැති ඇට කැබැල්ලකට බඳු උපමා ඇත්තෝ ය’ යනු එහි තේරුම යි. සාගින්නෙන් පීඩිත බල්ලකු ආහාරාශාවෙන් මස්කඩයක් සමීපයේ බලා ඉන්නා කල්හි, ලේ මස් නැති ඇට කැබැල්ලක් කඩයෙන් ඉවත දැමුව හොත් ඌ එය අවුලා ගෙන සපන්නට පටන් ගන්නේ ය. ඇට කැබෙල්ල කොතෙක් සැපුව ද එයින් උගේ සාගින්න නො සන්සිඳේ. වන්නේ වෙහෙසට පත්වීමෙන් තවත් සාගින්න වැඩි වීම ය. එමෙන් කාමාශාවෙන් කාම පිපාසාවෙන් පීඩිත ව කාමයන් සොයන තැනැත්තා ගේ ඒ කාම පිපාසාව කොතෙක් ආහාර පාන වස්ත්‍රාදි කාමවස්තූන් ලබා කොතෙක් කම් රස අනුභව කළේ ද නො සන්සිඳේ. ඔහුට කිසි කලෙක සෑහීමක් නො වේ. කාමයන් ලබත් ලබත් ම කම් සැප විඳිත් විඳිත් ම එයින් ඔහුගේ කාම පිපාසාව තව තවත් වැඩේ. බල්ලා සුඛිතභාවයට පත් කරන කිසි ම උසස් දෙයක් කිසි ම හරයක් ඒ ලේ මස් නැති ඇට කැබැල්ලෙහි නැතිවාක් මෙන්, කාමවස්තූන් හි සත්ත්වයා තෘප්තියට පත් කරන කිසි හරයක් නැත්තේ ය. “ඕනෑය, ඕනෑය, මදිය, තවත් ඕනෑය තවත් ඕනෑය” කියා මහත් වෙහෙසින් රැස් කරන මේවා “මාගේ ය, මාගේය” කියා සිතින් බදාගෙන ඉන්නා කාමවස්තූහු පුද්ගලයාට තෘප්තියක් ඇති නොකර ම විනාශ වී යති. පුද්ගලයා ද ඒවා බදාගෙන සිටීමෙන් තෘප්තියක් නොලබා ම විනාශයට පැමිණේ. මේ කාමයන් ගේ ස්වභාවය ය. එබැවින් තථාගතයන් වහන්සේ “කාමයෝ ලේ මස් නැති ඇට කැබෙල්ලකට බඳු උපමා ඇතියෝ ය” යි වදාළ සේක.
මංසපේසූපමා කාමා.
“බොහෝ දෙනාට සාධාරණ බැවින් කාමයෝ මස් කැටියකට බඳු උපමා ඇත්තෝ ය” යනු එහි තේරුම ය. ගිජුළිහිණියකු හෝ උකුස්සකු හෝ අන් පක්‍ෂියකු හෝ හොටින් මස් කැටියක් ගෙන පියාසර කළහොත් එය දකින පක්‍ෂීහු ඔහු ලුහු බැඳ ඌට කොටති. එය අතහරින තුරු ඌට නිදහසක් නො ලැබේ. එකකු හළ මස්කැටිය අනිකකු ගත හොත් ඌට ද එසේ ම කොටති. එසේ කොටන්නේ මස්කැටිය බොහෝ දෙනකුන් බලාපොරොත්තු වන දෙයක් බැවිනි. වස්තුව ද මස් කැටිය සේ බොහෝ දෙනකුන් බලාපොරොත්තු වන දෙයකි. එකකු රැස් කර ගෙන – අයත් කර ගෙන සිටින වස්තුව පැහැර ගත හැකි නම් ගැනීමට බලාපොරොත්තු වන්නෝ දහස් ගණනින් – දසදහස් ගණනින් සිටිති. එබැවින් වස්තුව අයත් කර ගෙන ඉන්නා තැනැත්තාට මාගේ වස්තුව රජහු හෝ පැහැර ගනිත් ද, සොරහු හෝ පැහැර ගනිත් ද, සතුරෝ හෝ පැහැර ගනිත් ද, දූ දරුවෝ හෝ පැහැර ගනිත් ද කියා නිරතුරුව බියෙන් කල් යැවීමට සිදු වේ. නිතර ම පරෙස්සම් කරන්නට සිදු වේ. සමහරවිට රෑ නිදි නො ලබා පරෙස්සම් කරන්නට සිදු වේ. ධනය ඇති තාක් ඔහුට සැනසිල්ලක් නො ලැබේ. රැස් කර ගෙන ඉන්නා ධනය නිසා නොයෙක් විට ඊර්ෂ්‍යා කාරයන් ගෙන් නොයෙක් කරදර විඳින්නට සිදු වේ. සොරුන්ගෙන් සතුරන්ගෙන් පීඩා විඳින්නට ද සමහර විට ඒ ධනය නිසා මැරෙන්නට ද සිදු වේ. එ බැවින් තථාගතයන් වහන්සේ ‘කාමයෝ මස් කැටියක් වැනියහ’ යි වදාළ සේක.
තිණුක්කූපමා කාමා.
‘දවන ස්වභාවය ඇති බැවින් කාමයෝ තණසුලකට බඳු උපමා ඇත්තෝ ය’ යනු එහි තේරුම ය. ගිනි දැල්වෙන තණ සුලක් අතින් ගෙන සිටින්නහු විසින් එය නො හළ හොත් අත දැවී ඒකාන්තයෙන් ඔහු දුකට පත් වන්නේ ය. වස්තුව රැස් කර ගෙන සිටින තැනැත්තාහට එය නො හළ හොත් ඒකාන්තයෙන් දුකට පත්වන්නට සිදු වේ. තණ්හාවෙන් අයත් කර ගෙන සිටින්නා වූ වස්තුවෙන් වෙන් වීම වස්තු හිමියාට දුකෙකි. වස්තුව කෙසේ පරෙස්සම් කරමින් සිටියත් ඒ වස්තුව නැති වී යෑමෙන් හෝ මරණයෙන් හෝ වස්තු හිමියා එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේ ය. එබැවින් ඒ දුක තණසුල නො හැර සිටින්නහුට මෙන් වස්තුව නො හැර සිටින්නහුට ඒකාන්තයෙන් ඇති වේ. සමහර විට සොර සතුරු පීඩාවලින් ද බොහෝ දුක් ඇතිවේ. ‘කාමයෝ අතට ගත් තණසුලක් බඳුයහ’ යි වදාළේ එහෙයිනි.
අංගාරකාසූපමා කාමා.
‘කාමයෝ දුම් නැති ගිනිදලු නැති මහගිනි අඟරු වළකට බඳු උපමා ඇත්තාහ’ යනු එහි තේරුම යි. ගැඹුරෙන් සතර රියනක් පමණ වන ගිනි දලු හා දුම් නැති ගිනි අඟුරෙන් පිරි වළක් වේ නම් එහි මහා රස්නයක් ඇත්තේ ය. එහි යමක් වැටුණ හොත් ගිනි රස්නයෙන් බැදී කරවී යන්නේ ය. කාමයන් පිළිබඳ ව ඇති වන්නා වූ තද ආශාවත් එබඳු ම රස්නයකි. ඇතැමුන් තමන්ට ඇති වූ කාමාශාවල් සම්පූර්ණ කර ගන්නට නො හැකි වූ විට දිවි නසා ගන්නේ එයින් වන තැවීම් නො ඉවසිය හැකි වීමෙනි.
සුපිණකූපමා කාමා.
‘කාමයෝ රෑ දුටු ස්වප්නයක් වැනියහ’ යනු එහි තේරුම ය. ස්වප්නයෙන් කිනම් වස්තුවක් ලදත්, කිනම් සම්පත්තියක් ලදත් ඒවා ඇත්තේ සිහිනය දකිමින් ඉන්නා අවස්ථාවෙහි පමණෙකි. අවදි වූ පසු ඒවායින් කිසිවක් නැත. එමෙන් කාමවස්තූන් නිසා ලබන සෝමනස්සයත් ප්‍රීතියත් ඇත්තේ ඒ වේලාවට පමණෙකි. ඇසිල්ලකින් එය නැති වෙයි. එක් එක් පුද්ගලයකු විසින් බොහෝ වෙහෙසී කාම වස්තූන් සපයා ඒවා නිසා අතීතයෙහි බොහෝ වාරවල ප්‍රීති සොම්නස් ලබා ඇත. අද ඒවායින් කිසිවක් ඉතිරි වී නැත. දැන් ලබන ප්‍රීති සොම්නස්වල හා අනාගතයෙහි ලබන ප්‍රීති සොම්නස්වල ඉරණමත් එයම ය. ලබා ගන්නා කාමවස්තු ද එසේ ම ක්ෂය වී යන්නේ ය. එක් එක් පුද්ගලයකු ගේ අතීත සංසාරය ගැන සලකා බලතහොත් එකකු විසින් රැස් කළ ධනයෙහි ප්‍රමාණයක් නැති බවත්, පෝෂණය කළ අඹු දරුවන්ගේ ප්‍රමාණයක් නැති බවත් කිය යුතු ය. අද ඒවායින් කිසිවක් නැත. අද රැස් කරගෙන ඉන්නා ධනයේත්, අද ආදරයෙන් පෝෂණය කරන අඹුදරුවන්ගේත් ඉරණම ද එයම ය. එබැවින් තථාගතයන් වහන්සේ ‘තාවකාලිකත්වයෙන් කාමයෝ ස්වප්නයක් බඳුහ’ යි වදාළ සේක.
යාචීතකූපමා කාමා.
‘කාමයෝ අනුන්ගෙන් තාවකාලික වශයෙන් ඉල්ලා ගත් දේවල් බඳුයහ’ තාවකාලික වශයෙන් අනුන්ගෙන් ඇඳුම් පැළඳුම් ඉල්ලා ඇඳ පැළඳ සිටින තැනැත්තා ඒ වේලාවට මහ පොහොසතකු සේ පෙනේ. ඇසිල්ලකින් ඒවා ආපසු හිමියන් ගත් කල්හි ඔහුට කිසිවක් නැත. මඳ කලක දී නැති වී යන කාමයෝ ද අනුන් ගෙන් ගත් බඩු වැනි ය.
රුක්ඛඵලූපමා කාමා.
‘කාමයෝ පල දරන ගසකට බඳු උපමා ඇත්තේ ය.’ වනයෙහි පල දරන ගසකට නැඟ එකකු පල නෙළා කමින් සිටියදී පල සොයා ආ ගස් යන්නට නො දත් අනිකකු ඒ ගස කපන්නට පටන් ගත් කල්හි ගසෙහි ඉන්නා තැනැත්තා වහා නො බව හොත් ගසත් සමග වැටී ඔහුගේ අත් පා හෝ බිඳෙන්නේ ය. ඔහු මරණයට හෝ පැමිණෙන්නේ ය. එමෙන් කාමයන් නො හැර අල්ලා ගෙන ඉන්නා තැනැත්තා ඒ කාමයන් නිසා නොයෙක් විට මරණයට හෝ මහ දුක්වලට පත් වන්නේ ය.
අසිසූනූපමා කාමා.
‘කාමයෝ කඩුවකට, මස් කපන කොටයකට බඳු උපමා ඇත්තාහ.’ කඩුව හා කොටය නිසා මස් කැපී යන්නාක් මෙන් ඔවුනොවුන් කෝලාහල කර ගැනීම් ආදියෙන් කාමයන් නිසා සත්ත්වයෝ මහත් විනාශයට පැමිණෙන්නාහ.
සත්තිසූලූපමා කාමා.
‘කාමයෝ පිහියක හෝ කිනිස්සක උලට බඳු උපමා ඇත්තාහ.’ පිහියාවල කිනිසිවල හුලෙන් ශරීර සිදුරු කරන්නාක් මෙන් කාමයෝ ද සත්ත්වයන්ගේ සිත් සිදුරු කරති.
සප්පසිරූපමා කාමා.
‘කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහ’ සර්ප හිස භයානක දෙයක් වන්නාක් මෙන් ම අනේක දුඃඛයන්ට හේතු වන බැවින් කාමයෝ ද භයානකයහ. එබැවින් තථාගතයන් වහන්සේ කාමයෝ සර්ප හිසකට බඳු උපමා ඇත්තාහයි වදාළ සේක.
මධ්‍යම නිකායේ චූල දුඃඛස්කන්ධ මහා දුඃඛස්කන්ධ සූත්‍ර දෙක්හි කාමයන්ගේ බොහෝ ආදීනව විස්තර වශයෙන් වදාරා ඇත්තේ ය. ඒ සූත්‍ර ධර්ම බලා ගැනීම ද පැවිද්දන්ට ඉතා ප්‍රයෝජන ය. ග්‍රන්ථය මහත් වන බැවින් ඒ සූත්‍ර මෙහි නො දක්වනු ලැබේ. මේ ගාථා භාවිතය ද ප්‍රයෝජනවත් ය.
1. චාතුද්දීපෝ රාජා මන්ධාතා ආසි කාමභෝගීනමග්ගෝ,
අතිත්තෝ කාලංකතෝ න තස්ස පරිපූරතා ඉච්ඡා.
2. සත්තරතනානි වස්සෙය්‍ය වුට්ඨිමා දසදිසා සමන්තේන,
න චත්ථි තිත්ති කාමානං අතිත්තාව මරන්ති නරා.-
3. අසීසූනූපමා කාමා කාමා සප්පසිරොපමා,
උක්කොපමා අනුදහන්ති අට්ටිකංකල සන්නිභා-
4. අනිච්ඡා අද්ධුවා කාමා බහුදුක්ඛා මහාවිසා,
අයොගුළෝව සන්තත්තො අඝමූලා දුඛප්ඵලා –
5. රුක්ඛඵලූපමා කාමා මංසපෙසූපමා දුඛා,
සුපිනෝපමා වඤ්චනියා කාමා යාචිතකූපමා –
6. සත්තිසූලුපමා කාමා රොගො ගණ්ඩො අඝං නිඝං,
අංගාරකාසු සදිසා අඝමූලං භයං වධො.
(සුමේධාථෙරි ගාථා)
තේරුම :-
1. ද්වීප සතරට ම අධිපති කාමභෝගීන්ගෙන් අග්‍ර මන්ධාතු නම් රජෙක් විය. ඔහු ද කාමයන්ගෙන් තෘප්තියක් නො ලබා ම කළුරිය කෙළේ ය. ඔහුගේ ආශාව නො පිරුණේ ය. මන්ධාතු රජ සුවාසු දහසක් අවුරුදු කුමාර ක්‍රීඩා වශයෙන් ද, සුවාසූ දහසක් අවුරුදු යුවරජු වශයෙන් ද සුවාසූ දහසක් අවුරුදු චක්‍රවර්තී රජව ද මිනිස්ලොව කම් සැප විඳ සතියක් ශක්‍රයන්ගේ ආයුකාලයෙහි දෙව් ලොව දිව්‍යකාම සම්පත් ද විඳ කාමයන්හි තෘප්තියකට නො පැමිණ ම දිවි කෙළවර කෙළේ ය.
2. හාත්පස දශ දිශාවෙහි ම රුවන් වැසි වට ද සත්ත්වයාට කාමයන් ගැන තෘප්තියට පැමිණීමක් නො වේ. මනුෂ්‍යයෝ තෘප්තියට නො පැමිණ ම මැරෙන්නාහ. ඉතිරි ගාථා සතරෙහි අර්ථ සුගම බැවින් නො දක්වනු ලැබේ.
“මහණෙනි,
රාගය විනාශ කරනු පිණිස
දහම් දෙකක් වැඩිය යුතු වෙත්.
“කවර දෙකක්ද යත්,
“සමාධියද,
විදර්‍ශණාවද වෙත්.
“මහණෙනි,
රාගය විනාශය පිණිස මේ ධර්ම දෙක වැඩිය යුතු වෙත්.”
[1 “කාමය කැමතිවන්නාවූ ඕහට ඉඳින් වස්තුකාමය ලැබෙයි” යන්නෙහි කාම යනු ප්‍රකට වශයෙන් කාමයෝ දෙකොටසක් වෙති.
එනම් (i) වස්තූ කාමයෝද (ii) ක්ලෙශ කාමයෝද වෙති.
වස්තුකාමයෝ කවරහුද?
ප්‍රියවඩන්නාවූ රූපයෝද, ප්‍රිය වඩන්නාවූ ශබ්දයෝද, ප්‍රියවඩන්නාවූ ගන්ධයෝද, ප්‍රියවඩන්නාවූ රසයෝද, ප්‍රිය වඩන්නාවූ ස්පර්ශයෝද, එමෙන්ම ඇතිරිලිද, පොරෝණා ද, දාසි දාස එළු බැටළු ඌරු කුකුල් ඇත් ගව අශ්ව වෙළඹාදීහුද, එසේම කෙත් වතු හිරණ්‍යස්වර්ණ ගම් නියම්ගම් රාජධානිද ධනාගාර හා කොටුගුල්ද යන යම්කිසි ඇලෙන වස්තූහු වස්තුකාමයෝ වෙති.
නැවතද කාමයෝ අතීතය අනාගතය වර්තමානය (පවත්නා කල ඇති) අධ්‍යාත්මිකය බාහ්‍යය අධ්‍යාත්මික බාහ්‍යය, හීනවූ මධ්‍යමවූ ප්‍රණීතවූ ආපායිකය (නිරයෙහි සතුන්ට අයත්) මානුසිකය දිව්‍යය වැටහෙන කාමයෝය, නිර්මිත කාමයෝය, පරනිර්මිත (අනුන් ඇතිකරණ ලද) අනිර්මිත (ඇති නොකරණ ලද) පරිගෘහිත (වටකරණ ලද අපරිගෘහිතය (වට නොකරණ ලද) මමායිතය (මමය මාගේ යයි හැඟීම ඇති) යන සියලු කාමාවචර (කාමලෝකයට අයත්) ධර්මයෝද, සියලු රූපාවචර ධර්මයෝද, සියලු අරූපාවචර ධර්මයෝද, තෘෂ්ණා වස්තුකවූ තෘෂ්ණා රම්මණවූ ප්‍රියයයි යන හැඟීම ඇති අර්ථයෙන්ද, ඇලීම ඇත්තේය යන අර්ථයෙන්ද, මදයට හේතුවේය යන අර්ථයෙන්ද, කාමයෝ නම් වෙති. මොව්හු වස්තුකාමයෝ යයි කියත්.
(ii) ක්ලෙශ කාමයෝ කවරහුද?
ඡන්දනම් කාමය, රාග නම් කාමය, ඡන්දරාග නම් කාමය, සංකල්ප නම් කාමය, රාග නම් කාමය යන මේ කාමයෝද යමෙක් කාමයන්හි කැමැත්ත ඇත්තේද, කාමරාගය ඇත්තේද, කාමනන්දිය ඇත්තේද, කාම තෘෂ්ණාව ඇත්තේද, කාම ස්නේහය ඇත්තේද යන තන්හිද, කාම පරිඩාහය, කාම මූර්ඡාව, කාමයට බැසගැණීම, කාම ඕඝය, කාමයෝගය, කාමුපාදානය, කාමච්ඡන්ද නීවරණය යන මේ තැන්හිද ‘කාමය තගේ මුල දැක්කෙමි. සංකල්පයෙන් කාමය හටගන්නෙහිය. ඒ මුල සංකල්පනය නොකරන්නෙමි. මෙසේ කාමය (තෝ) නොවන්නෙහිය’ යන මොහු ක්ලේශ කාමයෝයයි කියත්. (ii) “කාමය මානස්ස (කැමති වන්නහුට) යනු කැමතිවන්නාවූ, ආශාකරන්නාවූ, පිළිගන්නාවූ ප්‍රාර්ථනා කරන්නාවූ ඇලී සිටින්නාවූ ගැලී සිටින්නාවූ යනුයි. කාමය කැමතිවන්නාටයි.
4 “ඔහුට ඉදින් වස්තු කාමය ලැබෙයි” යන්නෙහි ඕහට ඉදින්යනු ඒ ක්ෂත්‍රියාට හෝ බ්‍රාහ්මණයාට හෝ වෛශ්‍යයාට හෝ ශුද්‍රයාට හෝ ගිහියාට හෝ පැවිද්දාට හෝ දෙවියාට හෝ මිනිසාට හෝ යනුයි. එය යන්නෙන් වස්තු කාමයෝ කියනු ලැබෙත්. ප්‍රිය වඩන රූපයෝද ශබ්දයෝද ගන්ධයෝද රසයෝද ස්පර්ශයෝද වෙති. සමිජ්ඣති යනු ඉටුවෙයි, සමෘද්ධවෙයි, ලබයි, විශේෂයෙන් ලබයි. මනාකොට ලබයි, විඳියි යනුයි.
5 “ඒකාන්තයෙන් ප්‍රීති සිත් ඇත්තේ වෙයි” යන්නෙහි ඒකාන්තයෙන් යනු ඒකාන්ත කීමයි අන් අදහසක් ඇතැයි සැක නැතිබව කීමයි. නිසැක වචනයයි. දෙකක්ව නොබෙදුණ වචනයයි, දෙවැන්නක් නැති වචනයයි, නියොග වචනයයි නිදොස් වචනයයි, මෙය නියමය ඇති වචනයයි යනුයි.
6 “ප්‍රීති, යනු යම්බඳු ඒ පංචකාම ගුණ ප්‍රති සංයුක්ත ප්‍රීතියක් ඇද්ද සතුටක් ඇද්ද ප්‍රමොදයක් ඇද්ද සිනහවක් ප්‍රහාසයක් සතුට විඳීමක් තුෂ්ටියක් උදම් වීමක් සන්තොෂයක් චිත්තයාගේ මනා පැතිරීමෙක් ඇද්ද එයයි”
7 (i) “මන යනු යම් සිතක් මානස නම් වේද. හදය, පණ්ඩිර මන මනායතන මනීන්ද්‍රිය විඥාන විඥානයෙන් ඇතිවන මනොවිඤ්ඤාණ ධාතු නම් වේද, මෙය මන (සිත) යයි කියනු ලැබේ. මේ සිත මේ ප්‍රීතිය සමග එක්වූයේ වෙයි සමග උපන්නේ මිශ්‍රවූයේ එහි යෙදුනේ එකට උපන්නේ එකට නිරුද්ධවූයේ එක්වස්තුකවූයේ ඒකාරම්මණවූයේ යනුයි. (ප්‍රීති සිත් ඇත්තේවෙයි) යනු තුටු සිත් ඇත්තේ හර්ෂසිත් ඇත්තේ ප්‍රහර්ෂ සිත් ඇත්තේ සන්තොෂ සිත් ඇත්තේ උස්ව නැගි ප්‍රීතිය ඇති සිත් ඇත්තේ මොලොක් සිත් ඇත්තේ විශේෂයෙන් මොලොක් සිත් ඇත්තේ වෙයි යනුයි. ලැබ මිනිසා යමෙක් කැමතිවේද, යන්නෙහි “ලැබ” යනු ලැබ ඊට පැමිණ විඳ, උපදවා ගෙන යන අදහසයි (ii) මිනිසා යනු නරයා මානවකයා පුරුෂයා, පුද්ගලයා, ජීවයා ප්‍රාණියා ු සත්ත්වයා මනුජයා යනුයි.
8 “යමෙක් කැමතිවේද,” යනු යමක් ආශ්වාදය කෙරේද, යමක් ප්‍රාර්ථනා කෙරේද, යමක් ආශා කෙරේද යම් රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ ස්පර්ශයක් හෝ බලාපොරොත්තුවෙන් කථා කෙරේද මනුෂ්‍යයා කැමති වන දෙය ලැබෙය” යනුයි එහෙයින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.”
විරාගාය යනු නොඇලීම සඳහායි
“මහණෙනි,
රාගයේ නොඇල්ම පිණිස
ධරම දෙකක් වැඩිය යුතුය.
“කවර දෙකක්ද යත්,
සමාධියද,
විදර්‍ශණාවද වෙත්.
“මහණෙනි,
රාගයාගේ නොඇල්ම පිණිස
මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
වේවැල්දෙණිය, පහළගම
සමථ – විපස්සනා භාවනා
මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක
පොල්ගහවෙල මිතභාණි හිමි
[ කාමයන්ගේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනාව මනසිකාරය කිරීම (මෙනෙහි කිරීම) අනිච්ච දර්ශනය ප්‍රත්‍යක්‍ෂ කරගැනීමට උපකාරී වන්නේ ය. කාම වස්තූන්ගේ දෝෂය දැකීමෙන් බියකරු සසරට ඇදී යන චිත්ත පරම්පරාව ප්‍රහාණය කොට, නිස්සරණය හෙවත් නිවීමට සිත පත්කර ගැනීමට හැකියාව ලැබෙන්නේය.
ආස්වාදය ස්ථිර කරගැනීමට ගොස් සත්වයෝ බොහෝ වෙහෙසට පත් වන්නෝ ය. දිවා රාත්‍රී දුක් විඳින්නෝ ය. කාමයන් ස්ථිර කරගැනීමට, වසඟ කරගැනීමට මහත් පරිශ්‍රමයක් දරන්නෝ ය. මේ සඳහා දුක් මහන්සි වී ඉගෙනීම් කටයුතු කිරීමට සිදුවේ. ශිල්පීය දැනුම, ශාස්ත්‍රීය අධ්‍යාපනය (නැකැත් තාරකා ගැන ආදී) ලැබීමට ද සිදුවේ. එකිනෙකා පරයන තරගයක වෙලී, පැටලී තමා පමණක් සැප ලැබිය යුතු යැයි සිතා අන් අයට විවිධ බාධක පමුණුවමින් දුක් පීඩාද කරති. කාමය නිසාම මෝහයෙන් මුළා වී තම මවට, පියාට පවා හිංසා පමුණුවා දුගතියට මඟ සලසා ගත්තෝ වෙති.
ඇතැම්හු මවුපියන් ඝාතනය කර කල්ප ගණන් නරකයෙහි පැසෙන්නෝ ය. අතීතයේ දී ද දෙව්දත් තෙරුන් ලාභ, කීර්ති, ප්‍රශංසාවලට ගිජු වී තථාගතයන් වහන්සේට හිංසා පමුණුවා නරකයට ඇද වැටුණේ ය. අසද්පුරුෂ සේවනය නිසා අජාසත් රජු තම පියා නසා දුගතියට වැටීමට කටයුතු සිදු කර ගත්තේ ය. තෙරුවනට නිග්‍රහ කොට අලාභ කොට නින්දා අපහාස කොට අතීතයේත් නරකයට වැටුණා වූ වර්තමානයේත් වැටෙන, ඉදිරියටත් වැටෙන්නා වූ සත්වයන් බොහෝ ය. ඉඩකඩම්, දේපොළ යාන වාහන සොරකම් කරමින් අධාර්මිකව සියල්ල තමා සතු කරගැනීමට ප්‍රයත්න දරමින් කූට උපක්‍රම යොදන්නෝ බොහෝ වෙති. ත්‍රිවිධ දුෂ්චරිතයම කරමින් අත්පා සිඳගනිමින් ජීවිත නැතිකරන්නෝද බොහෝ වෙති. තමාද කාමයන්ගෙන් අතෘප්තිමත්ව ගෙල වැල දමා ගන්නේ ය. සිරුරට ගිනි තබාගන්නේ ය. වස විෂ පානය කරන්නේ ය. අධික තණ්හාව නිසා සමහරු ධාර්මිකව භෝග සම්පත් ඉපැයීම පසෙකතබා, වස, විෂ ආදිය යොදා ධනය රැස් කිරීමට අධාර්මිකව උත්සාහවත් වෙති. නුසුදුසු ආහාරය නිසා බොහෝ කලක් දුක් විඳින, වකුගඩු රෝග ආදියෙන් පීඩා විඳින එසේ දුක්විඳ මියයන පිරිස දිනෙන් දින වැඩි වෙති. අවි ආයුධ නිෂ්පාදනය කොට සෙස්සන් ප්‍රාණඝාතයට, වධයට පමුණුවන්නෝ ද බොහෝ වෙති. දිවට රස සොයමින් කා බී මත්වන්නන් ද බොහෝ ය. නැවැත නැවත ආස්වාදය ලබාගෙන වින්දනය ප්‍රබල කිරීමට මත්පැන්, මත්ද්‍රව්‍ය ගෙන මත් වී මහ මඟ වැටී අත් පා කැඩී ජීවිත විනාශ කර ගන්නන්ද බොහෝ ය. මෙබඳු අය අඹු දරුවන්ට මවුපියනට, ඤාතීන්ට කරදර පීඩා පමුණුවා ධනය විනාශ කරගෙන මහ මඟට ඇද වැටෙති.
කහවනු වැස්සක් වැස්සත් කාමයන්හි ගිජු සත්වයෝ තෘප්තිමත් නොවෙති.
රාග, දෝස, මෝහ ගින්නෙන් දැවී නරකයට වැටෙති.
කාමයන්හි අධික ඇල්ම බැඳීම සත්වයන් උමතු කොට සසර දුගතියට පැමිණවීමට සමත්ය.
කාමයන්ගේ යථා ස්වභාව නුවණෙන් විමසා බලමු.
“අප්පස්සාදා කාමා වුත්තා මයා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භීය්‍යො”
අලගද්දූපම සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ කාමයන් අල්ප ආස්වාදයෙන් යුක්තය, වහා වෙනස් වන්නේ ය, බොහෝ දුක් ගෙන දෙන්නේය , දැඩි වෙහෙසකර ගිලන් භාවයට පමුණු වන්නේය යනුවෙන් ආදීනවයෙන් (දෝෂයෙන්) යුක්ත වන්නේ යැයි දේශනා කළ සේක.
* අට්ඨිකංකලුපමා කාමා -කාමයන් ඇටසැකිල්ල කට බඳු උපමා ඇත.
* මංසපෙසුපමා කාමා – මස් වැදැල්ලකට බඳු උපමා ඇත.
* තිණුක්කූපමා කාමා – තණ හුලකට බඳු උපමා ඇත.
* අංගාරකාසුපමා කාමා – ගිනි අඟුරු වළකට බඳු උපමා ඇත.
* සුපිනකූපමා කාමා – සිහිනයකට බඳුය.
* යාචිතකූපමා කාමා – තාවකාලිකව අනුන්ගෙන් යමක් ඉල්ලා ගැනීම මෙනි.
* රුක්ඛඵලූපමා කාමා – ඵලදරන ගසකට උපමා සේය.
* අසිසුනුපමා කාමා – තියුණු කඩුවක් හා මස් කපන ලෑල්ලකට බඳු උපමා ඇත්තාහ.
* සත්තිසුලුපමා කාමා – අඩයටි හුලකට බඳු උපමා ඇත.
* සප්පසිරුපමා කාමා – සර්ප හිසකට බඳු උපමා ඇත.
අපි ඉහත උපමාවන්හි එකින් එක අරුත් විමසා කාමයන් නිසා ඇතිවන බිය, අඳුර මැනවින් තේරුම් ගන්නට උත්සාහ ගනිමු.
නිරොධාය යනු නිරුද්ධවීම සඳහායි.
“මහණෙනි,
කාම රාගය නිරුද්ධ කිරීම පිණිස
ධරම දෙකක් වැඩිය යුතුය..
“කවර දෙකක්ද යත්,
චිත්ත සමාධියද,
විදර්‍ශණාවද
යන දෙකය.
“මහණෙනි,
රාගයාගේ නිරුද්ධිය පිණිස
මේ ධර්ම දෙක වැඩිය යුතු වෙත්.”
[සිත කිලිටි කරන කාමච්ඡන්දාදි නීවරණයන්ට සිතට ඇතුළු වන්නට නොදී එය භාවනාරම්මණයෙහි ම පවත්වන බලවත් සමාධිය චිත්ත විශුද්ධිය ය. ශමථ යානිකයෝ ය. විදර්ශනා යානිකයෝ ය කියා යෝගාවචරයෝ දෙකොටසක් වෙති. පළමුවෙන් යම් කිසි ශමථ භාවනාවක් කොට එයින් ලැබෙන සමාධිය පිහිට කොට විදසුන් වඩා මඟ පල ලබන යෝගාවචරයෝ ශමථයානිකයෝ ය. ශමථ භාවනාවෙහි නො යෙදී විදර්ශනාව ම වඩන යෝගාවචරයෝ විදර්ශනායානිකයේ ය. ශමථ භාවනාවෙන් ලබන උපචාර සමාධිය හා අර්පණා සමාධිය ශමථ යානිකයන්ගේ චිත්ත විශුද්ධිය ය. විදර්ශනාව පමණක් කරන්නවුන්ට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය නිසා යෝගාවචරයාගේ සිත බැහැර නො ගොස් භාවනාරම්මණයෙහි මනා කොට පිහිටන්නේ ය. විදර්ශනාවෙන්ම ලැබෙන ඒ සමාධිය විදර්ශනා යානිකයන්ගේ චිත්ත විශුද්ධියය.
කාමච්ඡන්දාදි නීවරණයෝ සමාධියෙන් තොරව භාවනා කරන තැනැත්තාගේ සිතට වරින් වර ඇතුළු වී එය අපිරිසිදු කරති. බලවත් සමාධියක් ඇති කල්හි භාවනා කරන යෝගාවචරයාගේ භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධ ව භාවනාරම්මණයෙහි ම නැවත නැවත ඇති වේ. එයින් සිත පිරිසිදු ව පවතී. යෝගාවචරයා ගේ සිත එසේ පිරිසිදු ව තබන බැවින් සමාධිය චිත්ත විශුද්ධි නම් වේ.]
චාගාය යනු අත්හැරීම සඳහායි.
“මහණෙනි,
රාගය අත්හැරීම පිණිස
දහම් දෙකක් වැඩිය යුතු වෙත්.
“කවර දෙකක්ද යත්,
සමාධියද,
විදර්‍ශණාවද වෙත්.
“මහණෙනි,
රාගයාගේ අත්හැරීම පිණිස
මේ දහම් දෙක වැඩිය යුතු වෙත්.”
පටිනිස්සග්ගාය යනු දුරුකිරීම සඳහායි.
“මහණෙනි,
රාගයාගේ බැහැරලීම පිණිස
දහම් දෙකක් වැඩිය යුතු වෙත්.
“කවර දෙකක්ද යත්,
සමාධියද,
විදර්‍ශණාවද
වෙත්.
“මහණෙනි,
රාගයාගේ බැහැරලීම පිණිස
මේ ධර්ම දෙක වැඩිය යුතු වෙත්.”
ථම්භස්ස යනු ක්‍රොධමාන වශයෙන් තද බවේයි. සාරම්භස්ස යනු එකටෙක කිරීම් ලක්‍ෂණකොට ඇති සාරම්භයාගේයි. මානස්ස යනු නවආකාර මානයාගේයි. අතිමානස්ස යනු ඉක්මවා සිතීමේ මානයාගේයි. මදස්ස යනු මත්වීම් ආකාර ඇති මදයාගේයි. පමාදස්ස යනු සිහියෙන් තොර වීම් සංඛ්‍යාත පස්කම් ගුණයන්හි සිහි මුළාවීමේයි. සෙස්ස සියලු තන්හි පැහැදිලි අරුත් ඇත්තේමය.
By සත්වයා සසර දුවවන්නේ කාමය, රාගය, ආසාව, කැමැත්ත,තන්හාව, සෙනෙහස ආදරය, ආලය ආදී නොයෙක් නම් වලින් හඳුන්වන එකම ධරමයක් නිසාය. මේ කාම රාගය සසර දුවවන්නට ඉන්ධනය වේ. පංච කාමයන් කෙරෙහි ඇති තන්හාව නිසාම අපි මැරි මැරී යලි යලි ඉපිදෙමු. මේ රාග පෙය්යාලයේ ඇති සුත්‍ර දහයෙන් කියවෙන්නේ කාමය මනාකොට අවබෝධ කරගත්තොත් මේ සසර පුරා දුවන දිවීම තරමකට හෝ අඩු කරගත හැකි බවය.