Sign up to save your podcasts
Or

AN 04-19-01. යොධාජීව සූත්‍රය
AN 04-19-02. පාටිභොග රහිත සූත්‍රය
AN 04-19-03. සබ්බදිඨ සූත්‍රය
AN 04-19-04. මරණ භායන සූත්‍රය
AN 04-19-05. බ්‍රාහ්මණ සච්ච සූත්‍රය
AN 04-19-06. ලොකනීයන සූත්‍රය
AN 04-19-07. වස්සකාර සූත්‍රය
AN 04-19-08. උපකචණ්ඩිකාපුත්ත සූත්‍රය
AN 04-19-09. සච්ඡිකරණීය ධම්ම සූත්‍රය
AN 04-19-10. තදහුපොසථ සූත්‍රය
[888:- යොධාජීව යුද්ධයෙන් ජීවත්වේයැයි යොධාජීවො නමි. එනම් යුද්ධ හමුදාවේ සේවය කරන්නාය.]
“මහණෙනි,
කරුණු සතරකින් දක්ෂවූ හේවායා රජුට වටිනා ආධාරයක් වේ.
කුමන දක්ෂතා සතරක්ද යත්,
(i).තැන නොතැන (සතුරා මිතුරා) කවුදැයි දන්නේද,
(ii)..ඉතා දුර ඉලක්කයකට විදින්නට දක්ෂවේද,
(iii). ගමන් කරන සතුරෙකුට විදින්නට දක්ෂ වේද,
(iv). විසාල ඉලක්කයකට විද එය බිඳලන්නට දක්ෂ වේද,
මේ කරුණු සතරින් යුක්තවූ දුනු දරන්නා
රජුගේ සේවයට සුදුසු වේ.
රජුගේ භෝගය වෙයි.
රජුට අග්‍රයයි යන සංඛ්‍යාවට යේ.
[889:-රාජාරභො යනු රජුට සුදුසුවූවෙකි. රාජභොග්ගො යනු රජුගේ උපභොග පරිභොගයයි. රඤේඤා අඞගනේත්‍වච සඞ්ඛං ගච්චති යනු අත මෙන්ද පය මෙන්ද අවශ්‍යයෙන් කැමතිවියයුතු බැවින් අංගයයි කියනුලැබේ.
දූරෙ පාතී හොතී යනු ජලයෙහි ඉස්බක් පමණවූද ගොඩබිමෙහි අඩ ඉස්බක් පමණවූද හෝ ඊට වැඩිවූද දුරෙහි හීය හෙලයි. දුට්ඨගාමිණී අභය රජුගේ යෝධයා නව ඉස්බක් පමණ දුරට හීය හෙලීය. අවසන් භවයෙහි බෝසත්තෙමේ යොදුනක් පමණට හීය හෙලයි.
අක්‍ඛණ වෙධී යනු නොවරද්දා විදින්නායි. විදුලියෙහි හෝ විදුලිගසන කාලය අතරතුර විදීමට සමත්වූ යන අර්ථයි.
මහතො කායස්ස පදාලෙතා යනු එකට බඳනාලද පුවරු සියයක්වුවද මීසම් සියයක් වුවද මාපට ඇඟිල්ලක් පමණ ඝනවූ ලොහො පටක්වුවද අඟල් සතරක් ඝනවූ හී ලෑල්ලක්වුවද වියතක් ඝනවූ දිවුල් ලෑල්ලක් වුවද දිගින් වැලි කරත්තයක් වුවද හරහා යන සේ විදීමට සමතෙකි යන අර්ථයි. ]
“මහණෙනි,
එසේම කරුණු සතරකින් යුක්ත මහණකු,
ආහුණෙය්‍ය වේ.
පාහුණෙය්‍ය වේ.
දක්ඛිණෙය්‍ය වේ.
අඤ්ජලිකරණීය වේ.
ලෝකයාගේ නිරුත්තර පුණ්‍ය ක්‍ෂෙත්‍රයක් වේ.890
“කවර සතරකින්ද යත්.
[890:- ආහුනෙය්‍යො,: ඉතා දුර සිට වුවද ගෙනැවිත් දෙන සිවුපසය පිළිගැනීමට සුදුසුය..
පාහුනෙය්‍යො,: දුරසිට පැමිණෙන ප්‍රිය මනාප ඥාති මිත්‍රයන් උදෙසා පිළියෙල කළ දෙය වුවද පා කිරීමට සුදුසුය.
දක්ඛිණෙය්‍යො,: සැදැහැවතුන් විසින් පරලොව සැප පතා දෙන දානය පිළිගැනීමට සුදුසුය
අඤ්ජලිකරණීයො: දොහොත් හිස මත තබා නමස්කාර කරන්නට සුදුසුය.
අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්ස. ලෝකයා හට උතුම් පින් කෙතක් වන සේක.]
මහණෙනි,
(i). භික්ෂුවක් ස්ථානයෙහි දක්‍ෂ වේද,
(ii). ඈත දකින්නේදද,
(iii). කළුවරේ දී පවා එල්ලයට විදින්නේද,
(iv). මහත් ඝණ දේ පවා පලන්නේ වේද,
[891:- ඨාන කුසලො ච හොති, දූරෙපාතී ච, අක්ඛණවෙධී ච, මහතො ච කායස්ස පදාලෙතා. යන ලක්ෂණ සතර,]
(1). මහණෙනි,
කෙබඳු මහණෙකු ස්ථානයෙහි දක්‍ෂද?
“මහණෙකු සිල්වත්ද, පාතිමොක්ඛ සීලය දිවි හිමියෙන් රකින්නේද, ආචාර හා ගෝචරයෙන් යුක්තද, සුලු වරදෙහි පවා බිය දක්නා සුළු වේද, ශික්‍ෂා පදයන් සමාදන්ව රකීද, මහණෙනි, මෙසේ වූ මහණකු ස්ථානයෙහි දක්‍ෂයාය කියනු ලැබේ.892
[892:- ඨාන කුසලො යනු යම් තැනක සිටියේ නොවළහා විදින්නට හැකිවෙයිද එම ස්ථානයෙහි දක්ෂවූයේයි ලෙස මනෝරථපුරණිය දක්වයි. ස්ථානය ලෙස දැක්වෙන මෙය ස්ථාවරය ලෙසද කුමන ස්තාවරයෙහිද කිවහොත් කුසලය අකුසලය වෙන් වෙන්ව දැනීම, සුසීලය දුස්ස්සීල යෙන් වෙන් කොට දැන ගැනීම, ලෙස ගත යුතුය. ඈත දකිනවාය යනු අජ්ජත්ත බහිද්ද ලෙසද, දළ හෝ සුක්ෂම ලෙසද, මමය. මගේ නොවේය, ලෙස රූපය දකින්නට හැකි බවය. ]
පුජනීය කොට්ටාවේ සුමන මහා ස්වාමින් වහන්සේ අනාත්ත්ම ධර්මය ගැන කල දේශනාවකි
(2). “මහණෙනි, මහණෙකු කෙසේ
ඈත දකින්නට දක්‍ෂවේද?
මහණෙකු අතීතානාගත, වර්‍තමාන හෝ දැන්වූ පවත්නාවූ, අධ්‍යාත්මිකවූ හෝ, බාහිරවූ හෝ, ඖදාරිකවූ හෝ, සියුම්වූ ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, ඈත හෝ, සමීපයෙහි වූ රූප ධ්ර්මයෝ , සියළු රූප, තත්‍ය ආකාරයෙන් ඥාණයෙන් යුතුව .. මේ මගේ නොවේ, මේ කය මම නොවෙමි, මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකීද .
” සුඛ, දුක්ඛ, සුඛ දුක් නොවන යන සියලු විඳීම්, අයිතියක් යටතට නොදී හුදු වේදනාවන් ලෙස පමණක් දකී ද, සියළු වින්දනයෝ මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේය”යි තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකීද.
සියලු සංඥාවන් මගේ නොවේ, මම දන්නවා නොවෙයි, මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකීද.
” සියළු සංස්කාරයන් මගේ නොවේ, මම කරනවා නොවෙ, මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකීද.
“සියළු විඤ්ඤාණයන් මගේ නොවේ, මට ඇතිවෙනවා නොවේ, මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකීද.
මහණෙනි, මෙසේවූ මහණා ඈත දකින්නට දක්‍ෂවේ
(3). “මහණෙකු කෙසේ අඳුරේදී893 පවා එල්ලය දකින්නට
දක්‍ෂවේද?
” මහණකු මේ දුක්ඛය යැයි තත්වූ පරිද්දෙන් දනීද.
මේ දුක්ඛයේ ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනීද .
මේ දුක්ඛයේ නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දනීද.
මේ දුක්ඛය නැතිකිරීමට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනීද.
මහණෙනි, මෙසේ වූ මහණහු කළුවරේ සිට විදින්නට දක්ෂ වේ.
[893:- අඳුරේ සිට” යනු අවිද්‍යාව ඇති ලෝකයේ සිට යම් එළියක් ඇති කොට ගෙන, එනම් විද්‍යාව ඇති කරගැනීමයි. විද්‍යාව ඇතිවන්නේ දුක්ඛය ලෙස යමක් සත්වයා පෙලන බව දැන ගැනීමය.. දුක්ඛය පසක් කර ගත තැනැත්තා විද්‍යාව ඇති කරගත් තැනැත්තාය.]
(4). “මහණෙකු කෙසේ මහත් ඝණ දේ පවා පලන්නට දක්‍ෂවේද?
” මහණකු මහත්වූ අවිද්‍යාව සුනු විසුනු කොට විද්‍යාව උපදවා ගනිත්ද
මහණෙනි, මෙසේවූ මහණහු මහත්වූ ස්කන්ධයක් ප්‍රදාලනය කලා යයි කියමි..
“මහණෙනි,
එම කරුණු සතරින් යුක්ත මහණකු, ආහුණෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාගේ නිරුත්තර පුණ්‍ය ක්‍ෂෙත්‍රය වේ.
[894:- ඨාන කුසලො යනු යම් තැනක සිටියේ නොවළහා විදින්නට හැකිවෙයි ද එම ස්ථානයෙහි දක්ෂවූයේයි, සෙස්ස යට කියනලද අයුරින්ම දතයුතු] නෙතං මම යනාදිය තෘෂ්ණා මාන දෘෂ්ටි ප්‍රතික්‍ෂෙප කිරීම් වශයෙන් කියනලදී. සම්මප්පඤ්ඤාය පස්සති යනු මනා හේතුවෙන්, කරුණින් විදර්‍ශනා සහිත මාර්‍ග ප්‍රඥාවෙන් දකියි. පදාලෙති යනු අරහත් මගින් පළාලයි.]
[895:- නත්‍ථි කොචී පාටිභොගො යනු “මම මෙහි ඇප වෙමැ”යි මෙසේ ඇප කරුවකු වීමට සමතෙක් නම් නැත, ]
“මහණෙනි,
ලොව කිසිම ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, අන් කිසිවෙක් හෝ, සිදුවීම් සතරක් නතර කරන්නට, වලකාලන්නට සමත් නොවේ.
කවර සතර කාරනාද යත්.
“ජරා ස්වභාවය නොලබා, “මෝ නොදිරේවා!” යි,
“ සත්වයෙකු ජරාවෙන් ගලවා ගන්නට
කිසි ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි වෙනත් කිසිවෙක් සමත් නැත.
“ව්‍යාධි ස්වභාවය, වලකා ව්‍යාධි නොවේවායි,
“ සත්වයෙකු ව්‍යාධි යෙන් ගලවා ගන්නට
කිසි ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි වෙනත් කිසි ඇපකාරයෙක් නැත.
“මරණය, වලකා මොහු නොමැරේවායි “
සත්වයෙකු මරණයෙන් ගලවා ගන්නට කිසි ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි වෙනත් කිසිවෙක් සමත් නොවේ.
“කිලුටුකරණ, පුනර්‍භවය ඇතිකරවන, කෙලෙස් විඩාව සහිත, දුක්ඛ විපාක ගෙන දෙන්නාවූ, මත්තෙහි ජාති, ජරා, මරණ ඇති කරවන , යම් ලාමක කර්‍මයක් කරත්ද, ඔවුන්ට ඒ කර්මයන්හි විපාකය නොවේවා”යි, පතා ඒ වළකන්නට සමත් ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, අන් කිසිවෙක් ඇපකාරයෙක් ලෝකයෙහි නැත.
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප ස්ථානයෙහි වාසය කරණ සේක. එකල්හි මගධ රජුගේ වස්සකාර බ්‍රාහ්මන මහාමාත්‍යය තුමා භාග්‍යවතුන් වහන්සේ දකින්නට , පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ කථා කොට නිමවා එකත්පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තුමා භාග්‍යවතුන් වහන්සේට, මෙසේ කීය.
“භවත් ගෞතමයන් වහන්ස,
යම් කිසිවෙක් මා විසින් මෙසේ දැක්කෙමි” යි තමා දුටු කාරනාව කියයිද,
එසේ කීමෙහි වරදක්, දෝෂයක් නැත. …
මා විසින් මෙසේ අසන ලදයයි අසන ලද්ද කියයිද, එසේ කීමෙහි වරදක්, දෝෂයක් නැත..
යම් කිසිවෙක් මා විසින් ගන්‍ධ, රස, ඵොඨබ්බ වශයෙන් ගන්නා ලද්දේයයි, මුතය කියයිද, ඒ එසේ කීමෙහි වරදක්, දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් මෙසේ සිතන දන්නා ලද්දේයයි විඥානය කියයිද, එසේ කීමෙහි වරදක්, දෝෂයක් නැතැ”යි
යන දෘෂ්ටිය මතය මට ඇත්තේය. ” යි කීයේය.
(1) “බ්‍රාහ්මණය,
යමෙක් දක්නාලද සියල්ල කිව යුතුයයි මම නොකියමි.
දක්නාලද සියල්ල නොකිව යුතුයයිද නොකියමි.
අසනලද සියල්ල කිව යුතුයයි නොකියමි.
අසනලද සියල්ල නොකිව යුතුයයිද නොකියමි.
සියලු ගන්‍ධ, රස, සපර්‍ශය කිව යුතුයයි නොකියමි.
සියලු ගන්‍ධ, රස, සපර්‍ශය නොකිව යුතුයයි නොකියමි.
සියලු දතයුත්ත කිව යුතුයයි නොකියමි.
සියලු දතයුත්ත නොකිව යුතුයයි නොකියමි.
(2).“බ්‍රාහ්මණය,
යමෙක් දුටු දෙයක් ගැන යලි කියන විට අසන්නාහට අකුශල ධර්‍මයෝ වැඩෙත්ද,
අසන්නාගේ කුශල ධර්‍මයෝ පිරිහෙත්ද,
දක්නා ලද්ද කීමෙන් එසේ වෙන මෙබඳු දේ නොකිව යුතු යයි කියම්.
බමුණ, යම් දුටු දෙයක් ගැන කියන විට අසන්නාහට අකුශල ධර්ම පිරිහෙත්ද,
කුශල ධර්ම වැඩෙත්ද,
මෙබඳු දුටු දෙය කිව යුතු යයි කියමි.
(3).“බ්‍රාහ්මණය,
යම් ඇසූ දෙයක් ගැන කියන විට අසන්නාහට අකුශල ධර්මයන් වැඩෙත්ද, කුශල ධර්මයන් පිරිහෙත්ද, මෙබඳු අසන ලද්ද නොකිව යුතු යයි කියමි. බමුණ, යම් අසන ලද්දක් ගැන කියන විට අසන්නාහට අකුශල ධර්ම පිරිහෙත්ද, කුශල ධර්ම වැඩෙත්ද, මෙබඳු අසන ලද්ද කිව යුතු යයි කියමි.
(4). “බ්‍රාහ්මණය,
තමා ලද යම් ගන්‍ධ, රස, පොට්ඨබ්බයක් ගැන කියන විට අසන්නා හට අකුශල ධර්‍ම වැඩෙත්ද, කුශල ධර්ම පිරිහෙත්ද, එබඳු මුතය (පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් දන්නා දෙය) නොකිවයුතුයයි කියමි. බමුණ, යම්කිසි ගන්‍ධ, රස, පොට්ඨබ්බයක් ගැන කියන විට අසන්නාහට අකුශල් පිරිහේ නම්, කුශල් වැඩේ නම්, එබඳු මුතය (පඤ්චෙන්‍ද්‍රියයන්ලෙන් දැනගත් දේ) කිවයුතුයයි කියමි.
(4) “බ්‍රාහ්මණය,
තමාගේ යම් සිතිවිල්ලක් කියත්දී අසන්නාහට අකුශල් වැඩෙත්ද, කුශල් පිරිහෙත්ද, එබඳු විඤ්ඤාණය නොකිවයුතුයයි කියමි. බමුණ, යම් විඤ්ඤාණයක් අසන්නාට අතුශල් පිරිහෙත්ද, කුශල් වැඩෙත්ද, එබඳු විඤ්ඤාණය කිව යුතුයයි කියමි.”
ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තුමා භාග්‍යවතුන් වහන්සේ ගේ වචනයට සතුටුව හුනස්නෙන් නැගිට ගියේය.
[897:- දකින අසන,, දැනෙන, සිතෙන සියල්ල කීම් අනුන්ට සන්නිවේදනය කිරීමේ වරදක් නැතැයි කියන අය අදත් බහුලය. එසේ කිරීමෙන් ඒ අසන්නා තුල අකුසල් වැඩේ නම් ඒ නොකළ යුත්තක් බව මෙහි දැක්වේ. එසේ කිරීමෙන් කරන්නා තුල අනිවාර්යයෙන්ම අකුසල් වැඩේ. ග්රාහකයාද ඒ අකුසලයට සම්මාදන් කර ගැන්මෙන් ඔහුගේ අකුසලය බොහෝ වේ.]
ඉක්බිති ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
“එකත්පසෙක සිටි ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා , භාග්‍යවතුන් වහන්සේට, මෙසේ කීවේය.
“භවත් ගෞතමයන් වහන්ස,
මරණයට බිය නොවෙන,
මැරෙන බව දැනගෙන ඉන් තැවීමට නොපැමිණෙන,
සත්වයෙක් මෙලොව නැත” කියා මම සිතමි.
මම මෙබඳු වාද ඇත්තෙක්මි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි.”
“බමුණ,
සෑම සත්වයෙකුම මරණයම උරුම කරගෙන උපන්නෝය.
මරණය ස්වභාවකොට ඇත්තෝය.
නමුත් ඔවුන්ගෙන් බොහෝ දෙනා , මරණයට බිය වෙයි, තැවීමට පැමිණෙයි,
බමුණ එවැන්නෝ ලොව ඇත්තේය,
එසේම තවත් සමහරු මරණ ස්වභාවය ඇති මුත්,
මරණයට බිය නොවෙයි, තැවීමට නොපැමිණෙයි,
බ්‍රාහ්මණය මෙලොව එවැන්නන්ද ඇත්තේය,”
“බමුණ,
මරණය ස්වභාවකොට ඇති, මරණයට බිය, ඉන් තැවීමට පැමිණෙන්නේ කවරෙක්ද?
(1). බමුණ,
යමෙක් කාමයන්හි කැමැත්ත පහ කිරීමට සමත් නොවුයේද, එනම්….,
“ පංච කාමයන් කෙරෙහි කැමැත්ත පහ නොකලේද, ප්‍රේමය පහ නොකලේ ද, කාම පිපාසය පහ නොකලේ ද, දැවීම පහ නොකලේ ද, තෘෂ්ණාව පහ නොකලේ ද, ඔහු රෝගාතුර වූවිට මෙසේ බියට පත් වේ.
“මට ප්‍රියවූ මගේ දු දරුවන්, නෑ දෑයෝ, අත් හැර මට මියෙන්නට වෙන්නේයැ”යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලය අත් ගසා අඬයි. සිහි මුළාවට පැමිණෙයි. බමුණ, මේබඳු පුත්ගලයා මරණයට භය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.
(2). “බමුණ, නැවතද අන් කෙනෙක් ගැන කියමි.
ඇතැම් කෙනෙක් මරණයම උරුම කරගෙන උපන්මුත්. මරණය ස්වභාවකොට ඉන්නේ මුත් …….
සිය ශරීරය කෙරෙහි කැමැත්ත පහ නොකලේ ද,
රෝගාතුර වූවිට මේ කය මගේය, එය මට අයිතිය. එය දමා යා නොහැක. ලෙස හා “අහෝ, මට ප්‍රිය වූ දේ දැක සතුටු වන්නට නොහැකි වේ, මට ප්‍රිය වූ අයගේ කථා අසන්නට නොහැකි වේ නැති වේය. මට ප්‍රිය වූ අය වඩාගන්නට, සිප ගන්නට අල්ලන්නට නොහැකි වේ”’ යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලය අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේබඳු පුත්ගලයාද මරණයට භය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.
(3). “බමුණ, නැවතද යමෙක් කිසි කුසලයක් නොකලේද, අසරණ වූ විට පත්වූ විට ආරක්‍ෂාවක් පිණිස මෙනෙහි කිරීමට යමක් නැත්තේද, පව් කරණ ලද්දේද, කර්‍කශ කර්‍ම කරණ ලද්දේද, නපුරු අපිරිසිදු කර්‍ම කරන ලද්දේද, ඔහු රෝගාභාධයක් වූ විට මෙසේ බිය පත් වේ.
“අහෝ, මා විසින් කිසිදු පිනක් නොකලෙමි කුශලයක් නොකලෙමි. ආරක්‍ෂාවට කිසිවක් නොකරණ ලදී. පාපයන්ම කලෙමි. කර්‍කශ කර්ම කලෙමි. අපිරිසිදු කර්ම කලෙමි” යි හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත් ගසා අඬයි. මුළාවට පැමිණෙයි.
බමුණ, මොහුද මරණ ස්වභාව කොට ඇත්තේ මරණයට බිය වෙයි. තැතිගැනීමට පැමිණෙයි.
(4). “බමුණ, ඇතැම් කෙනෙක් මරණයෙන් පසු කුමක් වන්නේදැයි සැක ඇත්තේය, විචිකිච්ඡා ඇත්තේය, සද්‍ධර්‍මය නොඇසූ ඔහු මල පසු කුමක් වෙයි නොදන්නා නිසා බියට පත් වේ. තැති ගනී. නිෂ්ටාවට නොගියේද, ඔහු රෝගයක් ස්පර්‍ශ කරන්නෙකු බඳුය
“එසේ දරුණු රෝගයකට පත් වූ විට, හෙතෙම ශොක කරයි. ක්ලාන්ත වෙයි. වැළපෙයි. ලෙහි අත් හපා අඬයි. මුළාවට පැමිණෙයි. බමුණ, මේ තෙමේද මරණ ස්වභාව ඇත්තේ මරණයට බිය වෙයි. සන්තාපයට පැමිණෙයි.
බමුණ, මේ සතරදෙන මරණ ස්වභාව ඇත්තෝ මරණයට බිය වෙත්. තැති ගැනීමට පැමිණෙත්.
“බමුණ, මරණය ස්වභාව කොට ඇති මරණයට බිය නොවෙන , තැතිගැනීමට නොපැමිණෙන මිනිසුන් කවරහුද?
බමුණ, යමෙක් රාගය කාමය කෑමත්ත පහ කල සිත් ඇත්තේද, කාම ලෝකය හැරයාම ගැන ඔහුගේ තැති ගැනීමක් නොවේ. ඔහු මාරාන්තික දරුණු රෝගයක් නිසා ඔත්පල වූ විට ඔහු තමන් විඳි කම් සැප හැර යන්නට වේයැ යි හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොකියයි. ළය දෙඅත් බදා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මොහු මරණ ස්වභාව ඇත්තේ, මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.
(2). “බමුණ, නැවත අනිකක් කියමි. මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් තම කයෙහි ආසාව පහ කලේද, මේ කය මම නොවේ මගේ නොවේ, මගේ ආත්මයක් නොවේය කියා දන්නේද, එවැනි කෙනෙකුට මාරාන්තික රෝගයක් ඇතිවුවත් මේ, ‘මා ප්‍රියවූ ශර්රය අත්හරින්නේය. මම ප්‍රිය ශරීරය අත්හරින්නෙමි’ යි නොසිතේ. කුලියට ඉන්නා ගෙයින් අන් ගෙයකට යන්න සේ හෙතෙම ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි අත් ගසා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේ මනුෂ්‍යයාද මරණ ස්වභාව ඇත්තේමුත් , මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.
(3). “බමුණ, නැවත අනිකක් කියමි. ඇතැම් කෙනෙක් පවක් , අකුසලයක් නොකරණ කෙනෙක් වේද, කර්‍කශ කර්‍ම නොකරණ ලද්දේද, අපිරිසිදු කර්‍ම නොකරණ ලද්දේද, යහපත කරණ ලද්දේද, කුසල් කරණ ලද්දේද, ඔහුට මරණ බියක් නැත්තේ වේ.
ඔහුට දරුණු රෝගයක් වැළඳුන විටෙක ඔහුට ඒකාන්තයෙන් මෙසේ සිතේ.
“මා විසින් පාපයක් නොකරණ ලදී. අපිරිසිදු කර්‍මයක් නොකරණ ලදී. යහපතක් ම කරණ ලදී. කුශල කරණ ලදී. පින්වත, පව් නොකළ කර්‍කශ කර්ම නැති, අපිරිසිදු කර්ම නොකළ, යහපත කරණ ලද, කුසල් කරණ ලද අයට යම් ගතියක් ඇද්ද, ඒ ගතියට පරලොව යමි’ යි හෙතෙම ශොක නොකරයි.
ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි දෙඅත් ගසා නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මේද මරණ ස්වභාව ඇත්තේම, මරණයට බිය නොවෙන තැතිගැනීමට නොපැමිණෙන අයෙකි..
“බමුණ, නැවතද ඇතැමෙක් සද්‍ධර්මයෙහි සැක නොකරන්නේය, විචිකිච්ඡා නැත්තේය, ධර්ම ඥානයෙන් නිෂ්ටාවට ගියේය, ඔහු දරුණු රෝගයක් මාරාන්තික රෝගයක් වැළඳුන විටෙක ඔහුට, ‘ඒකාන්තයෙන් සද්ධර්මයෙහි සැක නොකෙළෙමි. විචිකිච්ඡා නැත්තෙක්මි. නිෂ්ටාවට පැමිණියෙමි”. යි සිතයි.
හෙතෙම මරණයට ශොක නොකරයි. ක්ලාන්ත නොවෙයි. නොවැලපෙයි. ළෙහි අත් බැඳ නොහඬයි. මුළාවට නොපැමිණෙයි. බමුණ, මොහුද මරණ ස්වභාව ඇත්තේම, සන්ත්‍රාසයට නොපැමිණෙයි.
“බාහ්මනය , මරණ ස්වභාව ඇති මේ සතරදෙන මරණයට බිය නොවෙයි. තැතිගැනීමට නොපැමිණෙයි.”
මේ ධර්මය අසා සිටි ජානුස්සෝනි බ්‍රාහ්මණතුමා, දැඩි සේ ප්‍රීතියට පත් වුයේ, මෙසේ කියමින් භාග්‍යවතුන් වහන්සේ ගේ සිරි පා අල්වා ගෙන වන්දනා කලෙහිය.
” ඉතාමත්ම ශ්‍රේෂ්ඨයි භවත් ගෞතමයන් වහන්ස., ඉතා යහපත. යම්සේ යටිකුරු කළ භාජනයක් උඩුකුරුකරන්නේද, (තණකොළ ආදියෙන්) වැසුනක් වැහුම් හරින්නේද, මංමුළා වූවෙකුට මග කියන්නේද, (ගණ අඳුරෙහි) ඇස් ඇත්තේ රූප දකිත්වායි තෙල් පහනක් දල්වන්නේද එපරිද්දෙන්ම භවත් ගෞතමයන් වහන්සේ නොයෙක් පරිද්දෙන් ධර්මය දේශනා කරන ලදී.
භවත් ගෞතමයන් වහන්ස, අද සිට, දිවිහිම් කොට සරණ ගිය, උපාසකයකු කොට මා සලකන සේක්වායි” කියායි.
[898:- ජීවිතය අමාරුවට පත් කිරීමේ අර්‍ත්‍ථයෙන් රෝගයම රොගාතඞ්කො නම් පුට්ඨස්ස යනු ඒ රෝගාබාධයෙන් යුක්තවූයේයි,
උරත්තාලිං කන්දති යනු පපුවට ගසා ගනීමින් හඬයි,
අකතකල්‍යාණො යනාදියෙන් කල්‍යාණ යනු පින්කමයි,
එය මොහු විසින් නොකරන ලදැයි අකතකල්‍යාණොයි.
සෙසු පදයන්හිද මේ ක්‍රමයමයි,
පින්කමම දක්ෂබවට පත් වූ බැවින් කුසලං නමි,
බියවූවහු රකින බැවින් භීරුත්තාණං යි කියනු ලැබේ.
කතපාපො යනාදියෙහි ලාමක වූ අකුසල කර්‍මය පාපයි කියනු ලැබේ,
ලුදදං යනු රළු කර්‍මයයි, කිබ්බිසං යනු මල සහිත වූ අපිරිසුදු කර්‍මයයි,
කඞ්ඛී හොති යනු බුද්ධ, ධම්ම, සංඝ යන ගුණයන්හි ද ශික්ෂාවෙහි ද පූර්‍වාන්තයෙහි ද අපරාන්තයෙහි ද පූර්‍වාපරාන්තයන්හි ද පටිච්චසමුප්පාදයෙහි ද යන අට තැන්හි සැකයෙන් යුක්තවූයේ වෙයි,
වෙචිකිච්ඡි යනු විඡිකිච්ඡාවෙන් යුක්තවූයේ ශාසන සද්ධර්‍මයෙහි නිමාවට නොගියේ ඉගෙනීම් පිළිවිසීම් වශයෙන් කෙළවරට යාමට නොහැක්කේයි,
මේ ක්‍රමයෙන් සියලු තන්හි අර්‍ත්‍ථය දතයුතුය. – මනෝරථපුරණිය.]
[889:-බ්‍රාහ්මණසච්චානි යනු බ්‍රාහ්මණයන්ගේ සත්‍යයෝයි, වෙනස් නොවන දේයි, බ්‍රාහ්මණ යන්න වචනාර්ථයෙන් ගතහොත් ඒ උතුම්, උසස් ලෙස සැලකිය හැක. එවිට බ්‍රාහ්මණ සත්‍ය නම් උතුම් සත්‍යය ලෙස ගත හැක.]
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. එකල්හි බොහෝ ප්‍රසිද්ධ පරිබ්‍රාජකයෝ සප්පිනික ගඟ අද්දර පරිබ්‍රාජකාරාමයෙහි වාසය කරත්. එනම් අන්නභාර, වරධර, සකුළුදායී, පරිබ්‍රාජිකාවන්ද අනිකුත් ප්‍රසිද්ධ පරිබ්‍රාජිකාවන්ය.
“එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් වේලෙහි ඵල සමවතින් නැගිටි සේක් සප්පීනියා තීරයෙහි පරාබ්‍රාජකාරාමය යම් තැනෙක්හිද, එහි පැමිණි සේක. එකල්හි වනාහි රැස්වූ එහි වැඩහුන් ඒ පරිබ්‍රාජකයෝ අතර, ‘මේත් බ්‍රාහ්මණ සත්‍යය, මේත් බ්‍රාහ්මණ සත්‍යයයි, මේ අතුරු කතාව ඇති විය.
“ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ පරිබ්‍රාජකයෝ යම් තැනෙක්හිද, එහි පැමිණ පණවන ලද අස්නෙහි වැඩ සිටි සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ ඒ පරිබ්‍රාජකයන්ගෙන්,
‘පරිබ්‍රාජකවරුනි, දැන් කවර කථාවකින් සිටියාහුද? තොපගේ කවර කථාවක් අඩාල විනිදැ?’ යි අසා වදාළ සේක.
“භවත් ගෞතමයන් වහන්ස,
මෙහි රැස්වූ අප අතරේ, ‘මෙසේද බ්‍රාහ්මණ සත්‍යය, මෙසේද බ්‍රාහ්මණ සත්‍යයි’ මේ අතුරු කතාව පහළවූයේය” යි කීවාහුය.
“පරිබ්‍රාජකාවරුනි,
බ්‍රහ්මණ සත්‍ය සතරක් මා විසින් විශිෂ්ට ඥාානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට ප්‍රකාශකරණ ලද්දාහ.
කවර සතරක්ද යත්.
(1). “පරිබ්‍රාජකවරුනි,
බමුණකු : සියළු ප්‍රාණීන් ගේ ජීවිත රැකිය යුතුයැ”යි කියයි.
“මෙසේ කියන බ්‍රාහ්මණයා සත්‍යයක්ම කීයයි . බොරුවක් නොකියයි.
හෙතෙම එසේ කියන්නේ ඔහු ශ්‍රමණයෙක් නිසා නොවේ.
තමා අනුන්ට වඩා ශ්‍රේෂ්ටයි කියා හෝ, සමාන වෙමියි කියා හෝ, . හීනයැයි කියා හෝ නොවේ.
“එතකුදු වුවත් ඔහු කියන ඒ සත්‍යයද,
ප්‍රාණීන් කෙරෙහි දයාව අනුකම්පාව පිණිස මගට පිළිපන් නිසා ඔහු එසේ කියන්නේය.
(2). “පරිබ්‍රාජක වරුනි,
නැවතද බ්‍රාහ්මණයෙක්, ” සියලු කාමයෝ අනිත්‍යය, දුක්ය, වෙනස්වන ස්වභාව ඇත්තේය”යි කියයි..
මෙසේ කියන බ්‍රාහ්මණයා සත්‍යයක්ම කියයි. බොරුවක් නොකියයි..
හෙතෙම එසේ කියන්නේ ඔහු ශ්‍රමණයෙක් නිසා නොවේ. තමා අනුන්ට වඩා ශ්‍රේෂ්ටයි කියා හෝ, සමාන වෙමියි කියා හෝ, . හීන වෙමියි කියා හෝ නොවේ.. “
යමක් එහි සත්‍යයද, එය විශිෂ්ට ඥානයෙන් දැන කාමයන්ගේම නිර්‍වෙදය, නොඇලීම පිණිස, නිරුද්‍ධය පිණිස, පිළිපන්නේ වේ.
(3). “පරිබ්‍රාජකවරුනි, නැවත අනිකක් කියමි.
බ්‍රාහ්මණයෙක්, ” සියලු භවයෝ අනිත්‍යය, දුක්ය, පෙරලෙන ස්වභාව ඇත්තේය”යි කියයි.
මෙසේ කියන බ්‍රාහ්මණයා සත්‍යයක්ම කියයි.. බොරුවක් නොකියයි. හෙතෙම එසේ කියන්නේ ඔහු ශ්‍රමණයෙක් නිසා නොවේ. තමා අනුන්ට වඩා ශ්‍රේෂ්ටයි කියා හෝ, සමාන වෙමියි කියා හෝ, . හීන වෙමියි කියා හෝ නොවේ.
යමක් සත්‍යයද, එය විශිෂ්ට ඥානයෙන් දැන භවයන්ගේම නිර්‍වෙදනිය පිණිස, නොඇලීම පිණිස, නිරුද්‍ධය පිණිස, පිළිපන්නේ වේ.
(4). “පරිබ්‍රාජකවරුනි, නැවතද අනිකක් කියමි.
මම කිසි තැනෙක්හි නැත.
කිසිවෙකුගේයයි කැඳවියයුතු කොටද නැත.
අනුන්ගේ ආත්මය කොහිත් නැත.
කිසි තැනෙක්හි නැතැයි
කියන බ්‍රාහ්මණයාද සත්‍යයක් කියයි.. බොරුවක් නොකියයි.
හෙතෙම එසේ කියන්නේ ඔහු ශ්‍රමණයෙක් නිසා නොවේ. තමා අනුන්ට වඩා ශ්‍රේෂ්ටයි කියා හෝ, සමාන වෙමියි කියා හෝ, . හීන වෙමියි කියා හෝ නොවේ.
යමක් සත්‍යද, එය විශිෂ්ට ඥානයෙන් දැන පලිබෝධ රහිත ප්‍රතිපදාවකට පිළිපන්නේය.
පරිබ්‍රාජකවරුනි. මේ බ්‍රාහ්මණ සත්‍ය සතර මා විසින් විශිෂ්ට ඥානයෙන් දැන දේශනා කරණ ලද්දාහ.
[890:- සො තෙන න සමණො මඤ්ඤති යනු ඒ ක්ෂීණාශ්‍රව තෙමේ ඒ සත්‍යයෙන් මම ශ්‍රමණයෙක් වෙමැ’යි තෘෂ්ණා මාන දෘෂ්ටීන්ගෙන් මඤ්ඤනය නොකරයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයයි,
යදෙව තත්‍ථ සච්චං තදභිඤ්ඤාය යනු එහි සියලු ප්‍රාණීහු නොනැසිය යුත්තාහ යන ප්‍රතිපත්තියෙන් යමක් සත්‍ය ද එසේම වේද නොවෙනස් වේද, මෙයින් වාග්සත්‍යය ඇතුළත් කොට පරමාර්‍ත්‍ථ සත්‍යය වූ නිර්‍වාණය දක්වයි,
තදභිඤ්ඤාය යනු ඒ දෙකම අතිවිශිෂ්ට වූ ප්‍රඥාවෙන් දැනයි,
අනුද්දයාය අනුකම්පාය පටිපන්නො හොති යනු කරුණාවෙන් ද අනුකම්පාවෙන් ද යම් පිළිවෙතක් වේද එයට පිළිපන්නේ වෙයි, පුරවා සිටියේයි අර්‍ත්‍ථයි, සෙසු පදයන්හි ද මේ ක්‍රමයමැයි,
සබ්බෙ කාමා යනු සියලු වස්තුකාම ක්ලේශ කාමයෝයි,
ඉතිවදං බ්‍රාහ්මණො සච්චමාහ යනු මෙසේ ද කියන්නා වූ ක්ෂීණාශ්‍රව බ්‍රාහ්මණ තෙමේ සත්‍යයම කීවේය.
සබ්බො භවා කාමභවාදීවූ තුනයි, නාහං කච්චනි යන මෙහි වනාහි චතුෂ්කෝටික වූ ශුන්‍යතාව කියන ලදි,
මේ “නාහං කච්චනි” යනු කිසිතැනක තමා නොදකියි,
කස්සචී කිඤ්චනතස්මිං යනු තමාගේ ආත්මය අන්කිසිවකුගේ යමක් බවෙහිලා සලකා නොබලයි, සහෝදරස්ථානයෙහි සහෝදරයා ද සහායස්ථානයෙහි සහායයා ද පරිෂ්කාරස්ථානයෙහි පරිෂ්කාර ද ලෙස සිතා එළවිය යුත්තක් කොට නොබලයි යන අරුත්ය,
න ච මම කච්ඡිති යන මෙහි මම ශබ්දය එපමණකින් තබා න ච ක්වචනි යනු අනුන්ගේ කිසි ආත්මයක් ද නොදකියි යන මේ අර්ථයයි, දැන් ‘මම’ ශබ්දය ගෙනහැර දක්වා මගේ කිසිවක් කිසිතැනක නැතැයි යමෙක් අනුන්ගේ ආත්මය මගේ කිසිතැනක කිසිවක් ලෙස නොබලයි, තමන්ගේ සහෝදර ස්ථානයෙහි පරිෂ්කාරය දැයි කිසිදු තැනක අනුන්ගේ ආත්මය මේ යමක් බවෙහි එළවිය යුත්තක් කොට නොබලයි යන අර්‍ත්‍ථයයි, මෙසේ මෙතෙම කිසිතැනක තමා නොදකියි ද එය අනුන්ගේ යම්කිසිවක් කොට එළවිය යුත්තක් ලෙස නොබලයි, අනුන්ගේ ආත්මය නොබලයි, අනුන්ගේ (ආත්මය) තමන්ගේ යම්කිසිවක් බවෙහිලා සැලකියයුතු කොට නොබලයි,
ඉතිවදං බ්‍රාහ්මණො යනු චතුස්කෝටික ශුන්‍යතාව කියන්නා වූ ද ක්‍ෂීණාශ්‍රව බ්‍රාහ්මණ තෙමේ ඒ ප්‍රතිපදාවෙහි මනාව වටහාගත් බැවින් සත්‍යයම කීවේය, මුසාවක් නොවේයයිද සියලු වාරයන්හි මඤ්ඤනාවන් ප්‍රහීනවූ බැවින්ම මඤ්ඤනා නොකරන්නේයයි ද අර්‍ත්‍ථය දතයුතුයි, ආකිඤ්චඤ්ඤංයෙව පටිපදං යනු කිසියම්බවින් තොර වූ උවදුරු රහිත අල්ලාගැනීමක් නැති ප්‍රතිපදාවයි, පටිපන්නො යනු සපුරා සිටියේයි,
ඉමානි ඛො පරිබ්බාජකා චත්තාරී බ්‍රාහ්මණ සච්චානි මයා සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදිතානි
යනු නුඹලා භොවාදිබ්‍රාහ්මණයන්ගේ යම් සත්‍යයක් කියහුද අප විසින් ඒවායින් අන්‍ය වූ බහා තැබූ පව් ඇති බ්‍රාහ්මණයාගේ මේ සත්‍ය සතර සිවුමගෙහි සොළොස් ආකාර වූ කෘත්‍යයෙන් දැන ප්‍රත්‍යක්ෂ කොට දන්නා ලදි, දෙසන ලදි. බබුළුවන ලදැයි අර්‍ත්‍ථයි, මෙසේ මේ සූත්‍රයෙහි සතර තන්හිම ක්ෂීණාශ්‍රවයාගේ වාග් සත්‍යයම කියන ලදි.]
ඉක්බිති එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිට භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්නයක් ඇසුවේය,
“ස්වාමීනි,
කවරකින් ලෝකය ගෙනයනු ලැබේද,
කවරකින් ලෝකය අදීයිද,
කුමක් මත්වූ කල ලෝකය එයට වසඟ වෙයිදැ?” යි ඇසීය.
[891:- පරිකස්සති යනු අදිනු ලබයි, උම්මග්ගො යනු උඩට මතුව ඒමයි, ප්‍රඥාව පැමිණීම යන අර්‍ත්‍ථයයි, ප්‍රඥාව හෝ උඩට මතුවීමේ අරුතින් උම්මග්ගොයි කියනු ලැබේ, එම ප්‍රඥාවම වැටහීමේ අර්ථයෙන් පටිභානං නමි, චිත්තස්ස උප්පන්නස්ස වසං ගච්ඡති යනු යමෙක් සිතේ වසඟයට යත්ද ඔවුනටම මෙහි ග්‍රහණය දතයුතුයි, ]
“මහණ,
ඉතා යහපති, තොපගේ ප්‍රශ්නය යහපත්ය. වැටහීම යහපති. ප්‍රශ්නකිරීම යහපත්ය.
“මහණ, තොප, “ස්වාමීනි, කවරකින් ලෝකය ගෙනයනු ලබයිද?
කවරකින් ලෝකයා අදීද, උපන් කවරෙකුගේ වසඟයට යාදැ” යි මෙසේ විචාරන්නෙහිද?. –
“ස්වාමීනි, එසේය.”
[892:- ලෝකය : යනු බඹයක් පමණ වූ මේ මම සාදා ගත , සිතාගත් ලෝකය බව මතක් කර ගැනීම අවශ්‍යය. මේ මගේ ලෝකයේ කේන්ද්‍රයට “මම” කියා හදාගත් සඥාවය. චින්තෙති, චින්තාමාන ලෙස අටුවාව ගලපයි..]
“මහණ,
සිතින් ලෝකය ගෙනයයි.
සිතින් ලෝකය ඇද ගෙන යයි.
උපන් සිතේ වසඟයට යයි.”
“ස්වාමීනි, යහපතැ” යි ඒ බික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි මෙසේ තවත් ප්‍රශ්නයක් විචාළේය.
“ස්වාමීනි, බහුශ්‍රුතයාය, ධර්‍මධරයාය, බහුශ්‍රුතයාය, ධර්මධරයා යයි කියයි. ස්වාමීනි, කොපමණකින් බහුශ්‍රුත වේද, ධර්‍මධර වේදැයි විචාළේය.
“මහණ, මා විසින් දේශනා කරණ ලද සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල බොහෝය. ඉදින් සතරපද ගාථාවක වුවත් අර්ත්‍ථය දැන, ධර්මය දැන, ධර්මානු ධර්ම ප්‍රතිපන්න වේද, ඔහු බහුශ්‍රුතයයි, ධර්මධරයයි කීමට සුදුසුය.
“ස්වාමීනි, ශ්‍රුතවත්ය. කලකිරෙන ප්‍රඥා ඇත්තේය.
ශ්‍රුතවත්ය. නිබ්බිදා ඥානය ඇත්තේයයි කියයි.
ස්වාමීනි, කොපමණකින් ශ්‍රුතවත්ද? කලකිරුණ ප්‍රඥා ඇත්තේද?
““මහණ !,
යමෙක් මේ දුකයයි අසන ලද්දේ, ඔහු ඒ ගැන විමසා බලමින් නුවණින් අර්ත්‍ථය විනිවිද දකී.
මේ දුක් ඉපදීමට හේතුවයයි අසන ලද්දේ . ඔහු නුවණින් විමසා අර්ත්‍ථය විනිවිද දකී.
මේ දුක්ඛ නිරෝධයයයි අසන ලද්දේ ඔහු නුවණින් අර්ත්‍ථය විනිවිද දකී.
මේ දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදාවයයි අසන ලද්දේ ඔහු නුවණින් අර්ත්‍ථය විනිවිද දකී.
මෙසේ වූ භික්ෂුව ශ්‍රුතවත් වේ. නිබ්බිදා නුවණින් යුක්ත වේ.
“ස්වාමීනි, යහපතැ” යි ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, භාග්‍යවතුන් වහන්සේගෙන් මත්තෙහි මෙසේ තවත් ප්‍රශ්නයක් විචාළේය.
“ස්වාමීනි, පණ්ඩිතය, මහා ප්‍රාඥය. පණ්ඩිතය, මහා ප්‍රාඥයයි කියති.
ස්වාමීනි, කොපමණකින් පණ්ඩිතද, මහා ප්‍රාඥවේදැ” යි විචාළේය..
“මහණ, පණ්ඩිතයෙකු, මහා ප්‍රාඥයෙකු, තමාගේ පෙළීම පිණිස නොසිතයි. අනුන්ගේ පෙළීම පිණිස නොසිතයි. දෙපක්‍ෂයේම පෙළීම පිණිස නොසිතයි. තමාගේ යහපත, අනුන්ගේ යහපත, දෙපක්‍ෂයේම යහපත, සියලු ලෝකයාගේ යහපතම අනුව සිතයි. මහණ, මෙසේ වූ භික්ෂුව පණ්ඩිතද, මහා ප්‍රාඥද වේ.”
[893:- අත්‍ථමඤ්ඤාය ධම්මමඤ්ඤාය යනු, අර්‍ත්‍ථ කථාව ද පෙළ ද දැන යි, ධම්මානුධම්මපටිපන්නො හොති යනු ලොවුතුරු දහමට ගැලපෙන ධර්‍මයට සහ ශීලයෙන් පූර්‍වභාග ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි,
නිබ්බෙධික පඤ්ඤො යනු නිර්වේදයට පමුණුවන ප්‍රඥාව ඇත්තේයි,
ඉදං දුක්ඛං යනු තෘෂ්ණාව හැර ඉතිරි ත්‍රෛභූමික ස්කන්ධ පංචකය දුකයයි අසන ලද්දේ වෙයි,
පඤ්ඤාය යනු මාර්‍ගප්‍රඥාවෙනි,
අයං දුක්ඛසමුදයො යනු සංසාරමූලක තෘෂ්ණාව ඒ දුකේ හේතුව යයි අසන ලද්දේ වෙයි, මේ ක්‍රමයෙන් සෙසු දෙකෙහි ද අර්‍ත්‍ථය දතයුතුය,
සිවුවැනි ප්‍රශ්නය විසඳීමෙන් අරහත් ඵලය කියන ලදැයි දතයුතුය.]
එක් කාලයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර, වේළුවනයෙහි, කලන්‍දක නිවාපයෙහි වාසය කරණ සේක. ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්කාර බ්‍රාහ්මණ තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතුවූ, සිහිකටයුතුවූ, කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි මගධ මහාමාත්‍යවූ වස්කාර බ්‍රාහ්මණතුමා, භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය.,
(1) ‘භවත් ගෞතමයන් වහන්ස,
“යම් අසත්පුරුෂයකු, තවත් අසත්පුරුෂයකු හඳුනාගන්නට සමත් වන්නේදැ’ යි ඇසීය.
“බමුණ, අසත්පුරුෂයකුට වෙනත් අසත්පුරුෂයෙක්, හඳුනා ගැනීම නොසිදුවන්නකි. විය නොහැක්කකි.
(2). “භවත් ගෞතමයන් වහන්ස,
“යම් අසත්පුරුෂයකුට, සත්පුරුෂයකු හඳුනාගන්නට හැකි වන්නේදැ’ යි ඇසීය.”
“බමුණ, මේ සත්පුරුෂයායයි, සත්පුරුෂයකු හඳුනාගන්නට අසත්පුරුෂයෙකු අසමත්ය. , මෙයද නොසිදුවන්නකි, අනවකාශයකි.”
(3). “භවත් ගෞතමයන් වහන්ස,
යම් සත්පුරුෂයකු, තවත් සත්පුරුෂයකු හඳුනාගන්නට සමත් වන්නේදැ’ යි ඇසීය ”
“බමුණ, එසේය. සත්පුරුෂයා , සත්පුරුෂයා, කවරෙක් දැයි දනී, මේ කාරණය විද්‍යමානවේ.”
(4). “යම් සත්පුරුෂයකු, , අසත්පුරුෂයකු හඳුනාගන්නට සමත් වන්නේදැ’ යි ඇසීය.
“බමුණ, එසේය. සත්පුරුෂයා , අසත්පුරුෂයා, කවරෙක් දැයි දනී, මේ කාරණය විද්‍යමානවේ.”
“භවත් ගෞතමයන් වහන්ස, ආශ්චර්‍ය්‍යයි, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්සේ විසින් මනාව පහදා දුන් සේක.
“භවත් ගෞතමයන් වහන්ස, එක් කාලයෙක්හි මෙය සිදුවිය.
තොදෙය්‍ය බ්‍රාහ්මණ ආචාර්යාය වරයා ගේ පිරිස ඒල්ලෙය්ය රජු නුවන නැති රජෙකි. මේ රජු උද්දක රාමපුත්ත ගැන විශ්වාස කරමින් ඔහු ට ගරු සත්කාර කරමින් ඔහු අදහයි.894
“යමකය, මොග්ගල්ලය, උග්‍රය, නාවින්‍දකීය, ගන්‍ධර්‍වය, අග්ගිවෙස්සය යන මේ රජුගේ ඇමතිවරුද රජු මෙන්ම බාලයෝය. නුවන නැත්තෝය. ඔවුන්ද මේ රාමපුත්තයන්ට සියලු ගරු සැලකිලි දක්වයි.
[894:- සිද්ධාර්ථ තාපසයන් වහන්සේද බුද්ධත්වයට පෙර මේ උද්දක රාමපුත්ත වෙත ගොස් ඔහුගෙන් ඉගෙන ගත බව අටුවාව මතක් කරයි.]
ස්වාමිනි ඒ අසා උන් තොදෙය්‍ය බ්‍රාහ්මණආ සිය පිරිසට මෙසේ කිවේය., ‘පින්වත්නි, ඒ කුමකැයි සිතන්නහුද,
රජතුමා රාජ්‍ය පාලන රාජ කාරී කිරීමේදී, නීති අනපනත් පැනවීමේදී බොහෝ පණ්ඩිත නුවණැති විශාරදයන්ට වඩා හොඳින් ඒ කාර්යයන් නොකරන්නේද?” යි ඇසුවේය.
එවිට ඒ පිරිස තොදෙය්ය බ්‍රාහ්මණයාට මෙසේ පිළිතුරු දුන්හ.
” ඒ සැබව, රජතුමා රාජ්‍ය පාලන රාජ කාරී කිරීමේදී, නීති අනපනත් පැනවීමේදී බොහෝ පණ්ඩිත නුවණැති විශාරදයන්ට වඩා හොඳින් ඒ කාර්යයන් කරන්නේය.”
එවිට තොදෙය්ය බ්‍රාහ්මණයා මෙසේ ඔවුනට කීවේය.
“තමාගේ ප්‍රඥාවට වඩා රාමපුත්ත ශ්‍රමණයන් ප්‍රඥාවන්ත බව දන්නා නිසා . ඒල්ලෙය්ය රජතුමා රාමපුත්ත ශ්‍රමණයන්ට ගරු සත්කාර කරනවා නොවේද?” කියා ඇසුවේය. යලිත් තොද්‍යය්ය බ්‍රාහ්මණ සිය පිරිසෙන් මෙසේ ඇසුවේය. පින්වතුනි! යමකය, මොග්ගල්ලය, උග්‍රය, නාවින්‍දකීය, ගන්‍ධර්‍වය, අග්ගිවෙස්සය යන මේ රජුගේ ඇමතිවරු අන් විසාරදයන්ට වඩා හොඳින්, දක්ෂ ලෙස රාජ්‍ය පාලන රාජ කාරී කිරීමේදී, නීති අනපනත් පැනවීම නොකරන්නේද?” කියා ඇසුවේය.
එවිට ඒ පිරිස පිළිතුරු දෙන්නේ, “ඒ සැබව, යමකය, මොග්ගල්ලය, උග්‍රය, නාවින්‍දකීය, ගන්‍ධර්‍වය, අග්ගිවෙස්සය යන මේ රජුගේ ඇමතිවරු අන් විසාරදයන්ට වඩා හොඳින්, දක්ෂ ලෙස රාජ්‍ය පාලන රාජකාරී කරන බව ඇත්තය.” යි කීහ.

“පින්වතුනි, අන් විසාරදයන්ට වඩා හොඳින්, දක්ෂ ලෙස රාජ්‍ය පාලන රාජකාරී කරන මේ රජුගේ ඇමතිවරු , උද්දක රාමපුත්ත ආචාරීන්ට ගරු සත්කාර කරන්නේ, ඒ ශ්‍රමණ ආචාරීන් ඔවුන්ට වඩා දක්ෂ නිසා, ප්‍රඥාවන්ත නිසා විය නොහැකිද?” යි ඇසුවේය.895
[895:- මේ සිද්ධිය භාග්‍යවතුන් වහන්සේට ඉදිරිපත් කරන්නට වස්සකාර අමාත්‍යතුමා හේතු වුයේ තෝදෙය්ය බ්‍රාහ්මණයා සත් පුරුෂයෙකු නිසා එලෙය්ය රජු ද, ඔහුගේ අමාත්‍යවරුන්ද, උද්දක රාමපුත්ත ශ්‍රමනයන් වහන්සේද යන සියල්ලන්ම සත් පුරුෂයන් ලෙස හඳුනා ගත් නිසා බව කියයි. අසත් පුරුෂයා අන්ධ මිනිසෙකු වැනිය. සත් පුරුෂයා හොඳින් ඇස් පෙනන මිනිසෙකු වැනිය. අන්ධයාට තවත් අන්ධයෙකුවත් ඇස පෙනෙන කෙනෙක් වත් නොපෙනේ. නොදකී. ඇස පෙනෙන මිනිසා , අන්ධයාද දකියි, තවත් ඇස් පෙනෙන මිනිසුන්ද දකියි. ඒ ලෙසම අසත් පුරුෂයා , අසත්පුරුෂයෙක් හෝ සත් පුරුෂයෙක් හඳුනා නොගනී. සත් පුරුෂයා, අනෙක් සත් පුරුෂයන්ද, අසත්පුරුෂයන්ද හඳුනා ගනී. මේ තොද්‍ය්ය බ්රාහ්මනතුමා සත් පුරුෂයෙක් නිසා මෙසේ මේ සිද්ධිය විසඳූ බව වස්සකාර අමතය් තුමා සිතුවේය. ඒ ආකාරයම, බුදුන් වහන්සේ කල විස්තර දෙසනාවේ අඩංගුවූ නිසා වස්සකාර මහාමාත්‍යතුමා මෙහිදී ඉතා සතුටට පත්ව බුදුන් වහන්සේට ප්‍රසංසා කල බව අටුවාව කියයි.]
“මෙය ආශ්චර්‍ය්‍යයි, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයි. භවත් ගෞතමයන් වහන්ස, අසත්පුරුෂයා හා සත්පුරුෂයා, ලෝකයේ වෙනත් ය හඳුනාගන්නා ආකාරය ඉතා පැහැදිලිව දෙසනා කල සේක, ස්වාමිනි ! එසේ නම් දැන් අපි යමු. අපට බොහෝ වැඩ, බොහෝ කටයුතු ඇත්තාහ.”
“බ්‍රාහ්මණය, ඔබ දැන් යමකට කාලයද, එය හඟින්නැ’ යි වදාළ සේක. ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණතුමා සතුටුවී අනුමෝදන්ව අස්නෙන් නැගිට ගියේය.”
[ 896:- තොදෙය්‍යස්ස යනු තුදිගම් වැසියාගේයි, පරිසතිං යනු රැස් වූ පිරිසේයි.
පරෑපාරම්හං වත්තෙන්ති යනු අනුන්ට ගැරහීම පවත්වති, කියති.
බාලො අයං රාජා යනාදිය ඔවුහු යම් ගැරහීමක් කරත්ද, එය දැක්වීම සඳහා කියන ලදි, සමණෙ රාමපුත්තෙ යනු උද්දකරාමපුත්‍රයන් කෙරෙහිය,
අභිප්පසන්නො යනු ඉක්මවා පැහැදුණේයි,
පරමනිපච්චාකාරං යනු බෙහෙවින්ම පහත් ක්‍රියාවයි, නීච වෘත්තියයි,
පරිහාරකා යනු සේවකයෝයි,
ත්‍යාස්සුදං යනු මෙහි අස්සුදං යනු නිපාත මාත්‍රයකි. ඔවුහු තමන්ගේ පිරිස හුන්කල්හි යන අර්‍ත්‍ථයයි, ඉමිනා නයෙන නෙති යනු මෙකරුණින් හඟවයි, දන්වයි, කරණීයාධිකරණීයෙසු යනු පණ්ඩිතයන් විසින් කළ යුතු දෙයෙහි හා අතිරේක කටයුතු වලයි,
වචනීයාධිවචනීයෙසු යනු කිවයුතු දෙයෙහි ද අතිරේක කිවයුත්තෙහි ද යනුයි, අලමත්‍ථදසතරෙහි යනු මෙහි අර්‍ත්‍ථය දැකීමට සමත්හු අලමත්‍ථදසා නමි.
ඔවුහු ඉක්මවා සිටියාහු අලමත්‍ථදසතරායි, ඒ අලමත්‍ථදස්තරයන්ගෙනි, අලමත්‍ථදස්තරො යනු අර්‍ත්‍ථය දැකීමට සමත් බැවින් ශ්‍රේෂ්ඨවූයේ දක්ෂයන්ගෙන් දක්ෂවූයේ පණ්ඩිතයන්ගෙනුත් අතිශයින් පණ්ඩිතවූයේයි අසන්නේ මෙසේ කීය.
ඉක්බිති ඔහුට මනාව විමසන්නා වූ ඔවුහු එවං භො යනාදිය කීවාහුය, මෙසේ බමුණු තෙමේ තමන්ගේ සත්පුරුෂ බවින් ඒ එළෙය්‍ය රජු ද, ඔහුගේ සේවකයන් ද උද්දකරාම පුත්‍රයන් ද පැසසීය, අසත්පුරුෂයා අන්ධයකු වැනිය, සත්පුරුෂයා ඇස් ඇත්තෙකු වැනිය, අන්ධයා යම්සේ අන්ධ නොවූවකු මෙන්ම අන්ධයකු ද නොදකියි ද එසේ අසත්පුරුෂයා සත්පුරුෂයකු ද අසත්පුරුෂයකු ද නොදනියි. යම්සේ ඇස් ඇත්තා අන්ධයකු මෙන්ම අන්ධ නැත්තකු දකියි ද එසේ සත්පුරුෂයා සත්පුරුෂයකු ද අසත්පුරුෂයකු ද දනියි. තොදෙය්‍ය ද සත්පුරුෂ බවින් අසත්පුරුෂයන් දත්තේයයි මෙය අර්‍ත්‍ථ වශයෙන් සලකමින් සතුටු සිතැති බමුණු තෙමේ අච්ඡරියං භො ගොතම යනාදිය කියා තථාගතයන් වහන්සේ කී දෙය අනුමෝදන්ව පිටත්ව ගියේය.]
එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර, ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක. චණ්ඩිකා පුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි චණ්ඩිකා පුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේට,
“ස්වාමීනි,
යම් කිසිවෙක්, හේතුවක් කාරණයක් නැතිව අනුන්ට ගරහයිද, ඔහු ගැරහිය යුත්තෙක් වේ. ඔහු වරද සහිත වේ.“
මෙසේ මම කියන්නෙමි. මම මෙබඳු දෘෂ්ටියක් ඇත්තෙක්මි.”
“උපකය,
ඉදින්, යමෙක් අනුන්ට ගරහයිද, අනුන්ට ගරහන්නේ සර්‍වප්‍රකාරයෙන් කුසල් නොඋපදවයි. කුසල් නොඋපදවන්නේ ගැරහිය යුතු වේ. වරද සහිත වේ. නමුත් ඔබද නිවරද අයට දොස් කියන නිසා ගැරහිය යුක්තෙක් නොවේද?”
[897:- උපකො යනු , උපසංකමි යනු හෙතෙම දෙව්දත් තෙරුන්ගේ උපස්ථායකයෙක් වූයේය කිමෙක්ද? ශාස්තෲන් වහන්සේ මා තමන් වෙතට එළඹුණු විට ගුණ කියන සේක්ද නැතහොත් නුගුණ කියන සේක්දැයි විමසනු සඳහා මෙහි එළඹියේය, ‘දෙව්දත් නිරා ගත වූවෙකි, කල්පයක් එහි සිටින්නෙකි, පිළියම් කළ නොහැකෙක්කි’යි අසා ශාස්තෲන් වහන්සේට නින්දා කරනු සඳහා එළඹියේ යයි ද කියත්, පරූපාරම්හං වත්තෙති යනු අනුන් ගැරහීම කරයි, සබ්බො සො න උප්පාදෙති යනු හෙතෙම කුසල්දහම් නොඋපදවයි, තමන්ගේ වචනය ඉටු කිරීමට සුදුස්සක් කිරීමට හෝ නොහැක්කේයි, අනුප්පාදෙන්තො ගාරය්හො හොති යනු කුසල්දහම් ඉටුකිරීමට නොහැක්කේ තමන්ගේ වචනය ඉටුකිරීමට සුදුස්සක් කිරීමට නොහැක්කේ ගැරහිය යුත්තෙක් වෙයි. ගැරහීමට පැමිණෙයි, උපවජ්ජො යනු දොස්නැගිය යුත්තේ ද වෙයි. වරදින් යුක්තවූයේ හෝ වෙයි, දොස් සහිතවූයේයි අරුත්ය,]
“ස්වාමීනි, යම්සේ දියෙන් මතුවෙන මාලුවෙකු ඇමකින් සිරකර ගන්නා සේ මගේ වාදය බිඳ ඔබවහන්සේ මා අසු කළේය ” යි කීයේය.
(1). ‘උපකය,
මෙය අකුශලයකියි මා විසින් අප්‍රමාණ පද වලින් . අප්‍රමාණ ව්‍යඤ්ජන ඇතිව අප්‍රමාණ වාරයක් දේශනා කර ඇත.
(2). “උපකය, ඒ අකුශලය ප්‍රහීන කටයුතුයයි මා විසින් අප්‍රමාණ පද වලින් . අප්‍රමාණ ව්‍යඤ්ජන ඇතිව අප්‍රමාණ වාරයක් දේශනා කර ඇත.
(3). උපකය,
මේ කුශලයයි මා විසින් මා විසින් අප්‍රමාණ පද වලින් . අප්‍රමාණ ව්‍යඤ්ජන ඇතිව අප්‍රමාණ වාරයක් දේශනා කර ඇත. .
(4). උපකය,
ඒ කුසලය මේ මේ කාරනා නිසා මේ මේ ඵලයන් ඇති නිසා වැඩිය යුතුයයි මා විසින් අප්‍රමාණ පද වලින් . අප්‍රමාණ ව්‍යඤ්ජන ඇතිව අප්‍රමාණ වාරයක් දේශනා කර ඇත. ” යි
වදාළ සේක.
ඉක්බිති චණ්ඩිකා පුත්‍ර උපක තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ වචනයට සතුටුව, අනුමෝදන්ව, හුනස්නෙන් නැගිට, භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට වෙදෙහි පුත්‍ර අජාසත් මගධ රජ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ සමග වූ කථා සල්ලාපය යම්තාක්ද, ඒ සියල්ල වේදේහිපුත්‍ර අජාසත් මගධ රජුට සැළකෙළේය.
“මෙසේ කී කල්හි වේදෙහි පුත්‍ර අජාසත් මගධ රජ තෙම කිපුණේ, නොසතුටුවූයේ, චණ්ඩිකාපුත්‍ර උපකට, බැන වැදුනේය.
“මුඛරවූ මේ ලොනකාර කොල්ලා , ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්‍ධයන් වහන්සේට අගුණ කියන්ට කෙසේ සිතන්නෙහිද, මගේ දෑසට නොපෙනී වහා මෙතනින් පිටව යව. ” යි කීයේය.
[898:- ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ වාදය ගෙන ඔහුගේම ගෙලෙහි බඳින සේක් පරූපාරම්හඤ්ච යනාදිය වදාළ සේක, උම්මුජ්ජමානකංයෙව යනු දියෙන් හිස ඔසවන්නකුමයි, එහි අපරිමාණපදා යනාදියෙහි එහි අකුශලයයි හඟවන පදයෝ ද අකුරු ද දම්දෙසුම් ද අප්‍රමාණමය,
ඉතිපිදං අකුසලං යනු මෙය ද අකුසල්ය, මෙය ද අකුසල්ය යන මේ කරුණින් ද, මෙකරුණින් ද අකුසලයයි මෙසේ අකුසල් පැනවීමෙහි පැමිණි දෙය දැනුදු අප්‍රමාණය, තවද තථාගතයන් වහන්සේ අන් අයුරකින් ඒ ධර්‍මය දේශනා කරන්නේ නම් එසේද, ධර්‍ම දේශනාව අප්‍රමාණ වන්නේය, එහෙයින් කියන ලදි.
“අපරියාදින්නා වාස්ස තථාගතස්ස ධම්මදෙසනා අපරියාදිණ්ණං ධම්මපදඛ්‍යංජනං” යනුවෙනි.
මේ ක්‍රමයෙන් සියලු වාරයන්හි අර්‍ත්‍ථය දතයුතුයි, යාව ධංසිවායං යනු යම්තාක් ගුණනැසීමක් වේද එයයි, ලොණකාරකදාරකො යනු ලොණකාර ගමේ දරුවෙකි, යත්‍ර හි නාම යනු යමෙක් නම් යනුයි, ආසාදෙතබ්බං මඤ්ඤිස්සති යනු නින්දා කළ යුත්තෙකැයි හඟින්නේය, අපෙහි යනු ඉවත් වෙව, මා ඉදිරියෙහි නොසිටුව යනුයි. මෙසේද කියා ගෙලෙන් අල්වා ගන්වමින් ඉවතට ඇද දැම්මේය
“මහණෙනි,
ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්ම සතරක් වෙත්.
කවර සතරක්ද යත්.
(i). නාමකයින් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයෝ ඇත.
(ii). පූර්‍වෙනිවාසානුස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයෝ
(iii). දිව ඇසින් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ.
(iv). ධ්‍යාන ප්‍රඥාවෙන්, විදර්‍ශනා ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයෝ ඇත්තාහ.
(1) “මහණෙනි,
කවර ධර්මයක් නාම කයින් ප්‍රත්‍යක්‍ෂ කටයුතුද?
මහණෙනි, අෂ්ට විමොක්‍ෂයෝ කයින් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය.
[899:- අෂ්ඨ විමොක්ඛ
(i). තමාගේ හිස කෙස්වල වර්ණාදියෙන් ලබනලද නීල කසිණාදියෙන් උපදවා ගත් රූප ධ්‍යාන ඇත්තෙක්ව බාහිර රූපයන් දකීද මේ පළමුවැනි විමොක්ෂය (සතුරු ධර්මවලින් මිදීම) යි.
(ii). තමාගේ හිස කෙස් ආදියේ වර්ණයෙන් උපදවාගත් රූප ධ්‍යාන නැත්තෙක්ව බාහිර රූපයන් දකීද මේ දෙවෙනි විමොක්ෂය (සතුරු ධර්මවලින් මිදීම) යි.
(iii).පිරිසිදුවූ නීලාදී කසිණයක් අරමුණු කොට වාසය කරයිද මේ තුන්වැනි විමොක්ෂය (මිදීම) යි
(iv). සියලු ආකාරයෙන් රූප හැඟීම් ඉක්මවා ගැටීම් සහිත හැඟීම් දුරු කිරීමෙන් නොයෙක් සංඥා නොමෙනෙහි කිරීමෙන් අනන්ත ආකාශය අරමුණුකොට ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ සතරවැනි විමොක්ෂය (මිදීම) යි.
(v).සියලු ආකාරයෙන් අනන්ත ආකාශය ඉක්මවා එම අනන්තවිඤ්ඤාණය අරමුණුකොට විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ පස්වැනි විමොක්ෂය (මිදීම) යි.
(vi).සියලු ආකාරයෙන් අනන්තවිඤ්ඤාණය ඉක්මවා ඒ විඤ්ඤාණයාගේ කිසිවක් නැති බව අරමුණුකොට ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසය කරයිද මේ හයවැනි විමොක්ෂය (මිදීම) යි
(vii).සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණ වාසයකරයිද, මේ සත්වැනි විමොක්ෂය (මිදීම) යි.
(viii).සියලු ආකාරයෙන් නෙවසඤ්ඤා නාසඤ්ඤායතනය ඉක්මවා චිත්ත චෛතසිකයන්ගේ නිරෝධයට (නිරෝධ සමාපත්තියට) පැමිණ වාසය කරයි. මෙය අටවැනි විමොක්ෂය (මිදීම) යි.]
(2) මහණෙනි,
කවර ධර්මයක් ස්මෘතියෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුද?
මහණෙනි, පූර්‍වෙනිවාසය සිහියෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය.
(3). මහණෙනි,
කවර ධර්මයක් දැක ප්‍රත්‍යක්‍ෂ කටයුතුද?
මහණෙනි, සත්ත්‍වයන්ගේ චුතිය හා උත්පත්තිය නුවණැසින් දැක ප්‍රත්‍යක්‍ෂ කටයුතුය.
(4). මහණෙනි,
කවර ධර්මයක් ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුද?
මහණෙනි, ආශ්‍රවක්‍ෂය ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කටයුතුය.
මහණෙනි, මේ සතර ප්‍රත්‍යක්‍ෂ කටයුතු ධර්මයෝයි.”
[900:- කායෙන යනු නාමකායයෙනි, සච්ඡිකරණියා යනු ප්‍රත්‍යක්ෂ කළයුත්තේයි, සතියා යනු පුබ්බේනිවාසානුස්සතියෙනි,
චක්ඛුනා යනු දිවැසිනි, පඤ්ඤාය යනු ධ්‍යාන ප්‍රඥාවෙන් විදර්‍ශනා ප්‍රඥාව, ප්‍රත්‍යක්ෂ කළයුතුය, විදර්‍ශනා ප්‍රඥාවෙන් මාර්‍ගප්‍රඥාව, මාර්‍ග ප්‍රඥාවෙන් ඵලප්‍රඥාව, ඵල ප්‍රඥාවෙන් ප්‍රත්‍යවෙක්ෂණ ප්‍රඥාව ප්‍රත්‍යක්‍ෂ කළ යුතුය, පැමිණිය යුතුයයි අර්‍ත්‍ථයි, ආශ්‍රවයන් ක්ෂය කිරීම් සංඛ්‍යාත අරහත්වය ප්‍රත්‍යවෙක්ෂණා වශයෙන් ප්‍රත්‍යවෙක්ෂණ ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්‍ෂ කළයුත්තේ නම් වෙයි.]
එක් සමයෙන්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර මිගාර මාතා ප්‍රාසාද නම් පූර්‍වාරාමයෙහි වාසය කරණ සේක. ඒ අවස්ථාවෙහි භාග්‍යවතුන් වහන්සේ පොහෝ දිනයෙක භික්‍ෂු සංඝයා පිරිවරාගෙන වැඩ සිටි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තූෂ්ණීම්භූතව වැඩ හුන් භික්‍ෂු සංඝයා දෙස බලා භික්‍ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, මේ පිරිස ප්‍රලාප රහිතය.
මහණෙනි, මේ පිරිස නිශ්ප්‍රලාපය. පිරිසිදුය. හරයෙහි පිහිටියේය. මහණෙනි, මේ භික්ඛු සංඝයා ලෝකයෙහි දක්නට දුර්ලභය,
මේ පිරිස ආහුණ්‍යෙයය, පාහුණෙය්‍යය, දක්ඛිණෙය්‍යය, අඤ්ජලිකරණීයය, ලෝකයාගේ නිරුත්තර පින්කෙත්ය,
ප්‍රමාණයෙන් ස්වල්පයක් වුවද මේ සංඝයාට් දෙන ලද්දේ බොහෝ ආනිසංස වේ,
බොහෝ දෙන ලද්දේ අතිශයින් ආනිසංස බොහෝ වෙත්,
මහණෙනි, මේ පිරිස එබඳුය.
යොදුන් ගනනක් දුර ගෙවා දැක්මට යාමට සුදුසුය,
“මහණෙනි,
(i). මේ භික්‍ෂු සංඝයා අතර දේවත්වයට පැමිණියහු වසත්.
(ii). මේ භික්‍ෂු සංඝයා අතර බ්‍රහ්මත්වයට පැමිණි භික්‍ෂූහු සිටිත්.
(iii). මේ භික්‍ෂු සංඝයා අතර නොසෙල්වෙන ස්වභාවයට පැමිණි සංඝයා සිටිත්.
(iv).මේ භික්‍ෂු සංඝයා අතර ආර්‍ය්‍යක්වයට පැමිණියහු වසත්.
(1). “මහණෙනි, භික්ෂුවක් කෙසේ දේවත්වයට පැමිණියේද? මහණෙනි, කාමයන්ගෙන් වෙන්ව අකුශල ධර්‍මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කරන භික්ෂුන් වෙති.,
විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම් ඇති, සිතේ එකඟකම ඇති, විතර්‍ක නැති, විචාර නැති, සමාධියෙන් උපන් ප්‍රීතිය හා සැපය ඇති, ද්වීතීය ධ්‍යානයට පැමිණ වාසය කරන භික්ෂුන් වෙති.
ප්‍රීතියගේ වෙන්වීමෙන් උපේක්‍ෂා ඇතිව වාසය කරනං. සතිය ඇතිව , සම්‍යක් ප්‍රඥාවෙන් යුක්තව, කයින් සැපක විඳිමින් . උපෙක්‍ෂා ඇති, සිහි ඇති, සැප විහරණයකැයි යමක් ආර්‍ය්‍යයෝ කියත්ද, ඒ තුන්වැනි ධ්‍යානයට පැමිණ වාසය කරන භික්ෂුන් වෙති.
සැප පහවීමෙන්ද, දුක පහවීමෙන්ද, සොම්නස, දොම්නස දෙක අස්තවීමට පෙර දුක් නැති, සැප නැති, උපෙක්‍ෂා සමෘති දෙදෙනාගේ පිරිසිදුකම ඇති, සතරවැනි ධ්‍යානයට පැමිණ වාසය කරන භික්ෂුන් වෙති
.” මහණෙනි, මෙසේ මේ භික්ෂුන් දේවත්වයට පැමිණියේ වේ.
(2). “මහණෙනි, භික්ෂුවක් කෙසේ බ්‍රහ්මත්වයට පැමිණියේද? මහණෙනි,
මෛත්‍රී සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරන භික්ෂුන් වෙති. මෙසේ උඩ, යට, සරස, සර්‍වප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මෛත්‍රී සහගත සිතින් පතුරුවා වාසය කරන භික්ෂුන් වෙති.
“මහණෙනි, කරුණා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරන භික්ෂුන් වෙති. මෙසේ උඩ, යට, සරස, සර්‍වප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, කරුණා සහගත සිතින් පතුරුවා වාසය කරන භික්ෂුන් වෙති.
“මහණෙනි, මුදිතා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සර්‍වප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, මුදිතා සහගත සිතින් පතුරුවා වාසය කරන භික්ෂුන් වෙති.
“මහණෙනි, උපෙක්‍ෂා සහගත සිතින් එක් දිසාවක්, දෙදිසාවක්, තුන් දිසාවක්, සතර දිසාවක්, පතුරුවා වාසය කරන . මෙසේ උඩ, යට, සරස, සර්‍වප්‍රකාර වශයෙන් සියල්ල සහිත, විපුලවූ, මහත්වූ, මහද්ගතවූ, අප්‍රමාණවූ, අවෛරවූ, අව්‍යාපාදවූ ලෝකය, උපෙක්‍ෂා සහගත සිතින් පතුරුවා වාසය කරන භික්ෂුන් වෙති.
මහණෙනි, මෙසේ මේ සංඝයා බ්‍රහ්මත්වයට පැමිණියේ වේ.
[901:- තුණ්හිභූතං තුණ්හිභූතං යනු යම් යම් ලෙසකින් විමසා බලයිද ඒ ඒ ලෙසින් නිහඬවීය, භික්ඛු ආමන්තෙසි යනු ප්‍රතිපත්තියෙන් යුක්ත වූ භික්‍ෂූන් පසන් ඇසින් බලා උපන් දහම් සතුට ඇත්තේ තුනීකරනු කැමැත්තෙන් ඇමතීය, අපලාපා යනු ප්‍රලාප රහිතවූවෝයි, සෙස ඊටම පර්‍ය්‍යාය වචනයකි. සුද්ධා යන නිර්‍මල වූවෝයි, සාරෙ පතිට්ඨිතා යනු සීලාදී වූ හරයෙහි පිහිටියෝයි, අලං යනු සුදුසුවූයි, යොජනගණා යනු එක් යොදුනක් යොදුනමය, දසයොදුනකුදු යොදුන්මය, එයින් මත්තෙහි යොජනගණ යයි කියනු ලැබේ. මෙහි වනාහි යොදුන් සියයක් වුව ද යොදුන් දහසක් වුව ද අදහස් කරන ලදි, පුටොසෙනාපි යනු මාර්‍ගොපකරණ පුටොසංයි කියනු ලැබේ, මාර්‍ගොපකරණ ගෙන ද එළඹීමට සුදුසුමය යන අර්‍ත්‍ථයි, පුටංසෙන යනු ද පාඨයි, පුටය (ඔලගුව) ඔහුගේ උරයෙහි වේ යනු එහි අර්‍ත්‍ථයයි, අංශයකින් මාර්‍ගොපකරණ ගෙන යන පුටය උසුලන්නහු විසින්දැයි කියන ලද්දේ වෙයි,
(3) “මහණෙනි,
භික්ෂුවක් කෙසේ අකම්පන ස්වභාවයට පැමිණියේ වේද,
මහණෙනි,
සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මීමෙන්, ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානත්ව සංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන්, ආකාශය අනන්තයයි, ආකාශානඤ්චායතනයට පැමිණ වාසය කරන භික්ෂුන් වෙති.
ආකාශානඤ්චායතනය සර්‍ව ප්‍රකාරයෙන් ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරන භික්ෂුන් වෙති.
සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරන භික්ෂුන් වෙති.
සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤා නාසඤ්ඤා යතනයට පැමිණ වාසය කරන භික්ෂුන් වෙති.
මහණෙනි, මෙසේ අකම්පන ස්වභාවයට පැමිණි භික්ෂුන් මෙහි වෙති.
(4). “මහණෙනි,
භික්ෂුවක් කෙසේ ආර්‍ය්‍යත්වයට පැමිණියේද,
මහණෙනි, මේ සංඝයා මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක්ඛ නිරෝධ යයි තත්වූ පරිද්දෙන් දනී, මේ දුක්ඛ නිරෝධ ගාමිණි ප්‍රතිපදාව යයි තත්වූ පරිද්දෙන් දනී, මහණෙනි, මෙසේ වනාහි මේ සංඝයා ආර්‍ය්‍යත්වයට පැමිණියේ වේ.”
දැන් මෙබඳු වූ ගුණයන්ගෙන් යුක්තවූයේ මෙහි භික්ෂූහු ඇතැයි දැක්වීමට “සන්ති භික්ඛවේ” යනාදිය කීවේය, එහි දෙවපත්තා යනු උප්පත්ති දේවත්වය ඇතිකරවන්නා වූ දිව්‍ය විහාරයට ද දිව්‍ය විහාරයෙන් අරහත්වයට ද පත්වූවෝයි, බ්‍රහ්මප්පත්තා යනු නිදොස් අරුතින් බ්‍රහ්මබව ඇතිකරවන බඹ විහරණය ද බඹවිහරණයෙන් රහත්බවට ද පත්වූවෝයි, ආනෙජ්ජප්පත්තා යනු නොසැලෙන බව ඇතිකරවන ආනෙජ්ජයට ද ආනෙජ්ජයෙන් රහත්බවට ද පත් වූවෝයි, අරියප්පත්තා යනු පෘථග්ජනභාවය ඉක්මවා ආර්යභාවයට පත්වූවාහුයි, එවං ඛො භික්ඛවෙ භික්ඛු දෙවප්පත්තො හොති යනාදියෙහි මෙසේ රූපාවචර චතුර්ථධ්‍යානයෙහි සිට සිත හරවා රහත් බවට පැමිණියේ දෙවපත්ත නම් වෙයි, සතර බඹ විහරණයන්හි සිට සිත හරවා රහත්බවට පැමිණියේ බ්‍රහ්මප්පත්ත නමි, සතර අරූපධයානයන්හි සිට සිත හරවා රහත්බවට පැමිණියේ අනෙජ්ජප්පත්ත නමි, ඉදං දුක්ඛං යනාදියෙහි සතර සත්‍යයන්ගෙන් මාර්‍ගසතර ද ඵලතුන ද කියන ලදි, එහෙයින් මෙම ආර්‍යධර්‍මයට පැමිණි භික්ෂුව අරියප්පත්ත නම් වෙයි.
By