Sign up to save your podcasts
Or

විහාර යනු විසීමය. අද අපි “විහාරය” ලෙස දන්නේ භික්ෂුන් වහන්සේලා වාසය කරන ස්ථානයය.
විහරණය යනු විසීමය. බ්‍රහ්ම විහරණය උතුම් ලෙස වාසය කිරීමය .
මේ විහාර වග්ගයේ සුත්‍ර දහයෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් නිර්වාන ප්‍රතිපදාවේ හැසිරෙන කෙනෙකු ජීවත් විය යුතු පිළිවෙල ගැන උපදෙස් අඩංගු වේ.
SN 05-01-02-01 පඨමවිහාර සූත්‍රය
SN 05-01-02-02 දුතියවිහාර සූත්‍රය
SN 05-01-02-03 සේඛ සූත්‍රය
SN 05-01-02-04 පඨම උප්පාද සූත්‍රය
SN 05-01-02-05 දුතිය උප්පාද සූත්‍රය
SN 05-01-02-06 පඨමපරිසුද්ධ සූත්‍රය
SN 05-01-02-07 දෙවන පරිසුද්ධ සූත්‍රය
SN 05-01-02-08 පළමුවෙනි කුක්කුටාරාම සූත්‍රය
SN 05-01-02-09 දෙවෙනි කුක්කුටාරාම සූත්‍රය
SN 05-01-02-10 තුන්වෙනි කුක්කුටාරාම සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළසේක.
“මහණෙනි, මම අඩ මසක් හුදකලාව විසීමට කැමැත්තෙමි.
පිණ්ඩපාතය ගෙණෙන එක් භික්ෂුවක් හැර කිසිවෙක් නොපැමිණිය යුතුය”
යනුයි.
“ස්වාමීනි, එසේයයි”
ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී පිණ්ඩපාතය ගෙන යන එක භික්ෂුවක් හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා නොපැමිණෙයි.
[කුමක් නිසා වනාහී මෙසේ කීයේද යත් – ඒ අඩ මසෙහි වනාහී හික්මවිය යුතු සත්ත්වයෙක් නො වීය. ඉක්බිති ශාස්තෲන් වහන්සේ මේ අඩමස පල සමවත් සුවයෙන් කල්ගෙවන්නෙමි, මෙසේ මාගේ ද සුඛ විහරණය වන්නේය. අනාගතයෙහි ද පසු කාලීන ජනතාව “ශාස්තෲන් වහන්සේ ද සමූහයාගෙන් වෙන් ව තනිව වාසය කළහ, අපි ද එසේ කරමු” යි දුටු දේ අනුව යාමට යොමු වෙත්, එය ඔවුනට දිගු කලක් හිතසුව පිණිස වන්නේය යන මේ කරුණ නිසා මෙසේ කීය. භික්ෂු සංඝයා ද ශාස්තෲන් වහන්සේගේ වචනය පිළිගෙන එක් භික්ෂුවක (ට වගකීම් පවරා) දුන්හ. හෙතෙමෙ උදෑසන ම ගන්‍ධකුටි ආවාසය හැමදීම, මුව දොවන ජලය, දැහැටි දීම් ආදී සියළු කටයුතු එකෙණෙහිම සිදු කොට ඉවත්ව යයි.]
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස හුදකලාව වාසයෙන් පසුව භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි,
ප්‍රථමා සම්බෝධිය ඇති
(බුදුවී එකුන් පනස් දින ඇතුළත)
මම වේදනා නොහොත් විඳීම් ගැන
මෙනෙහි කරමින් විසුයෙමි.
ඒ ධර්ම මම මෙසේ දැනගතිමි.
[යෙන ස්වාහං – යම් හෙයකින් මම
පඨමාභි සම්බුද්ධො = අභිසම්බුද්ධත්‍වයට පැමිණ පළමු කොටම එකුන් පනස් දිනයක් අතරෙහි
විහරාමි = මෙය අතීතාර්ථයෙහි වර්තමාන (රූපී) වචනයකි.
තස්ස පදෙසෙන = අභිසම්බුද්ධත්‍වයට පත් වී
උන්වහන්සේ පළමුව වාසය කළ පෙදෙසින් එහි “පදෙස” (ප්‍රදේශය) යනු ඛන්‍ධප්පදෙස (හෙවත් ස්කන්ධ ප්‍රදේශ) නම් වේ. ආයතන, ධාතු, සත්‍ය, ඉන්‍ද්‍රිය ප්‍රත්‍යයාකාර, සතිපට්ඨාන, ධ්‍යාන නාම රූප යන ආදී වශයෙන් “පදෙස” යන්න නානා විධ වේ. ඒ සියල්ලම සඳහා “තස්ස පදෙසෙන විහාසිං” (එයට අයත් පෙදෙස ඇසුරෙන් වාසය කළෙමි) යනුවෙන් කීය.
භාග්‍යවතුන් වහන්සේ වනාහී බුද්ධත්වයෙන් පසු පළමු දින එකුන් පනස ඇතුළත, යම්සේ රජබවට පත් රජතුමකු තමාගේ අගනා සම්පත් දකිනු සඳහා ඒ ඒ ගබඩාව විවෘත කරවා රන් රිදී මුතු මැණික් ආදී රත්නයන් පරීක්ෂා කරමින් වෙසෙන්නේද, ඒ අයුරින්ම පඤ්ච ස්කන්ධයෙහි සියල්ල ඇතුළත් කොට විමසා බලමින් පරීක්ෂා කරමින් විසූහ.]
[මිච්චා දිට්ඨිය
බොහෝ මිනිසුන් තමාගේ පැවැත්ම මේ ජීවිතය පමණක් යයි විශ්වාස කරති. මරණින් පසු නැවත උපතක් නැත, පින් පව් කියා දෙයක් නැත, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නේ නැත, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත, නිවන කියා දෙයක් තිබිය නො හැක යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැතහොත් වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටිය ලෙස හඳුන්වා ඇත. තමාගේ අවිධ්යාව නම් නොදැනීම නිසා සත්‍ය නොදැක තමන්ගේ නොදන්නාකම – දන්නාකම ලෙස සිතට ගෙන ඔවුන් වාද කරති. තර්ක කරති.
යන කරුණු දෙකෙන් මෙම අකුසලය සිදුවේ. දස අකුසල කර්මයන්ගෙන් බලවත්ම අකුසල කර්මය වනුයේ මිත්‍ය දෘෂ්ටිය වන්නේ ඒ නිසා අන් සියලු අකුසල් කරන්නට මිනිසා පෙළඹෙන නිසාය. මිථ්‍යා දෘෂ්ටි ගණනින් බොහෝය කියා කිව හැකි මුත් ඒවායින් බරපතල ම අකුසල් සිදුවෙන්නේ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය සහ අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන් ය.]
[මේ අඩමසෙහි ඒ ස්කන්ධයන්ගේ කොටසක් වන වේදනා ස්කන්ධය ම නුවණින් සලකා බලමින් වාසය කළහ. උන්වහන්සේට මේ සත්ත්වයෝ මෙබඳු නම් සුවයක් විඳගනිත්, මෙබඳු දුකක් විඳ ගනිත් යනුවෙන් දකිමින් භවාග්‍රය තෙක් පවත්නා සුඛ වින්දනයන්ද, අවීචිය තෙක් පවත්නා දුඃඛ වින්දනයන්ද යන සියල්ල හැම අයුරින්ම අවබෝධ විය. තව ද මිථ්‍යාදෘෂ්ටි හේතුවෙන් ද වින්දනය ලබන බව ආදී කරුණු පිළිවෙළින් අවබෝධ කර ගනිමින් වාසය කළහ.]
“ඡන්දය නිසා උපදින වේදනාද දැනගතිමි.
විතර්කය නිසා උපදින වේදනාද දැනගතිමි.
සංඥාව නිසා උපදින වේදනාද දැනගතිමි.
[එසේම බුද්ධත්වයෙන් පසු මුල් කාලයේම (ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් බෙදිය හැකි) ආයතන දොළස නිරවශේෂයෙන් විමසා බැලූහ. මේ අඩමසෙහි ඒ ආයතනයන්ගේ කොටසක් වේදනා වශයෙන් ද, ධර්මායතන කොටසක් වන ධාතූන්ගේ කොටසක් වේදනා වශයෙන් ද, ධර්ම ධාතූන්හි එක් කොටසක් වන සත්‍යයන් පිළිබඳ කොටස වේදනා ස්කන්ධ වශයෙන් ද, දුඃඛ සත්‍යයේ එක් කොටසක් වන (හේතු) ප්‍රත්‍යයන් පිළිබඳ කොටස ස්පර්ශය හේතුවෙන් වන වින්දනය වශයෙන්ද, (හේතු) ප්‍රත්‍යයේ එක් කොටසක් වන ධ්‍යානයන් පිළිබඳ කොටස වින්දනය වශයෙන්ද, ධ්‍යානාංගයන් හි එක් කොටසක් වන නාමරූප කොටස වින්දනය වශයෙන් ද නුවණින් සලකා බැලූහ. සම්බෝධියට පැමිණ මුල් එකුන් පනස් දින ඇතුළත කුසලාදී ධර්මයන් නිරවශේෂ කොට අනන්තනයින් (හෙවත් බොහෝ වූ ක්‍රමයගෙන්) හෙබි සප්ත ප්‍රකරණයන් මෙනෙහි කළහ. මේ අඩමසෙහි වනාහී සියළු ධර්මයන්ගේ කොටසක් වන වින්දනය අවසන් කොට ඇති තත්ත්වය ම සලකා බැලූහ. එතැන්හි වනාහී වින්දනයේ බලයෙන් උපන් ඒ ඒ සමාපත්ති විහරණ ය ද පවතී.
තව ද “ඉධෙව භික්ඛවෙ සමණො ඉධදුතියො සමණො”[2] යනාදි දේශනා පාළියෙහි මෙන් මෙහි දු උත්තර පදයෙහිත් “ඒව” ශබ්දය යොදා කිය යුතු. කාමයන්ගෙන් පමණක් නොවේ. අන්‍ය නීවරණ සංඛ්‍යාත අකුශලයන්ගෙන් ද නො වෙන් වැ ධ්‍යාන උපදවා වසන්නට නො හැක. එහෙයින් “විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහි” යි දෙපදයෙහි ම “ඒව” ශබ්දය යොදා ගත යුතුයි. එවිට කාමයන්ගෙන් වෙන්වැම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් වැම යන අර්‍ථය ලැබේ. (මහණෙනි, සෝවාන් මහණ ද මේ ශාසනයෙහි ම ය. දෙවන සකෘදාගාමි මහණ ද මේ ශාසනයෙහි ම ය යනු “ඉධෙව භික්ඛවෙ සමණො” යනාදි පාඨයෙහි අර්‍ථ යි.)
මේ දෙපදයෙහි දැක්වුණු විවිච්ච යන සාධාරණ වචනයෙන් තදඞ්ගවිවේක-විෂ්කම්භනවිවේක-සමුච්ඡේදවිවේක ද, චිත්තවිවේක-කායවිවේක-උපධිවිවේක යන ත්‍රීවිධවිවේක ද යන සියලු විවේකයෝ සංග්‍රහ වෙති. එතකුදු වුවත් මේ ධ්‍යාන කථෘයෙහි කාය විවේක චිත්තවිවේක – විෂ්කම්භනවිවේක යන ත්‍රිවිධ විවේක පමණක් ඇතුළත් වන බව දත යුතු යි.
කාමෙහි යන මේ පදයෙන් “කතමෙ වත්‍ථුකාමා මනාපියා රූපා”[3] වස්තුකාම කවරේද මන වඩන රූප” යනාදීන් නිර්‍දෙශ පාළියෙහි දැක්වුණු වස්තුකාම ද
“ඡන්‍දො කාමො රාගො කාමො ඡන්‍දරාගො කාමො සඞ්කප්පො කාමො රාගො කාමො සඞ්කප්පරාගො කාමො ඉමෙ වුච්චන්ති කාමා”[4] යනාදීන් නිර්‍දෙශයෙහි හා විභඞ්ගයෙහි දැක්වුණු ක්ලේශකාම ද යන සියල්ල සඞ්ග්‍රහ වන බව දත යුතු. “ඡන්‍දය කාමය රාගය කාමය, ඡන්‍දරාගය කාමය, සඞ්කල්පය කාමය, රාගය කාමය, සඞ්කල්ප රාගය කාමය, මොහු කාමයෝ යි කියනු ලැබෙත් යනු පාළියෙහි අර්‍ථ යි. (ප්‍රාර්‍ථනාකාරයෙන් ප්‍රවෘත්ත වූ දුර්‍වල ලෝභය ඡන්‍දනාර්‍ථයෙන් ඡන්‍ද නම් වූයේ කැමති වන අර්‍ථයෛන් කාම නම් ව්. සෙස්සෙහි දු මෙමෙ නය යි එයට වඩා බලවත් ලොභය රඤ්ජනාර්‍ථයෙන් රාග නම් වේ. එයට වඩා බලවත් බහුල රාගය ඡන්‍දාරාග නම් වේ. නිමිත්තානුඛයඤ්ජනයන්ගේ සඞ්කල්පයට හේතු වූ ලෝභය සඞ්කල්පරාග නමි. එය වඩා බලවත් වූයේ රඤ්ජනාර්‍ථයෙන් රාග නම් වේ. සඞ්කල්ප වශයෙන් ප්‍රවෘත්ත වෙසෙසින් බලවත් වූ ලෝභය සඞ්කල්පරාග නම් වේ යනු පැරකුම්බා සන්න ය.)
මෙසේ ගත් කල්හි “විවිච්චෙව කාමෙහි” යන්නෙන් “වස්තුකාමයෙන් වේන වැ මැ” යන අර්‍ථය ලැබේ. එයින් කාය විවේකය කියවේ. “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන්නෙන් “ක්ලේශ කාමයෙන් හා සියලු අකුශලයෙන් වෙන් වැ මැ” යන අර්‍ථය ලැබේ. එයින් චිත්ත විවේකය කියවේ. පළමු දැක්වුණු වස්තුකාම විවේක වචනයෙන් කාම සුඛ හැරැපීම ද, දෙවුන දැක්වුණු ක්ලේශ කාම විවේක වචනයෙන් ධ්‍යාන සුඛ ලැබැ ගැන්මද ප්‍රකාශ විණි.
මෙසේ වස්තු කාම – ක්ලේශ කාම විවේකය කියවෙන හෙයින් ම මේ දෙපද අතුරෙන් පළමු වැන්නෙන් තෘෂ්ණාදි සංක්ලේශොත්පත්තියට හේතු වූ වස්තු දුරු කිරීම ද, දෙවැන්නෙන් ඒ සංක්ලේශ දුරු කිරීමද, එසේ ම පළමු වැන්නෙන් ලෝල භාව හේතු දුරු කිරීම ද, දෙවැන්නෙන් බාල භාව දුරු කිරීම ද, පළමුවැන්නෙන් කාම ගුණාධිගමයට හේතු වූ ප්‍රාණඝාතාදිය අශුද්ධ ප්‍රයෝග වන බැවින් එයින් වෙන්වීම් සංඛ්‍යාත ප්‍රයෝග ශුද්ධිය ද, දෙවැන්නෙන් තෘෂ්ණා සංක්ලේශ විශෝධනයෙන් හා විවපනිශ්‍රය ධ්‍යාන සංවර්‍ධනයෙන් වන ආශය පොෂණය ද, ප්‍රකාශ කරන ලද්දේ යයි දත යුතු. “කාමෙහි” යි වදාළ කාම අතුරෙන් වස්තු කාම පක්‍ෂයෙහි ක්‍රමය මෙසේ ය.
ක්ලේශකාම පක්‍ෂයෙහි ඡන්‍ද, රාග, කාමාසව, කාමරාග සංයොජන, රූපතෘෂ්ණා යනාදි නොයෙක් භේද ඇති කාමච්ඡන්‍දය කාමයයි කියන ලද්දේ ය. හේද අකුසලයෙහි සංග්‍රහ වන නමුදු “තත්‍ථ කතමෙ කාමා ඡන්‍දො කාමො”[5] යනාදීන් විභඞ්ගයෙහි ධ්‍යානයට ප්‍රතිපක්‍ෂ වන බැවින් අකුශල සාමාන්‍යයෙන් නො ගෙනැ වෙන් කොටැ ස්වරූපයෙන් දක්වන ලදි. ක්ලේශ කාම හෙයින් පූර්‍ව පදයෙහි හෝ අකුශල පර්‍ය්‍යාපන්ත බැවින් දෙවෙනි පදයෙහි හෝ වදාරන ලද්දේ යයි ද කිය යුතු. ඒ කාමය නොයෙක් භේද ඇති බැවින් “කාමස්මා”යි ඒක වචනයෙන් නො දක්වා “කාමෙහි”යි බහුවචනයෙන් දැක්වූහ. දිට්ඨි-මානාදි වූ සෙසු අකුසල ඇත ද, විභඞ්ගයෙහි “තත්‍ථ කතමෙ අකුසලා ධම්මා කාමච්ඡන්‍දො”[6] යනාදීන් නීවරණ ම අකුසල වශයෙන් දක්වන ලදී. ධ්‍යානාඞ්ගයන් තමන්ට විරුද්‍ධ වූවන්ට ප්‍රතිපක්‍ෂ බව දැක්වීම් වශයෙනි.
ඒ එසේ මැයි :- නීවරණයෝ ධ්‍යානාඞ්ගයන්ට ප්‍රතිපක්‍ෂයෝ ය. ධ්‍යානාඞ්ග විසින් නීවරණ වනසනු ලැබේ.
කියන ලද මැයි – පෙටකයෙහි – “සමාධි කාමච්ඡන්‍දස්ස පටිපක්ඛො, පීති ව්‍යාපාදස්ස, වීතක්කො ථීන මිද්ධස්ස, සුඛං උද්ධච්ච-කුක්කුච්චස්ස, විචාරො විචිකිච්ඡාය”යි ‘සමාධි සංඛ්‍යාත ඒකග්ගතාව කාමච්ඡන්‍දයට ප්‍රීතිය ව්‍යාපාදයට ද විතර්‍කය ථීන මිද්ධයට ද, සුඛය උද්ධච්ච-කුක්කුච්චයට ද, විචාරය විචිකිච්ඡාවට ද විරුද්ධය, යනු එහි අර්‍ථ යි.
මෙසේ මේ “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි”[7] යන දෙපද අතුරෙන් “විවිච්චෙව කාමෙහි” යන පදයෙන් කාමච්ඡන්‍දයාගේ විෂ්කම්භන විවේකය ද, “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන පදයෙන් පඤ්චනීවරණයන්ගේම විෂ්කම්භන විවේකය ද කියවිණි.
තව ද අගහිත ගහණ වශයෙන් ගතහොත් (අගහිත ගහණ න්ම මුල පෙදෙන් නොගත් දේ පසු පෙදෙන් ගැන්මයි) පළමු වන “විවිච්චෙව කාමෙහි” යන පදයෙන් කාමච්ඡන්‍ද නීවරණයාගේ ද, දෙවන “විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන පදයෙන් කාමච්ඡන්‍දය හැරැ ව්‍යාපාදාදි සෙසු සතර නීවරණයන්ගේ ද, විෂ්කම්භන විවෙකය කියන ලද්දේ ය. එසේම පළමු පෙදෙන් ත්‍රිවිධ අකුශල මූල අතුරෙහි පඤ්චකාම ගුණ භේද විෂයක ලෝභයාගේ ද, දෙවන පෙදෙන් ආඝාත වස්තු භේදාදි විෂයක ද්වේෂ මෝහයන්ගේ ද, එසේ ම ඕඝ අතුරෙහි පළමු පෙදෙන් කාමොඝයාගේ ද, දෙවන පෙදෙන් භවාදි සෙසු ත්‍රිවිධ ඕඝයන්ගේ ද, යෝග අතුරෙහි පළමු පෙදෙන් කාම යෝගයාගේ ද, දෙවන පෙදෙන් භවාදි සෙසු ත්‍රිවිධ යෝගයන්ගේ ද, ආසව අතුරෙහි පළමු පෙදෙන් කාමාසවයාගේ ද, දෙවන පෙදෙන් භවාදි සෙසු ත්‍රිවිධ ආසවයන්ගේ ද, උපාදාන අතුරෙහි පළමු පෙදෙන් කාමුපාදානයාගේ ද, දෙවන පෙදෙන් දිට්ඨාදි සෙසු ත්‍රිවිධ උපාදානයන්ගේ ද, කායග්‍රන්‍ථ අතුරෙහි පළමු පෙදෙන් අභිජ්ඣා කාය ග්‍රන්‍ථයාගේ ද, දෙවන පෙදෙන් ව්‍යාපාදාදි සෙසු ත්‍රිවිධ කාය ග්‍රන්‍ථයන්ගේද, සංයෝජන අතුරෙන් පළමු පෙදෙන් කාම රාග සංයොජනයාගේ ද, දෙවෙන පෙදෙන් සෙසු රූපරාගාදි නවවිධ සංයෝජනයන්ගේ ද, භව මූල අතුරෙහි පළමු පෙදෙන් තෘෂ්ණාවගේ හා තත් සම්ප්‍රයුක්තයන්ගේ ද, දෙවෙන පෙදෙන් අවිද්‍යාවගේ හා තත් සම්ප්‍රයුක්තයන්ගේ ද, අකුසල සිත් අතුරෙහි පළමු පෙදෙන් ලෝභ සම්ප්‍රයුක්ත අෂ්ටවිධ අකුසල චිත්තයන්ගේ ද, දෙවන පෙදෙන් දෝෂ = මෝහ සම්ප්‍රයුක්ත සෙසු චතුර්විධ අකුසල චිත්තයන්ගේ ද විෂ්කම්භන විවේකය කියන ලදැ යි දත යුතු යි.
“විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යන මේ පදයන්ගේ අර්‍ථ ප්‍රකාශය යි.
මෙතෙකින් ප්‍රථම ධ්‍යානය පිළිබඳ ප්‍රහාණාඞ්ග දක්වා ඉක්බිති සම්ප්‍රයොගාඞ්ග දක්වන්නට “සවිතක්කං සවිචාරං” යනාදිය වදාළේ ය. විතර්‍ක සහිත වූ විචාර සහිත වූ යනු එහි අර්‍ථ යි]
“ඡන්දය නොසන්සිඳුන විට,
විතර්කද නොසන්සිඳුන විට,
සංඥා නොසන්සිඳුන විට,
ඒ නිසා උපදින වේදනා දැන ගතිමි.
ඡන්දය සන්සිඳුන විට,
විතර්කයෝ නොසන්සිඳුන විට,
සංඥාවෝ නොසන්සිඳුන විටද,
ඒ නිසා උපදින වේදනාද දැනගතිමි.
[ප්‍රථම ධ්‍යාන යේ වින්දනය හා ඊටපෙර යෝගියාගේ සන්තානයේ වන වින්දනය මින් කියැවේ.
ප්‍රථම ධ්‍යාන ස්වභාවය ප්‍රකාශ කැරැ දක්වන “විවිච්චෙච කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි” යනාදි දේශනායෙහි “විවිච්චෙව කාමෙහි” යන්නෙහි අර්‍ථය ‘කාමයෙන් වෙන් වැ ප්‍රහාණ වශයෙන් කාමයෙන් ඉවත් වැ’ යනු යි. මෙහි “එව” යන නිපාතය නියමාර්‍ථ යි. එය නියමාර්‍ථ බැවින් ප්‍රථම ධ්‍යානයට පැමිණ වසන සමයෙහි අවිද්‍යමාන වූ ද කාම එයට විරුද්‍ධ බව ද, කාම පරිත්‍යාගයෙන් ම එයට පැමිණෙන බව ද දක්වන්නේ යි. තවද පැහැදිලි තරත්හෝත අන්‍ධකාරය ඇති කල්හි පහන් ආලෝකය නො පවත්නා සේ යම් කාම කෙනෙකුන් ඇති කල්හි මේ ප්‍රථම ධ්‍යානය නො පවත්නේ ද, ඒ කාමයෝ මේ ප්‍රථම ධ්‍යානයට ප්‍රතිපක්‍ෂයෝ ය. මෙතෙර හැරැපීමෙන් එතෙරට පැමිණීම සේ ඒ කාම පරිත්‍යාගයෙන් ම මේ ප්‍රථම ධ්‍යානයට පැමිණීම වන්නේ ය, යන නියමය මේ “ඒව” ශබ්දයෙන් හඟවන්නේ යයි දත යුතු.
මෙහිලා ප්‍රශ්නයෙකි. ඒව ශබ්දය උත්තරපදයෙහි ද නො දක්වා කුමක් හෙයින් පූර්‍වපදයෙහි පමණක් දක්වන ලද්දේ ද, කිම? අකුශල ධර්‍මයන්ගෙන් නො වෙන්වැ ද ධ්‍යාන උපදවා විසිය හැකි ද
එසේ නොසිතිය යුතු. කාම නිස්සරණ හෙයින් ම එය ප්‍රථම පදයෙහි යොදන ලදී. ධ්‍යාන වනාහි සියලු කාම භවයන්ගේ සමතික්‍රමණයට ප්‍රතිපත්ති බැවින් ද, ක්ලේශ කාමයට ප්‍රතිපක්‍ෂ බැවින් ද, කාමයන්ගේ ම නිස්සරණය යි. “කාමානමෙතං නිස්සරණං යදිදං නෙක්ඛම්මං”[1] යි. බුදුරජාණන් වහන්සේ ද වදාළ සේක. ‘නෙක්ඛම්මය යන යමෙක් වේ ද එය කාමයන්ගේ නිස්සරණය ය’ යනු එහි අර්‍ථ යි. මෙහි නෙක්ඛම්ම නම් ධ්‍යාන ය. (මෙයින් ව්‍යාපාදයට විරුද්‍ධ මෛත්‍රිය මෙන් ද, විහිංසාවට විරුද්‍ධ කරුණාව මෙන් ද ධ්‍යානයට කාමරාගය ඉඳුරා විරුද්‍ධ ය යි කී නියා දත යුතු)
ඡන්දයද සන්සිඳුන විටද, ,
විතර්කයෝද සන්සිඳුන විටද, ,
සංඥාවෝ නොසන්සිඳුන විටද, ,
ඒ නිසා උපදින වේදනාද දැනගතිමි.
[දුතියජ්ඣානය හා ඊට පෙර ලබන විඳීම්
ප්‍රථම ධ්‍යානය ලැබූ යෝගාවචරයා විසින් ද්විතීය ධ්‍යානය ලැබිය හැකි වීම පිණිස ප්‍රථම ධ්‍යානයෙහි ආවර්ජන වශීතාය, සමාපජ්ජන වශීතාය, අධිෂ්ඨාන වශීතාය, ව්‍යුස්ථාන වශීතාය, ප්‍රත්‍යවේක්ෂා වශීතාය යන පඤ්චප්‍රකාර වශීභාවය ඇති කර ගත යුතු ය. ප්‍රථම ධ්‍යානයේ අඞ්ගයන් කල් නො යවා එකින් එක ඉතා ඉක්මනින් මෙනෙහි කිරීමේ ශක්තිය ආවර්ජන වශීතාව ය. ධ්‍යානයට සමවදිනු කැමති වූ විට කල් ගත නො වී වහා සමවැදිය හැකි ශක්තිය සමාපජ්ජන වශීතා නමි. සමවැදුණු ධ්‍යානය තත්පරයක් දෙකක් තරම සුළු කාලයක් වුව ද පවත්වන්නට සමත් බව අධිෂ්ඨාන වශීතා නමි. ඉටාගත් වෙලාව ඉක්ම යා නො දී වෙලාවට ම ධ්‍යානයෙන් නැගිටීමට සමත් බව ව්‍යුස්ථාන වශීතා නම් වේ. එක් එක් වීථියක කාමාවචර ජවනය සත් වරක් ම ඇති වීම සාමාන්‍ය ස්වභාවය ය. විතර්කාදිය මෙනෙහි කිරීමේ දී ප්‍රත්‍යවේක්ෂා වීථිවල ජවන් සතක් ද ඇති නො වන පරිදි ඉතා වේගයෙන් ධ්‍යානාඞ්ග ප්‍රත්‍යවේක්ෂා කිරීමේ සමත් බව ප්‍රත්‍යවේක්ෂා වශීතා නමි.
මෙසේ ප්‍රථම ධ්‍යානයෙහි වශීභාවය ඇති කර ගත් යෝගාවචරයාහට ප්‍රථම ධ්‍යානයේ අඞ්ගයක් වන විතර්කය ඖදාරික දෙයක් සැටියට ද, එය නැතිව ධ්‍යානය ඇති කර ගැනීම හොඳ සැටියට ද වැටහේ. ඔහු විතර්කයෙන් තොර වූ ධ්‍යානයක් ලබනු රිසියෙන් නැවතත් ‘පඨවි, පඨවි’ කියා කසිණ ප්‍රතිභාග මෙනෙහි කරන්නට පටන් ගන්නේ ය. ඔහුගේ ඒ භාවනාව විතර්කය නමැති ඖදාරික ධ්‍යානාඞ්ගය දුරු කිරීමට කරන්නක් බැවින් විතර්ක විරාග භාවනා නම් වේ. ඒ විතර්ක විරාග භාවනාවේ බලයෙන් ඔහුට යම් කිසි අවස්ථාවක දී ඒ පඨවි කසිණ නිමිත්තෙහි විචාර ප්‍රීති – සුඛ – ඒකාග්‍රතා යන චතුරඞ්ගයෙන් යුක්ත වන ද්විතීය ධ්‍යාන චිත්තය උපදනේ ය.
ද්විතීය ධ්‍යානයෙහි වශීභාවය ඇති කර ගත් යෝගාවචරයාහට විචාරය ඖදාරිකාඞ්ගයක් වශයෙන් පෙනෙන්නට වන්නේ ය. තෘතීය ධ්‍යානය ලබා වශී භාවය ඇති කර ගත් යෝගාවචරයාහට ප්‍රීතිය ඖදාරිකාඞ්ගයක් වශයෙන් ද, චතුර්ථ ධ්‍යානය ලබාගත් යෝගාවචරයා හට සුඛය ඖදාරිකාංගයක් වශයෙන් ද පෙනෙන්නට වේ. ඖදාරිකාඞ්ගය ඉක්මවීමේ අදහසින් පඨවි කසිණ නිමිත්තෙහි පරිකර්ම කිරීමෙන් ක්‍රමයෙන් තෘතීය චතුර්ථ පඤ්චම ධ්‍යානයෝ ද උපදනාහ. ආපෝ කසිණාදි ඉතිරි කසිණ නවයෙන් ධ්‍යාන ඉපදවීම කරන්නේ ද කියන ලද ක්‍රමයෙන් ම ය.]
ඡන්දය සන්සිඳුන විටද,
විතර්කයෝද සන්සිඳුන විටද,
සංඥාවෝද සන්සිඳුන විටද,
ඒ නිසා උපදින වේදනාද දැනගතිමි.
[නේවසඤ්ඤා – නාසඤ්ඤායතන:
නේවසඤ්ඤානාසඤ්ඤායතනය ධ්‍යානය වඩනු කැමැති යෝගාවචර තෙමේ පස් ආකාරයකින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි වසී බවට පැමිණීමෙන් මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට ළංවූ විඤ්ඤාණඤ්චායතන නමැති පසමිතුරා ඇත්තේ ය. නේවසඤ්ඤා නාසඤ්ඤායතනය සංස්කාරයන් ගේ සියුම් බවට පැමිණීමෙන් විශේෂයෙන් සන්හුන්නා සේ සන්හුන් බවට පැමිණියේත් නොවේ. ඒ සන්හුන් බව නැති හෙයින් ම (රූපාදිස්කන්‍ධයෙහි) ප්‍රත්‍යයයෙන් යැපිය යුතු හෙයින් හා රෝගයට මුල් බැවින් ද රෝගයක් බඳුවේ. දුක් බැවින් හා රිදීම ඇති කරන හෙයින් ගඩක් (පොළක්) බඳු වේ. පීඩා උපදවන හෙයින් හුලක් බඳු වේ. මේ සියල්ල සංඥාව ඇති කල්හිම වන හෙයින් “සඤ්ඤා රොගො, සඤ්ඤා ගණ්ඩො, සඤ්ඤා සල්ලො”[1] යි සංඥාව රෝගයෙක; ගඩෙක; හුලෙකැ’යි වදාළහ. (මෙහි සංඥා නම් විඥානය ය)
(මෙහි වනාහි පඤ්චචෝකාර භවගත සංඥාව (විඥානය) අභිප්‍රේතය. ප්‍රකට හෙයිනි. හුදෙක් එපමණක් නොව වේදනා චේතනාදිය ද සංග්‍රහ වේ) මෙසේ ආකිඤ්චඤ්ඤායතනයෙහි දොස් දැක එහි ආසා දුරුකොට නේවසඤ්ඤා නාසඤ්ඤායතනයෙහි ආනිසංසද බලා එය ශාන්ත වශයෙන්, ප්‍රණීත වශයෙන්) මෙනෙහි කොට ප්‍රථමරූප්‍යවිඥානයා ගේ අභාවය අරමුණු කොට පැවැති ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ම “ශාන්තයැ ශාන්තයැ” යි නැවත නැවත මෙනෙහි කරන, ආවර්‍ජනා කරන, ප්‍රත්‍යවේක්‍ෂා කරන, තර්‍ක කරන, විතර්‍ක කරන, (එහිම සිත) නැවත නැවත පිහිටුවන ඒ යෝගවචරයා ගේ සිත්හි නීවරණයෝ පහවෙති. සිහිය පිහිටයි. උපචාරධ්‍යානයෙන් සිත එකඟ වේ. හෙතෙම ඒ ධ්‍යාන නිමිත්ත නැවත නැවත වඩයි. ඒ වඩන්නාහට විඤ්ඤාණාපගමයෙහි ආකිඤ්චඤ්ඤායතනය මෙන් ආකිඤ්චඤ්ඤායතනය යි කියන ලද සතර නාමස්කන්‍ධ සංඛ්‍යාත අරමුණෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් මනාව උපදී. (මෙහි අර්පණා ක්‍රමය ද යට කී සේ දතයුතු)
මෙතෙකින් ඒ යෝගාවචර තෙම:- “සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති”[2] පෙරකී සේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ඉක්ම නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරේ. විස්තර පෙර කී සේ මැයි.
මෙහි ද, ආලම්බනය ද, ධ්‍යානය ද, ආකිඤ්චඤ්ඤායතන නම් වේ. දෙවියන්ගේ වාසස්ථානය ආධාරාර්‍ථයෙන් දේවායතන නම් වන්නා සේ තෘතිය අරූපධ්‍යානයට අරමුණු වන හෙයින් ආකිඤ්චඤ්ඤ වූයේ ම ආයතන නම් වේනුයි ආකිඤ්චඤ්ඤායතන නම් වේ.
ඒ ධ්‍යානයා ගේ ඉපදීමට හේතු වූ බැවින් කාම්බෝජ දේශය අශ්වයන් ඉපදීමට ස්ථාන සංඛ්‍යාත ආයතන වන්නා සේ ආකිඤ්චඤ්ඤවූයේ ම ආයතන වේනුයි ආකිඤ්චඤ්ඤායතන නම් වේ. මෙකී ආරම්මණය ද ධ්‍යානය දැයි දෙකම අපවත් කිරීමෙන් හා මෙනෙහි නො කිරීමෙන් ඉක්මවා මැ ව්‍යක්ත වූ සංඥාවක් නැති හෙයින් සංඥා යයි ච, සංඥා ස්වභාවය නො ඉක්ම වූ හෙයින් අසංඥා යයි ද නොකිය යුතු වූ යම් සංඥාවක් ඇති හෙයින් ඒ ධ්‍යානය නේවසඤ්ඤා නාසඤ්ඤා නම් වේ.
එහෙයින්
“තඤ්ඤෙව ආකිඤ්චඤ්ඤායතනං
සන්තතො මනසිකරොති
සඞ්ඛාරාවසෙසසමාපත්තිං භාවෙති.
තෙන වූච්චති නෙවසඤ්ඤී නාසඤ්ඤීති”[3]
“ඒ ආකිච්චඤ්ඤායතන සමාපත්තිය ම ශාන්ත වශයෙන් මෙනෙහි කරයි. සංස්කාරාවශේෂ සමාපත්තිය වඩයි. එහෙයින් ඒ පුද්ගලතෙම ‘නේවසඤ්ඤී නාසඤ්ඤී’ යයි කියනු ලැබේ.” මෙ සේ පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා වශයෙන් (සංඥාවත් වූ පුද්ගලයාගේ වශයෙන්) සංඥාව උද්ධරණය කොට දක්වා වදාළ සේක.
(ඒ අරමුණ හා පවත්නා ආකාරය ද දක්වනු පිණිස මේ වදාළ සේක.)
ඒ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහි කොට සංස්කාරාවශේෂ සමාපත්තිය වඩන ඒ පුද්ගලතෙම නේවසඤ්ඤී නාසඤ්ඤී නම් වේ.
විස්තර:- ප්‍රථම ආරූප්‍යයාගේ අභාවය අරමුණුකොට උපදවන හෙයින් ඒ තෘතියාරූප්‍ය ධ්‍යානය ද සන්හුන් අරමුණු ඇති හෙයින් කාරණූපචාර වශයෙන් ශාන්තය යි මෙනෙහි කෙරේ. අංග ශාන්ත භාවයෙන් මෙනෙහි කරත් හොත් වෙනසක් නැති හෙයින් (ඉක්මීම නො වන හෙයින් මේ හුදෙක්) ආරම්මණ ශාන්ත භාවයෙන් ම මෙනෙහි කරයි.
ශාන්ත වශයෙන් මෙනෙහි කරත් ම ආදීනව දැක්මෙක් කෙසේ වේදැ යි චෝදනාවට පරිහාර දක්වනුවෝ ධ්‍යානයට සමවදිනු නො කැමති බැවින් ඉක්මවීම වන්නේය යි කීහ.
ඒ එසේමැයි:- යම් ධ්‍යානයක් ශාන්ත වශයෙන් මෙනෙහි කෙරේනම් ඒ ධ්‍යානය ආවජ්ජන සමාපජ්ජනාදි ප්‍රතිපත්තියෙන් පුරුදු කරන්නේ වේ. එහෙත් තෘතීයාරූප්‍යයෙහි ඒ සර්‍වප්‍රකාරයෙන් නැත්තේය. හුදෙක් අරමුණු කිරීම් මාත්‍රයෙකින් මෙනෙහි කිරීම වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට වඩා නේවසඤ්ඤා නාසඤ්ඤායතනය අතිශයින් ශාන්ත බැවින් හා ප්‍රණිත බැවිනි.
කුමක් මෙන් ද යත්:- මහත් වූ රාජානුභාවයෙන් ඇතකු පිට නැගී නුවර වීථියෙහි හැසිරෙන මහරජන තෙමේ එක් කඩක් තරව හැඳ, එක් කඩක් හිසේ බැඳ ඇත්දත් සුනු ඇඟපුරා තවරා ගෙන නොයෙක් ඇත්දත් කැටයම් කරන්නාවු ශිල්පියකු දැක “කොළ! මේ ඉතා දක්‍ෂ ශිල්පියෙක් වේය”යි ඔහුට තුටුපහටු වුවද “මම ද රාජ්‍ය සම්පත් හැරපියා මෙ බඳු ශිල්පියෙක් වෙමි”යි ඕහට අදහසෙක් නො වේ මය. ඒ රාජ්‍යශ්‍රියම මහානුභාව බැවිනි. වැලි ඔහු ඉක්මවා ඔබ්බට යන්නේ ය. ඒ සේ ම ඒ යෝගාවචරයා ද ඒ තෘතීයාරූප්‍යය ශාන්ත වශයෙන් මෙනෙහි කොට එය ඉක්මවා සංඥාවශේෂ සමාපත්ති නම් වූ යම් සමාපත්තියක් නිසා නේවසඤ්ඤී නාසඤ්ඤීය යි කීයේ නම් ඒ සමාපත්තිය වඩනේ වෙයි මෙහි සංඥාශීර්‍ෂයෙන් දේශනාව විය. මේ සංස්කාරයන් ගේ පරම සියුම් බවට පැමිණියාවූ ඒ චතුර්ථාරූප්‍ය සමාපත්තිය යි දතයුතු.
රූපාවචර ප්‍රථමධ්‍යානයා ගේ උපචාරයේ පටන් ධ්‍යාන පිළිවෙළින් කෙලෙසුන් සැස තුනී කරන්නාක් මෙන් පැවති භාවනා පිළිවෙළින් සංස්කාරයන් තුනීකොට අන්තිම සියුම් බවට පමුණුවන ලද සංස්කාර මේ ධ්‍යානයෙහි ඇති හෙයින් එයින් මත්තෙහි නිරෝධය මුත් සංස්කාරයන් ගේ පැවැත්මෙක් නැත්තේයි. එ හෙයින් ම චතුර්ථාරූප්‍ය සමාපත්තිය සංස්කාරාවශේෂ සමාපත්තිය යි කියන ලදී.
මෙහි වූ කලී පරමාර්ථ වශයෙන් චතුර්‍ථාරූප්‍ය ධ්‍යාන ලාභීහුගේ කුසල චිත්ත හෝ සතරවන අරූප තලයෙහි පහළ වූ සතර (අරූපසකන්‍ධ) විපාක චිත්තය හෝ දෘෂ්ටධර්‍ම සුඛ විහරණය පිණිස ඒ ධ්‍යානයට සමවන් රහතන්ගේ ක්‍රියා චිත්තය හෝ නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් වේ. එහෙත් මෙහි විශේෂයෙන් අධිප්‍රඥා ශික්‍ෂාය යි කියන ලද මාර්‍ගාධිගමයට පූර්‍වභාගයෙහි පැවැති ධ්‍යානයට සමවන් පෘථග්ජනශෛක්‍ෂයන්ගේ ඒ ධ්‍යානය පිළිබඳ චිත්ත චෛතසික ධර්‍මයෝ ම කැමති වන ලදහ. ඖදාරික සංඥාවක් නැති හෙයින් ද, සියුම් සංඥාවක් ඇති හෙයින් ද, සම්ප්‍රයුක්ත ධර්‍ම සහිත ඒ ධ්‍යානයෙහි සංඥා ඇත්තී ද නොවෙයි. නැත්තී ද නොවේය යි නේවසඤ්ඤා නාසඤ්ඤා නම් වේ.
විශේෂ :- මෙහි සංඥාවන් ගේ ඖදාරික සුඛුම භාවය ඒ ඒ භව වශයෙන් දතයුතු. පඤ්චවෝකාර භවයෙහි සංඥාවට වඩා චතුවෝකාර භවයෙහි සංඥාව සියුම් වේ. යට තුන් භූමියෙහි සංඥාවෝ ඖදාරිකයහ. එබඳු ඖදාරික සංඥා නැති හෙයින් නේවසඤ්ඤා යයි ද ඉතා සියුම් සංඥා ඇති හෙයින් න අසඤ්ඤා යයි ද ව්‍යවහාර වේ.
‘නේවසඤ්ඤා’ යන පදයෙහි ‘න’ කාරය අභාවාර්‍ථයෙහි වේ. ‘න අසඤ්ඤා’ යන්නෙහි ‘න’ කාරය අන්‍යාර්‍ථයෙහි ය. අකාරය අභාවාර්‍ථයෙහි පවතී. එසේ වන්නා “අසඤ්ඤං අනාසඤ්ඤං”යි සෙසු ධ්‍යානයන්හි මෙන් ඖදාරික සංඥා නැති හෙයින් අසඤ්ඤ ද, සර්‍වප්‍රකාරයෙන් සංඥාවගේ අභාවය නුවූ හෙයින් අනාසඤ්ඤා ද, වන හෙයින් ‘නේවසඤ්ඤානාසඤ්ඤා’ යයි කියන ලදි.
නේවසඤ්ඤා නාසඤ්ඤා වූයේ ද, මනායතන ධර්‍මායතනයන්ට එක දේශයකින් ඇතුළත් වන හෙයින් ආයතන වූයේ ද, හේමනුයි නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් වේ. (මෙහි ආයතන භාවය ආධාර හෙයින් නිශ්‍රය වශයෙන් වේ.) එසේ ම සියුම් සංඥාව විදර්‍ශනා කෘත්‍යයට අපොහොසත් බැවින් නේවසඤ්ඤායයි ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් විද්‍යාමාන හෙයින් නාසඤ්ඤායයි ද ව්‍යවහාර හෙයින් ඒ දෙපදය ගළපා නේවසඤ්ඤා නාසඤ්ඤාය යි කියන ලදී. එය ම අවශේෂ ධර්‍මයන්ට ආධාරවේ නුයි නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් වේ.
තවද මෙහි සංඥා මාත්‍රය පමණක් නො වැ වේදනාව ද ගෙන ‘නේව වේදනා නා වේදනා’ චිත්තය ද ගෙන “නෙව චිත්තං නා චිත්තං” ස්පර්‍ශය ගෙන නෙව ඵස්සො නා ඵස්සො, යනාදීන් ඒ ඒ සම්ප්‍රයුක්ත ධර්‍මයෙහි ව්‍යවහාර කළ හැකි වුව ද, මේ දේශනාව සංඥා ශීර්‍ෂයෙන් (ප්‍රධාන කොට) ගෙන මෙසේ ව්‍යවහාර කරන ලදි. නානත්ත කායා නනත්ත සඤ්ඤී, යනාදියෙහි මෙනි. (මෙහි සංඥා නම්, විඥානය) යම්කිසි අර්‍ථයක් නිසා ස්වභාවයෙන් ඇතැයි කිවයුතු ධර්‍මයාගේ ම අන්කිසි අර්‍ථ විශේෂයක් නිසා නැතැ යි කිවයුතු බැවින් මෙසේ කියන ලදී.
නිදර්‍ශනයෙහි:- හෙරණ නමක් පළමු දිනයෙහි පාත්‍රයෙහි තෙල් ගල්වා තුබුයේය. පසුදා උදය කැඳ වළඳන පිණිස තෙරුන්නාන්සේ ‘පාත්‍රය ගෙනව’යි කී කල ස්වාමීනි! පාත්‍රයෙහි තෙල් යැ’යි කීය. එසේ වන්නා ‘ඒ තෙල් ගුලාවෙහි වැක්කිරීමට ගෙනෙව’යි තෙරුන් කී කල ස්වාමීනි! ‘තෙල් නැතැ’යි හෙරණ කීය. මේ උපමායෙන් භික්‍ෂූන් ලග්නා අකැප කිළියෙහි තෙල් සහිත පාත්‍රය තුබූ හෙයින් එහි කැඳ වත්කළ කල කැඳ සමග සන්නිධි වන හෙයින් තෙල් ඇතත් නලයක පුරාලන පමණ තෙල් නැති හෙයින් ‘තෙල් නැතැයි’ කී. එසේ ඒ සංඥාව ද ඖදාරික සංඥා කෘත්‍යය කිරීමට අසමර්‍ථ හෙයින් නේවසඤ්ඤා නම් වුව ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් ඇති හෙයින් නාසඤ්ඤා නම් වේ.
විශේෂ:- මෙහි සංඥා කෘත්‍ය නම් අරමුණු හැඳිනීම හා විදර්‍ශනා ගෝචර භාවයට පැමිණ නාමරූපයන් ගේ කලකිරීම වූ නිර්විදා ඥානය ඉපදවීම ය. ‘මඳ උණුසුම් ජලය නහන්නාගේ ශරීරය නොදවා සුව එලවන සේ ය’ මේ සංඥාව සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් ප්‍රකට වැ සඤ්ජානන කෘත්‍යය කිරීමට අසමර්‍ථ හෙයින් යට තුන්ධ්‍යානයෙහි සංඥාව මෙන් විදර්‍ශනා ඥානයාගේ ගෝචර බවට පැමිණ නිර්විදාඥානය ඉපදවීමට අසමර්‍ථ වේ. අරමුණෙහි ඉතා සන්හුන්ව පවත්නා හෙයින් අරමුණු හැඳිනීම ද නොකට හැකි වෙයි. එහෙයින් ම අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කොට විදර්‍ශනාවට අරමුණු වැ නිර්‍වෙදය ඉපදවිය නොහැකි වේ.
විස්තර:- අන්‍ය වූ කාමාවචර රූපාවචරාදි චිත්ත-චෛතසික සඞ්ඛ්‍යාත සෙසු ස්කන්‍ධයන්හි විදර්‍ශනාභිනිවේශ නොකළ (අනිත්‍යාදි වශයෙන් නොදත්) මහණ නේවසඤ්ඤා නාසඤ්ඤායතන මාත්‍රයක්ම සම්මර්‍ශනය කොට නිර්විදාඥානය පැමිණෙන්නට සමර්‍ථ නො වේ. සර්‍වඥයන් වහන්සේ හැර සියල්ලන් ගෙන් අගතැන්පත් සැරියුත් මහතෙරුන් වහන්සේ ද පවා නො පොහොසත් වේම ය, ප්‍රකෘතියෙන් විදර්‍ශනා වඩනා සැරියුත් තෙරුන් වහන්සේ වැනි මහා ප්‍රාඥ යෝගාවචර තෙමේ ස්කන්‍ධාදීන් ගේ පටන් විදර්‍ශනාභිනිවේශය කොට ද්වාරාලම්බනයන් නිසා පවත්නා ධර්‍මයන් ගේ වශයෙන් ද්වාදසායතන-අට්ඨාරස ධාතුන් විදර්‍ශනා කරනුයේ ඒ නේවසඤ්ඤා නාසඤ්ඤායතන අරමුණුකොට ඇති උදයව්‍යයඥානය උපදවන්නට සමර්‍ථ වේ.
කෙසේද යත්:- ‘මෙසේ මේ ධර්‍මයෝ නො තිබී උපදිති.” “තිබී වැනසෙති යි” කියා ය. චතුර්ථාරූප්‍ය ධ්‍යාන චිත්තෝත්පාදයට ඇතුළත් වූ ස්පර්‍ශාදී වූ ධර්‍මයන් වෙන් නොකොට (කලාප වශයෙන්) සම්මර්‍ශනය කෙරේ. ඵස්සාදි ධර්‍මයන් වෙන්කොට වෙන වෙන ම අනුපද ධර්‍ම වශයෙන් එක එක ධර්‍මය පිළිවෙළින් අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනය කරන්නා හට මේ සතරවන අරූප ධ්‍යානය විදර්‍ශනා කොට ඒ නිර්විදාඥානය නො ලැබේ.
(ස්පර්ශාදි ධර්‍මයන් වෙන් වෙන් කොට වෙන වෙන ම ස්වරූපයෙන් ගෙන අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනය කිරීම අනුපද ධර්‍ම විදර්‍ශනාව ය.) එසේ චතුර්‍ථරූප්‍ය ධ්‍යානයෙහි ඇතුළත් ස්පර්‍ශාදි එක එක ධර්‍මය ගෙන අනිත්‍යාදි වශයෙන් බැලීමට නුවණැත්තවුන් අතුරින් අගතැන් පත් සැරියුත් මහ තෙරණුවෝ ද අසමර්‍ථය හ. හුදෙක් එහි ඇතුළත් ස්පර්‍ශාදි ධර්‍ම එක්කොට කලාප වශයෙන් විදර්‍ශනාවට අරමුණු වේ. මාර්‍ග-උදකෝපමායෙන් ද මේ අර්‍ථය දත යුතු.
මගට පිළිප් තෙර කෙනකුන් ඉදිරියේ යන හෙරණ නම් වහන් තෙමෙන පමණ දියත්තක් දැක ස්වාමීනි! වහන් ගැලවුව මැනව! ‘ජලය ඇතැයි’ කී. එකල තෙරුන් වහන්සේ සාමණෙරය! දිය ඇත්තේ වී නම් ‘නහන කඩ ගෙනෙව ජලය නහමි’යි කීහ. එකල හෙරණ, ස්වාමීනි! ‘ජලය නැතැ’යි කී. එහිදු වහන් තෙමෙන පමණ ජලය ඇති හෙයින් ජලය ඇතැයි ද නහන පමණ ජලය නැති හෙයින් ජලය නැතැයි ද කීයේ වේ. එසේ ම ව්‍යක්ත සංඥා නැති හෙයින් නේවසඤ්ඤායයි ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් විද්‍යාමාන හෙයින් නාසඤ්ඤායයි ද, දතයුතු.
උපසම්පජ්ජ විහරති = මෙය ද පෙර කී සේම ය. (මේ ටීකාගත විස්තරයෙකි.)
ප්‍රශ්නය :- යට ධ්‍යානයන්හි
“අනන්තො ආකාසො,
අනන්තං විඤ්ඤාණං,
නත්‍ථි කිඤ්චි”යි,
ඒ ඒ තැන කීවා සේ මෙහි භාවනාකාරය නො කීවේ කවර හෙයින් ද?
පිළිතුර:- භාවනා ආකාරය නම් උපචාර සහිත ධ්‍යානයා ගේ තමා පිළිබඳ අරමුණෙහි පවත්නා ආකාරය යැ. මෙහි අරමුණු නම් ආකිඤ්චඤ්ඤායතන ධර්‍ම යැ. ඔවුන් ගන්නා කල පුරෝගාමි ධර්‍මයන් ගේ වශයෙන් එකක් හෝ ගත යුතු ය.
වෙන වෙන ම සියල්ල හෝ ගත යුතු ය. එකක් ගන්නේ ප්‍රථම පක්‍ෂයේ විඤ්ඤාණය ගතයුතු වේ. එසේ වන්නා විඤ්ඤාණං ‘විඤ්ඤාණ’ යි මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතන ගැනීම වේ. මෙසේ ගනු ලබන්නේ චතුර්‍ථාරූප්‍යයට ආකිඤ්චඤ්ඤායතනය අරමුණු වන හෙයින් ආකිඤ්චඤ්ඤං ආකිඤ්චඤ්ඤං (කිසිවක් නැතැ යි) මෙනෙහි කළ යුතු වේ. එසේ වන්නා ආකිඤ්චඤ්ඤායතනය හෝ අභාවය ආලම්බනය වේ.
නේවසඤ්ඤා නාසඤ්ඤායතන භාවය ආලම්බනය නො වේ. මේ මෙහි අකාරණය. එසේ ධ්‍යානය නො පවත්නා හෙයිනි. (චතුර්‍ථාරූප්‍ය ධ්‍යානය විඤ්ඤාණඤ්චය හෝ ආකිඤ්චඤ්ඤය අරමුණු කොට නො පවත්නේ මය.)
ප්‍රශ්නය:- චතුර්‍ථාරූප්‍ය ධ්‍යානයේ ශාන්ත බව කුමක් ද?
එසේ නම් කුමක් හෙයින් පාළියෙහි එසේ නො කියන ලද ද?
පිළිතුර :- සූත්‍රයෙහි හුදෙක් එසේ නො ගන්නා ලදි. විභඞ්ගයෙහි වනාහි:-
“තඤ්ඤෙච ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසිකරොති. සඞ්ඛාරාවසෙස සමාපත්තිං භාවෙති”[4] යි දක්නා ලැබේ.
ප්‍රශ්නය :- එසේ නම් කුමක් හෙයින් සූත්‍රයෙහි ද විභඞ්ගයෙහි මෙන් එසේ නොගන්නා ලද ද?
පිළිතුර :- වෛනෙයාධ්‍යාශය වශයෙන් හෝ දේශනා විලාශ හෙයිනි. ඒ මෙසේ යි :- යට තුන් ආරූප්‍යයෙහි “අනන්තො, ආකාසො, අනන්තං විඤ්ඤාණං, නත්‍ථිකිඤ්චි”යි භාවනාකාරය ගන්නා ලදි. එහි නො එසේ ගත් කල්හි ම ඒ අර්‍ථය අවබෝධ කෙරෙති. ඔවුන් ගේ වශයෙන් සූත්‍රයෙහි එසේ වදාළහ.
විශේෂ :- අභිධර්‍මයෙහි සූත්‍රාන්ත භාජනිය ද සූත්‍රාන්ත ගතිකයැ. යම් වෛනේයජන කෙනෙක් බෙදා වදාළ කල්හි ම ඒ අර්‍ථය අවබෝධ කෙරෙත් නම් ඔවුන්ගේ වශයෙන් විභඞ්ග භාවනාචාරය වදාළහ. ධර්‍මස්වාමි වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ද, ධර්‍මදේශනා ප්‍රකාරය දන්නා සේක් ඇතැම් තැනෙකැ භාවනා ආකාරය ගනිති. ඇතැම් තැනෙකැ නො ගනිත්. ඒ ඒ දේශනාව ම ඒ ඒ වෛනේයයන් විනයනය සඳහා යැ. මේය දේශනා විලාශය නම්.
තවද අර්‍ථයෙකි :- “සූත්‍රාන්ත දේශනාව පර්‍ය්‍යාය (අමුඛ්‍ය = අප්‍රධාන) කථාව හෙයින් එහි භාවනා ආකාරය නොනැගේ. එහෙත් අභිධර්‍ම දේශනාව නිෂපර්‍ය්‍යාය (ප්‍රධාන කථාව) හෙයින් එහි භාවනා ආකාරය ගන්නා ලදි.
මෙසේ මෙහි භාවනා ආකාරය ගැනීමේ හා නො ගැනීමේ හේතු දතයුතු.
මතාන්තරයෙකි :- අභයගිරි – ජේතවන වැසි ඇජරෝ ‘චතුර්‍ථරූප්‍යධ්‍යානයෙහි වෙනස දැක්වීම සඳහා සූත්‍රයෙහි දී භාවනා ආකාරය නො ගන්නා ලදැයි, යෙති. ඒ විශේෂ අනුපූර්‍ව භාවනායෙන් ජනිත යැ. හෙද (ඒ අනුපූර්‍ව භාවනාව ද) ප්‍රභාතව්‍ය ධර්‍ම පහකිරීමෙන් සියලු ධ්‍යාන ලැබිය යුතු හෙයින් ප්‍රහාන ක්‍රමයෙන් ජනිත යැ.
ඒ මෙසේ යි:- කාමච්ඡන්‍දාදි විරාගයෙන් ප්‍රථමධ්‍යානය ද, විතර්‍ක – විචාර සංසිඳවීමෙන් ද්විතීයධ්‍යානය ද, ප්‍රීති විරාගයෙන් තෘතීයධ්‍යානය ද, සොමනස්ස (සුඛ) අස්තඞ්ගමයෙන් චතුර්‍ථ ධ්‍යානයදැ’යි මෙසේ රූපාවචර ධ්‍යාන වදාළහ. රූප සංඥාදි ඉක්මවීම මුල්කොට අරූපධ්‍යාන වදාළහ. හුදෙක් ධ්‍යාන පමණක් නොවේ. සියලු සීලය ද, සියලු ප්‍රඥාව ද, ප්‍රතිපක්‍ෂ ධර්‍ම ප්‍රහාණයෙන් ම සම්පාදනය කළ යුතු හෙයින් ප්‍රහාතව්‍ය ධර්‍ම සමතික්‍රමණ මුඛයෙන් දේශිත යැ.
ඒ මෙසේ යි:- ‘ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකීමය’ යනාදීන් සීල සංවරය ද, ඇසින් දැක නිමිති කුඩා නිමිති නො ගැනීම ය යනාදීන් ඉන්‍ද්‍රිය සංවරය ද, (නෙව දවාය නමදාය) ක්‍රීඩා පිණිස මද වැඩීම පිණිස නොවේ යනාදීන් භෝජනයෙහි පමණ දැනීම ද, මිථ්‍යා ආජීවයෙන් වෙන් වැ සම්‍යක් ආජීවය කරන්නේ ය යනාදීන් ආජීවපාරිශුද්ධිය ද, ‘පඤ්චුපාදානක්ඛන්‍ධයෙහි අධික ලෝභය හැර පහවූ අභිධ්‍යා ඇතිව විසිය යුතු ය’ යනාදීන් ජාගරියානුයොගය ද, ‘අස්මිමානය නැසීමෙන් අනිත්‍ය සංඥාව වැඩිය යුතු ය’ යනාදීන් මේඝිය සූත්‍රාගත සේ[5] ප්‍රඥා ප්‍රතිපක්‍ෂ ධර්‍මප්‍රහාණයෙන්, විදර්‍ශනා ප්‍රඥාව වැඩීම ද, දේශනා කළහ. එහෙයින් ම ප්‍රහාතව්‍ය ධර්‍ම ඉක්මවීම් මුඛයෙන් ම ධ්‍යාන දේශනා කරනු බුදුහු “විවිච්චෙව කාමෙහි” යනාදීන් වදාළහ. එය යට කී සේ ය. තවද රූප සංඥාදීන් සමතික්‍රමණ මුඛයෙන් අරූපාවචරධ්‍යාන වදාළහ.
විස්තර :- එහි (රූපාවචර ප්‍රථමධ්‍යානය) භාවනා විශේෂයෙන් අධිගත වූ විතර්‍කාදීන්ගෙන් හා තීක්‍ෂණ – විශ ද ශූරභාවය – ඇති ශ්‍රද්ධාදි පඤේචන්‍ද්‍රිය ධර්‍මයන්ගෙන් යුක්ත හෙයින් කාමච්ඡන්‍දාදි නීවරණයන් හා ඒ හා පවත්නා පාප ධර්‍මයන් වික්කම්භණය කිරීමෙන් උත්තරිමනුෂ්‍ය ධර්‍මත්‍වයට පැමිණි රූපාවචර ප්‍රථම ධ්‍යානය කාමාවචර ධර්‍මයන්ට වඩා අතිශයින් සියුම් වේ. ශාන්ත වේ. ප්‍රණීත වේ. එසේම ද්විතීය ධ්‍යානය භාවනා විශේෂයෙන් විතර්‍ක-විචාර සංඛ්‍යාත ඖදාරිකාංගප්‍රාණයෙන් ප්‍රථම ධ්‍යානයට වඩා අතිශයින් සංසුන් වෙයි. එසේ ම තෘතීය-චතුර්‍ථ ධ්‍යානයෝ ක්‍රමයෙන් පළමු පළමු ධ්‍යානද්වයට වඩා ශාන්තතර ශාන්තතම වෙති. එසේම අරූපාවචර ප්‍රථමධ්‍යානය රූප විරාග භාවනා වශයෙන් පවත්නා හෙයින් ආරම්මණ ශාන්ත බැවින් හා අඞ්ගයන්ගේ සංසුන් බැවින් ප්‍රකෘති කාමාවචර ධර්‍මයන්ට වඩා ද, සියලු රූපාවචර ධ්‍යානයන්ට වඩා ද ශාන්ත වෙයි. සියුම් වෙයි. අරූපාවචර ද්විතීයධ්‍යානාදිය පිළිවෙළින් ශාන්ත භාවයෙන් ඒ ආලම්බන කොට පවත්නා ධ්‍යාන ධර්මයෝ ද ශාන්ත ස්වභාවය ඇත්තෝ වෙති.
විශේෂ :- ලෝකෝත්තර ධර්‍මලාම්බනික වූ සෝවාන් ආදි මාර්‍ග ඵල ධර්‍මයන් මතු මත්තෙහි ක්‍රමයෙන් සංසුන් වන්නා සේ ධර්‍මයන්ගේ වශයෙන් මහද්ගත භාවයෙන් භේදයක් නැතත් රූපාවචර චතුර්‍ථධ්‍යානයට වඩා අරූපාවචර ධ්‍යානය අඞ්ග වශයෙන් ද සංසුන් වෙයි. එහෙයින් අරූපධ්‍යානයා ගේ ශාන්ත විමෝක්‍ෂ බව වදාරන ලදි. එසේ ම ද්විතීයාරූප්‍යාදීහු ද, ප්‍රථමාරූප්‍යට වඩා අඞ්ග වශයෙන් ද, ආලම්බන වශයෙන් ද, ශාන්ත, ශාන්තතර, ශාන්තතම භාවයට පැමිණියාහු ය. එසේ ම ශාන්තාදි භාවයට පැමිණියා වූ භාවනා විශේෂ සමායෝගයෙන් (මේ භාවනා විශේෂය වනාහි) ප්‍රථමධ්‍යාන උපචාරයෙහි පටන් ඒ ඒ ප්‍රභාතව්‍ය ධර්‍මයන් ඉක්මවීමෙන් ශාන්ත සූක්‍ෂම භාවයට පමුණුවමින් චතුර්‍ථාරූප්‍යයෙහි සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයට පමුණුවයි.
එහෙයින් චතුර්‍ථාරූප්‍යය වනාහි ආරම්මණ භාවයෙන් ද, නාමධර්‍මයන්ගේ විභූතාකාරයෙන් ද, සිටීමට නො පොහොසත් වී නම් අරමුණු කිරීමෙහි කෙසේ සමර්‍ථවේ ද? නො වේම ය. එහෙයින් ශාස්තෘන් වහන්සේ යට තුන් ධ්‍යානයෙහි භාවනා ආකාරය වදාරා මෙහි එබන්දක් නො ලැබෙන බැව් දක්වන්නට පර්‍ය්‍යාය දේශනා හෙයින් සූත්‍රයෙහි භාවනා ආකාරය නො දෙසූ සේක. එහෙත් අරමුණු සහිත ධර්‍මය අරමුණෙහි පවත්නා ආකාරය ඇත්නු යි අති සූක්‍ෂම භාවයට පැමිණියා වූ ඒ ධ්‍යානය දක්වනු පිණිස “තඤ්ඤෙච ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසි කරොති”යි වදාළහ. යථාධර්‍ම ශාසන හෙයින් හෝ පූර්‍වභාග ප්‍රතිපදා වශයෙන් හෝ “සන්තතො මනසිකරොති”යි වදාළහ. එකල යෝගාවචරයාහට ඒ අරමුණ ප්‍රකට හෙයිනි. එහෙත් අර්පණා වශයෙන් සූත්‍රයෙහි භාවනා ආකාරය අප්‍රකට හෙයින් නො ගන්නා ලදි.
ඒ එසේ මැ යි :- කර්‍මස්ථානය බුද්ධානුස්සති ආදි කිසි තැනෙකැ ආදියෙහි අප්‍රකට වේ. ආනාපානසති ආදි කිසිවෙකැ මධ්‍යයෙහි අපකට වේ. උපසමානුස්සති ආදිය සේ කිසිවිටෙකැ ආදි – මධ්‍ය දෙක්හි අප්‍රකට වේ. චතුර්‍ථාරූප්‍යයෙහි වනාහි අවසානයෙහි අප්‍රකට වේ. භාවනාව මුදුන් පැමිණි කල්හි ආලම්බනය ද, අප්‍රකට වන හෙයිනි. එහෙයින් මේ විශේෂය දක්වනු පිණිස බුදුහු චතුර්‍ථාරූප්‍යයෙහි භාවනාකාරය නො ගත්හ. සර්‍වප්‍රකාරයෙන් නැති නිසා නො වේ ය යි මෙහි නිෂ්ටාවට යා යුතු.
නේවසඤ්ඤා නාසඤ්ඤායතන කර්‍මස්ථානයේ විස්තර කථාව ය.]
අර්හත් ඵලයට පැමිණීම පිණිස උත්සාහ ඇත.
ඊට කරුණ නොපැමිණි කල්හි
ඊට හේතුවන්නාවූ
(සතර මාර්ගයෙන් හා යෙදුනාවූ)
විඳීමද දැනගතිමියි වදාළේය.
[දැන් යම් අයුරකින් වාසය කළේ නම් එය දක්වන්නේ “මිච්ඡාදිට්ඨි පච්චයාපි” යන ආදිය කීහ.
එහි මිච්ඡා දිට්ඨි පච්චයාපි = දෘෂ්ටියක් හා එක්ව යෙදුන වේදනාවක් ද පවතී.
එහි මිථ්‍යාදෘෂ්ටිය හා එක්ව යෙදුන අකුසල් ද වෙයි,
දෘෂ්ටිය හේතු කොට ගෙන කුසල් ද අකුසල් ද උපදී.
වැරදි දෘෂ්ටි ඇත්තෝ වනාහී දෘෂ්ටිය ආශ්‍රය කොට ගෙන පක්ෂ දිනයන්හි (අඩ මසකට වරක් එන අමාවක හා පසළොස්වක දිනයන්හි) කැඳ බත් ආදිය දෙති. මගී ආදීනට පරිභෝජනයට (ආහාර පානාදිය) තබත් සතර මංසන්ධිවල සාලාවන් (ගමන්හල් කරවත් පොකුණු කැණවීම් කරවත් දේවාල ආදී ස්ථානයන්හි මල් පැල සිටුවිත්. එතෙර වීමට අපහසු ගංගා ආදියෙහි ඒ දඬු දමත්. විසම තැන් සම කරත්. (මාර්ගයන් හි වල ගොඩැලි නැති කරත්) මෙසේ ඔවුන්හට කුසල වින්දන උපදී. වැරදි දැකීම් නිසා ම තමා සම්‍යක් දෘෂ්ටිකයන් හට බැණ වදිත්, අපහාස කරත්. වධබන්‍ධනාදිය කරත්. සත්ත්වයන් මරවා දේවතාවනට උපහාර පවත්වති. මෙසේ ඔවුනට අකුසල වින්දනයක් උපදී. විපාක වින්දනය වූ කලී භවාන්තරයෙහිදී ද සිදු වෙයි.
[සම්මා දිට්ඨි පච්චයා = මෙහි ද සම්‍යක් දෘෂ්ටිය හා යෙදුණ වින්දනය ද පවතී. සම්‍යක් දෘෂ්ටිය ඇසුරු කොට ගෙන උපන් කුසලා කුසල වින්දනයන් ද විපාක වින්දනයන් ද එහිදී සම්‍යක් දෘෂ්ටිය හා යෙදුන කුසල් ම වේ. සම්‍යක් දෘෂ්ටිය හේතු කොට ගෙන වනාහී බුද්ධපුජා, මල් පහන් පූජා, ධර්ම ශ්‍රවනය කිරීම් චෛත්‍යයක් නො පිහිටි පෙදෙස්හි චෛත්‍යයන් පිහිටුවීම ආදී පින්කම් කරත්. මෙසේ ඔවුන්හට කුසල වින්දන උපදී. සම්‍යක් දෘෂ්ටියම හේතු කොට ගෙන මිථ්‍යාදෘෂ්ටිකයන් හට බැණවදිත්, අපහාස කරත්, තමා උසස් කොට සලකත්, අනුන් පහත් කොට සලකත්. මෙසේ ඔවුන් හට අකුසල වින්දන උපදී. විපාක වින්දනය වනාහී භවාන්තරයෙහිම සිදු වෙයි. මිච්ඡා සඞ්කප්ප පච්චයා යන ආදියෙහි ද මේ පිළිවෙළම වේ. ඡන්‍ද පච්චයාපි යන ආදියෙහි වනාහී කැමැත්ත හේතු කොට ගෙන ලෝභ සහගත අට වැදෑරුම් සිත් සමග යෙදුන වින්දන ඇතැයි දත යුත්තේය. විතර්ක හේතුවෙන් ප්‍රථම ධ්‍යාන චේතනාව ද සංඥාව හේතු කොට ගෙන, ප්‍රථම ධ්‍යානය ද අත්හැර ඉතිරි සඤ්ඤා සමාපත්ති වින්දනයන් මෙහි අදහස් කෙරේ.]
[ඡන්‍දොච අවුපසන්නො යන ආදියෙහි තුන් ආකාර දෝෂයන් නොසන්සිඳි කල්හි ලෝභ සහගත අට වැදෑරුම් සිත් සමග යෙදුන වින්දනය ඇති වේ. ඡන්‍ද මාත්‍රය (ආශාව) සන්සිඳුනු කල්හි ප්‍රථමධ්‍යාන වින්දනය ද ඡන්‍ද විතර්කයන්ගේ සන්සිඳීමෙහි දි ද්විතීය ධ්‍යාන ආදී වින්දනයන් ද, ලැබේයයි අදහස් වේ. සන්සිඳීම් තුනම සිදු වූ කල්හි නේවසඤ්ඤා නාසඤ්ඤායතන වින්දනය ලැබේ. අප්පත්තස්ස පත්තියා = අර්හත් ඵලයට පැමිණීම පිණිස. අත්‍ථිවායාමං = වීර්යය ඇත. තස්මිම්පිඨානෙ අනුප්පත්තෙ = ඔහුගේ වීර්ය වැඩීම් වශයෙන් අර්හත් ඵලය නමැති තත්ත්වයට පැමිණි කල්හි. තප්පච්චයාපි වෙදයිතං = අර්හත් භාවය හේතු කොට ගෙන ලැබෙන වින්දනය මෙයින් මාර්ග සතර සමග උපන්, ඒ සමගම ඇති වූ ලෝකෝත්තර වින්දනය අදහස් කරන ලදී.]
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහු විසින් කරවන ලද විහාරයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා මෙසේ වදාළසේක.
“මහණෙනි,
මම තෙමසක් හුදකලාව විසීමට කැමැත්තෙමි.
පිණ්ඩපාතය ගෙනෙන එක් භික්ෂුවක් හැර කිසිවෙක් නොපැමිණිය යුතුයි.”
ඒ භික්ෂූහු “එසේය, ස්වාමීනියි” කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දී
පිණ්ඩපාතය ගෙන යන එක භික්ෂුවක් හැර කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ කරා නොපැමිනුනහ.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තුන් මස ඇවෑමෙන්
හුදකලා වාසයෙන් පසුව භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි,
බුද්ධත්වය අවබෝධකළ අළුත,
වින්දනය ගැන මෙනෙහි කලෙමි.
[වින්දනය , විඳීම , වේදනා යනු හොඳ බව ය, නරක බව ය, මධ්‍යස්ථ බව ය යන මේ තුන අතුරෙන් එක්තරා ස්වභාවයකින් ලෝකයේ අරමුණු ගැනීමය. අරමුණෙ ස්වභාවය නොව අරමුණ නිසා සිතේ ඇතිවන ස්වභාවයය. ඒවාට ආරම්මණ රසයයි කියනු ලැබේ. ඒ රසය අරමුණ වසාගෙන එහි පැතිර පවත්නා ස්වභාවයකි. අරමුණ අනෙකකි. රසය අනෙකකි. අරමුණ ද්‍රව්‍ය වශයෙන් ද රසය එහි ගුණයක් වශයෙන් ද සැලකිය යුතුය. සිතින් කරනුයේ අරමුණ දැන ගැනීම ය. සිතින් අරමුණ ගන්නා කල්හි එය සමග ම අරමුණ වසා ගෙන සිටින්නා වූ එහි රසය ගැනීමක් ද වේ. රසය අරමුණේ අනෙකක් වන්නාක් මෙන් ම රසය ගැනීම ද අරමුණ ගන්නා විඥානයෙන් අනෙකකි. රසය අරමුණ නිසා වන්නාක් මෙන් ම රසය ගැනීම ද අරමුණ ගැනීම කරන විඥානය නිසා ඒ හා බැඳී පවත්නකි. එබැවින් එය චෛතසිකයෙකි. ඒ රසය ගැනීම රස විඳීමකි. එබැවින් එයට වේදනාව යන නම කියනු ලැබේ. රසයෙන් තොරව අරමුණක් ඇති නොවන්නාක් මෙන් ම අරමුණ වසා සිටින රසය ගන්නා ස්වභාවය වූ වේදනාවෙන් තොරව වේදනාව හා අමිශ්‍රව කිසි කලෙක විඥානයට පමණක් ඇති නො විය හැකි ය. විඥානය සෑම කල්හි ම ඇති වන්නේ වේදනාවත් සමග ම ය. එබැවින් වේදනාව සර්වචිත්ත සාධාරණ චෛතසිකයක් වේ. ඒ වේදනාව තුන් ආකාර වූ ආරම්මණ රසයාගේ වශයෙන් තුන් ආකාර වේ. ආරම්මණයාගේ හොඳ බව ගන්නා වූ වළඳන්නා වූ ස්වභාවය සුඛ වේදනා නම් ද සෝමනස්ස වේදනා නම් ද වේ. ආරම්මණයා ගේ නරක බව ගන්නා වූ විඳින්නා වූ ස්වභාවය දුඃඛ වේදනා නම් ද දෝමනස්ස වේදනා නම් ද වේ. ආරම්මණයාගේ මධ්‍යම ස්වභාවය ගන්නා වූ විඳින්නා වූ ස්වභාවය උපේක්ෂා වේදනා නම් වේ. සායම නිසා වතුරේ ආකාරය වෙනස් වන්නාක් මෙන් වේදනාව නිසා සිතේ ආකාරය වෙනස් වේ.]
“මම මෙසේ දැනගතිමි.
මිථ්‍යා දෘෂ්ටිය නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා දෘෂ්ටිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් දෘෂ්ටිය නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් දෘෂ්ටිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා සංකල්පය නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා සංකල්පය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් සංකල්පය නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් සංකල්පය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා වචනය නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා වචනය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් වචනය නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් වචනය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා කර්මාන්තය නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා කර්මාන්තය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් කර්මාන්තය නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් කර්මාන්තය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා ආජීවය නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා ආජීවය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් ආජීවය නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් ආජීවය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා ව්‍යායාමය නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා ව්‍යායාමය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් ව්‍යායාමය නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් ව්‍යායාමය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා සතිය නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා සතිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් සතිය නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් සතිය සංඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා සමාධිය නිසා උපදින වේදනාවද දැනගතිමි.
මිථ්‍යා සමාධිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් සමාධිය නිසා උපදින වේදනාවද දැනගතිමි.
සම්‍යක් සමාධිය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
“ඡන්දය නිසා උපදින වේදනාවද දැනගතිමි.
ඡන්දය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
විතර්කය නිසා උපදින වේදනාවද දැනගතිමි.
විතර්කය සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
සංඥාව නිසා උපදින වේදනාවද දැන ගතිමි.
සංඥාව සංසිඳීම නිසා උපදින වේදනාවද දැනගතිමි.
ඡන්දය නොසන්සිඳෙයි
විතර්කයෝ නොසන්සිඳෙයි,
සංඥාවෝද නොසන්සිඳෙයි,
ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි.
“ඡන්දයද සංසිඳුනේද,
විතර්කයෝද නොසන්සිඳුනේද,
සංඥාවෝද නොසංසිඳුනේද,,
ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි.
ඡන්දයද සංසිඳුනේද, විතර්කයෝ සංසිඳුනාහු වෙත්ද.
සංඥාවෝද නොසංසිඳුනේද,
ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි.
“ඡන්දයද සංසිඳුනේ වෙයි,
විතර්කයෝද සංසිඳුනාහු වෙත්,
සංඥාවෝද සංසිඳුනාහු වෙත්,
ඒ නිසා උපදින වේදනාවද දැනගතිමි.
අර්හත් ඵලයට පැමිණීම පිණිස උත්සාහය ඇත.
ඒ අර්හත් ඵලයට කරුණු නොපැමිණි කල්හි
ඒ නිසා උපදින හේතුවද දැනගතිමි,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය අලලා අතිපුජ්‍ය නාඋයනේ අරියධම්ම මහා ස්වාමින්වහසේ කල උතුම් දේසනාවක්
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ඒ භික්ෂුව වනාහි භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
[විවේකයේ හේතුව කියන ලද පිළිවෙළින් ම දත යුතුය. මිච්ඡාදිට්ඨි වූපසම පච්චයා = මිථ්‍යා දෘෂ්ටිය සන්සිඳීම නම් සම්‍යක් දෘෂ්ටියයි. ඒ නිසා සම්‍යක් දෘෂ්ටි හේතුවෙන් යමක් වින්දනය කරන ලද්දේ යයි කියවිණි ද එයම මිථ්‍යාදෘෂ්ටිය සන්සිඳීමේ හේතුව යයි දත යුතුය. මේ සූත්‍රයෙහිදී වනාහී හැඟීම් ඇතිකර ගන්නාහු විපාක වින්දනය ඉතා දුරකදී වුව ග්‍රහණය කරත් යයි කියන ලදී. මේ ක්‍රමයෙන් සියළු තන්හි අරුත් දත යුත්තේය. යම් යම් අයට සන්සිඳීමේ හේතුවක් වූයේ යයි කියන ලද්දේද, ඒ ඒ අයට ප්‍රතිපක්ෂ ධර්ම හේතුවෙන්ම ඒ ඒ වින්දනය වීයයි අදහස් කරන ලදී. ඡන්‍ද වූපසම පච්චයා යන ආදියෙහි වනාහී ආශාව සන්සිඳීමේ හේතුවෙන් ප්‍රථම ධ්‍යාන වින්දනය දත යුත්තේය විතර්ක සන්සිඳීමේ හේතුවෙන් ද්විතීය ධ්‍යාන වින්දනය ද, සංඥා හේතුවෙන් සංඥා සමාපත්ති සයක වින්දනයද සංඥා හේතුවෙන් සංඥා සමාපත්ති සයක වින්දනයද සංඥා සන්සිඳීම් හේතුවෙන් ම නේවසඤ්ඤා නාසඤ්ඤායතන වින්දනය ද වේ යයි දත යුත්තේය. ඡන්‍දොච වූපසන්තො යන ආදිය කියන ලද අරුත් ඇත්තේමය.
“ස්වාමීනි,
සේඛය, සේඛයයි කියනු ලැබේ.
ස්වාමීනි,
කෙසේ සේඛයෙක් වෙයිද?” කියායි.
“මහණහු (සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්)
සම්‍යක් දෘෂ්ටියෙන් යුක්ත වෙයිද,
(සෝවාන් ආදී ඵල තුන හා මාර්ග සතර සමග උපන්)
සම්‍යක් සංකල්පයෙන් යුක්ත වෙයිද,

සම්‍යක් වචනයෙන් යුක්ත වෙයිද,

සම්‍යක් කර්මාන්තයෙන් යුක්ත වෙයිද,

සම්‍යක් ආජීවයෙන් යුක්ත වෙයිද,

සම්‍යක් ව්‍යායාමයෙන් යුක්තවූයේ වෙයිද,

සම්‍යක් සතියෙන් යුක්තවෙයිද,

සම්‍යක් සමාධියෙන් යුක්ත වෙයිද,
මහණ, මෙපමණකින්
(ත්‍රිවිධ ශික්ෂාවෙහි හික්මෙන බැවින්)
සේඛ නම් වේයයි”
වදාළසේක.
[ නහෙව ඛො කායෙන ඵුසිත්‍වා විහරති = කයෙන් ස්පර්ශ කොට ලබා ගෙන වාසය නො කරයි.
ස්පර්ශ කිරීමට ලබා ගැනීමට නො හැකි වෙයි. පඤ්ඤායච අතිවිජ්ඣ පස්සති = ප්‍රඥාවන්ත ලෙස සලකා බැලීමෙන් මතු අර්හත් ඵල ඉන්‍ද්‍රියය ඇතැයි දැන ගනියි. අර්හත්ඵලය තුළ ඵුස්සිත්‍වා විහරති යනු ප්‍රතිලාභ ලබා වාසය කරයි (යන අදහසයි)
පඤ්ඤාය = ප්‍රත්‍යවේක්ෂා ප්‍රඥාවෙන් (නුවණින් සලකා බැලීමෙන්) අර්හත් ඵල ඉන්‍ද්‍රියය ඇතිවන්නේ යයි දැන ගනියි.
නකුහිඤ්චි කිස්මිඤ්චි = මේ වචන දෙකම එකනෙකට යෙදිය හැකි වෙනත් වචනයන් වේ. (හෙවත් පර්යාය වචනයන් වේ)
කිසියම් හෝ භවයෙක්හි නො උපදිත් යන අර්ථයයි. මේ සූත්‍රයෙහිදී ලෝකෝත්තර වූ ඉන්‍ද්‍රියයන් පහ ද, ලොව ඇසුරු කොට පවත්නා ලෞකික වූ ඉන්‍ද්‍රියයන් සය ද කියන ලද්දේය.]
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. එවිට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි,
තථාගතයන් වහන්සේගේ පහළවීමෙන්
වැඩිය යුතුවූ
නැවත නැවත වැඩිය යුතුවූ
ඉන් පෙර සත්වයන් නොදැක්කාවූ,
මේ ධර්මයෝ අට උපදිත්.
“ඒ කවරහුද යත්?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය
යන අටය.
මහණෙනි,
තථාගතයන්ගේ පහළවීමෙන් හැර
වඩන ලද්දාවූ බහුලකරන ලද්දාවූ නූපන්නාවූ
මේ ධර්මයෝ නූපදිත්යයි” වදාළසේක.

“මහණෙනි
සුගත විනය නම් මේ ශාසනයේ හැර
අන් තැනක වඩනලද්දාවූ බහුල කරන ලද්දාවූ
නූපන්නාවූ මේ ධර්මයෝ නූපදිත්.
ඒ කවර ධර්ම අටක්ද?
ඒ මෙසේයි.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය
යන මේ ධමයෝය.
මහණෙනි,
වැඩිය යුතුවූ
නැවත නැවත වැඩිය යුතුවූ
ඉන් පෙර සත්වයන් නොදැක්කාවූ,
මේ ධර්මයෝ අට උපදිත්”
යැයි වදාළ සේක.

ස්වභාවයෙන් පිරිසිදු අතිශයින් පිරිසිදු රාගාදි කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේගේ පහළවීමෙන් හැර නූපදිත්.
කවර නම් ධර්ම අටක්ද යත්?
හේ මෙසේයි.
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය සහ සම්‍යක් සමාධියයි.
මහණෙනි,
අර්හත් සම්‍යක් සම්බුද්ධ තථාගතයන් වහන්සේගේ පහලවීමෙන් හැර ස්වභාවයෙන් පිරිසිදු විශේෂයෙන් පිරිසිදු රාගාදී කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්මයෝ නූපදිත්යයි” වදාළසේක.

ස්වභාවයෙන් පිරිසිදුවූ අතිෂයෙන් පිරිසිදුවූ
රාගාදී කෙලෙස් රහිත
උපක්ලේශ රහිත නූපදින මේ ධර්ම අට
සුගත විනය නම් මේ ශාසනයෙහි හැර
අන් තැනක නූපදිත්.
කවර නම් ධර්ම අටක්ද යත්?
සම්‍යක් දෘෂ්ටිය,
සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය,
සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය,
සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය,
සම්‍යක් සමාධිය
යන මේවාය.
මහණෙනි,
ස්වභාවයෙන් පිරිසිදු විශේෂයෙන් පිරිසිදු රාගාදි කෙලෙස් රහිත උපක්ලේශ රහිත නූපන්නාවූ මේ ධර්ම අට සුගත විනය සංඛ්‍යාත ශාසනයෙහි හැර අන්තැනක නූපදිත්යයි” වදාළේය.
[ සෙක්ඛො = හික්මීම් ස්වභාව යයි. කුමක් පිළිබඳව හික්මෙයි ද යත්:- ත්‍රිවිධ ශික්ෂාවයි. සෙඛාය = ඵල තුන ද, මාර්ග සතර ද සමග උපන් එම නොනිමි කාර්යයන් ඇති බව නිසා තමාගේ කාර්යය අනුව තව ද ශික්ෂණයෙහි යෙදේය යන අදහසින් “සෙඛා” යයි කියනු ලැබේ. සිවුවැන්න, පස්වැන්න, සයවැන්න හා සත්වැන්න පහසු අරුත් ඇත්තේමය.]
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේද ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේද පැළලුප් නුවර කුක්කුටාරාමයේ වැඩ වසති. එකල්හි වනාහි ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ ආයුෂ්මත් භද්‍ර ස්ථවිරයන් වහන්සේ වනාහි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.
“ඇවැත් ආනන්දයෙනි,
අබ්‍රහ්මචරියාව අබ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ.
ඇවැත්නි, කුමක් වනාහි අබ්‍රහ්මචරියාවද?
“ආයුෂ්මත් භද්‍රයෙනි,
යහපති, යහපති, ආයුෂ්මත් භද්‍රය,
තාගේ ප්‍රශ්නය වනාහි යහපත්ය.
වැටහීම යහපති, විචාරීම යහපති.
“ඇවැත්නි, මේ අංග අටක් ඇති මිථ්‍යා මාර්ගය අබ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ.
ඒ කවරහුද?
මිථ්‍යා දෘෂ්ටිය,
මිථ්‍යා සංකල්පය,
මිථ්‍යා වචනය,
මිථ්‍යා කර්මාන්තය,
මිථ්‍යා ආජීවය,
මිථ්‍යා ව්‍යායාමය,
මිථ්‍යා සතිය,
මිථ්‍යා සමාධිය, යන මේවායි.”
[උම්මග්ගො = ප්‍රශ්න විමර්ශනය කිරීම, ප්‍රශ්න ගවේෂණය යන අරුත් ඇත්තේය.
එවංහි ත්‍වං ආවුසො යන මෙය ඔහුගේ ප්‍රශ්නයෙහි පිහිටුවීම පිණිස කීය.]
මා විසින් මෙසේ අසන ලදී.
එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පැළලුප් නුවර කුක්කුටාරාමයේ වැඩ වසති. එකල්හි එක් ස්ථවිරයන් වහන්සේ නමක් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ හුන් තැනට පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය යුතු සිහිකටයුතු කථාවකොට නිමවා එක්පසෙක හිඳ ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙසේ කීය.
“ඇවැත්නි ආනන්දය,
බ්‍රහ්මචරියාවය බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ.
ඇවැත්නි, බ්‍රහ්මචරියාව යනු කුමක්ද?
බ්‍රහ්මචරියාව කුමක් පිණිසද ?
“ආයුෂ්මත් භද්‍රය,
යහපති, යහපති, ආයුෂ්මත් භද්‍රය,
තාගේ ප්‍රශ්නය ඉතා යහපති, වැටහීම යහපති,
විචාරීම යහපති.
“ඇවැත්නි,
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයම බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ.
ඒ කවරහුද?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේ වායි.
ඇවැත්නි,
රාගය නැති කිරීම,
දෝෂය නැති කිරීම,
මෝහය නැති කිරීමද,
පිණිස බ්‍රහ්මචරියාවව් හැසිරෙනු ලැබේ..”
මේ සාසන බ්‍රහ්මචරියාවේ අරමුණ
රාගය නැති කිරීමය,
දෝෂය නැති කිරීමය,
මෝහය නැති කිරීමය.
“ඇවැත් ආනන්දයෙනි,
බ්‍රහ්මචරියාවය, බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ.
ඇවැත්නි, බ්‍රහ්මචරියාව නම් කුමක්ද?
බ්‍රහ්මචාරී නම් කවරෙක්ද?
බ්‍රහ්මචරියාවේ කෙළවර කුමක්ද?
“ඇවැත් භද්‍රයෙනි, එසේය.”
“ඇවැත් භද්‍රයෙනි, තාගේ ප්‍රශ්නය වනාහි යහපති. වැටහීම යහපති. විචාරීම යහපති.
“ඇවැත්නි,
මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයටම
බ්‍රහ්මචරියාවයයි කියනු ලැබේ.
ඒ කවරහුද?
සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය,
සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය,
සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය,
සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය
යන මෙවායි.
ඇවැත්නි,
යමෙක් මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයෙන් යුක්තද,
මොහු බඹසර හැසිරෙන්නායයි කියනු ලැබේ.
ඇවැත්නි, රාගය නැති කිරීම,
දෝසය නැති කිරීම,
මෝහය නැති කිරීම,
බ්‍රහ්මචරියාවේ කෙළවරය”
යැයි කියනු ලැබේ” වදාළේය.
“ලෝභය – දෝසය – මෝහය – අලෝභය – අදෝසය – අමෝහය” යි හේතු සයෙකි. එහි ලෝභ – දෝස – මෝහ යන තුන අකුශල චෛතසික තුනෙකි. අලෝභ – අදෝස දෙක ශෝභන සාධාරණ චෛතසික දෙකකි. අමෝහය යනු ප්‍රඥා චෛතසිකය ය. ගින්න නිසා දුම ඇති වන්නාක් මෙන්, යම් යම් දේ ඇති වීමට කරුණු වන දේවලට ලෝකයෙහි “හේතු” යන නම ව්‍යවහාර කරනු ලැබේ. මේ අභිධර්මයෙහි ලෝභාදි ධර්ම සයට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ ඒවා යම් කිසිවක් ඇති වීමට කරුණු වීම නිසා නොවේ. ගස්වලට ඇද වැටෙන්නේ නැති ව පොළොවෙහි පිහිටා සිටීමට මුල් උපකාර වන්නාක් මෙන්, චිත්ත – චෛතසිකයන් හට අරමුණෙහි පිහිටා සිටීමට ලෝභාදි සය උපකාර වේ.
ලෝභය ලෝභනීය ආරම්මණයෙහි තදින් කා වැදේ. එය හා සම්ප්‍රයුක්ත වන සිත හා චෛතසික, ලෝභය නිසා ඒ අරමුණෙහි නො සැලී පිහිටයි. ද්වේෂය ආරම්මණයෙහි තදින් කා වැදේ. එය හා සම්ප්‍රයුක්ත වන චිත්ත – චෛතසිකත් එහි උපකාරයෙන් අරමුණෙහි නො සැලී පිහිටයි. මෝහාදිය නිසා ද එසේ ම සම්ප්‍රයුක්ත චිත්ත – චෛතසික අරමුණෙහි නොසැලී පිහිටයි. මේ ධර්මයෙහි ලෝභාදියට හේතු යන නාමය ව්‍යවහාර කරන්නේ සම්පයුත්ත චිත්ත චෛතසිකයන් හට අරමුණෙහි නො සැලී සිටීමට උපකාරක ධර්මයන් වන නිසාය. සම්ප්‍රයුක්ත ධර්මයන් හට අරමුණෙහි නො සැලී සිටීමට උපකාර වන ධර්මයෝ හේතු නම් වෙති. හේතු ජාති සතරක් ඇත්තේ ය. මේවාට කියන්නේ මූල හේතුය කියා ය. අභිධර්මයෙහි සැම තැන ම පරමාර්ථ ධර්මයන්ගේ අහේතුක සහේතුක භාවය කියන්නේ මේ මූල හේතූන් ඇති නැති බව සඳහා ය.
චිත්ත පරිච්ඡේදයේ අහේතුක නාමයෙන් කියැවුණ සිත් දහ අට මූල හේතූන් නැති බැවින් අහේතුක සිත් ය. ඉතිරි සිත් සැත්තෑ එක හේතු සහිත බැවින් සහේතුක සිත් ය.
ලෝභ – දෝස – මෝහ යන තුන අකුශල හේතු ය. එක් සිතක ලැබෙන්නේ ඒවායින් එකක් හෝ දෙකකි. එබැවින් ඒකහේතුක, ද්විහේතුක අකුසල මිස ත්‍රිහේතුක අකුසල් නැත. අලෝභාදි හේතු තුන, කුශල හේතු ද වේ. කුශලාකුශල නො වන (අව්‍යාකෘත) හේතු ද වේ. සමහර සිතක අලෝභාදි හේතු තුන ම ලැබේ. සමහර සිතක අමෝහ හේතුව හැර ඉතිරි දෙක ලැබේ. අලෝභාදීන් ගෙන් එකක් පමණක් ලැබෙන සිතක් නැත.
මෝහ මූල සිත් දෙක මෝහ නමැති එක ම හේතුවක් ඇති බැවින් ඒකහේතුක සිත් ය. ඉතිරි අකුසල් සිත් දශය ය. ඥාන විප්‍රයුක්ත කාමාවචර ශෝභන සිත් දොළොසය යන දෙවිස්ස ද්විහේතුක සිත් ය. ඉතිරි සිත් සතළිස් හත ත්‍රිහේතුක සිත් ය. LINK. අභිධර්ම මාර්ගය ]
By විහාර යනු විසීමය. අද අපි “විහාරය” ලෙස දන්නේ භික්ෂුන් වහන්සේලා වාසය කරන ස්ථානයය.