Sign up to save your podcasts
Or

SN 05-01-10-01 පාචීනනින්න සූත්‍රය
SN 05-01-10-02 දුතිය පාචීනනින්න සූත්‍රය
SN 05-01-10-03. තතිය පාචීනනින්න සූත්‍රය
SN 05-01-10-04. චතුර්ථ පාචීනනින්න සූත්‍රය.
SN 05-01-10-05. පංචම පාචීනනින්න සූත්‍රය
SN 05-01-10-06. චට්ට පාචීනනින්න සූත්‍රය
SN 05-01-10-07. පඨම සමුද්දනින්න සූත්‍රය
SN 05-01-10-08. දුතිය සමුද්දනින්න සූත්‍රය
SN 05-01-10-09. තතිය සමුද්දනින්න සූත්‍රය
SN 05-01-10-10. සමුද්දනින්න සූත්‍රය
මහණෙනි,
ගංගා නදිය පෙර දිගට නැමී පෙරදිගට හැරී
පෙරදිගට බරව පෙරදිගටම ගලන්නේය.
මහණෙනි,
ඒ ලෙසම ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය නැවත නැවත වඩන
තොප නිවනට නැමී නිවනට හැරී
නිවනට බරව යන්නෝය.
[ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය
නිවනට පැමිණීමේ නො වරදින මාර්ගය වූ ලෝකෝත්තර ඥානයට හුදකලාව ම නිවන් දක්නටත් තෘෂ්ණාව නසන්නටත් නො පිළිවන. එයට විශේෂයෙන් උපකාර වෙමින් එය හා බැඳී පවත්නා වූ එක්ව උපදින්නා වූ තවත් ධර්ම සතක් ඇත්තේ ය. ඒ ධර්ම සත ද මේ මාර්ග සත්‍යයට ඇතුළත් වන්නාහ. එබැවින් සර්වාකාර පරිපූර්ණ කොට මාර්ග සත්‍යය දක්වා වදාරන්නා වූ තථාගතයන් වහන්සේ විසින් –
“කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්චං?
අයමෙව අරියො අට්ඨංගිකො මග්ගො. සෙය්‍යථිදං?
සම්මාදිට්ඨි, සම්මාසංකප්පො, සම්මාවාචා, සම්මා කම්මන්තො,
සම්මාආජීවො, සම්මා වායාමො, සම්මාසති, සම්මාසමාධි,
ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛ නිරොධගාමිනී පටිපදා අරිය සච්චං” යි
වදාරන ලද්දේ ය.
“මහණෙනි, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය කවරේද යත්? මේ ආර්‍ය්‍ය වූ අංග අටක් ඇත්තා වූ මාර්ගය යි. හේ කවරේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහු ය. මහණෙනි, මෙය දුඃඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍ය යයි කියනු ලැබේ” ය යනු එහි තේරුම යි. මේ දේශනාවෙන් “ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය” යි කියනු ලබන-
යන මේ චෛතසික ධර්ම අට දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සච්ච යයි දක්වන ලද්දේ ය. මෙහි සම්මා දිට්ඨි යනුවෙන් දක්වා තිබෙන්නේ යට කී තෘෂ්ණාව නසන්නා වූ ප්‍රඥාවය ය. සම්මා සංකප්පො යනාදීන් දක්වන ලදුයේ ඒ ප්‍රඥාව හා බැඳී පවත්නා වූ එයට උපකාර ධර්ම සත ය.
මේ චෛතසික ධර්ම අට පෘථග්ජන පුද්ගලයන් තුළ ද උපදනාහු ය. එහෙත් මේ අට ම එක සිතක් සමග එකවර පෘථග්ජන චිත්ත සන්තානයෙහි නූපදිති. පෘථග්ජන සන්තානයෙහි උපදිනුයේ එක් එක් වරකට එයින් කීපයක් කීපයක් බැගිනි. කීපය බැගින් උපදනා වූ ඒ ධර්මයන්ට මාර්ගාංග යන නාමය ද මාර්ග යන නාමය ද ලැබෙන නමුත් තෘෂ්ණා නාශක ශක්තිය ඒවාට නැති බැවින් ඒවා නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ච නො වෙති. මාර්ග සත්‍යය වනුයේ අටම එකවර කෙලෙස් නැසිය හැකි ශක්තියෙන් යුක්තව උපන් කල්හිය.
ක්ලේශ නාශක ශක්තියෙන් යුක්තව ලෝකෝත්තර භාවයට පැමිණ අට ම එකවර එක චිත්තයක උපදනා කල්හි ඒ ධර්මයන්ට පළමු වර පහළවීමේ දී සෝවාන් මාර්ග ය යි ද, දෙවන වර එසේ පහළවීමේ දී සකෘදාගාමී මාර්ග ය යි ද, තුන්වන වාරයේ දී අනාගාමී මාර්ග ය යි ද, සතරවන වාරයේ දී අර්හත් මාර්ග ය යි ද කියනු ලැබේ. මේ ධර්ම අට ලෝකෝත්තර වශයෙන් එකවර චිත්ත සන්තානයෙහි උපදවා ගත හැකි වන්නේ ඒ ධර්ම වෙන් වෙන් වශයෙන් ම සිය සිත් සතන්හි පෘථග්ජන කාලයේ දී දියුණු කළ තැනැත්තාට ය..
එබැවින් ලෝකෝත්තර මාර්ගය උපදවා නිවන් පසක් කරනු කැමති සත් පුරුෂයන් විසින් සම්‍යග්දෘෂ්ට්‍යාදි ධර්ම වෙන වෙන ම සිය සිත් සතන්හි දියුණු කළ යුතුය. එසේ දියුණු කරන්නා වූ තැනැත්තාට කවදා නමුත් එහි අවසානය වූ ලෝකෝත්තර මාර්ගය පහළ වන අවස්ථාවක් එළඹෙන්නේ ය. එසේ නො කරන්නා වූ තැනැත්තන්ට ඒ අගනා මොහොත කිසි කලෙක නො එළඹෙන්නේ ය. පූර්වභාගයෙහි ඒ ධර්ම වෙන් වෙන්ව දියුණු කර ගත හැකි වීමට ද ඒ ධර්ම අට මනා කොට දත යුතුය. එබැවින් මෙතැන් පටන් එකින් එක ඒවා විස්තර වශයෙන් දක්වනු ලැබේ.
[චතුරාර්‍ය්‍ය සත්‍යය, නමින් -අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ රචිත ග්‍රන්ථ රත්නයෙන් උපුටා ගැනින]
මහණෙනි,
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන ආර්ය අෂ්ටාඩ්ගික
මාර්ගය නැවත නැවත වඩන භික්ෂුව කෙසේ
නිවනට නැමී නිවනට හැරී නිවනට බරවන්නේද?
“මහණෙනි,
රාගය දුරු කිරීම අරමුණු කොට ඇති,
දෝසය දුරුකිරීම අරමුණු කොට ඇති,
මෝහය දුරුකිරීම අරමුණු කොට ඇති
සම්‍යක් දෘෂ්ටිය වඩව්.
[සම්‍යක් දෘෂ්ටිය :-
දැනීම වනාහි වැරදි දැනීමය, නිවැරදි දැනීමය යි දෙවැදෑරුම් වේ. වීදුරු කැබැල්ලක් මැණිකක් ය කියා හෝ මැණිකක් ම වීදුරු කැබැල්ලක් ය කියා හෝ සිතන්නහු ගේ දැනීම බඳු දැනීම් වලට වැරදි දැනීම යයි කියනු ලැබේ. සියල්ල නො දන්නා වූ තැනැත්තන් තුළ නොයෙක් විට නොයෙක් කරුණු පිළිබඳ වැරදි දැනීම් හෙවත් වැරදි හැඟීම් ඇති වේ. ඒ වැරදි හැඟීම් අතර එය එසේ ම යයි පිළිගෙන සිටින්නා වූ සත්ත්වයා මරණින් මතු අපායට පමුණුවන්නා වූ ද, ඔහුට ස්වර්ග මාර්ගය හා මෝක්ෂ මාර්ගය ආවරණය කරන්නා වූ ද, වැරදි දැනීම් කොටසක් ඇත්තේ ය. ඒ කොටස ආගම ධර්මයෙහි මිථ්‍යා දෘෂ්ටිය යන නමින් හඳුන්වනු ලැබේ.
පින් ය, පව් ය කියා දෙයක් නැත – ඒවා ලොව රවටා ලාභ ලැබීමට ඇතමුන් කියන දේවල් ය, දන් දීමෙන් වස්තු හීනවීම මිස මතු ලබන ඵලයක් නැත. ප්‍රාණඝාතාදියෙන් වැළකීම මෙලොව කරදර වීම හැර මතු වන ශුභ සිද්ධියක් නැත, අපායක් කියා හෝ දෙව්ලොව බඹලොවක් කියා තැනක් නැත, මරණින් මතු නැවත ඉපදීමකුත් නැත. බුදුවරුය, රහතුන්ය කියා විශේෂ පුද්ගල කොටසක් නැත යනාදි වැරදි දැනීම් මිථ්‍යා වලින් සමහරෙකි.
ඒ ඒ දේවල් පිළිබඳව ඇති සැටියට ම ඇතිවන්නා වූ දැනීමට නිවැරදි දැනීම යයි කියනු ලැබේ. ඒ නිවැරදි දැනීම් අතර ද මිථ්‍යා දෘෂ්ටි යයි කියන ලද වැරදි දැනීම දුරු කරන්නා වූ ද, සත්ත්වයා හට අපා දුකින් මිදී සුගතියෙහි ඉපදීමට උපකාර වන්නා වූ ද, සසර දුකින් මිදී නිවනට පැමිණීමට උපකාර වන්නා වූ ද, විශිෂ්ඨ දැනීම් කොටසක් ඇත්තේ ය. ඒ කොටසට සම්‍යග් දෘෂ්ටිය යි කියනු ලැබේ. පින් පව් ඇති බව දැනීම, පින් පව් වල ඵල ඇති බව දැනීම, මරණින් මතු ඉපදීමක් ඇති බව දැනීම යනාදිය ඒ කොටසට අයත් දැනීම්වලින් සමහරෙකි.
“සම්මාදිට්ඨි – සම්‍යග්දෘෂ්ටි යන වචන වල තේරුම නම් නිවැරදි දැනීම ය හෙවත් නුවණ ය යනුයි. සම්‍යග් දෘෂ්ටිය එකක් වුව ද දැනගනු ලබන කාරණයන්ගේ වශයෙන් අනේක ප්‍රභේද වන්නේ ය. එබැවින් නොයෙක් සූත්‍ර ධර්මයන්හි නොයෙක් ආකාරයෙන් සම්‍යග් දෘෂ්ටිය දක්වා තිබේ. කෙටි ක්‍රමයකින් කියතහොත් –
(a) දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය.
(b). චතුස්සත්‍ය සම්‍යග්දෘෂ්ටිය“
යයි, දෙවැදෑරුම් වන බව කිය යුතු ය.
එහි දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය යනු කරුණු දසයක් සම්බන්ධයෙන් පවත්නා වූ සම්‍යග්දෘෂ්ටියයි.

සම්මා දිට්ඨිකො හොති අවිපරීත දස්සනො, අත්ථි දීන්නං, අත්තියිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරොලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඕපපාතිකා, අත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා සමග්ගතා සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තී”ති
යනුවෙන් දශවස්තුක සම්‍යග්දෘෂ්ටිය ප්‍රකාශිතය.
මෙයින් දන්දීමේ විපාක ඇති බවය, පූජා කිරීමේ විපාක ඇති බවය, ගුණවතුන්ට පුද පඬුරු යැවීමේ විපාක ඇති බවය, කරන හොඳ නරක ක්‍රියාවල විපාක ඇති බවය, පරලොව සිටින්නන් නැවත මෙලොව ඉපදීම් වශයෙන් පැමිණෙන බවය, මෙලොව සිටින්නන් ඉපදීම් වශයෙන් පරලොවට පැමිණෙන බවය, මවට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, පියාට කරන හොඳ නරක දෙක්හි විපාක ඇති බවය, මරණින් මතු නැවත උපදින සත්ත්වයන් ඇති බවය, යහපත් මාර්ගයෙහි ගියා වූ යහපත් පිළිවෙත්හි පිළිපන්නා වූ මෙලොව පරලොව දෙක තෙමේ ම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂ කරගෙන මෙලොව පරලොව දෙක ලොවට ප්‍රකාශ කරන්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලෝකයෙහි ඇති බවය යන කරුණු දසය පිළිබඳ නිවැරදි දැනීම සම්‍යග්දෘෂ්ටිය බව දක්වන ලදි.
1. අත්ථි දින්නං
ශ්‍රමණබ්‍රාහ්මණ දුගී මගී යාචකාදීන්ට පින් සලකා පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ ආහාර පාන වස්ත්‍රාදි වස්තූන් පරිත්‍යාග කිරීමෙන් එසේ කරන්නා වූ තැනැත්තා හට අනාගතයෙහි බොහෝ සැප සම්පත් ලැබෙන බව ස්වශක්තියෙන් ම හෝ අන්‍යයන්ගෙන් ඇසීමෙන් හෝ දැන ඒ බව විශ්වාස කිරීම අත්ථිදින්නං යනුවෙන් දැක්වෙන්නා වූ සම්‍යග්දෘෂ්ටිය යි. දන් දීමෙන් දෙන තැනැත්තාගේ වස්තුව නැතිවීම මිස එයින් මතු ලැබෙන ඵලයක් නැතය යි වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.
2. අත්ථි යිට්ඨං
“යිට්ඨ” යනු මහා පූජා මහා දානයන්ට නමෙකි. බොහෝ මල් පහන් ආහාර පාන වස්ත්‍රාදිය ගෙන පවත්වන්නා වූ මහා පූජාවන්ගෙන් ද සිය ගණන් දහස් ගණන් ප්‍රතිග්‍රාහකයන් විෂයෙහි පවත්වන්නා වූ මහා දානයන්ගෙන් ද ඒවා කරන්නවුන්ට මතු දිව්‍ය මනුෂ්‍ය ලෝක දෙක්හි බොහෝ සම්පත් ලැබෙන බව දැනගැනීම පිළිගැනීම අත්ථි යිට්ඨ යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. ඇතැම්හු බොහෝ මල් පිදීමෙන් වනුයේ විහාරවල කසළ ගොඩ වීම පමණකැයි ද, බොහෝ පහන් පිදීමෙන් වනුයේ තෙල් විනාශ වීම පමණකැයි ද, විහාරවලට චෛත්‍යවලට ආහාරපාන පිදීමෙන් වනුයේ ආහාරපාන රාශියක් විනාශවීම පමණකැයි ද, මහා දන් දීමෙන් වනුයේ වස්තු රාශියක් විනාශ වීම පමණකැයි ද, ඒවායින් පූජා කරන්නවුන්ට මතු වන වැඩෙක් නැතැයි ද වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.
3. අත්ථි හුතං
පින් සලකා ගුණවතුන් වෙත ආහාර පානාදි වස්තූන් පඬුරු කොට යැවීම මරණින් මතු ඉෂ්ට ඵල විපාක ගෙන දෙන්නා වූ පුණ්‍ය කර්මයක් බව පිළිගැනීම අත්ථි හුතං යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. එයින් මතු ලැබෙන ඵලයක් නැතැ යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.
4. අත්ථි සුකටදුක්කටානං කම්මානං ඵලං විපාකො
යහපත් ක්‍රියාවෝ ය යි කියනු ලබන විහාර දාගැබ් දහම් හල් පොත්ගුල් කිරීම කරවීම පින් සලකා අන්‍යයන්ගේ ප්‍රයෝජනය පිණිස ළිං පොකුණු අම්බලම් කිරීම, කරවීම, අන්‍යයන් ගේ ප්‍රයෝජනය පිණිස මල් ඵල හට ගන්නා ගස් වැල් රෝපණය කිරීම, කරවීම, ගිලනුන්ට, දුබලයන්ට, මහල්ලන්ට, දිළිඳුන්ට උපකාර කිරීම, බණ කීම, බණ කියවීම, බණ ඇසීම, ඇස්වීම, පන්සිල් රැකීම, පොහොය අටසිල් රැකීම, දසසිල් රැකීම, පැවිදිවීම, භාවනා කිරීම යනාදියෙන් ඒවා කරන්නවුන්ට මතු භවයන්හි ලැබෙන්නා වූ ඉෂ්ට විපාකයන් ඒකාන්තයෙන් ඇත්තේ ය. එසේ ම නො මනා ක්‍රියාවෝ යයි කියනු ලබන ප්‍රාණඝාතාදි කර්මයන්ගෙන් ද, ඒවා කරන්නවුන්ට ඒවායින් මතු භවයන්හි ලැබෙන අනිෂ්ට විපාකයන් ද ඒකාන්තයෙන් ඇත්තේ ය. මෙසේ යහපත් වූ ද, අයහපත් වූ ද, කර්මයන්ගෙන් මතු ලබන ඵල-විපාක ඇති බව දැන ගැනීම විශ්වාස කිරීම අත්ථි සුකට දුක්කටානං කම්මානං ඵලං විපාකො යනුවෙන් දැක්වෙන සම්‍යක්දෘෂ්ටිය යි. මෙලොව දී කුමක් කළත් ඒවායින් මරණින් මතු පරලොව දී ලබන ඵල-විපාකයක් නැත ය යන පිළිගැනීම මිථ්‍යාදෘෂ්ටිය කි.
5. අත්ථි අයං ලොකො
අප වාසය කරන්නා වූ මේ ලෝකය හැර අපේ ලෝකයට සම වූ සැප දුක් ඇත්තා වූ අපේ ලෝකයට බොහෝ වෙනස් වූ සැප දුක් ඇත්තා වූ, තවත් බොහෝ ලෝකයෝ ඇත්තාහු ය. ලෝකවල වෙසෙන සත්ත්වයෝ වනාහි සෑම කල්හි ම එක ලෝකයක ම වාසය කරන්නෝ නොවෙති. ඔවුහු නොයෙක් වර තම තමා සිටින ලෝකවලින් චුත ව තමා වසන ලෝකයෙන් ඉතා දුර පිහිටි ලෝකයන්ට ද පැමිණෙන්නාහු ය. එබැවින් අපේ ලෝකයෙන් පිටත අන්‍ය ලෝකයන්හි වෙසෙන්නා වූ සත්ත්වයෝ ඒ ලෝකවලින් චුතව අප වාසය කරන්නා වූ මේ ලෝකයට එන්නාහු ය. එසේ අපේ ලෝකයෙන් ඈත ලෝකයෙහි සිටින සත්ත්වයන් හට ඉපදීම් වශයෙන් පැමිණීමට අපේ ලෝකය ද ඇති බව කියනු ලැබේ. එය එසේ දැන ගැනීම, පිළිගැනීම, අත්ථි අයං ලෝකෝ යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. එක ලෝකයක සිටින සත්ත්වයෙක් තවත් ලෝකයකට නො යන්නේ ය. අපේ ලෝකයෙන් පිටත ලෝකවල සත්ත්වයෝ ඒ ඒ ලෝකවලට ම වාසය කරන්නාහු මිස මේ ලෝකයට නො එන්නාහු ය යි ගැනීම මිථ්‍යාදෘෂ්ටියකි.
6. අත්ති පරො ලොකො
මෙලොව වාසය කරන්නා වූ සත්ත්වයා ද මෙලොවින් චුතව මේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝකාදි අන්‍ය ලෝකයන්ට ඉපදීම් වශයෙන් පැමිණෙන්නේ ය. එබැවින් මෙලොව සිටින්නා වූ සත්ත්වයාට ද ඉපදීම් වශයෙන් පැමිණෙන්නට පරලොවක් ඒකාන්තයෙන් ඇති බව අත්ථි පරො ලොකො යනුවෙන් දැක්වෙන සම්‍යග්දෘෂ්ටියයි. ඇතැම්හු මෙලොව සිටින්නා වූ සත්ත්වයෝ මෙලොව ම උපදනාහු නමුත් මේ ලෝකයෙන් අන්‍ය ලෝකයකට නො යන්නාහු ය. එසේ ඉපදීම් වශයෙන් පැමිණීමට මෙලොවින් පිටත තවත් ලෝකයක් නැත. අපායත් මේ ලෝකයේ ම ය, දෙව්ලොවත් මේ ලෝකයේ ම ය, බඹලොවත් මේ ලෝකයේ ම යයි වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.
7. අත්ථි මාතා
මව්වරුන්ට කරන්නා වූ උපකාරාපකාරයන් නිසා දරුවන්ට අනාගතයෙහි ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද විපාක කොටසක් ඒකාන්තයෙන් ලැබෙන්නේ ය. ඒ බව එසේ ම දැන ගැනීම පිළිගැනීම අත්ථිමාතා යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටියයි. මව්වරුන්ට කරන දේවලට ඵල-විපාකයක් නැත ය යි ගැනීම මිථ්‍යා දෘෂ්ටියකි.
8. අත්ථි පිතා
පියවරුන්ට කරන උපකාරාපකාරයන් නිසා මතු භවයන්හි දරුවන්ට ලැබෙන්නා වූ ඉෂ්ට වූ ද අනිෂ්ට වූ ද, ඵල-විපාකයන් ඇති බව පිළිගැනීම අත්ථි පිතා යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටියයි. පියවරුන්ට කරන උපකාරාපකාරයන්ට ලැබෙන ඵල විපාකයන් නැතය යි ගැනීම මිථ්‍යාදෘෂ්ටියකි.
9. අත්ථි සත්තා ඕපපාතිකා
මැරෙන සත්ත්වයන් එයින් කෙළවර නො වී තෘෂ්ණාව ප්‍රහාණය කරන තුරු කර්මානුරූපව සසර නැවත නැවතත් උපදනා බව පිළිගැනීම අත්ථි සත්තා ඕපපාතිකා යනුවෙන් දැක්වෙන සම්‍යග් දෘෂ්ටිය යි. තවත් ක්‍රමයකින් කියත හොත් ලෝකයෙහි මවක පියකු නොමැතිව කර්ම ශක්තියෙන් සර්වාංග ප්‍රත්‍යංග පරිපූර්ණත්වයෙන් පහළවීම් වශයෙන් උපදනා වූ සත්ත්ව කොටසක් ඇත්තේ ය. ඔවුන්ට ඕපපාතික සත්ත්වයෝ යයි කියනු ලැබේ. නරකයන්හි හා දිව්‍යලෝක බ්‍රහ්ම ලෝකයන්හි ඇත්තේ ඒ වර්ගයට අයත් සත්ත්වයෝ ය. ඕපපාතික නම් වූ එබඳු කොටසක් ඇති බව දැන ගැනීම පිළිගැනීම සම්‍යක් දෘෂ්ටිය යි.
“ඇතැම්හු දෙවියෝ ය, බ්‍රහ්මයෝ ය කියා සත්ත්ව කොටසක් සත්‍ය වශයෙන් නැත. ඔවුහු මනුෂ්‍යයන් විසින් සිතින් මවා, ඇති සේ ප්‍රකාශ කරනු ලබන සත්ත්ව කොටසක් ය. ඔවුන් ඇත්තේ මෝඩ මිනිසුන්ගේ සිත්වල පමණක් ය යි කියමින් ද, තවත් සමහරු දිව්‍ය බ්‍රහ්මයෝ නම් පෙර ඒ නම් වලින් විසුවා වූ මනුෂ්‍යයෝ ම ය, මනුෂ්‍යයන් හැර අමුතු ලෝකයක වෙසෙන දිව්‍ය බ්‍රහ්මාදීහු ය යි කියනු ලබන අමුතු ආනුභාවයක් ඇති මිනිසුන්ට නො පෙනෙන අමුතු සත්ත්ව කොටසක් නැත ය යි කියමින් ද ඕපපාතික සත්ත්වයන් නැත” ය යි වරදවා පිළිගනිති. එය මිථ්‍යාදෘෂ්ටියකි.
10. අත්ථි ලොකෙ සමණබ්‍රාහ්මණා සමග්ගතා
සම්මා පටිපන්නා යෙ ඉමඤ්ච ලොකං පරඤ්ච
ලෝකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති.
සාමාන්‍ය මනුෂ්‍යයන්ගේ සිහිනුවණට වඩා විශිෂ්ට වූ සිහි නුවණ හා කොතරම් අමාරු දෙයකට වුවත් නො පසුබස්නා වීර්‍ය්‍යය ද කොතරම් දුකක් වුවත් ඉවසන්නා වූ ස්වභාවය ද, උත්පත්තියෙන් ම පිහිටන්නා වූ උත්තම පුරුෂයෝ ලෝකයෙහි කලාතුරකින් උපදනාහු ය. එබඳු උත්තම පුරුෂයන්ගෙන් සමහර කෙනෙක් පැවිදිව මහත් වූ උත්සාහයෙන් ධ්‍යාන වඩා සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් ඇසේ උපකාරයෙන් දක්නා දේවල් ඇසේ උපකාරය නොමැතිව දැකිය හැකි වන්නා වූ ද, සාමාන්‍ය මනුෂ්‍යයන් විසින් කනින් අසා දැන ගන්නා වූ දේවල් කනින් නො අසා ම දත හැකි වන්නා වූ ද, පෙර ජාති වල දී පවා සිටි සැටි හා කළ කී දේ සිහි කළ හැකි වන්නා වූ ද, මැරෙන්නා වූ සත්ත්වයන්ගේ ඒ ඒ තැන්වල ඉපදීව කිය හැකි වන්නා වූ ද අභිඥාව ය යි කියනු ලබන විශිෂ්ට ඥානය උපදවා ගනිති.
ඒ ඥානය උපදවා ගත්තා වූ මහෝත්තමයෝ එයින් මිනිසුන්ගේ ප්‍රකෘති ඇසින් නො දැකිය හැකි සූක්ෂ්ම ශරීර ඇත්තා වූ දිව්‍ය බ්‍රහ්මාදි සත්ත්වයන් ඇසින් දක්නාක් මෙන් ම දක්නාහු ය. අපගේ ලෝකයට ඉතා දුරින් පිහිටි අපාය ලෝක හා දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ද ඒ තැන්වලට පැමිණ බලන්නකු විසින් දක්නා පරිද්දෙන් පිරිසිදුව දක්නාහු ය. නොයෙක් ආකාර සැප දුක් ඇති ඒ ඒ ලෝකවල ඉපිද සිටින සත්ත්වයන්ගේ උත්පත්තියට හේතු වූ කර්ම ද දක්නාහු ය. එසේ දක්නා වූ ඒ මහෝත්තමයෝ තමාගේ දැකීම පරිදි දිව්‍ය බ්‍රහ්මයන් ඇති බව ද ප්‍රේතයන් හා නේරයික සත්ත්වයන් ඇති බව ද ඔවුන්ගේ සැටි හා ඔවුන් විඳිනා සැප දුක් ද ඔවුන්ගේ වාසස්ථාන වූ ලෝක ද ප්‍රකාශ කරන්නා හ. පින් පව් ඇති බව ද පින් පව්වල ඵල-විපාක ඇති බව ද ප්‍රකාශ කරන්නාහු ය.
ලෝකයෙහි ඉතා දීර්ඝ කාලයකින් පහළ වන්නා වූ සමහර උත්තම පුද්ගලයෝ ඒ අභිඥා සංඛ්‍යාත ඥානය අර්හත්වයත් සමග සියල්ල දක්නා ඥානයත් සමග ද උපදවා ගන්නාහු ය. එබඳු පුද්ගලයන්ට බුදුවරයෝ ය යි කියනු ලැබේ. බුදුවරයෝ වනාහි අභිඥාව පමණක් උපදවා ගත්තවුන්ට නො පෙනෙන්නා වූ ඉතා දුර පිහිටි ලෝකයන් හා නිර්වාණයත් නිර්වාණ මාර්ගයත් සියල්ල දැන විශිෂ්ට වූ ධර්මයක් දේශනා කරන්නාහු ය. ඒ විශිෂ්ට ඥානය ඇති කරගෙන සිටින්නා වූ මහෝත්තමයන්ට එබඳු ඥානයක් ඇති බව පිළිගැනීම ද, උන් වහන්සේලා විසින් පවසන පරිදි තවත් ලෝක ඇති බව පිළිගැනීම ද, දිව්‍ය බ්‍රහ්මාදි වූ මිනිස් ඇසින් දැකිය නොහෙන ඕපපාතික සත්ත්වයන් ඇති බව පිළිගැනීම ද සතර මාර්ග සතර ඵල නිර්වාණ සංඛ්‍යාත නවලෝකෝත්තර ධර්මය ඇති බව පිළිගැනීම ද නිර්වාණයට පැමිණිය හැකි ප්‍රතිපත්ති හා ඒ ප්‍රතිපත්තියෙන් නිවනට පැමිණිය හැකි බව පිළිගැනීම ද අත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා-පෙ-පවෙදෙන්ති යනුවෙන් දැක්වෙන සම්‍යක් දෘෂ්ටිය යි.
අත්ථි දින්නං අත්ති යිට්ඨං යනාදීන් දක්වන ලද පූර්ව සම්‍යක් දෘෂ්ටි නවය ද අත්ථි ලොකෙ සමණ බ්‍රාහ්මණා යනාදීන් දක්වන මේ දසවන සම්‍යග්දෘෂ්ටියට ඇතුළත් වේ. එබැවින් මේ අන්තිම සම්‍යක් දෘෂ්ටිය කියන ලද සම්‍යග්දෘෂ්ටි වශයෙන් ප්‍රධාන සම්‍යග්දෘෂ්ටිය වන්නේය. පින් පව් හා ඒවායේ ඵල විපාක ඇති බව ද මතු ඉපදීමක් ඇති බව ද, අපාය හා දිව්‍ය බ්‍රහ්ම ලෝක ඇති බව ද, උගන්වන්නා වූ ඇතැම් අන්‍යාගම්වල ද මේ දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය ඇත්තේ ය. එහෙත් බුද්ධාගමෙහි තිබෙන දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය සේ අන්‍යාගම්වල තිබෙන ඒ සම්‍යග්දෘෂ්ටිය පිරිසිදු ද නැත. සම්පූර්ණ ද නැත. බුදුසස්නෙන් පිටත පවත්නා වූ ඒ සම්‍යග් දෘෂ්ටිය ස්වර්ගයට පැමිණීමට මිස නිවනට පැමිණීමට උපකාරක නො වේ. ඒ ආගම්වල නිවනක් නො දක්වන බැවිනි. බුද්ධාගම වනාහි දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝකයන් හා නිර්වාණය ද දක්වන්නා වූ ධර්මයක් බැවින් බුද්ධාගමෙහි ඇති දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය ස්වර්ග මෝක්ෂ දෙක ම ලබා ගැනීමට උපකාර වන්නේ ය.
දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍ය සත්‍යය යි කියන ලද ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවන අංගය වූ සම්‍යග් දෘෂ්ටිය මේ දශවස්තුක සම්‍යග් දෘෂ්ටිය නො වේ. එයට චතුස්සත්‍යය සම්‍යග් දෘෂ්ටිය යි කියනු ලැබේ. එය මේ දස වස්තුක සම්‍යග් දෘෂ්ටියට වඩා බොහෝ උසස් සම්‍යග් දෘෂ්ටියකි. දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය මෙහි දක්වන ලදුයේ පළමුව එහි නො පිහිටා චතුස්සත්‍යය සම්‍යග් දෘෂ්ටිය උපදවා ගන්නට හෝ නිවනට පැමිණෙන්නට ද නුපුළුවන් බැවින් එය ද වුවමනා බැවිනි. සසර දුකින් මිදී නිවනට පැමිණෙනු කැමති තැනැත්තන් විසින් පළමු කොට ශාසනික දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටිය යුතු ය. බුද්ධාගමට එන්නා වූ තැනැත්තන් පළමුකොට ම තිසරණයෙහි පිහිටුවන්නේ ඔවුනට තිසරණය සමාදන් කරවන්නේ ඔවුන් මේ ශාසනික දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටුවීම පිණිස ය. යමෙක් ත්‍රිවිධ රත්නය සරණ යෑමෙන් දශ වස්තුක සම්‍යක් දෘෂ්ටියෙහි පිහිටියේ නම් එයට බැස ගන්නේ වේ නම් එය නිර්වාණ ගාමිනී මාර්ගයට පළමු පියවර තැබීම වන්නේ ය.
පළමුව දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි නො පිහිටා මාර්ග ඵලාධිගමනය කොට නිවන් ගිය කෙනෙක් නැත්තේ ය. යමෙක් පෙර සසර දුකින් මිදී නිවනට පැමිණියාහු නම් ඒ සියල්ලෙන් ම නිවනට පැමිණියේ පළමු දශවස්තුක සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා පිළිවෙත් පිරීමෙන් ය. අනාගතයෙහි යමකුට නිවනට පැමිණිය හැකි වන්නේ නම් එසේ හැකි වන්නේ ද මේ සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා පිළිවෙත් පිරීමෙන් ය. එබැවින් සසර දුකින් මිදෙනු කැමති සෑම දෙනා විසින් ම සම්‍යග් දෘෂ්ටිය පිරිසිදු කර ගත යුතුය. අපායක් නැත, දෙව්ලොවක් නැත යනාදීන් ඇතමුන් පවසන මිථ්‍යා මතවලට මුළා නොවිය යුතුය. යම් යම් කරුණක් ගැන සැක ඇති වුවහොත් එය සිඳීමට තරම් බණ දහම් දැනුම ඇති නියම සම්‍යග් දෘෂ්ටියෙහි පිහිටා සිටින උතුමකු වෙත එළඹ කරුණු විචාරා සැක දුරු කර ගෙන දෘෂ්ටිය පිරිසිදු කරගත යුතු ය. මෙකල ගිහියන් අතර පමණක් නොව බෞද්ධ භික්ෂූන් අතර ද මිථ්‍යාමතධාරීන් නැත්තේ නො වේ. ඔවුන්ගෙන් පරෙස්සම් වෙත්වා. අපාය භයින් මිදීමට ස්වර්ග මෝක්ෂ සම්පත් ලබා ගැනීමට සම්‍යග් දෘෂ්ටිය සේ උපකාරක අන්‍ය ධර්මයක් නැත.
“නාහං භික්ඛවෙ! අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි,
යෙන අනුප්පන්නා වා කුසලා ධම්මා උප්පජ්ජන්ති,
උප්පන්නා වා කුසලා ධම්මා භීය්‍යොභාවාය
වෙපුල්ලාය සංවත්තන්ති. යථයිදං භික්ඛවෙ සම්මාදිට්ඨි.
සම්මාදිට්ඨිකස්ස භික්ඛවෙ! අනුප්පන්නා චෙව
කුසලා ධම්මා උප්පජ්ජන්ති;
උප්පන්නා ච කුශලා ධම්මා භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තන්ති”
“මහණෙනි, සම්‍යග් දෘෂ්ටිය පමණ නූපන්නා වූ කුශල ධර්මයන් ඉපදීමට හේතුවන්නා වූ ද උපන් කුශල ධර්මයන් වැඩීමට හේතු වන්නා වූ ද අන් ධර්මයක් නො දනිමි. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිකයා හට නූපන් කුශලයෝ ද උපදනාහ. උපන් කුශලයෝ ද වැඩෙන්නාහු ය” යනු මෙහි තේරුමයි.
තත්ථ කතමා සම්මාදිට්ඨි?
දුක්ඛෙ ඤාණං, දුක්ඛ සමුදයෙ ඤාණං,
දුක්ඛ නිරොධෙ ඤාණං, දුක්ඛ නිරොධ ගාමිනියා පටිපදාය ඤාණං,
අයං වුච්චති සම්මා දිට්ඨි”
මේ චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය විස්තර කර තිබෙන්නා වූ සිය ගණනක් සූත්‍ර ධර්මවල හා අභිධර්ම පිටකයෙහිත් මාර්ග සත්‍යයට අයත් සම්මාදිට්ඨිය දේශනා කර තිබෙන ආකාරයයි. දුක්ඛ සත්‍ය දන්නා ඥානය, සමුදය සත්‍ය දන්නා ඥානය, නිරෝධ සත්‍ය දන්නා ඥානය, මාර්ග සත්‍ය දන්නා ඥානය යන මේ සතර, සම්‍යග් දෘෂ්ටියයි මෙයින් දක්වන ලදි. චතුස්සත්‍ය සම්බන්ධයෙන් පවත්වා බැවින් මේ ඥානයට චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියයි කියනු ලැබේ.
මෙයට පළමුවෙන් දැක් වූ දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය වනාහි බුද්ධාගමෙන් අන්‍ය වූ ආගම් වල ද ඇත්තේ ය. මේ චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය වනාහි බුද්ධාගමෙහි ම මිස අන් කිසි ම ආගමක නැත්තේ ය. බුද්ධෝත්පාද කාලවලදී මිස අබුද්ධෝත්පාද කාලවලදී මෙය ලෝකයෙහි නැත්තේ ය. එබැවින් මෙය දුර්ලභ වූ සම්‍යක් දෘෂ්ටියෙකි. අනේකාකාර සම්‍යක් දෘෂ්ටීන් අතුරෙන් ශ්‍රේෂ්ඨ සම්‍යක් දෘෂ්ටිය ද මෙය ම ය. මේ ශ්‍රේෂ්ඨ සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගැනීම සඳහා චතුරාර්‍ය්‍ය සත්‍ය ධර්මය මැනවින් උගත යුතු ය. මෙය කියවන්නා වූ සමහරුන්ට “පෙර කී දශ වස්තුක සම්‍යක් දෘෂ්ටිය ඕනෑ නැත. චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය දැන උගෙන චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය පමණක් ඇති කර ගත්තාම ඇත” යයි සිතෙන්නට පුළුවන. එසේ සිතුන හොත් එය වැරදීමකි.
මේ චතුස්සත්‍ය සම්‍යක් දෘෂ්ටිය ඉතා පුළුල් සම්‍යග් දෘෂ්ටියකි. දශ වස්තුක සම්‍යග් දෘෂ්ටිය ද මෙයට ඇතුළත් වේ. චතුස්සත්‍ය දත් තැනැත්තෙක් වුවහොත් හෙතෙම ඒකාන්තයෙන් පින් පව් ඇති බව, පින් පව් වල ඵල විපාක ඇති බව, පරලොව ඇති බව යනාදිය පිළිගන්නෙක් වේ. ඒවා නො පිළිගන්නකු වුවහොත් ඔහු චතුරාර්‍ය්‍ය සත්‍ය දත් තැනැත්තෙක් හෙවත් චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික වූවෙක් නො වන්නේ ය. එහෙත් දශ වස්තුක සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික වූ පමණින් චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටියෙන් සම්‍යග් දෘෂ්ටික නොවන්නේ ය.
මේ චතුස්සත්‍ය සම්‍යග් දෘෂ්ටිය සාමාන්‍යයෙන් එකක් කොට කියනු ලබන නමුත් දුක්ඛ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය, සමුදය සත්‍ය සම්‍යග් දෘෂ්ටිය, නිරෝධ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය, මාර්ග සත්‍ය සම්‍යග් දෘෂ්ටිය යි සත්‍යයන්ගේ වශයෙන් සතරක් වේ.
එයින් දුඃඛ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි පඤ්චස්කන්ධය දුක් රැසක් මිස සත්ත්වයෙක් පුද්ගලයෙක් ආත්මයක් නො වන බව පෙනීමෙන් සත්කාය දෘෂ්ටිය දුරුවේ. සමුදය සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි තෘෂ්ණා හේතුවෙන් සත්ත්වයා මතු භවයෙහි උපදවන බව දැකීමෙන් මරණින් මතු ඉපදීමක් නැතය යන උච්ඡේද දෘෂ්ටිය දුරු වේ. නිරෝධ සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි හේතු ධර්මයන්ගේ නිරෝධයෙන් ඵල ධර්මයන්ගේ නිරෝධය වන බව දැකීමෙන් ආත්මය නිත්‍යය යි ගන්නා වූ ශාශ්වත දෘෂ්ටිය දුරු වේ. මාර්ග සත්‍ය සම්‍යග් දෘෂ්ටිය ඇති වූ කල්හි ප්‍රතිපත්තිය කරණ කොට ගෙන නිවනට පැමිණෙන බව අවබෝධ වීමෙන් සත්ත්වයන්ගේ ඒ ඒ ජාතිවල ඉපදීම හා විශුද්ධියට පැමිණීම, ඉබේම සිදුවනවා මිස තමා විසින් කරන්නා වූ හෝ ශ්‍රමණ බ්‍රාහ්මණාදි අනිකකු විසින් කරන්නා වූ හෝ ක්‍රියාවකින් ප්‍රතිපත්තියකින් සිදු නො වේය යන “නත්ථි අත්තකාරො නත්ථි පරකාරෙ නත්ථි පුරිසකාරෙ” යනාදීන් දැක්වෙන අක්‍රිය දෘෂ්ටිය ද කිසි ම හේතුවක් ප්‍රත්‍යයක් නැතිව ඉබේ ම සත්ත්වයන්ගේ කෙලෙසීම හා පිරිසිදු වීමත් සිදු වන්නේ ය යන අහේතුක දෘෂ්ටිය ද දුරු වේ.
තවද දුඃඛ සත්‍යය දැනීම හේතු කොට ගෙන සමුදය සත්‍යයාගේ ඵලය වූ නිත්‍ය-සුභ-සුඛ-ආත්ම ස්වභාවයන්ගෙන් විරහිත වූ පංචස්කන්ධය සම්බන්ධයෙන් පවත්නා වූ පංචස්කන්ධය නිත්‍යය, යහපත් ය, සුවයක් ය, ආත්මයක්ය යන වැරදි හැඟීම් දුරුවන්නේ ය. සමුදය සත්‍යය තත්ත්වාකාරයෙන් නො දැනීම හේතු කොට ගෙන ලොව විසූ නොයෙක් ශාස්තෘවරයන් විසින් ඇති කරන ලද දෘෂ්ටි බොහෝ ය.
(1) සර්වබලධාරී වූ යම්කිසි දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් හෝ මේ ලෝකය ද මවන්නේ ය. මවා ඔහුගේ කැමැත්ත පරිදි ලෝකය පවත්වන්නේ ය, විනාශ කරන්නේ ය යනු එක් දෘෂ්ටියකි. එයට ඊශ්වර නිර්මාණ වාදය යයි කියනු ලැබේ.
(2) ප්‍රකෘතිය යි කියන ලද අව්‍යක්ත හේතුවක් ඇත්තේ ය. ලෝකයත් ලොව ඇති සියල්ලත් එයින් හට ගන්නේය: සත්ත්වයෝ ද එයින් ම පහළ වන්නෝය: විනාශය පැමිණි කල්හි නැවත සියල්ල ම ඒ ප්‍රකෘති ස්වභාවයට පැමිණ සැඟවෙන්නේ ය: ලොව මවන්නා වූ, මවා පාලනය කරන්නා වූ, ප්‍රකෘති ස්වභාවයෙන් අන්‍ය වූ ඊශ්වරාදි කිසිවෙක් නැත යනු එක් දෘෂ්ටියෙකි. එයට ‘ප්‍රධාන වාදය’ යි ද ‘ප්‍රකෘති වාදය’ යි ද කියනු ලැබේ.
(3) දිව්‍ය බ්‍රහ්මාදි කිසි ම කෙනකුගේ බලයකින් නොව කාලය හේතු කොට ම ලෝකයේ ද සත්ත්වයන් ගේ පහළ වීමත් විනාශයක් වන්නේ ය: ලොව මවන්නාත් නසන්නාත් කාලය ම ය යනු එක් දෘෂ්ටියකි. එයට “කාලවාදය” යි කියනු ලැබේ.
(4) උල් කරන්නා වූ කෙනකු නො මැති ව ගස්වල කටු උල් වීම ය, වට කරන්නකු නොමැතිව බෙලි දිවුල් ආදි ගෙඩි වටවීම ය, විසිතුරු කොට සරසන කෙනකු නොමැතිව මෘග පාක්ෂීන්ගේ ශරීර නොයෙක් වර්ණවලීන් සැරසීම ය යනාදිය ස්වභාව ශක්තියෙන් ම සිදුවන්නාක් මෙන්, ස්වභාව ශක්තියෙන් ම ලෝකය මැවී ස්වභාව ශක්තියෙන් ම ලෝකය නැසේ ය යනු එක් දෘෂ්ටියකි. එයට ‘ස්වභාව වාදය’ යි කියනු ලැබේ.
සමුදය සත්‍යය නො දැකීමෙන් නැගී තිබෙන්නා වූ තවත් මෙබඳු මිථ්‍යාවාද සියල්ල ම සමුදය සත්‍යය අවබෝධ කරන්නා වූ තැනැත්තාට සම්‍යග්දෘෂ්ටිය නිසා දුරු වන්නේ ය. ඇතැමෙක් සත්‍ය වූ නිර්වාණය නො දැනීම නිසා අසංඥතල අරූපතලාදි ස්ථානයන් නිර්වාණයයි වරදවා ගෙන ඒවාට පැමිණෙනු සඳහා උත්සාහ කරන්නාහු ය. නිරෝධ සත්‍යාවබෝධක ඥානය එබඳු හැඟීම් දුරු කරන්නේ ය. මාර්ග සත්‍යාවබෝධක ඥානය කාමසුඛල්ලිකානුයෝග අත්තකිලමථානුයෝගාදි වූ අවිශුද්ධ මාර්ගයන් විශුද්ධි මාර්ගය යි වරදවා ගෙන පිළිපදින්නවුන්ගේ ඒ වැරදි හැඟීම් දුරු කරන්නේ ය.
මේ සම්‍යග් දෘෂ්ටි සංඛ්‍යාත මාර්ගාංගය ස්වසන්තානයෙහි උපදවනු කැමතියන් විසින් ලබනු කැමතියන් විසින් දුඃඛාදි ආර්‍ය්‍ය සත්‍යයන් වෙන වෙන ම ගුරුන් වෙතින් උගෙන නැවත නැවත පුරුදු පුහුණු කළ යුතු ය. එසේ කරන කල්හි ඒ ඒ සත්‍යයන් දන්නා වූ සම්‍යග් දෘෂ්ටිය ඔවුන් තුළ පහළ වන්නේ ය. ඒ ඥානය ලෞකික ය. එය දියුණු කර ගෙන යන කල්හි යම් කිසි දිනයක දී ආර්‍ය්‍ය සත්‍ය සතර ම එක් වර දැක කෙලෙසුන් නසා නිවනට පමුණුවන්නා වූ ලෝකෝත්තර සම්‍යග් දෘෂ්ටිය මාර්ග චිත්තයන් සමග පහළ වන්නේය.
[උපුටා ගැනීම -අතිපූජනීය රේරුකානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ රචනා කල චතුරාර්‍ය්‍ය සත්‍යය, ග්‍රන්ථ රත්නයෙනි.]
රාගය දුරුකිරීම අරමුණු කොට ඇති,
දෝසය දුරු කිරීම අරමුණු කොට ඇති.
මෝහය දුරුකිරීම අරමුණු කොට ඇති
සම්‍යක් සංකල්පය වඩව්.
[සම්‍යක් සංකල්පය
අන්ධකාරයෙහි සිට තමා අවට තිබෙන දේවල් අතගා බලා දැනගන්නා කෙනකුට දත හැකි වන්නේ තමා අවට තිබෙන දේවල් අතුරෙන් යම් යම් දෙයකට තමාගේ අත පැමිණියේ නම් ඒ ඒ දේවල් පමණකි. යමකට අත නො පැමිණියේ නම් ඒ දේවල් ඇති බව ඔහුට නො දැනෙන්නේ ය. එමෙන් යම් යම් අරමුණකට සිත පැමිණියේ නම් ඒ සිත පැමිණියා වූ දේවල් පමණක් අපට දැනෙන්නේ ය. සිත නො පැමිණි දේවල් නො දැනෙන්නේ ය. සිත ඉබේට ම පැමිණෙන්නේ චක්ෂුරාදි ඉන්ද්‍රියයන් හා ගැටීමට පැමිණියා වූ රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍රෂ්ටව්‍යයන් කරා පමණෙකි. ඉතිරි සියලු ම අරමුණු කරා සිත උත්සාහයෙන් පමුණුවා ගත යුතු ය. නො පැමිණියා වූ අරමුණු කරා සිත පැමිණවීමට හෙවත් නො දත් දෙය දෙසට සිත යොමු කිරීමට – යැවීමට කල්පනා කිරීම යයි කියනු ලැබේ. නො පැමිණියා වූ අරමුණු කරා සිත යොමු කරනුයේ සිත හා උපදනා එක්තරා චෛතසික ධර්මයකින් ය. එයට විතර්ක චෛතසික ය යි ද ‘සංකප්ප’ ය යි ද කියනු ලැබේ. මේ චෛතසික ධර්මයට බොහෝ සෙයින් කියනු ලබන්නේ කල්පනා කිරීමය කියා ය.
කල්පනාවන් අතර ද තමා හට හා ලෝකයා හට ද අහිත පිණිස අනර්ථය පිණිස පවත්නා වූ කල්පනාවෝ ද ඇත්තාහු ය. යහපත පිණිස පවත්නා වූ කල්පනාවෝ ද ඇත්තාහු ය. එයින් අයහපත පිණිස පවත්නා වූ කල්පනාවන්ට මිථ්‍යා කල්පනාය යි ද යහපත පිණිස පවත්නා කල්පනාවන්ට සම්‍යක් කල්පනාය යි ද කියනු ලැබේ. මෙයින් සම්‍යක් සංකල්පය යි කියනු ලබනුයේ ඒ යහපත් කල්පනාවන්ට ය. යහපත් කල්පනාවෝ බොහෝ වන්නාහ. එයින් මේ මාර්ග සත්‍යයෙහි ගනු ලබන්නේ තුනෙකි. එබැවින් මෙහි අදහස් කරන සම්‍යක් සංකල්පය දක්වනු පිණිස-
“තත්ථ කතමො සම්මාසංකප්පො? නෙක්ඛම්ම සංකප්පො,
අව්‍යාපාද සංකප්පො, අවිහිංසා සංකප්පො,
අයං වුච්චති සම්මාසංකප්පො.” යනු වදාරන ලදි.
නෛෂ්ක්‍රම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය
යන මේ තුන මෙහි අදහස් කරන සම්‍යග් සංකල්පය බව මෙයින් දක්වන ලදි.
1.නෛෂ්ක්‍රම්‍ය සංකල්පය
යමකින් නික්මීමට-පිටවීමට-මිදීමට-අස්වීමට නෛෂ්ක්‍රම්‍ය ය යි කියනු ලැබේ. සත්ත්වයෝ වනාහි ඉෂ්ට රූප-ශබ්ද-ගන්ධ-රස-ස්ප්‍රෂ්ටව්‍ය සංඛ්‍යාත පඤ්ච කාමයෙහි ඇලී සිටින්නෝ ය, ගැලී සිටින්නෝ ය, බැඳී සිටින්නෝ ය. පඤ්චකාමයෙහි බැඳී සිටින්නා වූ සත්ත්වයන්ගේ පඤ්චකාමයෙන් මිදී ඉන් බැහැරට යාමට, පඤ්චකාම සංඛ්‍යාත සිරගෙයින් පිට වී යාමට මෙහි නෛෂ්ක්‍රම්‍ය ය යි කියනු ලැබේ. යම් කල්පනාවකින් සත්ත්වයෝ පඤ්චකාමය හැර ඉන් බැහැරට යෙත් ද හෙවත් පඤ්චකාමයෙහි බැඳී තිබෙන්නා වූ සත්ත්වයාගේ සිත ඉන් බැහැරට යේද, ඒ කල්පනාවට මෙහි නෛෂ්ක්‍රම්‍ය සංකල්පය යි කියනු ලැබේ. පඤ්චකාමයට සිත පමුණුවන්නා වූ තෘෂ්ණා සහගත කල්පනාව කාම සංකල්ප නමි. නෛෂ්ක්‍රම්‍ය සංකල්පය කාම සංකල්පයට විරුද්ධ ධර්මයයි. එය කාම සංකල්පයාගේ උත්පත්ති හේතුව නසමින් උපදනේ ය.
මෙය පූර්ව භාගයෙහි පෙහෙවස් විසීම ය, පැවිදි වීම ය, ධූතාංග පිරීම ය, සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය යන මේවායින් ලෞකික චිත්තයෙහි උපදවා ගත යුතු ය. පොහොය සිල් සමාදන් වීම ද එක්තරා ප්‍රමාණයකින් කාමයන් හැර දැමීමකි. එබැවින් එය ද නෛෂ්ක්‍රම්‍යයකි. පැවිදිවීම ධූතාංග රක්ෂා කිරීම හා භාවනාවෙහි යෙදීම ද බොහෝ කාමයන්ගෙන් නික්මීමකි. මේ සඳහා කාම විතර්කයාගේ දොස් මෙනෙහි කිරීම ද මැනවි. මෙසේ කරගෙන යන්නා වූ තැනැත්තා තුළ තදංග වශයෙන් කාම විතර්කයන් ප්‍රහාණය කරන්නා වූ ලෞකික නෛෂ්ක්‍රම්‍ය සංකල්පය උපදී. විදර්ශනා වැඩීමෙන් මෙය දියුණු තියුණු වීමෙන් මාර්ග චිත්තය පහළ වන්නේ ය. ඒ සමයෙහි මෙය ලෝකෝත්තර බවට පැමිණ මතු නූපදනාකාරයෙන් කාම විතර්කයාගේ උත්පත්ති හේතු නසමින් මාර්ග චිත්තය සමග උපදනේ ය.
චතුරාර්ය සත්‍යයේ සිව්වැනි පදය අපේ ජීවිතවල ඔපරේටින් සිස්ටම් එක ලෙස පවත්වා ගත යුතුය. සසරින් ගැලවීමේ ක්‍රම වේදය එය නිසාය. අංග අටකින් යුතු මේ මාර්ගයේ අංග අට, කාණ්ඩ අටකට බෙදා දැන ගත හැකිය.
සීල සමාධි ප්‍රඥා ලෙස සාමාන්‍යයෙන් උගන්වන මේ ක්‍රම වේදය ගැන විමසීමෙන් බැලුවොත්. මෙසේ කිව හැක.
ප්‍රඥා කාන්ඩයට ඇති දිට්ඨිය හා සංකප්ප යනු අපට ඇතිවිය යුතු ඕනෑකම ය. අප කර්ම ඵල ගැන විස්වාස කරනවානම් යලි යලි ඉපිදෙනවාය කියන්නේ ඇත්ත බව විස්වාස කරනවා නම්, මේ ඉපදෙන කොතැනකවත් දුක් මිස සැප නැති බව, අසහනය මිස සැනසීමක් නැතිබව නිවැරදි දැකීමයි. ඒ ඉපදීම නවතා ලන්නට භාග්‍යවතුන් වහන්සේ ඉගැන්වූ මේ ක්‍රමය ගැන විශ්වාස කරගෙන එහි යාමට ඉටා ගැනීම සම්මා සංකප්පයයි. ඒ දෙකොටස නැත්නම් මේ අරි අටඟ මගේ යන්නට කිසි ඕනෑකමක් ඇති වෙන්නේ නැත.
මේ ජීවිත්වන සුළු කාලයේ දී කයෙන්, වචනයෙන් සංවරවී අකුසල් සංස්කාර නොහදා ගැනීම සීල කොටසයි. අකුසල නොකිරීම , දන් දීම්, පුද පුජා කිරීම ආදී කුසල් කිරීමෙන් නොනැවතී භාවනාව ජීවත්වීම කරගෙන , ජීවත්වීම භාවනාව කරගෙන හැසිරීම තුන් වනුව දැක්වෙන කාණ්ඩයයි. මේ අට අංගය එකකින් පසුව ඊළඟ එක ලෙස නොව සියල්ල එකවරම වඩා ගත යුතු ගුණයන්ය.
. Link
2. අව්‍යාපාද සංකල්පය
මනුෂ්‍ය තිරශ්චීනාදි අන්‍ය සත්ත්වයන් හට යහපතක් සැපතක් වනු කැමති බව වූ ද, සැපයක් සලසනු කැමති බව වූ ද, මෛත්‍රිය හා යුක්ත වූ කල්පනාව අව්‍යාපාද සංකල්ප නමි. මෙය අනුනට නපුරක් වනු කැමති බව වූ ද, නපුරක් කරන බව වූ ද ද්වේෂයෙන් යුක්ත කල්පනාව වූ ව්‍යාපාද සංකල්පයට විරුද්ධ වූ ධර්මයකි. ව්‍යාපාද විතර්කයාගේ ආදීනව සැලකීමෙන් ද මෛත්‍රිය වැඩීමෙන් ද අව්‍යාපාද සංකල්පය, මාර්ගයට පූර්වයෙහි ලෞකික වශයෙන් ඇති කරමින් දියුණු කළ යුතු ය. දියුණු වූ කල්හි මාර්ග චිත්තය සමග ලෝකෝත්තර භාවයට පැමිණ ඉපිද ව්‍යාපාද විතර්කයාගේ උත්පත්ති හේතූන් සමුච්ඡේද වශයෙන් නසන්නේ ය.
3. අවිහිංසා සංකල්පය
දුඃඛිත සත්ත්වයන් දුකින් මුදවනු කැමති බව වූ කරුණාව හා යුක්ත වූ කල්පනාව අවිහිංසා සංකල්ප නමි. මෙය අන්‍ය සත්ත්ව පුද්ගලයන්ට හිංසා කරන ස්වභාවය වූ ද්වේෂය හා යුක්ත වූ විහිංසා විතර්කයට ප්‍රතිවිරුද්ධ වූවකි. මෙය උපදනා කල්හි තදංග වශයෙන් හෝ සමුච්ඡේද වශයෙන් හෝ විහිංසා විතර්කයාගේ හේතුව නසමින් උපදනේ ය. මෙය දුඃඛිතයනට උපකාර කිරීම ය, කරුණා භාවනාවෙහි යෙදීම ය, විහිංසාවෙහි ආදීනව සැලකීම ය යනාදියෙන් සන්තානයෙහි නැවත නැවත උපදවා දියුණු කොට ලෝකෝත්තරත්වයට පමුණුවා ගත යුතුය.
නෛෂ්ක්‍රම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මේ තුන ලෞකික අවස්ථාවෙහි වෙන් වෙන් වූ සිත් සමඟ, වෙන් වෙන් වූ කෘත්‍ය තුනක් සිදු කරමින් වෙන් වෙන් වූ අවස්ථාවල ධර්ම තුනක් වශයෙන් උපදින නමුත් මාර්ගක්ෂණයෙහි ලෝකෝත්තර භාවයට පැමිණ උපදිනුයේ සම්‍යක් සංකල්පය නමැති එක ම ධර්මයක් වීමෙනි. එයින් නෛෂ්ක්‍රම්‍ය සංකල්පාදි සංකල්ප තුනෙන් ම සිදුවන්නා වූ කෘත්‍යයෝ සිදු වන්නාහ. එබැවින් මාර්ග චිත්ත සම්ප්‍රයුක්ත වූ එකක් ම වූ සම්‍යක් සංකල්පය ධර්ම තුනක් සේ වර්ණනා කරනු ලැබේ.

සම්‍යක් වචන දොඩව්.
[සම්‍යක් වචන
ලෝකයෙහි අර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ නිරවද්‍ය වචනයට සම්‍යග් වචනය යි ද, සම්මාවාචා ය යි ද කියනු ලැබේ. මාර්ග සත්‍යයට අයත් වූ සම්‍යක් වචනය වනාහි එය නො වේ. මාර්ග සත්‍යයට ගනු ලබන සම්‍යක් වචනය-
“තත්ථ කතමා සම්මා වාචා?
මුසාවාදා වෙරමණී, පිසුණා වාචා වෙරමණී,
ඵරුස වාචා වෙරමණී, සම්ඵප්පලාපා වෙරමණී
අයං වුච්චති සම්මා වාචා” යි විභංග පාළියෙහි වදාරා තිබේ. “එහි සම්මා වාචා නම් කවරීද යත්? මුසාවාදයෙන් වැළකීම ය, පිසුණාවාචයෙන් වැළකීම ය, ඵරුසාවාචයෙන් වැළකීම ය, සම්ඵප්‍රලාපයෙන් වැළකීම ය යන මෙය සම්මා වාචා නම් වේ ය යනු එහි තේරුම යි.
“මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සිකපද සමාදන් වන්නා වූ ද, සිකපද සමාදානයක් නො කොට “මෘෂාවාදාදියෙන් වළකිමි” යි ඉටන්නා වූ ද මුසාවාදාදි වූ නො මනා වචන කියයුතු අවස්ථා පැමිණි කල්හි ඒවා කීමෙන් වැළකී යහපත් වචන කියන්නා වූ ද, තැනැත්තා ගේ ඒ ක්‍රියා සිදුකිරීම් වශයෙන් උපන්නා වූ සිත්වල මෘෂාවාදාදියෙන් වලක්නා වූ එක්තරා ශක්ති විශේෂයක් ඇත්තේ ය. එය දෙපණස් චෛතසික ධර්මයන්ට අයත් වූ සම්මා වාචා නම් වූ චෛතසිකය යි. ඒ චෛතසික ධර්මය බොරු කීමෙන් වළක්නා ආකාරයෙන් ද, කේලාම් කීමෙන් වළක්නා ආකාරයෙන් ද, ඵරුෂ වචන කීමෙන් වළක්නා ආකාරයෙන් ද, සම්ඵප්‍රලාපයෙන් වළක්නා ආකාරයෙන් ද පවත්නේ ය. මුසාවාදයෙන් වැළකීම් ආදි කරුණු සතර සම්මාවාචා ය යි දක්වන ලද්දේ එහෙයිනි.
සසර දුකින් මිදෙනු කැමති සත්පුරුෂයන් විසින් බොරු ආදිය කීමෙහි ආදීනව මෙනෙහි කිරීමෙන් ද මහා සුතසෝම රාජ චරිතය, සානු සාමණේර චරිතාදිය මෙනෙහි කිරීමෙන් ද, සත්‍යයෙහි අගය සැලකීමෙන් ද, බොරු කීමෙන් වැළකී සත්‍යය කීමෙන් ද, කේලාම් නමැති ඔවුනොවුන් බිඳුවන වචන නො කියා එයින් වැළකී අන්‍යයන්ගේ සමගිය දියුණු වන වචන කීමෙන් ද, පරුෂ වචන නම් වූ අනුන්ගේ සිත් රිදවන නපුරු වචන නො කියා, තමහට එබඳු වචනයෙන් අන්‍යයන් බණින කල්හි පවා මෘදු යහපත් වචන කීමෙන් ද, සම්ඵප්‍රලාප නම් වූ තමාගේ හා අන්‍යයන්ගේ ද දෙලොව වැඩ නසන නිෂ්ඵල වචන කීමෙන් වැළකී සෑම කල්හි ම අර්ථ ධර්ම ප්‍රතිසංයුක්ත වූ යහපත් වචන ම කීමෙන් ද සම්මා වාචාව පුරුදු පුහුණු කළ යුතු ය. වැඩිය යුතු ය.
මෙසේ සම්‍යග් වචනය නමැති මාර්ගාංගය පුරුදු පුහුණු කරන්නවුන්ගේ සිත් සතන්හි මෘෂාවාදාදියෙන් වළකින අවස්ථාවන්හි උපදනා වූ සම්මා වාචාව වනාහි ලෞකික ය. එය මෘෂාවාදාදියට කරුණු වන පුද්ගලයන් හා වස්තූන් අරමුණු කොට පවත්නේය. මෘෂාවාදයෙන් වැළකීම් වශයෙන් සත්‍යය කියන කල්හි එය මෘෂාවාදය ප්‍රහාණය කිරීම් වශයෙන් පවත්නේය. කේළාම් කීමෙන් වැළකීම් වශයෙන් යහපත් වචන කියන කල්හි පිසුණාවාචය ප්‍රහාණය කිරීම් වශයෙන් පවත්නේය. පරුෂ වචනයෙන් හා සම්ඵප්‍රලාපයෙන් වැළකීම් වශයෙන් යහපත් වචන කියන කල්හි ඵරුෂාවාචය හා සම්ඵප්‍රලාපය ප්‍රහාණය කිරීම් වශයෙන් පවත්නේය.
සම්‍යග් වචනය පුරුදු පුහුණු කරමින් දුශ්චරිතයෙන් වැළකී සිටින්නා වූ තැනැත්තා හට යම් කලෙක විදර්ශනා වැඩීමෙන් මාර්ග චිත්තය උපදී ද, එ කල්හි ලෞකික වශයෙන් පුරුදු පුහුණු කළ සම්මා වාචාව මාර්ගයාගේ එක් අවයවයක් ව ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නේය. ලෝකෝත්තර වූ ඒ සම්මා වාචාව ලෞකික චිත්තයන්හි වූ සම්මාවාචාව මෙන් මෘෂාවාදාදියට කරුණු වන වස්තු හා පුද්ගලයන් නොව නිර්වාණය අරමුණු කොට පවත්නේය. එයින් එක් එක් වාග් දුශ්චරිතයක් බැගින් නොව වාග් දුශ්චරිත සතර ම සමුච්ඡේද ප්‍රහාණයෙන් එකවර ම ප්‍රහාණය කරනු ලබන්නේය.

මෝහය දුරුකිරීම අරමුණු කොට ඇති,
සම්‍යක් කර්මාන්ත කරව්.
[ සම්‍යක් කර්මාන්ත:-
ආත්මාර්ථ සාධක වූ ද, පරාර්ථ සාධක වූ ද, උභයාර්ථ සාධක වූ ද, නිරවද්‍ය කායික ක්‍රියාවන්ට ලෝකයෙහි සම්‍යක් කර්මාන්තය යි කියනු ලැබේ. මේ මාර්ග සත්‍යයෙහි “සම්මා කම්මන්ත” යනුවෙන් දක්වන සම්‍යක් කර්මාන්තය වනාහි අනිකකි. එය :-
“තත්ථ කතමො සම්මා කම්මන්තො?
පාණාතිපාතා වෙරමණී, අදින්නාදානා වෙරමණී,
කාමෙසු මිච්ඡාචාරා වෙරමණී,
අයං වුච්චති සම්මා කම්මන්තො” ය-
විභංග පාළියෙහි වදාරා තිබේ.
“එහි සම්මා කම්මන්තය නම් කවරේද?
ප්‍රාණඝාතයෙන් වෙන්වීම ය, අදත්තාදානයෙන් වෙන් වීම ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන් වීම ය යන මෙය සම්මා කම්මන්ත නම් වේ” ය යනු එහි තේරුම යි.
ප්‍රාණඝාතාදි පාපයන්ගෙන් වළක්නා අදහසින් “පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සිකපද සමාදන් වන්නා වූ ද, ප්‍රාණඝාතාදිය නො කිරීමට ඉටන්නා වූ ද, ප්‍රාණඝාතාදිය කිරීමට අවස්ථාව පැමිණි කල්හි ආදීනව සලකා ඒවා අත්හරින්නා වූ ද තැනැත්තන්ගේ සිත්හි එසේ කරන්නා වූ අවස්ථාවන්හි ප්‍රාණඝාතාදියෙන් වළකින්නා වූ ප්‍රාණඝාතාදිය දුරු කරන්නා වූ ප්‍රාණඝාතාදියට විරුද්ධ වූ එක්තරා ශක්ති විශේෂයක් හට ගන්නේ ය. මේ මාර්ග සත්‍යයෙහි සම්‍යක් කර්මාන්ත යයි කියනු ලබන්නේ ඒ ශක්ති විශේෂයට ය. එය දෙපනස් චෛතසිකයන් අතුරෙන් සම්මා කම්මන්ත නම් වූ චෛතසිකය යි.
එය ප්‍රාණඝාතාදි අකුශල කාය කර්ම තුනෙන් වළක්නා ආකාරයෙන් පවත්නා බැවින් බුදුරජාණන් වහන්සේ විසින් “පාණාතිපාතා වේරමණී” යනාදීන් ප්‍රාණඝාතාදියෙන් වැළකීම ය, අදත්තාදානයෙන් වැළකීම ය, පරදාරසේවනයෙන් වැළකීම ය යන මේ තුන සම්‍යක් කර්මාන්තය යි වදාරන ලදි. එය ප්‍රාණඝාතාදීන්ගේ ආදීනව සලකා ඒවායින් වැළකීමෙන් පුරුදු කළ යුතු ය. එසේ පුරුදු කළ තැනැත්තාට ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන අවස්ථාවෙහි දී ලෝකෝත්තරත්වයට පැමිණ මාර්ගයාගේ අංගයක් ව පහළ වන්නේ ය. එයින් කායික දුශ්චරිත තුන සමුච්ඡේද ප්‍රහාණයෙන් ඒකක්ෂණයෙහි ම ප්‍රහාණය කරනු ලැබේ.

මෝහය දුරු කිරීම අරමුණු කොට ඇති,
සම්‍යක් ආජීවය වඩව්.
[සම්‍යක් ආජීවය..
“තත්ථ කතමො සම්මා ආජීවො?
ඉධ අරිය සාවකො මිච්ඡා ආජීවං පහාය
සම්මා ආජීවෙන ජීවිකං කප්පෙති,
අයං වුච්චති සම්මා ආජීවො.”
“මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්‍යගාජීවය නම් කවරේද යත්?
මේ ශාසනයෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මිථ්‍යා ආජීවය අත්හැර සම්‍යගාජීවයෙන් ජීවත් වේ ද, මෙය සම්‍යගාජීවය යි කියනු ලැබේ” ය යනු එහි තේරුමයි.
ප්‍රාණඝාතාදි කාය වාක් දුශ්චරිතයෝ වනාහි ඇතමකු විසින් විනෝදය පිණිස කරනු ලැබෙත්. ඇතමකු විසින් ක්‍රෝධ ඊර්‍ෂ්‍යාදිය නිසා කරනු ලැබෙත්. ඇතමකු විසින් දිවි පැවැත්ම සඳහා කරනු ලැබෙත්. මෙසේ නොයෙක් හේතූන් නිසා කරන්නා වූ දුශ්චරිතයන් අතුරෙන් දිවි පවත්වා ගැනීම වූ හේතුවෙන් අන්‍ය හේතූන් නිසා කරන්නා වූ ප්‍රාණඝාතාදි කාය දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය, ඒ දුශ්චරිතයන් අත්හරින්නා වූ ස්වභාවය, යට කී සම්‍යක් කර්මාන්ත නම් වූ මාර්ගාංගය යි. දිවි පවත්වා ගැනීම වූ හේතුවෙන් අන්‍ය හේතූන් උදෙසා කරන්නා වූ මෘෂාවාදාදි වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය, ඒවා අත්හරින්නා වූ ස්වභාවය යට දැක් වූ සම්‍යක් වචනය නම් වූ මාර්ගාංගයයි. දිවි පැවැත්මට ආධාර කර ගනු පිණිස කරන්නා වූ කාය වාග් දුශ්චරිතයන්ගෙන් වෙන් වන්නා වූ ස්වභාවය ඒවා අත් හරින්නා වූ ස්වභාවය සම්‍යගාජීවය නම් වූ මාර්ගාංගයයි.
නිවන් පසක් කරනු පිණිස පූර්වභාගයෙහි ම ආජීව පාරිශුද්ධිය ද වුවමනා ය. ආජීව පාරිශුද්ධිය ඇති කරගනු සඳහා ගිහියන් විසින් දිවි පැවැත්ම සඳහා කරන ප්‍රාණඝාතාදි කාය වාග් දුශ්චරිතයන් හා ගිහියන් විසින් නො කළ යුතු ය යි දක්වා තිබෙන ආයුධ වෙළඳාමය, වහල් වෙළඳාමය, මස් වෙළඳාමය, මත්පැන් වෙළඳාමය, විෂ වෙළඳාමය යන අධාර්මික වෙළඳාම් පසින් ද වැළකී ගොවිකම් වෙළඳාම් ආදි ධාර්මික දෙයකින් දිවි පැවැත්ම කළ යුතුය. ගොවිකම් වෙළඳාම් ආදියෙන් ජීවත්වන කල්හි ගෘහස්ථ ජීවිතය ධාර්මික වුව ද ප්‍රව්‍රජිත ජීවිතය ධාර්මික නො වේ. එබැවින් ආජීව පාරිශුද්ධිය පිණිස පැවිද්දන් ගොවිකම් වෙළඳාම් ආදිය ද හැර විනයෙහි නියමිත පරිදි ජීවත් විය යුතු ය. මාර්ගයට පැමිණීමට ප්‍රථමයෙන් ආජීව පාරිශුද්ධිය සඳහා ප්‍රාණඝාතාදි ආජීවය කරන්නා වූ කරුණු දුරු කරන්නා වූ තැනැත්තන්ට ඒ ඒ අවස්ථාවල දී මේ සම්‍යගාජීවය ලෞකික වශයෙන් ඇති වේ. ආජීව පාරිශුද්ධියෙහි පිහිටා විදර්ශනා වඩන්නා වූ යෝගාවචරයා හට මාර්ග චිත්තය උපදනා කල්හි මෙය ලෝකෝත්තර මාර්ගයා ගේ අංගයක් වන්නේ ය.

සම්‍යක් ව්‍යායාමය වඩව්.
[“තත්ථ කතමො සම්මා වායාමො?
ඉධ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය
ඡන්දං ජනෙති, වායමති, විරිය ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති.
උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය
ඡන්දං ජනෙති, වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති,
අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය
ඡන්දං ජනෙති. වායමති, වීරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති,
උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය
භීය්‍යෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති,
වායමති, විරියං ආරභති, චිත්තං පග්ගණ්හාති, පදහති
අයං වුච්චති සම්මා වායාමො”
“එහි සම්‍යග් ව්‍යායාමය නම් කවරේද?
මේ ශාසනයෙහි මහණ තෙම එම ජාතියෙහි දී තමා අතින් නො කෙරුණා වූ ලාමක වූ අකුශල ධර්මයන් තමා අතින් නො කෙරෙනු පිණිස ඕනෑකම ඇති කර ගනී ද, උත්සාහ කෙරේ ද? සිත කය දෙකින් වීර්ය කෙරේද? සිත ඔසවා තබා ද, මහත් කොට වීර්ය කෙරේ ද? තමා අතින් කැරුණා වූ ලාමක වූ අකුශල ධර්මයන් දුරු කරනු පිණිස ඕනෑකම ඇති කර ගනී ද, උත්සාහ කෙරේ ද, සිත කය දෙකින් ම වීර්ය කෙරේ ද, සිත ඔසවා තබා ද, මහත් කොට වීර්ය කෙරේ ද: තමා විසින් නො කළා වූ කුශල ධර්මයන් උපදනු පිණිස ඕනෑකම ඇතිකර ගනී ද, උත්සාහ කෙරේ ද, සිත කය දෙකින් ම වීර්ය කෙරේ ද, සිත ඔසවා තබා ද, මහත් කොට වීර්ය කෙරේ ද: උපන් කුශල ධර්මයන් පවත්නා පිණිස නො නස්නා පිණිස වැඩිවනු පිණිස වැඩෙනු පිණිස බෝවනු පිණිස පිරෙනු පිණිස ඕනෑකම ඇති කෙරේ ද, උත්සාහ කෙරේ ද, සිත කය දෙකින් වීර්ය කෙරේ ද සිත ඔසවා තබා ද මහත් කොට වීර්ය කෙරේ ද මෙය සම්‍යග් ව්‍යායාමය යි කියනු ලැබේ ය” යනු එහි තේරුම යි.
එම ජාතියෙහි ස්වසන්තානයෙහි නූපන්නා වූ හෙවත් තම අතින් සිදු නො වූ අකුශලයන් සිදු නො වීම පිණිස කරන්නා වූ වීර්‍ය්‍යය, ස්වසන්තානයෙහි උපන්නා වූ අකුශලයන් නැති කරනු පිණිස කරන්නා වූ වීර්‍ය්‍යය, තමා විසින් පෙර නො කළා වූ කුශල් උපදවා ගනු පිණිස කරන්නා වූ වීර්‍ය්‍යය, කළ කුසල් දියුණු කරනු සඳහා කරන්නා වූ වීර්‍ය්‍යය යන මේ වීර්‍ය්‍ය සතර “සම්‍යග් ව්‍යායාමය” යන මාර්ගාංගය බව මෙයින් ප්‍රකාශිත ය.
සිත කය වචනය යන ද්වාරත්‍රය ආරක්ෂා කර නො ගෙන ප්‍රමාදව වාසය කරන්නා වූ පෘථග්ජන සත්ත්වයාගේ සන්තානයෙහි නූපදිය හැකි අකුශලයක් නැත්තේ ය.
ඒ තාක් තමා විසින් නො කළා වූ අනාගතයෙහි සිදු වන්නට ඉඩ තිබෙන්නා වූ අකුශල ධර්ම සමූහයට ස්වසන්තානයෙහි උපදින්නට අවකාශ නො තබන අටියෙන් ශීල පරිපූර්ණයෙහි හා ශමත විදර්ශනා භාවනාවන්හි ද යෙදෙන්නට වූ සත් පුරුෂයා නූපන් අකුශල් සිදු නොවීම පිණිස, දුරු කිරීම පිණිස, වීර්ය කිරීමය යි කියන ලද ප්‍රථම සම්‍යග් ව්‍යායාමය වඩන්නේ ය.
වර්තමාන භවයෙහි ස්වසන්තානයෙහි යම් අකුශලයක් උපන්නේ ද හෙවත් තමා අතින් යම් අකුශලයක් කැරුණේ ද තමාගේ සන්තානයෙහි එබඳු අකුශල් මතු සිදු වීමට ඉඩ නො තබමිය යන අදහසින් සිල් පිරිසිදු කිරීමෙහි හා භාවනාවෙහි යෙදෙන තැනැත්තේ උපන් අකුශල් දුරු කිරීමට වීර්ය කිරීමය යි කියනු ලබන දෙවෙනි සම්‍යග් ව්‍යායාමය වඩන්නේ ය.
අකුසල් සිත් අනායාසයෙන් ඇති වන මුත් කුශල චේතනා එසේ ඉබේ ඇති වන්නේ නොවේ. ඒවා ආයාසයෙන් කුශලයන්හි යෙදීමෙන් ඇති කර ගත යුතුය. අකුසලයන්ට මතුවන්නට ඉඩ නො තබා දාන ශීලාදියෙහි හා සමථ විදර්ශනා භාවනාවන්හි යෙදීමෙන් නූපන් කුසල් ඇති කර ගැනීමට වීර්‍ය්‍ය කිරීමය යි කියන ලද තුන්වන සම්‍යක් ව්‍යායාමය වඩන්නේ ය.
පෘථග්ජන පුද්ගලයාගේ පඤ්චශීල ආජිවාෂ්ටමක ශීලාදි ශීලයෝ බිදෙන සුළුය හ. සමහර විට අද සිල්වතෙක් ව සිටින්නා වූ පෘථග්ජන පුද්ගලයා හෙට දුශ්ශීලයෙක් වන්නේ ය. ඔහුගේ සමාධි ප්‍රඥාවෝ ද නැසෙන සුළුය හ. යම් කිසිවෙක් තමාගේ සන්තානයෙහි ඇති කරගෙන තිබෙන ශීලාදි ධර්මයන්, මාර්ගයට ඵලයට පැමිණ නිවනට පැමිණීම දක්වා නො නස්නා ස්වභාවයට පමුණුවු ගනු පිණිස මාර්ග භාවනා කරන්නේ වේ නම් හෙතෙමේ උපදවා ගත් කුශලයන් දියුණු කිරීමට වීර්ය කිරීම ය” යි කියන ලද සතරවන සම්‍යග් ව්‍යායාමය වඩන්නේ ය.
මෙසේ සම්‍යග් ව්‍යායාමය වඩන්නවුන් තුළ ඒ ඒ අවස්ථාවන්හි උපදනා වූ සම්‍යග්ව්‍යායාමය ලෞකික ය. මාර්ග භාවනාව කරන්නා වූ තැනැත්තන් තුළ පූර්ව භාගයෙහි මෙසේ නොයෙක් අවස්ථාවල දී ඒ ඒ කෘත්‍යයන් සිදු කරමින් උපදනා සම්‍යග්ව්‍යායාමය මාර්ග චිත්තය පහළ වන කල්හි කියන ලද කෘත්‍යයන් සතර ම එකවර සිදු කරමින් ලොකෝත්තරත්වයෙන් උපදනේය.

දෝසය දුරුකිරීම කෙළවරකොට ඇති,
මෝහය දුරුකිරීම අරමුණු කොට ඇති,
සම්‍යක් සතිය වඩව්.
[සම්‍යක් සතිය
“තත්ථ කතමා සම්මා සති?
ඉධ භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපි සම්පජානො
සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං,
වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපි සම්පජානො
සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං,
චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපි සම්පජානො
සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං,
ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපි සම්පජානො
සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං,
අයං වුච්චති සම්මා සති”
“සම්‍යග් ස්මෘතිය කවරී ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ සම්‍යක් ප්‍රඥාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ මේ මහා භූත කයෙහි කය අනුව අනිත්‍යාදි වශයෙන් බලමින් වෙසේ ද? පඤ්චෝපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇලෙන්නා වූ ලෝභය හා දෞර්මනස්‍යය දුරු කෙරේ ද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ සම්‍යග් ප්‍රඥාවෙන් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ ත්‍රිවිධ වේදනාවන්හි වේදනාව අනුව අනිත්‍යාදි වශයෙන් බලා ද උපාදාන ස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇල්ම හා දෞර්මනස්‍යය දුරු කෙරේ ද කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ මනා නුවණින් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ සරාගාදි චිත්තයෙහි සිතට අනුව අනිත්‍යාදි වශයෙන් බලා ද උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇල්ම හා දෞර්මනස්‍ය දුරු කෙරේ ද, කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත වූයේ මනා නුවණින් යුක්ත වූයේ සිහියෙන් යුක්ත වූයේ නීවරණාදි ධර්ම විෂයෙහි ඒ ධර්මයන්ට අනුව අනිත්‍යාදි වශයෙන් බලා ද උපාදානස්කන්ධ සංඛ්‍යාත ලෝකයෙහි ඇල්ම හා දෞර්මනස්‍යය දුරු කෙරේ ද මෙය සම්‍යක් ස්මෘතිය යි කියනු ලැබේ.” ය යනු මෙහි තේරුම යි.
නිවන් පසක් කරනු පිණිස භාවනාවෙහි යෙදෙන්නා වූ යෝගාවචරයාගේ සිත භාවනාවට අරමුණු වන කාය, වේදනා, චිත්ත, ධර්ම යන මේවායින් බැහැරට පැන යන්නට නො දී ඒවායේ ම නැවත නැවත පවත්වන්නා වූ බැඳ තබන්නා වූ යහපත් සිහිය මේ ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි සම්‍යග් ස්මෘතිය බව මේ දේශනාවෙන් දක්වන ලදි. ස්වකීය සිතට අරමුණෙන් අරමුණට පැන යන්නට නොදී තමා කැමති අරමුණක බොහෝ වේලාවක් රඳවා ගත හැකි වන පරිදි සිත සකස් කරගෙන නැත්තා වූ පුද්ගලයාගේ සිත වනාහි වහ වහා අරමුණෙන් අරමුණට යන වික්ෂිප්ත සිතකි. එබඳු සිතින් මාර්ගයකට ඵලයකට පැමිණෙන්නට නුපුළුවන. එබැවින් නිවනට පැමිණෙනු කැමති තැනැත්තා විසින් කාය කොට්ඨාසාදි යම් කිසි අරමුණක් ගෙන එහි ම සිත පිහිටවා භාවනාවෙහි නැවත නැවත යෙදීමෙන් එක අරමුණක බොහෝ වේලා තැබිය හැකි වන සේ සිත සකස් කිරීමේ දී ඒ සිත සමග උපදනා වූ සිහිය ලෞකික සම්‍යක් ස්මෘතිය යි. එය ම එසේ භාවනාවෙහි යෙදෙන්නා වූ තැනැත්තා හට මාර්ග චිත්තය උපදනා කල්හි මාර්ගාංගයක්ව ලෝකෝත්තරත්වයෙන් ද පහළ වන්නේ ය.

සම්‍යක් සමාධිය වඩව්.
[“තත්ථ කතමා සම්මා සමාධි?
ඉධ භික්ඛු විචිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි
සවිතක්කං සවිචාරං විවෙකජං පිතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති,
විතක්ක විචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං
අවිතක්කං අවිචාරං සමාධිජං පීති සුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති,
පීතියාච විරාගා උපෙක්ඛකොව විහරති සතොව සම්පජානො.
සුඛංච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති
උපෙක්ඛකො සතිමා සුඛවිහාරිති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති,
සුඛස්ස ච පහාණා දුක්ඛස්ස ච පහාණා පුබ්බේච
සොමනස්ස දොමනස්සානං අත්තංගමා අදුක්ඛමසුඛං උපෙක්ඛා සති
පාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති,
අයං වුච්චති සම්මා සමාධි.”
මෙයින් ප්‍රථමධ්‍යාන සමාධිය, ද්විතීයධ්‍යාන සමාධිය, තෘතීයධ්‍යාන සමාධිය, චතුර්ථධ්‍යාන සමාධිය යන සමාධි සතර සම්‍යක් සමාධිය යි ප්‍රකාශිත ය. වික්ෂිප්ත නො වන පරිද්දෙන් නො සැලෙන පරිද්දෙන් සිත මනා කොට ස්ථිර වශයෙන් ආරම්මණයෙහි පිහිටවමින් සිත හා බැඳී පවත්නා වූ එක්තරා ස්වභාව ධර්මයකට සමාධිය යි කියනු ලැබේ.
දශ කසිණය, දශ අශුභය, කේශාදි ශාරීරික කොට්ඨාසයෝය, ආශ්වාස ප්‍රශ්වාසය, මෛත්‍රි කරුණා මුදිතා යන බ්‍රහ්ම විහාරයන්ට අරමුණු වන සත්ත්වයෝ ය යන මේ පස් විසි කමටහන් අරමුණු අතුරෙන් යම්කිසි අරමුණක් ගෙන භාවනාවෙහි යෙදීමෙන් පළමු කොට උපදවා ගත හැකි රූපාවචර සමාධිය ප්‍රථමධ්‍යාන සමාධි නමි. සමථ විදර්ශනා භාවනාවන්හි යෙදෙන්නවුන්ගේ පූර්ව භාග කාමාවචර සමාධිය ද මේ ප්‍රථමධ්‍යාන සමාධියට ම ඇතුළත් වන්නේ ය.
කසින දශය, ආශ්වාස ප්‍රශ්වාසය, මෛත්‍රි කරුණා මුදිතා යන බ්‍රහ්ම විහාරයන්ට අරමුණු වන සත්ත්ව ප්‍රඥප්තීහු යන මේ තුදුස් අරමුණු අතුරෙන් යම් කිසි අරමුණක භාවනාවෙහි යෙදීමෙන් දෙවෙනි වර ලබන්නා වූ රූපාවචර ධ්‍යාන සමාධිය ද්විතීය ධ්‍යාන සමාධි නමි. ඒ අරමුණුවල ම භාවනාවෙහි යෙදීමෙන් තුන්වන වර ලබන්නා වූ රූපාවචර ධ්‍යාන සමාධිය තෘතීයධ්‍යාන සමාධි නමි.
කසින දශය, ආශ්වාස ප්‍රශ්වාසය, උපේක්ෂා බ්‍රහ්ම විහාරයට අරමුණු වන සත්ත්ව ප්‍රඥප්තිය යන මේ අරමුණු දොළස අතුරෙන් යම්කිසි අරමුණක් ගෙන භාවනාවෙහි යෙදී සතරවනුව ලබන්නා වූ රූපාවචර සමාධිය චතුර්ධ්‍යාන සමාධි නමි.
මේ සමාධීහු ලෞකිකයෝ ය. මාර්ග භාවනාව කර ගෙන යන්නා වූ තැනැත්තා හට යම් කලෙක ලෝකෝත්තර මාර්ග චිත්තය පහළ වන්නේ ද එකල්හි පූර්ව භාගයෙහි පුරුදු කරන ලද මේ ලෞකික සමාධීන් අතුරෙන් යම් කිසි එක් සමාධියක් මාර්ගයාගේ අංගයක්ව මාර්ග චිත්තය හා තත් සම්ප්‍රයුක්ත ධර්‍මයන් නිර්වාණ සංඛ්‍යාත ආරම්මණයෙහි මනා කොට පිහිටුවමින් ලෝකෝත්තරත්වයෙන් පහළ වන්නේ ය. එය ලෝකෝත්තර සම්‍යක් සමාධිය වූ මාර්ගාංගය වන්නේ ය.

මෙසේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩනවිට
නැවත නැවත වඩන විට තොප
නිවනටම නැමේ. නිවනටම බර වේ”
යයි වදාළසේක.
SN 05-01-10-02 දුතිය පාචීනනින්න සූත්‍රය
මහණෙනි,
යමුනා නදිය පෙර දිගට නැමී පෙරදිගට හැරී

රාගය, දෝසය, මෝහය දුරුකිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
SN 05-01-10-03. තතිය පාචීනනින්න සූත්‍රය
මහණෙනි,
අචිරවතී නදිය පෙර දිගට නැමී පෙරදිගට හැරී

රාගය, දෝසය, මෝහය දුරුකිරීම පිණිස ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්. “
SN 05-01-10-04. චතුර්ථ පාචීනනින්න සූත්‍රය
මහණෙනි,
සරභූ නදිය පෙර දිගට නැමී පෙරදිගට හැරී

මහී නදිය පෙර දිගට නැමී පෙරදිගට හැරී

මහා නදින් වන – ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී, යන සියලු නදි පෙර දිගට නැමී පෙරදිගට හැරී

රාගය, දෝසය, මෝහය
දුරුකිරීම පිණිස
ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩව්.
By SN 05-01-10-01 පාචීනනින්න සූත්‍රය