SINHALA TIPITAKA

SN 05-01-01


Listen Later

SN 05-01-01-01. අවිජ්ජා සූත්‍රය
SN 05-01-01-02. උපඩ්ඪ සූත්‍රය
SN 05-01-01-03. සාරිපුත්ත සූත්‍රය
SN 05-01-01-04. ජාණුස්සොණි බ්‍රාහ්මණ සූත්‍රය
SN 05-01-01-05. කිමත්ථිය සූත්‍රය
SN 05-01-01-06. පඨම අඤ්ඤතර භික්ඛු සුත්තං
SN 05-01-01-07. දුතිය භික්‍ෂු සූත්‍රය
SN 05-01-01-08. විභඞ්ග සූත්‍රය
SN 05-01-01-09. සූක සූත්‍රය
SN 05-01-01-10. නන්දිය සූත්‍රය

සත්වයා මේ සසර සැරිසරන්නේ හේතුවක් නිසාය. ඒ හේතුව නොදැනීමය. නොදන්නේ සියල්ලමය. සත්වයා තමා සසරේ ඉපිදෙමින් මැරී යලි උපදිමින් මැරී යන බව නොදනී. ඒ උපත ලබන තැන් විවිධ බව, සමහරක් ඉතා විෂම බව නොදනී, ඒ ඒ උපත්ති ස්ථානය ලැබෙන්නේද තමන් කරන කර්ම නිසා බව නොදනී. කොතැනක ඉපදුනත් දුක්ඛය මිස සුඛයක් නැති බව නොදනී.

SN 05-01-01-01. අවිජ්ජා සූත්‍රය

සත්‍යය නොදැකීම අන්ධකාරයේ ඉන්නා සේය. මේ හරසුන් පංච ස්කන්ධය මමය මාගේය මිනිහෙක්ය ලෙස දකින්නේ අන්ධකාරයේ ඉන්නා නිසාය. කවදාහෝ පහන් ආලෝකයක් හෝ කලාමැදිරි එළියක් හෝ ඇතිවුනොත් ඇත්තටම “මම” ය කියා එකෙක් නැති බව පෙනෙනු ඇත.

සත්‍යය වසන්නාවූ ස්වභාවයෙන් අවිද්‍යාව අන්ධකාරයක් වැනිය.
කාරණය වරදවා දක්වන්නා වූ ස්වභාවයෙන් පාට කන්නාඩියක් වැනිය.
නිල් කන්නාඩියකින් ලෝකය බලන්නාහට හැම දෙයක්ම නිල් පැහැයට පෙනේ.
එමෙන් අවිද්‍යාවෙන් වැසුණු සිතින් තමාගේ පඤ්චස්කන්ධය හා
බාහිර ලෝකයත් දකින හෙවත් සිතන තැනැත්තාට
ඇති සැටියට ලෝකය නොපෙනේ.
අවිද්‍යා පටලය තුලින් පෙනෙන සැටියට
ඒවා සැබෑ ආකාරයට නොව වෙනත් ආකාරයකට පෙනේ.

දුඃඛ සත්‍යය වසන අවිද්‍යාවෙන් යුක්ත වූ සිතින්
තමාගේ හා අනුන්ගේ ස්කන්ධයන් බලන තැනැත්තාට,
ජාති ජරා ව්‍යාධි මරණාදි ගිනිවලින් වෙළී
ඒ ගිනිදැල් මැද ගිනි පෙනෙල්ලක් සේ පවත්නා වූ,
කිසිම හරයක් නැත්තාවූ, නිතර ම දුක් ගෙන දෙන්නාවූ
පඤ්චස්කන්ධය, පරම සුන්දර දෙයක් ලෙස පෙනේ.
ලෝකයෙහි ඇති ඉතාම උතුම් දෙය ඉතාම වටිනා දෙය සැටියට පෙනේ.
එසේ පෙනීමෙන් ඔහුට ස්වකීය පඤ්චස්කන්ධය කෙරෙහි මහත් ඇල්මක් ඇතිවේ.
අන්‍ය ඇතැම් පුද්ගලයන්ගේ පඤ්චස්කන්ධයන් පිළිබඳව ද
එයට දෙවැනි තරමේ හෝ ඒ තරමේම හේ ඇල්මක් ඇතිවේ.]

මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ.
භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“මහණෙනි,
අවිද්‍යාව අහිරික අනොත්තප්පයන් සමග
අකුසල ධර්මයන් ඇතිවීම පිණිස
(සමග ඉපදීම් වශයෙන් හෝ
බලවත් හේතු වශයෙන් හෝ)
පූර්වංගම වෙයි.

මෙහි – පුබ්බඞ්ගමා = සහජාත (හෙවත් උපත සමග) වශයෙන්ද, උපනිශ්‍රය (හෙවත් මුලික හේතුව) වශයෙන්ද යන ආකාර දෙකින් මූලික වන්නාවූ. සමාපත්තියා = සම වැදීම පිණිස සත්‍යය ප්‍රතිලාභය කර ගැනීම සඳහා ආරම්භය පිණිස යන අදහසයි. 
අන්‍වදෙව අහිරිකං අනොත්තප්පං = වැරදි කිරීමට ලැජ්ජා නැත යන ආකාරයේ තත්ත්වයක සිටියේ නම් “අහිරික” යී ද. වැරදි කිරීමට බිය නැත යන ආකාරයේ තත්ත්වයක සිටියේ නම් “අනොත්තප්ප” යීද යෙදේ. මේවායින් තොර නොවී පවට ලැජ්ජා භය නොඋපදී යන අදහසයි. 

මහණෙනි,

  • අවිද්‍යාවෙන් යුක්ත අඥානයාට වැරදි දෘෂ්ටි ඇතිවේ,
  • වැරදි දෘෂ්ටියෙන් යුත් තැනැත්තාට මිත්‍යා සංකල්ප උපදී.
  • මිථ්‍යා සංකල්පයෙන් යුක්තවූවහු මිථ්‍යා වචන දොඩයි.
  • මිථ්‍යා වචනයෙන් යුක්තවූවහුට මිථ්‍යා කර්මාන්ත කරයි.
  • මිථ්‍යා කර්මාන්තයෙන් යුක්තවූවහු මිථ්‍යා ආජීවයේ යෙදේ.
  • මිථ්‍යා ආජීවයෙන් යුක්තවූවහු මිථ්‍යා වායාමයේ දේ.
  • මිථ්‍යා වායාමයෙහි යෙදෙන්නාට
    මිථ්‍යා සතිය (සිහිය) මිස අනිකක් නොවේ..
  • මිථ්‍යා සතියෙන් යුක්තවූවහුට කිසි සමාධියක් නුපදී.
  • [කෙසේද යත් යම් කලෙක වනාහී දෘෂ්ටිය හා යෙදුණ සිත කයෙන් කරන ඇඟවීම් ඉපදවීම, ක්‍රියාවට නැංවීම සිදු කරයි ද, එකල්හි මිථ්‍යාදෘෂ්ටි. මිථ්‍යා සංකල්ප මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා සති, මිථ්‍යා සමාධි, මිථ්‍යා කර්මාන්ත යන අංග සය උපදී. යම් කලෙක සිත දෘෂ්ටිය හා එකට නො යෙදුණේ ද, එකල්හි මිථ්‍යාදෘෂ්ටි වැරදි පස උපදී. යම් කලෙක ඒ අංග දෙකම වචනයෙන් කරන ඇඟවීම් ඉපදවීම, ක්‍රියාවට නැංවීම සිදු කරයිද එකල්හි මිථ්‍යා කර්මාන්ත ඇති තැන්හි ද මිථ්‍යා වචනයෙහි පිහිටියාවූ ම හයක් හෝ පහක් වූ මෙම ආජීවය කැළඹීමට පත්වනුයේ කායවාග් ද්වාරයන්හිම එක්තරා ස්ථානයකදී කැළඹීමට පත් වේ. මනෝ ද්වාරයෙහිදී එසේ නොවේ. එහෙයින් යම් කලෙක සජීවි හිසකින් ඒ සිතුවිලිම කායවාක් විඥප්තීන් (ඇඟවීම්) උපදවයි ද එකල්හි කාය කර්මය මිථ්‍යා ආජීව නම් වෙයි. එකල්හි වචී කර්මය යනු මිථ්‍යා ආජීවය වශයෙන් ඒ හය හෝ පහ යම් කලෙක්හි ඇඟවීම් නො උපදවා හෝ ඒ සිතුම් උපදවයිද. එකල්හි මිථ්‍යාදෘෂ්ටි, මිථ්‍යා සංකල්ප, මිථ්‍යා ව්‍යායාම, මිථ්‍යා ස්මෘති, මිථ්‍යා සමාධි වශයෙන් පහක් හෝ මිථ්‍යා සංකල්පය මුල්කොට ගෙන සතරක් හෝ වන්නේය. මෙසේ එකම මොහොතක සියල්ල ලැබෙන්නේ නො වේ. වෙනස් වෙනස් අවස්ථාවන්හිදී ලැබේයයි දත යුතුය.

    අවිජ්ජාගතස්ස අවිද්‍යාවට පැමුණුන. අවිද්‍යාවෙන් යුක්ත. මිච්ඡාදිට්ඨි අසත්‍ය වූ දෘෂ්ටිය, යහපත කරා නොපමුණුවන දෘෂ්ටිය. පහොති = හට ගනියි, උපදියි. මිථ්‍යා සංකල්ප ආදියෙහිදී ද අසත්‍ය වූ සහ යහපත කරා නොපමුණුවන්නාවූ යන වශයෙන් මිථ්‍යා ස්වභාවය දත යුතුය. මෙසේ මේ අකුසල ධර්ම අටට පැමිණීම මිථ්‍යා ස්වභාවයේ අංගයක් නම් වේ. ඒ සියල්ල වනාහි එක් ක්ෂණයකදීම නොලැබේ. වෙන වෙන අවස්ථාවන්හිදී ලැබේ.
    සත්‍යය නොදකින සත්වයා මම කියා එකෙක් ඉන්නවාය යන අදහස දිට්ටියක් ඇති කර ගනී. ඒ නිසා මගේය මට අයිති කරගතයුතුය මගේ දු දරුවෝය ලෙස සංකප්ප ඇතිවේ. ඒ අනුව කතා බහෙයෙදේ. “මම” යා ලොකු කර ගනී. ඒ අනුව නොයෙක් දේ කරයි ඒ නිෂ්ඵල ක්‍රියා කරමින් “ජීවත් වේ.” සතිමත් බවක් ඇති නොවේ. කිසිදා සිතේ එකඟවීමක් ඇති නොවේ. කඩියෙකු සේ එහෙ මෙහෙ දුවයි. සසරේ නොනැවතී දුවයි.]

    “මහණෙනි,
    විද්‍යාව වනාහි (කම්මස්සකතා ඥානය)
    හිරි ඔත්තප්පයන් (ලජ්ජා භය) සමග
    කුසල ධර්මයන් ඇතිවීම පිණිස
    (සහජාත උපනිශ්‍රය වශයෙන්)
    පූර්වංගම වෙයි.

    [පුර පක්ෂයෙහි – විජ්ජා = කර්මය හිමිකොට ගෙන ඇති නුවණ.
    මෙහිද උත්පත්තිය සමග වශයෙන් හෝ හේතු සාධක වශයෙන් හෝ යන දෙආකාරයෙන් ම පෙරටුව යන ස්වභාවයක් ඇත්තේ යයි දත යුතුය. හිරොත්තප්පං = ලජ්ජාව ද බිය ද (යන කරුණු දෙක) එහි ලජ්ජාවන ස්වභාවය සහිත වූයේ “හිරි” යනු ද, බියවන ස්වභාවය සහිත වූයේ “ඔත්තප්ප” යනු ද වේ. මෙය මෙහි කෙටි හැඳින්වීම යි. විස්තරය වනාහී විසුද්ධි මග්ගයෙහි කියන ලද්දේමය.]

    මහණෙනි,
    විද්‍යා සංඛ්‍යාත කම්මස්ස කතා ඥානයෙන් යුක්ත
    නුවණැත්තාහට නිවැරදි දෘෂ්ටිය ඇතිවේ..
    සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තවූවහුට සම්‍යක් සංකල්පයන් උපදී.
    සම්‍යක් සංකල්පයෙන් යුක්තවූවහුට සම්‍යක් වචනය උපදී.
    සම්‍යක් වචනයෙන් යුක්තවූවහුට සම්‍යක් කර්මාන්තය උපදී.
    සම්‍යක් කර්මාන්තයෙන් යුක්තවූවහුට සම්‍යක් ආජීවය උපදී.
    සම්‍යක් ආජීවයෙන් යුක්තවූවහුට සම්‍යක් ව්‍යායාමය උපදී.
    සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූවහුට සම්‍යක් සතිය උපදී.
    සම්‍යක් සතියෙන් යුක්තවූවහුට සම්‍යක් සමාධිය උපදී”යයි
    වදාළ සේක.

    [පුර පක්ෂයෙහි – විජ්ජා = කර්මය හිමිකොට ගෙන ඇති නුවණ. මෙහිද උත්පත්තිය සමග වශයෙන් හෝ හේතු සාධක වශයෙන් හෝ යන දෙආකාරයෙන් ම පෙරටුව යන ස්වභාවයක් ඇත්තේ යයි දත යුතුය. හිරොත්තප්පං = ලජ්ජාව ද බිය ද (යන කරුණු දෙක) එහි ලජ්ජාවන ස්වභාවය සහිත වූයේ “හිරි” යනු ද, බියවන ස්වභාවය සහිත වූයේ “ඔත්තප්ප” යනු ද වේ. මෙය මෙහි කෙටි හැඳින්වීම යි. විස්තරය වනාහී විසුද්ධි මග්ගයෙහි කියන ලද්දේමය.
    විජ්ජාගතස්ස = විද්‍යාඥානයට පැමිණි තැනැත්තාගේ, විද්‍යාඥානයෙන් යුක්ත වූ තැනැත්තාගේ විද්දසුනො = නුවණැති පඬිවරයාගේ සම්මාදිට්ඨි තත්වු පරිදි දකින දෘෂ්ටිය නෛර්යාණික දෘෂ්ටිය සම්මා කම්මන්ත ආදියෙහි ද මේ පිළිවෙළම වේ. මෙසේ කුශල ධර්මයට පැමිණීමෙන් මේ අංග අට ඇති වේ. ඒ අටම ලෞකික මාර්ග ක්ෂණයේදී එකවර නො ලැබේ. ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී එය ලැබේ. ඒවා වනාහී ප්‍රථමධ්‍යානික මාර්ගයෙහි ද, ද්විතීය ධ්‍යානයට අයත් මාර්ග ආදියෙහි ද සම්‍යක් සංකල්පය හැර සතක්ම වන්නේය.
    එහිදී යමකු මෙසේ කියයි ද?
    කෙසේදයත් : යම් හෙයකින් මජ්ඣිම නිකායෙහි මහා සළායතන සූත්‍රයෙහි “සත්‍ය ලෙස පවත්නා යම් දෘෂ්ටියක් වේද එය සම්මා දිට්ඨි නම් වේ. සත්‍ය ලෙස පවත්නා යම් සංකල්පයක් වේද එය සම්මා සඞ්කප්ප නම් වේ, සත්‍ය ලෙස පවත්නා යම් ස්මෘතියක් වේද එය සම්මා සති නම් වේ. සත්‍ය ලෙස පවත්නා යම් සමාධියක් වේද එය සම්මා සමාධි නම් වේ. ඒ අනුව කාය කර්මය ද, වචී කර්මයද, ආජීවය ද කලින්ම සුපිරිසිදු වේයයි කියන ලදී. එහෙයින් අංග පසකින් යුත් ලෝකෝත්තර මාර්ගයක් පවතී. ඒ සූත්‍රයෙහි ම “මෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා සම්පූර්ණ වීම දක්වා ම ගමන් කෙරේ” යයි කිව යුතු වේ. යම් බඳු වූ මෙම කරුණු මෙයට පෙර ද සිදු වූයේය යන්න කුමක් හෙයින් නොදක්නෙහිදැයි කියන ලදී. එම කරුණ පැවිදි වූ දිනයෙහි පටන් පවත්නා පිරිසිදු බව දැක්වීම පිණිස පවතී. පැවිදි වූ දිනයෙහි පටන් පිරිසිදු කාය කර්ම ආදිය ලෝකෝත්තර මාර්ගක්ෂණයේදී අතිශයින් පිරිසිදු වේය යන මෙය මෙහි අර්ථය යයි දක්වන ලද්දේය. “එකල්හි වනාහී අංග පසකින් යුත් මාර්ගයක් වේ” යයි යන යමක් අභිධර්මයෙහි කියන ලද්දේද, එම කාර්යය දැක්වීම පිණිස එය කියන ලදී. යම් කිසි කලෙක්හි මිච්ඡා කම්මන්තය අත්හැර සම්මා කම්මන්තය පිළිපදීද, ඒ කල්හි මිච්ඡා වාචා හෝ මිච්ඡා ආජීවය හෝ සිදු නොවේ. දිට්ඨිය. සඞ්කප්පය, ව්‍යායාමය, සතිය, සමාධිය යන මේ කාරක අංග පසෙහි සම්මා කම්මන්තය පිළිපදිනුයේ නම් වෙයි. සම්මා වාචා, සම්මා ආජීව යන අංගයන්හිද මේ පිළිවෙළම වේ. මෙසේ මේ කාර්යය දක්වනු පිණිස මෙසේ කියන ලදී. ලෞකික මාර්ග ක්ෂණයෙහි ද (මේ අංග) පහම වෙයි. නො ඇලීම වනාහී නියත නොවේ. එහෙයින් අංග සයකින් යුක්තයයි නො කියා අංග පසකින් යුක්ත වන්නේම යයි කියන ලදී. “මහණෙනි, (උත්තම හෙවත්) ආර්ය චිත්තයෙන් යුක්ත වූ, ක්ලේශ රහිත චිත්තයෙන් යුක්ත වූ, ආර්ය මාර්ගයෙහි යෙදුණා වූ, ආර්ය මාර්ගය වඩන්නා වූ තැනැත්තහුගේ යම්තාක් තෙවැදෑරුම් කාය දුශ්චරිතයන්ගෙන් ඈත් වීමක් වැළකීමක් ඉවත් වීමක්, වෙන්වීමක්, එම දුසිරිත්හි නොයෙදීමක්, ඒවා නොකර සිටීමක් යන යමක් වේද මහණෙනි, මෙම සම්‍යක් කර්මාන්තය ආර්ය වූ, ක්ලේශ රහිතවූ ලෝකෝත්තර මාර්ගයයි. මෙසේ වනාහී මහා චත්තාළීසක සූත්‍රය ආදී අනේකවූ සූත්‍රයන්හි (දැක්වෙන පරිදි) සම්‍යක් කර්මාන්ත ආදී වූ ලෝකෝත්තර මාර්ගයේ අංග වශයෙන් අංග අටක්වන ලෝකෝත්තර මාර්ගය වේයයි දත යුතුය. මේ සූත්‍රයෙහිදී මෙම අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් මිශ්‍රව කියන ලදී. දෙවැන්න කෝසල සංයුත්තයෙහි කියන ලද්දේමය.]

    SN 05-01-01-02. උපඩ්ඪ සූත්‍රය

    පුජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි කල සුත්‍ර විවරණය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යජනපදයෙහි නාගරක නම් ශාක්‍යයන්ගේ නියම් ගමෙහි වැඩ වසන සේක. එකල්හි දිනක් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෝ වෙත පැමිණ වන්දනා කොට භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

    “ස්වාමීනි,
    කල්‍යාණ මිත්‍රයන් ඇති බව,
    කල්‍යාණ මිත්‍රයන් සමග විසීම,
    කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි සිත නැමී පවත්නා බවය
    යන කරුණු මාර්ගබ්‍රහ්මචර්යාව
    පිණිස කොටසක් (බාගයක්) වෙයි” යනුයි.

    “ආනන්දය, එසේ නොකියව!
    ආනන්දය, එසේ නොකියව.!!

    “ආනන්දය,
    කල්‍යාණ මිත්‍රයින් ඇති බව,
    කල්‍යාණ මිත්‍රයින් සහායකොට විසීම ,
    කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි සිත නැමී පවත්නා බව,
    යන කරුණු මතම
    මුළු මාර්ග බ්‍රහ්මචර්යාවම එම කරුණු මත පවත්නේය.

    “ආනන්දය,
    කල්‍යාණ මිත්‍රයින් ඇති,
    කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇති,
    කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇති භික්ෂුව
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය,
    ආර්ය අෂ්ටාංගික මාර්ගය
    බහුල වශයෙන් වඩන්නේයය

    “ආනන්දය,
    කල්‍යාණ මිත්‍රයින් ඇති
    කල්‍යාණ මිත්‍රයින් සහයකොට ඇති,
    කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇති භික්ෂුව
    කෙසේනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩාද,
    ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුල වශයෙන් කෙරේද?

    [2] “ආනන්දය, භික්ෂුවක්
    (තදංග වික්ඛම්භන සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ)
    නම් පඤ්චවිධ විවේකය ඇසුරුකළ,
    විරාගය ඇසුරුකළ, නිරෝධය ඇසුරුකළ,
    (පරිච්චාග පක්ඛන්දන) වශයෙන් දෙවැදෑරුම්වූ
    කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ
    සම්‍යක් දෘෂ්ටිය වඩයි.

    විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ,
    නිරෝධය ඇසුරුකළ, කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ
    සම්‍යක් සංකල්පය වඩයි.

    විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ,
    නිරෝධය ඇසුරු කළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුණු
    සම්‍යක් වචනය වඩයි.

    විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ,
    නිරෝධය ඇසුරු කළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
    සම්‍යක් කර්මාන්තය වඩයි.

    විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ,
    නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
    සම්‍යක් ආජීවය වඩයි.

    විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ,
    නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
    සම්‍යක් ව්‍යායාමය වඩයි.

    විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ,
    නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනු
    සම්‍යක් සතිය වඩයි.

    විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ
    නිරෝධය ඇසුරුකළ කෙලෙස් ප්‍රහාණය පිණිස
    සම්‍යක් සමාධිය වඩයි.

    [3] “ආනන්දය,
    මෙසේ වනාහි කල්‍යාණ මිත්‍රයින් ඇත්තාවූ
    කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇත්තාවූ
    කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇත්තාවූ
    භික්ෂුව ආර්යඅෂ්ටාංගික මාර්ගය වඩයි.
    ආර්ය අෂ්ටාංගික මාර්ගය බහුලකොට වඩයි.

    ආනන්දය, මේ සියලුම ආර්ය මාර්ගය
    කල්‍යාණ මිත්‍රයින් ඇතිබව නිසාම,
    කල්‍යාණමිත්‍ර සහායත්වය නිසාම,
    කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇතිබව නිසාම,
    පවත්නාබව මේ ආකාරයෙන් දත යුතුය.

    ආනන්දය,
    කල්‍යාණ මිත්‍රවූ තථාගතයන් නිසා
    ඉපදීම ස්වභාවකොට ඇති සත්වයෝ ඉපදීමෙන් මිදෙති.
    ජරාව ස්වභාවකොට ඇති සත්වයෝ ජරාවෙන් මිදෙති.
    මරණය ස්වභාව කොට සත්වයෝ මරණයෙන් මිදෙති.
    සෝක, වැළපීම්, දුක්, දොම්නස්, උපායාසයන්
    ස්වභාවකොට ඇති සත්වයෝ ඒ සෝක වැලපීම්
    දුක් දොම්නස්, උපායාසයන්ගෙන් මිදෙත්.

    “ආනන්දය,
    මේ ආර්ය මාර්ගය මුළුමනින්ම
    කල්‍යාණ මිත්‍රයින් ඇති බව නිසා
    කල්‍යාණ මිත්‍රයින් සහාය කොට ඇති බව
    කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇති බව නිසාම
    පවත්නාබව මේ ක්‍රමයෙන් දතයුතුය.”

    SN 05-01-01-03. සාරිපුත්ත සූත්‍රය.

    මා විසින් මෙසේ අසනලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යයවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.

    “ස්වාමීනි,
    කල්‍යාණ මිත්‍රයින් ඇතිබව
    කල්‍යාණමිත්‍රයින් සහායකොට ඇති බව,
    කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇතිබව
    එය මේ සියලු ආර්යමාර්ගය පිණිස පවත්නේය.”

    “සාදු! සාදු! ශාරිපුත්‍රය! ශාරිපුත්‍රය!
    කල්‍යාණ මිත්‍රයින් ඇති බව,
    කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇතිබවද,
    කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුනු සිත් ඇති බද,
    එය මුළු ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පිණිස වෙයි.

    [ සකල මිදං භන්තෙ = අනඳ තෙරණුවෝ තමන් ශ්‍රාවක පාරමී ඥානයේ කෙළවරට නො පැමිණි බැවින් සම්පූර්ණ මාර්ග බ්‍රහ්මචර්යාව කළ්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබේයයි නො දත්හ. ධර්මසේනාපති (ශාරිපුත්‍ර) තෙරණුවෝ වූ කලී ශ්‍රාවක පාරමී ඥානයේ සම්පූර්ණත්වයේ සිටි බැවින් එය දැනගෙන සිටියහ. එහෙයින් මෙසේ කීහ. ඒ නිසාම ඒ තෙරුන් හට “සාධු සාධු” යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ සාධුකාර දුන්හ.]

    “ශාරිපුත්‍රය,
    කල්‍යාණ මිත්‍රයින් ඇති
    කල්‍යාණ මිත්‍රයින් සහායකොට ඇති
    කල්‍යාණ මිත්‍රයින් කෙරෙහි නැමුණු සිත් ඇති
    භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේය.

    SN 05-01-01-04. ජාණුස්සොණි බ්‍රාහ්මණ සූත්‍රය

    ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස වැඩ පස්වරුවෙහි පිණ්ඩපාතයෙන් පසු දානය වළඳා ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් තැනට පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැලකෙළේය.

    “ස්වාමීනි, පෙරවරුවෙහි මම හැඳ පොරවා පාසිවුරු ගෙන සැවැත්නුවරට පිඬු පිණිස ගියෙමි. ස්වාමීනි, සුදු වෙළඹුන් යෙදූ සියල්ල සුදු රථයකින් සැවැත් නුවර යන්නාවූ ජානුස්සොණි බ්‍රාහ්මණයා මම දුටුවෙමි. (එම රථයෙහි) සුදු අශ්වයෝ යොදන ලද්දාහු වෙති. ආභරණද සුදුය. රථයද සුදුය. ඇතිරිළිද සුදුය. රැහැන්ද සුදුය. කෙවිටද සුදුය. (රථයෙහි නැංවූ) ඡත්‍රයද සුදුය. සුදු විජිනිපත්වලින් පවන් සලයි. එය දුටු මිනිස්සු ‘පින්වත්නි, ඒකාන්තයෙන් මේ උතුම් යානයකි. පින්වත්නි, ඒකාන්තයෙන් මෙය උතුම් යානයක ස්වභාවය ඇත්තේයයි’ කීහ.

    [සබ්බසෙතෙන වළභීරථෙන සාකල්‍යයෙන්ම ධවල වර්ණ වූ වෙළඹුන් සතර දෙනක යෙදු රියකින් රථචක්‍රය, මැදිරිය, වියගස සහිත ඒ මුළු රථයම රිදීයෙන් ආලේප කරන ලද්දේ විය. මේ රථය ද යුද්ධ රථය, අලංකාර රථය යනුවෙන් දෙවැදෑරුම් වෙයි. එහි යුද්ධ රථය සතරැස් වෙයි. අධික ලෙස විශාල නොවේ. දෙදෙනකුට හෝ තිදෙනකුට එහි හිඳගත හැකි වේ. අලංකාර රථය විශාල වුවකි. දිග පැත්තේ වැඩි දිගක් ද, පුළුල් පැත්තේ වැඩි පළලක් ද ඇත්තේ වේ. එහි (සේ) සත් දරන්නා ද, වල් විදුනා දරන්නා ද, තල්පත් දරන්නා ද ආදී වශයෙන් අට දෙනකුට හෝ දස දෙනකුට සුවසේ සිටගෙන හෝ හිඳගෙන හෝ වැතිර ගෙන හෝ යාමට හැකිවේ. මෙය ද අලංකාර රථයක් මය.
    සෙතා සුදං අස්සා = සුදු වෙළඹහු නම් ස්වභාවයෙන් ම සුදු පැහැ ඇත්තාහුමය. සෙතාලඞ්කාරා = ඒ වෙළඹුන්ගේ සැරසිලි රිදියෙන් නිමවන ලද්දේ විය. සෙතොරථො = කියන ලද පිළිවෙළින්ම රිදීයෙන් ආලේපිත බැවින් ද, ඒ ඒ තැන්හි ඇත් දළින් කැටයම් කළ බැවින් ද සුදු පැහැ ඇත්තේමය. සෙත පරිවාරො = යම් සේ සෙසු රථ සිංහසමින් ආවරණය වූයේ හෝ, ව්‍යාඝ්‍ර සමින් ආවරණය වූයේ හෝ, පිඬු පැහැ කම්බිලියෙන් ආවරණය වූයේ හෝ වෙයි ද එහෙත් මේ රථය එසේ නොවේ. මෙම රිය වනාහී ඝන පට වස්ත්‍රයෙන් ආවරණය වූයේ වෙයි. සෙතා රස්මියො = (අසුන් හට යෙදූ) රැහැන් ද රිදී නාළිකාවලින් ආවරණය කෙරිණ. සෙතාපතොදලට්ඨි = කෙවිටි ලීය පවා රිදී ආලේපිතය.
    සෙතංඡත්තං රථය මැද ඔසවන ලද ඡත්‍රය පවා සුදු පැහැ ගත්තේය. සෙතං උණ්හීසං = අටඟුල් පුළුල් වූ රිදීමුවා නළල් පටය. සෙතානි වත්‍ථානි = වස්ත්‍රද සුදු පැහැයෙන් පෙණ කැටිමෙන් විය. ඔවුන් වෙත වූ ඉඟටියෙන් පහළ ඇඳුම් පන්සියයක් (බැගින්) අගනේ වෙයි. උතුරුසළුව දහසක් අගනේ වෙයි. සෙතා උපාහනා = මඟට බසින්නහුට වේවා, වනයට පිවිසෙන්නහුට වේවා පාවහන් තිබේ. මෙහි සඳහන් තැනැත්තා වනාහී රථයට නැඟුණේ වෙයි. ඒ නිසා ඊට සුදුසු වූ, රිදී ආලේප කළා වූ පාදාලංකාරයක් වූ මෙය (සඳහා) මෙසේ කියන ලද්දේයයි දත යුතුයි. සෙතාය සුදං වාළ විජනියා = පලිඟුමය මිටක් ඇති සුදු සෙමෙර වල්විදුනාවකින් හුදෙක් මෙ පමණෙකින්ම පමණක් ඔහුගේ සුදුපාට ඇතිවූයේ නොවේ. ඒ බ්‍රාහ්මණ තෙමේ වූ කලී සුදු විලවූන් ගැල්වීය, සුදු මල් පැලැන්දේය. ඔහු ගේ ඇඟිලි දහයෙහි වූ මුදු ද, කන්වල වූ කුණ්ඩලාභරණ ද යන මේ ආදී අලංකාර කිරීම් රිදීයෙන් කරන ලද්දේම විය. ඔහුගේ දස දහසක් පමණ වූ බ්‍රාහ්මණ පිරිස ද සුදු ඇඳුම්, සුදු විලවුන්, සුදුමල් ආදියෙන් සැරසෙන්නෝ වූහ.
    යම්බඳු වූ මෙම සාවත්‍ථියා නිය්‍යාසි (සැවැත් නුවරින් පිට වූයේය) යන්නක් කියන ලද්දේ ද, එහි මෙම නිය්‍යාන (නික්මීම) පිළිබඳ විස්තරය මෙසේ ය. හේ තෙමේ වනාහී මාස හයෙන් හයට එක වරක් බැගින් නගරය ප්‍රදක්ෂිණා කරයි. මෙතැන් සිට මෙපමණ දින ගණනකින් නුවර පැදකුණු කරන්නේයයි කල් තබාම ප්‍රසිද්ධ කරවයි. එය අසා යමකු එතෙක් නුවරින් පිට නොවී සිටියාහු නම් ඔව්හු නුවරින් බැහැර නොයත්. යමකු (නුවරින්) පිට වී සිටියාහු නම් ඔව්හු පිනැති අයකුගේ සිරිසැප දකින්නෙමු යයි (ආපසු) පැමිණෙත්. යම් දිනෙක බ්‍රාහ්මණයා නගරයෙහි චාරිකා කරයි ද එදින උදෑසනම නුවර වීථි හැම ද, වැලි විසුරුවා, ඒ මත ලද පස්මල් විසුරුවා පුන් කලස් තබා කෙසෙල් ගස් ද, කොඩි ද ඔසවා මුළු නුවරම දුමින් සුවඳ කරත්.
    බ්‍රාහ්මණ තෙමේ උදෑසනම හිස් සෝදා, පෙරවරු බත වළදා (පෙර) කියන ලද පිළිවෙළින් ම සුදු වස්ත්‍ර ආදියෙන් තම සිරුර සරසා පහයෙන් බැස රථාසනාරූඩ වෙයි. ඉක්බිති සෙසු සියළු බ්‍රාහ්මණවරු සුදු ඇඳුම්, විලවුන් හා මල්වලින් සැරසී සේසත් රැගෙන ඔහු පිරිවරා ගනිත්. ඉක්බිති මහජනයා රැස්කර ගනු පිණිස පළමු කොට තරුණ ළමයින් වෙත ලොකු කුඩා ගෙඩි වර්ග විසුරුවා හරිති. ඉන් අනතුරුව මසුරන් හා රුපියල් ද, අනතුරුව කහවණු ද විසුරුවත්. එකල්හි මහජනයා රැස්වෙත්, ප්‍රීතිඝෝෂා කරමින් ද, උඩ පනිමින් ද සිටිත්. ඉක්බිති බ්‍රාහ්මණ තෙමේ මංගල වචන හා සුබ ප්‍රාර්ථනා වචන කියන්නවුන් මංගල ප්‍රාර්ථනයන් හා සෞඛ්‍ය ප්‍රාර්ථනයන් කරන කල්හි මහ ඉසුරෙන් යුතුව නගර චාරිකාවෙහි යෙදෙයි. පින්වත් මනුෂ්‍යයෝ මහල් සහිත ප්‍රාසාදයනට නැඟී ගිරවුන්ගේ පියාපත් වැනි ජනෙල් කවුළු විවර කොට බලත්. බ්‍රාහ්මණ තෙමේ ද තමාගේ යශෝ ශ්‍රී සම්පත්තියෙන් යුතුව නගරය වසඟයෙහි තබා ගන්නාක් මෙන් දකුණු දොරටුවට අභිමුඛව සිටියේය. ඒ සඳහා මෙය කියන ලදී.
    ත මෙනං ජනො දිස්වා = මහජනතාව ඒ රථය දැක, බ්‍රහ්මං = ශ්‍රේෂ්ඨ යන්නට තවත් වචනයකි. බ්‍රහ්මං වත භො යානං = “පින්වත. යානය ශ්‍රේෂ්ඨ යානයකට සමාන වෙයි” යන මෙය මෙහි අර්ථයයි. ඉමස්සෙව ඛො එතං = ආනන්දයෙනි, මනුෂ්‍යයෝ වනාහී වර්ණනා කරන තැනට පැමිණ තම දායකයන් හට වර්ණනා කිරිමේ ගීත ගායනා කරවත්. මනා රූපයෙන් යුක්ත වූ, දැකුම්කළු වූ, මහාධනයක් ඇත්තා වූ, බොහෝ වස්තුව ඇත්තාවූ යන මේ වර්ණනා කිරීමෙන් පමණක් මනා රූමත් හෝ මහා ධනවත් නොවේ. මෙසේම මහා ජනතාව බ්‍රාහ්මණයාගේ රථය දැක “පින්වත්නි, යානය උතුම් එකකැයි” වර්ණනා කරන්නෝ නමුදු. මේ යානය වනාහී වර්ණනා කිරීම් පමණකින්ම උතුම් ස්ථානයක් වන්නේ නොවේ. මෙම අප්‍රාණික දෙය ලාමක වූවක්ම වන්නේය. පරමාර්ථ වශයෙන් වනාහි ඉමස්සෙව ඛො ආනන්‍ද එතං අරියස්ස අට්ඨඞ්ගිකස්ස මග්ගස්ස අධිවචනං = ආනන්‍දය, මෙය (බ්‍රහ්ම යානං) වනාහී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටම තවත් වචනයකි. මේ වූ කලී හැම දොසින්ම වෙන්වූවක් බැවින් සෙට්ඨො (ශ්‍රේෂ්ඨ) වේ. “ආර්යයෝ මේ මඟින් ම නිවනට යන්නාහ” යන අරුතින් බ්‍රහ්මයානං ඉතිපි = (බ්‍රහ්ම යානය යනු ද), ධර්මය වූ බැවිනුත්, (සසරින් එතෙරට යන) යානයක් බැවිනුත් ධම්මයානං ඉතිපි (ධර්ම යානය යනු ද), මෙයට වඩා උසස් මඟක් නැති බැවිනුත්, කෙලෙස් සටන ජයගත් බැවිනුත් අනුත්තරො සඞ්ගාම විජයො ඉතිපි (උත්තරීතර වූ, සටන දිනූ තැනැත්තාය) යනු ද කීමට වටනේය.]

    ස්වාමීනි,
    මේ ධර්මවිනය නම් ශාසනයෙහිද
    එබඳු උතුම් යානයක් පනවන්ට හැක්කේද?
    “ආනන්දයෙනි, හැකිය”
    යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළසේක.

    “ආනන්දය,
    මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයටම උතුම් යයි කියාද
    ධර්මයානයයි කියාද
    නිරුත්තර සංග්‍රාම විජයයි කියාද නමකි.

    රථො = ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් රථයයි. 
    සීල පරික්‍ඛාරො = චතුපාරිශුද්ධි ශීලය නමැති අලංකාරය 
    ඣානක්‍ඛො = විදර්ශනාවෙන් යුක්ත වූ පස් වැදෑරුම් වූ ධ්‍යානාංගයන්ගෙන් යුක්ත වූ, ධ්‍යානමය මධ්‍යයයි, හෙවත් ධ්‍යාන අක්සයයි. 
    චක්කවීරියො = ශක්තිමත් වූ චක්‍රය කායිකය, චෛතසිකය යන ශක්තීන් දෙක මෙහි “චක්ක” යනුවෙන් අදහස් වේ. 
    උපෙක්‍ඛා ධුර සමාධි = වීර්යයේ ඒකාග්‍රතාවය ධුර සමාධි නම් වේ. (හෙවත්) රථයේ විය ගසෙහි නිශ්චල භාවය ද ධුර සමාධි නම් වේ. වඩ වඩා උසස්වන ආකාරයක් නැති බැවින් මෙම පද යුගල දෙකෙහිම “සම බව” යන අරුතක් ඇත. එහිදී මේ තෙමේ වනාහී මධ්‍යස්ථ වූ උපේක්ෂා සිතුවිල්ලේ සැඟවුණ නොසන්සුන් බව හෙවත් උඩඟු බව ඉවත් කොට ප්‍රායෝගිකව මධ්‍යස්ථ තත්ත්වයෙක් හි සිත පිහිටුවයි.
    එබැවින් මෙම (ආර්ය) මාර්ගය නමැති රථයට “ධුර සමාධි” යයි කියන ලදී.
    අනිච්ඡා පරිවාරණං = රථයේ බාහිර පැතිවලට යොදන සිංහ සම් ආදිය මෙන් ආර්ය මාර්ගය නමැති මෙම රථයට ද අලෝභ යනුවෙන් හැඳින්වෙන අනිච්ඡාව (හෙවත් ආසාවෙන් තොරවීම) “පරිවාරණ” (හෙවත් පිරිවැරීම) නම් වේ.

    දැන් ඔහුගේ නිර්දෝෂිභාවය ද සංග්‍රාමය විජයග්‍රහණය කළ බවද දක්වමින් රාග විනය පරියොසානො = (රාගය යටපත් කිරීමේ අවසානය) යන ආදිය කීහ. එහි රාගය යටපත් කිරීම ද අවසානයට යාම ද යන මේ කාර්යයන් සිදු වන්නේය යනු “රාග විනය පරියොසාන” හෙවත් රාගය යටපත් කිරීම, අවසන් කිරීම යන අර්ථයි. සියළු තන්හි මේ පිළිවෙළ වේ.

    “වඩන ලද, බහුල කරනලද සම්‍යක් දෘෂ්ටිය
    කාමය දුරු කිරීම කෙළවර කොට ඇත්තේය.
    දෝසය දුරු කිරීම කෙළවරකොට ඇත්තේය.
    මෝහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේය.

    බ්‍යාපාදො = මෛත්‍රීය ද, මෛත්‍රී වැඩීමෙහි පූර්ව භාගය ද වේ.
    අවිහිංසා = කරුණාව ද, කරුණාව වැඩීමෙහි පූර්ව භාගය ද වේ.
     විවෙකො = කාය විවේකය ආදී තෙවැදෑරුම් විවේකය යස්ස ආවුධං ආර්ය මාර්ගය නමැති රථයේ සිටියා වූ යම් කුලපුත්‍රයකුට යම් සේ වනාහී රථයෙහි සිටිමින් ආයුධ පහෙන් සතුරන්හට විදිය හැකි වේද, මෙසේ යෝගාවචර තෙමේද මෙම ලෞකික ලෝකෝත්තර මාර්ග නමැති රථයෙහි සිටිමින් මෛත්‍රී (නම් ආයුධ) යෙන් දෝෂයට විදියි, කරුණාවෙන් හිංසාවට ද. කාය විවේකයෙන් සමූහයක් වෙත ඇලීමට ද, චිත්ත විවේකයෙන් කෙලෙස් වෙත ඇලීමට ද, උපධි විවේකයෙන් සියළු අකුසලයන්හට ද විදියි.
    එබැවින් මෙයට පස් වැදෑරුම් ආයුධ යයි කියන ලදී. 

    තිතික්‍ඛා = නපුරු ලෙස කියන ලද, නපුරු ලෙස පැමිණි වචන මාලාවන් දරා ඉවසා ගැනීම 
    වම්ම සන්නාහො = සන්නාහ සන්නද්ධ වූයේ. යම් සේ වනාහී රථයෙහි හුන් සන්නාහයෙන් සැරසුණ තැනැත්තේ (තමා වෙතට) පැමිණි පැමිණි හීතල ඉවසා දරා ගනියි, හී තල ඔහු (ගේ සිරුර) සිදුරු නො කරයි. මෙසේ ඉවසා දරා ගැනීමේ හැකියාවෙන් යුත් භික්ෂුව (තමා) වෙතට පැමිණි පැමිණි වචන මාලාවන් ඉවසයි. එම ඊතල ඒ භික්ෂුව (ගේ සිත) සිදුරු නො කරයි. එහෙයින් ඉවසීම නමැති සන්නාහය යයි කියන ලදී. යොගක්‍ඛෙමාය වත්තති = යෝග සතරෙන්ම ආරක්ෂාව පිණිස ද, නිර්වාණය, පිණිස ද පවතින්නේ ය. නිර්වාණයට අභිමුඛ වී යන්නේ ම වෙයි. නොනවතී. (නිවන් අරමුණ) නො බිඳෙයි. යන අර්ථයයි.]

    “ආනන්දය,
    වඩනලද බහුල කරනලද සම්‍යක් සංකල්පය
    කාමය දුරු කිරීම කෙළවර කොට ඇත්තේය.
    දෝසය දුරු කිරීම කෙළවරකොට ඇත්තේය.
    මෝහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේය..

    යස්ස සද්ධාච පඤ්ඤාච = යම් ආර්ය මාර්ග යානයක්හුගේ සද්ධානුසාරී වශයෙන් ශ්‍රද්ධාව ද, ධම්මානුසාරී වශයෙන් ප්‍රඥාව ද යන මේ ධර්මයන් දෙක ශ්‍රද්ධාව යන තත්ත්වයන් දෙකෙහි යෙදුනේය යන අර්ථයයි. 
    හිරි ඊසා = ආත්මය සමග යෙදුණ, බැහැරින් උපන් ඔත්තප්පය (හෙවත් වරදට ඇති බිය) සමග උපන්නේ “හිරි” (වරදට ලැජ්ජාව) නම් වේ. යම් මාර්ග නමැති රථයක්හුගේ නම් “ඊසා” (හෙවත් ඒරියා කඳක්) වේ. 
    මනො යොත්තං = විදර්ශනා චිත්තය ද, මාර්ග චිත්තය ද යොත (හෙවත් රැහැණ) නම් වේ.
    යම්සේ වනාහී පට්ටාවලින් තනන ලද යොත ගොණුන් රථයට බැඳ තබයි ද, එකට එකතු කරයිද එසේ ම මාර්ගය නමැති රථයේ ලෞකික විදර්ශනා චිත්තයට අමතරව පණසක් වූ ලෝකෝත්තර විදර්ශනා චිත්තය හා අමතරව සැටක් වූ කුසල ධර්මයන් ද ඒකාබද්ධ කරයි. එකට එකතු කරයි. ඒ හේතුවෙන් “මනො යොත්තං” (මනස නමැති රැහැණ) යයි කියන ලදී. 
    සති ආරක්‍ඛ සාරථී, මාර්ග ගමනෙහි යෙදුන ආරක්ෂාකාරී රියැදුරා යම් සේ රථයේ ආරක්ෂාකාරී රියැදුරා නම් වේද, යමකු විය ගසෙහි යොදවයි ද, රථ රෝදයේ අලවංගුවට (ඇක්සලයට) තෙල් ගල්වයි ද, රථය යවයි ද, රථ සේවයෙහි යෙදී සිටියවුන් (අවශ්‍ය විට) සේවයෙන් නිදහස් කරයි ද මෙසේ මාර්ගයෙහි යවන රථයේ සිහිය පිහිටුවයි. මේ වනාහී ආරක්ෂාව සිහියේ තබා ගැනීමෙන් ද කුසලා කුසල ධර්මයන්ගේ පිහිටීමෙන්ද සිදු වේ යයි කියන ලදී.]

    “ආනන්දය,
    වඩනලද බහුල කරනලද සම්‍යක් වචනය
    කාමය දුරු කිරීම කෙළවර කොට ඇත්තේය.
    දෝසය දුරු කිරීම කෙළවරකොට ඇත්තේය.
    මෝහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේය.

    “ආනන්දය, වඩනලද බහුල කරනලද සම්‍යක් කර්මාන්තය
    කාමය දුරු කිරීම කෙළවර කොට ඇත්තේය.
    දෝසය දුරු කිරීම කෙළවරකොට ඇත්තේය.
    මෝහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේය.

    “ආනන්දය,
    වඩනලද බහුල කරනලද සම්‍යක් ආජීවය
    කාමය දුරු කිරීම කෙළවර කොට ඇත්තේය.
    දෝසය දුරු කිරීම කෙළවරකොට ඇත්තේය.
    මෝහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේය.

    “ආනන්දය,
    වඩනලද බහුල කරනලද සම්‍යක් ව්‍යායාමය
    කාමය දුරු කිරීම කෙළවර කොට ඇත්තේය.
    දෝසය දුරු කිරීම කෙළවරකොට ඇත්තේය.
    මෝහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේය.

    “ආනන්දය,
    වඩනලද බහුලකරනලද සම්‍යක් සතිය
    කාමය දුරු කිරීම කෙළවර කොට ඇත්තේය.
    දෝසය දුරු කිරීම කෙළවරකොට ඇත්තේය.
    මෝහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේය.

    “ආනන්දය,
    වඩනලද බහුලකරනලද සම්‍යක් සමාධිය
    කාමය දුරු කිරීම කෙළවර කොට ඇත්තේය.
    දෝසය දුරු කිරීම කෙළවරකොට ඇත්තේය.
    මෝහය දුරුකිරීම කෙළවර කොට ඇත්තේය.

    “ආනන්දය,
    මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයට බ්‍රහ්මයාන යයි කියාද,
    ධර්මයානයයි කියාද,
    අනුත්තර සංග්‍රාම විජයයි කියාද
    කියන්නේ මේ නිසායයි දතයුතුය.”

    භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
    සුගතයන් වහන්සේ මෙසේ වදාරා
    නැවතද මෙසේ වදාළසේක.

    [එතදත්තනි සම්භූතං = මාර්ගය නමැති මෙම යානය තමාගේ ක්‍රියාකාරිත්වය නිසා ලබන ලද්දක් බැවින් තමා වෙනුවෙන් ඇති වූවක් ම වෙයි. බ්‍රහ්මයානං අනුත්තරං අසදෘශ වූ ශ්‍රේෂ්ඨ වූ යානය නිය්‍යන්ති ධීරා ලොකිම්හා යම් අයහට මේ යානය තිබේ ද ඒ ධෛර්යවත් වූ, ඥානවන්ත වූ පුරුෂයෝ ලෝකයෙන් නිදහස් වෙති, ඉවත්ව යති. අඤ්ඤදත්‍ථු = ඒකාන්ත වශයෙන් ජයං ජයං = රාගාදී සතුරන් මැඩ පවත්වන බැවින් (“ජිනත්තා” හෙවත්) ජය ගන්නෝ නම් වෙති.]

    ‘මේ ආර්යමාර්ග සංඛ්‍යාත යානයට
    ශ්‍රද්ධාවද ප්‍රඥාවද යන ධර්ම දෙක
    වියගසෙහි යොදනලද ගවයන් දෙදෙනා වෙති.
    හිරි ඔතප් දෙක රථ හිස වෙයි.
    විදර්ශනා සිත රැහැණය.
    සතිය රථය රක්නා සහ පදවන රියදුරු වෙයි.

    රථය ශීල නමැති අලංකාරයෙන් යුක්තය.
    ධ්‍යාන නමැති කඩඇණයෙන් යුක්තය.
    කායිකවීර්ය, චෛතසික වීර්ය යන රෝද දෙකින් යුක්තය.
    තත්‍රමජ්ඣත්තතා උපේක්ෂාව වියදණ්ඩෙහි සම බව වෙයි.
    අලෝභය (එහි) ඇතිරිල්ලය.
    මෛත්‍රී කරුණාව ත්‍රිවිධ විවේකය යන ධර්ම පස
    රථයෙහි සිටින කුලපුත්‍රයාගේ ආයුධ පස වෙති.
    ඉවසීම යුද්ධ ඇඳුම් වෙයි.
    මේ යානය නිවනට අභිමුඛව ගමන් කරයි.

    තමන් තුළ පහළවූ මේ යානය අනුත්තර වෙයි.
    ශ්‍රේෂ්ඨ යානයක් වෙයි.
    යමෙකුන්ට මේ යානය ඇත්තේද
    ඒ පණ්ඩිතයෝ ඒකාන්තයෙන් කෙලෙසුන්
    ජය ගනිමින් ලෝකයෙන් නික්ම යන්නාහ.

    SN 05-01-01-05. කිමත්ථිය සූත්‍රය

    මා විසින් මෙසේ අසනලදී.
    එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හිඳ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකළහ.

    “ස්වාමීනි,
    මේ සැවැත්නුවර අන්‍ය තීර්ථක පරිබ්‍රාජිකයෝ
    අපගෙන් මෙසේ විචාරත්.
    ‘ඇවැත්නි,
    නුඹලා කුමක් පිණිස ශ්‍රමණ භවත් ගෞතමයන්
    ළඟ බඹසර වෙසේද?’ කියායි.

    “ස්වාමීනි,
    මෙසේ විචාළකල්හි අපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ උත්තර දෙමු.
    ‘ඇවැත්නි,
    දුක අවබෝධ කිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේය.’ කියායි.

    ස්වාමීනි, මෙසේ උත්තරදෙනු ලබන්නාවූ අපි
    භාග්‍යවතුන් වහන්සේ විසින් කියනලද්දක් කියන්නෝ වෙමුද,
    භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් දොස් කියන්නෝ නොවෙමුද?
    ධර්මය අනුව කියන්නෝ වෙමුද?
    කරුණු සහිතවූ කීමක් නින්දාකටයුතු ස්වභාවයකට නොපැමිණෙන්නේද?”

    “මහණෙනි,
    ඒකාන්තයෙන් මෙසේ උත්තර දෙනු ලබන්නාවූ තෙපි
    මා විසින් කියනලද්දක් කියන්නෝද වන්නහුය.
    මාහට බොරුවෙන් දොස්කියන්නෝද නොවන්නහුය.
    ධර්මයට අනුව කියන්නෝද වන්නහුය.
    කරුණු සහිතවූ කිසියම් කීමක්
    නින්දා කටයුතු ස්වභාවයටද නොපැමිණෙන්නේය.

    මහණෙනි,
    දුක අවබෝධකිරීම පිණිසම මා කෙරෙහි බඹසර වෙසේ.
    මහණෙනි, ඉදින් තොපගෙන් අන්‍යතීර්ථක පරිබ්‍රාජකයෝ
    ‘ඇවැත්නි, මේ දුක දැනගැනීම පිණිස මාර්ගයක් ඇත්තේද, ප්‍රතිපදාවක් ඇත්තේද?”
    කියා අසන්නාහු නම් මහණෙනි,
    තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයනට මෙසේ කියව්.
    ‘මේ දුක දැනගැනීම පිණිස මාර්ගයක් ඇත්තේය,
    ප්‍රතිපදාවක් ඇත්තේය’
    කියායි.

    මහණෙනි,
    ඒ දුක දැනගැනීම පිණිස පවත්නාවූ
    මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?
    මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයයි.
    ඒ කවරහුද යත්?

    සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය’යි. මහණෙනි, මේ මාර්ගය මේ ප්‍රතිපදාව මේ දුක දැනගැනීම පිණිස වේයයි වදාළහ.

    මහණෙනි, මෙසේ අසනලද තෙපි ඒ අන්‍යතීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ ප්‍රකාශ කරව්යයි” වදාළසේක.

    අයමෙව = “එව” ශබ්දය නිශ්චිතාර්ථයක් වෙයි. එබැවින් අන්‍ය වූ මාර්ග ප්‍රතික්ෂේප කරයි. මේ සූත්‍රයෙහි පවත්නා සසර දුකම දැක්වේ. (ඒ හා) මිශ්‍ර ව පවත්නා නිවන් මඟ ද කියන ලදී. “ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං, ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛා මරණම්පි දුක්ඛං අප්පියෙහි සම්පයොගො දුක්ඛො පියෙහි විප්පයොගො දුක්ඛො යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා.”

    (ධම්මචක්කප්පවත්තන සුත්ත)

    “මහණෙනි, මේ දුඃඛාර්‍ය්‍ය සත්‍යය ය. භවයෙහි ඉපදීම ද දුකෙක, උපන්නහුගේ ශරීරය දිරීම ද දුකෙක, නානා ව්‍යාධීන් හට ගැනීම ද දුකෙක, මරණය ද දුකෙක, අප්‍රිය වස්තු අප්‍රිය පුද්ගලයන් හා එක්වීම ද දුකෙක, ප්‍රියවස්තු ප්‍රියපුද්ගලයන්ගෙන් වෙන්වීම ද දුකෙක, වුවමනා දෙය නො ලැබීම ද දුකෙක, කොටින්ම උපාදානස්කන්ධ පඤ්චකය දුකෙක” යනු එහි තේරුම ය.

    මව පියා දුව අයියා මල්ලී අක්කා නංගී ගැහැණිය පිරිමියා මිනිහා ළමයා තරුණයා සීයා මහත්මයා නෝනා දෙවියා මිනිසා බල්ලා බළලා යනාදි නොයෙක් නම් වලින් කියැවෙන්නේ, රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන නාමරූප සමූහයන් ය. මා පිය දූපුත් ආදි සත්ත්වයන් වශයෙන් සලකන දෙය, විභාග කර බැලුවහොත් එහි රූප වේදනාදි නාමරූප ධර්ම හැර අන් කිසිවක් නො ලැබෙන්නේ ය. එක් එක් භවයක පළමුවෙන් රූප වේදනාදීන් පහළවීම භවයෙහි ඉපදීම ය. උපන්නහුට බොහෝ දුක් ඇති වන්නේය. නූපදිතහොත් කිසි දුකක් නැත. “සියලු දුකට මුල් වන බැවින් ඉපදීම දුකය”යි තථාගතයන් වහන්සේ වදාළහ. මේ ඉපදීමේ දුක මවුකුස පිළිසිඳගන්නා සත්ත්වයන් සම්බන්ධයෙන් විශේෂයෙන් කිය යුතුය. මවුකුස පිළිසිඳගන්නා සත්ත්වයාහට අත්පා නැතිව ඇස් කන් නාසා නැතිව දිවක් කටක් නැතිව මස්කැබෙල්ලක් ලෙස කලක් මවු කුස හිරවී වාසය කරන්නට සිදුවේ. අත්පා ආදිය ඇතිවූ පසුත් ඒවායින් කිසිදු ප්‍රයෝජනයක් ගත නො හැකිව කලක් ඉතා දුකසේ මවු කුස හිර වී සිටින්නට සිදු වේ. කලක් එසේ සිට ඔහු ඉතා දුකසේ දැඩි වේදනා විඳිමින් මවු කුසින් හඬමින්ම බිහි වෙයි. ප්‍රීතියෙන් මවු කුසෙන් බිහිවීමක් නැත.

    උපන්නහුගේ ශරීරය දිරා යාම ජරාදුඃඛය ය. උප්පත්තියේ පටන්ම මේ දිරීම සිදුවෙතත් එය ප්‍රකට වන්නේ කලක් ගතවීමෙනි. පෙනීම හීනවීම, ඇසීම හීනවීම, දුබල වී තමාගේ ශරීරය පාලනය කර ගත නොහෙන තත්වයට පත්වීම, හිසකේ රැවුල පැසී දත් ගැලවී ඇඟරැළි වැටී නහර මතු වී විරූප වී සෙස්සන්ගේ පිළිකුලට භාජනය වීම යනාදිය ජරා දුක්ඛය ය.

    උපන්නහුගේ ශරීරයේ හටගන්නා රෝගයෝ ඉතා බොහෝ ය. ශරීරය රෝගයන්ගේ උප්පත්ති ස්ථානයය. රෝග නො වැළඳෙන තැනක් සිරුරෙහි නැත. හිසරදය, කන්කැක්කුම, දත්කැක්කුම, ඇස්වල කාච පටල, ඇස්රුදාව, කනෙහි පිළිකා, හකුයෙහි උගුරෙහි පපුවෙහි බඩෙහි පිළිකා, නොයෙක් තැන හට ගන්නා තද වේදනා දෙන ගෙඩි, වණ, සෙම්ප්‍රතිෂ්‍යාව, කැස්ස, උණ, වමනය, අතීසාරය, හතිය, මලමුත්‍ර හිරවීම, මුත්‍ර බොක්කේ ගල්, ගුදමාර්ගයේ ගෙඩි, ක්‍ෂයරෝගය, පක්ෂාඝාතය, සිහිවිකලවීම යනාදිය පඤ්චස්කන්ධය පිළිබඳ ව්‍යාධි දුඃඛය ය.

    උපදනා කිසිම සත්ත්වයකුට සැමදා ජීවත් විය හැක්කේ නො වේ. දිවි කෙළවර වන දිනයක් සැමටම එන්නේ ය. මරණයෙන් සෑම පුද්ගලයෙකුටම තමන් ඇලුම් කර ගෙන සිටින ධනයෙන් දූදරුවන්ගෙන් නෑ මිතුරන්ගෙන් වෙන් වන්නට සිදු වේ. ජීවත් වීමට ආශාව තිබියදීම දිවි කෙළවර වේ. එයද සත්ත්වයා හට ඉවසිය නො හෙන මහත් දුකෙකි. සත්ත්වයා අන්සියල්ලටම වඩා නො කැමති වන බිය වන ඒ මරණය ලෙහෙසියෙන් සිදු වන්නේ ද නො වේ. එය සිදු වන්නේ සෙම නැඟී අවුත් අශ්වාස ප්‍රාශ්වාස මාර්ගයන් අවුරා මලමුත්‍ර දොට්ට විසි වන තරමේ බලවත් වේදනා ඇති කරවීමෙනි. එබැවින් එය ඉතාම භායානක දුක ය.

    ලෝකයෙහි ජීවත්වන තැනැත්තාට අහිත වූ දිය ගිනි සුළංවලින් ද ගල් මුල් කටු ආදියෙන් ද නොයෙක් විට පීඩා ඇති වන්නේ ය. උකුණු මකුණු මැසි මදුරු පත්තෑ ගෝණුසු ආදි කුඩා සතුන්ගෙන් ද අව්වෙන් වැස්සෙන් පින්නෙන් ශීතලෙන් ද කරදර පැමිණෙන්නේ ය. නයි පොළොං කොටි වලස් ආදි නපුරු සතුන් ගෙන් ද නොයෙක් පීඩා වන්නේ ය. කාටවත් කිසිවරදක් නො කරන අනුන්ට යහපතම කරන සත්පුරුෂයෙකුටද වුවද රිදවීමට ඔහුගේ තත්ත්වය පහළ දැමීමට නොයෙක් ආකාරයෙන් බණිති, නොයෙක් චෝදනා කරති. කිසි වරදක් නැති තැනැත්තා වරදට හසු කොට දඬුවම් ලබා දෙති. රැකියාවෙන් තනතුරෙන් පහ කරවති. සමහර විට අත් පා වලින් ආයුධවලින් පහර දෙති. දුකසේ සපයා ගෙන ඇති වස්තුව සොරකම් කර ගනිති. දේපල විනාශ කරති. දූදරුවන්ට කරදර කරති. මේවා ජීවත් වන්නහුට ලැබෙන අප්‍රියසම්ප්‍රයෝග දුක් ය.

    ලෝකයෙහි ස්ථිර කිසිවක් නැත. අමාරුවෙන් සපයා ගෙන ඇති, නැතිවම බැරි ඉතා ප්‍රයොජනවත් වස්තු වන ඇඳුම් පැළඳුම් හා නොයෙක් පරිභෝග භාණ්ඩ ද යාන වාහන හා ගෙවල් ද තවත් නොයෙක් ප්‍රිය වස්තූහු ද දිරීමෙන් හෝ සොර සතුරන්ට හසු වීමෙන් හෝ නැති වී යති. එද මිනිසාට වන මහත් දුකකි. මාපියන්ට ප්‍රාණය මෙන් ප්‍රිය දු දරුවෝ ඔවුන් බලා සිටියදී නැසෙන්නාහ. හිමියන්ට ප්‍රාණය සේ ප්‍රිය බිරියෝද බිරියන්ට ප්‍රිය සැමියෝ ද නැසෙන්නාහ. සහෝදර සහෝදරියෝ නැසෙන්නාහ. නෑමිතුරෝ නැසෙන්නාහ. සමහර විට බිරියන් හැර දූ දරුවන් හැර සැමියෝ පළා යන්නාහ. සමහර විට අන් පුරුෂයන් හා එකතුව බිරියෝ පළා යන්නාහ. දූ දරුවන් පළා යන්නාහ. මේ සසර සැරිසරන සත්ත්වයනට ඇති වන ප්‍රිය විප්‍රයෝග දුඃඛය ය.

    සත්ත්වයනට ඇති වන ආශා ඉතා බොහෝ ය. හොඳ ආහාරයක් දුටු කල්හි එයට ආශාව ඇති වේ. හොඳ ඇඳුමක් දුටු කල්හි එයට ආශාව ඇති වේ. හොඳ වාහනයක් දුටු කල්හි එයට ඒවාට ආශාව ඇති වේ. හොඳ ගෙයක් වත්තක් කුඹුරක් දුටු කල්හි ඒවාට ආශාව ඇති වේ. අඹුවන් ගැන සැමියන් ගැන දූ දරුවන් ගැන ගරු බුහුමන් ගැන තනතුරු ගැන නොයෙක් දෑ දැකීම ඇසීම ගැන උත්සව පැවැත්වීම ගැන බොහෝ ආශාවල් ඇති වේ. ඒ ඇති වන ආශා සියල්ල මුදුන් පත් කර ගැනීමට, ආශා කරන සියල්ල ලබා ගැනීමට ලෝකයෙහි කිසිම කෙනෙකුට නුපුළුවන් වේ. එක් එක් අයෙකුට ඇති වන ආශාවලින් මුදුන්පත් කරගත හැකි වන්නේ ඉතා ස්වල්පයෙකි. කැමති වන දෙයින් ලබා ගත හැකි වන්නේ ඉතා ස්වල්පයෙකි. සාමාන්‍යයෙන් ඇති වන ආශාවන් මුදුන්පත් නො වීම එතරම් මහත් දුකක් නො වේ. එහෙත් ඇතැම් ආශාවන් මුදුන්පත් නො වීම ඉවසිය නො හෙන තරමේ මහ දුකකි. ඒ දුක ඉවසා සිටිය නො හැකි බැවින් ඇතැම්හු දිවි නසා ගනිති. ඇතැම්හු ආශාවන් මුදුන් පමුණුවා ගැනීමට ගොස් බැණුම් අසති. ගුටිබැට කති. සිරගෙවලට වැටෙති. ඇතැම්හු මැරුම් කති.

    මව පියා පුතා දූ සැමියා බිරිය යනාදි පුද්ගලයන් වශයෙන් සලකන රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන උපාදානස්කන්ධ පඤ්චකය ඇති කල්හි ජාති ජරා ව්‍යාධි මරණ අප්‍රියසම්ප්‍රයෝග ප්‍රියවිප්‍රයෝග ඉච්ඡාවිඝාත යන දුක් ඇත්තේ ය. ඒවා ඇති කල්හි ශෝක පරිදේව දුඃඛ දෝමනස්ස උපායාසයෝ ද වන්නාහ. එහි ශෝක නම් ප්‍රිය විප්‍රයෝගාදිය නිසා සිතෙහි හටගන්නා ගින්න ය. එයින් සිත කය දෙකම දැවේ. පරිදේව යනු හැඬීමය. දුඃඛ යනු ශරීරයේ ඒ ඒ තැන්වල ඇතිවන රිදුම් ආදි නො ඉවසිය හැකි ස්වභාවයෝ ය. දෝමනස්ස යනු සිත් රිදුම ය. උපායාශ යනු පපුව වියළවන සමහර විට ජීවිතය ද නසන බලවත් සිත් වෙහෙස ය. එය බලවත් ශෝකයේ කෙළවර ඇති වන්නකි. ජාති ජරා ව්‍යාධි මරණාදිය පඤ්චස්කන්ධයෙහි මිස අන් තැනක නැත. ඒ දුක් උපදනා තැන – ඇති තැන පඤ්චස්කන්ධ ය. නුවණ මඳ ජනයා විසින් සැපයක් ලෙස හොඳක් ලෙස ආත්මයක් ලෙස සලකන, කියන ලද දුක්වලින් වැළඳ ගෙන සිටින පෙළන තවන දවන උපාදානස්කන්ධ පඤ්චකය නො හොඳක් බව ඒකාන්තයෙන්ම දුකක් බව කිසිවකුගෙන් උපදෙස් නො ලබා තමන් වහන්සේගේ නුවණින් තථාගතයන් වහන්සේ අවබෝධ කළ සේක.

    SN 05-01-01-06. පඨම අඤ්ඤතර භික්‍ෂු සූත්‍රය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, බ්‍රහ්මචරියාව
    බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ.
    ස්වාමීනි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද?
    බ්‍රහ්මචරියාවේ අන්තිම ඵලය කුමක්ද?”

    “මහණ මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්‍රහ්මචරියාවයි.
    ඒ කවරේද?
    සම්‍යක් දෘෂ්ටිය,
    සම්‍යක් සංකල්පය,
    සම්‍යක් වචනය,
    සම්‍යක් කර්මාන්තය,
    සම්‍යක් ආජීවය,
    සම්‍යක් ව්‍යායාමය,
    සම්‍යක් සතිය,
    සම්‍යක් සමාධිය යනුයි.

    මහණ කාමය ක්ෂය කිරීම ,
    දෝසය ක්ෂය කිරීම ,
    මෝහය ක්ෂය කිරීම
    බ්‍රහ්මචරියාවේ කෙළවරයි.”

    SN 05-01-01-07. දුතිය භික්‍ෂු සූත්‍රය

    මා විසින් මෙසේ අසන ලදී.
    එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

    “ස්වාමීනි,
    රාග විනය, දෝස විනය, මෝහ විනය යනු කුමකට නමක්ද?

    “මහණ රාග විනය, දෝස විනය, මෝහ විනය යනු නිර්වාණ ධාතුවට නමකි.
    ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම එයින් කියනු ලැබේ.”

    “මෙසේ කී කල්හි, ඒ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
    “ස්වාමීනි, අමෘතයයි අමෘතයයි කියයි.
    ස්වාමීනි, අමෘතය යනු කුමක්ද?
    අමෘතගාමී මාර්ගය කුමක්ද?” –

    “මහණ රාගය ක්ෂය කිරීම
    දෝසය ක්ෂය කිරීම
    මෝහය ක්ෂය කිරීම
    අමෘතයයි කියනු ලැබේ.

    මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම අමෘතගාමී මාර්ගයයි.
    ඒ කවරේද යත්?
    සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධියයි” වදාළසේක

    – නිබ්බාණ ධාතුයා ඛො එතං භික්‍ඛු අධිවචනං = ප්‍රත්‍යයෙන් හට නො ගන්නා වූ, අමෘතමය වූ නිර්වාණ ධාතුවට මෙය තව ද වචනයකි. ආසවානං ඛයො තෙන වුච්චති = තව ද ඒ මගින් රාගාදිය ඉවත් කිරීම නිසා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම (හෙවත් කෙළෙස් ප්‍රහීන කිරීම) යයි කියනු ලැබේ. ආසවක්ඛය (හෙවත් කෙලෙස් ප්‍රහීන කිරීම නම් අර්හත් භාවයයි. අර්හත් බව යන්නට ද රාග විනය (හෙවත් රාගයෙන් තොරවීම) ආදී නාමයන් ම දැක්වේ. එතදවොච = ධාතුන් පිළිබඳව විස්තර කරන්නා වූ ශාස්තෲන් වහන්සේ විසින් මාහට නිර්වාණය කියන ලදී. එයට මාර්ගය වනාහී නො කියන ලදී. එය කියවන්නෙමි යි අනු පිළිවෙළ ගැළපීමෙහි දක්ෂ බැවින් ප්‍රශ්න කරනුයේ මෙසේ කීය.

    SN 05-01-01-08. විභඞ්ග භික්‍ෂු සූත්‍රය


    SN 05-01-01-08. විභඞ්ග සූත්‍රය
    මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවා පිළිගන්වන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

    “මහණෙනි, තොපට ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය දේශනා කරන්නෙමි.
    බෙදා දක්වන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්,

    කියන්නෙමි.”
    ඒ භික්ෂූහු “එසේය. ස්වාමීනි’යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්හ.

    භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

    “මහණෙනි, ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය නම් කුමක්ද?
    ඒ මෙසේයි
    සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි.

    “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කවරීද යත්, මහණෙනි යම් දුක දන්නාවූ ඥානයක් වේද, දුකට හේතුව දන්නාවූ ඥානයක් වේද, දුක් නැතිකිරීම දන්නා ඥානයක් වේද දුක් නැති කිරීමට පැමිණෙන මාර්ගය දන්නා ඥානයක් වේද මහණෙනි මේ සම්‍යක් දෘෂ්ටියයි කියනු ලැබේ.

     – කතමාච භික්‍ඛවෙ සම්මා දිට්ඨි = එක් ආකාරයකින් අෂ්ටාංගික මාර්ගය බෙදා දක්වා, නැවත වෙනත් ආකාරයකින් බෙදනු කැමැත්තහු මෙන් මේ දේසනාව ඇරඹීය. එහි – දුක්‍ඛෙඤාණං – ශ්‍රවණය කිරීම, විමසා බැලීම, සත්‍යාවබෝධය හා නුවණින් සලකා බැලීම වශයෙන් සතර ආකාරයෙන් උපන් ඥානයයි. (දුඃඛ) සමුදයෙහිද මේ පිළිවෙළම වේ. සෙසු සත්‍යයන් දෙකෙහි වනාහී විමර්ශනය කිරීමක් (අවශ්‍ය) නොවන බැවින් තුන් ආකාරයකින් පමණක්ම පවතී. මෙසේ මෙය “දුක්‍ඛෙඤාණං” (දුක පිළිබඳව දන්නා නුවණ) යන ආදී වශයෙන් චතුරාර්ය සත්‍ය කර්මස්ථානය දක්වන ලදී.

    “මහණෙනි, සම්‍යක් සංකල්පය කුමක්ද? යම් නෛෂ්ක්‍රම්‍ය කල්පනාවක් වේද අව්‍යාපාද කල්පනාවක් වේද අවිහිංසා කල්පනාවක් වේද මහණෙනි මෙය සම්‍යක් සංකල්ප යයි කියනු ලැබේ.

    “මහණෙනි, සම්‍යක් වචනය නම් කවරේද? මහණෙනි, යම් බොරුකීමෙන් වෙන්වීමක් වේද කේලාම් කීමෙන් වෙන් වීමක් වේද ඵරුස වචනයෙන් වෙන්වීමක් වේද හිස් වචන කීමෙන් වෙන්වීමක් වේද මහණෙනි, මෙය සම්‍යක් වචනයයි කියනු ලැබේ.

    “මහණෙනි, සම්‍යක් කර්මාන්තය නම් කුමක්ද?
    මහණෙනි, යම් ප්‍රාණඝාතයෙන් වෙන්වීමක් වේද සොරකම් කිරීමෙන් වෙන්වීමක් වේද අබ්‍රහ්මචරියාවෙන් වෙන්වීමක් වේද මහණෙනි, මෙය සම්‍යක් කර්මාන්තයයි කියනු ලැබේ.

    “මහණෙනි, සම්‍යක් ආජීවය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්යශ්‍රාවක තෙමේ වැරදි ජීවිකාවෙන් වෙන්ව යහපත් ජීවිකාවෙන් ජිවිකාව කෙරේද? මහණෙනි, මේ සම්‍යක් ආජීවයයි කියනු ලැබේ.

    “මහණෙනි, සම්‍යක් ව්‍යායාමය නම් කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නොඉපදීම පිණිස කැමැත්ත උපදවයි. වීර්ය කෙරෙයි. වීර්ය පටන් ගනියි. සිත ඔසවයි, උත්සාහ කෙරෙයි, උපන්නාවූ ලාමක අකුසල ධර්මයන්ගේ නැතිකිරීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කෙරෙයි. වීර්ය කෙරෙයි. වීර්ය පටන්ගනියි. සිත ඔසවයි. උත්සාහ කෙරෙයි. නූපන් කුසල ධර්මයන්ගේ ඉපදවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කෙරෙයි. වීර්ය පටන් ගනියි. සිත ඔසවයි, උත්සාහ කෙරෙයි. උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, සිහි නැතිනොවීම පිණිස, බොහෝ බව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයි. උත්සාහ කරයි. වීර්ය පටන්ගනී. සිත ඔසවයි. උත්සාහ කරයි, මහණෙනි, මේ සම්‍යක් ව්‍යායාමයයි කියනු ලැබේ.

    “මහණෙනි, සම්‍යක් සතිය කවරීද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම කෙළෙස් තවන වීර්ය ඇතිව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව කාය සංඛ්‍යාත ලෝකයෙහි ලෝභ ද්වේෂයන් සන්සිඳුවා කයෙහි කය අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව වේදනා සංඛ්‍යාත ලෝකයෙහි ලෝභ දෝසයන් සන්සිඳුවා වේදනාවන්හි වේදනාව අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව චිත්ත සංඛ්‍යාත ලෝකයෙහි ලෝභයද ද්වේෂයද සන්සිඳුවන චිත්තයන්හි සිත නැවත නැවත බලමින් වාසය කරයිද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව ඤාණයෙන් යුක්තව සිහියෙන් යුක්තව ධර්ම සංඛ්‍යාත ලෝකයෙහි ලෝභ දෝසයන් සන්සිඳුවා ධර්මයන්හි ධර්මයන් අනුව නැවත නැවත බලමින් වාසය කරයිද, මහණෙනි, මේ සම්‍යක් සතියයි කියනු ලැබේ.

    “මහණෙනි, සම්‍යක් සමාධිය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම පඤ්චකාමයෙන් වෙන්වම අකුසලයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත්තාවූ ප්‍රීතිය හා සැපය ඇති පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, විතර්ක විචාර දෙදෙනාගේ සංසිඳීමෙන් තමා තුළ පැහැදීම කරන්නාවූ චිත්තයාගේ එකඟ බව වූ විතර්ක නැති විචාර නැති සමාධියෙන් උපන්නාවූ ප්‍රීතිය හා සැපය ඇති දෙවන ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, ප්‍රීතියෙහිද නොඇල්මෙන් ධ්‍යාන උපේක්ෂාවෙන් යුක්තවූයේ සිහි ඇත්තේ නුවණ ඇත්තේ කයින් සුව විඳීද, යම් ධ්‍යානයක් උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව සැපවිහරණ ඇත්තේයයි ආර්යයෝ කියත්, ඒ තුන්වන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, සැප නැතිකිරීමෙන්ද දුක නැතිකිරීමෙන්ද ධ්‍යානය ලැබීමට පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ දුරුකිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සති දෙකින් පිරිසිදුවූ සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයිද, මහණෙනි, මේ සම්මා සමාධියයි කියනු ලැබේ යයි’ වදාළෝය.

    SN 05-01-01-09. සූක භික්‍ෂු සූත්‍රය

    SN 05-01-01-09. සූක සූත්‍රය
    මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

    “මහණෙනි, යම්සේ වරදවා තබන ලද (උඩුකුරු නොකොට) හැල් වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් හෝ අතින් හෝ පයින් හෝ ඇක්මුණේ (මඩින්නේ) අත හෝ පය හෝ සිඳින්නේය. ලේ හෝ උපදවන්නේය යන මීට හේතුවක් නැත. ඊට කාරණා කිම්ද? මහණෙනි, නණ්ඩුව වරදවා තබන ලද හෙයිනි. මහණෙනි, එමෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් වරදවා තබන ලද දැකීම, වරදවා තබන ලද මාර්ග භාවනාව කරණකොට අවිද්‍යාව සිඳියි, විද්‍යාව උපදවන්නේය යන මීට හේතු නැත්තේය. ඊට කාරණා කවරේද? දැකීම වරදවා තබන ලද හෙයිනි.

    “මහණෙනි, යම්සේ මනාකොට තබන ලද හැල් වී නණ්ඩුවක් හෝ යව වී නණ්ඩුවක් හෝ අතින් හෝ පයින් හෝ ඇක්මුණේ (මඩනා ලද්දේ) අත හෝ පය හෝ සිඳියි. ලේ හෝ උපදවයි යන මීට හේතු ඇත්තේය. ඊට කාරණා කවරේද? මහණෙනි, නණ්ඩුව මනාකොට තබන ලද බැවිනි. මහණෙනි, එමෙන්ම ඒ මහණතෙම ඒකාන්තයෙන් මනාකොට තබනලද දෘෂ්ටිය මනාකොට තබන ලද මාර්ග භාවනාව කරණ කොට අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවන්නේය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරන්නේය යන මීට හේතු ඇත්තේය. ඊට කාරණා කවරේද? මහණෙනි, දෘෂ්ටිය මනාව තබන ලද හෙයිනි.

    “මහණෙනි, මහණතෙම මනාකොට තබන ලද දෘෂ්ටියෙන් තබන ලද මාර්ග භාවනාවෙන් කෙසේ නම් අවිද්‍යාව බිඳීද? විද්‍යාව උපදවයිද? නිවන ප්‍රත්‍යක්ෂකෙරේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් දෘෂ්ටිය වඩයි.

    විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සංකල්පය වඩයි.

    “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ, නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් වචනය වඩයි.

    “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් කර්මාන්තය වඩයි.

    “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් ආජීවය වඩයි.

    “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් ව්‍යායාමය වඩයි.

    “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සතිය වඩයි.

    “විවේකය ඇසුරු කළාවූ විරාගය ඇසුරු කළාවූ නිරෝධය ඇසුරු කළාවූ කෙලෙස් ප්‍රහාණය පිණිස නැමුනාවූ සම්‍යක් සමාධිය වඩයි.

    “මහණෙනි, මෙසේ මේ මහණතෙම මනාකොට තබන ලද දෘෂ්ටිය මාර්ගය භාවනාව කරණකොට අවිද්‍යාව සිඳියි. විද්‍යාව උපදවයි. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කෙරේයයි” වදාළේය.

    SN 05-01-01-10. නන්දිය භික්‍ෂු සූත්‍රය


    SN 05-01-01-10. නන්දිය සූත්‍රය
    මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි නන්දිය නම් පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ නන්දිය පරිබ්‍රාජතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

    “භවත් ගෞතමයන් වහන්ස, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ කෙතෙක් ධර්මයෝ නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්ද?”

    “නන්දිය, වඩන ලද බහුල කරන ලද ධර්ම අටක් නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත්. කවර නම් අටක්ද? එනම් සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මොහුයි. නන්දිය, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ මේ ධර්මයෝ අටදෙන නිවනට පැමිණෙන්නාහු නිවන පිහිටකොට ඇත්තාහු නිවන කෙළවරකොට ඇත්තාහු වෙත්.

    “මෙසේ වදාළ කල්හි නන්දිය පරිබ්‍රාජකතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. ‘යහපති, භවත් ගෞතමයන් වහන්ස යහපති, භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ මා උපාසකයෙකු කොට දරන සේක්වා” යනුයි.

    ...more
    View all episodesView all episodes
    Download on the App Store

    SINHALA TIPITAKABy