SINHALA TIPITAKA

SN 04-04


Listen Later

ගෞතම බුදුන්වහන්සේ මේ ධර්මය දෙසනා කලේ අනන්ත කාලයක් සසර ඉපිදෙමින් මැරෙමින් දුකට පත්ව ඉන්නා මේ සත්ව ප්‍රජාවට දුකින් මිදෙන මග පෙන්වීමටය. මේ සුත්‍ර එකතුවේ ඇත්තේ ඒ මග අන් කිසි එකක් නොව ආර්ය අෂ්ඨාංගික මාර්ගය බවය. මේ මාර්ගය පිලිපදින්ට ඕනෑකමක් ඇතිවෙන්නේ සසර බය ඇතිවූ විටය. දුක්ඛය දැනුන විටය. දුක්ඛය ඉගෙන ගත යුතු එකක් නොව තමන්ට දැනෙන විට මේ දුකය කියා හඳුනාගත හැකි වූ විටය. දුකින් මිදී සැප ලබන්නට කැමැත්ත ඇති වූ විටය. ඒ නිර්වාන සුඛය ලබන්නට මගක් ඇති බව දැනගෙන ඊට ක්‍රම වේදයක් ඇති බව දැනගෙන ඒ ක්‍රමය භාවිතා කරන විටය. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය එක එකින් පිලිවෙලෙන් නැගිය යුතු පඩිපෙලක් නොව ජීවිතයේ සෑම මොහොතකම අමතක නොකර පිළිපැදිය යුතු පිලිවෙතක්ය.

SN 04-04-01. නිබ්බාණ සූත්‍රය.
SN 04-04-02. අරහත්ත සූත්‍රය.
SN 04-04-03. ධම්මවාදී සූත්‍රය.
SN 04-04-04. කිමත්ථිය සූත්‍රය.
SN 04-04-05. අස්සාස සූත්‍රය.
SN 04-04-06.පරමස්සාස සූත්‍රය.
SN 04-04-07. වේදනා සූත්‍රය.
SN 04-04-08. ආසව සූත්‍රය.
SN 04-04-09. අවිජ්ජා සූත්‍රය.
SN 04-04-10. තණ්හා සූත්‍රය
SN 04-04-11. ඕඝ සූත්‍රය.
SN 04-04-12. උපාදාන සූත්‍රය.
SN 04-04-13. භව සූත්‍රය.
SN 04-04-14. දුක්ඛ සූත්‍රය.
SN 04-04-15.සක්කාය සූත්‍රය.
SN 04-04-16. දුක්කර සූත්‍රය

SN 04-04-01. නිබ්බාණ සූත්‍රය

අපවත්වී වදාළ පුජ්‍ය හම්මලව සද්ධාතිස්ස ස්වාමින් වහන්සේ කල දේශනාවක්

එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක ගම වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

“ඇවැත් ශාරිපුත්‍ර ස්ථවිරයෙනි,
නිර්වාණය! නිර්වාණය!!
යි කියනු ලැබේ.
ඇවැත්නි,
කුමක් නිර්වාණය වේද” කියායි.

“ඇවැත්නි,
රාගය ක්ෂය කිරීමද,
දෝසය ක්ෂය කිරීමද,
මෝහය ක්ෂය කිරීමද,
නිර්වාණයයි කියනු ලැබේ.

“ඇවැත්නි,
මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් තිබේද?
ප්‍රතිපදාවක් ඇත්තේද?”

එසේය ඇවැත්නි,
නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් තිබේ.
ප්‍රතිපදාවක් ඇත.”

“ස්ථවිරයෙනි,
නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නාවූ
මාර්ගය කුමක්ද?
ප්‍රතිපදාව කවරක්ද?”

“ඇවැත්නි,
අංග අටකින් යුත් ආර්ය මාර්ගයම
නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස වන්නේය.

ඒ කවරේද යත්,
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේවාය,

ඇවැත්නි,
මේ මාර්ගය,
මේ ප්‍රතිපදාව නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස පවත්නේය.

“ඇවැත්නි,
මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට ඇති මාර්ගයය.

‘‘භද්දකො, ආවුසො, මග්ගො භද්දිකා පටිපදා එතස්ස නිබ්බානස්ස සච්ඡිකිරියාය.
අලඤ්ච පනාවුසො සාරිපුත්ත, අප්පමාදායා’’ති. පඨමං.

ඉතා යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරීපුත්‍රයනි!
නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

[481:- නිවනට පැමිණ රාගය ක්ෂය වෙයි. ඒ නිසා නිවන රාගක්ෂය යයි කියනු ලැබේ. දෝස හා මෝහයන් ක්ෂය කිරීම්වලදීද මේ පිළිවෙළම වේ.]

[යමකු වනාහී මේ සූත්‍රයෙන්ම ක්ලේශ ක්ෂය මාත්‍රයම නිර්වාණය වේයයි කියන්නේ නම් කෙලෙස් ක්ෂය වන්නේ තමාගේ ද නැතහොත් අන් අයගේද යනුවෙන් කවරකුගේ කෙලෙස් ක්ෂය වේද යන්න ඔහු කිව යුතු වේ. ඒකාන්තයෙන්ම තමාගේ යයි කියයි. අනතුරුව “ගෝත්‍රභූ ඥානයට (මාර්ග සිතට ආසන්න පූර්වයෙහි උපදනා සිතට) කුමක් අරමුණු වේදැයි ප්‍රශ්න කළ යුතුය. “නිවන අරමුණු වේය” යි දන්නා තැනැත්තා කියයි. ගෝත්‍රභූ ඥානය පහළ වූ කෙණෙහි කෙළෙස් ක්ෂය වූයේ ද, ක්ෂය වේද, මතුවට ක්ෂය වන්නේ දැයි විමසිය යුතුය (කෙලෙස්) ක්ෂය වූයේය යි හෝ ක්ෂය වේයයි හෝ නො කිව යුත්තේ ය. (මතු) ක්ෂය වන්නේයයි යනුවෙන් කිව යුතු වේ. කිම? ඒ කෙලෙස් ක්ෂය නොවූ කල්හිම ගෝත්‍රභූ ඥානය කෙලෙස් ක්ෂය කිරීම අරමුණු කරන්නේ ද යත්, ඒකාන්ත වශයෙන්ම එසේ කී කල්හි නිරුත්තර වන්නේය.]

[මාර්ග ඥානයෙනුදු මෙය යෙදිය යුතුයි. මාර්ග (ය අවබෝධ කර ගන්නා) කෙණෙහිම කෙලෙස් ක්ෂය වේයයි කියනු නො ලැබේ. කෙලෙස් ක්ෂීණ නොවූ, කල්හි කෙළෙස් ක්ෂය වීම අරමුණු නොවේ. එහෙයින් යම් තත්ත්වයකට පැමිණ රාගාදිය ක්ෂය වේද? ඒ තත්ත්වය නම් නිවනයයි පිළිගත යුතුවේ. ඒ වනාහී රූපී ධර්මයන්ය, අරූපී ධර්මයන්ය යන ආදී ද්විත්ව (ධර්ම) යහි අරූපී ධර්මයන්යයි සංග්‍රහ කොට ගන්නා ලද බැවින් කෙලෙස් ක්ෂය වීම් මාත්‍රය පමණක්ම නොවේ.]

SN 04-04-02. අරහත්ත සූත්‍රය

එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි එගම වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

“ඇවැත් ශාරිපුත්‍රයන් වහන්ස,
රහත් බව රහත් බවයයි කියනු ලැබේ
ඇවැත්නි,
රහත් ඵලය නම් කුමක්ද?”

“ඇවැත්නි,
රාගය ක්ෂය කිරීම,
දෝෂය ක්ෂය කිරීම,
මෝහය ක්ෂය කිරීම
,
රහත් ඵලය”යයි කියනු ලැබේ.”

“ඇවැත්නි,
මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද?
ප්‍රතිපදාවක් ඇත්තේද?”
“ඇවැත්නි
මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට
මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”

“ඇවැත්නි මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීමට ඇති
මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කවරීද?”
“ඇවැත්නි,
මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස
මේ අංග අටක් ඇති ආර්ය මාර්ගය වෙයි.

ඒ කවරේද?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොවුහුයි. ඇවැත්නි, මේ රහත් බව ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.”

“ඇවැත්නි,
රහත් බව ප්‍රත්‍යක්ෂකිරීම පිණිස මෙය යහපත් මාර්ගයයි.
ඉතා යහපත් ප්‍රතිපදාවකි.
ඇවැත් ශාරීපුත්‍රයනි!
නිවීම පිණිස මේ පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

SN 04-04-03. ධම්මවාදී සූත්‍රය

අතිපුජ්‍යය කටුකුරුන්දේ ඥානානන්ද මහා ස්වාමින්වහන්සේ කල ධර්ම දේශනාවක්

එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි එගම වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

“ඇවැත් ශාරිපුත්‍රය,
ලෝකයෙහි ධර්මවාදීහු කවරහුද?
ලෝකයෙහි මනාකොට පිළිපදින්නෝ කවරහුද?
ලෝකයෙහි කවරෙක් යහපත් මාර්ගයෙහි ගියාහුද?”

“ඇවැත්නි,
යමෙක් රාගය ප්‍රහීණ කිරීම පිණිස ධර්මය දේශනා කරත්ද,
දෝසය ප්‍රහීණ කිරීම පිණිස ධර්මය දේශනා කරත්ද,
මෝහය ප්‍රහීණ කිරීම පිණිස ධර්මය දේශනා කරත්ද,
ඔව්හු ලෝකයෙහි ධර්මවාදීහුය.

ඇවැත්නි,
යමෙක් රාග ප්‍රහීණ කිරීමේ මගට පිළිපන්නේද.
දෝස ප්‍රහීණ කිරීමේ මගට පිළිපන්නේද.
මෝහය ප්‍රහීණ කිරීමේ මගට පිළිපන්නේද.
ඔහු ලෝකයෙහි මනාකොට පිළිපන්නෝය.

ඇවැත්නි,
යමේක් රාගය ප්‍රහීණ කරන ලදද,
මුල් සිඳින ලද්දේද,
කරටිය සිඳින ලද තල්ගසක් මෙන් කරන ලද්දේද,
අභාවයට යවන ලද්දේද,
මතු නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේද,

දෝසය ප්‍රහීණ කරන ලද්දේද,
මුල් සිඳිනලද්දේද?
මුදුන සිදින ලද තල්ගසක් මෙන් කරන ලද්දේද,
අභාවයට යවන ලද්දේද,
මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දේද,

මෝහය ප්‍රහීණ කරන ලද්දේද
මුල් සිඳිනලද්දේද ?
මුදුන සිදින ලද තල්ගසක් මෙන් කරන ලද්දේද,
මෝහය නසන ලද්දේද,
මතු නූපදින තත්ත්වයට පමුණුවන ලද්දේද,

“ඇවැත්නි,
රාගයද දෝසයද මෝහයද ප්‍රහාණයට
මාර්ගය
ක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?

“ඇවැත්නි එසේය,
රාගයද දෝසයද මෝහයද ප්‍රහාණයට
මාර්ගය
ක් ඇත්තේය, ප්‍රතිපදාවක් ඇත්තේය.

“ඇවැත්නි,
රාගයද දෝසයද මෝහයද ප්‍රහාණයට ඇති
මාර්ගය කවරේද? ප්‍රතිපදාව කවරේද?

“ඇවැත්නි,
රාගයද දෝසයද මෝහයද ප්‍රහාණයට ඇති
මාර්ගය මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වෙයි.
ඒ කවරේද?

සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේවාය.

ඇවැත්නි, රාගයද දෝසයද මෝහයද ප්‍රහාණයට ඇති
මාර්ගය මේ මාර්ගය මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වෙයි.
මේ ප්‍රතිපදාව වෙයි.

“ඇවැත්නි, මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය යහපත් මාර්ගයකි.
ඉතා යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරීපුත්‍රයනි!
නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

SN 04-04-04. කිමත්ථිය සූත්‍රය

එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

“ඇවැත් ශාරිපුත්‍රය,
ඔබ කුමක් පිණිස ශ්‍රමණ භවත් ගෞතමයන්
සමීපයෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නේද?”

“ඇවැත්නි,
දුක්ඛය පිරිසිඳ දැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ
සමීපයෙහි බ්‍රහ්මචර්යාවෙහි හැසිරෙන්නෙමි.”

“ඇවැත්නි,
දුක්ඛය පිරිසිඳ දැනගැනීම පිණිස
මාර්ගයක් ඇද්ද? ප්‍රතිපදාවක් ඇද්ද?”
“ඇවැත්නි, එසේය.
මේ දුක්ඛය පිරිසිඳ දැනගැනීම පිණිස
මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.”

“ඇවැත්නි,
දුක්ඛය පිරිසිඳ දැනීම පිණිස
කවර ප්‍රතිපදාවක්, කවර මාර්ගයක් ඇත්තේද?”

“ඇවැත්නි,
දුක්ඛය පිරිසිඳ දැනීම පිණිස
අංග අටකින් යුත් ආර්ය මාර්ගය වෙයි.
ඒ කවරේද?

සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ අටය.

ඇවැත්නි,
මේ මාර්ගය, මේ ප්‍රතිපදාව මේ දුක පිරිසිඳ දැනීම පිණිස වේ.”

“ඇවැත්නි,
මේ දුක්ඛය පිරිසිඳ දැනීම පිණිසවූ මාර්ගය යහපත්ය. ප්‍රතිපදාවද යහපත්ය.
ඇවැත් ශාරීපුත්‍රයනි!.
නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

[ සිතක ඇති වන “දුක” යනු කුමක්දැයි එහි නියම ස්වරූපයෙන්ම වටහා ගැනීම “දුක්ඛය පිරිසිඳ දැනීම” (පරිඤ්ඤෙය්‍ය) ලෙස හැඳින්වේ. මෙය බුදුදහමේ දැක්වෙන චතුරාර්ය සත්‍යයේ පළමු පියවරයි. සරලව කිවහොත් මෙහිදී සිදු කරන්නේ:

  • දුක හඳුනා ගැනීම: ශෝකය, වේදනාව හෝ අසහනය ඇති වූ විට එයින් පලා නොගොස් “දැන් මට දැනෙන්නේ දුකක්” යන්න අවංකව පිළිගැනීම.
  • දුකේ ස්වභාවය වටහා ගැනීම: ලෝකයේ ඇති සෑම දෙයක්ම අනිත්‍ය බැවින් (වෙනස් වන බැවින්), අප කැමති දේ ඒ අයුරින්ම පවතින්නේ නැති බවත්, ඒ නිසාම දුක හටගන්නා බවත් නුවණින් දැකීම.
  • ඇලීමෙන් තොරව බැලීම: දුක කියන්නේ “මගේ” දෙයක් කියා තදින් අල්ලා නොගෙන, එය සිතේ ඇති වී නැති වී යන තවත් එක් ස්වභාවයක් (ධර්මතාවයක්) ලෙස පමණක් දෙස බැලීම.
  • දුකඛය යනු සැඟවිය යුතු හෝ බිය විය යුතු දෙයක් නොව, විමුක්තිය සඳහා අප විසින් නිවැරදිව තේරුම් ගත යුතු යථාර්ථයකි. මෙය ඔබේ ජීවිතයේ ප්‍රායෝගිකව අත්හදා බලන ආකාරය ගැන වැඩිදුර දැන ගැනීමට උපකාරයක් වේවා.]

    SN 04-04-05. අස්සාස සූත්‍රය

    [අස්සාය යන පාලි වචනයේ නියම අර්ථය “සැනසීම” යන සින්හල වචනයේ නැති බව මගේ හැගීමයි. මේ සුත්‍රය කියවන විට තරමකට හෝ සැබෑ තේරුම හැඟෙනු ඇත.]

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

    “ඇවැත් ශාරිපුත්‍රය,
    සැනසීමට පත්වූයේය.
    සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ.
    ඇවැත් ශාරිපුත්‍රය,
    කෙසේ නම් සැනසීමට පත්වූයේ වේද?”

    [අස්සාසප්පත්තො : යන පාලි වචනය සැනසීම ලෙස පරිවර්තනය කර ඇත.
    “තත්ථ කතමෝ සළායතනපච්චයා ඵස්සෝ?
    චක්ඛුසම්ඵස්සෝ, සෝතසම්ඵස්සෝ, ඝාණසම්ඵස්සෝ, ජිව්හාසම්ඵස්සෝ, කායසම්ඵස්සෝ, මනෝසම්ඵස්සෝ, අයං වුච්චති සළායතන පච්චයා ඵස්සෝ” යනුවෙනි.
    1.චක්ඛුසම්ඵස්සය, 2.සෝතසම්ඵස්සය, 3.ඝාණසම්ඵස්සය, 4.ජිව්හාසම්ඵස්සය, 5.කායසම්ඵස්සය, 6.මනෝසම්ඵස්සය, යන සය ආකාර ස්පර්ශ, (ඵස්ස), අස කණ ආදී සය ෂඩායතනයට අනුකුල බාහිර අරමුණු නිසා පහළ වනය”යි එයින් දැක්විණ. ‘නාමරූප පච්චයා සළායතනං’ යනුවෙන් ආයතන සයක් පමණක් දක්වන ලද නමුත් ආයතන දොළොසක් ඇත්තේ ය. එයින් කියන ලද චක්ඛායතනාදි සයට ආධ්‍යාත්මිකායතනය යි කියනු ලැබේ. රූපායතනය, සද්දායතනය, ගන්ධායතනය, රසායතනය, ඵොට්ඨබ්බායතනය, ධම්මායතනය යි චක්ඛායතනාදියෙහි ගැටෙන ආයතන සයක් ද වේ. ඒවාට බාහිරායතනය යි කියනු ලැබේ. ‘නාමරූප පච්චයා සළායතනං’ යන තන්හි දැක්වෙන ආධ්‍යාත්මිකායතන පමණක් ම ස්පර්ශය ඇති කිරීමෙහි සමත් නොවේ. ස්පර්ශය හටගන්නේ ආධ්‍යාත්මිකායතන බාහිරායතන දෙපක්ෂයේ ම සහයෝගයෙනි. එහෙත් නිදාන වග්ග සංයුත්තයෙහි “චක්ඛුං ච පටිච්ච රූපේ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණං, තිණ්ණං සඞ්ගති ඵස්සෝ” යි වදාරන ලදී. ඇසත් රූපයත් නිසා චක්ෂුර් විඥානය උපදනේ ය. ඇසය, රූපය, චක්ෂුර්විඥානය යන තිදෙනා ගේ එක්වීම ඵස්සය ය යනු එහි තේරුම යි. ඵස්සය ඇති වීමට බාහිරායතනයන් ගේද සහයෝගය ලැබිය යුතු බැවින් ස්පර්ශයා ගේ ප්‍ර‍ත්‍යය සැටියට ආධ්‍යාත්මිකායතන සයය, බාහිරායතන සයය යන දොළොසම ගත යුතු ය.

    කැඩපත්-දිය ආදි ඔපය ඇති වස්තූන්හි ඉදිරියට පැමිණි වස්තුවේ ඡායාව තමන් තුළට ගන්නා ස්වභාවයක් ඇතුවාක් මෙන් චක්ඛායතනය යි කියන ලද චක්ෂුඃප්‍ර‍සාදයෙහි ඉදිරියට පැමිණි වස්තුවේ ඡායාව තමන් තුළට ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. එයට ප්‍ර‍සාදය යි කියනුයේ ද එහෙයිනි. ප්‍ර‍සාද යන වචනයේ තේරුම ඔපය යනු යි. ඇසෙහි පිහිටි ඔපය නොහොත් ඇස නමැති ඔපය චක්ෂුඃප්‍ර‍සාදය යි. රූපයෙහි මෙන් ම ශබ්දයෙහි ද ඡායාවක් ඇත්තේ ය. එය රූපච්ඡායාව මෙන් ඇසට පෙනෙන දෙයක් නො වේ. සෝතායතනය යි කියනු ලබන ශ්‍රෝත්‍ර‍ ප්‍ර‍සාදයෙහි තමා තුළට ශබ්දච්ඡායාව ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. ඝාණ ජිව්හා කායායතනයන්හි ද ගන්ධ රස ස්පර්ශයන් ගන්නා ස්වභාවයක් ඇත්තේ ය. මනායතනයෙහි බාහිරායතන සයම ගන්නා ස්වභාවයක් ඇත්තේය.

    චක්ෂුඃප්‍ර‍සාදයට රූපච්ඡායාවක් වැටීම ඒ වස්තූන් ගේ සැටියට ගද ඝට්ටනයකි. ශ්‍රෝත්‍ර‍ප්‍ර‍සාදාදියෙහි ශබ්දාදීන් ගේ ගැටීම ද එසේ ය. බෙර ඇසත් අතත් දෙක එකට ගැටුණු කල්හි ශබ්දයක් පහළ කරවන ශක්තියක් ඒ දෙක්හි ඇතුවාක් මෙන් ද, ගිනිකූරක් හා ගිනිපෙට්ටියක් එකට ගැටුණු කල්හි ගින්නක් ඇති කරවන ශක්තියක් ඒ දෙක්හි ඇතුවාක් මෙන් ද, ආයතනයන්හි ඔවුනොවුන් එක්වීම් වශයෙන් ගැටුණු කල්හි විඥානයක් පහළ කරවීමේ ශක්තියක් ඇත්තේ ය. චක්ඛායතනයෙහි රූපායතනය පැමිණ ගැටුණු කල්හි චක්ෂුර්විඥානය පහළ වේ. සෝතායතනයෙහි ශබ්දායතනය ගැටුණු කල්හි සෝතවිඤ්ඤාණය පහළ වේ. ඝාණායතනයෙහි ගන්ධායතනය ගැටුණු කල්හි ඝ්‍රාණ විඥානය පහළ වේ. ජිව්හායතනයෙහි රසායතනය ගැටුණු කල්හි ජිව්හාවිඥානය පහළ වේ. කායායතනයෙහි පොට්ඨබ්බායතනය ගැටුණු කල්හි කායවිඥානය පහළ වේ. මනායතනයෙහි ධම්මායතනය ගැටුණු කල්හි මනෝවිඥානය පහළ වේ. මනායතනයෙහි චක්ඛායතනාදි පස ගැටීමෙන් ද මනෝවිඥානය පහළ වේ.

    චක්ඛායතනය, රූපායතනය, චක්ෂුර්විඥාන සංඛ්‍යාත මනායතනය යන ධර්ම තුන එක් වූ කල්හි චක්ඛුසම්ඵස්සය ඇති වේ. චක්ඛුසම්ඵස්සය යනු එකිනෙක වෙන් නො කළ හැකි සේ චක්ෂූර් විඥානය හා සැදී, එහි ම අංගයක් ව චක්ඛායතනය ඇසුරු කොට, රූපායතනය අරමුණු කොට උපදනා වූ එක්තරා චෛතසික ධර්මයකි. “තිණ්ණං සංගති ඵස්සෝ” යි චක්ඛායතන රූපායතන චක්ඛුවිඤ්ඤාණයන් ගේ එක්වීම ඵස්සය යි වදාරා තිබීම පර්‍ය්‍යාය කථාවෙකි. එය සෞත්‍රාන්තික දේශනාවේ ස්වභාවයකි. කාරණය ගැන නො සලකා වචනයෙහි පමණක් එල්ලී අර්ථය ගන්නට ගියහොත් එබඳු තැන්වලදී වැරදීම් සිදුවේ. වචනය අනුව ම සිතා ව්‍යඤ්ජනච්ඡායාවට රැවටී එක්වීම් මාත්‍ර‍යම ඵස්සය යි වරදවා නොගත යුතුය.

    සෝතායතනය සද්දායතනය සෝතවිඤ්ඤාණය යන තුන එක් වූ කල්හි වෙන් නො කළ හැකි සේ සෝත විඤ්ඤාණය හා බැඳී, සෝතවිඤ්ඤාණයාගේ අවයවයක් වැනි වී සෝතායතනය ඇසුරු කොට, සද්දායතනය අරමුණු කොට සෝතසම්ඵස්සය ඇති වේ. ඝාණසම්ඵස්සාදි සතර ඇති වන සැටි ද, කියන ලද්දට අනුව තේරුම් ගත යුතු ය. යම් කිසි සත්ත්වයකුට චක්ෂුරාදි ආයතන පහළ වී නිරුපද්‍රිතව පැවතුණ හොත් ඒවායේ රූපාදි අරමුණු සැපී විඥාන ඇති වී ඵස්සයන් ද ඇති වීම ඒකාන්තයෙන් සිදුවන්නකි. ‘සළායතන පච්චයා ඵස්සෝ’ යි වදාළේ එහෙයිනි.
    සළායතන පච්චයා ඵස්සෝ, පටිච්ච සමුප්පාද විවරණය, -අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ. ]

    “ඇවැත්නි
    යම් විටෙක පටන් ස්පර්ශායතන සයේ
    පහළවීමද, දුරුවීමද,
    ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දකීද,
    එපමණකින් ඔහු, සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ.

    “ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇද්ද, ප්‍රතිපදාවක් ඇද්ද?”
    “ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.”

    “ඇවැත්නි,
    මේ සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට කවර මාර්ගයක්, කවර ප්‍රතිපදාවක් ඇත්තේද?”
    “ඇවැත්නි, ඒ සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ අංග අටක් ඇති ආර්ය මාර්ගයම වේ. ඒ කවරේද? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මෙය සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයයි, මේ ප්‍රතිපදාවයි.

    “ඇවැත්නි, මේ සැනසීම ප්‍රත්‍යක්ෂ කිරීමට මේ
    යහපත් මාර්ගයයි, සුදුසුම ප්‍රතිපදාවයි.
    ඇවැත් ශාරීපුත්‍රයනි!
    නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

    SN 04-04-06. පරමස්සාස සූත්‍රය

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

    “ඇවැත්නි ශාරිපුත්‍රය,
    අතිශයින් සැනසීමට පත්වූයේය,
    අතිශයින් සැනසීමට පත්වූයේයයි කියනු ලැබේ.
    ඇවැත්නි,
    කොපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේ වේද?”
    “ඇවැත්නි, භික්ෂුව යම් තැනක පටන් ස්පර්ශායතන, සයදෙනාගේ පහළවීමද, දුරුවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් දැන උපාදානයන්ගෙන් මිදුනේ වේද ඇවැත්නි, එපමණකින් අතිශයින් සැනසීමට පැමිණියේයයි කියනු ලැබේ.

    “ඇවැත්නි,
    මේ අතිශයින් සැනසීමට පැමිණීමට මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
    “ඇවැත්නි, මේ පරම සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත.”
    “මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”

    “මේ පරම සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මග
    මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම වෙයි.
    ඒ කවරේද?
    සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේය.
    මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට
    මාර්ගය වෙයි, ප්‍රතිපදාව වෙයි.”

    “ඇවැත්නි,
    මේ අතිශයින් සැනසීම ප්‍රත්‍යක්ෂකර ගැනීමට
    යහපත් මාර්ගයයි, සුදුසුම ප්‍රතිපදාවයි.
    ඇවැත් ශාරීපුත්‍රයනි!
    නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

    SN 04-04-07. වේදනා සූත්‍රය

    වේදනාව යන ප්‍රකට පාලි පදය සිංහලෙන් වේදනාව ලෙස පරිවර්තනය කිරීම නිසා සිහලෙන් වේදනාව කියා කියන දුක් වේදනාව ලෙස අපට දැනේ. එසේ කියන දුක් වේදනාව ධර්මයේ කියවෙන වේදනා තුනින් එකක් පමණය. පාලි වචනයට ආසන්න සිංහල පදය විඳීම , වින්දනය ලෙස ගත යුතුය. කැමති වින්දන සුඛ වේදනාය. අකැමැති වේදනා දුක් වේදනාය. ඒ මැද කැමැත්තක් නැති අකමැතිත් නැති වේදනාය

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

    “ඇවැත් ශාරිපුත්‍රය,
    වේදනාව, වේදනාවය” යි කියනු ලැබේ.
    ඇවැත්නි, වේදනාව කවරේද?”

    “ඇවැත්නි,
    මේ වේදනා තුනෙකි.
    සුඛ (සැප) වේදනාය,
    දුක්ඛ වේදනාය,
    උපෙක්ෂා වේදනා

    යන මේවාය.
    ඇවැත්නි, මේ වේදනා තුනයි.

    “ඇවැත්නි,
    මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස
    මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?”

    “ඇවැත්නි,
    වේදනා පිරිසිඳ දැනීම පිණිස
    මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.”

    “මේ වේදනා පිරිසිඳ දැනීම පිණිස
    මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”

    “ඇවැත්නි මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි.

    ඇවැත්නි, මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට මේ මාර්ගයයි, මේ ප්‍රතිපදාවයි.”

    “ඇවැත්නි,
    මේ වේදනාවන්ගේ පිරිසිඳ දැනීමට
    සුදුසුම මාර්ගයයි, යහපත් ප්‍රතිපදාවයි.
    මේ ඉතා යහපත් ප්‍රතිපදාවකි.

    ඇවැත් ශාරීපුත්‍රයනි!
    නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

    SN 04-04-08. ආසව සූත්‍රය

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.


    “ඇවැත්නි, ශාරිපුත්‍රයන් වහන්ස!,
    ආශ්‍රවය, ආශ්‍රවයයි කියනු ලැබේ.
    ඇවැත්නි, ආශ්‍රවය යනු කවරේද?”

    “ඇවැත්නි,
    කාමාශ්‍රවය,
    භවාශ්‍රවය,
    අවිද්‍යාශ්‍රවය
    යි
    ආශ්‍රවයෝ තිදෙනෙකි.

    “ඇවැත්නි,
    මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරනු පිණිස
    මාර්ගයක් ඇද්ද, ප්‍රතිපදාවක් ඇද්ද?”

    “ඇවැත්නි,
    මේ ආශ්‍රවයන් ප්‍රහාණය පිණිස
    මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක් ඇත.”

    “ඇවැත්නි,
    මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස
    මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”

    “ඇවැත්නි,
    සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස වේ. ඇවැත්නි, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණය පිණිස මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.”

    “ඇවැත්නි, මේ ආශ්‍රවයන්ගේ ප්‍රහාණයට යහපත් මාර්ගයකි. ඉතා යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරීපුත්‍රයනි!
    නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

    කාමාශ්‍ර‍වය – භවාශ්‍ර‍වය – දෘෂ්ට්‍යාශ්‍ර‍වය – අවිද්‍යාශ්‍ර‍වය යි ආශ්‍ර‍ව සතරක් ලෙසද දැක්වේ,.

    a.කාමාශ්‍ර‍ව
    රූප – ශබ්ද – ගන්ධ – රස – ස්ප්‍ර‍ෂ්ටව්‍ය යන පඤ්ච කාමයන් ගැන ඇති ආශාව වූ ඖදාරික ලෝභය කාමාශ්‍ර‍ව නම් වේ.

    b.  භවාශ්‍ර‍ව
    රූපාවචර – අරූපාවචර කුශලයන් ගැන හා ඒවායේ විපාක වශයෙන් ලැබෙන රූපාරූප භවයන් ගැන ද පවත්නා ආශාව භවාශ්‍ර‍ව නම් වේ. කාමාශ්‍ර‍ව භවාශ්‍ර‍ව යන දෙකින් ම ගැනෙන්නේ ලෝභ චෛතසිකය ය.

    c.  දෘෂ්ට්‍යාශ්‍ර‍ව
    දෘෂ්ටි සියල්ල ම දෘෂ්ට්‍යාශ්‍ර‍ව නම් වේ.

    d. අවිද්‍යාශ්‍ර‍ව
    ධර්‍මයන් ගේ සැබෑ තත්ත්වය වසන මෝහ චෛතසිකය අවිද්‍යාශ්‍ර‍ව නම් වේ.

    ධර්‍ම වශයේන ගන්නා කල්හි ආශ්‍ර‍වය යි කියනුයේ ලෝභ – දිට්ඨි – මෝහ යන චෛතසික තුනට ය.

    ද්‍ර‍ව්‍යයෙන් යුක්ත කොට සැළක ලා කලක් පල් කළ ජලයට ආසවය යි කියනු ලැබේ. පානය කළවුන් මත් කරවන ස්වභාවය ද ඒ ජලයෙහි ඇත්තේ ය. බොහෝ කල් පල් වූ නිසාත් මත් කරවන නිසාත් ආසවයට සමාන බැවින් ඉහත කී ලෝභාදි ධර්‍මයන්ට “ආසව” යන නම කියනු ලැබේ. ඒ ලෝභාදි ධර්‍ම තුන සංසාරයෙහි දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සත්ත්ව සන්තානයෙහි පල් වී ඇති බැවින් ද, සත්ත්වයන් මත් කරවන බැවින් ද ආසවයට සමාන ය.

    තව ද වැගිරෙන දෙය ය, ගලා යන දෙයය යන අර්ථයෙන් ද ඒ ධර්මයන්ට “ආශ්‍ර‍ව” යන නම කියනු ලැබේ. වණයකින් සැරව වැගිරෙන්නාක් මෙන් චක්ෂුරාදි ද්වාරයන්ගෙන් ඒ ලෝභාදි ධර්ම වැගිරේ. ගෝත්‍ර‍භූ චිත්තය තෙක් ඇති ලෞකික ධර්මයන් යට කොට ද, භවාග්‍ර‍ය දක්වා ලෝකය යට කොට ද ඒ ධර්‍ම ගලා යන්නේ ය.

    SN 04-04-09. අවිජ්ජා සූත්‍රය

    අවිද්‍යාව යනු චතුස්සත්‍ය නොදැනීමයි. මේ චතුස්සත්‍යයේ ප්‍රධානම කොටස දුක්ඛයය. එ නිසා දුක්ඛය නොදැනීම අවිජ්ජාවය කීවත් නිවැරදිය

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

    “ඇවැත් ශාරීපුත්‍රයන් වහන්ස!,
    අවිද්‍යාව අවිද්‍යාවයයි කියනු ලැබේ.
    ඇවැත්නි, අවිද්‍යාව කවරීද,

    ඇවැත්නි,
    දුකෙහි නොදැනීම,
    දුකට හේතුව නොදැනීම
    දුක් නැතිකිරීමෙ නොදැනීම,
    දුක් නැති කරන මාර්ගය නොදැනීම

    ඇවැත්නි, මේ අවිද්‍යාවයි.”

    “ඇවැත්නි,
    අවිද්‍යාව ප්‍රහාණය පිණිස මාර්ගයක්
    ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”

    “ඇවැත්නි,
    අවිද්‍යාව ප්‍රහාණය පිණිස
    මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත.”

    “ඇවැත්නි,
    අවිද්‍යාව ප්‍රහාණය පිණිස ඇති
    මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”

    “ඇවැත්නි,
    අවිද්‍යාව ප්‍රහාණය පිණිස
    මේ සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ක මාර්ගය වෙයි.

    අවිද්‍යාව ප්‍රහාණය පිණිස මේ මාර්ගයයි. මේ ප්‍රතිපදාවයි.”

    “ඇවැත්නි, අවිද්‍යාව ප්‍රහාණයට මෙයම සුදුසුම මාර්ගයය.
    යහපත් මාර්ගයය, ඉතා යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරීපුත්‍රයනි!
    නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

    1. අවිද්‍යාව නම් මෝහ චෛතසිකයයි.
    (චෛතසික පාදයේ අකුශල චෛතසික බලනු.)
    මෝහය සර්වාකුශල සාධාරණයෙකි. දොළොස් අකුසල් සිත්හි සම්ප්‍රයුක්ත වශයෙන් ම යෙදෙයි. මෝහයට මෙහි අවිද්‍යාය යි කියන ලද්දේ නො දැන්මය යන අර්ථයෙනි. යම් නො දැන්මෙක් සත්ත්‍වයා අන්ත විරහිත සංසාරයෙහි දුවවන්නේ ද ඒ නො දැන්ම අවිද්‍යාව යි. ඒ වනාහි දුඃඛ සත්‍ය, සමුදයසත්‍ය, නිරෝධසත්‍ය, මාර්ගසත්‍ය යන චතුරාර්ය සත්‍යයෙහි ද, පූර්වාන්ත, අපරාන්ත, පූර්වාපරාන්ත, පටිච්චසමුප්පාද යන අටතන්හි නොදැන්මය යි දත යුතු.

    අවිද්‍යාව නැත්තේ විද්‍යා සංඛ්‍යාත අර්හත් මාර්ගඥානයෙන් කෙලෙස් ප්‍රහාණ කළ රහතන්ට පමණෙකි. ඉන් මොබ සියල්ලන්ට අවිද්‍යාව ඇත්තේ ය. ඒ ඇති බව ද නොයෙක් ආකාර ය. අකුසල් කරන කල්හි ඒ අකුසල් සිත්හි අවිද්‍යාව හෙවත් මෝහය සම්ප්‍රයුක්ත වශයෙන් ම ඇත්තේ ය. කාමාවචර, රූපාවචර, අරූපාවචර කුශල කරන කල්හි ඒ කුසල සිත්හි අවිද්‍යාව හෙවත් මෝහය සම්ප්‍රයුක්ත වශයෙන් නැත. එහෙත් අනුශය වශයෙන් ඇත්තේ ය. අනුශය නම් මාර්ග ඥානයෙන් ප්‍රහාණය නො කළා වූ අරමුණු ලැබුණු කල්හි නැගී එන්නා වූ කෙලෙස් ය. ඔව්හු සත් දෙනෙකි. අවිද්‍යාව ද ඉන් එකෙකි. (සමුච්චය පාදයේ අනුසය කොටස බලනු.)

    අවිද්‍යාව අන්ධකාරය බඳු ය. ලොව පිරී ඇත්තේ අන්‍ධකාරයෙනි. ආලෝක ධරන ධරන ප්‍රමාණයෙන් අන්‍ධකාර දුරු කළ හැකි ය. අකුශල කරන්නෝ අන්ධකාරයේම ගැලී සිටින්නෝ ය. කාමාවචර රූපාවචර අරූපාවචරන කුශල කරන්නෝ ඒ ඒ ප්‍රමාණයෙන් කාලික වශයෙන් අන්ධකාරයෙන් ඈත් වෙති. එහෙත් ඔවුන්ට අන්ධකාරය නැතැ යි නොකිය යුතු ය. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, මාර්ග සිත් ලෝකෝත්තර කුසල් ය. එයිනුදු අන්ධකාරය එකදේශයෙකින් දුරු වේ. එහෙත් ඝන බහල මහාන්ධකාරය සූර්යයා මෙන් අර්හත් මාර්ගඥානය සමස්ත අවිද්‍යාව විහත විධ්වංසනය කරන්නේ ය. අර්හත් ඵලස්ථයෝ එහි විපාක එහි ම විඳිති. එසේ හෙයින් රහත් නො වූ සියලු සත්ත්‍වයන්ට සම්ප්‍රයුක්ත වශයෙන් හෝ අනුශය වශයෙන් හෝ අවිද්‍යාව ඇතැ යි දත යුතු යි.

    SN 04-04-10. තණ්හා සූත්‍රය

    [පුජ්‍ය මාන්කඩවල සමාහිත හිමි කල සුත්‍ර විවරනය.]

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.


    “ඇවැත්නි ශාරිපුත්‍රය,
    තණ්හාව! තණ්හාව!! යයි කියනු ලැබේ.
    ඇවැත්නි, තණ්හාව කවරේද?”

    “ඇවැත්නි,
    තෘෂ්ණා තුනකි.
    කාම තණ්හා,
    භව තණ්හා,
    විභව තණ්හා
    යන තුනයි.
    ඇවැත්නි, මේ ත්‍රිවිධ තෘෂ්ණාවෝය.

    “ඇවැත්නි,
    මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස
    මාර්ගයක් ඇද්ද, ප්‍රතිපදාවක් ඇද්ද?
    “මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස
    මාර්ගයක් ඇත්තේය, ප්‍රතිපදාවක් ඇත්තේය.”

    “මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස
    ඇති මාර්ගය කවරේද ප්‍රතිපදාව කවරේද?”

    “ඇවැත්නි,
    සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස වේ. ඇවැත්නි, තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි.”

    “ඇවැත්නි, මේ තෘෂ්ණාවන්ගේ ප්‍රහාණය පිණිස යහපත් මාර්ගයකි.
    යහපත් ප්‍රතිපදාවකි. ඇවැත්නි, ඉතා යහපත් ප්‍රතිපදාවකි.
    ඇවැත් ශාරීපුත්‍රයනි!
    නිවීම පිණිසවූ පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.”

    SN 04-04-11. ඕඝ සූත්‍රය

    පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ


    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

    “ඇවැත්නි,
    ශාරිපුත්‍රය,
    ඕඝය (සැඩපහර) ඕඝයයි කියනු ලැබේ.
    ඇවැත්නි ඕඝය කවරේද?”

    “ඇවැත්නි,
    කාම ඕඝ,
    භව ඕඝ,
    දිට්ඨි ඕඝ
    ,
    අවිජ්ජා ඕඝ යන මේ ඕඝ සතරකි.
    ඇවැත්නි, මොවුහු සතර ඕඝයෝය.”

    තිහගොඩ පෙතංගහවත්ත
    ශ‍්‍රී සුධර්මාරාම විහාර වාසී
    බෙංගමුවේ විමල හිමි

    1.‘කාම ඕඝ
    ඕඝ සතරෙන් කාම ඕඝ නම් පංචකාම නැමැති සැඩ වතුරය. චකඛු ඝාත සොත ජිව්හා කාය මන යන ඉන්ද්‍රියන් මඟින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මේවා ගොදුරු කරගෙන ඒ මගින් ලැබෙන ජවයෙන් සත්වයා සසරට තල්ලු වී යන හැටි මෙයින් දැක්වේ.
    2. භව ඕඝය
    භව ඕඝ නම් රූප අරූපාදී භවාශාවෙන් ගිලීමයි. (බක බ‍්‍රහ්මයා තමා සිටි භවය සදාකාලිකයි සිතා සිටියාක් මෙනි) මෙහිදී සත්වයා භව – විභව වශයෙන් ග‍්‍රහණය කරයි. අවිජ්ජාඕඝ’ එම පටිච්ච සමුප්පාද ධර්මයේ පදනමයි. එම අවිජ්ජාවටම බැදී පවත්නා වූ ඕඝ (සැඩ පහර) 4 ක් පිළිබඳව බුද්ධ ධර්මයේ විස්තර වේ.
    කාම ඕඝ භව ඕඝ දිටඨි ඕඝ අජ්ජා ඕඝ යනුවෙනි. මේවා සත්වයා අනන්ත භවයේ පා කරන භීෂන කෙලෙස් නිසා මෙය සැඩ පහරකට උපමා කර ඇත. විවිධ උපමා මගින් ගැඹුරු ධර්ම කරුණු පැහැදිලි කිරීම බුදුන් වහන්සේගේ දේශනා ක‍්‍රමයයි. මජ්ජිම නිකායේ ඔපමම වගගය මෙහි පංචස්කන්ධයේ ඉගැන්වෙන කරුණු රූපය පෙණ පිඩක් වේදනා දිය බුබුලක් සඤඤා මිරිඟුවක් සංඛාර කෙසෙල් කඳක් විඤ්ඤාාණය මායාවක් සේ පෙන්වා දී ඇත. සත්වයා සසර බැඳ තබන කෙලෙස් හැදින්වීමට රූපකරාශියක් ධර්මයේ දැක්වේ.

    නීවරණ සංයෝජන, ආසව, ඕඝ, ආදී වශයෙනි. මෙයින් ඕඝ ලෙසින් සඳහන් වන. දිට්ඨි ඕඝ නම් විවිධ දෘෂ්ඨින්හි ගිලීමයි ඉදමෙව සච්චං මේඝ මඤ්ඤං’ මෙය තමා ඇත්ත අනික් ඒවා බොරු යයි හගිමින් අතීතයේ මෙන්ම වර්තමානයේදීද විවිධ මායා දෘෂ්ඨිවල ගිලී සිටින ආකාරය පැහැදිලිය. අතීතයේ දඹදිව බොහෝ දෙනා මෙවන් දෘෂ්ඨි ජාලයක පැටලී සිටින ආකාරය බ‍්‍රහ්ම ජාල සූත‍්‍රයෙන් පැහැදිලි වේ.

    අවසානයේ සඳහන් වන අවිජ්ජා ඕඝය විමසීමයි. අපේ අරමුණ මේ සියලුම ඕඝයට බැස ගන්නේ ගිලෙන්නේ අවිජ්ජාව පදනම් කරගෙනය. අවිජ්ජාව අභිධර්මයේ මොහය (මුලාව, නොදැනීම) යනුවෙන් විස්තර වේ. සමචිතත පරීයාය සූත‍්‍රයේදී අවිද්‍යාව (නොදැනීම) කරුණු තුනකින් දළ ලෙස ව්‍යුහ ගත කර ඇත.
    1 දුක්ඛ සමුදය – නිරෝධ – මගග ගැන චතුරාර්ය සත්‍ය පිළිබඳව නොදැනීම.
    2 පුනර්භවය නැතය කියා ඇදහීම.
    3 පටිච්ච සමුප්පාදය ගැන නොදැනීම යනුවෙනි.

    බුදු දහමේ පෙන්වන කරුණක් වන්නේ සත්වයා මේ අවිද්‍යාවෙන් වෙලා ගන්නේ කවදාද යන්නට පිළිතුරු නොසපයන බව. එහිදී ඊට පිළිතුරු දෙන්නේ මේ සසරේ අගක් මුලක් නොමැති බවයි. (පුබබාකොටි නපඤඤපති) එසේ විස්තර කළද අවිජ්ජා නිරෝධයෙන් සත්වයාගේ භව නිරෝධය සිදු වන ආකාරය ‘මහා ශ‍්‍රමණවාදය’ නමින් හඳුන්වන හේතුඵලවාදී ඉගැන්වීමෙන් පෙන්වා දී ඇත.

    බුදුන් වහන්සේ අවිද්‍යාව ප‍්‍රහාණය කිරීමේ ක‍්‍රමවේදය අරිය පරියේසනය නමින් ‘අරියපරියෙසන සුත‍්‍රයේදී පෙන්වා දී ඇත. එහිදී ‘සම්බෝධි ඥාානය’ ලබා ගත්තාය. කියන්නේ ඒ දහම් ඇස (ධම්මචකඛුං) බෝ මැඩදී ලබාගත් ආකාරයයි. මජ්ම නිකායේ සබබාසව සුත‍්‍රයේදී දන්නා දක්නා අයට ජනාභො පසසතො අවිද්‍යාව ප‍්‍රහීන කරන ක‍්‍රම 7 ක් එහිදී පෙන්වා දී තිබේ.
    දසයනා – සංවරා – පටිසේවනා – අධිවාසනා – පරිවාජ්ජනා – විනොදිනා හා භාවනා යනුවෙනි.
    මෙහිදී පෙන්වා දෙන්නේ අයොනිසො මනසිකාරයෙන් ආශ‍්‍රවයන් වැඩෙන අයුරුත් යොනිසො මනසිකාරයෙන් ආශ‍්‍රවයන් ප‍්‍රහීන වන අයුරුත්ය. එනිසා අවිජ්ජාව දුරලීමට නම් ධර්මයේ පෙන්වා දෙන්නෙ ධර්මය ප‍්‍රගුණ කිරීම අවශ්‍ය බවය.

    සංයුක්ත නිකායේ සලායතන වගගයේදී බුදුන් වහන්සේ පෙන්වා දෙනවා ‘අවිජ්ජා ඛො භික්ඛු ඒකො ධමෙමා යසස පහානා භික්ඛුනො අවිජ්ජා පහීයති විජජා උපපවජ්ජතිති’ යනුවෙනි. අවිද්‍යාව ප‍්‍රහීනය කර විද්‍යාව ලබා ගැනීමට නම් අවිද්‍යාව නැති කළ යුතු බව පෙන්වා දී තිබේ. ‘සමමාදිට්ඨි සූත‍්‍රයේදී සැරියුත් හිමියන් පැහැදිලි කරන්නේ අවිද්‍යාවට හේතුව ආශ‍්‍රව ධර්ම බවයි. ආසව සමුදයා අවිජ්ජා සමුදයා.

    එම නිසා අවිද්‍යාව පඳුරු ලමින් පෝෂණය වෙමින් සත්වයා තව තවත් සසර බැඳ තබන ධර්මය බව පැහැදිලි වේ. සත්වයා මේ අවිද්‍යාවෙන් වෙලා ගන්නේ කවදාද යන්නට පිළිතුරු නැති බවය. මේ සසරේ අගක් මුලක් නොමැති බවයි. (පුබබාකොටි නපඤඤපති) එසේ විස්තර කළද අවිජ්ජා නිරෝධයෙන් සත්වයාගේ භව නිරෝධය සිදු වන ආකාරය ‘මහා ශ‍්‍රමණවාදය’ නමින් හඳුන්වන හේතුඵලවාදී ඉගැන්වීමෙන් පෙන්වා දී ඇත.

    බුදුන් වහන්සේ අවිද්‍යාව ප‍්‍රහාණය කිරීමේ ක‍්‍රමවේදය අරිය පරියේසනය නමින් ‘අරියපරියෙසන සුත‍්‍රයේදී පෙන්වා දී ඇත. එහිදී ‘සම්බෝධි ඥාානය’ ලබා ගත්තාය. කියන්නේ ඒ දහම් ඇස (ධම්මචකඛුං) බෝ මැඩදී ලබාගත් ආකාරයයි. මජ්ජිම නිකායේ සබබාසව සුත‍්‍රයේදී දන්නා දක්නා අයට ජනාභො පසසතො අවිද්‍යාව ප‍්‍රහීන කරන ක‍්‍රම 7 ක් එහිදී පෙන්වා දී තිබේ.

    දසයනා – සංවරා – පටිසේවනා – අධිවාසනා – පරිවාජ්ජනා – විනොදිනා හා භාවනා යනුවෙනි. මෙහිදී පෙන්වා දෙන්නේ අයොනිසො මනසිකාරයෙන් ආශ‍්‍රවයන් වැඩෙන අයුරුත් යොනිසො මනසිකාරයෙන් ආශ‍්‍රවයන් ප‍්‍රහීන වන අයුරුත්ය. එනිසා අවිජ්ජාව දුරලීමට නම් ධර්මයේ පෙන්වා දෙන්නෙ ධර්මය ප‍්‍රගුණ කිරීම අවශ්‍ය බවය.

    සංයුක්ත නිකායේ සලායතන වගගයේදී බුදුන් වහන්සේ පෙන්වා දෙනවා ‘අවිජ්ජා ඛො භික්ඛු ඒකො ධමෙමා යසස පහානා භික්ඛුනො අවිජ්ජා පහීයති විජජා උපපවජ්ජතිති’ යනුවෙනි. අවිද්‍යාව ප‍්‍රහීනය කර විද්‍යාව ලබා ගැනීමට නම් අවිද්‍යාව නැති කළ යුතු බව පෙන්වා දී තිබේ. ‘සමමාදිට්ඨි සූත‍්‍රයේදී සැරියුත් හිමියන් පැහැදිලි කරන්නේ අවිද්‍යාවට හේතුව ආශ‍්‍රව ධර්ම බවයි. ආසව සමුදයා අවිජ්ජා සමුදයා. එම නිසා අවිද්‍යාව පඳුරු ලමින් පෝෂණය වෙමින් සත්වයා තව තවත් සසර බැඳ තබන ධර්මය බව පැහැදිලි වේ.

    “ඇවැත්නි,
    මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස
    මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
    “ඇවැත්නි,
    ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස
    මාර්ගයක් ඇත්තේය, ප්‍රතිපදාවක් ඇත්තේය.”

    “ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස
    මාර්ගය කවරේද? ප්‍රතිපදාව කවරේද?”

    “ඇවැත්නි,
    සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස වෙයි. ඇවැත්නි, මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි ප්‍රතිපදාව වෙයි.

    “ඇවැත්නි, “මේ ඕඝයන්ගේ ප්‍රහාණය පිණිස
    යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත් ශාරීපුත්‍රයනි!
    නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.

    [ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනයේ
    කම්මට්ඨානාචාර්ය
    මාන්කඩවල සුදස්සන හිමි

    එක තැනක ඉන්න විට මනස තුළ තොරතෝංචියක් නැතිව, දුව, පුතා, ගෙවල් ,දොරවල්, රන් , රිදී, මුතු, මැණික් කියලා, ගම් නියමිගම්, රටවල් පිටින් ගොඩ නඟලා පෙන්නන මනෝමය චිත්‍ර ටිකත් එක්ක තියෙන නිමිති ටිකට තමයි කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිද්‍යා ඕඝ කියන මෙන්න මේ ටික කිව්වේ”

    ගඩොල් , වැලි, සිමෙන්තියෙන් හැදුණු බිත්තිය සහ ඒ තුළ ඇඳපු චිත්‍රය කියන මට්ටමේ රූප ටිකකුයි ඒනිසා පුද්ගල සත්ත්ව සංඥා තමන්ගේ මනසෙයි තියෙන්නේ කියල බුදුරජාණන් වහන්සේ පහළ වුණත් නැතත් සැමදාම තිබුණු ඇත්තක්. නමුත් ඒ සිද්ධිය වන තැනක ඒ ඇත්ත සිද්ධිය පෙනෙන්නේ නැතිව තියෙන්නේ ලෝකයා, අනාත්ම වූ ආයතන ටික නිසා තමන්ගේ මනසේ ඇතිවෙන මේ කෙලෙස් ටික හඳුනාගන්නේ නැතිව බිත්තිය අතගාන “කෙනා’ කියලා. බිත්තියට පැනලා ඉන්නේ පළඟැටියෙක් වගේ. දුක උපදවාගෙන දුකට පැනලා මේ ඉන්නේ. බුදුරජාණන්වහන්සේ ලෝකයේ පහළ වුණේ මේ කරන වැරැද්ද පෙන්වන්නයි. ඇස අනාත්මයි නම්, රූපය අනාත්මයි කියලා දකින්න සුදුසුද කියලා අහනවා. කෙස්, ලොම්, නිය, දත්, සම්, මස් කියලා කුණුප කොටස් ටිකක් පිහිටලා තියෙන තැනක පිහිටි වර්ණ සටහන දකිනවිටම මම කියන හැඟීම ඇතිවන්නේ නම් මම කියන හැඟීමෙන් මේ රූපය අතගාන්න සුදුසුද? සුදුසුද මගේ අත අතගාන්න? සුදුසුද මේ කය මම කියලා පිරිමදින්න? ගඩොල්, වැලි, සිමෙන්තියෙන් කළ බිත්තියේ චිත්‍රයක් ඇන්දහම මේ මම කියන හැඟීම පින්වතුන්ට ඇතිවුණොත් මේ මම කියලා අතගාන්න සුදුසුද? ගඩොල්, වැලි වලින් කළ බිත්තිය? නැත්නම් එහි ඇඳි චිත්‍රය අතගාන්න සුදුසුද? පත්තර කඩදාසියක මේ හැඟීම් ටික තියෙනවා නම් මේ මමනේ කියන හැඟීම එයි. තමන්ට අතගාන්න සුදුසුද? එහෙම සුදුසු, නුසුදුසු නෙමෙයිද? එහෙමනම් බුදුපියාණන් වහන්සේ මහණෙනි, ඇස අනාත්මයි, රූපය අනාත්මයි, චක්ඛු විඤ්ඤාණය අනාත්මයි නම් මම මගේ ආත්මය වශයෙන් දකින්න සුදුසුද කියලා බොහොම කරුණාවෙන් විමසනවා නේද? ඇයි එහෙම අහන්නේ? නිත්‍යයද? අනිත්‍යයද? රූපය නිත්‍යයද අනිත්‍යයද ? චක්ඛු විඤ්ඤාණය නිත්‍යයද අනිත්‍යයද? “අනිච්චං භන්තෙ” යමක් අනිත්‍යයයි නම් ඒක දුකද? සැපද? දුකයි. යමක් දුකයි නම් ඒක මම හෝ මගේ ආත්මය හෝ කියලා දකින්න සුදුසුද? එමනිසා මෙබඳු අනාත්ම ධර්මයක් නිසා ප්‍රපංච ටික මේක පිරිමදින්න සුදුසුද කියලා අහන්නේ? බලන්න, අහන වචනය අනාත්ම වූ බිත්තිය නිසා කෙනෙක්, පුද්ගලයෙක් කියලා ප්‍රපංචයක් මගේ මනසෙ නම් ඇතිවුණේ බුදුරජාණන් වහන්සේ අහනවා කෙනෙක් , පුද්ගලයා කියලා බිත්තිය දකින්න සුදුසු ද කියලා අහනවා.

    එහෙමනම්, මේ ස්පර්ශ ආයතන හයම නිසා මගේ රූපෙ, මගේ ශබ්දය, මගෙ ගන්ධය, මගෙ රස, මගේ ස්පර්ශය මගේ සිතිවිලි කියලා හය නිසාම සිහිවෙනවා නම් ඔය මගේ කියන ගතියෙන් ආයතන ටික පිරිමදින්න සුදුසුද? මේ දුක් වූ ස්පර්ශ ආයතන හය දුක්ඛ සත්‍යනම් ඒ නිසා ඇතිවූ මාන්‍ය. මම, මගේ කියන ප්‍රපංච ටික මනසේ ඇතිවූ කෙලෙස් ටික නම් මේ කෙලෙස් ටිකෙන් මේ ස්කන්ධ ටික පිරිමදින්න සුදුසුද? කියලා අහනවා. මේ ආයතන එකක්වත් තමන්ද? තමන්ගෙද? තමන්ගේ ආත්මයද ? අනාත්මයි. අනාත්ම වූ ආයතන ටික නිසා තමන්ගේ මනසේ ප්‍රපංච ඇතිවෙන්න පුළුවන්. මම කියන හැඟීම ඇතිවෙන්න පුළුවන්. ඒ ඇතිවෙන්නේ ආයතන ටික පිරිසිඳ නොදැක්ක නිසයි. මම කියන හැඟීම ඇතිවෙන විට ඇතිවූ හේතුවට යන්න.

    බල්ලෙකුට ගලකින් ගැහුවම බල්ලා ගල හපා කනවා. සිංහයෙකුට ගලකින් ගැහුවහම ඌ ගල ආවෙ කොහෙන්ද? කියලා බලනවාලු. බල්ලාට ගලකින් ගැහුවා වගේ ධර්මය නොදන්නා අශ්‍රැතවත් පෘතග්ජනයාට හිතේ නිමිත්තක් ඉපදුනහම ඒ නිමිත්ත අල්ලා ගන්නවා. දරුවා කියලා සිහිවුණොත් ඒක ටක් ගාලා ඇත්තයි කියලා අල්ලා ගත්තා. අනේ! දරුවා කෑවද දන්නේ නැහැ. බිව්වද දන්නේ නැහැ. කියලා එක්කෝ දරුවා ලෙඩ වුණා. මගේ දරුවා හොඳයි. විභාග පාස් වුණා. පළවෙනියා වුණා. ඔන්න සතුටුයි. එහෙම නැත්නම් දරුවා තියෙන තැන ලෝභ, ද්වේශ, මෝහ එහෙම නැතිනම් තව කෙනෙක් මේක අනිත්‍යයයි නේද , මේක දුකයි නේද, මේක අනාත්මයි නේද, මේක විතර්කයක් නේද, මේක සිතිවිල්ලක් නේද කියලා අල්ලා ගන්නවා. දෙන්නම හපාකාලා තියෙන්නේ ගල. දෙකම එකයි. “මම” කියන්නේ ගිනි ගොඩක් ඇතුළේ ඉන්න කෙනා නොපිච්චී ඉන්න උත්සාහවන්ත වුණත්, නොවුණත් දෙන්නම පිච්චෙනවා කියලා. ගිනිගොඩක් ඇතුළේ නම් ඉන්නේ එහාට මෙහාට පැන පැන කෙනෙක් නොපිච්චි ඉන්න උත්සාහවන්ත වෙනවා. පිච්චෙනවද? නැද්ද? පිච්චෙනවා. කිසිම උත්සාහයක් නැහැ. අත්දෙක බැඳගෙන සිටියොත් ඒත් පිච්චෙනවා. මේ නිමිත්ත භවය කියාගෙන බාහිර අම්මා, තාත්තා , දරුවා ඉන්නවා කියන අදහසින් සිහි කරගන්නවා. කිසිම උත්සාහයක් නැතිව අත්දෙක බැඳගෙන ඉන්නවා වගේ තමයි නිමිත්තට අනුගතව සිත යනවා. අනේ! දරුවා මෙහෙමයි, මෙහෙමයි කිය කියා පිච්චෙනවා. එයා ජරා, මරණ, දුක් විඳිනවා. ගිනිගොඩ ඇතුළේ එහාට මෙහාට පැන පැන ඉන්නවා වගේ මේක නිමිත්තක් නේද ,මේක විතර්කයක් නේද? මනෝ සම්ඵස්සයෙන් හටගත්ත එකක් නේද, ස්පර්ශය නැතිවෙන විට නැතිවෙනවා කියලා දැන් නොපිච්චි ඉන්න උත්සාහවත් වෙනවා. හැබැයි, තවම අවිද්‍යාව ඇතුළේ. තවම ගිනිගොඩ ඇතුළේ එයා පිච්චෙනවා. මෙහෙම බැලුවට තවම අම්මා , තාත්තා ඉන්නවා තියෙනවා කිය කියා තැනකින් දුක් විඳින්න පුළුවන් කියන එක එහෙමයි. ඇස අවිද්‍යාව නිසා හටගත්ත දෙය ඇතුළේ බැලුවා කියලා අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත්ත සංස්කාරය තුළ අවිද්‍යාව නැති කරන්න පුළුවන් කියලා හිතනවාද?

    එහෙමනම් හැම වෙලාවෙම මෙයා කළ යුත්තේ කුමක්ද? ගිනිගොඩ ඇතුළේ උත්සාහවත් වුණොත් නොවුණොත් දෙකම පිච්චෙනවා වගේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගත් දේ තුළ උත්සාහවත් වන්නේ නැහැ. “කථංසු මාරිස ඕඝං තරති” එක දෙවියෙක් ඇවිල්ලා අහනවා “ඔබ වහන්සේ ඕඝය තරණය කළේ කෙසේද? කියලා ? මම, පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕඝය තරණය කළා කියනවා. ජලයට වැටුණු කෙනෙක්, ගැඹුරු වතුරකට වැටුණු කෙනෙක් ගිලෙන්නේ නැතිව ඉන්න නම් කුමක් කළ යුතුද? අත් ගගහා වෑයම් කරකර ඉන්නවා වගේ නේද? වෑයම් කරකර හිටියොත් මොකද වෙන්නේ? උඩට වෙලා ඉන්න පුළුවන්. ඒත් ඒක දුක් සහිතයි. වෙහෙස සහිතයි. බොහොම සැපෙන් නම් ඉන්නවා නෙමෙයි. ඒත් යට යනවා. බැරිවෙලා වෑයම් නොකළොත් ඒත් මැරෙනවා. කෙනෙක් උත්සාහවත් වෙලා ගිලිලා මැරෙනවා. කෙනෙක් උත්සාහවත් වෙන්නෙත් නැතිව ගිලිලා මැරෙනවා. ඒ හින්දා උත්සාහවත් වෙන්නෙත් නැතිව නොවෙන්නෙත් නැතිව උත්සාහවීමෙන් දොස් දැක්කා. උත්සාහවත් නොවීමෙන් දොස් දැක්කා. දැකලා උත්සාහ වෙන්නෙත් නැතිව නොවෙන්නෙත් නැතිව ඕඝය තරණය කළා” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. මේ ඇතිවන නිමිති ටික නැත්නම් මේ රාග, ද්වේශ, මෝහ කියන කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ , අවිජ්ජා ඕඝ කියන මේ ඕඝ ටික තමයි මනසේ තියෙන්නේ. කෙනෙක් මොකද කරන්නේ, වෑයම්ද නොකර ඉන්නවා කියලා කියන්නේ, මේකෙන් මිදෙන්න වෑයම් කරන්නේ නැහැ. දුව, පුතා, අම්මා , තාත්තා, කියලා සිහිවෙනවිට ඒක ඇත්තමයි කියලා ඔහේ ඒකට අනුගතව ඉන්නවා. ඒ නිසා වෑයම් නොකර ඉන්නවා තියා ඒකෙම ගිලෙනවා. එයා ඔන්න ගිලෙනවා.

    කෙනෙක් වෑයම් කරනවා මේකේ, ඕඝය තුළ , මේ සිතට පහළවෙන කාම ඕඝ, භව ඕඝ, දිට්ඨ ඕඝ, අවිජ්ජා ඕඝ කියන ගති ටික මේක අනිත්‍යයි නේද, මේක නිමිත්තක් නේද, මේක සංඥාවක් නේද, මේක විතර්කයක් නේද, මේක ස්පර්ශයකින් නේද හටගත්තේ , මේ විදියට විතර්ක පහළ කර කර ඉන්නවා. ඒත් ඕඝය ඇතුළේ වෑයම් කරනවා. ඒක ද වෙහෙසිලා වෙහෙසිලා, ඒත් ජරා, මරණ, දුකට පත්වෙනවා. අවිද්‍යාව හිඳෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්කා මේ ඕඝයට වෑයම් කරලා හෝ වෑයම් නොකිරීමෙන් වෙහෙසකට ම පත්වෙනවා කියලා. ඒ නිසා වෑයම් කරන්නෙත් නැතිව, නොකරන්නෙත් නැතිව ඕඝය තරණය කළා කියලා කිව්වේ, මේ සඳහා කිසිම ප්‍රතිචාරයක් දැක්වූවේ නැහැ, පීනුවා, මේක එන විටම අතහැරලා ගියා, කොහාටද? දුක පිරිසිඳ දකින තැනට , අවිද්‍යාව දුරු කරන තැනට,

    දරුවා කියලා, ගෙදර කියලා, අම්මා කියලා, තාත්තා කියලා, කාම ඕඝය “අරෙහේ අපේ ගේ තියෙනවා, මේ කොහුවල නගරය, අරෙහේ අනුරාධපුරේ කියලා, මෙහේ කුරුණෑගල, මෙහේ නුවර” කියලා බාහිර ගම් නියම්ගම් නගර පිටින් පෙනෙනවා, භවය, කාම ඕඝ, භව ඕඝ, පුද්ගලයෝ ඉන්නවා, සත්ත්වයො ඉන්නවා කියලා දිට්ඨි ඕඝ, මේකේ ඇත්ත නො දන්නාකම අවිද්‍යා ඕඝ, මේ ටික ඔක්කෝම මනසේ, මේ ඕඝය ඇතුළේ මුළු ලෝකයේ ම කොටසක් වෑයම් කරනවා. කොටසක් වෑයම් නොකරනවා. වෑයම් නොකරන කෙනාද පෘථග්ජනයි කියනවා, වෑයම් කරන කෙනා බණ, භාවනා කරනවා කියනවා, ඒත් දෙන්නාම ඕඝය ඇතුළේ.

    ඕඝය ඇතුළේ වෑයම් කරන කෙනයි, නොකරන කෙනයි දෙන්නාගේම දොස් දැකපු නිසා බුදුරජාණන් වහන්්සේ වෑයම් ද නො කරමින් , පිහිටා ද නොසිටිමින් ඕඝය තරණය කළා මිසක, මේ ඕඝය හදන්න ගියේ නැහැ. ඕඝය ඇතිවූ හේතුවටයි ගියේ. සිංහයෙකුට ගලකින් ගැහුවහම ගල ආපු පැත්තට ගියා වගේ, ඒ ගල ආවේ කොහෙන්ද කියලා බලනවාලු. ඕඝය හටගත්තොත්, “දරුවා” කියන අදහස ඇති වුණොත්, ඒ “දරුවා” නැති කරන්න වෑයම් කරන්නෙත් නැහැ. ඒක ඇති කරගෙන රාග, ද්වේෂ, මෝහ ඒකට අනුගත වෙලා යන්නෙත් නැහැ. පිහිටා හිටින්නෙත් නැහැ. වෑයම් කරන්නෙත් නැහැ. සිහිවෙන විටම කළේ කුමක් ද, ඕඝය තරණය කළා. ටක් ගාලා ඕඝය අතහැරියා, ගියා අනික් පැත්තට භවයට, ඒ කියන්නේ දරුවා කියලා සිහිවෙද්දිත් ඒත් බලන්න කියලා ගියොත් මෙන්න මේ වාගේ ඇත්තක් ඇස් ඉදිරිපිටට එයි නේද, එදාටත් මේ ඕඝය, මේ ගතිය මනසේ යෙදෙයි නේද? ගියා අනික් පැත්තට, අතීතයට ඇත්තට ම කෙනා කියලා හම්බ වූ , දරුවා කියලා සිහිකරන්න පුළුවන් මේ හැකියාව ආපු තැන සැබෑවටම තිබුණේ මෙහෙම රූපයක්. ඒ රූපය ඇසුරු කරගෙන තිබුණු චිත්‍රය දකින විට මනසේ නේද මේ ගතිය හටගත්තේ කියලා දැක්කා. එතකොට මෙයා ඒ ඕඝය තුළ පිහිටලා හෝ වෑයම් කරලා තියෙයිද?

    කාට හරි පුළුවන් නම් ඕඝය තුළ පිහිටා ද නොසිටිමින්, වෑයම් ද නොකරමින් ජීවත් වෙන්න, එයා නොබෝ දිනකින් ආශ්‍රවක්ෂය කරගන්නවා. මේ සද්ධර්මය දන්නා වූ ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයෙක් හැරෙන්න, කිසිම කෙනෙකුට මේ ඕඝයේ පිහිටලා ඉඳිමින් හෝ වෑයම් ද කරමින් ඕඝය තරණය කරන්න බැහැ කියන එක හොඳට මතක තබා ගන්න. ඕඝය තුළ ඉඳගෙන වෑයම් කරන කෙනාත්, ඕඝය තුළ පිහිටා ඉන්න කෙනාත් දෙන්නාම ඕඝය තුළ ම ගිලිලා මැරෙනවා මිසක් ඕඝය තරණය කරන්නේ නැහැ. ඕඝය තරණය කරන කෙනා ඕඝය තුළ වෑයම් ද නොකරමින්, පිහිටා ද නොසිටිමින් , විය යුතුයි.

    එක තැනක ඉන්න විට මනස තුළ තොරතෝංචියක් නැතිව, දුව, පුතා, ගෙවල් ,දොරවල්, රන් , රිදී, මුතු, මැණික් කියලා, ගම් නියමිගම්, රටවල් පිටින් ගොඩ නඟලා පෙන්නන මනෝමය චිත්‍ර ටිකත් එක්ක තියෙන නිමිති ටිකට තමයි කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිද්‍යා ඕඝ කියන මෙන්න මේ ටික කිව්වේ. ඔය ටික ඇතුළේ මොන විදිහටවත් වෑයම් කරන්නත් එපා. අනිත්‍ය බලමින්, දුක් බලමින් , අනාත්මය බලමින් ඉන්නත් එපා. වෑයම් නොකරමින් ඉන්න එපා, ඒ කියන්නේ ඒකට අනුගත රාග, ද්වේෂ, මෝහ ඇති කරගෙන එහේ ඉන්න එකට තමයි වෑයම් නොකරනවා කියලා කිව්වේ. වෑයම් කළත් , නොකළත් දෙන්නාම එකම තැනයි. මේ සාසනයට මෙච්චර කාලයක් වුණෙත් ඒ ටිකමයි.

    ඒ නිසා මතක් කරනවා ඕඝ තරණ සූත්‍රය. අද මේ පින්වතුන් යන්න ඕඝ තරණය සඳහා. මේ ඕඝය තුළ වෑයම් ද නොකෙරෙමින්, පිහිටා ද නොසිටිමින්, ඕඝය තරණය කරලා සංසාර දුක නිමා කරගන්න කියන එක පින්වත් ඔබට බොහොම කරුණාවෙන් මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව ඔබ සැමට හේතු උපනිශ්‍රය වේවා!

    SN 04-04-12. උපාදාන සූත්‍රය

    18 වැනි දේසනාව

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.


    සූත්‍රය
    “ඇවැත්නි ශාරිපුත්‍රය,
    උපාදානය! උපාදානය!!”යි කියනු ලැබේ.
    ඇවැත්නි, උපාදානය කුමක්ද?”

    “ඇවැත්නි,
    උපාදාන සතරකි.
    කාමූපාදානය,
    දිට්ඨුපාදානය,
    සීලබ්බතඋපාදානය,
    අත්තවාදූපාදානය
    කියායි.

    ඇවැත්නි,
    මේ සතර උපාදනයෝයි”

    “ඇවැත්නි,
    මේ උපාදානයන් ප්‍රහාණය පිණිස
    මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
    “ඇවැත්නි, එසේය
    උපාදානයන් ප්‍රහාණය පිණිස
    මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”

    “ඇවැත්නි,
    උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස
    මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?” \

    “ඇවැත්නි,
    සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස වේ.

    ඇවැත්නි, මේ උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.”

    “ඇවැත්නි,
    උපාදානයන්ගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය යහපත්ය. ප්‍රතිපදාව යහපත්ය.
    ඇවැත්නි, ශාරීපුත්‍රයනි , අපද අප්‍රමාද වීම සුදුසුය.”

    [කාමූපාදානය.
    ලෙහෙසියෙන් නො හරනා පරිදි යම් කිසිවක් තදින් අල්ලා ගන්නා ධර්මය උපාදාන නම් වේ. රූපාදි කාම වස්තූන් තදින් ගන්නා වූ ලෝභය ‘කාමූපදාන’ නම් වේ.
    – දිට්ඨූපාදානය
    මෙය සත්‍යය කියා තදින් ගන්නා වූ වැරදි මතය ‘දිට්ඨූපදාන’ නම් වේ.
    – සීලබ්බතූපාදානය
    නිවනට මාර්ග නො වන මිථ්‍යා ශීල – මිථ්‍යා ව්‍ර‍තයන් නිවන් මග වශයෙන් වරදවා තදින් ගන්නා ස්වභාවය ‘සීලබ්බතූපාදානය’ ය.
    – අත්තවාදූපාදානය 
    රූපාදිය ආත්ම වශයෙන් තදින් ගන්නා ස්වභාවය ‘අත්තවාදූපාදනය’ ය.]

    SN 04-04-13. භව සූත්‍රය

    පුජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමින් වහන්සේ කල දේශනාවක්

    භඑක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

    “ඇවැත්නි, ශාරීපුත්‍රය,
    භවය! භවය!! යි කියනු ලැබේ.
    ඇවැත්නි, භවය කවරේද?”

    “ඇවැත්නි,
    භව තුනකි.

    කාම භවය,
    රූප භවය,
    අරූප භවය
    යන තුනයි.
    ඇවැත්නි,
    මේ තුන් භවයෝයි.”

    “ඇවැත්නි,
    මේ භවයන් පිරිසිඳ දැනීම පිණිස
    මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
    “ඇවැත්නි, එසේය.
    මේ භවයන් පිරිසිඳ දැනගැනීමට
    මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”

    “භවයන් පිරිසිඳ දැනීම පිණිස
    මාර්ගය කවරේද,
    ප්‍රතිපදාව කවරේද,”

    “ භවයන්ගේ පිරිසිඳ දැනීමට සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි. ඇවැත්නි,

    මේ භවයන් පිරිසිඳ දැනීම පිණිස මේ මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි.”

    “ඇවැත්නි,
    මේ භවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස යහපත් මාර්ගයක්ය, හොඳ ප්‍රතිපදාවක්ය. ඇවැත්නි ශාරිපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”

    [භවය : ජාති යනු ඉපදීම,උපත, පහළවීම ලෙස දත හැක.සත්වයා එක ජීවිත කාලයකට පසු තවත් උපතක් ලබයි. ඒ ජාතිය ඇතිවන්නේ අහම්බෙන් නොව කර්මානුකුලව යැයි අපි දනිමු. ජාතියට හේතුව භවය බව ධර්මයේ දැක්වේ. භවය යනු කර්මානුකුලව ඇතිවන මතු උපත නිර්ණය කරන පැවැත්ම ඇති කරන යම් බලවේගයක් ලෙස, ඒ බලවේගයෙන් යලි උපදීමට ඇති කරන භුමිය ලෙස ගතහොත් ඒ බොහෝවිට නිවැරදියි සිතමු”

    අභිධර්ම චන්ද්‍රිකාවේ සඳහන් වන්නේ මෙසේය.
     “භව නම් වැඩීම ය. ඒ වනාහි කර්ම වශයෙන් වැඩීම ය. උප්පත්ති වශයෙන් වැඩීම යි දෙවැදෑරුම් වේ. කර්ම වශයෙන් වැඩීම කර්මභව නමි. උප්පත්ති වශයෙන් වැඩීම උප්පත්ති භව නමි. භව ශබ්දයෙන් සාමාන්‍යයෙන් කිය හැක්කේ උප්පත්ති භවයයි. ඒ උප්පත්ති භවය ලැබීමට කාරණ වන බැවින් කර්ම භවයද කියනු ලැබේ. බුද්ධෝත්පාදය සුඛයට කරුණු වන බැවින් “සුඛො බුද්ධානං උප්පාදො” යි කී මෙනි. එහෙත් මෙහි භව ශබ්දයෙන් විශේෂයෙන් කර්ම භවය කියවෙන බව සිහි තබා ගත යුතු යි.

    කර්මභව නම් ලෞකික කුශලාකුශල චේතනා හා ඒ චේතනා සම්ප්‍රයුක්ත වූ අනභිධ්‍යාදිය හා අභිධ්‍යාදිය යි. වදාළේ මැයි. “තත්‍ථ කතමො කම්මභවො? පුඤ්ඤාභි සංඛාරො, අපුඤ්ඤාභි සංඛාරො, ආනෙඤ්ජාභිසංඛාරො පරිත්තභූමකො වා මහා භූමකො වා අයං වුච්චති කම්ම භවො. සබ්බං පි භවගාමි කම්මං කම්මභවො” යි පරිත්ත භූමක වූ හෝ මහාභූමක වූ හෝ පුඤ්ඤාභිසංඛාර ද අපුඤ්ඤාභිසංඛාර ද, ආනෙඤ්ජාභිසංඛාර ද කර්ම භව නමි. සියලු භවගාමී කර්මභව නමි. පරිත්තභූමක නම් ස්වල්ප විපාක ඇති. මහා භූමක නම් මහා විපාක ඇති. භවගාමි කර්ම නම් කුසල පක්‍ෂයෙහි චේතනා සම්ප්‍රයුක්ත වූ අලොභාදිය යි. අකුශල පක්‍ෂයෙහි ලෝභාදිය යි අභිසංඛාරය යි කියන ලද්දේ චේතනා යි.

    උප්පත්තිභව නම් කර්මයෙන් නිපන් ස්කන්ධ ය. එ නම් ලෞකික විපාක ස්කන්ධ හා කර්මජරූපය. ඒ නවවිධ වේ. වදාළේ මැ යි. “තත්‍ථ කතමො උප්පත්ති භවො? කාම භවො, රූපභවො අරූපභවො, සඤ්ඤාභවො, අසඤ්ඤාභවො, නේවසඤ්ඤානාසඤ්ඤාභවො, එකවොකාරභවො, චතුවොකාරභවො, පඤ්චවොකාරභවො, අයං වුච්චති උප්පත්තිභවො” යි කාමභව, රූපභව, අරූපභව යට කියන ලදි. අසඤ්ඤභව නම් අසංඥ තලය යි. නේවසඤ්ඤා නාසඤ්ඤා භව නම් නේවසඤ්ඤානාසඤ්ඤා භූමිය යි. සඤ්ඤා භව නම් සෙසු සියල්ල යි. එකවොකාර භව නම් අසංඥතලය යි. චතුවොකාර භව නම් අරූපාවචර සතර යි. පඤ්චවොකාර භව නම් සෙස්ස යි. වොකාර නම් ස්කන්ධ යි. ..]

    SN 04-04-14 . දුක්ඛ සූත්‍රය

    පුජනීය මාන්කඩවල සුදස්සන ස්වාම්න්වහන්සේ කල දේසනාවක්

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

    “ඇවැත්නි ශාරිපුත්‍රයන් වහන්ස,
    දුකඛය! දුකඛය!!” යයි කියනු ලැබේ.
    ඇවැත්නි,දුකඛය කුමක්ද?”

    “ඇවැත්නි,
    දුක්ඛ දුකය,
    සඩ්ඛාර දුකය,
    විපරිණාම දුක
    “යයි
    දුක් ස්වභාවයෝ තුනකි.
    ඇවැත්නි, මේ දුක් ස්වභාවයෝ තුන වෙති.

    [තමඤ්ච භික්ඛවේ දුක්ඛං අරියසච්චං?
    ජාති පි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණම්පි දුක්ඛං,
    සොක පරිදේව දුක්ඛදොමනස්සුපායාසා පි දුක්ඛා,
    අප්පියෙහි සම්පයෝගෝ දුක්ඛො,
    පියෙහි විප්පයොගො දුක්ඛා,
    යං පිච්ඡං න ලභති තං පි දුක්ඛං,
    සඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.

    හැම භවයකටම සම්බන්ධ ව පවත්නා ජාති, ජරා, මරණ යන මෙය කාය චිත්ත දෙකට නානා ප්‍රකාර දුක් උපදවන මූලික කරුණු වූ බැවින් එකාන්ත දුක්ඛ සත්‍යය නම් වේ. එහෙයින් “ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා මරණම්පි දුක්ඛං” යි වදාළ සේක. දුක්ඛ දුක්ඛය, විපරිනාම දුක්ඛය, සඞ්ඛාර දුක්ඛ ය, පටිච්ඡන්න දුක්ඛ ය, අපටිච්ඡන්න දුක්ඛ ය, පරියාය දුක්ඛ ය, නිප්පරියාය දුක්ඛ ය යි දුක්ඛය සත් වැදෑරුම්වේ.

    (i.) එහි දුක්ඛ දුක්ඛය නම් කයේ හට ගන්නා නන් වැදෑරුම් රිදුම්, කැක්කුම් හා සිතේ හට ගන්නා නන් වැදෑරුම් රිදුම් – කැක්කුම් සියල්ලය. මෙය නිත්‍ය නොවන බැවින් ද ඉවසීමට ඉතා දුෂ්කර බැවින් ද බලවත් දුකකි.

    (ii.). විපරිනාම දුක්ඛය නම්, හොඳයි, සැපයි යන ආදී වශයෙන් ව්‍යවහාර කරනු ලබන – කයේ හා සිතේ හට ගන්නා නන් වැදෑරුම් මිහිරි සැප වේදනා ය.මේ සැප වේදනාව ඇතිව පවත්නා කල්හි ම සතුටු වී එය නිරුද්ධ ව අතුරු දහන් වූ කල්හි උන්හිටි තැන් අමතක වන තරමේ දුකට, වෙහෙසට පත් කරවන ස්වභාව ධර්මයකි. මෙය ද දුර්වල සුඛයක් වුවහොත් එය නිරුද්ධ ව ගිය කල්හි ඇති වන්නේ සුළු දුකකි. පහත් තැනකින් බිම වැටුණු කල්හි ඇතිවන දුක් වේදනාව අප්‍රකට වන්නාක් මෙනි. බලවත් සුඛය ඇති ව නැති වූ කල්හි ඒ තැනැත්තා බලවත් දුකට – වෙහෙසට පමුණුව යි. ඉතා උස් තැනකින් බිම වැටුණු කල්හි අත පය කැඩී බිඳී යාමෙන් බලවත් ඉවසිය නො හැකි දුකක් ඇති වන්නාක් මෙනි. එසේ ම සැප වේදනා සියල්ල ඇති ව නැති වී යාමෙන් පසු ඒ තැනැත්තා බලවත් දුකට පමුණුව යි. සැපය බලවත් වුවහොත් එය නිරුද්ධ වූ කල් හි උපදනා දුක ද ඒ තරමට ම බලවත් වෙයි. ප්‍රිය පුද්ගලයන් කෙරෙන් ප්‍රිය වස්තූන් කෙරෙන් වෙන් වූ කල්හි තමාගේ ඉඳීම් සීටීම් ආදී ඉරියවු සියල්ල දුක් සහිත වෙයි. මෙකී දුක් සියල්ල ඇති වූයේ ප්‍රිය පුද්ගලයන් සහ ප්‍රිය වස්තූන් හා එක් වීමෙන් ඇති වූ සැප ආස්වාදය නිසාය.

    එහෙයින් සුඛ වේදනාව නන් වැදෑරුම් ප්‍රිය අරමුණු මවා පාමින් සිත් වසඟ කරවන – සිත් උමතු කරවන යක්ෂණියක් මෙනි. ඇත්ත වශයෙන් ම සුඛ වේදනාව ඒ යක්ෂණියටත් වඩා ඉතා භයානක වෙයි. එයට වසඟ වූ තැනැත්තා අප්‍රමාණ වූ සසර දුකට හා අපාය දුකට භාජන වන බැවිනි. එහෙයින් සුබ වේදනාව විපරිණාම දුක්ඛය යි කියන ලදී.

    (ii.) සංඛාර දුක්ඛ නම්, තණ්හාව හැර ඇතිව නැති වන උපේක්ෂ වේදනාව ඇතුළු සියලු නාම රූප ධර්ම නිත්‍ය නො වන බැවින් සංඛාර දුක්ඛ ය යි. මෙය දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් සියළු ස්වභාව ධර්මයන් කෙරෙහි පැතිර පවතින්නේ ය. සුඛ දුක්ඛ වේදනා දෙක ද සංඛාර දුක්ඛයෙහි ම ඇතුළත් වෙයි.
    එහෙයින්:
    “තං ඛො පනෙතං භික්ඛු මයා සංඛාරානං නෙව අනිච්චතං සන්ධාය භාසිතං. යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති” (සළායතන වග්ග වෙදනා සංයුත්ත)
    මහණ! යම්කිසි විඳීමක් වෙයි නම් එය දුකය කියා මා විසින් කියන ලද්දේ නම් එය සංඛාරයන්ගේ අනිත්‍යතාවය සඳහා කියන ලදී යනු එහි අදහස යි.

    එහෙත් සුඛ වේදනාව සාමාන්‍ය සංඛාර දුක්ඛයට වඩා විශේෂ වෙයි. එය නිරුද්ධ වූ කල්හි ප්‍රකෘති ස්වභාවය වෙනස් ව ගොස් දුකට පෙරළෙන බැවිනි. ඇත්ත වශයෙන් එය භය ජනක වෙයි. පිළිකුල් කටයුතු ද වෙයි. දුක්ඛ වේදනාව ද ඉපිද පවත්නා කල්හි ඉවසීමට දුෂ්කර වෙයි. එය නින්දිත දුකක් ම වෙයි. එහෙයින් ඒ වේදනා දෙක සංඛාර දුක්ඛය කෙරෙන් වෙන් කොට විපරිනාම දුක්ඛ ය යි ද දුක්ඛ දුක්ඛ ය යි ද අටුවායෙහි කීහ. කය තුළ ද එයින් පිටත ද පවත්නා හැම දෙයක් ගැන ම ආසා කිරීම වනාහි නාම රූප සංස්කාරයන් නිත්‍ය ය යි වරදවා වටහා ගන්නා නිසා ම සිදුවෙයි. මේ සියල්ල ඇති වෙමින් නැති වෙමින් පවතින්නේ ය යි ද, සුවපත්වනු සඳහා නිතර සකස් කළ යුතු ඒවා යයි ද, ඇති සැටි යෙන් දැනගතහොත් භය ජනක ඒවා මිස නිතර පවත්නා – සැප ඇති ඒවා ය යි නො වැටහෙන්නේ ය. එහෙයින් විදර්ශනා වඩන යෝගාවචරයා විසින් දුක්ඛ සත්‍යයෙහි ඇතුළත් මේ සංඛාර දුක්ඛය පිරිසිඳ දත යුතු ය. ……]

    මේ දුක්ඛ ස්වභාවයෝ තුන වෙති.”

    “ඇවැත්නි මේ දුක්ඛ ස්වභාවය
    පිරිසිඳ දැනීම පිණිස මාර්ගයක් ඇත්තේද?,
    ප්‍රතිපදාවක් ඇත්තේද?”

    “මේ දුක්ඛය පිරිසිඳ දැනගැනීමට
    මාර්ගයක් ඇත්තේය.
    ප්‍රතිපදාවක් ඇත්තේය.”

    “ඇවැත්නි,
    මේ දුක් පිරිසිඳ දැනීම පිණිස
    මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”

    “ඇවැත්නි,
    සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මේ දුක් ස්වභාවයන්ගේ පිරිසිඳ දැනීම පිණිස වේ.”

    “ඇවැත්නි,
    මේ දුක් ස්වභාවයන් පිරිසිඳ දැනීම පිණිස
    යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි.
    ඇවැත් ශාරීපුත්‍රයනි!
    නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය..”

    [රාගාදීන් අත්හැර ගිය බැවින්, මනාලෙස ගියෝය. (සුට්ඨු ගතා) යි යන අරුතින් “සුගත” යයි යෙදේ. දුක්‍ඛස්ස ඛො ආවුසො පරිඤ්ඤත්‍ථං = පැවැත්ම (හෙවත් සසර) පිළිබඳ දුක මුළුමනින්ම දැන ගනු පිණිස. දුක්ඛතා = දුඃඛ ස්වභාවය. දුක්‍ඛ දුක්‍ඛතා යන ආදියෙහි දුකයයි හැදින්වෙන දුඃඛ ස්වභාවය “දුක්‍ඛ දුක්‍ඛතා” නම් වේ. සෙසු පද දෙකෙහි ද මේ පිළිවෙළ ම වේ

    SN 04-04-15 . සක්කාය සූත්‍රය

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.

    “ඇවැත්නි, ශාරිපුත්‍රයන් වහන්ස,
    සක්කාය! සක්කාය!! යයි කියනු ලැබේ.
    ඇවැත්නි, සක්කාය කවරේද?”

    “ඇවැත්නි,
    භාග්‍යවතුන් වහන්සේ විසින්
    රූප උපාදාන ස්කන්ධය,
    වේදනා උපාදාන ස්කන්ධය,
    සඤ්ඤා උපාදාන ස්කන්ධය,
    සංඛාර උපාදාන ස්කන්ධය,
    විඤ්ඤාණ උපාදාන ස්කන්ධය
    ,
    යන මේ පඤ්ච උපාදාන ස්කන්ධයෝ සක්කායයයි වදාරණ ලදී.

    ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින්
    මේ උපාදාන ස්කන්ධයෝ පස සක්කායයයි වදාරණ ලදී.”

    “ඇවැත්නි,
    මේ සක්කාය පිරිසිඳ දැනගැනීමට
    මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”

    “ඇවැත්නි,
    මේ සක්කාය පිරිසිඳ දැනගැනීමට
    මාර්ගයක් ඇත. ප්‍රතිපදාවක් ඇත.”

    “ඇවැත්නි,
    මේ සක්කායයන්ගේ පිරිසිඳ දැනීම පිණිස
    මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”

    “ඇවැත්නි,
    මේ සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මේ සක්කාය පිරිසිඳ දැනීම පිණිස වේ.
    ඇවැත්නි,
    මේ සක්කායය පිරිසිඳ දැනීම පිණිස
    මේ මාර්ගය වෙයි. ප්‍රතිපදාව වෙයි.”

    “ඇවැත්නි,
    මේ සක්කාය පිරිසිඳ දැනීම පිණිස යහපත් මාර්ගයකි.
    යහපත් ප්‍රතිපදාවකි.
    ඇවැත් ශාරීපුත්‍රයනි!
    නිවීම පිණිස පිලිවෙතට එලබීමට අපද අප්‍රමාද විය යුතුය.

    SN 04-04-16. දුක්කර සූත්‍රය

    එක් කලෙක්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මගධ ජනපදයෙහි නාලක ගම වාසය කල සේක. එකල්හි ජම්බුඛාදක ගම වැසූ එක් පරිබ්‍රාජකයෙක් ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටු සාමිචි කථා කොට නිමවා එක්පසෙක හිඳ ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සැළකෙළේය.


    “ඇවැත් ශාරිපුත්‍රය,
    මේ ධර්ම විනය සංඛ්‍යාත ශාසනයෙහි කුමක් දුෂ්කරද?
    “ඇවැත්නි,
    පැවිදිවීම මේ ධර්ම විනයෙහි දුෂ්කරය.”

    “ඇවැත්නි,
    පැවිද්දාට කුමක් දුෂ්කරද?”
    “ඇවැත්නි, පැවිද්දාට සස්නෙහි ඇලීම දුෂ්කරය.”

    “සස්නෙහි ඇලුනහුට කුමක් දුෂ්කරද?”
    “ශාසනයෙහි ඇලුනහුට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය දුෂ්කරය.”

    “ඇවැත්නි,
    ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්ෂුවක්
    කොපමණ කාලයකින් රහත් වන්නේද?”

    “ඇවැත්නි,
    වැඩි කල් නොගොස්ම රහත් වන්නේයැයි” වදාළසේක.

    ...more
    View all episodesView all episodes
    Download on the App Store

    SINHALA TIPITAKABy