SINHALA TIPITAKA

SN 05-01-07


Listen Later

SN 05-01-07-01 කල්‍යාණමිත්ත සූත්‍රය
SN 05-01-07-02. සීල සූත්‍රය
SN 05-01-07-03 ඡන්‍ද සූත්‍රය
SN 05-01-07-04 අත්ත සූත්‍රය
SN 05-01-07-05 දිට්ඨි සූත්‍රය
SN 05-01-07-06 අප්පමාද සූත්‍රය
SN 05-01-07-07 යොනිසො මනසිකාර සම්පදා සූත්‍රය
SN 05-01-07-08 දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය
SN 05-01-07-09 දුතිය සීල සූත්‍රය
SN 05-01-07-10 දුතිය චන්ද සූත්‍රය
SN 05-01-07-11 දුතිය අත්ත සූත්‍රය
SN 05-01-07-12 දුතිය දිට්ඨි සූත්‍රය
SN 05-01-07-13 දුතිය අප්පමාද සුත්‍රය
SN 05-01-07-14 දුතිය යෝනිසෝ සුත්‍රය

  1. SN 05-01-07-01 කල්‍යාණ මිත්ත සූත්‍රය

    [1] මා විසින් මෙසේ අසන ලදී.
    එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

    [2] “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීමට එක ධර්මයක් බොහෝ උපකාර වෙයි.
    කවර නම් ධර්මයක්ද යත්?
    කල්‍යාණ මිත්‍රයින් ඇති බවයි.
    මහණෙනි,
    කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පහසුවෙන් වඩයි.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවතද පහසුවෙන් වඩයි

    මහණෙනි,
    කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුවආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ වඩයිද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ නැවත නැවත වඩයිද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ
    විරාගය ඇසුරු කළ
    නිරෝධය ඇසුරු කළ
    නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වඩව්.

    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වඩව්.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වඩව්.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වඩව්.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වඩව්.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වඩව්.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වඩයි.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වඩයි.

    [විවේකය ඇසුරු කල
    විවේකයන් තුනක් ලෙස . කාය විවේකය, චිත්ත විවේකය, උපධි විවේකය යන විවේක ස්වභාව තුන දැක්වේ.
    1. කාය විවේකය කවරේ ද යත්,
    මහණකු ආරණ්‍ය මූල රුක්ඛ මූල බඳු තැන් ඇසුරු කරනවා. ජන ශුන්‍ය සේනාසන ඇසුරු කරයි. කයෙන් ද එකලාව ඉන්නා යනු ගමට පිඬු සිඟා යනවා. තනියම තමයි එන්නේ, තනිව ම තමයි ජීවත් වෙන්නේ. එකලාව සක්මන්ව සිටිනවා කියලා. සක්මන් කරනකොට අපි දුක නිසා නේ සක්මන් කරන්නේ. අපි දන්නවා දෙදෙනෙක් ඉන්නවා නම් කතා කරනවා. එතකොට විවේකය නෑ. සක්මන් කරනකොට අපි දුකයි කියන ඒකයි බලන්නේ.
    2. චිත්ත විවේකය කවරේ ද යත්,
    පළවෙනි ධ්‍යානයට ගිය පුද්ගලයාගේ සිත නීවරණයන්ගෙන් වෙන් වෙයි. දෙවෙනි ධ්‍යානයට සමවැදිච්ච එක්කෙනාගෙ සිත විතක්ක විචාරයන්ගෙන් වෙන් වෙයි. තුන් වෙනි ධ්‍යානයන්ට සමවැදී සිටි පුද්ගලයාගේ සිත ප්‍රීතියෙන් වෙන් වෙයි. හතර වෙනි ධ්‍යානයට සමවැදුණු කෙනා සුඛ දුඛ දෙකෙන් ම වෙන් වෙයි.
    ආකාසානඤ්චායතනයට සමවැදුණු පුද්ගලයාගේ සිත රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සඤ්ඤා, කියන ඒවායින් වෙන් වෙයි. විඤ්ඤාණඤ්චායතනයට ගිය පුද්ගලයා ආකාසානඤ්චායතනයෙන් වෙන් වෙයි.
    උපධි විවේකය කවරේ ද,
    ක්ලේශයන්, ස්කන්ධයන්, අභිසඞ්ඛාරයන්, උපධීන් ලෙස දැක්වේ. අභිසඞ්ඛාර යනු සංස්කාර පැවැත්වීමට ඇති කැමැත්ත. සංස්කාරයන්ගෙන් සංසිඳීමක් තියෙනව ද තෘෂ්ණාවේ ක්ෂය කිරීමක් තියෙනව ද විරාගයක් නිරෝධයක් නිර්වාණයක් තියෙනව ද එය අමෘත වූ නිර්වාණය ම උපධි විවේකයයි කියමු. ඒ කියන්නේ උපධි රහිත විසංඛාර ගත වූ. ඒ කියන්නේ නිවනට පැමිණි පුද්ගලයාට උපධි විවේකය තියෙනවා කියලා කීමයි.]

    [4] “මහණෙනි,
    කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව
    මෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය
    නැවත නැවත වඩායයි” වදාළසේක.

    SN 05-01-07-02. සීල සූත්‍රය

    අතිපුජ්‍ය සිරිමල්වත්තේ ආනන්දාභිදාන මහා නායක ස්වාමින්වහන්සේ

    [1] මා විසින් මෙසේ අසන ලදී.
    එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක් පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

    [2] “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීමට එක ධර්මයක් බොහෝ උපකාර වෙයි.
    කවර නම් ධර්මයක්ද යත්?
    සීල සම්පත්තිය යි.
    මහණෙනි,
    සීල සම්පත්තිය ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය පහසුවෙන් වඩයි.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි

    මහණෙනි,
    සීල සම්පත්තියෙන් යුත් ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්නේය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන්නේ ය.

    මහණෙනි,
    සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයිද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයිද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වඩයි.
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වඩයි.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වඩයි.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වඩයි.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වඩයි.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වඩයි.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වඩයි.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වඩයි.

    “මහණෙනි,
    මෙසේ සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය
    නැවත නැවත වැඩිය යුතුය,”යි වදාළසේක.

    [ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශයේ
    කථිකාචාර්ය ආචාර්ය පනහඩුවේ යසස්සි හිමි

    සීල සම්පත්තිය.
    බුදුදහම පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේද වශයෙන් ත්‍රිවිධ ශාසනයකින් යුක්තය. මෙහිදී ප්‍රතිවේද සාසනය යනුවෙන් දක්වන්නේ සෝවාන් ආදි මාර්ගඵලවලින් යුතු නිර්වාණයයි. එය නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය ලෙසින් ව්‍යාවහාර කරනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ බුදු,පසේබුදු , මහරහත් යන ත්‍රිවිධ මාර්ගයෙන්ම නිර්වාණය ප්‍රතිවේද කළ හැකි වීමයි. දෙවියන්, බඹුන් මැරුන් සහිත ලෝක සත්ත්වයන්ගේ හිත සුව පිණිස බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර ධර්ම පර්යාප්ති සාසනයයි. නිර්වාණ ප්‍රාප්තිය සඳහා හික්මිය යුතු අධිසීල, අධිචිත්ත, අධිපඤ්ඤා, ධූතාංග සහ ආචර සීල සංවර සම්පත්තිය ප්‍රතිපත්ති සාසනයයි. පර්යාප්තියෙන් ප්‍රතිපත්තියත්, ප්‍රතිපත්තියෙන් ප්‍රතිවේදයත් සිදුවේ. කිසියම් කලෙක ප්‍රතිපත්තිය නැති වී යයිද එවිට සෙසු සාසනද්වය අතුරුදන් වේ. එබැවින් ප්‍රතිපත්තිය මත පදනම් වූ සීලය ඉතා වැදගත් අංගයක් ලෙස සඳහන් කළ හැකිය.
    ප්‍රතිපත්ති ශාසනයෙහි පදනම විනයයි.විනයෝ නාම සාසනස්ස ආයු යනුවෙන් සමන්ත පාසාදිකාවෙහි ඒ බව සඳහන් වෙයි. විනය හික්මීම ලබාදෙයි. සීලයෙහි පරමාර්ථය ද හෙවත් හික්මීම පුද්ගලයා තුළ ඇති කිරීමයි. එබැවින් විනය යනු සීලයට අධිවචනයක් ලෙසද දැක්විය හැකිය.
    මෙහිදී සීලය යනු කුමක්ද? යන්න පිළිබඳ නිර්වචනය කර ගැනීම ඉතා වැදගත් වේ. ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නාහුගේ හෝ වත් පිළිවෙත් පුරන්නාහුගේ චේතනාදී ධර්මයෝ සීලය යයි පටිසම්භිදාමග්ගයෙහි සඳහන් වෙයි. විසුද්ධිමග්ගයෙහි චේතනා සීලය, චෛතසික සීලය, සංවර සීලය, අවීතික්කම සීලය, යනුවෙන් සීලයට අර්ථ විවරණ සපයා ඇත. චේතනා සීලය නම් ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නාහුගේ හෝ වත් පිළිවෙත් පුරන්නාහුගේ චේතනාවන්ය. තවද චේතනා සීලය නම් ප්‍රාණඝාතාදිය අත් හරින්නහුගේ සප්ත කර්මපථ චේතනාය, චෛතසික සීලය නම් ප්‍රාණඝාතාදියෙන් වැළකෙන්නහුගේ විරති චෛතසිකයයි.අභිධ්‍යාව අතහැර පහ වු අභිධ්‍යාවෙන් යුතු වූ සිතින් වාසය කිරීමයි. සංවර සීලය යනු ප්‍රාතිමෝක්ෂ සංවරය, සති සංවරය, ඥාන සංවරය, ක්ෂාන්ති සංවරය හා වීර්යය, සංවරය යන පංචවිධ ආකාරයෙන් සංවර වීමයි. ප්‍රාණවධය ආදි දුශ්චරිත සමාදාන විරති, සමුච්ඡේද විරති වශයෙන් පුද්ගලයාගේ හෝ කුදු මහත් වත් පිළිවෙත් පුරන්නහුගේ සිතේ පිරිසුදු බව හෙවත් කෙලෙස් රහිතව ඇති කුශල චේතනාවේ ද සීලය වශයෙන් හඳුන්වනු ලැබේ.
    කවර අර්ථයකින් සීල නම් වේද?
    සීලය කුමන අර්ථයකින් යෙදෙන්නේ ද යන්න විමසීම ද මෙහිලා වැදගත් කරුණකි. ශීලනාර්ථයෙන් ශීල නම් වේ (සීලනට්ඨෙන සීලං) ශීලය යනු කාය කර්ම ආදීන්ගේ සුසිල්වත් බව හෙවත් නොවිසිරුණු බව යන අර්ථ ගම්‍ය වේ. කය, වචනය , හා සිත යන තිදොරින් සිදුවන අකුසල්වලින් වෙන්ව පවත්නා සුසීලභාවය සහ නාම රූප,අරූප ,ලෝකෝත්තර යන කුසලයන්ට මූලාධාර වන්නේය යන අර්ථයෙන් ශීලයයි කියනු ලැබේ’. කාය කර්මාදියේ පිරිසුදුකම හා කුශල කර්මයන්ට පිහිටවන බව ශීලයෙහි ලක්ෂණයයි. පව්කිරීම පිළිබඳ ඇතිවන විලි බිය දෙක ශීලයෙහි ආසන්න කාරණයයි.
    සීලයෙහි ප්‍රභේද
    විසුද්ධී මග්ගයේදි සීලය විවිධාකාරයෙන් වර්ගීකරණයන්ට ලක් කර ඇත. තමාගේ හීලෑවීම යන අර්ථයෙන් සීලය එක් වැදෑරුම්ය. චාරිත්‍ර සීලය හා වාරිත්‍ර සීලය වශයෙන් සීලය දෙවැදෑරුම්ය. ආදි බ්‍රහ්මචරියක සීල හා ආභිසමාචාරික සීල වශයෙන් ද, විරති සීල අවිරති සීල වශයෙන් ද නිස්සිත සීල හා අනිස්සිත සීල වශයෙන් ද කාල පරියන්ත සීල හා ආපාණකෝටික සීල වශයෙන් ද සපරියන්ත සීල හා අපරියන්ත සීල වශයෙන් ද ලෞකික සීලය හා ලෝකෝත්තර සීලය වශයෙන් ද සීලය දෙවැදෑරුම් ය. හීන, මධ්‍යම හා ප්‍රණීත වශයෙන් සීලය තෙවැදෑරුම්ය. අත්තාධිපතෙය්‍ය සීල, ලෝකාධිපතෙය්‍ය සීල හා ධම්මාධිපතෙය්‍ය සීල වශයෙන් ද පරාමට්ඨසීල, අපරාමට්ඨසීල හා පටිප්පස්සමද්ධි සීල වශයෙන් ද විසුද්ධ සීල, අවිසුද්ධ සීල හා වේමතික සීල වශයෙන් ද සේක සීල අසේක සීල හා සේක අසේක සීල වශයෙන් ද සීලය ත්‍රිවිධාකාරය. හානභාගිය සීල, ඨිතිභාගිය සීල, විසේසභාගිය සීල හා නිබ්බේධභාගිය සීල වශයෙන් සිව් වැදෑරුම්ය. මීට අමතරව භික්ෂූ සීල, භික්ෂුණී සීල, අනුපසම්පන්න සීල හා ගහට්ඨ සීල වශයෙන් ද පකති සීල, අචාර සීල, ධම්මතා සීල හා පුබ්බහේතුක සීල වශයෙන් ද පාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය ,ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය වශයෙන් ද සිව් වැදෑරුම්ය. පරියන්තපාරිසුද්ධි සීලය අපරියන්තපාරිශුද්ධි සීලය, පරිපුණ්ණපාරිශුද්ධි සීලය, අපරාමට්ඨපාරිසුද්ධි සීලය, පටිප්පස්සද්ධිපාරිශුද්ධි සීලය වශයෙන් සීලය පස් වැදෑරුම්ය.

    සමස්තයක් ලෙස ගත්කළ සීලය දෙවදෑරුම්ය. එනම් ගෘහස්ථ සීලය හා පබ්බජිත සීලය වශයෙනි. ගෘහස්ථ සීලය යනු ගෘහ ජීවිතයක් ගත කරන ගිහියා විසින් සමාදන් වන සීලයයි. පංච සීලය බ්‍රහ්මචරිය පඤ්ච සීලය,උපෝෂථ අෂ්ඨාංග සීලය,ආජීව අෂ්ටමක සීලය හා ගිහි දස සීලය යනු ගෘහස්ථයන් නිතර සමාදන් වන සීලමය ප්‍රතිපදාව වන අතර එය චාරිත්‍ර සීලයට අයත් වේ. භික්ෂු භික්ෂුණී යන පැවිද්දන් සමාදන් වන සීලය සාමණේර දස සීලය,උපසම්පදා සීලය ආදි වශයෙන් දැක්වේ. ඒ අනුව පංචසීලය, අෂ්ටාංගසීලය, දස සීලය ආදි සියලුම සීලයන්ට වඩා චතුපාරිශුද්ධි සීලය උසස් වන බැවින් අධිසීලය වශයෙන් හදුන්වනු ලැබේ. මෙසේ සතර සංවර සීලයෙන් යුතුව අධිසීලයට පත්වීම උපසම්පදාව වශයෙන් පැහැදිලි කළ හැකිය.
    සිල් රැකිය යුතු ආකාරය
    සීලය ආරක්ෂා කළ යුතු ආකාරය ද පෙළ දහමෙහි පැහැදිලිව සඳහන් වේ. මහාවග්ග පාලියේ එන පහත ගාථාවෙන් ඉහත කරුණ අර්ථවත් වෙයි.
    යො ගවං න විජානාති
    නසො රක්ඛති ගොගණං
    එවං සීල අජානන්තො
    කිං සො රක්ඛෙය්‍යං සංවරං

    යම් ගොපල්ලෙක් තමා රකින ගවරැලේ ගවයන් නොහඳුනන්නේ නම් ඔහු ගවරැල රැකීමට සමත් නොවන්නේය. ඔහුගේ ගවරැල ක්‍රමයෙන් පිරිහී යන්නේය. එමෙන්ම සීලය හරිහැටි නොදත් භික්ෂුවට උපසම්පදා සීලය රැකීම අපහසුය. මෙයින් අදහස් කරන්නේ සෑම අයෙක්ම තමාට අයත් සීලය පිළිබඳ මනා අවබෝධයක් පැවතිය යුතුය යන්නයි.

    තවදුරටත් සීලය ආරක්ෂා කළ යුතු ආකාරය විස්තර කිරීමේදී ජීවිත පරිත්‍යාගයෙන් බිජුවට රකිනා කිරල් දෙණක් සේ ද, ජීවිත පරිත්‍යාගයෙන් වල්ගය රකිනා සෙමෙර මුවකු සේ ද, ජීවිත පරිත්‍යාගයෙන් සිය එකම පුත්‍රයා රකිනා මවක සේද, එක් ඇසක් ඇත්තෙකු එය රකින්නේ යම් සේ ද, ඒ අයුරින් සීලය ද ආරක්ෂා කළ යුතුය. සිල් රකින පුද්ගලයකු එම අවස්ථාවේදී මරණයට පත් වුවහොත් දෙව් ලොව උපදින බව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි.

    කිකී ව අණ්ඩං චමරීව වාලධිං – පියං ව පුත්තං නයනං ව රක්කං
    තථෙව සීලං අනුරක්ඛමානකා – සුපේසලා හොථ සදා සගාරවා ති

    (විසුද්ධිමග්ග, සීල නිද්දේසය)
    තවද සීලය බිඳ වැටීම සඳහා බලපානු ලබන හේතු සාධක රාශියක් ද පෙළ දහමෙහි සඳහන් වෙයි.
    ලාභ සත්කාර ලැබීම, කීර්ති, ප්‍රශංසා බහුලවීම, ශරීර හානි, ජීවිත හානි ආදිය නිසා සීලයට හානි සිදුවේ. මෙබඳු හේතු සාධක නිසා හෝ සීලය අපිරිසුදු වීමට ඉඩ නොදී ආරක්ෂා කිරීම තුළින් සීලය බැබළීමට ලක්වේ. මේ නිසා සිල් සමාදන් වූවන් තමා සමාදන් වූ සිල් පද නොකැඩෙන්නට, සිදුරු නොවන්නට හා දුබල නොවන්නට වගබලා ගත යුතුය. සීලය සදමාදන් වූ තැන් පටන්ම සීලයෙන් යුක්ත වුයේ ලෞකික ලෝකෝත්තර නුවණින් යුක්ත වූයේ එකි නුවණ සමඟ පැවැත්තේ මනාකොට සංසිඳුනේ අකුශල ධර්මයන් නැතිකිරීම පිණිස යොදන ලද වීර්යය ඇත්තේ නිවන් පිණිස යොදන ලද සිත් ඇති බැවින් ඒ පුද්ගලයා එතෙරවිය නොහැකි කාම ඕගාදී සතර වැදෑරුම් සංසාර නමැති මහා සැඩ පහර එතෙර කරන්නේ වෙයි. ලොව විද්‍යාමාන සෑම ආගමකම පාහේ කිසියම් වූ හෝ ශික්ෂණ ක්‍රමයක් විද්‍යමාන වේ. ඔවුන් ඒවා විවිධ නම්වලින් හඳුන්වන අතර බුදුදහමේ ශික්ෂණ මාර්ගය සීලය ලෙස අර්ථ ගන්වා ඇත. මේ තුළින් පැහැදිලි වන්නේ සීලය යනු බුදුදහමට පමණක්ම ආවේණික සංකල්පයක් බවයි.
    සීලයෙහි අනුසස්
    සීලයෙහි අනුසස් පහක් විසුද්ධිමාර්ගයෙහි සඳහන් වෙයි, “පඤ්චිමෙ භික්ඛවෙ ආනිසංසා සීලවතො සීල සම්පදාය කතමේ පඤ්ච ඉධ භික්ඛවෙ සීලවා සීල සම්පන්නො අප්පමාධාධිකරණං මහන්තං භෝගක්ඛන්ධං වුද්ධිං ගච්ඡති…සීල සම්පන්නස්ස කල්‍යාණෝ කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති..යඤ්ඤදෙව පරිසං උපසංකමති, අමංකුභූතො..අසම්මූල්හො කාලං කරොති.. කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගලොකං උප්පජ්ජති…” (විසුද්ධිමග්ගය, සීල නිද්දේශය, සීලානිසංස කථා)
    සිල්වත් වූ තැනැත්තා අප්‍රමාදය හේතුවෙන් මෙලොවදීම මහත් වූ භෝග සම්පත් ලබයි.
    සීලවන්තයාගේ කල්‍යාණ වූ කීර්ති ඝෝෂාව උසස් ලෙස පැතිරෙයි.
    සීලවන්තයා ක්ෂත්‍රිය පිරිසක් වෙත හෝ බ්‍රාහ්මණ පිරිසක් කරා හෝ ගෘහපති පිරිසක් වෙත හෝ ශ්‍රමණ පිරිසක් වෙත හෝ යම්කිසි සභාවකට එළඹේ ද විශාරදවම මකු නොවූයේ වෙයි.
    සිල්වත් තැනැත්තා සිහි නුමුලාව පහන් සිතින් මරණයට පත්වේ.
    සිල්වත් තැනැත්තා කය බිඳීමෙන් මරණින් මතු දෙව්ලොව උපදී

    මීට අමතරව සීලයෙහි තවත් අනුසස් රාශියක් ද විසුද්ධි මාර්ගයෙහි සඳහන් වෙයි. සිල් රක්නා භික්ෂුව සබ්‍රහ්මචාරීන්ට පි‍්‍රය මනාප වෙයි. ගරු කටයුතු හා සම්භාවනීය වෙයි. ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් නිර්වාණාධිගමය ලද හැකි වීම දි සීලයෙහි ආනිසංසයෝය. බුදුදහම අවධාරණය කරන්නේ සාසනයෙහි කුල පුත්‍රයන්ට සීලය හැර වෙනත් පිහිටක් නැත. මේ ලෝකයෙහි සත්ත්වයන්ගේ රාගාදී කෙලෙස් වේද ඒකාන්තයෙන්ම සීල නමැති ජලය ඒවා පිරිසුදු කෙරේ. එම කෙලෙස් පිරිසුදු කිරීමට ගංගා, යමුනා, සරභූ, සරස්වතී. අචිරවති හා මහී යන ගංගාවන්හි ජලය ප්‍රමාණවත් නොවේයැයිද සඳහන් වෙයි. යමෙක් මනාකොට සීලය ආරක්ෂා කරන්නේ නම් අතිශයින් සීතල වූ එම සීලය මේ ලෝකයෙහි සත්ත්වයන්ගේ යම් පරිදාහයක් සන්හිඳුවන්නේ ද ඒ පරිදාහය මේඝ මාරුතයෝ ද නොසන්සිදුවති. හරි චන්දන ද නොසංසිඳවයි. මුක්තාරාරයෝ නොම සන්සිඳුවත්, මාණික්‍යයෝ නොසන්සිඳුවත්, සඳ රැස්හු ද නොම සන්හිඳුවත්. යම් සිල් සුවඳක් යටි සුළඟෙහි හෝ උඩු සුළඟෙහි හමයි ද ඒ සිල් සුවඳ හා සමාන වූ සුවඳක් තවත් නැත. සර්වර්ගයට යාමට හිනිමගක් වැනි වු ද නිර්වාණය නමැති නගරයට පිවිසීමෙහිලා දොරටුවක් වැනි වූ ද සීලය හා සමාන වූවක් ලොව තවත් නැත. සිල් නමැති අබරණින් සැරසුනා වූ යතිරවරු යම් සේ බබලත් ද මෙසේ මිණිමුතුවලින් සැරසුණු රජවරු ද නො බබළති. සීලය හැම කල්හිම සිල්වතුන්ගේ අත්තානුවාදාදි භය හැම අයුරින්ම දුරලයි. කීර්තියත් සතුටත් උපදවයි.]

    SN 05-01-07-03. ඡන්‍ද සූත්‍රය

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාර වෙයි.
    කවර එක ධර්මයක්ද?
    ඡන්ද සම්පත්තියයි.

    මහණෙනි,
    ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුවට ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීම පහසුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩීම පහසුය.

    මහණෙනි,
    ඡන්ද සම්පත්තියෙන් යුත් මහණකු කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ
    නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුයි.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය යුතුයි.

    “මහණෙනි,
    ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව
    මෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුයි” වදාළසේක.

    SN 05-01-07-04. අත්ත සූත්‍රය

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාර වෙයි.
    කවරනම් එක ධර්මයක්ද යත්?
    චිත්ත සම්පත්තියයි.

    [කතමා ච භික්ඛවේ, සීලසම්පදා? ඉධ භික්ඛවේ, ඒකච්චෝ පාණාතිපාතා පටිවිරතෝ හෝති ….(පෙ)…. සම්ඵප්පලාපා පටිවිරතෝ හෝති. අයං වුච්චති භික්ඛවේ, සීලසම්පදා. 
    පින්වත් මහණෙනි, සීල සම්පත්තිය යනු කුමක්ද?
    පින්වත් මහණෙනි, කෙනෙක් ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා. ….(පෙ)…. හිස් වචන කීමෙන් වැළකී සිටිනවා.
    පින්වත් මහණෙනි, මේකට තමයි සීල සම්පත්තිය කියන්නේ.
    සීල සම්පත්තිය හේතු කොට හෝ සත්වයෝ කය බිඳී මරණින් මතු සුගතිය නම් වූ දෙව් ලොව උපදිනවා. ]

    මහණෙනි,
    චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුයි.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුයි.

    මහණෙනි,
    චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව
    කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

    ([3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුයි. .
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුයි. .
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුයි.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුයි. .
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය යුතුයි.

    “මහණෙනි,
    මෙසේ වනාහි චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය,. යි’ වදාළසේක.

    SN 05-01-07-05. දිට්ඨි සූත්‍රය

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාර වේ.
    කවර එක ධර්මයක්ද යත්?
    ඤාණ සම්පත්තිය යි.

    මහණෙනි,
    ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය,.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය,.

    මහණෙනි,
    ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව
    කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුයි.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය යුතුයි.

    “මහණෙනි,
    මෙසේ වනාහි ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩයි. ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩායයි” වදාළසේක.

    [ඤාණ සම්පත්තිය:
    මග්ගාමග්ග ඤාණදස්සන විසුද්ධියට අනතුරු පටිපදා ඤාණදස්සන විසුද්ධියට පැමිණිය යුතු ය. පටිපදාඤාණදස්සවිසුද්ධි නම් උදයබ්බයානුපස්සනා ඤාණ, භඞ්ගානුපස්සනා ඤාණ, භයතුපට්ඨාන ඤාණ මුඤ්චිතුකම්‍යතා ඤාණ, පටිසඞ්කානුපස්සනා ඤාණ, සඞ්කාරුපෙක්ඛාඤාණ, සච්චානුලොමික ඤාණ යන නව විදර්ශනා ඥානයි. උදයව්‍ය ඥාන භඞ්ග ඥානාදි වශයෙන් යට දැක්වුණේ මේය.
    උදයබ්බයපස්සනා ඤාණය.
    උදයබ්බයපස්සනා ඤාණය නම් උදය හා ව්‍යය බලන නුවණ ය. මේ ආදියෙහි ද ලද්දේ නො වේ ද?
    එසේ ය. ආදියෙහිද ලද්දේ ය. එහෙත් එය විදර්ශනෝපක්ලේශයන්ගෙන් කිලිටි විය. එ බැවින් යථාවසරසයෙන් ත්‍රිලක්‍ෂණ මෙනෙහි කළ නො හැකි විය. දැන් මේ උපක්ලේශයන්ගෙන් මිදුණු බැවින් මොනවට කළ හැකි ය. එ බැවින් ඒ සඳහා නැවත ද මේ යෝගය යි.
    කුමක් මෙනෙහි නො කිරීම නිසා කුමකින් ප්‍රතිච්ඡන්න වීම නිසා ත්‍රිලක්‍ෂණ මනා වැ නො වැටහේ ද?

    උදයව්‍යය මෙනෙහි නො කිරීම නිසා සන්තතියෙන් ප්‍රතිච්ඡන්න වීම නිසා අනිත්‍ය ලක්‍ෂණය නො වැටහේ නිතර ඇති පීඩා මෙනෙහි නො කිරීම නිසා ඉරියව්වලින් ප්‍රතිච්ඡන්න වීම නිසා දුඃඛ ලක්‍ෂණය නො වැටහේ. නානා ධාතු විනිර්භෝගය මෙනෙහි නො කිරීම නිසා ඝනයෙන්ප්‍රතිච්ඡන්න වීම නිසා අනාත්ම ලක්‍ෂණය නො වැටහේ. දැන් ඒ යෝගී උපක්ලේශයන්ගෙන් මිදුණු වීථිප්‍රතිපන්න විදර්ශනා සංඛ්‍යාත උදයබ්බයපස්සනා ඤාණයෙන් ත්‍රිලක්‍ෂණ මනා වැ මෙනෙහි කරයි.
    භඞ්ගානුපස්සනා ඤාණය.
    එසේ මෙනෙහි කොටැ නැවත නැවතත් අනිත්‍යය, දුඃඛය, අනාත්මය යි රූපා රූප ධර්ම පිරිසිදුත් ඔහුගේ නුවණ තියුණු වෙයි. සංස්කාර වහ වහා වැටහෙයි. නුවණ තියුණුවත් ම සංස්කාර වහ වහා වැටහෙත් ම ඔහුගේ සිහිය උත්පාද, ස්ථිති, ප්‍රවෘත්ති නිමිත්තයෙහි නො සිටැ ක්‍ෂය ව්‍යය භේද නිරෝධයෙහි ම සිටින්නේ ය. එසේ භඞ්ගය දක්නා නුවණ භඞ්ගානුපස්සනා ඤාණය යි. හෙතෙම උපන් රූපාදීන්ගේ භඞ්ගය දැකැ ඒ රූපාදිය අරමුණු කොටැ උපන් චිත්තයන්ගේ ද භඞ්ගය දක්නේ ය. මහවැසි වස්නා කලැ ගංතෙරක හෝ පොකුණු තෙරෙක හෝ සිටැ බලන්නෙුකට දිය බුබුළු නැග වහ වහා බිඳි බිඳී යනු පෙනෙයි. එමෙන් හෙතෙම සංස්කාරයන්ගේ භඞ්ගාවස්ථාව ම දක්නේ ය.
    භයතුපට්ඨාන ඤාණය.
    එසේ භඞ්ගානුපස්සනා ඤාණයෙන් සියලු සංස්කාරයන්ගේ භඞ්ගය දකුත් දකුත් ඔහුට සංස්කාර සුවසේ ජීවත්වනු කැමැත්තකු හට සිංහ ව්‍යාග්‍ර කොටි වලස් යක්‍ෂ රාක්‍ෂසයන් මෙන් භය ජනක වැ වැටහෙන්නේ ය. ‘අතීත සංස්කාර බිඳී ගියේ ය. වර්තමාන සංස්කාර මේ බිඳෙයි. අනාගත සංස්කාර ද මෙසේ ම බිඳී යන්නේ ය යි ඔහුට වැටහෙයි. පුතුන් තුන් දෙනෙකුන් ඇති ස්ත්‍රියකි. රජ පුතුන්ගේ ඉස් ගසා දමන්නට අණ කෙළේය. වධකයෝ ඇය බලා හින්ද දී ම එක් පුත්‍රයකුගේ හිස සින්දේ ය. දෙවැන්නා ගේ හිස මේ සිඳියි. ඕ තුන්වැන්නා කෙරෙහි දු අපේක්‍ෂාව හැරැ පියන්නී ය. ඒකාන්තයෙන් හිස සිඳින බැවිනි. මේ යෝගී ද අතීත සංස්කාර බිඳී ගියා දැකැ වර්තමාන සංස්කාර බිඳෙනු දැකැ අනාගත සංස්කාර කෙරෙහි ද බිඳෙති යි තීරණය කරන්නේ ය. මේ භයතුපට්ඨානය බිය වීමෙක් ම නො වේ. තීරණයෙකි. ගිනි වළක් දුටු නුවණැතියකු හට බිය මෙන් උපදින්නේ බිය ම නොවේ. මෙහි වැටී මිනිස්සු මැරෙති යි තීරණයෙකි. මේ ත් එබඳු ය යි දත යුතු.

    ආදීනවානුපස්සනා ඤාණය.
    මෙසේ භයතුපට්ඨාන ඤාණයෙන් සංස්කාර බිය වශයෙන් දකුත් දකුත් ඔහුට භව ගතියෙහි සත්ත්‍වාවාස සංඛ්‍යාත කිසි තැනෙක්හි තානයෙක් ලෙණයෙක් ප්‍රතිෂ්ඨාවක් ඇතැයි නො සිතෙන්නේ ය. කිසි තැනෙක කිසි සංස්කාරයෙක ප්‍රාර්ථනාවෙක් පරාමාසයෙක් නො වන්නේ ය. භවත්‍රය කකියන අඟුරු පිරුණ ගිනි වළක් මෙන් ද, සතර මහා භූත විෂඝොර සර්පයන් මෙන් ද පඤ්චස්කන්‍ධ කඩු අමෝරා ගත් වධකයන් මෙන් ද, ආධ්‍යාත්මික ආයතන ශූන්‍ය ගම් මෙන් ද, බාහිරායතන ගම් පහරන සොරුන් මෙන් ද, සප්ත විඥානස්ථිති හෝ නව සත්ත්‍වාවාස එකොළොස් ගින්නෙන් ඇවිල ගත්තාක් මෙන් ද, සියලු සංස්කාර ගඩ මෙන් රෝග මෙන් හුල් මෙන් ද නිරස වැ නීරස්වාද වැ මහා ආදීනව රාශියක් වැ වැටහෙන්නේ ය. සුවසේ ජීවත් වන කැමැති පුරුෂයකු වනයකට වන් කල ඔහුට වනය චණ්ඩ සතුන් සහිත මෙන්ද ගුහා කොටි වලස් සහිත මෙන් ද, ජලස්ථාන දිය රකුසන් ඇති තැන් මෙන් ද වැටහෙන්නේ ය. හේ බිය පත් වැ ඒ වනයෙහි ආදීනව ම දක්නේ ය. මේ යෝගී ද එසේ භය වශයෙන් දුටු සංස්කාරයන් කෙරෙහි ආදීනව දක්නේ ය. එසේ ආදීනව දක්නා නුවණ ආදීනවානුපස්සනා ඤාණය යි.

    නිබ්බිදානුපස්සනා ඤාණය.
    ආදීනව දුටු ඒ සංස්කාරයන් කෙරෙහි ගවර වළෙහි ස්වර්ණ රාජ හංසයා සේ මේ යෝගී නො ඇලෙන්නේය. කලකිරෙන්නේ ය. එසේ නො ඇලීම් වශයෙන් කලකිරීම් වශයෙන් උපදනා නුවණ නිබ්බිදානුපස්සනා ඤාණය යි. නිබ්බිදා නම් උකටලු බව ය. කලකිරුම් බව ය. හේ සංස්කාරයන් කෙරෙහි කලකිරෙමින් ම ශාන්ති පදයෙහි ඇලෙන්නේ ය. ඒ රාජ හංසයා චිත්‍රකූට පර්වතයෙහි මෙනි.
    යට දැක්වුණ භයතුපට්ඨාන ඥානය ද, ආදීනවානුපස්සනා ඤාණය ද මේ නිබ්බිදානුපස්සනා ඤාණය ද යන ඥානත්‍රය බ්‍යඤ්ජන වශයෙන් වෙනස් වුව ද අර්ථ වශයෙන් එකෙක් ම යයි කියා තිබේ.
    මුඤ්චිතුකම්‍යතා ඤාණය.
    එසේ කලකිරුණු ඒ යෝගී දැලෙහි බැඳුණු මත්ස්‍යයා ඒ දැලින් මෙන් ද ප්‍රඥාමුඛයට අසුවුණ මැඩියා ඒ සර්ප මුඛයෙන් මෙන් ද ඒ සියලු සංස්කාරයන් කෙරෙහි මිදෙනු කැමැති වන්නේ ය. එසේ මිදෙනු කැමැති වීම් වශයෙන් උපදනා ඥානය මුඤ්චිතුකම්‍යතා ඥානයයි.
    පටිසංඛානුපස්සනා ඤාණය.
    එසේ මිදෙනු කැමැති වූ හෙතෙම මිදීමෙහි උපාය සෙවීම් වශයෙන් නැවත ඒ සංස්කාරයන් තිලකුණට නඟා මෙනෙහි කරන්නේ ය. සියලු සංස්කාර අනිත්‍යාන්තික හෙයින් තාවකාලික හෙයින් උත්පාද ව්‍යය පරිච්ඡින්න හෙයින් පලොක හෙයින් චල හෙයින් පභඞ්ගු හෙයින් අද්ධුව හෙයින්

    විපරිනාම ධර්ම හෙයින් අසාර හෙයින් විභව හෙයින් සංඛත හෙයින් මරණ ධර්ම හෙයින් අනිත්‍ය යයිද නිතර පීඩාකාර හෙයින් දුඃක්‍ෂම හෙයින් දුඃඛ වස්තු හෙයින් රෝග හෙයින් ගණ්ඩ හෙයින් සල්ල හෙයින් අඝ හෙයින් ජාති ධර්මාදි හෙයින් දුඃඛය යි ද අමිහිරි දුර්ගන්ධ පිළිකුල් ආදී හෙයින් අශුභයයි ද, හිස් හෙයින් ශූන්‍ය හෙයින් අස්වාමිකාදී හෙයින් අනාත්ම ය යි ද සලකන්නේ ය.

    එසේ සැලකීම් වශයෙන් උපදනා නුවණ පටිසංඛානුපස්සනා ඤාණය යි. මේ වනාහි මසුන් අල්ලන්නට ගිය මිනිසා කෙමන අටවා එහි සතකු අසු වූ බව දැන මසු ගන්මි යි අත පොවා ඔසවා බලා සොවැති දැකැ මසු ය යි ගත්තේ නයෙකැ යි දැනැ බිය වැ උගෙන් වන ආදීනව සලකා මිදෙනු කැමැති වැ ඉක්මන් නො වැ මිදීමෙහි උපාය සොයන්නාක් වැනි ය. හේ හීන් සීරුවේ නගුට අතින් ගෙනැ වෙලුම ලිහා අත ඔසවා තුන් යළක් හිස වට කරකවා “යා දුෂ්ට සර්පයැ”යි හඬ ගා වීසි කොටැ විල් ඉවුරට නැඟී ‘නපුරු සර්පයකුගෙන් මිදුනෙමි’යි ආ මග බලන්නේය.


    සංඛාරුපෙක්ඛා ඤාණය.
    පටිසංඛානුපස්සනා ඤාණයෙන් යළි තිලකුණට නඟා මෙනෙහි කරනු ලබන ඒ සංස්කාරයන් කෙරෙහි බයක් හෝ ආලයක් හෝ නො කොටැ එහි උදාසීන වීම් වශයෙන් උපදනා නුවණ සංස්කාරුපෙක්ඛා ඤාණය යි. ඒ සංස්කාර කෙරෙහි උදාසීන වන්නේ එහි ශූන්‍යත්‍වය මෙනෙහි කිරීමෙනි. ශූන්‍යත්‍වය මෙනෙහි කිරීම ද දෙයාකාරයෙකින් ද සතර ආකාරයෙකින් ද ස ආකාරයෙකින් ද අට ආකාරයෙකින් ද දස ආකාරයකින් ද දොළොස් ආකාරයකින් ද දෙසාළිස් ආකාරයකින් ද කළ යුතු ය. එසේ ශූන්‍ය වශයෙන් සලකා තිලකුණට නඟා මෙනෙහි කරන්නේ සංස්කාර කෙරෙහි මධ්‍යස්ථ වන්නේ ය. පණට මෙන් ප්‍රේම කළ භාර්යාව කෙරෙහි පසුවැ මධ්‍යස්ථ වන පුරුෂයා මෙනි. එක් පුරුෂයකුට භාර්යාවක් ඇත්තී ය. හේ ඇයට මහත් සේ ප්‍රේම කරයි. ඇය අන් පුරුෂයකු දෙස බැලීම හෝ ඔහුට වේදනා උපදව යි. එහෙත් ඕ පර පුරුෂයන් ම පතන්නී ය. පුරුෂයා ඇය කෙරෙහි කෝප වැ ඇය භාර්යත්‍වයෙන් බැහැර කෙළේ ය. ඉන් පසු ඇය රඟමඩලෙහි නටනු දුට ද ඔහුගේ සිත ඇය කෙරෙහි මධ්‍යස්ථ ය. විකෘති නැත. මේ ත් එබඳුය යි දත යුතු.
    එසේ සංස්කාරයන් කෙරෙහි මධ්‍යස්ථ වූ ඔහුගේ සිත මදක් නැමුණු පියුම් පතෙක ජලය මෙන් භව යෝනි ගති ආදියෙහි නො ඇලෙයි. ගින්නෙහි කුකුළු පියාපත මෙන් හැකිලෙයි. එවිට ඔහුට සංඛාරුපෙක්ඛා ඤාණය උපන්නේ නම් වේ. ත්‍රිවිධානුපස්සනා ත්‍රිවිධ විමොක්‍ෂමුඛ සප්ත ආර්ය පුද්ගල විභාගය වන්නේ මෙහිදී ය.
    යට දැක්වුණු මුඤ්චිතුකම්‍යතා ඤාණය ද පටිසංඛානුපස්සනා ඤාණය ද, මේ සංඛාරුපෙක්ඛා ඤාණය ද අර්ථ වශයෙන් එකෙක් ම ය යි කියා තිබේ. ආදියෙහි මුඤ්චිතුකම්‍යතා ඤාණ මධ්‍යයෙහි පටිසංඛානුපස්සනා ඤාණ, අන්තයෙහි සංඛාරුපෙක්ඛාඤාණ වශයෙනි.
    මේ සංඛාරුපෙක්ඛා ඤාණයෙන් යුත් යෝගිහුගේ විදර්ශනා ශිඛා ප්‍රාප්ත ය. උට්ඨානගාමි ය. එහෙයින් මෙයට ශිඛා ප්‍රාප්ත විදර්ශන උට්ඨානගාමි විපස්සනා යන නම් කියනු ලැබේ. ශිඛා ප්‍රාප්ත නම් උතුම් බවට පැමිණි. වුට්ඨාන ගාමි නම් මාර්ගය කරා යන වුට්ඨාන යන්නෙන් මෙහි සෝවාන් ආදී මාර්ග කියනු ලැබේ. බාහිර නිමිති වලින් ද අධ්‍යාත්මික පැවතුම් වලින් ද නැගී සිටින බැවිනි. සච්චානුලොමික ඤාණය.

    මේ සංඛාරුපෙක්ඛා ඤාණය වඩ වඩාත් ඒ යෝගීහට බලවත්තර ශ්‍රද්ධාධිමෝක්‍ෂයෙක් වේ. ඔහුගේ වීර්ය සූපගෘහිත වේ. ස්මෘතිය ද සූපස්ථිත වේ. චිත්තය සුසමාහිත වේ. සංඛාරුපෙක්ඛාව තීක්‍ෂණතර වේ. ඔහුට ඇසිල්ලෙකින් මාර්ග සිත උපදින්නේ ය යි කියයුතු අවස්ථාවට පැමිණේ. හේ ඒ සංඛාරුපෙක්ඛා සංස්කාරම අනිත්‍යය දුඃඛය අනාත්ම ය යි සම්මර්ශනය කරයි. ඔහුගේ සිත වෙන් වැ නම් කිවද මේ සිත් තුනට ම ආසෙවනය යි ද පරිකර්ම ය යි ද උපචාරය යි ද අනුලෝමය යි ද කිය යුතු ය. සච්චානුලොමික ඤාණය යනු මේ යි. කුමක් හෙයින් මෙයට ඒ නම කියත් ද?

    යට විපස්සනා ඥානාදී ඥාන අටට ද මතු සත්තිස් බෝධිපාක්‍ෂික ධර්මයන්ට ද අනුලොම් වන බැවිනි. රජෙක් විනිශ්චයකාරයකුගේ විනිශ්චයට සතුටු වන්නේ ඒ විනිශ්චයට ද පුරාණ රාජධර්මයට ද සතුටු වන්නේ ය. මේ ඤාණය රජු මෙනි. යට අෂ්ටඥාන විනිශ්චයකාර මෙනි. සත්සිත් බෝධිපාක්‍ෂික ධර්ම පුරාණ රාජ ධර්මය මෙනි.

    මෙසේ උදයබ්බය ඤාණයෙහි පටන් මේ අනුලෝම ඤාණය දක්වා ඇති ඤාණ පරම්පරාව පටිපදාඤාණ දස්සන විසුද්ධිය යි දත යුතු.]

    SN 05-01-07-06. අප්පමාද සූත්‍රය

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස
    එක් ධර්මයෙක් බොහෝ උපකාරවේ.
    කවර නම් එක ධර්මයක්දයත්?
    අප්‍රමාද සම්පත්තිය යි.

    මහණෙනි,
    අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.

    මහණෙනි,
    අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයවැඩිය යුතුද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත කෙසේ වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුයි.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුයි.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය යුතුයි.

    “මහණෙනි,
    මෙසේ අප්‍රමාද සම්පත්තියෙන් යුත් භික්ෂුවද,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුයයි” වදාළසේක.

    SN 05-01-07-07. යෝනිසෝ සූත්‍රය

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවේ.
    කවරනම් එක ධර්මයක්දයත්?
    උපාය මනසිකාරය යි.

    මහණෙනි,
    උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුයි.

    මහණෙනි,
    උපාය මනසිකාරයෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිය යුතුද?
    කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ
    විරාගය ඇසුරු කළ
    නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුය.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය යුතුය.

    “මහණෙනි,
    මෙසේ උපාය මනසිකාරයෙන් යුතුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    , ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවතවැඩිය යුතුයයි” වදාළසේක.

    [උපාය මනසිකාරය:
    ප්‍රත්‍යක්‍ෂ ඥානය මෝරවා දියුණු කරගත් කල්හි ප්‍රත්‍යක්ෂ කොට නොදක්නා ලද නාම රූප ධර්මයන් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් දක්නා ලද නාම රූපයන් හා සසඳා මෙනෙහි කොට හැකි වීම හෝ විනිශ්චය කරන්ට හැකි වීම යෝනිසෝමනසිකාරය මැ යි. මතු මතු විදර්ශනා ඥාන විශේෂයන්ට හා මාර්ග ඵලයන්ටත් උපකාරීවන නියම මාර්ගය වු උපාය මනසිකාර ය යි. එහෙයින් අටුවාවෙහි:
    යෝනිසෝමනසිකාරො නාම උපාය මනසිකාරො,
    පථමනසිකාරො, අනිච්චෙ අනිච්චන්ති වා
    දුක්ඛෙ දුක්ඛන්ති වා අනත්තන්ති අනත්තාති වා
    අසුභෙ අසුභන්ති වා මනසිකාරො. ය යි කීහ.
    එහි අදහස:
    යෝනිසෝ මනසිකාරය නම් දුක් සංසිඳ වීමට උපකාරී වන නියම නය ක්‍රමය අනුව මෙනෙහි කිරීමය. හරි මගින් මෙනෙහි කිරීමය. උපදිමින් නැසෙමින් පවත්නා නිත්‍ය නො වන වස්තුන්වෙහි අනිත්‍ය ය යි කියා හෝ එය ම භයට හේතුවන බැවින් දුකය යි කියා හෝ එහි ම ආත්මසාරයක් නැති හෙයින් අනාත්මය යි කියා මහා අසෝභන වූ කුණු සිරුරෙහි අසුභය යි කියා හෝ නුවණින් මෙනෙහි කිරීම ය.

    විපස්සනා වඩන යෝගී පුද්ගලයාගේ අදහස විය යුත්තේ විදර්ශනා ඥාන විශේෂයන් හා මාර්ග ඵලයන් උපදවා ගැනීමය. එයට උපකාර වන භාවනා මනස්කාරය යෝනිසෝමනසිකාර ය යි. අටුවායෙහි ප්‍රධාන න්‍යායයෙන් හා අවිනාභාව න්‍යායයෙන් දක්වන ලද අනිත්‍යය මෙනෙහි කිරීමේ දී ද යෝනිසෝමනසිකාරය වේ. විදර්ශනා වඩන යෝගී පුද්ගලයා විසින් කළ යුතුව ඇත්තේ ප්‍රකට ව වැටහී එන නාම රූප ධර්මයන් නුවණින් බලා දැනගැනීම ය. ඒ නාම රූප ධර්මයන් පුද්ගලයෙක් ය, සත්වයෙක් ය, මම ය, ස්ත්‍රියක් ය, පුරුෂයෙක් ය, යන ආදී වශයෙන් නොදත යුතු ය. එහි ඇති වනනැතිවන අනිත්‍ය ලක්‍ෂණ ආදිය ම දත යුතු ය.
    එයම කෙලෙස් සංසිඳ වීමට උපකාරී වන බැවිනි. කෙලෙස් ඉපදීමට හේතු වන නිත්‍ය, සුඛ, ආත්ම, ශුභ වශයෙන් නො දැක්ක යුතු ය. මෙසේ විදර්ශනා වඩන තැනැත්තාගේ සදොරට හමුවන ෂඩාරම්මණයන් අතුරෙන් එක් එක් අරමුණක් මෙනෙහි කිරීමේ දී මෙය නාම රූප ධර්මයක් දෝ! මෙය ඇති ව නැති වන දෙයක් දෝ! යන ආදී වශයෙන් මෙනෙහි කරන්නාක් මෙන් උපදින පඤ්චද්වාරාවජ්ජන මනෝද්වාරාවජ්ජනයෝ සුදුසුසේ නියම මගින් මෙනෙහි කරති. එසේ මෙනෙහි කළ පරිද්දෙන් ම මනෝද්වාරික විදර්ශනා ජවනයෝ ද අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කරමින් උපදිත්. මේ විදර්ශනා ජවන් රැස නාම රූප ස්වභාවයන් ඇති සැටියෙන් දක්නා බැවින් ද, පසු පසු පහළ වන විදර්ශනා ඥාන විශේෂයන්ට හා මාර්ග ඵල ඥානයන්ටත් උපකාරී වන බැවින් ද යෝනිසෝමනසිකාරය නම් වේ. පළමු කොට මෙනෙහි කරමින් උපන් ආවර්ජනය ද මෙනෙහි කිරීම් වශයෙන් ඒ විදර්ශනා ජවන් හා සමාන වන බැවින් යෝනිසෝමනසිකාරයෙහි ම ඇතුළත් වේ. එහෙයින් සතිපට්ඨාන සුත්‍ර ටීකාවෙහි:
    යොනිසොමනසිකාරො නාම කුසලාදීනං තං තං සභාවරසලක්ඛණාදිකස්ස යාථාවතො අවබුජ්ඣනවසෙන උප්පන්නො ඤාණසම්පයුත්තචිත්තුප්පාදො, සො හි අවිපරීතමනසිකාරතාය යොනිසොමනසිකාරොති වුත්තො, තදා භොගතාය ආවජ්ජනාපි තග්ගතිකා එව යි කීහ.
    එහි අදහස:
    යෝනිසෝමනසිකාරය නම්: කුසලාදින් පිළිබඳ ඒ ඒ ස්වභාව ලක්ෂණ රස අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ ආදිය ඇති සැටියෙන් අවබෝධ කිරීම් වශයෙන් උපදනා ඤාණ සම්පයුත්ත චිත්තෝත්පාද ය යි. එය එසේ මැ යි ඒ චිත්තෝත්පාදය ම අවිපරීත මනස්කාරයක් වන බැවින් යෝනිසෝ මනසිකාර ය යි කියන ලදී. ඒ ජවන් සිත්වලට පෙර ඒ අරමුණ මෙනෙහි කරන බැවින් ආවජ්ජන සිත ද ජවනගතික වන්නේ ම ය.
    මේ ටීකා පාඨය වූ පරිදි පුර්ව පුර්ව චිත්ත වීථිවල ඇතුළත් ආවජ්ජන සිත් හා විපස්සනා ජවන් සිත් සියල්ල පසු පසු චිත්ත වීථිවල උපදින කුසල් වලට උපකාරී වන යෝනිසෝමනසිකාර ය යි සැලකිය යුතුය.

    සැකෙවින් කියත හොත් විදර්ශනා වඩන කල්හි නුවණින් විදර්ශනා අරමුණු මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාර ය යි. එයට උපකාරී වන හැම මෙනෙහි කිරීමක් ද යෝනිසෝමනසිකාරයෙහි ඇතුළත් වේ. විදර්ශනාවට උපකාරී නොවන කෙලෙස් උපදවන කාම අරමුණු ආදිය මෙනෙහි කිරීම අයෝනිසෝ මනසිකාරය යි.
    මේ නීවරණ අවසරයෙහි වනාහි කාමච්ඡන්දය පහළ වන සේ මෙනෙහි කිරීම අයෝනිසෝමනසිකාර ය යි. එසේ ම කාමච්ඡන්දය නුපදින පරිදි නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝමනසිකාර ය යි. මෙකී මනසිකාර දෙක ම උපදනා ආකාරය මෙනෙහි කර දැන ගැනීම සඳහා,
    “යථා ච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදො හොති තඤ්චපජානාති, යථා ච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහානං හොති තඤ්ච පජානාති” ය යි දේශනා කරන ලදී.
    සමථ විදර්ශනාවන් කරණ කොට ගෙන කාමච්ඡන්ද සංඛ්‍යාත තණ්හාව හෝ ලෝභය පහකළ හැකි වුව ද එය සහමුලින් ම පහ ව ය න්නේ රහත් මගින් ය. රහත්වූ විට උන්වහන්සේ තමන් වහන්සේ තුළ පැවැති කාමච්ඡන්දය පහකළ රහත් මාර්ගය ද ප්‍රත්‍යක්ෂව දැනගන්නාහ. රහත් නොවූ යෝගී පුද්ගලයා සිය සතන්හි පැවැති කාමච්ඡන්දය භාවනාවෙන් පහව ගිය බව දැනගන්නේ ශෘතමය ඥානයෙන් හෝ චින්තාමය ඥානයෙන් ය.

    තව ද කාමච්ඡන්දය ඇතිවීමට සහ එය දුරු කිරීමට කරුණු සය බැගින් ඇත. කාමච්ඡන්දය දුරුකිරීමට උපකාරවන කරුණු සය මෙහි පළමුකොට දක්වනු ලැබේ. එනම්:-
    1. අසුභ අරමුණු ඉගෙන ගැනීමය.
    2. අසුභ භාවනානුයෝගය.
    3. ඉන්‍ද්‍රියද්වාරයන් රැක ගැනීමය.
    4. භෝජනයෙහි පමණ දැන ගැනීමය.
    5. කල්‍යාණමිත්‍ර සේවනය.
    6. සප්පායකථාවය යනු යි.

    (1).  අසුභ අරමුණු ඉගෙනීම යනු උද්ධමාතක ආදී දශවිධ අසුභයන් සහ කෙස් ලොම් ආදී පිළිකුල් කොටස් ද යන එකොළොස් වැදෑරුම් අසුභයන් කෙරෙහි පවත්නා පිළිකුල් ආකාරය උග්ගහ නිමිත්ත පහළවන තෙක් පුරුදු පුහුණු කිරීම ය.
    (2). අසුභ භාවනානුයෝගය යනු උපචාර සමාධිය හෝ අර්පණා සමාධිය උපදින සේ යම්කිසි අසුභ අරමුණක් ගෙන භාවනාවෙහි යෙදීම ය.
    (3). ඉන්ද්‍රියද්වාරයන් රැක ගැනීම යනු ඇසය, කණය, නැහැය, දිවය, කයය, මනසය යන මේ දොරටු වලින් රූප ශබ්ද ආදිය ඇතුල් වන කල්හි රාගාදී කෙලෙස් ඇති නො වන සේ සිහිය එලවමින් සිත ආරක්ෂා කර ගැනීමය.
    (4). භෝජනයෙහි පමණ දැන ගැනීම යනු අනුභව කරන හෝජනය ඇසුරු කළ ‘ආහාරෙ පටික්කුල සඤ්ඤාව’ ය, උදරයට වැටුනු ආහාරය ප්‍රිය මනාප ස්වභාවය හැර වෙනස් වීම ය, ආහාරයේ ආධාරස්ථානය අපිරිසිදු බවය, උදරයට වැටුනු ආහාරය අතිශයින් පිළිකුල් අසුභ බවය, මේ රූප කය ආහාරය නිසාම පවත්නා බවය යන මෙකී කරුණු යමෙක් විශේෂයෙන් නුවණින් දැනගන්න නම් හෙතෙම අනුභව කරන භෝජනයෙහි පමණ දැන අනුභව කරන්නේ ය. එහෙයින්,
    චත්තාරො පව ආලොපෙ – අභූත්වා උදකං පිංචෙ,
    අලං ඵාසුවිහාරය – පහිතත්තස්ස භික්ඛුනො”
    යි වදාළ සේක.
    යෝගාවචරයා විසින් ආහාරය අනුභව කරන විට ආහාර පිඬු සතරක් හෝ පහක් හෝ නො වළඳා එයට අවකාශය තබාගෙන පැන් පානය කළ යුතු ය. එවිට පහසුවෙන් භාවනා කළහැකි වෙයි යනු එහි අදහස ය. මෙසේ භෝජනයෙහි පමණ දැන වැලඳීමෙන් ථීනමිද්ධයට අවකාශයක් නො ලැබෙන නිසා කාමච්ඡන්දය පහකළ හැකි ය යි කීහ.

    SN 05-01-07-08. දුතිය කල්‍යාණමිත්ත සූත්‍රය

    [2] “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරය.
    කවරනම් එක ධර්මයක්දයත්?
    කළ්‍යාණ මිත්‍රයින් ඇතිබවයි.
    මහණෙනි,
    කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.

    මහණෙනි,
    කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
    දෝසය දුරුකිරීම කෙළවර කොට ඇති,
    මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුයි.

    රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
    දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
    මෝහය දුරුකිරීම කෙළවර කොට ඇති
    සම්‍යක් සංකල්පය වැඩිය යුතුය.

    රාගය දුරුකිරීම කෙළවර කොටඇති,
    දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
    මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
    සම්‍යක් වචනය වැඩිය යුතුය.

    රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
    දෝසය දුරුකිරීම කෙළවර කොට ඇති,
    මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
    සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය.

    රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
    දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
    මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
    සම්‍යක් ආජීවය වැඩිය යුතුය.

    රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
    දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
    මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
    සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය.

    රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
    දෝසය දුරු කිරීම කෙළවරකොට ඇති,
    මෝහය දුරුකිරීම කෙළවරකොට ඇති
    සම්‍යක් සතිය වැඩිය යුතුය.

    රාගය දුරුකිරීම කෙළවරකොට ඇති,
    දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
    මෝහය දුරු කිරීම කෙළවරකොට ඇති
    සම්‍යක් සමාධිය වැඩිය යුතුයි.

    [4] “මහණෙනි,
    කල්‍යාණ මිත්‍රයින් ඇති භික්ෂුව
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය මෙසේ වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත
    නැවත වැඩිය යුතුය”යි වදාළසේක.

    SN 05-01-07-09. දුතිය සීල සූත්‍රය

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාර වෙයි.
    කවරනම් එක ධර්මයක්ද?
    සීල සම්පත්තිය යි.

    මහණෙනි,
    සීල සම්පත්තියෙන් යුත් මහණහු ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.

    “මහණෙනි,
    සීල සම්පත්තියෙන් යුත් මහණහු කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය. .
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුය.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය වැඩිය යුතුය.

    “මහණෙනි,
    මෙසේ සීල සම්පත්තියෙන් යුත් භික්ෂුව
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය. .
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත
    නැවත වැඩිය යුතුය.” යි වදාළසේක.

    SN 05-01-07-10. දුතිය ඡන්‍ද සූත්‍රය

     [දුකෙන් මිදෙනු කැමති වීම
    ඒකධම්මෝ භික්ඛවේ, බහුකාරෝ අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස උප්පාදාය. කතමෝ ඒකධම්මෝ: යදිදං ඡන්දසම්පදා. ඡන්දසම්පන්නස්සේතං භික්ඛවේ, භික්ඛුනෝ පාටිකංඛං ….(පෙ)…. බහුලීකරෝතීති ]

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයාගේ ඉපදවීම පිණිස එක් ධර්මයක් බොහෝ උපකාරවේ.
    කවර නම් එක ධර්මයක්ද?
    ඡන්ද සම්පත්තිය යි.

    මහණෙනි,
    ඡන්දසම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුයි.

    මහණෙනි,
    ඡන්ද සම්පත්තියෙන් යුත් භික්ෂුව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය කෙසේ නැවත නැවත වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය. .
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුය. .
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුය.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය යුතුය.

    “මහණෙනි,
    මෙසේ ඡන්ද සම්පත්තියෙන් යුක්තව
    තොප ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත
    නැවත වැඩිය යුතුය, යි” වදාළසේක.

    SN 05-01-07-11. දුතිය අත්ත සූත්‍රය

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවේ.
    කවර නම් එක ධර්මයක්ද?
    චිත්ත සම්පත්තිය “යි.

    මහණෙනි,
    චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.

    මහණෙනි,
    චිත්තසම්පත්තියෙන් යුක්තව කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත කෙසේ වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුය.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වඩයි.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය යුතුය.

    “මහණෙනි,
    මෙසේ චිත්ත සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය යි” වදාළසේක.

    [සිත කිලිටි කරන කාමච්ඡන්දාදි නීවරණයන්ට සිතට ඇතුළු වන්නට නොදී එය භාවනාරම්මණයෙහි ම පවත්වන බලවත් සමාධිය චිත්ත විශුද්ධිය ය. ශමථ යානිකයෝ ය. විදර්ශනා යානිකයෝ ය කියා යෝගාවචරයෝ දෙකොටසක් වෙති. පළමුවෙන් යම් කිසි ශමථ භාවනාවක් කොට එයින් ලැබෙන සමාධිය පිහිට කොට විදසුන් වඩා මඟ පල ලබන යෝගාවචරයෝ ශමථයානිකයෝ ය. ශමථ භාවනාවෙහි නො යෙදී විදර්ශනාව ම වඩන යෝගාවචරයෝ විදර්ශනායානිකයේ ය. ශමථ භාවනාවෙන් ලබන උපචාර සමාධිය හා අර්පණා සමාධිය ශමථ යානිකයන්ගේ චිත්ත විශුද්ධිය ය. විදර්ශනාව පමණක් කරන්නවුන්ට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය නිසා යෝගාවචරයාගේ සිත බැහැර නො ගොස් භාවනාරම්මණයෙහි මනා කොට පිහිටන්නේ ය. විදර්ශනාවෙන්ම ලැබෙන ඒ සමාධිය විදර්ශනා යානිකයන්ගේ චිත්ත විශුද්ධිය ය.
    කාමච්ඡන්දාදි නීවරණයෝ සමාධියෙන් තොරව භාවනා කරන තැනැත්තාගේ සිතට වරින් වර ඇතුළු වී එය අපිරිසිදු කරති. බලවත් සමාධියක් ඇති කල්හි භාවනා කරන යෝගාවචරයාගේ භාවනා චිත්ත පරම්පරාව ඒකාබද්ධ ව භාවනාරම්මණයෙහි ම නැවත නැවත ඇති වේ. එයින් සිත පිරිසිදු ව පවතී. යෝගාවචරයා ගේ සිත එසේ පිරිසිදු ව තබන බැවින් සමාධිය චිත්ත විශුද්ධි නම් වේ.]

    SN 05-01-07-12. දුතිය දිට්ඨි සූත්‍රය

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවේ.
    කවරනම් එක ධර්මයක්ද?
    ඤාණ සම්පත්තිය යි.

    මහණෙනි,
    ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.

    මහණෙනි,
    ඤාණසම්පත්තියෙන් යුත් තොප කෙසේ
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුය.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වඩයි.

    “මහණෙනි,
    මෙසේ ඤාණ සම්පත්තියෙන් යුත් භික්ෂුව
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය. යි” වදාළසේක.

    [ඤාණය වනාහි සාමාන්‍යයෙන් දන්නා ඥානය, ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය යි දෙවදෑරුම් වේ. ගසක්, ගසක් වශයෙන් දැනීම සාමාන්‍ය ඥානය යි. මුල් – සුඹුලු – පොතු – ඵලය – අරටුව – බඩය – අතු – රිකිලි – කොළ මල් – ගෙඩි, ඒවායේ පැහැය – සටහන – ගන්ධය – රසය යන විශේෂ විභාග සියල්ල දැනීම ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දැනීම ය. ඒ ඒ දේවල් ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය පටිසම්භිදා ඤාණ නම් වේ. ඒ ඒ ධර්මය පිළිබඳ වූ දැනුම ඥාන වශයෙන් එකක් වුව ද දැන ගන්නා වූ ධර්ම අනුව ඒ ඥානය ඥාන සතරක් කොට දක්වා තිබේ. අත්ථපටිසම්භිදා ඤාණය, ධම්ම පටිසම්භිදා ඤාණය, නිරුත්තිපටිසම්භිදා ඤාණය, පටිහාන පටිසම්භිදා ඤාණය යනු ඒ ඤාණ සතරය.

    ප්‍රභේද සහිතව විස්තර සහිතව හේතූන්ගේ ඵල දන්නා නුවණ අත්ථපටිසම්භිදා ඤාණ නම් වේ. ජනක හේතුය, සම්පාපක හේතුය, ඥාපක හේතුය යි හේතු තුන් වර්ගයකි. ගස, ගෙඩි උපදවන්නාක් මෙන් නො තුබූ යම් කිසිවක් ඇති කරන්නා වූ හේතුව ජනක හේතු නම් වේ. අවිද්‍යා තෘෂ්ණා කර්මාදීහූ ජනක හේතූහු ය. ජනක හේතූන් විසින් උපදවන ලද නාමරූප ධර්මයෝ අත්ථ නම් වෙති. නැව මෙතර සිටියවුන් එතෙරට පමුණුවන්නාක් මෙන් ඇත්තා වූ යම් කිසිවකට පමුණුවන හේතුව සම්පාපකහේතු නමි, ආර්‍ය්‍ය මාර්ගය සත්ත්වයන් නිවනට පමුණුවන බැවින් සම්පාපක හේතුවකි. නිවන එහි ඵලය ය. සම්පාපකහේතුවගේ ඵලභාවයෙන් නිවන ද අත්ථ නම් වේ. දුම ගින්නක් ඇති බව අවබෝධ කරන්නාක් මෙන් යම් කිසිවක් අවබෝධ කරවන හේතුව ඥාපකහේතු නම් වේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටක ධර්මය අසන්නවුන්ට නොයෙක් කරුණු අවබෝධ කරවන බැවින් ඥාපක හේතුවකි. පිටකත්‍රය ධර්මය අනුව අවබෝධවන්නා වූ අර්ථයෝ, ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනෙන්නා වූ අවබෝධ වන්නා වූ කරුණු ත්‍රිපිටක ධර්මයාගේ ඵලභාවයෙන් අත්ථ නම් වෙති. අවිද්‍යා තෘෂ්ණා කර්මාදි ප්‍රත්‍යයන් විසින් උපදවන නාමරූපයෝ ය, ආර්‍ය්‍යමාර්ගයෙන් පැමිණෙන නිවනය, ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනෙන කරුණු ය යන මේ අර්ථයන් ප්‍රභේද වශයෙන් දන්නා ඥානය අත්ථපටිසම්භාදාඤාණ නමි. මේ ඤාණය ඇතියහුට හේතූන්ගේ ඵල වන නාමරූප ධර්මයන් විස්තර වශයෙන් දත හැකි ය. අන්‍යයන්ට තේරුම් කර දිය හැකි ය. බුදුරදුන් දේශිත ධර්ම වල අර්ථය ද නො වරදවා තේරුම් කර දිය හැකි ය.

    ධම්ම පටිසම්භිදා ඤාණ යනු අනේක නාමරූප ධර්මයන් උපදවන්නා වූ අවිද්‍යා තෘෂ්ණා කර්මාදි හේතූන් ද, නිවනට පමුණුවන ආර්යමාර්ගසංඛ්‍යාත සම්පාපක හේතුව ද, කුශලාකුශලාදි අනේක ධර්මයන් අවබෝධ කරවන පිටකත්‍රය සංඛ්‍යාත ඥාපක හේතුව ද, ප්‍රභේද වශයෙන් විස්තර වශයෙන් දන්නා ඥානය ය. එය ඇතියහුට හේතුධර්ම විස්තර වශයෙන් මැනවින් දත හැකි ය. අන්‍යයන්ට අවබෝධ වන පරිදි කිය හැකි ය.]

    SN 05-01-07-13. දුතිය අප්පමාද සූත්‍රය

    පුජ්‍ය මාදුපිටියේ දේවානන්ද නාහිමි කල දේසනාවක්

    “මහණෙනි,
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවෙයි.
    කවර නම් එක ධර්මයක්ද යත්?
    අප්‍රමාද සම්පත්තිය යි..

    මහණෙනි,
    අප්‍රමාද සම්පත්තියෙන් යුක්තව භික්ෂුව ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩයි යනු කැමතිවිය යුතුයි.

    මහණෙනි,
    අප්‍රමාද සම්පත්තියෙන් යුත් තොප කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුය.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය යුතුය.

    “මහණෙනි,
    මෙසේ අප්‍රමාද සම්පත්තියෙන් යුක්තව තොප ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.යි” වදාළසේක.

    SN 05-01-07-14. දුතිය යෝනිසෝ සූත්‍රය

    “මහණෙනි”
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය ඉපදවීම පිණිස එක ධර්මයක් බොහෝ උපකාරවෙයි.
    කවරනම් එක ධර්මයක්ද?
    උපාය මනසිකාරය එම ධරමයයි.

    මහණෙනි,
    උපාය මනසිකාර සම්පත්තියෙන් යුත් මහනහු
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය.

    මහණෙනි,
    උපාය මනසිකාර සම්පත්තියෙන් යුත් භික්ෂුව
    කෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුද?
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුද?

    [3] “මහණෙනි,
    භික්ෂුව විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුනු
    සම්‍යක් දෘෂ්ටිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය …… සම්‍යක් සංකල්පය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු …යක් වචනය වැඩිය යුතුය.
    විවේකය …. සම්‍යක් කර්මාන්තය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු ….. සම්‍යක් ආජීවය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු …… සම්‍යක් ව්‍යායාමය වැඩිය යුතුය.
    විවේකය ඇසුරුකළ …. සම්‍යක් සතිය වැඩිය යුතුය.
    විවේකය ඇසුරු කළ… සම්‍යක් සමාධිය වැඩිය යුතුය.

    “මහණෙනි,
    උපාය මනසිකාරයෙන් යුත් තොප ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිය යුතුය.
    ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වැඩිය යුතුය. යි” වදාළසේක.

    ...more
    View all episodesView all episodes
    Download on the App Store

    SINHALA TIPITAKABy