SINHALA TIPITAKA

AN 05-19


Listen Later

අනෙකුත් ලබ්ධිකයින්, සේම බෞද්ධයන්ද, එකම ථෙරවාද සම්ප්‍රදායේ භික්ෂු ප්‍රජාවන් දෙකක් ඇතැයි සිතයි. ආරණ්‍ය වාසී නොහොත් වනවාසී හාමුදුරුවන් සහ ග්‍රාම වාසී භික්ෂුන් කියා දෙපිරිසක් ඉන්නා බව සිතති. මෙහි ඇත්ත නම් ඉන්නේ එකම භික්ෂුන් කණ්ඩායමක් බවය. ගැමියා නගරයට ගියවිට නාගරිකයෙක් වෙන්නේ නැත. නාගරිකයා ගමට ආවිට ගැමියෙක් වෙන්නේ නැත. භික්ෂුවක් ඉන්නට තෝරා ගන්නා ස්ථානය අනුව දෙකොටසක් නොවේ. මේ සංඝයා ඉන්නා තැන සහ ජීවන පිළිවෙත අනුව දෙආකාරයකට පෙනුනත් මීට වසර 2600 කට පෙර බුදුන් වහන්සේ විසින් නියම කරන ලද විනය නීති රීති අනුගමනය කරන, එම නීති සංශෝධනය කිරීමකින් හෝ වෙනස් කිරීමකින් තොරව පිළිපදින එකම ප්‍රජාවක්ය.

වනවාසී සංඝයා යනු වනාන්තරවල ජීවත් වන භික්ෂුවකි, භික්ෂු අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුහු තමන්ගේ මුළු කාලයම කැප කරයි. පන්සලේ වැඩ ඉන්නා භික්ෂුව ගමේ පන්සලේ ජීවත් වන අතර, ගමේ ජනතාව සම්බන්ධයෙන් භික්ෂුවකගේ සමාජ යුතුකම් ඉටු කරමින්ම, තමාගේ අධ්‍යාත්මික වර්ධනය එනම් ස්වයං දියුණුව සඳහාද කටයුත්ත කරයි.

බුදුන් වහන්සේ සියලුම භික්ෂූන්ට අවම වශයෙන්, මූලික ඉලක්කය සපුරා ගන්නා ලෙස උපදෙස් දුන් අතර, ඒ සඳහා වනවාසී වීම රුක් මුලක විසීම ශුන්‍යගාරයක වීම වාසිදායක බව දේසනා කල සේක. අවම වශයෙන් සෝතාපන්න වීමේ ඉලක්කයවත් සපුරා ගන්නා තෙක් සියලුම භික්ෂූන්ට වනගත වීමටද උපදෙස් දී ඇත. එයට හේතුව වනාන්තරයේ තනිව ජීවත් වනවිට භාවනාව සඳහා තම මුළු කාලයම කැප කළ හැකි බැවිනි. ඉතිරි ගමන එනම් සෝවාන් ඵලයෙන් ඉහලට යන්නට භාවනාවන් , ගමේදී පවා කළ හැකි බවට ඔහු සෑහීමකට පත් වූ පසු ඔහු නැවත ගමේ සංඝයා හා එක්වෙයි. අද ලංකාවේ මේ සිරිත නැති නමුත් බුරුමයේ , ලාඕසයේ, තායිලන්තයේ, බංගලාදේශයේ මේ චාරිත්‍රය අද දක්වා පවතී.

පංචක නිපාතයේ මෙම පරිච්ඡේදයේ, සාමාන්‍යයෙන් තාපසයන් විසින් අනුගමනය කරන පුරුදු කිහිපයක් මෙන්ම බෞද්ධ භික්ෂූන් විසින් අනුගමනය කරන ලද ධුතංග පුරුදු කිහිපයක් සහ සමහරුන් ඒවා කරන්නේ මන්දැයිද විස්තර කෙරේ. එනම් විසුද්ධි මාර්ගයේ දෙවන පරිච්චේදයේ විස්තර කර ඇති ධුතාංග සහ වනවාසී පිළිවෙත්ය..

අවාසනාවකට මෙන්, බොහෝ ගිහි ජනතාව ආරණ්‍ය භික්ෂුවක් පන්සලේ භික්ෂුවට වඩා උසස් යැයි විශ්වාස කරන අතර එම විශ්වාසය මත පදනම්ව ක්‍රියා කරමින් තමාට නරක විපාක ඇතිකරන කර්ම ඇති කර ගනී.

[ධුතංග = ධුත + අංග වේ කෙලෙස් සොල්වාලන හෙයින් ‘ධුත’ සහ අංග යනුවෙන් පැවසෙනුයේ කාරණයයි,
අපිස්බව, සතොස්බව ආදී යම් ගුණයන් කරණකොට කියනලද ප්‍රකාර ඇති ශීලයෙහි පිරිසුදුබව ඇති වේනම්, එම ගුණයන්ගේ සම්පාදනය පිණිස, සිල් සමාදන්වූ යෝගාවචරයා විසින් ධුතාංග සමාදානය කළයුතු වේ. මෙසේ අපිස්බව, සතොස්බව, කෙලෙස් තුනීවීම, කෙලෙසුන්ගෙන් දුරුවීම, කෙලෙසුන්ගෙන් වෙන්වීම, වීර්යාරම්භය, සුභරතාව (පහසුවෙන් පෝෂණය කළහැකිබව) ආදී ගුණ නමැති ජලයෙන් සෝදාහළ මල ඇති යෝගාවචරයාගේ ශීලයද සුපිරිසුදු වන්නේය; ව්‍රතයෝද සම්පාදිත වන්නාහුය. මෙසේ නිරවද්‍ය වූ ශීලව්‍රත ගුණයෙන් පිරිසුදුවූ සමාචාර ඇතිව, පළමුකොට පිහිටියයුතු (චීවරසන්තුට්ඨි, පිණ්ඩපාත සන්තුට්ඨි, සේනාසනසන්තුට්ඨි යන) ආර්යවංශ ගුණයන්හි පිහිටා භාවනාවෙහි නියැලීම නම් සිවුවෙනි ආර්යවංශ ගුණය පිළිබඳ අධිගමයට සුදුස්සෙක් වන්නේය. එහෙයින් ධුතාංග කථා ආරම්භ කරමු:

භාග්‍යවතුන්වහන්සේ විසින් ලෞකික ආමිෂයන් අත්හළ, කය හෝ ජීවිතය පිළිබඳ අපේක්‍ෂා රහිත, අනුලෝම ප්‍රතිපදාවම පුරනු කැමති, කුලපුතුන්හට ධුතාංගයන් තෙළෙසක් අනුමත කොට ඇත. එනම්: පංසුකූලිකංගය, තෙචීවරිකංගය, පිණ්ඩපාතිකාංගය, සපදානචාරිකංගය, ඒකාසනිකංගය, පත්තපිණ්ඩිකංගය, ඛලුපච්ඡාභත්තිකංගය, අරඤ්ඤිකංගය, රුක්‍ඛමූලිකංගය, අබ්භොකාසිකංගය, සොසානිකාංගය, යථාසන්‍ථතිකාංගය, නෙසජ්ජිකංගයයි යන මේවායි. එහි,
අත්‍ථතො ලක්‍ඛණාදීහි සමාදානවිධානතො
පභෙදතො භෙදතො ච තස්ස තස්සානිසංසතො
කුසලත්තිකතො චෙව ධුතාදීනං විභාගතො
සමාසව්‍යාසතො චාපි විඤ්ඤාතබ්බො විනිච්ඡයො

වචනාර්ත්‍ථ වශයෙන්ද, ලක්‍ෂණාදීන්ගේ වශයෙන්ද, සමාදන් වන ආකාර වශයෙන්ද, පිළිපදනා විධිවශයෙන්ද, ප්‍රභේදවිභාග වශයෙන්ද, භේදය සිදුවන ආකාර වශයෙන්ද, ඒ ඒ ධුතාංගය පිළිබඳ ආනිසංස වශයෙන්ද, කුශලාදී ත්‍රික වශයෙන්ද, ධුතාදිය පිළිබඳ විභාග වශයෙන්ද සමස්ත වශයෙන් හා ප්‍රත්‍යෙක (වෙන්වෙන්) වශයෙන්ද මෙහි විනිශ්චය දතයුතුය.
එහි පළමුකොට වචනාර්ත්‍ථ වශයෙන් විනිශ්චය මෙසේය: වීදි, සොහොන් බිම්, කසලගොඩ ආදී කිසි තැනක පස්වලින් උඩට මතුවී වැටිලෙසින් සිටි හෙයින් පංසුකුල නමි; නොහොත්, පස්මෙන් අවමන්කළයුතු බවට යෙතියි පංසුකූල නමි; මෙලෙසින් ලද අරුත් ඇති පංසුකූලය දැරීමද පංසුකූල නමි; පංසුකූලය දැරීම මොහුගේ ස්වභාවය වෙති’යි පංසුකූලික නමි; පංසුකූලිකයාගේ අංගය පංසුකූලිකංගයයි. අංග යනුවෙන් පැවසෙනුයේ කාරණයයි, එහෙයින් යම් අංගයක් සමාදන්වීමෙන් පංසුකූලික නම් වේද, එම අංගයට මේ අධිවචනයයි දතයුතුය.

[ධූතාංග 13 කි.
1) තිචීවරකාංඟය. 2) පංසුකූලිකාංඟය. 3) පිණ්ඩ පාතිකාංඟය.4) පත්ත පිණ්ඩිකාංඟ⁣ය.5) ඛලු පච්චා බත්තිකාංඟය.
6) සපදානාචාරිකංඟය.7) ඒකාසනිකාංඟය.8) ආරඤ්ඤිකාංගය.9)⁣ සොසානිකාංඟය.10) යථාසන්තතිකාංඟය.11) රුක්ඛ මූලිකංඟය.12) අබ්භෝකිසිකංඟය.13) නේසජ්ජිකාංඟය.
මේවා * චීවර සම්බන්ධ ධුතාංග – 2 කි * පිණ්ඩපාත සම්බන්ධ ධුතාංග – 5 කි* සේනාසන සම්බන්ධ ධුතාංග – 5 කි. * විර්‍ය සම්බන්ධව – 1 කි. සියල්ලම එකතුව 13 කි එනිසා තෙලෙස් ධුතාංග යැයි කියනු ලැබේ.]
මේ සියලු ධුතංග ඒ ඒ ධූතංගය සමාදන්වීම් වශයෙන් කෙලෙස් සොල්වාලන හෙයින් ‘ධුත’යි යන නම් ඇති, භික්‍ෂුවගේ අංග වෙති’යි, කෙලෙස් සොල්වාලන හෙයින්, ‘ධුත’යි යන ව්‍යවහාරයට පත් ඥානය මොහුට අංගවීයයි හෝ ධුතංග නම් වේ. නැතහොත්, ප්‍රතිපක්‍ෂ වූ ක්ලේශයන් කම්පා කරවන හෙයින් ‘ධුත’ නම්ද වේ. ශීලාදී ප්‍රතිපත්තියට අංග වෙති’යි, ධුතංග නම්ද වේ. මෙසේ පළමුකොට වචනාර්ත්‍ථ වශයෙන් මෙහි විනිශ්චය දතයුතුය.

ලක්‍ඛණාදීහි යනු, මේ සියලු ධුතංගයෝ සමාදාන චේතනාව ලක්‍ෂණකොට ඇත්තාහුය. කියන ලදමැයි, ‘යමෙක් සමාදන් වේද, හේ පුද්ගලයෙකි, යමක් කරණකොට සමාදන් වේද, මේ චිත්ත චෛතසික ධර්මයෝය, යම් සමාදාන චේතනාවක් වේද එය ධුතංගයි, යමක් පිළිකෙව් කෙරේද, එය වස්තුයි’1 සියලු ධුතංගයෝ තෘෂ්ණාවිධ්වංසනය රස හෙවත් කෘත්‍ය කොට ඇත්තාහුය. තෘෂ්ණාරහිත බව ආසන්න ඵලය කොට ඇත්තාහුය. අල්පේච්ඡතාදී ආර්යධර්මයන් ආසන්න කාරණය කොට ඇත්තාහුය. මේ ආකාරයෙන් ලක්‍ෂණාදී වශයෙන් මෙහි විනිශ්චය දතයුතුය.
සමාදාන විධානතො යන ආදී පසෙහි වනාහි: සියලු ධුතංගයන් භාග්‍යවතුන්වහන්සේ ජීවමාන කල්හි උන්වහන්සේ වෙතම සමාදන් විය යුතුය, පිරිනිවි කල්හි මහාශ්‍රාවක කෙනෙකු සමීපයෙහිද, එවන් කෙනෙකු නැති කල්හි, රහත් කෙනෙකු අනාගාමී කෙනෙකු, සකෘදාගාමී කෙනෙකු, සෝතාපන්න කෙනෙකු, ත්‍රිපිටකධරයකු, ද්විපිටකධරයකු, ඒකපිටකධරයකු, ඒක සංගීතිධරයකු, ඒකාගමධරයකු, අට්ඨකථාචාර්යවරයකු, එවන් කෙනෙකුද නැති කල්හි, ධුතංගධරයකු එවන් කෙනෙකුද නැති කල්හි, සෑමළුව හැමද, දණ නමා හිඳගෙන, සම්මාසම්බුදුන් අභිමුඛයෙහි කියන විලාශයෙන් සමාදන් වියයුතුය. තවද තමා විසින්ම සමාදන්වනුද වටී. මෙහිලා සඳගිරි වැසි දෙබෑතෙරුන් අතුරෙන් දෙටුබෑ තෙරුන්ගේ ධුතංග අල්පේච්ඡතාව පිළිබඳව වත කිවයුතුය. මේ සියලු ධුතංගයනට සාධාරණ කථාය.]

AN 05-19-01. පඤ්ච ආරඤ්ඤක සූත්‍රය
AN 05-19-02. පඤ්ච පංසුකූලික චීවර සූත්‍රය
AN 05-19-03. පඤ්ච රුක්ඛමූලික සූත්‍රය
AN 05-19-04. පඤ්ච සොසානික සූත්‍රය
AN 05-19-05. පඤ්චම්භොකාසික සූත්‍රය
AN 05-19-06. පඤ්ච නෙසජ්ජික සූත්‍රය
AN 05-19-07. පඤ්ච යථාසන්ථනික සූත්‍රය
AN 05-19-08. පඤ්ච එකාසනික සූත්‍රය
AN 05-19-09. ඛලුපච්ඡාභත්තික සූත්‍රය
AN 05-19-010. පත්ත පිණ්ඩික සූත්‍රය

AN 05-19-01.
පඤ්ච ආරඤ්ඤක සූත්‍රය

[ආරඤ්ඤිකංගයද ‘ගාමන්තසෙනාසනං පටික්‍ඛිපාමි, අරඤ්ඤිකඞ්ගං සමාදියාමි
(ග්‍රාම සේනාසන පිළිකෙව් කරමි, ආරඤ්ඤිකංගය සමාදන් වෙමි , යන මේ දෙපදයෙන් එකෙකින් සමාදානය සිදුවේ.
එම ආරණ්‍යකයා විසින් ග්‍රාමාන්ත සේනාසනය හැර ආරණ්‍යයෙහි අරුණු නැංවිය යුතුය. උපචාරය සමග ගෙන ගමම ග්‍රාමාන්ත සේනාසන නමි.
ගම නම්, එක්ගෙයක් හෝ බොහෝ ගෙවල් ඇති වැට පවුරුවලින් අවුරනලද හෝ නොලද, මිනිසුන් ඇති හෝ නැති යටත් පිරිසෙයින් සිවු මසකට වැඩි කලක් තවලමක් හෝ වාසය කළ කිසියම් ස්ථානයෙකි.
ග්‍රාමෝපචාර නම්, ඉදින් ඇවුරුණු ගමෙක, අනුරාධපුරයෙහි මෙන් දොරටු එලිපතු දෙකක් වේනම්, ඇතුල් එලිපත සිට මිනිසකු විසිකළ ගල් කැටක් වැටෙන තැන්ය. යම්සේ තරුණ ජනයා තම ශක්තිය දක්වමින් අත දිගහැර ගල්කැට විසිකරත්ද, මෙසේ විසිකළ කැටක් වැටෙන තැනින් ඇතුළතයයි විනයධරයෝද, කපුටන් වැලකීමට ගසනලද කැටක් වැටෙන තැන්යයි සෞත්‍රාන්තිකයෝද එහි ලක්‍ෂණ කියති. නොඇවුරුණු ගමෙක නම්, අන්තිම කෙළවර පිහිටි ගෙහි දොරකඩ සිටි ස්ත්‍රියක් බඳුනෙකින් ඉවත ලන දිය වැටෙන තැන ගෘහෝපචාර නම්වේ. එතැන් සිට යට කී නයින් එක් ලෙඩ්ඩුපාතයක් (කැටක් වැටෙන දුර) ගමයි. දෙවන ලෙඩ්ඩුපාතය ග්‍රාමෝපචාරයයි.

අරණ්‍යය වනාහි විනය නයින් ‘ග්‍රාමයද, ග්‍රාමෝපචාරයද හැර මේ සියල්ල ආරණ්‍යය’ යි කියනලදී. අභිධර්ම නයින්, ‘එලිපත සිට පිටතට නික්මුණු තැන් පටන් සියල්ල ආරණ්‍යය’ යි කියනලදි. මෙහි සෞත්‍රාන්තික නයින් ‘ආරණ්‍ය සේනාසන නම් අවම වශයෙන් දුනු පන්සියයක් දුර වේ’ යන මේ ලක්‍ෂණයි. අවුරනලද ගමෙක නම් එලිපතෙහි සිටද, නොඇසුරුණු ගමෙක නම් ප්‍රථම ලෙඩ්ඩුපාතයෙහි සිටද විහාර ප්‍රාකාරය දක්වා මැන එය නිශ්චය කරගත යුතුය.

ඉදින් විහාරයද නොඇවුරන ලදනම්, එහි පළමුවැනි සෙනස්න හෝ බත්හල හෝ, නිතර රැස්වන තැන හෝ, බෝධි වෘක්‍ෂය හෝ, චෛත්‍යය හෝ, සියල්ලට පෙරටුව පිහිටි සෙනස්නෙහි සිට යමක් දුරින්ම පිහිටියේද එය හිමි කොට ගැනීම කළ යුතුයයි විනය අටුවාවන්හි කියනලදි. මැදුම්සඟි අටුවායෙහි වනාහි විහාරයටද ග්‍රාම උපචාරයට මෙන්ම ගෙන ලෙඩ්ඩුපාතයන් දෙක අතර දුර මිනිය යුතුයයි කියනලදි. මේ මෙහි ප්‍රමාණයි.

ඉදින් අසල ගමක් ඇත්නම්, විහාරයෙහි සිටිනවුන්හට මිනිසුන්ගේ කටහඬ ඇසේනම්, පර්වත, නදී ආදිය නිසා කෙළින්ම යා නොහැකිනම්, එහි යාහැකි ස්වාභාවික මාර්ගයක් ඇත්නම් එයද, ඉදින් නැවෙන් යායුතු නම් එම මාර්ගයෙන් පන්සියයක් දුනු ගත යුතුය. යම් කිසිවකු වනාහි අසල්ගමට අවශ්‍ය මෙකී අංග (කෘත්‍රිමව) ඇති කරනු පිණිස ඒ ඒ තැන ඇති මංපෙත් වැසුවහොත් මේ තෙමේ ධුතංගචෝරයෙක් වේ.

ඉදින් ආරණ්‍යක භික්‍ෂූහුගේ උපාධ්‍යායයන් හෝ ආචාර්යයන් ගිලන් වුවහොත්, වනයෙහි සප්පාය නොලැබෙතොත් ග්‍රාමාන්ත සේනාසනයට ගෙන අවුත් උපස්ථාන කළයුතුය. වේලාසනින් නික්ම ගොස් නියමිත අංග සහිත ස්ථානයෙහිදී අරුණු නැංවිය යුතුය. ඉදින් අරුණු නැගෙන අවස්ථාවෙහිදී ඔවුන්ගේ ආබාධය උත්සන්නවේනම් ඔවුන් කළයුතු කාර්යයම කළයුතුය. එහිදී ධුතංගය පිරිසුදු කරන්නකු නොවිය යුතුය. මේ මෙහි පිළිපදනා විධිය.

ප්‍රභේද වශයෙන් වනාහි මෙයද තුන් වැදෑරුම් වේ. එහි උත්කෘෂ්ටයා විසින් සියලු කල්හිම අරණ්‍යයෙහි අරුණු නැංවිය යුතුය. මධ්‍යමයාට වස් සාරමස ග්‍රාමාන්තයෙහි විසීමට අවසර ඇත. මෘදුක තෙමේ හේමන්ත කාලයෙහි විසීමටද අවසර ලබයි.
මේ තිදෙනාටම නියමිත කාලය තුළ අරණ්‍යයෙන් අවුත් ග්‍රාමාන්තයෙහි සිට දහම් අසන විටෙක අරුණු නැංගද ධුතංගය නොබිඳේ. දහම් අසා පෙරළා (අරණ්‍යයට) යන්නවුනටද අතරමඟදී අරුණු නැගියද නොබිඳේ. ඉදින් ධර්මකථිකයා නැගීසිටි පසුද මඳ වේලාවක් වැදහෙව යන්නෙමැ’යි නිදනවිට අරුණු නැංගහොත් හෝ, සිය කැමැත්තෙන් ග්‍රාමාන්තයෙහි (සිටියදී) අරුණු නැගෙන්නට දුනහොත් හෝ ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.

ආනිසංස මෙසේය: ආරණ්‍යක භික්‍ෂු තෙමේ අරණ්‍ය සංඥාව මෙනෙහිකරනුයේ නොලද සමාධි ලැබීමටද ලද සමාධි රැකීමටද, සමත් වේ. ශාස්තෲන් වහන්සේද ඔහු කෙරෙහි සතුටු වෙති, කියන ලදුයේ මැයි: ‘එහෙයින් මම අරණ්‍ය විහරණය හේතුකොට නාගිත භික්‍ෂුවහට සතුට වෙමි’1 ප්‍රාන්ත සේනාසනයෙහි සිටින විට ඔහුගේ සිත අසප්පාය රූපාදිය හේතුකොට වික්ක්‍ෂෙපයට නොපැමිණෙයි, පහවූ තැතිගැනීම් ඇත්තේ වෙයි, ජීවිතාශාව හරියි, විවේක සුවරසය විඳියි, පංසුකූලිකභාවය ආදී අංගයනටද, සුදුස්සෙක් වේ.
විසුද්ධි මග්ග.]

වනවාසී භික්ෂු ජීවිතය – පුජ්‍ය දේවාලේගම මේධානන්ද මාහිමි ගේ ලිපිය කියවන්න

“මහණෙනි,
ආරණ්‍යය වාසය තෝරාගෙන ගමෙහි පන්සලෙන් ඉවත්ව වන ආරණ්‍ය වල වසන ශ්‍රමණයන් පස් දෙනෙක් වෙත්.
“කවර පස් දෙනෙක්ද යත්?

  • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා අරණ්‍යයෙහි වාසයට කැමති වන්නෝ.1178
  • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලදුව අරණ්‍යයෙහි වාසය කරන්නෝ.1179
  • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්, අන් ශ්‍රමනයන් හා ඇසුරු කිරීමට වඩා තනිව සිටීමැයි ආරණ්‍යයෙහි වාසය කරන්නෝ.1180
  • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි අරණ්‍යයෙහි වාසය කරන්නෝ.
  • ආසා මද බව නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, ආරණ්‍යයෙහි කරන්නෝ.
  • යන පස් දෙනයි.

    “මහණෙනි, මේ ආරණ්‍යයෙහි වාසය කරන්නාහු පස් දෙනා වෙත්.

    [1178:- මන්දත්තා මොමුහත්තා යනු සමාදන් වීම නොදනියි, ආනිශංසය නොදනියි, තමාගේ මෝඩ බවින් මුළාවට පත්වීමෙන්, නොදන්නා කරුණින්ම ආරණ්‍යකයෙක් වෙයි,]
     
    [1179: පාපිච්චෝ ඉච්ච පාපකතෝ ආරන්නිකෝ හෝති : ලාමක පහත් ආසාව යනු, “වන අරණක මා ඉන්නා විට පන්සලේ ඉන්නා භික්ෂුන්ට වඩා මම සිල්වත්ය ගුනවත්ය සිතන දායකයෝ, මට වඩ වඩා ප්‍රත්‍ය පිරිකර පුජා කරත්යැයි” ඇති නීච කැමැත්තය. ඒ නම් “පාපිච්ඡො ඉච්ඡාපකතො යනු අරණෙහි වසන්නහුට, මෙතෙම ආරණ්‍යකයෙකැයි සිවුපස සත්කාරය කරන්නහුය, මෙතෙම විවේකයෙහි යෙදුණු ලජ්ජි භික්ෂුවකැයි යනාදී ගුණයන්ගෙන් ගරු කරන්නහුයැයි මෙබඳුවූ පවිටු කැමැත්තෙහි සිට ඒ කැමැත්තෙන්ම මැඬුනේ වී ආරණ්‍යකයෙක් වෙයි,]

    [1180:- උමතුවීම් වශයෙන් අරණට පිවිස වසන්නේ වනාහි උම්මාදො චිත්තක්ඛෙපා ආරඤ්ඤකො යි නම් වෙයි,]

    “මහණෙනි, අරණ්‍යයෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් මද ආසා ඇති නිසාම , හුදෙකලාවට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, ආරණ්‍යයෙහි වසන්නා, ඒ පස් දෙනා අතුරෙන් අග්‍රවූද, , ශ්‍රෙෂට වූද , ප්‍රධාන වූද , උතුම් වූද , අධිපති වූද ශ්‍රමණයා වේ.

    “මහණෙනි, ගව දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයද ලබන විට ඒ ගිතෙල් මන්ඩය එහි අග්‍රයයි කියනු ලැබේ,

    මහණෙනි, මෙපරිද්දෙන්ම , අරණ්‍යයෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් මද ආසා ඇති බවම නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, ආරණ්‍යයෙහි වසන්නා පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.1181

    [1181:- ඉදමට්ඨිතං යනු මේ යහපත් වූ පිළිවෙතෙහි අර්‍ත්‍ථය මොහුටනුයි ඉදමට්ඨියි, ඉදමට්ඨින්ගේ ස්වභාවය ඉදමට්ඨිතා නමි, ඒ ඉදමට්ඨියයි, එය නිසාම අන්කිසි ලෝකාමිෂයක් නැතැයි අරුත්ය, මෙහි සෙස්ස ද මෙයින් මත්තෙහි ද පැහැදිලි අරුත් ඇත්තේමය.]

    AN 05-19-02. පංසුකූලික සූත්‍රය

    [1182:- භික්‍ෂුව සිවුරු පරිභෝග කරන්නේ අලංකාරය පිණිස නොවේ. හුදෙක් විළි වසා ගැනීම පිණිසය. මැසි මදුරුවන්ගෙන් වන හානි වළක්වා ගැනීම පිණිසය. ශීතල හා උෂ්ණයෙන් ආරක්‍ෂා වනු පිණිසය. මෙය ප්‍රත්‍යවේක්‍ෂා කරන භික්‍ෂුව සිවුපසයම පරිභෝග කිරීමේදී ප්‍රත්‍යවේක්‍ෂා කරමින්, නුවණින් යථා තත්ත්වය විමසා බලමින්ම ලෝභ, දෝශ, මාන ආදි අකුසල දහම් දුරු කිරීමේ නුවණින් යුතුවම ප්‍රත්‍ය පරිභෝග කරයි. සිවූරට පවා මෙසේ සලකන බික්ෂුවක් ධුතාංග සීලයක් ලෙස සොහොන් බිමින් කසල ගොඩින් අහුලා ගත් රෙදි කඩවල් සෝදා අමුණා පඬු පොවා සිවුරක් සාදාගෙන ඒ පොරවයි.. .

    “මහණෙනි, පාංසුකූල චීවර දරන ශ්‍රමණයෝ පස් දෙනෙක් වෙත්.

    “කවර පස් දෙනෙක්ද යත්?

    • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා පාංසුකූල චීවර දරන්ට කැමති වේ.
    • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ පාංසුකූල චීවර දරන්ට ප්‍රිය කරයි.
    • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්, පාංසුකූල චීවර දරන්ට ප්‍රිය කරයි.
    • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි පාංසුකූල චීවර දරන්ට ප්‍රිය කරයි.
    • ආසා මද බව නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, පාංසුකූල චීවර දරන්ට ප්‍රිය කරයි.
    • . යන පස් දෙනයි.

      “මහණෙනි, මේ පංසුකූල දරන්නාවූ ශ්‍රමණයෝ පස් දෙනා වෙත්.

      “මහණෙනි, පංසුකූල දරන්නාවූ මේ පස් දෙනාගෙන් මද ආසා ඇති බවම නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, පාංසුකූල චීවර දරන්ට ප්‍රිය කරන, ශ්‍රමණයා පංසුකූල දරන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

      “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, පංසුකූල දරන්නාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ පංසුකූල දරන්නෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ආරණ්‍යයෙහි වසන්නෙක් වේද, මෙතෙම පංසුකූල දරන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

      AN 05-19-03.
      පඤ්ච රුක්ඛ මූලික සූත්‍රය.

      [1183:-රුක්‍ඛ මූලිකංගයද ‘ජන්නං පටික්‍ඛිපාමි, රුක්‍ඛමූලිකඞ්ගං සමාදියාමි’ (සෙවිලි කළ ආවාසය පිළිකෙව් කරමි, රුක්‍ඛ මූලිකඞ්ගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ. ඒ රුක්ඛ මූලිකයා විසින් දේශ සීමාවෙක්හි වූ රුක්ය, ජනයා වැඳුම්පිදුම් කරන රුක්ය, ලහටු ගන්නා රුක්ය, පලගන්නා රුක්ය, වවුලන් වසන රුක්ය, සිදුරු සහිත රුක්ය, විහාරමධ්‍යයෙහි වූ රුක්ය, යන මේවා හැර ප්‍රත්‍යන්තයෙහි පිහිටි රුකක් තෝරාගත යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
      ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධවේ. එහි උත්කෘෂ්ටයා රිසි පරිදි රුකක් තෝරාගත් පසු එය හෙළි පෙහෙළි කොට සකස්කරවා ගැනීමට නොලබයි, පයින් කොළ රොඩු ඉවත්කොට විසිය යුතුය. මධ්‍යමයා පැමිණි කෙනකු ලවාම එතැන හෙළිපෙහෙළි කරවා ගැනීමට සුදුසු වේ, මෘදුකයා විසින් විහාරයෙහි වසන සාමණේරයන් කැඳවා පිරිසුදු කරවා, බිම සමකරවා ප්‍රාකාරයකින් වටකරවා දොරක් යොදවාගෙන විසිය යුතුය. ජූජා උත්සව දිනයන්හි රුක්ඛ මූලිකයා විසින් එහි නොහිඳ මුවහවූ වෙන ස්ථානයෙක්හි හිඳිය යුතුය.
      මේ තිදෙනාගේම ධුතංගය සෙවිලිකළ ගෙයක වාසය කළ කෙණෙහිම බිඳේ. සෙවිලි කළ ගෙයක් තුළ දැන දැන අරුණු නැංවූ කෙණෙහියයි අංගුත්තර භාණකයෝ කියති. මේ මෙහි භේදයයි.
      ආනිසංස මෙසේය: ‘රුක්ඛමූල සේනාසනය නිසා පැවිදි බව පවතී’  යයි කී හෙයින් නිස්සයට අනුරූප වූ ප්‍රතිපත්ති ඇතිබවය, ‘අගයෙන් අඩුවූද, සුලබවූද ඒවා නිරවද්‍ය වේ’ යයි භාග්‍යවතුන්වහන්සේ විසින් පසස්නා ලද ප්‍රත්‍යය වීමය, නිරන්තරයෙන් ගස්කොලන් වෙනස්වන අයුරු දැකීමෙන් අනිත්‍ය සංඥාව උපදින බවය, සේනාසන කෙරෙහි මසුරුකම (ගිජු බව) හා නව කම්හි ඇලීමක් නැති බවය, අල්පේච්ඡතාදී ගුණයන් හා සමග සැසදෙන පැවතුම් ඇති බවය යන මේය.]

      “මහණෙනි,
      රුක්මුල්හි වාසය කරන්නාවූ ශ්‍රමණයෝ පස් දෙනෙක් වෙත්.

      “කවර පස් දෙනෙක්ද යත්?

      • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා රුක්මුල්හි වාසයට කැමති වේ.1178
      • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ රුක්මුල්හි වාසය කරයි.1179
      • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්, අන් ශ්‍රමනයන් හා ඇසුරු කිරීමට වඩා තනිව සිටීමැයි රුක්මුල්හි වාසය කරයි.1180
      • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි රුක්මුල්හි වාසය කරන්නෙක් වේ.
      • ආසා මද බව නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, රුක්මුල්හි වසන්නෙක් වේ.
      • “මහණෙනි, මේ රුක්මුල්හි වාසය කරන්නාහු ශ්‍රමයෝ පස් දෙනා වෙත්.

        “මහණෙනි,
        රුක්මුල්හි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා රුක්මුල්හි වසන්නෙක් වේද, මෙතෙම රුක්මුල්හි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

        AN 05-19-0 4.
        පඤ්ච සොසානික සූත්‍රය

        “මහණෙනි,
        අමු සොහොනෙහි වාසය කරන්නාවූ ශ්‍රමණයෝ
        පස් දෙනෙක් වෙත්.

        “කවර පස් දෙනෙක්ද යත්?

        • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා අමු සොහොනෙහි වාසයට කැමති වේ.1178
        • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අමු සොහොනෙහි වාසය කරයි.1179
        • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්, අන් ශ්‍රමනයන් හා ඇසුරු කිරීමට වඩා තනිව සිටීමැයි අමු සොහොනෙහි වාසය කරයි.1180
        • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි අමු සොහොනෙහි වාසය කරන්නෙක් වේ.
        • ආසා මද බව නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, අමු සොහොනෙහි වසන්නෙක් වේ.
        • යන පස් දෙනයි.

          “මහණෙනි, මේ සොහොනෙහි වාසය කරන්නාවූ ශ්‍රමණයෝ පස් දෙනා වෙත්.

          “මහණෙනි, සොහොනෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා සොහොනෙහි වසන්නෙක් වේද, මෙතෙම සොහොනෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

          “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයද එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, සොහොනෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා සොහොනෙහි වසන්නෙක් වේද, මෙතෙම සොහොනෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූද , ශ්‍රෙෂට වූද , ප්‍රධාන වූද , උතුම් වූද , අධිපති වූද ශ්‍රමනයා වේ.

          [1184:- ඒ සෝසානිකයා විසින්, මිනිසුන් ගමක් පිහිටුවා ‘මේ සොහොනය’යි වෙන්කළ පමණින් එය සොහොනැයි ගෙන නොවිසිය යුතුය. මළ සිරුරක් දවා නැතිනම් එය සොහොනක් නම් නොවේ. දවනලද තැන් පටන්, ඉදින් දොළොස් හවුරුද්දක් හැර දමන ලදුයේ නමුදු එය සොහොනක්ම වේ.
          එහි වෙසෙන්නහු විසින් සක්මන්මලු මණ්ඩප ආදිය තනවා, ඇඳ පුටු ආදිය පනවා, කෑම් බීම් එළවාගෙන දහම් දෙසමින් නොවිසිය යුතුය. මේ වනාහි ගරුක වූ ධූතංගයකි. එහෙයින් උපන් උවදුරු නසනු පිණිස ගණදෙටු තෙරුන්හට හෝ රජු විසින් පත්කොට ඇති නිලධාරීන්හට දන්වා ප්‍රමාදයෙන් තොරව විසිය යුතුය. සක්මන් කරමින් ඔබ මොබ යනවිට අඩනෙතින් සොහොන බල බලා සක්මන් කළයුතුය.
          සොහොනට යන කල්හිද මහමග බැස නොගොස් අප්‍රකට අතුරු මඟෙකින් යා යුතුය. දහවල්හි මං සලකුණු නිශ්චය කළයුතුය, මෙසේ රැයෙහිදී එම සලකුණු ඔහුට බිය උපදවන්නේ නොවේ. මෙසේ රැයෙහිදී අමනුෂ්‍යයන් හඬ හඬා ඇවිදිතත් ඔවුනට කිසිවකින් නොගැසිය යුතුය. එක් දිනයකුදු සොහොනට නොගොස් සිටිනු නොවටනේය. මැදියම සොහොනෙහි ගෙවා අළුයම පෙරළා යනු වටීයයි අංගුත්තර භාණකයෝ කියති. අමනුෂ්‍යයනට ප්‍රිය වූ තල, පිටි, උඳුබත්, මත්ස්‍ය මාංස, කිරි, තෙල්, සකුරු ආදී කැවිලි පෙවිලි නොගත යුතුය, කුල ගෙවලට නොපිවිසිය යුතුය, යන මේ මෙහි පිළිපදනා විධියි.

          ප්‍රභේද වශයෙන් මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් නිරතුරු දැවීම්, නිරතුරු මළ සිරුරු දැමීම්, නිරතුරු හැඬීම් වැලපීම් ඇති තැනෙකම විසිය යුතුය. මධ්‍යමයාහට මේ තුනෙන් එකක් හෝ ඇති තැනක් සුදුසු වේ. මෘදුකයාහට කියනලද නයින් සොහොන් ලකුණු පමණක් ඇති තැනක් වුවද සෑහේ.
          මේ තිදෙනාගේම ධුතංගය නොසොහොන් තැනෙක විසීමෙන් බිඳේ. සොහොනට නොගොස් සිටි දවස්හියයි අංගුත්තර භාණකයෝ කියති. මේ මෙහි ප්‍රභේද වේ.
          ආනිසංස වනාහි මෙසේයි: මරණය පිළිබඳ සිහිය ලැබෙන බවය, අප්‍රමාද විහරණ ඇතිබවය, අසුභ නිමිති පිළිබඳ අවබෝධය ලැබෙන බවය, කාමරාගය පහවීමය, නිරතුරුව කයෙහි ස්වභාවය දක්නට ලැබීමය, සංවේග බහුල බවය, ආරෝග්‍යමද ආදිය පහවන බවය, බිය බියකරු දෙය ඉවසිය හැකි බවය, අන්‍යයන්ගේ ගෞරව සම්මානයට භාජනවන බවය, අල්පේච්ඡතාදියට අනුරූප පැවතුම් ඇති බවය යන මේයි.]

          AN 05-19-05. පඤ්චම්භොකාසික සූත්‍රය

          [1185:- අම්භෝකාසික යනු එළිමහනේ ජීවත්වන්නායි. වහලක් හෝ බිත්ති ඇති තැනක නොව එළිමහනේ ජීවත්වන්නා ලෙස ගැනේ.]

          “මහණෙනි,
          එළි මහනේ වාසය කරන්නාවූ ශ්‍රමණයෝ පස් දෙනෙක් වෙත්.

          “කවර පස් දෙනෙක්ද යත්?

          • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා එළිමහනේ වාසයට කැමති වේ.
          • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ එළි මහනේ වාසය කරයි.
          • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්, අන් ශ්‍රමනයන් හා ඇසුරු කිරීමට වඩා තනිව සිටීමැයි එළි මහනේ වාසය කරයි.
          • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි එළි මහනේ වාසය කරන්නෙක් වේ.
          • ආසා මද බව නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, එළි මහනේ වසන්නෙක් වේ.
          • “මහණෙනි, මේ එළි මහනේ වාසය කරන්නාවූ ශ්‍රමණයෝ පස් දෙනා වෙත්.

            “මහණෙනි, එළි මහනේ වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් එළිමහණෙහි විසීමේ අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටිය ම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා එළිමහණෙහි වසන්නා , එළිමහණෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූද , ශ්‍රෙෂට වූද , ප්‍රධාන වූද , උතුම් වූද , අධිපති වූද ශ්රමණයා වේ .

            “මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයම එහි අග්‍රයයි කියනු ලැබේ.

            මහණෙනි, මෙපරිද්දෙන්ම එළිමහනේ අභ්‍යවකාශයෙහි වාසය කරන්නාවූ මේ පස් දෙනාගෙන් යමෙක් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා එළිමහණෙහි වසන්නේද , ඔහු එළිමහණෙහි වසන්නාවූ පස් දෙනා අතුරෙන් අග්‍ර වේ., ශ්‍රෙෂට වේ., ප්‍රධාන වේ., උතුම් වේ. අධිපති වූවෙක්ද වේ.

            [1186:- එම අබ්හොකාසිකයා විසින් වනාහි දහම් ඇසීම පිණිස හෝ පොහෝ කිරීම පිණිස හෝ උපෝසථාගාරයට පිවිසීම වටනේය. එසේ පිවිසි කල වැසි වසී නම් වසිද්දී නොනික්ම වැසි නැවතුණු පසු යායුතුය, බොජුන්හලට හෝ ගිනිහලට පිවිස වත් පිළිවෙත් කිරීමට හෝ, බොජුන්හලෙහි වැඩිමහලු භික්‍ෂූන් බතින් පිළිවිසීමට හෝ, දහම් කියවාදෙන්නහු විසින් හෝ කියවාගන්නහු විසින් සෙවිලි කළ ගෙයක් තුළට පිවිසීම වටී. පිටත නොපිළිවෙළට තබනලද ඇඳ පුටු ආදියක් ඇතුළත තැබවීම පිණිස ගෙයක් තුළට පිවිසීමටද වටී. ඉදින් මග බැස යනවිට වැඩිමහලු භික්‍ෂූන්ගේ පිරිකර ගන්නා ලද නම්, වැසි වසිනවිට අතරමග පිහිටි ශාලාවකට පිවිසීම වටී. ඉදින් කිසිවක් ගෙන නැත්නම්, ශාලාවෙහි සිටිමි’යි යුහුගමනින් නොයායුතුය, පියවි ගමනින් ගොස් පිවිස වැසි නවතින තෙක් සිට යායුතුය. මේ මෙහි පිළිපදනා විධියි. රුක්ඛ මූලිකයා හටද මෙම නයයි.

            AN 05-19-06.
            පඤ්චනෙසජ්ජික සූත්‍රය

            [1187:-නෙසජ්ජිකඞ්ගය :- නිසජ්ජා නම් සයනය (නිදාගැනීම) හැරැ පියා හිඳැගෙනැම කල් යැවීමය. නිසජ්ජාව , නොනිදා භාවනාවේ යෙදීම යමෙකුගේ ස්වභාවය වේ ද හෙතෙම නෙසජ්ජික ය. නෙසජ්ජිකයාගේ අඞ්ගය නෙසජ්ජිකඞ්ගය යි.]

            “මහණෙනි,
            නෙසජ්ජික ශ්‍රමණයෝ පස් දෙනෙක් වෙත්.
            “කවර පස් දෙනෙක්ද යත්?

            • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා නොනිදා සිටීමට කැමති වේ.
            • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ නොනිදා වාසය කරයි.
            • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්, අන් ශ්‍රමනයන් හා ඇසුරු කිරීමට වඩා තනිව සිටීමැයි ආරණ්‍යයෙහි නොනිදා වාසය කරයි.
            • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි නොනිදා සිටී.
            • ආසා මද බවම නිසා, නොනිදා සිටීමට කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, නොනිදා සිටීමට කැමතිවේ.
            • නෙසජ්ජිකවූවෙක් වේ. යන පස් දෙනායි.
              “මහණෙනි, මේ නෙසජ්ජිකවූවාහු පස් දෙනෙක් වෙත්.

              “මහණෙනි,
              නෙසජ්ජිකවූවාහු මේ පස් දෙනාගෙන් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා නෙසජ්ජිකවේද, මෙතෙම නෙසජ්ජිකවූවාහු පස් දෙනා අතුරෙන් අග්‍ර වේ. ශ්‍රෙෂට වේ., ප්‍රධාන වේ., උතුම් වේ., අධිපති වේ.

              “මහණෙනි,
              එලදෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයද ලැබේ. ඒ සියල්ලෙන්ම ගිතෙල් මණ්ඩයම අග්‍රයයි කියනු ලැබේ, මහණෙනි, මෙපරිද්දෙන්ම නෙසජ්ජිකවූවාවූ මේ පස් දෙනාගෙන් යමෙක් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා නෙසජ්ජික වේද, මෙතෙම නෙසජ්ජික පස් දෙනා අතුරෙන් අග්‍ර වේ., ශ්‍රෙෂට වේ., ප්‍රධාන වේ., උතුම් වේ., අධිපති වේ..

              [න තාව සුපිතුං හෝති රත්තිං නක්ඛත්තමාලිනී,
              පටිජග්ගිතුමේවේසා රත්ති හෝති විජානතා,

              තරු මල් මාලාවලින් බැබලෙන මේ සුන්දර රාත්‍රියෙ තවමත් නිදාගන්ට කාලයක් නෑ.
              ජීවිතේ සැබෑ තත්වය දකින උදවියට නොනිදා භාවනා කිරීමටයි මේ රාත්‍රිය සුදුසු”
              -සේලිස්සරියත්ථේරගාථා”

               නේසජ්ජික යතිවරයා විසින් රාත්‍රියෙහි තුන් යමින් එක් යමක් නැගිට සක්මන් කළයුතුය. ඉරියව් අතුරින් වැදහෙවීම පමණක් නොවටී. මේ මෙහි පිළිපදනා විධියි.
              ප්‍රභේද වශයෙන් වනාහි මොහුද, ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයාහට පිටි ඇඳි සහිත අසුන් හෝ, පිළීයෙන් කළ අකවටු (දෙදණ හා ඉඟටිය වටා ඔතා ගෙන හිඳීම) හෝ ආයොගපට්ට නම් එල්ලී හිදිනු සඳහා යොදාගනු ලබන පටි හෝ යෝග්‍ය නොවේ. මධ්‍යමයාහට මේ තුනෙන් එකක් පමණක් යෝග්‍ය වේ. මෘදුකයාහට වනාහි පිටි ඇඳිද, පිළියෙන් කළ අකවටුද, එල්ලී හිදින පටිද, මෙට්ටද පසඟින් යුත් පුටුද, සතඟින් යුත් පුටුද යෝග්‍ය වේ. පසඟපුටු නම් පිටි ඇන්දක් සහිත පාසතරක් ඇති පුටුය. සතඟපුටු නම් පිටි ඇන්දක් හා දෑල ඇඳි සහිත පුටුය. එම සතඟපුටුව පිඨාභය තෙරුන් උදෙසා කළාහුය. තෙරණුවෝ අනාගාමීව පිරිනිවියහ.
              වැද හෙවීම කළ පමණින් මේ තිදෙනාගේම ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.

              ආනිසංස මෙසේය:
              ‘වැදහෙවීමේ සුවය, ඇලයෙන් ඇලයට වැද හෙවීමේ සුවය, නිදි සුවය, යන මෙහි යෙදී වාසය කරයි.’
              1 යනුවෙන් කියනලද සිත් බැමි නසන බවය,
              සියලු කමටහන්වලට අනුකූල වනබවය,
              පහන් දනවන ඉරියව් ඇතිබවය,
              වීර්යාරම්භයට අනුකූල වනබවය,
              සම්‍යක්ප්‍රතිපත්ති වැඩෙනබවය යන මේයි.

              AN 05-19-07. 
              පඤ්ච යථාසන්ථනික සූත්‍රය

              [1188:- යථාසත්‍ථතිකඞ්ගය :- යථාසත්‍ථත නම් ‘මෙය ඔබ වහන්සේ වෙනුවට පත් වුණේය’යි පළමුකොට නියම කරන ලද සේනාසනය යි. එහි වාසය ද යථාසත්‍ථය. යථාසත්‍ථ වාසය යමෙකුගේ ශීලය වේද හෙතෙම යථාසත්‍ථකිය. ඔහුගේ අඞ්ගය යථාසත්‍ථතිකඞ්ගය යි.]

              “මහණෙනි, මේ යථාසන්ථනික ශ්‍රමනයෝ පස් දෙනෙක් වෙත්.
              “කවර පස් දෙනෙක්ද යත්?

              • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා එකම තැනක වාසයට කැමති වේ.
              • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ එකම තැනක වාසය කරයි.
              • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්, අන් ශ්‍රමනයන් හා ඇසුරු කිරීමට වඩා තනිව සිටීමැයි එකම තැනක වාසය කරයි.
              • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි එකම තැනක වාසය කරයි.
              • ආසා මද බවම නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, එකම ආරණ්‍යයෙහි වසන්නෙක් වේ.
              • . යන පස් දෙනයි.
                “මහණෙනි, මේ යථාසන්ථනික ශ්‍රමණයෝ පස් දෙනා වෙත්.

                “මහණෙනි, යථාසන්ථනික පස් දෙනාගෙන් යමෙක් අල්පෙච්ඡ බව නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා යථාසන්ථනික වූ ශ්‍රමණයා යථා සන්ථනික වූ පස් දෙනා අතුරෙන් අග්‍ර වේ, ශ්‍රෙෂට වේ, ප්‍රධාන වේ, උතුම් වේ, අධිපති වේ.

                “මහණෙනි,
                යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේ, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, යථාසන්ථනික පස් දෙනාගෙන් යමේක් අල්පෙච්ඡ බව නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා යථාසන්ථනික වූවේද, ඔහු යථාසන්ථනික පස් දෙනා අතුරෙන් අග්‍ර වේ, ශ්‍රෙෂට වේ, ප්‍රධාන වේ, උතුම් වේ, අධිපති වේ.

                [යථාසන්‍ථතිකංගයද: ‘සේනාසනලොලුප්පං පටික්‍ඛිපාමි, යථාසන්‍ථතිකඞ්ගං සමාදියාමි’ (සෙනසුන් කෙරෙහි ලොල් බව පිළිකෙව් කරමි, යථාසන්‍ථතිකංගය සමාදන් වෙමි) යන මේ දෙපාඨයෙන් එකකින් සමාදන් වීම සිද්ධ වේ.
                එම යථාසන්‍ථතිකයා විසින් තමාහට යම් සෙනසුනක් ‘මෙය ඔබට පැවරේය’යි පමුණුවන ලද නම් එයින්ම තෘප්ත වියයුතුය. අනෙකකු නොනැගිටවිය යුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
                ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ට තෙමේ තමාහට පැමිණි සේනාසනය දුරද? ඉතා ළඟද? අමනුෂ්‍ය සර්ප ආදීන්ගෙන් උපද්‍රව ඇත්ද? උණුසුම්ද? සිහිල්දැ’යි විමසන්නට නොහැකි වේ, මධ්‍යම තෙමේ විමසන්නට හැකිවේ, එහෙත් ගොස් බලන්නට නොහැකි වේ. මෘදුක තෙමේ තමාට නොරිසි නම් අනෙකක් ගන්නට හැකිවේ.
                මේ තිදෙනාගේම ධුතංගය සෙනසුන් කෙරෙහි ලොල්බවක් උපන් කෙණෙහිම බිඳේ. මේ මෙහි භේදයයි.
                ආනිසංස මෙසේයි: ‘යමක් ලැබිණි නම්, එයින් සතුටු වියයුතුය’ යන අවවාදය පිළිපදනා බවය,
                සබ්‍රම්සරුන් කෙරෙහි හිත කැමති බවය,
                හීනය ප්‍රණීතය යන විකල්පය අත් හැරීමය,
                වාද විවාදයෙන් වැලකීමය,
                අතීච්ඡතාවට දොර වැසීමය,
                අල්පේච්ඡතාදියට අනුකුල පැවතුම් ඇතිබවය යන මේයි.]

                AN 05-19-08.
                පඤ්ච එකාසනික සූත්‍රය

                [5. එකාසනිකඞ්ගය – එක ආසනයෙක් ම හිඳැ වැළදීම ඒකාසනය වේ. ඒකාසනය යමෙකුගේ සීලය ද හෙතෙම ඒකාසනිකය. ඒකාසනිකයාගේ අඞ්ගය  එකා සනිකඞ්ගය  යි.

                “මහණෙනි,
                මේ ඒකාශනික වූවාහු පස් දෙනෙක් වෙත්.
                “කවර පස් දෙනෙක්ද යත්?

                • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා එකාසනිකඞ්ග වේ.1178
                • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ එකාසනිකඞ්ගව වාසය කරයි.1179
                • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්, අන් ශ්‍රමනයන් හා ඇසුරු කිරීමට වඩා තනිව සිටීමැයි එකාසනිකඞ්ගව වාසය කරයි.1180
                • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි එකාසනිකඞ්ග වේ.
                • මද ආසා ඇති බවම නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, එකාසනිකඞ්ගකව වසන්නෙක් වේ. .
                • “මහණෙනි, මේ ඒකාශනික වූවාහු පස් දෙනෙක් වෙත්.

                  [ඒකාසනිකංගයද, ‘නානාසනභොජනං පටික්‍ඛිපාමි, එකාසනිකඞ්ගං සමාදියාමි’ (නොයෙක් වර හිඳ අනුභව කිරීම පිළිකෙව් කරමි, ඒකාසනිකංගය සමාදන් වෙමි) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ.
                  එම ඒකාසනික භික්‍ෂුව විසින් ආසන ශාලාවෙහි හිඳගන්නාවිට ථෙරාසනයෙහි නොහිඳ, මේ අසුන මට ලැබෙන්නේයයි සලකා යෝග්‍ය වූ අසුනෙක හිඳගත යුතුය. ඉදින් ඔහුගේ අහර කිස නොනිමී තිබියදී ආචාර්යවරයා හෝ උපාධ්‍යායවරයා පැමිණියහොත්, නැගිට වත් පිළිපදිනු වටී. ත්‍රිපිටකධර චූලාභය තෙරණුවෝ ‘අසුන හෝ භෝජනය හෝ රකින්නේය, එහෙයින් අඩහල බොජුන් ඇති මේ තෙමේ වත් පිළිපදීවා, බොජුන් නොබුදීවා’යි කීහ. මේ මෙහි පිළිපදනා විධියි.
                  ප්‍රභේද වශයෙන් වනාහි මෙයද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා මඳවූ හෝ බොහෝවූ හෝ යම් බොජුනකට අත තැබුවේ නම් එය හැර අන්කිසිවක් නොපිළිගන්නේය, ඉදින් මිනිසුන් ‘තෙරුන් කිසිවක් නොවැළදූහ’යි ගිතෙල් ආදිය ගෙන එතොත් බෙහෙත් වශයෙන් පිළිගනු වටී, අහර වශයෙන් නොවටී. මධ්‍යමයා යම්තාක් පාත්‍රයෙහි බත් ඉතිරිව තිබේනම්, ඒතාක් එයට සෑහෙන තරම් සූප ආදී අන් අහරක් පිළිගන්නේය. මේ තෙමේ ‘භෝජනපරියන්තික’ නම්වේ. මෘදුක තෙමේ යම්තාක් හිඳ වැළඳූ අසුනෙන් නොනැගිටියේද ඒතාක් වැළදීම කරන්නේය. මේ තෙමේ ‘උදපරියන්තික’ නම්වේ. පාත්‍රය ධෝවනය කරන තෙක් අනුභව කරන හෙයිනි, නැතහොත් ‘ආසනපරියන්තික’ නම්වේ. යම්තාක් අසුනෙන් නොනැගිටියේද ඒතාක් අනුභව කරන හෙයිනි.
                  මේ තිදෙනාගේම ධුතංගය නැවත හිඳ වැලඳූ කෙණෙහි බිඳේ, මේ මෙහි බිඳීමයි.
                   ආනිසංස මෙසේය: නිරෝගබවය, මඳපීඩා ඇති බවය, සැහැල්ලු ඉරියවු ඇති බවය, සිරුරු බල ඇති බවය, පහසු විහරණ ඇතිබවය, ඉතිරි නොවූ ප්‍රත්‍යය ඇති හෙයින් ඇවැත් සිදුවීමට ඇති ඉඩ මඳබවය, රස තෘෂ්ණා දුරුවීමය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලොම් වූ යැපීම් ඇති බවය යන මේය.
                  ඒකාසන භෝජනයෙහි ඇලුණ යතිවරයා ආහාර හේතුවෙන් ඇතිවන රෝගයෙන් නොපෙළේ, රසයෙහි ගිජු නොවූයේ ස්වකීය කාර්යයෙන් නොපිරිහෙයි.
                  මෙසේ සුඛවිහරණයට හේතු වූ, පිරිසිදු සල්ලේඛ ගුණයෙහි ඇලුණවුන් විසින් සෙවුනාලද, ඒකාසන භෝජනයෙහි පිරිසුදු සිත් ඇති යති තෙමේ ඇලුම් කරන්නේය.]

                  “මහණෙනි,
                  ඒකාශනික වූවාවූ මේ පස් දෙනාගෙන් යමෙක් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඒකාශනික වූවේද, මෙතෙම ඒකාශනික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍ර වේ, ශ්‍රෙෂට වේ, ප්‍රධාන වේ, උතුම් වේ, අධිපති වූවෙක්ද වේ.

                  “මහණෙනි,
                  එලදෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයද ලැබේ. මේ සියල්ලෙන්ම ගිතෙල් මණ්ඩය අග්‍රයයි කියනු ලැබේ, මහණෙනි, මෙපරිද්දෙන්ම ඒකාශනික වූවාවූ මේ පස් දෙනාගෙන් යම් ඒකාශනික වූවෙක් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඒකාශනික වේද, මෙතෙම ඒකාශනික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍ර වේ, ශ්‍රෙෂට වේ, ප්‍රධාන වේ, උතුම් වේ, අධිපති වේ.

                  AN 05-19-09.
                  පඤ්ච ඛලුපච්ඡාභත්තික සූත්‍රය

                  [ඛලු පච්ඡා භත්තිකඞ්ගය – ඛලු යනු ප්‍ර‍තිෂෙධාර්‍ථයෙහි නිපාතයෙකි. පච්ඡාභත්ත නම් පවාරණ වීමෙන් පසු ලැබෙන බතයි හෙවත් භෝජනය යි. ඒ භෝජනය වැළඳීමද මෙහි පච්ඡාභත්ත ශබ්දයෙන් ම කියනු ලැබේ. පච්ඡා භතතය හෙවත් පවාරණ වීමෙන් පසු වැළඳීම යමෙකුගේ ශීලය වේද හෙතෙම පච්ඡා භත්තිකය එබඳු ස්වභාවය නැත්තේ ඛලු පච්ඡාභත්තිකය. පවාරණ වීමෙන් පසු ලැබෙන භෝජනය වැළඳීම සමාදන් වීම් වශයෙන් හැර පියූ භික්‍ෂුව මෙහි ඛලුපච්ඡාභත්තිකය යි කියන ලදැයි දත යුතු යි.
                  මේ සඳහා අටුවායෙහි දැක්වුණේ අන්‍ය ක්‍ර‍මයෙකි.
                  ඒ මෙසේ යි :- ඛලු යනු පක්‍ෂි විශේෂයකි. ඒ පක්‍ෂියා මුඛයෙන් ගත් ඵලය ඉදින් බිම වැටී ගියේ නම් අන්‍ය ඵලයකුදු නොකන්නේ ය. එසේම යම් භික්‍ෂුවක් පවාරණ වීමෙන් පසු ලැබෙන භෝජනය නො වළඳන්නේද? හෙතෙම ඛලුපච්ඡාභත්තිකය යි කියනු ලැබේ යනු යි.

                  “මහණෙනි,
                  මේ ඛලුපච්ඡාබත්තික වූවාහු පස් දෙනෙක් වෙත්.“
                  කවර පස් දෙනෙක්ද යත්?

                  • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා අරණ්‍යයෙහි වාසයට කැමති වේ.
                  • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ අරණ්‍යයෙහි වාසය කරයි.
                  • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්, අන් ශ්‍රමනයන් හා ඇසුරු කිරීමට වඩා තනිව සිටීමැයි ආරණ්‍යයෙහි වාසය කරයි.1180
                  • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි අරණ්‍යයෙහි වාසය කරන්නෙක් වේ.
                  • ආසා මද බවම නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, ආරණ්‍යයෙහි වසන්නෙක් වේ.

                    යන පස් දෙනයි.
                  • “මහණෙනි, මේ ඛලුපච්ඡාබත්තික වූවාවූ ශ්‍රමණයෝ පස් දෙනා වෙත්.

                    “මහණෙනි, ඛලුපච්ඡාබත්තික වූවාවූ මේ පස් දෙනාගෙන් යමෙක් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවෙක් වේද, මෙතෙම ඛලුපච්ඡාබත්තික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.

                    “මහණෙනි, එල දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේ,

                    මහණෙනි,
                    මෙපරිද්දෙන්ම මේ පස් දෙනාගෙන් වනාහි යමෙක් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා ඛලුපච්ඡාබත්තික වූවේද, මෙතෙම ඛලුපච්ඡාබත්තික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍ර වේ. , ශ්‍රෙෂට වේ., ප්‍රධාන වේ., උතුම් වේ., අධිපති වේ..

                    [ඒ ඛලුපච්ඡාභත්තිකයා විසින් වනාහි බොජුන් පවරාගැනීමෙන් පසු නැවත කැප කරවාගෙන වැළදීම නොකළයුතුය. මේ මෙහි පිළිපදනා විධියි.
                    ප්‍රභේද වශයෙන් වනාහි මෙයද, තුන්ආකාර වේ. එහි උත්කෘෂ්ට තෙමේ පළමු පිඬෙහි පවාරණයක් නැති හෙයින්, එය වළදමින් සිටියදී වෙනත් අහරක් පිළිකෙව් කළහොත් පවාරණය සිදුවන හෙයින් පළමුවන පිඬ වළඳා ඉක්බිති (පළමුව කැප කරවාගත් අහරෙහි වුවද) දෙවන පිඬ අනුභව නොකරයි. මධ්‍යම තෙමේ මෙසේම වෙනත් අහරක් පිළිකෙව් කෙරෙමින් නමුදු පළමුව පවරාගත් බොජුනෙහි දෙවන පිඬ අනුභව කරයි. මෘදුක තෙමේ අසුනෙන් නොනැඟිට සිටිතාක් පිඬු අනුභව කරයි.
                    බොජුන් පවාරණය කිරීමෙන් පසු වෙනත් අහරක් කැපකරවාගෙන වැළඳූ කෙණෙහි මේ තිදෙනාගේම ධුතංගය බිඳේ. මේ මෙහි භේදයයි.
                    ආනිසංස මෙසේය: අමතර බොජුන් වැළදීමේදී සිදුවිය හැකි ඇවැත් දුරුවීමය, කෑදරකමින් දුරුවීමය, පසුව කැප කරවාගෙන වළදනු පිණිස ළඟ තබාගත් ආමිෂයක් නැතිබවය යළි අහර සෙවීමක් නැති බවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුකුල පැවතුම් ඇති බවය යන මේය.
                    පරියෙසනාය ඛෙදං න යාති න කරොති සන්නිධිං ධීරො
                    ඔදරිකත්තං පජහති ඛලුපච්ඡාභත්තිකො යොගී.

                    තස්මා සුගතප්පසත්‍ථං සන්තොසගුණාදිවුද්ධිසඤ්ජනනං
                    දොසෙ විධුනිතුකාමො භජෙය්‍ය යොගී ධුතඞ්ගමිදං”
                    බුද්ධිමත් වූ ඛලුපච්ඡාභත්තික යෝගී තෙමේ (නැවත) ආහාර සෙවීමේ ආයාසයට නොපැමිණේ, අහර රැස්කොට ළඟ තබා ගැනීමද නොකරයි, අහරෙහි ගිජුකම් අත්හරියි.
                    එහෙයින් බුදුන් විසින් පසස්නාලද සතොස් ගුණාදියෙහි වැඩීම ඇතිකරවන මේ ධුතංගය කෙලෙස් දොෂයන් පලවාහරිනු කැමැති රෝගී තෙමේ භජනය කරන්නේය.]

                    AN 05-19-10.
                    පඤ්ච පත්ත පිණ්ඩික සූත්‍රය

                    [පත්ත පිණ්ඩකඞ්ගය – පත්තපිණ්ඩ නම් දෙවනවර පිරිනමන භෝජන ප්‍ර‍තික්‍ෂෙප කොටැ එකම පාත්‍රයෙහි ලබාගත් පිණ්ඩය පමණක් වැලදීමයි. ඒ පත්තපිණ්ඩය හෙවත් එක ම පාත්‍රයෙහි පිඬු ගැන්ම – වැළඳීම යමෙකුගේ සීලය වේ ද හෙතෙම පත්තපිණ්ඩිකය. පත්තපිණ්ඩිකයාගේ අඞ්ගය  පත්ත පිණ්ඩිකඞ්ගය යි.
                    පත්තපිණ්ඩිකංගයද, ‘දුතියකභාජනං පටික්‍ඛිපාමි, පත්තපිණ්ඩිකඞ්ගං සමාදියාමි’ (දෙවන බඳුනක් පිළිකෙව් කරමි, පත්තපිණ්ඩිකංගය සමාදන් වෙමි.) යන මේ පාඨ දෙකින් එකකින් සමාදානය සිදුවේ

                    “මහණෙනි,
                    පත්තපිණ්ඩික වූවාහු පස් දෙනෙක් වෙත්.
                    “කවර පස් දෙනෙක්ද යත්?

                    • නුවණ මඳ නිසා, අනුවන නිසා, අලස නිසා පත්ත පිණ්ඩිකඞ්ගය සීලයක් සේ රකී.
                    • ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේපත්ත පිණ්ඩිකඞ්ගය සීලයක් සේ රකී.
                    • චිත්ත වික්‍ෂෙපයෙන් යුතු ශ්‍රමණයෙක්,පත්ත පිණ්ඩිකඞ්ගය සීලයක් සේ රකී.
                    • බුදුවරයන් විසින්ද පෙර උන් බුද්‍ධ ශ්‍රාවකයන් විසින්ද වර්‍ණනා කරණ ලදැයි පත්ත පිණ්ඩිකඞ්ගය සීලයක් සේ රකී.
                    • ආසා මද බව නිසා, හුදෙකලාවේ සතුටට ඇති කැමැත්ත නිසා, කෙලෙස් අඩුකිරීමට පහසු නිසා, සිතේ සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, පත්ත පිණ්ඩිකඞ්ගය සීලය ක් සේ රකී.
                    • “මහණෙනි, මේ පත්තපිණ්ඩික වූවාහු පස් දෙනෙක් වෙත්.

                      “මහණෙනි, පත්තපිණ්ඩික වූවාවූ මේ පස් දෙනාගෙන් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා පත්තපිණ්ඩික වූවෙක් වේද, මෙතෙම පත්තපිණ්ඩික වූවාවූ පස් දෙනා අතුරෙන් අග්‍ර වේ., ශ්‍රෙෂට වේ, ප්‍රධාන වේ., උතුම් වේ., අධිපති වේ.

                      “මහණෙනි,
                      එලදෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයද සෑදෙන්නේය. ගිතෙල් මණ්ඩය ඒ සියල්ලෙන් අග්‍රයයි කියනු ලැබේ, මහණෙනි, මෙපරිද්දෙන්ම පත්තපිණ්ඩික පස් දෙනාගෙන් අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා පත්ත පිණ්ඩික වූ ශ්‍රමණයා , පත්තපිණ්ඩික පස් දෙනා අතුරෙන් අග්‍ර වේ , ශ්‍රෙෂට වේ, ප්‍රධාන වේ, උතුම් වේ, අධිපති වේ.

                      [එම පත්තපිණ්ඩිකයා විසින් වනාහි හුළුකැන් (කැඳ) බොනවිට භාජනයෙක තබා අවුළුපත් ලදහොත් අවුළුපත් හෝ පළමුකොට බිදිය යුතුය, හුළුකැන් හෝ පළමුකොට පිය යුතුය, ඉදින් එම අවුළුපත් හුළුකැන්හි ලූවහොත් පිලීමසුන් සහිත අවුළු ආදිය ලූ විට හුළුකැන් පිළිකුල් වේ. පිළිකුල් නොවන සේ කොට අනුභව කරනු වටී. එහෙයින් එබඳු වූ අවුළුපත් ගැන සලකා මෙසේ කියනලදි, ‘මී සකුරු ආදී යම් කිසිවක් පිළිකුල් නොවේනම් එය හුළුකැන්හි ලිය යුතුය, පිළිගන්නාවිටද සුදුසු පමණට පිළිගත යුතුය. අතින් ගෙන කෑයුතු අමුරිකිලි පවා එසේ නොකොට පාත්‍රයෙහිම බැහිය යුතුය. දෙවන බඳුනක් පිළිකෙව් කරනලද හෙයින් කොළපතක් තරම් වූද අන් බඳුනක් පරිභෝග කරනු නොවටී’ යනුවෙනි. මේ මෙහි පිළිපදනා විධියි.
                      ප්‍රභේද වශයෙන් වනාහි මොහුද ත්‍රිවිධ වේ. එහි උත්කෘෂ්ටයා විසින් උක්දඬු සැපීමේදී හැර, රොඩු පවා ඉවත දැමීම නොවටී. බත්පිඬු, මත්ස්‍යමාංස, කැවුම් ආදිය පවා අතින් කඩා කෑම නොවටී, මධ්‍යමයා විසින් එක් අතෙකින් කඩා කෑම වටී, මේ තෙමේ හත්‍ථයෝගී’ නමි. මෘදුක තෙමේ ‘පත්තයෝගී’ නමි, ඔහු විසින් පාත්‍රය තුළ බැහිය හැකි සියලුම දෑ අතින් හෝ දතින් කඩා කෑම වටී.
                      මේ තිදෙනාගේම ධුතංගය දෙවන බඳුනක් ඉවසූ කෙණෙහිම බිදේ. මේ මෙහි භේදයයි.
                      ආනිසංස මෙසේයි: නොයෙක් රසයන් කෙරෙහි ඇති තෘෂ්ණාව දුරුවීමය, ආහාරයෙහි ගිජු බව දුරලීමය, ආහාරයෙහි ප්‍රයෝජනය පමණක් දන්නාබවය, තලි තැටි ආදී බඳුන් පරිහරණයෙන් ඇතිවන ගැහැට නැති බවය, නොවිසුරුණු බොජුන් ඇතිබවය, අල්පේච්ඡතාදී ගුණයනට අනුලෝම පැවතුම් ඇතිබවය යන මේය.

                      නානාභාජනවිකෙඛපං – භිත්‍වා ඔක්‍ඛිත්තලොචනො
                      ඛණන්තෙවිය මූලානි රසතණ්හාය සුබ්බතො
                      ,
                      සරූපං විය සන්තුට්ඨිං ධාරයන්තො සුමානසො
                      පරිභුඤ්ජෙය්‍ය ආහාරං කො අඤ්ඤො පත්තපිණ්ඩිකා
                      “.
                      නොයෙක් බඳුන් පරිහරණයෙහි ඇති ගැහැට දුර හැර පහතට නැඹුරු ඇස් ඇතිව රස තෘෂ්ණාවෙහි මුල් උදුරන සෙයින් මනාව්‍රත ඇතිව, මූර්තිමත් සන්තුෂ්ටිය දරමින් මෙන් සොඳුරු සිත් ඇතිව ආහාර අනුභව කරනුයේ පත්තපිණ්ඩිකයා හැර අන් කවරෙක්ද?]

                      ...more
                      View all episodesView all episodes
                      Download on the App Store

                      SINHALA TIPITAKABy