SINHALA TIPITAKA

SN 01-04-02


Listen Later

SN 01-04-02-01 පාසාන සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ ගිජුකුළුපව්වෙහි වසනසේක.
එකල  භාග්‍යවතුන් වහන්සේ ඉතා කළුවර රැයෙක එළිමහනෙහි වැඩහුන්සේක. වැසි පොදද එක දෙක වැටේ.

එකල පාපී මාරයා භාග්‍යවතුන් බිය ගන්වනු කැමැත්තේ. වෙවුලුම කොට ලොමුදැහැගැන්ම ඇතිකරනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ  වැඩ හුන් තැනට  පැමිණ, භාග්‍යවතුන් වහන්සේට නොදුරෙහි මහත් ගල් උගුළුවා පෙරළා ලීය.

එවිට භාග්‍යවතුන් වහන්සේ ’මේ පාපී මාරයා’ යයි දැන ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:

’’මරුව තොප සියලු ගිජුකුළුපව්ව සොලවන්නෙහි නමුදු
මනාව කෙලෙසුන්ගෙන් මිදුනු බුදුවරුන්ගේ සෙලවීමෙක් නැත.’

එවිට පාපී මාරයා ’භාග්‍යවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි දැන
දොම්නස්ව එහිම අතුරුදහන් විය.

[ නිසින්නො පෙර කී පරිදි ම දැහැන් ගනිමින් වැඩ සිටින්නාහු; මාරයා ද උන්වහන්සේ සැපසේ සිටින බව දැන ඔහු ගටන්නෙමි යි අසලට පැමිණියේ වෙයි. පදාළෙසි පර්වත මුදුනෙහි සිට (ගල්) විද්දේ ය. ගල් නිරතුරු ව එකිනෙක තළමින් වැටෙයි.  කෙවලං සියලු සබ්බං ඊට ම සමාන වචනයකි,]

SN 01-04-02-02 සීහ සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලදුව දම් දෙසති.

එකල මාරයාහට මෙබඳු පාපී සිතක් ඇති විය. ’
’ මේ ගෞතම ශ්‍රමණයෝ මහත් පිරිසක් විසින් පිරිවරා ඔවුනට දහම් දෙසයි.
දහම් අසන්නවුන්ගේ නුවණ ඇස කණ කරන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යෙහෙකැ’’ යි සිතා
භාග්‍යවතුන් වහන්සේ දම් දසන තැනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

’’ කිම? පිරිසෙහි සිංහ රජෙකු නිර්භයව නාද කෙරෙහිද?
දනුව, තට සමවූ සතුරෙක් ඇත.
’දිනූයෙකිමි’ යි සිතන්නෙහිද?’’

( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )
’’ලොව ඇල්ම ඇතිකරන තණ්හාව ඉක්මවාලූ,
බල ( දසය ) ලැබූ මහා වීරවූ, තථාගතවරු
පිරිස්හි නොබියව නාද කෙරෙත්මය.
( ඉන් තට කිම? )’’

එවිට පාපී මාරයා
’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

[- විචක්‍ඛුකම්මාය පිරිසේ ප්‍රඥා චක්ෂුසය විනාශ කරනු කැමැත්තෙන්; බුදුවරුන්ගේ ප්‍රඥා චක්‍ෂුසය විනාශ කිරීමට නො හැක්කේ ය. පිරිසේ (චක්‍ෂුසය) පෘථග්ජනයන්ට බිය ජනක අරමුණු ඇස්සවීමෙන් හෝ දැක්වීමෙන් හෝ (විනාශ කිරීමට) හැකි වේ. විජිතාවී නු මඤ්ඤසි “මම විජය ලත් (ජය ලැබූ) අයෙක්මි” යි ඔබ සිතන්නෙහි ද? එසේ නො සිතව, ඔබට ජයක් නැත. පරිසාසු අට පිරිස අතර බලප්පත්තා දශබල බවට පත් වූ (බුදු වෙමි).]

SN 01-04-02-03 සකාලික සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර අසළ මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසනසේක.
එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ ගේ පය ගල් පතුරෙකින් පැහැරුනේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ ගේ ශරීරයෙහි හටගත් දැඩිවූ, රළුවූ, නොමිහිරිවූ, නොමනාවූ මහත් දුක් වේදනා පැවැත්තේය. එහෙත් භාග්‍යවතුන් වහන්සේ ඒ හැම එළඹ සිටි සිහි ඇතිව, නුවණ ඇතිව, නොපෙළමින් ඉවසති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර හතරට නමා එළා ( දකුණු ) පය මත ( වම් ) පය මඳක් ඉක්මවා තබා සිහි නුවණ ඇතිව උතුම් සැතපුමෙන් සැතපුණුසේක.
එවේලෙහි පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ සැතප හුන් යහනට පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

’’සිහි මුළායෙන් නොහොත් කවි බැඳීමට සිත සිතා
කවි බැඳුමෙන් මත්ව නිදන කවියෙකු මෙන් මත්ව නිදන්නෙහිද?
කළයුතු ( අන් ) බොහෝ වැඩ යුෂ්මතාට නැද්ද?
කිසිවෙකු නැති මේ සස්නෙහි මේ කුමට තනිව නිදිබර මුහුණ ඇතිව නිදන්නෙහිද?’’

( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )
මුළායෙකින් නොමනිදමි.
කවි බැඳීමට සිත සිතා කවි බැඳුමෙහි මත්ව නිදනා
කවියෙකු මෙන් මත්ව නිදන්නෙක්ද නොවෙමි.
අර්‍ථයට පැමිණෙන එහෙයින්ම පහවූ ශෝක ඇතිව,
සියලු සතුන්ට අනුකම්පා ඇතිව, කිසිවකු නැති සෙනස්නෙහි තනිව සැතපෙමි.

’’යම් කෙනෙකුන්ගේ පපුවෙහි ( කෙලෙස් ) හුල ඇනුණේද,
එහෙයින්ම සැනෙන් සැනෙන් ළය සැලෙනුයේද,
ඒ ( කෙලෙස් ) හුල් ඇති, ඔහු පවා නිදි ලබත්. එසේ කල්හි
පහවූ සියලු හුල් ඇති මේ මම් කවර හෙයකින් නොනිදම්ද?

’’මම් වූකලී අවදිව ඉඳිමිනුත් සැක බිය නොගනිමි.
නිදන්නට වුවද සැක බිය නැතියෙමි.
රෑ දවල්හු මා නොතවත්.
ලොව කිසිම තැනෙක ( මට ) පිරිහීමක් නොදකිමි.
එබැවින් සියලු සත් වග කෙරේ දයාවෙන් සැතපෙමි.”

එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

[ මන්‍දියා නු මන්දාතිමන්ද (බෙහෙවින් ම මඳ) බවින්, මුළා වූ බවනි; උදාහු කාවෙය්‍ය මත්තො නැතහොත් යම් සේ කවියෙක් කාව්‍යයක් සිතන්නේ ඒ කාව්‍යකරණයෙන් මත් ව නිදයි ද, එසේ නිදන්නෙහි ද? සම්පචුරා බොහෝ, කිමිදං සොප්පසෙව කුමක් හෙයින් නිඳීමක් නිදන්නෙහි ද? අත්‍ථං සමෙච්ච පරමාර්ථයට මැනවින් පැමිණ, සම්ප්‍රාප්ත ව; මට අසංගහ (එක්රැස් නො කිරීම්) නම් වූ හෝ එක්රැස් කර විනාශ වූ හෝ අර්ථයක් නැත සල්ලං තියුණු ආයුධ උලක් (උල් ආයුධයක්) ජග්ගං න සඞ්කෙ යම් සේ සමහරු සිංහයන් යන පාර ආදියෙහි නිදිවරන්නෝ වුව ද සැක කරත් ද එසේ මම නිදිවරන්නේ වුව ද සැක නො කරමි. න පි භෙමි සොත්තුං යම් සේ සමහරු සිංහයන් යන පාරවල නිදා ගැනීමට බිය වෙත් ද, එසේ මම නිදා ගැනීමට ද බිය නො වෙමි. නානුතපන්ති මා මං ආචාර්යවරයාට හෝ අන්තේවාසිකයාට අපහසුතාවක් හටගත් විට උද්දේස කිරීමට විමසීමට සිටි බැවින් රාත්‍රි හෝ දිවා කාල හෝ ගෙවී යන්නේ අන්තේවාසිකයා තවයි (එහෙත්) එසේ මා නො තවයි. මා හට අවසන් නො කළ කිසියම් කාර්යයක් නැත. එහෙයින් ම කී ය: හානිං න පස්සාමි කුහිඤ්චි ලොකෙ (ලොවෙහි කිසි තැනක පිරිහීමක් නො දක්නෙමි) යි.

SN 01-04-02-04 පතිරූප සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසොල් රට ඒකසාල නම් බමුණු ගමෙහි වැඩවසනසේක. එකල භාග්‍යවතුන් වහන්සේ මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසති.
එකල්හි පාපී මාරයාට මේ සිත පහළ විය.

’’මේ ශ්‍රමණ ගෞතමයා මහ ගිහි පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. නුවණැස කණ කරනු පිණිස ශ්‍රමණ ගෞතමයා යම් තැනෙකද, එතැනට පැමිණීම යහපති.’’

ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:

’’ අන්හට අනුශාසනා කෙරුම යුෂ්මත්හට නොවටී.
එය කෙරෙමින් රිසිබැව් නොරිසිබැව් දෙක්හි නොඇලෙව.

( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )
’’ බුදුවරයෙක් ලොවට හිත කැමතියේ,
දයා පතුරුවනුයේ අන්හට අනුශාසන කෙරේද,
තථාගතවූ හෙතෙම රිසි-නොරිසි දෙකින්ම මිදුනෙක.’’

එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි දැන දොම්නස්ව එහිම අතුරුදහන් විය.

[ අනුරොධවිරොධෙසු රාග ද්වේෂයන්හි, මාසජ්ජිත්‍ථො තදාචරං මෙසේ ධර්මකථාහි හැසිරෙමින් නො ලගින්න, ධර්ම කථා පවත්වන්නහුට සමහරු සාධුකාර දෙත්. ඒ කෙරෙහි රාගය උපදී. සමහරු නො සකස් ව ඇහුම්කන් දෙති. ඒ කෙරෙහි ද්වේෂය උපදී. මෙසේ ධර්මකථිකයා රාග ද්වේෂවල යෙදේ නම් ඔබ එසේ නො යෙදෙන්න යි පවසයි. යදඤ්ඤමනුසාසති ‘යං අඤ්ඤං අනුසාසති’ (යම් වෙනත් කෙනෙකුට අනුශාසනා කරයි ද) ඔහුට සම්බුද්ධො හිතානුකම්පී යහපත පාමින් අනුකම්පා කරයි. යම් හෙයකින් හිතානුකම්පී වේ ද, එහෙයින් අනුරොධවිරොධෙහි විප්පමුත්තො තථාගතො (තථාගත තෙමේ රාග ප්‍රතිඝ දෙකින් විශේෂයෙන් මිදුනේ ම ය.)

SN 01-04-02-05. මානස සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.

එකල පාපී මාරයා භාග්‍යවතුන් වෙත පැමිණ, භාග්‍යවතුන්ට ගාථායෙන් මෙසේ කීය:

’’ අහසින් යන්නවුන් පවා බැඳගන්නා,
සිත පහළවන යම් රාග මල පුඩුයෙක් ලොව නැත්තේද,
එයින් තා පෙළා බැඳගන්නෙමි. මහණ,
තෝ මගෙන් නොමිදෙන්නෙහිය.’’


( භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක: )
’’ ඇදගන්නාවූ රූප, ශබ්ද, ගන්‍ධ, රස හා
කය හැපෙන දේ යන පස්කම් කෙනෙක් වෙද්ද,
එහි ඇල්ම පහව ගියේය. මාරය තෝ නැසුනෙහිය.’’
එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි දැන දුක් දොම්නස්ව එහිම අතුරුදහන් විය.

[අහසෙහි සැරිසරන විට වුව ද බැඳෙතියි අන්තලික්‍ඛ චරො පාසො රාග බැම්ම (තොණ්ඩුව), මානසො මන සම්ප්‍රයුක්ත (සිත්හි හටගත්).

SN 01-04-02-06 පත්ත සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ තණ්හා පස පිළිබඳව භික්‍ෂූන්ට කරුණු දක්වනසේක.
එහි සැටි ආදිය ඔවුන් සිකෙහි ගන්වනසේක.
ඔවුන් උනන්‍දු කරන සේක.
ඔවුන් අවබෝධකළ ගුණ වණා ඔවුන් සිත ප්‍රීති කරවනසේක.
ඒ භික්‍ෂූහු එය වැඩ ඇති දෙයක් කොට ගෙන සිතෙහිලා, මුළු සිතින් එය එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්.

එකල්හි පාපී මාරයාහට මේ සිත ඇතිවිය.
’’ශ්‍රමණ ගෞකමයෝ උපාදානස්කන්‍ධ පස ගැන භික්‍ෂූන්ට දැහැමි කථායෙන් කරුණු දක්වයි. ඒ ඔවුන් සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්‍දුකරයි. ඔවුන් සිත ප්‍රීති කරයි. ඒ භික්‍ෂූහුද එයට කැමතිව ඒ සිත්හිලා මුළු සිතින් එක්කොටගෙන යොමුකළ කන් ඇතියෝව බණ අසත්. ඔවුන්ගේ නුවණැස කණ කරලන්නට ශ්‍රමණ ගෞතම යන් දෙසනා කරන තැනට ගොස් ඒ භික්ෂුන් සිත් අවුල් කරමි”යි සිතුහ.’’

එකල බොහෝ පාත්‍රා සෝදා වේලනු පිණිස එළිමහණෙහි තබන ලද්දෝය.
එවිට පාපී මාරයා ගොන් වෙසක් මවාගෙන ඒ පාත්‍ර තිබුණු තැනට පැමිණියේය.
එවිට එක්තරා භික්‍ෂුවක් අන් භික්‍ෂුවකට
’’මහණ, මහණ, අර ගොනා පාත්‍ර බිඳී’’ යි කීය.

ඒසේ කීකල භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුහට
’’භික්‍ෂුව, ඒ ගොනෙක් නොවේ, පාපී මාරයාය.
තොප නූවනැස් කණ කරන්නට ආයේය.’’ යි වදාළසේක.

ඉක්බිති ’මේ පාපී මාරයා’ යි දැන භාග්‍යවතුන් වහන්සේ ඔහුට ගාථායෙන් මෙසේ වදාළසේක:

’’ රූප, වේදනා, සංඥා, විඥාන සහ යම් සංස්කාර කෙනෙක් ඇද්ද,
ඒ මේ පඤචකන්‍ධය ’’මම් නොවෙමි’’ ’මෙය මාගේ නොවේයැ’ යි
නුවණින් දක්නේ මෙසේ එහි ඇල්ම හරී.

’’මෙසේ නොඇලුණු, උවදුරින් මිදුණු ආත්මභාවය ඇති,
සියලු භව බැඳුම් ( සංයෝජන ) ඉක්මවා සිටි ඒ රහත්හු
මරසෙන් පවා හැම තන්හිම සොයනුයේ නුමුදු ඔහු නොම දක්නේය.’’

එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි දැන දොම්නස්ව එහිම අතුරුදන්විය.

පඤ්චන්නං උපාදානක්‍ඛන්‍ධානං උපාදාය පංච උපාදානස්කන්ධ ගෙන; ස්වභාව, සාමාන්‍ය ලක්ෂණ වශයෙන් නානා ප්‍රකාර ලෙස බෙදා දක්වන්නේ, සන්‍දස්සෙති ස්කන්ධයන්ගේ ස්වභාව ලක්ෂණ ආදිය දක්වයි. සමාදපෙති ග්‍රහණය කරවයි. සමුත්තෙජෙති සමාදානයෙහි (ගැනීමෙහි) උත්සාහය ඇති කරවයි. සම්පහංසෙති ප්‍රතිවේධ ගුණයෙන් පිරිසිදු කරවයි. බබළවයි. අට්ඨිකත්‍වා අර්ථවත් (වැඩ ඇත්තක්) කොට, මේ නම් පැමිණිය යුතු (ප්‍රතිවේධ කළ යුතු) අර්ථයකැයි මෙසේ සලකා ඒ දේශනාව ප්‍රයෝජනවත් යයි සිතා මනසිකත්‍වා සිතේ තබා සබ්බචෙතසො සමන්නාහරිත්‍වා ඒ සියලු ක්‍රියා කාරක සිතින් එකට ගෙන ඔහිතසොතා තැබූ (යොමු කළ) කන් ඇති ව (කන් යොමා); අජ්ඣොකාසෙ නික්‍ඛිත්තා වේලීම පිණිස තැබූ;
රූපං වෙදයිතං සඤ්ඤං රූප ආදි මේ ස්කන්ධ තුන; යඤ්ච සංඛතං මෙයින් සංස්කාර ස්කන්ධය ගන්නා ලදි. එවං තත්‍ථ විරජ්ජති මෙසේ ඔහු මම නො වෙමි; මෙය මගේ නො වේ යි දකිමින් මෙසේ ඒ ස්කන්ධ කෙරෙහි නො ඇළෙයි. ඛෙමත්තං ක්‍ෂේම බවට පත් වූ ආත්මභාවය, මෙයින් ඵල ලක්‍ෂණ දක්වයි. අන්‍වෙසං භව, යෝනි, ගති, ඨිති, සත්ත්වාස සංඛ්‍යාත සියලු ස්ථානවල සොයමින් නාජ්ඣගා නො දැක්කේ ය.

SN 01-04-02-07. ආයතන සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර අසල මහා වනයෙහි කූටාගාරශාලා නම් වෙහෙර වැඩවසනසේක.

එකල භාග්‍යවතුන් වහන්සේ ස්පර්‍ශායතන සය ගැන මහණ සමූහයාට දැහැමි කථායෙන් කරුණු දක්වනසේක. ඒ ඔවුන් සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දුකරනසේක. ඔවුන් සිත පහදවනසේක. ඒ මහණ සමූහයාද ඒ වැඩ ඇති දෙයක් කොටගෙන, සිත්හි ලා, මුළු සිතින් ඒ එක්කොටගෙන කන් යොමා බණ අසත්.

එකල පාපී මාරයාට මේ සිත විය.
’’ශ්‍රමණ ගෞතම තෙම ස්පර්‍ශායතන සය ගැන දහම් කථාවෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. ඒ ඔවුන් සිත්හි ගන්වයි. එහි ඔවුන් උනන්දුකරයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ ඝික්‍ෂූහුද එයට කැමතිව සිත්හි ලා මුළු සිතින් එක්කොටගෙන කන් යොමා අසන්නාහ. ඔවුන් නුවණැස් කණකරලන්නට ශ්‍රමණ ගෞතමයන් කරා ගියොත් යහපත.’’

ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ ධර්ම දේසනා කල තැනට පැමිණ, භාග්‍යවතුන් නොදුරෙහි පොළොව පැළී යන කලක් සෙයින් මහා භයානක හඬක් කෙළේය.
එවිට එක්තරා මහණෙක් අන් මහණෙකුට ’’මහණ, මහණ. මේ පොළොව පැළී විවරවන්නා සේය’’ යි කීය.

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට
’’මහණ, මෙය පොළොව පැළී යන්නා නොවේ.
මේ පාපී මාරයාය. ඔහු තොප නුවණැස් පියවාලන්නට ආයේය’’ යි වදාළසේක.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ’මේ පාපී මාරයාය’ යි දැන ඔහුට ගාථායෙන් මෙය වදාළසේක:

’’රූපයද, ශබ්දයද, ගන්‍ධයද, කය හැපෙන දේද,
සිතෙහි අරමුණුද, යන මේ හැම නපුරු ඇමය
ලෝ වැස්සා මෙහි දැඩිසේ ඇලී ගියේය.’’

’’බුදුහුගේ සිහි ඇති ශ්‍රාවකයා මේ ( ආයතන සයද ) ඉක්මවා,
මාරයාට ස්ථානයවූ මේ (තුන් භවයද) පසුකොටලා,
සූය්‍යර්‍යා මෙන් බැබළෙයි.’’

එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි
සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය

සත් වැන්නේ – ඵස්සායතනානිං සඤ්ජාති – සමෝසරණ අර්ථයෙන් ඡද්වාරික වූ (දොරටු සයකට අදාළ) ස්පර්ශයන්ගේ ආයතනවල (ආයතන හයේ) භයභෙරවසද්දං මේඝ ගර්ජනා – විදුලිය කෙටීම් ශබ්ද හා සමාන බිය ගෙන දෙන ශබ්ද, පඨවීමඤ්ඤෙ උද්‍රීයති මේ මහා පෘථිවිය පට පට ශබ්දය නගන්නාක් මෙන් විය. එත්‍ථ ලොකොධිමුච්ඡිතො මේ ආරම්මණ හයෙහි ලෝකය (මිනිස්සු) බෙහෙවින් මූර්ඡා වූයේ, මාරධෙය්‍යං මාරයා සිටින තැන, ත්‍රෛභූමක සංසාර පැවැත්ම.

SN 01-04-02-08 පිණ්ඩ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධරට පඤචසාලා නම් බමුණුගම වැඩවසනසේක.
එකල පඤචසාලා බමුණුගම කුමරුවන්ගේ පඬුරු කෙනෙක් වෙත්. (තුටු පඬුරු එළවන සැණකෙළියෙක් වේ.) එකල භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පෙරෙව පාත්‍ර සිවුරුගෙන එගමට පිඬු පිණිස වන්සේක.

එකල අද ශ්‍රමණ ගෞතමයන්ට පිණ්ඩය ලැබීම වලකමි”යි සිතා පඤචසාලා බමුණුගම වැසි බමුණන්ටත් ගෘහපතියන්ටත් ’ශ්‍රමණ ගෞතම තෙම පිණ්ඩපාතය නොලබාවා’ යි සිතා ආවේශ විය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතයේ වැඩ කිසිවක් නොලබා සේදූ පාත්‍රයෙන් යුතුව යම්සේ එගමට පිඬු පිණිස වැඩිසේක්ද, එසේම සේදූ පමණක්මවූ හිස් පාත්‍රයෙන් යුතුව ආපසු වැඩිසේක.

ඉක්බිති පාපී මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ,
’’මහණ, පිණ්ඩපාතය ලද්දෙහිදැ’’ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
’’පාපී මාරය, මා පි්ඩු නොලබන ලෙසක් තෝ කෙළෙහි නොවේද?’’
ස්වාමීණි ,
එසේනම් භාග්‍යවතුන් වහන්සේ දෙවෙනි වරෙකද පඤචසාලා බමුණුගමට පිඬුපිණිස පිවිසෙන සේක්වා. යම්සේ භාග්‍යවතුන් වහන්සේ පිඬු ලබනසේක් වන්නෝද, ඒ සැටි කරන්නෙමි.’’යි කීය.

එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
’’මාරතෙම තථාගතයන් වහන්සේ ගටා පව් රැස්කරගත.
පවිට, තෝ ’මට පව් පල නොදෙතැ’ යි සිතහිද?
එසේ නොසිතව.

’’බලව, යම්බඳු අපට කිසි හිරිහැරයක් නැද්ද,
ඒ අපි ඉතා සුවසේ ජිවත්වම්හ.
ආභස්සර දෙවියන් සේ ප්‍රීතියම ආහාරකොටැති වන්නෙම්‍ර,’’

එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

පාහුණකානි භවන්ති ඒ ආකාරයේ නැකැත් දිනක ඒ ඒ තැනට යැවිය යුතු තුටු පඬුරු වේ. ආගන්තුක තටුපඬුරු යැවීම හෝ (වේ); මේ උත්සව දිනකැයි තමන් ම දැන සම වයස, ජාති, ගෝත්‍ර ඇති කුමාරවරු ඒ ඒ තැනින් එක්රැස් වෙති. කුමාරිකාවෝ ද තම තමන්ගේ වත්කම් අනුව අලංකාර වී ඒ ඒ තැන සැරිසරති. එහි කුමාරිකාවෝ ද කැමති පරිදි කුමාරවරුනට තුටු පඬුරු යවති. කුමාරවරුද කුමාරිකාවනට (යවති); වෙනත් කිසිවක් නොමැති කල යටත් පිරිසෙයින් මල් පොකුරක් හෝ දමත්. අන්‍වාවිට්ඨා ඇතුළු වුනාහු (ආවේශ වූවාහු), ඒ දිනයේ කුමාරිකාවෝ පන්සියයක් උයන් කෙළියට යන්නෝ අතර මග බුදුන් වහන්සේ දැක උත්සව කැවිලි දෙන්නාහ. උන්වහන්සේ ඔවුනට දානානුමෝදනා වශයෙන් ප්‍රකීර්ණක ධර්ම දේශනාවක් දෙසන්නාහ, දේශනාව අවසානයේ සියලු ම දෙනා සෝවාන් ඵලයෙහි පිහිටන්නාහ. මාරයා ඔවුන්ගේ සම්පත්තියට අනතුරක් කරන්නෙමැයි ඇතුළු විය. පාළියෙහි මා සමණො ගොතමො පිණ්ඩමලත්‍ථ (ශ්‍රමණ ගෞතමයෝ පිඬු නො ලබත්වා) යි මෙපමණක් ම කියන ලදි,]

[කිම බුදුන් වහන්සේ මාරයාගේ පෙළඹවීම නො දැන ම (පිඬු පිණිස) ප්‍රවේශ වූවෝ ද? එසේ ය. නො දැන ම ය, මක් නිසා ද? ආවර්ජනය නො කිරීම නිසා ය. බුදුන් වහන්සේලා අසුවල් තැන බත් (දන්) ලබන්නමෝ ය නො ලබන්නමෝ යයි ආවර්ජනය කිරීම නුසුදුසු ය. ප්‍රවිෂ්ට ව, මිනිසුන්ගේ සිරිත් බිඳීම දැක, මේ කිමදැයි ආවර්ජනය කරන සේක්. දැන, ආමිෂය හේතුවෙන් මාරයාගේ පෙළඹවීම විඳීම ද නුසුදුසු යයි එය නො බිඳ ම පිටත් ව ගියහ.උපසඞ්කමි අමිත්‍ර විජයෙන් (සතුරා ජය ගැනීමෙන්) මෙන් සතුටු වූයේ මුළු ගමෙන් හැන්දක් පමණ වත් බත් නො ලබා ගමෙන් පිටවන භාග්‍යවතුන් වහන්සේ වෙත ගමේ මිනිසකුගේ වේශයෙන් පැමිණියේය. තථාහං කරිස්සාමි ඔහු මේ බොරුව කියයි. ඔහුට මෙසේ සිතිනි. මා විසින් මෙසේ කියන ලද කල්හි යළි (ගමට) ඇතුළු වන්නේ ය. එවිට එහුට ගමේ දරුවෝ මුළු ගමේ ම ඇවිද හැන්දක අහරක් වත් නො ලබා ගමෙන් පිට ව ගොස් නැවත පැමිණියෙහි’යි ආදිය කියා බැණ වදින්නෝ ය’ යි. භාග්‍යවතුන් වහන්සේ ඉදින් මොහු මා මෙලෙස වෙහෙස කරවන්නේ මොහුගේ හිස සත් කඩකට පැළෙන්නේ යයි ඔහුට අනුකම්පාවෙන් නො පිවිස ම ගාථා දෙක පැවසූ සේක.
එහි පස්වී ඇති කළෙහි ය. ජනිත කළෙහි ය. ආසජ්ජ හිරිහැර කොට, ගටා; න මෙ පාපං විපච්චති මගේ පව් නො පැසවයි ද, මෙය නිෂ්ඵල ය. කිම ඔබ මෙලෙස සිතන්නෙහි ද? ඔබ විසින් කරන ලද පාපයට ඵලය්ක (විපාකයක්) ඇත යන්න දක්වයි. කිඤ්චනං මර්දනය කිරීමට සමත් රාගාදි කෙලෙස් හටගැනීමක් ආභස්සරා යථා යම් සේ ආභස්සර දෙවියෝ සප්‍රීතික ධ්‍යානයෙන් යැපෙන්නාහු ‘ප්‍රීති භක්ෂක’ (ප්‍රීතිය අනුභව කරන්නාහු) නම් වෙත් ද එසේ වන්නෙමි.]

SN 01-04-02-09. කස්සක සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ මහණ සමූහයාට නිවන් පිළිබඳවූ දහම් කථායෙන් කරුණු දක්වනසේක. කරුණු සිතෙහි ගන්වනසේක. එහි ඔවුන් උනන්දු කරවනසේක. ඔවුන් සිත ප්‍රීතිකළසේක. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතිව බණ අසත්.


එවිට පාපී මාරයාට මේ අදහස විය.
’’ මේ ශ්‍රමණ ගෞතමයා නිවන් පිළිබඳවූ දහම් කථායෙන් මහණ සමූහයාට කරුණු දක්වයි. කරුණු සිතෙහි ගන්වයි. එහි ඔවුන් උනන්දු කරවයි. ඔවුන් සිත ප්‍රීතිකරවයි. ඒ මහණ සමූහයාද එයට කැමැතිව, සිත්හි ලාගෙන, මුළු සිතින්ම එක්කොටගෙන යොමාලූ කන් ඇතියෝව බණ අසත්.

[ නිබ්බාණපටිසංයුත්තාය නිර්වාණය ගෙන හැර පාමින් පවත්වන ලද; හටහට, මම චක්‍ඛුසම්ඵස්ස විඤ්ඤාණායතනං චක්‍ඛුවිඤ්ඤාණයෙන් යුක්ත වූයේ චක්‍ඛු සම්ඵස්සයත් විඤ්ඤාණායතනයත් මගේ ම ය යි. මෙහි ද චක්‍ඛු සම්ඵස්සයෙන් විඤ්ඤාණ සම්ප්‍රයුක්ත ධර්ම ගන්නා ලදි. විඤ්ඤාණායතනයෙන් සියලු චක්‍ඛු ද්වාරයෙහි උපන් ආවර්ජනාදි විඤ්ඤාණ (ගන්නා ලදි). සොතද්වාර ආදියේ ද මේ න්‍යාය ම ය. මනෝ ද්වාරයෙහි මනො ආවර්ජන සහිත භවාංග සිත ය. ධම්මා ආරම්මණ ධර්ම ය. මනොසම්ඵස්සො ආවර්ජනා සහිත භවාංග සම්ප්‍රයුක්ත ඵස්සය විඤ්ඤාණායතනං ජවනචිත්තය යි. තදාරම්මණය ද ගැලපේ.

ඔවුන් නුවණැස් අවුරනු සඳහා මහණ ගොහුම්හු කරා යන්නෙම් නම් යෙහෙක.’’

පාපී මාරයා ගොවි වෙස් ගෙන, මහ නගුලක් කරෙහි තබාගෙන, දික් කැවිටි ලීයක් අතින් ගෙන, ඉදිරිපස කෙස් පසුපසටත් පසුපස කෙස් ඉදිරිපසටත්, වම්පස කෙස් දකුණටත්, දකුණු පස කෙස් වමටත් විහිදුවා විහිදුවා විසුරුණු (අවුල් වුණු) කෙස් ඇතිව, හණ රෙද්දක් පොරවාගෙන, මඩ වැකුණු පයින් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට පැමිණ.
’’මහණ, මගේ ගොනුන් දුටුයෙහිදැ’’ යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.

’’පව්කාරය, තට ගොනුන්ගෙන් කවර වැඩෙක්ද?’’
’’මහණ, ඇස මගේමය, රූප මගේමය, ඇස හා රූපයාගේ පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මහණ, කණද මගේමය, හඬද මගේමය, කණ හි හඬෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? නැහැය මගේමය, ගඳද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? දිව මගේමය, රසද මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? කයද මගේමය, එහි හැපෙන දේත් මගේමය, ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණයද මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් මිදෙන්නෙහිද? මනස මගේමය, දහම් අරමුණුත් මගේමය. ඒ දෙකෙහි පහසින් උපදනා විඤඤාණායතනයත් මගේමය. එසේ කල මහණ, කොහි ගොස් මගෙන් ගැලවෙන්නෙහිද?

(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
’’පව්කාරය, ඇස තගේමය, රූප තගේමය, ඇස හා රූපයෙන් හටගන්නා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි ඇසත් නැත්නම්, රූපයත් නැත්නම්, ඇස් පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.
’’පව්කාරය, කණද තගේමය, ශබ්දයද තගේමය, කණ හා ශබ්දයෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි කණත් නැත්නම්, ශබ්දයත් නැත්නම්, කණෙ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තාගේ ගමනෙක් නැත.
’’පව්කාරය, නැහැය තගේමය, ගඳ තගේමය, නැහැය හා ගඳෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි නහැයත් නැත්නම්, ගඳත් නැත්නම්, ගඳෙන් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.
’’පව්කාරය, දිව තගේමය, රසත් තගේමය, දිව හා රසෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම්තැනෙක වනාහි දිවත් නැත්නම්, රසත් නැත්නම්, දිවේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම්, එහි තගේ ගමනෙක් නැත.
’’ පව්කාරය, සිත තගේමය, සිත් අරමුණු තගේමය, සිත හා සිත් අරමුණෙන් උපදනා විඤඤාණායතනයද තගේමය. පව්කාරය, යම් තැනෙක වනාහි සිතත් නැත්නම් සිත් අරමුණුත් නැත්නම් සිතේ පහසින් උපදනා විඤඤාණයත් නැත්නම් එහි තාගේ ගමනෙක් නැත.

තවෙව පාපිම චක්‍ඛුං ලොවෙහි යම් තිමිරකාච* ආදියෙන් උපද්‍රවයට පත් නොයෙක් රෝගවලට ආයතනයක් වූ, උපක්‍රමික විපාකාදියෙන් යටත් පිරිසෙයින් කණ ඇසක් පවා වේ ද? ඒ සියල්ල තොපට ම වේවා, රූප ආදිය ගැන ද මේ න්‍යාය ම ය.


( එවිට මාරයා මෙසේ කීය: )
’’යමෙකුට ’මෙය මගේය’ යි කියත්ද, යම් කෙනෙක්, ’මෙය මගේය’
යි කියත්ද, එතන්හි ඉදින් ඔබගේ සිත ඇත්තේනම්, මහණ, ඔබට මගෙන් මිදීමෙක් නැත.’’
(බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළසේක.) ’’ යමෙක් ’මෙය මගේය’ යි කියත්ද, ඒ කිසිත් මගේ නොවේ, යම් කෙනෙක් හෝ ’මෙය මගේය’ යි කියත්ද, මම ඒ කිසිවෙකුත් නොවෙමි. පාපිය, කාරණය මෙසේ දනුව. මා ගිය මාර්‍ගයවත් තෝ නොදත්තෙහිය.’’
එවිට පාපී මාරයා ’භගවත්හු මා දනිති. සුගතයෝ මා හඳුනති’ යි සලකා දුක් දොම්නස් වැද එහිම අතුරුදන්විය.

යං වදන්ති යම් භාණ්ඩයක් වේ ද එය මාගේ යයි යම් කෙනෙක් පවසත් ද? යෙ වදන්ති මමන්ති ච යම් කෙනෙක් ‘මගේ’ යි පවසත් ද, එත්‍ථ චෙ තෙ මනො අත්‍ථි මේ ස්ථානවල ද ඉදින් සිතක් වේ ද, න මෙ සමණ මොක්‍ඛසි ශ්‍රමණය, මගේ ආධිපත්‍යයෙන් නො මිදෙන්නෙහි, යං වදන්ති යමක් භාණ්ඩයකැයි කියත් ද එය මගේ නො වේ. යෙ වදන්ති යම් කිසි කෙනෙක් මෙසේ කියත් ද ‘ඔවුන්’ මම නො වෙමි. න මෙ මග්ගම්පි දක්‍ඛසි භව යෝනි ගති ආදියෙහි මා ගිය මග ද නො දන්නෙහි.

SN 01-04-02-10. රජ්ජ සුත්‍රය

මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්රට හිමවත පැත්තේ අරණ්‍ය කුටියක වැඩවසනසේක.
එකල්හි තනිව විවේකයෙන් සිටියාවූ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කල්පනාවෙක් විය.
’’ අනුන් නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකරමින්, ශෝක නොකරවමින්, දැහැමෙන් රජය කරවත හැකිද?’’

[ අහනං අඝාතයං නො නසමින් නො නසවමින් අජිනං අජාපයං අනුනට ධන හානිය නො කරමින්, නො කරවමින්, අසොචං අසෝචාපයං ශෝක නො කරවමින් ශෝක නොකරවමින්; මෙසේ භාග්‍යවතුන් වහන්සේ අධාර්මික රජවරුන්ගේ විජිතයෙහි දඬුවම් කරන්නවුන් විසින් පෙළනු ලබන මිනිසුන් දැක කාරුණික ලෙස මෙසේ සිතූහ.

[ උපසඞ්කමි ශ්‍රමණ ගෞතමයෝ රාජ්‍යය කරවීමට සමත් නොවෙත් දැයි සිතී ය. රාජ්‍යය කරවීමට කැමැති වනු ඇත. රාජ්‍යය යන මෙය ද ප්‍රමාදයට හේතුවකි. රාජ්‍යය කරවන විට ඉඩක් ලැබෙනු ඇත. උත්සාහයක් ඇති කරවන්නෙමි යි සිතා ළඟට පැමිණියේ ය. ඉද්ධිපාදා සමෘද්ධිමත් වන ධ්‍යාන කොටස්, භාවිතා වර්ධනය කරන ලද, බහුලීකතා නැවත නැවත කරන ලද, යානීකතා (භාවිතයට) යොදන ලද යානයක් ලෙස කරන ලද, වත්‍ථුකතා ප්‍රතිෂ්ඨා අර්ථයෙන් – පදනමක් කොට ගත්, අනුට්ඨිතා අත් නො හරින ලද, නිතර පවත්වන, පරිචිතා සතතයෙන් කිරීම මගින් බෙහෙවින් පුරුදු කරන ලද – දුණුවායාගේ නො වරදින විදීම් සහිත වූ අත් මෙන්, සුසමාරද්ධා මැනවින් ආරම්භ කොට පරිපූර්ණ ව භාවනා කරන ලද අධිමුච්චෙය්‍ය සිතන්නේ නම්,


පාපී මාරයා, භාග්‍යවතුන් වහන්සේගේ සිතෙහි කල්පනාව තම සිතින් දැන, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

, ’’ස්වාමීනි, නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා ’’

එවිට භාග්‍යවතුන් වහන්සේ
’’ පාපිය, ’නොනසමින්, නොනස්වමින්, නොදිනම්න්, නොදිනවමින්, ශෝක නොකෙරෙමින්, ශෝක නොකරවමින්, භාග්‍යවතුන් වහන්සේ දැහැමෙන් රජය කරවනසේක්වා’ යි මට මෙසේ කියන්නට තෝ කවර කරුණක් දන්නෙයිදැ? ’’ යි කීහ.

ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඎද්ධිපාද සතර වඩන ලදහ. බහුල කරන ලදහ. යෙදූ යානයක්සේ කරන ලදහ. තහවුරුකොට තම සිත පිහිටුවන ලදහ. නොහැර නිතර තමා කෙරෙහි පවත්වන ලදහ. පුරුදුකරන ලදහ. මැනැවින් සම්පූර්‍ණකරන ලදහ. ඉදින් භාග්‍යවතුන් වහන්සේ කැමතිනම් ’හිමාලය පර්‍වතය රන් ගොඩක්ම වේවා’ යි සිතුවහොත් ඒ පර්‍වතය රන් ගොඩක්ම වන්නේය.’’ යි ( මාරයා කීය. )

( එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.)
’’ රනින්ම නිමියාවූ රන් ගොඩක්මවූ එක පර්‍වතයක් තබා
එමෙන් දෙගුණයක් මහත් පර්‍වතයක් වුවද,
එය එක් පුරුෂයෙකුට සිතට නොසෑහේ.
මෙසේ මෙකරුණ දන්නා නුවනැත්තේ සමව හැසිරෙන්නේය.

’’යම් පස්කම් හේතුයෙන් දුක් පහළවේයයි යමෙක් මෙසේ දුක දුටීනම්,
ඒ සත්තෙම කෙසේනම් එකී පස්කම්හි නැමෙන්නේද?
නුවණැති පුද්ගලතෙම ’පස්කම් ලෝකයෙහි සිත බැඳෙනා දේය’ යි දැන
එය දුරුකිරීම පිණිස හික්මියයුතු.’’

එවිට පාපී මාරයා ’බුදුරජහු මා දැනගති. සුගතයෝ මා දැනගති’ යි සලකා දුක්ව නොසතුටුව එහිම අතුරුදන්විය.

[පබ්බතස්ස පර්වතයක් වන්නේ නම්, ද්විත්තාව එක් පර්වතයක් තිබේවා, දෙගුණයක් ම දක්වා මහත් වූ ස්වර්ණ පර්වතයක් (වුව) එක් පුද්ගලයකුට මදි ය. නො සෑහේ යන අරුත යි. ඉති විද්වා සමං චරෙ මෙසේ දනිමින් සම ව හැසිරෙන්නේ ය. යතො නිදානං දුක නම් පඤ්චකාම ගුණ හේතු කොට ගෙන (පහළ) වේ. එය ‘යමක් නිදානය කොට වේ ද’ එසේ යමෙක් දැක්කේ ද? තථං නමෙය්‍ය ඒ සත්ත්වයා දුකට හේතු භූත වූ කාමයන් කෙරෙහි කුමන කරුණකින් නැමෙයි ද? උපධිං විදිත්‍වා කාම ගුණ උපධි (කෙළෙස්) එය “සංග” (ඇල්ම) ය. එය ‘ලග්ගන’ (එල්ලීම-ඇලීම)” යයි මෙසේ දැන, තස්සෙව ජන්තු විනයාය සික්‍ඛෙ ඒ උපධියේ ම දුරලීම පිණිස උගන්නේ ය.

...more
View all episodesView all episodes
Download on the App Store

SINHALA TIPITAKABy