Sign up to save your podcasts
Or

SN 02-01-06-01. පරිවීමංසමාන සූත්‍රය
SN 02-01-06-02. උපාදාන සූත්‍රය
SN 02-01-06-03. සංයෝජන සූත්‍රය 1
SN 02-01-06-04. සංයෝජන සූත්‍රය 2
SN 02-01-06-05. මහාරුක්ඛ සූත්‍රය 1
SN 02-01-06-06. මහාරුක්ඛ සූත්‍රය 2
SN 02-01-06-07. තරුණ රුක්ඛ සූත්‍රය
SN 02-01-06-08. නාමරූප සූත්‍රය
SN 02-01-06-09. විඤ්ඤාණ සූත්‍රය
SN 02-01-06-10. නිදාන සූත්‍රය
නිර්වාණය අපේ අරමුණය. ඒ පිණිස කලයුත්තේ යලි ඉපදීමට හේතුවන කරුණු කාරණාවලින් වෙන් වීමය. හේතු ඵල ධර්මය ලෙස මේ දැක්වෙන්නේ සත්වයාගේ මනසේ මේ භවය පිණිස ඇතිවනු පිණිස කර්ම ඵල ඇතිවන ආකාරයය. මේ ගාම්භීර පටිච්ච සමුප්පාද ධර්මය හඳුන්වා දීම සංයුක්ත නිකායේ, දුක්ඛ සංයුක්ත යේ ඇති මේ සුත්‍ර දහයෙන්ම සිදුවේ.
SN 02-01-06-01.
පරිවීමංස මාන සූත්‍රය
[“ජරාමරණ නිරෝධ සාරුප්පගාමිණි ” යනු “ජරාමරණ දෙකේ නිරුද්ධ වීමට සමාන ස්භාවයෙන් නිකෙලෙස් බව පිණිස, පිරිසිදු බව පිණිස, සමානව යන්නා වූ ප්‍රතිපදාව” යන අර්ථයි.
“තථා පටිපන්නො ච හොති” යම්සේ ඊට අනුකූල වූයේ යැයි කියනු ලැබේ එසේ පිළිපන්නේ වේ.
“අනුධම්මචාරී” යනු නිර්වාණ දහමට අනුගත වූ ප්‍රතිපත්ති දහමෙහි හැසිරෙයි. එය සම්පූර්ණ කරයි යන අර්ථයි.
“දුක්ඛක්ඛයාය පටිපන්නො” යනු සීලය මුල් කරගත් ජරාමරණ දුකෙහි නිරුද්ධ වීම පිණිස පිළිපන් යනුයි.
“සංඛාර නිරොධාය” යනු සංස්කාර දුකෙහි නිරෝධය පිණිසය. මෙපමණෙකින් රහත් බව දක්වා දේශනාව සිදුකරන ලදී. දැන් රහත් ඵල ප්‍රත්‍යවේක්ෂණයත්; නිරන්තර වාසයත් දක්වා දේශනාව නැවැත්විය යුතු වුවත් එසේ නොකර “අවිජ්ජාගතො…” යනාදී වශයෙන් මෙය කුමක් හෙයින් දක්වන ලද්දේ ද?
රහතන් වහන්සේගේ ඉක්මවන ලද සසර පවත්නා දුක දැක්වීම් වශයෙනි. තවද නැවත සසර පැවතීම් ආකාරයෙන් ආරම්භ කර, සසර නැවැත්ම දේශනා කරන කල්හි අවබෝධ කරගත හැකි පුද්ගලයෙක් මෙහි ඇත. ඔහුගේ අදහස වශයෙන් මෙය දක්වන ලදැයි දතයුතුයි.
එහි “අවිජ්ජාගතො” යනු අවිද්‍යාව පැමිණි, එළඹි, ඊට බැසගත්, අවිද්‍යාවෙන් යුක්ත යනුයි.
“පුරිසපුග්ගලො” පුරුෂයාම පුද්ගලයා වේ. මේ වචන දෙකින්ම සම්මුති දේශනාව කියවේ. බුදුවරුන්ගේ සම්මුති දේශනාව හා පරමාර්ථ දේශනාව වශයෙන් දේශනා දෙකකි. එහි සත්වයා, මිනිසා, පුරුෂයා, පුද්ගලයා, තිස්ස, නාගයා යනාදී වශයෙන් පවතිනුයේ සම්මුති කථාවයි. ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන් පවතිනුයේ පරමාර්ථ කථාවයි. පරමාර්ථ දේශනාව කිරිමේ දී සම්මුතිය අත්නොහැරම දේශනා කරති. උන්වහන්සේලා සම්මුති දේශනාව කළත් පරමාර්ථ දේශනාව කළත් සත්‍යයම දේශනා කරති. එනිසා මෙය කියන ලදී.
දුවෙ සච්චානි අක්ඛාසි සම්බුද්ධො වදතං වරො
සම්මුති පරමත්ථංච තතියං නූප ලබ්භති”
සංකෙත වචනං සච්චං ලොක සම්මුති කාරණා
පරමත්ථ වචනං සච්චං ධම්මාණං භූත ලක්ඛණා”
“ශාස්තෘන් අතරින් උතුම් වූ බුදුරජාණන් වහන්සේ
සම්මුති හා පරමාර්ථ වශයෙන් සත්‍ය දෙකක් ම වදාරති.
තෙවැනි සත්‍යයක් මෙහි කිසිකලෙක නොලැබේ.”
“ලෝක සම්මුතිය නිසා සංකේතාත්මකව භාවිත වචන සත්‍ය වේ.
ධර්මයන්ගේ ඇති තතු ප්‍රකාශ කරන හෙයින්
පරමාර්ථ වචනය ද සත්‍යය වේ.”
“පුඤ්ඤං චෙ සංඛාරා” යනු දහතුනක් වූ චේතනා භේදයෝය. කුශල සංස්කාර ධර්මයි.
“අභිසංඛරොති” යනු රැස්කරයි.
“පුඤ්ඤාපගං හොති විඤ්ඤාණං” යනු කර්ම කුශලයෙන් කර්ම විඤ්ඤාණය යුක්ත වේ. විපාක කුශලයෙන් විපාක විඤ්ඤාණය යුක්ත වේ යනුයි.
“අපුඤ්ඤං චෙ සංඛාරා” යනු දොළොසක් වූ චේතනා භේද ඇති අකුශල සංස්කාර රැස්කරයි.
“ආනඤ්ජං චෙ සංඛාරා” යනු සිවු චේතනා භේද ඇති අරූපාවචර කුශල සංස්කාරයි.
“ආනඤ්ජූපගං හොති විඤ්ඤාණං” “අරූපාවචර කර්මයන් ගෙන් කර්ම විඤ්ඤාණය ද අරූපාවචර විපාකයන්ගෙන් විපාක විඤ්ඤාණය ද යුක්ත වූයේ වේ. මෙහිද ත්‍රිවිධ වූ කර්ම රැස්කිරීම් ගන්නා ලද බැවින් දොළොස් ප්‍රත්‍යකාරය ගන්නා ලද්දේමය. මෙපමණෙකින් සසර පැවැතීම් චක්‍රය දක්වන ලදී.”
දැන් සසර නැවැත්ම පිළිබඳ චක්‍රය දක්වන සේක් “යතො ඛො භික්ඛවෙ” යනාදිය දෙසූහ. එහි, “අවිජ්ජා” යනු චතුරාර්ය සත්‍යය පිළිබඳ නොදැනීමයි. “විජ්ජා” යනු අරහත් මාර්ග ඤාණයයි. මෙහිදී පළමුව ම අවිද්‍යාව ප්‍රහීණ කිරිමෙන් විද්‍යාව උපදියි. යම්සේ සිවුවැදෑරුම් රාත්‍රී ඝන අන්ධකාරය පහන් දැල්වීම මගින් නැතිවේ ද, එලෙසින් ම විද්‍යාව පහළවීමෙන් අවිද්‍යාවේ නැතිවීම – ප්‍රහීණවීම දතයුතුයි. “නචකිඤ්චි ලොකෙ උපාදියති” යනු ලොව කිසිදු දහමක් තණ්හාවෙන් අල්ලා නොගනියි. අතනොගායි යනුයි.
“අනුපාදියං න පරිතස්සති” යනු දැඩිව උපාදාන කරනොගනුයේ තණ්හාවෙන් තැති නොගනියි. බියෙන් තැති නොගනියි. තණ්හාව නැත. බිය නැත යන අර්ථයි. “පච්චත්තඤ්ඤව” යනු තමාමය. තමාම පිරිණිවේ. අනිකකුගේ ආනුභාවයෙන් නොවේ.”
“සො සුඛං චෙ වෙදනං” යන මෙය කුමක් නිසා ඇරඹුසේක් ද? රහතන් වහන්සේගේ ප්‍රත්‍යවේක්ෂා ඥාණය දක්වා, අනතුරුව නිතර එහි වාසය කිරීම දැක්වීමට අරඹන ලදී. “අනජ්ඣොසිතා” යනු තණ්හාවෙහි ගිලී අවසන් කළේ යැයි නොගත් බැවින්. තණ්හාවෙන් නොබැසගත්. අනතුරුව “දුක් වේදනාව කුමක් නිසා කියන ලද ද?”
“කිම එහි පිළිගැනීමක් ඇද්ද?”
“එසේය, පිළිගැනීමක් ඇත.”
සැප ආදරයෙන් පිළිගැනීමට – සතුටුවීමම, දුක පිළිගත්තා නම් වේ. දුකට පැමිණ සැප පැතීම් වශයෙන් සැපයේ ද විපරිණාමය දුකකි. “කාය පරියන්තිකං” යනු කය සමීපයේ ඇති, කය පිරිසිඳ ඇති, යම්තාක් පඤ්චද්වාරික වූ කය පවතීද ඒ තාක් පවතින පඤ්චද්වාරික වේදනාව යන අර්ථයි. “ජීවිත පරියන්තිකං” යනු ජීවිතය සමීපයේ ඇති, ජීවිතය පිරිසිඳ ඇති, යම්තාක් දිවි පවතියි ද ඒතාක් පවත්නා, මනෝද්වාරික වූ වේදනාව යන අර්ථයි. එහි පංචද්වාරික වේදනාව පසුව ඉපිද පළමුව නිරුද්ධ වේ. මනෝද්වාරික වේදනාව පළමුව ඉපිද පසුව නිරුද්ධ වේ. එය වනාහී ප්‍රතිසන්ධික්ෂණයෙහි වස්තු රූපයෙහිම පිහිටයි. පංචද්වාරික වශයෙන් පවතින පංචද්වාරයෝ, පළමු වසර විස්සක් පමණ වන කාලයේ ඇලීම්, කිපීම්, මුළාවීම් වශයෙන් අධික ප්‍රමාණයෙන් බලවත් වේ. වසර පනහක් වන කල්හි ඇලීම් ආදිය නැවතුණේ වේ. සැට වයස් පමණ කාලයේ පටන් ඇලීම් ආදිය පිරිහී ගොස් වයස අවුරුදු අසූවක්-අනූවක් වන කල්හි අතිශයින් මඳ වේ. ඉතා දුර්වල වේ.
“අපි බොහෝ කලක් එකට හිඳිනෙමු. එකට හොත්තෙමු”යි පැවසුවත් මේ කාලයේ මිනිස්සු “අපි නුඹ නොහඳුනන්නෙමු”යි පවසති. අතිශය බලවත් වූ රූපාදී අරමුණු පවා “නොදැකෙමු. නොඇසුණෙමු. සුවඳ-ගඳ නොදැනුනෙමු. යහපත් හෝ අයහපත්, තද හෝ මෘදු වශයෙන් කිසිදෙයක් පිළිබඳව නොදන්නෙමු”යි පවසති. මෙසේ වයස්ගත වූ ඔවුන්ගේ පඤ්චද්වාරික වේදනාවෝ බිඳුනේ වේ. මනෝද්වාරික වේදනාවන් වින්දනයත් පවතින්නේම ය. එය ද අනුපිළිවෙලින් පිරිහී ගොස් මරණාසන්න කාලයේ හදවතේ කෙළවර ඇසුරු කරමින් ම පවතියි. එම වේදනාව පවතින තාක් කල් සත්ත්වයා ජීවත් වේයැයි පවසයි. යම්දිනෙක මනෝවාරික වින්දනය නොමැත්තේ ද එවිට සත්වයා “මැරුණේය. ප්‍රාණය නිරුද්ධ වූයේයැ”යි පැවසේ.
” මෙම අර්ථය ම මෙහිදී වැව පිළිබඳව සළකා බැලීමෙන් මැනවින් අවබෝධ වේ” යම්සේ පුරුෂයෙක් ජල මාර්ග පහකින් සමන්විත වැවක් සාදන්නේය. පළමුව වැසි වැටුණු කල්හි ජලමාර්ග පහෙන් ජලය පිවිස වැව ඇතුලේ ඇති ආවාට පුරවාලයි. නැවත නැවත වැසි වැටෙන කල්හි ඒ ඒ තැන උතුරා යමින් ජලමාර්ග පිරි ගව්වක් – අඩ යොදුනක් පමණ තැන් ජලයෙන් වැසී පවතියි. ඉක්බිති ජලය පිටකරන දොරවල් හැර දමා කුඹුරු කර්මාන්ත කරනු ලබන කාලයේ ජලය නික්මේ. ශස්‍ය පැසෙන කාලයේ දිය අඩුවී යයි. එවිට “මාළු අල්ලමු”යි කිවයුතු බවට පැමිණේ. හෙවත් ගම්වැසියෝ මාළු ඇල්ලීමට එති. එවිට ද ආවාට කිහිපයක ම දිය ඉතිරිව පවතියි. යම්තාක් කල් එම ආවාටයන්හි දිය පවතී ද ඒතාක් කල් “මහවැවේ දිය ඇත”යි පිළිගැනේ. යම්දිනෙක ඒවාද සිඳී යයි. එවිට “වැවේ ජලය නැත”යි කියනු ලැබේ. මෙසේ මේ සියලු අවස්ථා දැනගත යුතුයි.”
පළමුව වැසි වැටුණු කල්හි ජලමාර්ග පහෙන් දිය අවුත් වැව ඇතුළේ ආවාට පිරෙන අවස්ථාව මෙන්, පළමු ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි මනෝද්වාරික වේදනාව වස්තු රූපයන්හි පිහිටි කාලය දතයුතුයි.
නැවත නැවත වැසි වැටෙන කල්හි ජලමාර්ග පහම පිරුණු (කාලය) අවස්ථාව මෙන් පඤ්චද්වාරික වින්දනයන්ම පවතින අවස්ථාව දතයුතුයි.
වැවේ ගව්වක් අඩ යොදුනක් පමණ උසට ජලය පැතිර පවතින අවස්ථාව මෙන්, විසිවයස් පමණ වූ තරුණ කාලයේ ඇලීම් ආදී වශයෙන් පසිඳුරන් ප්‍රබල බලවත් තත්ත්වයට පත්වීමේ අවස්ථාව දතයුතුයි.
යම්තාක් කල් වැවෙන් දිය පිටතට නොයා වැව පිරි පවතින්නේද ජලය පිරී සිටි ඒ කාලය මෙන් පනස්විය දක්වා වූ කාලය දැනගත යුතුයි.
ජලමාර්ග විවෘත කර, කෘෂි කර්මාන්තාදිය ඇරඹූ කල්හි ක්‍රමයෙන් දිය පිටවී වැව හිස්වන්නාක් මෙන් වයස අවුරුදු සැටේ සිට ක්‍රමයෙන් ඉන්ද්‍රියයන්ගේ පිරිහී යෑම දතයුතුයි.
දිය මාර්ගවල දිය බැසගොස් අල්ප වූ ජලය පවතින අවස්ථාව මෙන්, අසූ-අනූ වියට එළඹි කල්හි පඤ්චද්වාරිකයන්ගේ වින්දනයත් දුර්වල වන අවස්ථාව දතයුතුයි.
ආවාටයන්හි පමණක් දිය ඉතිරිව පවතින අවස්ථාව මෙන් හදවතේ අග මනෝවාර වින්දනයත් ඇසුරුකර පවතින අවස්ථාව දතයුතුයි.
ආවාටයන්හි ස්වල්ප දිය ඇති කල්හි “වැවේ ජලය ඇත” යනුවෙන් පවසන්නාක් මෙන් යම්තාක් කාලයක් හදවතේ, සිත (මනෝද්වාරික වින්දනය) පවතීද ඒතාක් සත්ත්වයා ජීවත් වේයැයි කියයි.
යම් අවස්ථාවක ආවාටයන්හිද ජලය සිඳීගිය විට “වැවේ දිය නැත”යි කියන්නාක් මෙන් – මනෝද්වාරික වින්දනය නැති වූ කල්හි ම “සත්ත්වයා මළේය”යි කියයි. මේ වේදනාව සඳහා “ජීවිතාවසානය දක්වා වේදනාව විඳිමින්” යැයි කියන ලදී.”
“කායස්ස භේදා” යනු කයෙහි බිඳීයෑමෙනි. “ජීවිත පරියාදාතා උද්ධං” යනු ජීවිතක්ෂයට පත්වීමට පෙරය. “ඉධෙව” යනු ප්‍රතිසන්ධි වශයෙන් වෙනත් තැනෙක නොගොස් මෙලොව ම යනුයි. “සීති භවිස්සන්ති” යනු පැවැත්ම-දැඟලීම්-දාහයන් ආදිය නොමැතිව වේදනාවෝ ශීතලවීමයි. වේදනාවන් නොපවත්නා බවට පත්වන්නේය. “සරීරානි” යනු ධාතු (පඨවි ආදියෙන් නිර්මිත) ශරීරයන්ය. “අවසිස්සන්ති” යනු ඉතිරි වූයේ වන්නේය යනුයි.” “කුම්භාකාර පාකා” යනු කුඹල්කරුගේ බඳුන් සාදන උඳුනෙන්ය. “පතිවිස්සෙය්‍ය” යනු තබන්නේය යනුයි. “කපල්ලානි” යනු මුව වැට සමග ඒකාබද්ධ වූ කුඹල් කබල්ය. “අවසිස්සෙය්‍යුං” යනු (ශේෂවන්නේය.) ඉතිරි වන්නේය යනුයි. “එවමෙව ඛො” යනු මෙම සූත්‍රයේ දැක්වූ උපමාව සසඳා බැලීමයි. ඇවිලගත්, ගිනියම් වූ කුඹල් උඳුන මෙන් ත්‍රිවිධ භවයන් දැකිය යුතුයි. යෝගාවචරයා යනු කුඹලායි.
පැසෙන (පිළිස්සෙන කුඹල් උඳුනෙන් බැහැර කරන දණ්ඩ මෙන් අරහත් මාර්ග ඤාණය දතයුතුයි. අසංඛත වූ නිර්වාණය බඳුන තැබූ සම වූ බිම්කඩ මෙනි. දණ්ඩෙන් උණුසුම් කළයක් රැගෙන සම වූ භූමි භාගයෙහි තැබූ අවස්ථාව මෙන් අරඹන ලද විදර්ශනා ඇති පුද්ගලයාගේ රූප-අරූප සප්තකයන්, විදර්ශනා කරන්නාට ප්‍රගුණ වූයේ වේ. ඒවා ප්‍රකටව උපස්ථාන කරන කල්හි, තමාට යෝග්‍ය වූ ඍතු ආදිය ලැබ, එක අසුනෙහිම හිඳ විදසුන් වඩා අග්‍රඵලය වූ රහත්බවට පැමිණ සතර අපායන්ගෙන් සිය ආත්මභාවය ගලවාගෙන, අසංඛත වූ නිර්වාණ නම් තලයෙහි පිහිටි අවස්ථාව දතයුතුයි. රහතන් වහන්සේ රත් වූ කළයක් මෙන් රහත් වූ දිනම පිරිනිවීමට නොයන සේක. සසුන් පිළිවෙතෙහි ගැටෙමින්-යෙදෙමින් වසර පනහක් හෝ හැටක් මෙලොව ජීවත්වී අවසාන චිත්තෝත්පත්තියත් සමඟ ම තමාගේ යැයි දැඩිව අල්ලාගත් ස්කන්ධයන්ගේ බිඳී-විසිර යෑමෙන් අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවීමට පත්වෙති. ඉක්බිති කුඹල්හළේ ඉතිරිවන “කුඹල් කළ කබල්” මෙන් උපාදාන වශයෙන් නො ගන්නා ලද මේ ශරීරය පමණක්ම මෙහි දමා යයි. ” “පජානාති” යනුවෙන් රහතන් වහන්සේගේ පිළිපැදිම්-යෙදීම් වර්ධනය කිරීමට කියන ලදී. “විඤ්ඤාණං පඤ්ඤායෙථ” යනු ප්‍රතිසන්ධි ඇගයූ සේක. “එවමෙවෙතං” යනු ඉදින් මේ ත්‍රිවිධ අභිසංස්කාරයන් නොපවතින විට, ප්‍රතිසන්ධි විඤ්ඤාණයේ නොපැනවීම”යි. ආදී වශයෙන් – මේ අයුරින්ම යනුයි. “එසෙවන්තො දුක්ඛස්ස” යනු මෙය ම සසර පැවතුම් දුකෙහි කෙළවරයි. මෙය අවසානයයි. මෙයම උතුම් වූ නිර්වාණයයි.]
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙම ධර්මය වදාළ සේක.
“මහණෙනි,
සියලු දුක්ඛයන් මුළුමනින්ම
නැතිකිරීම සඳහා ක්‍රමය
විමසා බලන්නාවූ, විභාග කරන්නාවූ
සොයා බලන්නාවූ භික්ෂුව
ඒ පිණිස කුමන ධර්මයන් විභාග කල යුතුද?
“ස්වාමීනි,
අප දන්නා සියලු ධර්මයෝ
භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තෝය.
භාග්‍යවතුන් වහන්සේ අප ධර්මයන්ට පමුණුවනසේක.
අප භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තෝය.
ස්වාමීනි, මේ කාරනාවද භාග්‍යවතුන් වහන්සේ විසින්ම
කියාදෙනසේක් නම් ඉතා හොඳය”යි කීවාහුය.
“මහණෙනි,
එසේ නම් අසව්, මනාකොට මෙනෙහි කරව්.
කියන්නෙමියි” වදාළ සේක.
“එසේය ස්වාමීනි,” කියා ඒ භික්ෂූහු පිළිවදන් දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“මහණෙනි,
දුක්ඛය ප්‍රහාණය කරන ක්‍රමය ගැන
විමසා බලන්නට වීභාග කරන්නට
” ජරාව හා මරණය යන
ධර්ම ප්‍රධාන කොට වන්නාවූ දුක්ඛය
මෙසේ විමසා බැලිය යුතුය.
” දුක්ඛය කුමක් නිසා ඇතිවන්නේද?
නොහොත් කුමක් නිදානකොට ඇත්තේද,
කුමක් සමග එකතුව මේ දුක්ඛය පවතින්නේද,
කුමක් ජාතිකොට ඇත්තේද,
කුමක් නැතිකළහොත් ඉපදීම. ජරාව, මරණය
පෙරටුව ඇති මේ දුක්ඛය නැතිකිරීමට හැකි වේද ?
නැවතද භික්ෂුව මෙසේ විමසිය යුතුය..
“කුමක් ඇති කල ජරා මරණ ඇතිවෙයිද,
කුමක් නැති කල ජරා මරණය ඇති නොවේදැ”
යි විමසා බැලිය යුතු වන්නේය.
මෙසේ විමසා බලන විට
මේ ජරා මරණ ආදී
අනේක විධවූ, නානා ප්‍රකාර දුක
ජාතිය (ඉපදීම) නිදානකොට ඇති බව දකියි.
ජාතිය හේතුකොට ඇත්තේය.
ජාතිය නිසා පවත්නේය.
ජාතිය කරණකොට හටගන්නේය.
ජාතිය ඇතිවූ කල ජරා මරණය ඇතිවෙයි
ජාතිය නැති කලවිට ජරාව මරණය ඇති නොවෙයි”
කියා දැන ගනියි.
එසේ ජාතිය හඳුනාගන්නා භික්ෂුව ජරාව ද මරණයද දැනගනියි.
ජරාවට මරණයට හේතුවද දැනගනියි.
ජරාව, මරණය නැතිවීමද දැනගනියි.
ජරා මරණය නැතිකරන මාර්ගයද දැනගනියි.
නිවනට අනුකූල ප්‍රතිපත්තියෙහි හැසිරෙයි.
මහණෙනි, මේ භික්ෂුව සියලු අයුරින්
දුක් නැතිකිරීම පිණිස, ජරා මරණය නැතිකිරීම පිණිස
වූ මගට් ඔහු පිළිපන්නේය.
[සුත්‍ර වර්ණනාව:- දුක්ඛ වර්ගයේ පළමු සූත්‍රයේ “පරිවීමංසමානො” යනු පරික්ෂා කරමින්ය. “ජරාමරණං” යනු එකම වූ ජරාමරණ දෙක අනේකවිධය, නානාප්‍රකාර යැයි කියා කුමක් නිසා ගන්නා ලද්දේ ද? එසේ ගත් කල්හි සියලු දුක් අදහස් වන බැවිනි. යම්සේ කෙස් වැටියෙන් අල්ලාගත් කල්හි, ඒ පුරුෂයාම අල්ලාගත් සේ සළකන්නාක් මෙන් ජරාමරණ දෙක ගත් කල්හි සියලු ම දුක ගන්නා ලද්දේ වේ. එනිසා “යම් මේ අනේකවිධ වූ නානාප්‍රකාර වූ දුක් ලෝකයේ උපදින්නේයැ”යි දිය නා සිටි පුරුෂයා දැක්වූවාක් මෙන් සියලු දුක් දක්වා, ඔහුගේ හිසකෙස් වැටියෙන් අල්ලා ගන්නාක් මෙන් ජරාමරණ දෙක ගත් බව දතයුතුයි.]
“නැවතද භික්ෂුව මෙසේ විමසිය යුතු වේ”
ජාතිය (ඉපදීම) කුමක් නිදානකොට ඇත්තේද,
කුමක් හේතුකොට ඇත්තේද,
කුමක් නිසා පවත්නේද,
කුමකින් හටගන්නේද,
කුමක් ඇති කල්හි ඉපදීම වේද,
කුමක් නැතිකල්හි ඉපදීම (ජාතිය) නොවේදැ”යි
විමසිය යුතු වේ
එසේ විමසා බලන්නාවූ භික්ෂුව
ඉපදීම කර්ම භවය නිදානකොට ඇත්තේය.
කර්ම භවය හේතුකොට ඇත්තේය.
කර්ම භවය නිසා පවත්නේය.
කර්ම භවය කරණකොට හටගන්නේය.
කර්ම භවය ඇති කල ඉපදීම (ජාතිය) ඇතිවේ.
කර්ම භවය නැති කල ඉපදීම (ජාතිය) ඇති නොවේය”
යි දැනගන්නේය.
ඔහු ඉපදීමද දනියි. ඉපදීමට හේතුවද දනියි.
ඉපදීම නැතිකිරීමද දනියි.
ඉපදීම නැතිකරන මාර්ගයද දනියි.
ඔහු නිවනට අනුකූල පිළිවෙතෙහි හැසිරෙයි.
මහණෙනි, මේ භික්ෂුව සියලු දුක් නැතිකිරීම පිණිස,
ඉපදීම නැතිකිරීමේ මගට පිළිපන්නේය.
[භව නම් වැඩීම ය. ඒ වනාහි කර්ම වශයෙන් වැඩීම ය. උප්පත්ති වශයෙන් වැඩීම යි දෙවැදෑරුම් වේ. කර්ම වශයෙන් වැඩීම කර්මභව නමි. උප්පත්ති වශයෙන් වැඩීම උප්පත්ති භව නමි. භව ශබ්දයෙන් සාමාන්‍යයෙන් කිය හැක්කේ උප්පත්ති භවය යි. ඒ උප්පත්ති භවය ලැබීමට කාරණ වන බැවින් කර්ම භවය ද කියනු ලැබේ. බුද්ධෝත්පාදය සුඛයට කරුණු වන බැවින් “සුඛො බුද්ධානං උප්පාදො” යි කී මෙනි. එහෙත් මෙහි භව ශබ්දයෙන් විශේෂයෙන් කර්ම භවය කියවෙන බව සිහි තබා ගත යුතු යි.
කර්මභව නම් ලෞකික කුශලාකුශල චේතනා හා ඒ චේතනා සම්ප්‍රයුක්ත වූ අනභිධ්‍යාදිය හා අභිධ්‍යාදිය යි. වදාළේ මැ යි. “තත්‍ථ කතමො කම්මභවො? පුඤ්ඤාභි සංඛාරො, අපුඤ්ඤාභි සංඛාරො, ආනෙඤ්ජාභිසංඛාරො පරිත්තභූමකො වා මහා භූමකො වා අයං වුච්චති කම්ම භවො. සබ්බං පි භවගාමි කම්මං කම්මභවො” යි පරිත්ත භූමක වූ හෝ මහාභූමක වූ හෝ පුඤ්ඤාභිසංඛාර ද අපුඤ්ඤාභිසංඛාර ද, ආනෙඤ්ජාභිසංඛාර ද කර්ම භව නමි. සියලු භවගාමී කර්මභව නමි. පරිත්තභූමක නම් ස්වල්ප විපාක ඇති. මහා භූමක නම් මහා විපාක ඇති. භවගාමි කර්ම නම් කුසල පක්‍ෂයෙහි චේතනා සම්ප්‍රයුක්ත වූ අලොභාදිය යි. අකුශල පක්‍ෂයෙහි ලෝභාදිය යි අභිසංඛාරය යි කියන ලද්දේ චේතනා යි.
උප්පත්තිභව නම් කර්මයෙන් නිපන් ස්කන්ධ ය. එ නම් ලෞකික විපාක ස්කන්ධ හා කර්මජරූපය. ඒ නවවිධ වේ. වදාළේමැ යි.
“තත්‍ථ කතමො උප්පත්ති භවො?
කාම භවො, රූපභවො අරූපභවො,
සඤ්ඤාභවො, අසඤ්ඤාභවො,
නේවසඤ්ඤානාසඤ්ඤාභවො, එකවොකාරභවො,
චතුවොකාරභවො, පඤ්චවොකාරභවො,
අයං වුච්චති උප්පත්තිභවො” යි
කාමභව, රූපභව, අරූපභව යට කියන ලදි. අසඤ්ඤභව නම් අසංඥ තලය යි. නේවසඤ්ඤා නාසඤ්ඤා භව නම් නේවසඤ්ඤානාසඤ්ඤා භූමිය යි. සඤ්ඤා භව නම් සෙසු සියල්ල යි. එකවොකාර භව නම් අසංඥතලය යි. චතුවොකාර භව නම් අරූපාවචර සතර යි. පඤ්චවොකාර භව නම් සෙස්ස යි. වොකාර නම් ස්කන්ධ යි. LINK ]
“නැවතද භික්ෂුව මෙසේ විමසිය යුතු වේ
මේ භවය කුමක් නිදානකොට ඇත්තේද,
කුමක් හේතුකොට ඇත්තේද, කුමක් නිසා හටගන්නේද,
කුමකින් ඇතිවන්නේද?,
කුමක් ඇති කල කර්ම භවය ඇතිවේද,
කුමක් නැති කල කර්මභවය ඇති නොවේද කියායි.
මෙසේ විමසා බලන්නාවූ ඔහු මෙසේ දකී,
භවය උපාදානය (දැඩි ආසාව) නිදානකොට ඇත්තේය.
උපාදානය හේතුකොට ඇත්තේය.
උපාදානය ජාතිකොට ඇත්තේය.
උපාදානය ප්‍රභවකොට ඇත්තේය.
උපාදානය ඇති කල භවය ඇතිවෙයි.
උපාදානය නැති කල භවය ඇති නොවෙයි” කියායි.
හෙතෙම භවයද දැනගනියි. භවයට හේතුවද දැනගනියි.
භවය නැතිවීමද දැනගනියි භවය නැති කිරීමට මාර්ගයද, දැනගනියි.
නිවණට අනුකූල පිළිවෙතෙහි හැසිරේයි.
මහණෙනි,
ඔහු සියලු දුක් නැති කිරීම පිණිස,
භවය නැතිකිරීම පිණිස ඇති මගට පිළිපන්නේයයි කියනු ලැබේ.
[උපාදානය:-
ලෝකයේ යනු පස් ඉඳුරන් ගෙන් දැනෙන , බාහිර අරමුණු පස ( එනම් රුප, ශබ්ද, ඝන්ධ, රස, ස්පර්ශ ) ගැනීමයි. ඒ අරමුණු නිසා තුන් ආකාරයක වින්දනයෝ ලැබේ . සැප (සුඛ වේදනාව), දුක්ඛ වේදනාව, අදුක්ඛම සුඛ වේදනාව (දුකත් නැති, සැපත් නැති වින්දන) යන තුන් ආකාර විඳීම් නොහොත් වේදනා ය. දුක්ඛ වේදනාවට සත්වයා කැමති නැත. අප්‍රියය. අදුක්කම සුඛ වේදනාව දන්නේම නැති නිසා ලාබයක් හෝ’ පාඩුවක් නැත. සැප වේදනාවට ඔහු ඉතා කැමති නිසා සුඛ වේදනාව ඔහුගේ (කාම) කැමති ආරම්මණයට සත්වයා ඇලේ . සුඛ වේදනාව ගෙනෙන දු දරුවන්ගේ රුප , තමා සතු වතුපිටි දේපල වලට ඔහු ප්‍රිය ය. ඒ කැමැත්ත නිසැකයෙන්ම ඔහුට උපාදාන වේ. එනම් සත්වයා කැමති දෙය, නැතුව බැරි දෙයක් බවට සිත විසින් පරිවර්තනය කරයි. අරමුණුවල උපාදාන ගුණයක් නැත. සත්වයාගේ සිත ඒ ප්‍රිය ආරම්මණ උපාදානය . ඇති කරයි.]
[වැඩිදුර කියවීමට ]
“නැවතද භික්ෂුව මෙසේ විමසිය යුතු වේ
උපාදානය කුමක් නිදානකොට ඇත්තේද,
කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද,
කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද,
කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද,
කුමක් ඇති කල උපාදානය ඇතිවේද,
කුමක් නැති කල උපාදානය ඇති නොවේද කියා සොයයි.
එසේ විමසනු ලබන ඔහු මෙසේ දැන ගනියි.
(කෙසේද?)
උපාදානය තණ්හාව නිදානකොට ඇත්තේය.
තණ්හාව හේතුකොට ඇත්තේය.
තණ්හාව ඉපදීමේ හේතුකොට ඇත්තේය.
තණ්හාව ප්‍රභව (මුල්) කොට ඇත්තේය.
තණ්හාව ඇති කල උපාදානය ඇතිවෙයි.
තණ්හාව නැති කල උපාදානය ඇති නොවෙයි කියායි
හෙතෙම උපාදානයද දැනගනියි.
උපාදානය ඇතිවීමට හේතුවද දැන ගනියි.
උපාදානය නැතිකිරීමද දැනගනියි.
උපාදානය නැති කිරීමට මාර්ගයද දැනගනියි.
මහණෙනි,
මොහු සියලු දුක් නැතිකිරීම පිණිස
උපාදානය නැතිකිරීම පිණිස
වූ මගට පිළිපන්නේයයි කියනු ලැබේ.
[උපාදාන ප්‍රත්‍යයයෙන් භවය වන්නේ කෙසේ ද?
මෙහි ද පැවැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය යි ගත යුතු. උපාදාන ඇති හෙයින් ඒ හා යෙදෙන චේතනා කර්ම වන්නේ ය. එයින් උත්පත්තිභවය වේ යයි මෙහි ම ගතහොත් නිපැත්මට උපකාර වන්නේ ප්‍රත්‍යය යි ගත යුතු කර්මයෙන් උප්පත්ති භව නිපදෙන බැවිනි. “භව පච්චයා ජාති” යනුවෙන් මතු කියවේ.
ආදියෙහි “අවිජ්ජා පච්චයා සංඛාරා” යි කීයේත් මේ නොවේ ද?
එසේ ය. එය අතීත අද්ධය ගෙනැ කීයේ ය. ගිය ජන්මයේ අවිද්‍යාව හේතු කොට ගෙනැ එහි යෙදුණු චේතනා සංස්කාර සංඛ්‍යාත කර්ම වූයේ ය. මේ කියන්නේ වර්තමාන අද්ධ ගෙනැ ය. වර්තමානයෙහි උපාදාන සංඛ්‍යාත දැඩි ලෝභය හේතු කොට ගෙනැ එහි යෙදෙන චේතනා භව සංඛ්‍යාත කර්ම වන්නේ ය. අවිද්‍යා සංස්කාරයන්ට තෘෂ්ණා උපාදාන භවද තාෂ්ණා උපාදාන භවයන්ට අවිද්‍යා සංස්කාරද නිතර එක් වෙන බව යට කියන ලද බව සැලකිය යුතු. අවිද්‍යා හා තෘෂ්ණා හා සංසාර මුල් ය. අවිද්‍යාව කුශල සංස්කාරයන්ට සම්ප්‍රයුක්ත වශයෙන් නැත ද අනුශය වශයෙන් ප්‍රත්‍යය වන බව එහි කීයේ ය. මෙහි දු උපාදාන කුශල කර්ම භවයන්ට අනුශය වශයෙන් ප්‍රත්‍යය වන්නේ ය යි කිය යුතු. තව ද මෙහි භව යන්නෙන් සියලු භවගාමි කර්ම ද කියවිණි. භවගාමි කර්ම නම් කුශල පක්‍ෂයෙහි අලෝභාදි ය යි. අකුශල පක්‍ෂයෙහි ලෝභාදිය යි. කුශල පක්‍ෂයෙහි එසේ වන්නේත් අනුශය වශයෙනි.]
““නැවතද භික්ෂුව මෙසේ විමසයි
මේ තණ්හාව කුමක් නිදානකොට ඇත්තේද,
කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද
කුමක් උත්පත්ති හේතුකොට ඇත්තේද,
කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද,
කුමක් ඇති කල තණ්හාව ඇතිවේද,
කුමක් නැති කල තණ්හාව ඇති නොවේද කියායි.
ඔහු මෙසේ විමසා බලන විට මෙසේ දැනගනියි.
(කෙසේද?)
තණ්හාව, වේදනාව (විඳීම, වින්දනය) නිදානකොට ඇත.
තණ්හාව වේදනා හේතුකොට ඇත්තේය.
තණ්හාව වේදනාව ඉපදීමේ මුල් හේතුවය.
තණ්හාව වේදනාවට ප්‍රභවය (මුල්) කොට ඇත්තේය.
විඳීම් ඇති කල තණ්හාව ඇති වෙයි.
විඳීම් නැති කල තණ්හාව ඇති නොවේය” කියායි.
එසේ වටහාගත් විට තණ්හාවද දැනගනියි.
තණ්හාව ඇතිවීමට හේතුවද දැනගනියි.
තණ්හාව නැතිකිරීම හැකි බව දැනගනියි.
තණ්හාව නැතිකිරීමට මාර්ගය ද දැනගනියි.
මහණෙනි,
මොහු සියලු දුක් නැතිකිරීම පිණිස
තණ්හාව නැතිකිරීම පිණිස වූ
ආර්ය මගට පිළිපන්නේය”යි කියනු ලැබේ.
නැවතද භික්ෂුව මෙසේ විමසිය යුතු වේ.
“ වේදනාව නම් වින්දනය කුමක් නිදානකොට ඇත්තේද,
කුමක් නිසා හටගන්නේද,
කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද,
කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද,
කුමක් ඇති කල වේදනාව ඇතිවේද,
කුමක් නැති කල වින්දනය ඇති නොවේද, කියායි.
එසේ විමසනු ලබන්නේ ඔහු මෙසේ දැනගනියි.
(කෙසේද?)
වේදනාව ස්පර්ශය නිදාන කොට ඇත්තේය.
ස්පර්ශය හේතුකොට ඇත්තේය.
ස්පර්ශය ඉපදීමේ හේතුකොට ඇත්තේය.
ස්පර්ශය ප්‍රභව (මුල්) කොට ඇත්තේය.
ස්පර්ශය ඇති කල වේදනාව ඇතිවෙයි.
ස්පර්ශය නැති කල වේදනාව ඇති නොවෙයි කියායි.
ඔහු වේදනා (වින්දන) දැනගනියි.
වේදනා ඇතිවීමට හේතුවද දැන ගනියි.
වේදනා නැතිකිරීමද දැනගනියි.
වේදනාව නැති කිරීමට මාර්ගයත් දැනගනියි.
මහණෙනි,
මේ භික්ෂුව සියලු දුක් නැති කිරීම පිණිස
වේදනාව නැතිකිරීම පිණිස ඇති මගට පිළිපන්නේය.
“නැවතද භික්ෂුව මෙසේ විමසිය යුතු වේ
“මේ ස්පර්ශය කුමක් නිදානකොට ඇත්තේද
කුමක් නිසා හටගන්නේද?,
කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද,
කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද,
කුමක් ඇති කල ස්පර්ශය ඇතිවේද,
කුමක් නැති කල ස්පර්ශය ඇති නොවේද කියායි.
මෙසේ විමසනු ලබන්නේ නම් ඔහු මෙසේ දැනගනියි.
(කෙසේද?)
ස්පර්ශය – සළායතන නිදානකොට ඇත්තේය.
සලායතන හේතුකොට ඇත්තේය.
සළායතන ඉපදීමේ හේතුකොට ඇත්තේය
සළායතන ප්‍රභව (මුල) කොට ඇත්තේය.
සළායතන ඇති කල ස්පර්ශය ඇතිවෙයි.
සළායතන නැති කල ස්පර්ශයක් නොවෙයි”
කියායි.
ඔහු ස්පර්ශයද දැනගනියි.
ස්පර්ශය ඇතිවීමට හේතුවද දැනගනියි.
ස්පර්ශය නැතිකිරීමද දැනගනියි.
ස්පර්ශය නැතිකිරීමට මාර්ගයද දැනගනියි.
මහණෙනි,
මේ භික්ෂුව සියලු දුක් නැතිකිරීම පිණිස,
ස්පර්ශය නැතිකිරීම පිණිස ඇති මාර්ගයට පිළිපන්නේයයි කියනු ලැබේ.
නැවත භික්ෂුව මෙසේ විමසිය යුතු වේ.
“සළායතන කුමක් නිදානකොට ඇත්තේද,
කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද,
කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද,
කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද,
කුමක් ඇති කල සළායතන ඇතිවේද,
කුමක් නැති කල සළායතන ඇති නොවේද
කියායි,
එසේ විමසනු ලබන ඔහු මෙසේ දැනගනියි
(කෙසේද?)
සළායතන නාමරූප නිදාන කොට ඇත්තේය.
නාමරූප හේතුකොට ඇත්තේය
නාමරූප ඉපදීමේ හේතුකොට ඇත්තේය.
නාමරූප ප්‍රභව (මුල්) කොට ඇත්තේය.
නාමරූප ඇති කල සළායතන ඇති වෙයි.
නාමරූප නැති කල සළායතන ඇති නොවෙයි
කියායි.
හෙතෙම සළායතනද දැනගනියි.
සළායතන ඇතිවීමට හේතුවද දැනගනියි.
සළායතන නැතිකිරීමද දැනගනියි.
සළායතන නැතිවීමට සුදුසුවූ, මාර්ගයද දැන ගනියි.
මහණෙනි,
මේ මහණහු දුක් නැතිකිරීම පිණිස,
සළායතන නැතිකිරීම පිණිස වූ මගට පිළිපන්නේයයි කියනු ලැබේ.
““නැවතද භික්ෂුව මෙසේ විමසිය යුතු වේ.
මේ නාමරූප කුමක් නිදානකොට ඇත්තේද,
කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද,
කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද,
කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද,
කුමක් ඇති කල නාමරූප ඇතිවේද,
කුමක් නැති කල නාමරූප ඇති නොවේද?”
කියායි.
එසේ විමසනු ලබන ඔහු මෙසේ දැනගනියි.
(කෙසේද?)
නාමරූප විඤ්ඤාණය නිදාන කොට ඇත්තේය.
විඤ්ඤාණය හේතුකොට ඇත්තේය.
විඤ්ඤාණය ඉපදීමේ හේතුකොට ඇත්තේය.
විඤ්ඤාණය ප්‍රභව (මුල්) කොට ඇත්තේය.
විඤ්ඤාණය ඇති කල නාමරූප ඇතිවෙයි.
විඤ්ඤාණය නැති කල නාමරූප ඇති නොවෙයි කියායි.
ඔහු නාමරූපද දැනගනියි.
නාමරූප ඇතිවීමට හේතුවද දැනගනියි.
නාමරූප නැතිකිරීමද දැනගනියි.
නාමරූප නැතිකිරීමට මාර්ගයද දැනගනියි.
මහණෙනි,
මේ භික්ෂුව සියලු ආකාරයෙන්ම
මනාකොට දුක් නැතිකිරීම පිණිස,
නාමරූප නැතිකිරීම පිණිස වූ මගට පිළිපන්නේයයි කියනු ලැබේ.
““නැවතද භික්ෂුව මෙසේ විමසිය යුතු වේ.
මේ විඤ්ඤාණය කුමක් නිදානකොට ඇත්තේද,
කුමක් හටගන්නා හේතුවකොට ඇත්තේද,
කුමක් උත්පත්ති හේතුවකොට ඇත්තේද,
කුමක් මුල් (ප්‍රභව) කොට ඇත්තේද,
කුමක් ඇති කල විඤ්ඤාණය ඇතිවේද,
කුමක් නැති කල විඤ්ඤාණය ඇති නොවේද කියායි.
ඔහු එසේ විමසනු ලබන්නේ මෙසේ දැනගනියි.
(කෙසේද?)
විඤ්ඤාණය සංස්කාර නිදාන කොට ඇත්තේය.
සංස්කාර හේතුකොට ඇත්තේය.
සංස්කාර ඉපදීමේ හේතුකොට ඇත්තේය.
සංස්කාර ප්‍රභව (මුල්) කොට ඇත්තේය.
සංස්කාර ඇති කල විඤ්ඤාණය ඇති වෙයි.
සංස්කාර නැති කල විඤ්ඤාණය ඇති නොවෙයි කියායි.
ඔහු විඤ්ඤාණයද දැනගනියි.
විඤ්ඤාණය ඇතිවීමට හේතුවද දැනගනියි.
විඤ්ඤාණය නැතිකිරීමද දැනගනියි.
විඤ්ඤාණය නැතිකිරීමට මාර්ගයද, දැනගනියි.
මහණෙනි,
මේ භික්ෂුව සියලු ආකාරයෙන්
මනාකොට දුක් නැතිකිරීම පිණිස,
විඤ්ඤාණය නැතිකිරීම පිණිස වූ මගට
පිළිපන්නේයයි කියනු ලැබේ.
“නැවතද භික්ෂුව මෙසේ විමසිය යුතු වේ“
මේ සංස්කාර කුමක් නිදාන කොට ඇත්තෝද,
කුමක් සමුදයකොට ඇත්තෝද,
කුමක් ජාතිකොට ඇත්තෝද,
කුමක් ප්‍රභවකොට ඇත්තෝද,
කුමක් ඇති කල සංස්කාරයෝ ඇතිවෙත්ද,
කුමක් නැති කල සංස්කාරයෝ ඇති නොවෙත්ද කියායි.
ඔහු එසේ විමසන්නේ මෙසේ දනියි.
(කෙසේද?)
සංස්කාරයෝ අවිජ්ජාව නිදානකොට ඇත්තෝය.
අවිජ්ජාව හේතුවකොට ඇත්තෝය.
අවිජ්ජාව ජාතිකොට ඇත්තෝය.
අවිජ්ජාව ප්‍රභවකොට ඇත්තෝය.
අවිජ්ජාව ඇති කල සංස්කාරයෝ ඇති වෙයි.
අවිජ්ජාව නැති කල සංස්කාරයෝ ඇති නොවෙති කියායි.
ඔහු සංස්කාරයන්ද දනියි.
සංස්කාරයන්ගේ හේතුවද දනියි.
සංස්කාර නැතිවීමද දනියි.
සංස්කාර නැතිවීමට වූ, මාර්ගයද,
දැනගනියි.
නිවනට අනුකූල පිළිවෙතෙහි පිළිපදින්නේය. .
මහණෙනි,
මේ භික්ෂුව සියලු ආකාරයෙන් දුක් නැතිකිරීම පිණිස,
සංස්කාර නැතිකිරීම පිණිස වූ මගට පිළිපන්නේය.
“මහණෙනි,
අවිජ්ජාවෙන් යුක්තවූ, පුද්ගලයකු
ඉදින් කුශලකර්ම රැස්කරයිද,
(ඔහුගේ) විඤ්ඤාණය කුශල සහගත වෙයි.
ඉදින් අකුශල කර්ම රැස් කරයිද,
(ඔහුගේ) විඤ්ඤාණය අකුශල සහගත වෙයි.
ඉදින් අරූපාවචර කර්ම රැස් කරයිද
(ඔහුගේ) විඤ්ඤාණය අරූපාවචර කුශල සහගත වෙයි.
“මහණෙනි,
යමෙකුගේ අවිද්‍යාව නැතිවූයේද,
අර්හත් මාර්ගඥානය පහළවූයේය,
ඔහු අවිද්‍යාව දුරුවීමත් අර්හත් මාර්ගඥානය ලැබීමත්,
හේතු කොටගෙන ඔහු කුශල කර්ම රැස් නොකරයි.
අකුශල කර්මද රැස් නොකරයි.
අරූපාවචර කර්මද රැස් නොකරයි.
එසේ කිසිදු කර්මයක් රැස් නොකරන්නේ,
සිත නොමෙහෙයවන්නේ
ලෝකයෙහි ඇති කිසිවක් (තණ්හාවෙන්) නොගනියි.
(තණ්හාදී වශයෙන්) නොගන්නේ භය දුරු කරයි.
භය නොවීමෙන්, තෙමේ පිරිනිවන් පායි.
ඉපදීම ක්ෂය වූයේය.
බ්‍රහ්මචරියාවෙහි හැසිර, නිමවන ලද්දේය.
කළයුත්ත කරන ලද්දේය.
මේ ජීවිතයෙහි කළයුතු අනිකක් නැතැයි දැනගනියි.
“ඔහු ඉදින් සැප වේදනාවක් විඳීද,
ඒ වේදනා අනිත්‍යයයි දැනගනී.
(තණ්හා වශයෙන්) වැලදගැනීම නුසුදුසුයයි දැනගනියි
සතුටුවීමට නුසුදුසුයයි දැනගනියි.
ඔහු ඉදින් දුක්ඛ වේදනාවක් විඳියිද
ඒ වේදනාව අනිත්‍යයයි දැනගනියි.
(තණ්හා වශයෙන්) වැලදගැනීම නුසුදුසුයයි දැනගනියි.
නොසතුටුවීමට නුසුදුසුයයි දැනගනියි.
ඉදින් ඔහු නොදුක් නොසැප වේදනාවක් විඳීද,
ඒ වේදනාව අනිත්‍යයයි දැනගනියි.
(තණ්හා වශයෙන්) වැදගැනීමට නුසුදුසුයයි දැනගනියි.
සතුටුවීමට නුසුදුසුයයි දැනගනියි
ඔහු ඉදින් සැපවේදනාවක් විඳියිද,
එහි නොබැඳී ඒ සැපය උපේක්ෂාවෙන් විඳියි.
ඔහු ඉදින් දුක් වේදනාවක් විඳියිද,
එහි නොගැටී ඒ වේදනාවද උපේක්ෂාවෙන් දරාගනී.
ඔහු ඉදින් නොදුක් නොසැප වේදනාවක් විඳියිද,
එහි නොබැඳී ඒ වේදනාව විඳියි.
ඔහු කයට දැනෙන වේදනාවන් විඳිනු ලබන්නේ,
කය කෙළවරකොට ඇති වේදනාවක් විඳිමියි දැනගනියි.
(හෙතෙම) සිතට දැනෙන වේදනාවක් විඳිනු ලබන්නේ,
සිතට දැනෙන වේදනාවක් විඳිමියි දැන ගනියි.
කය බිඳීමෙන් ජීවිත ක්ෂයවීමට පෙර
මේ ලෝකයෙහිදීම සතුටු නොවන්නාවූ,
සියලු වේදනා සිසිල් බවට පැමිණෙන්නාහුයයිද,
ධාතු ශරීරයෝ ඉතුරුවන්නාහුයයිද කියා දැනගනියි.
“මහණෙනි,
යම්සේ පුරුෂයෙක් කුඹලා වලන් පුච්චන පෝරණුවෙන්
පිලිස්සෙන කළයක් ගෙන බිම් තබන්නේ නම්
ඒ කළයෙහි වූ රස්නය උණුසුම,
එතැන්හිදීම නැති වන්නේය.
කළයේ කබොලු ඉතිරිවෙත්.
මහණෙනි,
එසේම ඔහු කයට දැනෙන වේදනාවක් විඳිනු ලබන්නේ,
කය ට ඇති වේදනාවක් විඳිමියි දැනගනියි.
(හෙතෙම)සිතට ඇති වේදනාවක් විඳිනු ලබන්නේ,
සිතට ඇතිවූ වේදනාවක් විඳිමියි දැනගනියි.
කය බිඳීමෙන් ජීවිතක්ෂය වීමට පෙර
මේ ලෝකයෙහි දීම නොසතුටු වන්නාවූ,
සියලු වේදනා සිසිල් වන්නාහුයයිද,
ධාතු ශරීරයෝ ඉතුරු වන්නාහුයයිද කියා දැනගනියි.
“මහණෙනි, මේ ගැන කෙසේ සිතන්නහුද?
කිම, ක්ෂීණාශ්‍රව මහණකු කුශල රැස්කරන්නේද?
අකුශල ක්‍රියා හෝ රැස්කරන්නේද?
අරූප කුශල් හෝ රැස්කරන්නේද?”
“ස්වාමීනි, එය නොවේමය”.
“සංස්කාර නිරෝධයෙන් සියලු ආකාරයෙන් සංස්කාර නැතිවූ කල්හි
විඤ්ඤාණය දක්නහුද”?
“ස්වාමීනි, එය නොවේමය”
“විඤ්ඤාණ නිරෝධයෙන් සියලු ආකාරයෙන් විඤ්ඤාණය නැතිවූ කල්හි
නාම රූප දක්නහුද”?
“ස්වාමීනි, එය නොවේමය”
“නාම රූප නිරෝධයෙන් සියලු ආකාරයෙන් නාම රූප නැතිවූ කල්හි
සළායතන දක්නහුද”?
“ස්වාමීනි, එය නොවේමය”.
“සළායතන නිරෝධයෙන් සියලු ආකාරයෙන් සළායතන නැතිවූ කල්හි
ස්පර්ශය දක්නහුද”?
“ස්වාමීනි, එය නොවේමය”.
“ස්පර්ශ නිරෝධයෙන් සියලු ආකාරයෙන් ස්පර්ශය නැතිවූ කල්හි
වේදනාව දක්නහුද”?
“ස්වාමීනි, එය නොවේමය”
වේදනා නිරෝධයෙන් සියලු ආකාරයෙන් වේදනාව නැතිවූ කල්හි
තණ්හාව දක්නහුද”?
“ස්වාමීනි, එය නොවේමය”.
“තණ්හා නිරෝධයෙන් සියලු ආකාරයෙන් තණ්හාව නැතිවූ කල්හි
උපාදානය දක්නහුද”?
“ස්වාමීනි, එය නොවේමය”.
“උපාදාන නිරෝධයෙන් සියලු ආකාරයෙන් උපාදානය නැතිවූ කල්හි
භවය දක්නහුද”?
“ස්වාමීනි, එය නොවේමය”.
“භව නිරෝධයෙන් සියලු ආකාරයෙන් භවය නැතිවූ කල්හි
ජාතිය (ඉපදීම) දක්නහුද”?
“ස්වාමීනි එය නොවේමය”.
“ජාති නිරෝධයෙන් සියලු ආකාරයෙන් ජාතිය (ඉපදීම) නැතිවූ කල්හි
ජරා මරණය දක්නහුද”?
“ස්වාමීනි, එය නොවේමය”
“සාදු! සාදු!! මහණෙනි,
ඒ මෙසේමය.
මහණෙනි, එය අන් අයුරෙකින් නොවේ.
මහණෙනි, එය එසේමයයි අදහව්
සැකහැර පිළිගනිව්.
දුක්ඛයාගේ කෙළවර මෙය යයි
මෙම ධර්මයෙහි සැක නැත්තෝවව්”
යයි වදාළේය.
(පළමුවන පරිවීමංසමාන සූත්‍රය නිමි)
SN 02-01-06-02 සංයෝජන සූත්‍රය 1
[සුත්‍ර වර්ණනාව:-
දෙවන සූත්‍රයේ “උපාදානීයෙසු” යනු ත්‍රෛභූමික ධර්ම වූ ප්‍රත්‍යයන් කෙරෙහි පවතින උපාදාන තරෙහිය. “අස්සාදානුපස්සිනො” යනු ආශ්වාදය අනුව බලන්නාටයි. “තත්‍ර” යනු ඒ ගිනිකඳෙහිය. “තදාහාරො” යනු ඊට ප්‍රත්‍ය වේ. හේතුවේ යනුයි. “තදාපාදානො” යනු පෙර පදයට ම සමාන පදයකි. “එවමෙව ඛො” යන මෙහි ගිනිකඳ මෙන් ත්‍රිවිධ භවයන් දතයුතුය. ත්‍රෛභූමික සසර පැවැත්ම (ඊට සමානය. ගිනිදල්වන පුරුෂයා මෙන් සසර පැවැත්ම ඇසුරු කරගත් බාල පුහුදුන් පුද්ගලයා දතයුතුයි. ආශ්වාදය අනුව බලමින් පුහුදුන් පුද්ගලයා තන්හාදී ක්ලේශ ධර්ම ඉන්ද්‍රිය සයෙන්ම රැස්කිරිම, ගින්නට වේළුණු තණ-ගොම ආදිය දැමීම මෙනි. තණ-ගොම ආදිය ක්ෂය වූ කල්හි නැවත නැවත ඒවා දැමීමෙන් ගිනිකඳ වැඩෙන්නාක් මෙන් බාල පුහුදුන් පුද්ගලයාගේ කර්ම රැස්කිරීම නිසා ඉපිද-මැරෙමින් භවයෙන් භවයට පවතින සංසාරික වූ දුක ඇතිවේ. හටගනියි
“න කාලෙන කාලං සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්‍ය” යන මෙහි කිසියම් යහපත කැමති අයෙක් මෙසේ කියයි. “පින්වතුනි! නැගිට-සොයමින් වියළි තණ -දර ආදිය මිටි වශයෙන් බැඳ,වියළි ගොම ආදිය ද කූඩවලට පුරවාගෙන, මෙසේ ගිනි දල්වනුයේ කුමටද? මෙනිසා නුඹට ඇතිවන යහපතක් තිබේද? මින් ප්‍රයෝජනයක් තිබේද?”
“පින්වත! එවැන්නක් නැත. මෙය අපගේ පරපුරින් පැමිණියකි. මෙයින් මට සිදුවනුයේ අවැඩක්ම ය. කවර යහපතක් ලැබේද? මම මේ ගිනිදැල්වීමෙහිම යෙදී සිටීම නිසා නෑමට, කෑමට, නිදාගැනීමට අවසරයක් නොලබමි”යි ගිනිදල්වන්නා පවසයි. එවිට යහපත කැමැත්තා “පින්වත! එසේනම්, නුඹ මේ නිරර්ථක වූ ගිනිදැල්වීම කුමකට කරනේන්ද? එන්න. නුඹ මේ රැස්කර ගෙනා තණ ආදිය මෙහිම දැමූ විට ඒවා ඉබේම දැවෙන්නේය. නුඹ මේ ගිනි ඇවිලීම අත්හැර, අසුවල් තැන ඇති සිසිල් දිය පොකුණින් නා, මල් ගඳ විළවුන් දරාගෙන, සැරසී මැනවින් හැඳ පොරවාගෙන, අගනා පාවහන් යුවලක් දමාගෙන නගරයට පිවිස, උතුම් පහයකට නැගී, වා කවුළු හැරදමා මහපාර දෙස සන්සුන්ව, සැපයෙන් යුක්තව විමසා බලමින් හිඳින්න. නුඹ එසේ සැපෙන් සිටි කල්හි මේ ගින්නට දැමූ තණ ආදී සියලු ද්‍රව්‍ය තමාම දැවී අප්‍රඤ්ප්ති බවට පත්වන්නේය. ක්‍ෂය වී යන්නේය.” ගිනි දල්වන්නා මේ අවවාදය අනුව කටයුතු කරයි නම්, පහයේ හුන් ඔහුට ගින්න උපාදාන වශයෙන් නොගැනීම නිසා අනියම් බවට (අප්‍රඥප්ති) පත්වන්ය. මේ කාරණය දැක්වීම සඳහා “න කාලෙන කාලං” යනාදිය පැවසූ ස්ක..
“එවමෙව ඛො” යනු මෙම සූත්‍රයේ උපමා සන්සන්දනයයි. සතළිසක් පමණ දර ආදියෙන් දැල්වෙන මහ ගිනිකඳ මෙන්, ත්‍රෛභූමික වූ සසර පැවැත්ම දැකිය යුතුය. ගිනිදල්වන පුරුෂයා මෙන්, සසර පැවැත්ම ආශ්‍රය කරගත් යෝගාවචරයා ද යහපත කැමති පුරුෂයා මෙන් සම්මා සම්බුදු රජාණන් වහන්සේද, ඒ පුරුෂයා විසින් දුන් අවවාද මෙන් තථාගතයන් වහන්සේ විසින් “මහණ මෙහි එව! ත්‍රෛභූමික ධර්මයන්හි කළකිරෙව! මේ අයුරින් ක්‍රියාකොට සසර දුකින් මිදෙව!”යි ඔහුට ත්‍රෛභූමික ධර්මයන්හි කළකිරවන කමටහන් දෙසූ අවස්ථාව ද දතයුතුයි. ඒ ගිනි පිදූ පුරුෂයා එම අවවාද අනුවම ක්‍රියාකර පහයේ සුවසේ සිටි අවස්ථාව මෙන් යෝගාවචරයා සුගතයන් වහන්සේන්ගේ අවවාද පිළිගෙන ශුන්‍යාගාරයට පිවිස, ත්‍රෛභූමික ධර්මයන්හි විදසුන් වඩා අනුක්‍රමයෙන් සුදුසු වූ ආහාර-පානාදිය ලැබ, එක අසුනකම හිඳ ලැබූ රහස්ඵලය ඇති අවස්ථාව දතයුතුය. ඒ ගිනිපිදූ පුරුෂයා -නා-සුවඳ විලවුන් දරාගෙන පිරිසිදු-අලංකාර වූ කයින්, ඒ පහයේ සිටි අවස්ථාව මෙන් – යෝගාවචරයා, ආර්යමාර්ග නම් පොකුණෙහි මාර්ග ඤාණ නම් දියෙන් මැනවින් නා පිරිසිදු වී කෙලෙස් දූවිලි සෝදාහැර, ලැජ්ජා-බිය නමැති සළුව පොරවාගෙන, ශීලය නම් සුවඳවිළවුන් තවරාගෙන, රහත්බව නම් ආභරණයන්ගෙන් ආත්මභාවය අලංකාර කරගෙන, විමුක්තිය නම් මල්දම පැළඳගෙන, ඍද්ධිපාද නම් පාවහන්වලට නැගී නිවන නම් පුරයට පිවිස, පහයට නැගී සතිපට්ඨාන නම් බබළන මහා වීථිය දෙස බලාගෙන, නිර්වාණ අරමුණෙහි ඵල සමාපත්තියට පැමිණ සිටි කාලය හෙවත් අවස්ථාව දතයුතුයි. එහි හුන් පුරුෂයාට තෘෂ්ණාදිය ක්‍ෂය වී යෑමෙන් “ගිනිකඳ නැත” යන ප්‍රඥප්තියට පැමිණි අවස්ථාව මෙන්, රහතන් වහන්සේ තම ආයුෂ අවසන් වන තෙක් සිට තමන්ගේ යැයි ගත් ස්කන්ධයන්ගේ බිඳීයෑමෙන්-අනුපාදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවි උතුමහුගේ සසර පැවැත්ම නම් වූ මහා චක්‍රය සන්සිඳුනේය යැයි දතයුතුයි.]
§ ජේතවනාරාමයෙහිදී, ..
“මහණෙනි,
තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන ධර්මයන්හි
රස විඳ ගැනීම අනුව බලමින් වාසය කරන්නාගේ
තණ්හාව වැඩෙන්නීය.
තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි.
උපාදානය නිසා භවය ඇතිවෙයි.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ,
ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ
උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි,
දර කරත්ත දහයකින් , දර කරත්ත විස්සකින්
දර කරත්ත තිහකින් දර කරත්ත හතළිසකින්
දර ගෙනවුත් මිනිසෙක් මහ ගිනි ගොඩක් දල්වන්නේය,
ඒ පුරුෂයා කලින් කල ඒගින්නට වියලි තණ දමන්නේය,
වියලි ගොම වැරැටි දමන්නේය, වියලි දර දමන්නේය.
මහණෙනි, ඒ දර නිසා ඒ හේතුවෙන් ඒ ගිනිකඳ
ඉතා දීර්ඝ කාලයක් දැල්වෙන්නේය,
මහණෙනි
එසේම තෘෂ්ණා දෘෂ්ටින් විසින් අල්වාගත් ධර්මයන්හි
රසවිඳමින් වසන්නාගේ තණ්හාව වැඩෙයි.
තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි.
උපාදානය නිසා භවය ඇතිවෙයි.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ,
ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ
උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.

ආදීනව දකිමින් වාසය කරන්නාගේ තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ,
ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස් සහ
උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.
“මහණෙනි,
දරකරත්ත දහයකින් හෝ දර කරත්ත විස්සකින් හෝ
දරකරත්ත තිහකින් හෝ දර කරත්ත හතළිහකින් හෝ
මහ ගිනි කඳක් දල්වන පුරුෂයෙක්
එහි කලින්කල වියලි තණ නොදමන්නේනම්,
වියලි ගොම වැරැටි නොදමන්නේ නම්,
වියලි දර නොදමන්නේ නම්,
මහණෙනි, එසේ ඒ ගිනිකඳ දර ආදිය නැතිවීමෙන් සහ
අන්‍යවූ දර ආදිය නොලැබීමෙන්
හේතු නැති වූයේ නිවී යන්නේය.
මහණෙනි,
එසේම තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගනු ලබන
ධර්මයන්හි ආදීනව අනුව බලමින් වාසය කරන්නාගේ
තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැති වෙයි.
ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ,
ශෝක, පරිදේව (හැඬීම), දුක්, දොම්නස් සහ
උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි’ කියායි.
(දෙවෙනි උපාදාන සූත්‍රය නිමි.)
SN 02-01-06-03 දුතිය සංයෝජන සූත්‍රය
[ සුත්‍ර වර්ණනාව: තෙවැනි සූත්‍රයේ “යොසංජනියෙසු” යනු දස සංයෝජන ධර්මයන්හිය. “ඣායෙයිය්‍යාති” යනු දල්වන්නේය යනුයි. “තෙලං ආසිඤ්චෙය්‍ය වට්ටිං’ උපහරෙය්‍ය” යනු පහන ආරක්ෂා කරගැනීමට තෙල් බඳුනක් ද මහත් වූ පහන්තිර ද ගෙන සමීපයේ නිතර හිඳ තෙල් සිඳෙනවිට තෙල් දමයි. වැටිය ගෙවීයන විට තව වැටියක් දමයි යනුයි. සෙසු පදයන්ගේ අර්ථ සමග උපමා සන්සන්දනය මුලින් පැවසූ සූත්‍රය සමග ගලපා දතයුතුය.]
ජේතවනාරාමයෙහිදී,
“මහණෙනි, මහණෙනි,
සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි රස විඳමින්
වාසය කරන්නහුගේ සිත නාමයනට රූපයනට බැස ගනී.
නාමරූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය වේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ.
ජාතිය නිසා ජරා, මරණ, ශෝකවීම්,
හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇති වෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි,
තෙල්ද, වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේය,
කලින් කල තෙල් වත්කරන්නේද, වැටි දමන්නේද,
මහණෙනි, ඒ තෙල් පහන ඒ (තෙල් ආදිය) නිසා,
ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් දැල්වෙන්නේය,
මහණෙනි,
එසේම සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයන්හි
රසවිඳමින් වාසය කරන්නාගේ
තණ්හාව වැඩෙන්නේය.
තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි.
උපාදානය නිසා භවය ඇතිවෙයි.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ,
ශෝක, පරිදේව, දුක්, දොම්නස්
සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි,
සංයෝජනයන්ට අරමුණු වන්නාවූ ධර්මයන්හි
ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ
තණ්හාව නැති වන්නේය.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ,
ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස්
සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි.
“මහණෙනි,
තෙල්ද වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේය,
කලින්කල තෙල් වත්නොකරන්නේනම්,
වැටි නොදමන්නේ නම්,
මහණෙනි, ඒ තෙල් පහන
පූර්වවූ, (තෙල් ආදී ) හේතූන් නැතිවීමෙන්
සහ අන්‍යවූ ආහාර නොලැබීමෙන්
නිරාහාර වූයේ නිවී යන්නේය.
මහණෙනි,
එසේම සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි
ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ
තණ්හාව නැති වන්නීය.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ,
ශෝක, පරිදේව (හැඬීම්), දුක්, දොම්නස්
සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.
(තෙවෙනි සංයෝජන සූත්‍රය නිමි.)
SN 02-01-06-04 මහා රුක්ඛ සූත්‍රය 1
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූහ. ස්වාමීනියි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි,
තෙල්ද නිසා වැටියද නිසා තෙල් පහන දැල්වෙන්නේය,
කලින් කල තෙල් වත් කරන්නේද, වැටි දමන්නේද,
මහණෙනි,
ඒ තෙල් පහන ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් දැල් වෙන්නේය,
මහණෙනි,
එසේම සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි
රසවිඳීමින් වාසය කරන්නහුගේ තණ්හාව වැඩෙන්නේය,
තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි.
උපාදානය නිසා භවය ඇතිවෙයි.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ,
ශෝක, පරිදේව, (හැඬීම්) දුක් දොම්නස් සහ
උපායාස (වැළපීම්) ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
(සිව්වන සංයෝජන සූත්‍රය නිමි.)
පස්වන සූත්‍රයේ “උද්ධං ඔජං අභිහරන්ති” යනු පඨවි රසය ද ආපෝ රසය ද උඩට ගෙනයයි. ඕජාවෙන් (සාරයෙන්) නැගුණු බැවින් රියන් සතක් උසැති ගසේ අංකුර අග් හි බින්දු බින්දු මෙන් වී සාරය පිහිටයි. මෙහි උපමා සන්සන්දනය මෙසේය. මහගස මෙන් ත්‍රෛභූමික සංසාරික පැවැත්ම දතයුතුයි. ගසේ මුල් මෙන් සවැදෑරුම් ආයතන දතයුතුයි. මුල්වලින් සාරය උඩට නැගීමෙන්, සදොරින් ක්‍රියාවන් නැගීමත්, ඕජාවෙන් මනාව වැඩුණු මහගසෙහි පැවතීම මෙන් සත්ත්වයාගේ සංසාරික පැවැත්ම ආශ්‍රිත වූ පුහුදුන් පුද්ගලයා සදොරින් කර්ම රැස්කිරීම නිසා භවයෙන් භවයට යමින් දීර්ඝ සංසාරයේ සැරිසැරීමත් දතයුතුයි.
“කුද්දාල පිටකං” යනු උදැල්ලක් ද කූඩයක් ද යනුයි.
“ඛණ්ඩා ඛණ්ඩිකං ජිනෙදය්‍ය” යනු කුඩා-මහත් වශයෙන් කඩ කරමින් සිඳින්නේය යනුයි.
මේ දැක් කෙරුණේ උපමා සන්සන්දනය මෙසේ දතයුතුයි.
මෙහි මහා වෘක්ෂය මෙන් සත්ත්වයාගේ සංසාරික වූ ත්‍රෛභූමික පැවැත්ම දතයුතුයි.
ගස සිඳීමට කැමති පුරුෂයා මෙන් යෝගාවචරයා ද
උදැල්ල මෙන් ප්‍රඥාව ද කූඩය මෙන් සමාධිය ද
ගස සිඳීමට උපකාර වන පොරව මෙන් සිහිනුවණ ද දතයුතුයි.
ගසේ මුල සිඳි අවස්ථාව මෙන් යෝගාවචරයා ආර්යයන් වෙතින් කමටහන් ගෙන සිහිකරන අවස්ථාවේ ඇතිවන ප්‍රඥාව දතයුතුයි. කඩකඩව සිඳින කාලය (අවස්ථාව) මෙන් සංක්‍ෂිප්ත වශයෙන් සිවු මහාභූත සිහිකිරීමේ අවස්ථාව දතයුතුයි. ගස පැලීම මෙන් සතලිස් දෙකක් වූ කොට්ඨාශයන්හි පැතිරවූ මෙනෙහි කිරීම දතයුතුයි. රුක කැබලි කැබලි බවට පත්කරන අවස්ථාව මෙන් උපාදාය රූපයේ මෙන් ම රූපස්කන්ධ ආරම්මණයේ ද විඤඤාණයේ ද යන ලෙස නාමරූප ධර්ම විමසීම දතයුතුයි. මුල් සිඳ දැමීම මෙන් ඒ නාමරූපයන්ගේ ප්‍රත්‍ය පරික්ෂා කිරීම දතයුතුයි. මුල් සිඳ අව්වේ හා සුළගේ දමා වේලා, ගින්නේ දවන අවස්ථාව මෙන් අනුපිළිවෙලින් විදසුන් වඩා එක් සුදුසු කමටහනක් ලැබ, එය ප්‍රකටව එළඹ සිටි කල්හි, එක් අසුනක හිඳ ශ්‍රමණ ධර්ම කරන්නාගේ රහත් ඵලයට පත්වීමේ අවස්ථාව දතයුතුයි. හළු කිරීම මෙන් රහත්බවට පත්වූ දිනයේ සිට පිරිනිවන් නොපා සිටින රහතන් වහන්සේන්ගේ ජීවිතාවසානය දක්වා සිටින අවස්ථාව දතයුතුයි. මහ සුළඟෙහි එම හළු පොළා හැරීම, ගඟෙහි පාකර හැරීම මෙන් තමාගේ යැයි උපාදාන කරත් ස්කන්ධ බිඳීයෑමෙන් අනුපදිශේෂ වූ නිර්වාණ ධාතුවෙන් පිරිනිවුණු රහතන් වහන්සේගේ, සංසාරික පැවැත්ම-සංසඳීම, නැතිව යෑම දැනගත යුතුය.]
“මහණෙනි,
තෙල් නිසා, වැටිය නිසා තෙල් පහනක් දැල්වෙන්නේය,
කලින් කල තෙල් වත්නොකරන්නේ නම්,
වැටි නොදමන්නේනම්, ඒ තෙල් පහන පූර්වවූ,
(තෙල් ආදී) හේතූන් නැතිවීමෙන්
අන්‍යවූ ආහාරයක් නොලැබීමෙන් නිරාහාරව නිවෙන්නේය.
මහණෙනි,
සංයෝජනයන්ට අරමුණුවූ ධර්මයන්හි ආදීනව දකිමින්
වාසය කරන්නහුගේ තණ්හාව නැතිවෙන්නේය.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවේ.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැති වෙයි.
ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ,
ශෝක පරිදේව (හැඬීම්) දුක්, දොම්නස් සහ
උපායාස (වැළපීම්) නැතිවෙයි.
මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවේ.
SN 02-01-06-05. රුක්ඛ සූත්‍රය 2
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තරදුන්හ
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි,
තෘෂ්ණා දෘෂ්ටි විසින් අල්වාගනු ලබන
ධර්මයන්හි රස විඳමින් වාසය කරන්නාගේ
තණ්හාව වැඩෙන්නේය.
තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි.
උපාදානය නිසා භවය ඇතිවෙයි.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ,
ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස්
සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි,
මහ ගසක පොලොව යටට ගමන් කරන්නාවූ මුල්වෙත්,
හරහට ගමන් කරන්නාවූ මුල් ඇත,
ඒ සියලු මුල්වලින් උඩට ඕජාව ගෙන යෙත්,
මහණෙනි,
ඒ මහ ගස මුල් වලින් ගෙන දෙන (ඕජාව) නිසා,
ඒ හේතුවෙන් බොහෝ දීර්ඝ කාලයක් සිටින්නේය.
මහණෙනි,
එසේම තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින්
අල්වා ගනු ලබන ධර්මයන්හි රස විඳමින්
වාසය කරන්නහුගේ තණ්හාව වැඩෙන්නීය.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවෙයි.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවෙයි.
ජාතිය (ඉපදීම) නිසා ජරා, මරණ,
ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස්
සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙත්.
“මහණෙනි,
තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අරමුණු කරනු ලබන
ධර්මයන්හි ආදීනව දකිමින් වාසය කරන්නාගේ
තෘෂ්ණාව නැති වන්නේය.
තණ්හාව නැතිවීමෙන් උපාදානය ඇති නොවෙයි.
උපාදානය නැතිනම් භවය නැති වෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ,
ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස්
සහ උපායාස (වැළපීම්) නැති වෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ නැතිවෙයි.
“මහණෙනි,
මහ ගසක් වේ. පුරුෂයෙක් උදැල්ලක් ගෙනවුත් ඒ ගසේ මුල් කපන්නේය.
මුල් කපා, මුල් හාරන්නේය. මුල්හාරා, සැවැන්න මුල් පමණවූද මුල් උදුරන්නේය.
ගසේ කඳ කඩ කඩ කොට කපන්නේය.
කඩ කඩ කොට පලන්නේය.
පළා කැබලි-කැබලි කරන්නේය.
කැබලි-කැබලි කොට, අවුවෙහි වේලන්නේය.
අවුවෙහි වේලා ගින්නෙන් පුළුස්සන්නේය.
ගින්නෙන් පුළුස්සා, අළු කරන්නේය.
අළුකොට තද සුළඟෙහි හෝ පොලන්නේය.
ගලා බසින්නාවූ, සැඩ දියදහරින් යුත් ගඟක පාකර හරින්නේය.
මහණෙනි, එසේ ඒ මහගස මුල් කපන ලදුව,
තල් කඳක් මෙන් කරන ලදුව,
මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත්කල ඒ ගස යලි නුපදුන්නේය.
මහණෙනි,
එසේම තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින් අල්වාගත්

තණ්හාව කැමැත්ත නැතිවන්නේය.
තණ්හාව නැතිවීමෙන් උපාදානය ඇති නොවේ.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ,
ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස් සහ
උපායාස (වැළපීම්) නැතිවෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.
(පස්වන මහාරුක්ඛ සූත්‍රය නිමි.)
SN 02-01-06-06. රුක්ඛ සූත්‍රය 2
සයවන සූත්‍රයේ ද පළමුව උපමාව පවසා, පසුව දහම් කරුණ පවසන ලදී. ඉහත සූත්‍රයට වඩා මෙම සූත්‍රයේ ඇති වෙනස වනුයේ එය පමණි.
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි,
මහ ගසක පොලොව යටට බසින මුල් වෙත්,
හරහට ගමන් කරන්නාවූ මුල්වෙත්,
ඒ සියල්ල පොළොවේ රස ඕජාව ගසට ගෙන යෙත්,
මහණෙනි, මෙසේ ඒ මහ ගස ඒ (ඕජාව) නිසා ඒ හේතුවෙන්
ඉතා දීර්ඝ කාලයක් සිටින්නේය.
මහණෙනි,
එසේම තෘෂ්ණා දෘෂ්ටි ආදීන් විසින්
අල්වාගනු ලබන ධර්මයන්හි රස විඳීමින්
වාසය කරන්නාගේ තණ්හාව වැඩෙන්නීය.
තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා ජාතිය (යලි ඉපදීම) ඇතිවේ.
ජාතිය (ඉපදීම) නිසා ජරා මරණද
ශෝක, පරිදේව හැඬීම්,
දුක් දොම්නස් සහ උපායාසයෝ (වැළපීම්) ඇතිවෙත්.
මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ ඇතිවේ.
“මහණෙනි,
පුරුෂයෙක් උදැල්ලක් ගෙනවුත් ඒ මුල් කපන්නේය.
මුල්කපා මුල් හාරන්නේය.
මුල්හාරා සැවැන්න මුල් පමණවූද කුඩා මුල්ද උදුරන්නේය.
ඔහු ඒ ගස කඩ කඩ කොට කපන්නේය.
කඩ කඩ කොට කපා, පළන්නේය,
පළා, කැබලි කැබලි කරන්නේය.
කැබලි කැබලිකොට, පවනෙහි සහ අවුවෙහි වේලන්නේය.
පවනෙහි සහ අවුවෙයි වේලා, ගින්නෙන් පුළුස්සන්නේය.
ගින්නෙන් පුළුස්සා, අළු කරන්නේය.
අළුකොට, තද සුළඟෙහි හෝ පොලා හරින්නේය.
ගලා බස්නාවූ, දිය පහරින් යුත් ගඟෙහි පාකර හරින්නේය.
මහණෙනි, මෙසේ ඒ මහ ගස මුල් කපන ලද්දේ
තල් කඳක් මෙන් කරන ලද්දේ,
මත්තෙහි නොවැඩෙනසේ අභාවයට පත් කරන්නේය.
මහණෙනි,
එසේම තෘෂ්ණාදෘෂ්ටි ආදීන් විසින්
අල්වාගනු ලබන ධර්මයන්හි
ආදීනව (දොස්) දකිමින් වාසය කරන්නාගේ
තණ්හාව නැති වන්නීය.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (යලි ඉපදීම) නැතිවෙයි.
ජාතිය (යලි ඉපදීම) නැතිවීමෙන් ජරා, මරණ,
ශෝක, පරිදේව (හැඬීම්) දුක්, දොම්නස්
සහ උපායාසයෝ (වැළපීම්) නැතිවෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි.
(හයවන රුක්ඛ සූත්‍රය නිමි)
SN 02-01-06-07. තරුණ රුක්ඛ සූත්‍රය
[මේ සත්වන සූත්‍රයේ “තරුණො” යනු මල් හා ඵල හටනොගත් යනුයි. “පලිසන්ථය්‍ය” යනු සෝදාහරින්නේය. “පංසුං දදෙය්‍ය” යනු තද -රළු පස් ඉවත්කර මුදු ගොම කුඩු මිශ්‍ර වූ සිනිඳු පස් දමන්ය. “වුද්ධිං” අභිවෘද්ධියට පැමිණ. ඵලහටගන්නා ගස්වල ඵල ද මල් හටගන්නා ගස්වල මල් ද හටගනේය. මෙහි එන උපමා සන්සන්දනය මෙසේය. තරුණ ගස මෙන් ත්‍රෛභූමික වූ සංසාරික පැවැත්ම දතයුතුයි. ගසට සත්කාර කරන පුරුෂයා මෙන් සංසාරික පැවැත්මෙහි නියැලී සිටින පුහුදුන් පුද්ගලයා දතයුතුයි. මුල් ශුද්ධකිරීම් ආදිය මෙන් තිදොරින් කුසලාකුසල කර්ම රැස්කිරිම දතයුතුයි. ගසේ වර්ධනය මෙම හේතුන් නිසා සිදුවීම මෙන් පුහුදුන් පුද්ගලයා භවයෙන් භවයට යමින් සසර සැරිසැරීම දතයුතුයි. සසර නැවැත්ම, එම ගසේ විනාශය මෙන් දතයුතුයි.]
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනියි” කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි,
සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි
රසවිඳමින් වාසය කරන්නාගේ තණ්හාව වැඩෙන්නීය.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ.
ජාතිය (ඉපදීම) නිසා ජරාමරණ,
ශෝක, දුක්, දොම්නස් සහ
උපායාස (වැළපීම්) ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවෙයි.
“මහණෙනි,
ඵලහට නොගත් තරුණ ගසක් වේ,
පුරුෂයෙක් කලින්කල ඒ ගසේ මුල් ශුද්ධකරන්නේය.
කලින් කල පොහොර දමන්නේය,
කලින් කල ජලය දමන්නේය,
මහණෙනි, මෙසේ ඒ තරුණ ගස
එයට සුදුසු ආහාර හේතුවෙන් වැඩීමට,
දියුණුවීමට, මහත්බවට පැමිණෙන්නේය.

“මහණෙනි, යම් තැනක හොඳින් වැඩුන තරුණ ගසක් වේ

” මහණෙනි,

(හත්වන තරුණ රුක්ඛ සූත්‍රය නිමි)
SN 02-01-06-08. නාමරූප සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ මහණෙනියි කියා භික්ෂූන් ඇමතූසේක. ස්වාමීනියි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

වාසය කරන්නහුගේ සිත නාමරූපයනට බැස ගනී.

මහ ගසක් වේ, ඒ ගසේ පොලොව යටට ගමන් කරන්නාවූ,
යටට බස්නා මුල් වෙත්, හරහට ගමන් කරන්නාවූ මුල් වෙත්,
ඒ සියල්ලම උඩට ඕජාව ගෙනයෙත්.
මහණෙනි,
එසේ ඒ මහ ගස ඕජාව ලැබීම නිසා
ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් පවතීන්නේය.
“මහණෙනි,
එසේම දස සංයෝජනය ධර්මයන්හි
රස විඳමින් වාසය කරන්නහුගේ
සිත නාම රූපයනට බැසගනී.
නාමරූප නිසා සළායතන ඇතිවේ.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා විඳීම ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය (දැඩිව අල්ලා ගැනීම) ඇතිවේ.
උපාදානය (දැඩිව අල්ලා ගැනීම) නිසා භවය ඇතිවේ.
භවය නිසා ජාතිය (ඉපදීම) ඇතිවේ.
ජාතිය (ඉපදීම) නිසා ජරාමරණ, ශෝකවීම්, හැඬීම්,
දුක්වීම දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි,
සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි
ආදීනව අනුව බලමින් වාසය කරන්නහුගේ සිත
නාමරූපයට බැස නොගනී
නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි.
වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.
තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි.
උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි.
භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවෙයි.
ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝකවීම්,
හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්.
මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.
“මහණෙනි,
මහ ගසක් වෙත එන පුරුෂයෙක් උදැල්ලක්
ගෙන අවුත් ඒ ගසේ මුල් කපන්නේය.
මුල් කපා මුල් හාරන්නේය.
මුල් හාරා, සැවැන්න මුල් පමණවූද කුඩා,
මුල් උදුරන්නේය.
ඒ ගස කඩ කඩ කොට කපන්නේය.
කඩ කඩ කොට කපා, පළන්නේය.
පළා, කැබලි කැබලි කරන්නේය.
කැබලි කැබලි කොට අවුවෙහි වේලන්නේය.
වේලා, ගින්නෙන් පුළුස්සන්නේය.
ගින්නෙන් පුළුස්සා අළු කරන්නේය.
අළුකොට, සුළඟෙහි පොලා හරින්නේය.
ශීඝ්‍රයෙන් ගලා බස්නාවූ ගඟෙහි පාකරන්නේය.
මහණෙනි,
මෙසේ ඒ මහ ගස මුල් සිඳින ලද්දේ
තල් කඳක් මෙන් කරන ලද්දේ
මත්තෙහි නොවැඩෙනසේ
අභාවයට පත්කරන ලද්දේය.
“මහණෙනි,
මෙසේ සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි
ආදීනව දකීමින් වාසය කරන්නහුගේ සිත
නාම රූපයන්ට බැස නොගනී.
නාමරූපයන් නැතිවීමෙන් සළායතනයන් නැතිවෙයි.
සළායතනයන් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ.

ජාතිය නැතිවීමෙන් ජරා, මරණ,
ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ
වැළපීම් නැතිවෙත්.
මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.
(අටවන නාමරූප සූත්‍රය නිමි)
SN 02-01-06-09 විඤ්ඤාණ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි,
සංයෝජනයන්ට අරමුණුවන ධර්මයන්හි රස වින්දින්නාහුගේ
විඤ්ඤාණයට බැසගැනීම සිදු වෙයි.
විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි.
නාමරූප නිසා සළායතන ඇතිවෙයි.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනා ඇතිවේ.
සුඛ වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා ජාතිය (යලි ඉපදීම) ඇතිවේ.
ජාතිය නිසා ජරා, මරණ, ශෝකවීම්,
හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ
වැළපීම් ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි,
මහගසක, ඒ ගසේ යටට යන්නාවූ, මුල් වෙත්,
හරහට ගමන් කරන්නාවූ යම් මුල් වෙත්,
ඒ සියල්ලම උඩට ඕජාව ගෙනයෙත්
මහණෙනි,
එසේ ඒ මහගස
ඒ ඕජාව නිසා ඒ හේතුවෙන්
දීර්ඝ කාලයක් සිටින්නේය.
“මහණෙනි,
එසේම දස සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි
රස විඳගැනීම අනුව බලමින් වාසය කරන්නහුගේ
විඤ්ඤාණයට බැසගැනීම වෙයි.
විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි.
නාමරූප නිසා සළායතන ඇති වෙයි.
සළායතන නිසා ස්පර්ශය ඇතිවේ.
ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ.
වේදනාව නිසා තණ්හාව ඇතිවේ.
තණ්හාව නිසා උපාදානය ඇතිවේ.
උපාදානය නිසා භවය ඇතිවේ.
භවය නිසා ජාතිය (යලි ඉපදීම) ඇතිවේ.
ජාතිය නිසා ජරා, මරණ, ශෝකවීම්,
හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම සහ වැළපීම් ඇතිවෙත්.
මෙසේ මේ සියලු දුක්ගොඩ ඇතිවෙයි.
“මහණෙනි,
සංයෝජනයන්ට අරමුණු වන ධර්මයන්හි ආදීනව
බලමින් වාසය කරන්නාගේ විඤ්ඤාණයට බැසගැනීම නොවෙයි.
විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි.
නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි.
ස්පර්ශය නැති වීමෙන් වේදනා නැතිවෙයි.
වේදනා නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි.

හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් නැතිවෙත්
මෙසේ මේ එකම දුක් සමූහය නැතිවෙයි.
“මහණෙනි,
පුරුෂයෙක් උදැල්ලක් ගෙන මහ ගසක්වෙත අවුත්
ඒ ගසේ මුල් කපන්නේය. මුල් කපා, මුල් හාරන්නේය.
මුල් හාරා, සැවැන්න මුල් පමණවූ කුඩා මුල්ද උදුරන්නේය.
ඔහු ඒ ගස කඩ කඩ කොට කපන්නේය.
කඩ කඩ කොට කපා, පළන්නේය.
පළා, කැබලි කැබලි කොට අවුවෙහි වේලන්නේය.
අවුවෙහි වේලා, ගිනි තබා පුළුස්සන්නේය.
ගින්නෙන් පුළුස්සා අළුකරන්නේය.
අළුකොට තද සුළගෙහි හෝ පොලා හරින්නේය.
සැඩ දිය දහරින් යුත් ගඟක පාකර හරින්නේය.
මහණෙනි,
මෙසේ ඒ මහගස මුල් කපන ලද්දේ.
තල් කඳක්මෙන් කරන ලද්දේ.
මත්තෙහි යලි නොවැඩෙනසේ විනාශ කරන ලද්දේය.
“මහණෙනි.
මෙසේ දස සංයෝජන ධර්මයන්හි ආදීනව බලමින්
වාසය කරන්නහුගේ විඤ්ඤාණයට බැසගැනීම නොවෙයි.
විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවේ.
නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි.
සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවේ.
ස්පර්ශයනැතිවීමෙන් වේදනා නැතිවෙයි.

(නවවන විඤ්ඤාණ සූත්‍රය නිමි).
SN 02-01-06-10 නිදාන සූත්‍රය
[සුත්‍ර වර්ණනාව :-
මේ දසවන සූත්‍රයේ “කුරුසු විහරති” යනු “කුරු” යන මෙසේ බහුවචන වශයෙන් ලබන ලද ව්‍යවහාර ඇති ජනපදයේ වාසය කරයි. “කම්මාස්සදම්මං නාම කුරුනං නිගමො” යනු කම්මාසදම්ම නම් වූ කුරු දේශයේ නියම්ගමකි. “එය ගොදුරුගම කරගෙන” යන අර්ථයි. “ආයස්මා” යන මෙය ප්‍රිය වදනකි. ගරු වදනකි. “ආනන්දෝ” යනු ඒ ආනන්ද තෙරුන්ගේ නාමයයි. “එකමන්තං නිසීදි” යනු සයක් වූ හිඳීම්-හිඳගැනීම් දෝෂයන්ගෙන් තොරව, දකුණු දණමඩලට (බුදුරදුන්ගේ) අභිමුඛ වූ තැන්හි, සවණක් ඝන බුද්ධරශ්මීන්ගේ ඇතුලට පිවිස, ප්‍රසන්න වූ ලාක්ෂා රසයකට බැසගන්නාක් මෙන් ද රන්පැහැ වස්ත්‍රයක් පොරවා ගන්නාක් මෙන් ද රතු උපුල් වියනක් මැදට පිවිසෙන්නාක් මෙන් ද ධර්ම භාණ්ඩාගාරික ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ හිඳගත්හ. එනිසා “එකත්පසෙක සිටියේය”යි කියන ලදී.
කුමන වේලාවක කවර කරුණකින් මේ තෙරුන් වහන්සේ, භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ වෙත එළඹි සේක්ද? සවස් වේලාවෙහි ප්‍රත්‍යයන්ගේ ආකාර දැක්වෙන ප්‍රශ්නයක් විමසීම සඳහායි. එදින අනඳ තෙරණුවෝ කුල සංග්‍රහය පිණිස, ගෙදරක් ගෙදරක් පාසා දහසක් බඩු පොදි බහා තබන්නාක් මෙන් කම්මාස්සදම්ම නියම්ගමෙහි ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිර, සවස් යාමයේ පිණ්ඩපාතයෙන් වැළකුණු සේක. ශාස්තෘන් වහන්සේට වත් දක්වා, ශාස්තෘන් වහන්සේ ගඳකිළියට වැඩම කළ කල්හි උන්වහන්සේට වැඳ, තමා දහවල ගතකරන තැනට ගොස් අන්තේවාසිකයන්ට වත් දක්වා, නික්මුණු කල්හි දවල් වසන තැන හැමද සම්කඩ පනවා දියබඳුනින් දියගෙන, අත්පා සීතල කරගෙන පලඟකට නැගී හුන් සේක. එසේ හිඳිමින් සෝවාන් ඵල සමවතට සමවැද අනතුරුව පිරිසිඳ දැක්වූ කාල වශයෙන් සමවතින් නැගිට, ප්‍රතීත්‍ය සමුපපාදයෙහි සිත පිහිට වූ සේක. උන්වහන්සේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර ඇතිවේ යනාදී ලෙස මුල සිට අගටත්, අග සිට මුලටත් උභයාන්තයේ සිට මැදටත්, මැදසිට අන්ත දෙකටත් වශයෙන් තෙවරක් ම දොළොස් පදයක් ඇති ප්‍රතීත්‍ය සමුප්පාදය සිහිපත් කළ සේක. මෙසේ සිහිපත් කරන උන්වහන්සේට ප්‍රතීත්‍ය සමුප්පාද ධර්මය මැනවින් ප්‍රකටවූ සේක. උඩුකුරු කළ කුන්තායුධයක් මෙනි. ඉක්බිති උන්වහන්සේට මෙසේ වැටහුනි. “මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය සියලු බුදුවරුන් විසින් “ඉතා ගැඹුරුය. අවබෝධ කරගැනීම අපහසුය. දුරවබෝධය”යැයි වදාරන ලදහ. අල්ප වූ දැනීම් ඇති ශ්‍රාවකයකු වූ මාහට මෙය උඩුකුරු වී අතිශය ප්‍රකටව වැටහුනේය. මෙසේ උඩුකුරුව මැනවින් වැටහෙනුයේ මාහට පමණක්ද? අන්‍යයන්ට නොවැටහේද?”යි සිතා තමාට වැටහුණු මෙම කාරණය ශාස්තෘන් වහන්සේට දන්වන්නෙමි යි හුනස්නින් නැගිට, සම්කඩ ගසාදමා, එයත් රැගෙන සවස් වේලෙහි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹි සේක. එනිසා කියන ලදී. “සවස් වේලෙහි ප්‍රතීත්‍ය සමුත්පාදය පිළිබඳව ප්‍රශ්නයක් විමසා දැනගැනීමට බුදුරදුන්ගේ සමීපයට වැඩි සේක” යනුවෙන්.
“යාව ගම්හීරෝ” යනු “යාව” ශබ්දය ප්‍රමාණය අතික්‍රමණය කරයි. ඉක්මවා සිටියි. ප්‍රමාණය ඉක්ම වූ ගැඹුරු – අතිශය ගැඹුරු යන අර්ථයි. “ගම්භීරාවභාසො” යනු ගැඹුරුවූයේ ම බබලයි. දක්නට ලැබෙයි යන අර්ථයි. එය වනාහී ප්‍රකට වූයේ නමුත් ගැඹුරු ආකාරයෙන් වැටහේ.1 මේ එක් ක්‍රමයකි. කුණු වූ කොළවල රස, කසට ආදියෙන් කළුපාට වූ පල් වූ වතුරක් මෙන් දණක් පමණ උස ඇත්තේ වුවත් එම වතුරට එබී බැලූවහුට මිනිසුන් සීයකගේ පමණ උස ඇති (ගැඹුරු වූ) ජලාශයක් මෙන් වැටහේ.1 තව ක්‍රමයක් මැණික් මෙන් ආලෝකවත් වූ ඉතා ප්‍රසන්න ජලාශයක දිය මෙන් ගැඹුරු වූයේ නමුත් ප්‍රකට වූ බැබලීම් ඇත.2 එම ජලාශය වනාහී මිනිසුන් සීයකගේ පමණට ගැඹුරු වුවත්, දණහිස පොවන දියකඩක් මෙන් වැටහේ. තවත් ජලයේ ක්‍රමයක් නම් ප්‍රකට වූයේ අතිශය ප්‍රකට වූයේම වේ.3 භාජනයකට දැමූ දිය මෙනි. තව ජලයේ ක්‍රමයක් නම් ගැඹුරු වූයේ අතිශය ගැඹුරුව දක්නට ලැබේ. වැටහේ.4 මහමෙර පාමුල ඇති මහා සමුද්‍රයේ දිය මෙනි. මෙසේ එකම ජලයම සතර වැදෑරුම්ව දක්නට ලැබෙයි. මෙවැන්නක් ප්‍රතීත්‍ය සමුත්පාදයේ නම් නැත. එය වනාහී ගැඹුරුවූයේ ම අතිශය ගැඹුරුවූයේ ම දක්නට ලැබේ. එනිසා එකම නමක් ලබයි. මෙසේ සමාන වුවත් “අථ ච පන මෙ උත්තාන කුන්තානකො විය ඛායති” මට ඉතා ප්‍රකට වූවක් මෙන් වැටහේ. එය මෙහි “අච්ඡරියං භන්තෙ! අබ්භූතං භන්තෙ!” යනුවෙන් තම විස්මය – පුදුමය ප්‍රකාශ කරන සේක්, තමන්ගේ ප්‍රශ්නය විමසා නිහඬ වූහ.
භාග්‍යවතුන් වහන්සේ අනඳ හිමියන්ගේ වදන් අසා ‘ආනන්ද, අකනිටා බඹලොව අල්ලාගැනීමට අතදිගු කරන්නාක් මෙන් ද මහමෙර බිඳ දමා එහි මදය බැහැර කරගැනීමට උත්සාහ කරන්නාක් මෙන් ද නැවක් නොමැතිව මහමුහුද තරණය කිරීමට සිතන්නාක් මෙන් ද පොළව පෙරළා පෘථිවි රසය ගැනීමට වෑයම් කරන්නාක් මෙන් ද බුදුවරුන්ට ම විෂය වූ ප්‍රශ්නයක් “තමාට මැනවින් ප්‍රකට වී”යැයි පවසයි. මොහුට මෙහි ගැඹුරු බව පෙන්වා දෙමි”යි සිතා, “ආනන්දය, එසේ නොකියන්න”යනාදිය දෙසූහ.
එහි “මාහෙවං” යන තැන්හි “හ” කාරය නිපාතයකි. “මෙසේ නොපවසන්න” යන අර්ථයයි. මෙහි භාග්‍යවතුන් වහන්සේ, “එසේ නොකියන්න” යනුවෙන් ආයුෂ්මත් ආනන්ද තෙරුන් උත්සාහවත් කරමින් ද නින්දා කරමින් ද වදාරන සේක. මෙම සූත්‍රයේ දී වදාරන ලද්දේ තෙරුන් උත්සාහවත් කිරීම සඳහායි. “ආනන්දය, නුඹ මහා පඬිවරයෙකි. විෂද වූ ඤාණ ඇත්තෙකි. එනිසා නුඹට ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාදය ඉතා ප්‍රකටව වැටහේ. අන්‍යයන්ට ද එසේ ප්‍රකටව වැටහෙන්නේ යැයි නො සැළකිය යුතුයි. එය ගැඹුරුය. අතිශය ගැඹුරු වූ දැකීම් ඇත්තකි.
ඒ සඳහා මේ උපමා සතර කියනු ලැබේ. සමසක් ඉතා රජ බොජුන් වළඳා පෝෂිත ශරීරයක් ඇති, කරන ලද නිසි පුහුණුවීම් ඇති මහා මල්ලව පොරකාරයකු උත්සව සමයේ දී කරන ලද මල්ලව පොර බැඳීමකට, යුධබිමකට යන්නේ, අතරමගදී තවත් එවැනිම මල්ලව පොරකාරයකු දැමු ගලක් දකින්නේය. ඔහු “මේ කුමක්ද?”යි ඇසූවිට අවට සිටි මිනිස්සු “මල්ලවයකු දැමු ගලකි”යි පවසති. ඔහු “එය ඉවත් කරවු”යි සෙස්සන්ට කී කල්හි, “එය එසවීමට නොහැක”යි ඔවුහු පවසති. එවිට මල්ලවයා තමාම ගොස් “මේ ගලේ බරක් කොයින්ද?”යි දෙඅතින් එය ඔසවා ක්‍රීඩා බෝලයක් මෙන් කරකවා ඈතට විසිකර යන්නේය.
එහිදී මල්ලවයාට මල්ලව පාෂාණය සැහැල්ලු දෙයක් විය. එනමුත් සෙසු මිනිසුන්ට එය “සැහැල්ලු දෙයකි” යි නොකිව යුතුයි. සමසක් ඉතා පෝෂ්‍යදායී රස අහරින් පෝෂිත වූ මල්ලවයා මෙන්, කල්ප සිය දහස් ගණනක් පාරමීදම් පුරා සම්පූර්ණ කරගත් ප්‍රාර්ථනා ඇති මේ ආනන්ද තෙරුන් දතයුතුයි. ඒ තෙරුන් වහන්සේගේ මහා ප්‍රඥාවන්ත බව නිසා ප්‍රතීත්‍ය සමුත්පාදය මැනවින් ප්‍රකට වූයේ මල්ලවයාගේ මහා බලය නිසා මල්ලව පාෂාණය සැහැල්ලු වූවාක් මෙනි. වෙනත් අයෙකුට ප්‍රතීත්‍ය සමුත්පාදය වහා ප්‍රකට වේයැයි නොකිව යුතුයි.
මහ මුහුදෙහි මහා මත්ස්‍යයෝ සද්දෙනෙක් වෙති. තිමිර නැමැති මහා මත්ස්‍යයා යොදුන් දෙසීයක් විශාලය. තිමිංගල මත්ස්‍යයා යොදුන් තුන්සීයක් විශාලය. තිමිර පිංගල නම් මහා මත්ස්‍යයාගේ විශාලත්වය යොදුන් පන්සීයකි. ආනන්ද, තිමින්ද, අජ්ඣාරෝහ සහ මහාතිමි යන මේ සිවු මත්ස්‍යයන්ගේ විශාලත්වය යොදුන් දහසකි. මෙහි තිමිර පිංගල මත්ස්‍යයාම (ඔහු පමණක්ම) සළකා බලනු ලැබේ. එම මත්ස්‍යයාගේ දකුණු කණ සෙල වූ විට යොදුන් පන්සීයක් පමණ ප්‍රදේශයේ දිය සෙලවේ. වම්කණ සෙල වූ විටද එසේමය. වලිගය ද හිස ද සෙල වූ විට එපරිද්දෙන් ම යොදුන් පන්සීයක් පමණ ප්‍රදේශයේ දිය සෙලවේ. දෙකන් සොළවා වලිගය දෙපසට වනා පහර දී, හිස දෙපැත්තට වනා ක්‍රීඩා කිරීමට ඇරඹූ කල්හි යොදුන් හත-අටක් පමණ තැන්හි ජලය, භාජනයක දමා ලිපේ තැබූ වතුරක් මෙන් කැකෑරේ. පැසෙයි. යොදුන් සීයක් පමණ ශරීරයේ තැන් ජලයෙන් නොවැසී පවතියි. එනිසා මේ මහා මත්ස්‍යයා මෙලෙස කියයි. “මේ මහ මුහුද ගැඹුරුය. අතිශය ගැඹුරු යැයි පවසති. කවර ගැඹුරක්ද? මාගේ පිට තෙමාගැනීමට තරම් වූ දියක්වත් මෙහි නැත” යනුවෙනි. මහමුහුදේ මහා කයකින් යුක්ත වූ තිමිර පිංගලයාට මහමුහුද නොගැඹුරු, ඉතා ප්‍රකට වූවක් වුවත් අන්‍ය කුඩා මත්ස්‍යයන්ට එය නොගැඹුරු වන්නේයැයි නොකිව යුතුයි.
මෙලෙසින් ම මහා ඤාණයෙන් යුක්ත වූ තෙරුන් වහන්සේට ප්‍රතීත්‍ය සමුත්පාදය මැනවින් ප්‍රකට වුවත්, අන්‍යයන්ට ද එසේ ප්‍රකට වන්නේ යැයි නොකිව යුතුයි. ගුරු රජා යොදුන් එකසිය පනහක් පමණ විශාලය. උගේ දකුණු පියාපත යොදුන් පනහක් පමණ විශාල වේ. වම් පියාපත ද එලෙසමය. පිල් කළඹ සැට යොදුනක් පමණ දිගුවේ. බෙල්ල යොදුන් තුනක් විශාලය. මුඛය යොදුන් නවයක් විශාලය. පාදයන්ගේ විශාලත්වය යොදුන් දොළසකි. ගුරුළු සුළඟ (සුවණ්ණ වාතං), ක්‍රීඩාව දැක්වීමට ඇරඹූ කල්හි ගුරුලාට යොදුන් හත්අට සීයක් පමණ වූ අහස ප්‍රමාණවත් නොවේ. එවිට ඔහු මෙසේ කියයි. “මේ අහස අනන්තය. අප්‍රමාණයැයි ඇතැම්හු කියති. අනන්ත බවක් කොහිද? මගේ පියාපත් හොඳින් දිගහැර නිදහසේ ඉගිලයෑම් පමණ වූ අවසරයක් වත් නොලබමි”යි යනුවෙනි. මෙහිදී මහා කයකින් යුතු වූ බැවින් ගුරුළු රජුට ආකාශය කුඩා වීයැයි ද එනිසා ම සෙසු කුඩා පක්‍ෂීන්ට ද අහස ඉතා කුඩා වූවකැයි නො පැවසිය යුතුයි. මේ ආකාරයෙන් ම මහා ප්‍රඥාවෙන් යුක්ත ව ආනන්ද තෙරුන් වහන්සේට ප්‍රතීත්‍ය සමුත්පාදය ප්‍රකටව වැටහුනත් අන්‍යයන්ට ප්‍රකටව වැටහෙන්නේ යැයි නොකිව යුතුයි.
රාහු අසුරේන්ද්‍රයාගේ පයේ පටන් හිසකෙස් අග දක්වා යොදුන් හාරදහස් අටසීයක් විශාල වේ. ඔහුගේ බාහු දෙක අතර දිග යොදුන් එක්දහස් දෙසීයකි. මහත යොදුන් හයසීයකි. අත්-පා පතුල් තුන්සිය යොදුනක් පමණ විශාලය. මුඛයත් එසේමය. එක් ඇඟිලි සන්ධියක දිග යොදුන් පනහකි. බැම දෙක අතර දිග ද එසේමය. නළලෙහි ප්‍රමාණය යොදුන් තුන්සීයකි. හිස යොදුන් නවසීයකි. ඔහු මහමුහුදට බැසගත්විට එහි ගැඹුරු ජලය දණහිස දක්වා පමණක් සිටී. එවිට ඔහු මෙසේ කියයි. “මේ මහමුහුද ගැඹුරුය. අතිශය ගැඹුරු යැයි ඇතැම්හු පවසති. ගැඹුරු බවක් එහි කොයින්ද? මගේ දණමඩලවත් වසා ගැනීමට ප්‍රමාණවත් දිය එහි නැත”යි යනුවේ. ඒ මහා කයකින් යුක්ත වූ බැවින් රාහු අසුරේන්ද්‍රයාට මහා සමුද්‍රය නොගැඹුරු වුවත් අන්‍යයන්ට නොගැඹුරු යැයි නොකිව යුතුයි. එලෙසින්ම ඥාණයෙන් යුක්ත වූ ආනන්ද තෙරුන්ට ප්‍රතීත්‍ය සමුත්පාදය ප්‍රකට වුවත් අන්‍යයන්ටත් එසේම වහා වැටහෙන්නේ යැයි නොකිව යුතුයි. මේ අර්ථය ප්‍රකාශ කිරීම සඳහා භාග්‍යවතුන් වහන්සේ “ආනන්ද! එසේ නො කියන්න. එසේ නොකියන්න” යි වදාළහ.
අනඳ තෙරුන්ට සතර කරුණකින් ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාදය නො ගැඹුරු යැයි වැටහුනේය.
කවර සතරකින්ද?
පූර්ව උපනිශ්‍රය සම්පත්තියෙන්,
තීර්ථ වාසයෙන්,
සෝවාන් ඵලයට පත් වූ බැවින් හා
බහුශ්‍රැත භාවයෙන්. (යන කරුණු සතරෙනි.)
මෙයින් කල්ප සියදහස් ගණනකට පෙර පදුමුත්තර නම් ශාස්තෘන් වහන්සේ ලොව පහළ වූ සේක. උන්වහන්සේ ඉපදුණු නුවර හංසවතී නම් විය. පිය රජු ආනන්ද නම් වීය. මව් බිසව වූයේ සුමේධා දේවියයි. බෝසතාණන් වහන්සේ ‘උත්තර’ නම් තම පුතු ඉපදුණු දිනම මහභිනික්මන් කොට, පැවිදිව ප්‍රධන්වීර්යය වඩන සේක් අනුක්‍රමයෙන් සර්වඥතා ඥානය ලැබ, “අනේකජාති සංසාරං…….” යනාදී ප්‍රීතිවාක්‍ය වදාළහ. සත්දිනක් බෝමැඩ මුල පලඟින් කල්යැවූ උන්වහන්සේ “දැන් පොළවේ පය තබමි”යි පා දෙක දිගුකළ සේක. එවිටම පොළව පැලී මහපියුමක් නැගී සිටියේ. එහි ප්‍රධාන පෙති රියන් අනූවකි. රේණු තිස් රියනකි. කර්ණිකාව දොළොස් රියනකි. කළ නවයක් පමණ රේණුවලින් පිරුණි.
ශාස්තෘන් වහන්සේ වනාහී උසින් රියන් පනස් අටක් විය. උන්වහන්සේන්ගේ බාහු දෙක අතර දිග දහඅට රියනකි. නළලත රියන් පහකි. අත්පා රියන් එකළොසක් දිගය. උන්වහන්ගේ රියන් එකළොසක් දිග පාදයෙන් දොළොස් රියන් වූ කර්ණිකාව පෑගීම සඳහා දිගු කළවිට, කළ නවයක් පමණ වූ රේණු පනස්අට රියන් ප්‍රදේශය පුරා පැතිර සිටියේ, විසිරුණු රත් සිරියල් කුඩු මෙනි. මෙනිසා භාග්‍යවතුන් වහන්සේට පදුමුත්තර යන නම භාවිත විය. උන්වහසේගේ අගසවු වූවෝ දේවල හා සුජාත යන දෙනමයි. අමිතා හා අසමා යන දෙදෙන අග්‍රශ්‍රාවිකාවෝ වූහ. උපස්ථායක වූයේ සුමන තෙරුන්ය. පදුමුත්තර බුදුපියාණන් වහන්සේ පියාට හිතවැඩ පිණිස භික්ෂූන් වහන්සේ සියදහස් ගණනක් පිරිවරාගෙන හංසවතී නුවර විසූ සේක.
උන්වහන්සේගේ බාල සොහොයුරා “සුමන” නම් විය. ඔහුට රජතුමා හංසවතී නුවරින් විසියොදුනක් පමණ වූ ඈත ප්‍රදේශයක් පාලනය සඳහා පවරා දුන්නේය. ඔහු වරින්වර අවුත් පියරජතුමා ද බුදුපියාණන් ද බැහැදකියි. එක්දිනක් ප්‍රත්‍යන්තයක ජනයා කුපිතව කැරලි ගැසීය. සුමන කුමරු රජුට මෙවන් පණිවුඩයක් එවීය.
“රජතුමනි! ඔබවහන්සේ මා වැනි දරුවකු සිටියදී කුමට යුද්ධයට එන්නේ ද?
ඒ සොරුන් සන්සිඳුවා ජනපදය සාමයෙහි පවත්වා ඔබ හමුවට එමි” යනුවෙනි.
ඒ හසුන කියවා සතුටු වූ රජු,
“මගේ පුතා! කැරලි නිමවා වහා එත්වා”යි පණිවිඩ යැවීය.
ඒ කුමරුට ඇමතියෝ දාහකි. කැරල්ල නිමවා රජු හමුවට යන අතරමගදී තම ඇමතියන් ඇමතූ රජකුමරු,
“මගේ පියා සතුටුව ඉදින් වරයක් දෙන්නේ නම් කුමක් ඉල්ලම්ද?” යනුවෙන් ඇසීය.
ඔවුන’තරින් එක් ඇමතියෙක් නැගිට
“ඇතෙක් ඉල්ලන්න”යිද තවකෙක් “කුමරුනි, අශ්වයෙක් ඉල්ලන්න”යිද තවකෙක් “ජනපදයක් ඉල්ලන්න”යිද තව ඇමතියෙක් “සප්ත රත්නයන් ඉල්ලන්න” යනාදී වශයෙන් එක් එක් ඇමතිවරු ඉල්ලන දෑ පැවසූහ.
මෙවිට නැගීසිටි එක් බුද්ධිමත් ඇමතියකු “නුඹවහන්සේ රජතුමාගේ පුතුය. එනිසා ඔබට වස්තුව-ධනය දුර්ලභ නොවේ. එම සම්පත් සියල්ල ලැබූවත් මැරෙන මොහොතේ මේ සියල්ල හැරදා යායුතුයි. අපට පරලොව ගෙන යා හැක්කේ “පින” පමණි. එනිසා රජතුමා වරයක් දුනහොත්, “පදුමුත්තර බුදුරදුන්ට තෙමසක් උපස්ථාන කිරීමට අවසර දෙන්න”යි ඉල්ලන්න”යි පැවසීය.
එය ඇසූ රජකුමරු, “නුඹ මගේ කලණ මිතුරෙකි. මට මෙබඳු සිතක් නොවීය. නුඹ විසින් එම කුසල් සිත උපදවන ලදී. මම එලෙසම කරමි”යි පවසා සහපිරිවරින් ගොස් පියරජු බැහැදැක්කේය. රජු ඔහු වැළඳගෙන සිප සනහා නළල සිඹ “පුතේ! නුඹට කැමති වරයක් ඉල්ලව. එය දෙමි”යි පැවසූ විට “පියරජතුමනි! මම භාග්‍යවතුන් වහන්සේට තෙමසක් උපස්ථාන කිරීමෙන් ජීවිතය වද නො වූවක් කරගනු කැමැත්තෙමි. මේ වරය මට දෙන්න”යි කුමරු පැවසීය. රජු – “පුතේ! එය නම් දිය නොහැක. අනික් ඕනෑම දෙයක් ඉල්ලව”යි කීවේය. එවිට පුත්කුමරු “රජතුමනි! ක්ෂත්‍රියයන්ගේ ලඟ කථා දෙකක් නම් නැත. මේ වරය පමණක් ම දෙන්න. වෙනත් වරයකින් මට වැඩෙක් නැත”යි පැවසීය. එවිට රජතුමා, “පුතේ! බුදුවරුන්ගේ සිත නම් අවබෝධ කරගැනීම අපහසුය. ඉදින් භාග්‍යවතුන් වහන්සේ නොකැමති නම් මම වරය දුන්නත් වැඩක් වේද?”යි ඇසීය. එවිට එකුමරු “යහපති රජතුමනි! මම භාග්‍යවතුන් වහන්සේගේ සිත දැනගෙන එමි”යි පවසා විහාරයට ගියේය.
මෙවිටම භාග්‍යවතුන් වහන්සේ බත් කිස නිමවා ගඳකිළියට පිවිසියේ වේ. ඔහු මණ්ඩලමාලයේ හුන්නා වූ භික්ෂූන් වහන්සේලාගේ සමීපයට ගියේය. එවිට උන්වහන්සේලා ඔහුගෙන් “රාජපුත්‍රය. කුමක් නිසා මෙහි පැමිණියේද?යි ඇසූහ. එවිට කුමරු “මම බුදුරදුන් දැකීම පිණිස පැමිණියෙමි”යි කීවේ. “මට උන්වහන්සේ දක්වන්න”යි ඉල්ලීය. එවිට භික්ෂූහු “රාජපුත්‍රය! අපිනම් කැමති කැමති වේලාවට භාග්‍යවතුන් වහන්සේ දැකීමට අවසර නොලබමු”යි පැවසූහ. එවිට රජකුමරු “එසේනම් ස්වාමීනි! කවරෙකු අවසර ලබයිද?”යි විමසීය. භික්ෂූන් වහන්සේ “රාජපුත්‍රය! සුමන තෙරුන් ඒ අවසරය ලබා ඇත”යි පැවසූහ. කුමරු “උන්වහන්සේ කොහි වෙසේද?”යි අසා දැනගෙන එම කුටියට ගොස් උන්වහන්සේට වැඳ, “ස්වමීනි! මම භාග්‍යවතුන් වහන්සේ දකිනු කැමැත්තෙමි. මට උන්වහන්සේ දක්වන සේක්වා”යි ඉල්ලා සිටියේය. තෙරුන් වහන්සේ “රාජපුත්‍රය! එන්න”යි කියා කුමරු කැඳවාගෙන ගොස් ඔහු ගඳකිළි පිරිවෙණෙහි තබාගඳකිළියට වැඩියහ. එවිට භාග්‍යවතුන් වහන්සේ “සුමන! කුමක් නිසා පැමිණියේද?”යි ඇසූ සේක. තෙරණුවෝ “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ දැකීමට රාජපුත්‍රයා පැමිණියේය”යි පිළිතුරු දුන්හ.” එසේනම් අසුනක් පනවන්න”යි බුදුහු වදාළහ. තෙරුන් වහන්සේ අසුනක් පැනවූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ පැන වූ අසුනෙහි වැඩහිඳි කල්හි, රජපුතු උන්වහන්සේට වැඳ නමස්කාර කර, පිළිසඳර කථාව කොට නිමියේය. “රාජපුත්‍රය, නුඹ කුමන වේලාවෙහි පැමිණියේද?යි බුදුහු විමසූහ. කුමරු “ස්වාමීනි! නුඹවහන්සේ ගඳකිළියට පිවිසි වේලාවෙහිම පැමිණි මාහට, “අපි භාග්‍යවතුන් වහන්සේ කැමති කැමති වේලාවට දැකීමට අවසර නොලබමු. සුමන තෙරුන්ට පමණක් එම අවසරය ඇතැ”යි පවසා, භික්ෂුන් වහන්සේලා මා සුමන තෙරුන් වෙත යොමු කළහ. උන්වහන්සේ වනාහී එක වචනයකින් ම මාහට බුදුපියාණන් දැක්වූහ. ස්වාමීනි! මේ තෙරුන් වහන්සේ, නුඹවහන්සේගේ සසුනෙහි ඉතා ප්‍රියයෙක් වේයැයි සිතමි”යි පැවසුවේය. එවිට බුදුපියාණන් වහන්සේ මෙසේ වදාළහ. “එසේය රජකුමරුනි! මුන්වහන්සේ මගේ සසුනෙහි ඉතා ප්‍රිය භික්ෂුවකි” යනුවෙනි. මෙය ඇසූ රජකුමරු, “ස්වාමීනි! බුදුවරුන්ගේ ශාසනයන්හි ඉතා ප්‍රිය භාවයට යෑම සඳහා කුමක් කළයුතුද?”යි ඇසීය. එම පැනයට පිළිතුරු දෙන බුදුපියාණන් වහන්සේ, “කුමරුනි! දන්දී, සිල්සමාදන්ව, පොහෝ කර්ම කර ප්‍රියභාවයට පත්විය හැකියැ”යි වදාළ සේක. එවිට රජකුමරු, “භාග්‍යවතුන් වහන්ස! මම ද මේ තෙරුන් මෙන් බුදුසසුනක ප්‍රියයෙක් වීමට කැමැත්තෙමි. තෙමසක් වූ වස්කාලය තුල මාගේ උපස්ථානය ඉවසන සේක්වා!”යි ආරාධනා කළේය. භාග්‍යවතුන් වහන්සේ “මේ ගමනින් යහපතක් වේද?”යි විමසා බලා, යහපතක් වන බව දැන, “රාජපුත්‍රය! ශුන්‍යගාරයන්හි වාසයට බුදුවරු කැමතිවෙති”යි වදාළහ. කුමරු “බුදුරජාණන් වහන්සේ මගේ ඇරයුම පිළිගත්හ. අනුදත්හ” යි දැන “ස්වාමීනි! මම පළමුව ගොස් විහාරයක් කරවමි. මා පණිවුඩයක් එවූ කල්හි භික්ෂූන් වහන්සේ සිය-දහස් ගණනක් පිරිවරාගෙන වඩිනු මැනව”යි පොරොන්දු ගෙන පියරජු සමීපයට ගොස්, “රජතුමනි! භාග්‍යවතුන් වහන්සේ මට අවසර දුන් සේක. මා පණිවුඩයක් එවූ කල්හි භාග්‍යවතුන් වහන්සේ එහි වැඩම කරවුව මැනව”යි කියා පියාට වැඳ, තම නුවරට යන්නේ සතරමග යොදුනක්-යොදුනක් පාසා විහාරාරාම කරවමින් විසියොදුන් මග ගෙවා සිය නුවරට පැමිණියේය. තම නුවරට ගොස් විහාරයකට සුදුසු තැනක් සොයනුයේ “සෝභන” නම් සිටුපුතුගේ උයන දැක ලක්‍ෂයකට එය මිලදීගෙන, තවත් ලක්ෂයක් වියදම් කර මහාවිහාරයක් කරවූයේ ය. එහි භාග්‍යවතුන් වහන්සේගේ ගඳකිළිය හා සෙසු භික්ෂූන් වහන්සේගේ දවල් වසන තැන්, රාත්‍රී වසන තැන්, කුටි-ලෙන්-මණ්ඩප කරවා, පවුරකින් වටකරවා; පිවිසෙන ද්වාර නාන තොටු ආදිය ද පිළියෙල කරවා, අනතුරුව තම පියාණන් වෙත, “මගේ කටයුතු නිමකරන ලදී. භාග්‍යවතුන් වහන්සේ වැඩමවන සේක්වා!”යි හසුන්පත් යැවීය.
පියරජු භාග්‍යවතුන් වහන්සේට වළඳවා, “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! සුමනගේ කටයුතු නිම කරන ලදී. ඔහු නුඹවහන්සේ ගේ පැමිණීම බලාපොරොත්තුව සිටියි” යනුවෙන් පැවසීය. බුදුපියාණන් වහන්සේ ලක්‍ෂ ගණනක් භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන, යොදුනෙන් යොදුන විහාරවල වාසය කරන සේක් පිළිවෙලින් එනුවරට වැඩම කළ සේක.
කුමරා ශාස්තෘන් වහන්සේ පැමිණෙන පුවත අසා සතුටුව, යොදුනක් පෙර ගමන් කර, සුවඳ මල් ආදියෙන් පූජා පවත්වමින් විහාරයට වැඩම කරවාගෙන අවුත්,
“ලක්ෂ ගණනක් මිලදී ගත්, ලක්ෂ ගණනක් වියදම් කර සාදවන ලද මේ සෝභන නම් වූ උයන, මුනීන්ද්‍රයන් වහන්සේ මා හට අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!”යි පවසා විහාරය බුද්ධප්‍රමුඛ මහා සංඝයාට පූජා කළේය. ඔහු වස් එළඹෙන දින මහදන් පවත්වා, තම අඹුදරුවන්ද ඇමතියන්ද කැඳවා මෙසේ කීය. “ශාස්තෘන් වහන්සේ අපගේ සමීපයට වැඩියේ බොහෝ දුර සිටයි. බුදුවරු නම් ධර්ම ගරුකරන්නෝ මිස ආමිස ගරු කරන්නෝ නොවෙති. එනිසා මේ තෙමස ම මම සලු දෙකක් පමණක් හැඳගෙන, දසසිල් සමාදන්ව මෙහිම වෙසෙමි. නුඹලා සියලුම රහතන් වහන්සේලාට ම මේ අයුරින්ම තෙමස පුරා දන් දෙවු”යි යනුවෙනි.
ඔහු සුමන තෙරුන් වැඩවෙසෙන තැනට සමීපවූ තැනක වෙසෙමින්, තෙරුන් වහන්සේ විසින් භාග්‍යවතුන් වහන්සේට කරනු ලබන සියලු වත් පිළිවෙත් දැක, “මේ සස්නෙහි ඒකාන්තයෙන්ම ඉතා ප්‍රිය වූයේ මේ තෙරුන්මය. මෙම තනතුර පැතීම ඉතා අගනේය”යි සිතා වස් පවරාණය ළංවූ විට ගමට පිවිස සත්දිනක් මහදන් දී, සත්වැනි දින ලක්‍ෂ ගණනක් භික්ෂූන්ගේ පාමුල තුන් සිවුරු තබා, භාග්‍යවතුන් වහන්සේට වැඳ, “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස, ඉදින් මවිසින් අතරමග යොදුනක් පාසා විහාර කරවීමේ පටන් කරන ලද සියලු පින්කම්වලින් ශක්‍ර සම්පත්, මාර, බ්‍රහ්ම සම්පත් ආදියක් නොපතමි. හුදෙක් ලොවුතුරා බුදුවරයෙකු හමුවේ උපස්ථායක තනතුර දැරීමට ම ප්‍රාර්ථනා කරමි. එනිසා ස්වාමීනි! මේ සුමන තෙරුන් මෙන් මමද බුදුවරයන් වහන්සේ කෙනෙකු හමුවේ අග්‍ර උපස්ථායකයකු වේවා!”යි පතමින් පසඟ පිහිටුවා වැඳගෙන සිටියේය.
භාග්‍යවතුන් වහන්සේ මේ මහත් වූ කුල පුතුගේ ප්‍රාර්ථනාව ඉටුවන්නේද? නොවන්නේ ද?යි විමසා බලන සේක් “අනාගතයේ දී – මින් කල්ප සියදහසක් ගත වූ කල්හි ගෞතම නම් බුදුරජාණන් වහන්සේ පහළවන සේක. මෙකුමරු උන්වහන්සේන්ගේ අග්‍ර උපස්ථායක වන්නේය”යි දැන
ඉච්ඡිතං පච්ඡිතං තුයිහං ඛිප්පමේව සමිජ්ඣතු
සබ්බා පූරෙන්තු සංකප්පා චන්දො පණ්ණ රසො යථා
“ඔබ සිතූ-පැතු සියල්ලම වහා සමෘද්ධිමත් වේවා!
පසළොස්වක සඳ මෙන් ඔබගේ සියලු සංකල්පනාවෝ සම්පූර්ණ වෙත්වා!”යි වදාළ සේක.
මෙය ඇසූ සුමන කුමරු “බුදුවරු නම් දෙයාකාර වූ කථාවක් නොදෙසනෝමය”යි සිතා දෙවැනි දින පටන් ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු ගෙන පිටුපසින් අනුව යන්නාක් මෙන් හැඟුනේය. එසේ සිතමින් ප්‍රීති විය. ඔහු ඒ බුද්ධෝත්පාද කාලයේ වර්ෂ සියදහස් ගණනක් මහදන් දී දිව්‍යලෝකයේ ඉපිද කසුප් බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයෙහි පිඬු පිණිස හැසිරෙන භික්ෂුවකට සිය පාත්‍රය තබාගෙන යෑම සඳහා සුදුසු වූ උතුරු සලුවක් පූජා කළේය.
නැවත දෙව්ලොව ඉපිද, ඉන් චුතව බරණැස් මහරජුව ඉපිද, පසේ බුදුවරු අටනමක් සඳහා පන්සල් කරවා, මැණික් පුටු පූජා කරවා සිවු පසයෙන් ඇප උපස්ථාන කරමින් වර්ෂ දසදහසක් ගත කළේය. මෙතැන් සිට ඇති තොරතුරු ඉතා ප්‍රකටය.
කල්ප සියදහස් ගණනක් දන් දෙමින් ම අපගේ බෝධිසත්ත්වයන් වහන්සේ සමග ම තුසිත පුරයෙහි ඉපිද, ඉන් සැව අමිතෝදන ශාක්‍යයාගේ භාර්යා කුස පිළිසිඳගෙන, පිළිවෙලින් කරන ලද අභිනික්මන් ඇති අප සිදුහත් තාපසතුමා සම්මා සම්බුද්ධත්වයට පැමිණ පළමුවර කපිලවත්ථුවට වැඩි අවස්ථාවේ දී ශාක්‍ය රජවරු ගත් තීරණයට අනුව කපිලවත්ථුවෙන් නික්මුණු බුදුපියාණන් වහන්සේ පිරිවරා ගැනීමට ශාක්‍ය කුලයෙන් පැවිදිවන භද්දියාදී කුමාරවරු සමග ගිහිගෙයින් නික්මුණු ආනන්ද කුමරු, භාග්‍යවතුන් වහන්සේ වෙත පැවිදි වූයේය. නොබෝ දිනකින් ම ආයුෂ්මත් පුණ්ණ මන්තානි පුත්ත මහතෙරුන්ගේ ධර්ම කථාවක් අසා සෝවාන් ඵලයෙහි පිහිටි ආනන්ද තෙරණුවන්ගේ පූර්ව උපනිශ්‍රය සම්පත්තීන් මෙපරිද්දෙන් දතයුතුයි. ඒ පූර්ව උපනිශ්‍රය සම්පත් හේතුවෙන් ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය වඩාත් ප්‍රකටව වැටහුණු බව දතයුතුයි.
තීර්ථ වාසය (තිත්ථවාස) යනු ගුරුවරු සමීපයේ සිට ධර්ම කරුණු ඉගෙනීම, ශ්‍රවණය, විචාරීම, ධාරණය කරගැනීමාදී ක්‍රියාවන්ය. මෙකරුණු ආනන්ද තෙරුන් පිළිබඳව විමසා බැලීමේදී අතිශයින් පිරිසිදුය. එනිසා මෙම ගැඹුරු ධර්මය මැනවින් වටහාගත හැකි වූ බව දතයුතුයි.
සෝවාන් වූවන්ටද මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වී මෙන් මැනවින් ප්‍රකටව අවබෝධ වේ. ආනන්ද තෙරුන් ද සෝවාන්ව සිටි බැවින් මෙම සත්‍යය ධර්මය මැනවින් වැටහෙන්නට ඇති බව දතයුතුයි. බහුශ්‍රැතයන්ට වනාහී; සිවුරියන් කාමරයක පහන් දල්වන කල්හි ඇඳපුටු ආදිය මැනවින් ප්‍රකටව පෙනෙන්නාක් මෙන් නාමරූපයන්ගේ බෙදා දැක්වීම් මනාව ප්‍රකටව වැටහේ. මේ ආනන්ද තෙරුන් වහන්සේද බහුශ්‍රැතයන්ට අග්‍රවූයේමය. මෙලෙස බහුශ්‍රැත බවින් අග්‍ර හෙයින් උන්වහන්සේට ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වූවක් මෙන් මනාව වැටහුනේය.
ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයේ ගැඹුරු බව සතරාකාරව දතයුතුයි. ඒ ගාම්භීරතාවයන් විශුද්ධිමාර්ගයේ විස්තර කරන ලදී. එම සියලු ගාම්භීරතාවයන් ආනන්ද තෙරුන්ට වඩා අවබෝධ විය. එනිසා භාග්‍යවතුන් වහසේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් උත්සාහවත් කරවන සේක්, “ආනන්ද එසේ නොකියන්න” යනාදිය වදාළ සේක.
මේ එහි අදහසයි.- “ආනන්දය! නුඹ මහා ප්‍රාඥයෙක. ප්‍රකට වූ ඤාණ ඇත්තෙක. එනසා නුඹට අතිශය ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාදයද උඩුකුරු වූවක් මෙන් වැටහුනේය. එනිසා මාහටම මෙය උඩුකුරු වූවක් මෙන් වැටහුණිද? නැතිනම් සෙස්සන්ටත් මෙය වැටහේද? යනාදී වදන් නොපවසන්න” යනුවෙනි.
නින්දා කරමින් යමක් කියන ලදද එහි මේ අදහස ඇත. “ආනන්දය! තවත් “මට උඩුකුරුව-ඉතා ප්‍රකටව වැටහේ” යැයි නොපවසන්න. ඉදින් නුඹට ඉතා ප්‍රකටව ප්‍රතීත්‍ය සමුත්පාදය වැටහේ නම් කුමක් නිසා නුඹ තම ධර්මතා වශයෙන් සෝවාන් ඵලයට පත් නොවූයෙහිද? මවිසින් දේශිත නය අනුව නුඹ සෝවාන් ඵලයට පත් වූයෙහිය.
ආනන්දය! මේ නිවන් මග ඉතා ගැඹුරුය. ප්‍රතීත්‍ය-සමුත්පාදය වනාහී ප්‍රකට වූයේ – මැනවින් වැටහෙනුයේ නම් කුමක් නිසා නුඹ ඕලාරික වූ කාමරාග සංයෝජනය, ප්‍රතිඝ (තරහ) සංයෝජනය හා කාමරාගානුසය හා ප්‍රතිසානුසය යන මේ සිවුවැදෑරුම් ක්ලේශ ධර්ම උපුටා දමා සකෘදාගාමී ඵලය සාක්ෂාත් කර නොගන්නෙහි ද?
කිම ඒ අත්‍යල්ප වූ සතරවිධ ක්ලේශ ධර්ම සම්පූර්ණයෙන් ම නසා අනාගාමී ඵලය සාක්ෂාත් නොකරන්නේ ද?
රූපරාගාදී පස්විධ සංයෝජනයන් ද මාන-භව-අවිද්‍යාදී අප්‍රකට ක්ලේශ ධර්ම අට ද සම්පූර්ණයෙන් ම නසා රහත්ඵල සාක්ෂාත් කරණය නොකර සිටිනුයේ මන්ද?
සිය දාහක් කල්පයන්හි ඒකාසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක් පිරූ පාරමී ධර්ම ඇති, සැරියුත්-මුගලන් මහතෙරවරු මෙන් ශ්‍රාවක පාරමී ඤාණය අවබෝධ නොකළේ කුමක් නිසා ද?
කල්ප අසංඛෙය්‍ය කල්ප ලක්‍ෂ දෙකක් පුරා පිරූ පාරමී දම් ඇති පසේ බුදුවරු මෙන් පසේ බුදු ඤාණය අවබෝධ නොකළේ ඇයිද?
ඉදින් නුඹට සියලුම ආකාරයෙන් මේ ධර්මය ඉතා ප්‍රකටව වැටහෙන්නෙහි නම්, අසංඛ්‍යය කල්ප ලක්‍ෂ හතරක්, අටක් හෝ දාසයක් පුරා පුරන ලද පාරමිතා ධර්ම ඇති ලොවුතුරා බුදුවරයෙකු මෙන් සර්වඥතා ඥානය කුමක් නිසා සාක්ෂාත් කර නොගන්නෙහි ද?
මේ සුවිශේෂී වූ අධිගමයන්ගෙන් අනර්ථයක් හෝ අවැඩක් වන්නෙහිද?
බලන්න! නුඹගේ අපරාධ වූ ප්‍රකාශයේ තරම.
නුඹ ශ්‍රාවක ඥාණයෙහි පිහිටියේ ඉතා ගැඹුරු වූ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය උඩුකුරු වූවක් මෙන් වැටහෙන්නේ යැයි පවසන්නෙහිය. මේ නුඹගේ ප්‍රකාශය ලොවුතුරු බුදුවරුන්ගේ දේශනාවට විරුද්ධ වූයේ වෙයි. නුඹ වැනි භික්ෂූන් විසින් බුදුවරුන්ගේ දේශනාවට පටහැනි වූවක් පැවසීම නුසුදුසුම ක්‍රියාවකි.
ආනන්දය! මාහට මෙම ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය අවබෝධ කරගැනීම සඳහා සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ඉක්ම නොගියේද? මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය අවබෝධ කරගැනීම සඳහා මවිසින් නොදුන් දානයක් නම් නැත. නොපිරූ පාරමිතාවක් නම් නැත. “අද ප්‍රතීත්‍ය -සමුත්පාදය අවබෝධ කරනෙමි”යි මාර බලය පරදා කළ ඒ උත්සාහය ඵලරහිතය. ඔබ මේ ප්‍රකාශය කරන කල්හි මහපොළව දෑගිල්ලක් තරම්වත් කම්පා නොවිණි. එනමුත් බුදුවනදා ප්‍රථමයාමයේ දී පුබේනිවාසානුස්සති ඥානය ද මධ්‍යම යාමයේ දී දිබ්බචක්ඛු ඥානය ද උපදවාගෙන පශ්චිම යාමයේදී ඉතා අලුයම් වේලාවෙහි අවිද්‍යා, සංස්කාරාදිය නවාකාරයකින් ප්‍රත්‍යවන්නේ යැයි දුටු පමණින් ම දස දහසක් සක්වල යකඩ දණ්ඩකින් තලන ලද ලෝහ තලියක් මෙන් රාවප්‍රතිරාව සීයක්, රාවප්‍රතිරාව දාහක් මුදමින්, සුලඟින් සොලවන ලද නෙලුම් පත්‍රයේ ඇති දියබිඳු මෙන් කම්පා විය. මෙලෙස “ආනන්දය! මේ ප්‍රතීත්‍ය සමුත්පාදය ඉතා ගැඹුරුය. ගැඹුරු වූයේ ම ගැඹුරුව පෙනේ. ආනන්දය! මේ දහම නොදැනීම නිසා, අවබෝධ නොකිරීම නිසා -පෙ- සසර නො ඉක්මවත්.”
“එතස්ස ධම්මස්ස” යනු මේ ප්‍රත්‍යය ධර්මයාගේය. “අනනුබොධා” යනු දන්නා ලද, සම්පූර්ණයෙන් දැනගත් ආදී ලෙස අවබෝධ කර නොගැනීමෙනි. “අප්පටිවෙධා” යනු තීරණ, ප්‍රහාණ හා පිරිසිඳ දැනීම් වශයෙන් අනවබෝධ වූ යනුයි. “තන්තාකුලක ජාතා” යනු නූලක් මෙන් අවුල් වූ යනුයි. යම්සේ වැරදි ලෙස දමනු ලැබූ, මීයන් විසින් කනලද පේෂකාරයන්ගේ නූලක් ඒ ඒ තැන අවුල්වේද, මේ අගය, මේ මුලය ගත නොහැකි ද, අගින් අග හෝ මුලින් මුල හෝ ගැලවීම අපහසු වේද ඒ ආකාරයෙන්ම සත්ත්වයෝ මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මයෙහි පැකිලී, අවුල්ව – ව්‍යාකුලව ගියාහු වෙති. ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය ඍජු කරගැනීමට නො හැකි වේ. එහි අවුල් වූ නූල ප්‍රත්‍යක්ෂයෙන් දත් පුරුෂයෙකු ලවා ම දිගහැර ගැනීමට හැකිවන නමුත් මේ ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය තමාගේම ධර්මතාවක් වශයෙන් වටහා ගැනීම සඳහා බෝසත්වරු දෙදෙනෙක් ලඟ තබාගෙනවත් නොහැකි වන්නේමය. එවැනි හැකියාවක් නැත්තේමය. යම්සේ අවුල් වූ නූල කැඳෙහි දමා මුස්නකින් ගසනවිට ඒ ඒ තැන ගුළාවක් මෙන් ගැට-බැඳීම් ඇතිවන්නේ ද එසේ ම මේ සත්ත්වයෝ ප්‍රත්‍ය ධර්මයන්හි පැකිලී, ප්‍රත්‍ය ධර්මය සෘජුව වටහා ගැනීමට නොහැකිව දෙසැට මිසදිටුවලට යෑම් වශයෙන් ගුළාවක් මෙන් වේ. ගැට බැඳීම් ඇති වේ. යම් කිසිවෙකු දෘෂ්ටි ඇසුරු කළෝ නම් ඔවුහු සියල්ලෝම ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය ඍජුව වටහා ගැනීමට නොහැකිවූවෝ වෙති.
“ගුළාගුණ්ඩික ජාතා” යනු අවුල් වූ නූල් ගුළාවකි. ජේෂකාරයන්ගේ කැඳෙහි දැමූ නූලකි. ඇතැම්හු (අභයගිරිකාදී) මෙසේ කියති. “ගුළා” යනු පක්ෂි වර්ගයකි. ඒ පක්ෂීන්ගේ කුඩු මෙන් අවුල් වූ යන අර්ථයයි. මේ අර්ථ දෙකම ආකූල වූ, අගින් අග හෝ මුලින් මුල ගැලපීමට දුෂ්කර වූ යන මුලින් කී අර්ථ දෙකම ආකූල වූ, අගින් අග හෝ මුලින් මුල ගැලපීමට දුෂ්කර වූ යන මුලින් කී අර්ථයට ම යෙදිය යුතුයි.
“මුඤ්ජබබ්බජභූතා” යනු මුදුතණ මෙන්, සවැන්න තණමෙන් වූ, එලෙස හටගත් යනුයි. යම්සේ ඒ තණ අඹරා කරන ලද රැහැන කැඩුණු විට කිසිවෙක් වැටුණු කැබැල්ලක් ගෙන, ඒ තණවල ‘මේ අගයි. මේ මුලයි’ යනුවෙන් අගින් අග හෝ මුලින් මුල හෝ ගැලපීමට දුෂ්කර වේ. එයද ප්‍රත්‍යක්‍ෂයෙන් දත් පුරුෂයකු ලවා ම ඍජුකර ගැනීමට හැකිවන්නකි. එනමුත් බෝසත්වරු දෙදෙනෙක් දෙපස තබාගෙනවත් තමාම ධර්මතා වශයෙන් ප්‍රතීත්‍ය සමුත්පාදය ඍජුව වටහා ගන්නෙක් නම් නැත. මෙසේ මේ සාමාන්‍ය ජනයා ප්‍රත්‍ය ධර්ම ඍජුව වටහා ගැනීමට නොහැකි වනුයේ දෘෂ්ටිගත වශයෙන් ගැට හටගතෝ වී “අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති” සැපෙන් පහවී නපුරු ගති ඇති නරකයෙහි වැටී සසර නො ඉක්මවයි.
මෙහි “අපාය” යනු නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත විෂය හා අසුර ලෝකයයි. ඒ සියල්ලෝම “වර්ධනය වීම” නම් වූ “අයවීමෙන් දුරුවූයේ-නොවැඩෙන්නේ “අපාය” නම් වේ. එසේම දුකට යෑම් වශයෙන් “දුගති” නම් වේ. සැප කයින් වැටුණු බැවින් “විනිපාත” නම් වේ. සෙසු පදයන්හි අර්ථ –
“ඛන්ධානං පටිපාටී ච ධාතු ආයතනානිච
අම්බොච්ඡින්නං වත්තමානං සංසාරොති පවුච්චතී”
“ස්කන්ධයන්ගේ පිළිවෙල හා ධාතු-ආයතනාදිය නොසිඳී -අඛණ්ඩව එකට බැඳී පවතිනුයේ ද “ඒ සංසාරය” යැයි කියනු ලැබේ.
ඒ සියල්ල ද නො ඉක්මවයි. අතික්‍රමණය නොකරයි. අනතුරුව චුතියෙන් ප්‍රතිසන්ධිය ද ප්‍රතිසන්ධියෙන් චුතිය ද ලැබීම් වශයෙන් මෙලෙස නැවත නැවත චුති-ප්‍රතිසන්ධි ලබන සත්වයෝ ත්‍රිවිධ භවයන්හිද නව සත්තාවාසයන්හි ද ඉපිද මැරෙමින්; මහමුහුදේ ඒ මේ අත ගසාගෙන යන නැවක් මෙන් ද යන්ත්‍රයේ යොදන ලද ගොනෙකු මෙන් ද පරිභ්‍රමණය කරත්මය. මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින්, ආයුෂ්මත් ආනන්ද හිමියන්ට නින්දා කරමින් දේශනා කළහයි දතයුතුයි. මෙම සූත්‍රයේ ඉතිරි පදයන්ගේ අර්ථ ඉතා ප්‍රකටය.]
SN 02-01-06-10 නිදාන සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ “කම්මාස්සදම්ම” නම්වූ කුරුරට වැස්සන්ගේ නියම්ගම ගොදුරුගම් කොට කුරුරට වාසය කරනසේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි,
මේ පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරු වූවක් බව කියතත්,
ගැඹුරු ලෙස පෙනුනත්,
මට ඒ නොගැඹුරුව නොගැඹුරුව මෙන් වැටහෙයි” කියායි.
“ආනන්දය, එසේ නොකියව!
ආනන්දය, එසේ නොකියව!!
ආනන්දය,
මේ පටිච්චසමුප්පාදය ගැඹුරුය,
ගැඹුරු ලෙසටම පෙනෙයි.
ආනන්දය,
මෙසේ මේ ධර්මය නොදැනීමෙන්,
මේ ධර්මය අවබෝධ නොකිරීමෙන්,
ප්‍රතිවෙධ නොකිරීමෙන්,
මේ ලෝකයේ ප්‍රජාව,
පැටලුනු නූල් පන්දුවක් මෙන් වූවාහ,
කැදැල්ලක් මෙන් වූවාහ.
මුදුතණ හා බබුස්තණ මෙන් වූවාහ.
සැප නැත්තාවූ, නපුරු දුක් ඇත්තාවූ,
විෂම වැටීම් ඇත්තාවූ,
සංසාරය ඉක්මවා නොයන්නීය.
ආනන්දය,
තෘෂ්ණා දෘෂ්ටි ආදීන් විසින් අල්වා ගනු ලබන
ධර්මයන්හි රස විඳමින් වාසය කරන්නාගේ
තණ්හාව වැඩෙන්නීය.
තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි.
උපාදානය නිසා භවය ඇතිවෙයි.
භවය නිසා මතු උත්පත්තිය ඇතිවෙයි.
ජාතිය නිසා ජරා මරණ, ශෝකවීම්, හැඬීම්,
දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවේ.
මෙසේ මේ එකම දුක්ගොඩ ඇතිවෙයි.
“ආනන්දය,
මහා වනයේ මහ ගසක් වේ,
ඒ ගසේ යටට ගමන්කරන්නාවූ යම් මුල්වෙත්,
හරහට ගමන් කරන්නාවූ මුල් වෙත්,
ඒ සියල්ල විසින් පොළොවේ සාරය ඕජාව
ගසේ ඉහලට ගෙන යෙත්,
ආනන්දය, මෙසේ ඒ මහගස ඒ (ඕජාව) නිසා
ඒ හේතුවෙන් දීර්ඝ කාලයක් සිටින්නේය.
ආනන්දය,
එසේම වනාහි තෘෂ්ණා දෘෂ්ටි ආදීන් විසින්
අල්වාගනු ලබන ධර්මයන්හි රස විඳමින්
වාසය කරන්නහුගේ තණ්හාව වැඩෙන්නේය.
තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි.
උපාදානය නිසා භවය ඇතිවෙයි.
භවය නිසා ජාතිය (උත්පත්තිය) ඇතිවෙයි.
ජාතිය (උත්පත්තිය) නිසා ජරා මරණ
ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම්
සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ එකම දුක්ගොඩ ඇතිවෙයි.

මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවෙයි..
“ආනන්දය,
පුරුෂයෙක් උදැල්ලක් ගෙන මහගසක්වෙත අවුත්

මුල් හාරා, සැවැන්න මුල් පමණවූ කුඩා මුල්ද උදුරන්නේය. හෙතෙම
ඔහු ඒ ගස කඩ කඩ කොට කපන්නේය.
කඩ කඩ කොට කපා, පළන්නේය.
පළා, කැබලි කැබලි කොට අවුවෙහි වේලන්නේය.
අවුවෙහි වේලා, ගිනි තබා පුළුස්සන්නේය.
ගින්නෙන් පුළුස්සා අළුකරන්නේය.
අළුකොට තද සුළගෙහි හෝ පොලා හරින්නේය.
සැඩ දිය දහරින් යුත් ගඟක පාකර හරින්නේය..
ආනන්දය, මෙසේ දස සංයෝජන ධර්මයන්හි ආදීනව බලමින්

(දසවන නිදාන සූත්‍රය නිමි.)
By SN 02-01-06-01. පරිවීමංසමාන සූත්‍රය